RSS

170.දෙන්නම අධ්‍යක්ෂලා.

04 Feb

229316_4720390497690_1939673819_n

මේසෙ උඩ තිබුන පුංචි කාඩ්බෝඩ් පැකට් එක දිහා මම බැලුවේ කුතුහලයෙන් ඇස් පුංචි කරලා. මේ මොකක්ද යකෝ මේ? ඒක අතට ගත්ත මම ලේබලය කියෙව්වා. Engine Oil Temperature Guage. සීල් එකත් කඩලා. පෙට්ටිය ඇරපු මම ඇතුලෙ තිබුන භාණ්ඩය එලියට ගත්තා. අලුත්ම අලුත්. මේක කොහෙන්ද මේසේ උඩට ආවේ? මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් මේ පෙට්ටිය ඇතුලෙ තියෙන්න ඕනෙ කලුතෙල් ගෑවුන වාහනෙන් ගලවපු පරණ කෑල්ල. එහෙමනම් ඒක මේසෙ උඩ තියෙන්නේ මොකද?

   *     *     *     *

කළින්දා රෑ පන්නගත්තු මාරකෙන් පස්සෙ (Read TheNightmare on E01-the Southern Expressway!),, මම පහුවදා උදේම වාර්තාකලා වාහන ඉලෙක්ට්‍රිකල් වැඩ කරන ලක්ෂ්මන් මල්ලිගෙ ගෙදරට.  ලක්ෂ්මන් මල්ලි වැඩ කරන්නෙ ගෙදරම ඉඳගෙන. ගලවපු රියැදුරු අසුන ලඟ තිබුණ ගල් බැම්ම උඩ. ඊට යටින් තියෙන එන්ජින් ආවරණ තහඩුව ගලවපු ලක්ෂ්මන් ඕල්ටනේටරය පරීක්ෂාකරන හැටි මම බලා හිටියේ උකුසු ඇසින්. ඊයේ රෑ සිදුවෙච්ච කලුවරේ ජරමරේට හේතුව මේ ඕල්ටනේටරේ එන්ජිමට හයි කරලා තියෙන ඇණ තුන බුරුලට තිබීමමද කියලා හරියටම දැනගන්න පුදුම කුතුහලයකින් මම හිටියේ. බුරුල් කරපු ඇණ තද කරන්න බාස්ලට සහ ගෝලයන්ට අමතක වීම නිසා කීප වතාවක් අමාරුවේ වැටිලා හිටපු මම, ලක්ෂ්මන් මේ පාර ඇණ තද කලාද කියලා ආයෙම පරීක්ෂා කරලා බැලුවා.  එතකොටයි මා දැක්කේ තෙල් ගෑවුණ ඔයිල් සෙන්සරය.

“ලක්ෂ්මන් මල්ලි, අපි ගිය පාර මේ ඔයිල් සෙන්සර් එක දැම්මද?”

“නෑ.”

“එතකොට බ්‍රෑන්ඩ් නිව් සෙන්සර් එකක් තියෙන්නේ මගේ කම්පියුටර් ටේබල් එක උඩ? ඒක කොහොමද වුනේ”

“ම්ම්ම් ඔයා කිව්වා ඒක දාන්න ඕනෙ කියලා. එහෙම කියලා  අලුතෙන් එකක් ගෙනාවත් එක්ක. ඒ වුනාට මා ගාවා ඕක ගලවන්න ආවුද තිබුනේ නෑ ඒ වෙලාවේ. එකෙක් ඉල්ලගෙන ගිහින්.  ඒ ගමන ඔයා කිව්වා දැන් මෙකැනික් ලඟට ගියාම ඒ ගමන්ම දාගන්නම් කියලා. මතකද?”

“ඔව් නේන්නං. ඒ වුනාට ඒක මටත් අමතක වුනා. හරි. දැං ඒක දාන්න ඕනේ එන්ජින් කවරෙත් ගලවලා තියෙන එකේ. නැත්නං අපරාදෙ. ආයෙ මෙහෙම චාන්ස් එකක් එන්නේ නෑ.”

නමුත් කොහෙමද ඒක අරං එන්නේ මෙතනට?  සාමාන්‍යයෙන් වෑන් එකේ අලුත් වැඩියාවක් කරනකොට මම ගෙදර ගිහින් බයික් එක අරන් එනවා මොකද සැරින් සැරේට අමතර කොටස් හොයන්න දුවන්න වෙන නිසා.

“අයියේ, මම ඔයාට මගෙ බයික් එක දෙනවා ගෙදරට දුවලා එන්න. ඒ වුනාට ඒක මාරක ලිඳේ යන බයික් එක වගේ. ඒක පදින්න පුලුවන් මට විතරයි. ඔක්කොටම ඉස්සෙල්ල ඒකෙ බ්‍රේක් කඳුලක් නෑ. ඒ මදිවට හිටපු ගමංමෝල හිටිනව පාර මැද්දෙ. තව එතකොට …”

“හරි බං හරි.” වඩුවගේ ගෙදර පු‍ටුවක් නෑ කියනවනෙ. එතකොටම මට ආවා කල්පනාවක්.  ලඟ තිබිච්ච රෙදි කෑල්ලකින් අත පිහදාගත්ත මම සාක්කුවෙන් ඇදලා ගත්තා ෆෝන් එක.

Gamini Samarakoon – Home

රිංස් පහ හයකට පස්සේ ගාමිණීගේ කටහඬ ඇහුනා.

“මචං ගාමිණී. මේ හෙන්රි. උඹ මේ වෙලාවෙ හෙන බිසිද මචං?”

“මචං මම මේ සීලිමේ පොඩි වැඩක්. මේ බාස්ලා එක්ක වැඩකරන්න ගියාම උඹ දන්නවනේ ඉතිං. හරි ඒකෙන් වැඩක්

නෑ? මොකක්ද මචං කෙරෙන්න ඕනෙ?”

“මචෝ, මම උඹලෑ පාරෙම තව එහා ඉන්න ඉලෙක්ට්‍රීෂන් ලක්ෂ්මන්ලගෙ ගෙදර ඉන්නේ. මගෙ වෑන් එකේ කෑලි ගලවං මේ ඉන්නේ.  උඹට පුලුවං වෙයිද අපේ ගෙදෙට්ට පොඩ්ඩක් දුවලා මගේ කම්පියුටර් ටේබල් එක උඩ පොඩි පෙට්ටියක දාලා තියෙන Engine Oil temperature Sensor එක ගෙනත් දෙන්න?  උඹට බැරි නම් කියාපං ගාමිණී මම ත්‍රී වීලර් එකකට කතාකරගෙන යන්නම්.”

“ඕක මොකක්ද මචෝ. පොඩ්ඩක් හිටහං ඔහොම. මං මේ යනවා”

කිව්වත් වගෙ විනාඩි විස්සකට තිහකට පස්සේ ගාමිණියා මතු වුනා ගැජට් එකත් අරගෙන. ගාමිණී දැකපු ලක්ෂ්මන්ගෙ කට ඉබේම ඇරුනා.

“අයියේ, ඔයා මේ ගාමිණී මහත්තයටද කිව්වේ ඔයිල් සෙන්සර් එක අරං එක්ක කියලා. මට ඇහුනා ඔයා ‘ගාමිණී-ගාමිණී’ කියලා කතාකරනවා ඒ වුනාම මට හීනෙකින්වත් හිතුනේ නෑ…”

“ගාමිණියි මායි පොඩි කාලෙ ඉඳලම බොක්කෙ යාලුවෝ ලක්ෂ්මන්,” මම පැහැදිළි කලා.

ගාමිණිත් අර කාටත් කතාකරන ලෙංගතු හෘදයාංගම විදියට ලක්ෂ්මන් එක්කත් වචන කීපයක් කතා කරලා ඊයේ රෑ අපි එක්ස්ප්‍රස් වේ එකේ ලයිට් නැතුව කාපු කට්ට ගැනත් කෙටියෙන් අහගෙන පිටත් වෙලා ගියා ආපහු සීලිමට නගින්න.

අලුත් සෙන්සරය එන්ජින් බ්ලොක් එකට හයිකරලා හොඳින් තද කරපු ලක්ෂ්මන් වයර් ටික ටර්මිනල් වලට අමුනලා ඩෑෂ්බෝඩ් එකේ ලයිට් පත්තු වෙනවද  කියලා බැලුවා.

“ඇයි ලක්ෂ්මන් මල්ලි පුදුම වුනේ ගාමිණී සෙන්සර් එක අරං ආපු එක ගැන?”

“ඇයි අයියේ, ගාමිණී මහත්තයා කියන්නේ මේ පැත්තේ කවුරුත් හෙනට රෙස්පෙක්ට් කරන මහත්තයෙක්.

වනජීවී එකෙත් තදයෙක් නේද ඒ මහත්තය?”

“ඔව් වනජීවී දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ කෙනෙක්.”

“ඒක තමයි.”

ඒ වගෙම ගිරිතලේ වනජීවී පුහුණු ආයතනෙත් ගාමිණී දරන නිලය ගැන කියපු මම මෙහෙමත් කිව්වා.

“ඒ ඔක්කොටම වඩා මල්ලි, තනතුරෙන් ඔලුව උදුමවාගත්ත නැති, පොළොවෙ පයගහලා ජීවත් වෙන, එළකොල්ලෙක්!.”

     *     *     *     *

මගෙ බයික් එක කවදාවත් නැතුව දුම් පරීක්ෂණේ ෆේල් වුනා කියහංකෝ!

මගෙ එකට වඩා හුඟක් අලුත් ඉන්දියන් බයික් නම් දුම් පරීක්ෂනේ ෆේල් වෙනවා මම ඇස් දෙකට දැකලා තියෙනවා ඕනෙ තරම්.  ඒත් 143 – වුනාට ඔරිජිනල් ජපන් මගෙ හොන්ඩා එක? පුදුමයි ඒත් ඇත්තයි. කොල්ලා කාලෙ ඉඳන්ම මගෙ හීනයක්වෙලා තිබුනේ කවදාහරි  Honda CM125T Custom එකක් අයිතිකර ගන්න.  පස්සෙදි ඒ හීනයනම් සැබෑ කරගත්තා. ගුරුත්ව කේන්ද්‍රය ඉතාම පහත නිසා, ඕනෙ නම් කිසිම අවුලක් නැතුව යන වේගෙන්ම කණට වැලියන්න ඇල කරලා වංගුව ගන්න තරම් සමබරතාවයක් තියෙන, ඉන්දියන් බයික් වගේ පෙට්‍රල් වැඩ නොකලත්, ඕනෙ දුරක් ඇඟට නොදැනී, කාර් එකක වගෙ සැප පහසුවට යන්න හැකි බයික් එක.

එහෙව් බයික් එක දුම් පරීක්ෂණේ ෆේල් වුනයි කියහංකෝ!!

ඒ ඔක්කොමත් හරි, බාස්ලගෙ කියමනුයි ආකල්පයි තමයි මට කාල ඉන්න බැරු වුනේ. උන්ගෙ මන්දෝත්සාහීබවයි, කම්මැලි කමයි, මගෙ සිහින බයික් එකට කරපු මදිපුංචිකමුයි නිසා මට උන්ව එපාම වුනා. සමහරු වහෙං ඔරෝ බාසාවෙන් නොකියා කිව්වේ දැං ජපන් බයික් රජ කරගෙන හිටපු යුගය ඉවරයි, ඔන්න ඕක පැත්තකට දාලා ඔය කවුරුත් කරන්නා වගේ ඉන්දියන් බයික් එකක් ගත්තනං වැඩේ ගොඩ කියලා. සමහරුන්ට මේ වගේ දෙකේ පංතියෙ වැඩක් කරන්න වෙලාවක් නැති බව කිව්වා. සම-හරක් කිව්වේ ඔය තියෙන ඔරිජිනල් ජපන් කාබියුරේටරේ ගලවලා විසි කරලා ඔය ඉන්දියන් හරි චීන හරි එකක් දාමු කියලා. අන්තිමට එහෙම කාබ් එකක්වත් අරන් මමම හයිකරගන්න කියලා හිතාගෙන මෝටර් සයිකල් අමතර කොටස් කඩයක් අරිනකල් ඉන්නකොට තමයි මට මේ අලුත් මෙකැනික් ගැන දැනගන්න ලැබුනේ .

ඇත්තෙන්ම, ගුණවර්ධන මහත්තයා කියලා හැඳිවුනු පාසැල් ගුරුවයෙක් තමයි මට ඒ ආරංචිය දුන්නේ. ගුණවර්ධන මහත්තයා කියන්නේ වාහන ගැන පුදුම උනන්දුවක් ආදරයක් වාහනයක් දක්වන, ඒ නිසාම හුඟක් බාස්ලට දිරවන්නෙම නැති  perfectionist බුවෙක්. ඒ ඒ කාලෙට මොන වාහනේ පාවිච්චි කලත්, ඒ වාහනේට ඇප කැප වෙලා සුපිරිම තත්වයෙන් නඩත්තු කරන, වාහනේට දෙයියන්ට වගේ සලකන, කොච්චර ගනං වුනත් කීය ගියත් කොම්පැනියෙන් ගත්ත ඔරිජිනල් පාට් විතරක්ම දාන, වාහනේ ගැලෙව්වම බාස් බෑ කිව්වොත්, පස්ස ගැහුවොත්,  තමන්ම  හැම කෑල්ලක්ම හොඳට හෝදලා මැදලා, පිහදාලා, දිස්නේ ගහන්න පොලිෂ් කරලා හයි කරන වාහන ලෝලියෙක්. ගරාජ් බාස්ලට ගුණවර්දන මහත්තයා නිකං ඇණයක් නෙවෙයි, පරාල ඇණයක්.

එකපාරක් හොන්ඩා CG125 බයික් එකක් අති සුපිරි තත්වයෙන් අවුරුදු ගාණක් පාවිච්චි කරපු ගුණවර්ධන මහත්තයා දැන් පාවිච්චි කරන්නේ ඒකට කිට්‍ටුවෙන්වත් අපේ වාහනයක් නතර කරන්න අපිට  මොකක්ද වගේ හිතෙනතරම් සුපිරි තත්වයෙන් තියෙන Toyota Townace වෑන් එකක්.

ඉතිං ගුණවර්ධන මහත්තයාගෙ අනුමැතිය ලැබුණ ගරාජ් එකක් කියන්නේ හොඳම එකක් වෙන්න එපායැ.

ඇත්තෙන්ම ඒම මම දැකපු පිරිසිදුම වැඩපලක්.  කට්ටිය වැඩ කරන්නෙ ඕවරෝල් ඇඳගෙන. ඒ වගේම කොච්චර වැඩ තිබුනත් අපේ ප්‍රශ්ණවලට ඉවසීමෙන් උනන්දුවෙන් ඇහුම්කන් දෙන්න එයාලට වෙලාව තියෙනවා. ඒ ඔක්කොටම වඩා එතන ඉන්න වැඩ්ඩා නොහොත් ලොක්කා අපේ වාහනවලට ගෞරවයෙන් සැලකුවා, නිකං දෙකේ කොලේට දාලා කතාකලේ නෑ. ඇත්තෙන්ම බුවා මගේ බයික් එක අගය කලා.

ඒ වගේම අපි නිතර දකින “බාස්” කෙනෙකුට වඩා න්‍යායාත්මක දැනුමක් තිබුනා. ඇත්තෙන්ම බුවා හුඟක් බාස්ල වගේ කනාබල්ලං නොගහා මගෙ අසමත් වෙච්ච දුම් සහතිකය කියවලා කාබන් මොනොක්සයිඩ්, ඒ වගේම කාබන් PPM ප්‍රතිශතය ගැන අවබෝධයෙන් බැලුවා.

මුලින්ම කාර්බියුරේටරය ගලවලා පිරිසිදු කරලා  අලුත්ම අලුත්වැඩියා කට්ටලයක් (repair kit) වගේම ෆ්ලෝටරයක් දාලා  හයි කරලා මට කිව්වා යම් කිලෝ මීටර් ගානක් පැදලා ආපහු එන්න කියලා දෙවෙනි ටියුනප් එකකට.

“දුම් පරීක්ෂණේ පාස් වෙන්න උනත්, ඔය ඔරිජිනල් ජෙට් අයිං කරලා පුංචි ජෙට් දාලා එන්ජිමට එන පෙට්‍රල් ගෑස් එක අඩුකරන එක හරි වැඩක් නෙවෙයි. කොම්පැණියෙක් ඔරිජිනල් එවන සයිස් ජෙට් එකම දාලා ඊට පස්සෙ බලන්න ඕනෙ පෙට්‍රල් නාස්තියක් නැතුව නියම ගානට පිච්චෙන්න ටියුන් කරගන්න.”  ඒ කතාවෙන්ම මට බුවාව හිතට ඇල්ලුවා.

“ඔව් මල්ලි, මට ඕනෙ එමිෂන් ටෙස්ට් එක කොහොම හරි පාස් කරගන්න විතරක් නෙවෙයි. මට ඕනෙ බයික් එක හොඳට අදින ගානට පවර් එකත් තියාගෙන, එමිෂන් ලෙවල් අඩුවෙන් පවත්වගෙන , ඒ වගේම මේ මොඩල් එකේ වැඩකරන උපරිම ගානට පෙට්‍රලුත් වැඩකරන විදියට ටියුන් කරගන්න.”

“අන්න හරි මහත්තයා. ඒක තමයි වෙන්න ඕනෙ හරි දේ. නමුත් මෙතනට එන හුඟක් කස්ටමර්ලට ඕනෙ මොන විදියෙන් හරි ටෙස්ට් එක පාස් කර ගන්න විතරයි. පෙට්‍රල් වහලා ගෙනිහිං ටෙස්ට් එක පාස් වුනාට පස්සෙ ආපහු ඇවිත් පෙට්‍රල් අරිනවා එමිෂන් ලෙවල් යකාටම පලයක් කියලා.”

අර මං කලින් කිව්වා වගේ, එක වාහනයක් හදන්න වාහන දෙකක් අරන් ගරාජ් එකට යන්න එපායැ කෑලි හොයන්න යන්න වෙන නිසා. ඉතින් එදත්, බයික් එක ගෙදර ගෙනියන්න කලින් වෑන් එක ගෙදර දාලා එක්කෝ බස් එකක හරි ත්‍රී වීලර් එකක හරි ආපහු එන්න ඕනෙ.

ඔන්න එතකොටම මට හමු වුනා එතනට මොකක්දෝ වැඩකට ඇවිල්ලා හිටපු මගෙ මිත්තරයා ශ්‍රී ලංකා අහවල් මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ සජිත් මොකද්දාරගම.

මට වෑන් එක ගෙදරට දාලා බස් එකක හරි ත්‍රීවීලර් එකක හරි ආපහු එන්න කම්මැලි හිතුනේ මොන කරුමෙකටද කියලා මම තවම කල්පනා කරනවා. අර කලින් ගරාජ් එක වගේ අස්සක මුල්ලකත් නෙවෙයි නෙවෙයි මේක තියෙන්නේ ජනාකීර්ණ මහ පාරක් අයිනේ.

“මචං මම දැං වෑන් එක දාල එන්න ගෙදර යනවා. උඹට ඊලඟ අපොයින්ට්මන්ට් එක නෙවෙයිනම් තියෙන්නේ උඹට පුලුවන්ද මචං උඹේ බයික් එකෙන් මට ලිෆ්ට් එකක් උඹ එනවද මාත් එක්ක අපේ ගේ ගාවට උඹේ බයික් එකේ මට ඉක්මනට උඹත් එක්ක ආපහු එන්න.”

“සුළු දෙයක්නෙ මචෝ. ඕක මොකක්ද?”

වෑන් එක වැරදි පැත්තට මූණ දාලා නවත්තලා තිබුන නිසා මම ඒ පැත්තටම ගිහින් හරවගෙන ආපහු ගරාජ් එක ලඟට ආවම සජිත් මට අත වනලා “උඹ පලයං මං එන්නම්,” කිව්වා.ගෙදර මිදුලේ වෑන් එක නතර කරපු මම ඉක්මනින් ආපහු පාරට ගියා. සජිතයගෙ සලකුණක් වත් නෑ. ෆෝන් එක අතට ගත්තු මම බුවාගෙ නොම්මරේ ඩයල් කලා.

“හෙලෝ”

“මචං, උඹට කරදරයක් නම් මම බස් එකක හරි ත්‍රී වීලර් එකක හරි එන්නම්.”

“උඹට පිස්සුද යකෝ? හිටහං විනාඩියක් මම මේ එනවා. මට යාලුවෙක් හම්බවුනා ඒකයි පොඩ්ඩක් පරක්කු වුනේ.”

එතකොටම මම දැක්කා වංගුවෙන් මතුවුන බස් එක. මම බස් එකේ එනවා උඹ එන්න එපා කියන්න මම ෆෝන් එක කනට ලං කලා.

“ඕං බලහං මචං අපිට හම්බවෙන කුණු කොන්තරාත් වල හැටි.  ඇහුවාම බෑයි කියන්නත් නෑ. දැං බලහංකෝ

මගෙ වැඩේ තාම පටං අරගෙනත් නෑ. උගෙ වැඩේ හරිනෙ. දැං ඕකා මට ටටා බයි බායි කියලා යන්ඩ යයි.  අපි මෙතන ඉඳගෙන වාත වෙවී බල ඉන්න ඕනෙ අච්චර වැඩ තියෙද්දි…ඕං අපිට හම්බවෙන යාලුවෝ!”

ෆෝන් එකෙන් ඇහුන මේ කොටස මම අහගෙන හිටියේ කට ඇරගෙන වෙන්න ඕනෙ.  කලින් කෝල් එක විසන්ධි කරන්න දෙන්නටම අමතක වෙලා.

ඇමතුම විසන්ධි කරපු මම ආයෙම ඩයල් කලා. මට ඕනෙ වුනේ මම බස් එකේ එන්නම් කියලා කියන්න. මම මේකාගෙන් උදව්වක් එල්ලපු එක ගැන පුදුම පසුතැවිල්ලක් සහ කම්පාවක් මට තිබුනේ.

නමුත් මේ පාර උත්තරයක් නෑ. ෆෝන් එක දිගටම රිං වුනා.

බස් එකට නගිනවද නැද්ද කියලා මම මොහොතක අතීරණයකට පත් වුනා. නමුත් සජිත් දැනටත් එන්න පිටත් වෙලා වෙන්න පුලුවන් නිසා මම අදහස අතහැරියා.  බස් එක යන්න ගියා.  විනාඩි කිහිපයකට පස්සේ සජිත් ආවා හිනා කටක් පුරෝගෙන, අත වනාගෙන. “නැගපං මචං.” හෙල්මට් එක දාගත්ත මම බයික් එක පිටිපස්සට නැග්ගා. යූ ටර්න් එකක් ගහපු අපි ආපහු පිටත් වුනා. මේ අර පොඩ්ඩ වෙලාවකට කලින් මා ගැන අර විදියට කතාකරපු එකාමද කියලා මට අදහගන්න බැරි වුනා.  සජිතා හිටියේ විහිලු තහලු කරමින් උපරිම ජොලි මූඩ් එකක.

ආපහු ගරාජ් එකේදි මම බයික් එකෙන් බැස්සා.  බිල ගෙවපු මම යන්න පිටත් වෙලා සජිත්ට ස්තුති කලා.

“අයියෝ, ඕක මොකක්ද බං? යාලු කමෙන් ඇති වැඩේ මොකක්ද එහෙමවත් උදව්වක් නැතිනං. උඹ වුනත් ඔය උදව්ව මට කරනවනේ බං මම උඹේ තත්වෙ හිටියනං. අල්ලලා දාහං බං.”

“එහෙනං ටටා බයි බායි මචං.” මම කිව්වා නෙවෙයි මට කියවුනා. සජිත්ට පි‍ටුපාලා බයික් එකට නැග්ග මම බයික් එක පාර හරහා දාලා පල්ලම පැත්තට වේගයෙන් පිටත් වෙද්දි, සජිත් ලඟ හිටපු අනිත් බුවාට ඇහැක් ගහනවා මම මනසින් දැක්කා.

පසුගියදා උපන්දිනය සැමරූ මගේ මිතුරු, , බ්ලොග් රචක, ලේඛක, වනජීවී අධ්‍යක්ෂ ගාමිණී සමරකෝන් සොයුරාට ප්‍රමාදවී පිදෙන උපන්දින  තිළිණයයි.

Originally published @ HeyDude in English Language and මගේ ඩෙනිම in Sinhala Language.

 

2 responses to “170.දෙන්නම අධ්‍යක්ෂලා.

  1. ක්සැන්ඩර්

    පෙබරවාරි 6, 2016 at 3:09 ප.ව.

    සමහර පාඩම් වල වටිනාකම හරිම සුළුයි. ඔය ෆෝන් කෝල් එකක කොස්ට් එකට ඔබට ලැබුණු පාඩම..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: