RSS

140. පච්චේ – BORN TO DIE – 1

24 Aug
140. පච්චේ – BORN TO DIE – 1

මෙදා පොටේ දුන්න බැටේ, ඈ. ඔන්න ඉඳලා ඉඳලා අන්තිමේදි වැඩේ ගොඩදාගත්තයි කියහංකෝ. මම මේක කරගන්න කාලයක් තිස්සේ පෙරුම් පුරලා, පුරලා, කල් දාලා, දාලා, අන්තිමේදි අද උදේ වැඩේ කලා

ඕං දැන් මටත් පච්චයක් තියෙනවා.

ඒකෙ තියෙන්නේ හිස් කබලක්. ඒකට ඉහලින් ගානට රවුමට කැරකිලා ගිය රාජාලි ත‍ටු දෙකක්. හිස් කබලේ ඇස් කුහරවල පතුලේ කොළපාට භයංකාර ඇස්ගෙඩි දෙකක්. දෙපැත්තෙන් උඩට නැවිලා රාජාලි ත‍ටු දිහාට යන හීනි රතු උඩු ‍රැවුලක්. හිස් කබලේ යට BORN TO DIE කියලා කියලා ලියපු පොඩී රිබන් එකක් වගේ බැනර් එකක්.

borntodie

මේකට මහ ගානක් ගියෙත් නෑ. වෙනදට ඩොලර් දෙකයි සත අනූපහට දෙන පච්චේ, අද TARGET එකේ සේල් දාලා තිබ්බ සත අනූ නමයකට.හොඳම දේ තමයි, මේක ගහගන්න ගිහින් චූට්ටක්වත් රිදුන්නැති එක.

ඔන්න ඉස්සෙල්ලම, අර උඩින් අලෝලා තියෙන ඉටි කොලේ ගලෝලා දාලා, ඇලෙන පැත්ත හමට තියලා තද කරනවා. ඊට පස්සේ, තෙත ස්පොන්ජ් එකකින් පච්චේ පොඟවලා, තප්පර තිහක් ඉඳලා, චිරිස් ගාලා කොලේ ඇදලා ගලවලා දානවා.

හරි හරි ඉතිං, මේක ඇත්ත පච්චයක් නෙවෙයි තමා. නමුත් මේකේ වෙනස හොයන්න බැරි තරම් තාත්විකයි. පුදුම වැඩේ කියන්නේ, මේක ගැහුවට පස්සේ මට මාර වෙනසක් දැනෙන එක. මට දැනෙනවා මම වෙනදට වඩා විශාලයි වගේ, ශක්තිමත් වගේ, නිර්භීතයි වගේ. කොටින්ම වෙනදට නැති පොරත්වයක් දැනෙනවා. මට මේ වගේ සිරාම සිරා පච්චයක් තියෙන බව දකින කිසිම එකෙක්, අදින් පස්සේ නම් මගේ ඇහැට වැලි ගහලා, මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් උස්සන්න හීනෙකින්වත් හිතන එකක් නෑ. හරි හරී. මට මේ මොහොතේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති බව ඇත්ත. නමුත් අදින් පස්සේ තත්වේ වෙනස්වෙයි. මට ෂුවර්, මේ පච්චේ දැක්ක ගමන්, ඉස්කෝලේ කෙල්ලෝ එකා පිට එකා වැටිලා මගේ පස්සෙන් එන්න ගනී කියලා, කෙල්ලො විතරක් නෙවෙයි, ටීචර්ස්ලා පවා…

පැකට් එකේ ගහලා තියෙන්නේ මේක දවස් ගානක් පවතිනවා කියලයි. ඒ කියන්නේ කල්පාන්තරයක්! ඒකෙම තියෙනවා පවුලේ අයව, යාලුවන්ව විශ්මයට පත් කරන්න පුලුවන් කියලා. නමුත් මගේ අදහස පවුලේ අයවවත්, යාලුවන්වවත් විශ්මයට පත් කරන්න නෙවෙයි. මගේ සතුරන්ව විශ්මයට පත් කරන්නයි. ඒ කියන්නේ ස්ටීව් ලික් සහ රොබට් ලීච් බාන තමයි.

ස්ටීව් ලික් ඉන්නේ කන්ද පාමුල. පොර මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් වුනත් ඌයි මායි කාලයක් එකට වල බැස්සා, ඔය සති අන්තවල. පස්සේ තමයි පොරට ඔය රොබට් ලීච් සෙට් වුනේ.

කන්දේ එහා පැත්තේ ඉන්න රොබට් ලීච්, කම්බි වලින් හදපු කපු‍ටු කූඩුවක් වගේ කොණ්ඩයක් තියෙන පොරක්. පොරගේ මූණ හරියට මීයෙකුගේ වගේ. හීනි උල් නහය. එලියට නෙරපු දුඹුරු පාට ඇස්. බුවාට ‍ෆිෆ්ටීන් ස්පීඩ් රේසිං බයික් එකක් තියෙන හන්දයි, සිගරට් බොන හන්දයි, බුවා හෙන පොරක් කියලා ඇඳලා ඉන්නේ. බුවාට මාව දිරවන්නේ නෑ. දිරවන්නේ නෑ නෙවෙයි, මාව පේන්න බෑ, ඇලර්ජික්! මම දන්නේ නෑ ඇයි කියලා. මම උපන්න වැ‍රැද්දට වෙන්නැති.

මෑතකදි ඉඳන් මුන් දෙන්නා කන්ද පාමුල ලික්ගේ ගේ ගාවා ඉඳන් බලං ඉන්නවා මං එනකල්. මුං දෙන්න මට යන්න දෙන්නෙම නෑ පාස්වර්ඩ් එක කියනකල්. අදයි කියලා වෙනසක් නෑ, මම වංගුවෙන් ඒ පාරට හැරෙනකොටම මට පේනවා මුං දෙන්නා බලං ඉන්න හැටි මං එනකල්. ලීච් පේව්මන්ට් එකේ මැද බිම ඉඳගෙන කට උල් කරගෙන සිගරට් දුම් වළලු යවනවා එකක් පිටිපස්සේ එකක්. ලික්, කහපාට ප්ලාස්ටික් බාල්දියක් අතේ තියාගෙන ලියුම් පෙට්ටියට හේත්තු වෙලා ඉන්නවා. මම පාරේ එහා පැත්තට මාරු වුනත් ඕකුන් ටක් ගාලා ඒ පැත්තට ඇවිත් මාව අල්ලාගන්න බව මම දන්නවා. මම හදන්නේ මුංව ගණං නොගෙන, නොදැක්ක පාට් එකෙන් යන්න.

“හප්පට සිරි බොල,” ලීච් කියනවා. “මේ අපේ පරණ බොක්ක ඇන්ඩියා නේද?”

ලික් හිකි හිකි ගානවා.

“මට මෙතනින් යන්න ඉඩ දෙනවද පොඩ්ඩක්?” කියන මම, ලීච්ව මග ඇරලා වටෙන් යන්න හදනකොටම ලීච්ගේ අත විදුලි වේගයෙන් දික්වෙලා මගේ වළලුකරින් අල්ලා ගන්නවා.

“මොකෝ මේ හදිස්සිය?” ඒ ලීච්. “අනේ කරුණාකරලා කියාපං.”

“අනේ කරුණාකරලා,” මම කියන්නේ කෙලින්ම ඉස්සරහ බලාගෙන.

‘අනේ, අනේ මට අනුකම්පාකරලා කියාපං.”

‘අනේ, අනේ මට අනුකම්පාකරලා.”

‘අනේ, අනේ සර් මට අනුකම්පාකරලා කියාපං.”

මේ කතාව තව සෑහෙන්න ඇදි ඇදි යන එකක් බව මම අත්දැකීමෙන් දන්නවා. නමුත් අද මං ‍රැග් වෙන්න ඕනේ නෑ මෙච්චර සිරා පච්චෙකුත් තියාගෙන. මම ගානක් නැතුව කූල් පිට ජර්සියේ අත උඩට රෝල් කරනවා. ඔය තියෙන්නේ පච්චේ දිළිසි දිළිසි! හිස්කබලේ ඇස් වලින් ගිණි පිටවෙනවා වගේ පේනවා.

“හරි හරි, අනං මනං ඕනේ නෑ. අයිං වෙයල්ලා මට යන්න මෙතනිං. නැතිනං…”

ලීච් හිනාවෙනවා.

“ඇයි, නැතිනං මොකෝ?”

හෝ ගාලා කෝච්චියක් වගේ දුම් වළලු යවන පොර මගේ පච්චේ දකින්නේ නෑ. නමුත් මට පේනවා ලික් එක දැකපු බව, මොකද බුවා දැනටමත් අඩි දෙකක් පස්සට අරං!

“ඒයි, ලීච්, ඔය ඇති.”

ලීච් හිනාව නවත්තනවා.

“ඈ?”

ලික්, ලීච් ලඟට ගිහින් කණට කොඳුරනවා.

ලීච් දඩි බිඩි ගාලා පේව්මන්ට් එකෙන් නැගිටිනවා. විශ්මයෙන් රවුම් වෙච්ච උගේ ඇස් රැඳිලා තියෙන්නේ මගේ පච්චේ. ලීච් අඩි කීපයක් පස්සට යනවා.

“දැංවත් මට ගියෑකිද?”

“ඔ…ඔ…ඔව්වොව්. අපි මේ පොඩි අ.. විහිළුවක් කලේ. මේ…මේ නිකං ජොලියට.”

“ජොලියට? උඹලා ජොලිය කියන්නේ මේ වගේ පජාත වැඩ වලටද?”

ලීචුයි ලිකුයි දෙන්නම හරියට බය වෙච්ච හා පැටව් දෙන්නෙක් වගේ ගල් ගැහිල බලා ඉන්නවා. මුං දෙන්නා ඇත්තටම බය වෙලා තියෙන්නේ මගේ පච්චෙටද නැතිනම් පච්චේ නිසා මගේ හැසිරීමේ ඇතිවෙලා තියෙන වෙනස් කමටද කියන එක මට හරියටම කියන්න අමාරුයි. මට කොහොම වුනත් කමක් නෑ. මම මැණික් ක‍ටුව නව නවා අතේ මස් පිඬු පුම්බන්න උත්සාහ කරනවා. නමුත් ඒක මම හිතන තරම් ලේසි නෑ. මොකද පිම්බෙන්න දෙයක් නැති නිසා. නමුත් හිස්කබලට පණ ඇවිත් වගේ සතුටින් නලියන්න පටං අරන්. හරි නම් මම බය වෙලා ඉන්න ඕනෙ මේ මොහොතේ, මට දැනෙන්නෙ අමුතුම සැහැල්ලු, නිශ්චල ගතියක්. හරියට මට ඕනෙම දෙයක් කරන්න බලයක් ලැබිලා වගේ. ඔව්. මට ඕනෙ නම් පුලුවන් මම මෙච්චර කල් කාපු චාටරේට හරියන්න මුන්ට අමතක නොවෙන පාඩමක් උගන්නන්නත්!

ලික්ගේ අතේ තවමත් කහපාට බාල්දිය.

“මොනවද ඔය බාල්දියේ?” මම අහන්නේ පොර වගේ.

“හ…හංගොල්ලෝ.” ලික් කියන්නේ පහත් හඬින්.

“මොනවටද?” මම අහන්නේ උත්තරේ නොදැන නෙවෙයි. මුං අර නට්සි වදකාගාරවල වගේ හංගොල්ලො මරන්න අලුත්ම, ජරාම ක්‍රම අත්හදා බලලා අමුතුම කික් එකක් ලබනවා කියලා මම දන්නවා.

“ම්ම්ම්…අපේ තාත්තා තමයි කිව්වේ මුංව එකතු කරන්න කියලා එයාගේ රෝස පාත්තිය විනාශ කරන නිසා.”

“අනේ මේ, මට ඔය බබා පාට් නොදා ඕකුන්ට යන්න දීපං.”

ලික් ලීච් දිහා බලනවා. ලීච් ඔලුව වනලා හා කියනවා. ලික් බාල්දිය අනිත් පැත්ත හරවනවා. අලු පාට, පුශ්ඨිමත් හංගොල්ලො විස්සක් විතර බඩවැටියට හැලෙනවා. එක ගුලියට හිටපු උං අමාරුවෙන් එකිනෙකාගෙන් වෙන් වෙලා යන්න දඟලනවා දකින මම ඔලුව දෙපැත්තට වනන්නේ අප්‍රසාදයෙන්.

“උඹලට කොහොමද මම දන්නේ නෑ. මට නම් මේ වැඩේ අල්ලන්නේ නෑ.”

දෙන්නම සද්ද නෑ.

“මට අල්ලන්නේම නැති අනිත් වැඩේ තමයි, උඹලා හැමදාම මං එනකල් මග ‍රැකගෙන ඉඳලා මාව අල්ලගෙන ගොං ආතල් ගන්න එක. ඒ වැඩේ වහාම නවත්තපල්ලා, මාව මාරයෙක් කර නොගෙන.”

“සොරි මචං,” ලික් කියනවා. “ඕවා ඔක්කොම හරියන්නත් එක්ක යං අපේ ගෙදරට ගොඩ වෙලා මිල්ක් ෂේක් එකක් බොන්න.”

හරි නම් මම කලයුත්තේ දැන් මෙතනින් පිටත් වෙලා කන්ද නැගගෙන ගෙදර යන එක වුනත්, මට මේ අලුතින් ලැබිච්ච බලය පාවිච්චි කරලා ගන්න මේ ආතල් අතහැරලා යන්න ලෝබ හිතෙනවා. ලික් මාත් එක්ක වලබහින කාලේ ඌ හදලා දීපු සීතල මිල්ක් ෂේක්වල රස මට දැනෙනවා වගේ. අපරාදේ කියන්න බෑ ඌට ඒක නම් නියමෙට පිහිටලා තියෙනවා. පුරවපු මෝල්ට් තේ හැඳි දෙකයි, බිත්තර, අයිස්ක්‍රීම්, තව චොකලට් සිරප් බෝතල් බාගයක් විතර…

ඊලඟට මොකද වෙන්නේ? දින කීපයක් ඉවසපල්ලා ඈ. පේනවනේ පච්චේ?

banner 2

Simulblogged @ මගේ ඩෙනිම for Blogger lovers

 
ප්‍රතිචාර 3

Posted by මත අගෝස්තු 24, 2013 in Andy Griffiths, පරිවර්තන

 

ටැග: , ,

3 responses to “140. පච්චේ – BORN TO DIE – 1

  1. Itnishantha

    අගෝස්තු 25, 2013 at 3:23 ප.ව.

    නොදකින්..මාතෘකාව දැක්ක ගමන් මම හිතුවේ උඹ සිරාවට පච්චයක් ගැහුවා කියලා. තවමත් අඳිනවානේ අම්මපල්ල අපි…;(

     
  2. Naleen Dilruksha

    අගෝස්තු 25, 2013 at 7:54 ප.ව.

    එක එක කාලවල මාත් ඔය පච්ච ගහගන හිටියා. මට නං වුණේ ගෙදරින් බර බරේ විතරයි. බලන කොට මේ ඇන්ඩියත් පිට එකෙක් නොවේ අපි අපිම තමයි.

     
  3. hiruni

    සැප්තැම්බර් 7, 2013 at 11:12 ප.ව.

    පච්චෙට තියෙන බය නැති වෙලා යයිද දන්නේ නෑ පච්චෙ මැකිල ගියාම😀

    හරිම ලස්සන කතාව ඩුඩ්😀😀 : D

    මිල්ක් ශේක් පේරේතකමට ගිහින් මොනවහරි වෙයිද දන්නේ නෑ. අපරාදෙ එහෙමම ගෙදර ගියා නම් හොදයි වගේ….😀😀😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: