RSS

132.බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

01 Jun
132.බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

ඩැනියි මායි අද උදේ ඉඳන්, මහන්සි නොබලා, පුදුමාකාර කැපවීමකින් මේ සෙට් වෙන්නේ, ඉතිහාසයේ පජාතම විහිළුව කරන්නයි. ඇත්තෙන්ම මේ අදහස මට පහල කර දීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෙ, අම්මට.

අම්මගේ වැඩේ රේඩියෝ එක අහන එක. කුස්සියේ තියෙන මේ රේඩියෝ එක හැම තිස්සෙම වැඩ. අම්මා මොකක් හරි කැත නැතුව අහගෙන ඉන්න පුලුවන් චැනල් එකක් අහනවනම් කමක් නෑ කියාපංකෝ. අම්මා අහන්නෙම අර ගෝල්ඩන් ඕල්ඩීස් , තව විදියකට කියනවානම් පැරණි රසාංග යන BBB FM චුරු චුරුව . B කියන්නේ බෝරිං මිසක් වෙන මොකක්ද? අනික මේ දුක් අඳෝනාවල්! . ඒවා කොච්චර කොච්චර අහං ඉන්න කම්මැලි ඇඬියාවල්ද කිව්වොත්, එයාලා මේ එක එක තරඟ තියලා, මිනිස්සුන්ට අල්ලස් දෙනවා ඒවා අහං ඉන්නවට.

මේ දවස්වල තියෙන ඔය වගේ තර‍ඟෙකට කියන්නේ ‘බෝම්බයද, ඔබද’ (Beat the Bomb!) කියලා. හැම පැයකට සැරයක් එයාලා ‍තෝරාගන්න අසන්නෙකුට කතා කරනවා ෆෝන් එකෙන්. ඒ එක්කම බෝම්බේ ටයිමර්එක ‘ටික්-ටික්’ ගාන්න පටන් ගන්නවා. වරින් වර, තප්පර කීපයකට සැරයක්. අර ටයිමර් එකේ ‘ටික්-ටික්’ හඬට උඩින් ඇහෙන කට හඬක් බලා ඉන්දැද්දි වැඩි වෙන මුදල් ප්‍රමාණයක් කියනවා.

“ටික් ටික් ටික්… ඩොලර් සීයයි, ටික් ටික් ටික් ටික්…ඩොලර් එකසිය පනස් පහයි…ටික් ටික් ටික් ටික්…ඩොලර් දෙසිය තුනයි…ටික් ටික්…” ඔන්න ඔය වගේ.

තරඟකාරයට තියෙන්නෙ බෝම්බෙ පුපුරන්න කලින් “නවත්තන්න” කියලා DJට කියන්න. එහෙම කියන්න කලින් බෝම්බේ පිපුරුනොත් මොකුත්ම නෑ. නමුත් ඊට කලින් ‘නවත්තන්න’ කිව්වොත් අර අන්තිමට කියපු ගාන දිනනවා.

බෝම්බේ තප්පර කීපයකින් පුපුරන්නත් පුලුවන්, විනාඩි බාගෙකින් පුපුරන්නත් පුලුවන්.

මේකෙන් බලන්නේ ටයිමර් එක වැඩි වෙලාවක් දුවන්න අරින්න තරම් ගටක් තියෙනවද කියන එකයි.හැබැයි මම නම් කවදාවත් කවුරුවත් ඩොලර් දෙතුන් සීයකට වඩා දිනනවා දැකලම නෑ. නමුත් ඒ ගාන වුනත් කොච්චර CD තොගයක්ද,කොච්චර චොක්ලට් තොගයක්ද! ආකේඩ් එකෙන් වීඩියෝ ගේමස් කීයක් ගන්න පුලුවන්ද!

තර‍ඟෙට සහභාගි වෙන්න නම් කරන්න තියෙන්නේ තමන්ගේ නමයි ටෙලිෆෝන් නොම්මරෙයි එක්ක BBB FM එකට ලියුමක් යවන එකයි. එයාලා ඒ ලියුම් කුසපත් ඇදලා තරඟකාරයෝ ‍තෝරනවා.

මමත් ලියුම් 15ක් විතර යවලා තියෙනවා. ඒ කියන්නේ මම දිනන්න තියෙන චාන්ස් එක 15 ගුණයකින් වැඩි කරගෙන තියෙන්නේ. වෙන කාටවත් ඔය මොළේ තිබ්බා කියලා මම හිතන්නේ නෑ.

දැන් ඔය කොයි මොහොතේ හරි කුසපත් ඇදිලා මාව තේරෙනකල් බකං නිලාගෙන ඉන්නේ නැතිව, ඩැනියි මායි පට්ට ආතල් එකක් ගන්නයි යන්නේ. අපි ඔය ස්ටේෂන් එකේ තේමා වාදනයයි, දැන්වීම් දෙක තුනකුයි, සින්දු දෙක තුනකුයි රෙකෝඩ් කරගත්තා. ට්‍රයි කරලා බැලුවාම මට ඔය ඩීජේගේ කට හඬත් සෑහෙන දුරට ගන්න පුලුවන්. අපි හදන්නේ අපේ පන්තියේ ඉන්න මාර්වින් බොන්වික්ට ෆෝන් කරලා ඒකා ‘බෝම්බයද, ඔබද’ තරඟයට තේරුනා කියලා අන්දන්න.

ඇයි අපි මේකට වෙන කවුරුවත් නැතුව මාර්වින්වම ‍තෝරාගත්තේ කියලා සරළව කිව්වොත්, ඌ තමයි අපේ බයිට් එක. පොර ෆුල්ම සිරා. ලණු කන්න දෙයියා. ඇත්තෙන්ම අපි ලණුව මුට කවන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. ඌම ඇවිත්ඉල්ලගෙන කනවා.

අපිත් ඉතින් මූව බයිට් කරන එකේ සීමාවක් නෑ.

අර KFC එකේ දෙන්නේ සේවාව අගයන්න කමෙන්ට් ෆෝම් එකක්. ඩැනියයි මායි ඔය ෆෝම් එක අරන් ලියනවා මෙහෙම කමෙන්ට්.

“KFC එකේ සර්විස් එක නම් අන්තිමයි, ගන්නම දෙයක් නෑ. මට කන්න ඕනෙ වුනේ වැව් මාලු. කැෂියර් කාරයා දුන්නේම නෑනේ වැව් මාලු. එයා කියනවනේ මෙහෙ ඇති වැව් මාලුවෙක් නෑ ඕයි, අපි චිකන් තමයි දෙන්නේ කෑවත් නැතත් කියලා. මට හෙන මල.

මීට

මාර්වින් බොන්වික්.

ප. ලි: ඇත්තටම දන්නේ නැති හන්දයි අහන්නේ KFC කියන අකුරු තුනේ තේරුම මොකක්දැ, ඈ?”

මෙහෙම ලියලා අපි ඒකෙ තියෙන සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන අංකය කියන හිස්තැන් ඔක්කොම මාර්වින්ගේ විස්තර වලින් පුරවනවා. අනේ අපිට අහන්න විදියක් නෑනේ ඒ කමෙන්ට් ගැන සාකච්චා කරන්න KFC බුවාලා මාර්වින්ටෆෝන් කලාම ඇතිවෙන දෙබස.

“හරි මචං, එහෙනං පට්ටාං ගම්මු,” ඩැනී කියනවා. වෙලාව 4.10යි.

“ඕකේ,” මම රිසීවරය උස්සලා අංක ඔබනවා.

ඩැනී බක බක ගාලා හිනාවෙනවා.

“ඒයි, කට වහගෙන හිටහංකෝ, බං, වැඩේ අල කරන්නේ නැතුව.” මම ඌට තරව‍ටු කරනවා.

ෆෝන් එක වදිනවා ඇහෙනවා.

“හෙලෝ?”

ගැහැණු කටහඬක්. මර්වින්ගේ අම්මා වෙන්න ඕනෙ.

“හෙලෝ! මම ක්‍රිස් රොබින්ස් කතා කරන්නේ BBB FM එකෙන්, ” මම කියන්නේ මගේ හොඳම FM DJ කටහඬින් . “මට පුලුවන්ද මාර්වින් බොන්වික් එක්ක පොඩ්ඩක් කතා කරන්න?”

“ඕ, පුලුවන්. කරුණාකරලා ඉන්න විනාඩියක්. මා…ර්වී…න්! කෝල් එකා…ක්! එයා විනාඩියෙන් ඒවි.මා…ර්වී…න්!”

“අනිවා, මාර්වින් කාරයා හෝම්වර්ක් කරනවා ඇති මේ වෙලාවෙත්.” මම රිසීවරය අතින් වහගෙන ඩැනීට කියනවා. ඔන්න මාවින් අන්තිමේදි ඇවිත් ෆෝන් එක ගන්නවා.

“හෙලෝ?”

“මාර්වින් බොන්වික්?”

“ඕ…ව්?

“මම ක්‍රිස් රොබින්ස්, BBB FM එකෙන්. ඉතින් කොහොමද මාර්වින් ජීවිතේ?”

“හොඳයි. වරදක් නෑ… නම මොකක්ද කිව්වේ?”

“ක්‍රිස් රොබින්ස්. ඔයාගේ නම කුසපත් ඇදීමෙන් තේරිලා තියෙනවා, මේ පැයේදි ‘බෝම්බයද, ඔබද’ ක්‍රීඩා කරන්න?”

“බොබ්..බෝම්බ.. මොකක්?”

“බෝම්බයද, ඔබද.”

“ඒ මොකක්ද ඒ?”

“ඒ BBB FM එක හැම පැයකටම වරක්, අපේ අසන්නන් වෙනුවෙන් තියන තරඟයක්. ඔයා අහලා ඇති. ඔයා ඒකට අයදුම් කරපු ලියුම මේ දැන් මගේ අතේ තියෙනවා, ඔයාගේ නමත් එක්ක.”

“මට මතක නෑ මම එහෙම ලිවුමක් එව්ව බවක් නම්.”

“එහෙනම් එකත් එකටම, ඔයාගේ හොඳම යාලුවෙක් ඔයා වෙනුවෙන් අපිට අයදුම් පතක් එවන්න ඇති. ඒකෙ ප්‍රශ්ණයක් නෑ? මාර්වින් කැමතිද BBB FM සමග වාසනාව උරගා බලන්න?”

“ඔව් කැමතියි.” මාර්වින් කියනවා.

“හොඳයි මාර්වින්, එහෙනම් සූදානමින් ඉන්න. අපි තව මොහොතකින් ඔයාගේ කටහඬ ගුවනට මුසු කරනවා. ඊට කලින් අපේ අනුග්‍රාහක භවතුන්ගේ ප්‍රචාරක දැන්වීම් කීපයකුත්, ඉන් පස්සේ අපේ BBB FM තේමා වාදනයත් ඔයාට ඇහේවි. තේමා වාදනයට පස්සේ අපි තරඟය පටන් ගන්නවා… ම්ම්ම්… ඒක නෙවෙයි මාර්වින්, තව පොඩි දෙයක් තියෙනවා.”

“ඕ…ව්?”

“ඔයාගේ රේඩියෝ එක ඕෆ් කරන්න. මොකද අපි තප්පර 10ක ප්‍රමාදයක් ඇතිව විකාශනය කරගෙන යන නිසා රේඩියෝ එකදාලා තිබ්බොත් ඒක තරමක් පැටලිලි සහගත වෙන්න පුලුවන්.”

“හරි.”

මම ඩැනීට අතින් කියනවා ටේප් රෙකෝඩරයේ PLAY බොත්තම ඔබන්න. ඩැනී බොත්තම ඔබලා ස්පීකරය ටෙලිෆෝන් රිසීවරය ආසන්නයට ගේනවා. මුලින්ම ‘චීපීස් – කාපට් පිරිසිදු කිරීමේ අග තැන්පත් විශේෂඥයෝ’ දැන්වීම.

“මම හිතන්නේ මචෝ පොර ලණුව ගිල්ලා,” මම ඩැනීගේ කනට කොඳුරනවා.

කාපට් දැන්වීමට පස්සේ, සුපර් මාකට් දැන්වීමක්. ඊ ලඟට BBB FM තේමා වාදනය.

අන්න ඒකෙ නම් නියම අභ්‍යාවකාශ ගතියක් තියෙන්නේ. හරියට වල්ගා තරුයි, උල්කාපාතයි කණ ලඟින් යනවා වගේ. “BBB FM, Taking you back to the sixties and seventies.. ටැං ටිං ‍ටුං ටිංගලිං ලිං” මේ මුලු චැනල් එකේම මට නම් අහගෙන ඉන්න පුලුවන් එකකට තියෙන්නේ ඔච්චරයි.

“සුභ සන්ධ්‍යාවක්,” මම පටන් ගන්නවා. මේ ඔබේ ප්‍රියතම චැනලය BBB FM. මම ක්‍රිස් රොබින්ස්. මේ පැයේ, ‘බෝම්බයද, ඔබද’ තරඟ කිරීමට දුරකථනය ඔස්සේ අප සමඟ එකතු වෙලා ඉන්නවා මාර්වින් බොන්වික්. ඉතින් කොහොමද

මාර්වී?”

“වරදක් නෑ.”

“බොහොම හොඳයි! මොනවද අද හවස කරන්න හිතාගෙන ඉන්නේ මාර්වි?”

“එහෙමට විශේෂ දෙයක් නෑ.”

“නියමයි! ලෑස්තිද බෝම්බයද ඔබද ක්‍රීඩා කරන්න?”

“ඔව්.”

“හොඳයි, ඔයා දන්නවනේ තරඟයේ නීති රීති, නේද මාර්වි?”

“නෑ,” මාර්වින් කියනවා.

නෙද්දකිං මැට්ටා!

“ඔන්න අපි මුලින්ම බෝම්බයේ ටයිමරය ඔන් කරනවා. එවෙලෙ ඉඳන් ඔයාට දිනන්න පුලුවන් මුදල් ප්‍රමාණය ඉහල යනවා. සල්ලි ඇති කියලා ඔයාට හිතෙන ඕනෙ වෙලාවක ඔයාට පුලුවන් ‘නවත්වන්න’ කියලා අපට කියන්න. එතකොට ඔයා, අපි අන්තිමට සඳහන් කරපු මුදල දිනනවා. නමුත් ඔයා බෝම්බය පුපුරනකල්ම ටයිමරයට දුවන්න ඉඩ දුන්නොත්, ඔයා පරාදයි. කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.”

“හරි, ප්‍රශ්නයක් නෑ.”

“හොඳයි එහෙනම් මෙන්න අපි ටයිමරය ඔන් කරනවා.”

ඩැනී ටේප් රෙකෝඩරයේ PLAY බොත්තම ඔබනවා.

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

ඩැනී කාඩ්බෝඩ් බටයක් අරගෙන ඒකෙ එක කොණකට කට තියලා අනිත් කොණ ටෙලිෆෝන් රිසීවරේට තියලා “ඩොලර් සීයයි.” කියනවා. බටේ දිගේ එන ඩැනීගේ කටහඬ දෝංකාරෙත් එක්ක ඇහෙන්නේ අභ්‍යවකාශයේ ඉඳලා කතා කරනවා වගේ. අපේ විහිළුවල තියෙන ගතිය ඕකයි. අපි මේ පොඩි දේවල් ගැන පවා හිතනවා.

මාර්වින් සද්ද නැතිව ඉන්නවා.

ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් එකසිය හැට තුනයි,” ඩැනී කියනවා. මූත් මාර ආතල් එකක් ගන්න බව පේනවා ඒක කියලා.

ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් තුන්සිය පහළොවයි”

ටික් ටික්…ටික් ටික්…

ටෙලිෆෝනය නිහඬයි.

එක්කෝ මාර්වින්ට මාර ගටක් තියෙන්නේ, නැතිනම් මූ මාර කුණු ලෝබයෙක්!

මේ වෙනකොට හුඟාක් තරඟ කාරයෝ “නවත්තන්න” කියන වචනේ කියලා.

“ඩොලර් තුන්සිය අසූ තුනයි.”

ඩැනී මා දිහා බලනවා. මම උරහිස් හකුලනවා.

“ඩොලර් හාරසිය හතලිස් හතරයි.” ඩැනී කියනවා.

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් පන්සීයයි.”

“නවත්තන්න.” මාර්වින් කියනවා.

මම ටේප් එක නවත්වන්න ඩැනීට සංඥා කරනවා.

“මාර්වින්?”

“ඔව්?”

“ඔයා දන්නවද ඔයා දැන් කරපු දේ?”

“ඇයි මම මොකුත්වැ‍රැද්දක් කලාද?”

“හඃ හඃ! වැ‍රැද්දක්? මාර්වින් ඔයා ඩොලර් පන්සීයක් දිනුවා. මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ඒ ගැන?”

“ෂාහ්! නියමයිනේ! මාරයිනේ! මට මේක අදහගන්නත් බෑ. මමීඊඊඊඊඊඊඊ… මම ඩොලර් පන්සීයක් දිනුවා.”

මාර්වින්ගේ අම්මා සතුටින් කෑ ගහන හඬ මට පසුබිමින් ඇහෙනවා. කොච්චර සද්දෙද කිව්වොත් මම රිසීවරේ කනෙන් පොඩ්ඩක් ඈත් කරලා අල්ලාගන්නවා.

ඒ කෑ ගැහිල්ල ඩැනියාටත් ඇහිලා, ඌ බිම පෙරලි පෙරලි හිනා වෙනවා.

“ඒක නෙවෙයි මාර්වි,” මම කියනවා. “ඔයා මොනවද කරන්න යන්නේ මේ මුදලින්?”

“මම දන්නේ නෑ,”මාර්වින්ගේ කට හඬ සතුටින් පිරිලා.”මම දන්නේ නෑ. මම කවදාවත් මේ වගේ තෑග්ගක් දිනලා නෑ.”

“එහෙනම් අපේ උණුසුම් සුභ පැතුම් මාර්වින්. අපිට ඔයා ගැන තව විස්තර ටිකක් අවශ්‍ය කරන නිසා තව පොඩ්ඩක් වෙලා අපිත් එක්ක ‍රැඳිලා ඉන්න. එතෙක් ඔබේ රසාස්වාදයට සඳහාම අපි ඔබට ගීතයක් ඉදිරිපත් කරනවා. මෙන්න එල්ටන් ජෝන්, ක්‍රොකඩයිල් රොක් සමඟ. මේ මාර්වින් බොන්වික් වගේම, ඔබේත් සිහින සැබෑ කරන, BBB FM උණුසුම් සුභ පැතුම්, මාර්වින්!”

“බොහෝම, බොහෝම ස්තුතියි යාළු!”

ඩැනී එල්ටන් ජෝන්ගේ ක්‍රොකඩයිල් රොක් ගීතය වාදනය කරනවා

I remember when rock was young
Me and Suzie had so much fun
holding hands and skimming stones
Had an old gold Chevy and a place of my own
But the biggest kick I ever got…

…when Suzie wore her dresses tight
and the Crocodile Rocking was out of sight
na-na-na-na-na-na na-na-na-na-na na-na-na-na-na

එල්ටන් ජෝන්ගේ කඬ ක්‍රමයෙන් අඩුවෙලා නැතිව යනවා.

andyanddannyමම එතකොටම, “හියැක් හික් හූ…මෝඩයෝ, උඹ අහුවුනා නේද ලෙසටම? අපි උඹට ලණුවක් දුන්නේ මැට්ටෝ,” කියලා කියන්න කට අරිනකොටම මට ඇහෙනවා අමුතු හඬක් ටෙලිෆෝන් රිසීවරය හරහා. හරියට කවුරු හරි ඉකි ගගහ අඬනවා වගේ. මට ඒ එක්කම ඇහෙනවා මාර්වින්ගේ කට හඬ.

“අඬන්න එපා මමී. අඬන්න එපා. ඇයි මමී සතු‍ටු වෙන්න ඕනෙ වෙලාවේ අඬන්නේ?”

“මට හරිම සතු‍ටුයි, මාර්වින්,” අම්මා කියනවා ඇහෙනවා.

එහෙනම් එයා අඬන්නේ?

ඩැනියා දිව විකාගෙන බිම පෙරළෙමින් හිනාවෙනවා. මට බයයි මූට හිනාවෙලාම මොනවා හරි වෙයි කියලා.

“ෂ්ෂ්ෂ්ෂ්… කට වහගෙන ඉඳිංකෝ, පොඩ්ඩක්?”

“ඇයි, මොකෝ බං?”ඩැනියා හිනා අතරින් අහනවා.

“දන්නේ නෑ. පොඩ්ඩක් හිටිංකෝ මචං සද්දේ වහගෙන.”

ඩැනී මූණ ඇද කර ගන්නවා.

“මාර්වින්, ඔයා අහගෙනද ඉන්නේ?” මම රිසීවරයට කියනවා.

“ඔව් ඔව්, මමී පොඩ්ඩක් මේ අප්සෙට් වුනා ඒකයි?”

“ඔව් ඔව්, මට තේරුණා. ඩොලර් පන්සීයක් කියන්නේ සෑහෙන මුදලක්නේ.”

“ඔව්,” මාර්වින් කියනවා. “විශේෂයෙන්ම අපි වගේ අයට. ඇත්තෙන්ම ඩැඩී නැතිවුනාට පස්සෙ අපි පුදුම සටනක් ගෙනියන්නේ ජීවත් වෙන්න. මමී පණ යනකල් වැඩ කරලයි යන්තම් වේල පිරිමහගන්නෙත්. මේ සල්ලි ඇත්තෙන්ම අපිට ලොකුම, ලොකු දෙයක්. ඔයා ඇත්තටම දන්නේ නෑ ක්‍රිස්, අපිට ඒක කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා, මේ වෙලාවේ.”

මාර්වින් කතාකරන වචනයක් පාසා මගේ හුලං බහිනවා වගේ මට තේරෙනවා. අපි කරපු කුජීත විහිළුව ගැන මට ඉවසන්න බැරි ලැජ්ජාවක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් මම කොහොමද දන්නේ මාර්වින්ගේ තාත්තා නැතිවෙලා බව? ඒකා අපිට එහෙම කතාවක් කියලා නෑනේ. හරි, ඉතින් එහෙම කියන්නත් අපි ඌත් එක්ක ලඟින් ආශ්‍රය කරලා තියෙන එකක්යැ, හැකි හැම තිස්සෙම ඌව බයිට් එකට ගන්නවා ඇර? නමුත් මට පිටින්වත් ආරංචි වුනේ නැති හැටි!

“ඔ…ඔ…ඔව්. අහ්…ම්ම්ම්.. ඔව්. ඔබට උදව්වක් කරන්න හැකිවීම ගැන අප්‍රමාණව සතු‍ටුයි අපටත්. දැන් අපිට කියන ඔබේ නිවැරදි ලිපිනය මාර්වින්.”

වෙන මොනවද මම කියන්නේ? වෙන මොනවද මම මේකට එකතු කරන්නේ? මුලදි හිතා හිටිය “හියැක් හික් හූ…මෝඩයෝ, උඹ අහුවුනා නේද ලෙසටම? අපි උඹට ලණුවක් දුන්නේ මැට්ටෝ,” කියන කෑල්ලෙ මීට විනාඩි කීපයකට කලින් තිබ්බ ආතල් එක දැන් කොහෙ ගියාද නෑ.

ඇන්ඩියි ඩැනියි මේකෙන් ගැලවෙන්නෙ කොහොමද? මී ලඟ කොටසින් බලා පොරොත්තු වන්න.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ, Just Joking කෙටි කතා එකතුවේ පළවූ BEAT THE BOMB කතාවේ සිංහලානුවාදයි.

 

ටැග: , ,

10 responses to “132.බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

  1. ක්සැන්ඩර්

    ජූනි 1, 2013 at 10:25 පෙ.ව.

    මාර සංවේදියි නේද මේ කතාවේ අන්තිම. මේ අර කලින් අපි අඳුරන ඇන්ඩ් ම ද?

     
    • ක්සැන්ඩර්

      ජූනි 1, 2013 at 1:09 ප.ව.

      මේකේ ඇන්ඩ් නිකම් ඩුඩ් වගේමනේ.🙂

       
      • henryblogwalker

        ජූනි 1, 2013 at 8:00 ප.ව.

        ඔව් ක්සැන්ඩර්. මේ ඒ ඇන්ඩිම තමයි. ඔය කතාව මේක simulblog කරපු මගේ ඩෙනිමෙදිත් සෑහෙන දෙනක් කියල තියෙනවා. ඇත්තෙන්ම බං මම එහෙම හිතලම ඇන්දෙ නෑ. මේකත් ග්‍රැ‍ෆික්ස් ටැබ්ලට් එකෙන් නෙවෙයි , මහ රෑ කොලේක පෑනෙන් ඇඳපු එකක්.

        ඒක නෙවෙයි. දැන් උඹ ලියන්නෙම නෑනේ බං.

         
        • ක්සැන්ඩර්

          ජූනි 2, 2013 at 11:54 පෙ.ව.

          මොකෙන් ඇන්දත් වැඩේ මල් හතයි. ලියන්න ආයේ අදහසක් නෑ ඩුඩ්. පහුගිය ටිකේ බ්ලොග් හින්ද වෙච්ච දේවල් දැකල ගොඩක් කලකිරුණා.

           
  2. DDT

    ජූනි 2, 2013 at 12:21 පෙ.ව.

    ෂෙහ් … මේක පාළුවට ගිහින්නේ දැන්. මමත් නිකමට බලල යන්න ආපු ගමන් මේ කමෙන්ට් එක දැම්මෙ. කතාව කියවල කමෙන්ට් එක ඩෙනිමටම දැම්ම හවස.

    චිත්තරේ ලොකුවට දාලා තියෙන නිසයි හොඳට දැක්කෙ, මේ noise ඉෆෙක්ට් එක ඔයා ඇඩ්කරලද ඔය. අනෙක මහ රෑ එකටත් ෆොටෝ අල්ල අල්ල ඉන්නෙ මොකද මේ දවස්වල නින්ද යනව හොරයිද?

     
    • DDT

      ජූනි 2, 2013 at 12:28 පෙ.ව.

      අනේ ඩූඩ් ඔයා ඔය යටින් නම දාපු ෆොන්ට් එක මට ඇටෑච් කරල එවන්නකෝ මේලක්, අකමැති නැත්නම්. නැත්නම් ඒකෙ නම හරි කියන්නකෝ, මම හොයා ගන්න බලන්න.

       
      • henryblogwalker

        ජූනි 2, 2013 at 10:12 පෙ.ව.

        >>අකමැති නැත්නම්<<මට මේ කෑල්ලට නම් ටිකක් විතර තද වුනා. ඇයි බං මම ගුරු මුෂ්ඨි තියාගන්නවද?

        DDT, මේක digital signature එකක්. මමත් මේක ඉස්සෙල්ලම දැක්කෙ Red Riding Hood ගෙ බ්ලොගේ.
        උඹට තියෙන්නේ ඔය මගේ signature එක උඩ කොටන්න. කෙලින්ම උඹ ඒ සයිට් එකේ. ගිහින් එකක් හදාගනින්

         
        • DDT

          ජූනි 2, 2013 at 10:39 පෙ.ව.

          එසේද, මම හිතුවෙ අර මාරු කර කර චිත්‍රවල හංවඩුව ගහන ‍ෆොන්ට්ස් වගේ එකක් කියල. ගොහින් බලමි. මටත් අවශ්‍ය උනේ ඒ ෆොන්ට් එකෙන් නමක් ලියා ගන්න තමයි. ඒක ලස්සනට ආවොත් මගේ වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. ස්තූතියි හෙන්රි අයියා.

           
  3. Ano

    ජූනි 2, 2013 at 12:48 ප.ව.

    //Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

    මේකේ ලින්ක් එක වැරදී. ඒක හදන්න.

     
    • henryblogwalker

      ජූනි 2, 2013 at 5:57 ප.ව.

      🙂 බොහෝම ස්තුතියි ඇනෝ ඒක දැකලා කිව්වට. ඔන්න හැදුවා. හැබැයි ඒක වුනේ කොහොමද කියලා නම් මට හිතාගන්න බැරි, දැන් ඇලෙව්වෙත් ඒ ලින්ක් එකම නිසයි. කොහොම හරි දැන් මම හදලා චෙක් කරලත් බැලුවා.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: