RSS

129. ඈක්කා!!!!!!! A Mouthful!

10 May
129. ඈක්කා!!!!!!! A Mouthful!


මෙවර ඔබ රස විඳින්න යන්නේ පෝල් ජෙනිංස් ලියපු කතාවක්. ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු, වයස අවුරුදු හයේදි,  බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙද්දි, ඔවුන්ට  ගමන් වියදම ගියේ පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා.


පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ, මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන, ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ කතාව කියවෙන්නේ නව යොවුන් දැරියකගේ ඇසින්. ප්‍රථම වරට.

ඔව් ප්‍රථම වරට. මම හිතන්නේ පෝල් ජෙනිංස්ටත් මටත් දෙන්නටම අලුත් දෘෂ්ඨි කෝණයක් මේක. මම භාෂාව නැවතත් පොඩ්ඩක් වෙනස් කලා දැරියකට ගැලපෙන්න. ඇන්ඩිගේ භාෂාව මේකට හරි යන එකක් නෑනේ නේද?


එහෙනම් මෙන්න කතාව.


සමහර දරුවෝ කරන වැඩ වලින්, දෙමව්පියන් අපහසුතාවයට පත් වෙන එක අලුත් දෙයක් නෙවෙයිනේ.නමුත් දෙමව්පියෝ කරන සමහර වැඩ වලින්, දරුවන් අපහසුතාවයට පත්වෙන වෙලාවලුත් තියෙන බව ඔයාලා දන්නවද?


හොඳම උදාහරණේ අපේ තාත්තා. ‍රැයක් ගත කරන්න මගේ යාලුවෙක් අපේ ගෙදර ආවොතින්, තාත්තා මොකක් හරි ඇස් රතුවෙන විහිළුවක් කරනවාමයි. ඔන්න මාව වරදවා වටහා ගන්න එපා. අපේ තාත්තා නියම තාත්තෙක්. මම එයාට පණ ඇරලා ආදරෙත් එක්ක. ප්‍රශ්ණේ, එයා තාමත් එයාගේ තියෙන කොලු ගති අතෑරලා, වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගත්තේ නැති එකයි.


එයා පුදුම ආසයි කවටකම් කරන්න.


මේ වැඩේ මුලින්ම පටන් ගන්නේ, ඇනා ‍රැයක් ගත කරන්න අපේ ගෙදර ආ දවසේ. ඉස්සෙල්ලම තාත්තා මටත් හොරෙන් මගේ කාමරේට වැදිලා, අපේ පූසි ඩූනාව, අර මගේ යාලුවෝ ආවාම නිදාගන්න තියෙන වැඩිපුර ඇඳේ නිදි කරවනවා. ඩූනාත් එපා කියයි! එයා මාර ආසයි ඇඳන් වල නිදියන්න. කොයි පූසාද අකමැති, නේද?


ඊට පස්සෙ, එයා අර මැජික් සාප්පුවෙන් ගත්ත පොඩී පාර්සලයක් අරිනවා.


හිතන්න පුලුවන්ද ඒකෙ මොකක්ද තියෙන්නේ කියලා? ඔයාලා විස්වාස කරන එකකුත් නෑ අනේ. ඒකෙ තියෙන්නෙ දුඹුරු පාට බළල් බෙට්ටක්. ඒ කියන්නේ රබර් වගේ ප්ලාස්ටික් ජාතියකින් හදපු, ඇත්ත එකක් වගේම පේන, දැනෙන සෙල්ලම් බළල් බෙට්ටක්. එයා මේක ඇනාගේ කොට්ටේ උඩින් තියලා, පොරෝනයෙන් වහනවා. ඊට පස්සෙ, එයා හොරා වගේ, ඇඟිලි තුඩුවලින්ම කාමරෙන් පිට වෙලා යනවා දොරත් වහගෙන.


මේ කිසි දෙයක් නොදන්න මම, ඇනාත් එක්ක රෑ වෙනකල් වීඩියෝ බල බල ඉන්නවා. ඇනා සෞඛ්‍ය ගැන හරීයට වදවෙන කෙල්ලක්. ඒකා විශබීජ වලට පරාණ බයයි. ඇනා අර ටොයිලට් සීට් එකටත් කඩදාසි එලලා වාඩිවෙන ජාතියෙ බඩ්ඩක්. හැබැයි මාර පිරිසිදුයි. ඒ ගැන නම් කියලා වැඩක් නෑ.


ඔන්න ඇනාත් එයාගේ බාබි ඩෝල් පිජාමා එකත් ඇඳගෙන, නිදා ගන්නයි ලෑස්තිය. ඇඳට නගින්න කලින්, ඇඳේ පොරෝනය පහලට ඇදපු ගමන්, එයා දකින්නේ කොට්ටේ උඩ තියෙන බළල් බෙට්ට!


“ඊයා! …ඊයා!!… ඈක්කා!…” ඇනා මර හඬ දෙනවා. “බලන්නකෝ… චික්!… ජරාව!! මේ බලන්නකෝ පූසි මගේ කොට්ටෙට කරලා තියෙන දේ!”


ඔන්න එතකොටම, තාත්තා කඩාගෙන, බිඳගෙන කාමරේට දුවගෙන එනවා.


“මොකද, මොකද දරුවනේ කෑ ගහන්නේ?” එයා අහන්නේ අමුතු හිනාවකුත් හංගාගෙන. “මොකක්ද ප්‍රශ්ණේ?”


“අර බලන්නකෝ,” මූණ ඇද කරගෙන ඉන්න ඇනා කොට්ටේ පෙන්නලා කියන්නෙ, බියපත් ඇස් රවුම් කරගෙන.


තාත්තා ගිහින් බළල් බෙට්ටට ලං වෙලා හොඳින් බලනවා.


“අයියෝ, මේ වගේ සුළු දේවල් ඔච්චර ගනන් ගන්න එපා. නැට්ට පිටිං අලි මැරෙන එකේ, මේක මොකක්ද?” කියන තාත්තා බළල් බෙට්ට අතට අරගෙන කෙලින්ම දාගන්නවා කටට. ඊට පස්සේ හිනා වෙනවා.
“මාර රහයි, ඈ!” එයා කියන්නේ දත් අතරින්.


“ඈයියා! ඈක්කා!!!!” වහලේ උළු උඩ යන්න බෙරිහන් දෙන ඇනා, කෙලින්ම දුවන්නෙ ජනේලෙ ලඟට. පව්! ඒකා ජනේලෙන් එලියට ඔලුව දාලා, අපි වීඩියෝ බලද්දි කාපු බීපු පොටේටෝ චිප්ස්, සෝස්, ඩයට් කෝලා ඔක්කොම වමනේ දානවා. ඊට පස්සෙ, ආපහු හැරිලා, තාත්තා දිහා බලන බැල්ම විස්තර කරන්න, මම දන්න භාෂාවේ වචන මදි.


ඇනාට වමනේ ගිය එකට නම් තාත්තත් පොඩ්ඩක් සැලෙනවා.


“අයියෝ ගණං ගන්න එපා ඇනා,” කියන තාත්තා, ප්ලාස්ටික් බළල් බෙට්ට කටෙන් එලියට ගන්නවා. “මේක ඇත්ත එකක් නෙවෙයි. ප්ලාස්ටික් එකක්.” කියන තාත්තා හයියෙන් හිනා වෙලා යන්න යනවා. ඇනාත් යන්නම යනවා ඒ එක්කම. ඒකා එවෙලෙම තීරණය කරනවා ගෙදර ගිහින් නිදාගන්න. ඒකට වරදක් කියන්න බෑ අප්පා.


ඇනා යනකල් ඉඳලා මම තාත්තට කෑ ගහනවා.


“ඔයා හරි නරකයි, තාත්තා. මම ආයෙ නම් ඔයා එක්ක කතා කරන්නේ නෑ. හරිම පල් වැඩක් කලේ, ඔයා!”


“හයියෝ, වැඩක් නෑනේ ඔයාලගෙන්,” එයා කියනවා. “මම විහිලුවක්නේ කලේ.”


ඔන්න ඔය විදියයි.


කවුරු හරි යාලුවෙක් වරෙං ‍රැයක් ඉන්න! ඕන්න තාත්තා පිස්සුවක් කෙලිනවා. එක්කෝ ඩස්ට් බින් එකේ තිබිලා මිනිස් අතක් හම්බවෙනවා. එක්කෝ බීම කෑන් එකක් අරින කොට ඒක පුපුරනවා. නැතිනම් කෑමට ගම්මිරිස් වැඩියි. තවත් වෙලාවකට පොරවන්න ගියාම පොරෝනය කොටයි. එක්කෝ තාත්තාගේ කටෙන් ඩ්‍රැක්‍යුලාගේ වගේ ලේ කාන්දු වෙනවා.


මගේ සමහර යාලුවොන්ටත් මේක මාර ජොලි. එයාලා කියනවා, ‘අනේ අපිට නෑනේ ඕවගේ ජොලි තාත්තෙක්!’ කියලා.


නමුත්, මම කැමතිම නෑ මේ වැඩේට. මට ඕනෙ සාමාන්‍ය තාත්තෙක්.


එයා බියැන්කාව විහිලුවකට ගත්තා.

ආයේ යැස්මින්.

ආයේ න්ගා.

ආයේ කාර්ලා


මේ එක්කෙනෙක්වත් ඇනා වගේ ගෙදර ගියේ නම් නෑ. නමුත් හැම පාරම මගේ මූණ නම් රතු වුනා.


මම අද මාර අප්සෙට් එකේ ඉන්නේ.


අද සින්තියා එනවා රෑ නවතින්න. එයා අපේ ස්කූල් කැප්ටන්. ඒකා ලස්සන කෙල්ල. අනික හෙන ස්මාට්. එයාගේ යාලුවෙක් වෙන්න හැමෝම පොර කනවා. අද එයා ‍රැයක් ගත කරන්න අපේ ගෙදර එනවා.


“අනේ තාත්තේ,” මම කියනවා. “ඔන්න අද නම් මොකූත් ඕන්නැති විහිළු කරන්නෙ නෑ හොඳද? සින්තියා ඔය අනිත් අය වගේ බොළඳ කෙල්ලක් නෙවෙයි. එයාගේ තාත්තා කවදාවත් ඔයා වගේ විහිළුකරන එක්කෙනෙක් නොවෙයි. ඒ හන්දා ඔයා කරන විහිලු එයා වරදවා තේරුම් ගනීවි.”


“හරි හරී, ඇති බර බරේ” තාත්තා කියනවා.


සින්තියා එනවා. නමුත් අපි වීඩියෝ බලනවා වෙනුවට, ඉංග්‍රීසි ගෙදර වැඩ කරනවා පණ දාගෙන. ඊ ලඟට සඳුදා කතික තර‍ඟෙට තියෙන කතා පුහුණු වෙනවා. ඊ ලඟට අපේ පාසැල් නාට්‍යයේ අපිට තියෙන දෙබස් පාඩම් කර ගන්නවා. මේ ඔක්කොමත් කරලා අපි එලියට ගිහින්, නෙට්බෝලේ ගෝල් එකට දාන්න පුහුණු වෙනවා, සින්තියා නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව හන්දා. ඔය අල්ල පනල්ලේ, මම වරින් වර කාමරේට ඇවිත් බලනවා තාත්තා මොකුත් ඇටවුමක් හෙම කරලද කියලා. පරෙස්සම් වෙන එක කොයිකටත් හොඳයිනේ.


අපි කෑම කාල පිඟනුත් සෝදනවා, මොකද සින්තියා ඒකට ස්වේච්ඡාවෙන්ම – ඔව් ස්වේච්ඡාවෙන්ම තමයි – ඉදිරිපත් වෙච්ච නිසා.


ඔන්න අන්තිමේදි නිදාගන්න වෙලාවත්
එනවා. සින්තියා නාන කාමරේට ගිහින් නයිටිය දා ගෙන නිදන කාමරේට එනවා.


“පූසී මගේ ඇඳේ,” එයා කියනවා. “ඒකෙ ගානක් නෑ. මම කොහොමත් පූසන්ට ආදරෙයි.”


සින්තියා පොරෝනය පාතට අදිනවා ඇඳට නගින්න.


ඉන් පස්සෙ බෙරිහන් දෙනවා.


“ඈක්!! බළල් කක්කා! මගේ කොට්ටේ උඩ ජරා බළල් කක්කා,” සින්තියා මර හඬ දෙනවා පළාතම දෙවනත් වෙන්න.


ඔන්න, තාත්තා කාමරේට කඩා වදිනවා, එයාගේ අර කට කොණකින් මතුවෙන මෝඩ හිනාවත් දාගෙන. එයා වීරයා වගේ ගිහින් බලනව කොට්ටේ උඩ තියෙන දුඹුරු පාට බළල් බෙට්ට දිහා.


“අයියෝ, මේ වගේ සුළු දේකට ඔය හැටි අප්සෙට් වෙන්න එපා,” කියන එයා, බළල් බෙට්ට අරන් කටේ ඔබා ගන්නවා.


නමුත් මේ පාර එයා හිනාවෙන්නේ නෑ, වෙන පාරවල් වල වගේ. එයාගේ මූණ එහෙමම ගල් වෙනවා.


“තාත්තා, මේකද හෙව්වේ?”


මගේ අතේ තියෙන, තාත්තා කලින් ඇවිත් කොට්ටේ උඩ තියපු ප්ලාස්ටික් බළල් බෙට්ට තාත්තා දිහාට පාමින්, මම අහනවා.


තාත්තා පූසි දිහා බලනවා.


ඊට පස්සේ පුදුම වේගෙකින් ජනේලෙ ලඟට පනින තාත්තා, ඔලුව එලියට දාලා වමනේ දානවා.


සින්තියයි මායි බිම පෙරළි පෙරළි හිනා වෙනවා.


ඇයි අපිටත් බැරිද විහිළුවක් කරන්න ඉඳහිට?

throwup
Simulblogged @ මගේ ඩෙනිම for Blogspot Lovers


Paul Jennings – Uncovered – A Mouthful

 

ටැග: ,

20 responses to “129. ඈක්කා!!!!!!! A Mouthful!

  1. dulipss

    මැයි 10, 2013 at 4:04 ප.ව.

    ප්‍රෑංක් කියන්නෙ හෙනම ආතල් වැඩක් . . . . බැක් ෆයර් වෙන්නෙ නැතිතාක් කල්

     
  2. Padhmakumara

    මැයි 10, 2013 at 4:14 ප.ව.

    හෙන්රි
    මෙහෙම පවුම් දහයක් දීලා ආපු ඉංග්‍රිසි කාරයින්ට කියන්නෙ “Ten Pound Pommies” .Pom = Prisoners Of Mother country

     
    • henryblogwalker

      මැයි 11, 2013 at 8:01 පෙ.ව.

      පද්මේ මට ඒක අලුත්ම ප්‍රවෘතියක්.

      වෙන මොනවද ඒ ගැන විස්තර?

      හැබැයි එහෙම වුනේ එක්දාස් අටසිය ගනන් වල වගේ නෙවෙයිද? :O

       
      • Padhmakumara

        මැයි 11, 2013 at 2:03 ප.ව.

        1800 ගනන් වල නෙමෙයි 1960 ගනන් වලයි Ten Pound Pommies ඇවිත් තියෙන්නෙ.1800 ගනන්වල ආපු එවුන් නොමිලේ ඇවිත් තියෙන්නෙ මොකද එංගලන්තෙ හිරගෙවල්වල හිටපු Convicts ලනෙ ඉස්සරම ගෙනත් තියෙන්නෙ.

         
  3. pethum

    මැයි 10, 2013 at 4:15 ප.ව.

    හෙහ් හෙහ් හේ….මට නිකමට හිතුනා අන්තිම පාරනම් වැඩේ දෙල් වෙයි කියලා.. කෙල්ලගේ දෘෂ්ටි කෝණයෙත් අඩුපාඩුවක් නෑ මං හිතන්නේ.

     
  4. hiruni

    මැයි 10, 2013 at 5:00 ප.ව.

    මේ කතාව නම් ශෝක් ඩුඩ්…..පව් තාත්තා….ඒ මනුස්සයට කොච්චර අප්පිරිය ඇත්ද?:D😀😀

    මතකද අර ‍Dumb and Dumber ෆිල්ම් එකේ එක කෑල්ලක හිටිය America’s funniest home videos එකේ host?

    ‍ෆිල්ම් එක අන්තිමේට ‍ෆිල්ම කරද්දි වැරදුන ඒවා පෙන්නද්දි …. එක චොක්ලට් වෙනුවට බිත්තියේ ජරාව ගාල එයා ඒක කනවා..හිහ් හිහ් හිහ්

    ඒ තාත්ත නම් ආයෙම ඒ වගේ විහිලු කරන්න නැතුව ඇති…:D😀😀

    චිහ් ඩුඩ් පින්තුරේ!!!!! 😀

     
  5. hiruni

    මැයි 10, 2013 at 5:02 ප.ව.

    Paul Jenings ට මමත් හරිම කැමතියි…ඒ කතා කවදාවත් අමතක වෙන්නෙ නෑ….

     
    • henryblogwalker

      මැයි 11, 2013 at 8:10 පෙ.ව.

      Dumb and Dumberer කියලත් එක ආවද කොහෙද ඊට පස්සේ.

      පින්තූරේ එච්චරට අප්සෙට්ද? ඒක අයික් කරන්න කියලද ඔය කියන්නේ? හා එහෙනම්.

       
  6. අටම්පහුර

    මැයි 11, 2013 at 8:34 පෙ.ව.

    මේ නමම තියන බ්ලොග්එකක් තියනවා දැක්කද

     
  7. ජනිත්

    මැයි 11, 2013 at 2:14 ප.ව.

    හී හී.. හොඳ වැඩේ….

     
  8. ක්සැන්ඩර්

    මැයි 13, 2013 at 11:58 පෙ.ව.

    කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටලා.

     
  9. iamdeejay

    මැයි 16, 2013 at 11:48 ප.ව.

    අර පින්තුරේ අයින් කරපු එක නම් ලොකු දෙයක්.😀 කතාව පරිවර්තනය කරලා තියෙනවා හරිම ලස්සණට. 🙂

     
  10. blue lotus

    මැයි 19, 2013 at 7:38 ප.ව.

    අපෝ . ඒ වුනාට දුව දරුනු වුනා වැඩියි කියල හිතෙනවා. ඇත්තම පූස් බෙට්ටක් කැවුනම අම්මෝ!

     
  11. Dilupa

    ජූනි 1, 2013 at 1:00 පෙ.ව.

    මමනං අදමයි Paul Jennings ගෙ කතාවක් කියෙව්වෙ. පට්ටම කතාව. මහන්සි වෙලා මේව පරිවර්තනේ කොරපු බ්ලොග් වෝකර් තුමාට තැංකූ වේවා.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: