RSS

182.ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි

06 Nov

vwbsaපොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි.

රත්වත්ත බෝයිගෙ අහස්යාත්තරාව වර්ෂන් 2.0

ඔය සමහර පම්පෝරි වලට තිබුනා කියන වාරයක් ගානෙ ඇඩොන්, ප්ලගින් වගෙ අලුත් කෑලි එකතු වෙලා, බග්ස් ‍ෆික්ස් වෙලා, වර්ෂන් එක අලුත් වෙන ගතියක්. ඔව්, ඔව්. අර කියන වතාවක් ගානෙ ප්‍රමාණෙයි බරයි ඉහල යන, සීයා අල්ලපු මාලුව වගේ තමයි. මගෙ පංතියෙ හිටිය ‘රත්වත්ත බෝයි’ගෙ සෙල්ලං අහස්යාත්තරා කතාවත් අන්න ඒවගෙ එකක්. රත්වත්ත බෝයි සල්ලිකාර, වළව්කාර, රදළ පරම්පරාවකින් පැවත ආපු නිසාමදෝ එයාලා අතාරින පචවල විස්වාස කරන්නත් හිතෙන ගතියක් තිබුනා.

ඒ ඔක්කොටම වඩා, රත්වත්ත වලව්වට ගිහින් තිබුනා කියන අපේම පංතියෙ හිටිය තවත් කොලුවෙක් මේ කතාවල්වලට ඇහින් දු‍ටු සාක්කිකාරයෙක් බවට පෙනී හිටියා.

මුලින්ම, ඔය කියන සෙල්ලං අහස්යාත්තරාව බැටරි බලෙන්, බිම දිගේ දුවන සාමාන්‍ය එකක්. රත්වත්ත බෝයි මේ අහස්යාත්තරාවෙ වරුණෙ, කටට වෙට්‍ටු දමා අපිත් එක්ක, කියන ගානෙ මේකට අලුතෙන් කෑලි එකතුවෙලා, මේක දුරස්ත පාලකයකින් පාලනය වෙන, ඇත්තටම උඩ යන එකක් බවට යාවත් කාලීන වුනේ බලා ඉන්දැද්දි. එදත්, අදත්, කවදත්, අහස්යාත්තරාවලට පෙම් බැඳපු මට, මේක ගැන ඇතිවුනේ පුදුමාකාර ලෝබකමක්. මම මේක ගැන අපේ අම්මට කිව්වාම අම්මා කිව්වේ, ඔය වලව්කාර, රත්වත්තෙලට තියෙන සල්ලිවල හැටියට ඔයිට වැඩිය දේවල් වුනත් පිටරටින් අරං එන එක එයාලට මහ දෙයක් නෙවෙයි කියලා. ඒවගෙ අහස්යාත්තරාවක් අයිති කරගැනීමේ හීනයක හිමිකාරයෙක් වෙන්න මට ඒකෙන්ම පුලුවන් වුනා.

කොහොම හරි, ඒ අවුරුද්දෙ අවසානෙට ලංවෙනකොට, මේ සෙල්ලං අහස්යාත්තරා කතාවට කෑලි-බෑලි එකතුවෙලා-වෙලා, රත්වත්ත බෝයිට ඇත්තටම මේකෙ නියමු කුටියට නැගලා, එයාලගෙ විශාල වත්තට ඉහලින් එහාට මෙහාට පදවගෙන යන්න හැකි යානාවක් බවට මේ යානාව යාවත්කාලීන වෙලා තිබුනා. එහෙට යනවා කියලා කියපු අර මිත්තරයත් මේ හැම කතාවකටම යටින් අත්සන් කරලා සනාත (endorse) කලා. මේ කතාවල් අහන්න-අහන්න, මේ වගේ එකක් අයිති කර ගැනීමේ , නැතිනම් පැදලා බැලීමේ, එහෙම නැතිනම් අඩුමගානෙ තරබාරු රත්වත්තබෝයි මේකෙ නැගලා පදින හැටි දැක ගැනීමේ නොසංසි‍ඳෙන දොළ දුකකින් මම පීඩා වින්දා. මේ වගේ අහස්යාත්තරාවක නැගලා ඉස්කෝලෙ පිට්ටනියේ සීසෝ, ඔංචිල්ලා, මැට් ස්ලයිඩ් වලට උඩින් එහාට මෙහාට පියාඹනවා මම හැමදාම හීනෙන් දැක්කා. සමහර හීනවල මට අහස්යාත්තරාව නැතුව, නිකම්ම අත්ත‍ටු ගහලා පිට්ටනියට උඩින් පියාඹන්න පුලුවන් වෙච්ච දවසුත් තිබුනා.

Biker Dad බයිකර් ඩෑඩ්

ඒ හතරෙ පංතිය. මම ඉඳගෙන හිටියේ ඔලුව ඉදිමිච්ච, කයිවාරු කාර, දම්මිකයත් එක්ක එකම පේලියෙ. දම්මිකයි මායි අපි දෙන්නට මැද්දෙන් ඉඳගෙන හිටපු කෙලි පැටික්කිගෙ අත පතා නොනවතින, සනාතන අරගලයක නිරත වෙලා හිටියේ. කෙල්ලගෙන් හිනාවක් බැල්මක් ලබාගන්න අපි නොකරපු දෙයක් නැති තරම්.

දම්මිකගෙ පවුලට මට මතක විදියට පත්තර හෝ ලොත‍රැයි හෝ ඒ දෙකටම නියෝජිතකමක් තිබුණා. ලොත‍රැයි නියෝජිතකම මට මතක, ධම්මිකයා නිතර කයිවාරු ගහන වෝක්ස්වාගන් බීට්ල් කාර් එකේ ජනේලෙකින් එලියට දාපු ලොත‍රැයි පොල්ලේ, ටින්ටැක්ස් වලින් හයිකරපු ලොත‍රැයි හුළ‍ඟෙ සට සට ගා ත‍ටු ගසමින්, ධම්මිකයගෙ අම්මයි තාත්තයි නගරෙ සැරි සරන මනෝ චිත්‍රයක් මගේ හිතේ ඇඳිලා තිබුණ නිසා. මේක හුදෙක්ම මනෝ චිත්‍රයක් මිසක් මම කිසිදාක දැකපු දෙයක් නොවෙන්න හොඳටම ඉඩ තියෙනවා. අනිත් කාරණාව මේවා පස්සෙ කාලෙක ආව සූරණ ක්ෂණික ලොත‍රැයි නෙවෙයි. පළවෙනි දිනුමට ලැබෙන කාර් එකේ පින්තූරයක් හෙම තිබුන, සාමාන්‍ය ලොත‍රැයි මණ්ඩලේ ඒවා.
(පලි: මේ කතාව ලිව්වට පස්සෙ මට හිතෙනව ඇත්තටම ලොත‍රැයි ඒජන්සිය තිබුනේ දම්මිකලටද කෙල්ලගෙ පවුලටද කියලා. සමහරවිට කෙල්ලට ඒජන්සියයි, කොළපාට මොරිස් මයිනර් එකකුයි තිබුනා වෙන්න පුලුවන්. අර ලොත‍රැයි පොල්ලෙ මනෝ චිත්‍රයට සම්බන්ධ මේ කාර් එක වෙන්නත් පුලුවන්.)

මට මුල ඉඳංම දම්මිකයගෙ කැටයං සහ උගේ ගොංපාට් දිරෙව්වේ නෑ. ඒකට ලොකුම හේතුව උගේ කටේ නිතර තිබ්බ උදාන වාක්කිය. ඌ උගේම පැන්සල දෙකට කඩලා, එහෙම නැතිනම් උගේ මක්කෙ කටින් දෙකට හපලා, එහෙමත් නැතිනම් සරාස් බරාස් ගාලා පොතෙන් කොල ඉරලා බෝල කරලා කුණු භාජනේ දිහාට එල්ල කරන ගමන්, “අපි නාස්ති කාරයෝ. අපිට සල්ලි ප්‍රශ්ණයක් නෑ,” කියලා කට ඇද කරල, නිකට උඩට හරවල, උඩඟු තාලෙට අර උදාන වාක්කිය කිව්වා. ඌ මේක කලේ අර කෙල්ල ඉස්සරහ ‘පොර වෙන්න’ වුනත්, අපි දෙන්නටම වඩා පොළොවේ පය ගහලා ජීවත් වුනා කියලා දැන් මට හිතෙන කෙල්ල ඒක හපන්කමක් හැටියට දැක්කෙ නෑ.

නිතර බර බර ගාන ඇඬියෙක් වුන දම්මිකයාගේ හැසිරීම කෙල්ල ඉවසාගෙන හිටියේ අමාරුවෙන් බව පේන්න තිබුනා. පුදුමේ කියන්නෙ මට දම්මිකයගෙ නම මතක තිබ්බට, ඒකිගෙ නම මතක නැති එකයි. ඒක නිකම් හඳට සම්බන්ධ නමක්. නිකං සඳමාලි වගේ, නමුත් ඒකම නෙවෙයි.

මුලදි, මම මේ දෙන්නට මැද්දෙ ඉඳගෙන හිටියත්, දම්මිකයයි මායි අතර නිතර ඇතිවෙන ගුටිබැට හුවමාරු නිසාම හෙම්බත් වෙලා හිටපු ගුරුතුමිය කෙල්ලව අපි දෙන්නට මැද්දෙන් ඉන්දන්න තරම් උපායශී වුනා. කෙල්ල දම්මිකයාටත් මටත් මැද්දෙන් ඉඳගෙන ඉන්න ගමන්ම සාමදූතිකාව හැටියටත් ක්‍රියාකලත්, අපි දෙන්නා කෙල්ලගෙ ඔලුවට උඩින් හෝ පු‍ටුවට පිටිපස්සෙන් මුෂ්ඨි ප්‍රහාර, පා පහර හුවමාරු කරගැනීම කොණ්ඩාවලින් ඇද ගැනීම සම්පූර්ණයෙන් නතර කර ගැනීමට ඇයට හැකි වුනේ නෑ. අපි සමහරවිට පැන්සල් වලින් ඇනගෙන පැන්සල් කූර කැඩිලා, හම යට ‍රැඳිලා හිටපු වෙලාවලුත් තිබුනා. ඉඳහිට එල්ලය වැරදුනු ගුටියක් සාමදූතිකාවටත් නොවැදුනාම නොවේ.

තාත්තගේ සුපිරි වෝක්ස්වාගන් බීට්ල් එකේ ඇදහිය නොහැකි බලයත් එකත් ඒක එලවපු තාත්තගේ විශ්මිත රිය පැදවීමේ හැකියාවත් ගැන දම්මිකයාගේ පම්පෝරි අපිට නිතර අහන්න ලැබුනා.

“අපේ තාත්තා අරිනවා ඇරිල්ලක් අපේ ෆොක්සැගන් එකේ…ඒ.”

“මොනවා? අර කසිකබලේ? පිටගැස්ම හැදිලා මැරෙන්නේ ඒකෙ හැපුනොත් නං.”

මේ කතාවට කෙල්ලට හිනා ගියාට අමතරව, බෝනස් දීමනාවක් හැටියට, දම්මිකයට තද වුන නිසා එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් බිම. මගෙ හිත සතුටින් පිම්බෙනවා මට දැනුනා.

“තමුසෙලෑ තාත්තගෙ අර කෑලි හැලෙන හුචක්කු BSA මෝට සයිකල් කබල වගේ නෙවෙයි.”

“හරි හරි. කොච්චර වේගෙන්ද ඔය යනවයි කියන්නෙ?”

“හැටට,” දම්මිකයා කිව්වා. (මේ පැයට කිලෝමීටර් නෙවෙයි, හැතැප්ම.)

“හැට? හික් හික්. හැටත් ස්පීඩ් එකක්ද ඕයි? හරි හරි. ඕක ‘ෆොක්සැගන්’ ඉබ්බෙකුට මහලොකු ස්පීඩ් එකක් වෙන්න ඇති. නමුත් අපේ තාත්තා කොහොමත් බයික් එක පදින්නෙ හැත්තෑවට . මම ටැංකිය උඩනෙ යන්නෙ, ඉතිං මට මීටරේ පේනවා.”

“අලේ යලව ඕයි. තමුසෙලෑ BSA කබල හැත්තෑවකට යයි කියලා තමයි බය! තමුසෙලෑ තාත්තා කෑලි අහුලනවා මග බැහැ බැහැ.”

“අනේ තමුසේ දන්න බම්බුව! BSA එකකට ඊට වඩා යන්න පුලුවං. හැත්තෑව කියන්නෙ නිකං සාමාන්නයෙං යන ගාන. තාත්ත කියන්නෙ ඊට හෙමිං යනකොට එන්ජිම මිස් කරනවා කියලා. හැත්තෑව කෲසිංලු.”

“හරි. දැං ඕකෙ කීයට යන්ඩ පුලුවං කියලද කියන්නෙ?” දම්මිකට කුතුහලේ.

“ස්පීඩෝමීටරේ අසූවට තියෙනවා. ඕව හදලා තියෙන්නෙ ඇරලා යන්න තමයි.” මේ කතාව මගේ කටින් පිටවුනු වහාම මම පසුතැවිලි වුනා. අපරාදේ මට තව MPH විස්සක් එකතු කරන්න තිබුනේ.

“හෙහ් හේ! ෆොක්සැගන් එකේ මීටරේ තියෙනවා අනූවට.”

නාගත්ත බව තේරුණත්. මම නෙවෙයි සැලුනේ. මම වහාම damage control mode එකට මාරු වුනා.

“ඒ වුනාට දැං ඒකට සීයට යන්න පුලුවන්.”

“හම්බෝ තමුසෙ කෙලින පච. හරි. කොහොමද කියනවා.”

“දම්මික, තමුසෙ දන්න බම්බුවක් කතා කරනවා. ස්පීඩෝමීටරේ අසූව ලඟ තියෙනවා චූටි ඉඳිකට්ටක් වගේ කණුවක්, කට්ටට ඊට එහාට යන්න බැරි වෙන්න. ගිය සුමානේ තාත්තයි මායි ගමනක් ගිය වෙලාවේ තාත්තා කැරකෙව්ව ඇක්සලරේටරේ ලෙල්ලටම යන්ඩ. මීටරේ කට්ට අර කණුවට තදවෙලා ඒ කණුව කැඩිලා ගියානෙ ටකස් ගාලා. දැං යන්න පුලුවං සීයට කිසි කතාවක් නැතුව කණුව නැති නිසා.

මේ කතාව කොයිතරම් අල්ලෙ පැලවෙන දේශපාලන මට්ටමේ කෙබරයක් වුනත්, අපි දෙන්න වගේ වාහන පිස්සුවක් හෝ දැණුමක් නොතිබුන කෙල්ල විතරක් නෙවෙයි, සියල්ල දත් දම්මිකයාවත් ඒකට අභියෝග නොකරපු එක මට පුදුමයක් වුනා. මම ජයග්‍රහණය නිහඬව, හැකි තරම් නිහතමානීව විඳ දරාගත්තා.

එදා හවස තාත්තත් එක්ක බලංගොඩ නගරයට ගිය වෙලේ දු‍ටු කොළ පාට වෝක්ස්වාගන් එක දම්මිකලගේ එක විය යුතුයැයි මට හිතුනා. දම්මිකයාත් ඉන්නවාදැයි මම එබී බැලුවත් එහි සිටියේ සිග‍රැට්‍ටුවක් තොල් අතර සිරකරගෙන රිය පැදවූ දම්මිකගේ තාත්තා විය හැකියයි මම අනුමානකරපු පුද්ගලයා විතරයි. පසුව තාත්තා ටැංකියට පෙට්‍රල් පුරවාගනිමින් සිටිද්දී මේ කොළපාට වෝක්ස්වාගන් රිය වෝක්ස්වාගන් වලටම ආවේනික මිහිරි හඬ නගාගෙන ඕලුගන්තොට පැත්තට වේගයෙන් යන හැටි මම බලා හිටියේ ඊර්ෂ්‍යාවකින්.

පසුදාත් පන්තියේදී දම්මිකත් මාත් සුපුරුදු ලෙස අං පටලාගත්තා.

“ඊයෙ අපි දැක්කා තමුසෙලගෙ මහ ලොකු කාර් එක. තාත්තයි මායි.”

“ආ, අපිත් දැක්ක තමුසෙලගෙ තාත්තගෙ බයික් එක කරත්තෙකට ඉස්සර කරන්න මාර ට්‍රයි එකක් දෙනවා.”

මේ කතාවට මට මාරාවේශවුනත් මම ඒ බව පෙන්නුවේ නෑ. වැඩේ තවත් අන්දොස් වුනේ කෙල්ලත් ඒ කතාවට ‘හිකි-හිකි’ ගාන්න ගත්ත නිසයි. මම පසු බැස්සේ නෑ.

“මොනවා? තමුසෙලෑ තාත්ත විතරනෙ ඒ හුචක්කුව ඇතුලෙ හිටියෙ. වෙන කවුරුත් හිටියෙ නෑ.”

“හරි හරි. තාත්තා අම්මවයි මාවයි කඩේ ලඟ බස්සලා ඕලුගන්තොට ගියා.”

“ආහ්-හා. ඒ වෙලාවෙ තමයි ඒ වැඩේ වුනේ.”

“මොන වැඩේද?” දම්මිකයා ප්‍රශ්ණාර්ථයක් මුහුණට නගාගෙන මං දිහා බලලා ඇහුවා.

“අපිත් ගියා ඕලුගන්තොට. මගක් යනකොට තමුසෙලෑ තාත්තා ඇවිත් අපිට ඉස්සර කලා නිකං චැලන්ජ් කරන්න වගේ.”

දම්මිකයගෙ මූණෙ ජයග්‍රාහී හිනාවක් මතුවුනා. මට පිස්සු හැදීගෙන එනවව වත්ද කියලා කෙල්ලත් ඇස් පුංචි කරලා මා දිහා බැලුවා.

“ඒක තමයි මං කිව්වේ. තමුසෙලෑ BSA ක‍ටුවට අපේ බිට්ල් එකේ නැට්ටවත් අල්ලන්න බෑ කියලා.”

“ඉතිං පොඩ්ඩක් ඉන්නවකෝ. අපේ තාත්තට මේක ඇල්ලුවෙ නෑ. එයා කොහොමත් ඔය පුස් පාට් අල්ලන්නෙ නෑනෙ.
එයා “හයියෙං අල්ලගන්න පුතා” කිව්ව මට.
ගියර්ස් දැම්ම ටට්ටට් ගාලා,
කැරකෙව්ව ඇක්සලරේටරේ.
පන්නගෙන ගියා.
තමුසෙලෑ තාත්තත් ලෑල්ලටම පාගනවා.
ඒ වුනාට අපි බොහොම ලේසියෙන් අල්ලගත්තා තමුසෙලෑ කාරෙක. දැං ඔන්න අපි තමුසෙලෑ කාරෙක පහු කරනවා. එක පාරටම තාත්ත තමුසෙලෑ තාත්තගෙ ජනේලෙ ගාවා පොඩ්ඩක් ස්ලෝව් කලා. මම බැලුවා ස්පීඩෝමීටරේ. හැත්තෑවයි අර වංගු වංගු පාරෙත්. දැං ඔන්න තව වංගුවක් ඉස්සරහ ලඟ ලඟම. අපේ තාත්තා කූල් පිට ගත්ත සිගරට් එකක් බයික් එක දකුණු අතින් පදින ගමන්. අරං ‍ෆිල්ටරේ තමුසෙලෑ කාරෙකේ වහලෙ තුන් පාරක් තට්‍ටු කලා.

ඉන් පස්සෙ තමුසෙලෑ තාත්තගෙ දොරට තට්‍ටුවක් දාලා ඇහුවා, “යාලුවා, ගින්දර පොඩ්ඩක් දෙනවද?” තමුසෙලෑ තාත්තාට ෆුල් අප්සෙට්. එයා දුන්නා සිගරට් එක. අපේ තාත්තා ඒකෙන් එයාගෙ එක පත්තු කරගෙන සිගරට් එක ආපහු දුන්නා. දීලා ”
තෑන්ක්යූ. බායි!” කිව්වා.
කැරකෙව්ව ඇක්සලරේටරේ.
හ්ර්වෑංංංං ගෑවා.
අපි ගියා.
මීටරේ අනූවයි.
මම තාත්තගෙ උරෙස්ස උඩින් ආපහු හැරිලා බැලුවා. බීට්ල් එක හෙන ඈත බඩ ගානව පේනවා. වංගු දෙකක් පහුවුනා තමුසෙලෑ තාත්තාගෙ ලකුණක්වත් නෑ. අපි ඕලුගන්තොටින් පත්තරේ අරගෙන ආපහු එනකොට තමුසෙලෑ තාත්තා හම්බවුනා තාම ඒ පැත්තට යනවා.”

දම්මිකගෙ ඇස් දොට්ට පැන්නා. කට ඇරිලා එල්ලුනා. පොර මං දිහා බලා හිටියේ අදහගන්න බැරුව. කෙල්ලත් අවශ්‍ය ප්‍රමාණයට, නියමිත මාත්‍රාවට හොල්මං වෙලා බව පේන්න තිබුනා.

“සවුසේ (තමුසෙ) පච කෙලින්නෙ. තාත්තා ඔහොම කතාවක් කිව්වේ නෑ. සවුසේ මහ ටොම් පචයෙක්.”

“හෙහ් හෙහ් හෙහ්! තාත්තා ඕක කියයි කියල තමයි බය! තමුසෙ හිතන්නෙ තාත්ත ඕක කියයි කියලද? කාටවත්? කවදාවත්?”

වැඩේ වකූරු වූ බව දැනගෙනදෝ දම්මික කට පියා ගැනීමට තීරණය කරපු බව පෙනුනා. මට පුදුම ඉන් පස්සෙ දවසකවත් මං අතෑරපු මෙගා සයිස් ගජබින්නෙට අභියෝග කරපු බවක් මට මතක නැති හන්දයි.

Originally published @ HeyDude in English Language as
MY TALLEST TALES EVER

 

ටැග:

2 responses to “182.ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි

  1. Ajith Dharma

    නොවැම්බර් 7, 2016 at 4:45 පෙ.ව.

    හිනා කාල මරුන බන්. මහා ටොම් පචයෙක් උඹත් .

     
  2. sarath perera

    නොවැම්බර් 7, 2016 at 6:08 පෙ.ව.

    Harima asawen kiyewwa!

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: