RSS

159. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

28 Jul
159. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

අපි ගිය පාර නතර කලේ මෙතන…

මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.

අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.

ඊට පස්සේ…

පඩි පෙල දිගේ පහලට  එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.

කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ රාත්තල් දාහක් විතර බරයිනේ මේක! හොඳ  වෙලාවට මේක රෝද තියෙන ජාතියෙ එකක්.

කුණු බක්කිය පස්සට ඇල කරගෙන පාරට දුවන මම දකින්නේ කුණු ලොරිය අපේ පාරේ කෙළවරේ තියෙන පල්ලමේ වංගුවෙන් හැරිලා නොපෙනී යන හිත් කම්පා කරවන දර්ශනය.

ආආහ්හ්හ්හ්හ්!
තාත්තා මාව මරයි!
අම්මා මාව මරයි!
(ඒ දෙන්නා ඊට කලින් මහාමාරියෙන් මලේ නැතිනම් ඒ.)

DSC_1861මේ කුණුබක්කිය කොහොම හරි ලොරියට පටවන්න වෙනවා.
මේකට තියෙන්නේ එකම එක ක්‍රමයයි.
කුණු ලොරිය එච්චර ඈතක වෙන්න බෑ . මොකද ඕක හැම තැනම නවත්ත නවත්ත යන්නේ.  මටත් අවශ්‍ය වෙලාවට වේගෙන් දුවන්න පුලුවන්.

මම කුණු බක්කිය තල්ලු කරගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා.
එහෙම කිව්වට ඇත්තෙන්ම කුණු බක්කිය මාවත් ඇදගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා. ගඳ නැත්නම් පට්ටම රයිඩ් එක ඒකත්. ඇත්තමයි.  පල්ලම ඉවර වෙලා තැනිතලා හරියට ආවාම මට ආපහු තල්ලු කරන්න පටං ගන්න වෙනවා. මම වමට හැරිලා ඊලඟ කන්ද නගින්න පටන් ගන්නවා.

අම්මෝ මේක කරන්න බැරියෝ!
මේක පණ යන වැඩක්.
මාර බරක්නේ යකෝ.

කන්දේ මාර බෑවුමක්නේ තියෙන්නේ.
එතකොටම මට මතක් වෙනවා මීයන්ව.

මම මතක්වෙනවා, මට කුණු බක්කිය පාරෙන් තියන්න අමතක වෙච්ච නිසා එකා පිට එකා වැටිලා වේදනා විඳ විඳ මැරෙන ප්‍රදේශයේ ජනතාව. තමන්ට මුහුණ දෙන්න වෙන  විපත ගැන හාංකවිසියක් නොදැන, මට මේ කුණු බක්කියක් එලියෙන් තියනවා වගේ සුළු, නොවැදගත්  කරන්න අමතක වෙච්ච නිසා, තමන්ට ජීවිතය අහිමි වෙන්න යන බව හාංකවිසියක් නොදැන, නිදි දෙව් දුව තුරුලේ තවම නිදන අහිංසක කිරි දරුවන්ව.

ප්‍රදේශවාසීන්ගේ ඉරණම රඳා පවතින්නේ තනිකරම මගේ අතේ. මට මොන ජාතියෙන් හරි වේගය පවත්වාගන්න වෙනවා.

මම ඉස්සරහට නැවිලා මගේ ඇ‍ඟේ තියෙන මුළු වෙර යොදලා කුණු බක්කිය කන්ද උඩහට තල්ලු කරනවා.  මම කොයි තරම් ඉස්සරහට නැවෙනවද කිව්වොත්, ඒ හා සමාන කෝණයකින් පස්සට ඇලවෙන කුණුබක්කියේ පියන ඉබේම ඇරිලා, ‘පටෝරියං’ ගාලා මගේ ඔලුවට පාරක් වදිනවා කං දෙකෙන් දුම් විසි වෙන්න. වෙන ඕනැම සාමාන්‍ය පුද්ගලයෙකුට සිහි නැති වෙන්න ප්‍රමාණවත් ඒ පාරටවත් මම නෙවෙයි සැලෙන්නේ.  මට තියෙන්නේ බොහොම හයිය ඔලු ගෙඩියක්. මම  පියන ආපහු  වහලා දාලා පටන් ගන්නවා ආපහු කන්ද උඩට තල්ලුව. ඔය ප්‍රතිගාමී බලවේග වලට  මාව නවත්තන්න බෑ.

කුණු ලොරියේ සද්දේ දැන් ලඟ ලඟම ඇහෙනවා.
ඒ කියන්නේ තව ටිකයි.  මම කන්දේ මුදුන පහු කරපු ගමන් යාර සීයක් විතර ඉස්සරහින් නවත්තලා තියෙන කුණු ලොරියේ සුන්දර, අයස්කාන්ත, මනස්කාන්ත දසුන මට පේනවා.

“හෝව් හෝව්! ඔහොම ඉන්ඩෝ!” මම කෑ ගහනවා. “ඔහොම ඉන්ඩෝ! ඔයාලට මේක අමතක වෙලා!”

කුණු ලොරියට සමාන්තරව දුවමින් ඉන්න ලුමිනස් කහ ජැකට්  ඇඳගත්ත බුවාලා දෙන්නා පාරේ අන්තිම කුණු බක්කි දෙකත් උස්සල ලොරිය පිටි පස්සේ තට්‍ටුව උඩින් තියනවා.  තට්‍ටුව ඉස්සිලා, ඇලවෙලා කුණු බක්කිවල තියෙන කුණු, ලොරිය මුදුනේ බලියාගෙන ඉන්න කට ඇතුලට හැලෙනවා

මම කුණු බක්කියත් එක්ක පල්ලමේ පහලට ඉගිලෙනවා.

බුවාලා දෙන්නා හිස් කුණු බක්කි ආපහු තුබුණ තැන්වල  තියලා ලොරිය පිටිපස්සේ එල්ලෙනවා ඊ ලඟ පාරට යන්න.

“පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්! මම බෙරිහන්දෙනවා. “ඔහොම ඉන්ඩෝ!”

පිටි පස්ස බලන එක බුවෙක් මාව දැකලා ඩ්‍රයිවර්ට කියනවා නවතින්න.

ලොරිය නවතිනවා.

මම හති හලමින් ලොරියට ලං වෙනවා.

“අම්මට හුඩු යකෝ මේ සුපර් මෑන් නේද කුණු බක්කියකුත් තල්ලු කරගෙන එන්නේ!” එක බුවෙක් කියනවා.

“ඔයාලට මේක අමතක වුනා.” මම හති හලමින් කියනවා. “…එහා පාරෙදි.”

“අමතක වුනා? ඒක වෙන්න බෑ. අපි ඒ පාරට එනකොට ඕක පාර අයිනේ  තිබුනයි කියලා ෂුවර්ද?”

“ඔව් ඔව්,” මේත් වංකත්වය හොඳම ප්‍රතිපත්තිය බවට පත්වෙන තවත් අවස්ථාවක්. මේ බොරුවෙන් ජීවිතම කීයක් නම් ‍රැකෙනවද?

බුවා අනිකා දිහා බලනවා.

“මේක උඹට අමතක වුනාද, මචං?”

“පිස්සුද මචං? ඕක පාරේ තිබ්බේ නෑ.”

“සොරි සුපර්මෑන්,” බුවා මට කියනවා. “ඕක පාර අයිනේ තියලා තිබුනා නම් අපි ඕක නොගෙන ඉන්නේ නෑ.”

“ඔයා කියන්නේ මම බොරු කියනවා කියලද?” මට කෑ ගැස්සෙනවා.

“මම එහෙම මොකුත් කියනවා නෙවෙයි, යාලුවා,” පොර ඒ ගමන  දෙන්නෙ නීතියෙන්. “මම කියන්නේ අපිට ඕක පටවන්න බෑ කියලයි.  ගේ ලඟ එලියේ පාරේ තියලා නැති කුණු බක්කියක් පටවන්න අපිට අවසර නෑ.  කවුද දන්නේ ඔයා ඔයා නීති විරෝධීව, අනුන්ගේ ප්‍රදේශයක් කුණු දාන්න උත්සාහ කරන පිටස්තරයෙක්ද කියලා.”

“මම එහෙම කරනවා නෙවෙයි,” මට ඇඬෙන්න ලඟයි (ඇස් දෙකටම). “මම මොකටද එහෙම කරන්නේ?”

“සමහර පොරවල්  කරන වැඩ ඇහුවොත් බල්ලෝ බත් කන්නේ නෑ බොසා, මාර ගේම් දෙන්න ට්‍රයි කරන්නේ,” කියන මිනිහා ලොරියේ බඳට අතින් දෙපාරක් ගහලා කෑ ගහනවා,”හරේ මැක්, අපි යං.”

ලොරිය පිටත් වෙනවා. බුවා පැනලා පිටිපස්සේ එල්ලෙනවා. ලොරිය ඊ ලඟ පාරට හැරෙන වංගුවෙන් අතුරුදහන් වෙන හැටි මම බලා ඉන්නේ පුදුම අසරණ කමකින්.

නමුත් එහෙම ලේසියෙන් සටන අතාරිනවද මම?

මම දන්නවා එහා පාරට ෂෝට් කට් එකක්.  මට කරන්න තියෙන්නේ ලොරිය එන්න කලින් කුණු බක්කිය නියම තැන ගානට තියලා, හැංගිලා බලා ඉන්න එක විතරයි.  අරුන් දෙන්න සීන් එක නොදන්න නිසා ඕක ගානට පටවගනී.

මම කන්ද පහලට ටික දුරක් දුවලා, දකුණට තියෙන ප‍ටු පාරෙන් හැරෙනවා.  මම හැකි වෙර යොදලා කුණු බක්කිය තල්ලු කරගෙන එහා පාරෙන් මතුවෙනවා.

මේ පාරට හැරෙන කුණු ලොරියේ නිවෙන පත්තු වෙන කහ එළිය මෙතනට මට යන්තමට පෙනුනත්, බුවාලාට මාව පේන්න තරම් දුර වැඩියි තාම.

එළ.

මම කුණු බක්කිය පාර හරහා තල්ලු කරගෙන ගිහින් එහා පේව්මන්ට් එකට නග්ගනවා. කරුමෙට ඒකේ එක රෝදයක්  කාණුවට ගිහින් කුණු බක්කිය ඇල වෙනවා. සමබරතාවය මාව අතෑරලා වෙනතක් බලද්දි මම ඇදගෙන වැටෙනවා පෙරේතයා පොළොවේ ගැහුවා වගේ. තනියම නෙවෙයි පියන ඇරුණු කුණුබක්කියෙන් එලියට පනින කුණු වරුසාවක් එක්ක.

මට ඇස් අදහගන්න බෑ.

කුණු බක්කියෙන් බාගෙකට වැඩිය පාරේ හැලිලා.  අම්මයි තාත්තයි තවත් කබඩ් එකක් අස් කරලා වගේ.  මට පේන්න බෑ එයාලගේ ඔය වැඩේ නම්. එයාලා හොඳ බඩුත් විසි කරලා.  එයින් සමහර දේවල් මගේ.  මගේ වෝටර් වින්ග්ස්. මම ගිණිකූරු වලින් හදපු ගෙයක්.  මගේ ඉලෙක්ට්‍රික් රේසිං කාර් සෙට් එක!  හරි හරි ඒකේ කන්ට්‍රෝලර්ස් නැති වෙලා තමයි. ට්‍රැක් එකේ කෑලි අඩුයි තමයි.  කාර් වල එක රෝදයක්වත් නෑ තමයි. ඒ එකක්වත් මෙච්චර හොඳ රේසිං කාර් සෙට් එකක් කුණු ගොඩට දාන්න තරම් සාධාරණ හේතු නෙවෙයි. එයාලට වටින්නේ නෑ මේක මටත් හොරෙන් විසි කරන්න. පට්ට අසාධාරණයි!

බලන්න ඕනේ තව මොනවද මගේ බඩු මේකට දාල තියෙන කියලා.  මම කුණු බක්කිය කෙලින් කරලා ඇතුලට එබිලා බලනවා.

මේ මොන අපරාදයක්ද!

අම්මා මේ ලෝකෙ මට අයිති වටිනාම වස්තුවත් විසි කරලා.  මම නාන කොට තනියට හිටපු මගේ සුවච, කීකරු රබර් තාරා පැටියා විසි කලේ මොන හිතකින්ද මෙයාලා?  උගේ කහ පාට හොට කුණු අස්සෙන් එලියට මතුවෙලා.

මම ඔලුව උස්සලා බලනවා.

කුණු ලොරිය පාරේ බාගයක් දුර විතර ඇවිත්.   තාරා පැටියව බේරගෙන ලොරිය එන්න කලින් පැන ගන්න වෙලාව තියෙනවා.

“බය නොවී හිටපං. මම උඹව බේරාගන්නවා.”

මම කුණු බක්කියට එබෙනවා. නමුත් තාරාව ඉන්නේ අඩියේ. මගේ අත දිග මදි. මම තවත් එබෙනවා. ඔහ් ඕහ්හ්හ්. ඒත් දිග මදි. තව ටිකා..යි…

මම කුණු බක්කිය ඇතුලට ඔලුව යටට හිටින්න ඇදගෙන වැටෙද්දි, ඔලුව ගිහින් ඇනෙන්නේ, චොර වෙච්ච, ගඳ, මොකක්දෝ ජරාවක් උඩට. ඒකේ රසත් එච්චර හොඳ නැති බව මට මොහොතකින් වැටහෙනවා.

ඒ ඔක්කොමත් හරි.  මට හෙලවෙන්නවත් බෑ.
මට නැගිටින්න බෑ.
ඇයි ඔලුවෙන් හිටගෙන නේ ඉන්නේ.
ලොරියේ සද්දේ ලඟ ලඟම ඇහෙනවා.

මම කකුල් වනලා, දඟලලා, පයින් ගහලා හදන්නේ කුණු බක්කිය පෙරලාගන්න, එතකොට මට එලියට බඩගාගන්න පුලුවන් වෙයි  කියලා හිතලා.

ඒත් කොච්චර දැඟලුවත්, පයින් ගැහුවත් නෙවෙයි වැඩක් වෙන්නේ. වෙච්ච එකම වැඩේ කුණු බක්කියේ පියන වැහිච්ච එක විතරයි.

දැන් මම හිර ගතවෙලා.

මම මේක ඇතුලේ හිර වෙලා ඉන්න බව කවුරුත් දන්නේත් නෑ.

කුණු ලොරිය කුණු බක්කිය ලඟටම ඇවිත් නතර වෙලා ඉන්න බව සද්දෙන් කියන්න පුලුවන්. කුණු බක්කිය පේව්මන්ට් එකෙන් බිමට තල්ලු වෙලා පාරට බැහැපු බව මට තේරෙන්නේ ඒක ‘ඩොහ්ක්’ ගාලා බිම වැදුනු කම්පනයෙන්.  මම හිතන්නේ මේක උස්සලා අර ලොරිය පිටිපස්සේ තට්‍ටුව උඩ තිබ්බද කොහෙද. ඔව්, ඔව්. ඔන්න මාව ගුවන් ගත වෙනවා.  හරියටම ලිෆ්ට් එකක යනවා වගේ. නමුත් ගඳේ වෙනස තියෙනවා.

මම කොච්චර හයියෙන් බෙරිහන් දුන්නත් වැඩක් වෙන්නේ නෑ.  ලොරියේ සද්දේ නිසා මගේ හඬ යටපත් වෙනවා.
මම තාරා පැටියා අල්ලා ගන්නවා.  එතකොටම කුණු බක්කිය ඇලවෙලා උඩ යට මාරු වෙනවා. අපි දෙන්නත් කුණු එක්කම ලොරිය බලියාගෙන ඉන්න කට ඇතුලට වැටෙනවා.

කුණුගඳ!

ඈක්!!

ඇහ්ක්-ඇහ්ක්-ඕහ්ක්හ්

අම්මෝ!!!

මට වෙලා තියෙන පජාතම, ගඳම, කුණුම, චාටර්ම, සීන් එක මේ.

මාව කුණුත් එක්ක හොඳට මිශ්‍ර වෙමින් ඇනෙන්න ගන්නවා යාන්ත්‍රිකව.  මම කෑ ගහන්න කට ඇරියත් පාවිච්චි කරපු ටිෂූ ගුලියක් කටට ගිහින් සද්දේ ‘බහ්’ ගාලා වැහෙනවා.  තව තව අලුතෙන් කුණු බක්කි මගේ ඇඟ උඩට වැටෙමින් මිශ්‍ර වෙමින් රවුමට ඇනෙද්දි, මට හැම දෙයක්ම බොඳ වෙලා පේන්න ගන්නවා.  පුස් කාපු එළවළු, කුණු මාලු,  පාචිච්චි කරපු ඩයපර්ස්!   විශ්වාස කරන්න බැරි තරම් විකල්ප. එක පාරටම මගේ මූණට මූණ දාලා ඉන්නේ මැරිච්ච පූසෙක්. හැබැයි මොහතකින් ඌ අතුරුදහන් වෙනවා – යාන්ත්‍රිකව මිශ්‍ර වීම නොනවත්වාම සිදු වෙනවා.  හොඳ හුස්මක් අරන් කුණු ගොඩ මුදුනට බඩ ගාගන්න හැකි වෙච්ච හැම වතාවෙම නැවුම් කුණු බක්කියකින් හැලෙනකුණු ලෝඩ් එකකට යටවෙන මම ආපහු යට ගිලිලා මිශ්‍ර වෙන්න ගන්නවා.

මේකෙන් එලියට පැන ගන්න ඕනේ.

මට ප්‍රදේශවාසී මහ ජනතාව බේරාගන්න හැකි වුනාට ඒ කාටත් හොරෙන් මට බඩු බනිස් වෙන්නයි යන්නේ!

මට මහාමාරිය හැදෙයි.

මට දැනටමත් මහාමාරිය හැදීගෙන එනවා වගේ දැනෙන්න අරන්.

තාත්තා හරි.

“අපිට විහිළුවේ තරම බලාගත්තෑකි කට්ටියටම මීයෝ නලියන කුණු ගොඩේ  එරි ඇවිදින්න වෙලා…”
දණක් කුණු වල එරිලා ඉන්න එක විහිළුවක් නෙවෙන එකේ ඔලුවටත් උඩින් යන්න කුණුවල ගිලිලා ඉන්න එක හිතාගනිල්ලකෝ.  දැන් මට තේරෙනවා තාත්තේ . නමුත් තාත්තට ඒක කියන්න මම ජීවත් නොවෙන එකයි දුක.

මොකද තව දුරටත් සටන් කරන්න මගේ ඇ‍ඟේ ශක්තියක් ඉතුරුවෙලා නෑ.

මම මැරෙන්න යන්නේ කුණු වල ගිලිලා. කොහෙත්ම නම්බුකාර මරණයක් නම් නෙවෙයි.

මම මගේ තාරා පැටියා පපුවට තුරුළු කරගෙන ඇස් වහගෙන මරණය පිළිගන්න ලෑස්ති වෙනවා.

මොකක්දෝ වෙනසක් දැනෙනවා.

ලෝකෙම නැවතිලා වගේ.

හැමදේම නිහඬයි.

ඒ කියන්නේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕනේ නෑ.

මම ඉහලින් පේන එළිය දිහාට කුණුගොඩ හාරාගෙන යනවා.

මම පුස් පාන් ගොඩක්, හිස් බලු කෑම ටින් රංචුවක්, බලල් බෙටි තලියක් අතරින් ඔලුව එලියට දාලා කුණු ගොඩෙන් මතුවෙනවා.

දැන් මට කුණු, කුණු ගඳ ගානක් නැතුව යන ගානට ඇවිල්ලා. මට පේනවා අහස.

මම තාරා පැටියව ඔලුවට උඩින් උස්සනවා.

“අපිට පණ බේරගෙන මෙතනින් පැනලා යන්න පුලුවන් වෙයිද බලමු,” මම කියනවා.

තාරා පැටියා සතුටින් පීප්-පීප් ගානවා.

මම පණුවෙක් වගේ රිංගගෙන කුණුගොඩ හාරාගෙන  උඩට මතුවෙලා කුණු ගොඩ මුදුනේ ඉඳගන්නවා. ඉන් පස්සේ ඇස් වැහිලා තියෙන සෙවල ජරාව අතින් සූරලා  වටපිට බලනවා.

අපි යන්නේ ප්‍රධාන පාරක් දිගේ.  මට පේන විදීයට දැන් කට කපලා එකක් කුණු පැටවිලා තියෙන නිසා  මේක මේ කුණු හලන්න අර කුණු දාලා ගොඩ කරන වගුරු බිමේ තියෙන ලෑන්ඩ් ‍ෆිල් යනවා.  ඊට කලින් මේකෙන් පැනගන්න ඕනේ.  මගේ ජීවිතේ ඉතිරි කොටස ලෑන්ඩ් ‍ෆිල් එකක කොටසක් හැටියට ගෙවන්න මට ආසාවක් නෑ.

ලොරිය හතරමං හන්දියක රතු එළියට  නවත්තනවා.

මෙන්න මේකෙන් පැනගන්න අවස්තාව.

මම ලොරියේ පිටිපස්සෙන් බිමට බැහැලා අර කුණු බක්කි තියන තට්‍ටුව උඩ හිටගන්නවා.  කොළ එලිය වැටිලා ලොරිය පිටත් වෙනකොටම මම පනිනවා. දුවන ලොරියෙන් පනින මම, කකුල් පැටලිලා වැටිලා, කරණමක් ගහලා නතරවෙන්නේ කාණුවේ.

ඌයි!

ඒක නම් රිදුනා.  ඒත් ඒක කුණු ලොරියක් ඇතුලේ කැලැත්තෙමින් ඉන්නවට වඩා දාහෙන් සම්පතයි.

“ඔයාට මේ මොකද වුනේ?” ලස්සන කට හඬක් අහනවා.
දිව්‍යාංගනාවකගේ කට හඬක්.

ඒ කියන්නේ මම මැරිලා.

ඒ කියන්නේ මට කොහොම හරි අන්තිමේදි මහාමාරිය හැදිලා දිවියලෝකේ ගියා.

ඒත්…ඒත් මේ කටහඬේ මොකක්දෝ අහලා පුරුදු ගතියක් තියෙනවනේ.

මම ඇස් ඇරලා බලනවා.

ලීසා!

ලීසා මැක්නී කාණුවේ ලැගගෙන ඉන්න මා දිහා එබීගෙන බලා ඉන්නවා.

“ඇන්ඩී?”

“ලීසා? ඔයා මැරුණේ කවද්ද?”

“මැරුණේ?” ලීසා පුදුමෙන් අහනවා. “ඔයා මොනවද මේ කියන්නේ? අපි දෙන්න මුණ ගැහෙන්න කතා කරගත්තා නේද මෙතනදි?”

මම කාණු ගැට්ටේ ඉඳගන්නවා.
වටපිට බලනවා.

මේ දිවියලෝකේ නෙවෙයි.
මේ අපාය.

මම ඉන්නේ පාක් එක ඉස්සරහ.
හරියටම මම ලීසාව මුණ ගැහෙන්න පොරොන්දු වුන තැන.
මම හරි වෙලාවට හරි තැනට ඇවිත්. නමුත් අනිත් හැම දේම වැරදිලා. ආයේ හදන්න බැරි විදියටම වැරදිලා.

එයා හිටගෙන  ඉන්නවා පිවිතුරු, නැවුම්, කුමාරිකාවක් වගේ එයාගේ සිනිඳු ලස්සන හිසකෙස් උදේ නැවුම් හිරු එලියෙන් බබලමින්. මම ඉන්නවා මගේ පජාමාස් ඇඳගෙන , කුණු වලින් නාලා, මැස්සෝ පිරිවරාගෙන, රබර් තාරා පැටියා පපුවට තුරුල් කරගෙන, කාණු ගැට්ටේ ඉඳගෙන.

පට්ටම රොමෑන්ටික් සීන් එක.

“ඔයා සීරියස් කියලා මොහොතකට හරි විශ්වාස කරපු හිතපු මමයි මෝඩි,” නහය අතින් වහගෙන අඩි කීපයක් පස්සට ගන්න ගමන් ලීසා කියනවා.”අනේ මම අහුවුනානේ ඔයාගේ තවත් මෝඩ විහිළුවකට ඔයාගේ හැටි දැන දැනත්.”

“නෑ නෑ ලීසා. මම විහිළුවක් කලා නෙවෙයි.” මම නැගිටලා එයා දිහාට අඩියක් තියන ගමන් කියනවා.  මගේ උරහිසේ ‍රැඳිලා තිබුන පණුවෝ නලියන සෙවල මස් කුට්ටියක් ලිස්සලා ගිහින් ලීසාගේ පාමුල වැටෙනවා. එයා අතින් කට වහගෙන පස්සට පනිනවා.

“එන්නෙපා මා ලඟට,” එයා කෑ ගහනවා. “ඔයා, ඔයා ලඟ … ගඳේ බෑ!”

මම තව අඩියක් ඉස්සරහට තියනවා එයාට ලං වෙන්න. මගේ ඇඳුම් වලයි කොණ්ඩෙයි ‍රැඳිලා තිබුන බළල් බෙටි, සිගරට් කොට, බිත්තර ක‍ටු වැස්සක් වගේ බිම හැලෙන්න ගන්නවා.

එයා ආපහු හැරිලා දුවන්න ගන්නවා.

මම නැවතිලා ගල් ගැහිලා  බලං ඉන්නවා, මං පණට වැඩිය ආදරය කරන කෙල්ල, මාව අතෑරලා අප්පිරියාවෙන් ඈතට ඈතට දුවගෙන යන හැටි .

මගේ ජීවිතේ  අමතක නොවන, සුන්දරම උදෑසන වෙන්න තිබුණ එක, නරකම මූසලම, මුස්පේන්තුම උදෑසන බවට පත් වෙච්ච හැටි! ෂික්!

මට කාලම එන්න බැරි,  එයා ආයේ කවදාවත් මාව කිස් කරන්න හිතන එකක් නෑ.  කණ්නාඩිය ඉස්සරහා ප්‍රැක්ටිස් කරපුවා ඔක්කොම වතුරේ.

නමුත් අඩුම ගානේ, මම මොන කට්ටක් කාලා හරි, කුණු වැඩේ ගොඩ දා ගත්තා. තවත් වතාවක් ප්‍රදේශවාසීන් මහාමාරියෙන් බේරාගත්තා.

මම ජීවිත නම් කීයක් බේරාගත්තාද කියලා කාට කියන්න පුලුවන්ද?
රබර් තාරා පැටියගේ ජීවිතේ සඳහන් නොකලත්, මම කියන්නේ.

බලාපොරොත්තු නැතිම කරගන්න හොඳ නෑ.

මම ගෙදර යනවා. ගිහින් මේ මල ඉලව් නූල කපලා දාලා හොඳට නාගන්නවා ඔව් හොඳ…ට. හුඟාක් වෙලා ෂවර් එක යට ඉන්නවා.  අවශ්‍ය වුනොත් අර එයා ෆ්‍රෙෂ්නර් එකෙන් තව ටිකකුත් ගහ ගන්නවා – ඒක සෑහෙන පවර්ෆුල් ඈ.  ඊට පස්සේ ඉස්කෝලෙට ගිහින් එයාට කරුණු පැහැදිළි කරනවා. එයා එතකොට තේරුම් ගනීවි.

ඔව් මට මැවිලා පේනවා.

මම දීපු ගේම ගැන ඇහුවම එයා තේරුම් ගනීවි මම මොනතරම් වැඩ්ඩෙක්ද කියලා.  ඊට පස්සෙ මා ලඟ ගඳයි කිව්ව එකට එයා සමාව ඉල්ලයි.  බැගෑපත්ව සමාව ඉල්ලයි.  මම එයාට සමාව දෙනවා. දීලා කිස් එකකුත් දෙනවා.
හොඳ වෙලාවට මම කණ්නාඩියෙන් බලාගෙන ප්‍රැක්ටිස් කලේ, ඈ.

 

 

 

 

 


20140725_114115

නිමි.
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ගේ Just Wacky කෙටි කතා සංග්‍රහයේ  පළවූ Trash කෙටිකතාවේ පරිවර්තනයකි.

SImulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

ටැග: , ,

7 responses to “159. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

  1. JOKKU KADE SIRA

    ජූලි 28, 2014 at 3:37 ප.ව.

    KAGE WUNATH KUNU KATHAWAK

     
  2. hiruni

    ජූලි 28, 2014 at 4:05 ප.ව.

    ශා හරිම ලස්සන කතාව!😀 අනිතිම වෙනකල් හිතාගන්න බැරි වුනා මොකක් වෙයිද කියල! ලීසා තේරුම් ගත්තොත් හොදයි😀

    ඩුඩ් තව පරිවර්තන ලියන්න…..කතාත් ලියන්න…. (Y) .අපි හරිම ආසාවෙන් කියවන්නෙ. මේ හැකියාව හැමෝටම නෑ. ඒක හරිම දුර්ලබයි😀

     
  3. amilac2014

    ජූලි 28, 2014 at 7:05 ප.ව.

    කදිම කතාන්තරයක් තමයි මාත් ආසාවෙන් කියෙව්වා අවසාන වෙනකල්ම.

     
    • henryblogwalker

      ජූලි 28, 2014 at 8:36 ප.ව.

      ස්තුතියි අමිල. දිරිගැන්වීමක් කවදාවත් වැඩිවෙලා අහක යන්නේ නෑ. ඒ එක්කම මේකේ ගෞරවය හිමි Andy Griffiths ටයි කියලත් කියන්න ඕනේ.

       
  4. බස්සි

    අගෝස්තු 1, 2014 at 10:48 පෙ.ව.

    ඇන්ඩී ඇන්ඩී ඇන්ඩී…..❤

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: