RSS

176. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.

06 Apr

හැඳින්වීම

තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක

‘ බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක්  දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර  කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ ‘


හොඳම දේ ළමයින්ට?

ඔය කතාව ගැන කියන්න වචන නෑ. මේ ගති ගුණය අපි අතරෙත් අඩු වැඩි වශයෙන් තියෙනවා.  අපිත් මෙච්චර කාලයක්, මෙච්චර කට්ටක් කාගෙන රට රස්සාවක් කරලත් ඉතුරු කරගත්ත දෙයක් නැති බව මට ආයෙම මතක් වුනා.  පහුගිය නිවාඩු කාලෙ යෙදුන බිරිඳගෙ උපන් දිනේට ඇයට සර්ප්‍රයිස් පාටියක් සහ තෑග්ගක් දෙන්න අපේ දරුවො දෙන්න කටයුතු කරලා තිබුනා. රහසින් මාත් එක්ක අම්මට තෑගි ගන්නත්, අවුරුද්ද මැද යෙදෙන මගෙ උපන්දිනයත් ඒ ගමන්ම සමරන්න මට රහසින් දීපත් එක්ක තෑගි ගන්නත්, උන් දෙන්නා කුමන්ත්‍රණය කරලා.  උන් දෙන්නගෙ වියදමට දෙන සල්ලි එකතු කරලා අපි දෙන්නට තෑගි ගන්නයි දෙන්නගෙ සැලැස්ම වෙලා තිබුනේ.

වෑන් එක කො‍ටුවේ පාරක් අයිනේ දාලා, අම්මයි දුවයි වෑන් එකේ ඉන්දැද්දි, මොකක්දෝ බොරු උවමනාවක් පෙන්නලා චූටි පුතා මාත් ඇදගෙන ගියේ ලංකාවටම වෙලාව දක්වන විමලධර්ම සහෝදරයෝ ගාවට. එතන ඔරලෝසුවල ගණං ඇහුවම මට හීන් දාඩිය දාන්න ගත්තත්, කොල්ලා ඔරිජිනල් ජපන් ඔරියන්ට් අත් ඔරලෝසුවක් අරගන්න හදනකොට මම ටිකක් පස්ස ගැහුවේ ඒ ගාන දරාගන්න බැරි එකක් නිසා. එතකොට කොල්ලා කිව්ව කතාවට මම නිරුත්තර වුනා. කොල්ලා කිව්ව වාක්‍යයේ සිංහල අදහස මෙහෙමයි.

“ඔයාලා දෙන්න අපිට හොඳම දේ දීලා, ඔයාලා පිරිමහගෙන ජිවත් වෙන එක තමයි කලේ හැමදාම. මේ වගේ වෙලාවකවත් හොඳම දෙයක් ගත්තේ නැත්තම්, අම්මට කවදාවත්  හොඳම දෙයක් පාවිච්චි කරන්න ලැබෙන්නේ නෑ.”

එතනින් එහාට ඔරලෝසුව අරගෙන සාප්පුවෙන් එලියට බහිනකල්ම මට හැම දෙයක්මෙ පෙනුනේ බොඳ වෙලා. වෑන් එකට ආපු අපි තවත් බොරුවක් කියලා, පස්ස දොර ඇරලා ඔරලෝසුවත් එක්ක දීපු කැලැන්ඩරේ ආවුද පෙට්ටිය අස්සේ හැන්ගුවා.

අපි හොඳම දේ ගන්නේ නෑයි කියන පුතාගෙ අදහසට සීයට සීයක් එකඟවෙන්න බැරි වුනත්, උන් දෙන්නගෙ ආකල්පය ගැන මට යටි හිතෙන් සතු‍ටු වුනා. උන් දෙන්නා පස්සේ මාවත් මග ඇරලා, මටත් වටිනා සිටිසන් අත් ඔරලෝසුවක් අරන් තිබුනා තවත් දේවල් එක්ක දෙන්නට එකටම දෙන්න.

රොබින් නම් ඉන්දියානුවා

දැන් මේ තියෙන පින්තූරෙ මම ගත්තේ තිලකසිත කියවපු ගමන්මයි. ඔය පේන කණ්නාඩි කේස් එකයි, බෑග් එකයි අයිති රොබින්ට.

රොබින් කියන්නේ දීපයි මායි ඒ ඉන්දියානුවට දාපු අනවර්ත නාමයක්. මුලින්ම කියන්න ඕනෙ රොබින් මගෙ ප්‍රියතම පුද්ගලයෙක් නම් නොවන වග.  නමුත් ඒක මෙතනට අදාල නෑ.

රොබින්ගෙ විශේෂය තමයි මේ ගුරුමණ්ඩලේම ඉන්න ස්මාට් දුරකථනයක් හෝ ලැප්ටොප් පරිගණකයක් නැති එකම ගුරුවරයා වීම. මේ ඊයෙ පෙරේදා අලුතෙන්ම ආපු අය ලඟත් ලැප්ටොප් තියෙද්දි, රොබින් පාවිච්චි කරන්නෙ ඉස්කෝලෙ පරිගණක. ඉස්කෝලෙ ඇරිලා අනිත් උන් ගෙවල් වලට යද්දි රොබින් ඉස්කෝලෙ පරිගණයක් ඉස්සරහ උඩ බලාගෙන පාඩම් සටහන් හදනවා.

නිවාඩු දවසක අපි දෙන්නව ගෙදරින් එලියට ගන්න හරිම අමාරු වුනත්, රොබින් ඇතුලු හුඟක් ඉන්දියානුවෝ කියන්නේ “හරිම බෝරිං” කියලා. ඒකට හේතුව හිතාගන්න අපිට දැන් අමාරු නෑ.

ඉබි කේස් එක

මේ පින්තූරේ වම්පැත්තේ පේන්නේ රොබින්ගෙ බෑග් එක. මේ මේසේ උඩ තියෙන අනිත් බෑග් එක්ක බැලුවාම ඒක සෑහෙන පාවිච්චි කරපු අබලන් බෑග් එකක්. මේක බොහෝ විට රොබින්ගෙ දරුවෙක් පාවිච්චි කරලා අයින් කරපු එකක් වෙන්න ඕනෙ. ඉබ්බා දාලා තියෙන්නේ මොනව හරි වටිනා දෙයක් ආරක්ෂාකරගන්න වෙන්න ඕනෙ. අපි කිසි දවසක අහලා නෑ ඒකෙ මොනවද තියෙන්නේ කියලා. ඒ එක්කම කියන්න ඕනෙ, අනිත් හැමෝම අර මුලින් කිව්ව ලැප්ටොප් , ස්මාට්ෆෝන් මේස උඩ තියලා ඉවත යනවා ඕනෙ තරම්. මම දැනුවත්ව කවදාවත් කිසිම දෙයක් නැතිවෙලා නෑ. නමුත් රොබින් මේ තරම් පරිස්සම් කරන දේ මොකක් වෙන්න පුලුවන්ද?

කණ්නාඩි කේස් එක

දවසක් රොබින්ගෙ කණ්නාඩි කේස් එක නැතිවෙලා. මිනිහා ඒකට හොඳටම කලබල වුනා.  පස්සේ ගෙදර තිබිලා ඒක හමුවුනා කියලා රොබින් කිව්වේ සිනා සිසී. මේ ලඟදි ඔය පසුම්බියේ ප්ලාස්ටික් සරනේරු කැඩිලා මිනිහ කහ පාට සෙලෝටේප් ගහලා ඒක අලුත් වැඩියා කරගෙන ඉන්නවා අපි දැක්කා. ගෙදර වැඩිපුර තිබිච්ච පාවිච්චි නොකරපු කණ්නාඩි කේස් එකක් අපි රොබින්ට ගිහින් දුන්නම මිනිහාගෙ මූණෙ මතුවුනේ පුදුම හිනාවක්. මට නොසෑහෙන්න ස්තුති කරපු රොබින් ඒ අලුත් කණ්නාඩි කේස් එක පාචිච්චි කරන පරිස්සම දැක්කාම ඇයි අපි මීට කලින් මේක නුදුන්නේ කියලා අපිට හිතුනා. ඔය පින්තූරේ තියෙන්නේ ඒ අලුතින් දීපු කණ්නාඩි කේස් එක.

ඔව් මේ පින්තූරේ ගත්තේ හොරෙන් තමයි රොබින්වත් වෙන කවුරුවත් නැති වෙලාවක් බලලා.

 

<span

 

Ye-Ye!

මේ  පින්තූරේ පේන්නේ මේ රටේ ජනප්‍රියම ක්ෂණික කෝපි පැකට්‍ටුවක්. සිංගප්පූරු නිෂ්පාදනයක් වන යේ-යේ, නෙස්කැෆේ තරම්ම ජනප්‍රියයි. අපි උදේට ගන්න දෙවෙනි උදේ කෑමට (බ්‍රන්ච් එකට) එක්ක අපි යේ-යේ බොනවා. ස්ට්‍රෝං කොෆී වලට කැමති දීපා මග් එකෙන් හරියටම බාගයක් උණු වතුර පුරවලා යේ-යේ පැකට් එක දිය කරනවා. මම තුන්කාලක් උණු වතුර දාලා යේ-යේ පැකට් එකක් දියකරනවා මොකද මට වැඩි ප්‍රමාණයක් බොන්න ඕනෙ නිසා. රොබින් කෝප්පෙට කට කපලා එකක් වතුර දාලා යේ යේ පැකට් එකෙන් බාගයක් දාලා දිය කරලා, ඉතුරු බාගේ ප්ලාස්ටික් බෑග් එකක දාලා ශීතකරණයේ දොරේ අරන් තියනවා අපි දකිනවා.

කැපවීම

ඉන්දියාවෙ ඉන්න රොබින්ගෙ දුව විභාගය සමත් වුනාම මේ රොබින් ගුවන් ටිකට් පත් වලට අතින් වියදම් කරගෙන ගෙදර දිව්වේ හදිසි නිවාඩු අනුමත කරගෙන.

කෑම මේසෙ එකට ඉඳගෙන බ්‍රන්ච් එක ගන්න ගමන් මේ දුව ගැන රොබින් දවසක් අපි දෙන්න එක්ක කියපු දේ මගෙ හිතේ තාම ‍රැව් පිළි‍රැව් දෙනවා.
“මේ ලඟදි දුවගෙ හිත නරක් වුනා.”
“ඒ මොකෝ?”
“මම දොස් කියලා”
“?”
“මේ ලඟදි මගෙ වයිෆ් කිව්වා ලෑන්ඩ් ෆෝන් බිල එනවලු අදහගන්න බැරි ගනං වලින්. පස්සෙ මේං දවසක්  බලනකොට කෙල්ල එයා යන ටියුෂන් පන්තියට එන්න බැරිවුන යාලුවන්ට ෆෝන් එකෙන් සම්පූර්ණ නෝට් එකම කියවනවලු ලියාගන්න. ඉතිං මම ටිකක් අවවාද කලා. ඒකට කෙල්ලගෙ හිත නරක් වෙලා”
“!”

පසුවදන

මම කවදාවත් මේ පෝස්ට් එක ඉංග්‍රීසියෙන් ලියන්න අදහස් නොකරන්නේ ඇයි කියලා කියන්න අවශ්‍ය නෑනේ.

 

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

2 responses to “176. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.

  1. Ajith Dharma

    අප්‍රේල් 19, 2016 at 8:49 ප.ව.

    රොබින් කියන්නේ හොඳ මනුස්සයෙක් වෙන්න ඇති. මුදල් අර පරිස්සමින් පාවිච්චි කරන කෙනෙක්.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: