RSS

157.අවංකපාකිං සහ වංකපාකිං පැරලල්පාකිං / Parallel Parking of Honest & Dishonest Parking./ With special Deනයිed Version and normal full cream version)

06 ජුනි

20131223_170356(1)

නයි ඉවත් කරන ලද විශේෂ මිශ්‍රණය (Deනයිed Version for නයි allergies)20131221_130729

කුරහංපිටියේ කඩමණ්ඩිය හරියේ ගුරුපාර පළල් කරලා. දෙපැත්තේ අගල් කපලා පොල්කොට  ඒ දඬු දාලා, ඒ උඩින් පස් දාලා – එක වැඩයි. පුරස්නෙකට තියෙන්නේ ඒත් කරත්තයක් ගාල් කරන්ට තැනක් නැති එක තමයි. දෙපැත්තම කඩවල් අයිතිකාරයෝ අයිති කරාගෙන. එහෙම නැතිනම් දැනටමත් කරත්තයක් ගාල් කරලා. මට යන්ට  ඕනේ කුරහංපිටියේ පිස්සු පීතර අප්පුගේ කඩේට. එතනින් මම වතාවක් කිඹුලා වෙල් උදළු තලයක් එක්කම ගජ මිත්තරයෙකුත් හොයා ගත්තා. අපි ගියේ අන්න ඒ මිත්තරය මුලිච්චි වෙන්ට, පොඩි වැඩකට.

අපි මේ රවුම ගහලා එන තුන් වෙනි වතාව. බරබාගේ රිංගවන්ට කිසිම ඉඩක් නෑ. පිස්සු පීතර අප්පුගේ කඩේට ටිකක් මෙහායින් තියෙනවා මාලුකූරි කියලා බෝඩ් ලෑල්ලක් ගහපු කඩයක්.  අන්න එතන තියෙනවා යාන්තම් බරබාගේ රිංගවන්ට තැනක්. මම පිටිපස්ස බලලා ගොනාගේ කිරිපල්ලට පයිං ඇනලා, ‍තෝං ලණුව දකුණට ඇදලා,  කෙලින්ම ගියා එතනට. ගිහින් කරත්තේ කිසිම කොටසක් අරියාදුවට වගේ පාරට නොතියෙන්ට ගාල් කලා විතරයි, ඔන්න කූරි කඩේ ඉඳලා ආවා මුර උන්නැහේ කෙනෙක්. කලුයි, තරමක් පුරවදාලා. හැබැයි සිරියාවන්ත හිනාවක් තියෙනවා කියලා මට හිතුනා.

“උඹැහේ බෑරක්ද යන්නේ? කූරි ගන්ට ආවද??”

“අනේ නෑ උන්නැහෙ. මොන කූරිද. මට යන්ට ඕනෙ අන්ට අර පිස්සු පීතර අප්පුගේ කඩේට. එතන ඉඩ නෑ. ඒකයි මෙතන දැකලා මෙතනට රිංගුවේ.”

උන්නැහෙ හිනාවක් එක්කම මා දිහා බලා ඉන්නවා. ඒක සමච්චල් හිනාවක්ද කියලා මට හිතාගන්ට බෑ.

“හරි මං යන්නම්. මම තුන් පාරක් මෙතනින් ගියා ගාල් කරන්ට කරන්ට තැනක් හම්බු වෙනකල්.”

“උන්නැහේ, යන්ට එපා ඔහොමම තියන්ට බරබාගේ. ඔය ගොනත් ලෙහෙලා මෙතන දිගේලි කරන්ට, ඔය පිදුරු මිටියත් දාලා. මම කැමති උන්නැහේගේ අවංක කමට. මෙතනට ලොකු ලොකු බර බාග, තිරික්කල්, බක්කි කරත්ත ඔලිං එන හාමුලා, තව ලමාතැනීලා කටේ දිවේ නොගෑවී දෙසා බාන මුසාවාද ඇහුවනම්…හහ්. ‘මම මේ කඩේට තමයි ආවේ. අර එහා පැත්තේ අගෝරිසාගේ කඩෙං බුලත් විටක් ඇන්න එඤ්ඤං සුරුස් ගාලා,’  වගේ නා නාප්‍රකාර බේගල් ඇද බාන්නේ. මගේ නෑ කිසිම අනුකම්පාවක් උන්දලට. මුන්නැහේ විතරයි අවංකවම, බොක්කෙන්ම ඇත්ත කිව්වේ. මම අන්න ඒ අවංක බාවයට සලකනවා. මුන්නැහේ බරබාගේ  ඔහොමම තියලා ගිහින් එන්ට. කිසි පුරස්නයක් නෑ.”

එදා ඉඳලා එතනින් කරත්තේ දක්කං යන ගානේ මම බලනවා මුර උන්නැහේ පේන්ට ඉන්නවද කියලා. උන්නැහේගේ නමත් කරෝලිස්. හුඟක් දවස් වලට කරෝලිස් ගිණිකසයා වගේ වැඩ. මාව දකින්නේ නෑ. මම හිනාවෙලා කෙවිට උස්සලා ‘ආයිබෝං අප්පුහාමි,’ කියාගෙන ගියාම උන්නැහෙත් ආයිබෝං කිව්වත්, මම කවුද කින්ද-මන්ද කියලා මතක නැතුව ඇති, අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් නිසා.


මේ පහුගිය අවුරුද්දේ  ඔන්න මට යන්ට ඕනේ වුනා කො‍ටුදෙණියේ කීප තැනකට පොඩි වැඩ වගේකට. අපි වෙනදට අර ගිණිගහන අවුවේ, මඩ වලවල් මදිවට කරත්ත රෝද පට්ටම් වලටම කාණු හෑරිච්ච කරත්ත ගාලේ, කරත්තේ ගාල්  කරලා, සතා ලෙහෙලා, අර ගිණිගහන අවුවේ, කණුවක දිගේලි කරලා, පිදුරු මිටියකුත්දීලා, ගාලෙං එලියට  එන්නත් අච්චර දුර ගිණි අවුවේ පයින් ඇවිත්, ඒ මේ අත ඇවිදිද්දි දකිනවා මේ ගුරු පාරවල් අයිනෙම, කෝං ගස්, බුරුත ගස්, හල් ගස්, මිල්ලගස් යට හීල් හෙවනේ ගාල් කරන්න තැං එමට තියෙනවා. එදා එහෙම තැනක් හොයාගෙනම ගියා මායියයි  මායි. 


මම බෙර විකුණන කඩේ අයිනේ හරස් පාරේ ගහක් යට කරත්තේ ගාල් කරලා, එතකල් වම් හක්කේ තිබිච්ච බුලත් හපේ දකුණු පැත්තට මාරු කරන කොටම, ඔන්න සුම්බරයක් හෙම ඔලුවේ බැඳගෙන මුරේ ඉන්නවා ඔරෝගෙන .

“මෙතන අඬබෙර, දවුල් බෙර, යක් බෙර, තම්මැට්ටං හදවගන්ට එන  අයගේ කරත්තවලට විතරයි.”

හෑ. සීවරං දෙයියන්ට ඔප්පුවෙච්චාවයි මේ අවනඩුව! පාරත් අඬබෙර කාරයෝ අල්ලගෙන!

“උඹැහේ බෑරක්ද??”

මම හැකිතාක් දුරට බේගල් කීමෙන් වලකිනවා. ඒකට හේතුව එක බොරුවක් රකින් තව බොරු දාහක් කියන්න වෙන එකයි, කිව්ව බොරුව කල්පාන්තරයක් මතක තියාගෙන ඉඳීමේ අපහසුවයි ගැන අත්දැකීමෙන්ම දන්න නිසයි. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ මේ කපේට. ඒ නිසා මම ඒ පුරස්නෙට උත්තර දුන්නේ නෑ. මම උන්නැහෙගෙන් ඇහුවා වෙන පුරස්නයක්.

“කොතනින්ද ඇතුලට යන්නේ? මෙතනින් ගියෑකිද?”

ඇත්තටම ඒ  ඉඳිකඩුල්ලනං නිකං කම්මලකට  යන එකක් වගේයි පෙණුනේ අඬබෙර විකුණන තැනකට වඩා. මම එතනින් ඇතුලට යන්න වගේ ලෑස්තියෙන් ඇහුවේ.

මුරේගේ මූණත්තහඩුව බලා ඉන්දැද්දි වෙනස් වුනා.

“මුන්නැහේට මොනවද කරගන්ට ඕනෙ?”

දැන් එතන ඉඳිකඩුල්ල ගාවා බුලත්විටක් ඒද, ඒද හිටි මුර ගැටයත් ඇඟිල්ලෙ ගෑවිච්ච හුණු ඇබින්ද කඩුල්ලේ උලලා මගේ දිහා බැලුවා.

“මගේ බෙරේ ගෙනාවොත් අලුතෙන් හමක් දාගන්ට පුලුවන්ද අහන්ට ඕනේ” මම තරමක් වැරෙන් කිව්වා.

ඔය බෙරේට හමක් දාගන්ට ඕනේ කතාව ඇත්ත. හැබැයි බෙරේ හම ගලවලා පොඩි කොලුවා කැටපෝලෙකට අරං දැං අවුරුදු  බර ගානක් වෙනවා. ඒ කලෙත්, මී නාම්බෙක් වරපොටත් කාලා, හමෙනුත් කෑල්ලක් කාලා තිබුන නිසා, කොල්ලට ඒක ගලවගන්ට කියපු නිසා.

“ආ උන්නැහේ, කරත්තේ  ඔහොම දාලා ඔහොම පල්ලෙහාට ගිහිං දකුණු අත පැත්තට හැරිලා ඉස්සරහට ගිහිං කෝං ගහ ගාවම තියෙන කඩුල්ලෙං පැනලා ඇතුලට යන්ටකෝ. එතන වම් පැත්තේ බිම ඉඳගෙන ඉන්න රතු හීන්දෑරි ගොබිලට කියන්ට.

මමත් ඒ විදියටම ගිහින්, එතන හිටපු රතු හීන්දෑරි ගොබිලගෙන් ඇහුවා, මගේ මීයෝ කාපු බෙර හමයි, වර පොටවල් ටිකයි ආපහු දාගන්ට ඇහැකිද කියලා බෙරේ ගෙනාවොත්.

“මොකද්දෑ බෙරේ? ගැට බෙරයක්ද?”

මම ඒ පුරස්නවලට උත්තර බැන්දාම, උන් තැනින් නැගිටලා එතන අඩුක් කරලා තිබ්බ හම් ටිකයි වරපොටවල් ටිකයි අතගාලා බලපු ගොබිලා කියනවා.

“මේකට මරඳගහදෙණියටම යන්ට යන්න වෙනවා. “

“හැබෑට? අර මුර උන්නැහේ කීවේ මට මෙතනට එන්ට කියලනේ.”

“උන්නැහෙල දන්න බිබික්කම! ඔය මේ ඊයේ පෙරේදා මේකට පයගහපු උන්නේ.”

ඒ  මේ ඊයේ පෙරේදා මේකට පයගහපු  මුර උන්නැහෙලා මෙලෝ බිබික්කමක් නොදන්න  එක ගැන මගේ හඳුන්පොත කීං ගාන බව මම රතු හීන්දෑරි ගොබිලට පෙන්නුවේ නෑ.

ඊට පස්සෙ, එතනින් කැපිලා අහක යන හංකෑලි වගේකුයි, වරපොටවල් අහුලගත්ත මම,  එලියට ගිහින් අනිත් වැඩ කටයුතු ඔක්කොමත්  කරගෙන, එන ගමන් අර මුර උන්නැහේටත් කැපිලා අහක යන හංකෑල්ලක් අතේ තියාගෙනම ‘ගොහිං එඤ්ඤං අප්පුහාමි’ කියලා කරත්තෙට නැග්ගේ ඕං.

ඇත්තටම මම මුසාවාදයක් “කිව්වෙත්” නෑ. ඒත් අර කුරහංපිටියේ කරෝලිස් උන්නැහේ මේක දැනගන්නවට නම් මගේ එච්චර මනාපයක් නෑ.

 

***********************************************

සාමාන්‍ය මිශ්‍රණය Full Cream Version

DSC_1243
කොල්ලුපිටියේ ගාලු පාර පළල් කරලා. දෙපැත්තේ පේව්මන්ට් හදලා පාට ටයිල් දාලා එක වැඩයි. අවුලකට තියෙන්නේ වාහනයක් පාක් කරන්න තැනක් නැති එක තමයි. අර ටයිල් උඩින් දාලා පාක් කරන්න ඉඩ දෙන තැන් හැමතැනම අයිතිකාරයෝ ඉන්නවා. එහෙම නැතිනම් දැනටම ත් කවුරුහරි අල්ලගෙන. මට යන්න ඕනේ කොල්ලුපිටියේ PC Partner එකට. එතනින් මම වතාවක් hp ලැප්ටොප් එකක් වගේම හොඳ යාලුවෙකුත් ගත්තා. අපි ගියේ අන්න ඒ යාලුවව හම්බවෙන්න පොඩි වැඩකට.

අපි මේ රවුම ගහලා එන තුන් වෙනි වතාව. වාහනේ රිංගවන්න කිසිම ඉඩක් නෑ. PC Partnerට ටිකක් මෙහායින් තියෙනවා TNT කියලා  ගහපු තැඹිලි පාට- දුඹුරු පාට බිල්ඩිං එකක්. ඩයිනමයිට් වගේ තමයි. අන්න මේ වතාවේ එතන තියෙනවා යාන්තම් වෑන් එක රිංගවගන්න තැනක්. මම පිටිපස්ස බලලා සිග්නල් දාලා බෲස් ගාලා දැම්මා එතනට. ගිහින් වාහනේ කිසිම කොටසක් තහනම් කලාපයට ඉහලින් දික් නොවෙන්න පාක් කලා විතරයි, ඔන්න TNT එකේ ඉඳලා ආවා සිකියුරුටි බුවෙක්. කලුයි, තරමක් මහත පැත්තට බරයි. හැබැයි ප්‍රසන්න හිනාවක් තියෙනවා කියලා මට හිතුනා.

“සර්, කොහාට යන්නද? TNT එකටදද?”

“අනේ නෑ. මම ඔය කොම්පැණියෙ මොනවද කෙරෙන්නෙ කියලවත් දන්නේ නෑ. මට යන්න ඕනෙ අන්න අර PCPartner එකට. එතන ඉඩ නෑ. ඒකයි මෙතන දැකලා මෙතනට රිංගුවේ.”

පොර හිනාවක් එක්කම මා දිහා බලා ඉන්නවා. ඒක සමච්චල් හිනාවක්ද කියලා මට හිතාගන්න බෑ.

“හරි මං යන්නම්. මම තුන් පාරක් මෙතනින් ගියා පාක් කරන්න තැනක් එනකල්.”

“සර්, යන්න එපා ඔහොම තියන්න වාහනේ. මම කැමති සර්ගේ අවංක කමට. මෙතනට ලොකු වාහන වලින් එන මහත්තුරු, තව හෙන හයිෆයි නෝනලා කටේ දිවේ නොගෑවී කෙලින බොරු ඇහුවනම්…හහ්. මම එහා පැත්තට ගිහින් එනවා. කොම්පැණියට තමයි ආවේ වගේ නා නාප්‍රකාර කෙබර ඇද බාන්නේ. මගේ නෑ කිසිම අනුකම්පාවක් එයාලට. සර් විතරයි දෙපාරක් නොහිතා අවංකවම, බොක්කෙන්ම ඇත්ත කිව්වේ. මම අන්න ඒ අවංක බාවයට සලකනවා. සර් ඔහොම වාහනේ තියලා ගිහින් එන්න. කිසි අවුලක් නෑ.”

එදා ඉඳලා එතනින් යන ගානේ මම බලනවා  පොර ඉන්නවද කියලා. පොරගේ නමත් කරූ. හුඟක් දවස් වලට පොර හෙන බිසි. මාව දකින්නේ නෑ. මම හිනාවෙලා අතවනාගෙන ගියාම පොරත් අත වැනුවත් මම කවුද කියලා මතක නැතුව ඇති අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් නිසා.

මේ පහුගිය අවුරුද්දේ  ඔන්න මට යන්න ඕනේ වුනා කො‍ටුවේ කීප තැනකට පොඩි වැඩ වගේකට. අපි වෙනදට, අර ගිණිගහන අවුවේ, අලි වලලන වලවල් මදිවට, ට්‍රෑම්කාර් පීලිවලින් පවා පිරිච්ච, කො‍ටුවේ කාර් පාක් එකේ වාහනේ නතර කරලා, ඒකෙන් එලියට එන්නත් අච්චර දුර ගිණි අවුවේ පයින් ඇවිත්, ඒ මේ අත ඇවිදිද්දි දකිනවා, මේ පාරවල් අයිනේ වාහන පාලිකාවෝ වාහන බලාගන්න හොඳ හෙවන තැන් තියෙනවා. එදා එහෙම තැනක් හොයාගෙන ගියා අපි දෙන්නා.

මම ටෙලිකොම් එක අයිනේ හරස් පාරේ ගහක් යට වෑන් එක නවත්තලා එළියට බහිනකොටම ඔන්න සික්‍යුරිටි බුවා ඉන්නවා ඔරෝගෙන.

“මෙතන ටෙලිකොම් එකට එන වාහන වලට විතරයි.”

හෑ. පාරත් ටෙලිකොම් එකෙන් අල්ලගෙන.

“කොහේටද යන්නේ?” (මේකා නම් කරූගේ අහලකින්වත් තියන්න බෑ.)

මම  හැකිතාක් දුරට බොරු කීමෙන් වලකිනවා. ඒකට හේතුව එක බොරුවක් රකින්න තව බොරු දාහක් කියන්න වෙන එකයි, කිව්ව බොරුව සදහටම මතක තියාගෙන ඉඳීමේ අපහසුවයි ගැන අත්දැකීමෙන්ම දන්න නිසයි. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ අවුරුදු ගානකට. ඒ නිසා මම ඒ ප්‍රශ්ණෙට උත්තර දුන්නේ නෑ. මම ඒ වෙනුවට බුවාගෙන් ඇහුවා වෙන ප්‍රශ්ණයක්.

“කොතනින්ද ඇතුලට යන්නේ? මෙතනින් ගියෑකිද?”

ඇත්තටම ඒ ගේට්‍ටුව නම් නිකම් වෙයා හවුස් එකකට යන එකක් වගේයි පෙණුනේ ටෙලිකොම් වුනාට. මම එතනින් ඇතුලට යන්න වගේ ලෑස්තියෙන් ඇහුවේ.

පොරගේ මූඩ් එක බලා ඉන්දැද්දි වෙනස් වුනා.

“සර්ට මොනවද කරගන්න ඕනෙ?”

දැන් එතන ගේට්‍ටුව ගාවා මුරකුටියේ ඉඳගෙන ෆයිල් එකක මොනවද ලිය ලියා ඉන්න පොරත් මගේ දිහා බැලුවා.

“මගේ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා. මට අන්න එක ගැන කතාකරන්න ඕනේ.” මම තරමක් තියුණු හඬකින් කිව්වා.

ඔය කතාව ඇත්ත. හැබැයි එහෙම කරලා දැන් අවුරුදු බර ගානක් වෙනවා. ඒ කලෙත් මම ඉල්ලීමක් කරපු නිසා.

“ආ සර්, වාහනේ ඔහොම දාලා, ඔහොම දිගටම ඇවිදගෙන ගිහින්, දකුණට හැරිලා  අරලිය ගහ ගාවින් තියෙන දොරෙන් ඇතුලට යන්න. එතන වම් පැත්තේ ඩෙස්ක් එකේ ඉන්න මහත්තයට කියන්න”

මමත් ඒ විදියටම ගිහින් එතන හිටපු ප්‍රසන්න මූණක් තියෙන බුවාගෙන් ඇහුවා මගේ විසන්ධි කරලා තියෙන ෆෝන් එක ආපහු ගන්න මොකද කරන්න ඕනේ කියලා.

“මොකක්ද නොම්මරේ?”

ඔන්න මම නොම්මරේ දුන්නා වෙඩි වාගේ.

“මේකට සර්ට මරදානට යන්න වෙනවා.,” ප්‍රසන්න මූණ කොම්පියුටරේ චෙක් කරලා බලලා කිව්වා.

“ඇත්තට? අර සිකියුරිටි එකෙන් කිව්වේ මට මෙතනට එන්න කියලනේ.”

“ඒ ගොල්ල දන්නේ නැතුවයි එහෙම කියන්නේ. එයාලා අලුත් අය.”

ඒ  අලුත් අය දන්නේ නැතිමට  එහෙම කිව්ව එක ගැන මට සතු‍ටු බව මම ප්‍රසන්න මූණට පෙන්නුවේ නෑ.

ඊට පස්සෙ එතනින් ෆෝම් වගයකුයි ලීෆ්ලට් ටිකකුයි අරගෙන එලියට ගිහින් අපිට කො‍ටුවෙන්  කරගන්න තිබිච්ච අනිත් වැඩ ටිකත් කරගෙන එන ගමන් අර සික්‍යුරිටි බුවාටත් ටෙලිකොම් ෆෝර්ම් එකක්ම උස්සලා ටටා කියලා වෑන් එකට නැග්ගේ ඕං.

ඇත්තටම මම බොරුවක් “කිව්වෙත්” නෑ. ඒත්  අර කොල්ලුපිටියේ කරූ මේක දැනගන්නවට නම් මගේ එච්චර මනාපෙකුත් නෑ.

මේ කතාවෙම තව වර්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි වර්ෂන් එක. මෙන්න තැන. Parallel Parking of Honest and Dishonest Parking @ HeyDude.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , , ,

12 responses to “157.අවංකපාකිං සහ වංකපාකිං පැරලල්පාකිං / Parallel Parking of Honest & Dishonest Parking./ With special Deනයිed Version and normal full cream version)

  1. Buddheesha Amarakoon

    ජූනි 6, 2014 at 7:41 ප.ව.

    අවංකභාවය ඉතා හොඳය. නමුත් අහිමිවීම් ඉතා වැඩිය. මිළ අධිකය….

     
  2. wicharaka විචාරක

    ජූනි 6, 2014 at 9:56 ප.ව.

    කුරුණෑගල නගරයේත් වාහනයක් නවත්තගන්න පෙර පින් තියෙන්න ඕනේ. මමත් කරන වැඩක් තියනවා ‘පුස්සිටි’ එකේ නවත්තලා ඇතුලට ගිහින් යෝගට් දෙකක් අරං එලියට ඇවිත් මගේ අනික් වැඩ කරගෙන ආපහු කාරෙක ගන්නවා. ඉතිං මම ‘පුස්සිටියෙන්’ ගනුදෙනු කොළානේ.

     
  3. Itnishantha

    ජූනි 7, 2014 at 11:36 පෙ.ව.

    එකම තනුවට කියපු සින්දු දෙකක් 😀

     
  4. hiruni

    ජූනි 7, 2014 at 4:21 ප.ව.

    ශා මේ ලියල තියෙන විදිහ හරිම ලස්සනයි වෙනස් ඩුඩ්. කියවගෙන ගියේ එක හුස්මට. ඇත්තටම හරිම දුලබ ටැලන්ට් එකක්! 😀

    සමහර වෙලාවට white lies කියන්න වෙනවා….ඒකට කමක් නෑ. අපි කරෑට [ කරෝලිස්ට] කියන්නෑ…. තව මේ වගේ ලස්සන කතා ලියන්න. ඩිනයිඩ් පින්තුරෙත් ලස්සනයි. ඒඅ වචනේ ඔය විදිහට හිතුවෙ ඩුඩ් විතරද කොහෙද 😀

     
  5. රූ

    ජූනි 7, 2014 at 9:07 ප.ව.

    Wow..Simply Wow..
    හරිම අපූරු සංකල්පනාවක් ඩූඩ්..කිහිප සැරයක් කියෙව්වා..හැම සැරේම ඊට කලින් සැර වල කියෙව්වාට වඩා වැඩි රසයක් දැනුනා..ස්තුතියි ගොඩක්..

    මමත් ඔය වැඩේ කරනවා..වැඩිවෙන වාහන ජනගහනයට සමානුපාතිකව නැවතුම් පොලවල් ගණන වැඩි වෙන්නැති නිසා වෙන කරන්න දෙයක් නෑ..!!
    අපිට නම් ගොඩක් වෙලාවට ඔය හං කෑලි ෆෝම් කොල ඕන වෙන්නෑ…ලස්සනට ටිකක් හිනා වුනාම ඇති!!

     
    • henryblogwalker

      ජූනි 10, 2014 at 6:37 ප.ව.

      බලං ගියම කවුරුත් වංක පාකිං කරනවා නේ? ඇත්තෙන්ම සමහරවිට විකල්ප නෑ.
      අර අන්තිම ටික නං ඇත්ත. ඕක ලිංගික අල්ලසක් කියලා කිව්වෑකි. මොනවා කරන්නද. ඕක අනිත් පැත්තට වැඩ කරන්නේ නැති හැටි! නැතිනම් ඔය කාපාක් වෝර්ඩන්ලා වැඩි දෙනෙක් අර කොළ පාට යුනිෆෝම් ඇඳගත්ත කාන්තාවොනේ. අසාධාරණේ තමයි.

       
  6. Ravi

    ජූනි 11, 2014 at 12:04 ප.ව.

    මරු කතා දෙක බං..ආතල් ද බ්‍රේව්…සයින් ද පීස් සකබෝනා…. 😀

     
  7. ක්සැන්ඩර්

    ජූනි 11, 2014 at 5:57 ප.ව.

    අම්මේ.. ඔතන මගේ පරණ බෝඩිම නේ. 🙂 ඒ කාලේ කටුකම්බ් ගහල පාර වහල ඉන්න අපිවත් දවසට තුන්පාර චෙක් කළා. 🙂 මට මතක විදියට ලෝටස් පාර පටන්ගන්න තැන, ඒ කියන්නේ වයි එම් බී ඒ එක ඉස්සරහ බිල්ඩිම ඒ කාලේ කාර් පාක් එකක්. දැන් ඒක නැද්ද? ඒ කාලේ වයි එම් සී ඒ එක ඉස්සරහත් කාර් පාක් කරනවා, පාර වහල නේ. 🙂

    මොක වුනත් මරු කතා දෙක ඈ.. සියවස් දෙකක් එකම කතාවක් වගේ..

     

wicharaka විචාරක වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න