RSS

167. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – දෙවන කොටස.

09 Sep

අර පළවෙනි කොටසෙන් දැකපු සමනල් යොවුන් වියේ ප්‍රේම කතාවෙ ඉතුරු ටික අහන්න බලා හිටිය කෙනෙක් යම් බලාපොරොත්තු කඩ වීමකට භාජනය වුනානම් මට සමාවෙන්න ඕනෙ. ඒ කෙල්ල මම ඊට පස්සෙ කවදාවත් දැක්කේ නෑ. It’s a small world කියන්නේ පට්ට පල් බොරු කතාවක්.

දශක එකහමාරකට පමණ පසු.
God forsaken Country: (North) Eastern Zone, Parallel Universe
ශාපලත් දේශය, (උතුරු) නැගෙනහිර පළාත, සමාන්තර විශ්වය.

මම රංජියගෙ ප්‍රෙස් එකෙන් අපිටම අච්චු ගස්සවගෙන ආපු ගුරු ස්ථාන මාරු  ඉල්ලුම්පත්‍ර පන්සීයක් එක්ක ඔට්‍ටු වෙනවා.  ඉල්ලුම්පත්‍ර පන්සීයක් මොකටද කියන ප්‍රශ්ණෙට මට දෙන්න තියෙන උත්තරෙ අර පර්ෆියුම් ස්ප්‍රේ එක කලිසම ඇතුලට ගහගත්ත හේතුවම තමයි. බඩු ෂුවර්ම වෙන්න. මම ඉඳගෙන ලියනවා. හිටගෙන ලියනවා. මෙට්ටේ වැතිරිලා ලියනවා. සිමෙන්ති පොළොවේ වැතිරිලා ලියනවා. නිදිමරාගෙන ලියනවා.

අවුරුදු තුනකට දුෂ්කර සේවයෙ යෙදෙන්න ගිවිසුමක් අත්සන් කරලා ජීවිතේ හොඳම කාලෙ මේ නරකාදියෙ ගෙවන්න හිත හදාගෙන ආවට, අවුරුදු හයක් ගිහිල්ලත්  තවම මෙතන.

දුෂ්කර සේවයට යන්න වෙන බව දැනගත්ත සමහරු ලොකු අතු හොයාගෙන පන්දම අල්ලලා කොහොම හරි වැඩේ ගොඩ දාගෙන සැපදායක  පළාත්වලට මුලින්ම යනවා. එහෙම ගියාම කවදාහරි දුෂ්කර සේවයට දාන්න ඉඩ තියෙනවා. ඉතින් දැන් ගිහින් ඕක ඉවර කලාම වැඩේ ගොඩනේ කියලා කියලා හිතන අපි පන්දම නො අල්ලා, සපත්තු ලෙව නොකා, දේශපාලුවෝ ගාවා දෙකට නොනැවී, අපි රටේ විවිධ දුෂ්කර පළාත් වලට යන්න කැමති වෙනවා. අපි ඇත්තටම රස්සාව ගන්නවත් දේශපාලුවෝ ලඟට ගියේ නැති එක  මොන එකකට උන්ට බලු වෙනවද?

මුලින්ම මුං වැඩේ දෙන්නේ පවුල් සංථාවට.

මම නැගෙනහිර (උතුරු නැගෙනහිර) පළාතේ ඇඹුල්පිතිබැම්මෙ. ගැබිණියක්ව ඉන්න බිරිඳ දකුණු පළාතේ.

පවුල් සැලසුම් සංවිධානය තවම ජාතිය වඳ කිරීමේ මෙහෙයුමේ රහසින් යෙදිලා ඉන්න බව තේරෙන්නේ අපිව අයිති අමාත්‍යාංශෙ නිලධාරි කියන උන් කියන කතා ඇහුවම. විවාහය ගැන, විවාහකයෝ ගැන අලුත උපන් කිරිකැටියෝ ගැන උන්ට හැඟීමක් නෑ. උන් නොකියා කියන්නේ කියන්නේ, දෙන්න රටේ කොන් දෙකක වැඩ කරපල්ලා. උඹලට තියෙන තදියමට ළමයි හදාගත්තට කරන්න දෙයක් නෑ කියලා.

උන්ගෙ ළමයි විතරයි ළමයි. අපේ ළමයි ළමයි නෙවෙයි. උන්ගෙ පවුල් විතරයි එකට ඉන්න ඕනෙ.

මෙහෙව් රටක ජීවිතේ සුන්දරතම අත්දැකීමක් වන දරු සුරතල් බැලීම වරප්‍රසාදලාභීන්ට පමණක් සීමා වෙනවා.
Parenthood for permit holders only.

එක විවාහක යුවලක් දරුවන් නැතිකමට දේවාල වලට, ෆර්ටිලිටි ක්ලිනික් වලට, ඉන්දියාවට යද්දි, තවත්  විවාහක යුවලකට දරුවකු පිළිසිඳ ගැනීම අසුභ බියකරු  ආරංචියක් බවට පත්වෙනවා.

කසාද බැඳපු ජෝඩුවට එක වහලක් යට ජීවත් වෙමින් සේවය කරන්න  අවස්ථාව සලසා ගැනීමේ මානව හිමිකම ගැනවත් කිසිම හැඟීමක් නැතිව හදපු ප්‍රතිපත්ති  සම්පාදන යටතේ එන  චක්‍ර ලේඛ, අපි අත්සන් කරපු ගිවිසුම් අපිට හරස් වෙනවා. නමුත් අවුරුදු තුනකට දුෂ්කර සේවාවට අමාත්‍යාංශ ලේකම් එක්ක අත්සන් කරපු ගිවිසුම, අවුරුදු හයක් අපිව එතනම තියලා උංම උල්ලංඝනය කරනවා. එතකොට ගහන්නේ වෙනම බයිලාවක්.

“අපිට ඔහේලව/ ඔයාලව/ තමුන්නාන්සෙලව නිදහස් කරන්න බැරි අනුප්‍රාප්තිකයෝ නැති නිසා.”

නිලධාරීවාදය කියන්නේ මහ අන්දොස් නැවියෙක්. ඌ  ඌට ඕනෙ ගමන් මගට අනුව මාලිමාව වෙනස් කරනවා මිස නැවේ ගමන්මග වෙනස් කරන්න ලෑස්ති නෑ.

මුලින්ම මුන්ට විරුද්ධ වෙන අපි පළවෙනි හිතුවක්කාරකම කරන්නේ දකුණු කොනේ දුෂ්කර සේවයේ යෙදුනු මගෙ ගැබිණි බිරිඳගෙ රස්සාව අතහැර දමා, එක පවුලක් හැටියට එක වහලක් යටට ඒමෙන්.  අපි හැම එකාගෙන්ම බැණුම් අහනවා. අම්මලා තාත්තලත් බණිනවා. අපි මහා නරක, හිතුවක්කාර, මුරණ්ඩු, දරදඬු, අලුගුත්තේරු, කිව්වා නාහන ජෝඩුවක් බවට පත්වෙනවා.

කොටින්ම මේ අපේ ගමේ ඉන්න වැඩිහිටියොත් පාරෙදි හම්බවුනාම දොස් කියන්න, හරස් ප්‍රශ්න අහන්න ගන්නවා. අපි සෙනග ඉන්න තැන් වලට යාම මග අරිනවා. නෑදෑ යාලුවෝ බලන්න යාමත් අඩු කරනවා. සෙනසුරාදා පොළේදි වුනත් කවුරුහරි කතාවට වැටෙන්න හැදුවොත් මොකක් හරි බොරු හදිස්සියක් පෙන්නලා මග අරිනව. කොටින්ම සමාජෙන් වහන් වෙලා ඉන්න වැඩ සිද්ද වෙනවා. කවුරුත් අපි දිහා බලන්නේ, අපරාදයක්, වේසකමක්, හොරකමක් කරපු උන් දිහා බලනවා වගේ. සමහරුන්ගේ මූණෙ තියෙන්නේ අනුකම්පාවක්.

හැම දෙයින්ම වෙන්නේ හිත තවත් පෑරෙන එක මිසක් සුවපත් වෙන එක නෙවෙයි.

අපි නෑදෑයෝ අතෑරලාම දානව, බණ අහගෙන ඉන්න බැරිකම නිසාම.

යාලුවොත් ඉතාම සීමා වෙනවා ලඟම කීප දෙනෙක් ඇරෙන්න.

මේ කොයි එකටත් අපේ පැත්ත ගන්න ඉන්නේ හැමදාම මහ මෙරක් වගේ මගේ පිහිටට හිතපු මගේ තාත්තා විතරයි.

වැඩට ගියාමත් ඊට දෙවෙනි නෑ. කෙනෙක් මාව කෙනෙකුට හඳුන්වල දෙන්නෙත්, “මේ අහවලානේ. මෙයාගෙ නෝනත් රස්සාව දමලා ගහලා ආවනේ. මං නම් කියන්නේ අපරාදෙ හදිස්සි වුනේ කියලා. තව ටිකක් ඉවසන්න තිබුනේ.”

එකට වැඩ කරන උන් අහන්නේ,

“කෝ දීප? ගෙදරද? එයාට පාළු ඇති නේද? අර රස්සාවක් කරලා කරලා එක පාර ගෙදර ඉන්න වුනාම…”

“රස්සාව හදාගන්න බැලුවේ නැද්ද?” කෙනෙක් අහන්නේ අනුකම්පාවෙන් බලලා.

තව කෙනෙක් කටින් ප්‍රශ්ණෙ නොඇහුවත්, බලන බැල්මෙ හුඟක් දේ අඩංගු බව ඉතාම පැහැදිලියි..

කිඹුලා කනවා ඉවසන්න පුලුවන් වුනත්, කොහිල ක‍ටු ඇනෙනවා ඉවසන්න අමාරුයි.

හොඳ වෙලාවට කාරණා තේරුම් අරං බොක්කෙන් උදව් කරන යාලුවෝ කීප දෙනෙක් ඉතුරු වෙනවා.

දරුවෙක් ලැබුනාම සාමාන්‍යයෙන් වියදම් කිහිප ගුණයකින් වැඩි වෙද්දී. අපේ පවුලේ ආදායම හරි අඩකින් පහල වැටෙනවා. නමුත් කිසි කෙනෙකුට බරක් නොවෙන්න ජීවත් වෙන්න හිතන අපි වියදම් කපාහරිනවා.

දරුවට හොඳම දේවල් දෙන අපි,  අපි දෙන්නට අවමයෙන් වියදම් කරගෙන ජීවත් වෙනවා.

පඩිය ලැබුනම කොටස් වලට බෙදලා, එක එක විදියට ලේබල් කරපු  ලියුම් කවර ගණනාවකට වෙනම දාලා, අන්තිම පරිස්සමෙන් වියදම් කරනවා.  අපි වගේම තවත් ජෝඩු මහ ගෙවල් වලින් ආධාර ලබනකොට, අපි අඩුපාඩු ඇතිව වුනත් ස්වාධීනව ජීවත් වෙනවා.

Life’s three best teachers are heartbreaks, empty pockets and failures කියලා කවුදෝ  කිව්ව කතාව ඇත්තක් බව නැවත නැවත පසක් වෙනවා.

නිවාඩුවකට ගමේ ඇවිල්ල හිටපු දවසක එක පාන්දරක, උන්ගෙ තාත්තගෙ සී නයින්ටිය ඉල්ලගෙන එන මගෙ හොඳම යාලුවා මහින්දයා, අපි දෙන්නව පටවගෙන කිලෝමීටර් දහයක් ගිහින් දකුණට යන පාන්දර එක්ස්ප්‍රස් බස් එකට අපි දෙන්නව පටවනවා. අපේ මෙහෙයුම පොඩි එකීව ගෙදරට බාර දීලා, දවසක් ඇතුලත දකුණු අධ්‍යාපන කාර්‍යාලෙන් නිදහස් කරන ලියුමක් අරන්, එදාම ආපහු එන්න.

ඉන් පස්සෙ මධ්‍යම පළාතේ අධ්‍යාපන කාර්යාලයට කී පාරක් දරුවත් වඩාගෙන බඩ ගෑවද කියලා මට මතකයක් නෑ.

අන්තිමේදි ජීවිතේ ලබපු ලොකුම ජයග්‍රහණයක් සනි‍ටුහන් කරමින් දීපට එක දුෂ්කර දිස්ත්‍රික්කයකින් තව දුෂ්කර දිස්ත්‍රික්කයකට මාරුවීම ගන්න හැකි වෙනවා. ඒ වුනාට බිරිඳ වැඩට යන්නේ දිස්ත්‍රික්ක සහ පළාත් දෙකක් එහා ඉස්කෝලෙකට. එක දවසක් නිවාඩු ගත්තොත් සෑහෙන මුදලක් ඉතුරුයි.

අපි එතනට ගිහින්, මම මෙතනට වැඩට නො එන්නේ හේතු ගණනාවක් හන්දා. එකක් පුදුම සටණක් දීලා ගත්ත ඇඹුල්පිතිබැම්ම රජයේ නිළ නිවාසය දාලා කුළී ගේකට ගෙවන්න වත්කමක් අපිට නෑ. අනික උදේට මේ පැත්තේ ඉඳලා ඒ පැත්තට මිසක්  ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට එන්න ප්‍රවාහණයක් නෑ. ගුරු රස්සාවට ලැබෙන හිඟණ වැ‍ටුපෙන් කරන්න පුලුවන් දේ සීමිතයි.

පොඩි එකීව දැනට බලාගන්නෙ මමමයි, රස්සාව කරන ගමන්ම. අසනීපෙන් ඉන්න මගෙ තාත්තා හැකි වෙලාවට රට හරහා ගමන් කරලා ඇවිත් දරුවත් එක්ක ඉන්නේ අපිට වැඩිම දවසක් වැඩට යන්න හැකිවෙන්න. නමුත් අධි රුධිර පීඩනයට ක්ලිනික් එකට යන්න තියෙන නිසා තාත්තට ඉක්මනටම ආපහු යන්න වෙනවා. එහෙම හොඳ තාත්තලට වැඩිකල් ජීවත් වෙන්න ලැබෙන්න දෛවය ඉඩ දෙන්නෙත්  නෑ.

අපි ගොංකමට පැනගෙන ගියාට මෙහෙට එන්න කවුරුත් කැමති නැති නිසා ඉන්න තැනින් නිදහස් නොකිරීමට අමතරව, අපිට ආපහු එන්න බැරි අනිත් ප්‍රධානම හේතුව අපේ පළාත්වල පුරප්පාඩු නැති වීම.

මෙහෙම ඉඳලා, ඔන්න අවුරුදු හයකට පස්සෙ, ආණ්ඩුවෙ පත්තරේ පි‍ටු ගණනාවක් පුරාවට බස්නාහිර, මධ්‍යම ඇතුළු ස්ථානවල තියෙන පුරප්පාඩු ප්‍රසිද්ධ කරනවා. මම පත්තරේ ගන්නේ පත්තර කාරයව ඇම්බුෂ් කරලා.

මම මුලින්ම කරන්නේ රංජියට කියලා ඉල්ලුම්පත්‍ර 500ක් අච්චු ගස්සා ගන්න එක. ඉන් පස්සෙ දිග ලියුම් කවර බන්ඩල්, පෑන්, මුද්දර ෂීට් එහෙම අරගෙන මෙහෙයුම පටං ගන්නවා.

ඉල්ලුම් පත්‍ර පන්සීයක් අතින් පුරවන එක ලේසි කෙලියක් නෙවෙයි. දවස් දෙක යනකොට මගේ ඇඟිලිවල දියපට්ට ඇවිත්, ඒවා පුපුරලා, පෑන අල්ලනකොට ඇඬෙනවා. ඒත් අපි අරින්නේ නෑ. ඒවා දිග ලියුම් කවරවලට දාලා තැපැල් කන්තෝරුවෙන ගෙනත් තිබ්බ මුද්දර ෂීට් එකෙන් මුද්දර ඉරලා අලවලා, කවරෙත් ලිපින දෙකක් ලියලා, ලි. ප. තැ. කියලා ලියලා, අලවනකොට ඇතිවෙන්නේ පුදුම ආත්මානුකම්පාවක්.

කාලා එන්න බැරි වැඩේ මේ ඔක්කොම ලියුම් වලින් ආපහු උත්තර එන්නේ එකම එක ඉස්කෝලෙකින් විතරයි. ඒකටත්  හේතුව ඒකෙ විදුහල්පති මගෙ මාමා කෙනෙක් වීමයි. නමුත් ඒකත් පත්තු වෙන්නේ නෑ.

ඔය ඉස්කෝලෙකට යන්න නම් ඉන්න තැනින් නිදහස් කරන ලියුම ඕනෙ.

කොහොම හරි වැඩේ ආපහු පටං ගත්ත තැනමයි.

කලාප කාර්යාලවලට කොයි තරම් ගාටනවද කිව්වොත් ඒවයෙ වැඩ කරන ලොක්කගෙ පටන් පොඩ්ඩා දක්වා සියළුව සේවකයන්ට මාව නයාට අඳුකොල වගේ පේන්න ගන්නවා. ඒක අන්‍යෝන්‍ය  හැඟීමක්.

සමහරු ලඟට ගියාම, උන් අපිව ගනං නොගෙන උන්ගෙ වැඩ දිගටම කරන හැටි දැක්කාම මම වෙලාවකට බිම බලනවා මම ඇත්තටම එතන හිටගෙන ඉන්නවද කියලා සැක හැර දැන ගන්න.

අවුරුදු තුනක් කන්න නියමිත කට්ට අවුරුදු හයක් කාලත් අපිට ගෙදර යන්න නොදෙන්නේ ඇයි කියලා ඇහුවම කියන්නේ ලේ උණුවෙන කතාවක්.

“අපිට ඔහේලව/ ඔයාලව/ තමුන්නාන්සෙලව නිදහස් කරන්න බැරි අනුප්‍රාප්තිකයෝ නැති නිසා.”

“ඉතිං අපි එනකොට ඔය කතා කිව්වේ නෑනේ.”

“මෙහෙට එන්න කවුරුත් කැමති නෑ.”

“ඉතින් ඒක මෙතනට එන්න එකඟවුනු  අපේ වැ‍රැද්දක්යැ?  එහෙම කියලා කැමැත්තෙන් ආපු එකාව තියං ඉඳලා හරියනවෑ?

“ඔය කතාවල් වලට තර්ක වලට උත්තර දෙන්න අපි බැඳිලා නෑ. අනුප්‍රාප්තිකයෙක්  හොයාගෙන ආවොත් හෙට උනත් අත්සං කරන්නම් ලියුම.”

මම එකෙක් දෙන්නෙක් නොමරා ඉන්නේ පුදුම ආත්ම පාලනයකින්. මම ටිකක් වෙලා ඇස් පියාන ඉන්නවා. දහයට ගණිනවා. ගැඹුරට හුස්ම ගන්නවා. ඒ නිසාම අරූට ජීවිත දානය ලැබෙනවා.

මම එක පාරක් ඔය නිදහස් කරන ලියුමක් අත්සන් කරගන්න මොකෙක්දෝ ඇමතියෙක්ගෙන් අත්සන ගහගන්න අර නටබුන් නගරෙන් හැරිලා, හූම් හූම් ගාන කුරුල්ලගෙ ගමටත් යනවා. ඇමතියා ඇවිත් නෑ. ආවත් ආරක්ෂකයෝ ඒකා ලඟට කිසි කෙනෙකුට යන්න දෙන්නෙ නෑ. මම ආපහු එනවා.

මේ වෙනකොට උතුරත් නැගෙනහිරත් ඒකබද්ධ කරලා නිසා මට සිද්ද වෙනවා හැතැප්ම ගානක් ගෙවාගෙන සුප්‍රසිද්ධ නාවුක වරායක් තියෙන නැගෙනහිර නගරයටත් යන්න මහ ඇමතිගෙ අත්සන ගන්න. ටෙරාලා මගදි ගහන නිසා බස් යවන්නේ කොන්වෝයි හදලා. රෑට ගමනක් නෑ.එක පාරක් මම නවතින්නේ නාවික හමුදා කඳවුරේ යාලුවෙක්ගෙ අයිය කෙනෙක් එක්ක. මම නැවතිලා ඉන්න දවස් කීපයෙදි මම නාවුක හමුදා ජීවිතය ගැන ඇති තරම් ඉගෙන ගන්නවා. නමුත් ගිය වැඩේ හරියන්නේ නෑ.

එක පාරින්ම වැඩේ හරි නොයන නිසා මම නැවත නැවත යනවා. තව පාරක් නවතින්නේ පොලිස් බැ‍රැක්කෙක, ගමේ යාලුවෙක්  වන නාලක මල්ලී එක්ක. යාලුවෙක් කිව්වට ඒකා ඇත්තටම මගෙ නෑදෑයෙක් ලඟ කලින් සුළු රස්සාවක් කරගෙන හිටපු ගමේ කොල්ලෙක්.  පොලිස්කාරයෝ ඔක්කොම බල්ලෝ කියන අදහස මම වෙනස් කරගන්නේ මේ පොලිස් බැ‍රැක්කෙදි. උන් ඇත්තෙන්ම මට සලකන්නේ සහෝදරත්වයෙන්. කාපු පිඟාන මම හෝදන්න කලින් අරන් ගිහින් හෝදන, තමන්ගේ ඇඳ මට දීලා වෙන කොහෙ හරි ගිහින් නිදාගන්න පොලිස්කාරයෝ මම දකින්නේ එහෙදි. තමන්ගෙ සිගරට් එක මට බලෙන් දීලා තව එකෙක්ගෙ සිගරට් කොටේ ගහන පොලිස් කාරයෝ මම දකින්නේ එහෙදි.

“සාමාන්‍යයෙන් අපි දකින්නේ පොලිස් කාරයෝ ජරා උන් හැටියටනේ. ඇයි බං උඹලා විතරක් මෙහෙම?” මම අහන්නේ දරාගන්නම බැරි තැන.

උඩ බලාගෙන ගල් වඩිය කටට හලා ගන්න එකෙක් මූණ ඇඹුල් කරලා,
“දසයෝ ඉන්නවා අයියේ ඕනැ තරං. මේ අපි අතරත් ඉන්නවා. ඔන්නම් කණෙන් පෙන්නන්නං එකෙක්ව.,” කියලා මහ හයියෙන් හිනාවෙනවා.

“මටත් මේ රස්සාවට එනකල්ම හම්බවෙලා තියෙන තරමක් පොලිස් කාරයෝ වැඩි හරිය දසයෝ තමයි අයියේ,” තව එකෙක් කිව්වා.

ඔය මට උදව් කරපු නාලක මල්ලී පස්සෙ කාලෙක රස්සාවත් අහිමි වෙලා හිරේ යන්නේ ගමේ මිනිස්සුන්ගෙන් මරණාසන්න වෙන්න ගුටිකාලා හිටපු සැකකාරයෙක් අත් අඩංගුවට අරගෙන ගෙනියද්දි සැකකාරයා මගදි මැරිලා, වරද මූ පිට පැටවෙච්ච නිසයි.  හොඳට වැඩි ආයුෂ නෑ. ජරා බල්ලෝ උසස්වීම් ලබද්දි, හොඳ එවුන් හිරේ යනවා.

අවුරුදු ගානක් නඩු කියලා මේ ලඟදි යන්තම් නිදහස් වෙලා.

“පොලිස් කාරයෙක් රිමාන්ඩ් ඉන්නකොට අනිත් හිරකාරයෝ උඹව මාර පනිෂ්මන්ට් දෙන්න ඇති නේද  මල්ලි?”

“වැඩක් නෑ අයියේ, ඒ කාපු කෑම ගැන අපි කතා නොකර ඉම්මු. ජීවිතේ ඔහොම තමයි.”

ඇමති මුණ ගැහෙන්න මාත් එක්ක කීප වතාවක් ගිය පොර පස්සෙ මොන ජාතියෙන් හරි ඇමතිව ලව්වා  ලියුම අත්සන් කරලා මගෙ අතටම දෙන වගකීම බාර ගන්නවා.

මම අන්තිම වතාවට යන්නේ එහෙම අත්සන ගහපු ලියුම ගන්න. එදා මට චෙක් පොයින්ට් වලදි විඳින ගැහැටවත්, ලඳු කැලෑ, මුඩු බිම් හරහා වැටිච්ච අබලන් පාරේ ඕනෙම තැනකදි එල්ටීටීඊ  ප්‍රහාරයකට මූණ දීලා පරලොව යන්න පුලුවන් බවවත් ගානක් නෑ. බස් එකෙන් බැහැලා යද්දි නගරේ තිබ්බේ පොලිස් බංකරේ හිටිය නාලක මල්ලී ලියුම මගේ අතටම දුන්නාම මට ඌව පේන්නේ කාකි පොලිස් ඇඳුමක් ඇඳගත්ත දෙවි කෙනෙක් වගේ.

මුලින්ම හදාගන්න ලැබෙන්නේ දීපගෙ මාරුව. මගෙ මාරුව හදාගන්න තව පියවර කීපයක් යන්න ඕනේ. අහන අහන තැනින් කියන්නේ එහෙන් නිදහස් වෙලා ආවට පුරප්පාඩු නෑ කියලා.

අපි ගෙදර බඩු ටිකත් ට්‍රක් එකක පටවාගෙන ගමට ආපු දවසේ අවුරුදු හයක් ජීවත් වෙච්ච ශාපලත් දේශයේ දුෂ්කර ගම්මානය අවසන් දකින විට ඇතිවුනේ දුකක් නෙවෙයි. හිරෙන් නිදහස් වෙලා යන කෙනෙකුට ඇතිවෙන හැඟීම.

Promised Land: Western Province, Parallel Universe.
පොරොන්දු දේශය, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.

උදේට  මෝට බයික් එකේ තුන්දෙනාම අගනුවර එනවා. පොඩි එකී බිරිඳගෙ ඉස්කෝලෙ ලඟම කන්‍යාරාමයක තියෙන දිවා සු‍රැකුම් මධ්‍යස්ථානයකට දාන්න හැකිවෙන්නේ පෙර වාසනාවකටද කොහෙද. දීපා ඉස්කෝලෙ ගාවින් බස්සන මම දිගටම යනවා අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටලා නියෙන නමින් කප්රුක වුනත් එතන වැඩ කරන උන්ගේ ක්‍රියාකලාපය නිසා අපාය යන සුරතල් නාමයෙන් හැඳින්වෙන  ගොඩනැගිලි සංකීර්ණයට.

මම හුඟක්  වෙලාවට දවල්ට කන්නේ අපායේ කැන්ටිමෙන්.  ඒකෙම රස්තියාදු වෙලා එතන ඉන්න සමහරු හිතන්නේ මම එතන වැඩ කියලා. එක එකා ගාවට ගිහින් හරි මගෙ වැඩේ ගොඩ දාගන්න මම පුදුම කට්ටක් කනවා.

එකෙක් නිවාඩු නම් ඒකගේ වැඩ කරන්න වෙන කෙනෙක් දාන වැඩ පිළිවෙලක් මෙතන  ඉන්න උන් අහලා වත් නෑ. අරූ ආපහු වැඩට එනකල්ම දිගටම එතනට යන්න ඕනේ. ඒකා ආපසු ආවාම දැනගන්න ලැබෙනවා ඌ නෙවෙයි ඒක කරන්නේ අර මම මෙතන රස්තියාදු වෙච්ච මුළු පහුගිය කාලේම එහාපැත්තේ මේසේ හිටපු එකා කියලා. නමුත් කණගා‍ටුව දැන් ඌ නිවාඩු ගිහින් තියෙන එකයි.

හිරකාරයෝ අඳින ඇඳුමට මම එච්චර හැඩ නැතිබව මතක් කරන මම දහයට ගැනලා කැන්ටිමට යනවා. සිගරට් එකක් පත්තු කරගෙන, ඇස් පියාගෙන, ගැඹුරට හුස්ම අරගෙන එකෙක්වත් නොමරා ඉන්න උත්සාහ කරනවා.

“මේකට මිස් භගමනීගෙ අත්සන ඕනෙ කරනවා.” එකියක් මූණ පුළු‍ටු කරගෙන කියනවා.

ඔය ඔෆීස් වල වැඩ කරන උන් උන්ගෙ සගයන්ව අපිට හඳුන්වලා දෙන්නේ මැඩම්ලා සර්ලා හැටියට. අපි මේ, හලෝ වගේ අය.

මම ගිහින් භගමනීගෙ වීදුරු දොරට තට්‍ටුවක් දාලා ඇතුලුවෙනකොට මම දන්නෙ නෑ එයාගෙ ටැම්පොන් එකේ සේව නූලට කවුරු හරි ගිණිතියලා ගිහින් බව.

Excuse me. Miss Bhagamani?” වීදුරු දොරෙන් ඇතුල් වෙන මම කියනවා.

There’s NO Miss Bhagamani here.” ගෑණි ගුගුරනවා.

“Uh huh, they sent me here to meet a certain Miss Bhagamani to get this letter countersigned.”

“I’m MRS BHAGAMANI. I’m NOT MISS BHAGAMANI.” ගෑණි බුරා හැලෙද්දි කාමරේ හිටපු අනිත් ගෑණු පරානෙ මා දිහා අනුකම්පාවෙන් බලනවා.

“I’m very sorry MRS BHAGAMANI, that I called you Miss. Can I get this signed please?”

අවිවාහක ගෑණියෙකුට මිසිස් කිව්වොත් මැරුම් කන්න වෙන එක මට හිතාගන්න පුලුවන්. නමුත් විවාහක ගෑණියෙකුට මිස් කියලා මේවගේ මාරාවේශ වෙච්ච වෙලාවක් මම මීට කලින් අහලවත් නෑ. මින් මනත, ඕනෙම ගෑණියෙකුට, සැක සහිත අවස්ථාවල Missවත් Mrsවත් නොකියා Ms කියන්න මම හිතේ සටහන් කරගන්නවා.

මාරුවේ අවසාන අදියරටත් මම කොහොම හරි ඇවිල්ලා.  මම පෞද්ගලිකව මම ඉගෙනගත්ත රතුපාට ඉස්කෝලෙ ඇතුලුව අගනුවර තව ඉස්කෝල ගණනාවකට යනවා පුරප්පාඩු තියෙනවද කියලා බලන්න.

පුරප්පාඩු තියෙයිද අපි ඉගෙනගන්න  කාලෙ හිටිපු ගුරුවරු සෙට් එක තවම දෙයියනේ කියලා ඒ ඉස්කෝලවලම යහතින් වැජඹෙනකොට!  සමහර සුපිරි ඉස්කෝලවල සමහර ගුරුවරු පත්වීම ගත්ත දා ඉඳලා විශ්‍රාම යනකල් අඛණ්ඩව සේවය කරනවා. එහෙම නැත්නම් එක සුපිරි ඉස්කෝලෙකින් තව සුපිරි ඉස්කෝලෙකට මාරු වෙනවා. අනික, මහ උන්ගෙ ගෑණු රොත්තම හොඳ පළාත්වල, හොඳම ඉස්කෝලවල අර‍ටු බැහැලා ඉන්නේ.

මම අන්තිම දොරට තට්‍ටුවක් දාලා ඇතුල් වෙන්නේ මේක ඇතුලෙ ඉන්නේ ගෑණියෙක් නොවීම ගැන දෙවියන්ට ස්තුතිවන්ත වෙමින්.

මේ කාමරේට ඇතුල් වෙච්ච ගමන්ම මම දකින්නේ බිම බිත්තියට හේත්තු කරලා තියෙන ගිටාර් එක. ඉන් පස්සේ ක්ලැරන්ස් විජේවර්ධන වගේම පෙනුමක් තියෙන ‍රැලි කොණ්ඩයක් සහිත ගිටාර් හිමි සංගීතකාමී අධ්‍යාපන බලධාරියා.

සංගීතයට ලැදි මිනිස්සු මෘදු හදවත් ඇති මිනිස්සු කියන උපකල්පනයේ ඉන්න මට ඇතිවෙන්නේ කවදාවත් අපායෙදි ඇති නොවිච්ච පහන් හැඟීමක්.

ක්ලැරන්ස් මගෙ ලියුම් කියවන අතරේ මම ගිටාර් එක දිහා කෑදර බැල්මකින් බලනවා.

“වේකන්සි නෑනේ.” ක්ලැරන්ස් කියනව.

“මම මේ තාක් දුරට ආවේ පුදුම දුකක් විඳලා. අවුරුදු තුනකට දුශ්කර….”

“මේ, මේ, මේ, ඒවා වැඩක් නෑ. වේකන්සි නෑ අගනුවර.”

“මම ශාපලත් දේසෙන් නිදහස් වුනේ පුදුම අපා දුකක් විඳලා. මම…”

“හරි හරි, ඕව මට කියලා වැඩක් නෑ. වේකන්සි නෑ මෙහෙ.”

සංගීතයට ලැදි මිනිස්සු මෘදු හදවත් ඇති මිනිස්සු කියන උපකල්පනය මම නැවත සලකා බැලිය යුතුයි අංශයට හිතෙන් යොමු කරනවා.

“එතකොට දැන් මම මොකද කරන්නේ? මුලින් මෙහෙන් කිව්වේ අරෙහෙන් නිදහස් කරනකල් මෙහෙට ගන්න බෑ කියලා. අච්චර අමාරුවෙන් අරෙහෙන් නිදහස් වීමේ ලියුමත් අරගෙන ආවාම…”

“හරි ඉතින්, ඔයා ඒ ලියුම හදාගෙන එනකොට පෙරහැර ගිහින්.”

මටත් මිටියක් අතට ගත්තාම හැමදේම පේන්නේ ඇණයක් වගේ තමයි.

“මම පහුගිය ටිකේ ජීවත් වුනේ මේ ගොඩ නැගිල්ලෙ. එක්කො අදාල නිලධාරියා නිවාඩු. නැතිනම්…”

“ඕවා මට කියලා වැඩක් නෑ.”

මම වාක්‍ය ඉවරකරනකල් ඉන්න බැරි අමාරුවක් ක්ලැරන්ස්ට තියෙනවා. සමහවිට කලින් අහලම නවතාවය ගිහින් ඇති.

මගෙ ඔලුවේ සින්දුවක් වාදනය වෙන්න ගන්නවා

මම පැන්න පස්සට
ගිටාර් එක ගත්තා දෑතට
දුන්න ඔලුවට
ගිටාරෙකේ කෑලි හැලෙන්න

මම හිතුනට එහෙම කරන්නේ නෑ.  මාංචු එක්ක පොලිස් කූඩුවේ ඉන්න මට ඇප දෙන්න දීපා දරුවත් වඩාගෙන, තාත්තත් එක්ක ඇවිල්ල ඉන්න හැටි මනසින් දැකලා මම ආයෙම ගැඹුරට හුස්මගන්නවා.

“දැන් මම මොකද කරන්නේ?”

“මොනව කරන්නද. ආපහු යන්න තමයි වෙන්නේ,” කියන ක්ලැරන්ස් ගිටාර් එක අතර අරගන්නවා. දැන් කොහොමත් මට ගිටාර් එක දෑතට ගන්න බෑ. මම පු‍ටුවෙන් නැගිටලා ආපහු හැරෙන්නේ දත්මිටි කාගෙන.

“එක වේකන්සි එකක්වත් නැද්ද?” මම මම නැවතිලා අන්තිම වතාවට අහනවා.

“එකක් තියෙනවා. එච්චරයි තියෙන්නේ.”

උමගේ කෙලවර එලියක් මට පේන්න ගන්නවා.

“කොහෙද ඒ?” මම අහන්නේ කාන්තාරෙ දවස් ගානක් ඇවිදලා ක්ෂේම භූමියක් ඈතින් දැක්ක එකෙක් වගේ.

“ඒකෙ වැඩ කරන්න බෑ. ඒකයි ඒක ඉතුරු වෙලා තියෙන්නේ. අර කඳංයාය, යක්පුරේ, යක් ඉස්කෝලෙ.”

උමගෙ කොනේ එලිය නිවිලා යනවා. ඉන්ධන ගැලපුම් ගාස්තුයි අරකයි මේකයි එක්ක හෙන බිලක් එනවා ඇති.

මට මතක් වෙන්නේ අර අතීත සිද්දිය.

“අයියෝ!” මට කියවෙන්නේ ඉබේම.

“ඒක තමයි ඒක ඉතුරු වුනේ.'”

“කැමතිනම් මෙන්න මේක අරන් යන්න පුලුවන්. නැතිනම් ආපහු ඇඹුල්පිතිබැම්ම සාපලත් දේශයට යන්න පුලුවන්,” කියන ක්ලැරන්ස් ලියුමේ යට කෙටි සටහනක් සටහනක් දාලා අත්සන් කරනවා.

මම මරණ වරෙන්තුව අරන් එලියට එද්දී, ක්ලැරන්ස් ගිටාර් එකේ  දිලීප පොඩී පුතූ සින්දුවේ ඉන්ට්‍රො එක ගහනවා මට ඇහෙනවා.

කාමරෙන් පිටවෙද්දි මට වීදුරු දොරේ පින්තාරපු කරපු ගාම්භීර නාම පුවරුව පේනවා.

‘Clitoris Gudawansa ක්ලිටරස් ගුදවංශ. අධ්‍යාපන අහවලා.’

තව ඉවර නෑ.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 
 

3 responses to “167. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – දෙවන කොටස.

  1. Net Mosquito

    සැප්තැම්බර් 10, 2015 at 10:17 පෙ.ව.

    ‘දුෂ්කර පළාත්‘ කියල ජාතියක් තාමත් පවත්වා ගෙන ඉදිම ගැන වගකියන්න ඕන උදවිය තෝරල, ඒ අයව පදිචං කරල දාන්න පුළුවන්නම් ඒ පළාත්වල…… !http://syberheartblog.blogspot.com/

     
    • henryblogwalker

      සැප්තැම්බර් 11, 2015 at 1:06 ප.ව.

      හෙහ් හෙහ්. මරු කතාව. නමුත් අද මට ඔතන ඉන්න එක ගේමක් නෙවෙයි එදාවගේ. අද වගේ ලැප්ටොප් එකක්, ස්මාට් ෆෝන් එකක්, වාහනයක් හෙම තිබ්බා නම් ඕක සම්පූර්ණයන් වෙනස් අත්දැකීමක් වෙනව. නමුත් එදා ඩෝසරෙන් කපපු දූවිලි පාරවල්, බඩු ගිණි ගනං. අව්වේ වේලපු කලටි පොල් ගෙඩියක් අපි එහෙ පොලෙන් ගන්නෙ අද ගන්න ගානට. මැලේරියාව…

       
  2. Ajith Dharma

    සැප්තැම්බර් 26, 2015 at 4:12 පෙ.ව.

    මේක ඇත්තටම වුනු දෙයක් වගේ මට පේන්නේ .

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: