RSS

147. රෑ මැදියම ජල මෙහෙයුම: නිවාඩු කාලේ කතා.

12 Jan

උදේ පටන් අරන්, එක සීරුවට, ගොඩබිමින් මුහුදෙන් සහ අහසෙන්, ගුවන් තො‍ටුපලවල්, තො‍ටුපොලවල් හරහා කෙරුන ගම රට බලා එන ගමන අවසානයේ අපි තුන්දෙනාගෙම හොඳ පණ ගිහින් හිටියේ. බලාපොරොත්තු පොදි බැඳගෙන අවුරුද්දකට සැරයක් ගෙදර එන ගමනේ ආතල් එක කඩන්නම හැමදාම සෙට් වෙන, නැතිනම් කරන  ටිකටිං ප්‍රශ්ණ, බුකිං ප්‍රශ්ණ වලට මුහුණ දීලා ගෙදර ඇවිත් ඇඳට වැටෙන්නේ කොයිවෙලේද කියලා අපි බලාගෙන හිටියේ. ක‍ටුනායක ඉඳලා ගෙදර එන ගමනුත් ලීටර් පහේ වතුර බෝතලයක්  ගන්න මට මග දිගට කීප වතාවක්ම ගුවන් තො‍ටුපොළ ටැක්සි සේවයෙන් කුළියට ගත්ත වෑන් එකෙන් බහින්න සිද්ද වුනා. දවාලකට නම් සුළු දෙයක් වුනත් මහ රෑ හන්දා ඒකත් පුදුම දුශ්කර ක්‍රියාවක්. අන්තිමේදි ගෙදරට පය ගහනොකොට මැදියම් රෑත් පහුවෙලා. ටැක්සිය පිටත් වෙලා ගියාට පස්සෙ අපි තුන්දෙනා බෑග් ගොන්න  සාලෙට ඇදගෙන ගිහින් දැම්මා.

ලයිට් නම් වැඩ. ඒත් ටැප්වල වතුර නෑ. මේක අසාමාන්‍ය දෙයක් නෙවෙයි අවුරුද්දකට පස්සේ ගෙදර එනකොට. මට කරන්න තියෙන්නේ  වහලේ උඩ  තියෙන ටැංකියේ ඉතිරිවෙලා තියෙන වතුර ටිකම පාවිච්චි කරලා වතුර ලයින් එක පුරවන එක. මම ඒ වැඩේටම විශේෂයෙන් වෙනම වෑල්ව් එකක් හෙම දාපු ප්‍රයිමිං පොයින්ට් එකක් හදලාත් තියෙන්නේ. ඒකත් හරි නොගියොත් ඉතින් ලිඳට ගිහින් වතුර බෝතලයක් අරන් ඇවිත් පුරවන එකයි තියෙන්නේ. හැබැයි සමහර අවුරුදුවල ඔය මොකුත්ම නැතුව නිකම්ම මෝටරේ ගහපු ගමන් බඩු වැඩ.

වල් වැවිලා, කොළ පිරිලා තිබුණු මිඳුල  හරහා යන්න අපි ටෝච් එක පාවිච්චි කලේ වැඩි ආරක්ෂාවට. බිරිඳ ගේ ඇතුලේ මකුළු දැල් , දූවිල්ල එක්ක සටන් කරද්දි, පුතයි මමයි වතුර ගන්න මෙහෙයුමක යෙදුනා එලියේ.

උඩ ටැංකියෙ වතුරෙන් සක්ෂන් ලයින් එක පුරවන එක හරි නොගියේ උඩ ටැංකිය හිස්  නිසයි.  මම ලිඳට ගිහින් මෙගා කෝක් බෝතලේකට වතුර ගෙනත් ලයින් එකට වක් කලා. නමුත් වෙනදා වගේ ලයින් එක කටට පිරිලා උතුරලා ගියේ නෑ. වතුර ගුරු ගුරු හඬක් නගමින් අතුරුදහන් වුනා,ලීටර් පහේ වතුර බෝතල් පහ හයක්ම වක් කරලත් ප්‍රතිඵලය එකම හන්දා ඊ ලඟට අපි කලේ අර දැවැන්ත ප්ලාස්ටික් ෂීට්රොක් බාල්දියකට වතුර අරන් එන එක. පුතයි මායි දෙන්නම දෙපැත්තෙන් උස්සගෙන ආවත්, මේ ෂීට්රොක් බාල්දියෙන් වතුර අදින එක නම් ඉල කැඩෙන වැඩක් වුනා. කොයි ක්‍රමයෙන් හෝ වතුර ලබාගන්න ඕනේ හන්දා අපි දෙන්නා එක්ක , උදේ ඉඳන් ඇඳගෙන හිටපු සපත්තු ඇතුලට වතුර පිරිලා චිරි චිරි ගාද්දිත්, කලිසම් කකුල් තෙමිලා ඇඟටම ඇලෙද්දිත් එක සීරුවට වතුර ඇද්දා.

මුලු බාල්දියෙම වතුර දැම්මත් සිද්ද වුනේ පයිප් ලයින් එක ගුඩු ගුඩු ගාලා වතුර බීපු එක විතරයි. කොයිකටත් කියලා අපි වරින් වර වතුර මෝටරෙත් ගහලා බැලුවේ මොන ප්‍රාතිහාර්යයකින් හරි වතුර ඇදිලා ඇවිත් උඩ ටැංකියට වතුර පිරෙන සුන්දර සංගීතය දැන් අහන්න පුලුවන්වෙයි කියන බලාපොරොත්තුවෙන්. කොහෙද! වතුර මෝටරෙන් එන්නේ වියළි හඬක්. අලි මදිවට හරක් කියලා මෝටරෙත් පිච්චෙයි කියලා බයට අපි මෝටරේ ඕෆ්  කරලා දැම්මා.

“මොකද කියන්නේ පුතේ, අපි තව එක වතුර බාල්දියක් ගෙනත් දාලා බලමුද?” මට වගේම මහන්සියේ තරමට ප්‍රතිඵලයක් නැති මේ වැඩේ එපා වෙලා හිටපු පුත්තරයගෙන මම ඇහුවා.

“දැන් කොහොම හරි වතුර ගන්න ඕනැනේ. වෙන මොනවා කරන්නද ගේමු,”  කොල්ලා කිව්වා.

හිත හදාගෙන ආයෙම ලිඳට ගිහින් තව වතුර එකක් ගෙනාවේ ඇ‍ඟේ හයියට වඩා හිතේ හයියට.  ඇත්තෙන්ම එකක් නෙවෙයි, ඊට පස්සෙත් වතුර බාල්දි ගණනාවක්ම අපි දෙන්න ලි‍ඳෙන් අරගෙන ආවත් වතුර පයිප්පේ පිරුණේ නෑ.  සමහරවිට ෆුට් වෑල්ව් එක සවුත්තු වෙලා වතුර ඔක්කොම ළිඳට යනවා ඇති ආපහු, මම හිතුවා. අන්තිමේදි අපි දෙන්නා තවත් ෂීට්රොක් බාල්දියකට වතුර එකක් අරන් ඇවිත් බාත් රූම් එක ඇතුලේ තිබ්බේ ටොයිලට් එකවත් ෆ්ලෂ් කරගන්න වතුර නැති නිසා.

මට ඔන්න එතකොටම මතක් වුනා, කාලෙකට ඉස්සර මේ වගේ වෙලාවට වතුර පුරවන්න තවත් ප්‍රයිමිං පොයින්ට් එකක් මම ගෙදරට එන පාරේ පැත්තක ලිඳත් ගෙදරත් අතර හදලා තිබුනා නේද කියලා.  ඒ කාලේ ගෙදරට වැලි, ගල් ගෙනාපු ට්‍රැක්ටර්, ට්‍රක් වලට යටවෙලා ඕක තැලිලා ලීක් වෙන්න ගත්ත හන්දා මම ඒක කොන්ක්‍රීට් එකක් යට වලලලා පස් වලටම යට කලා නේන්නම්. සමහර විට ඒක ආයෙම ලීක් වෙනවා ඇති. ගරාජ් ලයිට් එකට අමතරව පුතා අල්ලන් හිටපු ටෝච් එකේ එළියෙන් උදලු, ක‍ටු, මිටි අරගෙන මම ආයෙම රෑම බිම හාරන්න පටන් ගත්තා.  වැරදි තැන් ගණනාවක්ම හෑරුවට පස්සේ අන්තිමේදි පයිප්පේ හම්බවුනා. ඒ දිගේ හාරගෙන ගිහින් අන්තිමේදි අර කොන්ක්‍රීට් තට්‍ටුවත් හොයාගන්න පුලුවන් වුනා පාන්දර ජාමෙදි. මිටි වලින් ගහලා කොන්ක්‍රීට් එකත් කඩලා බැලුවට පස්සේ එතන ලීක් එකක් නැති බව හොයාගන්න පුලුවන් වුනා.

වතුර ගන්න රෑ තිස්සේ කරපු අරගලයෙන් පරාජය වෙච්ච අපි, පාන්දර පහට,  පාං කියාගන්න පණ නැතිව, අර මඩ ගෑවුණු තෙත ඇඳුම් ඇඳගෙනම ඇඳට වැටිලා හරියටම පැයක් නිදාගත්තා.  ඊට කලින් අර මගදි ගත්තු ලීටර් පහේ වතුර බෝතලෙන් ටිකක් රත් කරලා තේ එකක් බොන්න පුලුවන්ද කියලා බලනකොට ගෑස් සිලින්ඩරෙත් හිස්.

මේ වතුර ප්‍රශ්ණෙ හිතට වද දෙන නිසාම මම හරියටම හයට නිකම්ම ඇහැරුණා. ආයෙම වතුර බාල්දියක් ගෙනත් පුරවලා බැලුවත් ප්‍රතිඵලය පෙර සේම නිසා මම ඊ ලඟට කලේ ඒ වෙනකොට ඇහැරලා හිටපු අසල්වැසියෝ කීප දෙනෙක්ගෙන් ගාඩ්න් හෝස් දෙකක් ඉල්ලාගන්න එක. ඒ දෙක අපේ හෝස් එකට සම්බන්ද කරලා ඉස්සරහ ගෙදර එලියේ පයිප්පෙකින් වතුර අරන් වතුර පුරවන වැඩේ කරන්න මම හිතුවා. ඒ එක්කම අල්ලපු වත්තේ හාඩ්වෙයා එකෙන් ගෑස් සිලින්ඩරේකුත් අරන් යන්තම් උණු උණු තේ කෝප්පයක්
බොන්නත් පුලුවන් වුනා.

මේ අතරේ ඉස්සරහ ගෙදර කුලියට ඉන්න පොර මාව දැකලා කිව්ව කතාව හරි වැදගත්.

“අයියේ, මම නම් හිතන්නේ ඔය පයිප්ලයින් එක් මැදින් ඩැමේජ් වෙලා ඇති  කියලාමයි.”

“පිස්සුද මල්ලි. ඒක නම් කීයටවත් වෙන්න විදියක් නෑ.  ඒක පොළොව යටින් අරන් තියෙන ලයින් එකනේ. අනිත් එක මම රෑ ඒක හාරලත් බැලුවා. මේක ෆුට් වෑල්ව් කේස් එකක්. ඒක ෂුවර්,”

පොර තවත් මොනවා හරි කියන්න කට ඇරලා ආයෙම වහගත්තබව මම හොඳටම දැක්කා.  පොර රෑ තිස්සේ අපි කරපු යුද්දේ අහගෙන නොහිටියා වෙන්න බෑ.

මම දිග පයිප්පයක් අරගෙන ලිඳේ වතුරට යට වෙලා තිබ්බ ෆුට් වෑල්ව් එකට තට්‍ටු කලා. ඊට පස්සේ  එකට අමුණපු ගාඩ්න් හෝස් එක පාවිච්චි කරලා පයිප් ලයින් එක පුරවන්න තව පාරක් උත්සාහ කලා. ප්‍රතිඵලය නම් පෙර සේමයි. වතුර දානවා විතරයි අතුරුදහන් වෙනවා. මම ලිඳට නැවිලා පයිප්පෙට ඇනගෙන ඇනගෙන ගියේ එතකොටවත් ෆුට් වෑල්ව් එකේ හිරවෙලා තියෙන බෝලේ පාත්වෙයි කියලා හිතාගෙන. ආයෙම වතුර පිරෙව්වත් කිසි වැඩක් වුනේ නෑ.

ඊ ලඟට මම ලෑස්ති වුනේ ලිඳ ඉහලා ෆුට් වෑල්ව් එක චෙක් කරලා අප්සෙට් නම් අලුතින් එකක් දාන්නයි.  මගේ එක අසල්වැසියෙක් ඔය වතුරේ ගිල්වන වතුර පොම්ප කුලියට දෙනවා. මම ගිහින් බලනකොට දොරේ OPEN කියලා ගහලා තිබුනත් අයිතිකාරයා තවම බුදුන් වඳිනවා වීදුරු දොරෙන් පෙණුනා. ඒ වැඩේට වෙලාව දීලා තව ටිකකින් එනවා කියලා හිතපු මම ආපහු ගෙදර ගියා.

ගිහින් නිකම් ඉන්න එකේ තවත් ටිකක් ෆුට් වෑල්ව් එකට තට්‍ටු කරලා, ආයෙම වතුර පුරවලා, මල පැනලා  වතුර ලයින් එක වලලලා තියෙන ගෙදරට යන පාරදිගේ ඇවිදගෙන යද්දි මම දැක්කේ පාරේ තියෙන දිය කඩිත්තක්.  කලින් දවසේ වැහැලා පාරේ තැනින් තැන් පොඩි පොඩි දිය කඩිති තිබුනත් මේකේ යම් වෙනසක් මම දැක්කා.  ඒ කියන්නේ මේක හෙමීහිට ප්‍රමාණයෙන් විශාල වෙනවා කියලා මට හිතුනා. මම එතනම ඇණ තියාගෙන දිය කඩිත්තේ දාරය දිහා ඇහිපිය නොහෙලා බලා හිටියා. හෙනම ගහපිය! මේක පැතිරෙනවා නේන්නම්. මට දැනුනේ පුදුමාකාර සන්තෝසයක්. මට දැන් අඩුගානේ ලිඳ ඉහින්න වෙන්නේ නෑ.

මේ මම ඊයේ රෑ හාරලා බලලා ආපහු වහපු තැනට අඩි කීපයක් මෙහාට වෙන්න තියෙන තැනක්.  ආවුද ගත්ත මම ආයෙම පොළොව හාරන්න ගත්තේ බොහොම සීරුවෙන්. මම හාරපු වල හාරන පමාවෙන්ම මඩ වතුරෙන් පිරුනා.  අර අපි පයිප් ලයින් එකට පුරවන වතුර! ඊ ලඟට මම දැක්ක දෙයින් මගේ හුස්ම හිරවුනා වගේ දැනුනා. යකෝ පයිප් ලයින් එකේ අඩියක් විතර කෑල්ලක් නෑ. පයිප්පෙට වතුර පිරෙන්නේ නැති එක අහන්නත් දෙයක්ද. මම ඊ ලඟට දැක්ක දෙයින් මට කලන්තේ වගේ හැදුනා. යකෝ කැඩිච්ච පයිප්පේ ලිඳේ ඉඳන් එන කෑල්ලට කවුද එන්ඩ් කැප් එකකුත් ගහලා. මට ඇතිවුන හැඟීම මම කියන්න යන්නේ නැත්තේ, ඒවා විස්තර කරන්න තරම් භාෂා දැනුමක් මට නැති නිසයි.

ඔන්න දැන් අපිට වැඩේ මීටර් වේගන වේගන ආවා. අසල්වැසියෝ ගස් කීපයක් කපලා. සමහර ගස් කොටන් මගේ පාරට වැටිලා. සමහරවිට වැටිණු කොටේක කපපු අත්තක උල පොළොව පසාකරගෙන ගිහින් මගේ පයිප්ලයින් එකට වැඩේ කරලා. ඇයි යකෝ මුන් එකෙක්වත් මට මේක දැනුම් දුන්නේ නැත්තේ අපි මේ රෑ එලිවෙනකල් කොඳු කඩාගෙන මැරෙනකල් වතුර අදිනකල්?  ඇත්තෙන්ම අල්ලපුගෙදර පොර කතන්දරේ දන්න නිසයි අරෙහෙම කියවුනේ. නමුත් මේ කක්කා බාල්දියට අතදාන්න පොර අකමැති නිසයි පොර එහෙමම මාරු වුනේ.  හරි, අත්වැ‍රැද්දක් වෙලා කැඩුවා නම් හදලා තියාපල්ලකො අපි එන්න කලින්.

මම ඊ ලඟට කලේ දුකට සැපට කවදත් පිහිට වෙන මචං කාරයා චූන්ජියාව හොයං ගිය එකයි.  මම යනකොට නයිට් ඩියුටියක් ඇදපු පොර ගෙදර ඇවිත් ගොරෝ ගොරෝ නිදි.  පොරට කාලෙකින් මස්සිනා දැකපු සන්තෝසේ වැඩි වෙලා තිබ්බේ නැත්තේ මම කතාව කිව්වාම.

“හප්පට සිරි යකෝ!” පොර ඔලුවේ අත ගහගත්තා. “අරගොල්ලො ගස් වගයක් කැපුවා තමයි.  අත්තක් වැටිලා උඹේ පයිප්පේ දෙකට කැඩුනා තමයි. ඇත්තෙන්ම අත්තක් කපපු උලක් පොළොව හාරගෙන ගියා. එහෙම වුනාම මට කතා කලාම මම තමයි ගිහින් එන්ඩ් කැප් එක ගහලා ආවේ. ඕක මමවත් හදලා දාන්න තමයි හිටියේ. මටත් අමතක වුනානේ බං.”

චූන්ජියා නිදිමත පැත්තකට දාලා මට උදව් කරන්න ආවා සුපුරුදු විදියට.  පස්සේ දෙන්න එක්ක පයිප්පේ සුද්ද කරලා, පිහදාලා,  අඩියක විතර පයිප්ප කෑල්ලක් පීවීසී ගම් වලින් ජොයින්ට් දෙකක් ගහලා අලවලා යන්තම් වැඩේ ගොඩදාගත්තා.

ඊට පස්සේ පුරවපු වතුර වහාම උඩටම මතුවෙලා උතුරලා යන දාර්ශණය අපි බලා හිටියේ ආසාවෙන්. ඉන් පස්සේ වතුර මෝටරේ ගැහුවාම අර කලින් ඇහුණු වියලි සද්දේ, බරදාලා අදින සද්දෙකට මාරුවෙලා, වහලේ උඩ ටැංකියට වතුර වැක්කෙරන සුමිහිරි සංගීතමය හඬ අපි අහං හිටියේ පුදුම ආසාවකින්.

ඒත් මදිවෙලා මම ගිහින් කුස්සියේ ටැප් එක ඇරලා සින්ක් එකට වතුර වැක්කෙරන සුමිහිරි හඬින් වැයුන  “ඔබ සැම ඔබේම නිවසට සාදරයෙන් පිළිගනිමි” ගීතයටත් සවන්දුන්නා.

පසු වදන:

දැන් ඉතින් වතුරත් තියෙන නිසා මම වඩා නිරවුල් මනසකින් වටපිට බලනවා.  අපි නැතුවත් අපේ කුණුගොඩ නම් කුණු වලින් පිරිලා. ටොයිලට් පිට් එකේ කොන්ක්‍රීට් එක උඩ පොලිසැක් එකකට හොඳින් අසුරලා ගෙනත් තිබ්බ වීදුරු ක‍ටු ලෝඩ් එකක්.  කුණුගොඩේ අර පරණ තාලේ අඩි හතරේ ටියුබ් ලයිට් එකක් දෙකට කැඩිලා. අපේ ගෙදර මේ ජාතියේ ඒවා ඇත්තෙත් නෑ. අපේ ගෙදර ජනෙල් වීදුරු නොවන බිඳිච්ච ජනෙල් වීදුරු. අපේ ගෙදර නැති ජාතියේ බිඳිච්ච වතුර බොන වීදුරු, අපි පාවිච්චි නොකරන ජාතියේ විලවුන් බෝතල්. පඩි පෙල ලඟ පොල් අතු කන්දක්. වැඩේ කියන්නේ අපිට පොල් ගස් ඇත්තෙත් නැතිවීමයි. මේ අර කපපු ගහක පොල් අතු. එක අතකට ඒක හොඳා කෙලින්ම ගිය පාරවගේ ගස් කොට ගෙනත් ගොඩ ගහන්නේ නැතුව. ඒවා අයිති කාරයන්ගේ වතුවලටම රිටර්න් කරන්න මාර කට්ටක් කෑවනේ ගිය පාර.

\
Originally published @ HeyDude in English Language.
Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.
 

ටැග: , , , , ,

One response to “147. රෑ මැදියම ජල මෙහෙයුම: නිවාඩු කාලේ කතා.

  1. hiruni

    ජනවාරි 25, 2014 at 4:13 පෙ.ව.

    This is typical….the funniest part is the last part Dude where the garbage has what we didn’t throw😀😀😀

    At least you didn’t have to empty the well😀😀😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: