RSS

Category Archives: ගුරු සේවයේ ජොලි කතා

175.අපේ ඉංගිරීසි සෑර්.


baker

මම ගිය පාර ලියපු තක්කාලි කතාව‘අපේ රූ’ කරලා තිබුණු කමෙන්ට් එක මේ ලිපිය සිංහලෙන් පළ කරන්න හේතු කාරක වුනා කිව්වොත් නිවැරදියි. රූ මෙහෙම කියලා තිබුනා…

රූ….March 23, 2016 at 6:54 AM
මහවැලි කලාපයේ වැඩ කරද්දි ලැබුනු තෑග්ග නිසා ඩූඩ් තවමත් දුක්විදින බව දකිනකොට දුකයි.ඒ දූවිල්ල එසේ මෙසේ දූවිල්ලක් නෙවි කියලා මමත් අත්දැකලා තියනවා..
කොහෙම වුනත් ඒ කාලේ ළමයි ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් නම් වටිනවා ඩූඩ්…සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් අවස්ථාව නොලැබීමේ අවාසනාව නිසා අසරණ වුනු ළමයි ගැන..
ඩූඩ් මොකද කියන්නේ..
Read the rest of this entry »

 

174. දීපා, තක්කාලි වලට මොකද වුනේ කියල නං අහන්නෙපා.


Captureගුරු පුහුණුවෙන් පස්සේ අපිව ආපහු දැම්මේ, අද කාලෙ සමහර දෙනෙකුට මොනවගේ දෙයක්ද කියලා හිතාගන්නත් අමාරු. අනිවාර්‍ය දුෂ්කර සේවයටයි. ලොකු ලොකු අතු අල්ලන්න අත දිග උන් බොහොම උජාරුවෙන්, පොරත්වයෙන්, ඒ වගේම ආත්ම විශ්වාසයෙන් කිව්වෙ උන් නම් ඕක කියලා හදවා ගන්නවා මිසක, මොන ජාතියෙන්වත් දුෂ්කර , සේවෙට නම් යන්නේ නැති බවයි. එහෙම ලොකු අතු අල්ලන්න හයියන් නොතිබුන, එහෙම තිබුනත් එහෙම කරන්න හිත නොදුන්න අපි වගේ අසරණ, අපතයෝ ටික කලේ, වෙන දේකට මූණ දෙන්න මරණ වරෙන්තුව බාර ගන්න එකයි. ඇරත්, මුලින්ම රජයට තියෙන මේ බැඳීම ඉවරයක් කරලා දැම්මාම, පස්සේ කාලෙක ආයෙ දුෂ්කර සේවෙට එන්න වෙන්නේ නැති බව කියලා අපි හිත හදා ගත්තා. Read the rest of this entry »

 

169. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – තුන්වන (අවසාන)කොටස.


Promised Land: The Capital, Western Province, Parallel Universe.

පොරොන්දු දේශය, අගනුවර, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.

ගොරවමින් කන්ද අදින බර වාහන පෙලින් බේරී පාර මැද සුදු ඉරට සමාන්තරව මෝටර් සයිකලය පදවන මම කන්දේ පහලට වේගයෙන් ධාවනය වන විරුද්ධ පැත්තේ තීරුවේ වාහන වැලේ හිදසක් තුලින් දකුණට හරවා පදික වේදිකාවටම නග්ගා වාහනය නතර කරනවා.

මේ කතාවෙ අගක් මුල නොතේරෙනවා නම් මෙන්න මුල් කොටස් දෙක.
166. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – පළමු කොටස
167. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – දෙවන කොටස

යකඩ ග්‍රිල් ගේට්‍ටුව තුලින් බලන ගේට්‍ටු මුරකරු මා දිහා බලන්නේ සැකමුසු බැල්මක්.

“මට ප්‍රින්සිපල්ගෙ ඔෆීස් එකට යන්න ඕනේ. මට මාරුවීමක් ලැබිලා තියෙන්නේ.” Read the rest of this entry »

 

ටැග: , ,

146. අපි එහෙමයි, ඈ.

146. අපි එහෙමයි, ඈ.

තාම හති අප්පා.

ගෙදර ඉඳලා ඉස්කෝලෙට ඇවිදගෙන යන්න හරියටම විනාඩි දොළහක් යනවා. අද ඉරිදා උඹලට නිවාඩු වුනාට මේ රටවල් වල වැඩ කරන දවසක්නේ. උදෙන්ම නැගිටලා නාලා, කාලා, ඇඳගෙන එළියට බහිනකොට 6.25යි. ‍ෆින්ගර්ප්‍රින්ට් අහවල් එකට ඇඟිල්ල තියන්න ඕනෙ 6.39 ට කලින්. අද විනාඩි කීපයක් පරක්කු නිසා දීපයි මායි වේගයෙන් ඇවිදගෙන ගියා.

පාරට බැහැපු ගමන්ම පේන්නේ ලයිට් කණුවක් ගානේ දාලා තියෙන ජාතික කොඩි. ඒක මේ දවස්වල පුදුමයක් නොවෙන්නේ, ඡන්ද ආතල් එක නිසා පෝස්ටර් ගැහිලි, ජන්ද මීටිං, යකඩ කටෙන් කෑගැහිලි, කොඩි, කොඩිවැල්, පෙළපාලි පාරක් පාරක් ගානේ දකින්න තියෙන නිසයි.

DSCN3880

“දීපා, බලන්නකෝ මුන්ගේ මොළේ. කොඩිය ලයිට් කණුවේ බඳින්න ඕනෙ නැතිවෙන්න හැම ලයිට් කණුවකම කොඩි දෙකක් දාන්න පුළුවන් වෙන්න හදපු බ්‍රැකට් එකකුත් ලයිට් කණුවෙම තියෙනවා. අර බලන්නකෝ. ඒක හොඳ සිස්ටම් එකක් නේ.”

“අද පාර පාලුයිනේ,” දීපා කිව්වා.

“ඒක තමයි මමත් නෝට් කලේ. අද නිවාඩු දවසක්වත්ද?”

“එහෙම නම් ප්‍රින්සා ටෙක්ස්ට් කරලා කියනවනේ.”

මම හොඳට වටපිට බැලුවා.

අනිත් ඉස්කෝල එකකටවත් යන ළමයෙක්වත්, වෙනදට දකින ගුරුවරුවත් කවුරුවත් නෑ.

ඉඳලා හිටලා අපිව පහුකරගෙන යන වාහනයක යන කෙනෙක් අපි දිහා හොඳට බලනවා වගේ අපිට හිතෙන්නේ. පාර අතුගගා ඉන්න ගෑණු කෙනෙත් එහෙමයි. අපි මීට කලිනුත් තුන් වතාවක් විතර නිවාඩු දවස්වලත් ඉස්කෝලේ ගිහින් තියෙනවා. ;P

ඕකෙ වැඩේ ඉන්දියානුවන්ට වරදින්නේ නැත්තේ, උන් එකෙක් දැනගත්තොත් කට්ටියටම කියනවා. ලාංකිකයෝ වන අපි දෙන්නාට වෙනම ඉංග්‍රීසියෙන් කිව්වේ නැතිනම් අපිට දැනගන්න විදියක් නෑනේ. මොකද අපි දෙන්නට දිවෙහි, හින්දි, මලයාලම්, දෙමල, මරාති, ගුජරාටි තේරෙන එකක්යැ? ඒ නැතත් අපි කොහොමත් අනිත් උන් කතාකරන දේට කණ දීගෙන ඉන්නේ නෑ. උන් කෑ ගහනකොට අපි කණ ඕෆ් කරගෙන කින්නේ. අනික කරුමේ කියන්නේ, උන් කවුරුත් අපිත් එක්ක හොඳින් හිටියත්, අපිට වෙනම නොකියන්නේ, අපි දැනටමත් දන්නවා ඇතියි කියලා හිතාගෙන ඉන්න නිසයි.. ඕපාදූප නොසොයා ඉන්න එකේ අවාසිය ඕකයි.

“මම බොසාට කතා කරලා අහන්නද?” මම ඇහුවා

“එපා, දැන් ළඟයිනේ. “

“නිවාඩුවක් වුනත් කමක් නෑ. ගිහිල්ල බලමු. නැතිනම් අපරාදේ මේ උදෙන්ම නැගිටගෙන. හොඳට නිදියගන්න පුලුවන්කම තිබ්බ දවසේ. මම හරි අමාරුවෙන් නැගිටගත්තෙත්.”

කොහොමින් කොහොමින් හරි ඉස්කෝලෙටම යනකල් එකම ළමයෙක්වත්, ගුරුවරයෙක් දකින්න හිටියේ නෑ. වංගුවෙන් හැරෙනකොටම, ඉස්කෝලෙ ඉස්සරහම ගෙදරක ඉන්න ප්‍රින්සිපල්ගේ දොර වැහෙනවත්, ෂර්ට් අතක් අතුරුදහන් වෙනවත් මම දැක්කා. මම දොරට ගහන්න හදනකොටම දීපා කිව්වා, එපා නිවාඩු නෙවෙයි නම් පරක්කුවෙනවා, එන්න යන්න කියලා.

අපි ඉස්කෝලේ ගේට්‍ටුවෙන් හැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ප්‍රින්සිපල් මතුවුනා හිනා වෙවී.

“අද නිවාඩුද මිස්ට ….? මොකද අපි එකම ළමයෙක්වත් ගුරුවරෙයෙක්වත් දැක්කේ නෑ පාරෙ,” මම ඇහුවා.

“හෙහ් හෙහ් මට ඔය දෙන්නගෙ කටහඬ ඇහිලා දොර ඇරියේ. අද නිවාඩුයිනේ. අද පබ්ලික් හොලිඩේ එකක්.”

ඔන්න තුන්දෙනාටම හිනා.

“ඒකනේ. නැතිනම් මෙච්චර කාලෙකට ඔයා අපිට ටෙක්ස්ට් කරලා දැනුම් නොදී ඉඳලා නෑනේ.” මම කිව්වා. පොර ඇත්තටම එහෙම කරනවා.

“මට ඒත් හිතුනා එහෙම කරන්නත්. ඒත් මම කල්පනා කලා මේක කැලැන්ඩරෙත් තියෙන හන්දා අවශ්‍ය නෑ කියලා. හෙහ් හෙහ්.”

“හරි, දැන් අපි නම් වැරදිලා ආවයි කියමුකෝ. දැන් ඔයා මොකෝ මේ උදෙන්ම ඇහැරලා ඇඳගෙන ඉන්නේ?” මම ඇහුවා.

“මට කතා කරලා තිබ්බානේ අර කොඩිය උස්සන උත්සවේට එන්න කියලා. අද වික්ටරි ඩේ එක නිසා.”

අපි ගෙදර එන්න පිටත් වුනා.

“ආ තව එකක්. හෙට වැඩක් කරන දවසක්, නමුත් අනිද්දා නිවාඩුවක් හරිය? ඔන්න මම දැනුම් දුන්නා දැම්මම ජෝඩුවටම, හෙහ් හෙහ්” කියපු ප්‍රින්සිපල් දොරෙන් ඇතුලට ගියා.

ආපහු ඇවිදගෙන ගෙදර එනකොට මිනිස්සු හිනාවෙනවා වගේ පේන්න ගත්තා.

ඉස්සරහ කඩේ පොරට කට පියාගෙන ඉන්නම බැරුව ඇහුවා ඇයි අද නිවාඩු නැද්ද කියලා.

“නිවාඩු. ඒ වුනාට උදේම තිබුනනේ අර ජාතික ගීය කියලා කොඩිය උස්සලා එන්න. ඒකයි.”

“ආ ඒක මිසක්.”

(මම ෂෝට ගහගෙන ගිහින් මේ පින්තූර ටික අරගෙන ආවා උඹලා වෙනුවෙන්ම. අපි එහෙමයි, ඈ )

තාම හති අප්පා.

Happy Victory Day!

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

DSCN3877

 

ටැග: , , , , ,

138. කලු සහ සුදු BLACK & WHITE

138. කලු සහ සුදු BLACK & WHITE

අපායේ ගතකල් හොඳම විනාඩි විස්ස මතකද? 

අමතක වෙන්න නම් අමාරුයි. නමුත් එහෙම වුනා නම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ. 


 ඔව්, ඉතිං ඒ ජනේලේ එදා බේරුනානේ. මේ ඊට සති කීපයකට පස්සේ වෙච්ච දෙයක්. මේත් ඒ වගේ නැගීගෙන එන අපා පන්තියක  ජනේලෙට වෙච්ච දේ. හොඳයි හැඳින්වීම ඉවරයි. දැන් මෙන්න කතාව.

මේ මොකක්ද?

හෙන පවර්ෆුල් මෝටර් බයික් එකක් නේද? හුඟ දෙනෙක්ගේ  Dream machine එකක්, හරිනේ?

මේක මොනවායින්ද හදලා තියෙන්නේ කියල කියන්න පුලුවන්ද?

බලමු තව එකක් දෙකක්.


 


ඔව් මේක හදලා තියෙන්නේ කැඩිච්ච සිගරට්  ලයිටර් කෑලි කීපයකින්. පට්ට නිර්මාණයක් නේද? දැන් පුලුවන්නේ කෑලි ටික අඳුනාගන්න? බැරි නම් ලයිටරයක් හොයාගෙන බලන්න.

මම මේවගේ වැඩ වලට හරි ආසයි. දවසක්, මම අපායේ උගන්නන කොට එක බුවෙක් සුපුරුදු විදියට වෙන වැඩක්. මම ළඟට ගිහින් බැලුවාම තමයි මේක හොයාගන්න පුලුවන් වුනේ.

සාමාන්‍යයෙන්, සාමාන්‍ය පන්තියක නම්, මම කල යුත්තේ මේක අත් අඩංගුවට අරගෙන, හදපු එකාට ලෙඩක් අදින එක වුනත්, මට එහෙම කරන්න හිතුනේ නෑ. පන්තිවල මම උගන්නනකොට චිත්‍ර අඳින උන්ටත් මම කියන්නේ, චිත්‍ර ඇඳපල්ලා, නමුත් මම උගන්නනකොට අඳින්න එපා කියලා. මම කැමති නෑ කාගෙවත් නිර්මාණාත්මක හැකියාවල් මොට කරලා දාපු පව්කාරයෙක් වෙන්න. අනාගත් මයිකල්ආන්ජලෝලා, ඩාවින්චිලා, අයින්ස්ටයින්ලා, බිල් ගේට්ස්ලා උපන්ගෙයිම මරාදාපු තවත් කාලකන්නියෙක් වෙන්න.

බොහෝවිට වෙන්නේ, මේක ගුරුවරයට හොයන්න බැරිවෙන්න හංගන එක වුනත්, මම මේක ඉල්ලුවාම වැඩි අකමැත්තක් නැතිව පොර මට මේක දුන්නා. පස්සෙ මම මේක ඉල්ලගෙන, ඉස්සෙල්ලම සුපාට පෙන්නලා කිව්වා මේකට ඇක්ෂන් ගන්න නෙවෙයි මම මේක පෙන්නන්නේ, උඹට මේකේ තියෙන නිර්මාණාත්මක ගුණය පෙන්නන්නයි කියලා. හිත හොඳ බුවෙක් වෙච්ච සුපාත් මේක දැකලා සතු‍ටු වුනා. ඔන්න ගෑණු අංශ මාත් එක්ක තරහ වෙන්න එපා, මම මේක ගෑණු සුපාලට පෙන්නුවේ නෑ. මොකද ඒගොල්ල මේක බාරගන්නේ කොහොමද කියලා මම දන්න නිසා. හෙහ් හෙහ්.

පස්සෙ, මම මේක ගෙදර ගෙනත් ගත්ත ෆෝටෝස් තමයි මේ තියෙන්නේ. පහුවදාම මම මේක ආපහු ගෙනිහින් අයිතිකාරයට දීලා කිව්වා ආයේ ඕක මම උගන්නන වෙලාවට එළියට ගන්න එපා කියලා.


පස්සේ මම මේ බුවාගේ රිපෝර්ට් එකේ ධන ලක්ෂණ හැටියට ඉතාම නිර්මාණශීලීයි කියලා සඳහන්කලා. දෙගුරු, ගුරු, සිසු හමුවේදී, (PTS Meeting) මේ
නිර්මාණශීලිත්වය ගැන සඳහන් කරලා, ඒක මැරිලා යන්න දෙන්න එපා කියලා අම්මාගෙන් ඉල්ලීමක් කලා. අම්මා පුදුම වුනා එහෙම හැකියාවක් තමන්ගේ ළමයට තියෙන බව මම කිව්වාම. වැඩියෙම පුදුම වුනේ, මූ මේ කරන පිස්සු වැඩ, අර පිස්සු ගුරුවරයා නිර්මාණාත්මක දෙයක් හැටිඔයට වරදවා තේරුම් ගැනීම ගැන වෙන්න ඕනෙ. හෙහ් හෙහ්!

දැන් මෙතනින් කතාව ඉවර වෙන්න ඕනෙ නේද අර කෙහෙල් කොරොට්ටා කිව්වා වගේ? මොකද දැන් කතාවේ ක්ලයිමැක්ස් එකට ඇවිත්. ආදර්ශයකුත් ලැබිලා. සෑම කලු වලාවකම රිදී රේඛාවක් ඇත කියන ආප්තෝපදේශය සැබෑ වෙලා.

ම්හ්ම්,

මේ ඊට දවස් දෙකකට පස්සෙ මම දීපු වර්ක් ෂීට් එකක්. කතෘ අර බුවාමයි.  ඔය මම රතු ඊ තලෙන් පෙන්නලා තියෙන වාක්‍ය ලියන්න කො‍ටු මේකෙ තිබ්බෙත් නෑ. පොර අමතරව කො‍ටු ඇඳලා තමයි FCUK කියලා අලුත් වචනයකුත් එකතු කරලා තියෙන්නේ.

ඔව්, දැන් මම ‘හරි’ නම් මොකක්ද කරන්න ඕනෙ? ඔය ‘හරි’ දේත් සාපේක්ෂයි. 

මේ මම කරපු දේ.  

IMG_20130409_074828

Additional Word! අමතර වචනයකි!
Creative!  නිර්මාණශීලීයි!

මතක තියාගන්න.  සම්ප්‍රදායික ඉගැන්නුම් ක්‍රම මේකට හරියන්නේ නෑ. මේ අපාය.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers. 

 

ටැග: , , , , , ,

122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

122. අපායේ ගතකල හොඳම විනාඩි විස්ස!

මේ දැන් මාරම වැඩක් වුනානෙ බංස්ලා. මම දැන් පැයකට කලින් ගියා අපායට. අපාය කියන්නෙ මම උගන්නන එක පන්තියක්. දැන් උඹලා කියන්න එපා එහෙම කියන එක අසාධාරණයි කියලා. සීමිත විෂය මාලාවක් උගන්නන පන්ති (Limited curriculum classes) හදලා තියෙන්නෙ ඉස්කෝලෙ ඉන්න එපාම කරපු යමපල්ලො ටික දාලා. මේවායේ ඉන්නෙ ඇත්තටම ඉස්කෝලෙක තියාගන්න බැරි, නමුත් ළමා අයිතිවාසිකම් කේස් එක නිසා එලියට වීසි කරන්නත් බැරි ජීවී විශේෂයක්. මේ පන්තිවල උගන්නන්නෙ ආගම, මව් භාෂාව , ඉංග්‍රීසි, විත්‍ර සහ ගණිතය විතරයි. උදේ ඉඳලා පීරියඩ් හතරයි වැඩ. ඉන්ටවල් එකට ගෙදර ගියාම ආයෙ එන්න ඕනෙ නෑ අනිත් සාමාන්‍ය ළමයි වගේ. ලිමිටඩ් කරිකියුලම් කියන ඒකට යන, ගිය ආත්මේ ගෙවාගන්න බැරි පාප කර්ම කරලා තියෙන අවාසනාවන්ත ගුරුවරු කවුරුත් ඒකට කියන්න අපාය තමයි. අපායට යන්න කලින් මම රවියගේ වාංපතුල් ගැනත් ජනුවගේ තාත්තගේ කිරි බෝතලේ ගැනත් කියවලා මූඩ් එක හදාගෙන ගියේ.

මම කලිනුත් කියලා තියෙනවා වගේ, අර යාඥාවක් එහෙම කරලානේ ඔය පන්තියට යන්නේ. මේකට ඇතුල් වෙන්නෙත් ඔය සාමාන්‍ය පන්තියකට ඇතුල් වෙන විදියට නෙවෙයි මම නම්. දොර ලඟට ගිහින් ඉස්සෙල්ලම දොරබෝලෙ කරකවලා බලනවා. ලොක් කරලා නම් එහෙමම ඉන්නවා කවුරුහරි ලොක් එක අරිනකල්. නැති නම් බෝලෙ කරකවලා, අඟලක් දොර අතින් තල්ලු කරලා අත ගන්නවා. ඒ එක්කම අඩියක් පස්සට අරගෙන, සපත්තුවේ ටෝ එකෙන් දොර තල්ලු කරලා තව අඩියක් පස්සට අරන්, බලා ඉන්නවා දොර මුල්ලක් ඉතිරි නොවී දොර සම්පූර්ණයෙන් බිත්තියට ගිහින් හේත්තු වෙනකල්. මේ ඔක්කොම කරන්නෙ දොර බූබිට්‍රැප් කරලා තියෙන්න පුලුවන් නිසා. ඊට පස්සෙ උඩ සහ වම හොඳට බලලා සැක හැරගෙන තමයි පන්තියට ඇතුල් වෙන්නෙ.

ඉතින් වෙනද වගේම මම හිල් කලේට වතුර අදිමින් විනාඩි විස්සකට වඩා වැය කලා. මතක තියාගනිල්ලා. මේ පන්තියෙ විනාඩියකට තප්පර හයසීයක් තියෙනවා. වෙන පන්තිවලට ගුරුවරු ගියාම ළමයි නිතර ඔරලෝසුව දිහා බලනවා ඒක නැවතිලාද කියලා දැනගන්න. අපායට ගියාම, නිතර ඔරලෝසුව දිහා බලන්නෙ ගුරුවරු, ඒක නැවතිලාද කියලා දැනගන්න.

මාත් ගිහින් තනියෙම පාඩමක් කරනවා. මම හිතන්නෙ මේ අපාය කියන පන්තිවල වැඩ කෙරෙන හැටි පොඩ්ඩක් විස්තර කලොත් හොඳයි, කොයි ගුරුවරයා ගියත්, හොඳ හෝ නරක.

ගුරුවරයට කුණුහරපෙන් බනිනවා මව් භාෂාවෙන්. තව එකෙක් කඩදාසි බෝල විසිකරනවා. එක කඩදාසි බෝලයක් ගුරුවරයගේ කණ ගාවත් වදිනවා. භැමෝම හිනා වෙනවා. ගුරුවරයා මොකුත් නොවුන ගානට ඉන්නවා. නැගීගෙන එන, පහළ අපායේ පන්තියෙන් එලියට දාලා ඉන්නවුන් මේ පන්තියෙ උන්ට, ජනේලෙන් කෑ ගහනවා. මේ පන්තියෙ උන් පැනලා ජනේලෙන් අත දාලා අරුන්ගෙන් එකෙක්ව අල්ලාගෙන ජනේලෙන් ඇතුලට අදින්න හදනවා, කෙල්ලො, කොල්ලන්ව වට කරගෙන අතේ පච්ච කොටවා ගන්නවා. තව එකෙක් චිත්‍ර අඳිනවා. තව එකෙක් ඔහේ බලාගෙන ඉන්නවා. එකෙක් පාර පැත්තෙ ජනේලෙ ගාවට දුවලා පාරෙ යන ගෑණියෙක්ගෙ පස්ස වැනෙන හැටි දැකලා කෑගහලා, අනිත් උන්ටත් කියනවා. කට්ටියම ජනේලෙ ගාවා. ගුරුවරයා එතනට ගිහින් අරුන්ට කෑගහනවා, ‘ගිහිල්ල ඉඳගනිල්ලා’ කියලා. අරුන් ගුරුවරයට අර ‘පස්ස’ පෙන්නලා කියනවා, ‘පට්ට කෑල්ලක් යනවා සර්, අර බලන්ඩකො, මට ම්ම්ම්ම් හිතෙනවා…’, කියලා. ගුරුවරයා ආයෙම බලනවා ඔරලෝසුව නැවතිලාද කියලා.

ඔන්න ඔයාකාරයි.

දැන් ඔන්න නිතරම සින්දු කියන බෙර ගහන එකෙක් ටොයිලට් එකට ගියා. ටිකකින්, පන්තියෙ අද ඇවිල්ලා ඉන්න උන්ගෙන් ජරාම එකා වගේම, පන්තියෙ ජරාම උන්ගෙන් එකෙකු වන සිරිමත් මගේ සකි, යහපත් ළමයෙකි තව එකෙකුත් එක්ක ජනේලෙ ගාවට දුවනවා. මේ හදලා මාස දෙකක්වත් නැති අලුත්ම බිල්ඩිමේ පන්ති කාමරයේ එක පැත්තක එලියට ඇරෙන ඇලුමිනියම් ජනේලත්, කොරිඩෝව පැත්තට පීල්ල දිගේ ලිස්සන ඇලුමිනියම් ජනේලත් දාලායි, හදලා තියෙන්නෙ.

ජනේලෙ ගාවට ගිය මේ දෙන්නා, මුලින්ම මොකක් හරි වාදයක් ගියා මව් භාෂාවෙන්. ඊට ටිකකට පස්සෙ පස්සෙ දෙන්නම ජනේලෙ වීදුරු දෙකකට අත් තියලා තල්ලු කරනවා මම බලාගෙන. ‘මේ ඕක නවත්තනවා!’ කියලා කෑ ගහල කට ගන්න හම්බවුනේ නෑ, වීදුරු ජනෙල් පියන් දෙක දඩාස් ගාලා පීල්ලෙන් පැනලා කොරිඩෝව පැත්තට පෙරලුනා. මුන් දෙන්න දඩිබිඩි ගාලා ජනෙල් පියන් දෙක යන්තම් අල්ලා ගත්තා. දැන් දෙන්න එක්ක මේක ආපහු දාන්න හදනවා, හරියන්නෙ නෑ. මොකද ඒක කරන්න පුලුවන් වැඩක් නෙවෙයි , පියන දෙන්නෙක්වත් දෙපැත්තෙන් අල්ලන්නෙ නැතුව.

IMG_20130404_093814

දැන් දෙන්නගෙම මූණු අර ගලේ පහරපු බළල්ලු වගේ. අතෑරලා දුවන්නත් බෑ, ජනේලෙ පෙරලෙනවා, අල්ලගෙන ඉන්නත් බෑ මාට්‍ටු වෙනවා. අපරාදෙ කියන්න බෑ වෙන එකෙක්වත් මුන්ට උදව්වක් කරන්න ආවේ නෑ. ‘හක හක’ ගගා බඩවල් අල්ලගෙන හිනා වෙනවා. මම කෙලින්ම පන්තිය දාලා ගියා සුපවයිසර්ට කියන්න. සුපර්වයිසර්ට කලින් මෙන්න ප්‍රින්සිපල් එනවා කොරිඩෝව දිගේ. මම ප්‍රින්සිපල්ව දැනුවත් කරලා ආවා.

මෙහෙම නීතියක් තියෙනවා. දැන් කවුරුහරි ඩෙස්ක් එකක් පොඩි කලොත්, කුණුහරපයක් ලිව්වොත්, අතේ පච්චයක් කොටා ගත්තොත්, පරිපාලනය ඉස්සෙල්ලම ඇඟිල්ල දික් කරන්නෙ හිටපු ගුරුවරයාටයි. වැ‍රැද්ද කරපු එකාට දඬුවම් දෙන එකට වඩා ප්‍රමුඛතවයක් දෙන්නෙ ගුරුවරයට ලෙඩේ අදින්නයි. ඒක නිසා මට අනිවාරයයෙන්ම ඒක කරන්න වෙනවා.

ප්‍රින්සිපල් එනකොටත්, පොරවල් ජනෙල් වල එල්ලිලා අල්ලගෙන ඉන්නවා. පන්තිය ඇතුලේ උන් මහා හයියෙන් හිනාවෙනවා. මටත් හිත ඇතුලෙන් මැරෙන්ඩ හිනා වුනත්, මමත් සීරියස් මූණක් හදාගෙන ඉන්නවා.

ප්‍රින්සිපල්ට මුන් දෙන්නත් එක්ක මල පැනලා මදිවට, පන්තියෙ ඉන්න උන් එකිනෙකාට ගහ ගහා, බිම පෙරලි පෙරලි, හිනාවෙන එකට කරන්න දෙයක් නෑ.

ටිකකින් ආවා අර ටොයිලට් ගිහින් හිටපු එකා. මූ ප්‍රින්සිපල් ලඟ නැවතිලා කටවල් ඇරලා ඇස් රවුම් කරලා බැලුවා සීන් එක. බලලා එතනම ඉඳන් ඇතුලෙ උන්ගෙන අහනවා මොකද යකෝ වුනේ කියලා. මුන් කියනවා විස්තරේ, අතිනුත් දාලා මහා හයියෙන්. ඒක අහපු බුවා, ප්‍රින්සිපල් ගාවම බිත්තියට මිට මොලවලා ගහ ගහ, උඩ පැන පැන, හිනාවෙනවා.

ප්‍රින්සිපල් කෙනෙකුටත් පුදුමාකාර ඉවසීමක් තියෙන්න ඕනෙ.

ටිකකින්, ප්‍රින්සිපල් කිව්වා ඔය ජනෙල් දෙක හෙමීහිට උස්සලා අහකට අරගෙන බිත්තියට හේත්තු කරන්නය කියලා, එකෙක් නම් එහෙම කලත්, අර සිරිමත් ඒක එහෙම්මම හිර කරලා, තර්ක කරනවා ප්‍රින්සිපල් එක්ක. ටිකකින් බුවාත් ජනෙල් පියන බිම තියලා ප්‍රින්සිපල් එක්ක එකට එක කියාගන්න පටන් ගන්න කොටම බෙල් එක ගැහුවා. ඔව්! සීමිත විෂයමාලා පන්තිවලට යන ගුරුවරු කවුරුත් අර ආසාවෙන් බලා ඉන්න සද්දෙ. මම මාකර් දෙකත් සාක්කුවේ දාගෙන එලියට එනකොට එක කොල්ලෙක් දුවගෙන ආවා මාත් එක්කම.

“සර් මාත් එනවා.”

“කොහෙද යන්නෙ?”

“මම යනවා ටොයිලට් එකට.”

“දැන් එක පාරක් ගියානේද?”

“දැන් යන්නෙ හොඳට හිනාවෙන්ඩ.”

“හම් යං. මාත් මේ ස්ටාෆ් රූම් එකට යනකල් ඉන්න බැරුව ඕයි ඉන්නෙ මේක කාට හරි කියලා හිනාවෙන්න.”

ඒක අහලා, ඒකා කොරිඩෝවෙ ඉඳගෙනම හිනාවෙන්න පටන් ගත්තා.

Simulblogged @ මගේ ඩෙනිම for Blogspot Lovers.

 

ටැග: , ,

99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

අද භාරත් ගෙදර ගියා.

ආයෙ අපි කිසිදා මුන ගැහෙන එකක් නෑ බොහෝවිට, මූණු පොතෙන් හෝ ඊයකින් හැර.

ඇත්තෙන්ම කඩවසම් පෙනුමක් තියෙන, අඩි හයයි අඟලක් විතර උස, ඉන්දියාවෙ නව දිල්ලියෙන් ආපු  භාරත්, අපේ පාසැලේ පරිඝනක විද්‍යා ගුරුවරයා.  පරිඝනක තාක්ෂනය පාසැලේ වැඩ වලට උපරිමයෙන් යොදා ගන්නා මේ රටේ, පාසැල් වල වාර විභාගවල ලකුණු සටහන්, එතකොට ප්‍රගති වාර්තා සම්පූර්ණයෙන්ම පරිඝනක ගත කරලා තියෙන නිසා, ඉගැන්වීමට අමතරව, භාරත්ට නිතරම ඔය  Excel  worksheet වලින් ඒවා නිර්මාණය කරලා පවත්වාගෙන යාමේ වගකීමත් පැවරිලා තිබුනා.

කැමති වුනත් නැති වුනත්, අනිත් ඉන්දියානුවන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න භාරත්ට සිදධ වුනේ, මෙතන බහුතරය වන කේරල වැසියන් හින්දි විරෝධී වීමත් ඒවාගේම හින්දි දැන නොසිටීමත්, භාරත් මලයාලම් නොදැනීමත්  යන සරල හේතුව නිසායි.

ගුරු විවේකාගාරයේදී, දීපාටත්, මටත් මුහුණ ලා ඉදිරියෙන් වාඩිවීමට පුරුදු වී සිටි භාරත්, ටික දවසකින් එතැන අතහැර දමා මගේ අසලට සංක්‍රමණය වුනේ, ඇතැම් කේරලයින් සමග ඇතිවූ සුලු සුලු ගැ‍ටුම් මත බව මම දැන හිටියා. මුලින්ම, බුවා මා ලඟට පැමිනීම ගැන මම එතරම් සතුටකින් නොහිටියේ, මේ ඉන්දියානුවන්ගේ සහජ ලක්ෂණයක් වූ අනිකාගේ පෞද්ගලිකත්වය තුට්‍ටුවකට නොසැලකීමේ ගතියට දීපාත් මමත්  අසාත්මිකතාවයක් දැක්වූ නිසයි.

උදාහරණයක් විදියට, දීපා පරිඝනකයේ Yahoo Mail පි‍ටුව ඇරගෙන, අපේ කෙල්ල එවූ ලිපියක් කියනවිට හෝ ඇයට  පිළිතුරක් ලියනවිට, අසල සිටින ඉන්දියානුවන් එක වරම, “දීපා මෑම්, ‘අම්මා’ කියන්නෙ මදර් කියන එකද සිංහලෙන්?” වැනි ප්‍රශ්නයක් ඇසූ විටයි ඇය දැනගන්නෙ, මෙපමණ වෙලා මොවුන් ලඟම ඉඳගෙන අර ලිපිය කියවමින් ඉඳ ඇති බවට.

“මේ යක්කු අනුන්ගෙ ලියුම් හොරෙන් කියවනවා  මදිවට අමාරු වචනවල තේරුමත් අහනවනෙ යකෝ!” මගෙ කටින් නිතර කියවිච්ච වචන පේලියක්.

මම ඉන්දියානුවන් ආශ්‍රය කිරීමට පෙර Height of Rudeness ලැයිස්තුවේ ඉහලින්ම තිබුනේ,  උදේ පාන්දරම කෙනෙක්ගෙ ගෙදරට ඇතුල්වෙන පඩිය මත මළපහ කර, දොරට තට්‍ටුවක් දමා නිවැසියන් අවදි කරවා, පස්ස සෝදා ගැනීමට වතුර ඉල්ලීමයි. දැන් නම් මට ඒ ගැන එච්චරම විශ්වාසයක් නැති වේගනයි එන්නෙ. අද උදේට කෑවෙ මොනවද යයි ඔවුන් අපෙන් අසන්නෙ හරිම අහිංසක විදියට. ලංකාවේ ඒ ප්‍රශ්ණය ආචාරශීලී නොවන ප්‍රශ්නයක් බව මා කියූ විට ඔවුන් පුදුම වුනා.

භාරත්ගෙ එක්තරා නිලනොවන රාජකාරියක් වුනේ, පාසලේ වයි ෆයි සබඳතාවය ගුරු මණ්ඩලයේ පෞද්ගලික ලැප්ටොප් පරිඝනක වලට ලබාදීමට මුරපද සහ වෙනත් සැකසුම් කරදීමයි. මේ නිසා  ලැප්ටොප් උස්සාගත් ගුරුවර, ගුරුවරියෝ භාරත් අසල නිතරම ගැවසුනා.

මට කීමට  අමතක වූ දෙයක්නම්  මෙහි හැම ගුරුවරයෙකුටම වාගේ ලැප්ටොප් පරිඝනක ඇති අතර මේ පාසැලේ හැම පන්ති කාමරයකම ඒවා සම්බන්ධ කිරීමට විශාල LCD තිරයක්ද සුදු ලෑල්ලට ඉහලින් බිත්තියේ සවිකර ඇති අතර ගුරුකාමරයේ සියලුමමේස වලට විදුලි පේනු සවිකර වයි ෆයි සබඳතාවයක්ද ලබා දී ඇති බවයි. (ඔව්, යූ බටය අවහිර කරලා තමයි තියෙන්නෙ. රතු?? මගුලක් කතා කරනවා!)

ඔන්න එදත් ලැප්ටොප් එකේ ඇති යම් කිසි අවුලක් ගැන කතා කරගන්න එක් දේශීය ගුරුවරියක් භාරත් ලඟින් වාඩි වුනා.

මම මේ කතාවලට කොහෙත්ම කන් නොදුන්නත්, එදා සමහර ප්‍රශ්ණ මා එල්ල කරගෙන ඇසූ නිසා මට කරමින් සිටි වැඩය අතරතුරදීත් මේ කතාවට එක් කනක් යොමු කරගෙන ඉන්න සිද්ද වුනා.

අර ගුරුවරිය අලුත් ලැප්ටොප් එකක් මිලදී ගන්න භාරත්ගෙන් උපදෙස් පතනවා.

“ඕක eBay එකෙන් කරගන්න පුලුවන්නෙ, මෑම්” භාරත් කිව්වා.

(ඉන්දියානුවන්ගෙ තියෙන තව ලක්ෂනයක් තමයි ඕනෑම කෙනෙකුට ‘සර්’ හෝ ‘මෑම්’ කියා ඇමතීම. මේ වචනෙ කිසිම ගෞරවයක් අදහස් නොවන,  හුදෙක් ආමන්ත්‍රණ පදයක්  පමනක් බව මම හිතන්නෙ ඔවුන් මෙය  කොල්ලටයි, බල්ලටයි හැමෝටම ආමන්ත්‍රණය කිරීම සඳහා යොදා ගැනීම නිසයි.)

ආපහු කතාවට.

“මම කල්පනා කලේ මාලෙන් ගන්න. ඒක ලේසියි,” ගුරුවරිය කිව්වා.

මම නම් මෙහෙන් බඩු ගන්න අකමැති මෙහෙන් ගන්න හුඟක් බඩුවල වගකීමේ ප්‍රතිපත්තිය ගැන මගේ ඇති අප්‍රසාදය නිසයි.

“අයියෝ මෙහෙන් ගන්න එපා අප්පා වොරන්ටි නෑනේ, නේද හෙන්රි සර්,” හරියටම භාරත්ට මගෙ සිතුවිලි දනුන නිසාදෝ මගෙන් ඇහුවා.

“ඒකනම් ඇත්ත.” මම සම්මාදම් වුනා.

“මේකෙත් අප්සෙට් එකක් ගියේ නෑනෙ,”. ඇය තමා අත වූ ලැපිය පෙන්වමින් කිව්වා. “මොකුත් අප්සෙට් එකක් වෙන එකක් නෑ. මම මාලෙන්ම ගන්නවා ඒක ලේසියි.”

“හා හා එහෙම කියන්න එපා මෑම්. ඕනෙම බඩුවක් ගන්නකොට බලන්න වොරන්ටිය තියෙයිද කියලා. අඩුම ගානෙ අවුරුද්දක්වත්. මම නම් එහෙමයි.”

“මොනවද හොඳ බ්‍රෑන්ඩ්?”

“hp හොඳයි, නේද හෙන්රි සර්. ඔය මේකත් hp එකක්නෙ,” භාරත් මගෙ පරිඝනකය පෙන්නමින් කිව්වා. “තව Compaq, Dell, Sony මේ, මගෙ එකත් SONY VAIOනෙ. මේකත් හොඳයි.”

“Acer  වරදක් නෑනෙ. මේ මේකත් Acerනෙ,” ගුරුවරිය ඇයගෙ පරිඝනකය පෙන්නමින් කිව්වා.

“ම්ම්ම්… වරදක්ම නෑ.  ඔව් ඔය බ්‍රෑන්ඩ් එකේ ගානත් අඩුයි අනික්වට වඩා.” බුවා එකඟවුනා.

“හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් එක අඩුම ගානෙ 500GB වත් වෙන එකක් ගන්න.  ඔය ටෙරාබයිට් ගනන් ඒවත් තියෙන්නෙ දැන්. රෑම් එක 4GB වත් වුනොත් 64 බිට් කම්පැටිබල්. “

“වෙන?”

“ගන්නවත් වෙලා Core i7 processor එකකටම යන්න මොකද මාස හයෙන් යල් පනින තාක්ෂනයක්නෙ මේක.”

“එච්චරයිද?”

“බලන්න genuine Windows දෙනවද කියලා. මෙතන ස්ටිකර් එකක් තියෙන්නෙ ඕනෙ මේවගෙ” බුවා ලැප්ටොප් එක උස්සලා යට පැත්ත පෙන්නලා කිව්වා.

“හ්ම්ම්… හ්ම්ම්… හ්ම්ම්…” ගුරුවරියත් ස්ටිකර් එක අතගාලත් බැලුවා.

“තව බලන්න බැටරි ලයිෆ් කොහොමද කියලා. අනික බර. සැහැල්ලු එකක් ගන්න.”

ඔය වගෙ බුවා දිග විස්තරයක් කලා. මම කණ ආපහු අරන් සම්පූර්ණයෙන්ම වගේ මගෙ වැඩේට යොමු කල නිසා එතනින් එහාට මට ඇහුනෙ අතරින් පතර .

…NVIDIA or  AMD graphic card…blah blah blah…
…USB 3 ports… blah blah blah…
…HDMI…  blah blah blah…
…multi card reader blah blah blah…

ටිකකින් විවේක කාලය පටන් ගත් නිසා අපි ගුරු කාමරයත්, සුපවයිසර් කාමරයත් අතර තිබූ පැන්ට්‍රියට ගියා තේ බොන්න. මම විදුලි කේතලයට වතුර පුරවා විදුලි පේනුවට සම්බන්ධ කලා. අපේ කෑම පෙට්ටියත් බෑග් එකෙන් ගෙනැවිත් කෑම මේසය මත තැබූ මම කෝපි වලට සීනිත්, ක්ෂණික කෝපිත් මගේ ලොකරයෙන් අරන් ආවා. එතකොටම පන්තියක සිට ආ දීපා, කෝප්ප දෙකක් සෝදා කෝපි හදන්නට ලක ලැහැස්ති වුනා. ඉන් පස්සෙ කෑම මේසෙ කොනක ඉඳගත් අපි දෙන්නා එදා ගෙනැවිත් තිබූ සැන්විච් ටෝස්ට් වලට දෂ්ඨ කරන්න පටන් ගත්තා.

භාරතුත් තමාගෙ කෑමත් අරන් ලෑස්ති වුනා මේසෙ අනිත් පැත්තෙ ඉඳගෙන.

“මම දෙසැම්බර් බඳින්න ඉන්නෙ මෑම්.”

“හයියෝ ඌත් ඉවරයි. මොනවා හරි වෙන්න තියෙනවනම් වලක්වන්න බෑ,”මම කිව්වා.

භාරත් ඇස්දෙක පුංචි කරන් බෙල්ල ඇල කරන් මං දිහා ටික වෙලා බලා ඉන්නකොට දීපා කිව්වා,

“ෂා නියමයිනෙ භාරත්. මේ හෙන්රි විහිලුවට කියන්නෙ. ගනං ගන්න එපා.”

ඔන්න පොර හිනාවෙන්න ගත්තා. ඔය ඉන්දියානුවන්ගෙ (අපිට මුන ගැහෙන) sense of humor අහවල් එක නම් ඔය ජාතියෙම තමයි. මම විහිලු කරන්නෙම නැතිතරම්.

ඔන්න දීපා දැන් විස්තර අහනවා. ඉන්දියාවට ආවේනික ක්‍රමයට අනුව මේක ප්‍රේම විවාහයක් නෙවෙයිලු. යෝජනාවක්ලු.

“ලංකාවෙ එහෙම නෙවෙයිද?” භාරත්ට දැනගන්න ඕනෙ වුනා.

“අපෝ නෑ. ප්‍රේම විවාහ තමයි වැඩිම. උදාහරණයක් විදියට භාරත්, මමයි දීපායි ලව් කරලා බැන්දෙ. මගෙ සහෝදරයා, එතකොට සහෝදරී, ලව් කරලා බැන්දෙ. එතකොට දීපගෙ සහෝදර සහෝදරයො ඔක්කොම ලව් කරලා බැන්දෙ. එතකොට දීපගෙ අම්මයි, තාත්තයි ලව් කරලා බැන්දෙ. මගෙ අම්මයි, තාත්තයි ලව් කරලා බැන්දෙ.” (මේක සහතික ඇත්ත.)

භාරත්ගෙ ඇස් දෙක හීනි වෙලා, පස්සෙ ටොනික් පියනක  ප්‍රමාණයට ලොකු වෙලා,  තව ටිකකින් යෝගට් පියනක ප්‍රමානයත් ඉක්මවලා, පීරිසියක ප්‍රමාණයට එනකොට, මම නැවැත්තුවා. කට ඇරිලා එල්ලෙනවා.

“මාත් හරි කැමතියි ඒ ක්‍රමේට. නමුත් ඉන්දියාවෙ ඔක්කොම වගෙ තියෙන්නෙ arranged marriages තමයි.”

“දැන් දෙසැම්බර් වල ගිහින් බඳින්න භාරත්ට කෙල්ලක් ඉන්නවද?”

“නෑ සර්, මම අම්මලට බාර දීලා ආවේ හොයලා තියන්න කියලා.”

“මොනවා? ඒ කියන්නෙ මේ දෙසැම්බර් ගියාම, අම්මලා හොයලා තියන, තමන් ජීවිතේට දැකලා නැති ගෑණියෙක්ව බැඳ ගන්නවා!!!”

“ඔව් සර්,” මේකා හිනාවෙලා කිව්වා.

“ඉතින් මනුස්සයො අම්මලා හොයලා තිබ්බට… මේ.. මේ..මේ..තමන්ට ගැලපෙනවද කියලා  කොහොමද දන්නෙ?”

“අම්මලා ඒවා හොයලා බලනවා.”

“යකෝ ඉතින් අම්මලා හොයලා බැලුවට, මේ ගෑණියෙක් නේද ගන්නෙ? බැරි වෙලාවත් යකෙක් හෙම වුනොත්?”

භාරත් හොඳටම හිනාවුනා.

“එහෙම වෙන්නෙ නෑ.”

“හරි දැන් උදේ ලැප්ටොප් එකක් ගන්නකොට  බලන්න ඕනෙ ස්පෙක්ස් හෙන තොගයක් කිව්වනෙ අර අහවලීට.   500GB හාඩ් ඩිස්ක්ද්, 4GB රෑම්ද, අරකද, මේකද. දැන් මේ ගෑණි ගන්න කොට මොනවද බලන්න ඕනෙ ස්පෙක්ස්?  එහෙම මොකුත් තියෙනවද, අඩුම ගානෙ?” මම ඇහුවෙ ඉවසන්නම බැරුව.

“ඔව් සර්.” ඔන්න මේකාගෙ මූණට බැරෑරුම් පෙනුමක් ආවා.

“ඩිග්‍රී එකක් තියෙන්න ඕනෙ. අඩුම ගානෙ ෆස්ට් ඩිග්‍රී එකක් වත්.”

“ඒ කියන්නෙ රස්සාවක් කරන්න ඕනෙ කියන එකනෙ?” දීපා ඇහුවා.

“නෑ මෑම්. මම රස්සාවක් නොකරන කෙනෙක් හොයන්නයි අම්මලට කිව්වෙ.”

“ඉතින් ඩිග්‍රියක් හොයන්නෙ? මේ ගෙදර ඉන්න?”

“ඒ වුනාට ඩිග්‍රී එකක් තියෙන්න ඕනෙ. මගේ අම්මලාත් එහෙම  බලාපොරොත්තු වෙනවා”

“@#$%$#” කියලා මම හිතුවට කටින් පිටවුනේ මෙච්චරයි…

“වෙන?”

“උස අඩි පහයි හයට වැඩි වෙන්න ඕනෙ.”

“ඒකත්  හරිනෙ. වෙන?”

“එච්චරයි සර්.”

“@#$%$#” මේ පාර නම්, මට තව පොඩ්ඩෙන් කියවෙනවා.

යකෝ ලැප්ටොප් එකක් ගන්න අච්චර දේවල් බලන එකා, ගෑණියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඩිග්‍රියයි, උසයි විතරද????”

භාරත් හිනාවුනා. ඇත්තටම මූට තියෙන්නෙ ලස්සන හිනාවක්.

මා ඉන්දියානුවෙකුව නොයිපදීම ගැන මම ස්තුතිවන්ත වුනේ කීවෙනි වතාවටද කියලා මට මතක නෑ. සමහරවිට විසි පන්දාස් වතාවට?

හැම දෙයක්ම යහපත් අයුරින් සිදුවේවා උඹට.

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන කොටන්න

 

ටැග: , , , , ,