RSS

177. අසිහිය / PIT STOPS ON THE HIGHWAY

20 Jun
how to remove spark plug

Never Leave Home Without Them!

ටූටී ඉවර බව හඟවන රතු එලිය පත්තු වෙන්න ගත්තේ කිලෝ මීටර් පහකට විතර කලින්. අනතුරු හැඟවීමට රතු එලියක් නැතුවත් ටැංකියේ පෙට්‍රල් මට්ටමත්, ඒ වගේම සාක්කුවේ සල්ලි මට්ටමත් අති භයංකාර විදියට පල්ලම් බැස ඇති බව මම දැනගෙනයි හිටියේ. ඊ ලඟ පඩි දිනයට කිට්‍ටුව අතේ සතේ නැතුව යන එක, සේවයට සරිලන වැ‍ටුපක් නොලැබෙන අපි වගේ රටවල සාමාන්‍ය දෙයක්.

මගේ කුඩා Yamaha RD50SP මෝටර් සයිකලය ගිරාඳුරු කෝට්ටේ ඉන්ධන පිරවුම් හලට හරවා. කහපාට පෙට්‍රල් පොම්පය ලඟ නවත්තපු මම පෙට්‍රල් වලට අමතරව ටූටී ලීටරයකුත් ඉල්ලුවා. පොම්ප ක්‍රියාකරු ටූටී බෝතලයක් ගේන්න තව සගයෙකුට පැවරුවා. මම ටූටී වලට කලින්ම මුදල් ගෙවලා හිටියා.

“කීයකද?”

පොම්පේ ස්විචය පහතට දමපු පොම්පකරු ඇහුවා.
මම අධි වේගෙන් හිතෙන් ගණන් හැදුවා.

“ලීටර් තුනයි”

ඩිජිටල් යතුරු පුවරුවට ඇන, ගාණ සටහන් කල පොම්ප කරු, නොසලය පෙට්‍රල් ටැංකියට එබුවා. පොම්පය දුවන අතරෙදිම මම මුදල් ගෙවලා දැම්මා. සන්තෙකේටම ඉතුරු වුන සල්ලි තව පෙට්‍රල් ලීටර් එකහමාරකට නම් යාන්තම් ඇති බව දැකලා මගේ හිත බර වුනා. ෂිහ්! මම තොල් මැතිරුවා.

පෙට්‍රල් නොසලය ටැංකියෙන් එලියට ගත් සැනින් මම පෝලිමෙන් ඉවත්ව මහා නොන්ක්‍රීට් පියස්ස යටම වෙනත් ඉඩ තියෙන තැනකට බයිසිකලය ගත්තා. පොද වැස්සක් පටන් අරන්. ටූටී ගේන්න ගිය පිරවුම්හල් සේවකයා ගෙනත් දුන්න ටූටී කෑන් එක අතට ගත් මම ලැබුණු ඉතුරු මුදල් ජීන්ස් සාක්කුවට ඔබා බයිසිකලම මත ඉඳගෙනම මුද්‍රාව කැඩූ කෑන් එක ටැංකියට ඇලකලා. තෙල් ටැංකියට පිරෙන ග්ලග් ගලග් හඬ නැවතී ටිකවෙලාවක් යන තෙක්ම මම ඉවසාගෙන සිටියේ අන්තිම බිඳු කීපයත් ටැංකියට වෑහෙන තෙක් අරපිරිමැස්මෙන්. අවසානයේදී හිස් බඳුන කුණු බක්කියට විසි කර දැමූ මා, පයින් ඇන එන්ජිම පණගන්වාගෙන, වාහනය දෙහිඅත්තකණ්ඩිය මහියංගනය මහා මාර්ගයට නැවත ඇතුල් කර, පොද වැස්සේම මහියංගණය දෙසට ධාවනය කලා.

මගේ ගමනාන්තය වුනේ, පඩියට අමතරව කීයක් හෝ උපයාගැනීමට බිරිඳත් මාත් දෙදෙනාම බාහිර ඉංග්‍රීසි උපදේශකවරුන් ලෙස සේවය කල, හසලක රජයේ කාර්මික විද්‍යාලයයි. අප දෙදෙනා වෙනස් දවස් යොදාගෙන තිබුනේ දරුවා බලාගැනීමේ ප්‍රශ්ණය නිසයි. හසලක පාසැලක සේවය කල ඈ පාසැල නිමවී කාර්මික විද්‍යාලයට ගොස් දේශන පැවැත්වූවා. දෙහිඅත්තකණ්ඩියේ සේවය කල මට එහි යාම දිස්ත්‍රික් තුනක් හරහා කෙරෙන වෙනම දිගු ගමනක් වුනා. මහනුවර දිස්ත්‍රික්කය තුල පිහිටි හසලකට, අම්පාර දිස්ත්‍රික්කයට අයත් දෙහිඅත්තකණ්ඩියේ සිට යාමට සිදුවූයේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් ගිරාඳුරුකෝට්ටේ හරහා.

එක්දාස් නවසිය අනූඑකේදී ගුරු වැ‍ටුපත් සමඟ සසඳද්දී, දීපාට දිනකට බස් වියදම පමණක් රුපියල් හතලිහක් වැනි අධික ගණන වීම ආර්ථිකයට එල්ල කලේ මරු පහරක්. ඇත්තෙන්ම දිනක් නිවාඩු දැමීමෙන් සෑහෙන මුදලක් ඉතිරි වුනේ නිලධාරීවාදයට පින්සිදුවෙන්නටයි.

See the route stretches through three districts, Ampara, Badulla and Central, and through three provinces Eastern, Uva and Central.

the route

මෝටර් සයිකල් එන්ජිම හදිසියේම වරක් ගැස්සුනා. මොහොතකින්, දෙවනවරටත් ගැස්සුනා. ඉන් පසුව කහිමින්, හුස්ම හිරවී දඟලා නිහඬ වුනා.

“පිස්සුනංකෙළින්නෙපා මගෙ බුදු එන්ජිම.”

පොද වැස්ස මේ වන විට නව යොවුන් වියට එළඹ තිබුනා.

“මොකක්ද වෙන්න ඇත්තෙ?”

ආසනයේ මත හිඳගත්වනම මම දෙපා බිම ගසා, බයිසිකලය දෙපසට ගස්සා ටැංකිය තුල පෙට්‍රල් බස බස ගා කැලතෙන හඬට ඇහුම් කන් දුන්නා. ඉන් පසු නැවී දකුණුපස පැති කවරය පසුපස ආසනය යටට වනසේ සවිකර ඇති සුදු ප්ලාස්ටික් ටූටී ටැංකිය දෙස එබී බැලුවා.

“මොනවා? ටැංකිය හිස්! යකෝ එතකොට මම දැං අරං දැම්ම ටූටී ලීටරේට මොකද වුනේ? හුටා! කෙළලා නේද තාප්පෙටම!”

plug_oilමම වහාම පෙට්‍රල් මූඩිය ඇර, ටැංකිය ඇතුලට එබී, කිසිසේත්ම පිරිසිදු පෙට්‍රල් විය නොහැකි අඳුරු පැහැයට කැලතෙන ද්‍රාවනය දෙස තැතිගැන්මෙන් බලා සිටියා. මම වෙන කල්පනාවක් පිට , ටූටී ලීටරයක් පෙට්‍රල් ලීටර් තුනකට මිශ්‍ර කරලා.

මං වගේ බූරුවෙක්! මම මටම සාප කරගත්තා. ටූටී ටැංකියට ටූටී දාන්න හරි නම් බයිසිකලයෙන් බැස ආසනය ඉහලට එසවිය යුතු වුනත්, මම ටූටී දැම්මේ ආසනෙයේ ඉඳගෙනම නේදැයි මට මතක් වුනේ ඒ වෙලාවෙයි. කාලා වරෙංකෝ! දැන් මේ තෙල් අධික පෙට්‍රල් පිච්චිලා, ස්පාර්ක් ප්ලග් වල ඉලෙක්ට්‍රෝඩ් තුඩු දෙක අතරේ කාබන් ඉල්ලමක් බැඳිලා, අධිසැර ගිණි පුලිඟුව අකා මකා දමන නිසා එන්ජිම නැවතිලා.

පැති කවරය පන්නා ඒ තුල වූ ආවුද කට්ටලය ගත් මම, ප්ලග් බොක්ස් එක ආධාරයෙන් ප්ලග් එක ගලවා අතට ගත්තා. හිතුවා වගේම ඉලෙක්ට්‍රෝඩ තුඩු අතර කාබන් කුට්ටියත් සෑදී තෙල් වලින් තෙතබරියම් වී තිබුනා. මම කුඩා කියත් පටි කෑල්ලකින් තුඩු හැකිපමණ පිරිසිදු කර ආවුද ඔතා තිබූ රෙදි කැබැල්ලෙන් තෙල් පිසදා ඉවත් කලා. ඉන් පසුව ප්ලග් කැප් එකට ප්ලට් එක රිංගවා ප්ලග් එකේ යකඩ බඳ එන්ජිමේ ගාවා එන්ජිම කික් පැඩලයෙන් කැරකෙව්වා. ටික්-ටික්-ටික් හඬ නගමින් මතුවූ නිල් පැහැති ගිණි පුලිඟු දැක සැනසුම් සුසුමක් හෙලූ මා, ප්ලග් එක නැවත සවිකරගෙන , ආවුද කට්ටලයත් අසුරා තිබුණු තැනම රඳවා බයිසිකලය පණගන්වාගෙන නැවත පිටත් වුනේ හසලකට ලඟාවීමට පෙර, මේ ආකාරයටම මේ ප්‍රතිකාරය තවත් නොදන්නා වාර ගණනාවක් සිදු කරන්නට සිදුවෙන බව සිහි කරමිනුයි.

මෙවැනි අවස්ථාවක කල හැකි එකදෙයක් නම්, අවම වශයෙන් තවත් පෙට්‍රල් ලීටර් තුනක් පමණ ටැංකියට පුරවා ද්‍රාවණයේ සාන්ද්‍රනය අඩුකර ගෙන අතරමග නතරවීම් සීයට පණහකින් පමණ අඩුකර ගැනීමයි. නැතිනම් ටැංකිය හිස් කර අලුතින් පෙට්‍රල් පුරවා ගැනීමයි. එවිට ටූටී ප්‍රශ්ණයත් නැවත බලපානවා. මේ විකල්ප දෙකටම ඉන්ධනහල් අතර ඇති අධික දුර ප්‍රමාණයට අමතරව, මා අත ඉතිරි වී ඇති මුදල් ප්‍රමාණයත් තදින්ම බලපෑවා. මා අත ඉතිරිවී තිබූ මුලු මුදලම සූරාගත්තත් තව පෙට්‍රල් ලීටර් එකහමාරකට යන්තම් සෑහුනත්, පාලු පාරක කෙරෙන මෙවැනි දුර ගමනකදී එවැනි අවදානමක් ගැනීම නුවණැති ක්‍රියාවක් නොවේ.

plug_carbonTwo stroke නැතිනම් දෙපහර එන්ජින් වලට, පෙට්‍රල් වලට ලිහිස්සි තෙල් මිශ්‍ර කර භාවිතා කරන බව ඇත්ත. විශේෂයෙන්ම පැරණි මෝටර්සයිකල් එන්ජින්වලත්, ඉන්දියානු ත්‍රිරෝද රථවලත් කෙලින්ම පෙට්‍රල් ටැංකිය තුලට එක්තරා අනුපාතයකින් ලිහිස්සි තෙල් මිශ්‍ර කලත්, විශේෂ ලිහිස්සි තෙල් වූ ටූටී සඳහා වෙනම ටැංකියක් තිබෙන නවීන දෙපහර එන්ජින් මෝටර්සයිකල්වල, එන්ජිමෙන් දුවන තෙල් පොම්පයක් මගින් තෙල් දුමාරයක් සේ ඉන්ලට් මැනිෆෝල්ඩය තුලට විදිනවා . පෙට්‍රල් වල තෙල් මිශ්‍රවී තිබීම එවැනි එන්ජිමකට දරාගත හැකි වුවද, එසේ විය යුත්තේ යම් අනුපාතයකටය. ඒ අනුපාතය කිසිසේත්ම 3 :1 නම් වෙන්න බෑ. මා මෙවැනි ගොන්, තකතීරු, වැඩක් කලේ ඇයි? මා දිගින් දිගටම මා කල අමණකම ගැන පසු තැවෙමින්, මටම දොස් පවරමින් වැස්සේම රිය පැදවූවා.

සිතූ පරිදිම, මඳ දුරක් ගමන් කල එන්ජිම නැවතත් කැස නතර වුනා. අවම වශයෙන් දැන් රෝගය හඳුනාගෙන, ප්‍රතිකාරය දැන සිටි නිසා, වැස්ස බාධාවක් වුවත්, පෙරට වඩා අඩු කාලයකින් නැවත පිටත් වෙන්න හැකි වුනා. අවසානයේ දහඩියෙන් සහ වැස්සෙන් තෙතබරිතව, මජං තවරාගෙන, හසලක කාර්මික විදයාලයට ලඟාවනවිට, කී වරක් නම් මග නතරවූයේදැයි මට අමතක වී තිබුනා. දේශන පැවැත්වූ මුලු කාලය තුලම, ආපසු ගමන කොයි තරම් දුශ්කර වේදැයි සිතමින් ලතැවුනත්, ගුරුමණ්ඩලයේ සගයෙකුගෙන් අතමාරුවක් කරගැනීමට හිත හදාගැනීමට මගේ ආත්ම ගෞරවයත්, ආත්මාභිමානයත් ‘කන්ඩ නැතත් බෙට්ට කෙලින් මල්ලි’, යන පුරාණ ඉරිසින්නාන්සේ කෙනෙක්ගේ ආප්තෝපදේසයට අනුව ක්‍රියාකල මගේ හිතත් මට ඉඩ දුන්නෙම නෑ

ආපසු පිටත් වන විට ධාරානිපාතයක් බවට පෙරලී තිබූ වැස්ස, අලුත් වැඩියා නැවතුම් අතිදුෂ්කර කාර්යයක් බවට පත් කලා. රෑ අඳුරත්, වලාකුලින් බර අහසත් නිසා කරන දේ කලේ අතේ හුරුවට. ප්ලග් එක පිස දමන ආවුද ඔතා තිබූ රෙදි කෑල්ල තෙල් වලට අමතරව වැස්සෙන් දියබත්වී තිබූ නිසා කලිසම් සාක්කුවල ඇතුල් පැත්තත්, අවසාන තුරුම්පුව සඳහා ඉතිරි කරගෙන තිබූ මේසුත් පාවිච්චි කිරීමට කලා.

නැවත් ගිරාඳුරුකෝට්ටේට ලඟාවනවිට කලයුතු දේ ගැන ඒ වනවිට මම කලින්ම තීරණය කරගෙනයි හිටියේ. කෙලින්ම ඉන්ධන හලේ පෙට්‍රල් පොම්පයක් වෙත ගිය මම අතේ තිබූ සියළුම මුදල් වලට පෙට්‍රල් පුරවා ගත්තා. ඒ දල වශයෙන් ලීටර් 1.45 පමණ වගේ වුනා, පිරවුම් හලේ කොන්ක්‍රීට් ආවරණය යට නොතෙමී හිඳිමින්, දීප්තිමත් විදුලි පහන් එලියේ පිහිටට අමතරව සේවකයෙකුගෙන් ඉල්ලාගත් අලුත්ම වියළි රෙදි කැබැල්ලද උපයෝගී කරගෙන මම අවසන් වතාවටත් ප්ලග් පිරිසිදුකර සවිකර ගත්තා.

කික් ස්ටර්ටරය පයින් පහත් කල වහාම එන්ජිම කීකරුව පණ ගැන්වුනේ සිතට සතුටක් ඇති කරවමින්. මෙවර එක වරක් හෝ මග නතර නොවී කෙලින්ම ගෙදර ඒමට මට හැකිවූයේ, එකක්, මුලින් පිරවූ තෙල් මිශ්‍රිත තෙල්වලින් සෑහෙන ප්‍රමාණයක් ඒ වනවිට අවසන්වී තිබූ නිසාත්, එනිසාම අලුතින් පිරවූ පෙට්‍රල් නිසා පෙට්‍රල් තෙල් අනුපාතයේ සිදුවූ අධික වෙනස නිසාත්, ප්ලග් වලට වඩා කාර්යක්ෂම දහණයක් පවත්වාගෙන යාමට ඉඩ ලැබුණු වෙන්න ඕනෙ.

අන්තිමේදි ගෙදර (ගුරු නිවාසෙ) ඇවිත් තෙත ඇඳුම් ගලවලා දාලා, මජං සෝදලා දාලා නාගෙන සාලෙ වියළිවට, උණුසුමට ඉඳගෙන තේ එකක් බොනකොට මට ඇතිවෙච්ච සුවය කියන්න වචන නෑ.DSCN4461

Originally published @ HeyDude in English Language. Simulblogged @ මගේ ඩෙනිම

.

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: