RSS

141.පච්චේ – BORN TO DIE – Part 2

01 Sep

DSCN3507_2_2

“නියම අදහස!”

(මේ නියම අදහස මොකක්ද කියලා හිතාගන්න බැරි අය කරුණාකරලා ගිහිල්ලා පළවෙනි කොටස කියවලා එන්න මෙතනින්.)

“හරි, මම ගිහින් එකක් හදාගෙන එන්නං විනාඩියෙං.” ලික් කියනවා.

“මහ්ම්, මෙතනට ගේන්නෙපා,” මම කියනවා. “අවුලක් නැතිනම් ගෙට ගිහිල්ලම බොමු. අද මාර රස්නයක් තියෙන්නේ එළියේ.”

දෙන්නම මූණට මූණ බලාගන්නවා.

“හයියෝ කිසි ප්‍රශ්ණයක් නෑ ඇන්ඩි,” ලික් කැමැත්ත දෙනවා.” යං, යං ගෙට.”

අපි ගල් අතුරපු පාර දිගේ, ගේ දිහාට ඇවිදගෙන යනවා. මටම පුදුමයි මම පෙන්වන සංසුන්බාවය ගැන. මම මොනතරම් ‘කූල්’ පිටද මේක ගන්නේ කියන එක මටත් අදහාගන්න බෑ.

සාලෙට ඇතුල් වුන ගමන්ම, මම කෙලින්ම ගිහින්, තියෙන සැපම පු‍ටුවට පතිතවෙලා, කකුල් දෙක ගන්නවා ස්ටූල් එක උඩට . ස්ටූල් එක උඩ තියෙන සඟරා ගොන්න මම පයින් ඇනලා බිමට දානවා.

“හරි, උඹ මිල්ක්ෂේක් එක හදාගෙන එනකල් මම මෙතන ඉන්නවා.”

“එළ එළ, බොසා. කිසි අවුලක් නෑ,” කියන ලික් කුස්සියට යනවා.

රිමෝට් එක අතට අරන් ටීවී එක දාන මම සද්දේ උපරිමේට වැඩි කරනවා.

“මේ ඇන්ඩි, මචං,”දොරෙන් ඔලුව දාන ලික් බෙරිහන්දෙනවා.

“මොකද?”

“මචං, ඕක පොඩ්ඩක් අඩු කරන්න බැරිද?”

“බෑ. මම කැමති මේ ගානට.”

ටීවී රිමෝට් එක මගෙන් උදුරගෙන, ඒක මගේ උගුර දිගේ බස්සනවද, නැද්ද, කියලා හිත හදාගන්න බැරිව ලික් බලා ඉන්නවා.

“ඇයි, මොකෝ උඹට අවුල්ද?”

“න්…නෑහ්. කිසි අවුලක් නෑ. උඹනේ අපේ ගෙදරට අමුත්තා. මොන ෆ්ලේවර් එකෙන්ද උඹේ මිල්ක් ෂේක් එක ඕනේ?”

“වෙන මොනවද බං? චොකලට් තමයි.”

“හරි මචං. පට් ගාලා ගේනවා,” කියන ලික් කුස්සියට අතුරුදහන් වෙනවා.

මම රිමෝට් එකේ බොත්තම් ඔබාගෙන ඔබාගෙන යනවා. චැනල් 2 වල පෙන්නන්නේ Playschool. අද කට්ටිය කුකබුරාලට ඇඳලා සින්දුවක් කියනවා.

Kookaburra sits on the old gum tree
Merry merry king of the bush is, he

අද රජා මම වෙච්චි කොට, කුකබුරාට කොහොම හිතෙනවා ඇද්ද කියලා හිතා ගන්න මට අමාරු නෑ. ලික්, ලීච් බාන මගේ යටත් වැසියෝ. මම කියන ඕනෙම දේකට මුං අද කැමති වෙන්න ඕනේ. මම තව ටිකක් වෙලා Playschool බලා ඉඳලා ටීවී එක නිවලා දානවා..

“ඒයි, මොකෝ බං මෙච්චර වෙලා කරන්නේ?” මම කෑ ගහනවා.

“බඩු හරි මචං. මේ ගේනවා.” ලීච් කෑ ගහනවා කුස්සියේ ඉඳං.

මට ඇහෙනවා බ්ලෙන්ඩර් එකේ සද්දේ. ඒ සද්දෙට මගේ කටට කෙළ උනනවා. ස්ටීව් ලික්ගේ මිල්ක්ෂේක් එකට ගහන්න නම් ආයේ…

බ්ලෙන්ඩරේ හඬ නවතිනවා.

“මට ඔය බ්ලෙන්ඩර් එකේම හෙම අරං එන්නෙපා. හොඳට හෝදපු වීදුරුවකට දාගෙන වරෙල්ලා ස්ට්‍රෝ එකකුත් දාලා මතක ඇතුව.”

“හරි හරි බොස්.”

මිල්ක් ෂේක් එක බන්දේසියක තියාගත්ත ලීච් පෙර‍ටු කරගෙන ලික් සාලෙට ඇතුල්වෙනවා. ලීච් බන්දේසිය ස්ටූල් එක උඩ තියනවා.

දික් අතට දාර වැ‍ටුන, අර පරණ තාලේ වීදුරුවකට දාපු මිල්ක් ෂේක් එකට, අර ඕනේ අතකට නවන්න පුලුවන් බටේකුත් දාලා. චොක්ලට් අයිස්ක්‍රීම් ලොකු හැන්දක්ම මිල්ක්ෂේක් එක මුදුනේ පාවෙනවා.

ලික් ට්‍රේ එකෙන් වීදුරුව අරං මගේ අතට දෙනවා. ඊට පස්සේ දෙන්නම මගේ පු‍ටුව දෙපැත්තෙන් දණ ගහගෙන මා දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා.

“ඉතිං පොඩ්ඩක් අයිං වෙනවද මට මේක බොන්න?”

“හරි හරි,” කිව්වට දෙන්නා එහෙමමයි.

“එහෙනම් මොනවද උඹලා බලං ඉන්නේ.”

“අපි බලා ඉන්නේ බොසා ඕක බොන හැටි,” ලික් කියනවා.

“අපි බලා ඉන්නේ බොසා ඕක ‘රස විඳින’ හැටි,” ලීච් කියනවා.

ලීච් ‘රස විඳින’ කියන කෑල්ල කිව්ව විදිය, ස්වරය මට එච්චර ඇල්ලුවේ නෑ.

මම පච්චේ හොඳට පේන විදියට මගේ අත ඉස්සරහට දික් කරන්නේ, කවුද මෙතන බොස් කියන එක මෙතන කොයි කාට හරි මොහොතකටවත් අමතක වෙලා නම්, මතක් වෙන්න. පණිවුඩය හරියට ලැබුනද කියලා සැක හැර ගන්න මම පළමුව උන් දෙන්න දිහාත්, දෙවනුව මගේ පච්චය දිහාත් බලලා, ආපහු උන් දෙන්නා දිහා බලනවා.

නමුත් මුන් දෙන්නා බක බක ගාලා හිනාවෙන්න ගන්නවා දකින මගේ ඇඟ හිරි වැටීගෙන යනවා.

“මටත් කියාපල්ලා බලන්න මොකක්ද විහිලුව කියලා,” මම කියනවා.

“අපි කියමුද එහෙනම්?” ලික් අහනවා.

“කියමු,” ලීච් කියනවා. “මම හිතන්නේ අපි ඒක කියන්නම ඕනේ. නැත්නම් පව්!”

ලීච් කමිස අත උඩට අදිනවා…

ලික් කමිස අත උඩට අදිනවා…

උන් දෙන්නගේම අත්වල, හරියටම මගේ පච්චේ තියෙන තැනම වගේ තියෙනවා කොළ පාට ඇස් එක්ක රතු දිග උඩු ‍රැවුලක් තියෙන හිස් කබලෙ පච්චේ, BORN TO DIE රිබන් බැනර් එකට උඩින් දිළිසි දිළිසි!

මම උන් දිහා බලනවා.

උන් මා දිහා බලනවා.

කාමරය නිහඬයි, අල්පෙනෙත්තක් බිම වැ‍ටුනත් ඇහෙන ගානට.

“හරි. තවත් බල බල ඉන්නෙ නැතුව බොන්ට සෑර්! තිබහත් ඇතිනේ. අපිට පරක්කුත් වෙනවා.” ඒ ලික්.

“ම්ම්ම්, මෙහෙමයි ලික්, එහෙම නම් බොහොම ස්තුතියි මිල්ක්ෂේක් එකටයි, ම්ම්ම්…, මට කරපු ආගන්තුක සත්කාර වලටයි. මට ඇත්තටම ඒ හැටි තිබහක් නෑ. මං ගියා නම් හොඳයි.” කියන මම නැගිටින්න පු‍ටුවේ ඉස්සරහට නැඹුරු වුනත් ලික් මාව ආපහු පු‍ටුවටම තල්ලු කරනවා.

“අනේ බං එහෙම හරි නෑනේ, අපි මෙච්චරත් මහන්සි වෙලා. ඔය කිව්වට උඹට මේ මිල්ක්ෂේක් එක බීලා යන්න බැරි තරම් හදිස්සියක් තියෙන්න බෑ. අපරාදෙනෙ මචං.”

“මේ අහපල්ලකො දෙන්නම. මට ඇත්තටම යන්න ඕනේ. මට පරක්කු වෙනවා මචංලා.”

“හුම් ඇත්තට?” ලික් කියනවා. “බීපං ඕක.”

අනිත් දඬුවම් එක්ක බැලුවාම මිල්ක්ෂේක් එකක් බොන එක මොන දඬුවමක්ද? මම වීදුරුව කටට ලං කරනවා. තොල් වල බීම ගෑවෙනකොටම ලීච් කට හඬ අවදි කරනවා.

“හැබැයි පොඩීඊඊඊඊඊ දෙයක් නම් කියන්න තියෙනවා. බොසා අපිට සමාවෙන්ටෝනැ. ගේ හරියේ තිබ්බේ නෑ ඕකට දාන්න චොක්ලට් සිරප් ඇබින්දක් හොයා ගන්න.”

හදිසියෙම මගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙනවා මට දැනෙනවා.

“ඒකෙ අවුලක් නෑ.” මම කියන්නේ සංසුන්බව පිටතට පෙන්නන්න හැම උත්සාහයක්ම දරමින්. “මොනවද ඒ වෙනුවට දැම්මේ, ඉතින්?”

“හංගොල්ලො.” ලීච් කියනවා. “හා, දැං බීපිය ඕක!”

නිමි.

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියූ “Just Joking” කෙටි කතා සංග්‍රහයේ පළවූ Born to Die කෙටි කතාවේ සිංහල අනුවාදයයි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger lovers

 
ප්‍රතිචාර 10

Posted by මත සැප්තැම්බර් 1, 2013 in Andy Griffiths, ජොලි කතා, පරිවර්තන

 

ටැග: , ,

10 responses to “141.පච්චේ – BORN TO DIE – Part 2

  1. වයලීනෝ

    සැප්තැම්බර් 1, 2013 at 2:51 ප.ව.

    එල . පරිවර්තනයක් උනාට ඒක දැනෙන්නේ නැතිවෙන්න පස්ටෙට ලියලා තියෙනවා .

     
  2. සෑම්

    සැප්තැම්බර් 1, 2013 at 7:48 ප.ව.

    හංගොල්ලා.. ඇල්ලුවත් අත කපන්න හිතෙන ජාතියෙ සතෙක් බං.. උබෙ පරිවර්ථන හැකියාව ගැන හැමදාම කියන්න බැහැ බං..

    හංගොල්ලට කියන් ඉංගිරිසි නම??

     
    • henryblogwalker

      සැප්තැම්බර් 1, 2013 at 9:32 ප.ව.

      උඹ දන්නවනම් හංගොලල්ගේ තියෙන ගුණාගුණ උමත් ප්ලාස්ටික් බාල්දියක් අරං හංගොල්ලො දඩයමේ යනවා.

      ඉංග්‍රීසියෙන් slug.

       
  3. Altair

    සැප්තැම්බර් 2, 2013 at 6:52 පෙ.ව.

    මෙහෙටත් ආවෝ!

     
  4. Naleen Dilruksha

    සැප්තැම්බර් 2, 2013 at 2:00 ප.ව.

    මේ කොටස් දෙකම පරිවර්තනයක් කියන්නත් බැරි තරමට අපට සමීප බවක් දැනෙන්නේ….. හරියට හෙන්රිට වුණා කියලමයි හැගෙන්නේ. ඒ තරමටම පරිවර්තනය සාර්තකයි මචෝ…

     
  5. Naleen Dilruksha

    සැප්තැම්බර් 2, 2013 at 2:01 ප.ව.

    කමෙන්ට් එක ගිල්ලෝ ස්පෑම් වල බලන්න

     
  6. ayilasa

    සැප්තැම්බර් 3, 2013 at 7:56 පෙ.ව.

    හරිම ලස්සනයි මචෝ කතාව. මට නිකමට වගේ හිතුනා මේකා ඉල්ලගෙන කන්න යන්නේ කියලා.

     
  7. hiruni

    සැප්තැම්බර් 7, 2013 at 11:42 ප.ව.

    ශිහ් හන්ගොල්ලො මිල්ක් ශේක්….😀😀😀

    අර දෙන්න බය පෙන්නල තියෙන්නෙ බොරුවට කියල නිකන් වත් හිතුනෙ නෑනේ😀😀😀

    හරිම ලස්සන පින්තුරෙ ඩුඩ්…කතාවට හොදට ගැලපෙනව😀😀😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: