RSS

158. කුණු!!! පළමු කොටස / Trash!!! Part 1

25 Jul
158. කුණු!!! පළමු කොටස / Trash!!! Part 1

ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්.

අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් ‍‍රැයක්.

අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ  එක නිසා නෙවෙයි.

අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night!

මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම?

අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම ‍රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි.

ඒක වෙන්නෙ මෙහෙමයි.

මට මොන කරුමෙට හරි, වැරදිලාවත්, අඟහරුවාදා රෑට කුණු බක්කිය පාර අයිනෙන් තියන්න අමතක වුනොත්, බදාදා උදේට එන කුණු ලොරියට ඒක පටව ගන්න බැරුව යනවා.

කුණු ලොරියට ඒක  පටව ගන්න බැරුව ගියොත්, කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව යනවා.

කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව ගියොත්, කුණු උතුරලා ගිහින් බිමටත් හැලෙන්න ගන්නවා.

කුණු  බිමට හැලෙන්න ගත්තාම, මීයෝ එන්න ගන්නවා.

මීයෝ එන්න ගන්නවා කියන්නේ, අහල පහල හැමෝටම මීයන්ගෙන් බෝවෙන මහාමාරිය වගේ භයානක  වසංගත රෝග බෝවෙලා, එකා පිට එකා වැටිලා මැරිලා යනවා.

ඒ ඔක්කොමත් හරි. කාලා එන්න බැරි වැඩේ ඕකේ වැ‍රැද්ද මට පැටවෙන එක.

අන්න ඒකයි ‘කුණු රාත්‍රිය’ සතියේ අනික් හැම රාත්‍රියකටම වඩා වැදගත් වෙන්නේ.

අහල පහල හැම කෙනාගෙම ජීවිත ‍රැඳිලා තියෙන්නේ මගේ අතේ. හැම පිරිමියෙක්ම,  හැම ගැහැණියක්ම, හැම පොඩි එකෙක්ම, මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වේවායි කියන පරම අපේක්ෂාවෙන්, පරම විශ්වාසයෙන් තමයි ජීවිතේ ගෙනියන්නේ.

මෙතුවක් කාලෙකට මම එයාලගේ අපේක්ෂාවන් බිඳ හෙලලා නෑ. විශ්වාසය කඩ කරලා නෑ. මට අමතක වෙලත් නෑ.

හැම සතියෙම මම මගේ සුළඟිල්ලේ සුදු නූලක් ඕතලා ගැටයක් ගහ ගන්නවා කුණු බක්කිය පාර අයිනෙන් තියන්න තියෙන බව  මතක් වෙන්න.

අද නම් පු‍තෝ නූල ගැට ගැහිලා තියෙනවා තද වැඩියි. මගේ ඇඟිල්ලේ ලේ පිරිලා, චෙරි ගෙඩියක් වගේ ඉදිමිලා, රතු වෙලා නාඩි වැටෙන ගානට ඇදුම් කනවා දැනෙනවා. ගැටේ තද වැඩි නිසා ඒක ගැලවෙන්නෙත් නෑ. මේක කතුරෙන් කපන්නයි වෙන්නේ.

මම  පඩිපෙල බැහැලා යනවා කුස්සියට.

මට යන්න වෙන්නේ සාලේ ඉඳගෙන ඉන්න තාත්තව පහු කරගෙන.

“අද මොන දවසද කියලා මතකයි නේද?” තාත්තා අහනවා.

“ඔව් තාත්තේ.”

“කුණු එළියෙන් තිබ්බද?”

“තාම නෑ.”

“හරි, ඔන්න අමතක කරන්න එපා, “තාත්තා පටං ගන්නවා. ” කුණු බිම හැලෙනවා කියන්නේ මීයෝ එන්න ගන්නවා…”

“මං දන්නවා තාත්තේ.  ෆූෆ්…” මම සුසුමක් හෙලන ගමන් කියනවා.”මීයෝ එන්න ගන්නවා කියන්නේ, අහල පහල හැමෝටම මීයන්ගෙන් බෝවෙන මහාමාරිය වගේ භයානක  වසංගත රෝග බෝවෙලා හැමෝම එකා පිට එකා වැටිලා මැරිලා යනවා.”

“හුහ්, මේක විහිළුවකට ගත්තා නේද?” තාත්තා ඉස්සරහට නැවිලා මගේ දිහාට ඇඟිල්ල දික්  කරගෙන කියනවා. “හරි අපිට විහිළුවේ තරම බලාගත්තෑකි, කට්ටියටම මීයෝ නලියන කුණු ගොඩේ දණක් එරි එරි ඇවිදින්න වෙලා, මහාමාරිය හැදිලා, ඇඟ පුරා ගඩු දාලා එනකොට. අපිට හොඳට හිනා වුනෑකි කහින කොට පෙනහලු කෑලි කටින් විසිවෙන්න ගත්තාම…”

“හරි තාත්තේ, හරි. මට  ෂෝක් එකට පැහැදිළිවුනා. මම කුණු එක එලියෙන් තියන්නම්. එතකොට ඔය කිසි අවුලක් නෑනේ…”

“මේ දැන්?”

“තව විනාඩියකින්.” මම කියනවා.” මේ ඇඟිල්ලේ බැඳපු නූල කපාගත්ත ගමන්ම.”

“අමතක කරන්නේ හෙම නෑ ඔන්න.”

“හයියූඌඌ…හ්… අමතක වෙන්නේ නෑ. දෙයියම්පල්ලා.”

තාත්තගේ අන්දොස් ගතිය එන්න එන්නම, දවසෙන් දවස බලා ඉන්දැද්දී වැඩි වෙනවද කොහෙද.

මම කුස්සියට ගිහින් දෙවෙනි ලාච්චුව ඇරලා කතුර හොයන්න ගන්නවා. එතකොටම අම්මා එනවා කුස්සියට.

“කුණු එළියෙන් තිබ්බද ඇන්ඩි?”

“තාම නෑ අම්මෙ. තියන්න තමයි යන්නේ.”

හරි, ඔන්න අමතක කරන්න එපා,” අම්මා කියන්න ගන්නවා.”අපිට…”

“…මීයෝ ගෙන්න ගන්න ඕනෙ නෑ.” මම වාක්‍ය සම්පූර්ණ කරනවා.

“ඔයා කොහොමද දන්නේ මම ඒකයි කියන්න ගියේ කියලා?”අම්මා අහනවා.

“මම දැනගෙන කිව්වා නෙවෙයි. වෙලාවට හරි එක කියවුනේ. ලකි ගෙස්.”

ඔන්න  ෆෝන් එක වදින්න ගන්නවා.

මම යනවා ෆෝන් එක ලඟට.

“අල්ලන්නේ නෑ ෆෝන් එක!” ජෙන් කියන්නේ මාව තල්ලු කරගෙන, පෙරලගෙන ෆෝන් එකට පනින ගමන්.  “ඔය ක්‍රේග්. ඒ නැතත් තමුසෙට කුණු එලියට දාන්න තියෙනවා නේද?  දැනටමත් ගඳේ බෑ. මගේ කාමරේට එනවා ගඳ.”

“තමුසෙගේ ගඳට ඉහලින් තව ගඳක් දැනෙනවා කිව්වාම පුදුමයි,” මම කියනවා.  ජෙන් මට ඔරවලා රිසීවරේ අතට ගන්නවා.

මම ෆෝන් එක ලඟින් නොහෙල්ලී එතනම හිටගෙන ඉන්නේ ජෙන් ෆෝන් එකේ ඉන්න කොට මම ලඟ ඉඳගෙන එයා කියන දේ අහගෙන ඉන්න එක එයාට පේන්න බැරි බව මම දන්න නිසාමයි.

“අම්මේ,”ජෙන් රිසීවරේ අතින් වහගෙන කෑ ගහනවා. ” මෙන්න ඇන්ඩි මගේ කතාව අහගෙන ඉන්නවා.”

“තමුසෙට පිස්සුද ඕයි? තමුසේ කතාව පටන් ගත්තෙත් නැතුව  කොහොමද කියන්නේ මම අහගෙන ඉන්නවයි කියලා?”

“තමුසේ අහගෙන ඉන්න තමයි බලා ඉන්නේ.”

“මොකක්ද කිව්වේ?”

“මම කිව්වේ තමුසේ අහගෙන ඉන්න තමයි බලා ඉන්නේ කියලා,” ජෙන් බෙරිහන් දෙනවා.

“මොකක්? මට ඇහෙන්නේ නෑනේ තමුසේ කියන එක. මම බීරි වේගන එනවද කොහෙද.”

“අම්මේ,” ජෙන් කෑ ගහනවා.

“ඇන්ඩී” අම්මා මැදිහත් වෙනවා.”ඔයාට කරන්න වැඩක් තියෙනවනේ. ඔයා ගිහින් ඒ වැඩේ කරන්නකෝ.”

“හරි හරී,” මම කිව්වත් මම ෆෝන් එක ලඟින් හෙලවෙන්නේ නෑ.

“ඇන්ඩි,” ජෙන්  කියනවා.

“හරි, හරි ඕයි. මම මේ යනවා.”

“ඔහොම ඉන්නවා,” ජෙන් රිසීවර් එක  මගේ දිහාට දික් කරගෙන කියනවා. “කෝල් එක තමුසෙට.”

“මට?”

“ඔව්. පුදුමයි ඒත් ඇත්තයි. නොසිතූ දේ සිදුවෙයි. තමුසෙටත් කෝල් දෙන්න අය මේ ලෝකේ ඉන්නවා.”

“කවුද?” මම අහනවා “කවුද මට කතාකරන්නේ?”

“කවුරු කතා කරනවා කියලද කියන්නේ?” ජෙන් රිසීවරෙන් අත අරන් අහනවා.

ජෙන් ඉඟිමරනවා.

“ලීසා මැක්නී කතා කරන්නේ,” ජෙන් මට කියනවා.

“ලීසා මැක්නී! තමුසෙට ෂුවර්ද?”

“මොකද මම අහන්නද එයා ලීසා මැක්නී කියලා එයාට ෂුවර්මද කියලා? ජෙන් අහනවා.

“එපා, එපා” මම පැනලා රිසීවර් එක ඩැහැගන්නවා.

ලීසා මැක්නී! වාව්!  ෂුවර් එකටම මම අද උදේ එයාගේ බෑග් එකට හොරෙන් දාපු වැලන්ටයින් කාඩ් එක එයා දකින්න ඇති. ඒත් එයා කොහොමද දැනගත්තේ ඒක මගෙන්මය කියලා. සමහරවිට කවරේ සුවඳින් වැඩේ මාට්‍ටු වෙන්නැති. ඇත්තෙන්ම ඒක සෙන්ට් එකක්ම නෙවෙයි.  මට සෙන්ට් එකක් හොයා ගන්න බැරි වෙච්ච හන්දා මම කලේ බාතෲම් එකට පාවිච්චි කරන පයින් සුවඳ එයා ෆ්‍රෙෂ්නර් එකෙන් කවරෙට සාත්තුවක් දුන්න එකයි.  ඒක මගේ ඇඟ පුරාමත් ඉහිලා මුලු දවස පයින් ගඳ ගගහා හිටියේ මම. ඒකයි ලීසාට වැඩේ මාට්‍ටු වෙන්න ඇත්තේ.

ජෙන් තවම ෆෝන් එක ලඟ හිටගෙන.

“අම්මේ,  මෙන්න ජෙන් මගේ කතාව  අහගෙන ඉන්නවා.” ඒ පාර බෙරිහන් දෙන්නේ මම.

“අනේ තමුසෙගේ අඳබාල ෆෝන් කෝල් අහගෙන ඉන්නවට වඩා වෙන වැඩක් නෑ මට,” කියන ජේන් ගස්සගෙන යන්න යනවා.

“හෙලෝ,” මම රිසීවරයට  කියනවා.

“හායි ඇන්ඩි.   මම ලීසා.”

“ඕ…, අම්ම්…. ආආආ…,”කියන්න  සුදුසු දෙයක්  හිතා ගන්න බැරුව මට ගොත ගැහෙනවා. “හායි”

“මම ඔයාට කතා කලාට ප්‍රශ්ණයක් නෑ නේද?” ලීසා අහනවා.

ඇත්තටම එයා මේ මොනවා  අහනවාද? මේ තමයි ලෝකේ බිහිවෙච්ච දා ඉඳලා ලෝකේ වෙච්ච හොඳම සිදුවීම. ඒ වුනාට මට එහෙම කියන්න බෑනේ.  එයා ෂුවර් එකටම හිතයි මම විහිළු කරනවා කියලා.  මේකට බොහොම කූල් පිට හැන්ඩ්ල් කරන්න ඕනේ.

“නෑ,” මම කියනවා.

පුදුමේ කියන්නේ මට කියන්න දේවල් මෙච්චර තියෙද්දි, ඊට වඩා දෙයක් කියන්න මට මතක් වෙන්නේම නැති එක. මට කියන්න ඕනේ එයා කොච්චර ලස්සනද කියලා, මම එයාට කොච්චරනම් ආදරේද කියලා, එයා මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්න කියලා මම දවසකට කී පාරක් නම් ප්‍රාර්ථනා කරනවද කියලා. නමුත් වචන එන්නේ නෑ.

“ඇන්ඩි ඔයා මුකුත් වැඩක්ද?” ලීසා අහනවා.” මම එහෙනම් පස්සේ කතා කරන්නම් ප්‍රශ්ණයක් නැති නම්”

මේකට මොකද කියන්නේ?  මට මොකුත් වැඩක් නෑ කිව්වොත් එයා හිතයි මම  ඔහේ වැඩක් නැතුව ගෙදර වැනි වැනි ඉන්න, මෙලෝ රහක් නැති ඩයල් එකක් කියලා.  මම කිව්වොත් එහෙම මම මේ කුණු අදින ගමනුයි  ඉන්නේ කියලා එයා හිතයි මම කුණු  අදිනවට  වඩා කරන්න  වැදගත් වැඩක් ගෙදර නැතුව නැතුව ඉන්න චාටර් පොරක් කියලා.

මම දන්නවා අවංක භාවය තමයි හොඳම ප්‍රතිපත්තිය කියලා. නමුත් මේ වෙලාවේ මම හිතන්නෙ වංක භාවය ඊටත් වඩා හොඳ ප්‍රතිපත්තියක් කියලා.

“නෑ මං මේ පොඩි බ්‍රේක් එකක් ගත්තා.” මම කියනවා.” මම මේ වෙයිට් ට්‍රෙයිනිං කර කර හිටියේ.  අර රාත්තල් පන්සීයේ වෙයිට්ස් ටිකක් අමාරුයි.”

“ඔයා වෙයිට් ට්‍රෙයිනිං කරනවා?”

“වැඩිය නෙවෙයි. ටික ටික. දන්නේ නැද්ද?”

“ටිකක්?” රාත්තල් පන්සීය කියන්නේ හොඳ ටික!”

“එච්චරම නෑ,” මම කියනවා. “ඒ වෝම් අප් එකට. රාත්තල් දාහේ වෙයිට්ස් උස්සනකොට  තමයි ඇත්තෙන්ම තනි ඇහැට ඇඬෙන්නේ.”

ලීසා ‘හෑහ්’ ගානවා මට ඇහෙනවා. මම හිතන්නේ මම ලීසාව හොඳ ගානට ඉම්ප්‍රෙස් කලා කියලා.

“ඇන්ඩි,” ලීසා කියනවා. “අනේ ඔයාට එක මොහොතකටවත් පොඩ්ඩක් සීරියස් වෙන්න බැරිද?”

“හහ්, ලීසා, මම ෆුල් සිරා.”

හොරා, නමුත් සිරා.

“මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. වැදගත් දෙයක් ගැන,” ලීසා කියනවා. ” මට ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්න තියෙනවා.  සීරියස් ප්‍රශ්නයක්.”

“හරි” මම කියනවා. “ඉතින් අහන්නකෝ. මොකක්ද ප්‍රශ්ණේ?”

“ඔයා මට කාඩ් එකක් එව්වා නේද?”

“මොන කාඩ් එකක්ද?” මම පොඩි බබා පාට් එකක් දාලා බලනවා මුලින්ම.

“වැලන්ටයින් කාඩ් එක.”

“ආ ඒකද?” මම එච්චර ගණනකට නොගෙන වගේ කියනවා. “ඔව්, එව්වා තමයි.”

“මං හිතුවා.”

ඉන් පස්සේ එන නිහඬතාවය මට ගෙන එන්නේ පුදුම අපහසුතාවයක්. දැන් මොකද කියන්නේ මම?

“මට ඒකට ස්තුති කරන්න ඕනේ.”

“සුළු දෙයක්නේ.” මම කියනවා.

“නෑ, එහෙම නෙවෙයි. ඔයාව මුණ ගැහිලා. මම කල්පනා කලේ හෙට උදේට ඔයාව මුණ ගැහෙන්න පුලුවන්ද කියලා ඉස්කෝලේ පටන් ගන්න කලින්?”

මට මේක අදහගන්න බෑ. ලීසා මට, මේ මට, ඩේයිට් එකකට කතා කරනවා!

“ඇන්ඩි,” ලීසාගේ හඬ. “කෝ ඔයා?”

මම ඇත්තෙන්ම පෘථිවියත්, හඳත් අතර පාවෙවී ඉන්නේ සතුට වැඩි කමට. වහාම ආපහු මහ පොළොවට බහින්න ඕනෙ  ලීසාට උත්තර දෙන්න.

“මේ ඉන්නවා ලීසා. මේ ඉන්නවා. ඉතින් අපි කොහෙදිද මුණ ගැහෙන්නේ?”

“ඉස්කෝලේ ගාවා පාක් එකේ ගේට්‍ටුව ලඟදි හමුවෙමුද?” ලීසා අහනවා. ” හෙට උදේ අට හමාරට?”

“ඕකේ ලීසා,” මට දැන් ඕනේ ෆෝන් එක තියන්න මම මොකක් හරි ගොං කතාවක් කියලා මෙච්චර හොඳට නැගලා යන වැඩේ අංජබජල් කරගන්න කලින්.  “එහෙනම් හෙට උදේ හම්බවෙමු.”

“එහෙනම් හරිනේ. මේ ඒක නෙවෙයි ඇන්ඩි…”

“ආ ලීසා?”

“ඒකත් ඔයාගේ විහිළුවක් නෙවෙයි නේද?”

“ම්ම්ම්…මොකක්ද?”

“කාඩ් එක.”

“අ…අයියෝ නෑ.”

“එහෙම නම් කමක් නෑ. ඔන්න එහෙනම් වරද්දන්නෙපා. මම බලාගෙන ඉන්නවා. “

“ඇයි මමත් බලාගෙන ඉන්නවා,” මම කියනවා.

“ඔයා ලස්සනයි. මම ඔයාට ආදරෙයි” කියලා මට එතනට එකතු කරන්න ඕනෙ වුනත්, මගේ කට ඇරෙනවා වැහෙනවා විතරයි. සද්දේ පිට වෙන්නේ නෑ. හරියට මාලුවෙකුගේ වගේ.

මම රිසීවරේ තියනවා.

මට  මේක අදහන්නත් බෑ. මේක හීනයක්ද?

ලෝකෙ ඉන්න ලස්සනම කෙල්ල මට කතා කරලා හෙට මුණ ගැහෙමු  කිව්වාම, ආයේ වෙන මොනවද?  එයා මට කිව්වොත් එයා මට කැමතියි කියලා? කෙල්ලෝ කොල්ලන්ගෙන් එහෙම අහනවද?  ඇයි නැත්තේ?  එයා මගෙන් කිව්වොත් එයාව කසාද බඳින්න කියලා?  ඇත්තෙන්ම අපිට එහෙම කරන්න පුලුවන්ද? අපිට වයස ඇතිද කසාද බඳින්න? මුද්දකුත් ගන්න වෙයිද? එයා කිව්වොත් එයාව කිස් කරන්න කියලා? මම ජීවිතේට කෙල්ලක්ව කිස් කරලා නෑ.

කොහොමද ඒක කරන්නේ? කණ්නාඩියෙන් බලාගෙන කිස් කිරිල්ල ප්‍රැක්ටිස් කරන්න ඕනෙ වහාම.

20140725_114115

මම පඩි පෙල නැගගෙන යනවා නෙවෙයි, පාවෙලා යන්නේ උඩ තට්‍ටුවට.
ලීසා මට කතා කලා.
ලීසා මට කතා කරලා හෙට මුණ ගැහෙමුද ඇහුවා.
එයයි මට කතා කලේ.
මටම මේක අදහා ගන්න බැරි නිසා,  මම දිගින් දිගටම මටම කියා ගන්නේ, මටම මේක ඒත්තු ගන්නා ගන්න.
ලීසා මට කතා කලා.
එයා මට හෙට මුණ ගැහෙමු කිව්වා.
මම නෙවෙයි කතා කලේ. එයයි කතා කලේ. ඒ කියන්නේ එයා මට කැමතියි කියන එකනේ.
මගේ නරක කාලේ ඉවරයි වගේ.
මම කාමරේට පාවෙලා ඇඳට පාත්වෙනවා.
එයා මට ආදරෙයි.
එයා මට ආදරෙයි.

 
මම ඇඳේ වැටිලා හෙට උදේ ගැන හිතනවා.

මට මැවිලා පේනවා මම පාරදිගේ ඇවිදගෙන යනවා පාක් එක දිහාට.
මගේ අතේ ලස්සන රෝස මල් පොකුරක්.
ලීසා ඉන්නවා හිටගෙන මලක් වගේ සුන්දරව.
ඇගේ වටේට හැම දෙයක්ම බොඳ වෙලා. හරියට ඔය ස්ටූඩියෝ වල ඉස්සරහා ගහලා තියෙන රොමෑන්ටික් ෆෝටෝස් වල වගේ. නමුත් ලීසා ඉන්නවා මැද්දෙ නියමෙට ෆෝකස් වෙලා.
ඈ හිනා වෙලා අත වනනවා.


“හායි ලීසා,”  මම කියන්නේ ගැඹුරු, ප්‍රභල, ආත්ම විශ්වාසයෙන් පිරිණු කටහඬකින්.

ඈ මගේ ඇස් වලට එබෙනවා.

මගේ දෑස් ඇගේ දෑස් වල ගිලෙනවා. මාව ඉටිපන්දමක් වගේ උණු වෙලා වැගිරෙන්න ආසන්නයි.

“හායි,” ඈ කියන්නේ සුරංගනාවියකගේ වගේ මෘදු ලස්සන හඬකින්.
මම ඈට රෝස පොකුර දෙනවා.

“මේ ඔයාටයි”

ඈ රෝස පොකුර දිහා බලනවා. ඇගේ දෑස් කඳුලින් පිරෙනවා.

“ඒවා හරී ලස්සනයි,” ඈ ඉකි බිඳිනවා. “හරී…ම ලස්සනයි…”

“ඒත් ඔයා තරම් ලස්සන නෑ,” කියන මම මගේ දෑත් ඈ වටා යවනවා.
මම මගේ මූණ ඇගේ සිනිඳු හිසකේ අතරේ සඟවා ගන්නවා. ඇගේ හිසකේ හරියට සේද වගේ දිලිසෙනවා.

“අනේ ඇන්ඩි,” ඈ කියනවා. “ඔයා කොයි තරම් කල්පනාකාරී, කොයි තරම් උතුම් , කොයි තරම් මහත්මා…”

“ඔයාට ‘කඩවසම්’ අමතක වුනා,” මම මතක් කරලා දෙනවා.

“ඔව් කොයි තරම් කඩවසම්…”

“පිරිමි කම…?”

“නියම පිරිමි කමක් ඇති”

“ශක්තිමත්…?”

“අනේ ඇන්ඩි පොඩ්ඩක් සීරියස් වෙන්නකෝ දැන්වත්.”

“මම සීරියස් තමයි.”

ඈ මා දිහා ඇසිපිය නොහෙලා ටිකක් වෙලා බලා ඉන්නවා.

“අපි තව දුර යන්න ඉස්සෙල්ලා මට තියෙනවා ඔයාගෙන් අහන්න ප්‍රශ්ණයක්.”

“අහන්න ඕනෙ ප්‍රශ්ණයක්.”

“ඔයා මට ඇත්තම කියනවා කියලා පොරොන්දු වෙන්න, මගෙ රත්තරං.”

“මං පොරොන්දු වෙනවා.”

ඈ ඉස්සරහට නැඹුරු වෙලා මගේ කනට කොඳුරනවා.
ඇගේ හුස්ම මගේ ඇ‍ඟේ වදිද්දී  මගේ ඇඟ දිගේ විදුලි සැරයක් වගේ වගේ වෙව්ලුමක්  උඩ ඉඳන් පහලට ගමන් කරන්න ගන්නවා.  මට කලන්ත ගතියක් දැනෙනවා. මගේ ලේ නහර දිගේ මොළයට ලේ ගමන් කරනවා මහා ඝෝෂාවට නගාගෙන. ඒ සද්දෙට මට ඈ කියන දේ ඇහෙන්නේ නෑ. මග ඇහෙන්නේ ‘කර කරාස්…ග්ර්ර්ර්ර්ර්ර් ග්ර්ර්ර්ර්ර්…’ සද්දයක් විතරයි.

ලීසා අඩියක් පස්සට ගන්නවා.

ඉන් පස්සේ මගේ මූණ දිහා බලා ඉන්නේ පිළිතුරක් බලාපොරොත්තුවෙන් වගේ.

“ඔව්?” ලීසා අහනවා

“ඔව්, මොකක්ද?”

“ඔයා මොකක්ද කියන්නේ ඒකට?”

“මොකකටද? මොකක්ද ඔයා අහපු ප්‍රශ්ණේ?”

“මම ඇහුවේ,” ඈ අර ඝෝෂාව යටපත් වෙන්න තරම් කට හඬ උස්සලා අහනවා,”…ඔයා කුණු එළියෙන් තිබ්බද?”

“මොනවා එළියෙන් තිබ්බද?”

“කුණූඌඌඌ.” ඈ කියන්නේ යටි ගිරියෙන්.

කුණු? කුණු? මොන කුණුද?

“අහ්-ඕඕඕහ්හ්!… බඩුම තමයි! කුණු!!!!! චාටර්!

එක වරම ඉර වලාකුලක් පිටිපස්සේ හැංගෙනවා. අප අවට පාරේ මිලියනයක් මීයෝ නලියනවා. ලීසාගේ අර සිනිඳු සේද කෙස් වැටිය එක පාරටම මකුළු දැලක් වෙනවා. ඇගේ මූණේ හම ගැලවිලා හැලෙනවා.  ඈ මමියක් වගේ කුඩුවෙලා බිමට කඩං වැටෙනවා.

මම යටි ගිරියෙන් කෑ ගහනවා.

මුළු පාරම උණුවෙලා, දියවෙලා යනවා. ලීසා අතුරුදහන් වෙනවා.

මම ඇස් ඇරලා බලනවා. කාමරේම එලියයි. ඒක වෙන්නේ කොහොමද? මම ඔරලෝසුව දිහා බලනවා. උදේ 7.30යි.  මට නින්ද ගිහින්. පාරේ හරවන කුණු ලොරියේ ඝෝෂාවෙන් කාමරේ පිරිලා.  මගේ ඇඟිල්ල තවම ලේ පිරිලා ඉදිමිලා ඇදුම් කනවා.  මට අමතක වුනානේ නූල කපලා දාන්න.  ඒ  ඔක්කොටම හපං, මට අමතක වුනානේ කුණු බක්කිය පාරඅයිනෙන් තියන්න!

මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා…

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ගේ Just Wacky කෙටි කතා සංග්‍රහයේ  පළවූ Trash කෙටිකතාවේ පරිවර්තනයකි..

SImulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

ටැග: , ,

4 responses to “158. කුණු!!! පළමු කොටස / Trash!!! Part 1

  1. hiruni

    ජූලි 25, 2014 at 3:45 ප.ව.

    ශා හරිම ලස්සන කතාව…😀 එක හුස්මට කියෙව්වේ! පින්තුරෙත් හරිම ලස්සනයි! (Y) ඩුඩ් ඉක්මනටම් ඉතිරි ටිකත් දාන්න හරිද😀

    ඇන්ඩි නිසා මිනිස්සු ඔක්කොම මැරෙයිද? නැත්නම් ඇන්ඩිට ලොරිය අල්ලගන්න පුලුවන් වෙයිද? මට හිතාගන්න බෑ😀

     
    • henryblogwalker

      ජූලි 28, 2014 at 11:22 පෙ.ව.

      ඉතුරු ටික ලියලා තියෙන්නේ. චිත්‍රයක් අඳින්න ඕනේ. මේ පාර ඕනේ එකක් කියලා කොටස් දෙකකට විතරක් කැඩුවා. දිග වැඩිද කියලත් හිතුනා මොකද කියවන්න ගියාමත් එපා වෙනවනේ.

       
  2. වයලීනෝ

    ජූලි 27, 2014 at 4:20 ප.ව.

    මට මේක කියවලා පොඩ්ඩක් පිස්සු වගේ . හැබැයි සමහර වෙලාවල්වලට අපේ හිත් ඇතුලේ කැරකෙන අදහස් මේ කතාවේ ගැබ් වෙලා තිබුණා .

     
    • henryblogwalker

      ජූලි 28, 2014 at 11:23 පෙ.ව.

      පොඩ්ඩක් පිස්සු වගේ නම් කමක් නෑ වයලීනෝ.

      මේකගේ හිත වැඩ කරන හැටි මගේ හිත වැඩ කරන විදියමයි කියලා මම හිතාගෙන හිටියේ.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: