RSS

173.මඩ-3 (අවසාන කොටස)

24 Feb

අපි ප‍ටුමගේ ඉඳං පාරෙ එහා පැත්තේ ගොඩනැගිලි අධ්‍යයනය කරනවා.

අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැති හැටි!

තාත්තයි මායි මෙතන හිටගෙන මොකද කරන්නේ කියලා නොදන්න අයට මෙන්න
පළවෙනි කොටස
දෙවෙනි කොටස.

මම ඇත්තටම හිතුවේ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න හැකි වෙයි කියලයි. අපි මෙච්චර කට්ටක් කාගෙන මෙතනටම ඇවිත් වැඩේ අතෑරලා දාන්න වෙන්නද මේ යන්නේ?

එක පාරටම තාත්තා මගෙ උරහිසෙන් අල්ල ගන්නවා.

“මට ආවා කල්පනාවක්. ඔයාට පේනවද අර වැටට එහා පැත්තේ තියෙන මඩුව?” තාත්තා ගේට්‍ටුව පිටිපස්සේ පේන අලු පාට තීන්ත ගාපු පොඩි මඩුව දිහාට ඇඟිල්ල දික් කරලා අහනවා.

“හ්ම්හ්, ඔව්. පේනවා. ඉතිං?”

“ඕක ඔය නඩත්තු අංශෙ හට් එක. ඕක ඇතුලේ තියෙනවා ඕවරෝල්. අපි එයින් දෙකක් ඇඳගෙන ඇතුලට ගිහිං යතුර ගමු. එතකොට කිසි කෙනෙකුට හාට’ටෑක් හැදෙන්නෙත් නෑ, වැඩෙත් කෙරෙනවා. හරි එහෙනං යං.”

තවම පාරේ වාහන එකකට එකක් ගෑවෙන ගානට.

“පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්!” මම තාත්තව වලක්වනවා. “අපි මේ විදියට පාර පනින්නද යන්නේ? පොඩ්ඩක් වාහන අඩුවෙනකල් ඉන්න ඕනෙ නැද්ද?”

“අපි තව කොච්චර වෙලා කියලා බලා ඉන්නද?” තාත්තා කරුණු දක්වනවා., “අඩුගානෙ තව පැයක්වත් යනකල් වාහන අඩුවෙන්නේ නෑ. නහයට කෙලින් ඉස්සරහ බලාගෙන, පස්ස නොබලා, ඇරලා දාල යන එකයි තියෙන්නේ, හරියට අපිට නෙවෙයි වගේ.”

මම තාත්ත දිහා බලා ඉන්නවා. එයා මගෙ පිටට තට්‍ටුවක් දානවා.

“යං යං මඩ කොල්ලෝ, තවත් නිකං තැවරි තැවරි ඉන්නෙ නැතුව. අපිට පුලුවං මේකත් කරන්න.”

මම අත් දෙක බොකු‍ටු කරලා ඇස් දෙක දෙපැත්තෙන් තියාගන්නවා ඉස්සරහ විතරක් පේන විදියට. මට කාවවත් පේන්නැත්නම්, කාටවත් මාව පේන්නත් බෑනේ.

අපි වාහන අතරින් එහාට මෙහාට රිංගමින් පාර පනිනවා. අපිට ඇහෙනවා වාහනවල ඉන්න මිනිස්සු කෑගහනවා, හූ කියනවා, ඒ එක්කම හෝන් ගහනවා.

පැහැදිළිවම මුං මීට කලින් මඩචාරීන්ව දැකලා නෑ.

තාත්තා මට ඉස්සරහින් වාහන අතරින් වේගයෙන් රිංගාගෙන පාර හරහා යනවා.අපිට ඉස්සරහින් තියෙන SUV එක ඊට ඉස්සරහ කාරෙකට ගෑවෙන්න වගේ නවත්තලා නිසා අපිට රිංගන්න ඉඩක් නෑ. තාත්තා SUV එකේ බොනට් එකට අත් තියලා ඒකට උඩින් එහා පැත්තට පනින්නේ එක පිම්මට. ඒ වැඩේ කරන්න මට අත් දෙක මූණෙන් ගන්න වෙනවා.

“ඇන්ඩී?” මම බොනට් එක උඩින් බඩගාගෙන යද්දි මට ඇහෙන්නේ අහලා පුරුදු කට හඬක්.

එහෙමම බොනට් එක උඩ නවතින මම ඔලුව හරවලා බලනවා වාහනේ දිහා.

රෙදි නෑ!

ඒ මගෙ පන්තිබාර ගුරුතුමී, මිස් ලිවිංස්ටන්. එයා වීදුරුව පාත් කරලා ඔලුව එලියට දාගෙන.

“හායි,” මම කෑ ගහනවා. “මේකයි වුනේ මිස් ලිවිංස්ටන්…”

එයා හිනාවෙලා අත උස්සලා මාව නිහඬ කරනවා. හරියට පන්ති කාමරේ වගේ.

“හරි හරි. ඒවා අපි පස්සෙ කතා කරගම්මුකෝ.” එයා කියනවා. “මම මාස හයක් මඩචාරීන් එක්ක කැලේ ජීවත් වෙලා තියෙනවා. මට කවදාවත් අමතක වෙන්නේ නෑ ඒ කාලෙනම් අප්පා. ඔන්න එක වතාවක්…”

අහ්-ඕ! හුටාX4 නොහොත් හුටා!xහුටා!!xහුටා!!!xහුටා!!!!

කටින් වෙට්‍ටු දම දමා කියන මිස් ලිවිංස්ටන්ගෙ දේශාඨන කතන්දර හොඳයි. නමුත් අවුල, එයා ඒවා පටං ගත්තාම ඉවර කරන්නේ නෑ වරුවකට.

“මට වෙලාවක ඒ කතාව කියන්න මිස්. නමුත් දැන් නම් මේ හදිස්සි ගමනක් යන්නේ.”

මිස් ලිවිංස්ටන් හිනාවෙලා ඔලුව වනලා සමුදෙනවා මට.

“අනිවාර්යයෙන්ම! මඩචාරීන් ඔය විදියම තමයි. අර බල්ලට ඇති වැඩකුත් නෑ, හෙමින් ගමනකුත් නෑ වගේ, කොච්චරවත් දුවාගත්ත ගමන්මයි. ඕං ඇන්ඩි, තව වතාවක් මම…”

මම බොනට් එකෙන් පහලට රූටලා දුවන්න ගන්නවා.

පාරෙ එහා පැත්තට ලඟාවෙන තාත්තයි මායි වැටට සමාන්තරව දුවලා තාත්තගෙ කාර්යාල ගේට්‍ටුව ලඟ නතර වෙනවා.

කවුරුවත් පේන්න නෑ. කියලවත් කරවගන්න බැරි වැඩක්. අපි අර මඩුව දිහාට දුවනවා.

තාත්තා දොර අරින්න බලනවා. අද අපිට හම්බවෙච්ච අනිත් හැම දොරක්ම වගේ මේකත් අගුල් දාලා. ඉතිං මොකද කරන්නේ?

“නෙද්දකිං!”, තාත්තා දොරට තඩිබානවා. “මටමනෙ වෙන්නේ!මේක බලාගන්න යකා අනිත් දවස්වල නම් මේ වෙලාව වෙනකොට මේක ඇරලා.”

තාත්තා අඩි කීපයක් පස්සට ගිහින් මඩුව දිහා බලාගෙන නිකට අතගාන්න ගන්නවා.

“දැං අපි මොකද කරන්නේ? වැඩේ ඔක්කොම හබක්නෙ!”

“නෑ තාත්තේ,” මම කියනවා. “මතකනේ. අපි මඩචාරියෝ. අපිට කරන්න බැරි දෙයක් නෑ.”

“අපි මොන මඩචාරියොද?” තාත්ත කියනවා. ” අපි මේ හෙලුවැල්ලෙන් ඉඳං, ඇ‍ඟේ මඩ ගාගෙන, පාරවල් දිගේ දුව දුව, මාර මඩක් කන පිස්සු හුටංලා දෙන්නෙක්නේ. ඒකනේ ඇත්ත. මේක හරියන වැඩක් නොවෙන බව මට මුලින්ම තේරුම් ගන්න තිබුනා. ඔයාගෙ පිස්සු, මෝඩ, ගොං,මරි ප්ලෑන්වලට ඇහුංකන් දෙන්න මට මොන යකෙක් වැහිලා හිටියද? මාත් කරන ගොං, බූරු, මරි වැඩ නං…”

මම තාත්තා දිහා බලනවා. මොකක්දෝ විපර්යාසයක් ,මේ පොඩ්ඩකට කලින් වැටවල් උඩින්, කාර් උඩින් පැන පැන, නිරායුධව බල්ලොත් එක්ක පොර කකා, හෙලුවැල්ලෙන් වගේ වගක් නැතුව පාරවල් දිගේ දුවපු මිනිහා දැන් මා දිහා බලන්නේ අන්ත අසරණ දෑසින්. මම ඉදිරිපත් වෙන්න ඕනෙ වෙලාව.

මම ආපහු හැරිලා මඩුව අධ්‍යයනය කරනවා. දොරට උඩින් තියෙනවා වීදුරු තහඩු ලූවර්ස් හයි කරපු ජනේලයක්.

“මට අර ජනේලෙන් රිංගන්න පුලුවන් වෙයි. අර වීදුරුව පන්නලා ඇතුලට බැස්සෑකි.”

“හරි. ඔයා එතනට නගින්නේ කොහොමද?”

“ඔයාගෙ කරට නැගලා,” මම කියනවා. “වෙන කොහොමද? පාත් වෙන්නකෝ පොඩ්ඩක්.

“එහෙනං ඉක්මං කරන්න වෙයි,” දොර ලඟ බිම ඇණ තියාගෙන වටපිට බලන තාත්තා කියනවා. “තව පොඩ්ඩෙන් කට්ටිය එන්න ගන්නවා.”

මම තාත්තගෙ මඩින් වැහුණු උරහිසට එක අඩියක් තියලා බලනවා. බාගෙට වේලිච්ච මඩ තට්‍ටුව නිසා ලිස්සන ගතිය අඩුයි. තාත්තා අත් දෙක උස්සගෙන ඉන්නේ. එයාගෙ දකුණු අතින් අල්ලගෙන කරට නැගගන්නවා. ඉන්පස්සෙ එයාගෙ වමතත් අල්ලගෙන සමබර වෙනවා.

“හරි, මම ලෑස්තියි.” මම කියනවා.

තාත්තා හෙමිහිට නැගිටිනවා. මට දැන් ජනේලෙට ලං වෙන්න පුලුවන් ලේසියෙන්.

තාත්තගෙ අත් අතහරින මම ජනේලෙ එල්ලිලා වීදුරුව අයින් කරන්න උත්සාහ කරනවා. ඒක ලේසි වැඩක් නෙවෙයි. වීදුරුව හෙලවෙන්නෙ වත් නෑ. මම වෙර දාල වීදුරු තහඩුව අදිනකොට ඒක තරමක් බුරුල් වෙනවා, නමුත් ගැලවෙන්නේ නෑ.

“මේක ගැලවෙන්නේ නෑනේ තාත්තේ, මේක හොඳට හිරවෙලා තියෙන්නේ”

“ඕක අතෑරලා ඊලඟ එක බලන්න. හැබැයි ඉක්මන් කරන්න, මොකද දැන් කට්ටිය එන වෙලාව.”

මම ඒ ජනේලෙත් බලනවා. ඒක බොහොම සාධාරණ විදියට ලේසියෙන්ම ගැලවිලා. එනවා. මම වීදුරුව ඊට උඩින් තියෙන වැහිපිහිල්ලට බස්සලා තියලා තුන්වෙනි වීදුරුවට යනවා. ඒක ඊටත් ලස්සනට ගැලවිලා එනවා.

මම දැන් ආපහු පළවෙනි වීදුරු කෑල්ලට යනවා. ඒක තවම තදයි.

මට දැනෙනවා ඔලුවට වතුර බින්දුවක් වැටෙනවා.

ඒ එක්කම තව එකක්.

මට ඉබේටම උඩ බැලෙනවා.

අහ්-ඕ!! මෙන්න යකෝ වැස්සක් එනවා.

එච්චරයි අඩුවකට තිබුනේ.

එතකොටම අපිට ඉහලින් අහසේ හෙණගෙඩියක් පුපුරලා අහස දෙබෑවෙලා මහා වැස්සක් ඇද හැලෙන්න ගන්නවා එකසිය ගානට. හරියට ඒ වළාකුල සති ගානක්, මාස ගානක්, සමහරවිට අවුරුදු ගානක් එකතු කරගෙන හිටපු වතුර කන්තරාවක් වගේ. අපිව නෑවෙනවා. අපේ මඩ හේදෙනවා.

“ඉක්මන් කරන්න ඇන්ඩී” තාත්තා කෑ ගහනවා.

“මේ ඉක්මං කරනවා තමයි. මේ වීදුරුව හිරයි.”

“ගහලා කඩන්න ඒක.” තාත්ත කියනවා. “මම ඒක දාලා දෙන්නම්. අපිට මොන ජාතියෙන හරි අර ඕවරෝල් ගන්න ඕනෙ දැං.”
දැන් තියෙන අවුල කොණ්ඩේ තිබිච්ච මඩ දියවෙලා ඇස්වලට වැක්කෙරෙන නිසා මට කිසි දෙයක් නොපෙනි යාමයි. තාත්තට ඊට වැඩිය අවුල් වෙන්න ඕනෙ, මොකද මගෙ මඩ ඔක්කොම හේදි හේදි එයාව නෑවෙන නිසා. මම එක අතකින් ඇස් පිහදාගෙන කල්පනා කරනවා වීදුරුව බිඳින හැටි.

මම ජනේලෙට කරාටේ චොප් එකක් දෙන්න ලැහැස්ති වෙනකොටම ඇහෙන සද්දයක් නිසා මම මොහොතකට නවතිනවා. කාරෙකක් අපි ලඟටම ඇවිත් නැවැත්තුවා වගේ.

මම උරහිසට උඩින් පස්ස බලනවා.

අහ්-ඕ!! බෙයින්ස්බ්‍රිජ් කාරයා. තාත්තගෙ බොසා! අලි මදිවට හරක් කිව්වලු.

එයා කාරෙකේ වම් පැත්තෙන් එලියට බහිනවා. කාරෙක එලවගෙන ඇවිත් තියෙන්නේ මිසිස් බේයින්ස්බ්‍රිජ්!

“ඇන්ඩී?” මාව අඳුනගත්ත මිස්ට බේයින්ස්බ්‍රිජ් පුදුමෙන් කෑගහනවා.”

“ඒ කවුද?” කියන තාත්තා ආපහු හැරෙනවා කටහඬ කාගෙද කියලා බලන්න.

“තාත්තේ එපා!” මම උරහිස උඩ ඉඳං කෑ ගහනවා. “හැරෙන්නෙපා!”

කොහෙද! පරක්කු වැඩියි. මම වැටෙන්න යන නිසා තාත්තා අත් උස්සලා මාව අල්ලගන්න හදනවා. මම ඒ අත් දෙකෙන් අල්ලගෙන යාන්තම් නොවැටී ඉන්නවා.

“ආආම්මද බොල! ග්‍රි‍ෆිත්ස්!!!” ඒ තාත්තව හදිසියේ අඳුනගෙන අඩි කීපයක් පස්සට විසි වෙන තාත්තගෙ බොස්.

“හප්පට හුඩු! යකෝ බොස්නෙ!!!” ඒ තමන්ගෙ බොස්ව හඳුනාගන්න තාත්තා.

“ඇස් වහගන්න ඩාලිං, ඇස් වහගන්න,” කියලා මොර දෙන බොස් කා‍ටුන් චරිතයක් වගේ එකතැන පිකප් කරලා කාරෙක වටේ දුවලා මිසිස් බේයින්ස්බ්‍රිජ්ගෙ ජනේලෙයි අපියි අතරින් හිටගන්නවා එයාට අපිව නොපෙනෙන්න.

දැං ඕං කට්ටිය මාව වරදවා තේරුම් ගන්න එපා මෙහෙම කිව්වට. බේයින්ස්බ්‍රිජ් ජෝඩුව මාව හෙලුවැල්ලෙං ඉන්නවා දැක්කට මට එච්චර ගානක් නෑ. මොකද ඔය දෙන්නා ඉස්සරහ මගෙ රෙදි නැතුව ගිය පළවෙනි වතාව ඕක නෙවෙයිනෙ. මතකනේ කැරපොත්තා? එතකොට අර ෂවර් එකේ කතාව? ඒක දැං සාමාන්‍ය දිනචරියාවෙ අංගයක් වෙන්න වගේ යන්නේ. මට දුක මා ගැන නෙවෙයි. තාත්ත ගැන. මේක එයාගෙ පළවෙනි වතාව.

“ඒකනේ ඔය මදාවි කොලුවා ඔය විදියට හැදෙන්නේ.” මිස්ට බෙයින්ස්බ්‍රිජ් කියනවා. “තාත්ත වගේ නැත්නං ඌ නොට්ටිගෙ පුතා කියනවනෙ. තාත්තා හැදිල එපායැ පුතාට කියන්න. කක්කුට්ටා ඇදේට යන ගමන්…”

“බොහොමත්ම කණගා‍ටුයි මිස්ට බේයින්ස්බ්‍රිජ්,” තාත්තා පටන් ගන්නවා. ” බැලූ බැල්මට මේක පේන්නෙ හරිම අසාමාන්‍ය සිදුවීක්මක් වගේ තමයි. නමුත් ඇත්ත වශයෙන්ම කිවොත් මෙහෙම දෙයක් වෙන්න ඉතාම සාධාරණ…”

බොස් අත් උස්සලා තාත්තව නවත්තනවා.

“මගේ වෙලාවයි, ඔහේගෙ වචනයි නාස්ති කරන්න ඕනෙ නෑ.” බේයින්ස්බ්‍රිජ් දේශනය පටන් ගන්නවා. ” ඔහේ හොඳින්ම දන්න ආකාරයට මම ඉහලම ප්‍රමිතියට ඇප වෙච්ච කැප වෙච්ච ආයතන ප්‍රධානියෙක්. මම ඒ ප්‍රමිතියම මගේ සේවකයන්ගෙනුත් බලාපොරොත්තු වෙනවා. මම උදේ වැඩට එනකොට, මගෙ සේවකයො, නිරුවස්තරෙන්, මඩ නාගෙන, සර්කස් පෙන්නනවා දකින්න මම කිසි සේත්ම බලාපොරොත්තු වෙන්නේ නෑ. ඔය වගේ හැසිරීමක් ඔහෙගේ මේ නැනැදිච්ච පුත්තරයගෙන් බලාපොරොත්තු වුනත්, ඔහේගෙ වයසේ ඉන්න, ඔහේගෙ වගේ වැදගත් වගකීම් සහිත තනතුරක් දරණ පුද්ගලයෙකුගෙන් දකින්න ලැබීම හරිම නින්දිතයි. ඛේද ජනකයි. ඒක සමාව දෙන්න පුලුවන් කාරණයක් නෙවෙයි. මම මේකට කිසිම බුරුලක් දෙන්නේ නෑ. ඔහේව මම අස් කරලා දානවා, ඕව් ඔව් ඔව්. අස් කරලම දානවා මේ මොහොතේ ඉඳං, වහ්-හාම ක්‍රියාත්මක වෙන ආකාරයට.”

“ඒ වුනාට මිස්ට බේයින්ස්බ්‍රිජ්,” තාත්තට වචන පැටලෙනවා. ” මම…මම…මං…”

අනේ පව් තාත්තා. තාත්තා නන්නත්තාර වෙලා ඉන්නේ. තාත්ත මං වගේ නිදහසට කරුණු හැටියට අල්ලේ පැළවෙන කෙබර ඇදබෑමේ කලාව ප්‍රගුණ කරලා නැති බවයි පේන්නේ. තාත්තගෙ පිහිටට ඉන්නේ මං තමයි මේ මොහොතේ.

“ඔහොම ඉන්නකෝ තාත්තේ,” මම තාත්තට කියනව පහත් හඬින්. “මං මේක ගානට හැඬල් කරන්නං.”

“ඔයාට එහෙම මගෙ තාත්තව අස්කරලා දාන්න බෑ.” මම ලොක්කට කියනවා

“හුහ්,” බේයින්ස්බ්‍රිජ් මල අතට ගන්නවා. “ඇයි බැරි කියනවා බලන්න.”

“බැරි වෙන මොකවත් හන්දා නෙවෙයි. මේ සිදුවීම ඇත්තටම සිද්දවෙන එකක් නොවෙන හන්දා.”

“මොකක් කිව්වා? ඒ මොන පිස්සු විකාර කතාවක්ද? මොනවද මේ ඔය ළමයා දොඩවන්නේ?”

“මේක මායා දර්ශනයක්,” මම කියන්නේ ඉතාම නිවුණු තැන්පත් හඬින්.”ඔයා මේ පහුගිය ටිකේ හුඟාක්ම මහන්සිවෙලා වැඩ කරලා තියෙනවා. පුද්ගලයෙකුට දරාගන්න බැරි තරම් වැඩ තොගයක්, ඒ වගේම වගකීම්. දැන් මේ ඔයා දකින්නේ අවුල්වූ මනසක ප්‍රතිඵලයක් හැටියට පේන මායාවක්. දැන් කරන්න තියෙනෙ හොඳම දේ මිස්ට බෙයින්ස්බ්‍රිජ්, ආපහු කාරෙකට නැගලා, ගෙදර ගිහින්, හොඳ සැප නින්දක්…”

“හා ඇති ඇති ඇන්ඩි,” තාත්තා මාව නවත්තනවා.

“එයාට ඇහුම්කන් දෙන්න එපා මිස්ට බෙයින්ස්බ්‍රිජ්,” මම කෑගහනවා. ” එයා දෘශ්ඨි මායාවක්. එයා දන්නේ නෑ එයා මොනවද කියන්නෙවත් කියලා.”

“නෑ ඇන්ඩි,” තාත්තා කියනවා.”ඔය කිව්ව බොරු හොඳටම ඇති.”

තාත්තා නැවිලා මාව කරින් බිමට බානවා. ඉන්පස්සෙ කෙලින් හිටගෙන බේන්ස්බ්‍රිජ්ව අමතන්නේ ස්ථිරසාර හඬකින්.

“මිස්ට බේයින්ස්බ්‍රිජ්, මාව අස්කරපු එක ලොකු දෙයක් මොකද දැන් මට ඉල්ලා අස්වෙන්න අමුතුවෙන් වද වෙන්න ඕනෙ නෑ.”

ඒ කතාවට බේයින්ස්බ්‍රිජ් ලොක්කට හෑහ් ගෑවෙනවා. මටහ් හෑහ් ගෑවෙනවා. ඊට අමතරව අපි දිහා මෙච්චරවෙලා එබීගෙන බලා හිටපු මිසිස් බෙයින්ස්බ්‍රිජ්ටත් හෑහ් ගෑවෙනවා.

“අද උදේ,” තාත්තා කියනවා.” මම යමක් අලුතෙන් වටහාගත්තා. ඒ තමයි මම මෙච්චරකල් ගතකරලා තියෙන්නෙ අසම්පූර්ණ ජීවිතයක්. ඒ වගේම අවදානම් නොගන්න ජීවිතයක්. ඒ වගේම ඒක මහ ඒකාකාරී ජීවිතයක්. වගකීම් වලින්ම පිරුණු විනෝදයක් කියන නාමයක් නැති ජීවිතයක්. ඒ වගේම ආරක්ෂිත ජීවිතයක්.”

තාත්තා මොනවද මේ දොඩවන්නේ? මම හිතන්නේ රෙදිත්, නැතුව ගෙට යන්නත් නැතුව, කො‍ටුවෙච්ච එකේ කම්පනයට එයාගෙ ඔලුව නරක් වෙලා.

“තාත්තේ, ඔයා මේ මොනවද කියවන්නේ? ඔයාට පිස්සුද?”

“ඔව්,” කියන තාත්තා මගේ කරවටේ අතක් දානවා. මට පිස්සු තමයි. ඒ පිස්සුව වඩා හොඳ ජීවිතයක් ගත කරන්නයි. මට ඕනෙ අවදානම් ගන්න, කඳු නගින්න, ගංගාවල්වල පීනන්න, කවදාවත් නොගිය තැන්වල ඉඳං ඉර බැහැලා යනවා බලන්න. මේ වගෙ කෙටි ජීවිත කාලයක් මෙහෙම එකම තැනක කො‍ටුවෙලා ඒකාකාරීව ගෙවමින් අපතේ යවන එක ලෝක අපරාදයක්. මේක නෙවෙයි ජීවිතය කියන්නෙ. ජීවිතය නිකං ඔහේ නාස්තිකරලා දාන්න කොට වැඩියි. ඇන්ඩි, ඔයයි මායි අම්මයි ජෙනුයි හතර දෙනාම මේ දුවන දිවිල්ල නවත්තමු. අපි මේ නගරෙන් යන්න යමු. ගිහින් අපිම වවා ගන්න දෙයක් කාලා, කැලේ කොලේ කරක් ගහලා, බොරු සෝබන නැති ජීවිතයක් ගතකරමු.”

“ඇත්තටම අපි එහෙම කරන්නද යන්නේ?” මම අහන්නෙ විශ්මයෙන්.

“ඔව්,” කියන තාත්තා අත්දෙක විහිදනවා. ” අපිට මේ එකක්වත් ඕනෙ නෑ. අපි යං. යන්නම යං.”

“ඒ වුනාට තාත්තේ අපිට ඕවරෝල්ස් ගන්න ඕනෙ නැද්ද?”

තාත්තා නැවිලා මඩ තලියක් අරං ඇ‍ඟේ තවරාගන්නවා. “ඕවරෝල්ස්? අපිට මොකටද ඕවරෝල්ස්? මේ මඩ තියෙන්නේ ඕනෙ තරම්.”

“හරි, ඒ වුනාට අපිට යතුර ගන්න බැරි වුනා නේද?”

“අපිට යතුරු ඕනෙ නෑ.” තාත්තා කියනවා. “අපි වහලෙට නැගලා අපිට මුලින්ම කරන්න තිබිච්ච විදියට චිමිනිය දිගේ ඇතුලට බහිමු. ඒක අභියෝගයක්. ඊටත් වඩා ඒක පට්ට ආතල් වැඩක්.”

මෙන්න තාත්තත් ‘පට්ට ආතල්’ කිව්වා. තාත්තා තව මඩ අහුරු ටිකක් අරන් ඇ‍ඟේ තවරාගන්නවා. ඉන් පස්සේ පාර දිහාට ඇවිදගෙන යනව පස්සවත් නොබලා.

වැස්ස නැවතිලා. වලාකුලු අතරින් රන්වන් හිරු එලිය වැටිලා තාත්තගේ ඇ‍ඟේ හැම මස්පිඩුවක්ම අමුතු ප්‍රභාවකින් දිලිසෙනවා. ඒ හැම මස්පිඬුවක්ම ශක්තිමත්ව නෙරා ඇවිත් වගේ පේනවා. මම කවදාවත් නොහිතපු තරම් ශක්තිමත් පුද්ගලයෙක් හැටියට මට තාත්තව පේන්නේ මේ අමුතු එලියෙන්.

බේයින්ස්බ්‍රිජ් ජෝඩුව තවම කටවල් ඇරගෙන බලාගෙන ඉන්නවා.

මම ඒ දෙන්න දිහා බලලා උරහිස් අකුලලලා ඔලුව පැත්තකට ඇල කරලා අත්ලවල් උඩට හරවලා පෙන්නලා තාත්තා පස්සෙන් දුවන්න ගන්නවා.

වෙන මොනවද තව කරන්න ඉතුරුවෙලා තියෙන්නේ? විකල්ප හිඟයක් පවතින්නේ.

අපේ අලුත් ජීවිතය මොනවගේ එකක් වෙයිද කියලා වගේම, අම්මයි ජෙනුයි ආපහු ආවාම මේ ගැන මොනවගේ දෙයක් කියයිද කියන කාරණාව ගැන මගෙ හිතේ සැක සංකාවක් නෑමයි කියන්න බෑ. නමුත් මගෙ පෞද්ගලික මතය නම් ඒක හරිම පට්ට ආතල් ජීවිතයක් වෙයි කියලයි.

ඔව් පිස්සු බම්ප් වෙන පට්ට ආතල් ජීවිතයක්.

ඕං ඉවරයි.

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියු Mudmen කෙටි කතාවේ අනුවාදයකි.

Originally published @ මගේ ඩෙනිම

 

2 responses to “173.මඩ-3 (අවසාන කොටස)

  1. පින්ග්කිරීම: 172.මඩ-2 | මට හිතෙන හැටි
  2. Ajith Dharma

    පෙබරවාරි 24, 2016 at 8:17 ප.ව.

    නියම කතාව

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: