RSS

169. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – තුන්වන (අවසාන)කොටස.

20 Sep

Promised Land: The Capital, Western Province, Parallel Universe.

පොරොන්දු දේශය, අගනුවර, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.

ගොරවමින් කන්ද අදින බර වාහන පෙලින් බේරී පාර මැද සුදු ඉරට සමාන්තරව මෝටර් සයිකලය පදවන මම කන්දේ පහලට වේගයෙන් ධාවනය වන විරුද්ධ පැත්තේ තීරුවේ වාහන වැලේ හිදසක් තුලින් දකුණට හරවා පදික වේදිකාවටම නග්ගා වාහනය නතර කරනවා.

මේ කතාවෙ අගක් මුල නොතේරෙනවා නම් මෙන්න මුල් කොටස් දෙක.
166. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – පළමු කොටස
167. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – දෙවන කොටස

යකඩ ග්‍රිල් ගේට්‍ටුව තුලින් බලන ගේට්‍ටු මුරකරු මා දිහා බලන්නේ සැකමුසු බැල්මක්.

“මට ප්‍රින්සිපල්ගෙ ඔෆීස් එකට යන්න ඕනේ. මට මාරුවීමක් ලැබිලා තියෙන්නේ.”

මුරකරුගෙ නහය හරහා ක්ෂණිකව සිරස්ව වැටෙන රේඛාවක් නහය කේන්ද්‍රකරගෙන දක්ෂිණාවර්තව අංශක එකසිය අසූවක් භ්‍රමණය වෙලා සැකමුසු බැල්ම මිත්‍රශීලී බැල්මකට පරිවර්තනය වෙනවා.

“එන්න සර් ඇතුලට. අන්න අතන ඔෆීස් එක තියෙන්නේ. ඔහොම ඉස්සරහට ගිහින් අර පඩි පෙලෙන් නැගලා අර කොණට යන්න.”

“බොහෝම ස්තුතියි. මම හෙල්මට් එක මෙතන තියලා යන්නද?”

“මෙතන තියලා යන්න සර්. හුටා! සර් බයික් එකකද ආවේ? පට් ගාලා දාන්ඩ ඇතුලට.” පොර ගේට්‍ටු පලුව ඇරලා වහාම එලිව දාලා බලන්නේ බයික් එක තාම තියෙනවද කියලා සැකහැරගන්න වෙන්න ඕනේ.

අවුරුදු තිහට අඩු උපාධිධාරියෙක් වන වන විජයකුමාරතුංග දැකපු ගමන් මට සිහිවෙන්නේ කැරිකේචර් එකක්.
තනි සුදු කමිසය සහ කලිසමත්, කෙසඟ ශරීරයත් නිසා, බලෙන් විදුහල්පති පු‍ටුවේ ඉඳගෙන ඉන්න උසස්පෙල පන්තියක කොල්ලෙක් සිහි ගන්වන විජයකුමාරතුංගගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ විළුඹ ඉදිරියට හෝ පැත්තට සිටින සේ කරකවා මේස් පැළඳීමයි.

“ගුදවංශ මහත්තයා නේද ඔබතුමාව එව්වේ? මම එයාට විශේෂයෙන් කියලා ඉල්ලලා තිබ්බේ අපිට කොහොම හරි ඉංග්‍රීසි ගුරුවරයෙක් දෙන්න කියලා.”
විජය කුමාරතුංගත් එක්ක කතාවෙ යෙදිලා ඉන්න මට මෙයා මොනවගෙ කෙනෙක්ද කියලා හරියට හිතාගන්න අමාරුයි.

“මිස්ට කුමාරතුංග, ඇත්තටම මෙතන වැඩ කරන්න පුලුවන් තැනක්ද? මට ඇත්තම කියන්න.”

“ම්ම්ම්. අපි ඔය ඉන්නේ. මමත් මෙතනට අලුත්. තවම තැනට අනුවර්තනය වීගෙන එන ගමන්.”

“මේකයි මිස්ට කුමාරතුංග. මම දුෂ්කර සේවයට ගිහින් කට්ටෙත් හොඳම එක කාල ඉන්නේ. මේ ඉස්කෝලෙ ගාවින් මම අනන්ත ගිහින් තියෙනවා නමුත් හිතේ ඇඳිලා තියෙන්නේ එච්චර හොඳ පින්තූරයක් නෙවෙයි. හෙහ්, හෙහ්, මට මතක් වෙන්නේ මායි යාලුවෙකුයි දවසක්…” මොනවද මම මේ කියන්නේ. මම කතාව වෙන පීල්ලකට මාරු කරනවා.

විජයකුමාරතුංගට අනුව, මට ඉක්මනින්ම හිත හදාගන්න වෙනවා. එක්කෝ අතේ තියෙන ලියුම බාර දීලා, ලොග් සටහන එහෙම ගහලා වැඩ බාරගන්න ඕනෙ. නැතිනම් මගෙ හිතේ තියෙන විදියට ආපහු බස්නාහිර පළාතේ ඉස්කෝලයක් ගානේ ගිහිල්ල ඉඩ තියෙන තැනකින් ලියුමක් අරං ආපහු කප්රුකට යන්න ඕනෙ.

මේක ජීවිතේ ගන්න තවත් වැදගත්ම තීරණයක් වෙනවා.

කලින් වගේම වැරදි තීරණයක් ගත්තොත්, ජීවිතේ ඉතුරු ටිකත් දුකම විඳින්න වෙනවා.

දුකම විඳින්නට,

දුක උහුලන්නට,

දුකට උපන් දරුවෝ – ඕ – ඕ – ඕ,

මිහි මව-ගේ දරුවෝ…තාලෙට කිය කියා දිගටම ඉන්න මගෙ කැමැත්තක් නෑ.

මෙච්චර කට්ටක් කාපු මම ඇයි හොඳයි කියලා සම්මත ඉස්කෝලෙකටම යන්න උත්සාහ නොකරන්නෙ. වම් උරහිසේ වැඩ ඉන්න සර්ව සුභවාදියා එහෙම කියද්දි දකුණු උරහිසේ වැඩ ඉන්න සර්ව අසුභවාදියා ඒ එක්කම මතක් කරන්නේ වැඩි කල් බලා හිටියොත් මෙතනත් නැතිව යන්න පුළුවන් බවයි. අර ගුලි තුනේ වරමෙන් තියෙන ගුද මාර්ගයත් නැති කරගත්තා වගේ වැඩක් වෙන්නෙ එහෙම වුනොත්.

මම කොරිඩෝවට ඇවිත් අහස පොළොව ගැට ගහන්න කල්පනා කරනවා. අතීරණය මොට්ට පිහියක් වගේ. කැපෙනවට වඩා තැලෙනවා.
වහාම තීරණයක් ගතයුතු වෙනවා.

මැදිවියේ පසුවුන, මල්ලවපොර සූරයෙක් වගේ ඇවිදින, නමටම ගැලපෙන හැඩිදැඩි යකඩ ගෑණියක් වුන ආයෝමා අකරුණාවන්ත චරිතයක් කියලා කියන්නත් බෑ. බේකරියකින් හරි මල් ශාලාවකින් හරි දැම්ම වගේ පේන මේක් අප් එකක් දාගෙන ආවත්, ලාලිත්‍යය කියන එක නිකං වැඩකට නැති කාලෙ නාස්තියක් හැටියට දකින අයෝමගේ කතාබහ පොල්ලෙන් ගහනවා ගහනවා වගේ. එකට වැඩ කරන කෙල්ලෝ ඉන්න තැන ව්‍යංගයෙන් දෙපැත්ත කැපෙන කුණුහබ්බ විහිළුවක් කියලා සමහර උන් ගෙ මූණු රතුවෙනවා දැකලා සතුටක් ලබපු අපි, කුණු හබ්බ කෙලින්ම කියලා, ඒක එලියට අරගෙන විශ්ලේෂනය කරලා, විහිලුව ඝාතනය කරලා දාන අයෝමා ඉන්න තැන කට අරින්නෙත් පරිස්සමෙන්.

අයෝමගෙ ලොකුම අවුල, තැනක් නොතැනක් නොබලා, හැම එකාටම හැම එකටම, මහා හයියෙන්, යටි ගිරියෙන්, ප්‍රසිද්ධියෙ අණදීම සහ බැණ වැදීමයි. රළුකම, ගොරහැඩිබව අයෝමගෙ ජීවන විලාසිතාවක්.

“මට දුක මේ ගෑණිගෙ හස්බන්ඩ ගැන බං. අපිට ඉවසන්න තියෙන්නේ පැය කීපයයි. ජීවිත කාලයක් මේ ගෑණි එක්ක ඉන්න ඒ යකාට කොහොම දැනෙනවා ඇද්ද!” මම කියලා තියෙන්නේ වරක් දෙවරක් නෙවෙයි.

“අඩේ උඹලා මේ අපි ඉන්න තැන්වල සෙක්ස් ගැන විහිළු කරාට උඹලා අයෝමා ඉන්නකොට පූසෝ වගේ නේද?”

“අනේ උඹට කියන්න අහවල් අක්කේ, අයෝමා ලිංගික විහිළුවක් කරපු ගමන් අපිට ලිංගිකාශාව කියන එක එහෙම පිටින්ම නැතුව යනවනේ.”

“ඒක ඇත්ත මචං. මාත් කල්පනාකලේ මට නශ්ටකාමය හැදෙයිද කියලා මේ ස්ටාෆ් රූම් එකේ වැඩි කල් හිටියොත්.”
ලිංගිකත්වය ගැන කියනකොට අයෝමා තුල අපි දැකපු එක විශේෂ කාරණයක් නම්, එයා ඉතාමත්ම ලිංගික ආකර්ෂණයකින් යුත් කෙනෙක් හැටියට තමාවම දැකපු එකයි.
විශේෂයෙන්ම මේ ඉස්කෝලෙ යන කොල්ලෝ පවා, තමන්ව දු‍ටු පමණින් පිස්සු වැටෙන ඉතාම ආකර්ෂණීය ලිංගික භාණ්ඩයක් හැටියට දකින බව ඒත්තු ගනවන්න අයෝමා කියන කතාවලට අපි අහං හිටියේ හරිම අමාරුවෙන්.

ඉස්කෝලෙ යන කොල්ලෝ අයෝමට දිනපතාම බස් එකේදි ලිංගික පීඩා කරන බව ඈ කියනවා හැමදාම වගෙ.

“අද මං එනකොට අර රතු ඉස්කෝලෙ කොල්ලෙක් මට ජැක් එකක් ගහගෙන ආවනේ.”

“අනේ ඔය සෙනග වැඩි වෙලාවට ඌව තල්ලු වෙලා එන්න ඇති ඔයාගෙ ඇඟට.”

“නෑ නෑ. මම දන්නෙ නැද්ද ඕකෙ වෙනස?”

“මම නං හිතන්නේ නෑ. පිරිමින්ට කොහොමත් එල්ල වෙන චෝදනාවක්නේ ඕක.”

“මම වෙලවකට ඔය හේත්තුව දාන කොල්ලන්ට කෙලින්ම කියනවා ඔයාගෙ වයසෙ දරුවෝ මට ඉන්නවා කියලත්.”

“මමත් කියන්නේ ඕක වැරදීමක්. ඔන්න වයසක ඩෑල් එකක් නං හිතන්න පුලුවන්.”

“යකෝ මම නං වයසට යන්න කලින් එක්කෝ කාර් එකක් ගන්නවා. නැතිනං වෙඩි තියාගෙන මැරෙනවා. අංකල් කෙනෙක් වෙලා බස් එකේ යනවට හොඳයි…”

අයෝමගෙ කතාවට එහා පැත්තෙ ඉඳගෙන ඉන්න නිරෝෂා හිනා වෙන්නේ මූණ අතින් වහගෙන. ඔන්න ඒක කොච්චර වැරදි වැඩක් වුනත්, අපි කවුරුත් හිතෙන් කරනවා වගේ සංසන්දනය කරනවා නම්, නිරෝෂා බැලූ බැල්මටම අයෝමගේ සම්පූර්ණම විරුද්ධ පැත්ත.

අයෝමා ‘අඩෝව්. චන්ඩි ඉන්නව නම් වරෙව් ඩෝව්’ කියන්න වගේ උරහිස් දෙපැත්තට පද්දමින් ඇවිදිදිදි, නිරෝෂා ඇවිද්දෙ මිහිකත නලවාලා බලාගෙන ඉන්න ඉන්න ආසා හිතෙන විදියට.

ඔය විදියට ලැයිස්තුවක් හදනවා නම්:

ගැඹුරු වොට් විසිපන්දාහෙ මරහඬට එරෙහිව කණට පවං සලන ලගන්නාසුළු හුරතල් කටහඬ,
ටකරමකට ගහන්නා වැනි කං අඩි පැලෙන හිනාවට එරෙහි පපු කැවුතු වලට සමන් මලෙන් පවන් සැලෙන මිණිකිංකිණි හිනාව,
ඈත එනවා දැක්කොත් ලඟම තියෙන කඩේකට රිංගලා හෝ පාරෙ යන බස් එකක එල්ලිලා මග අරින්න හිතෙන පෙනුමට එරෙහිව, දැක්කාමට වේල් තුනක් නොකා ඉන්න හැකි හිත පිරෙන පෙනුම…

ඔය විදියට ලැයිස්තුව නොනැවතී ගලාගෙන යනවා.

ඒ වගේම ඔය දෙන්නටම ගැලපෙන පරිවාර ජනතාවත් ඔය ගුරු මණ්ඩලේම ඉන්නවා. ඒ කියන්නේ උප අයෝමලා සහ උප නිරෝෂලා.

යකා හිතන තරම් කලු නෑ. යක් ඉස්කෝලෙ මම ජීවිත කාලයක් හිතා හිටිය තරම් නරකත් නැති බව මට ටික කාලෙකින්ම තේරෙන්න ගන්නවා.

සමාජෙ පහත් යයි සම්මත ස්ථරයකින් එන බහුතරයකින් සමන්විත මේ ඉස්කෝලෙ උන්, අර උසස් යැයි සම්මත ඉස්කෝලවල උන්ට වඩා මට ලංවෙනවා වගේම හිතට අල්ලලා යන වෙලාවල් තියෙනවා. දුරුවෙලා යන්න කාලයක් ගියත් අර මුලින් තිබිච්ච සැකසංකා ටික ටික නැතුව යනවා. නමුත්, එහෙමයි කියලා ජීවිතය සහ ‍රැකියාව වඩා පහසු වන සැප ඉස්කෝල වලට අපි වගේ උන්ට දොර වැසීම සාධාරණීකරණය වෙන්නේ නෑ.
මේ ප්‍රදේශයේදි මම දකින තවත් කිසිසේත්ම බලාපොරොත්තු නොවියහැකි දෙයක් තමයි ලිං මැඩි මානසිකත්වය. දුර ඈත පළාත්වල අගනුවර, හෝ ගාන පොකුණ , දැකලා නැති ළමයි සහ මිනිසුන් ගැන කවුරුත් ඇතිවෙන්න කතා අහලා තියෙනවා ඇතිනේ. නමුත් අගනුවරත්, ඒ වගේම, තමන් පදිංචිවෙලා ඉන්න සීමාවෙ මීටර් පන්සීයක් එපිටට නොගිය ලිංමැඩියෝ ඉන්න බව මම දැනගන්නේ මේ ඉස්කෝලෙන්. නගර සීමාව ඇතුලත කිසිදා පදිංචි වී නොඉඳ තදාසන්න ප්‍රදේශයක ඉඳලා දිනපතා අගනුවරට එන මට, මුළු නගරෙම ගැන තිබිච්ච හුරුබව සහ දැනුම නගරයේම උපන් එහිම හැදී වැඩුණු මේ ළමයි වැඩි දෙනෙකුට නැතිවීම අදහගන්න බැරි දෙයක්. මුං තමන් උපන් නගරෙම අතරමං වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මම මේ ගැන ඇහුවාම එකෙක්ගෙ උත්තරේ මේකයි. “ඔව් සර්. ඒකට අපි කරන්නේ අගනුවර කියලා ගහලා එන බස් එකක් බලලා නගින එක. ඒවා නවත්තන තැන ඉඳලා වත්තට/ෆ්ලැට් එකට එන්න පාර අපි දන්නවා.”

අයෝමා වගේ චරිත එක්ක ඉහ ගහගෙන ඉන්න බැරුවම යන්නේ නිවාස වලට බෙදිලා නිවාසාන්තර ක්‍රීඩා උත්සව පවත්වන කාලෙට. මගෙ කරුමෙට, මාව අයෝමගෙ නිවාසෙට වැ‍ටුණ බව දැනගත්ත අනිත් උන් උඩ පැන පැන හිනා වෙනවා. ඒ එක්කම මාව දිරිගන්නන්න මියුරු වදන් තෙපලනවා. යකෝ මටම වෙන හැටි!

“මම නං කියන්නේ තොට හොඳම වැඩේ!”

“අනේ සාදු!”

සාදු සාදු සාද්!

සාධූ. – සාධූ. – සාධූ.

“කියලවත් කරගන්න බැරි වැඩක් වුනේ යකූ!”

“පව් බං මූ!”

“දැන් ඔය ගෑණි උඹව ඇහේ ඉඳලා පට්ට ගහයි.”

“උඹ කොට්න් නාස්ලණුවක් ගණිං මචං. කැපෙනවා අඩුයි.”

ඒකාධිපති අයෝමා නිවාස නායිකාව හැටියට නිවාසය පාලනය කරන්නේ අයෝමය හස්තයකින්. මට තද වෙන්නේ ළමයින්ට කෑ ගහන විදියටම මටත් කෑ ගහන්න ගත්තාම. මේ නිසාම, නිරන්තරවම, මගෙත් අයෝමගෙත් අතර ඇතිවෙන්නේ ගැ‍ටුම්. ඒ විදියට කතාකරනවට මම කොච්චර අකමැති බව පෙන්නුවත්, කිව්වත්, ගෑණි ඒකට සංවේදී වෙන්නේ ඒ මොහොතට විතරයි.

අවසාන මහා තර‍ඟේ දවසේ ස්ටේඩියම් එකේදි මෙච්චර කාලයක් ලාවා පිටකරමින් දුම් රො‍ටු නංවමින් හිටි ගිණිකන්ද පුපුරලා යනවා. මම කොච්චර වැඩ කරත් හොඳක් නොදකින අයෝමා මට කෑ ගහන්නේ ළමයි ඉස්සරහමයි. හැබැයි මෙහෙමත් එකක් මම කියන්න ඕනෙ. ඔය ගෑණි එහෙම කෑගැහුවට ඒ අනාදරයකින් නෙවෙයි, කපන චේතනාවකින් නෙවෙයි. ඔය ගෑණි මොන වැරදි තිබ්බත් පිටිපස්සෙන් පිහියෙන් අනින කේලාම් කියන බෙලි කපන මොඩල් එකක් නෙවෙයි. රළුකම, ගොරහැඩි බව ගෑණිගෙ ජීවන විලාසිතාව. ප්‍රශ්ණේ මට ඒකට අනුගත වෙන්න බැරිකම.

මාරාවේෂවෙන මම කරන්නේ, අයෝමට ඕනෙ මගුලක් කරගන්න කියලා, නැගිටලා ස්ටේඩියම් එකෙන් පිටවෙලා ගිහින් බස් එකක නැගලා ගෙදරම යන එක. ඇත්තෙන්ම මම කරන්නේ රාජකාරිමය වශයෙන් ලොකු වරදක්. නමුත් එතන හිටියනම් මම ඊට වැඩිය ගැ‍ටුමක් ඇති කරගන්නවා.

පහුවදා ඉස්කෝලෙ ගියාම අනිත් උන් මාව දැක්ක ගමන් මාව බයිට් කරන්න ගන්නවා.

“අඩේ උඹ ගියා කියලා අන්න අයෝමා පොළොවේ පස් කෑවේ නැති ටික විතරයි.”

“යකෝ උඹ මාර පොරක්නේ. මොකෝ උඹ පැනලා ගියේ?”

“ඒයි උඹලා දන්නවද මම මේ ඉස්කෝලෙට ආපු කතාව?”මේ වෙනකොට ආපහු හොඳ මූඩ් එකකට ඇවිත් ඉන්න මම කියනවා.
මම මුලින්ම කියන්නේ අර පර්ෆියුම් ගහගෙන බස් එකේ ආපු කතාව. කතාවට ලැබෙන ප්‍රතිචාර වලින් ඒ කතාව යොවුන් ආදර කතා නොහොත් The Most Romantic Tales හිට් ලිස්ට් එකේ ඉහලටම නගිනවා.

ඉන් පස්සේ මම කියන්නේ දුෂ්කර සේවය කරලා මෙහෙට පත්වීම ගන්න කාපු කට්ට, අර ඇප්ලිකේෂන් පන්සීය සහ පොලිස් බැ‍රැක්කෙ නිදාගත්ත කතාවත් එක්ක කෙටියෙන්. ඒක වැඩියම අනුකම්පාවක් ලබන ගුරු සේවයේ රස කතා නොහොත් Epic Stories ලිස්ට් එකේ මුල් තැනට නගින්නේ බලා ඉන්දැද්දි.

ඉන් පස්සේ මම කියනවා ක්ලිටරස් ගුදවංශගෙ කතාව. ඒ කතාව ප්‍රේක්ෂකයව කුපිත කරන Outrageous Stories හිට් ලිස්ට් එකේ මුදුනටම ගමන් කරනවා.

“…ඉතිං මම අතන කොරිඩෝවෙ හිටගෙන කල්පනා කරනවා තීරණයක් ගන්න බැරුව. මොකද මං කරන්නේ? ”
“ගෙදර ගියොත් අඹු නසී, මග හිටියොත් තා නසී වගේ.” එකෙක් යෝජනා කරනවා.
“අන්න හරි. පස්සෙ මම හිතනවා ඕනෙ ගුද මාර්ගයක් කියලා තව ටිකක් ඇවිදලා බලන්න. එහෙම හිතලා මම ලියුම නවලා සාක්කුවට දාගන්නවා.”

“ඉතිං ඉතිං උඹ ආපහු ගියාද?”

“නෑ. එතකොටම තමයි නිරෝෂා කොරිඩෝවෙ කොනෙන් මතුවෙලා මිහිකත නලවාගෙන, පද්ද පද්ද එන්නේ.”

අනිත් උන් අනිත් උන් හිකි හිකි ගාන්න ගන්නවා. නිරෝෂා කර ඇරගෙන මං දිහා බලා ඉන්නවා.

“ඉතිං මම කල්පනා කරනවා. යකෝ මෙච්චර ආතල්-කී-බනානා-කෑලිත් මේ ඉස්කෝලෙ වැඩ කරනවා නම් මට බැරි මොකෝ. එතකොටම නිරෝෂා මාව දැකලා අර ලා හිනාව දානව.”

මේකට කතාව අහගෙන ඉන්න නිරෝෂයි යෙහෙලියොයි, ඒ ඉස්කෝලෙම වැඩ කරන නිරෝෂගෙ අම්මයි පවා කැකිරි පලන්න ගන්නවා.

“ඉතිං මම ලියුම අරං කෙලින්ම ඇතුලට ගිහින් විජයකුමාරතුංග අතට දීලා කියනවා මම වැඩ බාර ගන්න හිත හදාගත්ත බව.”

“ඒක මිසක්. ‍තෝ එහෙම කරපු එක ගැන අපිටත් සතු‍ටුයි මල්ලි. නැත්තම් තොගෙ මේ ඩ්‍රාම ඔක්කොම අපිට මිස් වෙනවනේ.”

“ඉතිං. ප්‍රින්සිපල් කාරයා ලොග් සටහන් ගහලා මට අත්සන් කරන්න පොත දීලා හෙම ඔක්කොම කරනවා පට් පට් ගාලා. පොරටත් සතු‍ටුයි. පස්සේ පොර කියනවා පල්ලෙහා ස්ටාෆ් රූම් එකට ගිහින් ඉඳගෙන ඉන්න කියලා.”

“ඉතිං? ඔන්න ඔහොමලු උනේ නේද?”

“නෑ යකෝ. මම ඔන්න මම ඔෆීස් එකෙන් එලියට එන්න හැරෙනකොටම ඔන්න කාමරේම එක පාරටම අඳුරු වෙනවා.මම ඔලුව උස්සලා බලනවා. ලයිට් ගියාද, නැතිනං කුණා‍ටුවක්වත් එනවද කියලා. පුලුවන්නම් කවුද කියහං හිටගෙන ඉන්නෙ දොර හරස් කරගෙන..”

“කවුද?”

“අයෝමා.”

හිනා හඬට කන්ද නගින බර වාහනවල හඬත් මොහොතකට යටපත් වෙනවා.

“ඉතිං මොකද උඹ කලේ? යකෝ මේ කතාව අපි දන්නේ නෑනේ.”

“මොනව කරන්නද බං. එතකොට ලොග් සටහන් ගහලා වැඩ බාර අරන් ඉවරයි. Past the point of no returning. මට එක පාරටම ආපහු හැරිලා විජයකුමාරතුංගයගෙන් ලියුම උදුරගෙන, ලොග් සටහනත් ඉරාගෙන, පැනලා දුවන්න නොහිතුනා නෙවෙයි. ඒත් මං අර විචාර බුද්ධිය පාවිච්චි කරලා හැඟීම් වලට ඉඩ නොදී නිකා හිටියා. ඉතිං, මම ඒ නැවතිච්ච පාර තමයි මේ.”

එතකොටම කාමරේට කඩා වදින්නේ අයෝමා. බෑග් හැටහුටහමාරක් එල්ලගෙන.

“අම්මෝ, මෙයාලගෙ සද්දෙ අර ගේට්‍ටුව ගාවට ඇහෙනවා. ඉතිං කොහොමද ළමයිට කියන්නෙ කෑ ගහන්න එපා කියලා,” අයෝමා කියන්නෙ හිනාවකුත් එක්ක.

ඒකට කවුරුත් මොකුත් නොකිව්වත් කට්ටියම නිශ්ශබ්ද වෙනවා.

බෑග් මේසෙ උඩට අතාරින අයෝමා පු‍ටුවක් උඩට වැටිලා ලේන්සුවකින් පවන් ගහගන්න ගමන් සුහද කතාබහ පටං ගන්නවා.

“අද මං සීට් එකක් ලැබිලා ඉඳගෙන එනකොට අහවල් ඉස්කෝලෙ කොල්ලෙක් පොට්ටනිය තියං ආවනෙ මගෙ උරෙස්ස උඩ.”

නිමි.

පසු සටහන්:

සැබෑ ජීවිතේදි මේ කතාව ඉවර නොවුනත් මෙතනින් මේ කතාව නිමවන එක හොඳයි කියලා මම හිතනවා.

මේ කතාව පොලිටිකලි කරෙක්ට් නොවෙන්න පුලුවන්. ඒ වගේම චරිත ගැන, ස්ථාන ගැන අසාධාරණ ඒක පාක්ෂික විනිශ්චයන් ඉදිරිපත් කිරීමක් හැටියට කෙනෙකුට පේනවා වෙන්නත් පුලුවන්. නමුත් මේ කතාව මිනිසුන් විවේචනය නොකර චරිතත්, සැබෑ ස්ථාන විවේචනය නොකර ඒ ඒ තැන්වල ගතිලක්ෂණත්, කතා රසය නොමරා, කතාවේ ජීවමාන ගුණය රඳවාගෙන විවේචනය කරන්න ගත්ත උත්සාහයක් හැටියටයි මේ කතාව සමාන්තර විශ්වයක වෙන කතාවක් හැටියට ඉදිරිපත් කලේ.

ඒ එක්කම මේ මම ඒ ඒ අවස්ථාවල සිතූ පැතූ හැටියි. ඒක පිටින් බලන කෙනෙකුට, ඒ ඒ අවස්තාවලට මුහුණ නොදීපු කෙනෙකුට හිතාගන්න අමාරු දෙයක්. ඒ වගේම මම වුනත් එකම කරුණ සම්බන්ධව අද වෙනස් මත දරනවා වෙන්න පුලුවන්.

අයෝමා චරිතය ගැන කිව්වොත් මම මුලින් කිව්වා වගේ, අයෝමා රළු, ගොරහැඩි, මතුපිටක් තිබුනත්, කැපී පෙනෙන, ඇතුලතින් හොඳ චරිතයක් කියලා මම අද විශ්වාස කරනවා. අයෝමා ආශ්‍රය කරන එක මතු පිටින් වේදනාවක් වුනත් ඈ, මා දැනුවත්ව පරිපාලකයන්ට කේලාම් නොකියන, අනුන්ගේ විපතේදී උණුවන, අනුන් වෙනුවෙන් කතාකරන චරිතයක්.

දුෂ්කර සේවය සහ දුෂ්කර පළාත්. මේකත් සාපේක්ෂයි. මේ ලියන මම කොළඹ නගරසීමාව ඇතුලත කිසිදා පදිංචි වී නොසිටියත් කොළඹ ප්‍රදේශය සහ බස්නාහිර පළාත මගේ උපන්ගම. කොළඹ නගරය අපට හරියට හික්කඩුවේ කෙනෙකුට ගාල්ල වගේ. කොළඹ කොච්චර ක‍ටුක වුනත් මම කොහේ ගියත් ආපහු එන්න කැමති තැන එතැනයි. නුවර කෙනෙකුට නුවර ගැන ඇති හැඟීමමයි අපිට අපි උපන් බිම ගැන තියෙන්නෙත්. කොළඹට බැණ බැණ, කොළඹ දාලා නොයා, කොළඹම ඉන්න මාතර කෙනෙක් ගැන හිතන්න. වෙලාවකට කොළඹ ගෙන්දගම් පොළොවට ඔවුන් බනින විදියට, බස්නාහිර ප්‍රදේශය ගම්බිම් කරගත් අපට හිත රිදෙනවා. ඔවුන්ට ඇත්තෙන්ම කොළඹ දුෂ්කර තැනක් වගේ පේනවා ඇති. මේ අපේ ගෙදර කියන හැඟීම ඇති වෙන්නෙම නැතිව ඇති. ඔබට මාතරට ඒ තියෙන බැඳීමමයි අපටත් අපේ ගමට තියෙන්නේ. ඔබට ගෙන්දගම් පොළොව අපිට අපේ ගම. මෙන්න මේ තත්වයමයි දුෂ්කර සේවය ගැන කියන්න තියෙන්නෙත්. දුෂ්කර සේවයට ගිය රජයේ සේවකයා ආපසු එන්න උත්සාහ කරන එක අපරාධයක් නොවන්නේ ඒකයි. ඒ ඔහුගේ ගෙදර නෙවෙයි.

දැන් අද තියෙන පහසුකම් එක්ක ඔය පළාතක ඉන්න කෙනෙකුට මම කියන දේ වටහාගන්න අමාරු වෙන්න පුලුවන්. එදා ඒ දුෂ්කර ක්‍රියා කරපු තැන්වල අද භෞතික දියුණුව අදහාගන්නත් බැරි තරම්. අද මට ඔය දුෂ්කරක්‍රියාව කැමැත්තෙන්ම කරන්න පුලුවන් ඕනෙ නම්. ඇත්තෙන්ම වාහනයක්, ස්මාට් ෆෝන් එකක්, ලැප්ටොප් එකක්, අරන් අන්තර්ජාල සබඳතා ඇති තැනක වැඩකරන්න හැකි අද දුෂ්කර සේවා සංකල්පය විහිළුවක් වෙන්න පුලුවන්.

මේ කතාව කියවලා දුෂ්කර පළාතක් ගම්බිම කරගත්ත කෙනෙක්ගෙ හිත රිදුනනම් මම ඉතාම ඕනෑකමින් සමාව අයදිනවා. මම අදහස් කලේ ඔබේ පළාත අපායක් බව කියන්නවත් අපේ පළාත් සුරවිමනක් බව කියන්නවත් නෙවේ. එදා මට හිතුන හැටියි. එහෙම වෙන්න ප්‍රධාන හේතුවක් රජයේ වැරදි, දරදඬු ප්‍රතිපත්තියි. ආයෙ කවදාවත් ඒ පැත්ත පළාතේ පස් පාගන්නෙ නෑයි කියා පිටවෙලා ආපු මම නිවාඩු කාලවලට එහෙ යනවා අතීත මතක නිසාම.

යක් ඉස්කෝලෙ ගැන කියන්න තියෙන්නෙත් ඒකමයි. ඒ මම හිතා හිටි හැටි. ඒ මිසක් ඒ ඉස්කෝලෙ, ජනතාව, ළමයි ගැන කිසිම අහිතක් මගේ හිතේ නෑ. මම තවදුරටත් ඒ පැත්තේ නොයන්නේ දැන් මා දන්න කවුරුවත් එහි නැති නිසා. එහෙම නොවෙයිනම් මා දැනුත් ඒ බොක්ක හොඳ උන් බලන්න යනවා ඉඩලැබෙන විදියට.

ඒ වගේම එකම කතාවේ කොටස් තුන එකිනෙකට වෙනස් genreවලට අයත්වන සේ ලියන්න මා ගත් උත්සාහය ඔබ දු‍ටුවාද?

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , ,

7 responses to “169. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – තුන්වන (අවසාන)කොටස.

  1. Ajith Dharma

    සැප්තැම්බර් 26, 2015 at 4:21 පෙ.ව.

    http://nelumyaya.com/?p=4326
    හොඳ කතාවක් වගේම දුක්බර ජිවන අත් දැකීමක්. මේ වගේ දෙයක් වුනහම ඇති වන මානසික තත්වය ඔබ අපුරුවට විස්තර කරලා තිබෙනවා. මන් හිතන්නේ වෙනත් බ්ලොගයක ත් ගුරු යුවලකට සිදුවුණ මේ වගේ අසාධාරණයක් මම කියෙව්වා. සිද්ධි දෙකේදීම වගේම අනිත් හැම මේ වගේ පලි ගන්න ට්‍රාන්සර් වල දරු පවුල් පුදුම විධිහට දුක් විඳිනවා.

     
  2. ldealwis

    නොවැම්බර් 7, 2015 at 2:20 ප.ව.

    One of the best stories I have read. The way you presented a difficult chapter of your life in a such a light hearted manner is excellent

     
  3. ක්සැන්ඩර්

    ජනවාරි 8, 2016 at 10:05 ප.ව.

    කාලෙකින් ඇවිත් ආයෙම කතා සෙට් එකක් කියවලා යන ගමන්. ගොඩක් තැන්වලට මතකයෙන් ගියා මේ ගුරු ජීවිතේ කතා අහල. ඔය කටු ටිකම වෙනම ඈන්ගල් එකකින් කනගමන් මම ඉන්නේ.. එක හින්දා ටිකක් සමීපයි මටත්.

     
  4. podi malli

    මාර්තු 29, 2016 at 4:29 ප.ව.

    නියම කතාවක්.ඇත්ටටම මේක සත්‍ය කතාවක්ද නැත්නම් ප්‍රබන්දයක් ද ?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: