RSS

131. හොර ඇල්ලීම – Exposer

19 May
131. හොර ඇල්ලීම – Exposer

 

මේත් පෝල් ජෙනිංස්ගෙ කෙටි කතාවක්.

සරළ කතාවක් වගේ පෙනුනට එහෙමමත් නෑ.

 

෴හොර ඇල්ලීම – ExPoser෴

අපේ පන්තියෙ ඉන්නවා සල්ලිකාර, දල කාර කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. කෙල්ල සැන්ඩ්‍රා මොරිස්. කොල්ලා  බෙන් ෆොක්ස්.  දෙන්නම අලි  වංසෙන් තමයි ඉන්නෙ. දෙන්නම හිතා ඉන්නෙ අපි උන්ගෙ අත පල්ලෙං වැටිච්ච උං කියලා. උන් දෙන්න ඉස්කෝලෙ එන්නෙ නැව් වගෙ තඩි කාර් වල. ගෙවල් මාලිගාවල් වගේ.  දෙන්නම සද්දෙ වහගෙන, හරියට අපි නැති ගානට උන්ගෙ  ලෝක වල ඉන්නෙ. මම හිතන්නෙ ඕකුන් දෙන්නම මං වාගේ මැර වැඩ කරන  හිපා‍ටුවොත් එක්ක පැටලෙන්න අකමැතියි.



බෙන් ෆොක්ස් හැම තිස්සෙම දාං ඉන්නෙ අලුත්ම ෆැෂන් එකේ  අස්ප ගනං ජිම් ෂූස්. ඌ හිතන්නෙ උගෙ රන්වන් කොන්ඩෙයි, නිල් පාට ඇසුයි නිසා ඌ හෙන නළුවා කියලා. හිතේ ඇති!  මට නං ඕවගේ එවුන් ගැන පව් කියලා හිතෙන්නෙ, නලුවෝ වගේ ඉන්න කන කට්ටට.



සැන්ඩ්‍රා මොරිසුත් ඉතින් ඒ වගේම තමයි. ලෝක රූප සුන්දරී කියලා තමයි ඒකි හිතාගෙන ඉන්නේ. ඇත්තෙන්ම ඒකි ලස්සනයි තමයි. අවුල ඒකි තමන් ලස්සන බව දන්න එක. ඒකිටත් තියෙන්නේ නිල් පාට ඇස් එක්ක රන්වන් කොන්ඩේ.  හමත් නිකං සිල්ක් වගේ තමයි. ඇයි දන්නෑ දෙන දෙයියෝ උඩ පැන පැන තියෙන එකාටම හැම දේම ලබා දෙන්නෙ?



නොද්දකිං. පේන්නැද්ද මට වෙලා තියෙන සන්තෑසිය? මූණ පුරා කුරුළෑ. මම ඕකට නොකරපු වෙද කමක් නෑ. ගාපු නැති ක්‍රීම් එකක් නෑ. ඒත් කුරුළෑ මතුවෙලා, ලොකු වෙලා, පුපුරනවා, මට එපා වෙලා තියෙන්නෙ. මාර අසාධාරණයක් යකෝ මේක.



අද මට ලැබිලා තියෙනවා අසාධාරණේට විරුද්ධව සටන් කරලා,  බිම දාලා, සමානාත්මතාවය රජ කරවන්න අවස්ථාවක්. අද බො‍ෆින් උගේ අලුත්ම සොයා ගැනීම පන්තියට අරන් එනවා. ඒක තමයි බොරු අල්ලන යන්තරේ. Lie detector. සැන්ඩ්‍රා මොරිස් තමයි අපේ ඉලක්කය.  ඒකි කවදාවත් බොරු නොකියන බව හැම එකාම දන්න නිසා, අපේ උන් ඇහුවම, ඒකිත් අනේ කැමති වුනා. ඒකි නොදන්න රහස තමයි බො‍ෆිනුයි මායි ඒකිගේ රෙදි ගැලවෙන ප්‍රශ්ණ සෙට් එකක් අහන්න යන බව.



ඔය බො‍ෆින් ඉන්නවා නේද? පට්ට මීටරේ, ඈ. පට්ටම මීටරේ. ඌ ඔය වගේ එක එක ගැජමැටික්ස් හදනවා. පුදුමේ කියන්නේ, ඒ හැම එකක්ම වගේ වැඩත් කරනවා. ඌ අපේ ටීචර්ස්ලට වැඩිය මීටර්. හැම එකාම ඒකත් දන්නවා. ඕන් අද බුවා ගේන්නේ බුවාගේ අලුත්ම නිර්මාණය. බොරු අල්ලන යන්තරේ.



මූ වයර් දෙකක් සැන්ඩ්‍රාගේ අතට තියලා ටේප් දෙකක් ගහලා අලවනවා. “රිදෙන්නේ නෑ.” ඌ කියනවා. “හැබැයි මේක ආයෙ නෑ ඉතින් කිරි ගහට ඇන්න වගේ තමයි.”



බො‍ෆිනා ස්විච් එක දානවා. බොරු අල්ලන යන්තරේ හයි කරලා තියෙන මීටරේ කට්ට සිං ගාලා හරියටම මැද්දට ගිහින් නතර වෙනවා. ඔන්න මූ ට්‍රයල් එකක් කරන්න හදන්නේ.

DSCN2907compressed

“ඔයා කෙල්ලක්ද?”



සැන්ඩ්‍රා ඔලුව හොලවනවා.



“ඔව් හරි, නෑ හරි කියන්න ඕනෙ.”බො‍ෆින් කියනවා.



“ඔව්,” සැන්ඩ්‍රා කියනවා. මීටරේ කට්ට සිං ගාලා TRUTH (ඇත්ත) වලට යනවා. අඩේ මේක ඇත්තටම වැඩ කරනවා වගේ. බො‍ෆිනගේ කට කනේ.



“මේ පාර කියන්න බොරුවක්,” බො‍ෆින් සැන්ඩ්‍රට කියනවා. “ඔයා කෙල්ලක්ද?” මූ ආයෙම අහනවා.



සැන්ඩ්‍රා අර ඒකිගේ තියෙන,  මට දැක්කාම ඒකිව ගිලින්න හිතෙන, පට්ට ලස්සන හිනාව දාලා, “නෑ,” කියනවා. සමහරු හිකි හිකි ගානවා.  මොහොතකින් කට්ටියටම  “හෑක්!” කියවෙනවා. මීටරේ  කට්ට LIE (බොරු) වලට ගිහින්. මේක මාර භාණ්ඩයක්නෙ යකෝ! බො‍ෆිනා පොරක්!



“හරි,” බො‍ෆින් කියනවා. “ප්‍රශ්න හතයි උඹට අහන්න පුලුවන්, මචං. ප්‍රශ්ණ හතකට  පස්සෙ බැටරි බහිනවා.”



බො‍ෆින් යන්තරේ ලඟින් ඉඳගෙන ඩයල් එහෙට මෙහෙට කරකවනවා .



“මේක මාර චාන්ස් එකක්. දෙන්නං උඹලට!  සැන්ඩ්‍රා මොරිස්ගෙයි, බෙන් ෆොක්ස්ගෙයි ප්‍රසිද්ධියෙ රෙදි ගලවන්නයි යන්නේ මං.  උඹලට වහ කාල කැලේ රිංගන්න වෙන්නේ, හිටපියව්.”



මම පළවෙනි ප්‍රශ්ණය අහනවා.



“ඔයා කවදා හරි බෙන් ෆොක්ස්ව කිස් කරලා තියෙනවද?”



සැන්ඩ්‍රාගේ මූණ රතු වෙනවා. බෙන් ෆොක්ස්ගෙ මූණත් රතුවෙනවා.





මේ පාර නියම තැනට මම ඇණේ ගැහුවේ. මුන් දෙන්නගේ  මොකක් හරි සීන් එකක් තියෙන බව මට ඉව වැටිලා තිබ්බේ කාලෙක ඉඳන්. අද ගලවන්නම් ඔය බොරු වෙස් මූණු!



“නෑ,” සැන්ඩ්‍රා කියනවා. හැමෝම බෙල්ලවල් දික් කරලා බලනවා යන්තරේ මීටරේ දිහා. කට්ට තියෙන්නේ TRUTH වල.



මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි මේක. තව ප්‍රශ්න හයයි තියෙන්නෙ. එහෙම ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න බෑ. හිටපල්ලකො.

“ඔයා කවදාවත් එයාගේ අතින් අල්ලලා තියෙනවද?”



“නෑ.



ක‍ටුව TRUTH වල. දැන් මට හෙන අප්සෙට් මේ වැඩේට. මම මේ මොනවද කරන්නේ? ඇයි මම මෙහෙම කරන්නේ?



මම ට්‍රැක් එක වෙනස් කරනවා.



“ඔයා කාට හරි ආදරය කරනවද?”



සැන්ඩ්‍රා රතු වේගන එන්නෙ බෙල්ලේ ඉඳන් උඩට. මම කුරිරු සතුටක් විඳිනවා. ෆොක්ස්ගෙ මූණ හරියට බීට් රූට් ගෙඩියක පාට.



“ඔව්,” සැන්ඩ්‍රා කියද්දි ක‍ටුව TRUTH වල.



අනිත් උන්ගේ වදේට මම මේ වැඩේ බාර ගත්ත එක ගැන, මට දැන් දැනෙන්නෙ පසු තැවිල්ලක්. සැන්ඩ්‍රාටයි බෙන්ටයි තව දුරටත් වද දෙන්න මට හිතුනේ නෑ එක පාරටම. මම කෙලින්ම නම නාහ ඉන්න තීරණය කලා. ඔව් සැන්ඩ්‍රා, මම ඔයාට  ඒ චාන්ස් එක දෙන්නම්.



“එයා දැන් මේ කාමරේ ඉන්නවද?” මම අහනවා.



සැන්ඩ්‍රා බෙන් ෆොක්ස් දිහා බලනවා. “ඔව්.”

කට්ට TRUTH පෙන්නගෙන ඉන්නවා.



“එයාගේ ඇස් නිල් පාටද?”



“නෑ.”



හෑ!



“එහෙනම් දුඹුරු පාටද?”



“නෑ.”



මට ඊ ලඟට අහන දේ හිතාගන්න බෑ. මගේ ඇස් කාමරේ සිසාරා දුවනවා, හැම එකාගෙම ඇස් ලඟ නතර වෙමින්. කරමින්. බෙන් ෆොක්ස්ගෙ ඇස් නිල් පාටනේ. මට පට්ට ෂුවර් එකක් තිබ්බෙ සැන්ඩ්‍රාගේ ලව බෙන් කියලා.



“උඹේ මේ හුචක්කුව වැඩ කරන්නේ  නෑ, බං,” මම කියන්නෙ බො‍ෆින්ට. “මේ කාමරේ ඇස් වල පාට නිල් හරි දුඹුරු හරි නොවෙන එකෙක්වත් මට නම් පේන්නේ නෑ.”



“අපිට නම් පේනවා,” බො‍ෆින් කියද්දි අනිත් උන් ඔක්කොගෙම ඇස් යොමුවෙලා තියෙන්නෙ මගේ දිහාට.



ඔන්න දැන් මගේ මූණ රතු වේගන එන හැටි මට දැනෙනවා.  පොළොව හාරගෙන යන්න හිතිලා තියෙද්දිත්,  මම අන්තිම ප්‍රශ්ණෙ අහනවා.



“ඌ මහ ගොං, මෝල්, මැට්ටෙක්ද?”



සැන්ඩ්‍රා මේ ප්‍රශ්ණෙන් අපහසුතාවයට පත් වෙනවා. “ඔව්.” ඇය කියන්නෙ ඉතාම පහත් කෙඳිරිලි හඬකින්. “එයාගෙ ඇස් කොළ පාටයි.”

නිමි.

Paul Jennings – Uncovered -Ex-poser.

Simulblogged at මගේ ඩෙනිම for Blogger Lovers.

පසු වදන

ඊයෙ නිවාඩු දවසේ, සතියටම රෙදි මදින ගමන්, මම හෙඩ් ෆෝන් එක කනේ ගහගෙන ලැපියෙන් බලපු BULLETPROOF කියන මූවී එකේ Adam Sandler මෙහෙම කිව්වා මං අහගෙන. World is not black or white as you think. There is a large area of grey, where most people live. (ලෝකෙ උඹ හිතනවා වගේ කලු සුදු එකක් නෙවෙයි බං. ඒකෙ අලුපාටත් තියෙනවා. හුඟක් මිනිස්සු ඉන්නෙ අන්න ඒ ප්‍රදේශයේ) ඇඩම් කිව්වේ මීට සමාන එකක්. මට මතක තියෙන හැටියට මම දැන් ලිව්වේ. ඒක සබ්ටයිටල් තියෙන මූවී එකක් නෙවෙයි. නමුත් අදහස ඒකයි. මෙන්න මේ නිසාමයි අපි හුඟක් වෙලාවට වැරදි පූර්ව නිගමන වලට එළඹෙන්නේ.

මම මේක මුලින් ලිව්වේ කතාවේ පෙර වදන හැටියට. මාතලන් සහ දේශකයා දෙන්නම කිව්වා මේක කතාවෙ මුලට වඩා  අගට තිබ්බා නම් හොඳයි කියලා. ඒක නිසා පෙර වදන පසු වදනක් කලා ඔන්න.

 

ටැග: , ,

16 responses to “131. හොර ඇල්ලීම – Exposer

  1. naleendilruksha

    මැයි 19, 2013 at 7:15 ප.ව.

    හරිම ලස්සන කතාවක් ඩූඩ් හිතන්න බොහෝ දේවල් ඉතිරි කරල තියනවා. ඔබේ පෙරවදනත් නියමෙට ගැලපෙනවා මේකට.

     
  2. hiruni

    මැයි 19, 2013 at 8:12 ප.ව.

    හරිම ලස්සන කතාව ඩුඩ්….මට හිතුනෙම එයා බෙන් ෆොක්ස්ටයි කැමති කියල…ලස්සන අවසානයක්….😀

    මේ වගෙ මෙශින් එකක් හැමෝම ගාව තිබ්බනම් හොදයි නේ??? හිහ් හිහ් හිහ්😀😀😀

    ලස්සන පෙරවදන…මමත් ඕක අහල තියෙනව….ඒක ඇත්තක්…හැමෝම ගාව හොද නරක දෙකම තියෙනව වැදගත් වෙන්නෙ අපි දෙකෙන් කොයි එකද වැඩි කරගන්නෙ කියල…. 🙂

    ලස්සන් පින්තුරෙ…..හරිම කෙටි ගැබුරු කතාවක්….😀😀😀

    ඇයි බෙන් රතු වුනේ…. සමහර විට එයා දන්නව ඇති අනිත් ලමයි එයයි සැන්ඩ්‍රායි අතර සම්බන්දයක් තියෙනව කියල හිතනව කියල…:D😀😀

     
    • henryblogwalker

      මැයි 20, 2013 at 7:18 පෙ.ව.

      බොහොම ස්තුතියි.🙂

      හපොයි නෑ. මේකෙන් නැති අවුල් හුඟාක් ඇති වෙන්න පුලුවන්. නැති තරමට හොඳයි මේ වගේ මෂීන්.

      පින්තූරේ ඇන්දේ ඊයේ ඉස්කෝලෙදි උලුවස්සකට හේත්තු වෙලා ඉන්න ගමන් හිටගෙන.

      බෙන් රතු වුනේ එයා ස්වභාවයෙන්ම ලැජ්ජා ශීලී කොල්ලෙක් නිසා වෙන්නැති, කතා නායකයා අරෙහෙම හිතුවට.

       
  3. wicharaka විචාරක

    මැයි 19, 2013 at 10:55 ප.ව.

    අම්මපා මේ මැසිමක් කීයද දන්නේ නෑ මටත් එකක් ගන්න ඕනෙ අපේ උන්දැත් එක්ක මේ විදිහටම ‘ටැස් කොරලා’ බලන්න.😀😀😀

     
  4. ක්සැන්ඩර්

    මැයි 20, 2013 at 5:20 ප.ව.

    මෙහෙම එකක් තිබ්බනං…….. ලෝකේ පුදුමාකාර ස්වභාවය නැතිවෙනවා. ඒත් අනේ මන්දා.. මට මේ කතාවේ ලොකු ගැඹුරක් තේරෙනවා..

     
    • henryblogwalker

      මැයි 22, 2013 at 7:53 පෙ.ව.

      Lie Detectors ඇත්තටම තියෙන්නේ ක්සැන්ඩර්. ඒක අලුත්ම සොයා ගැනීමකුත් නෙවෙයි මම හිතන්නේ. සමහර lie detector එකේ නීතිමය වලංගුභාවය මම හිතන්නේ රටෙන් රටට ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට වෙනස් වෙනවා.

       
  5. iamdeejay

    මැයි 22, 2013 at 9:56 ප.ව.

    Star World චැනල් එකේ Moment of Truth කියන ප්‍රොගැම් එකේ ඇත්තටම මෙ ලයිඩිටෙක්ටර් එකක් පාවිච්චි කරා. එකට එන අය පුදුම අපහසුතාවයකට පත් වෙනවා ඒ අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න ගියාම. පෞද්ගලිකත්වයක් ඇත්තේම නෑ. හුගක් දෙනකුට තම පවුලේ අයත් සමග තියෙන සම්බන්ධකමත් නැතිවෙලා යනවා ඒ ප්‍රොගැම් එක ඉවර වෙන කොට. 😦

     
  6. ayilas

    මැයි 23, 2013 at 8:01 පෙ.ව.

    සමාවෙයන් මචං පරක්කු උනාට.

    පරිවර්තනය අගෙයි, උඹේ චිත්‍ර කලාව එයටත් වඩා අගෙයි.

     
  7. ජනිත්

    මැයි 24, 2013 at 10:17 පෙ.ව.

    හැ… මරු නේ. මමත් හදන්න ඕන ඔහොම ගැජට් එකක් ..

     
  8. shamithru

    මැයි 28, 2013 at 5:08 ප.ව.

    මා ඈ දිහා බොහෝ වේලාවක් බලාගෙන හිටියා.නිල් ඇස් නොතිබුනාට ,රන්වන් පාට කොන්ඩයක් නොතිබුනාට ඇත්තටම මේ ඉන්නේ මමද ? :O තවටිකක් චබී උනානම් මේ ස්කෙච් එක මං වගේමයි හික් හික්

    ලස්සන කතාවක්🙂

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: