CAUTION: THE MEMORIES ARE IN THE MAKING…
අමතක නොවන සුන්දර දුම්රිය චාරිකාවක අවසන් කොටස.
මුල් කොටස් මග හැරුනා නම් මෙන්න පාර.
107. බදුලු කෝච්චිය. 1 වන කොටස
108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.
109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.
110. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා.
අවසානයේදි අපි Great Western පසුකර ඉදිරියට ඇදෙනවා…
Great Western හා රදැල්ල අතර යම් තැනක…
Great Western සිට බදුල්ල දක්වා යද්දී හමුවෙන දුම්රිය ස්ථාන නම්:
Great Western, රදැල්ල. නානු ඔය, පැරකුම්පුර, අඹේවෙල, පට්ටිපොල, ඔහිය,
ඉදල්ගස් හින්න, හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල් ඔය, ඇල්ල,
දෙමෝදර, උඩුවර, හාලි ඇල සහ බදුල්ලයි.
*****
පුවරුවෙන් කියැවෙන්නේ අපි රදැල්ලට ලඟාවුන බවයි.
දුම්රිය මඟේ මුර දේවතාවෝ.
The force behind. The rail road crew.
1573.31 ඉහලින් පිහිටි රදැල්ල අර ලැයිස්තුවේ අටවෙනි තැන හිමිකර ගන්නවා.
දැන් අප කොළඹ සිට කිමී 202ක් මග ගෙවා තියෙනවා.
රදැල්ල කිව්වාම මට නම් නීතැතින්ම මතක් වෙන්නේ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය.
*****
*****
මේ දුම්රිය මං ජාලයේ තවත් වැදගත් නැවතුමක් වන නානුඔයට ලඟා වෙමින්…
නානු ඔය දුම්රිය අංගනය. නොස්ටැල්ජියාව පිටාර ගලමින්…
අපි පොඩි කාලේ තාත්තා රට පුරා මාරුවීම් ලබද්දි,ගෙදර බඩු මුට්ටු පටවගෙන ගියේ මේ
වගේ බඩු පෙට්ටි වල.වැඩි ආරක්ෂාවට තාත්තා වෙනම ඉබ්බෙකුත් පෙට්ටියට දානවා.
මම මේ කතාවක් කිව්වා මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ.
හොඳට පදම්වුනු සම්ප්‍රදායික කෝච්චි පෙට්ටියක්…
එන්ජින් හරවන්න පාවිච්චි කල මේ turntable අද කෞතුක භාණ්ඩයක් විතරද මන්දා…
මෙතනත් තියෙනවනේ අර දෙබිඩි සිග්නල් කණුව.
එතකොට අර Great Western කණුවේ විශේෂත්වය මොකක්ද?
නානුඔය පසු කරමින්. කොළඹින් කිමී 207.05ක දුරින්ද,
මුහුදු මට්ටමේ සිට මීටර් 1613.10ක් උසින්ද පිහිටි නානුඔය
ලංකාවේ හයවැනි උසම දුම්රිය ස්ථානයයි.
මට නම් මේක කතන්දර පොතක පින්තූරයක් වගේමයි.
*****
*****
*****
කඳු විනිවිද යන බිම්ගෙවල් තරම්ම, කඳු යාකරන මෙවැනි යකඩ පාලම් ගණනාවක්ම
මේ මාර්ගයේ දකින්න පුලුවන්.
*****
*****
**********
*****
*****
Edinburgh Estate.
අඹේවෙලට ලඟාවෙමින්…
පුංචි නවසීලන්තය නම අනවර්ථනාමයෙන් හැඳින්වෙන අඹේවෙල කිරිපට්ටි පාලනයට ප්‍රසිද්ධයි.
මෙහි නවසීලන්ත ගොවිපල සහ අඹේවෙල ගොවිපල යන සත්ව ගොවිපොලවල් දෙකක් පිහිටා තියෙනවා.
ඒ වගේම ලංකාවේ එකම කිරිපිටි කම්හලත් තියෙන්නේ අඹේවෙල.
අඹේවෙල මිහිදුම් සලු අතරින් ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ…
ලංකාවේ දෙවැනි උසම දුම්රියපොළ. අඹේවෙල.
මුහුදු මට්ටමේ සිට උස මීටර 1827.77. කොළඹ සිට දුර කිමී 221.45යි
නුවර එළිය දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ ඉහලින්ම පිහිටි දුම්රිය ස්ථානයයි.
(ඉස්සර අපෙන් අහන සාමාන්‍ය දැනුම ප්‍රශ්ණයක් මේ.)
මුහුදු මට්ටමේ සිට උස මීටර් 1891.56යි.
කොළඹ සිට දුර කිමී 222.92යි.
පට්ටිපොල අවට බලන්න තැන් ගණනාවක් ඇති බවයි දැනගන්න ලැබුනේ. තව දවසක බලමු.
*****
The highest it gets!
මේ ශ්‍රී ලංකා දුම්රිය මං ජාලයේ මුදුන් මල්කඩ.
ඔහිය සහ පට්ටිපොල අතර සිටුවා ඇති මෙම පුවරුවේ සඳහන් වෙන්නේ
මෙතැන දුම්රිය මඟේ ඉහලම ස්ථානය බවයි. The Summit Level.
එනම් මුහුදු මට්ටමේ සිට උස මීටර 1898.1යි කොළඹින් කිලෝමීටර් 224.027යි.
හෝර්ටන් ජාතික වනෝද්‍යානයට ඇතුල්වෙන මේ ස්ථානය පිහිටා තියෙන්නේ ඔහිය දුම්රිය පොල අද්දරමයි.
මේත් බැලිය යුතුම ස්ථානයක්.
මුහුදු මට්ටමේ සිට මීටර් 1791.77ක් ඉහලින් පිහිටි ඔහිය දුම්රියපොලට
ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථාන ලැයිස්තුවේ තුන්වෙනි තැන හිමියි.
කොලඹ සිට කිමී 231.63
පරිවර්තනය දුශ්කරයි. අමුවෙන්ම විඳින්න.
Travel young. Arrive late. Wise-ass remark of henryblogwalker. 😀
කිලෝමීටර් 9 ක පමණ පරතරයකින් පිහිටි ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය පොළවල් දෙක අතර
බිම්ගෙවල් 13ක් ඇති බව දැනගන්නට ලැබුණා.
මේ දුම්රිය ස්ථාන දෙකක් අතර පිහිටි වැඩිම බිම්ගෙවල් සංඛ්‍යාවලු.
*****
*****
*****
*****
ඉදල්ගස්හින්න දුම්රිය නැවතුම්පොළ.
කොළඹින් කිමී 240ක දුරකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 1665.85ක් ඉහලින් පිහිටි ඉදල්ගස් හින්න නැවතුම
පිහිටා ඇති උසින් පස්වැනි තැනට පත් වෙනවා.
(මට නම් ඉදල්ගස් හින්න කිව්වාම මතක් වෙන්නේ අපි 2000දි හිටාචි කෝච්චියේ ආපු ගමනෙදි දීපාගේ ස්ටාෆ් එකේ මිතුරියකගේ නොබොන
සැමියෙක් බීලා ඉදල්ගස්හින්නේ කණුවකට නැගලා වැටිලා, මූණකට සමතලා කරගත්ත සිද්ධිය.)
*****
*****
කොළඹට රේල්පාරෙන් දුර කිලෝමීටර් 248ක් වුනත් මහපාරේ ගියොත් කිලෝ මීටර් 189ක් පමණක් බවයි
අර කොළපාට බෝඩ් එකේ සඳහන් වෙන්නේ. මේ අර දැක්කාම බඩදනවා කියන, තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කපු,
පහුතලේ කන්ද නේද?
වාහනවල බෆර් ගැන කතාකරන අයටයි මේ පාඩම.
මේ තියෙන්නේ බෆර් එකක්. බෆර් තියෙන්නේ කෝච්චි වල.
වාහනවල තියෙන්නේ බම්පර්. බෆර් නෙවෙයි. ඩූඩ්ගෙන් නොමිලේ ඉංග්‍රීසි.
ආයෙම කාර් එකේ බෆර් එක ගැන කතා කරලා මට අහුවෙන්නෙපා උඹලා.
Steel to cushion steel. The train buffers. And cars have bumpers.
මම මේ පින්තූරේ නම් කලේ
පරම්පරා පරතරය The generation gap කියලා.
කොළඹින් කිමී 246ක දුරින් හා මුහුදු මට්ටමේ සිට මීටර 1479.57ක උසින් පිහිටි හපුතලේ දුම්රිය ස්ථානය
පිහිටි උස අනුව හත්වැනි ස්ථානය ලබයි.
Memories in the making…සිහිවටන බිහිවෙමින්…
*****
සිසිල් කාලගුණය සහ හමුදා කඳවුරු නිසා ප්‍රසිද්ධියට පත් දියතලාව.
ජීවත් වීමට උචිත සිසිල් සුවදායී පරිසරයක් ඇතැයි බොහෝදෙනා විශ්වාසකරන බණ්ඩාරවෙල සංචාරක පාරාදීසයකි.
*****
*****
*****
කිණිගම. නියම ගම්බද දුම්රිය ස්ථානයක්.
*****
මුලු කෝච්චියම අපේ වගේ වෙච්ච වෙලාවලුත් තිබ්බා.
දුම්රිය මඟ ඉදිකරපු ඉංජිනේරුවන්ට කන්ද විදින එක ඇරෙන්න වෙන විකල්පයක් තිබුනයි කියලා
හිතන්න අමාරුයි මෙතනදි නම්. අනික මේවා අර TBM යොදාගෙන විදපුවා නෙවෙයිනේ.
තනිකර මිනිස් ශ්‍රමය.
සුප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු පාලම.
*****
දෙමෝදර ශ්‍රී ලංකා දුම්රිය වංශකතාවේ විතරක් නෙවෙයි, ලෝක දුම්රිය වංශ කතාවෙත් වැදගත්ම දුම්රිය පොලක්. ඒකට හේතුව දුම්රිය මග මත ඉදිකරපු එකම දුම්රිය නැවතුම්පල දෙමෝදර වීමයි. තව පැහැදිළි කලොත් දෙමෝදරදි රේල්පාර පාරාවලයක් Spiral වගේ සම්පූර්ණ වටයක් කරකැවිලා ආපහු තමන් පහුකරපු තැනකට යටින් ගමන් කිරීමයි. මෙතනට කියන්නේ Demodara Spiral Loop කියලා. මේ විශේෂ ස්ථානයේ කන්ද මත දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටනවා. ඊට යටින් බිම්ගෙය තුලින් වරක් දුම්රිය ස්ථානය පසුකල දුම්රිය නැවතත් ගමන් කරනවා. ඇත්තෙන්ම බලන්න ආසා දර්ශණයක්.
මේ තියෙන්නේ රවුම ගහලා නැවත එන දුම්රිය මඳ වේලාවකට පෙර තමන් පහුකල දුම්රිය ස්ථානය පිහිටි කන්ද හරහා විද ඇති දුම්රිය උමගය වෙත ගමන්කරන අන්දමයි. උනන්දුවෙන් බැලුවොත් මේ දුම්රියෙන්ම බැසගත් මගීන් කන්ද උඩ දුම්රියපල අද්දර සිටගෙන තමාපැමිණි දුම්රිය තමන්ට යටින් ගමන් කරනවා බලා ඉන්න හැටි පෙනේවි.
ගමනාන්තයට පෙර අන්තිම නැවතුම. හාලි ඇල.
*****
බදුල්ල. ගමනක අවසානය. උඩරට මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය.
End of the line.
ගමන මෙතනින් අවසන් වුනත් හෙට උදේම ආපහු යන ගමන ගැන හිතලා හිත හදාගන්න පුලුවන්.
“සර් කමුද සාර බුලත් විටක්?”
“එපා. බොහොම ස්තුතියි. මම විට කන්නේ නෑ.”
“එහෙනම් සර් ගෙස්ට් හවුස් එකක් හෙම හොයනවා නම් කියන්න. තියෙනවා හොඳ තැනක්.”
“අන්න හරි. අන්න එහෙම එන්න. කොහෙද තැන, කොහොම තැනක්ද කියන්න බලන්න.”
“නොම්බර එකේ ගෙස්ට් හවුස් එකක් සර්.”
යන ගමන් මම මිනිහත් එක්ක නොයෙකුත් දේ ගැන කතා කලා. ඇත්තෙන්ම දුම්රිය පොළ පාරෙම විනාඩි පහක විතර දුරක් එතනට තිබුනේ. ඇත්තෙන්ම මිනිහා ගෙස්ට් හවුස් මැනේජර්ට අපි වගේ කස්ටමර්ලා අල්ලලා දීලා අමතර ගානක් හොයාගන්න අහිංසක, හොඳ මිනිහෙක්.
ඇත්තෙන්ම තැනත් නරක නෑ. මැනේජර් සල්ලි ඉස්සර කලේම නෑ,
මම ඒ ප්‍රතිපත්තියට කැමති වුනා.
තැන පිරිසිදුයි. ඒ වගේම ආරක්ෂාවත් කියන්න තරම් නරකක් නෑ. අපි වැඩිපුර ගානක් ගෙවලා නාන්න උණු වතුර තියෙන කාමරයක් තෝරා ගත්තා. ඇත්තෙන්ම ගානත් සාධාරණයි. විශේෂයෙන්ම මීට සතියකට විතර පස්සෙ අපි යාපනේ ගෙස්ට් හවුස් එකකට ගෙවපු ගානත් එක්ක බැලුවාම මේක පුදුම සාධාරණයි.
අපි කැමරා දුරකථන සහ මුදල් පසුම්බිය පමණක් සාක්කුවල ඔබාගෙන රාත්‍රී නගර සංචාරය කලා. ඔහේ ඉබාගාතේ ඇවිද මහන්සි වූ පසු, හොඳ වගේ පෙනුනු ආපන ශාලාවකින් takeaway කෑම පාර්සල් තුනක් මිළට ගෙන ආපහු කාමරයට ඇවිත් කෑවා. කෑමත් රසට තිබුනා.
දුම්රිය භෝජනාගාර රථයේ ප්‍රශ්ණය නිසා එන ගමනේදී වින්ද දුශ්කරතාවය මතක් තිබූ බැවින් පහුවදා උදේම ඒ ඒ ආපන ශාලාවේම බේකරියට ගිය මම මාලුපාන්, කිඹුල් බනිස් සහ තව කෑම ගොන්නක් මිළදීගත්තා.
නමුත් ආපසු එන ගමනේදී කතා බහ කර මා හා මිත්‍රත්වයක් ගොඩ නගාගත් ඔය ඉහල පින්තූරයේ ඉන්නා ගාඩ් වරයා නිසා අපේ කෑම ප්‍රශ්ණය විසඳුනා. අපි බදුල්ලට එද්දී බඩගින්නේ සිටි කතාව ඇසූ ඔහු, අප කැමතිනම් ඉදිරි දුම්රියපළකදී ඔහුට කෑම පාර්සලය ලබාදෙන තැනින්ම අපටත් කෑම ඇණවුම් කර දිය හැකි බව පැවසුවා. කිව්වා වගේම දුරකථන ඇමතුමක් දී අමතර කෑම පාර්සල් තුනක් අපටත් මිළදී ගත් නිසාම උණු උණුවේ රස කෑම වේලක් කන්නට අපට හැකි වුනා. අපේ මාලුපාන් වලින් කොටසක් අපිට යන ගමනේදි වුනාක් මෙන්ම බඩගින්නේ සිටීමට සිදුවූ පවුලකට දුන්නා.
ඇත්තෙන්ම මේ සුන්දර ගමනේදී මෙවැනි සුන්දර මිනිසුන් කීපදෙනෙක්ම අපිට මුණ ගැසුනා. මේ ගමන මෙතරම් රසවත් වීමට භූමි දර්ශණයට අමතරව මෙවන් සිදුවීමුත් බලපාන්න ඇති.
කාලසටහනේ විදියටම හරියටම වෙලාවට
බදුල්ලෙන් කොළඹ බලා පිටත් වුනා.
ඉතින් නැවතත්, එපා නොවන ඒ මඟ ඔස්සේම තවත් මනස්කාන්ත දර්ශන නරඹමින් අපි ආපසු එන්න පිටත්වුනා.
ඉතින්
ගමන මිස ගමනාන්තය කිසිසේත්ම වැදගත් නොවූ තවත් ගමනක්
එසේ නිමා වුනා
පසු වදන: මේ අලුත්ම දුම්රිය වලත් තවම පාවිච්චි වෙන විසි එක්වන සියවසට වඩා දහ අටවන සියවසට ගැලපෙන දුම්රිය මඟට වැසිකිලි අපද්‍රව්‍ය නිදහස් කරන ක්‍රමය නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි වෙනස් කල යුතුයි. ඇත්තෙන්ම මේ සෞඛ්‍යයට සහ පරිසරයට හානිකර, අප්‍රසන්න, යල්පැනගිය ක්‍රමය වෙනුවට වෙන විකල්පයක් යෙදීමට දුම්රිය බලධාරීන් නොසිතන්නේ ඇයි?
ඒ වගේම දුම්රිය මැදිරිත් upholstery cleaner, glass cleaner වැනි දේ යොදා නිතිපතා පිරිසිදුකර තැබීමත් ඔය හැටිම දුෂ්කර දෙයක්ද? විශේෂයෙන්ම දර්ශනීය මාර්ගයක් වන උඩරට මාර්ගයේ විසිතුරු නැරඹීමට, දූවිලි වැකුණු දුම්රිය කවුලු බාදාවක් වියයුතුද?
අපි සාමාන්‍යයෙන් ජාතියක් හැටියට මෙවන් සුළු දේවල් කෙරෙහි නම් එතරම් අවධානයක් යොමු නොකරන බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කවුලුත් ශාක්ෂි දරනවා.
Nethin Eha
ජූනි 2, 2014 at 11:28 පෙ.ව.
නියමයි නියමයි. මාත් ආසා ගමණක් තමයි කොච්චියෙන් බදුලු යාම. පට්ට
ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවිය නෙතින් එහා සමඟ එකතු වෙන්න
Raj
ජූනි 2, 2014 at 6:47 ප.ව.
පට්ටිපොල සිට ඔබතුමා කොච්චියෙන් ගිය ගමනේ පිංතූර කියවද්දි අපි පට්ටිපොල සිට හපුතලේට රේල් පාර දිගේ ගියපු ගමන මතක් උනා ඇත්තෙන්ම හරීම පංකාදු ජීවන අත්දැකීම් නේද මේව්වා බේදා හදාගැනීම ගැන ප්‍රනාමය
ranjan
ජූනි 3, 2014 at 11:47 ප.ව.
Ithama anargai,me photos pela, Badulu dumriya charikawak sambandawa mama dekapu hondama phto ekthuwa aviwada yenma meka thamai,aewagema wisala ekatuwak,mageth jeewithye asama karanama gamnak,4-5 wathawak mamath gihin chayarupath aran thiyenawa.ewa oyage photo set ekata lankarannawath be.obata thawath mewan charika walata wasanawa lebewa.!!! Ranjan Düsseldorf.Ranjan.
Sa rasa
ජූනි 5, 2014 at 4:17 ප.ව.
විශිශ්ටයි
Ajith Dharma
පෙබරවාරි 13, 2015 at 2:56 පෙ.ව.
මම දුම්රිය එන්ජින් වලට හරිම කැමතියි. ඊට වැඩිය කැමතියි දුම්රියේ යන්න . බදුලු ගමන හරිම කැමති එකක මොකද අපි කාලයක් ලුණුගල හිටි නිසා. මේ ලිපි පෙලම රසවත් පින්තුරත් තියෙන නිසා.