RSS

174. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.

22 Mar

Captureගුරු පුහුණුවෙන් පස්සේ අපිව ආපහු දැම්මේ, අද කාලෙ සමහර දෙනෙකුට මොනවගේ දෙයක්ද කියලා හිතාගන්නත් අමාරු. අනිවාර්‍ය දුෂ්කර සේවයටයි. ලොකු ලොකු අතු අල්ලන්න අත දිග උන් බොහොම උජාරුවෙන්, පොරත්වයෙන්, ඒ වගේම ආත්ම විශ්වාසයෙන් කිව්වෙ උන් නම් ඕක කියලා හදවා ගන්නවා මිසක, මොන ජාතියෙන්වත් දුෂ්කර , සේවෙට නම් යන්නේ නැති බවයි. එහෙම ලොකු අතු අල්ලන්න හයියන් නොතිබුන, එහෙම තිබුනත් එහෙම කරන්න හිත නොදුන්න අපි වගේ අසරණ, අපතයෝ ටික කලේ, වෙන දේකට මූණ දෙන්න මරණ වරෙන්තුව බාර ගන්න එකයි. ඇරත්, මුලින්ම රජයට තියෙන මේ බැඳීම ඉවරයක් කරලා දැම්මාම, පස්සේ කාලෙක ආයෙ දුෂ්කර සේවෙට එන්න වෙන්නේ නැති බව කියලා අපි හිත හදා ගත්තා.

අපි නොදන්න කමට එහෙම හිතුවත්, මම දන්නා තරමට එහෙම බලපෑම් කරලා කොළඹ නුවර ‘සැප’ ඉස්කෝලෙකට හදාගත්තවුනට මම දැනුවත්වමනම් ආයෙ කවදාවත් දුශ්කර සේවය කරන්න සයිබීරියාවකට යන්න වුනේ නෑ අපි බයවුනු විදියට. ඒකෙන් ඇත්තටම වුනේ නිර්දේශිත අවුරුදු තුන කට්ට කාලා, අන්තිමේදි ගිවිසුමෙත් තියෙන විදියට තමන්ගෙ ගම් පළාතට මාරුවීමක් ගන්න ගිය අපි වගේ අසරණයන්ට මෙන්න මේ වගේ මරාගෙන මැරෙන්න හිතෙන කතාවක් අහන්න සිදුවීමයි.

“කණගා‍ටුයි. අපිට ඔයාලව/ඔහේලව නිදහස් කරන්න/කරන්ඩ/ කරන්ට බෑ අනුප්‍රාප්තිකයෙක් නැතුව. මෙහෙට එන්න/එන්ඩ/එන්ට කවුරුවත් කැමති නෑනේ.”

ඉතිං අපිට ඉතුරුවෙලා තිබ්බේ විකල්ප තුනක් වගෙ සුළු ගාණයි. එක්කෝ ලෝඩ් බකිංහැම් කියන පොර කලා කියලා රවී කියන විදියට රස්සාව දමල ගහලා ආපහු යන එක. එහෙම නැතිනම් මේ මනුස්සකම් නොතේරෙන, පූචානං කතා දොඩවන නිලධාරිවාදයෙන් ඔලුව උදුමවාගත්තු එකෙක් දෙන්නෙක් බාවන එක. නැතිනම් කට්ට කාගෙන දෙන දේ කාලා, වෙන දේ බලාගෙන ඔහේ ඉන්න එක. අන්තිමට කොහොම හරි අවුරුදු තුනකට දුෂ්කර සේවය කරන්න ආපු අපි මෙතනින් නිදහස් වුනේ අවුරුදු හයක්ම මෙතන කට්ට කෑවට පස්සේ. ඒ කතාව මම දැනටමත් කියලා තියෙන්නේ.

බත්තරමුල්ලේ පැළවත්තේ පිහිටලා තිබුන, නමින් ඉසුරුපාය වුනත් ‘අපාය’ යන සුරතල් නමින් කවුරුත් හඳුන්වන ගොඩනැගිලි සංකීර්ණයේ මහේශාක්‍ය ලීලාවෙන් වැඩ හිටපු ඔලමොට්ටල අධ්‍යාපන ලොක්කන්ගෙ සුපිරි මොළගෙඩි වලින්ගන්න තීරණ අනුව,මට ලැබුනේ (උතුරු) නැගෙනහිර පළාතේ, අම්පාර දිස්ත්‍රික්කයේ, දෙහිඅත්තකණ්ඩියේ, මහවැලි C කලාපයට අයිති අලුතෙන් කැලෑ එලි කරලා ඉදිකරගෙන යන ජනාවාසක්. මගෙ ගැබ්බර බිරිඳට ලැබුනේ දකුණු පළාතේ හම්බන්තොට වීරවිල පැත්තේ පන්නෙගමුවෙ ඉස්කෝලයක්.

දැනට ලංකාවෙ පාසැල්වල සේවය නොකලත්, නිවාඩුවට ලංකාවට ගිය වතාවක දෙකක අපේ මුළු පවුලම අපි ඔය අපා දුක් විඳපු දුෂ්කර ගම්මාන බලන්න ගියා කිව්වොත් ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ. පුදුමෙකට වගේ මට දැනුනේ අතීතකාමයක් වගේම ගෙදර ගියාවගේ හැඟීමක්. මටම පුදුමයි. අර ඉස්සර තිබුණ ගිණි අව්වේ කැකෑරෙන, දූවිල්ලෙන් වැහුණු නරකාදිය වෙනුවට දැන් තියෙන, කොළ පැහැයෙන් වැසුනු සිසිල් ගම් පියස ඔස්සේ හෙමිහිට රියපදවද්දි මට අර සුපුරුදු මං සළකුණු අඳුනාගන්නත් අමාරු වුනා එක පාරටම.

හරි, ඉතිං මම වැඩ බාර ගන්න නරකාදියට බලා පිටත් වුනා කොහොමින් හරි. තාර දාපු පාර බදුල්ල දිස්ත්‍රික්කෙට අයිති ගිරාඳුරුකෝට්ටෙ පහුවුන ගමන්ම දැනුම් දීමකින් තොරව හදිසියෙම නිම වෙනවා. එතනින් එහාට හරියටම ඕස්ට්‍රේලියාවේ අවුට්බැක් කියන ජනශූන්‍ය ලඳු කැලෑවක් වගේ. මහවැලි ව්‍යාපාරෙට අයත් මෝටර් ග්‍රේඩර් යන්ත්‍ර වලින් කැළෑව මැද්දෙන් කපපු, දූවිල්ලෙන් වැහුණ, වල ගොඩැලි බහුල රතු දුඹුරු පැහැති පාරවල් එතැන සිට අනන්තය දක්වා විහිදුනා. සුලබවම දක්නට ඇබුණු පොදු ප්‍රවාහන මාධ්‍යය වුනු, දයාවිරහිත සැඩ අවුරශ්මියට පාන් පෝරණු වගේ ගිණියම් වන, ඉසුසු එල්ෆ් රූට් වෑන් වගේ කසිකබල් බට්ටෝ වෑන්රථ ඇතුලත, පාරෙන් නගින රතු දුහුවිල්ලෙන් පිරුනා. හුස්ම ගැනීම සනාතන අරගලයක් වුනා. කට කාරවන දුහුවිලි රස දිවට උගුරට දැනෙද්දි, පෙනහලු දුවිල්ලෙන් අවහිර වුනා. අන්තිමේදි ගමනාන්තයෙන් වෑන් ක‍ටුවෙන් බහින මඟීන් ඝන රතු දූවිලි තට්‍ටුවකින් වැහිලා හිඳීම සාමාන්‍ය දෙයක්. ඇත්තෙන්ම මම දැනටත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මහවැලි ව්‍යාපාරයේ සාදර අනුග්‍රහයෙන් පීඩා විඳින ශ්වසන ආබාධය පටන් ගත්තේ ඔන්න ඔය ආකාරයටයි.

දහඩිය මුගුරු දාගෙන, දූවිලි කාගෙන, අමුවෙන් බාබකියු වෙවී දහ දුක විඳගෙන, ඔතනට ගිහින් ගත කරන්න වෙන ජීවිතයත් ලේසි පාසු එකක් නෙවෙයි. අනිත් හැමදෙයක්ම වගේ කෑම බීම සපයා ගන්න එකත් අභියෝගයක්. ලඟ පාත තිබුණු යන්තමින් අටවාගත්ත කඩවල තිබුන බඩු ගිණි ගනං. පාං හරියට තුනී ලෑලි වගේ. එළවලු කියන්නේ සුඛෝපබෝගී දෙයක්. ඔය කලටියට කඩලා, අව්වේ වේලලා පාට කරලා ‘පොල් ගෙඩි’ නමින් විකුණපු දේට අපි අද පොල් ගෙඩියකට ගෙවන මිලට ආසන්න මිලක් ගෙව්වා ඒ කාලෙත්.

ROUTEසතියට අවශ්‍ය කලමනා ගන්න අපි ගියේ ඊලඟ ගමේ තිබුන සුප්‍රසිද්ධ ළිහිණියාගම පොලට. විවාහ වෙච්ච අලුතම අපිට ඒ කාලේ බයිසිකල් ක‍ටුවක්වත් තිබුනේ නෑ. පොළටත් අපේ නිල නිවාසේ ඉඳලා කිලෝමීටර් පහ-හයක් තිබුනා.. ළිහිණියාගම පොල දවසට විතරක්, කොස් ගහක කොට්ටෝරුවෙක් හාරපු බෙනයක ඇති තරම්ම පහසුකම් තිබුන, ඒ නිසාම ‘කොස් බෙනේ’ යන අනවර්ත නමින් හැඳින්වුන, පිටිපස්සේ ලොරි තට්‍ටුව දෙපැත්තේ පිටපලු වලින් ගහපු බංකු දෙකක් අටවලා තිබුන, කෑලි හැලෙන ලොරි කබලක් ආවා ගියා. උදෙන්ම ඇවිත් මේ පිටපලු බංකුවක් අල්ලාගන්න වාසනා ගුණයක් තිබුනොත්, සී කලාපේ වල ගොඩැලි පාරේ උඩ පනිමින් පෙරට ඇදෙන ලොරි කබලේ මැද්දේ අතපය, ගෝනි, මලු, පටලාගෙන එකට කැලතෙන මිනිස් පොදියේ කොටසක්ව, විසිවෙමින්, පෑගෙමින්, පාගමින්, ශාපකරමින්, ශාප ලබමින් යන අවාසනාවන්තයන්ගේ විසූක දස්සන දෙස අනුකම්පාවෙන් බලා ඉන්න පුලුවන් කම ලැබෙනවා. කඩියන් මෙන් නිරන්තරයෙන් එහාට මෙහාට දිවූ මහවැලි සී කලාපයේ සාමාන්‍ය නිල වාහනය වුනු වායු සමනය කල මිට්සුබිෂි පැජෙරෝ ජීප් රථවලින් නැගෙන රතු දුඹුරු දූවිලි වලාකුලෙන්, කොස් බෙනේ ගමන් කරපු පීඩිත ජනතාව නොහොත්, මහවැලි නිලදරුවන් ‘සෙට්ටන්’ නමින් හැඳින්වූ ජාන පදිකයන් නැහැවුනා. (ජාන පදිකයන් මම සිතෙන් හැඳින්වුයේ ‘gene riders’ නමින් )

ඒ නම් හොදි අනවශ්‍ය, කට්ටෙත් කැල්සියම් බහුලම කට්ට විය.

කොස්බෙනෙත් ආපු දවස්වලට වඩා නාපු දවස් වැඩිය. එවන් තවත් බියකරු දවසක පොලෙන් ගත් බර බඩු මලු දෙකක් කර ඔසවාගත් මා, දරාගත නොහැකි ගිණි පූටක අව්වේ, කරවල වේලන දාහයේ ඉහින් කණින් දහඩිය පෙරමින් ගෙදර දිහාට ගාටමින් හිටියා. ඔවැනි වෙලාවට මම, කරන්න බැරි වගේ පෙනෙන මහා විශාල දුෂ්කර කාර්යයන් , කරන්න පුලුවන් පුංචි කොටස් වලට මනසින් කඩාගෙන කරන්න පුරුදු වෙලා හිටියා. මෙතනදිත් මම ළිහිණියාගම පොලේ සිට මාවනාගම ඉස්කෝලෙට ඇති මුලු දුර ගැන හිතුවෙ නෑ, මොකද එහෙම කලොත් ඉච්ඡා භංගත්වයට පත්වෙන්න මානසිකව වැටෙන්න පුලුවන් නිසා. මම කලේ මේ කිලෝමීටර් පහක පමණ ගමන මීටර් සීයේ වගේ පොඩි කොටස් වලට කඩාගෙන ඒ මීටර් සීය ගැන විතරක් හිතන එක. ඒ වගේ කොටසක්, එන්න එන්න බර වැඩි වෙන බඩු මලු දෙකත් ඔසවාගෙන තරණය කරන මම, වැයවුනු ශක්තිය නැවත ලැබෙන තෙක් පොඩි පොඩි විවේක ගත්තා. සමහරවිට මටම සිග‍රැට්‍ටුවකින් සංග්‍රහ කරගත්තා. මග විවේක ගන්න මාව පසු කරගෙන මහවැලියේ වායු සමනය කරපු 4WD පැජෙරෝ ජීප් ඉගිල්ලුනේ ඉන් නැගුනු දූවිලි වලාකුලෙන් මාව තවත් පීඩාවට පත්කරමින්.

ඒ ඇස් නිලංකාර කරවන සැඩ අවු කූටකෙත් මගේ ආත්මය වසාගෙන පැතිරිලා තිබුනේ මූසල අඳුරක්. මම මාවනාගමට, දෙහිඅත්තකණ්ඩියට, අම්පාරට විතරක් නෙවෙයි, මුලු වියලි කලාපයටම වෛර කලා. වියලි කලාපයෙත්, මිටි පඳුරු සහිත ශුෂ්ක ශාඛ වලට, පසට, දේශගුණයට,අව්වට ඇතුලු මාව පීඩාවට පත්කරපු මේ හැමදෙයකටම ශාප කලා. මාව පහුකරගෙන ගිය සැප වාහන වලට සහ මාව නොදැක්ක ගානට ඒවායේ ගිය උන්ට මම හෙන ඉල්ලුවා. මාව පණපිටින් දවා හලුකරන්න උත්සාහ කරන ඉරට මම සාප කලා. (පුදුමෙකට වගේ මේ මොහොතේ, ඒ ගිණිගහන අවුවේ මට සීතලක් දැනෙන්න පටන් ගත්තා. සමහරවිට ස්වයංක්‍රීය ආරක්ෂක උපක්‍රමයක් ක්‍රියාත්මක වෙන්න ගත්තා වෙන්න ඇති.)

මේ ඔක්කොටම වඩා මම වෛරකලේ ඉසුරුපායේ වායු සමනය කරපු කුටිවලට වැදී, තමන්ගේම මොළගෙඩි මත සැපට අසුන්ගෙන, අපේ ඉරණම හසුරවපු ගුදවංශලට සහ භගමනීලට. මගෙ හිතට නැගුනු කුණුහරුප වරුසාව මහා හඬින් කටින් පිටවෙන්න නොදී රඳවගන්න ගත්ත උත්සාහයට මට දත්කූරු හැපුනා. ඊ ලඟට වුන දේ ඇසුවාම ඔබ අනිවාර්යයෙන් කියාවි ඒක එක්කෝ මායා දර්ශණයක් කියලා අර අවුවේ වැඩි වෙලා හිටියාම හැදෙන සන්ස්ට්‍රෝක් වගේ අමාරුවක් කියලා.

කොහෙත්ම මගෙ ‘ස්ටයිල් එක’ නොවුනත්, මම බැරිම තැන එක බඩු මල්ලක් උරහිසක් උඩට ගත්තා. හරියටම නිලනිවාසෙට කිලෝමීටරයක් විතර තියෙද්දි මට එක්වරම ඇහුනේ කවුදෝ මහ හඬින් කොක් හඬලා සිනාසෙන හඬ, හරියටම වූඩි වුඩ්පෙකර්ගෙ හිනාව වගේ.

“හි-හි-හි හී-හෝ !”
“හි-හි-හි හී-හෝ !”

මම ආපහු හැරිලා බැලුවා. කවුරුවත් නෑ පේන තෙක් මානෙක. ගිණිඅව්වේ කැකෑරෙන ඉරිතැලූ ගුරුපාර හිස්. ඔන්න එතකොටම මට ආයෙම ඇහුනා ඒ හඬ. ඒ එක්කම මම දැක්කා හඬේ මූලාශ්‍රය.

පොලේ වෙළෙන්දගෙන් බැණුම් අහගෙන මම පරිස්සමෙන් ‍තෝරාගත්ත තක්කාලි වලට මූණු ඇවිත්. නිකං මූණු නෙවෙයි, සමච්චල් මූණු. කෝචොක් මූණු! උන් මට හිනා වෙනවා! මගෙම කර උඩ නැගලා යන ගමන්, මටම කෝචොක් කරනවා විනිවිද පේන ප්ලාස්ටික් මල්ල හරහා.

“These are the best years of your life, hey dude…”මම පණ ඇරගෙන ප්‍රියකරපු බ්‍රයන් ඇඩම්ස්ගෙ “Summer of 69” ගීතයේ පේලියක් එක තක්කාලියෙක් කණ බීරි වෙන හඬින් ගායනා කලේ වචන පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා, මගෙ ප්‍රියතම ගීතයක් දූෂණය කරමින්. ඒත් එක්කම කණ පසාරු කරගෙන යන රොක් තනුවක් ඉලෙක්ට්‍රික් ගිටාර්වල වාදනය වුනා ඔලුව ඇතුලෙම, ඒ එක්කම ඩ්‍රම්ස් වාදනයත් පපුවට පයින් ගහන්න ගත්තා.

“උඹේ ජීවිතේ හොඳම කාලෙ මේ කාන්තාරෙ අපා දුක් විඳින්නේ හියැක් හූ…” රතු පාට තක්කලියෙක් කොක්හැඬලෑවා.

“යකෝ අපි නම් කොළඹ ඉස්කෝලවල ආතල් එකේ ඉන්නවා. ඇත්තම කිව්වොත් මචං, මම දැං වැඩ කරන්නේ උඹ ඉගෙනගත්ත සුලෝහිතේ, හීක් හූ” රතු තර තක්කාලියෙක් කෙකර ගෑවා.

මට මේක තවත් නම් දරාගන්න බෑ.

“කට වහපියව් @&%ගෙ පුතාල. උඹලා මායාවල්. උඹලා ඇත්ත නෙවෙයි, ආත්මානුකම්පාව සහ කෝපාග්නිය ඉහවහ ගිය මම බෙරිහන් දුන්නා,

“We won’t give you a transfer back home till you rot in this hellhole in your own juice!!” නිලධාරිවාදයෙන් ඉදිමුණ ඉසුරුපා මූණක් ඇති තක්කලියා තර්ජනය කලා.

“බොහෝම කණගා‍ටුයි නමුත් අනුප්‍රාප්තිකයෙක් නැතුව අපිට ඔයාව නිදහස් කරන්න බෑ කොහෙත්ම,” පුදුමෙකට වගේ කළාප අධ්‍යාපන කාර්යාල මූණක් තිබුන මේ තක්කලියගෙ කටහඬ ඇහුණේ මරදානෙ දුම්රියපොලේ මහජන ඇමතුම් පද්ධතිය තුලින්, නමුත් තේරුම් ගන්න හැකි ආකාරයකට.

“උඹ කවදහරි මෙතනින් නිදහස් වෙලා යනකොට මචං, උඹ චමින්දකෙනෙක් වෙලා ඉඳී. හැට පැනලා, හොට බිම ඇනිලා….” මට මූණ හරියටම අඳුනාගන්න බැරු වුන පරපීඩාකාමුකතක්කාලියෙක් නියෙව්වා.

ඔන්න ඔය මොහොතේ මට තේරුණා ‘දොහ්ක්-දොහ්ක්’ හඬින් වදින ඩ්‍රම් හඬත්, විලාප දෙන ගිටාර් හඬත් මට නොදැනිම “Hotel California” ගීතයේ හැඳින්වීමට මාරුවී ඇති බව.

“’Relax,’ said the night man,
We are programmed to receive.
You can checkout any time you like,
but you can never leave.. (ගිටාර් විලාප දෙමින්)
Welcome to the Hotel California
Such a lovely place
Such a lovely place (පසුබිම් හඬ -අත්වැල් ගායනය )
Such a lovely face
They livin’ it up at the Hotel California
What a nice surprise
what a nice surprise (පසුබිම් හඬ -අත්වැල් ගායනය)
bring your alibis..!”

මේ තක්කලි “&^*ගෙ පුතාලගෙ අම්මලට @%&&&…”

මගෙ අත කිටි කිටියේ මිට මෙලවෙනවා මට දැනුනා. මිට මෙලවුනු මගේම අත, නැවත නැවතත්, තක්කලි මූණවල් එකකින් එකක් හඳුනාගත් නොහැකි තරම් විරූපීව, තක්කාලි ඉස්ම ලේ විලක පාවෙන තෙක් ප්ලාස්ටික් මල්ලට පහර දෙනු මම බලාහිටියේ සන්ත්‍රාසයෙන්. මගේ ඇස් කඳුලින් බොඳවෙලා තිබුනා. කඳුලු වැල් කම්මුල් දිගේ ගලාගෙන බැස්සා. සමච්චල් හිනාව අඩුවෙලා නැවතිලාම ගියා. නිහැඬියාව ආයෙත් රජකරන්න ගත්තා. මහවැලි රිසවේෂන් ඉඩමේ තිබුණු ලඳුකැලෑව හරහා වැ‍ටුණු කෙටි පාරෙන් නිල නිවාසය පැත්තට ගමන් කල මා, ක‍ටු කම්බි පොට ඔසවා, ඉස්කෝලෙ වත්තට පැන්නා. දීපා දරුපැටියත් එක්ක පෝර්ච් එකේ ඉඳගෙන බලාගෙන හිටියා. මොකක් හරි වරදක් වෙලා ඇති බව ඇයට වැටහුනා මම හිතන්නේ.

“දීපා,” මම කිව්වා. “තක්කාලි වලට මොකද වුනේ කියලා නම් දැං අහන්නෙපා. මම ෂුවර් එකටම පස්සේ කියන්නම්.”

කිව්වත් වගේ ඈ තක්කාලි ගැන ඇහුවෙම නෑ. මම පස්සේ දවසක කතාව කියලා දානකල්ම.

smashed-tomatoes

පසු වදන:

එදා මෙදා අතරතුර මම මේ කතාව සිදුවුනු හැටියෙන්ම කිහිපදෙනෙකුටම කියලා තියෙනවා, නමුත් කිසිකෙනෙක් ඒක විශ්වාස කල බව මම හිතන්නේ නෑ. කතාව අහන වුන්ගෙ මූණේ මුලින්ම මතුවෙන්නේ අවිශ්වාසය මිශ්‍ර හාස්‍යයක්. ඉන් පස්සේ අනුකම්පාවක් වගේ දෙයක්. ඉන් පස්සේ හැමෝම වගේ මගෙ ඇස් මග අරිනවා. මම මේ උඹලට කියන්නේ, මාව විශ්වාස කරපල්ලා. මේ කතාවෙ වචනයක් වචනයක් පාසා, සහතික ඇත්ත. මේ දේ ඒ විදියටම සිද්ද වුනා.

henryblogwalker on The Nightmare Years.

මෙය 2011 වසරේ අගෝස්තු 9වන දින HeyDude ඉංග්‍රීසි බ්ලොග් අඩවියේ “DEEPA, PLEASE DON’T ASK WHAT HAPPENED TO THE TOMATOES!!!” (THE TEASING TOMATO DUDES WITH AN ATTITUDE)නමින් මුලින් පළවූ බ්ලොග් ලිපියේ සිංහල අනුවාදයකි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

5 responses to “174. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.

  1. Amila Chathuranga (@indika27)

    මාර්තු 22, 2016 at 9:01 ප.ව.

    මම වැඩකරන්නෙ කොළඹ මැද තියෙන වායුසමනය කල කන්තෝරුවක. මායි අපේ කන්තෝරු මිසුයි දවසක කතාවුනා..අපි අද මෙහෙම ඒ සී එකේ ඉද්දි පාරෙයන මිනිස්සු හිතනවා ඇති අපි පට්ට දියුනු කම්පැනියක්.. අපි හරි දියුනු විදියට වැඩ කරනවා ඇතිය කියලා..
    නමුත් ඇත්ත තමයි අපිට ඒ සී එක තිබුනට..අපිට කොම්පියුටර තිබුනාට..අපිත් අර රාජ්ජ සේවකයො වගේම තමයි.. ඔහේ අර පෙරහැරේ කුලුනැටුමෙ කුලු වනනවා වගේ වනනවා මිසක..කෙරෙන වැදගත් රාජකාරියක් නෑ..

     
    • henryblogwalker

      මාර්තු 22, 2016 at 10:23 ප.ව.

      හැබෑටම අපි දේවල් සහ පුද්ගලයින් ජජ් කරන එක උපතින්ම ආපු දෙයක් නේද? දෙහිඅත්තකණ්ඩිය ගැන මම එදා හිතපු හැටි සහ එදා මානසික තත්වෙ තමයි මේකෙන් කියවෙන්නේ. කොහෙත්ම අද තත්වෙ නෙවෙයි.

       
  2. රාජ්

    මාර්තු 23, 2016 at 3:43 ප.ව.

    මට නං විශ්වාසයි. වෙන්න පුළුවන් දෙයක්.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: