RSS

178. මීටරේ ගැන මොනලොග් එකක්.

02 Jul

20160702_124057255b1255d

සිරාවටම හොල්මං වෙනව ඕයි.

ඉතිං මං කියන්ඩ ගියේ මොකද්ද? ආහ්, අපි  ඔය හොලිවුඩ් මූවීස් ටෙලි සීරීස් බලනවනෙ. විසේසෙංම ඔය ඇක්ෂන් ඒවා, ඔය කොප්, ඩිටෙක්ටිව්, ක්‍රයිම් වගේ ඒවා බලනකොට මම නිතරම හොල්මං වෙන දෙයක් තමයි මචං,  ඒවයෙ චරිතවලට තියෙන මේ පුදුමාකාර මතකෙ.

ඒ මොකෝ කියන්නේ? උඹලා දැකලා තියෙනවද ඕවයෙ චරිත කොයි වෙලාවකවත් ඔය ෆෝන් නම්බර් එකක්, පාස්වර්ඩ් එකක් , දෙපාරක් කියනවා? යකෝ එකම-එක පාරනෙ කියන්ඩෝනෙ.   ඒකට මං. මට නම් ෆෝන් නම්බර් මතක තියා ගන්න බෑ මේ සම්මජ්ජාතියෙදි එක පාරක් අහලා නම්.

අමාරුවෙන් මතක තියාගෙන ඉන්න එකක් හරි මතක තියාගෙන ඉන්න රිද්ම් එක පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අඤ්ඤකොරොස්. මම අපේ ගෙදර  ෆෝන් නම්බර් එක මතක තියාගෙන හිටියෙ මෙන්න මෙහෙම තුනෙන් තුනට. 011 2 (හරි ඒ කෑල්ල ඕන්නෑ කියමුකො) 123 456. මේක ඔලුවෙ තියාගෙන ඉන්නෙත් ඉංගිරිස් වලින්.  කවුරු හරි සිංහලෙන් ඇහුවොත් ටිකක් වෙලා යනවා හරවන්න.

හරි ඒක නම් කොහොම හරි ගොඩ දාගත්තයි කියමුකො. අර අංක තුනේ රිද්ම් එක  අවුල් වුනොත් නම් විනාසයි.

ඕන් දවසක් අපේ ඒක මාලනී අක්කා අහනවා,

” ඒයි හෙන්රි මල්ලි, උඹේ ගෙදර නම්බර් එක 2 12 34 56 නේද බං?”

මම කිව්වනෙ නෑ කියලා ගත් කටටම.

“එහෙනං කියපං බලන්න හරි එක,” කියලා මාලනී අක්ක කිව්ව,

ඉතින් මං හරි එක කිව්වා.

” 2 123 456″

මාලනී අක්කා ඒක ලියාගෙන කොලේ දිහා ඔරවලා බලල නලල ‍රැලි කරං මා දිහා බලලා

“ඉතිං යකෝ මේ ඒකමනෙ”

“ඇත්තද?”

ඕං මගෙ රෑම් එක.

දැන් ඔන්න දැං උඹලා හිතන්ඩෙපා මට ඇම්නීසියා කියලා.

මට සමහර හිතාගන්න බැරි දේ ගැන අසාමාන්‍ය මතකයක් තියෙනවා. ඒකනෙ බ්ලොග් ලියන්නෙ, නැද්ද?  දීර්ඝ කාලීන මතකය.

මට මගෙ NIC නොම්බරේ මතක ඒක සෑහෙන කාලයක් පාවිච්චි කරපු නිසා. නමුත් මට  තිබුනු එක පාස්පෝට් එකකවත් නොම්මරේ නම් කවදාවත් මතක හිටලා නෑ. මොකද ඒවා අලුත් කරන ගානෙ නොම්මරේ වෙනස් වෙන නිසා.

මට මගේ දැන් ෆෝන් නම්බර් එකක් මතක් කරන්න ටිකක් වෙලා ගියත් ඩිස්කනෙක්ට් කරලත් අවුරුදු ගානක් වෙච්ච ලෑන්ඩ් ලයින් නොම්බරේ කටපාඩම්. හෙහ්, හෙහ්. ඒක මේ ලඟදිත් මට ඕනෙ වුනා ටෙලිකොම් එකේ සික්කෙක්ගෙන් බේරෙන්න.

මහ බැංකුවට බෝම්බ ගහන්න කලින්, සෙලින්කෝ එකේ යට තට්‍ටුවේ තිබුන මහජන බැංකුවේ මට තිබුනු, දැන් නැති අකවුන්ට් එකේ නොම්බරේ මට තවම කට පාඩම්. නමුත් දැන් පාවිච්චි කරන නිතර ඕනෙ වෙන අකවුන්ට් නම්බර් එකක්වත් මගේ ඔලුවේ නැති හැටි! මාරයි!!

ඒවා නම් සංකීර්ණයි කියමුකෝ. නමුත් මට ඉලක්කම් හතරේ ATM PIN එකක්වත් මතක තියාගන්න බෑනේ. එයාලා නම් කියන්නේ PIN එක කටපාඩම් කරගෙන ලියුම විනාශ කරලා දාන්න කියලා. කෙරිලා තියෙයි!

මහපාරේ යෝග්‍යතාපරීක්ෂනය

අපේ තාත්තගේ 2 ශ්‍රී BSA මෝටර් සයිකලයේ නොම්බරේ, මගේ මුල්ම මෝටර් සයිකලයේ නොම්බරේ සහ මගේ මුල්ම කාර් කට්ටේ නොම්බරේ මට දැනුත් මතකයි. ඒ වුනාට දැන් තියෙන ඒවයේ නොම්බර මතක හිටින්නෙම නෑනේ.

මේ සමහර පොලිස් කාරයෝ ලඟ මහ හොල්මං තියරියක් තියෙනවනෙ බං මේ වාහනේක අයිතිකාරය  තමංගෙ වාහනේ අංකෙ කට පාඩමින් දැනගෙන ඉන්න ඕනෙ කියලා.

මේ ෂර්ලොක්ලා හිතන්නෙ, අපි මේ දැං, මේ වාහනේ වයර් මාට්‍ටු කරලා ස්ටාට් කරගෙන, වාහනේම තිබිලා ලයිසන්ස් ඉන්ෂුවරන්සුත් හොයාගෙන එන ගමන්, අර වයර් මාට්‍ටු කර කර හිටි හන්දා වාහනේ නොම්බරේ කටපාඩංකරන්න බැරි වෙලා වෙන්න ඇති කියලා. පොරවල් හරී ආසයි ලයිසන්ස් ඉන්ෂුවරන්ස් තමන්ගෙ අතර අරගෙන ඒවා කියවන ගමන් අපෙං “මොකද වාහනේ නොම්බරේ?” කියලා ඔලුව හොල්ල හොල්ල අහන්ඩ.  “දැං මං කිව්වොත් එහෙම, “මට මතක නෑ, ඕකෙ ලියලා තියෙනව නේද නොම්බරේ?” කියලා මල අතේ.   එතකොට මහා ලොකු වංචාවක් , හොරකමක් අල්ලගත්තාම වැ‍රැදද කරපු එකා දිහා බලන්න යොදාගන්න අර බැල්මට් එක දාලා  “හහ්, මතක් නෑ නේද නොම්බරේ?” කියලා අහනවා.

මෙහෙම වෙලාවට පොලිස් කාරයගෙ හැටියට සහ මූඩ් එකේ හැටියට වාහනෙං බස්සවලා, තව තියෙන අයි ඩී එහෙම හොර ඒවද කියලා ලෙව කාලත් බලලා, වාහෙනේ සීට් අස්සේ, පැනල් අස්සෙ හිටං බලන ගානට වැඩේ දුර දිග යනවා හිටං.

මේ හැම දේම වෙන්නේ මට වාහනේ නොම්බරේ කටපාඩං නැති හන්දයිකියහංකො, හිටං.

ඇත්තටම බං මේ දන්නැති හන්ද අහන්නේ. එහෙම නීතියක් තියෙනවද, හිටං ?

ඉතිං මචං මං ඔය වෙලාවට කාකි සූට් එක්ක පැටලෙන්න යන්නේ නෑ.  මම ඕකට කරන්නේ පොඩි කඩදාසි තීරුවක වාහනේ අංකෙ ප්‍රින්ට් කරලා බයික් එකේ නම් පෙට්‍රල් ටැංකිය උඩ සෙලෝටේප් එකකින් ලැමිනේට් වෙන්න අලෝලා තියෙන එක. පොලිසියෙන් නවත්තලා නොම්බරේ ඇහුවාම මම කූල්පිට අරක දිහා බලලා නොම්බරේ කියනවා.  එක දවසක්  පොලිස් කාරයෙක් ඕක  දැකලා මට කියනවා, “හහ්, නොම්බරේ මතක් නැති හන්දා මෙතන අලෝගෙන නේද?” ඒක හරියට කිව්වේ මේ ශතවර්සෙ ලොකුම කුඩු ලෝඩ් එක, එතනෝල් ලෝඩ් එක අල්ලගත්ත වගේ ඕං.  හැබැයි කාර් එකක, වෑන් එකක ඔයිට වඩා ලේසියටනොපෙනෙන්න ඕක ගහන්න පුලුවං.

මං මේ දන්නෙ නැති හන්දයි ආයෙම උඹලගෙං අහන්නෙ. වාහනේ නොම්බරේ කටපාඩමින් කියන්න මතක නැත්නං ලංකාවේ පාරක වාහනයක් එලවන එක වැ‍රැද්දක්ද බංස්ලා?

ඔය ෆ්‍රෙන්ච් ස්පෙලිං තියෙනව නේද?  මම කීප සැරයක්ම ෆ්‍රෙන්ච් ඉගෙන ගන්ඩ ට්‍රයි කලා. පිස්සුම හැදෙන බාසාවක් බං. පිස්සුම හැදෙනවා.

“Comment allez-vous’(කොමොන්තලේවූ)  මම මතක තියාගෙන හිටියේ ‘කමෙන්ට් අලෙස් වවුස්’ කියලා. ඇයි ABBA ගෙ
‘Voulez-vous’ (වූලේවූ) මම කොහොමත් මතක තියං හිටීයෙ ‘වවුලෙස් වවුස්’ කියලා. කවදාවත් කාටවත් මාට්‍ටු වෙලා නෑ හොරකම.

තව තියෙනවා ඔය වගේ ෂෝර්ට් කට් කීපයක්ම

Bureau කියන ස්පෙලිං. මම ඕක මතක් තියාගෙන ඉන්නෙ බුරියෑව් කියලා. කවදාවත් මාට්‍ටු වෙලා නෑ.

මිස්ට ලියනාරච්චි මගේ ගුරුවරයෙක්.  මට මේ ලඟදි හම්බ වුනා බැංකුවෙදි සල්ලි ගන්න ෆෝම් එකක් පුරෝපුරෝ ඉන්නකොට.  “K.S.P.V. ලියනාරච්චි, නේද සර්?” මම නිකමට ඇහුවා “මට තාම මතකයි මෙච්චර කාලයක් ගිහිල්ලත් ඒ නම.”  සර්ට මාර හැපි මගෙ ගුරු ගෞරවයයි, සර් ගැන තියෙන පෞද්ගලික උනන්දුවයි දීර්ගකාලීන මතකෙයි ගැන.  හැබැයි මම කිව්වනං සර්ට මට එයාගෙ නමේ අකුරු ටික මතක තියෙන්නේ ‘කනේ සබං පිහදාගෙන වරෙං ලියනාරච්චි’ කියන ෂෝට් කට් එකෙන් කියල සර්ගෙ අහිංසක හිනාව නිකං වයිපරේට අහුවෙච්ච කාක් බෙට්ටක් වගෙ නිකම්ම අතුරු දහං වෙලා යයි. (හරි හරි බං. වාසගම වෙනස්කරලා තියෙන්නෙ)

ඔය සැම්සුං, නොකියා, සෝනි, මෝටරෝලා කියන දෙවිවරු ඉන්නව නේද. උන් දෙවිවරුම තමයි.

ඇත්තෙන්ම මේ මෝබයිල් ෆෝන් තාක්ෂනේ තියෙනව නේද? ඒක ජීවිතාරක්ෂා කරනවා.  දෙයියනේ කියලා දැන් ෆෝන් නොම්බර කට පාඩං කරන්න ඕනෙ නෑ. උපන්දින, සංවත්සර හෙම කරපාඩං කරන් ඉන්න ඕනෙ නෑ. ඒකෙන් ජීවිතෙත් ආරක්ෂා වෙනවා, විවාහයත් ආරක්ෂා වෙනවා. තාක්ෂණේට නං දෙයියංගෙම පිහිටයි. ඔය දේවල් හොයාගත්ත නිර්මාපකයෝ නං දෙයියෝම ආරක්සා කොරන්ඩෝනැ.  මං නං කියන්නෙ උන්ට ඒ කරගත්තාවූ කුසල සම්භාරයේ ආනුභාවයෙන් කෙලින්ම දිවියලෝකෙට ටිකට් බුක්, එකෙන්ම.

ඔය සමහර අන්දොස් ස්පෙලිං තියෙන ඉංග්‍රීසි වචන තියෙනව නේද ඔය tongue, relevant, lieutenant, diarrhea වගෙ .දැන් මං ඒවා කිසිම ගේමක් නැතුව ටයිප් කරනවා spelling suggestions, auto correction වලට පිං සිද්දවෙන්න. මම වෙන මොනවහරි වැඩක් කලත් මම MS Word එකක් ඇරගෙන ඉන්නෙ සැක සහිත වචන ටයිප් කරලා රතුවට අන්ඩර්ලයින් වෙයිද බලන්න.

දැං මං ගැන හදිසි තීරණවලට බහින්නෙ නැතුව මේ ටිකත් අහපංකෝ.

මම අර කොළඹ කොට අදින ඉස්කෝලෙ වැඩ කරන කාලෙ GCE O/L, A/L applications ලියන වැඩේට මාට්‍ටු වෙන්න මාව.  ඉංග්‍රීසි බ්ලොක් කැප්ස් වලින් නම් ලියන්න ඕනෙ අර කො‍ටු ඇතුලෙ.

ඕං විස්වාස කරහල්ලා එක ගෝලයෙක් හිටියා ඒකගෙ නම “අමුර්ත හස්ත ගුණරත්න අනුහස් වාසල මුදියන්සෙ රාළහාමිලාගේ සාලින්ද ධම්මික ඉකිරිවත්ත.” හිතහංකෝ ඕක අර කො‍ටුවල ලියන්න ගියාම.

ඔය නම අයිතිකාර කොලුවටවත්, ඒකගෙ මාම කෙනෙක් වෙච්ච ඉස්කෝලෙ අංශ ප්‍රධාන මේධංකර හාමුදුවන්ටවත් ඔය නම මතක් නෑ. හාමුදුරුවෝ හොලමං වෙනවා මම ඔය කට පාඩමෙං කිව්වාම.  ඔය නම අර දීල තියෙන කො‍ටුවල ලියන්න ඉඩ මදි නිසා මම ඒ ලොකු කො‍ටුව තීරු තුනකට බෙදලා එක යට එක පේලි තුනකින් පොඩිම ෆොන්ට් එකෙන් කොහොම හරි ලියනවා. දැං ඕක වෙලා අවුරුදු පහළොවකටත් වැඩියි. දැං මං මේ නම් උඹලට කිව්වෙ මතකෙන්.

ඒක ගැන මොකද කියන්න තියෙන්නෙ උඹලට?  ඔව් කතා කරහල්ල, දීපල්ල උත්තර.

දැෂ් උඹලට මාව ‍ෆ්‍රීක් කෙනෙක් වගෙ පේනවනම්,  ඕං අහගනිල්ල විල්බට්ගෙ කතන්දරේ.

අපේ ක්‍රිෂාන්තය ඇරුනාම අපේ ගමේ හිටියා මාර බුවෙක්. ආ ක්‍රිෂාන්තව උඹ දන්නෙ නෑ? හරි හරි. ඌ මාරම මීටරයක්. ඌ අවිත් CTB database එකක් එකෙන්ම. ඌ දන්නවා කිරිඳිවැල, කැළණිය ඩිපෝවල තිබිච්ච  හැම බස් එකේම පෙඩිග්‍රිය. ඒවයෙ නොම්බර, අර උඩ ගහල තියෙන KD22, KE15 වගෙ ඩිපෝ නොම්බර, ඒවට අලුතෙන් එන්ජින් තිබ්බද, එන්ජින් රිපයාර් කලාද, සෙකන්ඩ් එක පනිනවද, ඩිෆරෙන්ෂල් එකෙන් හම් එකක් ආවද විතරක් නෙවෙයි, ඌට කියන්න පුලුවං ඕව එලවන ඩ්‍රයිවර්ලා කවුද, කොන්දොස්තරලා කවුද උන් කොහෙන්ද,, කසාදැ බැඳලද නැද්ද, බැඳලනම් කාවද යනාදී ඕනෙම දෙයක්, සෙනිකවම.

“KD22 පූගොඩ ගියා තව ආවෙ නෑනේ. “
ඉතිං අපිට පාංද බං වගේ බැල්මකින් අපි ඌ දිහා බැලුවට ඌට ගානක්වත් නෑ.
“ඒයි කැළණිය ඩිපෝවෙ අහවල් බස් එක කතරගම ගියානෙ ඊයෙ රෑ.” ඌ කියාගෙන යනවා
ඒ එක්කම උගෙ අඬෝවැඩියාව,
“යකෝ මේ සිරිලා නං කනවා බස් එක. බලහං ගියර් දාන හැටි ක්ලච් එක දෙන්නෙ නැතුව.”
“බලහංකො අරූ ක්ලච් එකේ කකුල තියාගෙන එලවන හැටි විතරක්. ඌට මොකෝ.”

විල්බට් ඇවිල්ල මේ අහල පහල ගෙදරක තිබ්බ වී මිරිස් හෙම කොටන මෝලක වැඩකරපු බුවෙක්.   කවදාවත් ෂර්ට් එකක් ඇඳලා ඉන්නවා මම දැකලා නැති, බඩමැද්දෙන් දෙකට කැඩෙන ගානට හිරට සරම ඇඳගෙන ඉන්න විල්බට් ක්‍රිෂාන්තයට වගේම පුදුමාකාර හැකියාවක් තිබ්බ බුවෙක්. පොරට පුලුවං අපේ පළාතෙම තියෙන් සහ තිබුන ඕනෙම වාහනේක නොම්බරේ ඇතුලු සියලු විස්තර පට් පට් ගාල කියන්න. ඒ කියන්නේ දැන් ඒ වාහනේ කොහෙද, කොහොමද, දුවනවද, කන්ඩෙම්ද, කාටද අයිති, හැමදේම. පොරට මතකයි මගෙ පළවෙනි බයික් එකෙයි පළවෙනි කාර් එකෙයි නොම්බරේ. මාරම ෆීඩ් එකක් එක්ක, මාරම up-to-date database එකක් තියෙන්නෙ.

“මම දැක්කනෙ ඔයාගෙ කාරෙක අවිස්සාවේල්ලෙදි.”

“අර ඔයාගෙ මස්සිනා අංගොඩට විකුණපු වෑන් එක දැන් තියෙන්නේ කැළණියෙ.”

අපරාදෙ,  ආරෙම්වී එකේ වැඩ කරන්න ඕනෙ පොරක් මිරිස් මෝලක වැඩ.

විල්බට්ව හම්බවුනාම හුඟදෙනෙක් විනෝදෙට කරන විදියට එක එක වාහනප්‍රශ්ණ අහලා පොරගෙ වාහන දැනුමපරීක්ෂා කරලා මම දවසක් ඇහුවා මෙහෙම,

“දැන් ඔයාට ඔයාගෙ අයිඩෙන්ටිටි කාඩ් එකේ නොම්බරේ මොකක්ද කියලා මතකද?

“හුටා, ඒක නම් මතක නෑනේ.”
පොර බොහොම දියාරු හිනාවක් එක්ක කිව්වා

Originally published as My Ram And Cache @ HeyDude in English Language.  Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 
ප්‍රතිචාර 4

Posted by මත ජූලි 2, 2016 in Uncategorized

 

4 responses to “178. මීටරේ ගැන මොනලොග් එකක්.

  1. පනුච්චි

    ජූලි 4, 2016 at 11:07 පෙ.ව.

    ඔපීසියේ වැඩ එක්ක හිරවෙලා ඉඳලා හිනාවෙන්න ඕනේ උනහම මන් දුවන් එන්නේ මෙහෙට තමා ඩුඩ්. අනේ ඉතින් සමහර වෙලාවට අලුත් කතා ඇත්තෙත් නෑ. ඒත් කලින් කියවපු ඇන්ඩි ග්රිෆ්ත් එකක් හරි කියෝලයි යන්නේ. අපි බ්ලොග් ලියන දවස්වල ඉදන්ම ඒ විදියටම රසේ නොවෙනස්ව කතා ලියන කෙනෙක් තමා ඔයා. ^_^

     
  2. සිදු

    ජූලි 17, 2016 at 12:31 ප.ව.

    පොලිස් අන්කල්ගෙන් අහන්න කෙනෙක් නැනේ රාලහාමිගේ බයිසිකලේ නොම්මරේ මොකද්ද කියල. ෆුල් හොල්මන් වෙලා යන හැටි බලන්න තිබුන එහෙම වුන නම්

     
  3. Xander

    ඔක්තෝබර් 24, 2016 at 7:08 පෙ.ව.

    තනිවෙලා නෑ මමත් ඔහොමයි. සමහර නං එහෙම මතක තියාගන්නේ මමත් ඔහොමයි. ඒත් දෙයියනේ කියල තාම පින් නම්බර් ටිකයි පාස්පෝට් අයිඩි කාඩ් නම්බර් වගේ ඒවා මතකයි. ඉස්සර නං අනුන්ගේ ෆෝන් නම්බර් හිට මතකයි. දැන් ඉතින් ෆෝන් එක තියනවා නේ. ඒත් ඒකෙ දාල තියෙන්නේ මොන නමටද කියල මතක් කරගන්න එක තමා වැඩේ.. මට ෂෝට් සර්කිට් ලෙඩේ හැදෙනකොට 29ක් වගේ.. එදා ඉඳල තාම සර්කිට් ෂෝට්.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: