RSS

Category Archives: අභියෝග

180. උණුවන හදවත / The Kindhearted One!


0003

ඔහු කොහොමත් සතුන්ට ආදරෙයි, විශේෂයන්ම බල්ලන්ට. ඒ වගේමයි බල්ලොත් ඔහුට පෙන්නුවේ කොන්දේසි විරහිත ආදරයක්. ඔහු කොහේ ගියත් නාඳුනන බල්ලෝ ඔහු හොයාගෙන ඒම නිතර සිදුවුන දෙයක්. අවාසනාවකට වගේ ඔහුගෙ ළමාවිය ගතකරන්න සිදුවුන රටේ ගුවන් තො‍ටුපළේම ප්‍රදර්ශණය වුනු තහනම් භාණ්ඩ දැන්වීමේ ඩාට් තුවක්කු, ගිණි අවි, ආගමික සංකේත, ඇල්කොහොල්, ඌරුමස් හා ඌරුමස් අඩංගු නිෂ්පාදන වලට අමතරව බල්ලොත් ඇතුලත් වුන නිසා ඔහුට මාලු ටැංකියකින් පමණක් සෑහීමට පත්වෙන්න සිදුවුනා.

පාසැල් ජීවිතය හමාර කල ඔහු දෙමාපියන්ගෙන් වෙන්වී ආපහු මව්බිම බලා ආවේ දුරු රටක සිට ආපසු පැමිණෙන සොයුරිය මව්බිම බලා ආ දවසෙමයි. මුල දින කීපය අක්ක මලෝ දෙදෙනා ගෙදර ගතකලත් අගනුවරට තිබූ කිලෝමීටර තිහකටත් අඩු දුර යන්නට පැය එකහමාරකට වඩා කොටමින් කාලය කන පොදු ප්‍රවාහන සේවය නිසා ඔවුන් අගනුවරින්ම අක්කාත් සමග දුර ඈත රටේ ඉගෙනුම ලබමින් සිටි යෙහෙළියකද සමග එක්ව මහල් නිවාසයක් කුලියට ගත්තා

එතෙක් කල් යදම් ලා බැඳ සිත්වල සිර කරගෙන තිබූ බලු පැටවෙකු හදා ගැනීමේ සිහිනය සැබෑවක් කරගැනීමට දෙදෙනාටම සිතුනෙ මෙවිටයි. මල්ලියාට ඕනෙ වුනේ හොඳ වර්ගයක වංශක්කාර බලු පැටියෙකු හදා වඩා ගන්නවාට වඩා, නිවසක් අහිමි අසරණ සාමාන්‍ය බලු පැටවෙකුට සෙවනක් දෙන්නයි. වැඩියෙන්ම අමාරු වුනේ මෙවැනි තට්‍ටු නිවාසයක සිට සතෙකු හදාගැනීම දහසක් බාදා මැද වුවද කල හැකි දෙයක් බව දෙමව්පියන්ට ඒත්තු ගැන්වීමයි. ඇත්තෙන්ම මිදුලක් වත්තක් නැති මහල් නිවාසයක බලු පැටවෙකු හදා ගැනීම අන්තිම අමාරු දෙයක්. ඉගෙනුම් වැඩ අස්සේ බලු පැටවෙකු වෙනුවෙන් වැය කිරීමට කාලයක් ඉතුරු වේවිද?  ප්‍රශ්ණ වැලයි. නිවාස හිමියා මොනවා කියයිද? අසල්වැසියෝ පැමිණිළි කරයිද?

0001වාසනාවකට මෙන්, අක්කාගෙ යෙයෙළිය බලු පැටවා ගෙන ඒමට විරුද්ද වුනේ නෑ. සමහරවිට ඇගේ ගෙදරත් බල්ලන් දෙදෙනෙකුම සිටින නිසා වෙන්නැති. ඉන් පස්සේ එළඹුනේ අන්තර්ජාලයේ සැරිසරමින් සුදුසු බලු පැටවකු සෙවීමේ කාර්යයයි. ගිගා බයිට් බර ගණනක් ඇවෑමෙන්, මේ සතියක් වයසැති බලු පැටවා සොයාගන්නට ඔවුනට හැකි වුනා. නිවසක් අහිමි ඇය කාරුණික හාම්පුතෙකු එනතෙක් බලාසිටියා. අක්කාත් මල්ලීත් දු‍ටු වනම ඇයට කැමති වුනා.

අවසානයේ බලු පැටවා ගෙදර ගෙන ආ දවස කාටත් ප්‍රීතිදායක එකක් වුනා. අක්කාත් මල්ලිත් බලු පැටවාගේ මල මුත්‍ර ඉවත් කරමින්, ලයිසෝල් දියරයෙන් බිම තෙත මාත්තු කිරීම හවුලේ කලා. බලු පැටවකු හදා ගැනීමට භාර ගැනීම, අක්කාත් මල්ලීත් යාමට සැළසුම් කරගෙන තිබූ සියළුම විනෝද ගමන් අවලංගු කර දමා, ඔවුන්ව ගෙදරටම බැඳ තබන සිදුවන යදමක් බවත්, අසල්වැසියන්ගේ ‍රැවුම් ගෙරවුම් ඉවසා දරාගැනීමට් දීමට සිදුවන මහා වගකීම් වැලක ආරම්බය බවත් බව දෙමව්පියන් මතක් කරදුන්නා

0002අක්කාත් මල්ලීත් තමන්ගේ වියදමට ලැබෙන මුදලින් බලු පැටවාට අවශ්‍ය උපකරණත්, පුලුන් පිරවූ සෙල්ලම් බඩුත් මිලදී ගත්තා. බලු පැටවාගේ කෑම වියදමෙන් අක්කාත් මල්ලීත් නිදහස් කරමින් දෙමව්පියෝ වෙනම බලු ගිණුමක් පවත්වාගෙන ගියා. අර පුළුන් පිරවූ සෙල්ලම් සතුන්ගේ ආයුෂ ඉතාම කෙටි වුනේ ඇය ඒවා හපා ඉරා පුලුන් ගෙබිම පුරාම ඉහිරවූ නිසයි. ඉන් පසුව ඇය උන්ගේ හම සමග සෙල්ලම් කරමින් සතු‍ටු වුනා.

ඇතැම් විට අක්ක මලෝට තරහ ගියේ මෙතරම් ආදරය කරද්දීත්, ඈ නිතර ගෙදරින් පළාගොස් අසල්වැසියන්ගේ නිවෙස්වල සැඟවීම ගැනයි. “එයා හැසිරෙන්නෙ හරියට අපි එයාව හිරකරගෙන වද දෙනවා වගේ,” ඔවුන් නිතර කිව්වා. අලුත් අවුරුද්දට හා වෙනස් උත්සව වලට ලැබුණු ආරාධනා බොහෝ විට ප්‍රතික්ෂේප කරන්නට අක්ක මලෝට සිදු වුනේ බලු පැටවා දමා යාමේ ප්‍රශ්ණය නිසාමයි. අවසානයේදී දෙදෙනාටම නිවාඩු කාලයක් ලැබුණු විට බලු පැටවාත් සමග ගෙදර යාම සඳහා ත්‍රිරෝද රථයක් කතා කරගන්නට සිදුවුනේ පොදු ප්‍රවාහණ සේවාවල බලු පැටවෙකු ගෙනයාමට ඉඩ නොදෙන නිසයි. අවසානයේ ගෙදරට ගිය විට, කිසිදා තණකොල දැක නොතිබුණු බලු පැටවා කෙතරම් සතු‍ටු වුනාදැයි දැකගන්නට ලැබුනා. ඇය තණ අතර පෙරළෙමින්, සමණළයන් පසුපස හඹායමින්, මිදුලේ වලවල් හාරමින් ජීවිතයේ ලැබූ වින්දනාත්මකම අවධිය ගතකරනු දැක අක්ක මලෝ සතුටින් හිනැහුනා. සියළු යහපත් දේ මෙන්ම නිවාඩුවත් අවසානයට ලඟා වුනේ කාටත් නොදැනීමයි. බල්ලෙකු බිරීම ගැන කිසිවෙකු පැමිණිළි නොකරන, වද නොවන ක්ෂේම භූමියක් හැරදා අගනුවර ක‍ටුක යථාර්ථය වෙත ආපසු යාමේ දිනය එළඹ තිබුනා.

0004දෙමාපියන් සති හයක නිවාඩුවක් සඳහා මව් රටට පැමිණි විට නැවතත් එවැනිම ප්‍රීතිමත් කාලයක් උදාවුනා. මෙවර තමන්ගේම වාහනය නිසා ප්‍රවාහනය ප්‍රශ්ණයක් වුනේ නෑ. දෙමාපියන්ව උණුසුම්ව පිළිගත් බලු පැටවා ඔවුන්ගේ හදවත්වලටත් කෙටි කලකින්ම ඉතාම සමීප වුනා. අක්කාටත් මල්ලීටත් ඉමහත් සැනසුමක් ගෙන දෙමින් බල්ලාගේ උදෑසන රාජකාරි දෙමව්පියන් බාරගත්තා.

0005ඇත්තෙන්ම ව්‍යන්ධානකරණ සැත්කම සඳහා ඇය නිර්වින්දනය කලවිට තාත්තා දෑසට නැගුනු කඳුලු සඟවා ගත්තේ ආයාසයෙන්. ඔවුන් බලුපැටවා ලබාගත් ආයතනය මෙම සැත්කම ඔවුන්ගේ වියදමෙන් කරදීමත් පොරොන්දුවී තිබුනත්, එය තමාගේ වියදමින් කිරීමට මල්ලීට උවමනා වුනා. ” අර බලු පැටව් ඔක්කොටම ගෙවල් හොයල දෙන්න තියෙන ප්‍රශ්ණෙම ඒ ගොල්ලන්ට ඇති. එයාලට තවත් බරක් වෙන්න බෑ,” මල්ලි කිව්වා. නිවාඩුව අවසන් වී දෙමව්පියෝ ආපසු යද්දී ආපසු අගනුවරට යාමට අක්කා මලෝට සිදුවුනා. බලුපැටවාත් දවස් ගණනාවක් කණස්සල්ලෙන් ගතකලා.

කතාව කෙටියෙන් කිව්වොත් මල්ලී බලු පැටවාත් සමග පාරේ ඇවිදින්න යන විට සමහර අසල්වැසියන් රවන්නට සහ අප්‍රසන්න බැලුම් හෙලන්නට පටන් ගෙන තිබුනා. පඩිපෙලේ වූ අයිතිකරුවකු හඳුනාගත නොහැකි බලුබෙටි සහ සැකසහිත බලු මුත්‍රා කඩිති අනිවාර්යයෙන්ම මේ බලුපැටවාගේ ගිණුමට බැරවුනා. දෛවයේ සරදමකටදෝ, එම තට්‍ටු නිවාසයේම වෙනත් මහලක විසූ මුස්ලිම් සොහොයුරෝ දෙදෙනා බලු පැටවා දු‍ටු පමණින් බියෙන් තැති ගැනීමටත් මුහුණ ඇදකර පිළිකුළ ප්‍රකාශ කිරීමටත්, නිරන්තරයෙන්ම තට්‍ටු නිවාස අයිතිකරුට පැමිණිළි කිරීමටත් පටන් ගත්තා.

මේ සියලු හැල හැප්පීම් මැද වසරක් ගෙවී ගියා. බලු පැටවාත් සිරුරින් වැඩෙද්දී අසල්වැසියන්ගේ කෙණෙහිළිකමුත්, පැමිණිලිත් එසේම ලියළා වැඩුනා. ඇතැම් දිනවල අක්කා මලෝ කොතරම් චිත්ත පීඩාවට පත්වුනාද කිවහොත් ඔවුන් සනසන්නට දෙමාපියන්ට ස්කයිප් හරහා සෑහෙන දේ කියන්නට සිදුවුනා.

0006වැඩේ කෙතරම් දුරදිග ගොස් ඇතිදැයි කාටත් තේරුණේ තට්‍ටු නිවාස හිමියා බලු පැටවා තබා ගන්නේ නම් බද්ද අලුත් කිරීමට එකඟ නොවූ නිසයි. බලු පැටවා ආපසු ලබාගත් ආයතනයටම බාර දීමට දෙමව්පියෝ පෙ‍රැත්ත කල නිසා අක්ක මලෝ අවසානයේදී අකැමත්තෙන් එකඟ වුවත් එය පහසු කටයුත්තක් වුනේ නෑ. අම්මා දිනපතා අන්තර්ජාලයේ පැයගනන් කල්මරමින් බල්ලා තබාගැනීමට ඉඩ දෙන ගෙවල් අගනුවරින් හෙව්වා. ඒ ගෙවල් බලන්නට යමින් අක්ක මලෝ විඩාවට පත් වුනා.

0007අවසානයේදී මේ තට්‍ටු නිවාසය හැර දමා බලු පැටවා තබා ගැනීමට අක්කා මලෝ දැඩි තීරණයක් ගත්තා. ‘බලු පැටියා දැන් අපේ පවුලේ කෙනෙක්. අපි පවුලේ කෙනෙක් අතෑරලා දාන්නෙ නෑ මොනවා වුනත්,’ ඔවුන් කිව්වා. බලු පැටවාත්, තමන්ගේ සියළුම බඩුබාහිරාදියත් පටවාගෙන ඔවුන් ආපසු ගෙදර ආවා. මේ තීරණයෙන් ඔවුන්ට බොහෝ දේ කැපකිරීමට සිදුවුනා. දැන් ඔවුන්ට අධ්‍යාපන කටයුතු වලට අගනුවරට යාමට උදේ‍රැයින්ම අවදිවීමට සිදුවුනා. බස්වල පැය ගණන් ගතකර විඩාවට පත්ව ගෙදර ඒමට සිදුවුනා. ඔවුන්ගේ අරමුණ වුනේ ගෙදර සිටින ගමන් බලු පැටවා තබාගතහැකි කුඩා නිවසක් අගනුවරින් සොයා ගැනීමයි.

මල්ලි බලු පැටියාට පෙන්නුවෙ පුදුමාකාර බැඳීමක්. බලු පැටියාව ඇඳට ගොඩවී නිදාගැනීමට ඉඩ දීම ගැන දෙමාපියෝ කොපමණ කෑ ගැසුවත් ඔහු නෙවෙයි ඒ කණකට ගත්තේ. ගේ අසලින්ම දිවෙන මහපාර ගෙතුලක ඇති දැඩිවූ, පාර නුහුරු බලු පැටවාට මාරකයක් නිසා ගෙතුල නොසිටිනවිට ඇයව ඉස්තෝප්පුවේ කුළුනකට ගැටගසා තිබුනා. ඇයට නිදාගැනීමට පු‍ටුවක් හා කොට්ටයක් තිබුනා. සීතල දිනවල ඇයව පොරවා තැබුනා.

බලු පැටවා ආදරයෙන් ‍රැක බලා ගැනීමට කැමතිවුනු, දැනටත් බලු පැටවෙක් හද වඩා ගන්නා මේ ගැහැණු ළමයා ගැන අක්ක මලෝට ආරංචි වුනේ මේ අතරයි. බලු පැටවාව ඇයට බාරදී, බලු පැටවා තබාගැනීමට ඉඩ නොදෙන නමුත් අනිකුත් සෑම පහසුකමක්ම පාහේ තිබූ අගනුවර නවාතැනකට යාමට ඔවුන් එකඟවුනා. මේ මල්ලීට ඔහුගේ ජීවිතයේදී ගැනීමට සිදුවූ ඉතාමත්ම දුශ්කර තීරණයන්ගෙන් එකක් වුනා. “මම මේක කරන්නෙ මේක එයාට යහපතක් නිසා. එයා අපිත් එක්ක හිටියොත් එයාට දුක් විඳින්න වෙනවා.” මල්ලි කිව්වා. කොල්ලෝ අඬන්නෙ නෑ යන මතයේ හිටි නිසා කඳුලක් නොහෙලුවත් ඔහු සිතින් වැලපෙන බව දෙමව්පියෝ දැක්කා. බලු පැටවා බාර දීමට ඒ ගැහැණු ළමයා පදිංචි කිලෝ මීටර අනූවක පමණ දුරකින් පිහිටි නිවස වෙත යාමට තීරණය කල දිනට පෙරදින ඔවුන් දෙදෙනා බලු පැටියා සඳහාම විශාල කුකුළකු මිළට ගෙන රසවත්ව පිස, සමුගැනීමේ භෝජනයක්ද පිළියෙල කලා. මල්ලීට දහ අටවන උපන්දිනයත් සමගම රියැදුරු බලපත්‍රයත් ලබාගත් බැවින් හා ගෙදර වාහනයත් ඇති බැවින් ප්‍රවාහනය ප්‍රශ්ණයක් වුනේ නෑ. නමුත් දෙමාපියන් තදින්ම ඉල්ලා සිටි එකම දේ වැඩිහිටියකු වශයෙන් මාමාද වාහනයේ නංවාගෙන යන ලෙස පමණයි.

හැම දෙනාම සිතින් වෛරකල ඒ අප්‍රසන්න දවස උදාවුනා. නමුත් ඔවුන් ඒ ගමන ගියේ නෑ. “අපි ආපහු කලින් වගේ අගනුවර හිර ගෙදරක් හොයන්නෙ නැතුව, නිදහසේ ගෙදර ඉඳලා බස් එකේ අගනුවර යන්න තීරණය කලා. අපිට මෙච්චර හොඳ, ලොකු, ඉඩ තියෙන, වත්තක් තියෙන ගෙදරක් තියෙද්දි, (මෙය හුදෙක් අගනුවර කුඩා තට්‍ටු නිවාසය හා සැසඳීමක් පමණි. පර්චස් පහළොවක අවුරුදු දහ අටක් තිස්සේ තවමත් ටික ටික ගොඩනගන නිවස පිළිබඳ වත්කම් ප්‍රකාශයක් නොවේ) අපි මොකටද මේ එක එක ගෙවල් අයිතිකාරයින්ගෙ නීති රීති වලට යටවෙලා ජීවත් වෙන්නෙ එහෙ ගිහින්?” අක්ක මලෝ තමන්ගෙ තීරණය දැනුම් දුන්නා.”අපි හොඳට හිතලා මේ තීරණය ගත්තේ.”

මේ නම් තමන්ගේ යහපතට නොව බලු පැටියාගේ යහපතට ගත් තීරණයක් බව කාටත් වැටහුනා. තමන් වෙනුවෙන් මේ දරුවන් දෙදෙනා කරනා මේ සා කැපවීම් ගැන බලු පැටියාට හැඟීමක් ඇද්දැයි ඇතැම් විට දෙමාපියන්ට සැක පහල වුනේ ලද හැම අවසරයෙන්ම කරපටිය හපාදමා, ලෝකය දැකීමට පැනයාම ඇගේ සිරිත වූ නිසයි. මේ හැම විටම ඈ ආපසු ගෙන එනු ලැබුවත් මේ අවසන් වරට ඈ පැනගිය විට ඇය සොයා නොයන ලෙස දෙමාපියන් තරයේ අවවාද කලා. ” එයාට අගයක් නැතිනම් ඔය දෙන්න එයා වෙනුවන් කරලා තියෙන දේවල්, ඔහේ ගියදෙන්.” අවවාදය පිළිගත් අක්කා මලෝ නිහඬ වුනා.0008

දින දෙකකට පස්සේ උදෑසන අක්කා ඉදිරි දොර අරිද්දී බලු පැටවා ආපසු පැමිණ පු‍ටුවේ නිදාගෙන සිටියා. ඉතාම අපිරිසිදුව, හාමත්ව, පිපාසිතව සිටි ඇගේ ඇස්වල දැඩි වරදකාරී හැඟීමකුත්, අතක තරමක් තුවාලයකුත් දකින්න ලැබුනා. , තමා පි‍ටුපා ගියේ කෙතරම් ආදරණීය සෙනෙහෙබර පවුලක්දැයි තේරුම් ගත් ඈ අවසානයේදී ආපසු ඒ සෙනෙහස ‍රැකවරණය සොයා පැමිණ තිබුනා.

0009ආහ් මට තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්නත්. අද (ජූලි විසි අට) ඒ මල්ලිගේ උපන් දිනේ. උණුවෙන හදවතක් ඇති අපේ චූටිපුතා හිරුෂට සුභ උපන් දිනයක්.                

 

 

 

 

 

 

 

 

 

 

0010

0011

00120014

 

ටැග: , , ,

122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා. සීමිත විෂය මාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසි කරන්නත් බැරි ජීවී විශේෂයක්. මේ පන්තිවල උගන්නන්නෙ ආගම, මව් භාෂාව , ඉංග්‍රීසි, විත්‍ර සහ ගණිතය විතරයි. උදේ ඉඳලා පීරියඩ් හතරයි වැඩ. ඉන්ටවල් එකට ගෙදර ගියාම ආයෙ එන්න ඕනෙ නෑ අනිත් සාමාන්‍ය ළමයි වගේ. ලිමිටඩ් කරිකියුලම් කියන ඒකට යන, ගිය ආත්මේ ගෙවාගන්න බැරි පාප කර්ම කරලා තියෙන අවාසනාවන්ත ගුරුවරු කවුරුත් ඒකට කියන්න අපාය තමයි. අපායට යන්න කලින් මම රවියගේ වාංපතුල් ගැනත් ජනුවගේ තාත්තගේ කිරි බෝතලේ ගැනත් කියවලා මූඩ් එක හදාගෙන ගියේ.

මම කලිනුත් කියලා තියෙනවා වගේ, අර යාඥාවක් එහෙම කරලානේ ඔය පන්තියට යන්නේ. මේකට ඇතුල් වෙන්නෙත් ඔය සාමාන්‍ය පන්තියකට ඇතුල් වෙන විදියට නෙවෙයි මම නම්. දොර ලඟට ගිහින් ඉස්සෙල්ලම දොරබෝලෙ කරකවලා බලනවා. ලොක් කරලා නම් එහෙමම ඉන්නවා කවුරුහරි ලොක් එක අරිනකල්. නැති නම් බෝලෙ කරකවලා, අඟලක් දොර අතින් තල්ලු කරලා අත ගන්නවා. ඒ එක්කම අඩියක් පස්සට අරගෙන, සපත්තුවේ ටෝ එකෙන් දොර තල්ලු කරලා තව අඩියක් පස්සට අරන්, බලා ඉන්නවා දොර මුල්ලක් ඉතිරි නොවී දොර සම්පූර්ණයෙන් බිත්තියට ගිහින් හේත්තු වෙනකල්. මේ ඔක්කොම කරන්නෙ දොර බූබිට්‍රැප් කරලා තියෙන්න පුලුවන් නිසා. ඊට පස්සෙ උඩ සහ වම හොඳට බලලා සැක හැරගෙන තමයි පන්තියට ඇතුල් වෙන්නෙ.

ඉතින් වෙනද වගේම මම හිල් කලේට වතුර අදිමින් විනාඩි විස්සකට වඩා වැය කලා. මතක තියාගනිල්ලා. මේ පන්තියෙ විනාඩියකට තප්පර හයසීයක් තියෙනවා. වෙන පන්තිවලට ගුරුවරු ගියාම ළමයි නිතර ඔරලෝසුව දිහා බලනවා ඒක නැවතිලාද කියලා දැනගන්න. අපායට ගියාම, නිතර ඔරලෝසුව දිහා බලන්නෙ ගුරුවරු, ඒක නැවතිලාද කියලා දැනගන්න.

මාත් ගිහින් තනියෙම පාඩමක් කරනවා. මම හිතන්නෙ මේ අපාය කියන පන්තිවල වැඩ කෙරෙන හැටි පොඩ්ඩක් විස්තර කලොත් හොඳයි, කොයි ගුරුවරයා ගියත්, හොඳ හෝ නරක.

ගුරුවරයට කුණුහරපෙන් බනිනවා මව් භාෂාවෙන්. තව එකෙක් කඩදාසි බෝල විසිකරනවා. එක කඩදාසි බෝලයක් ගුරුවරයගේ කණ ගාවත් වදිනවා. භැමෝම හිනා වෙනවා. ගුරුවරයා මොකුත් නොවුන ගානට ඉන්නවා. නැගීගෙන එන, පහළ අපායේ පන්තියෙන් එලියට දාලා ඉන්නවුන් මේ පන්තියෙ උන්ට, ජනේලෙන් කෑ ගහනවා. මේ පන්තියෙ උන් පැනලා ජනේලෙන් අත දාලා අරුන්ගෙන් එකෙක්ව අල්ලාගෙන ජනේලෙන් ඇතුලට අදින්න හදනවා, කෙල්ලො, කොල්ලන්ව වට කරගෙන අතේ පච්ච කොටවා ගන්නවා. තව එකෙක් චිත්‍ර අඳිනවා. තව එකෙක් ඔහේ බලාගෙන ඉන්නවා. එකෙක් පාර පැත්තෙ ජනේලෙ ගාවට දුවලා පාරෙ යන ගෑණියෙක්ගෙ පස්ස වැනෙන හැටි දැකලා කෑගහලා, අනිත් උන්ටත් කියනවා. කට්ටියම ජනේලෙ ගාවා. ගුරුවරයා එතනට ගිහින් අරුන්ට කෑගහනවා, ‘ගිහිල්ල ඉඳගනිල්ලා’ කියලා. අරුන් ගුරුවරයට අර ‘පස්ස’ පෙන්නලා කියනවා, ‘පට්ට කෑල්ලක් යනවා සර්, අර බලන්ඩකො, මට ම්ම්ම්ම් හිතෙනවා…’, කියලා. ගුරුවරයා ආයෙම බලනවා ඔරලෝසුව නැවතිලාද කියලා.

ඔන්න ඔයාකාරයි.

දැන් ඔන්න නිතරම සින්දු කියන බෙර ගහන එකෙක් ටොයිලට් එකට ගියා. ටිකකින්, පන්තියෙ අද ඇවිල්ලා ඉන්න උන්ගෙන් ජරාම එකා වගේම, පන්තියෙ ජරාම උන්ගෙන් එකෙකු වන සිරිමත් මගේ සකි, යහපත් ළමයෙකි තව එකෙකුත් එක්ක ජනේලෙ ගාවට දුවනවා. මේ හදලා මාස දෙකක්වත් නැති අලුත්ම බිල්ඩිමේ පන්ති කාමරයේ එක පැත්තක එලියට ඇරෙන ඇලුමිනියම් ජනේලත්, කොරිඩෝව පැත්තට පීල්ල දිගේ ලිස්සන ඇලුමිනියම් ජනේලත් දාලායි, හදලා තියෙන්නෙ.

ජනේලෙ ගාවට ගිය මේ දෙන්නා, මුලින්ම මොකක් හරි වාදයක් ගියා මව් භාෂාවෙන්. ඊට ටිකකට පස්සෙ පස්සෙ දෙන්නම ජනේලෙ වීදුරු දෙකකට අත් තියලා තල්ලු කරනවා මම බලාගෙන. ‘මේ ඕක නවත්තනවා!’ කියලා කෑ ගහල කට ගන්න හම්බවුනේ නෑ, වීදුරු ජනෙල් පියන් දෙක දඩාස් ගාලා පීල්ලෙන් පැනලා කොරිඩෝව පැත්තට පෙරලුනා. මුන් දෙන්න දඩිබිඩි ගාලා ජනෙල් පියන් දෙක යන්තම් අල්ලා ගත්තා. දැන් දෙන්න එක්ක මේක ආපහු දාන්න හදනවා, හරියන්නෙ නෑ. මොකද ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි , පියන දෙන්නෙක්වත් දෙපැත්තෙන් අල්ලන්නෙ නැතුව.

IMG_20130404_093814

දැන් දෙන්නගෙම මූණු අර ගලේ පහරපු බළල්ලු වගේ. අතෑරලා දුවන්නත් බෑ, ජනේලෙ පෙරලෙනවා, අල්ලගෙන ඉන්නත් බෑ මාට්‍ටු වෙනවා. අපරාදෙ කියන්න බෑ වෙන එකෙක්වත් මුන්ට උදව්වක් කරන්න ආවේ නෑ. ‘හක හක’ ගගා බඩවල් අල්ලගෙන හිනා වෙනවා. මම කෙලින්ම පන්තිය දාලා ගියා සුපවයිසර්ට කියන්න. සුපර්වයිසර්ට කලින් මෙන්න ප්‍රින්සිපල් එනවා කොරිඩෝව දිගේ. මම ප්‍රින්සිපල්ව දැනුවත් කරලා ආවා.

මෙහෙම නීතියක් තියෙනවා. දැන් කවුරුහරි ඩෙස්ක් එකක් පොඩි කලොත්, කුණුහරපයක් ලිව්වොත්, අතේ පච්චයක් කොටා ගත්තොත්, පරිපාලනය ඉස්සෙල්ලම ඇඟිල්ල දික් කරන්නෙ හිටපු ගුරුවරයාටයි. වැ‍රැද්ද කරපු එකාට දඬුවම් දෙන එකට වඩා ප්‍රමුඛතවයක් දෙන්නෙ ගුරුවරයට ලෙඩේ අදින්නයි. ඒක නිසා මට අනිවාරයයෙන්ම ඒක කරන්න වෙනවා.

ප්‍රින්සිපල් එනකොටත්, පොරවල් ජනෙල් වල එල්ලිලා අල්ලගෙන ඉන්නවා. පන්තිය ඇතුලේ උන් මහා හයියෙන් හිනාවෙනවා. මටත් හිත ඇතුලෙන් මැරෙන්ඩ හිනා වුනත්, මමත් සීරියස් මූණක් හදාගෙන ඉන්නවා.

ප්‍රින්සිපල්ට මුන් දෙන්නත් එක්ක මල පැනලා මදිවට, පන්තියෙ ඉන්න උන් එකිනෙකාට ගහ ගහා, බිම පෙරලි පෙරලි, හිනාවෙන එකට කරන්න දෙයක් නෑ.

ටිකකින් ආවා අර ටොයිලට් ගිහින් හිටපු එකා. මූ ප්‍රින්සිපල් ලඟ නැවතිලා කටවල් ඇරලා ඇස් රවුම් කරලා බැලුවා සීන් එක. බලලා එතනම ඉඳන් ඇතුලෙ උන්ගෙන අහනවා මොකද යකෝ වුනේ කියලා. මුන් කියනවා විස්තරේ, අතිනුත් දාලා මහා හයියෙන්. ඒක අහපු බුවා, ප්‍රින්සිපල් ගාවම බිත්තියට මිට මොලවලා ගහ ගහ, උඩ පැන පැන, හිනාවෙනවා.

ප්‍රින්සිපල් කෙනෙකුටත් පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනෙ.

ටිකකින්, ප්‍රින්සිපල් කිව්වා ඔය ජනෙල් දෙක හෙමීහිට උස්සලා අහකට අරගෙන බිත්තියට හේත්තු කරන්නය කියලා, එකෙක් නම් එහෙම කලත්, අර සිරිමත් ඒක එහෙම්මම හිර කරලා, තර්ක කරනවා ප්‍රින්සිපල් එක්ක. ටිකකින් බුවාත් ජනෙල් පියන බිම තියලා ප්‍රින්සිපල් එක්ක එකට එක කියාගන්න පටන් ගන්න කොටම බෙල් එක ගැහුවා. ඔව්! සීමිත විෂයමාලා පන්තිවලට යන ගුරුවරු කවුරුත් අර ආසාවෙන් බලා ඉන්න සද්දෙ. මම මාකර් දෙකත් සාක්කුවේ දාගෙන එලියට එනකොට එක කොල්ලෙක් දුවගෙන ආවා මාත් එක්කම.

“සර් මාත් එනවා.”

“කොහෙද යන්නෙ?”

“මම යනවා ටොයිලට් එකට.”

“දැන් එක පාරක් ගියානේද?”

“දැන් යන්නෙ හොඳට හිනාවෙන්ඩ.”

“හම් යං. මාත් මේ ස්ටාෆ් රූම් එකට යනකල් ඉන්න බැරුව ඕයි ඉන්නෙ මේක කාට හරි කියලා හිනාවෙන්න.”

ඒක අහලා, ඒකා කොරිඩෝවෙ ඉඳගෙනම හිනාවෙන්න පටන් ගත්තා.

Simulblogged @ මගේ ඩෙනිම for Blogspot Lovers.

 

ටැග: , ,

108. බාස් කතා / ගරාජ් බාස්.

108. බාස් කතා / ගරාජ් බාස්.

කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.

ඒත් මුලින්ම ‘ගරාජ් බාස්’.

ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ ‘පවර් ස්ටියරින් ‍රැක්’ එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක. මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, ‘ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,’ කියලා හිතාගෙන.

“මේකට මහත්තයෝ ‍රැක් එක දාන්න වෙනවා,” කිව්වාම මම ගල් වුනා.

හරි, ඉතින් ‍සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.

ඔය වගෙ ගැජට් එකක් දැම්මාම අනිවා වාහනේක අලයින්මන්ට් ආපහු තියන්න ඕනෙ. අලයින්මන්ට් කියන්නෙ ඉස්සරහ රෝද දෙක තියෙන්න ඕනෙ කෝණ කීපයක්. මේවා කැස්ටර්, කෑම්බර්, ටෝ ඉන් කියලා තුන් ආකාරයි. ඕක වැරදුනාම ටයර් වල පැත්තක් අධික වේගයෙන් ගෙවී යාම, වේගයෙන් ධාවනය කිරීමේදී පාලනය අපහසු වීම, වගෙ විවිධ රෝගාබාධ හැදෙනවා.

අර ගැජට් එක හයි කරලා ඉවරවෙනකොට රෑ වේගන ආපු නිසා මම ටිකක් අප්සෙට් ගහලා හිටියෙ, අලයින්මන්ට් තියන වර්ක්ෂොප් එක වැහැව්වොත් කියලා, මොකද පහුවදා ගල් පාන්දර දඹුල්ලට යන්න යෙදිලා තිබ්බ නිසා අලයින්මන්ට් තියන්න බැරිවේවි කියලා. එතකොටම අර මගෙ බාස් උන්නැහෙ බුවා කිව්වා, ‘අන්න අහවල් සුලුනගරෙ තියෙනවා අලුත් තැනක්, ගිහින් බලන්නකො නියමෙට කරනවලු’, කියලා.

මාත් අර මම වෙනදට යන තැන බලා වේගයෙන් ගමන් කරද්දි, අර කියපු සුලු නගරෙ පහුවෙනකොට වෙලාව හයත් පහුවෙලා තිබ්බ නිසාත්, අර කිව්ව අලුත් තැන තවමත් ඇරලා තිබ්බ එතැනට ගියා කොහොමද කියලා බලන්නත් එක්ක.

වාහනේ වලට දාලා, කම්පියුටරේට සම්බන්ධ කලා. නමුත් කම්පියුටරේ වැඩ සටහන තෝරන්නෙ අලයින්මන්ට් තියන බුවා නෙවෙයි, සමහර විට හතර, නැතිනම් පහ වසරෙ ඉගෙනගන්න බුවාගෙ පුත්තරයා. අනික මේකෙ අලයින්මන්ට් තියන්න මේ බුවා වැඩි දෙයක් කලෙත් නෑ, ‘කැස්ටර් කැම්බර් නම් හරි, තියන්න ඕනෙ නෑ,’ කියලා පොර කිව්වා. කොහොම හරි බුවා අලයින්මන්ට් තියන ගමන්ම ටයර් කඩේට දුවනවා, ටයර් එකක් විකුණන්න හරි, ගණං කියන්න හරි. ඊට පස්සෙ ආපහු දුවගෙන ඇවිත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙම දුවනවා පැච් එකක් දානවා. ඔන්න ඔය විදියට බුවා අලයින්මන්ට් තියලා රුපියල් අටසිය පනහක ගාස්තුවක් අය කරලා, මාස කීපයක වගකීමකුත් එක්ක මට සහතිකේකුත් නිකුත් කලත්, මට මේ අලයින්මන්ට් තිබිල්ල නම් ඇල්ලුවෙම නෑ.

මට පුදුම හිතුනෙ මේ බුවාට ස්ටියරිං වීල් එක ගලවාගන්න බැරි වෙච්ච එකයි. (අලයින්මන්ට් තිබ්බාම ස්ටියරිං වීල් එක කෙලින් තියෙන්න ගලවලා ආපහු හයි කරනවා නියම අතට.)

මේ බුවා නට් එක ගලවලා ස්ටියරිං වීල් එකට දෝයි දෝයි ගාලා ගහලා ගහලා, පස්සෙ එතනට ආපු යාලුවෙකුටත් කියලා, ඒ බුවත් තවත් ටිකක් පතබෑවත් ස්ටියරිං එක ගැලවුනේ නෑ. පස්සෙ මේකා කිව්වනෙ, ‘අනේ ආපහු ගරාජ් එකට ගිහින් මේක ගලවා ගන්න,’ කියලා.

පස්සෙ ගරාජ් එකට ගියාම බුවා අර පැය කීපයකට කලින් මට නිර්දේශ කරපු අලයින්මන්ට් බාස්ගෙ මව්ගුන වයලා එක පාරින්ම (වන් ෂොට්) වීල් එක ගැලෙව්වා.

පහුවදා ගල්පාන්දර දඹුල්ලට ගිහින් ගෙදර ආවා පට්ට පාන්දර.

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

දවස් කීපයකට පස්සෙ මම අර මගෙ සුපුරුදු අලයින්මන්ට් තියන බුවා හම්බවෙලා කතාව කියලා දැම්මා අලයින්මන්ට් චෙක් කරන්න වලට. පොර වලට බැහැලා දිග ලීවරයක් අරගෙන එහෙට මෙහෙට ඇනලා පෙන්නුවා මට.

අයියෙ ලෝවර් සස්පෙන්ෂන් ආම් බුෂ් එක ගිහින්. මේ!
ආයෙම ඇන්න ලීවරෙන්.

අයියෙ, ටයි බාර් බුෂ් ගිහින්, මේ!

“එතකොට මල්ලි ඒවා ගහන්නෙ නැතුව අලයින්මන්ට් තියන්න බෑ නේද?”

“බෑ අයියෙ, ගිහින් මේ බුෂ් ටික ගහගෙනම එන්නකො.

මාත් ඉතින් ගිහින් බුෂ් ගහගෙන පහුවදා ආවා.

DSC_0199

පොර රුපියල් හත්සිය පනහකට එළකිරි වගෙ අලයින්මන්ට් තිබ්බා. ඇත්තටම මේ බුවා නියම ප්‍රොෆෙෂනල් වැඩ්ඩෙක්. පාවිච්චි කලෙත් ඉතාලියේ නිශ්පාදිත අලුත්ම පරිගණක පද්ධතියක් සහ වැඩ සටහනක්.

පළවෙනි ප්‍රශ්ණය: මේකට ඔය කිට්‍ටුවම තියෙන පවර් ස්ටියරිං ‍රැක් එක දාන්න යට රිංගපු වෙලේ බාස් උන්නැහේ ඔය බුෂ් ටික නොදැක්කෙ ඇයි?

දෙවෙනි ප්‍රශ්ණය: ඇත්තෙන්ම ගලවලා බැලුවාම ගන්නම දෙයක් නැති, මේ බුෂ් ටික දාන්නෙ නැතිව අලයින්මන්ට් තියන්න බැරිනම් අර යක්සයා අලයින්මන්ට් තියලා මට මාස මාස කීයකද වගකීමකුත් එක්ක සහතිකයක් නිකුත් කලේ කොහොමද?

ප ලි: මේ පින්තූරවල තියෙන්නෙ අර ප්‍රොෆෙෂනල් අලයින්මන්ට් බුවාගෙ වර්ක්ෂොප් එක.

ප. ප. ලි.
මේ ලිපිය මුල් වරට පල වුනාම ඇනෝ හිතවතෙක් අහලා තිබුනා එයා බෑග් තියෙන ස්ටියරිං වීල් ගලවන්නෙ කොහොමද මේ වෙලාවට කියලා. ඒ ප්‍රශ්ණයත්, ඒකට මම දීපු පිළිතුරත් මෙතන දාන්නෙ ඒකත් වැදගත් ප්‍රශ්ණයක් නිසා.

  1. Henry
    I can’t understand one thing.As far as I know no need to remove the steering wheel to centre it.Think about a new car with an Air bag.It is a somewhat hard to remove the wheel as first you have to isolate air bag and then after reinstalled it to the safety computer.Can’t do all these without a scanner or proper analyser.

    ReplyDelete

  2. Hi Anonymous. Thanks for the comment. It is like this. The alignment program, at one point displays the on screen message “Now straighten the steering wheel” or something similar to that. The alignment dudes ignore this. When I asked the more experienced dude why won’t he follow that, he said the older vehicles have too much play in the steering system that it won’t really do the trick. And that really would work with the latest vehicles with airbags,” he added.
    I think in the vehicles like that simply straightening the steering wheel would do the trick.

    මෙම ලිපිය මුල් වරට මගේ ඩෙනිමේ පළවූවකි.

 

ටැග: , , , , ,

105. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

105. ඉතින් ආයුබෝවන් දුම් වැටිය මරු!

Simulblogged at මගේ ඩෙනිම.Originally published at HeyDude.

හැම දෙසැම්බර් 31 වෙනිදාටම මම සිගරට් බීගෙන බීගෙන යන්නෙ පිස්සු හැදිලා වගේ. ඒකට හේතුව, හැම ජනවාරි පළවෙනිදටම, අලුත් අවුරුදු අධිෂ්ඨානයක් හැටියට, මම සිගරට් බීම නවත්තන නිසයි. කිව්වත් වගේ වැඩේ නැගලා යනවා. 

 මම ජනවාරි පළවෙනිදට සිගරට් දිහා බලන්නෙ වත් නෑ. බොහෝවිට දෙවෙනිදත් එහෙමයි. ඔය තුන්වන දිනයත් හැටවන දිනයත් අතරෙදි තමයි වැඩේ චොර වෙන්නෙ. මට ඕනෙ වෙනවා, මම ඇත්තටම සිගරට් බීම අතෑරලා, නිකොටීන් ලෝලිත්වයෙන් මිදිලද කියලා දැනගන්න. ඉතින් මම සිගරට් එකක් බීලා බලනවා. පස්සෙ තව එකක්… ඊටත් පස්සෙ තව එකක්… මම තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කරගෙන ඇති බව මටම ඔප්පු කරන්න. ටික දවසකින් බැලින්නම් ආයෙම මම හිටපු තැනමයි.

මට මතකයි මම දවසක් ජගත්ට කියනවා, (ජගත් දැන් ඉන්නෙ පැරීසියේ), මම සිගරට් එකක් පත්තු කරන ගානෙ, මම මේ වැඩේ  ඉක්මනින්ම නවත්තන්න ඕනෙ කියලා හිතන බව.

ජගත්ටත් තිබුනෙ ටිකක් වෙනස් විදියකට, සම්මතයෙන් ඔබ්බට , හිතන ගතියක්.

“උඹට ඇත්තෙන්ම සිගරට් බීමෙන් කික් එකක් තියෙනවද?” ජග්ගා ඇහුවා.

“නැත්නං යකෝ, සිගරට් බොයිද?”

“එහෙනං මචෝ, සිගරට් බීම නවත්තන එකේ තේරුමක් නෑ. මේ ජීවිතේ, නීති විරෝධී නොවන,  යම් දේකින් තමන්ට කික් එකක් ලැබෙනවා නම් ඒක නවත්තන එක මෝඩ කමක්.”

මම ජගත් එක්ක කිසිසේත්ම එකඟ නොවුනත්, මම සිගරට් බීම නවත්තපු හැම විටම මට ඔය කතාව මතක් වුනා. (ජගත්, උඹ මේක කියවනබව මම දන්නවා. කියාපං බලන්න දැනුත් මොනවා හරි.)

ඔය දුම් විරෝධී සංවිධාන මොනවා කිව්වත්, ඇත්තෙන්ම මම සිගරට් බීමෙන්, ලොකු තෘප්තියක්, රසයක්, සහනයක්, සරලව කිව්වොත් ආතල් එකක් ලැබුවා. ඇතැම් විට කාලය ගෙවා ගන්න, තවත් විටෙක, ගෙදරින් පිට සිටින සාංකාව නැති කර ගන්න සිග‍රැට්‍ටුව හිතේෂී මිත්‍රයෙක් වුනා මට. එතකොට ඔය ආතතිය, ජීවිතය ගැන බලාපොරොත්තු රහිතව හිටි යුගවල දැනුන ඉච්ඡා භංගත්වය, සමනය කරගන්නත් සිගරට් උරන්න මම පුරුදු වෙලා හිටියා. කොටින්ම දුකට, සතුටට දෙකටම සිගරට් උදව්වක් වුනා. මම ඉන්න ඕනෙම මානසික තත්වයකට, සිග‍රැට්‍ටුව නියමෙට ගැලපුනා.

මිත්‍ර  සමාගම තවත් රසවත් කරපු සිගරට්,  නැතුව ‘සෙට් වෙන්නෙ’ කොහොමද කියන එක හිතාගන්නවත් බැරි වුනා. ආහාර වේලක් සම්පූර්ණ වුනේ සිගරට් එකක් බිව්වට පස්සෙයි. තේ, කෝපිත් එහෙමයි. සමහර වෙලාවට, සිගරට් එකක් බොන්න  නිදහසට කාරණයක් හැටියට, අමතර තේ කෝප්පයක් බීපු වෙලාවල් ඕනෙ තරම්. සිගරට් එකක් නැතිව වැසිකිළියට යාම හිතාගන්නත් බැරි භයංකාර දෙයක්.  තවත් දෙයක්. සිගරට් එකක් ඉතුරුවෙලා තිබුනොත්, මහ රෑ නැගිටලා හරි ඒක ඉවර කරලා තමයි ආපහු නින්දට යන්න පුලුවන් වුනේ.

සිගරට් බීම නවත්තන්ම අවංක චේතනාවක් මට තිබුනා. සිග‍රැට්‍ටුවක් දල්වාගන්න හැම විටකම මම සිගරට් බීම නවත්තන්නට සුදුසු, ජනවාරි පළවෙනිදා, මගේ උපන් දිනය, දරුවන්ගෙ, බිරිඳගෙ  උපන් දින, විවාහ සංවත්සරය වගෙ,  ඊ ලඟ නැකැත් දිනය, ගැන හිතුවා.

වතාවක් මම සිගරට් බීම නවත්තලා අවුරුද්දකට වඩා හිටියා  අන්තිමේදි කාලෙකට පස්සෙ මුණ ගැහුන මගේ මචං කාරයා එක්ක ‘සෙට්’ වෙනකල්ම.

සිගරට් බීම මගෙ සෞඛ්‍යයට වගේම, ආර්ථිකයටත් මරු පහරක් වුනා. මට නිතරම තිබුන අර “smokers’ cough” නැතිනම් ‘සිගරට් කැස්සෙන්’ මම පීඩා වින්දා. එක් වතාවක් මගේ පෙනහල්ලකින් ආ වේදනාවකට කරන්නට සිදුවූ  වෛද්‍ය පරීක්ෂනයේ  වාර්තාව එනකල්, මම හිටියේ නොමැරී මැරෙමින්. මට නොහිතුන දෙයක් නෑ. අන්තිමේදි ඒ සෙම අවහිරවීමක් බවත්, එක්ස්පෙක්ටරන්ට් සිරප් එකකින් විසඳිය හැකි තත්වයක් බවත් දැනගත්තාම මට දැනුන සහනය, ඇති වූ ප්‍රීතිය වචනයට නගන්නට බෑ.

දුම්බීමෙන් ඇතිවූ ළය පිළිකාවක් ගැන පොතක් කියවූ හෝ, චිත්‍රපටියක් හෝ වාර්තා වැඩසටහනක් නැරඹූ හෝ හැම විටෙකම, මගේ දුම්බීමට ආයුබෝවන් කීමේ ඕනෑකම දැඩිවුනා.

ඒ වගේම නිකොටීන් වලින් කහ පැහැ ගැහුණු මගේ දකුණතේ නිය සහ දත්වල පසු පස දකින හැම විටෙකම මම සිතෙන් දුම්බීම හා යුද වැදුනා. එමෙන්ම දුම්බොන්නාට ගානක් නැති වුනත්, ඔහුගේ ඇඳුම් වලින් සහ, කටින් හමන සිගරට් ගඳ නිසා, අවට සිටින්නන්ට අලු බඳුනක් (ash tray) ලඟට පැමිණියාක් මෙන් දැනෙන බවත් මම නොදැන හිටියා නොවේ.

සිගරට් බොන කාලයේ මගෙ අතේ මාරු කාසි කියන දේ නම් ‍රැඳුනේම නෑ.

ලංකාවේ සිගරට් නිෂ්පාදනයේ ඒකාධිකාරය දරන සිලෝන් ‍ටුබැකෝ සමාගමේ නිතර ඇතිවුනු වැඩවර්ජන නිසා, දිවයින පුරා උග්‍ර සිගරට් හිඟ විටින් විට ඇතිවීම සාමාන්‍ය දෙයක් වුනා. එවැනි තත්වයන් වලදී කඩ හිමියන් කලේ තමන්ගේ නිත්‍ය ගණුදෙනුකරුවන්හට පමණක්, හිඟයේ බරපතල කමට සමානුපාතිකව, කළුකඩ මිලට, සීමිත සිගරට් ප්‍රමාණයක් අලෙවි කිරීමයි.

මේ කලුකඩ මිලත් තීරණය කලේ කඩ හිමියායි. “මමත් මේ අපෙන් හැමදාම සිගරට් ගන්න මහත්තයලට ඕනෙ නිසා හෙන ඈත ගිහින් බ්ලැක් මාකට් ගානට තමයි ඕක හොයාගෙන ආවේ,” යයි ඔහු  එය සාධාරණීකරනය කරන්නට තැත් කලත්, එහි ඇත්ත නැත්ත ගැන අපි නිතර සැක කලා. සිගරට් හිඟය අති උග්‍ර වෙද්දී, අන්න අර පලාතේ අහවල් කඩේ සිගරට් තියෙනවා, මෙන්න මේ ගානට යන දූෂමාණ ආරංචිය ඔස්සේ, කිලෝමීටර් විස්ස, තිහ රෝද දෙකේ හෝ හතරේ වාහන වලින් කෙනෙක් ගමන් කිරීම එතරම් අරුමයක් නෙවෙයි. මේ පුදුමාකාර කැපවීමත්, උනන්දුවත්, ජීවිතේ අනිත් රාජකාරි වලටත් දැක්වුවානම්!

වැඩිහිටියකු වුවත්, මා කිසිදා මගේ දෙමාපියන් ඉදිරියේ සිගරට් බිව්වේ නැහැ. මා සිගරට් බොන බව ඔවුන් දැන සිටියා වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඔබ ලාංකිකයෙක් නිසා (ඔබ මෙය සිංහලෙන් කියවන බැවින් මා එසේ උපකල්පනය කලා) අපේ දෙමාපියන්ට ගෞරව කිරීමේ වෙනස්ම ක්‍රම ඇති බව වටහාගන්නට අපහසුතාවයක් නෑනේ. අම්මලා, තාත්තලා, පුතාලා එකට වටවෙලා මත්පැන් තොල ගාන, තාත්තා පුතාගේ සිගරට් එකෙන් ගින්දර ඉල්ලාගෙන තමන්ගෙ සිගරට් එක දල්වන පවුල් ලංකාවේ හිටියත්, මම එන්නේ එහෙම පවුලකින් නොවේ.

මම මෙයින් අදහස් කලේ අපි හරි බවවත්, එහෙම කරන අය වැරදි බව දක්වන්නවත් නෙවෙයි. ඊ ලඟට මට කිවයුතු දේ වඩා පැහැදිළි වෙන්නයි.

ඒ වගේම. මම කිසිදා අපේ දරුවන් ඉදිරියේ සිගරට් බිව්වේ නෑ. එකක්, අක්‍රීය දුම් පානය, සක්‍රීය දුම් පානයටත් වඩා බයානක බව කියැවෙන නිසා එහි ඇති සෞඛ්‍යමය තර්ජණය. අනික නරක ආදර්ශය.

සමහර විට සිගරට් එකක් නිසා මම බස් රිය වරද්දාගත් අවස්ථාත් එමට තිබුනා. ඔය බස් වලටත් තිබූනනෙ අර මර්ෆිගේ නීතියෙන් (Murphy’s Law) අපිට හැකි හැම විටම නෙලන පුරුද්දක්. ඒ කියන්නෙ , වරු ගානක් බලා ඉන්නවා බස් එක එනකල් සිගරට් එකක් වත් නොබී. අන්තිමේදී, බැරිම තැන, එකක් පත්තුකරලා උගුරු දෙක අදිනකොට ඔන්න බස් එක වංගුවෙන් මතුවෙනවා.

ඒ කොයි හැටි වෙතත් බස් එකේදී සිගරට් බීම තහනම් කරපු එකට, මම ඒ කාලෙත්, ඒ කියන්නෙ සිගරට් බොන කාලෙත්, කැමතියි.

මම කිසිදාක මගේ දරුවන්ට බොරු කියලා නැහැ.  නමුත් දවසක් අපේ චූටි පුතා මම සිගරට් බොනවද කියලා අහපු දවසේ ඉතාම අකමැත්තෙන් මට පළවෙනි බොරුව කියන්න සිදුවුනා. නමුත්, මට, මම හිතූ තරම් වරදකාරී හැඟීමක් ඇති නොවුනේ, වෙනදා වගේම, මම නුදුරු අනාගතයේදීම,  සිගරට් බීම නවත්තන්න හිටි නිසා වෙන්න ඕනෙ. පුතා ඊ ලඟට ඇහුවෙ ඇයි මම සිගරට් නොබොන්නෙ කියලා. ඒක පිළිතුරක් හැටියට මම සිගරට් බීමේ ආදීනව ගැන දිග කතාවක් පැවැත්තුවා. චූටි පුතත් හැම වචනයක්ම හරිම උනන්දුවෙන් අහගෙන හිටියා මට මතකයි.

ඔන්න මගේ ජීවිතේ ඉරණම වෙනස් කල ඒ තීරණාත්මක දවසටත් එලිවුනා.

එදත් බාස් උන්නැහේලා අපේ ගේ හදමින් සිටි දවසක්.  මමත් උකුස්සා වගේ ඒ අය කරන දේ බලාගෙන හිටියේ. (ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ.) ඉතින් ගෙදර දූවිල්ල වැඩි නිසාත්, නිතර හැමතැන දුව පැන දඟලන දරුවන්ට අනතුරුදායක නිසාත්, දරුවො දෙන්නාම මගේ නංගිලාගෙ ගෙදරට යවලා තිබුනේ සෙල්ලම් කරන්න.

මම ගේ අසලම කඩයට ගියේ සිගරට් කීපයක් මිලට ගන්නයි. සිගරට් සාක්කුවේ දමාගෙන, එකක් කඩයේ එල්ලා තිබූ ලයිටරයෙන් දල්වද්දීයි මට ඇහුනේ වාහනයක බ්‍රේක් හඬකුත්, ඒ එක්කම වෑන් රියක ලිස්සන දොරක් ඇරෙන හඬත්, මගේ පසු පසින්.


දැල්වෙන සිග‍රැට්‍ටුව දෙතොල් අතර රුවාගෙනම මම ආපසු හැරුනා. මගෙ මචං කාරයා එයාගෙ වෑන් එකෙන් අපේ දරුවො දෙන්නා ආපහු ඇරලවන්න ඇවිත්. චූටි පුතා දැල්වෙන සිග‍රැට්‍ටුවක් කට කොණකින් එල්ලාගෙන සිටි මා දිහා බලා සිටියේ විශ්මයෙන්. කට උත්තර නෑ.

ම්ම්ම්… නැත්තෙම නෑ.

“You smoke!” (ඔයා සිගරට් බොනවා!),මේ ඊයෙ පෙරේදා සිගරට් බීමේ ආදීනව ගැන දේශනයක් පවත්තපු තාත්තා, සිගරට් එකක් බොනවා දැකපු  පොඩි එකා මොර දුන්නා විශ්මයෙන්. මම වැ‍ටුනේ පුදුම අපහසුතාවයකට.

මට ගණදෙවි නුවණ පහලවුනා.

“No, This is for one of the builders. He can’t come because he’s too busy and I lit it for him to save the trouble of looking for a lighter.” (නෑ. මේක අර බාස් කෙනෙකුට. එයාට එන්න බෑ වැඩ නිසා. මම ඉතින් ඒක පත්තු කරලම ගෙනියනවා, එතකොට ලයිටරයක් හොය හොයා දඟලන්න දෙයක් නෑනෙ   එයාට.”

එයාගෙ මූණෙ ඉරියව් වෙනස් වෙනවා මම බලා හිටියා.

“Oh, I thought for a moment you smoked” (ආ, මම ඒත් හිතුවා ඔයා සිගරට් බොනවාවත්ද කියලා.)

“Naah!” (නෑ…හ්. පිස්සුද?)

මම වේගයෙන් ගේ දිහාට ඇවිදගෙන යන ගමන් කිව්වා. ඔහු ඉඳික‍ටුවට ඇමිණූ නූල වගේ, මා පස්සෙන් ඇදිලා ආවා. ඇඟිලි අතර රඳවාගත් දැල්වෙන සිග‍රැට්‍ටුවත් අරගෙන බාස් ගෝලයෙක් ලඟට ගිය මම,

“ආ, මෙන්න ඔයාගෙ සිගරට් එක.” කියමින් සිග‍රැට්‍ටුව ඔහුට දික් කලා.

ගෝලයා ලොකූ ප්‍රශ්ණාර්ථ ළකුණක් මූණේ ඇඳගෙන මා දිහා බලා හිටිය නිසා, මම බුවාට ඇහැක් ගැසුවා.

මම සාක්කුවේ තිබුන අනිත් සිගරට් සියල්ලත් බුවාටම දීලා දැම්මා.

හදිසියේ කඩා වැ‍ටුන මේ වාසනාව ගැන උද්දාමයෙන් බාස් ගෝලයා මට ස්තුති කලා.

මේ ගණුදෙනුව ඇස් අයාගෙන බලා සිටි පොඩි එකා.”I thought for a moment you smoked” (මම ඒත් හිතුවා ඔයා සිගරට් බොනවාවත්ද කියලා.) කියා නැවතත් කිව්වා.

“Well, I don’t smoke.” (මම කිව්වනෙ, මම සිගරට් බොන්නෙ නෑ කියලා.) මම ඒ පාර කිව්වෙ බොරුවක් නෙවෙයි. සහතික ඇත්ත. මොකද මම ඊට මොහොතකට පෙර සදහටම සිගරට් බීම නවත්තපු නිසා.

ඉතින් විශ්වාස කරන්න, මම එදා සිට මේ දක්වා සිගරට්‍ටුවක් කටේවත් තියලා නෑ. අනික මම සිගරට් බීම අතහැරියේ ජනවාරි පළවෙනිදා වගේ විශේෂ දවසකත් නෙවෙයි. මට මගේම පුතාට බොරු කියලා කුහකයෙක් වෙන්න ඇති  අකමැත්ත විතරයි නිමිත්ත වුනේ.

මගේ දරුවාට ස්තුතිවන්ත වෙන්න අද මම සිගරට් වලින් නිදහස්.  දරු සෙනෙහසට කල නොහැකි දෙකක් නැහැ.

Dපසුවදන:

ඒ අවුරුදු හයකට (මේ වනවිට හතකට) පෙර.  මම ඒ පොරොන්දුව කිසිදා බිඳින අදහසක් තුන් හිතකවත් නෑ. මට ලැබුන ඒ අවස්ථාව නොලැබී, තවදුරටත් සිගරට බොන බුවාලා ගැන මගෙ හිතේ අද තියෙන්නෙ අනුකම්පාවක්.  අද මට සිගරට් දුම ඉවසාගෙන ඉන්නත් අමාරුයි. දුම් බොන්නෙක් එක්ක කතා කරද්දී කටින් හමන දුම් ගඳ මට අප්‍රසන්නයි. දුම් බොන්නෙක් ලඟ ඉඳිද්දී මගේ හුස්ම හිරවෙන ගතියක් දැනෙන්නෙ.

ප. ලි. : දුම්බීම ගැන කවුරුහරි බ්ලොගර් කෙනෙක් සඳහන් කරන ගානෙ මම මේ ලිපියට ලින්ක් එකක් දුන්නෙ, මේ  මා විසින්ම ලියැවුනු ලිපියක් වුනත්,  දුම්බීම අතහැරීම ගැන ලියැවුනු අව්‍යාජ අත්දැකීමක් බව මම විශ්වාස කරපු නිසා.
ප්‍රශ්ණෙකට තිබුනෙ මම මේ ලිපිය මුලින්ම ලිව්වෙ ඉංග්‍රීසියෙන් වීමයි. HeyDude බ්ලොග් අඩවියට ‘How I quit smoking’ යන මාතෘකාවෙන්, 2012 මාර්තු 10 වන දින පල කල මේ ලිපියෙන්, සිංහල පමණක් කියවන සහෘදයන්ට ප්‍රයෝජනයක් ගත හැකි වෙන අයුරුන් සිංහලට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය මට දැනුනේ කලක සිට.

ඉතින් මේ එයට විසඳුමක්.

නමුත් මෛ ලිපිය කියවා හමාරකර, ඉංග්‍රීසි ලිපියත් කියවන්න කියා මම ඔබට ආරාධනා කරන්නේ, ඇතැම් දේ පරිවර්තනයේදී විනාශ වෙන බව අත්දැකීමෙන් දන්නා නිසයි

 

ටැග: , , , , , , , ,

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

සපත්තු පාලම මැදදි මම සුක්කානම වමට කැපුවෙ, පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා වම් පැත්තට බරව යන්න . එක පාරටම මහා හඬක් නඟමින් වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා, මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. ඉස්සරහ දකුණු පස රෝදෙත් අසාමාන්‍ය විදියට පිටතට නෙරලා තිබ්බ බව මම දැක්කා.

මම වාහනේ ඉස්සරහින් ගිහින් බැලුවා වෙලා තියෙන හානිය. බම්පර් එකේ වම් පැත්ත කොන්ක්‍රීට් එකට හේත්තු වෙලා. වම් පැත්තෙ ඉස්සරහා රෝද කොන්ක්‍රීට් එකෙන් කුට්ටියක් කඩාගෙන පහලට වැටිලා. ලෝවර් සස්පෙන්ෂන් ආර්ම් එක උඩ තමයි වාහනේ සමබරව තියෙන්නෙ. කඩාගෙන වැටෙනකොට අර මම ඉස්සරහට දාලා තිබුන, අමාරුවෙන් ලබා ගත්ත අලුත් බ්‍රිජ්ස්ටන් ටයර් එක පුපුරලා. ටයර් එකේ හැදිලා තියෙන හිල ඇතුලට මගෙ අත රිංගවන්න පුලුවන්. ටයර් එක පුපුරන සද්දෙයි, කොන්ක්‍රීට් එක කඩාගෙන ගිහින් වෑන් එකේ සස්පෙන්ෂන් ආර්ම් එක කොන්ක්‍රීට් එකේ වදින සද්දෙයි එකතුවෙලා තමයි, අර බෝම්බයක් ගහනවා වගේ සද්දෙ ඇවිත් තියෙන්නෙ.

වාහනේ ගානට කොන්ක්‍රීට් එකේ හිරවෙලා. ඊ ලඟට දැක්ක දෙයින් මගෙ කටේ කෙළ හිඳුනා. මම හිටගෙන හිටියෙ දුම් දාන අලි බෙට්ටක් උඩ. අපි මේ හිරවෙලා ඉන්නෙ යාල කැලේ අලි පාර හරහා යන අලි මංකඩක මැද්දෙ. මේ වන අලි සහ වල් අලි පාර පනින වෙලාව.

තව දුරටත් කියවන්න >>>

 
 

ටැග: , , , , , , , , ,

94. බල්ලා කාපු මගෙ කාරෙක.

94. බල්ලා කාපු මගෙ කාරෙක.

සෙනසුරාදා කියන්නෙ සතියක් ආසාවෙන් බලා ඉඳලා එලඹෙන දවසක්නෙ. හැබැයි නිවාඩු කිව්වට, සති අන්තයට තමයි වැඩ වැඩි. ඉදල අරන් සතියක් තිස්සෙ මිදුලෙ එකතුවෙච්ච කොල අතුගාන එක මගෙ හිතට ඇතිකලේ සැහැල්ලුවක්. හරියට භාවනාවක් වගෙ.

මේ කතාව ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින්.
DOG ATE IT @ HeyDude

ඒ දවස් වල තිබ්බ අපේ පුංචි රතු කාර් එකට හරි හැටි ගරාජයක් තිබ්බෙ නැත්තෙ, ඒක කුලී ගෙදරක් වෙච්ච නිසා. නමුත් අව්වෙන් වැස්සෙන් වාහනේ බේර ගන්න, නවපු ගැල්වනයිස් බට වලිනුයි, අර ඉරි ඉරි ටෙන්ට් රෙද්දකිනුයි මමම හදාගත්ත ගරාජ් එකේ වහල උඩ, අඹ කොළ වගේම වැහි වතුරත් තරමක් ‍රැඳුනා, බොක්ක ගැහිලා. මිදුල අතුගාන්න කලින් වහලෙට අතින් උඩු අතට තට්‍ටු කරලා, අඹකොළ ටික බිම දාන එක මම නොවරදවාම කලා.

කාරෙක වටේට තිබ්බ අඹකොල අතුගාන කොටයි මම දැක්කෙ ඉස්සරහ බම්පර් එක යටින් එල්ලෙන වයර් කෑලි දෙක. ඉදල බිම දාලා ලංවෙලා බැලුවම මට තේරුනා මේක සිග්නල් ලයිට් එකත් එක්කම එකට බම්පර් එකේ හයි කරලා තිබ්බ පාක් ලයිට් එකට එන වයර් එකක් බව. කාරෙක අන්තිමට ගුරු පාරේ වැස්සෙ පදවගෙන ආපු නිසා වයර් එකේ ප්ලාස්ටික් ආවරණය මඩ පාටට තිබ්බත්, එලියට මතුවෙලා තිබ්බ තඹපාටින් දිලිසුන කම්බි පොටවල් මට කිව්වෙ මේක කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි. ඒ කියන්නෙ මේක වෙලා තියෙන්නෙ මෙතන වාහනේ නැවැත්තුවට පස්සෙයි.

කලබල වෙන්න දෙයක් නෑ. මම  කඩාකප්පල්කාරියා කවුද කියලා එවෙලෙම සැක කරපු නිසා, කාරෙක යටට එබිලා බැලුවා. ඔය ඉන්නෙ කඩාකප්පල්කාරියා, සුපුරුදු බලු සිහිනයක් දැක දැක, කම්මැලි කමට තවමත් නිදාගෙන!

අපේ බලු පැටියගෙ තිබ්බ, මේ හැමදේම හපලා ‍රැල් කරන පුරුද්ද නිසා, අපි සෙරෙප්පු සපත්තු පවා දොරෙන් ඇතුලෙයි තිබ්බෙ. මේකා කොහෝම හරි මේ පාක්ලයිට් එකෙන් තරමක් පාතට එල්ලෙන වයර් එක දැකලා, ඒක කාලා වෙන් වෙන්නම. මම කාරෙකේ  ලාච්චුව ඇරලා, හදිසියකට ගන්න ඒකෙ කවදත් තියාගෙන හිටපු කලු පීවීසී ටේප් රෝල අරන් ආවා. වයර් කෑලි දෙක එකට අඹරලා ගැටගහලා,  ටේප් එක ඔතලා වැඩේ සම්පූර්ණ කලා. ඔය තියෙන්නෙ අලුතෙන් ගත්තා වගේ . ටේප් එක ආපහු ලාච්චුවට දාපු මම, ඒක අමතක කරලා ඉදල අතට ගත්තා.

ඒ දවස් වල තමයි, ලිබර්ටි එකේ මුල් වරට ජුරාසික් පාක් පෙන්නුවෙ. අපේ ගෙදර තුන්දෙනාම හරිම කැමැත්තෙන් බලන්න හිතාහිටිය මේ චිත්‍රපටිය බලන්න අපි, මගෙ අම්මවත් එකතු කරගත්තෙ, ඇයත් ඔය වගෙ අමුතු කතාවලින් සෑහෙන වින්දනයක් ලබපු නිසා. අර සිද්දියෙන් සති ගනනාවකට පස්සෙ,  අපි හතරදෙනාම හවස 3.15වේ දර්ශණය නරඹන්න කොළඹ ගියා.

“කොහොමද ආච්චියෙ ‍ෆිල්ම් එක? ඔයා ආසද?”
චිත්‍රපටිය අවසන් වෙලා සිනමා රථගාලෙ නවත්වලා තිබ්බ කාරෙකට නගින ගමන්, අපේ දුව ආච්චිගෙන් ඇහුවා.

“නියමයි පුතු. හරි ෂෝක්!” අම්මා කියනවා මම අහගෙන.

ඉතින් අපි ආපහු ගෙදර එන්න පිටත් වුනේ ඩයිනසෝරයන් ගැන කතා කර කර. විහාරමහාදේවි උද්‍යානය පහු කරනකොටයි අපි දැක්කෙ, එදා එහි තිබුන විසිතුරු මල් පැල ප්‍රදර්ශණය සහ අලෙවි සැල්. සාමාන්‍යයෙන්, අපි විසිතුරු පැල සේල් වලට ඇදිලා ගියේ නිකම්මයි. වහාම වාහනේ රථගාලට රිංගවපු අපි ගියා ප්‍රදර්ශනේ බලන්න. පැයකට හමාරකට පස්සෙ, අපි ආපහු ප්‍රදර්ශන භූමියෙන් එලියට ආවෙ, රුපියල් දෙතුන් දාහක් සැහැල්ලු කරගෙන, නමුත් තවත් කැලෑවක් වන් විසිතුරු පැල රාශියක් වාහනේ පටවාගෙන.

ගෙදර යන්න බියගම පාර මම ‍තෝරාගත්තෙ, ඒ වෙලාවෙ හැටියට ඒ පාර  බත්තරමුල්ල පාරට හෝ නුවර පාරට වැඩිය තදබදයෙන් අඩු නිසා. අපි කැළණිය පහු කරනකොටත්, විදුලි පහන් නොදල්වා යන්න තරම් එලියක් ඉතිරි වෙලා තිබුනා. නමුත් මානෙල්වත්ත රජමහා විහාරෙ පහුවෙනකොට මම විදුලි පහන් දැල්වුවා. ඒ වෙනකොට අපි අර වංගුවත් එක්කම තිබුන, දැඩි බෑවුමක් ඇති පල්ලම බහිමිනුයි හිටියේ.  එක් වරම කාරය කලු දුමින් පිරුනා.

“හයියෝ අර යකාගෙ  ට්‍රක් එක! මාර දුමක්නෙ!” මම කිව්වෙ එවෙලෙ අධික බරක් පටවාගෙන, කලු දුම් වලාවක් පිටකරමින් කන්ද නගිමින් හිටි ට්‍රක් රථය ගැන.

තවත් මීටර් සීයක් හමාරක් ගියත් දුමේ වැඩිවීමක් මිස අඩුවක් නොපෙනුන නිසා, මට දැනුනා අනතුරක සේයාවක්. මම වහාම කාරය අයින් කරලා නැවැත්තුවා.

කාරය නැවතුන ගමන්ම මම දැක්කෙ බොනට්‍ටුව අස්සෙන් එලියට ගලාගෙන ආපු කලු දුම වලාව. මම වාහනෙන් එලියට පැන්නෙ බොනට්‍ටුවෙ අගුල ඇරෙන ලීවරයත්  ඇදගෙන. වහාම බොනට්‍ටුව එසවූ මතුවූ ප්ලාස්ටික් පිලිස්සෙන ගඳටයි දුම් වලාවටයි මාව පස්සට විසිවුනා. ගිණි ජාලාවක් බැටරිය අවටින් මතුවෙමින් තිබුනා.

“බහින්න, බහින්න කාරෙකෙන් ඔක්කොමලා!” මම කෑ ගැහුවා.

දෙපාරක් කියන්න අවශ්‍ය වුනේ නෑ.

මම ආපහු දුවලා කාරයෙ තිබ්බ රෙදි කඩමල්ලක් ගෙනත් ගිණි දලුවලට පහර දුන්නා. මුලින්ම මම පහරදී නිවා දැමූ ගිණිදලු නැවත නැවතත් ඇවිලෙන්නට වුනත්, දීපාත් මාත් එක්ව දීපු  එකව කල ඒකාබද්ධ ප්‍රහාරය හමුවේ ගින්න පරාජය  වුනා. බොනට්‍ටුවේ සමහර තැන්වලා පින්තාරුව පිලිස්සී බුබුලු නැගී ඇති බව මම දැක්කෙ පසුවයි.

ගින්න සමග කල සටනින් ජයගත් අපට දැන් අවශ්‍ය  වුනේ හැකි ඉක්මනින් ගෙදර යන්නයි. මම ඉග්නිෂන් ස්විචය කරකවා බැලුවා. අච්චර දෙයක් වෙලාත් දෙවියන්ගෙ පිහිටෙන් එන්ජිම වහාම පණගැන්වුනේ අපේ හිත් වලට පුදුමාකාර සහනයක් ගෙන දෙමින්. නමුත් ඒ සහනය වැඩි වෙලා නොතිබුනේ, විදුලි පහන් දැල්වූ වහාම, නැවතත් වයර් හානසයේ තැන් තැන් වලින් දුම් මතුවෙන්න ගත්ත නිසා. මම වහාම ස්විචය නිවා එන්ජිම ක්‍රියා විරහිත කර, මතුවෙමින් තිබූ ගිණිදලු වලට පහර දී නිවා දැම්මා.

“කළබල වෙන්න හොඳ නෑ. ඔලුව අවුල් කරගන්න එපා. කරදරයක් වුනාම ක්‍රියාකරන හැටියට තමයි ඒ මනුස්සයගෙ ගති ස්වභාවය තේරුම්ගන්න පුලුවන්. සංසුන් වෙයං හෙන්රි,” මම මටම කියාගත්තා.

මම හිතන්න ගත්තා. සරළව මුළසිට  හරියටම  ඉංග්‍රීසි පන්තියක දැන්වීමක් වගෙ.

මෙතන මෙකැනිකල් ෆෝල්ට් එකක් නෑ. තියෙනවා නම්, එන්ජිම ස්ටාට් වෙන්නෙ නෑ. මේක ඉලෙක්ට්‍රිකල් ෆෝල්ට් එකක්. ඇත්තටම ෂෝට් සර්කිට් එකක්.

මම ගින්න ඇතිවුන තැන් පරීක්ෂා කරලා බැලුවා. සමහර වයර් වල ප්ලාස්ටික් ආවරණය උණුවෙලා තඹ කම්බි පොටවල් මතුවෙලා එකට ඇලිලා තිබුනේ, කොයි කොයි වයර, මොන පාටට තිබුන, කොහේ ඉඳලා ආපු ඒවාද කියලාවත් හොයාගන්න බැරි විදියට. ඒ මදිවට කලුවර!

වැල නොකැඩී ඇදී යන වාහන වල එලියෙන් යමක් හරියට බලාගන්න අමාරුයි. හොඳ වෙලාවට, කවුරු මොනවා කිව්වත් අම්මා ගමනක් යනකොට අරන් යන විට එයාගෙ එයාගෙ අත් බෑග් එකේ දාගෙන යන විදුලි පන්දම, මේ වෙලාවෙ පිහිටට ආවා.

විදුලි පන්දම් එළියෙන් මට පුලුවන් වුනා වෙලා තිබ්බ හානිය වඩා හොඳට බලාගන්න. ඊට පස්සෙ මම පටන් ගත්තා ක්‍රමානුකූල  පරීක්ෂාවක්. Systematic search with checklist.

මුලින්ම මම සියලුම ස්විච නිවා දැම්මා. සහායක නියමු දීපා උකුසු ඇස් එන්ජිම මත රඳවා ඉඳිද්දී චෙක් ලිස්ට් එක ආරම්භ වුනා.

පළමුව මම එන්ජිම පණ ගැන්නුවා.  එන්ජිම හොඳින් දුවනවා, දුමක් නෑ.

දෙවනුව වයිපර් – දුමක් නෑ.

මම බ්‍රේක් පෙඩලය පෑගුවා  – දුමක් නෑ සහායක නියමු දීපා නිවේදනය කලා.

ඊ ලඟට ප්‍රධාන විදුලි පහන් දැල්වුවා.  හෝව්, හෝව්!! මෙන්න දුම් දානවෝ!!

මම වහාම විදුලි පහන් සහ එන්ජිම නිවා දැමුවා.

හොඳ වෙලවට, ඒ වෙලේත් ඇරලා තිබුන හාඩ්වෙයාර් බඩු කඩයෙන්, මම වැඩි පුර පීවීසී ටේප් දෙක තුනක් ගත්තා. දීපා විදුලි පන්දම දල්වාගෙන ඉඳිද්දී මම අර උණු වෙලා එකට ඇලිලා තිබ්බ ‍රැහැන් ගලවලා පුලුවන් හැටියට  ටේප් කලා. වැඩි හොඳට විදුලි පහන් වලට යන සම්බන්ධ ‍ෆියුස් එකත් ගැලෙව්වා. ඇත්තෙන්ම ඒකත් උණු වෙලා නමුත් කවදා හරි දාපු වැරදි අගයක් තියෙන ෆියුස් එකක් නිසා වෙන්න ඕනෙ මෙහෙම වුනේ, මට නිකමට හිතුනා. ටික වෙලාවකින්, මේ වගේ අවස්ථාවක කල හැකි හැම දේම කර ඇති  බව සහතික වුනාට පස්සෙ, අපි ඊලඟ දුශ්කර කාර්යයට සූදානම් වුනා. මේ වනකොට ගිනි ගැනීමේ අවදානමක් නැතුව වාහනේ ආපදා පහන් (hazard lights) පාවිච්චි කරන්න හැකි බව මම හොයාගෙන තිබුනේ.

ඊන් පස්සෙ හැමදෙනාම වාහනයට ගොඩවුනාම, මම එන්ජිම පණගන්වලා ආපදා පහන් දල්වාගෙන ගෙදරට යන්න තියෙන අති දුෂ්කර ගමන ආරම්භ කලා. දීපා මුලින්ම විදුලිපන්දම වාහනයේ ඉදිරිපස වීදුරුව තුලින්ම පාරට ඇල්ලුවත්, අත එලියට දමා විදුලි පන්දම පිටතින් අල්ලන එක වඩා සාර්ථක බව ටික, වේලාවකින් අපි තේරුම් ගත්තා.

රෑක, බැටරි දෙකේ විදුලි පන්දම් එලියකින් කාර් එකක් පදවන එක හිතපු තරම් ලේසි වුනේ නෑ. විශේෂයෙන්ම අපි ඉදිරියටත්, පසුපසිනුත් ආ අනිත් ආත්මාර්ථකාමී රියැදුරන් කිසිම අනුකම්පාවක් නොදක්වන විට. පසු පසින් ආ උන් කන් බිහිරිවන්නට නලා හැඬවූවා මදිවාට, හෙඩ් බීම් දල්වමින් මාව අන්ධ කලා. ඉදිරියෙන් ආ උන් හෙඩ් බීම් පාවිච්චි කලේ මාව හොඳින් දැකගැනීමටත්, මේ කලුවරේ විදුලි පන්දමකින් රිය පදවන මා කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට බැරිව බවත් මට තේරුනා.

මට වැඩියෙන්ම වද දුන්නේ බස් රියැදුරෝ. මේ හැම දෙයින්ම වුනේ මගේ අර්බුදය උග්‍ර වීම පමණයි.  නමුත් අර කාලකන්නි ‍රැලට වඩා වෙනස්, එක් මහත්මා රියැදුරෙක් මට ඉස්සර කර, මට ඔහු පසු පසින් ධාවනය කල හැකි සේ හිමින් රිය පදවමින් මට මග පෙන්වීම, මට ඉමහත් අස්වැසිල්ලක් වුනා.

බියගම ෆොන්ටෙරා සමගම අසලදී මම විදුලි කාර්මිකයෙකු සොයා ගැනීමට රිය නතර කලා. ඇත්තෙන්ම ඒ වෙලාවෙ වාහන විදුලි කාර්මිකයන් කිසිවෙක් හිටියේ නෑ. නමුත් එක් නිර්මාණශීලී රේඩියෝ, රූපවාහිණී ඉලෙක්ට්‍රොනික් අලුත්වැඩියා ශිල්පියෙක්, මට පිහිට වෙන්න කැමති වුනා.

ඔහු අර මා කල ආකාරයටම, කොනක සිට විදුලි පරිපථ පරීක්ෂා කලා. ඔහුට අවශය උපකරණ සහ ආලෝකයත් තිබූ නිසා වඩාත් කාර්යක්ෂමව කාර්‍යය කරන්නට හැකි වුනා.  අන්තිමේදී ඔහු වරද සොයා ගත්තා. ඒ තමයි මම එදා උදේ පුරුද්දා ගැට ගැසූ පාක් ලයිට් වයරය.

“ඇයි අයියෙ මේක ගැට ගැහුවෙ?”  ඔහු ඇහුවේ කුතුහලයෙන්.

“ඕක බල්ල කෑවනෙ මල්ලි. මම ඉතින් ගැට ගහලා ටේප් කලා.”

“පිස්සු හැදෙන සඳ අයියෙ. මේ ප්ලස් මයිනස් වයර් දෙකනෙ අයියා එකට ගැට ගහලා තියෙන්නෙ.”

“හප්පට සිරි යකෝ, මම හිතුවෙ ඕක එකම වයර් එක කියලනෙ. ඇත්තෙනම මම වයර් එකේ පාටෙ වෙනසක් දැක්කෙ නෑ මොකද මඩ ගෑවිලා තිබ්බ නිසා!”

ඔහු බම්පරය අස්සට අත දමා තවත් වයර් කොට දෙකක් එලියට ඇද පෙන්නුවා.

“මේ බලන්න අයියෙ. ඇති ඔයින් ගියා!”

“හරි මල්ලි. මම ඔය වයර් දෙක එකට ඇමුණුවට පස්සෙත් කී පාරක් මේ කාර් එකේ ගියාද? ඇයි මේක මේ අදම වුනේ?”

ප්‍රශ්ණෙ අහනවත් එක්කම මටම හේතුව පැහැදිළි වුනා.

“ඒ ගියේ ලයිට් දාන්න ඕනෙ වුනේ නැති ගිණි දවාලෙ නේද අයියෙ? “

බලං යනකොට මේක කාල බෝම්බයක්. මම කවදා හෝ කොහේදී හෝ ලයිට් දානකල් කල්යල් බලමින් සිටි අනතුරක්!

මේක අද නොවුනා නම්මීට වඩා නරක වෙලාවක වෙන්නත් ඉඩ තිබුනා. ඇත්තෙන්ම, මෙතන ඉඳලා ගෙදරට කිලෝමීටර් 10ක් නැතිනම් 15ක් ඇති. හිතලා බලමු, මේක දුර ගමනක් ගිය වෙලාවක, පාලු පලාතක,  රෑක වුනානම් ඇතිවෙන්න තිබුන තත්වය!

වයර් හානස් එක නොපෙනෙන තැන් වලින් හානි වෙලා විදුලි කාන්දුවක් වෙන්න තියෙන ඉඩ නිසා, ඔහු සැක කටයුතු පරිපථ විසන්ධි කලා. ඉන්පස්සෙ ඔහු බැටරියෙන් ප්‍රධාන ලාම්පුවලට වෙනම ‍රැහැනක් ඇද්දා. ඒ එක්කම ඔහු මට පෙන්නුවා, කාරෙකේ එන්ජිම දුවද්දි බැටරි වයරය ගැලෙව්වාමත්, එන්ජිම ඕල්ටනේටරයේ විදුලියෙන් හොඳින් දුවන බව. මම එතෙක් කල් හිතා හිටියෙ ඒ හැකියාව තියෙන්නෙ මැග්නෙටෝ වලින් දුවන මෝටර් සයිකල් එන්ජින් වලට විතරයි කියලා. පසුව ඔහු බැටරි වයරය සම්බන්ධ කලා. ඔහු මට කිව්වා ගෙදර ගිය ගමන් බැටරි වයරය ගලවලා දාන්න, ඒ වගේම උදේම වාහන විදුලි කාර්මිකයෙක් අල්ලාගෙන වැඩේ හරියට කරගන්න කියලා.

අන්තිමේදි, අපි නැවත ගමනාරම්භ කරන්න සුදුසු තත්වයක හිටියා.  අපි හැමෝම, අපිව ගලවාගත් මේ කාරුණික මිනිසාට මුව නොසෑහෙන සේ ස්තුති කරලා ඔහුගේ ගාස්තුවත් ගෙව්වා. නමුත් කිව යුතුම දේ තමයි, ඔහු අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන අපිව මංකොල්ල කන්න උත්සාහ නොකල එක.  මා ඔහුට අත මොලවන්න හැදූ වැඩිපුර ගානවත් ඔහු පිළිගත්තෙ නෑ. අපි එන විට ඔහු ලෑස්ති වෙමින් හිටියෙ, ඔහුගෙ රේඩියෝ අලුත්වැඩියාපල වහලා ගෙදර යන්නයි. නමුත්, තමන්ගෙ ගමනත් නවත්තලා, තමන්ට අදාල නොවන මේ උදව්වත් කරපු, ඒ වගේම, තමන්ගෙ විෂය පථයෙන් බැහැර ක්ෂේත්‍ර ගැන පවා මනා අවබෝධයක් තියෙන මේ වගෙ මිනිස්සු රටකට වාසනාවක්!

ඉන් පසු කිවයුතු විශේෂයක් නැතුව අපි ගෙදර ආවා. මේ සියල්ලටම වග කිවයුතු අපේ හුරතල් බලු පෝතකයා, තමන් කල හානිය ගැන කිසිම අවබෝධයකින් තොරව, වෙනදා වගේම වලිගය වනමින් අප පිළිගන්නට පෙරමග බලා සිටිනු කාරයේ විදුලි පහන් එලියෙන් අප දු‍ටුවා.

පසු වදන:

මේ කතාවෙන් ඔබට ගත හැකි යමක් තියෙනවද? මම පසුව කල්පනා කලා.

  • කිසිවිට නොසැලකිල්ලෙන් වයර් පුරුද්දන්න එපා. මම තව ටික ඔලුව ඇතුලට දාලා බැලුවා නම් මට අර ඉ‍තුරු වයර් කොට දෙකත් අහුවෙනවා.
  • විදුලි පන්දමක් වාහනයක තිබිය යුතුම අංගයක්,
  • පීවීසී ටේප් අර ආවුද පෙට්ටියෙ තිබිය යුතුම තවත් දේවල් වලින් එකක්.
  • කුඩා ගිණි නිවනයක වටිනාකම කියලා නිම කරන්න බෑ.
  • වැඩිපුර ‍ෆියුස් වාහනේ තියාගන්න.
  • බැටරි වයර් හදිසියකදී ලේසියෙන් ගලවන්න හැකි බටර්ෆ්ලයි නට් එකකින් සවි කරන්න
  •  මම නම් දුර ගමන් යනකොට ස්පෙයා වීල් දෙකක් අරන් යනවා. හිතලා බලන්න රෑ දොළහට ගෙදරින් කිලෝමීටර් තුන්සීයක් ඈතදි තියෙන එකම ස්පෙයා වීල් එක දාගත්තට පස්සෙ තව ටයර් එකක් ගියොත් ඇතිවෙන තත්වෙ.
  • මේ ඔක්කොටම වඩා, අර්බුදයකදී කලබල නොවී කටයුතු කිරීම වැදගත්.
  • අමාරුවේ වැටිලා ඉන්න කෙනෙකුව තවත් අමාරුවේ නොදා ඔහුට කරන්න පුලුවන් සුලු හෝ උදව්වක් කරන එක හරිම උතුම් වැඩක්. මට අවුරුදු ගණනාවක් ගිහිල්ලත් ඒ සිද්ධි අද වගේ මතක හැටි බලන්න
  •  ඒ වගෙම පාඨක ඔබ යෝජනා කරපු මේ දේවල්:
    ජම්පර් කේබල් එකක්. (ඉන්දික)
    ටෝ රෝප්/කේබල් එකක්. (ඉන්දික)
මේ කතාවේ ඉංග්‍රීසි මුල් ලිපිය මෙතනින්
DOG ATE IT @ HeyDude
වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතනට කොටන්න.
 

ටැග: , , , , , , , ,

80. බාලගිරි බැංකුවේ ATM බහිරවයෝ සමග “හැංගියාං අරූ එනවෝ!!!” (2 වන කොටස)

80. බාලගිරි බැංකුවේ ATM බහිරවයෝ සමග “හැංගියාං අරූ එනවෝ!!!” (2 වන කොටස)

කියෙව්වෙ නැතිනම් මේ ලිපියෙ පළවෙනි කොටස මෙන්න මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ !!!

අගෝස්තු පලවෙනිදා අපි දෙන්නා නිවස අසලම ඇති බැංකුවේ ATM යන්ත්‍රයට ගියේ අපි දෙදෙනාගෙම ඩෙබිට් කාඩ් පත් අරගෙන. වෙලාව හවස 5.45ට ආසන්නයි. මුලින්ම මගෙ කාඩ් පත පාචිච්චි කරලා ගත්තා ඒ මාසයට අදාල, බැංකුවට අයත් නොවන ATM යන්ත්‍රයකින් ගත හැකි උපරිම මුදල. මේ මුදල ගෙවල් කුලිය, විදුලි, ජල, මළාපවාහන ගාස්තු ආදී සියලු බිල් ගෙවීම සඳහායි.

ඉන් පසුව දීපා ඇගේ කාඩ් පත පාවිච්චි කරමින් උපරිම මුදල ගන්න අංක එබුවා. යන්ත්‍රය “Please wait while your transaction is being processed” නිවේදනය තිරය මත දිස් වුනා. ටිකකින් ස්වයංක්‍රීයව මුදල් ගණින හඬ පවා ඇසුනා. මෙන්න එකවරම “Your transaction was suspended due to ATM error”කියලා තිරය මත වැ‍ටුනා. කරුණාවන්ත යන්ත්‍ර රාජයා තව මුකුත් කෙරෙන්න ඕනෙද ඇහුවා. ඇය ඔව් කියලා තව පාරක් උත්සාහ කලා. මෙන්න එනවා නිවේදනයක්, ඇය මාසයට නියමිත උපරිම මුදල දැනටමත් ලබාගෙන තියෙනවයි කියලා. අපට හීන් දාඩිය දැම්මා. ගෙවල් කුලී, බිල් ගෙව්වම මාසෙ ජීවත් වෙන්නෙ කොහොමද?

කාඩ් එකත් අරන් ගියා ගෙදර. පරිඝනකයෙන් බැලුවා ගිණුම් ශේෂය අන්තරජාලෙ ඔස්සෙ. කෙලලා තියෙන්නෙ තාප්පෙටම! ගාන අඩුවෙලා. 2008දි ලංකාවෙදි වෙච්ච සිද්ධිය මතක් වුනා. ඒ මදිවට බැංකුව වහලා. ආයි අරින්නෙ දවස් දෙකකින්. දෙන්නම ආයෙම බැංකුව පැත්තට ගියා. මගදි හමුවුන කෙනෙක් කිව්වා, “ගියාට වැඩක් නෑ ඒ ATM එකේ සල්ලි ඉවරයි” කියලා. ඔන්න එතකොට මට තේරුනා ATM error එක මොකක්ද කියලා.

බැංකුව වහලා උනත් හොඳ වෙලාවට බැංකුවෙ මිදුලෙ හිටියා කීප දෙනෙක්. යන්ත්‍රයට සල්ලි දාන්න ලෑස්ති වෙලා. මම කිව්වා වෙච්ච දේ.

“බය වෙන්න එපා අපි මේකෙ ශේෂය (Physical Balance) බලනකොට ඉතුරු තිබ්බොත් ඔයාට සල්ලි ගන්න පුලුවන්” යන්ත්‍රය භාර නිළධාරියා කිව්වා.

ඉතින් අපි ගෙදර ආවා, හැබැයි, විස්තර ඔක්කොම දැනුම් දීලා.

ඉතින් මොකේදැයි දන් වළඳන්නේ. මේ සල්ලි වලින් තමයි අපි මාසේ ජීවත් වෙන්නෙ, අන්තර්ජාලෙ රීලෝඩ් කරන්නෙ, කොටින්ම කන්නෙ. ගෙවල් අයිතිකාරයා සුපුරුදු විදියටම මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්කෙක්. අපි බඩගින්නෙ මළත් ගෙවල් කුලිය සහ බිල් ටික ගෙවන්න වෙනවා. මෙහෙ ඉන්න කොයි ගෙවල් අයිතිකාරයත් වගෙ එහෙම තමයි.

දවස් දෙකකට පස්සෙ බැංකුවට යන්න කලින් මම online detailed bank statement එකක් බාගත කරලා මුද්‍රණය කරගත්තා.

ගිහින් පටන්ගත්තා මෙහෙයුම. ATM යන්ත්‍රය භාර නිළධාරියා කිව්වා ගණුදෙණු ඉවරවෙලා යන්ත්‍රයෙ Physical Balance එක බලනකල් ඉවසන්න කියලා. එදා රෑ දොළහ වෙනකල බලන් හිටියත් වැඩේ හරි ගියේනෑ. මේ අයගෙ කාර්‍යක්ෂමතාවයත් එක්ක බලනකොට අපේ අය හොඳයි කියලා හිතෙනවා.. හැම තිස්සෙම අනිකාට ඇඟිල්ල දික් කරන එක තමයි කරන්නෙ. දවස් දෙකකට පස්සෙ කියාපි Physical Balance අහවල් එක බලලත් වෙනසක් අහුවුනේ නෑ කියලා. . ඊට පස්සෙ ඉන්නලු ATM journal එක බලනකල්. ඒකටත් දවස් දෙකක් විතර රස්තියාදු වුනා. අන්තිමට ලැබුන උත්තරේ ඒකෙත් වෙනසක් නැති බවයි.

ඊට පස්සෙ මම බැංකුවට ගිහින් තර්ක කරලා පෙන්නලා දුන්නා. එක්කො ගිණුම අයත් බැංකුව, නැතිනම් ATM යන්ත්‍රය අයත් බැංකුවෙන් දෙකින් එකකින් අපට මුදල් ලැබිය යුතු බව. ගිණුමෙන් මුදල් අඩු වෙලා කියලා කියනවා නම් ඒ කියන්නෙ මුදල් තියෙන්නෙ ඔබේ බැංකුවෙ.

මුලින්ම මේ අය යෝජනා කරපු විදියට කාඩ් මධ්‍යස්ථානයටත් මම එතකොට කතා කරලා තිබ්බෙ. එක ලලනාවක් රොබෝටික් කටහඬින් මට ස්ථිරවම කියා සිටියා එය ඔවුන්ගෙ වරදක් නොවන බවත් කාඩ් පත ඔවුන්ගෙ එකෙක් නොවන නිසා කල හැකි කිසිම දෙයක් නැති බවත්.

මේ Maestro ඩෙබිට් කාඩ් පත ඇත්තටම අයිති ඉන්දියානු බැංකුවකට. ඒ කියන්නෙ (SBI – State Bank of India). අපි ඉන්න දූපතේ තියෙන්නෙ දේශීය බැංකුවෙ ATM යන්ත්‍රයක්. කාඩ් පත නිකුත් කලේ මේ රටේම අගනුවර තියෙන විදේශ බැංකු ශාඛාවෙන් උනත් එය විදේශීය කාඩ් පතක්. එක මුදල් ලබාගැනීමකට ගාස්තුව විතරක් ලංකා රුපියල් පන්සීයකට ආසන්නයි. මතක තියාගන්න අපි ලාංකිකයො මේ දූපත් සමූහාණ්ඩුව ගැන මිත්‍යා මත හුඟාක් දරාගෙන ඉන්න බව. භුමියේ එකතුව කුඩා වුනත් විශාල ප්‍රදේශයක විසිරී ඇති මේ රටේ අගනුවරට යාමට අප ඉන්නා දූපතේ සිට විනාඩි 55ක ගුවන් ගමනක් හෝ පැය 13ක මුහුදු ගමනක් වැය වෙනවා.

මේ අතරම මෙවැනි සිද්ධි වලට මූණ පාපු අනිත් අයත් මට ඒ අයගෙ අත්දැකීම් විස්තර කරලා තිබ්බෙ. සමහරු වැඩේ අතෑරලා දාලා. සමහරුන්ට මුදල් ලැබෙන්න මාස ගණනාවක් ගිහින්.

දැන් මේ දේශීය බැංකු නිළධාරීන් වැඩේ අමතක කරලා දාන්නයි ලෑස්තිය.

මම කිව්වා physical balance එක වෙනසක් පෙන්නන්නෙ නෑයි කියන්නෙ බැංකුවෙ ගණනය කිරීම් වැරදියි කියන එකයි. ජර්නල් එකත් වැරදි නම් කොහෙ හරි ලොකු වැ‍රැද්දක් වෙලා තියෙනවා. කියන්නෙ කවුරු හරි රාජකාරිය පැහැර හැරලා. එහෙන් සල්ලි අඩු වෙලා නම් මෙහෙන් අතිරික්තයක් පෙන්නන්නෙ නැත්නම් හොයන්න කොහෙද වැ‍රැද්ද කියලා. මේක මට අමතක කරලා දාන්න පුලුවන් ගානක් නෙවෙයි.. කරුණා කරලා චෙක් කරලා බලන්න මම මේ කියන transaction number එකට තියෙන error message එක මොකක්ද කියලා. ඕක හොයන්න ඔච්චර අමාරුද? දිනෙයි වෙලාවයි ගණුදෙනු අංකයයි මම දෙනවා නම් ඇයි ඕක හොයන්න බැරි. එච්චර දෙයක් කරන්න බැරි පරිඝනකයක් මොකටද තියාගෙන ඉන්නෙ?

පිළිතුර දියාරු හිනාවක්.

“මේ අහන්න යාලු. දැන් මම කියන්නෙ බොරුවක්ද කියලා ඔයාට දැනගන්න පුලුවන් වෙන්නෙ (authenticity of my claim) ඔය error message එකෙන්. ඒක රෙකෝඩ් වෙන්නෙ නැත්ද?”

“වෙනවා”

“ඒක මට බලන්න පුලුවන්ද?”

මම ‘ඔව්’ කියන උත්තරේ බලාපොරොත්තුව නෙවයි ඇහුවෙ. උත්තරේ බෑ තමයි.

“හරි ඒක ඔයාට බලන්න පුලුවන්ද”

“ඔව්”

“එහෙනම් බලන්න. මෙන්න වෙලාව. මෙන්න දිනය. මෙන්න ගණුදෙනු අංකය. මෙන්න ඕනෙ නම් ඊට කලින් ගණුදෙනුවෙ අංකයත්.”

“අපි බලන්නම්. දැන්නම් අපි කාර්‍යබහුලයි”

“එහෙනම්. බලපු ගමන් මට කෝල් එකක් දෙනවද”

” මම පුද්ගලිකව පොරොන්දු වෙනවා එහෙම කරන්න”

“මේක abort වෙච්ච transaction එකක්නෙ. මේක auto reverse වෙන්න දවස් කීයක් යනවද?

“අපේ බැංකුවෙ කාඩ් එකක් නම් පැය 24යි.”

“වෙන බැංකුවක කාඩ් එකක් නම්?”

“ඒක හරියට කියන්න බෑ.”

“කවද හරි එහෙම වෙනවද මම මොකුත් නොකර හිටියොත්?”

පිළිතුර දියාරු හිනාවක්.

මේ අයගෙ පොරොන්දු ගැන බලාපොරොත්තු තබා හිඳීම මම අතහැරලා අවුරුදු ගානක් වෙනවා. ඉතින් මම රෑ දොලහ වෙනකල්ම වරින් වර කතා කරලා බැලුවත් උත්තරය එකමයි. පහුවදාට අලුතෙන්ම මේ දෙබසම පුනරුච්චාරණය කරන්න වුනා දවස් කීපයක්, හරියට මැරිලා ඉපදිච්ච උන්ට වගෙ. මම අලුතෙන් පාවිච්චි කල දෙබස් කණ්ඩ නම්.

“ඔයාට මේ වගෙ දෙයක් උනොත් කොහොමද දැනෙන්නෙ?”

“ඔයාට ගෙදර කන්නවත් සල්ලි නැතුව ගියොත් ඔයා කොහොමද ප්‍රතික්‍රියා දක්වෙන්න.”

“කරුණාකරලා අමතක කරන්න මම පාරිභෝගිකයෙක් ඔයා නිළධාරියෙක් කියලා. මොහොතකට හිතන්න මේ මනුස්සයෙක් තව මනුස්සයෙකුට කරන උදව්වක් කියලා”

“මම මෙතන දවසෙම ඉඳගෙන උපවාසයක් කරන්නද මගෙ සල්ලි ලැබෙනකල්?” (මේක අහන්නෙ හිනාවකුත් එක්ක)

ඔන්න හත්වෙනි දවස වෙනකොට ඒ කියන්නෙ අගෝස්තු හත්වෙනිදා යාන්තම් error message එකක් තියෙන බව බැංකුව පිළිගත්තා. ඊට පස්සෙ මට දුන්න transaction dispute form එකක්. ඒ එක්කම මගෙ පැමිණිලි ලිපියෙ පිටපතයි, මගෙ විස්තරාත්මක ගිණුම් විස්තරයක පිටපතකුයි එක්කම මම තරමක් දැඩි හඬකින් ඉල්ලා සිටිය error message එකේ පිටපතකුයි අර කාඩ් මධ්‍යස්ථානයට යැව්වා. ඒ වෙනකොට දවස් හතක් අපි පටි තද කරගෙන ඉඳලා.

මේ වෙනකොට දීපා ගිණුම අයිති SBI බැංකුවේ කළමනාකරුට කතා කරලා තිබ්බෙ. ඔහු කිව්වෙ මේ බැංකුවෙන් ක්‍රියාත්මක වෙලා මුදල් ආපසු එවනකල් ඔවුන්ට කිසිවක් කල නොහැකි බවයි. මෙය කවදා නිමාවක් දකීද කියන එකත් කිව නොහැකි බවයි.

මේ කාලය ඇතුලත මම කරපු දේවල් තමයි, නිතර බැංකුවට ගොස් වාත කිරීම. ඒක කොච්චර සාර්ථකද කිව්වොත් ඔවුන් මම එන විට හැංගෙන්න පවා පෙළැඹුනා.
අනික ඊ මේල් නැවත නැවතත් යවමින් වාත කිරීම. ඔවුන් දුරකථනය අතට ගත්ත ගමන් කියන්නෙ ඔව් අපි ඊ මේල් එක දැක්කා කියලා.

ඒ වගේම අවශ්‍ය වෙයි කියලා හිතන හැම ලියකියවිල්ලක්ම හැම ඊ මේලයක් සමගම අමුණා යැවීම. එවිට ඔවුන්ට කියන්න බෑ මට අහවල් දේ නැති නිසා මේ දේ නොකල බව.

ඊයෙ (මම මේ බ්ලොග් ලිපිය ලිව්වෙ අගෝස්තු 16 වෙනිදා) වෙනකොට මේ වැඩේ වෙලා දවස් 15ක්. ඊයෙ රෑ මම ආයෙම ඊ මේල් යැව්වා දිගට හරහට, මම අලුතෙන් ඇතුල් කරපු කෑල්ල මේ , “අපි මුදල් නැතුව මෙහෙ පුදුමාකාර අපහසුතාවයකට පත්වෙලා ඉඳැද්දි ඔබලා මේ මවුස් බොත්තමක් ක්ලික් කරලා විසඳන්න පුලුවන් දේ නොකරන්නෙ මොන අවාසනාවකටද කියලා මට තේරෙන්නෙ නෑ” කියලා.

මේ දවස් පහලව ජීවත් වුනේ පොඩි එකාගෙ පොකට් මනි වලින්.
අද හවස මම බ්ලොග් කියවන ගමන් අන්තර්ජාලයෙන් ඊ බැංකු ගිණුමට ගිහින් බැලුවා.

මෙන්න මුං මේක ආපහු දාලා! යේ…..!!!!!!!!!!!!!!!

ඒ සතුට කොතරම් අමාරුවෙන් උපයාගත්ත සතුටක්ද කියන එක කියන්න වචන නාස්තිකරන්න ඕනෙ නෑනෙ!

කොයි රටේ හිටියත් අපි යුතුකම් දන්න ශ්‍රී ලාංකිකයොනෙ. ඉතින් මම අර අපේ ගේ ගාව බැංකුවෙ මේ වැඩේට මම ගිහින් වාත කල නිලධාරියට කතා කලා දුරකථනෙන්. මේකා පටස් ගාලා කට් කලා. ඕක වුනා දෙපාරක්. ඊටපස්සෙ අර ATM යන්ත්‍රය භාර නිලධාරියට කතා කලා. මිනිහා ඇයි කියලා ඇහුවම මම කිව්වා අර වැඩේ හරි ඔයාටත් ස්තුතියි, ඔයාගෙ යාලුවටත් කියන්න මම ස්තුතියි කිව්වයි කියලා. කියන්න මම කතා කලේ ස්තුතියි කියන්නෙයි කියලා. එයා කට් කලානෙ මම කතා කලාම.” මම මෙහෙම කිව්වම මිනිහට බකස් ගාලා හිනා ගියා.

ලස්සනම වැඩේ, මම පස්සෙ දවසක ATM එක පැත්තෙ ඉඳලා පයින් එනවා. බැංකුවෙ මම වාත කරපු පොරක් ඉස්සරහ පාරෙන් බයික් එකේ ආවා. පොරටයි මටයි අතරෙ තිබ්බා හතර මං හන්දියක්, මම බුවාට ඈතදිම අත වැනුවා පෞද්ගලිකව ස්තුති කරන්න. මේකා මාව දැක්ක ගමන් ටක් ගාලා බයික් එක හරවන්න හැදුවෙ හන්දියෙන් වමට, මාව මග අරින්න. එතකොට හන්දිය පහුවෙමින් තිබ්බෙ. ඒ මදිවට වැහැලා පාරෙත් වතුර. බයික් එකේ පස්ස රෝදෙ ලිස්සලා ගිහින් ඉස්සර වුනා. පෙර වාසනාවකට පොර යන්තම් වතුර වලේ කකුල තියලා අණ්ඩක් කඩා නොගෙන බේරුනෙ.

මම ලඟට ගියාම පොර කියනවා. “මාව ලිස්සුවනෙ මේ වතුරට. ෂික් මේ පාරවල් නම්…”

මම අතට අත දීලා කිව්වා. මම මේ ස්තුති කරන්නයි හැදුවෙ කියලා. පොර ඇත්තෙන්ම දන්නවා ඒ වෙනකොට මගෙ වැඩේ හරි ගිය බව. අරක අර සිංහලෙන් reflex action කියන අහවල් එකක්.

මේ සම්බන්ධව විශේෂඥ උපදෙස් සඳහා මගේ සොයුරු බ්ලොග් රචක සුදීකගෙ “ඇවිද්ද පය” බ්ලොග් අඩවියේ පළවූ විශේෂ ලිපිය ATM යන්ත්‍රය සමග ගණුදෙනු කිරීමේදී මෙතනින්.

 

ටැග: , , , , , ,

79. මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ!!! (1)

79. මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ!!! (1)

ඒ දෙදාස් අට වසරයි. එදා අප උදෙන්ම මහනුවර බලා යාම පිටත් වීමට සිතා සිටියත් හිතූ තරම් උදෙන් පිටත් වන්නට නොහැකි වූයේ කලින් දවසේ මහා වර්ෂාවේ මඩ නාගෙන ගෙදර පැමිණි වාහනය සෝදාගන්නට හිතුවාට වඩා තරමක් වෙලා ගතවූ නිසයි. කෙසේ හෝ නුවර පාරට වැටීමට ගම්පහට හෝ නිට්ටඹුවට නොගොස් මුලින්ම බියගම වෙලඳ කලාපය පැත්තට ගියේ එහි තිබූ ATM යන්ත්‍ර පෙලින් එකකින් අවුලක් නැතිවම මුදල් ගතහැකියයි මා විශ්වාස කල නිසයි.

එක එක බැංකුවලට අයත් එක එක වර්ග වල ATM යන්ත්‍ර එක එක පිස්සු කෙලින බවත්, ඇතැම් විට දශක කීපයක් පරණ, අකුරු මැකීගිය, දර්ශන තිරය අවර්ණ වූ, Nixdorf වර්ගයේ යල් පිණූ යන්ත්‍ර, අලුත්ම ATM යන්ත්‍රයකට වඩා user friendly ස්වභාවයෙක් ඉහල බවත් මම අත් දැකීමෙන්ම දැන සිටියා.

වාහනය ATM යන්ත්‍රය අසල පාරේ නතර කල මම, යන්ත්‍රය තිබූ කුටියට ඇතුල්වී කාඩ් පත රිංගවා, තරු හතරේ රහස්‍ය අංකය 😀 ඇතුලු කර, මට මතක විදියට රුපියල් 15000ක් ඉල්ලා සිටියා. සුපුරුදු පරිදි මගේ ඉල්ලීම ඉ‍ටු කරනවාද නැද්ද යන්න අවලෝකනය කර ගැනීමට මඳ වෙලාවක් ගතකල ආඩම්බරකාර එහෙත් සුකොමළ යන්ත්‍රය, සුපුරුදු දෙදරීම්, කෙඳිරීම්, ගෙරවීම් යනාදියෙන් අනතුරුව කාඩ් පත එලියට දමා මට කණගා‍ටුව ප්‍රකාශ කරහිටියා.

යන්ත්‍රයත් සමග උරණ නොවූ මම නැවත වතාවක් උත්සාහ කලා. එවර මා කෙරෙහි අනුකම්පා කල යන්ත්‍රය රුපියල් පහලොස්දාහක් නිකුත් කර, රිසිට් පතක්ද, හොඳින් කාරා ‘තූහ්ක්’ හඬින් එලියට දැම්මා. මුදල් සාක්කුවේ දමාගෙන, කාඩ් පතද අතට ගත් මා නිකමට රිසිට් පත් කියවමින් කුටියෙන් එලියට ආවා. එකවරම ගල් ගැසී නතර වූ මා නැවත යන්ත්‍රයට කාඩ් පත ඇතුල් කර සංක්ෂිප්ත ගිණුම් විස්තරයක් මුද්‍රණය කරගත්තා. කොරලා තියෙන්නෙ වැඩේ! මගේ ගිණුමෙන් මා ගත්තාට වඩා දෙගුණයක් මුදල් අඩු වී තිබුනා.

එදා නිවාඩු දවසක්. කලබල නොවූ මම ආරක්ෂිත කැමරාවක් වේ නම් නොවරදින ලෙස කැමරාවේ සටහන් වීමටත්, අවධානය දිනා ගැනීමටත් රිසිට් පත උස්සා වටයක් කැරකුනා.ඉන් පසු කුටිය පසුපසට ගොස් එහි සිටි ආරක්ෂක නිලධාරියාට කතා කලා.

“අද බැංකුව වහලනෙ සර්.”

“ආ ඒකට කමක් නෑ, ඔයාගෙ ලොග් පොතක් තියෙනවද? හරි කොතන හරි ලියාගන්න මේ විස්තර. මේක කස්ටමර් කම්ප්ලේන්ට් එකක්. ATM එකෙන් සල්ලි ආවෙ නෑ. මෙන්න වෙලාව මෙන්න රිසීට් එකේ ට්‍රෑන්සැක්ෂන් නම්බර් එක. ලියන්න පොතේ. මට කියන්න ඔයාගෙ නම. “

ආරක්ෂක නිළධාරියා ගෙ නමත් ලියාගෙන, ඔහුට ස්තුති කරපු මම ආපහු වාහනයයට නැගලා නුවර ගියා.

නුවර දීපාගේ සොහොයුරියගේ නිවසේ ගතකල දින කිහිපයක කාලය තුලත් මේ ප්‍රශ්ණය හිතට වද දුන්නා. ධනපතියන් නොවූ අපට රුපියල් පහලොස්දාහක් අමතක කර දමා සිටිය හැකි ගනනක් නොවෙයි.

දින කිහිපයකින් ආපසු පැමිණි මම කෙලින්ම ගියේ ATM යන්ත්‍රය අයත් බියගම බැංකුවටයි. ඇත්තෙන්ම මගේ ගිණුම තිබ්බේ කොළඹ බැංකුවකයි.

දීර්ඝ විස්තරයක් කෙටියෙන් කිව්වොත් බැංකුවෙදි මගේ “කට” මහෝපකාරී වුනා. ඊට අමතරව අර රිසිට් පත, අර ආරක්ෂක නිලධාරියාගේ සාක්ෂිය, සහ ලොග් පොතේ කල පැමිණිල්ල. සමග බැංකුවේ වැඩකල මගේ යෙහෙලියකගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ උනන්දුව, සහ මා ලියූ ලිපියක් යන සියල්ලම එක්ව දින කිහිපයකින් වැඩේ නිමාවක් දැක්කෙ අර අතුරුදනහ් වූ මුදල මගේ ගිණුමට නැවත බැර කිරීමෙන්.

දැන් බැංකුවල වැඩකරන රාජ්, සුදීක වගෙ මිත්‍රයො කියාවි මේ වගේ අවස්ථාවක් ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ගය. සමහර විට මම කල හැම දේම අනවශය වෙන්න පුලුවන්. නමුත් එදා මම ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ.

ඒ වගෙම…

මේ ගණුදෙනුව නිමා කිරීමට බැංකුව ක්‍රියාකල ඇල් මැරුණු ආකාරය නම් මගේ කෝපයට හේතුවූ බව මට තාම මතකයි. ඒ වගේම මම රිසිට් පත පරීක්ෂා නොකර, මේ ගැන නොදැන හෝ දැන ගෙනත් බැංකුවට වැඩේ භාරදී, කිසිවක් නොකර හිටියා නම් මේ මුදල බැංකුව විසින්ම යම් දිනෙක ආපහු ගිණුමට බැරකරයිදා කියන කාරණය නම් සැකසහිත බව මට නැවත වතාවක් ඔප්පු වුනා මේ සති දෙකකට කලින්, ලංකාවෙන් පිටත මේ අපි වැඩ කරන දූපත් සමූහාණ්ඩුවේ.

ඒ ගැන මී ලඟ ලිපියෙන් කතා කරන්නම්. එතෙක්…

ATM භාවිතයේදී මට හිතෙන දේ කීපයක් මෙන්න. මේ කොහෙන්වත් උපුටාගත් දේවල් නෙවෙයි, මගේම සොයා ගැනීම් වලින් කිහිපයක්.

මේ වගෙ අකර තැබ්බයක් වුනොත් අර මම ක්‍රියාකරපු විදිය නැවත කියවා බලන්න, නැවත ප්‍රචාරයක් අවශය නෑනෙ.

ATM යන්ත්‍රය අසල සැකකටයුතු පුද්ගලයො සිටී නම් සැලකිලිමත් වීම සහ මුදල් ‍රැගෙන යනවිට ඔවුන් ආසන්නයෙන් ගමන් කිරීම එච්චර හිතකර නෑ.

ATM යන්ත්‍රයට යෑමට පෙර රුපියල් සීයේ කොල දෙක තුනක් සූදානම් කරගෙන තියාගැනීම හොඳ අදහසක්. අවශ්‍ය මුදල අරගෙන හෙමීහිට කලිසමේ ඉස්සරහ සාක්කුවට දමාගෙන අර රුපියල් දෙතුන්සීය අතට අරගෙන ගනිමින් දොරෙන් එලියට ඒම ඔබට හොරුන්ගේ අණුකම්පාවද, අවඥාවද දිනාගත හැකි හොඳ ක්‍රමයක්.

ඔබ ආවෙ රෝද හතරෙ වාහනයකින් තනියෙම නම්, ATM යන්ත්‍රයට යාමට පෙර සියලු දොරවල් අගුල් දමා ඇතිදැයි බලන්න. ආපසු පැමිනි විටත් නිකමට වාහනයෙ පසුපස අසුන් දෙසත් බලන්න. ඇතුලුවූ වහාම දොර අගුල් දමාගන්න. හැකි ඉක්මනින් ගෙදර හෝ කාර්‍යාලයට යන්න.

මතු සම්බන්ධයි>>>>>>

 

ටැග: , , , , , ,

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

“අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක් එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.

“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.

“ජෝතිපාලගෙ සින්දුලු බං.”

“අනේ පලයං. මම ජෝතිපාලගෙ සින්දු එකක්වත් හරියට දන්නෙ නෑ.”

“හහ්, ඒ වුනාට බං ජෝතිපාලගෙ සින්දු කියන්නෙයි කිව්වාම තමයි උඹ පටං ගත්තෙ .උඹ කියනවා, කියනවා, නොන් ස්ටොප්”

“ඇත්තටම  මට මතක නෑ බං.”

“උඹව නවත්තන්නම බෑ. අනිත් එක ඒ සින්දු මොන බාසාවද කියලා කියන්නත් බෑ. උඹ කියාගෙන, කියාගෙන යනවා. හරිම අමාරුවෙන් අන්තිමට නවත්තා ගත්තෙ උඹට වැඳලා වගේ”

අර නංගිලාගෙ ජීවිත වලින් ඉවතට ඇවිදගෙන ගිය මම නුහුරු නුපුරුදු අම්පාරෙ ගතකල පළමු අවුරුද්ද අත්දැකීම් බහුල එකක්. මම දැනටමත් පළකරලා තියෙන ඒවායින් සමහරක් මෙන්න.

පැඩිඩිලියන්ලා

පිංසිබොල්ගෙ ගොං කේස් එක.

“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

“මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.

කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල

ගම්පහ වගේ ජනාකීර්ණ දිස්ත්‍රික්කයක පදිංචිව සිට කොළඹ සුලෝහිත පාසලකට ගිය මටත්, මහනුවරින් ගිය උමේෂ්ටත්, අම්පාර නගරය ජනශූන්‍ය නගරයක් වගෙ පෙනීම අරුමයක් නෙවෙයි. පේරාදෙණියෙ තිබ්බ පූර්ව සේවා පුහුණුවෙදි මුණ ගැසුනු අපි දෙන්නා, නාඳුනන නගරයක, යාබද පාසැල් වලට පත්වීම අපිදෙන්නගෙම සැනසීමට හේතුවුනා. හැම හවස් යාමෙකම එකතුවෙන අපි නගරයේ පාරක් පාරක් ගානෙ ඇවිදිමින් කල නගර ගවේශනය පාරවල් ඉවර වීම නිසා ඉක්මනින්ම නිමා වුනා. හවසට කරන්නෙ මොනවද, යන්නෙ කොහෙද කියන එක ප්‍රශ්නයක් වුනා.

අපි දෙන්නා උමේෂ්ගෙ ඉස්කෝලෙ ගුරු නිවාසයෙ හවසට, හවසට සෙට් වෙන්න ගත්තෙ ඔය තත්වය යටතේ. උමේෂ්ගෙ විදුහල්පති සුපිරිපාල, නමේ හැටියටම විනෝදකාමී සුපිරි බුවෙක්. තව ඩයස්, නාරද වගෙ තව ඩයල් කීපයකුත් සමහර දිනවල අපිත් එක්ක අනුමත වෙන්න සැදී පැහැදී හිටියා. මුලදී කාන්සියට පටන් ගත්ත මේ වැඩේ තරමක් කල් යද්දී සීමාව පන්නන බවත් මට නොහිතුනාම නොවෙයි.

“මේ විදියට යද්දී අපි බේබද්දො වෙලා නතර වෙයිද දන්නෑ බං.” මම දවසක් උමේෂ්ට කිව්වා.

“ඒක තමයි බං මාත් කල්පනා කලේ.” උමේෂ් කිව්වම මගෙ හිතටත් තරමක චකිතයක් දැනුනා.

ඒ වගේම තමංගෙ බීමේ හැකියාව ගැන කයිය ගහන අනිත් උන්ට වඩා ඇල්කොහොල් වලට ඔරොත්තු දීමේ ගතියක් මගේ ඇ‍ඟේ ඇති බව කලකට ඉහතදීම තේරුම් අරන් හිටි මට, උමේෂ්ගෙ උත්තරෙන් දැනුනෙ අස්වැසිල්ලක් නෙවෙයි.

එදා අපි සෙට් උනේ “කටට බ්‍රේක් නැති” වි.ප. සුපිරිපාලතුමාගෙ උපන්දින සාදයටයි. විශාල ඇලුමිනියම් භාජනයකින් කට කපලා එකක් නූඩ්ල්ස්, පරිවාරක දීසි සමග, අපි වෙනුවෙන්ම සැදී පැහැදී හිටියා. ගල්, පොල්, බියර්, කෝක්, සෝඩා, බයිට්, සාලේ කෑල්ලෙ අපි එනකල් ආයාචනාත්මක දෑසින්, ‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා.

“එහෙනම් දෙකක් ඇනගෙන ඉමු නේ?”, ඩයසා තොල් පොටවල් දිවෙන් පොඟවමින් කිව්වා.

“චියර්ස්!!” බීම පිරවූ වීදුරු එකට ගටා සුපිරිපාල ලොක්කාට සව්දිය පුරලා කවුරුත් වැඩ ඇල්ලුවා. බීමත් සමග ඇදිලා එන රසකතා, මඩ කතා, හපංකම්, මෝඩකම්, පුරසාරම් හැන්දෑව වර්ණවත් කලා. බොනකොට, කලින් බීලා කරපු කෙලි ගැන කතා අනිවාර්යයිනෙ. මුලදිම සුපුරුදු විදියට ‘සංගීතයා’ නොහොත් ‘චූනා’ නොහොත් නාරදයව බයිට් එකට ගත්තත්, මුං කවුරුත් “අද අපි හෙන්රියාව වට්ටමු” කියන තේමාව යටතේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කරලා තිබ්බ් බව මම දැනගත්තෙ සති ගානකට පස්සෙ.

බිව්වම නටන එක අනිවාර්ය අංගයක්නෙ. ඉතින් අපි කවුරුත් වීදුරු එහෙමම තියලා නටලා එනවා. වීදුරුව තනිකරන්න එපා කියලා අර බ්ලොග් සහෘදයෙක් ලියලා තිබ්බෙ ඔන්න ඕකයි. බීමට මුසුකරන්න මම පාවිච්චි කලේ Coca Cola වීම කුමන්ත්‍රණයට තවත් පහසු වුනා. මම නටලා එන සෑම විටකම, අඩක් හිස් කර තබා ගිය  සෑම බීම වීදුරුවකටම මුන් බියර් වත් කර ස්පයික් කර ඇල්කොහොල් සාන්ද්‍රනය ඉහල නංවා තිබූ බව මට තේරුනේ නෑ. ඒ වගෙම මා ලඟ තිබූ අඩක් හිස් කල Coca Cola බෝතලයත් බියර් වලින්ම නැවත පුරවා තිබූ බවත් මට තේරුනේ නෑ.

“යකෝ අද වදිනවානෙ අම්බානක. මේ බඩු හොඳයි වගෙ” මම තවත් වීදුරුවක් පුරවාගන්න ගමන් කිව්වා.

“ඕව කවලං නොකරපු හොඳ බඩු බං. නුවර කාගිල්ස් එකෙන් ගෙනාපුව. මම උඹලට බාල බඩු දෙනවද?” මස් කුට්ටියක් ‍තෝරමින් සිටි සුපිරිපාලතුමා කිව්වා.

“ඒක තමයි බොසා මේ නස්පුක් වෙන්න වදින්නෙ.” කියූ මම දැනටමත් අකීකරු දෑතින්, අසීරුවෙන් දුම් වැටියක් දල්වන්න උත්සාහ කලා.

“මටත් තේරුනා ඒක. මේ බාර් කාරයො කවලං කරනවානෙ බං කෂියා දාලා” කියපු උමේෂයා, අනිවා ඇහැක් ගහන්න ඇති අනිත් උන්ට මෙහෙම කියලා. මම නම් දැක්කෙ නෑ.

“ඒයි හෙන්රි කියාපං බං සින්දුවක්.”

“මොන ෂින්දුවක්ද?”

“උඹ දන්න එකක්”

“දැං ගායනා කරන්න නං බෑ බොෂ්, ඕන්නං ෂිංදුවක් කියන්නං ඈ…”

“නෝ වොරීස්. කියාපං.”

“මං කියන්නං ‘ඇබා’ගෙ ‘නෝවිං මී නෝවිං යූ’? නැත්නං…, ‘තැංක්යූ ෆෝද ම්යූෂික්’? නැත්නං…, ‘බොනී එම්’ගෙ ‘මදලෂ් චයිල්ඩ්’? ‘මයිකල් ජැක්ෂන්’ගෙ ‘බිලී ජීන්’? ‘බීජීෂ්’ලගෙ…?

“අඩෝ හෙන්රියො, අපි ඉංග්‍රීසි සින්දු දන්නෙ නෑ බං. සිංහල එකක් කියාපිය.” ඒ නාරද, පෙරදිග සංගීතයේ මුර දේවතාවා!”

“නාරද @#$, ෂංගීතය කියන්නෙ විෂ්ව බාෂාවක් @#$!”

එතකොටම බර්ත්ඩේ බෝයි මැද්දට පැන්නා.

“හෙන්රි, උඹ කියාපං ජෝතිපාලගෙ එකක්.”

“යකෝ ෂර්, මං දන්නෑනෙ බං ජෝතිපාලගෙ ෂිංදු…මං ඔන්නං ක්ලැරන්ෂ්ගෙ එකක් කියලා දාන්නං… දිල්හානී දුවනී” මං කිව්ව.

“අඩෝ, ඒක කියන්නෙ ක්ලැරන්ස්ද බං?” ඩයසා හිනාවෙලා ඇහුවා.

“මේ ඩයසො, උඹ දෙන්නැතුව හිටපං.”

“මේ හෙන්රියෝ. උඹ කියාපං ජෝතිපාලගෙ එකක්. අද මගෙ බර්ත්ඩේ එකනෙ.”

“අම්මට හුඩු!  ෂර්ගෙ බර්ත්ඩේ එක???? යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

හිනා හඬින් ගුරුනිවාසෙ වහලෙ උලු උඩයන්න ඇති.

“උඹට වැඩිද මන්දා.”උමේෂ් කිව්වා.” මේ අපි ඒ ගැන මොනවහරි කරන ගමං තමයි මේ.”

“නයි කයිද රෝෂ් පාං!! අඩේ එහෙනං ෂිංදුවක් කියන්නම එපෑ.” ජෝතිපාලගෙ මෝරා ෂිංදුව කියමු. (මට ඒකත් මතක් වුනේ ඒ සම්බන්ධ ජෝක් එක නිසා). නාරදයා උඹ ඔෂ්තාද්නෙ. උඹ ගානට අල්ලලා දියං මුල, හරිද?… මං දෙන්නං ඇට්ටි හැලෙන්ඩ…”

ඔන්න ඔහොමලු බටහිර සංගීත ලෝලයෙකු වුන බ්ලොග්වෝකර්, නොදන්න ජෝතිපාලගෙ සින්දු, නොනවතින රිද්මයෙන් කියන්න ගත්තෙ.

පස්සෙ නූඩ්ල්ස් කන්න ඉඳගෙන ඉන්නවා මතකයි.

වරින් වර අනිත් උන් “ඒයි කාපං බං තව” කියනවත් මතකයි යන්තමට…

හීනයක් වාගෙ….

දැඩි ඔක්කාර ගතියකින් මම හදිසියෙ අවදි වුනා. හාත්පස අඳුර. සුපුරුදු විදියට ඇ‍ඳෙන් බහින්න කකුල් පද්දලා ඇලයට හැරනකොටම, කවුදෝ ඒ හදිසියේ පාර හරහා ඉදිකර තිබූ බිත්තියක් වැනි බාධකයක නහය වැදීමෙන් තරු මල් යායක් විසිර ගියා. තරු එලිය නිවී වේදනාව මදක් අඩුවූ විට, අනිත් ඇඳේ පැත්තෙන්, ප්‍රවේශම් කාරීව බිමට බැස්සත්, පා බිම ගැටෙන විටම පෘථිවිය පැත්තකට ඇලවීම නිසා නොවැටී බේරුනේ ඇඳ විට්ටම අල්ලාගෙනයි. කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා

මං මේ කොහෙද ඉන්නෙ?

බාධක කීපයක ගැටෙමින් බිත්තිය අල්ලාගෙන අඳුරේම ඉදිරියට යද්දී හොඳ වෙලාවට විදුලි ස්විචයක් අත ගැ‍ටුනා. ආයාසයෙන් ස්විචය පහතට එබූ විට දැල්වුනු විදුලි බල්බය මගේ ඇස් මඳකට නිලංකාර කලා.

ටොයිලට් එක කොහෙද ඇත්තෙ?

ආලෝකයට දෑස හුරුවූ පසු, හාත් පසු බැලූ විට, මේ ඉන්නේ වෙනදාට නිදන කාමරයේ නොවන බවත්, මේ සුපිරිපාල තුමාගේ පාසැලේ, පාවිච්චි නොකරන ගුරු නිවාසයක් බවත්, ක්‍රමයෙන් වැටහුනා. එහි සිටියේ මා පමනක් බවත්, තව මොහොතකින් තව දුරටත් අවබෝධ වුනා. අධික මුත්‍රා බරකුත්, ඒ එක්කම පිපාසයකුත්, ඒ සියල්ල යටපත් කරමින් වමනය දැමීමේ ඉතා දැඩි අවශ්‍යතාවයකුත් දැනුනා.

කෝ මේ ටොයිලට් එක?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට ආමාශය ක්‍රියාත්මක වුනා.

ඕවෑහ්හ්!……….ඕවෑහ්හ්!……… ප්තුහ්ක්!! හඬ නගමින් ආමාශයේ අන්තර්ගතය නිදහස් වුනේ කාමරයේ මැද.
පුපුරු ගහන හිසරදයත්, නැවත නැවත වමනය දැමීමත් නිසා දුර්වල වූ මම ඇඳේ අයිනක ඉඳගෙන අලාබය තක්සේරු කලා. කාමරයේ තත්වය ශෝචනීයයි. නූඩ්ල්ස් නම් බීලා කන්න හොඳ කෑමක් නෙවෙයි. වැරදි පාරෙන් පිටවූ නූඩ්ල්ස් ප්‍රිය උපදවන දර්ශනයක් නෙවෙයි. නෑ, ඒ ලේ වමනේ ගිහින් නෙවෙයි. ඒ සෝස්…කෙචප්! ෆූෆ් ! ඒ දර්ශනය නැවතත් ආමාශය කලඹන්න වුනා.

උඩින් උඩින් පැනලා කාමරෙන් පිට වෙලා වැසිකිලිය හොයාගත් මම තිබූ බරෙනුත් නිදහස් වෙලා ආපහු කාමරයට ආවේ වතුර බාල්දියකුත් කොස්සකුත් අරගෙන. මුං දැක්කොත් හෙම කබ්බා දාලා තියෙනවා හෙන නෝන්ඩිය! වදී කාඩ් එකක් ආයේ ජීවිතේට වලංගු වෙන්න!

කොච්චර අමාරුවෙන් හිටියත් වතුර බාල්දි පහලොවකට විතර පස්සෙ මුලු කාමරයෙම බිම සෝදා, මගේ රෑ කෑම වේල ඉදිරි දොරෙන් පිටතටත්, එතනින් ගේ වටා ඇති සිමෙන්ති කානුවටත්, කානුවෙන් ඉවතටත් සෝදා හරින්න හැකි වුනා. ඉන් පසුව සාක්කුව අතගා තැලී චප්ප වී ගිය සිග‍රැට්‍ටුවකුත් සොයාගත් මම එය දල්වාගෙන ඉදිරියට සැලසුම් කලා.

දැනටමත් වටින් ගොඩින් එලිය වැටීගෙන එමිනුයි තිබ්බේ. තවත් මඳ වෙලාවක් ‍රැඳී සිටි මම ගුරු නිවාසයේ දොර වසා දමා එලියට බැස්සේ මගේ පාසැල වෙත යන්නයි.

නගර මධ්‍යයේ උදේම විවෘත කර තිබූ ආපනශාලාවක් දු‍ටුවිට මගේ පිපාසයත් බඩගින්නත් දෙගුන තෙගුන වුනා. උණු උණුවේ බෑ ආප්ප දෙකකුත්, ආනමාලු කෙසෙල් ගෙඩියකුත්, දුම් දමන කලු කෝපි කෝප්පයකුත් බී, දුම් වැටියක්ද දල්වාගත් විට මෙතෙක් නොදැනුනු ප්‍රබෝධයක් ගතට දැනුනා.

මා මගේ පාසලේ ගුරු නිවාසය වෙත ලඟාවෙනවිට මගේ චමරි සගයන් වූ කලුතොටයාත්, විමලයාත් අවදි වෙලයි හිටියෙ..

“ආ මේ ඇවිත් ඉන්නෙ අකීකරු පුත්‍රයා!”

“හැබෑට… කොහෙද යකෝ රෑ තිස්සෙ යන්නෙ?”

මට වඩා අවුරුදු කීපයක් වැඩිමහල් නිසා මට බාල සොහොයුරෙකුට මෙන් සැලකූ විමලයාටත්, කලුවාටත් සුදුසු උත්තර දුන් මා, සීතල දිය නා, පාසැල් යාමට සූදානම් වුනා.

මේ පාසැලේ ගුරු විවේකාගාර දෙකක් තිබ්බා. ඇතුල්වෙන ගේට්‍ටුව අසලම ගොඩනැගිල්ලේ තිබූ නියම ගුරු විවේකාගාරයට අමතරව, පාසැලේ මැද හරියට වන්නට වූ කුඩා විදයාගාරයේ ඇතුල්වන තැනම කබඩ් වලින් වෙනකල අනියම් ගුරුවිවේකාගාරයක් තිබ්බා. මා මේ දෙතැනේම කල් ගත කලත් වඩා ප්‍රිය කලේ වයසක ගුරුතුමියන් නිතර ගැවසුනු නිල ගුරු විවේකාගාරයට වඩා සමවයසේ සගයන් සිටි දෙවන ස්ථානයටයි. විශේෂයෙන්ම එකල මා පිළිබඳ සිතක් ඇතිකරගෙන සිටි රුවැත්තිය සමග හිඳගෙන, උකුසු ඇස්වලින් ගැලවී’ වල්පල් දෙඩීමටත්, කවට කම් කිරීමටත් ඔහේ දොඩමලු වීමටත් මෙය කදිම ‍තෝතැන්නක් වුනා.

හොඳ වෙලාවට එදා උදෙන්ම එහි සිටියේ මා පමණයි. දිය නෑමෙන් මදක් යටපත් වී තිබූ හිසරදයත්, ඔක්කාර ගතියත්, දැඩිවන හිරු රශ්මියත් සමගම මතුවී ආවා. ආමාශය නැවත විරෝධතා ව්‍යාපාරයක් අරඹලා. හදිසියේම කටට දැනුනු තිත්ත රසත්, උදේ ආහාරයේ සුවඳත්, ලඟ ලඟම එලැඹෙන හදිසි අවස්ථාව ගැන පූර්ව දැනුම්දීමක් වුනා.

විදුලි සැරයක් වැදුනාක් මෙන් වහා හුනස්නෙන් නැගී සිටි මා දොරෙන් එලියට දිවැවුනා.

වැරදි තීරණයක්!

මුලු පාසැලක හරි මැද වමනෙ දාන්නේ කෙසේද? ඒ පොඩ්ඩටත් ලඟම පන්තියේ කොලු කෙල්ලන් මා දෙස විමතියෙන් බලනු දු‍ටු මා වහා පසුබැස්සා. ඒ වනවිටත් ආප්ප, ආනමාලු, හා කෝපි වලින් සමන්විත උදේ ආහාරය ගලනාලය දිගේ ඉහලට වේගයෙන් සම්ප්‍රේශනය වෙද්දී මා විද්‍යාගාරය තුලට දිවගියා. කාමරයේ කොනක වූ සින්ක් එක මා දු‍ටුවේ එවිටයි. උඩු අතට ගමන් කරමින් තිබූ අහාර වේලේ වේගයට වඩා වැඩි වේගයෙන් මා සින්ක් එක වෙත ලඟාවුනා. ඒ සමගම පාතරසය උගුර පසුකලා.

“ඔවෑ ආඅර්ර්හ්ක්” එල්ලය හරි ගියා. මඳ සතුටක් හිතට දැනුනත් ඒ සැනෙකින් සතුට අතුරුදහන් වුනා. කබ්බා බිඳක්වත් සින්ක් එකෙන් පිටට නොවැ‍ටුනත් සින්ක් එක තුල මා දු‍ටුවේ මා බලාපොරොත්තු නොවූ, රසායනික අවියකින් පහර කෑ මහ නගරයක සංකීර්ණ හැඩයක්. හේතුව පරීක්ෂණ නල හතලිස් අටක රාක්කයක් සින්ක් එක තුල තිබීමයි!  සියලුම පරීක්ෂන නල තුලත් මතුපිටත් ආප්ප, ආනමාලු, කෝපි හා ආමාශයික යුෂ මිශ්‍රණය!

අසල කබඩ් දොරේ අලවා තිබූ විද්‍යාගාර කාලසටහනට මගෙ ඇහැ ගියේ ඉබේටම. තව විනාඩි දහයකින් නවයේ පන්තියක් එනවා විද්‍යාගාරයට. ඒ දු‍ටු ගමන් නැවතත් වමනය ගියා.

දැන් මොකද කරන්නේ? මේ ටෙස්ට් ටියුබ් මගුල නොතිබුනා නම් ටැප් එක ඇරලා සින්ක් එක හෝදලාදාලා ෂේප් වෙන්න තිබ්බා. ම්ම්ම්… වතුර තියෙනවද ටැප් එකේ? මම ගැහෙන හදවතින් කරාමය ඇර බැලුවා.

දෙයියනේ! වතුර තියෙනවා!

මම වැඩ පටන් ගත්තා. දෙවෙනි වතාවටත් සාක්ෂි අතුරුදහන් කිරීමට. මුලින්ම පරීක්ෂන නල රාක්කය සෝදා ගොඩින් තිබ්බා වතුර අවමයෙන් පාවිච්චි කරලා, මොකද සින්ක් එක අවහිර වී වතුර බැස යාමේ අවදානමක් තිබූ නිසා. ඉන් පසූ පරීක්ෂණ නල එකින් එක, ඇතුලත්, පිටත් සේදුවා, ඉතාම සීරුවෙන්, නමුත් උපරිම වේගයෙන් හා කාර්යක්ෂමතාවයෙන්. සේදූ නල රාක්කයේ තැන්පත් කලා. සීනුව නාද වුනේ තව නල දෙකක් සෝදන්න තියෙද්දී. ලමයි පන්තියෙන් එලියට ඇවිත් පෝලිම් ගැහිලා විද්‍යාගාරයට එකකොට මම අන්තිම නල දෙකත් සෝදලා සින්ක් එකත් සෝදලා වතුර බස්සලත් ඉවරයි. හොඳ වෙලාවට මේ සින්ක් වල අඩියෙ තියෙන කට ලොකුයි. දැල වගෙ කෑල්ල ඔන්නම් අතට ගන්නත් පුලුවන්.

ළමයි විද්‍යාගාරයට ඇතුල්වෙනකොට මම වැනි වැනී ගිහින් අපේ කොටසෙ ඉඳගෙන පත්තරේ සිරස්තල කියවනවා කවදාවත් නැති උනන්දුවකින්. හොඳ වෙලාවට මට ඊලඟ පීරියඩ් එකත් ඕෆ්. ලඟම තියෙන කඩේට ගිය මම තැඹිලි ගෙඩියක් බිව්වම ආමාශය පොඩ්ඩක් සන්සුන් වුනා. ආපහු ඇවිත් අතන ඉඳගත්තාම අර හිත හොරාගත් රුවැත්තියත් ඇවිත් හිටියා. මම වෙනදාවගෙ ඈ ලඟින් ඉඳ නොගෙන අනිත් පැත්තෙ වාඩිවුනේ මගෙ ලඟ තිබ්බ සුගන්ධය ගැන වැඩි විශ්වාසයක් නොතිබුන නිසා.

ටිකකින් කබඩ් පේලිය අතරින් මතුවුනු විද්‍යාව උගන්නන ගුරුතුමී මගෙ මූණ දිහා ප්‍රශ්ණාර්ථ ලකුණක් එක්ක ටිකක් වෙලා බලා ඉඳලා ආපහු ගියා. මම “ඇයි අක්කා?” කියලා අහන්න ගියේ නෑ.

පස්සෙ මම ගනං හදලා බැලුවා. තප්පර හයසීයකින් පරීක්ෂන නල හතලිස් අටක්. එකකට තප්පර දොළහයි ගානක්. නමුත් රාක්කයයි සින්ක් එකයිත් සෝදන්න ගිය කාලයත් අඩු කලාම නරකම නෑ

ඊට පස්සෙ මම බිව්වත් අරවගෙ සිහිය නැතිවෙන්න බීලා නෑ කවදාවත්. දැන්නම් ඉඳහිට බිව්වත් බොන්නෙ ඔය බියර්, වයින් වගෙ අහිංසක බීම විතරයි. ඔන්න කෂ්ටිය ලකුණු කරගනිල්ලා ඈ!

 

ටැග: , , , , , , ,

62. ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!


“හිම්හානි, ඔයා එන්න මේ ෂීට් එකට. අඹ කය්යක් ගහගෙන ගියෑකි.” වින්ධ්‍යා බස් එකේ එහා කොනේ ඉඳලා මෙහා කොනට කෑගැහුවා.

“අනේ පලයං, පලයං එතෙන්ට. නැත්නම් උඹලා ඔය විදියට අපේ ඔලුවලට උඩින් බෙරිහන්දෙන්න පටන්ගත්තම අපිට කනක් ඇහිලා යන්න නෑ.” මමත් හොට දැම්මා.

“හහ්, ඔයාලා කයිය ගහන්න පටන් ගත්තාමත් ඊට එහා, ගෑනුන්ගෙ කටවල් සද්දයි කිව්වට…”

“හපෝයි මුන්ද? හහ් ගෑනු හොඳයි… මුං බිව්වාම කියවන දේවල් ඇහුවම ඔලුව කැක්කුම හැදෙනවා මටනං. නොන් ස්ටොප් කියවිල්ලනෙ. ඕක්කොම බෙබේ කතන්දර…! “, අර Melbourne වලව්වෙ පොඩ්ඩි වගෙ පිරිමින්ට පොඩ්ඩක් කොනිත්තන්න තියෙනවනම් කිසිසේත්ම ඒ අවස්ථාව අපතේ යාමට ඉඩ නොහරින මාලිනී අක්කත් පටන් ගත්තා. හැබැයි හිත හොඳ ගෑනි බබාලා දෙන්නෙක් විතරක් හිටියට.

‘කොට අදින ඉස්කෝලෙ’ ගිල්ඩ් එකට හැම මාසෙටම මොකක් හරි සෙට් වෙනවාමයි, ඈත් පළාත්වල තියෙන සාමාජිකයන්ගෙ, ඥාතීන්ගෙ මරණ, දාන, මගුල් ගෙවල්, කොටහලු ගෙවල් යනාදී වශයෙන් එකී, නොකී, හැම දේකටම වගෙ යන්න වෙනවා. හුඟක් වෙලාවට අපි ඔය රෝසා, කෝස්ටර් වගෙ මිනි බස් එකක් කතා කරගෙන තමයි ඔය ගමන් යන්නෙ. මේ ගමන් වලින් අපේ සොහොයුරු බැම්ම නම් අලුත් උනා කියලා කියන්නම ඕනෙ. වෙනම ට්‍රිප් නොගියත් (ඇත්තටම එහෙමත් ගියා ඉඳහිට) ඔය හැම ගමනක්ම ට්‍රිප් එකක් කරගන්න අපි දැනගෙන හිටියා. සමහරවිට මල ගෙදරක යනවා නම් බස් එක ඉස්සරහ දාන, ඉස්කෝලෙ නම තියෙන බැනර්, කොඩි වගේ දේවල් එල්ලනෙ ගමනාන්තයට හොඳටම ලං වුනාම. මොකද සුදු කොඩි දාගෙන සින්දු කියකියා යන ගුරු මන්ඩලයක් දකින කෙනෙක් ඇති කරගන්නෙ නොපහන් හැඟීමක් නිසා. ඒ වගෙම කොළඹ ඉඳන් අනුරාධපුරේට නැතිනම් මාතලේට යනකල්ම බිල්ලොවගෙ දුක් මූණ දාගෙන යන්නත් බෑනෙ. ඉතින් අපි මධ්‍යම ප්‍රතිපදාවෙන් සින්දු කිව්වා. ඊට වඩා 18+ කතා කිව්වා. ආපහු එක ගමනෙදි පස්ස සීට් එකට වෙලා අනුමත වෙනවෙලාවලුත් තිබ්බා.

ඊට පස්සෙ මළ ගෙදරට ඈතුල්වෙන්න බස් එකෙන් බහිනකොට ගැලපෙන මූණ ඇඳගන්නවා හරියටම අර ලංකාවෙදි ඉංග්‍රීසි සාහිත්‍යයට ඉගෙනගත්ත/උගන්නපු Eleanor Rigby සින්දුවෙ කියලා තිබ්බ විදියට, “Waits at the window, wearing the face that she keeps in a jar by the door…”

මගදි බස් එක නැවැත්තුවා තේ බොන්න. කවුරුත් බැස්සෙ හරිම කැමැත්තෙන්. උදේට කන්න, තේ බොන්න විතරක් නෙවෙයි, බරවල් සැහැල්ලු කරගන්නත් එක්ක. ගෑණු කශ්ටිය ගැන්සි පිටින් යනවා ටොයිලට් හොයාගෙන.

මාලිනී අක්කගෙ මූණ යන්න ඉස්සෙල්ලම ඇඹුල් වෙලා.

“මහ ජරාවල් බං මේ ටොයිලට් නම්… අර බොක්ක පුපුරන්න එන නිසා යනවා මිසක්…!!!”

ඒ මදිවට එක ටොයිලට් එකයි තියෙන්නෙත්. සමහරු බනිනවා ඩ්‍රයිවර්ටත් බස් එක නවත්තපු තැනට.

“ඒයි ඉක්මනට ගිහිල්ල වරෙල්ලකො, මේ අපිටත් යන්න ඕනෙ @#ජ බරට %$ජ බිලිං ගෙඩියවගෙ බං!”, ඒ මම.

“නොදකිං!” කියපු මාලිනී අක්කා සාරියත් පැත්තකින් උස්සාගෙන ටොයිලට් එක පැත්තට පල්ලං බැස්සා.

කොහොම කොහොම හරි හැමෝම ඩවුන්ලෝඩ් කරගෙන, ඊට පස්සෙ අප්ලෝඩුත් කරගෙන යන්න පිටත් වෙන අතරේ අපි කැහි කූරත් අදින්න වග බලා ගත්තා. (ඒ කාලෙ සිගරට් බොන්න තහනම් නෑ)

“ඒයි අපි ෂීට් මාරු කරමුද?” ගිම්හානි ඇහුවා ඔලුවට උඩින් සාරි පොටක් අල්ලගෙන.

“ඒ මොකද?”

“ඒ පැත්තට අව්වයි අය්යෝ. ඔයාලගෙ නම් කලු වෙන්න දෙයක් නෑනෙ.”

” හුහ්, @#$……………………………………..%$#!!!” කලු වීම ගැන ආනන්දයා දුන්න උත්තරේට කාටත් හිනා.

“ගිම්හානි,” ඔන්න මාතුල නිදා හිටිය ඉංග්‍රීසි ගුරුවරයා අවදිවුනා.

ඔන්න ඒකි බැලුවා.

“ෂීට් මාරුකරමු කිව්වෙ කොහෙද? ඇඳේද?” මං කිව්වම වින්ධ්‍යාත් කට ඇරගෙන මා දිහා බැලුවා.

“මොකක්?” අර පිරිමින් දවා අලු කරන බැල්ම මාදිහාට එල්ල වුනා.

“ඒ මොකද බං, මේ හදිස්සියෙ…?” ගමයා කාඩ හිනාවක් එක්ක කිව්වා.

“මේ මොනව කියනවද මුං? මං කිව්වෙ බස් එකේ මෝඩයො.” ගිම්හානිට චේන් පැනගෙන එන්නෙ.

“බස් එකේ තියෙන්නෙ මෝඩයො වානේ ෂීට්. ඒ කියන්නෙ තහඩු . ඒවා මාරු කරන්නෙ ටිංකර් බාස්ලා. ඉඳගන්න නම් තියෙන්නෙ සීට් (seat), ෂීට් (sheet)නෙවෙයි.”

“අහ්හා, සොරි ඈ, හෙන්රි අය්යගෙ ඉංග්‍රීසි පාඩම…! එතකොට ෂීට් කියන එක වැරදියි නේ, කටට හුරුවෙලානෙ අනේ.”

“ඔවු බං. ෂීට් කියන්නෙ පැතලි දෙයක්නෙ. හාෆ් ෂීට්, A4 ෂීට්, වහලෙට දාන රූ‍ෆිං ෂීට්, ඇඳට දාන බෙඩ් ෂීට්…යනාදී වශයෙන්. බස් එකෙත් සීට් ගැලෙව්වොත් ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යන්න පුලුවන්. නමුත් දැනට සීට් වල ඉඳගෙන තමයි යන්න වෙන්නෙ.”

“ටිං ටිං ටිං. ඉංග්‍රීසි පීරියඩ් එක ඉවරයි. දැන් නැගපල්ලා යන්න. පරක්කු වෙනවා.” ගමයා කිව්වා.

 

ටැග: , , , ,