RSS

172.මඩ-2

14 Feb
20160208_215027

Christopher Atkins from Blue Lagoon

“ඩාං”

(“ඩාං” ගාන සද්දෙ  මොකක්ද කියලා හරියටම දැනගන්න කියවන්න මඩ පළමුවෙනි කොටස.)

“තාත්තේ” මම තාත්තගේ උරහිසට අතක් තියලා කතා කරනවා.

“මොකද?” තාත්තා කෙඳිරි ගානවා.

“තාත්තේ, ඔයාගෙ ඔලුවට ඔහොම කරන එක හොඳ මදි නේද?”

“වෙන මොනවද කරන්න ඉතුරු වෙලා තියෙන්නේ? තාත්ත කියන්නේ මැසිවිලි හඬකින්.

“අපි ගෙට ඇතුල් වෙන්න වෙන විදියක් බලමු.”

“වෙන විදියක් ඇත්තේ නෑ.  දොරවල්  වලට ඩබල් ඩෙඩ් බෝල්ට් දාලා තියෙන්නේ. ජනෙල් වලට පොලු දාලා. අපි යකඩයක් දාලා ජනෙල් පොලු නවලා ඈත් කරන්න හැදුවොත් අපි ගෙට රිංගන්නත් කලින් අර මෝෂන් ඩිටෙක්ටර්  වලින් අලාම් එක වැදිලා පොලීසියෙන් මෙතනට එනවා.”

“කියලවත් කරගන්න බැරි වැඩක්නේ තාත්තේ. කොච්චර හොඳද?. අපි එහෙම කරමුකෝ”

තාත්තා නහයෙන් පිඹිනවා ගිණි මකරෙක් වගේ

“ඔලුව පාවිච්චි කරන්න ඇන්ඩි. අපි දෙන්නගෙම ඇ‍ඟේ නූල්පොටක් නෑ. අපි කවුද කියන එක ඔප්පු කරන්න අපිට කට වචනේ ඇර කිසිම විදියක් නෑ.  පොලිසියෙන් ඉස්සෙල්ලම කරන්නේ අපි දෙන්නව අත් අඩංගුවට අරං කූඩුවේ දාන එක.”

“අපිට පුලුවන්නේ අපි කවුද කියලා මේ අහල පහල අයගෙන් අහන්න කියලා පොලිසියට කියන්න. ඒ මිනිස්සු කියයි අපි හොරු නෙවෙයි කියලා.”

තාත්තා නිකට අත ගගා, පොඩ්ඩක් කල්පනා කර කර කර ඉඳලා ඔලුව දෙපැත්තට වනනවා, කටත් ඇදකරලා.

“ම්හුම්. දැන් මේ වෙලා තියෙන හරිය මදිවට, අහල පහල ගෙවල්වල උං ඉස්සරහ අමු හෙලුවැල්ලෙං  හඳුනාගැනීමේ පෙරෙට්‍ටුවකටත් හිටපල්ලකෝ දෙන්න එක්ක. උං ඊට පස්සෙ අපිව දකින දකින ගානෙ බඩ අල්ලගෙන හිනාවෙන්න තියා  ගනී. මේ  නිකං විහිළුවක් වෙයල්ලකෝ!”

හ්ම්ම්ම්.  ඒකත් ඇත්ත.  පොලිස් බුවාලා ඉස්සරහ  මදිවට, අහල පහල ගෙවල්වල උං ඉස්සරහ  හෙලුවැල්ලෙන්  ඉන්න වෙන එක තාත්තට විතරක් නෙවෙයි, මටත් හෙනම අවුල්.  දැං මේ මට තාත්තා ඉස්සහ හෙලුවැල්ලෙන් ඉන්න වෙලා තියෙන චාටර් එකම මදෑ. ඊටත් එහා තාත්තට මා ඉස්සරහ හෙලුවැල්ලෙන් ඉන්න වෙච්ච එක! හයියෝහ්! රෙදි නෑ!

ඔන්න එතකොටම මට පහල වෙනවා හොඳ අදහසක්.

“එතකොට මේකෙ ඇතිනේ අමතර යතුරක්!” මම කියනවා.

“ඉස්සර ඒක තියන්නේ දොර ලඟ කාපට් එක යටනේ,” තාත්තා කියන්නේ කෙඳිරිලි හඬකින්. ” අර  Neighborhood Watch එකෙන් කිව්වනෙ ඒ වගේ හැම කෙනෙක්ම දන්න තැන්වල යතුර තියන්න එපා කියලා.”

“ඉතිං දැං කොහෙද ඒක තියෙන්නේ?”

තාත්තා ආයෙ කෙඳිරි ගානවා.

“ඔෆීස් එකේ.”

“ඉතිං අපි ගිහිල්ල ඒක අරං එමුකෝ.” මම උද්‍යෝගයෙන් කෑ ගහනවා.

“ඔය ටිකට අමතක වුනාද දෙන්නම ඉන්නේ හෙලුවෙන් කියලා?”

තාත්තගෙ කතාවෙ ඇත්තක් තියෙනවා. ඒ වුනාට මේ ගැන මොකක් හරි කරන්න වෙනවා. මට සීතල ඉවසන්න බෑ.  උණුසුම රඳවගන්න මම එහාට මෙහාට හැල්මේ දුවනවා. එක පාරටම මම මඩ ගොඩක ලිස්සලා මඩ වුනු තණබිමේ උඩුබැලි අතට වැටෙනවා.

ඒ එක්කම මම  දනිපනි ගහලා නැගිටිනවා

මගෙ කකුල් මඩෙනුයි, තණකොල  රොඩු වලිනුයි වැහිලා.

ගෑවුනත් මඩ,  වැඩේ ගොඩ!

“තාත්තේ, මම දන්නවා ඔෆීස් එකට ගිහින් යතුර අරන් එන විදිය.”

“කොහොමද?”

“අපි මඩයි, තණකොළ රොඩුයි ඇ‍ඟේ තවරගෙන camouflage වෙමු.”

“මොකක්? අනේ මේ,  විකාර නං කතා කරන්නෙපා ඇන්ඩී, මේ ඔලුව ගිණිඅරං ඉන්න වෙලාවේ.”

“විකාර නෙවෙයි තාත්තේ. මේ බලන්නකෝ,” කියන මම නැමිලා මඩ තලියක් දෑතින්ම අරගෙන පපුවේ ගාගන්නවා.  තව මඩ තලියක්  බඩේ ගාගන්නවා.  ඉන් පස්සෙ මම මඩේ වැතිරිලා රෝල් වෙනවා ඔලුවේ ඉඳං පතුල්  දෙකට යනකල්ම මඩෙන් නෑවෙන  විදියට.

මම මඩ නාද්දි තාත්තා හිටගෙන  මා දිහා බලා ඉන්නේ පිටසක්වල ජීවියෙක් දිහා බලා ඉන්නවා වගේ.

“දැන් මොකද හිතෙන්නේ?” මම අහනවා.

“මට හිතෙන්නෙද? මට හිතෙන්නේ ඔයාට හොඳටම ඔල්මාදෙ කියලා පිණි බාලද කොහෙද.”

“හරි හරි, මට තේරෙනවා. මේ අහන්නකෝ තාත්තේ,” මම කියනවා.  “අපිට ඇත්තෙන්ම මහ දුරක් යන්න නෑනේ මෙතන ඉඳලා. ඇත්තෙන්ම බ්ලොක් දෙක තුනක් ඇති.  අපි මහ පාර මග ඇරලා, ගෙවල් පිටිපස්සෙන් වැටවල් වලින් පැන පැන ගියොත්, එතකොට ඔය ගෙවල් නැති තැන්වලින් පුලුවන් හයියෙන් දුවලා හෙම, මේ පට්ට පාන්දර හන්දා කවුරුවත් අපිව දකින එකකුත් නෑ.”

“මහ පිස්සු අදහසක්,”තාත්තා ඔලුව කසනවා. “ඒ වුනාට…”

“ඒ වුනාට තාත්තේ…”

“ඉන්නකෝ මම කියන්න හදන එක කියන්න දීලා,” තාත්තා බාදා කරනවා. ” මම කියන්න ගියේ පිස්සු අදහසක් වුනාට ඒක හරියන්නත් පුලුවන් කියලා.  ඇරත්  එහෙම නොකර කරන්න පුලුවන් වෙන හොඳ විදියක්  ගැන මටත් කල්පනා වෙන්නේ නෑ.”

“හරියට හරි”, මම කියන්නේ උද්‍යෝගයෙන්. “අපිට නැති වෙන්න දෙයක් නෑ.”

“ඔයා හරි,” තාත්තා එකඟ වෙනවා. “අපි එහෙම කරමු.”

තාත්තත් නැවිලා මඩ අහුරු අහුරු අරන් ඇඟ පුරා තවරා ගනිද්දි එයාගෙ  මූණෙ මතුවෙන්නේ ලොකු හිනාවක්.

“දැං කොහොමද”

“නියමයි තාත්තේ,” මම කියනවා. “ඔයා පේන්නෙ සාමාන්‍ය මඩචාරියෙක් වගේ. ඒකිව්වේ  mudman කෙනෙක් වගේ.”

මඩ තවරා ගන්න, තවරා ගන්න තාත්තගේ උද්‍යෝගය වැඩි වෙනවා. හරියට පොඩි එකෙක් වගේ.  ඇඟ පුරා මඩ තවරලා ඉවර වුන තාත්තා ඔලුවෙත් මඩ  තලි අලවා ගන්නවා.  කොණ්ඩේ, ඇස්වල, කටේ හැම තැනම මඩ තවරගත්ත තාත්තගෙ තියෙන්නේ විකාර පෙනුමක් – හරියට අපේ තාත්තා නෙවෙයි වගේ.

අර ආදම් වගේ ගහක කොළයක් අලවලා අහවල් තැන වහගන්න තාත්තා මටත් කොළයක් දික්කරනවා.

“මේකත් අලෝගන්න කොයිකටත් කියලා.”

“කොයිකටත් කිව්වේ මොකකටත්ද?” මම අහනවා.

“කොයිකටත් කිව්වේ කවුරු හරි අපිව දකී කියලා.”

“කවුරුවත් අපිව දකින්නේ නෑ,” මම සහතික වෙනවා. ” ඒ මොකද අපි මඩචාරියෝ නිසා.  අපි කාගෙවත් ඇස් වලට අහුවෙන්නේ නෑ. අදෘශ්‍යමානයි.  අපි මඩචාරියෝ අපිට ඕනෙ දිහාක, අපිට ඕනෙ වෙලාවක, අපිට ඕනෙ විදියට යනවා.”

“මඩචාරින්ට ජයවේවා!” කියන තාත්තා එයාගෙ මඩ අත අල්ල උඩට හරවලා අල්ලනවා. “දාන්න පහක්”

මම දානවා පහක්.  අපේ අත් ‘තොහ්’ ගාලාඑකට ගැටිලා මඩ වීසි වෙනවා.  තාත්තා මෙච්චර උද්දාමයෙන් ඉන්නවා මම දැකලා නෑ කිසි දාක.

අහසේ වැහි වලාකුල් පිරිලා. ඒකත් එක අතකට හොඳයි, අපිට කාටවත් නොපෙනී යන්න තියෙන හැකියාව වැඩිවෙනවා එතකොට.

අපි මුලින්ම අපේ වැටෙන් පනිනවා අල්ලපු ගෙදර මිස්ට බ්‍රෝඩ්බෙන්ට්ගෙ පිටිපස්සෙ ගෙවත්තට. බිමට නැවී ගෙන වත්ත හරහා දුවන අපි, එයාගෙ වැටෙන් පනිනවා ඊලඟ වත්තට.

“වැඩේ දැනට නම් නැගලම යනවා,” තාත්තා ඒ වත්ත හරහා දුවලා වැටෙන් පනින ගමන් කියනවා.  ඊ ලඟ වත්ත ගස්කොළන් පිරිලා නිසා හුඟක් පහසුයි.

“මේක නම් මාර ලේසියි.” තාත්තට හිනා.

“ඒකනෙ මං කිව්වේ. කොහෙද ඉතිං” මම කියනවා.

අපි හරියට මීටර් සියය බාධක  දිවීම වගේ එක එක ජාතියේ වැටවල් උඩින් පැන පැන දුවනවා. ලී වැටවල්, දැල් වැටවල්, අධි ආරක්ෂිත වැටවල් මොන වැටටවත් අපේ ගමන නවත්තන්න බෑ. අපි මඩචාරියෝ!

අපි කොම්පෝස්ට් ගොඩවල්, පිහිණුම් තටාක,  එළවලු පාත්ති මග ඇරලා දුවනවා. තව තවත් මඩ සහ කොළ රොඩු කෑලි වලින් ඇ‍ඟේ ඇලෙනවා.

අපි නැවතිලා හති අරිනවා. අපේ පාරෙ අන්තිම වත්ත.

“මම ස්කවුටිං කලාට පස්සේ මෙහෙම ජොලි වැඩක් කරලා නෑ,” තාත්තා හති දදා කියනාඅ.

“ඒ කියන්නේ ඔයා ස්කවුටිං කරද්දි  මෙහෙම හෙලුවැල්ලෙං මඩ නාගෙන පාරවල් දිගේ දිව්වද?”

“නෑ නෑ” තාත්තා හිනාවෙනවා. ” අපි කඳු නැග්ගා , එතකොට මාලිමාවෙන් පාරවල් හොයාගෙන ගියා, අන්න ඒවගේ. මෙච්චර නම් ජොලියක් තිබුනේ නෑ ඇත්තෙන්ම.”

“හරි,” මම කියනවා. “දැන් අපිට මේ ගේ පැත්තකින් ඉස්සරහට දුවලා පාර හරහා පැනලා එහා වත්තට පනින්න වෙනවා ඊලඟ බ්ලොක් එකේ ගෙවල් පේලියට යාගන්න. ලෑස්තිද?”

“මම ලෑස්තියි,”

අපි ගේ පැත්තකින් දුවලා නිවැසියන්ට පයින්  යන්න හදලා තියෙන ප‍ටු කොන්ක්‍රීට් තීරුවත්  පාරට කලින් තියෙන තියෙන ගස්වවපු තණකොල තීරුවත් පනිනවා.

හුටා!

අපි ගාවම තියෙන ගෙදර ඉඳලා කාර් එකක් පාරට දානවා.

හැංගෙන්න වෙලාවක් නෑ.

“අපි දැන් මොකද කරන්නේ?” තාත්තා අහනවා.

“ඔහොමම නොහෙල්ලී ඉන්න,” මම කියනවා. “අත්දෙකත් දෙපැත්තට උස්සගෙන අපි ගස් වගේ ඉම්මු.”

අපි දෙන්නම එහෙමම ගල් ගැහිලා අත් එක එක කෝණවලට උස්සගෙන ඉන්නවා.

“අපි ගස් වගේ පෙනෙයිද කියලා නම් මට සැකයි,” තාත්තා කට කොණකින්  මුමුණනනවා.

එයා කියන කතාව ඇත්ත වුනත් ඒකෙන් ප්‍රශ්ණයක් වෙන්නේ නෑ. කාරෙක එලවන ඩයල් එක අපි දිහාවත් නොබලා කාරෙක පාරට දාලා ඉගිල්ලිලා යනවා.

“ෆුෆ්, ඒක නම් මාර බේරිල්ලක්” තාත්තා කියනවා.

“ඒ වුනාට අපි දිනුවනේ” මම තාත්තව අස්වසනවා.

“ඒක ඇත්ත,” තාත්තා කියද්දි එයාගෙ මඩ ඇස් දිළිසෙනවා.. “අපි දිනුවා, යේ!”

තාත්ත පාර හරහා දුවලා කොනේ තියෙන ගෙදර ඉස්සරහා මිටි ගඩොල් තාප්පේ උඩින් පනිනවා. මාත් එයා පිටිපස්සෙන්, ගේ පැත්තකින්  පිටිපස්සෙ වත්තට, දුවලා වැටෙන් අල්ලපු වත්තට පනිනවා. දැන් තාත්තා දුවන වේගෙට යන්න මට උපරිම වේගෙන් දුවන්න වෙනවා.

මම කොළපාට ගාපු උස වැටකට නගිද්දි මට පේනවා මට ඉස්සහින් දිව්ව තාත්තා රෙදිවැලක් යට හිටගෙන ඉන්නවා.  එයාට ලොකු ඩෙනිම් ජීන්ස් එකක් හම්බවෙලා එයා ඒක ඉහලට අල්ලගෙන හැඩ බලනවා. මම වැටෙන් බිමට පැනලා එයා ලඟට යනවා.

“බලන්න  මට හම්බවෙච්ච දේ,” එයා කියනවා. “මේකෙන් වැඩේ ලේසිවෙයි.”

“නියමයි තාත්තේ, ඒ වුනාට අපි ඉක්මනට මාරුවෙමු මෙතනින් කවුරුවත් දකින්න ඉස්සෙල්ලා.”

තාත්තා නැවිලා කලිසම අඳින්න හදන්නේ.

මට ඇස් කොණෙන් පේනවා මොකක්දෝ චලනයක්.

ඒ එක්කම ගෙරවිල්ලක්.

හෑහ්!

මම මේ පාරෙ අපි පහුකරලා ආපු ගෙවල් ගාන හිතෙන් අධිවේගී සමීක්ෂණයක් කරලා තේරුම් ගන්නවා අපි මේ ඉන්නේ කොයි ගෙදරද කියලා. මේක නොම්මර දහ නවය ගෙදර පිටිපස්ස. අර පිට්බුල් ටෙරියර් ජාතියෙ  මිනීකන යක්ෂ  බල්ලා ඉන්න ගෙදර.

පිට්බුල්  දුවගෙන එන්නේ තාත්තා දිහාට.

“තාත්තේ! ජීන්ස් එක දාලා දුවන්ඩෝ!”

මම වැට දිහාට දුවනවා. දත් විලිස්සගෙන ගොරවගෙන පිට්බුල් මා  පස්සේ පන්නගෙන එනවා.  මම වැටේ එල්ලිලා මුදුනට බඩ ගානකොට මූ හව් හව් ගාලා  මගෙ කකුල් හපන්න උඩ පනිනවා.

තාත්තා අපි දිහාට දුවගෙන එනවා. ජීන්ස් එක වෙලු කවලා කඹයක් වගේ අඹරාගන්න තාත්තා බල්ලට කස පාරවල් කීපයක් දෙනවා. බල්ලා මාව අතෑරලා තාත්තා දිහාට හැරෙනවා.

පිට්බුල්ගෙ පිටට පනින තාත්තා ඌව බඩ මැද්දෙන් අල්ලලා මිරිකගෙන බිම පෙරලා ගන්නවා. ඉන් පස්සේ දෙන්න එක්ක මඩගොඩේ පෙරලි පෙරලෙමින්, දත්විලිස්සමින්,  ගොරවමින් පොරකාගන්නවා.  දෙන්නගෙන් වඩා හයියෙන් ගොරවන්නෙ කවුද කියලා හිතාගන්නත් බෑ. මට මේක පුදුමක්. තාත්තා මේ වගේ හැසිරෙනවා මම දැකලා නෑ. මේක අහරියට ටාර්සන්  දිවියෙක් එක්ක පොර කනවා වගේ.

තාත්තා මා දිහා බලනවා.

“මොනවද තවත් බලං ඉන්නේ?” තාත්තා බෙරිහන් දෙනවා. “දුවන්න!”

ඒ වුනාට මම කොහොමද දුවන්නේ තාත්තව දාලා?  ඒ ගමන පිට්බුල් දිනාගෙන එන්නේ සටන.  ඌ තාත්තව බිම පෙරලගෙන දත් විලිස්සලා කට අරිනවා තාත්තගෙ බෙල්ල හපන්න.

“තාත්තේ!” මම ල‍තෝනි දෙනවා.

නමුත් අන්තිම මොහොතේ තාත්තා පිට්බුල්ගෙ බෙල්ල බදාගෙන එක අතකින් උගෙ කට වහලා ජීන්ස් එක ඔතනවා උගේ හොම්බ වටේට ඔලුවත් වැහෙන්න. ඉන්පස්සෙ කලිසම් කකුල් දෙක එකතු කරලා තදින් ගැටයක් ගහනවා.

පිට්බුල්ව අතෑරලා වැට දිහාට දුවගෙන එන තාත්තා වැටේ එල්ලිලා අනිත් පැත්තර පනිනවා.  ජීන්ස් ගැටේ නිසා පාර නොපෙනෙන පිට්බුල්, ගැටය ගලවාගන්න දඟලමින්, ගොරවමින්, වත්ත පුරා ගස් ගල් වල හැපෙමින් මාරාවේශයෙන්  දුවනවා. වැටෙන් පනින්න කලින් මම අවසන් වතාවට දකින්නේ ගහක වැදිලා බිම පෙරලෙන පිට්බුල්.

මමත් වැටෙන් පැනලා තාත්තට එකතු වෙනවා.

“ඔයා නම් පට්ටයි තාත්තේ!. ෆයිට් එක නම් ලොවෙත් නෑ! ඒත් අපරාදෙ ඔයාට ජීන්ස් එක නැතුව ගියා.”

තාත්තාට අලුත්ම ජවයක්, ජීවයක්, පණක් ලැබිලා වගේ.

“ඒකට මොකෝ? මට මොකටද ජීන්ස්?  මම මඩචාරියෙක්!”

මඩචාරියෙක්? මචචාරියෙක් කෙසේවෙතත් තාත්තා  එයාගෙ මඩ ඇලිලා විකාර විදියට හැම අතට දික්වුනු කොණ්ඩෙයි, සුදු රවුම් ඇස්බෝලයි, පිට් බුල්ගෙ දත් පාරකින් තුවාල වෙලා ලේ ගලන උරහිසයි එක්ක පේන්නේ වනචාරියෙක් වගේ.

“හා හා යං, යං,” තාත්තා කියනවා. “වෙලාව ගතවෙනවා මෙතනම.”

තාත්තා මොනතරම් මේ වැඩේට බැහැලද ඉන්නේ කියන එක මට හිතාගන්නත් බෑ දැන් දැන්. හරියට අපේ තාත්තා නෙවෙයි වගේ.

අපි ඊලඟ වතු පහ හරහා කිසි කරදරයක් නැතුව තරණය කරනවා. අන්තිම වැටෙන් පනින අපි දැන් ඉන්නේ ප‍ටු පාරක.

ප‍ටු පාරේ කෙළවරට දුවන අපි බිත්තියට පිට දීලා  මහ පාරට එබිකම් කරලා බලනවා.

මහපාර එකකට එකක් ගෑවෙන්න තරමට ලඟින් බඩ ගාන වාහනවලින් පිරිලා.

තාත්ත වැඩ කරන්නේ පාරෙන් එහා පැත්තේ තියෙන ගොඩනැගිල්ලේ.  පාරෙ එහා පැත්තේ කර්මාන්තශාලාවකුයි,  බඩු ගබඩාවකුයි තට්‍ටු දෙකේ ගොඩනැගිල්ලකුයි තියෙනවා. තාත්තා වැඩ කරන්නේ ඒ ගොඩනැගිල්ලෙ ඉඩ තට්‍ටුවේ.

“තව පොඩ්ඩයි,” තාත්තා කියනවා. “පාරෙන් එහා පැත්තට පැනගන්න එක විතරයි තියෙන්නේ.”

“පොඩ්ඩක් ඉන්නකෝ,” මම කියනවා. “පොඩි ප්‍රශ්ණයක් තියෙනවා. අපි කොහොමද ඔයාගේ ඔෆීස් එකට යන්නේ. අපිට රිසෙප්ෂන් එක හරහා නම් මේ විදියට යන්න බෑ.”

“අපි මඩචාරියෝ,” තාත්තා කෑගහනවා.”අපිට ඕනෙ තැනක යන්න පුලුවන්.”

“හරි. ඒ වුනාට රිසෙප්ෂන් එක හරහා යන්න බෑනේ. පොඩ්ඩක් හිතලා බලන්න.”

තාත්ත හිතනවා.

“ඔව්, ඔයා හරි තමයි. රිසෙප්ෂන් එකේ ඉන්න මිසිස් ලුවිස්ට හාට’ටෑක්කෙකක් හැදෙන්න පුලුවන් අපි දෙන්නව දැකලා .”

තවත් ඉවරයක් නෑ.

අවසාන කොටසට මෙතනින්.

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියු Mudmen කෙටි කතාවේ අනුවාදයකි.

Originally published @ මගේ ඩෙනිම

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: