RSS

Daily Archives: ජූනි 7, 2013

133. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.

133. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.

ඩැනී හිනාව නතර කරලා මා දිහා ඔරවාගෙන බලා ඉන්නේ මට පිස්සුද කියලා වෙන්න ඕනෙ.

(මේ කතාවේ අගක් මුල තේරෙන්නේ නැතිනම්, මෙතනින් යන්න මුල් කොටසට.)

“මොකක්? ඩැනී අහනවා.

මම අතින් කියනවා ඩැනීට කට වහගන්න කියලා.

“ස්තුතියි මාර්වි,” මම කියනවා. මේ තෑගි මුදල ඔබ අතට පත් කරන්නේ කොහොමද කියන එක, අපි ඉදිරි දින කීපය ඇතුලත ඔබ අපට ලබා දීපු ලිපිනයට දැනුම් දෙනවා.

“ක්‍රිස්,” මාර්වි කියනවා. “ඔයා අද මගේ මමීගෙයි, මගෙයි සිත් මේ තරම් සතු‍ටු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා.”

“සුළු දෙයක් මාර්වි,” කියන මම රිසීවරය තියනවා.

“උඹට පිස්සුද බං? ඩැනී කෑගහනවා. “උඹට මඤ්ඤංද?”

“මාර්වින්ගේ තාත්තා නෑ.”

“ඉතිං?”

“ඉතිං උන්ට ඇත්තෙන්ම සල්ලි ඕනෙ.”

“ඉතිං උඹ ගොනා වගේ පොරොන්දු වුනා ඩොලර් පන්සීයක් උන්ට දෙන්න?”

මම ඔලුව වනලා අනුමත කරනවා.

“අම්මා ගහයි කී බෝඩ් එකෙන්,” කියන ඩැනී ඔලුව දෙපැත්තට වනන්නේ කට ඇද කරගෙන. “යකෝ, උඹත් කරන්නේ මහ…”

“මාර්වියගේ අම්මා අඬනවා ඩැනී. මාර්වින් කියනවා ඒ දෙන්නා පුදුම සටනක්ලු දෙන්නෙ ජීවිතේ ගැට ගහ ගන්න. ඉතිං මම කොහොමද බං කටක් ඇරලා කියන්නේ, අපි විහිලුවක් කලේ , ඕවා ගනං ගන්න එපා කියලා? මට බෑ බං ඩැනී එහෙම කරන්න.”

“ඉතිං හරකෝ උඹ හදන්නේ කරපු පොඩි විහිලුව පොඩ්ඩක් ගැස්සිලා ගිහිල්ලා චාටර් වෙලා, උඹට දුක හිතුන නිසා, ඒ මිනිස්සුන්ට ඩොලර් පන්සීයක් යවන්නද?”

“මේක පොඩි විහිළුවක් නෙවෙයි මචං. මේක අපි ඉල්ලගෙන කාපු, මහා පරිමානේ, මෙගා චාටර් එකක්.”

“මම කියන්නද වැඩක් ඕකට?”

“කියපං බලන්න.”

“අපි මොකුත් නොකර, සද්ද නොකර ඉම්මු, එතකොට ඕකට නිදහසට කරුණු කියන්න ඕනෙත් නෑ. අපියි ගින්න දුන්නෙ කියලා මාට්‍ටු වෙන්නේත් නෑ.”

“හරි, උන් රේඩියෝ ස්ටේෂන් එකට කතා කරල ඇහුවොත්?”

“අවුලක් නෑනේ බං. උන් මේ ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑනේ. මාර්වියට තේරෙයි කවුරු හරි ඌට අණ්ඩරයක් දීපු බව.”

“ඒ වුනාට ඒක මහ පජාත වැඩක් බං. නිකං හිතපං ඌට මොනවා හිතෙයිද කියලා. ඒක නිකං මේ තමන් ලණුවක් ගිල්ලා කියලා දැනගත්තට වඩා අප්සෙට් වැඩක්නේ බං. අනික ඒ මිනිස්සු විඳලා තියෙන කරදර මදිවට! අපිට මේ සල්ලි යවන්න වෙනවා.”

“උඹ කොහොමද මේ සල්ලි හොයන්නේ කියලා මට කියහං බලන්න. බැංකුවක් බිඳලා?”

“නෑ. අපි කාර් හෝදමු. ලෝන් වල තණකොළ කපමු. අපේ දෙන්නගෙම පොකට් මනි දාමු, ඊට පස්සෙ ඒ සල්ලි වැඩිම පොළියක් දෙන බැංකුවක දාමු. එතකොට ඔය ගාන හොයන එක අපිට මහා ගේමක් වෙන එකක් නෑ.”

“අපිට?” ඩැනී අහනවා.

“ඇයි මොකද?”

“උඹනේ කෝල් එක දුන්නේ.”

“උඹ ඒකට සප් එක දුන්නේ නැද්ද?”

“උඹේනේ ඔය ගොං අයිඩියා එක.”

“උඹට තිබුනනේ මාව නවත්තන්න.”

ඩැනියා උගේම ඔලුවට අත්දෙකෙන්ම චටාස් පටාස් ගාලා පාරවල් කීපයක් ගහගෙන අත් දෙකෙන්ම ඔලුවබදා ගන්නවා.

“උඹ කියන්නේ ඇන්ඩි, අපිට කාර් කීයක් හෝදන්න වෙයි කියලද ඔය ගාන හොයන්න?”

DSC_0133upload

මම ඒකට උත්තරයක් දෙන්න කලින් ෆෝන් එක වදිනවා මහා හඬින්. අපි දෙන්නම තිගැස්සෙනවා.

“හෙලෝ.”

“මට ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ට කතා කරන්න පුලුවන්ද?”

“කතා කරනවා.”

“හෙලෝ ඇන්ඩි, මම ක්‍රිස් රොබින්ස් BBB FM එකෙන්.”

මගේ බඩ එක පාරටම හිරි වැටිලා යනවා වගේ මට දැනෙනවා. වැඩේ ගස් වගේ. මේකා කොහොමද දැනගත්තේ මම ඒකා වගේ පෙනී ඉඳලා වංචාවක් කලා කියලා? මාර්වින් ආපහු කෝල් එකක් අරන් චෙක් කරන්න ඇති මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. බොරුවක් බව දැනගත්ත ගමන් මාව සැක කරන්න ඇති.

“කවුද බං ඒ ගමන ඔය?” ඩැනී අහන්නේ මගෙන්. මම රිසීවරය අතින් වහගන්නවා.

“ක්‍රිස් රොබින්ස් බං. බුවා සීන් එක දැනගෙන වගේ. දැන් මං මොකක්ද කියන්නේ?”

“කතා කරපං. පොරට ඒක ඔප්පු කරන්න බෑනේ.”

“ඇන්ඩි, ” ක්‍රිස් අහනවා. “ඔයා අහගෙනද ඉන්නේ?”

“ඔව් ඔව්. මේ අහගෙන ඉන්නේ.”

“මම හිතුවා සද්දයක් නැති වෙනකොට ඩිස්කනෙක්ට් වුනාවත්ද කියලා.”

“නෑ. මට මේ පුදුම හිතුනා, ඒකයි. ඉතින් ක්‍රිස් මගෙන් මොනවද කෙරෙන්න ඕනේ?”

“ම්ම්ම්… මම මේ දැන් කුසපත් ඇදලා ඔයාගේ නම ‍තෝරාගත්තා ‘බෝම්බයයි-ඔබයි’ ක්‍රීඩා කරන්න. නමුත් ඔයා අකමැතිනම්…”

“පිස්සු කතා කරනවද ක්‍රිස්?” මට කෑ ගැස්සෙනවා. “මම අකමැති වෙන්නෙ මොකෝ? “

මේක නම් හීනයක් වගේ. මෙහෙම දෙයක් වෙන්න පුලුවන් සම්භාවිතාවය කීයද? මිලියනයකට එකක්? හපොයි වෙන්න බෑ. සමහරවිට ට්‍රිලියනයකට එකක් වගේ…

“හොඳයි ඇන්ඩි, එහෙනම් සූදානමින් ඉන්න. අපි තව මොහොතකින් ඔයාගේ කටහඬ ගුවනට මුසු කරනවා. ඊට කලින් අපේ අනුග්‍රාහක භවතුන්ගේ ප්‍රචාරක දැන්වීම් කීපයකුත්, ඉන් පස්සේ අපේ BBB FM තේමා වාදනයත් ඔයාට ඇහේවි. තේමා වාදනයට පස්සේ අපි තරඟය පටන් ගන්නවා… ම්ම්ම්… ඒක නෙවෙයි ඇන්ඩි තව පොඩි දෙයක් තියෙනවා.”

“ඕව්?”

“ඔයාගේ රේඩියෝ එක ඕෆ් කරන්න. මොකද අපි තප්පර 10ක ප්‍රමාදයක් ඇතිව විකාශනය කරගෙන යන නිසා රේඩියෝ එකදාලා තිබ්බොත් ඒක තරමක් පැටලිලි සහගත වෙන්න පුලුවන්.”

“හරි.”

ටෙලිෆෝන් රිසීවරය තුලින් මට ඇහෙන ‘චීපීස් – කාපට් පිරිසිදු කිරීමේ අග තැන්පත් විශේෂඥයෝ’ දැන්වීමේ, පුදුමාකාර සමීප බවක්, හුරුපුරුදු බවක් මට දැනෙන්නේ. මේ මොහොතේ ඩැනියා මා ලඟම හිටියේ නැති නම්, මම අනිවා සැක කරන්නේ ඌ මාව අන්දන්න හදනවා කියලා.

ඔන්න සුපර් මාකට් දැන්වීමට පස්සේ BBB FM තේමා වාදනය. වල්ගාතරු, සමග උල්කාපාත නැවතත්…”BBB FM, Taking you back to the sixties and seventies.. ටැං ටිං ‍ටුං ටිංගලිං ලිං”

ක්‍රිස් රොබින්ස්ගේ හඬ.

“සුභ සන්ධ්‍යාවක්. මේ ඔබේ ප්‍රියතම චැනලය BBB FM. මම ක්‍රිස් රොබින්ස්. මේ පැයේ, ‘බෝම්බයද- ඔබද’ තරඟ කිරීමට දුරකථනය ඔස්සේ අප සමඟ එකතු වෙලා ඉන්නවා, ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් . ඉතින් කොහොමද ඇන්ඩි?”

“හොඳින් ඉන්නවා.”

“අහන්නත් සතු‍ටුයි, අද හවස මොනවත් විශේෂ දෙයක් කලාද ඇන්ඩි?”

කොහොමද මම මේ යකාට කිව්වොත්, අද හවස මම බුවා වගේ රඟපාලා ෆෝන් එකෙන් එකෙකුට බෝම්බයද ඔබද ලණුවක් ගිල්ලවලයි මේ ඉන්නේ කියලා. පට්ට අයිඩියා එක, නමුත් මට මේ සල්ලි ඕනෙ කරනවා මේ මොහොතේ.

“එහෙමට දෙයක් කලේ නෑ.”

“නියමයි, නියමයි! ලෑස්තිද බෝම්බයයි-ඔබයි ක්‍රීඩා කරන්න?”

“මම ලෑස්තියි.”

“හොඳයි එහෙනම් – ඇන්ඩි දන්නවනේ තරඟයේ නීති රීති, නේද?”

“ඔව් මම දන්නවා,”

මම එහෙම කිව්වත් ක්‍රිස් නීති රීති නැවත මතක් කරනවා.

“හොඳයි එහෙනම් මෙන්න අපි ටයිමරය ඔන් කරනවා.”

ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් විස්සයි,” අභ්‍යාවකාශයෙන් එන හඬ කියනවා.

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

මට හිතෙනවා විස්සෙන් සෑහීමකට පත්වෙලා ටයිමරේ නවත්තන්න කියන්න. මේ බෝම්බ විශ්වාස කරන්න බෑ. සමහර වෙලාවට ‍ෆියුස් එක හරිම කොටයි. ඩෝං ගාලා පුපුරනවා.

“ඩොලර් විසි පහයි.”

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් එකසිය හතලිස් අටයි.”

දැන් නම් මට මේක නවත්තන්නම ඕනෙ. නමුත් කට ඇරියට වචන පිටවෙන්නේ නෑ. මාව ගල් ගැහිලා. අනේ මට තව…

“ඩොලර් දෙසිය අනූවයි”

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් හාරසිය හැට හයයි.”

දැන් නම් ‘ටික්-ටික්’ සද්දේ මගේ කන් බිහිරි කරවන තරම් . දැන් කොයි වෙලාවේ හරි බෝම්බේ පුපුරනවා. මගේ කෑලි කාමරේ පුරාම විසිරිලා යාවි. ඒත් මම ගොලුවෙලා.

“ඩොලර් පන්සිය දෙකයි.”

මට තවත් ඉන්න බෑ.

“නවත්තන්ඩෝ.” මම කෑගහන්නේ යටි ගිරියෙන්.

“ඇන්ඩි?”

“ඔව්?”

“ඔයා දන්නවද ඔයා දැන් කරපු දේ?”

“ඔව්,” මම කියන්නේ හීනෙන් වගේ.

“ඇන්ඩි ඔයා ඩොලර් පන්සිය දෙකක් දිනුවා. මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ඒ ගැන?”

මම ආයෙම ගොලු වෙලා.

ඩැනියා උඩ පනිනවා.

“කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

“කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

“කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

“කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

“ඩොලර් පන්සිය දෙකයි.” මම කියනවා.

ඩැනියා හූ කියමින් උඩ පනිනවා.

“දාපං පහාක්! දාපං පහාක්” ඩැනියගෙයි මගේයි අත්ලවල්, අපේ හිස් වලට උඩ අවකාසෙදි ‘චටාස්’ හඬින් එකට ගැටෙනවා.

“ඒක නෙවෙයි ඇන්ඩි,” ක්‍රිස් කියනවා. “ඔයා මොනවද කරන්න යන්නේ මේ මුදලින්?”

එවරස්ට් කන්ද තරම් උස මාර්ස් චොක්ලට් බාර් කන්දක් මගේ ඇස් ඉදිරිපිට මැවිලා, ටිකකින් මතුවෙන දැවැන්ද සීඩී කුලුනකටත්, පපුවට දෝයි දෝයි ගාලා වදින සබ් වූෆර් එකක් තියෙන, කං අඩි පැලෙන චැනල් 5.1 සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක හඬ සමගත් මුසු වෙනවා. ඩිහ්හ්-ඩිග්ග්, ඩිහ්හ්-ඩිග්ග්, ට්ෂ්-ට්ෂ්, ඩිහ්හ්-ඩිග්ග්, ඩිහ්හ්…ඒ දර්ශනය මැකී ගිහින් මතුවෙන්නේ ඇස් නිලංකාර කරමින් දැල්වෙන, නිවෙන, පාට පාට එලි, මල් වෙඩි සමග, ආර්කේඩ් එකේ ගත කරන සති අන්තයක්.

ඒත් ඒ එක්කම මට මතක් වෙනවා…

මාර්වින්වයි අම්මවයි.

“මට ඒක හරියට කියන්න බෑ, ක්‍රිස්,” මම කියනවා. “සමහරවිට මම ඒක මගේ යාලුවෙකුට දෙන්නත් ඉඩ තියෙනවා.”

ඩැනී ඇහිබැම උඩ දානවා.

“ඒක ඔයාගේ කැමැත්තක් ඇන්ඩි.” ක්‍රිස් කියනවා. “එහෙනම් අපේ උණුසුම් සුභ පැතුම්! අපිට ඔයා ගැන තව විස්තර ටිකක් අවශ්‍ය කරන නිසා තව පොඩ්ඩක් වෙලා අපිත් එක්ක රැඳිලා ඉන්න. එතෙක් ඔබේ රසාස්වාදයට සඳහාම අපි ඔබට ගීතයක් ඉදිරිපත් කරනවා. ඇන්ඩි, ටොම් ජෝන්ස්ට කැමතිද?

මට ටොම් ජෝන්ස් පේන්න බෑ. නමුත් ඩොලර් පන්සිය දෙකකට මම ඕනෙ දෙයක් කියන්න ලෑස්තියි අද.

“ටොම් ජෝන්ස්ට කැමතිද? කැමතිද නෙවෙයි මම පට්ට ලයික්! ටොම් ජෝන්ස් මගේ ෆේවරිට්”

“ඇත්තට? එහෙනම් මේ ඔබ වෙනුවෙන්මයි. ටොම් ජෝන්ස්, ඒ උපන් ගමේ නිල් තණ යාය ගැන ගයන්නට,” ක්‍රිස්ගෙ වචන ඇහෙන්නේදැනටම පටන් ගත්ත ටොම් ජෝන්ස්ගේ Green Green Grass of Home ගීතයේ ආරම්භයට උඩින්.

“මේ ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ෆ්ගේ වගේම, ඔබේත්, ඔබේ මිතුරන්ගේත් සිහින සැබෑ කරන, BBB FM!

The old home town looks the same (උණුසුම් සුභ පැතුම්, ඇන්ඩි!”)

as I step down from the train,“(ස්තුතියි, ක්‍රිස්.”)

and there to meet me is my Mama and Papa.

Down the road I look and there runs Mary

Hair of gold and lips like cherries.

It’s good to touch the green, green grass of home.

Yes, they’ll all come to meet me, arms reaching, smiling sweetly.

It’s good to touch the green, green grass of home.

The old house is still standing

tho’ the paint is cracked and dry,

and there’s that old oak tree I used to play on.

Down the lane I walk with my sweet Mary,

Hair of gold and lips like cherries.

It’s good to touch the green, green grass of home.

Yes, they’ll all come to meet me,

arms reaching, smiling sweetly.

It’s good to touch the green, green grass of home…

Then I awake and look around me

At four gray walls that surround me

And I realize – yes – that I was only dreaming.

For there’s a guard and there’s a sad old padre

Arm in arm we’ll walk at daybreak.

Again I’ll touch the green, green grass of home.

Yes, they’ll all come to see me in the shade of that old oak tree

As they’ll lay me neath the green, greeeen gra…ss o…..f ho…me.

මට කැරකිල්ල වගේ. මම මේ ලෝකෙ ඉන්න ලොකුම වාසනාවන්තයද, නැතිනම් ලොකුම අවාසනාවන්තයද කියලා මම කල්පනා කරනවා.

හරි මම ටොම් ජෝන්ස්ට කැමතියි කියලා, ගල්-පැලෙන-පට්ට-පල්-බේගලයක් අතාරින්න වෙච්ච එකත් කමක් නෑ කියාපංකො. මේ මගේ නමින් ටොම් ජෝන්ස්ගේ සින්දුවක් දාපු එක නම් අන්තිම ශෝචනීයයි! මම කොහොමද හෙට ඉඳන් අනිත් උන්ට මූණ පෙන්නන්නෙ? ඇඬෙනවා තනි ඇහැට!

“උඹ ඒ සල්ලි මට දෙන්නද යන්නේ, මචං?” ඩැනී අහන්නේ කට කනේ තියාගෙන. උගේ කෙල කාපට් එකට බේරෙන්නෙ ඔන්න මෙන්න!

“පිස්සුද උඹට,” මම කියනවා. “කවුද එහෙම කතාවක් කිව්වේ?”

“ඇයි දැන් උඹනේ කිව්වේ, උඹ ඒ සල්ලි යාලුවෙකුට දෙන්න යනවා කියලා.”

“ඔව්, ඒ වුනාට ඒ උඹට නෙවෙයි.”

“එහෙනම් කාටද?”

“මාර්වින්ට.”

ඩැනියගේ කට ඇරිලා නිකට බිම ඇතිල්ලෙන්නම.

“අනේ ප්..පලයං බොරු නොකියා.”

“බොරු නෙවෙයි මචං. ඇත්ත.”

“ඒ ඔක්කොම සල්ලි?”

“නෑ. ඔක්කොම නෙවෙයි. අපි මාර්වින්ගේ ණය ගෙව්වට පස්සෙ, ඩොලර් දෙකක් ඉතුරු වෙනවා. උඹ කැමති නම් මම උඹට ඒකෙන් හරියටම බාගයක් දෙන්නම්.”

“තැංක් යූ මචං.” ඩැනියා කියන්නේ බිම බලාගෙන. “උඹ නම් නියම බොක්කක්.”

“අයියෝ, ඕවා නම් මොනවද මචං?. ඔහොමත් නැතිනම් මොනවටද අපේ යාලුකං?

නිමි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ, Just Joking කෙටි කතා එකතුවේ පළවූ BEAT THE BOMB කතාවේ සිංහලානුවාදයි.

 

ටැග: , ,