RSS

168. නමුත් ඔයා ගුරුවරයෙක් නෙවෙයි.

15 Sep

අද හැමෝම කියනවා මට නියමෙට චිත්‍ර අඳින්න පුලුවන් කියලා. ඔයාගෙ චිත්‍ර මම දැකලා තියෙනවා. ඇත්තෙන්ම ඒවා ලස්සන නෑ. හොඳ උත්සාහයක් කියලා කියන්න පුලුවන් වුනාට, ඒවා හොඳ නිර්මාණ කියලා කියන්න බෑ ඔයා මගෙ තාත්තා වුනත්. ඔයාගෙ චිත්‍ර මගෙ තරම් ලස්සන නැති වුනාට මාව චිත්‍ර ශිල්පියෙක් කලේ ඔයා කියලා ඔයා දන්නවද?

මම අර අපි මුලින්ම හිටපු කුලී ගෙදර ඉස්තෝප්පු කෑල්ලේ බිම වැතිරිලා ඇඳපු බලි චිත්‍ර ඔයාට මතකද. ඒ පාරේ, ඒ කාලේ බස් එකක් යන්නේ ඉඳලා හිටලා වුනත් මම හරිම ආසයි ලංගම බස් අඳින්න. බස් එක ගේ ඉස්සරහ නැවැත්තුවාම මම වේගයෙක් ඒක පිටපත් කරනවා බස් එක පිටත් වෙන්න ඉස්සර. මුලින්ම දිගටි පෙට්ටියක් ඇඳලා ඒකට රෝද දානවා. ඉන් පස්සේ ජනෙල් සහ ෆුට් බෝර්ඩ්. ඉස්සරහම ජනේලෙ අස්සෙන් උඩට මතුවෙන කොකිස් අච්චුව වගේ ස්ටියරිං වීල් එක තමයි මට බස් එකේ හැමදේටම වඩා වැදගත් අංගය. ලොකුම ප්‍රශ්ණෙ බස් එකේ ඉඳගෙන යන මිනිස්සු අඳින එක. මිනිස්සුන්ගෙ නහය කට අඳින එක තාම මොන්ටිසෝරිවත් යන්නේ නැති මට ලොකුම අභියෝගයක්.

එතකොට මම ඔයාගෙන් උදව් ඉල්ලනවා,

ඔයා කවදත් මගේ මගෙ උදව්වට එනවා.

මුලින්ම ජනෙල් රාමුව ඇතුලෙ බස් එකේ පස්ස පැත්තට හැරෙන්න රවුම් තුන්කාලක් අඳිනවා. බස් එකේ ඉස්සරහ පැත්තට තියෙන පැත්තෙ සිග්සැග් ඉරි වලින් මූණ අඳිනවා. ඉන් පස්සේ ඔලුව සම්පූර්ණ කරලා ඉරි දෙකකින් බෙල්ල අඳිනවා ජනේලෙ අඩිය දක්වා.

face

ඒ තමයි ඔයා මා මිනිස් මුහුණක් අඳින්න කියාදුන්න විදිය. පස්සෙ පස්සෙ මම සිග්සැග් ඉරි පාලනය කරලා ඒවා නළල, නහය කට නිකට බවට පරිනාමය කරනවා. නමුත් මූලික අඩිතාලම දැම්මේ ඔයා. ඒක මට අමතක නෑ. ඔයා පෙන්නපු පාර දිගේ ඔයා වැඩි දුරක් නොගියට මම සෑහෙන දුරක් ගියා කියලා මටත් හිතෙනවා.

නමුත් ඔයා චිත්‍ර ගුරුවරයෙක් නෙවෙයි.

මට මතක් වෙන්නේ මගෙ දුවගේ සෞන්දර්යය ගුරුවරියෝ හතර දෙනා. කෙල්ල චිත්‍ර අඳින්න ගියාම චිත්‍ර ගුරුතුමී කියනවා ඔයාට චිත්‍ර අඳින්න බෑ හිරුණි, ඔයා සංගීතෙට හරි නැ‍ටුම් වලට හරි යන්න.

නැ‍ටුම් ගුරුතුමී කියනවා හිරුණි ඔයාට නටන්න බෑ, ඔයා වෙන සෞන්දර්යය විෂයකටයන්න

පෙරදිග සංගීතේ ගුරුතුමී කියනවා ඔයාට සින්දු කියන්න බෑ හිරුණි, ඔයා වෙස්ටර්න් මියුසික් ගන්න බලන්න.

බටහිර සංගීත ගුරුතුමී කියනවා, ඔයාට සින්දු කියන්න බෑ හිරුණි ඔයා වෙන සෞන්දර්යය විෂයයක් යන්න.

පස්සේ කෙල්ල ඉංග්‍රීසි සාහිත්‍යය ‍තෝරාගන්නවා.

ඒ වෘත්තීය ගුරුවරු. තාත්තා ‍රැකියාවෙන් සංඛ්‍යාලේඛණ විමර්ෂක නිළධාරියෙක් වෙලත් මාව චිත්‍රශිල්පියෙක් කරනවා.

ඔයා හරි ආසයි පොත් කියවන්න. ඔයා පොත් කියවලා අම්මගෙන් බැණුම් අහන හැටිත් මම අනන්ත අහලා තියෙනව. “හනේ දෙයියනේ මේ මනුස්සයට පොතක් අතට ගත්තාම මෙලෝ සිහියක් නෑනේ,” මම ගිහින් ඔයාගෙ ඔඩොක්කුවෙ ඉඳගෙන ඔංචිලි පදිනකොට ඔයා මගෙ ඔලුවත් අත ගගා පොත කියවනවා.

මගෙ තොර‍තෝංචියක් නැති ප්‍රශ්ණ වලටත් ඔයා පොත කියවන ගමන්ම උත්තර දෙනවා.

රෑ වෙන්නෙ කොහොමද තාත්තේ?

ඔයා පොත පැත්තකින් තියලා ගෙට ගිහින් අවශ්‍ය බඩු අරන් එනවා. ටෝච් එක. ලොකු ප්ලාස්ටික් බෝලෙ, පොඩි ටෙනිස් බෝලයක්. ඔයා ටෝච් එකේ රසදිය කෝප්පෙ තියෙන කොටස ගලවනවා බල්බ් එක විතරක් එළියට එන්න. ඉන් පස්සේ ටෝච් එක බිම හිටවනවා ඉටි පන්දමක් වගේ. ඉන් පස්සේ ප්ලාස්ටික් බෝලෙත් ටෙනිස් බෝලෙත් අරන් මට කියාදෙනවා පොළොව ඉර වටේ යන හැටි, පොළොව තමන්ගෙ කක්ෂය වටේම කැරකෙන හැටි. හඳ පොළොව වටේ යන හැටි. මට තේරෙන හැටියට. මගෙ මට්ටමට බැහැලා.

ඒත් ඔයා වෘතීය ගුරුවරයෙක් නෙවෙයි. කිසිම වෘතීය ගුරුවරයෙක් ඒ විදියට මට දශක ගණනාවකටත් පස්සෙ මතක තියෙන පාඩමක් කියාදෙන්න සමත් වෙලා නෑ. ඊට දශක ගාණකට පස්සේ මම මගෙ ළමයින්ට ඔය පාඩම කියාදුන්නෙත් පෙර පාසල් වත් නොයන මට කියාදුන්න ඔයාගෙ පාඩම අනුගමනය කරලා.

පසු කාලවලදිත් මම අහපු ප්‍රශ්ණ වලට ඔයාට හැම වෙලේම උත්තරයක් තිබුණා. මට මතකයි සංකීර්ණ විෂයයක් වන Forensics ගැන මම අහපු ප්‍රශ්ණයකට ඔයා දීපු සරළ උත්තරයක්. දියේ ඉඳලා හම්බවෙච්ච මිනිහෙකුගේ පෙණහල්ල කපලා වතුරට දාලා බලන්න පුලුවන් ඒක පාවෙනවද ගිලෙනවද කියලා. ඒ කියන්නේ ඒක ඇතුලෙ වතුර තියෙනවද කියලා. මරලා වතුරට දැම්මා නම් තවදුරටත් හුස්ම නොගන්නා නිසා පෙනහල්ලේ වතුර තියෙන්න විදියක් නෑ. නමුත් දියේ ගිලුනානම් හුස්මගන්න උත්සාහ කරන නිස පෙනහල්ලට වතුර ඇතුල් වෙනවා. මේකෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් එතන තිබුන සංකල්පය ගැන මම අදත් පුදුමයි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන විමර්ෂක නිලධාරියෙක් හැටියට අනිත් විශේෂඥ විෂයයන් ගැන ඔයාට තිබුන සාමාන්‍ය දැනුම ගැන මම අද පවා පුදුම වෙනවා.

කොච්චර ඉස්කෝලෙ ගියත්, අවුරුදු ගානක් ඉංග්‍රීසි ඉගෙන ගත්තත්, මට ඉස්කෝලෙදි ඉගෙන ගත්තෙ මේ පාඩමයි කියලා කිසිම පාඩමක් ඔලුවට නගා ගන්න බෑ. ඒත් buffet, Cholmondeley, bomb වගේ වචන හරියට උච්ඡාරණය කරන හැටි මට කියලා දුන්නේ ඔයා කියලා මට අදත් බය නැතුව කට ඇරලා කිව්වෑකි.

නමුත් ඔයා ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙවෙයි.

අවුරුදු ගානක් වෘතීය ගුරුවරුන්ට කරන්න හැකි වුන බලපෑමට වඩා වැඩි බලපෑමක් ඔයා ගෙදර ඉඳන් මගෙ ජීවිතයට දැනුමට කලා, සමහරවිට ෂොට් දෙක තුනක් දාගෙන හිටියත්.

ඔය ෂොට් දෙකතුනක් දාගත්තාම වල් සතෙකු නොවී තව තවත් ජෙන්ට්ල්මන් වෙන කෙනෙකුට මම දැකලා තියෙන්නේ ඔයා ඇතුලු තව කීප දෙනයි.

මට තාම මතකයි ඔයා නංගිටයි මටයි සුරුට්‍ටු පෙට්ටි කපලා හදලා දීපු සෙඩාන් එකයි ස්ටේෂන් වැගන් එකයි.

‘තාත්තට ඔයා කියන්නෙ මොකද ඔයාලා? ඒකෙ කිසි ගෞරවයක් නෑනෙ. එතකොට නිකං යාලුවෙකුට කතා කරනව වගේ,’ කියලා කවුදෝ ගෙදරට ආපු බක පණ්ඩිත අමුත්තෙක් අහපු වෙලාවෙ ඔයාගෙ කටකොණකට ආපු සමච්චල් හිනාව මට අදවගෙ මතකයි

මීට හරියටම අවුරුදු විස්සකට ඉස්සර අද වගෙ දවසක අකාලයේ අපිව අතහැර ගියත් ඔයා තවමත් මගෙ හිතේ ජීවමානයි. මට මුලදි තරම්ම නිරන්තරයෙන්ම ඔයාව සිහිනොවුනත්, අනේ තාත්තා හිටියනම් කියලා අවස්ථාවල් තවමත් නිතර උදාවෙනවා, තාත්තේ.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , ,

3 responses to “168. නමුත් ඔයා ගුරුවරයෙක් නෙවෙයි.

  1. නුවර කුමාරි

    සැප්තැම්බර් 15, 2015 at 2:21 ප.ව.

    මිනිසුන් හෝ දේවල් කිසිවක් සදාකාලික නැහැ. නමුත් මතකයන් විතරක් යම් තරමකට පවතිනවා. වඩා වැදගත් වන්නේ ඒ මතයන් තුලින් අපේ ජිවිතේ ආලෝකමත් වෙන එකද නැත්තම් පල්ලමට යනවා කියන එකද මතයි.

    පියෙකුගෙන් ලැබිය හැකි යමක් දරුවෙක් පරිපුර්ණව ගන්නත්, ඒ දරුවාට හැකියාවක් තියෙන්න ඕනේ. සමහර උතුම් දෙමවුපියන්ට ලැබෙන දරුවන් දිහා බැලුවම හෙන්රි, ඔබ වාසනාවන්ත බවත් ඔබේ පියා ඊටත් වඩා වාසනාවන්ත බවත් හිතෙනවා. කොතරම් අපුරුද ?

    සංවේදී සටහනක්. මිට වඩා කියාගන්න බැහැ මට.

     
  2. සඳරු

    සැප්තැම්බර් 15, 2015 at 5:43 ප.ව.

    තාත්තා මගේ ජීවිතේ මන් ආදරේ නොකරන කෙනා තාත්තා,මට ආදරේ නොකරපු කෙනා තාත්තා

     
  3. ජනිත්

    සැප්තැම්බර් 15, 2015 at 9:06 ප.ව.

    හිතට වදින කතාවක්

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: