RSS

Category Archives: තීරු ලිපිය

176. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.


හැඳින්වීම

තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක

‘ බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක්  දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර  කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ ‘

Read the rest of this entry »

 

110. මං කවුරු වෙන්නද ආසා…

110. මං කවුරු වෙන්නද ආසා…

බ්ලොගර් හිතවතුන් සඳහා මෙම ලිපිය මගේ ඩෙනිමේ පළ කර ඇත.

“අවුරුදු පහළොවක්ම බ්ලොග් ලිව්වට පස්සෙයි ඕං මට ලියන්න හැකියාවක් නැති බව මම දැනගත්තෙ?”

“ඈහ්, එතකොට මොකද කලේ? බ්ලොග් ලිවීම අතෑරියා?”

“මගුලක් කතා කරනවා? ලිවීම අතාරින්නෙ කොහොමද? ඒ වෙනකොට මම හෙන ජනප්‍රිය බ්ලොගර් කෙනෙක් වෙලා ඉවරයි.”

මේක මම අහලා තියෙන පොඩි විහිලු කතාවක් වුනාට, මට වෙලා තියෙන දේත් එක්ක මේකෙ යම් අදාලත්වයක් තියෙනවා.

(මේ ලිපිය ඉංග්‍රීසියෙන් කියවන්න මෙතනින් යන්න.)

මගෙ ජීවිතෙන් වැඩි හරිය ගුරුකම කලාට මොකද, ගුරු වෘතිය ඇත්තෙන්ම තියෙන්නෙ මගෙ කරන්න ආසා ජොබ් ලැයිස්තුවේ අඩියටම වෙන්න. ඉන්න පොඩ්ඩක් බලන්න. හෑ? අඩියටම වෙන්න නෙවෙයි. ඒක ඒ ලැයිස්තුවෙ ඇත්තෙත් නෑ.

නිකමට බලා ගන්න මගෙ කූල් ජොබ් ලැයිස්තුව කෙටි කරලා, වාරණය කරලා, කෑල්ලක් විතරක් මෙතන දාන්නම්. හරි, හරි, ඔය පිළිවෙල ටිකක් එහෙ මෙහෙ වෙන්න පුලුවන්.

Photographer, Photo Journalist, Journalist, Travel Writer, Writer, Artist, Architect, Civil Engineer, Draughtsman, Landscape Artist, Horticulturist, Pilot, Aircraft Technician, Rally Driver, F1 Driver, PTI, Doctor, Surgeon, Seaman, Computer Dude, Computer aided designing , Fashion designer, Advertising, Guitarist, Engine Driver…

මේකෙන් අදහස් වෙන්නෙ නෑ, මම අසාර්ථක, මහ එපා කරපු ගුරු හොරෙක් බව. අයියෝ නෑ. ඔය සමහරු කියන්නෙ මම ඒකෙ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත කියලා. මේක ඉතින් ආත්ම වර්ණනාවක් වගේ පේන්න පුලුවන් වුනත්, ඔය හුඟක් ගෝලයො එහෙම කියනවා. ඕන්නම් අහලා බලන්නත් පුලුවන්.

ඒ වුනාට, මට පේන්නම බැරි ජොබ් එකක් තමයි ගුරු වෘතිය. ඇත්තෙන්ම කිව්වොත්, සතියෙ පළවෙනි දවසෙ උදේ ඉස්කෝලෙ, පන්ති කාමරේට යන්න නැතුව, වෙන වෙන ඕනෙ දිහාකට යන්න තියෙනවා නම්, මම එක පයින්. පහුවදාට ඉස්කෝලෙ යන්න නෑ කියලා නින්දට යන්න තියෙන දවස්වල, දෙයියනේ කියල සැපට නින්ද යනවත් එක්ක!

කාටත් මතක් ඇතිනෙ, ඉස්සර ඉංග්‍රීසි රචනා වලට පට්ට ගහපු එක මාතෘකාවක් තිබුනා My Ambition කියලා. ඔය, තමන් ලොකු වුනාම කවුරු වෙන්නද කැමති කියන එක සෑහෙන බොන්න වෙන ප්‍රශ්නයක්නෙ. මගෙ යාලුවෙක්ගෙ පොඩි එකෙක් නම් ඕකට දුන්න දුම් විසි වෙන උත්තරයක්. “පුතා ලොකු වුනාම කවුරු වෙන්නද ආසා?” කියලා අහපු ගමන් කොල්ල කියන්නෙ, “සීයා කෙනෙක්” කියලා. අපිත් ඕක අහගන්න, කොල්ල දකින ගානෙ ඔය ප්‍රශ්නෙ අහනවා.

ඔය ප්‍රශ්ණෙට උත්තරේ කාලයාගෙ ඇවෑමෙන් වෙනස් වෙනවා, සංශෝධනය වෙනවා. මම එහෙම කිව්වම, නිකං හුරු පුරුදු ගතියක් දැනුනා නේ?

ඕං, මම සර්කස් එකක් බලලා ආපුවම, මාස ගානක් යනකල් මට ඕනෙ සර්කස් කාරයෙක් වෙන්න. තව එක කාලයක්, මම ආසම ජොබ් එක අයිස් ක්‍රීම් වෑන් රියැදුරෙක් වෙන්නයි. මොකද හැම කොල්ල, කෙල්ලගෙම අවධානය ලැබෙනවා වගේම, ඕනෙ වෙලාවක ගහක් යට නවත්තලා අයිස් ක්‍රීම් දෙසා බාන්න පුලුවන්නෙ ඉස්මුරුත්තාව හැදෙනකල්. අනේ මම එහෙමයි හිතා හිටියෙ!

ඉතින් ඔය විදියට කාලෙන් කාලෙට, ගිණි නිවන භටයා, බස් රියදුරා, අර පාරෙ තාර ගලවන ජැක් හැමර් ක්‍රියාකරු, දොඹකර ක්‍රියාකරු, දුම්රිය රියැදුරා, අභිරූපණ රංගන ශිල්පියා, ඩ්‍රම්ස් වාදකයා, කෙල්ලන්ගෙ ස්කූල් බස් රියැදුරා වගෙ එක එක ජොබ් වලට ආසාව මාරු වුනා.

රස්සා හොයන කාලෙ කරපු ඇතුලත් වීමේ විභාගයක් ඉහලින් පාස් වීමේ හේතුවෙන් අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බල පොරොත්තු වෙන නිසා, සමාජය සතු‍ටු කරන එක ඔක්කොටම එහා. ‍රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන.

මේ රස්සාවට ආවේනික දීර්ඝ කාලීන අරමුණු ජයගන්න, තමන්ගෙ උනන්දුවට වඩා තව කෙනෙක්ගෙ කැපවීම හා වාසනාව බලපෑවා. ඇත්තෙන්ම පාන් හැදුවොත්, ටික වෙලාවකින් සුවඳ හමන, උණු, උණු පාන් දකින්න හැකි බේකරි කාරයෙකුට, මීට වඩා ලැබීමක් තියෙනවා.

මම නිදහස් වෙලාවට ආසාවෙන් කරපු ගිටාර් වාදනය, නියම ආතල් වැඩක් හැටියටයි මම කවදත් දැක්කෙ. ඒ ආමි බෑන්ඩ් එකේ ගිටාර් වාදනය කරපු ධනුෂ්ක දවසක් මුන ගැහෙනකල්.

“අඩේ උඹ නම් මාර ලකී පොරක් බං.” මම මූට පාරක් අනින ගමන් කිව්වා.

“ඒ මොකෝ බං හෙන්රි අයියෙ උඹ එහෙම කියන්නෙ?”

“මේ අහපං. අපේ රස්සාවල් වල හෙන ස්ට්‍රෙස් එකනෙ බං. මට ‍ෆ්‍රී ටයිම් එකක් හම්බ වුන ගමන් මම කරන්නෙ ගිටාර් එක අරන් ගහන එක. ඒකෙන් මාර සැහැල්ලුවක් දැනෙනවා. මට ඕනෙ නම් මුලු දවසම, නොකා නොබී, ගිටාර් එක අත ගගා හිටියෑකි, අර කියන දේ අහන්නෙ නැති, ඉගෙන ගන්න ඕනෙ නැති එවුන් රංචුවකට ඉංග්‍රීසි උගන්නනවට වඩා. නමුත් ආපහු යතාර්ථයට යන්න වෙනවා බං, ටිකකින්…”

“ඉතිං?”

“ඉතිං යකෝ උඹලාට, ගිටාර් එක ගහනවා වගේ ආතල් ජොබ් එකක් කරනවට පඩියකුත් හම්බවෙනවා. ඉතින් උඹලා මාර ලකී නැද්ද? මට නම් ඇත්තටම උඹලා ගැන මාර ජෙල බං. සමහරුන්ට දෙන දෙයියෝ හොම්බට ඇන ඇන දෙනවා කියන්නෙ ඕකට තමයි.”

“හැක් හැක් හැක්!” ධනුෂ්කයා කින්ඩියට හිනාවුනා.

“මොකද උඹ හිනාවෙන්නෙ? මම දැං හිනා යන මොකුත් කිව්වද?”

“හිනා යන්නැද්ද බං? මේ අහපංකො. මාත් ආමි බෑන්ඩ් එකට බැ‍ඳෙන්න කලින් උඹ වගේම ගිටාර් ගහන්න මාර ආසයි බං. දැං ඒක ජොබ් එක හැටියට කරන්න ගත්තට පස්සෙ, මට ගිටාර් ගැහිල්ල එපා වුනා. උඹ දන්නවද බං හෙන්රි අයියෙ. මට ‍ෆ්‍රී ටයිම් එකක් හම්බවුනාම මම ගිටාර් එකක් අල්ලන්නවත් කැමති නෑ. මට ඊට වැඩිය සැපයි බං වත්තෙ වලක් කපන එක ‍ෆ්‍රී ටයිම් එකට. දෙයියම්පල්ලා.”

මම මූ කියන එක අහං හිටියෙ කට ඇරගෙන බව ටිකකින් මට තේරුනා.

“උඹ දන්නවද අයියෙ, මේ කොළඹ සමහර ලොකු ඉස්කෝල වලින් අපිව ඉල්ලනවා ඒවයෙ බෑන්ඩ් වලට ප්‍රැක්ටිස් කරන්න. අපේ එවුන් මරා ගන්නෙ නැතුව විතරයි එහෙම චාන්ස් එකක් ආවාම ඒකට දුවන්න. අපි මාර ආසයි බං ළමයින්ට උගන්නන්න.”

“නෑ!!!! අනේ පලයං යන්න.”

බලනකොට මයෙ කට ආයෙ ඇරිලා.

මේ ලිපිය මුල් වරට HeyDude බ්ලොග් අඩවියේ Some Guys Have All The Luck යන මාතෘකාවෙන් පළවිය.

බ්ලොගර් හිතවතුන් සඳහා මෙම ලිපිය මගේ ඩෙනිමේ පළ කර ඇත.

myguitarist

 

ටැග: ,

107. අහසයි, පොළවයි.

107. අහසයි, පොළවයි.

මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා. මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

සරසවි ටෙක්ස්ටයිල්ස් ගැන මගෙ මුල්ම මතකය රෝහල ඉදිරිපිට තිබුන පැරණි අබලන් ගොඩනැගිල්ලෙ, කුඩා කඩ කාමරයක පවත්වාගෙන ගිය, තවත් පොඩි ව්‍යාපාරයක් හැටියට විතරයි. නමටම ගැලපෙන්න මුලින්ම ප්‍රධාන වශයෙන් කෙරුනෙ රෙදි වෙලඳාම වුනත්, පසුව අනිකුත් අංශ වලටත් පුලුල් වුනා.

DSCN0731

සාප්පුව අයිතිකරුට මම දන්න දා ඉඳන්ම කතාකලේ ධනපාල අයියා කියලා. ධනපාල අයියගෙ සාප්පුවට පාරිභෝගිකයො ආකර්ෂණය වෙන්න හේතු කීපයක්ම තිබුනත්, මම හිතන විදියට මේවයි ප්‍රභලම ඒව.

ධනපල අයියා, තරාතිරම නොබලා සාප්පුවට එන කාටත් ‘මහත්තයා’, ‘නෝනා මහත්තයා’ වගේ ‘නම්බුකාර වචනවලින්’ ඇමතුවා විතරක් නෙවෙයි, තමන්ගෙ සේවකයිනුත් එහෙම කරනවද කියලා සෙවිල්ලෙන් හිටියා.

ඒ වගෙම කිසිම පාරිභෝගිකයෙක්ට තමන්ව නොසලකා හරින බවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ, අර අද සමහර සාප්පුවල වගේ සේවකයන්ට පාරිභෝගිකයා පස්සෙන්ම ලුහු බඳිමින් මහාම හිරිහැරයක් වෙන්න පුරුදු කරලා තිබුනය කියලා

ඒ වගෙම හැම භාණ්ඩෙකටම මොනයම් හෝ වට්ටමක් ලැබෙන බව පාරිභෝගිකයට වැටහෙන්න ඇරලා තිබුනා. හැම විටම භාණ්ඩෙ සඳහන් කල මිලට වඩා කීයක් හෝ අඩුවෙන් තමයි අය කලේ.

ඒ ඔක්කෝටම වඩා, සරසවියෙ (මිනිස්සු සරසවි ටෙක්ස්ටයිල්ස් හැඳින්නුවෙ එහෙමයි) තිබුනා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්. එදා ඉඳන්ම. ධනපාල අයියා මේක පටන් ගත්තෙ, අද ඔය මෙගා සාප්පු වල ඔය ක්‍රමය පටන් ගන්න හුඟ කාලෙකට කලින්.

නමුත්, මම ධනපාල අයියගෙ සරසවියෙ යාව ජීව පාරිභෝගිකයෙක් වුනේ ඔය එක හේතුවක් හන්දාවත් නෙවෙයි. අද එයාටවත් මතක ඇති කියලා මම නොහිතන ‘සුලු’ හේතුවක් නිසයි.

වරක් මම ඔතනින් ගත්තා වෝටර් හීටර් එකක්. (ගිල්ලුම් ජල තාපකයක් කිව්වාම සැර වැඩියි කියලා හිතුනා.) මම මේක ගන්නකොටම ධනපාල අයියා කිව්වා මේකට වගකීමේ සහතිකයක් නම් නැති බව. නමුත් මගෙ ආර්ථික මට්ටමට ඔරොත්තු දෙනවා වගේ පෙනුනේ ඒක විතරක් හන්දා මම හීටරය මිලදී ගත්තා අර සුපුරුදු වට්ටමත් එක්කම.

මම බොහොම සතුටින් හීටරය ගෙදර ගෙනාවත් ඒ සතුට ‍රැඳුනේ එක දවසක් පමණයි. හීටරය පහුවදාම ක්‍රියා විරහිත වුනා. වගකීමක් නැති කතාව මතක් වුනා වුනත්, මම කොයිකටත් කියලා ගිහින් ධනපාල අයියට සිද්ධිය කිව්වා. යටිතොල හපමින් මඳක් කල්පනා කල ධනපාල අයියා මෙහෙම කිව්වා.

“මහත්තයට කිව්වා වගේම ඕකට වොරන්ටියක් නම් නෑ. ඒ වුනත් මේක මහත්තයට ලොකු පාඩුවක් නේ? අපි මෙහෙම කරමු. අපි පාඩුව සීයට පනහ – පනහ බෙදාගම්මු .”

ලාච්චුව ඇරපු ධනපාල අයියා හරියටම හීටරයේ වටිනාකමින් සීයට පනහක් මට ආපසු ගෙව්වා. මගෙ ආර්ථිකේ හැටියට ඒකත් මට ලොකු සහනයක් වුනා ඒ වෙලාවෙ.

ධනපාල අයියගෙ මේ ‘ක්‍රියාවෙ’ ප්‍රතිඵලය වුනේ, මම ඔහුගෙ යාවජීව පාරිභෝගිකයෙක් වීමයි. ධනපාල අයියා එදා මට ගෙවපු ‘සුලු මුදල’ ඇත්තෙන්ම මාව ඔහුගෙ ව්‍යාපාරයට පෙරලා ආකර්ෂනය කරගන්න කෙරුනු ආයෝජනයක් වුනා. ඔහුගෙ ඒ යහපත් ආකල්පය නිසා සරසවිය ගැන මගෙ හිතේ පෙරලා ඇතිවුනේ යහපත් ආකල්පයක්. ඒ වගේම ඔහු මා කෙරේ තැබූ විශ්වාසයත් පෙරලා ඔහු කෙරේ තබන්න මම පසුබට වෙන්නෙ නැති බව ඔහු දැන ඉන්න ඇති. මෙතන ඇත්තෙන්ම තියෙන්නෙ මුදල පිළිබඳ කතාවක් නෙවෙයි. .. මේක දක්ෂ ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරික ඥානය භාවිතා කරපු තවත් එක අවස්ථාවක් විතරයි.

අද සරසවිය, පිහිටලා තියෙන්නෙ නගර මධ්‍යයේ, මම හිතන විදියට ඔහුටම අයත් තට්‍ටු කීපයකින් යුත් විශාල ගොඩනැගිල්ලක.

ඔහුට ඒ හැම දෙයක්ම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මට මේ පහුගිය නිවාඩුවෙත් ඔහු මුණ ගැහුනා. ඔහුගෙ මා නොදකින පැති ඇති. සමහරුන්ට ඔහු ගැන වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. නමුත්, මේ මා ඔහුව දකින විදිය. ධනපාල අයියට මගේ සුභ පැතුම්!

මේ වගෙ සුලු සිද්ධියක් අල්ලාගෙන, මම කෙන්ද කන්ද කරගෙන දඟලන්නෙ ඇයි කියලා දැන් ඔබ කල්පනා කරනවා නම්, මම ඊ ලඟට කියන්න යන සිද්ධිය කියවලා බලලම ඉන්න.

හැම බඩුවක්ම අසාධාරණ ගනන් වලට මිල නියමවුනු මේ විදෙස් රටේ, අපි බඩු ගන්න පුරුදු වෙලා හිටපු එක්තරා සාප්පුවක් තිබුනා. එළවලු කිලෝවක් සාමාන්‍යයෙන් ලංකාවෙ මිල වගේ පස් හය ගුණයක් වෙන එක මෙහෙ සාමාන්‍ය දෙයක්. මේ සාප්පුවෙ නිත්‍ය පාරිභෝගිකයෝ වෙලා හිටි අපි, ඔවුන්ට ඉතා හොඳ ආදායම් මාර්ගයක් වෙලයි තිබුනෙ. අපි, පලතුරු, එළවලු, කුලුබඩු, සහ අනිකුත් සියලුම සිල්ලර බඩු මේ සාප්පුවන් මිලට ගත් නිසා අපෙන් ශ්‍රී ලංකාවෙ මුදලින් රුපියල් 30,000 – 40,000ත් අතර මුදලක් මසකට මේ සාප්පුවට ලැබුනා.

එදත්, අපි සාප්පුවෙ බඩු ‍තෝරමින් සිටින විට එවකට අට හැවිරිදි වියේ පසුවූ අපේ චූටි පුතා සුපුරුදු ලෙස රාක්ක වල ඇති සෙල්ලම් බඩු පරීක්ෂා කරමින් අනිත් පැත්තේ සිටියා.

D

ටිකකින් සාප්පු හිමියා අපි දෙසට වේගයෙන් ඇවිද ගෙන ආවේ චූටි පුතාව උරහිසින් අල්ලාගෙන හරියට අපරාධකාරයෙක් වගේ.

“මෙයා මේ ටෝර්ච් එක වට්ටලා කැඩුවා,” ඔහු බයිසිකලයකට සවිකල හැකි කුඩා විදුලි පන්දමක් පෙන්වමින් කිව්වා. කිව්වත් වගේම ඒකෙ වීදුරුව ගැලවිලා ඇවිත් තිබුනා. අපේ චූටි පුතා අපි දෙස බලාගන හිටියෙ බියපත් වෙලා.

කිසි කෙනෙක් මගෙ දරුවෙකුට මේ අයුරින් සලකනවා ඉවසාගෙන සිටීමේ හැකියාවක් කවදටත් නොතිබුන මට මාරාවේෂ වුනා.

“ඔක්කොටම ඉස්සෙල්ලා අතාරිනවා ළමයව. අල්ලන්නෙ හෙම නෑ එයාව.” මම තදින් කිව්වා.

ඔහු වහාම චූටි පුතාගෙ කමිසය අතහැරියා.

“කීයද ඔය ටෝච් එක”

ඔහු ගාන කිව්වා. ඒක ආසන්න වශයෙන් රුපියල් හතලිස් පහක් ඇති.

මම පසුම්බිය ඇදලා ඒ මුදල ගැලපෙන නෝට්‍ටුවක් අරන් මිනිහට දුන්නා.

“මෙන්න තමුසෙගෙ සල්ලි. ඕක බින්දට මගෙ ලමයට අත තිබ්බ එක වැරදියි. ඕක මට කිව්වා නම් ඉවරයිනෙ. අනික ඒක වුනේ වැරදීමකින්. කිසි කෙනෙක් අපේ දරුවෙකුගෙ ඇඟට අත තියන්න ඕනෙ නෑ.”

“ඔ…ඔව්. ඒ වුනාට… එයා ඒක කැඩුවනෙ.”

“හරි, ඒකෙ අලාබෙ තමයි දැන් මම ගෙව්වෙ. දැන් ඔය ටෝච් එකත් මෙහාට දෙනවා.”

ඉන් පසු, අපි ‍තෝරාගෙන තිබූ හැමදේම ඒ ඒ තැන්වලම අතහැර අපි සාප්පුවෙන් ආවා.

“ඇයි? අද මේ එළවලු ගන්නෙ නැද්ද?” අයිතිකරු විමතියෙන් ඇසුවා.

“නෑ. අදහස වෙනස් කලා. අපි යනවා.”

ගෙදර යන ගමන්, මට මේ වගෙ තකතීරු වැඩක් හීනෙකින්වත් කරාවි කියලා මම නොහිතන ධනපාල අයියාව මතක් වුනා.

ඒ සිද්ධියෙන් පස්සෙ අපි ඒ සාප්පුව පලාතේ ගියේ නෑ. තනිකරම වර්ජනය කලා.

රුපියල් හතලිස් පහකට මේ අමනයා නැතිකර ගත්ත නිධානය අපි නිකමට ගනං හදලා බැලුවොත්… ගාණ හදාගන්න පහසුවට අපි මාසෙක ආදායම 35,000 හැටියට ගනන් අරගෙන ඒක අපි ඉන්න මාස 10.5න් වැඩි කරලා අවුරුදු 7නුත් වැඩි කලාම, මට උත්තරය රු.2,572,500.00 ක් ආවා. මේ මුදලේ බාල්දුවීම, ජීවන වියදම වැඩිවීම හෙම නොසලකා.

පාරිභෝගිකයෙකුගෙ දරුවෙකුට නරක විදියට සලකලා හිත රිදවීමට ගෙවන්න සිදුවුන, තවමත් ගෙවන ඒ වන්දියත් නරක නෑ නේද?

ඔහුට ඒ දඬුවම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මෙම ලිපිය මුල් වරට Two Businessmen And What They Deserve” යන මාතෘකාවෙන් HeyDude බ්ලොග් අඩවියේ, ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

බ්ලොගර් හිතවතුන්ගේ පහසුව සඳහා මේ ලිපිය මගේ ඩෙනිමේද පළකර ඇත.

 

ටැග: , ,

81. චික් මැග්නට් ඩූඩ් / henryblogwalker the chick magnet dude!!

81. චික් මැග්නට් ඩූඩ් / henryblogwalker the chick magnet dude!!

“අම්මේ! කෝ මගේ මේස්?”

“ඔයා දැක්කද කාර් එකේ යතුර?”

“අම්මේ! කෝ මගෙ යුනිෆෝම් එක?”

“කොහෙද අනේ මේ වාහනේ ඩොක්‍යුමන්ට්ස්?”

“දෙයියනේ අදත් පරක්කුනෙ!”

“මගෙ එක මේස් එකයි තියෙන්නෙ!!”

සුපුරුදු දෙබස් ඛණ්ඩ.

අද කතාකරන්න යන්නෙ කාන්තාවො මට ආකර්ෂනය වන, එයාලගෙ ස්වාමි පුරුෂයො මාව එයාලගෙ හිට් ලිස්ට් එකට දාන මාතෘකාවක්. හෙහ් හෙහ්!

henryblogwalker the CHICK MAGNET Dude!!!

මම ගෙදර තියෙන විදුලි වැඩ, ජලනල වැඩ, ගෘහ අලංකරනය, විදුලි උපකරන අලුත්වැඩියාව, වඩු වැඩ, මේසන් වැඩ, උද්‍යාන අලංකරණයට අමතරව වාහන වල සුලු සුලු අලුත්වැඩියාවලුත් කරනවා දකින කාන්තාවො, දුම්මල වරම අතට ගත්තා වගෙ තමන්ගෙ පෙම්වතාට, සැමියාට දොස් කියන්න පටන් ගන්න එක මම ඉස්සර ඉඳන්ම අත්දැකපු දෙයක්. “ඒකට මේං..!” කියලා සැමියා හෝ පෙම්වතා ලඟ ඉන්නවා නම් පාරක් ගහන කාන්තාවො එයාලා ලඟ නැත්නම් “ඕං එකට අපේ ….” කියලා කියන්නෙ කට ඇද කරලා.

“අඩෝ හෙන්රියෝ, ‍තෝ කරන වැඩ වලින් අපිට ඉන්නත් නෑ බං කනක් ඇහිලා.!” කියන චෝදනාව මට එල්ල වෙන්නෙ ගෑණු මාව දැකලා නිබ්බුත පද කියන්න පටන් ගත්තම. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ දීපත්, “එතකොට අර කබඩ් එක හැදුවෙත් එයා අනේ!” නැතිනම්, “එයා තමයි එයාගෙයි, යාලුවන්ගෙයි, ලමයින්ගෙයි හැමෝගෙම කොන්ඩෙ කපන්නෙත්!”  කිව්වාම ඇත්තෙන්ම මටත් දුකයි අරුන් ගැන. 😦

“ඒකට අපේ එක්කෙනා. නිවාඩුවක් අහුවුනොත් එක්කො යාලුවොත් එක්ක බෝතලේකට සෙට් වෙනවා. නැත්නම් සෙටියෙ ලැගගෙන ටීවී බලනවා. නැතිනම් මොනිටරේට මූණ ඔබාගත්ත ගමන් මයි!”  වගෙ කතාවකින් අර කාන්තාවො මගෙ පුරුෂ භාවයට සංසන්දනාත්මකව හානි වෙන්න පුලුවන් කතාවක් කිව්වොත්, “ඉතින් හෙන්රිත් ඔය ඔක්කොමත් කරලා තමයි අනේ මේ වැඩත් කරන්නෙ. රෙදි හෝදන, අයන් කරන නවන වැඩ ඔක්කොම කරන්නෙත් එයා!” කිව්වම අර පුරුෂයන්ට එඩ්‍රස් නැතුව යනවා මම බලා ඉන්නෙ අවංකවම බුර බුරා නැගෙන ශෝකයෙන්. “හම් යං යං පරක්කු වුනා හොඳටම” කියලා අර අසරණ බුවාලා ගෙදර දුවන්න හදන්නෙ ඇයි කියන එක කියන්න ඕනෙ නෑනෙ. ඇත්තටම මචංලා මම උඹලව හිතලා අමාරුවෙ දාන්න හැදුවා නෙවෙයි!

හ්ම්හ්. පැන්නනෙ පීල්ල!

අපේ තාත්තා කරපු සමහර දේවල්වල වටිනා කමක් මගෙ ඒ දවස්වල දැනුනෙ නෑ. ඇයි තාත්තට මෙච්චර ලේසියෙන් අලුත් කුඩයක් ගන්න පුලුවන් කම තියෙද්දි අර කැඩිච්ච කුඩේ අලුත්වැඩියා කරන්න හදන්නෙ කියන එක මට නිතර හිතුන දෙයක්. නමුත් ඒකෙන් තාත්තා කොච්චර ආශ්වාදයක් ලබන්න ඇතිද කියලා තේරෙන්න මට කාලයක් ගියා. ඇත්තෙන්ම, මම ඒ දිහා බැලුවෙ තරමක අවඥාවෙන් කියලත් මට පසුතැවිල්ලක් ඉතිරිවෙලා තියෙනවා. අර දියරහ ප‍තෝලයි, සෙවල බණ්ඩක්කායි අච්චර ලාබෙට කඩේ  තියෙද්දි තාත්තා  ගෙවත්තෙ වවන්න  කරපු උත්සාහයවත්, ඒ  පළදාව ආදරෙන් ‍රැකබලා ගත්ත එකවත්, කෑම කනකොට ‘මේ අපේ වත්තෙන්ම කඩපුවා’ කියලා ලස්සන හිනාවක් එක්ක කියනකොට ඒ ගැන කිසිම දිරිගැන්වීමක් හෝ අගය කිරීමක් නොකර, හිතෙන්, “බොරු වැඩ” කියලා හිතපු එකටවත් සමාව ගන්න දැන් පරක්කුවැඩියි.

අද සෙවල බණ්ඩක්කයි, දියරහ ප‍තෝලයි, තිත්ත කරවිලයි මගෙ ප්‍රියතම කෑම.

හොඳයි ආපහු නියම මාතෘකාවට යමුකො.

ඕන්න ගිය මාසෙ මම දැක්කා කඩයකින් වීසි කරලා දාපු පෙට්ටියක මෙන්න මේවගෙ කාඩ්බෝඩ් කෑලි වගයක්. ඉතින් ඊට පස්සෙ…

ඕං ඔහොමයි වුනේ.

මේ  ව්‍යාපෘතියට කලින් මේ යට ඇඳුම් ලාච්චුව කොහොමද තිබ්බෙ කියන එක පෙන්නන්න මට මේ ඔක්කොම අයින් කරලා ඇදලා දැම්මොත් මටම ආපහු අස් කරන්න වෙන නිසාත් , ඒ වෙනුවට අපේ පුත්‍ර රත්නය පාවිච්චි කරන මෙවැනිම ලාච්චුවක ඡායාරූපයක් පළකිරීමට කොලුවා තරයේ විරුදධ වූ නිසාත්, එම දර්ශනය හිතේ මවාගන්න ලෙස රසික ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 

ටැග: , , , , , ,

69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

මයි ෆස්ට් ලව්ස්?

නෑ… වැරදිලා ලිව්වා නෙවෙයි. ලව්ස් තමයි.
බඳින්න කලින් එව්වා ඔක්කොම ෆස්ට් ලව්ස් කියලා කියමුකෝ.

පහුගිය දවස්වල දාපු පෝස්ට් ඔක්කොම හැඟීම්බර ඒවා වෙලා නොදැනීම. මේ විදියට ගියොත් මම සංවේදී ලිපි ලියන බ්ලොග් කාරයෙක් හැටියට රාමුවකට කො‍ටුවෙන්න පුලුවන්, ඒ වගේම ‘මට හිතෙන හැටි’ සංවේදී සිරා බ්ලොග් කෑල්ලක් හැටියට හංවඩුව වදින්නත් බැරිකමක් නෑ. ඒ නිසා ඔන්න ආපහු ආව සුපුරුදු බ්ලොග්වෝකර් ශෛලියට.

අපේ එකෙක් (වර්ඩ්ප්‍රෙස් පල්ලා මම නෙවෙයි බොලව්) ගැල්ලමයෙකුට හෙන ට්‍රයි එකක් දෙන කාලෙ. ඒකි මූව ගනං ගන්නෙවත් නෑ. හරියට ඌ කියලා එකෙක් නැතුව වගෙ තමයි හැසිරීම. අන්තිමේදි මූ මෙන්න මෙහෙම ඩෙස්පරාඩෝ ප්ලෑනක් ගැහුවා.

“ඒ මචංලා, මං කියන්නද වැඩක්. මං දුවලා ගිහිල්ලා අර එන බස් එකේ එල්ලෙන්නං. උඹලා ඔක්කොම මට හූ කියාපල්ලා.”

එතකොට තමයි අනිත් උන්ට දේරුනේ ඉතුරු ටික. හූ කියන කොට හැමෝම බලනවනෙ ‘යකෝ කාටද මූං මේ හූ කියන්නෙ?’ කියලා. ‘Desperate times call for desperate measures’ කියලා අර කවුද කිව්වලුනෙ. මේ වර්ණපාල තියරිය නෙවෙයි. වෙනත් ඊට වැඩිය සරළ ප්‍රථමික අහවල් එකක්.

අපි උදේට විවිධ පැති වලින් බස් වලින් ඇවිල්ලා මග ස්පොට් එකක සෙට් වෙලා තමයි යන්නෙ. මෙතන තමයි යුධෝපක්‍රම, යුධ සම්මන්ත්‍රන හෙම පවත්වන තැන. හරිම රසවත් දෙබස් මෙතන යන්නෙ. ම්ම්ම් .. එහෙම කාලයක්!!! ඒ කාලෙ කාපු බූට් වලට ඉතාලියටත් ලැජ්ජ හිතෙන්න ඇති. අනිත් එක අපි කියන දේ අහල පහල ඉන්න අනිත් ජහමනයාට ඇහුනාය කියලා ගානක්වත් අපිට තිබ්බෙ නෑ. අන්න මේ මොහොතේ අයිෆල් කුලුණ පැත්තෙන් කිඹුහුමක් ගියා කියලා රේඩාර් වුනා.

“අඩෝව්, මේ අහගනිල්ල,” එකෙක් කියනවා, “පුදුමා…කාර තත්වයක් සහෝදරවරුනි උද්ගතවෙලා තියෙන්නෙ. ග්‍රහයො ඔක්කොම නීච වෙලා. සිකුරා ගැන කත්…තා කරලා වැඩක් නෑ.”

දැන් අහල පහල ඉන්න බස් එනකල් ඔහේ බලාගෙන හිටපු ඩයල් ඔක්කොම බලා ඉන්නෙ අපි දිහා.

“දැන් අලුතෙන් බඩු දාගන්න නෙවෙයි. තියෙන බඩු ‍රැක ගන්න බලාපල්ලා. ඒ තරං නරක කාලයක් ඩෝ.”

පාරෙන් එහා පැත්තෙ පිරවුම් හලේ පෙට්‍රල් ගගහා හිටපු පොරත් හිනාවෙලා ඔලුව වනලා නොසල් එක පොම්පේ එල්ලුවා. ඌත් ඒ සන්තෑසියම වෙච්ච පොරක් වෙන්න ඇති.

ඒ වගෙම සපෝටර්ලගෙ සපෝට් එක ගන්න ගිහින් කෙල්ල සපෝටර්ට සෙට් වෙලා චාටර් වෙන අවස්ථා එමටයි.

අද වගේම 50% ලව් ඒ කාලෙත් තිබ්බා.
“ඒයි කොහොමද මචං උඹේ ලව?”
“සීයට පනහක් ගොඩ මචං.”
“සිරාවටම?”
“ඔව් මචං හැබැයි ඒ පනහම මගෙ පැත්තෙන්. ඒකි දන්නෙවත් නෑ.”
(aka One Way Love Affairs)

තව දෙයක් තමයි ගට නොමැති වීම. ඕක අහන්න ගියොත් මේ තියෙන අහවල් එකත් නැතිව යන්න පුලුවන් කියලා අස්ථාන බියක් ඇතිකර ගැනීම. ඒ නිසාම approach එක දවසෙන් දවසට කල් දැමීම. අද නෙවෙයි හෙට ෂුවර් එකටම අහනවා කියලා කිසිදා නො එන හෙට දවසකට කල් දානවා බාලගිරි දෝශය වගෙ. අන්තිමේදි බොහෝ විට වෙන්නෙ කොහේවත් ඉඳලා පාත් වෙන හැලපයෙක් කෙල්ලව ඩැහැගෙන යාම. වැඩේ චාටර්ම වෙන්නෙ පස්සෙ ඒකිත් කැමැත්තෙන් හිටපු බව ආරංචි වීම. එතකොට තමයි පශ්චාත් භාගයට පයිං ගහගෙන දිව විකාගෙන මැරෙන්න හිතෙන්නෙ.

කෙනෙක් තව කෙනෙකුට ආකර්ශණය වෙන්නෙ මොකක් හරි විශේෂ ශාරීරික ලක්ෂණයක්, නැතිනම් ගතිගුණයක් හෝ ඒවාගෙ එකතුවක් නිසා. සමහරවිට අනෙකා ලඟ ඇති තමා රුචි නොකරන ඍන ලක්ෂණ පවා අර ධන ලක්ෂණවලට ටිකෙන් ටික යටපත් වෙනවා.තවත් විශේෂ දෙයක් තමයි මගේම වචනයෙන් කිව්වොත් “කැත ගෙවී යාම”. කවදහරි පුදුමවෙලා තියෙනවද ‘ඇයි දෙයියනේ අරූ අර වගෙ හුචක්කුවක් එක්ක යාලු වුනේ. මූට ඇස් පේන්නෙ නැත්ද?” කියලා. ඒක

බොහෝ විට වෙන්නෙ දවස ගානෙ දකින මුන ගැහෙන ආශ්‍රය කරන කෙනාගෙ බාහිර ඍන ලක්ෂන යටපත්වෙලා වෙනත් හැඟවිලා තිබ්බ ගතිගුණයක් ඉස්මතුවීම වෙන්න ඇති කියලා මට හිතෙනවා.

මට මතක් වෙනවා අපේ මලයා දවසක් කිව්ව කතාවක්. ඉතාම කෲශ (painfully thin, a man could get serious injuries on contact) කෙල්ලක්ව අතින් ඇදගෙන පේව්මන්ට් එක දිගේ වේගයෙන් ඇවිදගෙන ගිය ඩයල් එකක් දැකපු අඳුරන්නෙත් නැති පොරක් මල්ලිට කිව්වලු “සුප් එකකට වෙන්නැති” කියලා.

ඒ වගේම නැලවිල්ලෙන් පැද්දිල්ලෙන්, ඇහැ කොනින් හොරෙන් බැලීමෙන් පටන් අරං අහස උසට බලාපොරොත්තු දීල, (මගෙම වචනවලින් කිව්වොත් Dangling sex in front of your face© මූණ ඉස්සරහ වැනීම), පස්සෙ බලනකොට වෙන කොහෙ හරි යන හාල්පාරුවෙක් එක්ක බස් හෝල්ට් එකක කතා කරකර ඉන්නවා, නැත්නම් මල්වත්තෙ අත් අල්ලාගෙන ඇවිදිනවා දකින කොට කොහොමද පපුවට දැනෙන සනීපේ?

ගෑල්ලමයින්ගෙන් මට ලැබිලා තියෙන උත්තර මම වර්ගීකරනය සඳහා ලැයිස්තුගත කරල බැලුවා.

“ඇයි ඔයා මාත් එක්ක තරහ වෙලාද/ තරහද/ තරහෙන් වගේ? ඊ ටී සී.

“තරහවෙන්න අපි යාලු වෙලා හිටියයැ?”

කතාව ඇත්ත. යාලුවෙල හිටියා කියන එක නිර්වචනය කරන්නෙ කොහොමද?

“අනේ ඩූඩ් අයියෙ, එයා කියනවා ඔයා කොච්චර හොඳ කොල්ලෙක් වුනත් ඔයා සීරියස් මදිලු”

මේ පණිවිඩය කියන්නෙ සපෝටර් නංගි. අඩු ගානෙ මං හොඳ කියන කැටිගරියෙ ඉන්නවනෙ

“අනේ ඩූඩ් අයියෙ, අපි සහෝදරයො වගෙ ආශ්‍රය කරමු.”

මට කොච්චර නං සහෝදරියො හිටියද ඒ දවස්වල. තාත්තා පුදුම වෙයි දන්නවා නම්!

ඇති ඇති. ඔය ඇති.

ඔන්න ඔහොම එක කේස් එකක් කඩා වැටෙන කොටම තමයි මම අහම්බෙන් ලියපු තරඟ විගාගයකින් සමත් වෙලා ගුරු පත්වීමක් ලැබිලා අම්පාරට ගියේ. අප්‍රේල් නිවාඩුවට ගෙදර ආවම වැඩිපුරත් සතියක් නිවාඩු දාලා ඉන්න ගමන් මම පරන පුරුද්දට ගියා අර බස් එකේ. ඔන්න යකෝ අර ගැන්සිය ඉන්නවා.
මාව වටකරත්ත කෙල්ලො මගෙන් අහනවා

“අනේ ඇයි ඩූඩ් අයියෙ ඔයා අපිව දාලා ගියේ?”

“ඔයා අපිත් එක්ක තරහද?”

“ඇයි ඔයාට අපිව එපා වෙලද?”

“ඇත්තටම ඩූඩ් අයියෙ ඔයා කොහෙද ඉන්නෙ?”

“මම ඉන්නෙ අම්පාරෙ” මම කිව්වා.

“අම්මෝ අම්පාර තියෙන්නෙ හරී ඇත නේද?”

“අනේ කැලේ නේද අනේ?”

“ඔයා බය නැද්ද ඔය කැලේ මැද්දෙ ඉන්න?”

“එහෙ සත්තුත් ඇතිනේ?” (“හුහ් සුකොමල ලලනාවො ටික!”)

“අනේ අලි විමානෙලු නේ?”

“ඉන්නවා ඕනැ තරම්.” මම කිව්වා.

“ඉතිං අයියේ එහෙ ඉන්නේ? මේ අපේ ඉස්කෝලෙට එන්නකො ඔයා.”

“අනේ, අනේ ඔව් අනේ අපේ ඉස්කෝලෙට එන්න ඔයා.” ඔන්න කට්ටියම උඩ පනිනවා දැං.

“නෑ. එහෙ ඉන්න දාර පිඹුරු වග වලස්සු මෙහෙ එවුන් තරම් දරුණු නෑ.”

මේක කිව්වම මට මාර සනීපයක් හිතට දැනෙන්න ගත්තා, කාලයක් හිතේ තිබ්බ බරක් නිදහස් වුනා වගේ.

“ඔයා ඔය අපිට නේද කියන්නෙ? ඔයා හරී…නරකයි”

“කැමති විදියකට හිතාගන්න.”

“ඒක නෙවෙයි අයියෙ, ඇත්තටම එහෙ අලි ඉන්නවද?”

“නංගි ඔයා මොනවද මේ කියන්නෙ? අලි තමයි උදේට ඇවිත් හොඬවැලෙන් බ්ලැක් බෝඩ් එක පිහදාලා යන්නෙ.” මම කිව්වා.

කෙල්ලො ටික කට ඇරන් මගෙ දිහා බලා ඉන්නවා මගෙ මූනට එබීගෙන මම කිව්වෙ ඇත්තක්ද බොරුවක්ද දැනගන්න. ඇත්තෙන්ම මට ලැබිලා තිබ්බෙ අම්පාර නගරයෙ පිහිටලා තිබ්බ හොඳම පාසැල් වලින් එකක් කියලා මම මුන්ට නොකිව්වෙ ආතල් එක කැඩෙන නිසා.

“හරි නංගිලා, මම යනවා, Good Bye!” කියපු මම ඒ නංගිලාගෙ ජීවිතවලින් ඇත්තටම ඉවතට ඇවිදගෙන ගියා අලුත් ලොවක් කරා.

 

ටැග: , , , ,

67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

ගමයයි මායි දෙන්න ගියා සුපුරුදු විදියට හොරි බනිස් කාලා ප්ලේන්ටිය ගහලා කැහි කූරක් ඇදලා එන්න. දෙන්නම දුම්බට වලට ගිණි තියාගෙන ඔන්න යාවත්කාලීන කරනවා.

“මොකද බං උඹ ඊයෙ ආවෙ නැත්තෙ?”මම ඇහුවා.

“ආ… ඊයෙද? ඊයෙ ගියානෙ මචං එයාපෝට්. ඊයෙ දුලානිලගෙ අයියා ජර්මන් ගියානෙ බං ස්කෝල් එකක් හම්බ වෙලා.”

“මරුනෙ! ඉතිං කොච්චර කාලෙකටද?”

“අවුරුදු තුනකට මචං.”

“අන්න වාසනාවන්තයො. ශ්‍රී ලන්කන් ඩිරෙක්ට් ෆ්ලයිට් තියෙනවද ජර්මනියට?”

එතකොටම අපි කැහිකූරු ගන්න, සිංහලද, දෙමලද, ජාද, බර්ගර්ද, මුස්ලිම්ද, මොකක්ද කියන්න බැරි නමක් තියෙන කඩේ, ඒ කොයි වර්ගයට අයිතිද කියලා පෙනුමෙන්වත් ඇක්සෙන්ට් එකෙන්වත් අනුමානවත් කරන්නවත් බැරි මුදලාලි පැන්නා මැද්දට.

“ෆ්‍රැන්ක්ෆර්ට් යන්නෙ අබුඩාබි එකට ගීල්ලා තමයි. ඊත්‍රෝ(හීත්‍රෝ) යන්නෙත් ඒමයි. අබුඩාබි එකේ හරි ඩුබායි එකේ හරි ටච් කරලා තමයි යන්නෙ”

“ම්හ්ම්.. ඇත්තද?”

මුදලාලි ගියා කඩේ ඇතුලට.

තවත් දුම් උගුරක් පෙනහලු පිරෙන්න ඇදපු මම,

“දුලානිගෙ අයියා ජර්මන් ගියා කිව්වනේද මචං?”

“ඔව්, ඌ ජර්මන් තමයි ගියේ, ඇයි මචං?”

“ඌට කොච්චර ට්‍රයි කලත් ජර්මන් යන්න බෑ මචං.”

ගමයා මොකුත් නොකියා තොල් එකට තද කරගෙන බෙල්ල ඇල කරලා මං දිහා බැලුවා.

“මචං, ඌ ගියේ ජර්මනි. නැත්නං ජර්මනියට. ජර්මන් නෙවෙයි. මොකද ඒක භාෂාවක්. එහෙම වුනොත් සිංහල, හීබෲ, පාලි, සංස්කෘත, එස්ප‍රැන්ටෝ, පෘතුගීසි, ඉංග්‍රීසි, දෙමල හෙමත් යන්න පුලුවං වෙන්න එපෑ. බැරිවෙලාවත් එහෙම යනවානම් මචං මොකක් හරි බේතක් කරන්න වෙයි!”

ගමයා අමුතු හිනාවක් දාගෙන මං දිහා බලා හිටියා. මම ඔන්න තවත් පටවනවා.

“ඒවගෙම මචෝ අර යන BMW එක ජර්මන් කාර් එකක්.
එතකොට ජර්මන් විශේෂන පදයක්.
එතකොට රට වැසියා ජර්මන්කාරයා නැතිනම් ජර්මන් ජාතිකයා.”

“එහෙම කියනකොට තේරෙනවා මචං. ඒ වුනාට එක පාර ටැපලෙනවා, අර පුරුද්දට…”

“ආපහු ගියාම මම උඹට කොලේක ඇඳලා පෙන්නන්නම්කො.”

තව පොඩි අවුලක් තමයි අර බුවා කිව්වා නේද ඩුබායි එකෙන්ද, අබුඩාබි එකෙන්ද බැහැලා යන්න ඕනෙ කියලා?

“ඔව්”

“මචං ඕක හුඟ දෙනෙක් කියනවා මං අහලා තියෙනවා. ඊට ලස්සනයිනේද ඩුබායි වලින්, අබුඩාබි වලින් බැහැලා යනවා කියන එක. ඩුබායි එකේ කියන්නෙ නැතුව? එතකොට හොංකොංවල, ලන්ඩන්වල.”

පාරේ වනවන ගිය පස්සක් දිහා නොපෙනි යනකල්ම බලා හිටපු අපි දෙන්නා එකිනෙකාගෙ මූණ බලාගෙන ඉඟි මැරුවා හරියට “කොහොමද ඒ වැනිල්ල?” කියනවා වගෙ.

“ඉතිං මොකක්ද උඹ කිය කිය හිටියෙ? පස්සක් දැක්කම උඹටත් උන් හිටි තැන් අමතක වෙනවනෙ, හෙහ් හෙහ්. යකෝ දරු පවුල් කාරයො නේද? මේ හිටහල්ලකො අපි වගෙ ඩීසන්ට් කමට”

“අනේ ‍තෝ මට කියන්නෙ නේ? ඔය සපත්තුව තෙමිලා තියෙන්නෙ තොගෙ දිව ඇතිල්ලිලා…”

“මේ ඒක නෙවෙයි හෙන්රියො. සිංගපූරුවෙ එකා සිංගපූරියන්නෙ. එතකොට හොංකොංවල එකා මොකාද? ඕක අපේ පුතා බං ඇහුවෙ. ඩික්ෂනරියෙත් නෑනෙ බං.”

ගමයා අති සාර්ථක විදියට ආරක්ෂාකාරී ඉරියව්වෙන් පාදය පසුපසට ගෙන වේගවත් පහරක් එල්ල කලා පන්දුව තන නිල්ල දිගේ වේගයෙන් ගලාගෙන යන්න.

“ඔය හොංකොං වල වැසියාට කියන වචනයක් මම දැනගෙන හිටියෙ නෑ මේ ලඟක් වෙනකල්. මෙන්න මේ ලඟදි National Geographic Channel එකේ දැන්වීමක හොංකොඟර් කිව්වා බං. මං හොල්මං වෙලා ගියා.”

“ආහා ඇත්තට! යකෝ අද සෑහෙන දිග පාඩමක් ඉගෙන ගත්තනෙ” ගමයා සිගරට් කොටේ බිම දාලා පාගන ගමන් කිව්වා.

“එහෙම තමයි ඩෝ, හැම දාම නෑ හැම තැනම නෑ” මම කහමදේටම ආපු බටේ පෙරේත උගුර අදින්න ඉස්සෙල්ල කිව්වා.

_______________________________________________________________________________________

වැඩේ ඒත් අවුල් නම් මෙන්න මමම හදපු වගුවක් තියෙනවා. කොහෙන්වත් උස්සලා නෙවෙයි, මේ දැන් හැදුවෙ. හැමෝම මං වගෙ 18ටේ කොල්ලො නෙවෙයිනෙ. 🙂 පේනවා මදිනං එහෙම කෂ්ටිය ලැජ්ජ වෙන්න ඕනෙ නෑ වගුව උඩ දෙපාරක් කොටන්න. 😀

ප.ලි. මා අවුරුදු පහකට හෝ හයකට පෙර දුම්පානය නතර කල බව සලකන්න. Hong Konger යන වචනයේ භාවිතාව මේ කතාවට ඈඳූමුත් එය සැබවින්ම සිදුවූයේ මෙම වසරේ 2012 මුල භාගයේය.

මමත් සියල්ල දත් නෙවෙයිනෙ. මම නොදැන හිටියට එහෙම වචනයක් තිබිලා තියෙනවා. මෙන්න විකිපීඩියාවෙන්…

The terms Hong Konger (or Hongkonger), Hongkongese, and Hong Kong People are all translated into the Cantonese term of Hèung Góng Yàhn (Chinese: 香港人; Cantonese Yale: Hèung Góng Yàhn). As a result, the above terms are different only as far as English language usage is concerned. People from Hong Kong in Western countries are also referred to colloquially as Hongers[citation needed] (or honkies[citation needed], an offensive term ), however these latter terms are not always well received. The terms embodies a civic identity as opposed to one based upon race or ethnicity.

Hong Konger is used more often by native speakers of English,[citation needed] while Hong Kong People, a more direct translation of the term Hèung Góng Yàhn, is used to a greater extent by Chinese native speakers in Hong Kong when writing or speaking in English.[citation needed] Hongkongese is a relatively recent term coined by the North American press, likely using the same suffix as the word Chinese does.[1]

The term Hong Kong Chinese was used more often in the 19th to early 20th century in Hong Kong[citation needed], where the British population residing in Hong Kong made up a higher percentage than what it comprises now. One used to refer to an individual as Hong Kong Chinese in order to differentiate the person from a Hong Kong Briton.

 

ටැග: , , , , ,

64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

උගන්නන රස්සාවෙ ලංකාවෙදි සහ මෙහෙදි පුදුම වෙනසක් තියෙනවා, සමානකමුත් නැත්තෙ නෑ. ලොකුම වෙනස තමයි ලංකාවෙදි අපි විශ්‍රාම වැ‍ටුප් සහිත ස්ථිර රජයේ සේවකයො හන්දා අපිට තියෙන බලතල වැඩියි. මෙහෙදි, රජයේ ඉස්කෝලවල ඉගැන්නුවත් අපි අවුරුද්දකට සැරයක් ගිවිසුම අලුත් කලයුතු විදේශීය සේවා දායකයො. ඉතින් බලතල ගැන කතාකරලා වැඩක් නෑනෙ. ඒකට ලංකාව!! 🙂 හම්බවෙන පඩියෙන් ජීවත් වෙන්න බැරි වුනත්, ජීවිතෙන් බාගයක් පාරට වැය කලත්, අපිට (සෑ)හෙන බලතල තිබ්බා. නිවාඩු ඕනෙ තරම්! අධ්‍යාපන අධ්‍යක්ෂකලත් එක්ක කොකු දාගන්න එක ‘ජීවනාංගයක්’. (ඔන්න මම මේ දැන් නිර්මාණය කරපු වචනයක්. “It’s a way of life” වලට සමාන කියලයි අදහස් කලේ! 🙂 අම්මෝ, තිබ්බ නිදහසක්! 🙂

ඔන්න දැන් කශ්ටිය ඇවිස්සුනානම්, බලතල කිව්වෙ මෙහෙට සාපේක්ෂව. වගකිවයුතු තීරණ ගන්න අපිවත් සහභාගී කරගත්තා. අපේ අදහස් විමසුවා. විදුහල්පති වුනත් තමන්ට ඕනෙ හැටියට වැඩකරන ඒකාධිපතියෙක් වගේ හැසිරුනේ නෑ. අපි එහෙම හැසිරෙන්න ඉඩ දුන්නෙත් නෑ.! නිවාඩු ඕනෙ තරම් තිබ්බා. ඒ කියන්නෙ හතලිස් එකක්ද කොහෙද තිබ්බා. අනියම් නිවාඩුත් එක්ක. මතක් වෙනකොටත් දුකයි. 😦 අධ්‍යාපන අධ්‍යක්ෂකලත් එක්ක, විදුහල්පතිලත් එක්ක, ගුරු උපදේශකලත් එක්ක, කොකු දාගත්තෙ අසාධාරණයට එරෙහිව. නමුත් මතක තබාගතයුතු දෙයක් තමයි අසාධාරණයත්, අනිත් කොයි දේත්, වගෙ සාපේක්ෂ බව. ‍රැස්වීම්වලදි නැගිටල තර්ක කලා. සමහර අධ්‍යාපන අධ්‍යක්ෂකලට අපි මාර ඇණයක් වෙලා තිබ්බෙ. අනේ එහෙම නිදහසක්! දුකේ බැරුවා. 😦

කිවයුතු තව දෙයක් තමයි ලංකාව් හිටියත්, පිටරටක හිටියත් වැඩකරන එකා වැඩ කරනවා. හොරා කොහෙ හිටියත් හොරා!

මම අන්තිමට ලංකාවෙ වැඩකලේ “කොට අදින ඉස්කෝලෙ”. මේ ඉස්කෝලෙට ඔය නම වැ‍ටුනෙ, පිහිටියෙ කොට වලට සම්බන්ද තැනක හන්දා විතරක් නෙවෙයි. කශ්ටිය අහලා ඇතිනෙ පෙරහැරේ යන අලියි, කොට අදින අලියි ගැන. කොළඹ කිව්වම කශ්ටියට එකපාර ඔලුවට එන්නෙ පොෂ් තැනක්නෙ නේද? කොළඹ හැම තැනම පොෂ් නැතිබව ඔලුවට එන්නෙ පස්සෙ. ඉතින් ඔය කොළඹ නගරෙම කුමාර විදුහල් වගේම කොහොමවත් පොෂ් නැති, දුප්පත්, කාටවත් යන්න ඕනෙ නැති ඉස්කෝලත් තියෙනවා. (ඔය පොෂ් කියන වචනෙ අපි කවුරුත් පාවිච්චි කලාට ඕකෙත් නැවකට සම්බන්ධ ඉතිහාසයක් තියෙනවා. ඒක කියන්නම්කො වෙන වෙලාවක ඉංග්‍රීසි පාඩමකට) මම කුමාර ඉස්කෝලෙකට නොගිහින් කොට අදින ඉස්කෝලෙකට වැ‍ටුනෙ කොහොමද කියන එකත් දැන්නම් හරි රසවත් කතාවක් එදා තිත්ත කතාවක් වුනාට. කලකදි රස කලකදි වස වෙනවා වගේම කලකදි වස කලකදි රස වෙන එකත් පුදුමාකාර දෙයක්!

ඉතින් කොට අදින ඉස්කෝලෙ වැඩකරන අපි කාලේ සිංහලෙන් කිව්වොත් thankless job එකක්. අපි ඉගැන්නුවෙ තරමක් දක්ෂ ටික දෙනෙකුටයි, සැලකියයුතු දක්ෂතාවයක් නොපෙන්වන, ඉගෙනගන්න කිසිම ඕනෙ කමක් නැති වැඩි දෙනෙකුටයි,අවම පහසුකම් මැද්දෙ. අර කසුන් උගෙ ප්‍රොෆයිල් එකේ විස්තරේට එල්ලාගෙන ඉන්න “මෙලෝ රහක් නැති, ඔහේ වැනි වැනි ඉන්න, කාටවත් වැඩක් නැති, නිකන්ම නිකන් ඩයල් එකක්” කියන කසුනගෙ කෙරුවාවට කොහෙත්ම නොගැලපෙන විස්තරේ මේ ඩයල් වලට නම් නියමෙට ගැලපුනා. ඉතින් අපේ ප්‍රතිඵලත් ඊට සාපේක්ෂයි. අපි පණ යනකම් උගන්නලා දක්ෂයො ටික පොලිශ් කරලා, අදක්ෂයො සෑහෙන තැනකට ගේනකොට අපේ හොඳ පණ ගිහින්. අනික වැඩ ටිකක් හරි පුලුවන් එකා හැකි ඉක්මනින් අර පොෂ් ඉස්කෝලෙකට මාරු වෙනවා. අනේ ඒකෙ වරදක් කියනවා නෙවෙයි. ඉතින් ප්‍රාතිහාර්ය පාන්න අපිට ඉතුරුවෙන්නෙ පෙරිලා ආපු රොඩ්ඩ.

එතකොට කුමාර විදුහල්වල වැඩ කරන අපේ සහෝදර සහෝදරියන්ට ඇත්තෙන්ම ලැබෙන්නෙ පෙරිලා ආපු ක්‍රීම් එක, සීයට සීයක්ම නොවුනත්. වැඩේ අපිට වැඩිය හුඟක් ලේසියි. ප්‍රතිඵලත් එලෙසමයි. ප්‍රාතිහාර්ය පාන්නත් ලේසියි. අපි තරම් මහන්සි වෙන්න ඕනෙත් නෑ.

අර කතාවක් තියෙනවනෙ තනි මිනිහෙකුට පුලුවන් අශ්වයාව ජලාශයට ගෙනියන්න, නමුත් මිනිස්සු දාහක් එකතු වුනත් බෑ මේකාට වතුර පොවන්න, ඌට වතුර බොන්න අවශ්‍යතාවයක් නැතිනම් කියලා..

ඉතින් කරුමෙ කියන්නෙ අර අධ්‍යාපන බලධාරීන් කියන කශ්ටිය අපෙනුත් බලාපොරොත්තු වෙන්නෙ අර කුමාර විද්‍යාලෙ ගුරුවරු පෙන්නන ප්‍රතිඵලමයි. අපිට දෙසනවා උදාහරණ එක්ක, “අර ඉස්කෝලෙ මෙච්චර Aස් තියෙනවා ඇයි ඇයි මේ ඉස්කෝලෙ ප්‍රතිඵල මෙච්චර සවුත්තු?” වගෙ අමන තර්ක. ඕවට තමා අපි ගැටෙන්නෙ. මුන්ට නොතේරෙන දේ තමයි අපි අර තරම්වත් ප්‍රතිඵලයක් ගත්ත එක ප්‍රාතිහාර්යයක් බව අපිට ලැබිලා තියෙන අමු ද්‍රව්‍යයි, සම්පතුයි එක්ක.

ඉතින් අපි කවදත් මගුල් ගෙදර ගිය දුප්පත් නෑයො වගෙ තමයි. ලැබෙන සැලකිල්ලත් එපා වාහෙට හොදි බෙදනවා වගෙ තමයි. ඉතින් ඔන්න ඔහොමයි ඒ අය පෙරහැරේ යන අලියි අපි කොට අදින අලියි වුනේ. විශේෂයෙන්ම අපි අමාරුවෙන් මොළේ පාදලා, යම් මට්ටමකට ගෙනාපු ළමයිනුත් දැන් අර ඉස්කෝලවලට ගිහින්.

ඉතින් ඔන්න ඔහොමයි අපේ ඉස්කෝලෙ කොට අදින ඉස්කෝලෙ උනේ.

හරි, දැන් පසුබිම ගානට පාට වෙලා තියෙන නිසා චරිත දාමු. අපේ කාල සටහන් පිරිලා තිබ්බට ඔය ඉස්කෝලෙත් හිටියා අමුතුම වාසනාවන්තයො කීපදෙනෙක්. එක්කෙනෙක් මිස්ට මෙත්තානන්ද. විශ්‍රාම යන්න ඔන්න මෙන්න. එන්නෙත් ඉන්ටවල් එක කිට්‍ටුව. හැම තිස්සෙම ස්ටාෆ් රූම් එකේ ඉඳගෙන මොකක් හරි රස කතාවක්. යන්නෙත් තමන්ට ඕනෙ වෙලාවට. ඉස්කෝලෙ එන්නෙත් තමන්ට හිතුනාම.

මේකෙ රහස මේකයි. මිස්ට මෙත්තානන්දගෙ වැඩ තහනම් වෙලා මොකක්දෝ හේතුවක් නිසා. පස්සෙ විනය පරීක්ෂණයෙදි මෙත්තා නිවැරදිකාරයා වෙලා. මෙත්තා කලේ වහාම දෙපාර්තමේන්තුවට විරුද්ධව නඩුවක් ගොනු කිරීම. ඒකත් ඇදි ඇදි ගිහින් අන්තිමේදි මෙත්තා දිනලා විතරක් නෙවෙයි, මෙත්තාට දෙපාර්තමේන්තුවෙන් ලක්ෂ ගානක වන්දියකුයි, නඩු ගාස්තුයි, ඊට අමතරව, වහාම සේවයේ පිහිටුවලා හිඟ වැ‍ටුප් ගෙවන්නත් නියෝගයකුත් ලැබිලා. ඉතින් පෙන්ෂන් ගන්න ඔන්න මෙන්න වයසේ හිටපු මෙත්තාට කාල සටහනකුත් නෑ. අතිරික්ත ගුරුවරයෙක් නිසාත්, මෙත්තාගෙ ගති ස්වභාවය අනුවත්, ඒ ඔක්කොටම වඩා උසාවි නියෝගයකින් ඇවිල්ලා ඉන්න බුවෙක් නිසාත් විදුහල් පරිපාලනයෙනුත් මෙත්තාට බලපෑම් කරන්න ගියේ නෑ.

ඒ එක වාසනාවන්තයෙක්.

අනිත් වාසනාවන්තයා මයිකල්. මයිකල් ඉස්කෝලෙ එන්නෙ පඩි දවසට විතරයි. අනිත් දවස් ඔක්කොම ගුරු වෘත්තීය සමිතියක ඉහල නිලයක් දරන මයිකල්ව අමාත්‍යාංශයෙන්ම පූර්ණ කාලීනව නිදහස් කරලා තියෙන්නෙ වෘත්තීය සමිති වැඩ වලට. අපි නම් කලින්ම විවාහ වෙලා දරු සුරතල් බලමින් හිටියත්, මයික් නම් තරුණ විය පසු කරමින් සිටියත් විවාහ වෙලා හිටියෙ නෑ.

වෘත්තීය සමිතියෙ දේශපාලන අදහස් පැත්තකින් තිබ්බොත්, මයිකල් මට අමතක නොවන චරිතයක්. එකක් මයිකල් Clean Freak කෙනෙක්. වෙන වචනයක් නෑ ඒකට. මයිකල් අඳින ඇඳුම සුදු හෝ ලා පාටයි, අති පිරිසිදුයි, මයිකල් ෂැම්පූ දාන්නෙ කොන්ඩෙට විතරක් නෙවෙයි කන්නාඩි කුට්ටම හෝදන්නෙත් එක්තරා විශේෂ වර්ගයක ෂැම්පූ වලින් විතරලු. ඔරලෝසු පටිය විශේෂ වර්ගයක බේබි සබන් දාලා මදින්න වෙනම බුරුසුවක් තියෙනවාලු. සපත්තු වලින් අර මොනවද පේන්නෙ නැත්තෙ දිග කලිසම ඇඳලා ඉන්න නිසයි.

අපේ ස්ටාෆ් එකේ කශ්ටියම, උප විදුහල්පති මාලිනී අක්කා ඇතුලුව, ගමයා, ගිම්හානී, වින්ධ්‍යා, ඇලයා, මං ඇතුලු ගැන්සියක් අපේ බත් මුල් ඔක්කොම එකට දිග ඇරගෙන අඩංගු ද්‍රව්‍ය හුවමාරු කරගෙන හවුලේ කන සිරිතක් තිබ්බා. මම අදත් ඒ දේවල් සිහි කරන්නෙ හරිම ආසාවෙන්.

එක්තරා පඩි දවසක විවේක කාලයෙදි අපි කට්ටියම බත් පාර්සල් දිග ඇරගෙන බෙදාගෙන හවුලේ දෂ්ට කරමින් ඉන්න කොට මයිකල් ආවා.

“අනේ මයික් මගෙ දෙයියෝ, මොකද ඔතන ඇයි හිටගෙන එන්න එන්න වාඩිවෙන්න!” මාලනී අක්කා කෑ ගැහුවා.

“මයිකල් තුමා, හත් අට පොලකින් ඉඳගෙන කමු ඔන්න ඔහෙ බත් ටිකක්”, ගමයා ආරාධනා කලා.

ඊට පස්සෙ මයිකල් බත් කන්න බැරි ඇයි කියන එකට සුදුසු සුපුරුදු පිළිතුරක් දුන්නා, නමුත් වාඩි වුනා. ඊලඟට ගමයා ඇහුවා අමුතුම ප්‍රශ්ණයක්.

“මයික්, මොකෝ මේ කසාද බඳින්නැත්තෙ?”

“මට සුදුසු කෙනෙක් හමු වුනේ නෑනෙ, ඒකයි!”

“ඒ කියන්නෙ කවදාවත් affair එකක් තිබිලා නෑ?” මාලිනී අක්කා තව බත් කටක් කටේ ඔබා ගන්න මොහොතකට කලින් ඇහුවා.

“ම්ම්ම්,” මයික් පොඩ්ඩක් උඩ බලාගෙන කල්පනා කෙරුවා. “නැහැමයි කියන්නත් බැහැ. වතාවක් මම මගේ ගෝලයෙක් එක්ක පොඩි සම්බන්ධයක් තිබ්බා. ඒ ළමයත් මට කැමතියි කිව්වා. මම ඒ ලමයගෙ ගෙදරත් යන්න එන්න ගත්තා ටියුෂන් දෙන්න. මගෙ බයික් එකත් තිබ්බනෙ ඒ කාලෙ. එයාගෙ දෙමව්පියන්ටත් හඟවලා තිබ්බේ අපේ සම්බන්ධෙ ගැන. මම මේක ඔ‍ෆිෂලි කියන්නත් හිතාගෙන හිටියෙ. ඒ මිනිස්සුත් යමක් කමක් තියෙන හොඳ වැදගත් මිනිස්සු.. ඒ අයගෙත් අකැමැත්තක් තිබ්බෙ නෑ….”

“ඉතින්, මොකද ඒකට උනේ?” තවත් ඉවසාගෙන ඉන්න බැරි ගිම්හානි පැන්නා.

“කන්න ඇති දාර බූට් එකක්!” හෙන්රිබ්ලොග්වෝකර්ගෙ පඬි අදහසක්.

“ඉන්නකෝ කියනකල්. දවසක් ටියුෂන් දීලා ඉවර වුනාම මටත් කෑමට කතා කලා ඒ ගෙදර කට්ටිය. කෑම කාලා ඉවරවෙලා මේ ගෑණු ලමයා ඉස්තෝප්පුවට ආවා වෙනදා වගේම තනියෙම පොඩ්ඩක් කතා කර කර ඉන්න…”

දැන් අපේ කුතුහලය අධිකයි. මගේ හිතේ නොයෙකුත් චිත්ත රූප මැවි මැවී යන්න ගත්තා.

“එදා මේ ගෑණු ලමයගෙ ඉස්සරහ දතක අර දවල්ට කාපු මැල්ලුම් කෑල්ලක් ඇලිලා තිබ්බා. මේ කෙල්ල මේ මැල්ලුම් කෑල්ලත් දතේ අලවගෙන මාත් එක්ක හිනාවෙවී හුරතලේට කතා කරනකොට මට ඇතිවුනා කියන්න බැරි තරම් පිළිකුලක්. ඒක වැරදි අදහසක් තමයි. නමුත් ඒකෙන් මට ඒ ළමයව එපා වුනා.”

“යකෝ මේකා මාර පොරක්නෙ.” මට නිකම්ම කෑ ගැස්සුනා. ගෑණු පිරිමි බේදයකින් තොරව අපේ කටවල් වලට ගලාගෙන ආපු අසභ්‍ය වදන් වැල සභ්‍යත්වයේ ඇන්ටි වයිරස් වැඩසටහනෙන් වහාම ස්පෑම් කලා .

හැමෝම කං අදහාගන්න බැරුව මයිකල් දිහා පුදුමෙන් බලා හිටියා. කෑම කමින් හිටි අපි ඔක්කොම ගල් ගැහිලා මයික් දිහා බලන් හිටියෙ අමුතු සතෙක් දැක්කා වගෙ. අපි මේකා ටිකක් weird geek නැතිනම් nerd කෙනෙක් බව දැන හිටියත් මූට මෙච්චර පිස්සු බව දැන ගත්තෙ එතකොටයි. හැමෝගෙම කෑම නතර වෙලා. කටවල් නතරවෙලා. අතැඟිලි බත් මුල් මැද අතරමං වෙලා.

“යකෝ හොඳ වෙලාවට ඒක ඔයින්ම නතර වුනේ. මේකා ඒ කෙල්ලව බැන්දානම් හෙම ඒකි නිකං අතරමං වෙනවා!” මාලිනී අක්කා කිව්වෙ වෙනදා වගෙ විහිලුවට නෙවෙයි.

“වෙන්න පුලුවන්. මම ඊට පස්සෙ කවදාවත් එහෙ ගියෙ නෑ. ඒක එහෙමම අතහැරිලා ගියා. ඊට පස්සෙ මට ඒවගෙ කෙල්ලෙක් කවදාවත් හමු වුනේ නෑ.” මයිකල් කිව්වා.

මම නොදැනුවත්වම මගෙ දිව දත් මතින් මැල්ලුම් කෑලි සොයමින් ගමනාරම්භ කලා.

මේ සිද්ධිය මගෙ ජීවිතයට මොන තරම් බලපෑමක් ඇති කලාද කිව්වොත් අද පවා මැල්ලුම් සම්බෝල වගෙ දෙයක් කෑවොත් සමාජයට මුහුන දෙන්න කලින් දත් පරීක්ෂා කරලා බලන පුරුද්දක් මට අදත් තියෙනවා.

(මෙය සතය කතාවකි. මයිකල් සහ මෙත්තානන්ද ආරූඪ නාමයන් වේ)

 

ටැග: , , , , , ,