RSS

Category Archives: මං පොඩි කාලේ

182.ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි


vwbsaපොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි. Read the rest of this entry »

 

ටැග:

161. කළකිරීම


OLYMPUS DIGITAL CAMERA

උපේක්ෂා ලියලා තිබුණ මිතුරු තොමෝ කතාව කියෙව්වාම මට හිතුනා කාලෙක ඉඳ ලියන්න හිතාගෙන හිටපු නමුත් මේ දවස් වල ගහලා තියෙන කම්මැලි කම නිසාම ඔහේ නිකම්ම තියෙන බ්ලොග් ක‍ටුවේ මළකඩ කැඩෙන්නත් එක්කම මේක  කියලම දානවා කියලා. Read the rest of this entry »

 

ටැග: , , , , , ,

144.◘කො◘ටු◘කො‍◘ටු◘ කතාවක්. Magic Label Old Arrack & Everlasting Cigarette.

144.◘කො◘ටු◘කො‍◘ටු◘ කතාවක්. Magic Label Old Arrack & Everlasting Cigarette.


◘කො◘ටු◘කො‍◘ටු◘ කතාවක්.


Magic Label Old Arrack &
Everlasting Cigarette


අවවාදයයි: මෙම ලිපියේ නිකොටීන්, කාබන් මොනොක්සයිඩ්,
ඇල්කොහොල් සහ තාර අඩංගුවේ.

ප්‍රවේශමෙන් කියවන්න.

“ස්ලා○○○○○○○○○○○○○○○!!!!”

යකඩ වියල් ඇඳේ ඉඳගෙන, මහන මැෂිමේ ලෑල්ල උඩ එලාගෙන, ටින් ටින් පොතක්කියවමින් ඉන්න මම ඔලුව උස්සලා බලනවා. ඒ එක්කම අම්මා දොරෙන් මතු වෙනවා. තාත්තා කාමරේ දොර ලඟම ගහලා තියෙන බෝල කූඩුව ගාවා හිටගෙන ඉන්නේ, මොන ජාතියෙද කියලා හිතාගන්න අමාරු හිනාවක් මූණෙ රඳවගෙන. තාත්තගේ පාමුල සී-සී කඩ වෙච්ච පිඟානක්. සමහර පිඟන් ක‍ටු ජනේලෙ ලඟ ඉන්න මා ලඟටත් වීසි වෙලා.

“මොකද අනේ උනේ?” අම්මා අහනවා.

“හෙහ්, හෙහ්, කාලා, පිඟාන හෝදගෙන ඇවිත්, අමතක වෙලා එල්ලුවනේ බෝල කූඩුවේ!” තාත්තා කියන්නේ හිනාවෙවී.

“අනේ අම්මේ, මෙහෙම නම් කල්පනාවක්!” අම්මා කියන්නේ කම්මුලට අත තියාගෙන. ඒ වුනාට යුදමය වාතාවරණයක් කොහෙත්ම නෑ. අපි බක-බක ගාලා හිනාවෙද්දි, තාත්තම ගිහින් කොස්ස අරන් ඇවිත් පිඟන් ක‍ටු අතු ගානවා.

තාත්තා සිගරට් බීම නතර කරලා දැම්මත්, බීම නම් නතර කරන්න කිසිම උත්සාහයක් දැරුවද කියලා මට හිතාගන්න බෑ. සිගරට් බීම නැවැත්තුවෙත් එක්තරා සිද්දියක් නිසා. හොරෙන් සිගරට් බොන මට, තාත්තා සිගරට් බීම අතහැරීම දරුණු බඩේ පාරක් නිසා, මම තාත්තව විවේචනය කලේ ‘තාත්තා අලි යන පාරවල් තියෙද්දි කූඹි යන පාරවල් වහනවා’ කියලා.

තාත්තා හැමදාම හැන්දෑවට ෂොට් එකක් දාගෙන එන එකට අම්මා වරින් වර කොක්ක ඇද්දත්, තාත්තා ඔය හුඟක් මිනිස්සු වගේ බීලා වාතයක් වෙනවා නම් මම කවදාවත් අහලා, දැකලා නෑ. නිතරම බිව්වත්, තාත්තා බේබද්දෙක් කියලා මට කිසිදාක හිතිලා නැත්තේ, සාමාන්‍ය බේබද්දන්ගේ අනිවාර්‍ය ලක්ෂණ වන කෑකෝ ගැහිල්ලක්, කුණුහරප කිවිල්ලක් රෙදි උස්සගෙන පාරේ වැනි වැනී යෑමක්, කොකු ඇද ගැනිල්ලක්, පොර ටෝක් දැමිල්ලක් ඇත්තෙම නැති නිසයි.

“අනේ අපේ ජයන්ත මහත්තයා නං බොන්ඩ බොන්ඩ ජෙන්ටල්මෑන්, ඈ,” මිනිස්සු කියනවා මම අහලා තියෙනවා. කිව්වත් වගේ, තාත්තා බිව්වම වෙනසකට තියෙන්නේ, පොඩ්ඩක් වැඩි පුර හිනා වෙන එකයි, වචන පොඩ්ඩක් පැටලෙන එකයි විතරයි. එහෙම නැතුව ගෙදර ඇවිත් බඩු පොළොවේ ගැහිල්ලක්, ගෙදර අයත් එක්ක රණ්ඩු වීමක්, ගුටි බැට හුවමාරුවක් අපි දැකලම නෑ. අම්මා කෑ ගහන්න ගත්තොත්, තාත්තා කට වහගෙන එක්කෝ පොතක් හරි පත්තරයක් හරි අතට ගන්නවා, නැතිනම් ටීවී එක බලනවා.

තාත්තගේ රාජකාරි යාලුවොත් ඔක්කොම – අපරාදේ කියන්න බෑ – බොනපාට්ලා තමයි. අම්මට යකාම නැග්ග වෙලාවට, “තාත්තා ඔෆීස් එකේ ආශ්‍රය කරන්නෙත් බේබද්දෝ, ගමේ ආශ්‍රය කරන උනුත් බේබද්දෝ” කියලා දෙහි කපනවා. ඒ වුනත්, තාත්තා ඔෆීස් එකේ යාලුවෝ කට්ටිය එක්ක කෑමකට එහෙම අපේ ගෙදර ආවාම, අම්මා එහෙම කියලා වෙනස් කමක් පෙන්නුවේ නෑ. ලන්ච් එකක් කියන්නේ අනිවාර්යයෙන්ම බෝතල් පාටියකට පස්සෙ වෙන දෙයක් නිසා, අම්මා කට ගැස්ම හෙමත් හදලා දුන්නා. ඒ දවස්වල, ඔය බයිට් වලටම හදන බීෆ් ස්ටූ එකක් තිබ්බා මට දැන් උනත් මතක් වුනාම කටට කෙළ උනන. ස්ල්ල්ර්ර්ර්ප්! ගුඩුස්!

ඔය ලන්ච් අහවල් එකක් තියෙනවා කියන්නේ, මටත් කානිවල් එකක් වගේ තමයි. පාටිය යන වෙලාවට සිගරට් එකක් දෙකක් පන්නා ගන්න, කට්ටියගේ ඇහැ වහලා ෂොට් එකක් දෙකක් ඇන ගන්න එක හෙම මට හෙන ‘ඇඩ්වෙන්චර්’ එකක්. ඒ ඔක්කොටමත් වඩා කට්ටිය පිටත් වෙලා යනකොට වාහනේ, (හුඟක් වෙලාවට මිට්සුබිෂි ජීප් එකක්) ස්ටාට් කරගෙන මීටර් හැත්තැ පහක් විතර ඈතින් තියෙන හන්දියෙන් ආපහු හරවන් ඇවිත් ආපු පැත්තටම මූණ දාලා නවත්තන්න චාන්ස් එකක් ලැබෙනවා, කට්ටියටම ඩෝප් නිසා.

ඔන්න අදත් එහෙම දවසක්.

එක එක ජාතියේ බෝතල් කීපයක්ම මේසේ උඩ. ගල්, පොල්, VSOA, රොක්ලන්ඩ් ලෙමන් ජින්, බියර් බෝතලයක් දෙකක්, ලෙමනේඩ්.

සිගරට් දෙකක් පන්නාගන්න මම පාරේ නවත්තලා තියෙන ජීප් එකට වෙලා එකක් පත්තු කරගන්නවා. දුම වලාකුල් වගේ නොයන්න පිඹලා යවන්නේ, ගෙදර ඉඳන් බලන කෙනෙකුට පේන්න පුලුවන් නිසා.

තාත්තගේ යාලුවෝ වන හුලද්දූව අංකලුයි, අතපත්තු අංකලුයි පාර දිහාට එනවා. මට දුරටම ඇහෙනවා දෙන්නගේ කතාව.

“ඔය රොක්ලන්ඩ් ජරාව බොන්ඩෙපා බං. ඇටත් දිරනවා ඕකට. බීපංකො මේ අපි වගේ ගල්.”

“මේක ලෙමන් ජින් බං. ශාකසාර.”

මම සිගරට් එක පහතට කරලා අත ලෙලවමින් ඉන්නේ දුම අතුරුදහන් කරන්න. ජීප් එක පහු කරගෙන හන්දියේ කඩේ පැත්තට යන දෙන්නා, මූණ ඇඹුල් කරගෙන ආපහු හැරෙනවා. ජීප් එක කිට්‍ටුවට එද්දි ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගෙන ඉන්න මාව දකින්නේ හුලද්දූව අංකල්.

“මේ කඩේ වහල නේද පුතා?”

“ඔව් අංකල්, ඇයි?”

“සිගරට් පැකට් එකක් ගන්ඩ පැටියෝ.”

“අර වංගුවෙන් එහා නම් කඩයක් තියෙනවා අංකල්.”

“අනේ කොල්ලෝ, බයික් එක අරං ටාර් ගාලා ගිහින් සිගරට් පැකට් එකක් ගෙනත් දෙන්න පුලුවන්ද හොඳ පුතා වගේ.”

ස්ථානෝචිත ප්‍රඥාව අහවල් එක මට බිල්ට්-ඉන්.

“අනේ අංකල් ඒකේ හුලං බැහැලනේ. ප්‍රශ්නයක් නෑ. දෙන්නකො යතුර. මම මේකෙම ගිහින් අරං එන්න. අර පේන වංගුවෙන් එහා පැත්තේ.”

බීලා හිටියත් අංකල් ටිකක් අදිමදි කරනවා.

“පුතාට වයස කීයද?”

“දහ අටයි අංකල්.” මම ඇඟට පතට නොදැනි කියන්නේ අවුරුදු දෙකක්ම ගෙඩි පිටින් අතින් දාලා.

“පුතාට පුලුවන්ද? එක්කො බහින්නකෝ මමම ගිහින් අරං එන්න.” අතපත්තු අංකල් කියනවා.

“අයියෝ අංකල් මොනවද මේ කතා. මට ඩ්‍රයිවිං පුලුවං. මෙන්න මෙහාට දෙන්න ඕක.”

“උඹේ තාත්තා මගේ ඔලුව කයිද දන්නෙත් නෑ,” කියන අතපත්තු අංකල් යතුර එලියට ගත්තත්, ඇස් වල තියෙන්නෙ අවිනිශ්චිත බවක්.

“අයියෝ, මෙන්න මෙහෙ දෙන්න අංකල් ඔන්න ඕක.” කියන මම යතුර ඩැහැගන්නවා.”

යතුර කරකවලා එන්ජිම පණගන්වන මම වහාම පිටත් වෙන්නේ අංකල් අදහස වෙනස් කරයි කියලා බයට. දරුණුම වර්ගයේ, සුවකල නොහැකි රතගායකින් පෙලෙන මම, ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න වංගුවෙන් එහා පැත්තේ තියෙන කඩේ ලඟ නතර නොකර, සිගරට් අරගන්න තව කිලෝමීටර් පහක් විතර ඈත කඩේකට යනවා.

පාටිය ඉවරවෙන්න කලින් අම්මා කෑ ගහන නිසා කට්ටිය කෑමට යනවා. බෝතලේ ඉවර කරන්නම ඕනෙයි කියන නීතිය මේ පාටිවලට අදාල නැති නිසා, බෝතල් කොට ඉතුරු වෙනවා. කට්ටිය කෑම කන්න සෙට් වෙද්දි, මම කාගෙත් ඇහැ වහලා, හොරෙන් ෂොට් එකක් දෙකක් වනා ගන්නවා. හදිසියේ කවුරු හරි දැක්කත් කට්ටිය හිතන්නේ මම බයිට් කකා ලෙමනේඩ් බොනවා කියලා. ඒ මදිවට වීදුරුත් දුඹුරු පාට සෙට් එකේ ඒවා.

තාත්තා පාටියෙන් පස්සේ බෝතල් කොට වහලා, ලියන මේසේ පිටිපස්සේ තියෙනවා මම බලා ඉන්නේ හො‍රැහින්.

♣ ♣ ♣ ♣ ♣

ලොකු අයියා ඇවිත්.

තාත්තගේ අක්කගේ පුතා වන ලොකු අයියා කොච්චර ලොක්කා වුනත් තාත්තා ඉස්සරහා සිගරට්එකක්වත් බොන්නේ නෑ. තාත්තගේ ලියන මේසේ උඩ නවකතා පොත් හොයන ලොකු අයියා අරක්කු කොට දකිනවා.

“යකෝ මේ තියෙන්නේ බඩුනේ! පන්නං එනවකෝ වීදුරුවක්.”

“ලොක්කයියේ, ඕක බොන්ඩෙපා ඕයි. තාත්තට මාට්‍ටු වෙයි.”

“තමුසේ පැහෙන්නැතුව වීදුරුව අරං එනවකෝ.”

මම කුස්සියෙන් වීදුරුවක් ගේන්නේ ටී ෂර්ට් එක අස්සේ හංගගෙන. අයියා කාරයා හැම බෝතලෙන්ම ටික ටික දාලා කොක්ටේල් එකක් හදනවා.

“තමුසේ හෙම බොන්න පුරුදු වෙන්ඩෙපා. ඔය සිගරට් එකක් බිව්වා වගේ නෙමෙයි මේක.”

මාත් එක්ක හොරෙන් එකට සිගරට් බොන ලොක්කයියා කියද්දි මම අහක බලා ගන්නවා.

♣ ♣ ♣ ♣ ♣

ඇඟිලි දෙකේ හීනි ෂොට් එකක් දාගන්න හිතන තාත්තා බෝතලේ උස්සලා ජනේලෙන් එන එලියට අල්ලලා බලලා සාලෙ මාත් එක්ක ඉඳගෙන චිත්‍රකතා පත්තර බලන ලොකු අයියා දිහා සැකමුසු බැල්මක් දානවා. ලොකු අයියා, මේ මොකුත් නොදැක්ක ගානට, ජනක රත්නායකගේ චිත්‍ර වල ගුණාගුණ කියනවා. තාත්තා මොකුත් නොකියා හීනි ෂොට් එක වත් කරගෙන, බෝතලේ ආපහු උස්සලා බලලා, අරන් තියනවා.

ලැජ්ජා නැති කම මහ මුදලිකමටත් ලොකුයි. ලොක්කයියා එදා හවසත් කොක්ටේල් පාරක් දානවා. මේකා මේක හොරෙන් බොන එකක් වුනත් බොන්නේ බොහෝම සැපට පු‍ටුවේ වැටිලා නිකං ලෝඩ් පකීර් වගේ.

“ලොකු මාමා අමුතු බැල්මක් දැම්මා තමුසේ දැක්කද?”

“ඒක තමයි අයියේ. දැන් එක්කො තමුසේ මාට්‍ටු වෙනවා. එක්කො අහක ඉන්න අහිංසක මාව මාට්‍ටු වෙනවා.”

“තමුසේ පැහෙන්නැතුව ඉන්නවා.”

♣ ♣ ♣ ♣ ♣

තාත්තා ජනේලෙන් වැටෙන එලියට බෝතලේ අල්ලලා හොඳට බලනවා මට පේන්නේ, හුලඟට ඉස්සෙන දොර රෙද්ද අතරින්. මේ පාර තාත්තගෙ මූණට තරමක් සීරියස් පෙනුමක් එනවා මට පේනවා.

“මේ බෝතලේ තියෙන බීම වාෂ්ප වෙනවා වද්ද?” තාත්ත උස් හඬින් කියන්නේ ලොක්කයියා දිහා සැක මුසුව බලමින්.

“තාත්තෙ, ඇල්කොහොල් වාෂ්පශීලියි නේද කොහොමත්?” මම කියනවා.

“ම්හ්ම්, ඒ වුනාට මේක වාෂ්පවෙලා තියෙන සීඝ්‍රතාවය නම් මට ඇල්ලුවේ නෑ.”

“ඒ කිව්වේ තාත්තේ?” මම අහන්නේ අහිංසකත්වයේ ප්‍රතිමූර්තියක් වගේ.

මේකෙ මට්ටම ඊයේ හවස තිබ්බට වඩා අඟලක් විතර පහත බැහැලා. ලේබල් එකට අනුව කියන්න පුලුවන්.”

මගේ මොලේ ක්‍රියාකරන්නේ ඕවර් ඩ්‍රයිව් එකේ. මම මොකුත් කියන්නේ නෑ. තාත්තා මං වගේම මේ James Hadley Chase රහස් පරීක්ෂක කතා කියවනවා වැඩියි. මමත් සමහර වෙලාවට දොර ඇරලා දොර බෝලේ ටී ෂර්ට් එකෙන් පිහ දානවා. කුස්සියෙන් පිහියක් ගත්තොත් පාවිච්චි කරලා මිටේ ඇඟිළි සළකුණු ඔක්කොම පිහදාලා තමයි තියන්නේ.

තාත්තා ඒ ගමන ලියන මේසේ යට දකුණු පැත්තේ තියෙන පොත් අහුරන කොටසෙන් පොත් ටිකක් අරන් මේසේ උඩට දාලා, බෝතල් කීපය ඒක ඇතුලට දාලා වහලා අගුල් දානවා.

ලොක්කා මට ඇහැක් ගැහුවත් මම නොදැක්කා වගේ ඉන්නවා.

♣ ♣ ♣ ♣ ♣

ආවුද දාන්න පාවිච්චි කරන පරණ රට අඹ ලෑලි පැකිං පෙට්ටියේ තිබිලා මතුවෙන්නේ විශාල යතුරු කැ‍රැල්ලක්. මම කරන්න ගිය වැඩේ මඳකට නතුරු කරලා, දූවිලි ගැහුන යතුරු කැ‍රැල්ල පරීක්ෂා කරනවා. තාත්තත් එක්තරා කලෙක්ටර් කෙනෙක්. මෙතන එක එක වර්ගයේ, එක එක ප්‍රමාණයේ යතුරු පනහක් විතර තියෙනවා. ඔව් බර්ඩ් යතුරුත් තියෙනවා. එක පාරක්, තාත්තගේ හිතවතෙක් අපේ ගෙදර බෝටර් සයිකල් එකක් දාලා ගියාම, එයා එන්න කලින් ඕක ස්ටාර්ට් කරගෙන පදින්න මේ එකතුවේ තියෙන යතුරකින් පුලුවන් වුනා. ඒ මීට අවුරුදු කීපයකට පස්සෙ.

යතුරු කැ‍රැල්ල ගන්න මම කෙලින්ම ගිහින් නතර වෙන්නේ තාත්තෙගේ ලියන මේසේ ලඟ. මම යතුරු එකින් එක ලියන මේසේ පොත් කබඩ් එකේ යතුරු කටට දාලා බලනවා. සමහර යතුරු වල පීල්ල වැරදියි. පීල්ල හරි අතට තියෙන යතුරු ලොක් එකට බැස්සත් කැරකෙන්නේ නෑ. ටිකකින් මම පීල්ල හරි අතට තියෙන යතුරු විතරක් හොයාගෙන වැඩේ පටන් ගන්නවා. මෙන්න යකෝ මේකට හරියටම හරියන යතුරක්!

මම අවශ්‍ය යතුර පලමුද්දෙන් පන්නගෙන, ඉතුරු යතුරු පෙට්ටියටම දාලා ආපහු එන්නේ වීදුරුවකුත් අරගෙන. මම මුලින්ම බෝතලේ මේසෙ උඩින් තියෙනවා. ඊට පස්සේ අරක්කු ලෙවල් එක ලේබල් එකේ දෙපැත්තෙම පැන්සලෙන් ලකුණු කරනවා. ඊට පස්සෙ වීදුරුවට ෂොට් එකක් වත් කරලා පැත්තකින් තියලා ලේබලේ සීරුවෙන් ගලවන්නේ හරියට ශල්‍ය වෛද්‍යවරයෙක් මොලේ සැත්කමක් කරන තරම් සැලකිල්ලෙන්. (මේ කාලේ ඇත්තටම ඔය අරක්කු ලේබලේ අද තරම් ලස්සනට ගහන්නේ නෑ. බාල කඩදාසියක බාල තීන්තෙන් ගහපු ලේබලේ අලවලා තියෙන්නෙත් හරිම නොසැලකිල්ලෙන්. කොටින්ම ලේබලේ කෙලිනුත් නෑ. ‍රැලිත් වැටිලා. මේ ලේබලෙත් ටිකක් උඩට වෙන්න ඇලවිලා තියෙන්නේ. ගම් පවා එච්චර හොඳ නෑ මම හිතන්නේ.) මම ලේබලේ ආපහු බත් ඇට වලින් අලවන්නේ අර දාපු ලකුණු දෙක අලුත් අරක්කු මට්ටමට කෙලින් හිටින්න. ඉන් පස්සේ මම පැන්සල් ඉරත් මකලා දාන්නේ බොහෝම සැලකිල්ලෙන්. බෝතලේ ආපහු කබඩ් එකට යනවා. මම වීදුරුවත් අරන් වත්ත පහලට යනවා.

මගේ Operation Magic Label Old Arrack මෙහෙයුම සාර්ථක බව මම ඊට දින කීපයකට පස්සෙ දැනගන්නවා.

මේ විදියට, මේ ලේබලේ සැක නොහිතා පහලට ගමන් කරන්න පුලුවන් උපරිමයට , පියවර හතරකින් විතර යනවා. ඉන් පස්සෙ එලඹෙන වතුර සාත්තුවකින් මට්ට්ම උඩට ගැනීම දෙපාරකට වඩා කරන්න අමාරු වෙන්නේ රසටත් වඩා පාටේ ප්‍රශ්ණය නිසා. අන්තිම වතාවට බියර් / තේ කහට ඇබින්දකින් වර්ණ ගැන්වීමෙන් අනතුරුව මැජික් ලේබල් පරණ අරක්කු මෙහෙයුම සාර්ථකව නිමාවට පත්වෙන්නේ තාත්තා බෝතලය ඉවර කිරීම නිසා.

♣ ♣ ♣ ♣ ♣

තාත්තා සංඛ්‍යාලේඛණ නිලධාරියෙක් නිසා, සංගණන වැඩ වලට අවට වසම් වල ග්‍රාමසේවකලා (දැන් ග්‍රාම නිළධාරීන්) නිතර එනවා එක-එක උපදෙස් ගන්න. අපරාදේ කියන්න බෑ, කරටි කැඩෙන්න නොගහන ග්‍රාම නිළධාරියෙක් මම දැකලම නැති තරම්. සමහර ග්‍රාම අංකල්ලා ඉස්සරහ දොර ගාවට ඇවිත් කතා කරනකොට, අපේ කුස්සියේ දොර ගාවට එනවා සුවඳ.

දවසක් ඔන්න එක ග්‍රාම අංකල් කෙනෙක් කරටි කැඩෙන්න ගහලා ඇවිත් තාත්තගෙන් වී පිළිබඳ සංඛ්‍යාලේඛණ ෆෝම් එකක් පුරවන හැටි ගැන උපදෙස් ගන්නවා. මමත් පැත්තක ඉඳගෙන නාටකය නරඹනවා. ටිකකින්, බිබී හිටපු සිගරට් එකෙන්ම තව එකක් පත්තු කරගත්ත ග්‍රාමේ අංකල්, තාත්තට පැකට් එක දික්කරනවා.

“බොන්ඩ සර් සිගරට් එකක්.”

“එපා රාළහාමි. බොහොම ස්තුතියි.”

“විකාර නැතුව බොන්ඩ සර් එකක්. “

“එපා රාළහාමි, මම සිගරට් බොන්නේ නෑ.”

“සර් ඔය බොරුනේද කියන්නේ?”

“මම සිගරට් බීම නැවැත්තුවා?”

“මොනවා? ඒ මොකද? “

මේ යකාට සිගරට් බීම නවත්තපු එකට හේතුව කියනවට වඩා සිගරට් එක අතට ගන්න එක හොඳයි කියලා තාත්තට හිතිලාද කොහෙද, තාත්තා සිගරට් එක අරන් ඇඟිලි අතරේ රඳවා ගන්නවා..

“සර්, ගින්දර?”

“නෑ මම බත් කාලම බොන්නං.” කියන තාත්තා, ග්‍රාම අංකල්ට දත්ත එකතු කරන්න ඕනෙ ක්‍රමවේදය ගැනයි, තාත්තා බලාපොරොත්තු වෙන නිර්නායක ගැනයි විස්තර කරන්න ගන්නවා..

ග්‍රාමේ ගියාට පස්සෙ තාත්තා සිගරට් එක එයාගේ මේසේ උඩට විසි කරලා දානවා.

♣ ♣ ♣ ♣ ♣

ගෙදර මම විතරයි. ම්ම්ම්… මමම විතරයි කියන්න්ත් බෑ. මමයි ඔටෝජිල්බාවායි. ඒ කියන්නේ අපේ පූසා.

අපේ ගෙදර හිටිය සත්තුන්ට සිරාම නම් තමයි තිබුනේ. ඒ සිරා නම් දාන්නේ මමමයි. එක පාරක් හිටපු හාවෙක්ගේ නම වික්ටෝරියා 203. ඒක මම අහලා තියෙන, නමුත් බලලා නැති (හින්දි) ‍ෆිල්ම් එකක නමක්. පස්සේ හාවා අකාලේ මැරුණා. අපේ අම්මා කිව්වේ, ඌ එකත් එකටම මැරෙන්න ඇත්තෙ, ඌට මම දාපු නම උහුලාගන්න බැරුව වෙන්න ඇති කියලා.

ඔටෝජිල්බාවාට නම් වැ‍ටුනේ අපිට ගනං උගන්නපු ලොකු විතාන සර්, අපි හැම එකාටම, කටට එන මොකක් හරි නමකින් ආමන්ත්‍රණය කරපු නිසයි. (මේකත් ඒ කාලෙට ගැලපුනාට, දැන් නම් කිසිසේත් නොකල යුතු වැඩක් )

“ඒයි, ඔටෝජිල්බාවා!” කියන එක නිතර අහන්න ලැබෙන නමක් නිසා මම අලුත් පූසට දැම්මා ඒ නම්. නමුත් සම්පූර්ණ නම උච්චාරණය කරන්න අමාරු නිසා කාලයක් යනකොට ‘ජිල්බාවා’ හැලිලා මූ නිකම්ම ‘ඔටෝ’ වුනා. “අන්න ඔයාලැයි ඔටෝ අර කඩේ ලඟ හිටියා,” කියලා අහල පහල කෙනෙක් කිව්වාම, අපි ඉන්න තැනම ඉඳන් “ඔටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ-ටෝ” කියලා කෑ ගහනවා. මූ නැට්ට උස්සගෙනදුවගෙන දුවගෙන එන්නේ විදිල්ල වගේ. මුගේ නම මම බිත්තියේ රතු පැස්ටල් එකකින් ලොකු අකුරෙන් AUTOJILLBAVAH කියලා ලියලත් තිබ්බා.

ඉතින් ගෙදර ඉන්නේ ඔටෝජිල්බාවායි මමයි විතරයි. මම තාත්තගේ මේසේ පෑඩ් එක උඩ තියාගෙන වෝක්ස්වාගන් බීටල් එකක් අඳිනවා. පූසා මේසේ යට දෙබොක්කාවේ. මම උගේ ඇ‍ඟේ කකුල් තියාගෙන ඉන්නේ. මට හිත එකඟකරගන්න අමාරු ගතියක් තියෙනවා.

මේසේ උඩ තියෙන සිගරට් එක මට මහා වදයක්.

Real pain in the ass.

Sorry, Pain in the lower regions!

මගේ හිතත් එක්ක මම අරගලයක්. මේක බොනවද නැද්ද? තාත්තාට මේ සිගරට් එක මතකද? අමතක නම් වැඩේ ගොඩ. මතක තිබ්බොත් අහන්න පුලුවන් කෝ මෙතන තිබ්බ සිගරට් එක කියලා. එහෙම වුනොත් ලෙඩේ. මම ආපහු කාර් එකට හිත යොමු කරනවා. කාර් එකට දාන්නේ, අලුත්ම බීටල් එකට ආපු මහත, රවුම්, ටේල් ලයිට් සෙට් එක.

මට හිතන්න අමාරුයි මේ සිගරට් එකත් එක්ක.

හොරෙන් සිගරට් බිව්වත් මගේ බ්‍රෑන්ඩ් එක ගෝල්ඩ් ලීෆ්. මේක බ්‍රිස්ටල් එකක්. ඒත් මට මේක මෙතන තියාගෙන ඉන්න අමාරුයි. මම සිගරට් එක තල්ලු කරනවා මේසේ මැද්දේ පිටපස්සට වෙන්න ඉස්සරහට දික්වෙලා තියෙන තට්‍ටුව යටට. Out of site, Out of mind!

මේක හරියන්නේ නෑ. Absence makes the hearts grow fonder. ඇහැට නොපෙනුනත්, සිගරට් එක ප්ලයිවුඩ් ලෑල්ල හරහා විකිරණ නිකුත් කරනවා මාව වරදට පොළඹවා ගන්න. මම, ඕනෙ මගුලක් කියලා සිගරට් එකත් අරන් සාලෙට යනවා. ගිහින් බුදු පහණ ලඟ තියෙන ගිණි පෙට්ටියෙන් සිගරට් එක පත්තු කරගෙන මිදුලට ගිහින් වින්ඩෝ බොක්ස් එකක් ඇතුලේ ඉඳගෙන සිගරට් එක බොනවා. මාර ආතල් එකක් දැනෙන්නේ.

සිගරට් එක ඉවර කරන මම ජනේලෙන්ම පැනලා, ආපහු කාරෙක අඳින්න යනවා.

තාත්තා එන්න තව පැයක් විතර තියෙනවා. තාත්තට සිගරට් එක නැති බව නෝට් වෙයිද?

කරන කලට පව් මිහිරිය මීසේ.

හිතත් එක්ක කරන දීර්ඝ අරගලයකට පස්සේ, මම, මගේ පොකට් මනි වලින් සිගරට් එකක් ගෙනත් තියන්න තීරණය කරනවා.

මේ විෂම චක්‍රය දිගින් දිගටම සති ගනන්, මාස ගනන් ක්‍රියාත්මක වෙනවා.

මේ විදියට, මේ සිගරට් එක බොන ගානේ, මම අලුතින් සිගරට් එකක් ගෙනත් තියනවා. අර ග්‍රාමයා කරපු වැඩේනේ මේ! මාස කීපයකට පස්සෙ හරිනම් හුලං වැදි වැදි තිබිච්ච මේ සිගරට් එකේ දුඹුරු පාට පැල්ලම් වැටිලා සවුත්තු වෙලා තියෙන්න ඕනෙ වුනත්, මේ සිගරට් එකේ නැවුම් ගතිය පුදුම සහගතයි.

මේක මට මහම මානසික වදයක් වෙලා. මට ග්‍රාම අංකල් එක්ක පුදුම තරහක් යන්නේ. මම කල්පනා කරනවා මොකද කරන්නේ කියලා.

මට පහල වෙන්නේ විශ්වකර්ම අදහසක්. මම සිගරට් එක රෝල් කරනවා අර ප්ලයිවුඩ් තට්‍ටුව යටට. දැන් තාත්තට සිගරට් එක මතක් වෙලා හෙව්වත් “ඇයි තාත්තේ ඔය තියෙන්නේ ඔතන,” කියලා පෙන්නන්න පුලුවන්. සතියක් බලලා ඒත් තාත්තට අමතක වුනොත් මේක බීලා දාලා, මේ කරදරෙන් මිදෙනවා.

අන්තිමට වැඩේ වෙන්නේ එහෙමයි. නමුත් අන්තිමට මම ඒ කරදරෙන් මිදිලා වැඩේ ගොඩ දාගන්නකොට බ්‍රෑන්ඩ් එක ගෝල්ඩ් ලීෆ් වුනත් මම බ්‍රිස්ටල් අරන් තියෙනවා බර ගානක්, මේක රිප්ලේස් කරන්න.

♣ ♣ ♣ ♣ ♣

මේකට දාන්න අඳින්නේ මොනවගේ චිත්‍රයක්ද කියලා තවමත් කල්පනා කරන ඩූඩ්ගේ චිත්‍රයක්. :D

මේකට දාන්න අඳින්නේ මොනවගේ චිත්‍රයක්ද
කියලා තවමත් කල්පනා කරන ඩූඩ්ගේ චිත්‍රයක්. 😀

පලි: මේ අරක්කු හා සිගරට් ප්‍රොමෝට් කිරීම සඳහා ලියන ලද ලිපියක් නොවේ. මතක මාවත් ඔස්සේ යමින් යොවුන් වියේ අත්දැකීම් සමූහයක් ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කලා පමණි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger  Lovers.

 

ටැග: , , , , , , , , , ,

104. යුරේකා!!!!!

104. යුරේකා!!!!!

ජනවාරි පළමුවෙනිදා පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා.

අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි, කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා.DSCN2178

නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ යන්න තීරණය කලා එක දවසේ රෝඩ් ට්‍රිප් එකක්.

අපි බෙලිහුල් ඔයෙන් ආපහු හැරුනේ දවසෙන් ආපහු එන්න ඕනෙ නිසයි

DSCN2733 DSCN2245මුලින්ම කියවලා ඉන්නකො මම දෙදාස් එකොලහේ නොවැම්බර් මාසෙ,  ලියපු, “මෙන්න මෙතනිං කපපං මචං’ කියන මේ ලිපිය.

මුල් ලිපිය කියවන්න කැමති නම් මෙතන කොටන්න.

මට ඒ මුල් ලිපියට වෙනස්කම් කීපයක් කරන්න වුනා මීට දවස් කීපයකට කලින් සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා. මේ තියෙන්නෙ ඒ සංශෝධිත ලිපිය.

‘මෙන්න මෙතනිං කපපං මචං!’

මේ කාලෙ අපි හිටියෙ බලංගොඩ වැලිහරනාව පාරෙ කුලී ගෙදරක. මේක ක‍තෝලිකයෝ වාසය කරපු ප්‍රදේශයක්. නිවාඩු වෙලාවට අහල පහල හිටිය නෙවිල්, ටෙනිසන්, රිචර්ඩ්, ජනක වගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි මට තිබ්බ ලොකුම රාජකාරිය.

දවසක් ජනකලගෙ ගේ පිටිපස්සෙ ඉඳගෙන අපි සෙල්ලම. ජනකලත් අපි වගේම බස්නාහිර පළාතෙන් ගිහින් කුලී ගේක හිටපු කට්ටියක්. ටෙනිසන්ලා, නෙවිල්ලා, රිචර්ඩ්ලා ගමේම කොල්ලො.

රිචර්ඩ් ඇහුවා, “උඹලා දන්නවද මචං පොල්පිති ගොන්නු හදන්න?” කියලා.

අපි කිව්ව දන්නෙ නෑ කියලා.

“එහෙනං පිහියක් අරං වරෙං, මචං,” රිචා ජනකට කිව්වා. ජනකයා උගේ මනෝමය කාර් එකේම ‘බෲම්’ කියාගෙන ගිහින්, ආපහු ඇවිත් හෑන්ඩ් බ්‍රේක් එකත් ඇදලා, පාක් කලා කාරෙක. ජනකයා ගෙනත් තිබ්බෙ හොඳට බර තියන කුස්සි පිහියක්.

ඔන්න රිචා ඉස්සෙල්ලම ගොනා පොල්පිත්තෙන් හැදුවා තමන්ටම.

මූ සෑහෙන ලොකු ගොනෙක්!

ජනකයට ඕනෙ වුනේ ඊට වැඩිය පොඩි එකෙක්.

“පෙන්නපං උඹට ඕනෙ සයිස් එක.” රිචා පිහිය අමෝරාගෙන කිව්වා.

ජනකයා ඇඟිල්ල පොල් පිත්ත උඩ එක තැනෙකින් තියලා,

“මෙතනිං කපපං මචං.” කිව්වා.

රිචා ‘ඩකාස්’ ගාලා කෙ‍ටුවා හරියටම කියපු තැනට. අප්සෙට් එක, ජනකයට ඇඟිල්ල ගන්න බැරිවෙච්ච එකයි. ජනකයගෙ ඇඟිල්ල දෙකට කපාගෙන ගිය මහ පිහිය, ඩකස් ගාලා පොල්පිත්තෙ හිරවුනා.

ජනකයගෙ ල‍තෝනියට ජනකගෙ අම්මා, කුමාරසිංහ ආන්ටි දුවගෙන ආවා. ඇඟිල්ලෙන් ලේ විදිනවා!

ඇඟිලි පුරුක් දෙකක් හමෙන් එල්ලිලා තියෙනවා! මට මතක විදියට ආන්ටිට එතනම සිහිය නැතිවුනා. රිචා යකෙක් දැකලා වගෙ ගල් වෙලා. මට හැම දෙයක්ම හීනයක් වාගෙ.

එතකොටම කොහෙද ගිහින් ඉඳලා අපේ තාත්තා ආවා එයාගෙ තඩි මෝට බයික් එකෙන්. දැන් මිනිස්සු පිරිලා. හැමෝම කෑ ගහනවා. කවුදෝ රෙදි පටියක් බැඳලා අයිස් තිබ්බා. අපේ තාත්තා බයික් එකේම ගිහින් ජනකගෙ තාත්තයි, කාර් එකකුයි අරන් ආවා. පහල ගෙදර මිස්ට අන්දරාජු (මම හිතන්නෙ හරි නම අන්ද්‍රාදි වෙන්නැති), මිස්ට බෙන්ජමින් හෙම වට වෙලා හරියට උදවු කලා.

දවසකට හෝ දෙකකට පස්සෙ ජනක ගෙදර ආවෙ ඇඟිල්ලෙන් පුරුක් දෙකක් නැතිව. කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ. ඉස්කෝලෙ කොල්ලො ජනකයට “ඇඟිලි කොටා” කියලා නමකුත් දැම්මා. මම මේක ගෙදර ඇවිත් අම්මලට කිව්වාම, අම්ම,

“ඔයා හෙම ජනකට ඇඟිලි කොටා කියලා තිබ්බොත් කට තලනවා,” කියලා පූර්ව අනතුරු හැඟවීමක් කලා.

මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ අපි බලංගොඩ අතහැරලා බස්නාහිර පළාතට ආපහු ආවට පස්සෙ මම ජනකව දැක්කෙ නෑ මේ අද වෙනකල්. අතේ ඇඟිලි පුරුක් දෙකක් අඩු ජනක ඔබේ නෑදෑයෙක් හෝ යාලුවෙක් නම් එහෙම නැත්නම් ඔබ ජනක නම් කරුණාකර මට ඊයක් එවන්න. නැතිනම් මෙහි කොමෙන්ට් එකක් දාන්න.

ඉතින් ඔන්න ඔහොමයි වුනේ. ඒ හරියටම අවුරුද්දයි මාසෙකට කලින් ලියැවුනු ලිපියක්.

මට තියෙනවනෙ අතීතය හොයාගෙනෙ යාමේ පුරුද්දක්. ඉතින් හරියටම 2012හේ දෙසැම්බර් තිස්වෙනිදා, අර රෝඩ් ට්‍රිප් එක ගියාම, මම අපේ පුතාට මම මුලින්ම ගිය ඉස්කෝල කීපයක් පෙන්නුවා. මම පොඩිකාලෙ කොන්වන්ට් එකකට ගියා කිව්වාම කොල්ලාට අදහාගන්න බැරිව ගියා. මේ තියෙන්නෙ, ඒ කොන්වන්ට් එක අද.

DSCN2472ටික වේලාවකින් මම වැලිහරනාව පාරට හරවලා පැරණි මතක මාවත දිගේ රිය පැදෙව්වා. අපි හිටපු ගේ වෙනුවට එතන වෙනත් ගෙයක්. නමුත් නවීකරණය වූ හා නොවූ ගෙවල් මග දෙපසම තිබුනා. (මේ මම අතීත මතක හොයාගෙන මෙතනටම ගිය තුන්වෙනි වතාවයි. අනිත් දෙපාරම කලබලෙන් ගියේ.)

ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ප‍ටු පාරේ අපහසුවෙන් රිය නැවතූ මම, මුලින්ම මිස්ට අන්ද්‍රාදි ගැන හොයලා බැලුවා. ඒ මිනිස්සු, මම මුලින් හිතපු විදියට, මා දිහා සැකෙන් බැලුවේ නෑ. අර ඇඟිල්ල කැපුනු සිද්දිය ගැන කිව්වාම ලැබුනේ ඉහල ප්‍රතිචාරයක්. හැමෝටම ඒ සිද්දිය මතකයි.

කොහොමත් මේ ප්‍රදේශයේ බහුතරයක් වන, බලංගොඩ ක‍තෝලිකයෝ ගැන කිවයුතුම දෙයක් නම්, අපි හිටපු කාලේ, පොසොන් තොරණ ගහන්න මූලිකත්වය අරන් වැඩ කලේ, බෞද්ධයන්ටත් වඩා ක‍තෝලිකයෝ. වෙන මොකුත් කියන්න අවශ්‍ය නෑනෙ.

අන්ද්‍රාදි ගෙදරින් ලැබුන තොරතුර අනුව ඉස්සරහා කඩේ අයිති රිචර්ඩ්ට. මම මුල් ලිපියේ, ඇඟිල්ලට කෙ‍ටුවේ ටෙනිසන් කියලා ලියලා තිබුනේ මතකයේ තිබුන අඩුවක් නිසා. මම අන්ද්‍රාදි ගෙදරට ගිහින් මේ ගැන අහනවා බලා හිටියේ, කඩේ වැඩ කරමින් හිටිය රිචර්ඩ්ගෙ බිරිඳ. මම කඩේට ගිහින් මේ ගැන කියනකොටත් ඇයට කතාව ඇහිලා තිබුනේ. මුව පුරා සිනහවෙමින් මා පිළිගත් ඇය, රිචර්ඩ් මේ මොහොතේ ‍රැකියාවට ගොස් ඇති බව කිව්වා. එතනම හිටිය පැට්‍රීෂියා “ඇයි මාව මතක නැද්ද?” යයි මගෙන් ඇසුවා.

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්...

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්…

ජනක දැන් ඉන්නෙ නුවර බවත් ඔහු තවමත් ඉඳහිට මේ පැත්තෙ එන බවත් දැන ගත්තා. රිචර්ඩ්ගෙ දුරකතන අංකය ලබාගත් මම, පස්සෙ ඔහුට කතා කලාම, ඔහු මා වගේම සතු‍ටු වුන බව මට කට හඬින්ම තේරුනා. තව දිනකින් ආපසු යාමට තිබෙන නිසා දැක ගන්න අවස්තාවක් නොලැබුනත්, ලබන නිවාඩුවේ අනිවාර්‍ය අංගයක් වන්නේ රිචර්ඩ්ව මුණගැහීම බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇයි ජනක!

කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.

කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.

තවත් කිවයුතු දෙයක්නම් මම මුල් ලිපියෙ සඳහන් කරපු මේ වාක්‍යය:
“කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ.”
මම කුමාරසිංහලා ගැන ඇහුවාම රිචර්ඩ්ගෙ ප්‍රිය බිරිඳ ඒ ගැන කිව්වෙ මෙහෙමයි.

“ඒ අංකලුයි ආන්ටියි දෙන්නම නැතිවුනා. නමුත් හරිම හොඳ මිනිස්සු. අච්චර දෙයක් වෙලාත් රිචර්ඩ්ලා එක්ක තරහ වුනේ නෑනෙ.”

අන්න මිනිස්සු!

“කෝ අර මෙතන තිබ්බ ටැප් එක?”

“අඩේ මේ රිචාලගේ ලයිට් මීටරේ නම් එදා තිබ්බ එකමද කොහෙද”

වගේ උදාන වාක්‍ය කිය කිය මම එහෙ මෙහෙ ඇවිදිනවා බලා සිටි දීපා, ඇත්තටම හෙන්රි මෙහෙ ඉන්නකොට ඔයාට කොච්චර විතර වයසද? කියලා ඇහුවා. “අවුරුදු නවයට අඩුයි,” කියලා මම කිව්වාම, “ඔයාට පුදුම මතකයක්නෙ තියෙන්නෙ! කියලා ඈ සුපුරුදු ලෙස, පුදුම වුනා.

ප ලි:

එදා රෑ කෑම කෑවේ ඒ කේ එම්ගේ අඩවිය ලියන අකමාගෙ ගෙදරින්. අකමා අකමැති වෙයිද දන්නෙ නැති නිසා මෙයිට වඩා විස්තර ලියන්නෙ නෑ. නමුත් ඒ ආගන්තුක සත්කාරය නම් හරිම ඉහලයි.

ඒ විතරක්ද!

මේ නිවාඩුව ආමාශය හා සම්බන්ධ එකක්. ඒ ගැන මම ඊ ලඟ පෝස්ට් එකෙන් කියන්නම්.

2013, ඔබ සැමට පැතුම් ඉ‍ටුවන,
වාසනාවන්ත වසරක් වේවා!

 

ටැග: , , , , ,

75. ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!!

75. ධර්මාරාම ධයන්න පුතා! ධර්මාරාම ධයන්න!!

පාසැල ඇරුනාම සුලෝහිත ඉස්කෝලෙ ගාවයින් පිටත්වෙන ඩබල් ඩෙකර් බස් රථයෙ උඩුමහලෙ පසුපස වීදුරුවෙන් පෙනෙන තට්ට හිස ධර්මාරාම හාමුදුරුවන්ගෙ. ධර්මාරාම හාමුදුරුවන්ගෙ රූපකාය මට සිහිපත් කලේ සිවුරක් පොරවාගත්ත මල්ලවපොර ශූරයෙක්ව. තනි උරේට දාන සිවුර නිතර නැවත නැවත උරයට උඩින් දෙපැත්තට විසි කර අඳින පුරුද්දයි, පොළොවට නොදැනෙන උපශාන්ත ගමන් විලාසය වෙනුවට , බරට අඩි තියමින් දෙපැත්තට මදක් පැද්දෙමින් කරන ගමන් විලාශයයි නිසාමද කොහෙද කවදත් කාටත් නම් පටබඳින කොල්ලන් උන්වහන්සේව හැඳින්වුව අනවර්ථ නාමය “තන්ඩර්”. ඒ එවකට ජනප්‍රිය සුපිරි වීරයෙකුගෙ සහයට හිටි තට්ට හිසක් ඇති චරිතයක්. තන්ඩර්ට අමතරව ‘කිහිල්ලේ මයිලානන්ද’  යනුවෙනුත් උන්වහන්සෙව හැඳින්වුවා.

බෲස් ලී, “එන්ටර් ද ඩ්‍රැගන්” චිත්‍රපටියෙන් මුලු ලොවම වසඟ කරගෙන හිටි ඒ දිනවල අපි කාටත් තිබ්බ ‘කුං ෆූ’ උන ධර්මාරාම හාමුදුරුවන්ටත් වැළඳිලා තිබ්බ නිසාදෝ උන්වහන්සෙ පන්ති කාමරය ඇතුලෙදි අපිට කරාටේ ප්‍රහාර එල්ල කරන්නෙ කටින් ‘ඩිෂුම්, ඩිෂුම්, යාහ්,යාහ්’ හඬ නගමින්. මිට මෙලවූ අතින් ‘ඩිෂුම්’ හඬත් සමග අපට හිටිවනම එල්ල කරන මුෂ්ඨි ප්‍රහාරත්,  අත්ලේ දාරයෙන්  ‘යා………හ්’ හඬ සමග බෙල්ලට එල්ල කරන චොප් වර්ගයේ ප්‍රහාරත් ඉලක්කයට අඟල් කීපයක් තිබියදී ගුවනේම නතර වෙනවා. මේ හාමුදුරුවන්ගෙ කෙළිලොල් ගතිය නිසා අපි සෑහෙන විනෝදයක් ලැබුවත් උන්වහන්සෙට තිබ්බ ගුරු ගෞරවයට ඉන් අබමල් රේණුවක හානියක් වුනේ නෑ.

වරදක් කල විට බොහෝවිට දඬුවමට ලක්වෙන්නෙ කොල්ලන්ගෙ කණ හෝ බඩයි. කණ වගේම බඩත් ඇඟිලි දෙකකින් වැරෙන් අල්ලා අංශක අනූවක් කරකවන විට දැනෙන සනීපය කියා නිමකල නොහැකියි.

බුද්ධාගම සටහන් ලියා ගැනීමේදී අපට යම් කිසි කොටසක් මග හැරෙන එක නිතර සිදුවෙන දෙයක්. ඒ වෙලාවට අත උස්සලා “සාදු,…………” කියලා මග හැරුන කොටස අහලාදැනගන්න එකත් ඒ වගේම නිතර සිදුවෙන දෙයක්.  උදාහරණයක් විදියට, සිසුවෙක් අත ඔසවා,
“සාදු, අනේපිඬු සිටානෝ…?” වැනි යමක් ඇසුවොත්
එවිට තොල් පෙරලා ප්‍රශ්ණය ඇසූ කොලුවා දෙස බලන ධර්මාරාම හිමි;
අනේපිඬු සිටානෝ? ඔව්, අනේපිඬු සිටානෝ පාදයක් පෙරට ගෙන වේගවත් පහරක් එල්ල කලා ආරක්ෂාකාරී ඉරියව්වක් අනුගමනය කරමින්. (දැන් උන්වහන්සේ තනිවම අත් පොලසන් දෙමින්, තට්ට හිස වනමින්) දැන් පන්දුව වේගයෙන් ගලාගෙන යනවා  ස්ලිප් ක්‍රීඩකයන් අතරින්. ඔව්, මට පේනවා එක්ස්ට්‍රා කවර්, කවර් පොයින්ට්, මිඩෝන්. මිඩෝෆ්, ෆයින් ලෙග්, තර්ඩ් මෑන් යන ස්ථානවල ක්‍රීඩකයන්…. පුතා මොකක්ද ඇහුවෙ? අනේපිඬු සිටානො නේ? අනේපිඬු සිටානෝ වරක් බුදුරජාණන්වහන්සේගෙන් විමසා සිටි විට…”
සිනහව තද කරගන්නා අපි සටහන සම්පූර්ණ කරගන්නවා අදාල කොටස් පමණක් යොදා ගනිමින්. උන් වහන්සේගේ මේ හැසිරීම අපිට නම් හුරු පුරුදු වුවත් අලුතින් ආපු සිසුවෙකුට නම් අදහාගන්නත් බැරි තරම්.

හිටි ගමන්, දෑස් වසාගෙන  තට්ට හිස පද්දමින්, මිට මෙලවූ අතින් කල්පිත මයික්‍රෆෝනයක් අල්ලා ගන්නා ධර්මාරාම හාමුදුරුවෝ කට උල් කරමින් “කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී, බඳින දවසෙ මගුල හැඩයි යස හැඩ කාරී” යනුවෙන්  ගායනා කරන්නේ අපිට පැවරුමක් දී අපි එය කරන අතරේයි. උන්වහන්සේ මේ කොටසම ‍තෝරාගන්න ඇත්තෙ කුරුළු යන වචනයේ ‘කු’ යන්න ශබ්ද කිරීමේදී ඇති තරම් කට උල් කිරීමට ඉඩ ප්‍රස්ථා ලැබෙන නිසා වෙන්නට ඇතියි මට හිතුනා. “යස හැඩකාරී” කොටස කියනවිට මුහුණේ සිනාවක් සමග හිස පද්දන්නෙ කුරුලු කුමාරිගෙ හැඩ ගැන පූර්ණ තෘප්තියකට පත්වූ අයෙකු මෙන්.

දීර්ඝ බුද්ධාගම සටහන් ලියාගන්නා විට කෙටිමං පාවිච්චි කිරීම මම කරපු අහිංසක කට්ට කමක්. ඉතා දිග වචනයක් මෙන් පෙනුන බුදුරජාණන්වහන්සේ මම LB යනුවෙන් ලිවීමට පුරුදුවී  සිටියා.  සටහන් දෙන අතරම හදිසි ක්‍රිකට් විස්තර ප්‍රචාර, මරදාන දුම්රිය ස්ථානයේ නිවේදන ප්‍රචාරය කරමින් ගී ගයමින් පන්තිය පුරා සක්මන් කරමින් සිටි ධර්මාරාම හිමි මා අසල තිරිංග යොදා එක්වරම  නතර වුනා. මගේ සටහන දෙස හිස වනමින් මඳ වේලාවක් බලාසිටි උන්වහන්සේ,

“කාටද පුතා LB කියන්නෙ?” යයි ඇසුවා.

“ලෝඩ් බුද්ධ හාමුදුරුවනේ !” මම උත්තර දුන්නෙ දැන් කනෙන් අල්ලයි යන බලා පොරොත්තුවෙන්. නමුත් සිදුවෙනේ වෙන දෙයක්.

“පුතා, අප මහ බුදුරජාණන්වහන්සේ සකල ලෝක වාසීන්ටම ලොකූ සේවයක් කරපු උත්තමයෙක්. ඒවගේම අසහාය ධර්මයක් දේශනා කරපු උත්තමයෙක් වගේම, අපේ ආගමික ශාස්තෘවරයා වෙන උන්වහන්සෙගෙ නම  ලියන්නත් අපි  කම්මැලි වෙනවා නම් පුතා, අපි බෞද්ධයො හැටියට ලැජ්ජා වෙන්න ඕනෙ නේද?”

“එහෙමයි හාමුදුරුවනේ”

එදායින්  පසු සටහන් පොතේ එක් පි‍ටුවකට කී වරක් අප බුදුරජාණන්වහන්සේ යයි ලිවීමට සිදුවුවත් මම නොවේ කෙටි මං හෙව්වේ.

මේ තවත් දවසක්.
එදත් අපේ හාමුදුරුවෝ සටහන් කියවමින් පන්තියෙ සක්මන් කරනවා.

“…මගධ රටින්…”

ඔන්න අපේ එකෙකුට ප්‍රශ්ණයක්.

“සාදු, “මගද රටින්” කියන්න කොයි දයන්නද?

සක්මන නවතා බෙල්ල ඇලකර අපේ එකා දෙස බැලූ ධර්මාරාම හිමියෝ…

“ධර්මාරාම ධයන්න පුතා, ධර්මාරාම ධයන්න” යයි පවසා සක්මන පටන්ගත්තේ කිසිත් සිදු නොවුනා වගෙයි.

ධර්මාරාම හාමුදුරුවන්ගේ සටහන් ලියා ගැනීමට නම් ‘කිරෙන් දියර වෙන් කර ගන්නා හංසයා’ සේ විශේෂ හැකියාවක් තිබිය යුතුයි. හොඳ අවධානයෙන් නොසිටියොත් සටහන් කුමක්ද සටහන මැද අනපේක්ශිතව නිකුත් කරන නිවේදනය කුමක්දැයි හඳුනාගත් නොහැකිව පඹගාලක පැටලෙනවා ඒකාන්තයි.

“…දිනක් නාලාගිරි ඇතාට රා පොවා… පුතා, හෙන්රි පුතා, ඔය බස් හෝල්ට් මුර කර කර හිටියට වැඩක් වෙන්නෙ නෑ පුතා. ඔය ඉස්කෝලෙ ඇරෙන වෙලාවට ඔය ගෝතමී එක පැත්තෙ කැරකි කැරකි ඉඳලා විතරක් හරි ගිය එකෙක් නෑ පුතා…You must remember that පුතා!… උන්වහන්සේ ඉදිරියට එවන ලදි.”

ඉදින් කාඩ් (ඉතිරි වී ඇති කාඩ් එකක් වේ නම්) කුඩුයැ!

ඉහල මට්ටමක ඉංග්‍රීසි දැනුමත් තිබ්බ ධර්මාරාම හිමියෝ අපිට සමහර විට බනින්නේත් ඉංග්‍රීසියෙන්. පණිවිඩයක් ‍රැගෙන පන්තියට එන පිට පන්තියක සිසුන් හෝ ශිෂ්‍ය නායකයින් කඩු පහරින් ගෙල සිඳ නොගන්නෙ යන්තමින්.

“අවසර හාමුදුරුවනේ”

“Yes? What can I do for you, පුතා?”

බෞද්ධ භික්ෂූන් වහන්සේලා ජාතිවාදීන් ආගම් වාදීන් අන්තවාදීන් යැයි යැයි චෝදනා කරන්නන්  ධර්මාරාම වැනි හිමිවරුන් ගැන අසාවත් ඇත්දැයි සැකයි. මෙය අපටත් ඇදහිය නොහැකි සිද්ධියක්. අපේ පන්තියේ සිටි එකම මුස්ලිම් කොලුවාට, (අපි ඔහුට මොහමඩ් කියමු) ධර්මාරාම හාමුදුරුවො දවසක් මෙහෙම කියනවා අපි අහගෙන.

“ඒයි මොහමඩ්, අනිත් දවසෙ එනකොට අරන් එන්න පුතා පොතක්”

මොහමඩ් සටහන් පොතකුත් තවත් මොනවාදෝ පොත් කීපයකුත් ගෙන ආ අතර , අපට බුද්ධාගම උගන්නන ගමන්ම මොහමඩ්ව මේසය වෙත කැඳවා ඔහුට වෙනම ඉස්ලාම් ධර්මය ඉගැන්වීමටද  ධර්මාරාමහිමියෝ විනාඩි පහ දහයක් වැය කල සේක. එදා පාසැල් සිසුන් වුන අප මෙයින් තරමක් විමතියට පත් වුනත් අද වැඩිහිටියෙක් වන මට මෙය අදහාගත නොහැකි තරම් සිදුවීමකි.

කතා කීමේ රුසියෙකු වූ උන්වහන්සේ දවසක් කියූ මේ කතාව අදටත් මට එලෙසම මතකය.

>>ඔය බුදුරජාණන් වහන්සෙ වැඩ ඉන්න කාලෙ, ඉන්දියාවෙ හිටියනෙ බ්‍රාහ්මණයො කියලා ජාතියක්. මේ අය හරිම උඩඟු ජාතිය. තමන් අනිත් මිනිස්සුන්ට වඩා උසස් කියලා තමයි ඒ අය හිතාගෙන හිටියෙ.
දවසක්  ………….. බ්‍රාහ්මණයන්ගෙන් අහනවා
“මොකද නුඹලා ඔය විදියට තමන් උසස් ජාතියක්යැයි හිතාගෙන ඉන්නෙ?”
ඔන්න එතකොට නායක බ්‍රාහ්මණයා කියනවා,
“ඒ අපි අනිත් සියලුම කුල වලට වඩා උසස් නිසා”
එතකොට  ……….. අහනවා
“ඇයි තමන් හිතන්නෙ තමන් අනිත් සියලුම කුලවලට වඩා උසස් කියලා?”
“එහෙම වෙලා තියෙන්නෙ අපි මහ බ්‍රහ්මයගෙ කටින් උපන් නිසා”
එතකොට අපේ …………. අහනවා
“තමන්ට හොඳටම විශ්වාසද තමන් උපන්නෙ මහ බ්‍රහ්මයගෙ කටින් බව?”
එතකොට බ්‍රාහ්මණයා පිළිතුරු දෙනවා,
“එසේය ස්වාමීනි, අපට හොඳටම විශ්වාසයි.”
“ඒ ගැන කිසිම සැකයක් නැතිද?” ………….. අහනවා.
“නැත ස්වාමීනි, ඒ ගැන කිසිම සැකයක් නැත.”
එතකොට අපේ ……….. කියනවා.
“එහෙමද? එහෙනම් අපි කවුරුත් දන්නවනෙ සාමාන්‍යයෙන් ලමයෙක් හම්බවෙන්නෙ කොතනින්ද කියලා. එහෙනම් එකත් එකටම මහ බ්‍රහ්මයාගෙ කටත් පිහිටලා ඇත්තෙ ඔය හරියෙම වෙන්ඩෑති” කියලා.<<

ඔය කතාවෙ ඇත්ත නැත්ත ගැන අපි ඒ වෙලාවෙම සැක පහල කලත් අපිට හිනාවෙන්න ලයිසන් ලැබුනා වගේ උන නිසා අපි බඩවල් කොර වෙනකල් හිනාවුනා. නමුත්  තට්ටෙ  රවුමට අතගාමින් හිටි ධර්මාරාම හිමියො නෙවෙයි පොඩ්ඩක්වත් හිනාවුනේ.

 

ටැග: , , , , , ,

73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි

73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි

අපේ ගෙදර තිබ්බ හැම ගෘහ භාණ්ඩයකම ගහලා තිබ්බා ලේබලයක්. ඒකෙ තිබ්බෙ තාත්තගෙ නමයි, අහවල් දුම්රිය ස්ථානාධිපති බාරේ, අහවල් දුම්රිය ස්ථානය, අහවල් නගරය, කියලා. ඒකෙන් අදහස් වුනේ රජයේ නිළධාරියෙකු වූ තාත්තා, ස්ථාන මාරුවක් ලැබෙන ගානෙ, තමන්ගෙ දරු පවුලත් අරගෙන බඩු මුට්‍ටු පොදි බැඳගෙන ලංකාවෙ විවිධ ප්‍රදේශ වල සේවයට ගියා කියන එකයි.

රජයේ නිලධාරියාගේ බඩු භාණ්ඩ රජයේ වියදමින් ආසන්නම දුම්රිය ස්ථානයට ප්‍රවාහනය කරලා දෙනවා. ඉතිරි දුර ලොරියකින් ගෙනිහින්, බිල් ඉදිරිපත් කරලා ගමන් වියදම් ලබාගන්න පුලුවන්. මේක කොච්චර පිස්සු වැඩක්ද කිව්වොත් නවගමුවෙ ඉඳලා බලංගොඩ යන බඩු ලොරියකින් මරදානට ගෙනිහින් කෝච්චියට පටවලා, කෝච්චි පෙට්ටියක් කුලියට අරන් ඕපනායකට යවනවා. ඕපනායක ඉඳලා අච්චර දුර බලංගොඩට නැවත ලොරියකින් ගෙනියන්න ඕනෙ. ආපහු එන දවසකත් බඩු ගන්න මරදානට යන්න ඕනෙ.

තවමත් කෝපි කාලෙ සුද්දො කිව්ව විදියට වැඩ කරන අපට ඕක මහ පුදුමයකුත් නෙවෙයි. මේ මෑතක් වෙනකල් ගමන් ගාස්තු ඉල්ලන අයැදුම් පතේ ගමන ගියේ අශ්වයා පිටින්ද කියලා අහලා තිබ්බා මට මතකයි. මට නම් ඕක පුරවන්න වෙන්නෙ ඡන්ද රාජකාරි වලට ගිය වෙලාවටයි.

මට මතකයි තාත්තා ලොරියකුත් කතා කරගෙන ලොරි රියැදුරාට ස්ටේසමට එන්න කියලා එයා යනවා ගල් පාන්දර එයාගෙ තඩි BSA මෝට බයික් එකේ Yale ඉබ්බන්ගෙ යතුරුත් අරගෙන. ඒකට හේතුව තමන් කුලියට ගත්ත කෝච්චි පෙට්ටියට වැඩි හොඳට තමන්ටත් ඉබ්බෙක් දාන්න පුලුවන් කැමතිනම්. ඉතින් පරක්කු වුනොත් කම්කරුවො ඉබ්බා කඩලා බඩු බානවා. බානවා කියන්නෙ වීසිකරනවාලු. තාත්තා දුවන්නෙ ඊට කලින්. මොකද ඒ අය බඩු බාන්නෙ හරිම විනාශකාරී විදියට කියලා අපි විශ්වාස කලා. විශේෂයෙන්ම අයිතිකාරයා ලඟ නැති වෙලාවට අල්ලලා විසි කරනවලු කකුල් කැඩිලා යන්න. මොකද තමන්ගෙ බඩු නොවන නිසා.

වෙනම බ්ලොග් පෝස්ට් එකක් ලියන්න මම හිතාගෙන ඉන්න මේ කාරණාව හුදෙක් කල්පිතයක් නොවන බව අපිට වැටහුනේ පහු කාලෙක ගුවන් තො‍ටුපල වලදී. විශේෂයෙන්ම අපේම ගුවන්තො‍ටුපලේදී. එක වතාවක් මම ගෙනාවා කෑලිගලවලා ලස්සනට පෙට්ටියට අහුරපු පොත් රාක්කයක්, අපේ ගමන් බඩුත් එක්ක. මේක කන්වේයර් බෙල්ට් එකේ එලියට ආවේ කෑලි කෑලි, කවුද කාලකන්නියෙක් හිතාමතාම ඒක උස්සලා අතෑරලා. කෑලි ටික ඔක්කොම හොයාගත්තෙ හරිම අමාරුවෙන්.

මේ බලන්න අන්තිමට ආපු වතාවෙ මේ අලුත්ම බෑග් එකේ කකුල් කඩලා තියෙන හැටි. මේ නම් පැහැදිලි ඊර්ෂ්‍යාව මිසක් වෙන මොකවත් වෙන්න බැහැ. මේ ගැන අපිට ඇත්තෙන්ම මොකක්ද කරන්න පුලුවන්?

පදිංචිය වෙනස් කිරීම දුකත් සතුටත් මිශ්‍ර හැඟීමක්. අත්වලට කාඩ්බෝඩ් තියලා ගැට ගහපු පු‍ටුසෙට් වෙනම.ඇඳන් ගලවලා වියල් එකට කාඩ්බෝඩ් තියලා බැඳලා. ලෑලි එකේ සිට අංක යොදලා මිටි බැඳලා. අල්මාරිය කෑලිවලට ගලවලා කාඩ්බෝඩ් මැද්දට තියලා මිටි බැඳලා. කාඩ්බෝඩ් පෙට්ටි පෙට්ටි ගේ පුරාම. පිඟන් එකින් එක අතරට පත්තර කෑලි දාලා වෙනම පෙට්ටියක. පෙට්ටි වල ගමනාන්ත ලේබල් වලට අමතරව ඇතුලෙ තියෙන්නෙ මොනවද කියලා හොයාගන්න ලේසිවෙන්න තවත් ලේබල් අලවලා. කුස්සි බඩු යටතේ සාස්පාන්, හැඳි, කේතලේ, යනාදී වශයෙන් විස්තර ඇතුලත්. තව පෙට්ටියක පුතාගෙ සෙල්ලම් බඩු කියලා ලියලා. මගෙ, (දැන් නංගිගෙ) ට්‍රයිසිකලේ හැඬල් එකේ ටැග් එකක් එල්ලලා. මිරිස් ගල ගෝනියකින් ඔතලා. එතකොට අරන් යන්නෙ මොනවද, දාලා යන්නෙ මොනවද කියලා තීරණය කරන්න නොයෙකුත් විවාද.

“මේ ඔක්කොම මල් පෝච්චි ගෙනියන්නම ඕනෙද?.”

“මොකටද අනේ මේ කෙහෙල් පැලේකුත් අරන් තියෙන්නෙ, නැතුවට?”

බඩු ඇසුරුවට පස්සෙ කෑම බීම අසල්වැසියන්ගෙන්. ගමේදි නම් නෑදෑයන්ගෙන්. ගමනාන්තයට ලංවුනාමත් එහෙමයි.

බඩු අලුත් තැන්වල ස්ථානගත කරන එක වෙනම කලබලයක්.පින්තූර එල්ලන්නෙ කොතනද, ඔර්ලෝසුව එල්ලන්නෙ කොතනද, මේ කාමරේ කාටද, ඇඳ තියන්නෙ කොතනද, වාගෙ. එක ගෙදරක තාත්තා දිග බාගෙ බිත්තියකින් වටවෙලා තිබ්බ ඉස්තොප්පුවෙ එක පැත්තක් ලෑලි වලින් පාටිෂන් දාලා කන්තෝරු කාමරයක් හැදුවා මට මතකයි.

අපිට ඒ කාලෙ බල්ලො නම් කොහොමත් හදන්න බැරි වුනත් පූසො, එතකොට කුකුලො රංචුවක් හෙම හිටියා.

කලින් කිව්ව වගෙ දුම්රිය සංක්‍රමණික ජීවිතයට තදින්ම බැඳී තියෙන දෙයක්. මගෙ හද බැඳගත්  වාහනයක් වගේම ප්‍රවාහන මාධ්‍යයක්. දුම්රියෙ හඬ, දුම්රිය ස්ථානයක දකින්නට අත්විඳින්නට ලැබෙන ඊටම ආවේනික ජීවන රටාව, ඈතින් මතුවෙන දුම්රියක් දු‍ටුවිට දැනෙන හැඟීම, දුම්රිය වේදිකාවෙ නැවතුන පසු ඇතිවන කලබලය, මොන භාෂාවෙන් කිව්වත් මෙලෝ යකෙකුට නොතේරෙන දුම්රියපලේ ශබ්දවිකාශන වලින් කෙකර ගාන නිවේදන වල දෝංකාරය කුඩා මගේ හිතේ ඇතිකලේ පුදුමාකාර චමත්කාරයක්.

මේ අද පවා මට දුම්රියක් හරි ගුවන් යානයක් හරි පිටත්වෙලා යනවා දකිනවිට පුදුමාකාර පාලු ගතියකුයි හිතට බර ගතියකුයි දැනෙනවා. මට කිසිදාක දුම්රියක හඬ ගොරහැඩි ඝෝෂාවක් වගේ ඇහිලා නෑ. ගොරවන දුම්රිය එන්ජිම, පීලි වලින් නැගෙන ‘ටක -ටකස් – ටක ටකස්’ හඬ, දුම්රියේ ඇතුලට දැනෙන නැලවිල්ල, ගැස්සිල්ල, පැද්දිල්ල, තව දුම්රිය මැදිරියකටම ආවේනික සුවඳ මට වෙනම සුරංගනා ලෝකයක්. එතකොට දුම්රියේ ජනේලය 3D රූපවාහිණී තිරයක් වගේ නොවෙයිද? දුම්රිය ගමනකදි මම හැමතිස්සෙම පොරකෑවෙ අයිනෙ ඉඳ ගන්න. හුලං පාර මූනට වැදිලා එසවෙන අකීකරු හිසකෙස්, එක ප්‍රමාණයකට මුහුණ එසවූ විට ඇතිවන හුස්ම ගැනීමේ අපහසුව, කට ඇරිය විට කට තුලට හුලං පිරී පිම්බෙන දෙකම්මුල් සහ එවිට තරඟයට හුලං ගිල දැමීම, හුලං පහරේ සැරට දෑස් වලට නැගෙන කඳුළු අත් නොවිඳි දරුවන් ඇත්ද? දුම්රිය ජනේලයකින් පිටත බලා ඉන්නාවිට ලඟින් තියෙන දේ වේගයෙනුත් ඈතින් පිහිටි දේ ඉතා හෙමිහිටත් ආපසු ගමන් කරන හැටි මතකද?

දුම්රියේ මැදින් ඇති කොරිඩෝව දිගේ මැදිරියෙන් මැදිරියට ඇවිදගෙන යෑම වික්‍රමාන්විත ක්‍රියාවක්. අලුත් අලුත් මුහුණු තම තමාගෙ ලෝක වල. මැදිරි දෙකක් එකතුවෙන තැන්වල තියෙන concertina joint එක තරණය කිරීම , ත්‍රාසජනක අත්දැකීමක්. එකක් මත එකක් වැටී පැද්දෙන දුම්රියේ චලිතයට අනුව එකට ඇතිල්ලෙමින් මැදෙන වානේ තහඩු දෙක මතින් අනතුරකින් තොරව මාරුවීම හැදෑරියයුතු කලාවක්.

කුඩාම කාලෙ අවසර නොලැබුනත් පසුව දුම්රිය පාපුවරුවේ ඉඳගෙන යාම මම ඉතාම ප්‍රිය කරන දෙයක්. කැලෑ මැදින්, පාලම් මතින් ගමන් කරන දුම්රිය එක වරම දුමරිය හරස් පාරක් හරහා ගමන් කරද්දි , ටිං ටිං ගා නාදවෙන හරස් පාරේ සීනු හඬත් සමගම, යකඩ යකාට යන්න දීලා නැවතිලා බලන් ඉන්න වාහන දැක්කම “රජ්ජුරුවෝ උඩයි උඩයි, චූ කොල්ලෝ බිමයි බිමයි”, තාලෙට හිතෙන් කියවෙනවා.

දුම්රිය නැවතුම්පලවල් වලදී නගින විවිධ වෙලෙන්දන් ඉස්සො වඩේ, තැම්බූ බඩ ඉරිඟු,රටකජු, පැලපී, තේ, කිරි තේ, කෝපි, පත්තර, ලොතරයි පළතුරු, සිසිල් බීම, රසකැවිලි, සෙල්ලම්බඩු යනාදී එකී නොකී සියලු දේ මගීන්ට විකුනන්නට උත්සාහ කරනවා.පිරිසිදුකම ගැන නම් සහතිකයක් නැතිවුනත් අපි කොයි තරම් කඩචෝරු කාලා ඇත්ද ඔය වෙලෙන්දන්ගෙන්. ගෙදරින් හදාගෙන යන කෑමත් දුම්රිය මැදිරිය ඇතුලේ ඉඳන් කනකොට අමුතු රසයක් තියෙනවා.

දවසක් අපි පවුලම බදුලු දුම්රියේ නිදන මැදිරියක යනවා. තාත්තයි මායි නිදා ගත්තෙ උඩ බංක් එකේ. ලයිට් ස්විච් එක මගෙ අත ගාවම. සීලිම අතින් අල්ලන්න පුලුවන්. මම කවදාවත් බලබ් එකකට මෙච්චර ලඟින් ඉඳලා නැතුව ඇති. මගෙ වැඩේ ටකස් ටකස් ගාලා ලයිට් එක දානවයි නිවනවයි. මගෙ කුඩා හිතට මේක පුදුමාකාර සතුටක් ලබා දුන්නා.  ලයිට් එකත් ගෙදරක බල්බ් එකක් තරම් රත් වෙන්නෙත් නෑ එච්චර එලියත් නෑ. පස්සෙ අන්තිමට තාත්තා කෑගහනවා මට මතකයි, “මොන කරදරයක්ද ළමයො, නිදාගන්නකො ඔය ලයිට් එකට තියෙන්න ඇරලා” කියලා. මේ සුලු සිද්ධිය අදත් මගෙ හිතේ මෙච්චරම ගැඹුරට කා වැදිලා තියෙන්නෙ ඇයි කියලා මමවත් දන්නෙ නෑ.

පසු කාලෙක පේරාදෙණියෙ ඉන්න කාලෙ නුවර කෝච්චියෙ එද්දි මම ගියා සුපුරුදු විදියටම අර දුම්රිය මැදිරියෙ ටොයිලට් දෙක තියෙන වංගුවෙ ඉඳන් දුමක් අදින්න. සිගරට් එක තිබ්බට ගින්දර නැති එක අපේ ලක්ෂනයක්නෙ. ඉතින් සිගරට් ‍ෆිල්ටර් එක අත් ඔරලෝසුවෙ තට්‍ටු කරන ගමන් මම ඉල්ලුව ගින්දර ටිකක් ලඟම ඉන්න සුද්දාගෙන්. තුන්වෙනි පන්තියෙ ටොයිලට් එකේ පිටපැත්තෙ බිත්තියට පිට දීලා බිම ඉඳගෙන දුමක් අදිමින් සිටි සුද්දා රත්තරන් පාට වටිනා ලයිටර් එකක් මට දික්කලා. මගේ දුම්වැටිය දල්වාගෙන ලයිටරය ආපසු දෙනවිට, මගේ වාගේම නිල් පැහැය දියවී ගිය ඩෙනිම් ජීන්ස් එකකුත්, ටී ෂර්ට් එකකුත් හැඳගෙන ගමන් බෑගයක්ද සමග සිටි සුද්දාගේ දුම්වැටිය දිහා මට බැලුනේ ඉබේටම. මේකා බොන්නෙ බීඩියක්නෙ!

ටිකකින් දෙන්නම කතාවට වැ‍ටුනා.

සුද්දා ජර්මන් කාරයෙක්. මම ගුරු ශිෂයයෙක් කිව්වාම සතුටින් හිනාවෙලා ඔලුව වනපු සුද්දගෙන් මම ඇහුවා එයා මොකද කරන්නේ කියලා.

“I’m a judge”, සුද්දා කිව්වාම මම හිතුවෙ මට හරියට ඇහුනෙ නෑ කියලා. මම ආයෙම ඇහුවා. ඔව්!! මේ මම වගේම හිපි පෙනුමක් තියෙන ‍රැවුලකුත් වවාගෙන ඉන්න සුද්දා නඩුකාරයෙක් තමයිලු ජර්මනියෙ!!!

මගෙ මූණෙ මතුවුන විමතිය දිහා ටිකක් වෙලා බලන් ඉඳලා, බීඩියෙන් දුම් උගුරක් ඇදලා, කොරිඩෝවේ වහල දිහාට පිඹපු විනිසුරුතුමා කියනවා.

“මම දන්නවා හෙන්රි ඔයගොල්ලන්ගෙ රටවල නඩුකාරයෙකුට රස්සාවත් එක්කම ලැබෙන ස්ටේටස් එක. නමුත් ජර්මනියෙදි, නඩුකාරකම තවත් රස්සාවක් විතරයි.”

තවත් බොහෝ වල්පල් කතා කරමින් හිටි අපි පේරාදෙණියෙදි සතුටින් විසිර ගියා. නමුත් හිතන්න යමක් මගෙ හිතේ ඉතිරි කරලා.

බිංගෙයක් තුලින් කෝච්චිය යනකොට කවුරු හරි හූ කියනවාමයි. මම අදටත් ඒ වෙලාවට ජනේලෙන් ඔලුව එලියට දාලා හූ කියන්න ආසයි. අර එකෙක් හූව පටන් ගත්තම නලියන්න ගන්න නරි ජානය කොහොමත් අපි තුල තියෙනවානෙ.

බිංගේ ඇතුලෙ පිරිලා තියෙන දුම දුම්රිය මැදිරිය තුලටත් එනවා. බිංගෙයින් එලියට එනවිට ඇතිවන ආලෝකයෙයි, හඬෙයි වෙනස වින්දනය කලයුතු මිස, අසා දැනගත හැකි හැඟීමක් නොවෙයි. දුම්රිය පාලමක් තරනය කිරීමත් එසේමයි. මම හිතන්නෙ රේල්පාරත්, මහ පාරත් එකම මගේ ගිය එකම පාලම වුනේ මනම්පිටියයි. දැන් ඒක වෙනස් කරලා බව මේ පාර නිවාඩුවට ගියාම දැක්කා.

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම

මනම්පිටිය පාලම මතින් ගිය රේල් පාර සහ මහ පාර

එතකොට අපි සුද්දන්ට බැන බැන අදටත් පාවිච්චි කරන, සුද්දො තමන්ගෙ අවශ්‍යතාවයකට වුනත් හදපු ගල් ආරුක්කු පාලම්, පොලොව දෙදරවාගෙන යන දුම්රියේ බර දරාගෙන, අවුරුදු 100ක් 150ක් තිස්සේ තවම සේවය කරන බව අදහන්නත් අමාරු තරම්.

රජයේ නිළධාරීන්ට ස්ථාන මාරු ලැබිලා යනවාට අමතරව වසරකට නිදහස් ගමන් බළපත් තුනක් හිමියි. තියෙන අවිවේකී බව නිසා සමහර විට මෙයින් ප්‍රයෝජනයක් ගන්න නොලැබෙන අවස්ථායි වැඩි. අවසන් වරට ලබපු හොඳම දුම්රිය අත්දැකීම දීපාගේ පාසලේ ගුරු මණඩලය සමග Hitachi සුඛෝපබෝගී දුම්රියේ බදුල්ලට ගිය ගමනයි. ගමන් බලපත් තුනම එකතු කර ගිය මේ ගමන ඇත්තෙන්ම chartered train trip එකක් කිව්වැකි. අපි අපේ දුම්රිය, දුම්රිය ස්ථාන වල නවත්තලා නැරඹිය යුතු තැන් නරඹලා එනවා, හරියට පෞද්ගලික  වාහනයකින් ගියා වගෙ. දුම්රිය, දුම්රිය ස්ථාන දෙකක් අතර නවත්තලා අපිට බහින්න දුන්නා අඹේවෙල කිරි පිටි කම්හල බලන්න යන්න. අපිව බස්සපු දුම්රිය ඊලඟ දුම්රිය ස්ථානයට ගිහින් නවත්තාගෙන හිටියා අපි එනකල්. ඉදල්ගස් හින්නේ එතකොට දෙමෝදර වගේ දුම්රිය ස්ථානවල නවත්තාගෙනත් හොඳට අවට ඇවිද්දා සිරි නරඹමින්.

හැම නිවාඩුවටම ගෙදර ගියාම කෝච්චියේ කොහෙ හරි යන්න හිතා හිටියත් පහුගිය අවුරුදු දහයටම ඒක බැරි වුනා.


මේ පාරවත් බලන්න ඕනෙ.

 

ටැග: , ,

55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

මොරයා මුලින්ම මට දුන්නේ උගේ පොල් අඩියක්. මම වැඩි මහන්සියක් නැතුවම පහත් වුනා. උගේ දෙවෙනි එකත් ඒ වගෙම ගොං පොල් අඩියක්. ඒකත් අමාරු එකක් නෙවෙයි. මම පහත් වුනාම මගෙ හිස් මුදුනට පවන් සලාගෙන නිදහසේ ඇදිලා ගියා. නමුත් වැදුනානම් හාන්සි තමයි.

මේ මොහොතෙ මම මේ ඉස්කෝලෙට අලුත්ම අත්දැකීමක් වන බොක්සිං  පන්ච් එකක් එල්ල කලා  නිරාවරණය වෙලා තියෙන මොරයගෙ බඩට විදුලි වේගයෙන්. මොරයාගෙ හුස්ම වූ…ෂ්  හඬකින් කටින් එලියට ගැලුවා. අධිවේගයෙන් මගෙ දෙවෙනි වමත් පාර  මොරයගෙ පැතලි, පලල් නාසය සමතලා කලා. මොරයා කවදාවත් එහෙම වේදනාවක් අත් විඳලා නැතිව ඇති.
අනිත් උන් කෑගහනවා මට ඇහුනා.


“ඒයි මෙහෙ වරෙල්ලා, මේ බලාපල්ලා. මූ හුලං ගහනවා!”

කට්ටිය වට වුනා.
මට පස්සෙ තේරුනා මුන්ට පොල් අඩි ස්වින්ග්ස්  මිසක් බොක්සිං/කරාටේ පන්චස් පුරුදු නැති බව. මුන්ට ඒක පෙනුනෙ බයිසිකල් පොම්පෙකින් හුලං ගහනවා වගෙ. නහය රතු වෙලා ඉදිමිලා තිබ්බ මොරයා මාරාවේශ වෙලා හිටියෙ. ඌ කිව්වා ඉස්කෝලෙ ඇරිලා ගෙදර යනකොට උගේ අයියලා ගෙන්නලා මට ගස්සන බව. අනිත් උං මූව වත්තං කරගෙන ගියා. හොඳ වෙලාවට බෙල් එක ගහපු නිසා කෑඳැත්තා සමග අන්තිම සටන ඉන්ටවල් එක දක්වා කල් ගියා.

පන්තියෙ ඉන්නකල් මොරයා පාරම්බබා හිටියා ඌ ඕකෙ පළිය ගන්න බව. අනිත් උන්ගෙ මූනවල් වල සෑහෙන වෙනසක් මම දැක්කා. මොරයා ඇර  එකෙක්වත් වචනයක් කිව්වෙ නෑ. සමහරු සතුටෙන් හිටිය බව මට පෙනුනා. දැනටම ‘භය සූත්‍රය’ ක්‍රියාත්මක වෙලා ඇති හැඩකුයි පෙනුනෙ.

කෑඳැත්තා අමුත්තක් නොපෙන්නුවත්, සෑහෙන්න කැළඹිලා හිටි බව පෙනුනා.

ගුරුවරු උගන්නපු දේවල් මගෙ හිතට නොගියෙ මගෙ හිත විවේක කාලයට නියමිත, කෑඳැත්තා සමග කෙරෙන තීරණාත්මක අවසන් මහා සටනට අදාල සිතිවිලි වලින් පිරී තිබූ නිසාමය කියන්න බැහැ. මගෙ සිත අතීතයට ඇදිලා ගියේ මා නොදැනුවත්වමයි.

අපේ තාත්තා රජයේ නිලධාරියෙක් නිසා මම ඉස්කෝල ගනනාවකට යන්න වුනා.  ඉතින් අනිත් සමවයසේ බුවෙකුට වඩා සෑහෙන අත්දැකීම් ලබලා තියෙනවා, ඇසූ පිරූ තැන් තියෙනවා. නමුත් ඒ ඔක්කොම රසවත් අත්දැකීම් නෙවෙයි.

Bullying  ඇත්තෙන්ම නවක වදයට වඩා භයානකයි, වේදනාකාරීයි. නවක වදය විඳින්නෙ සමූහයක් එකතුව. ලැජ්ජාව වේදනාව බෙදිලා යනවා. නමුත් Bullying වලට අහු වෙලා bully වෙන්නෙ බොහෝ විට තනියෙම. අනිත් අය ගැන මම දන්නෙ නෑ. මම නම් bully වෙලා තියෙන තරමක් වෙලා තියෙන්නෙ තනියෙම.

ළමයි මල් වගේ කියලා කියමනට කිව්වට, අලුත් ඉස්කෝලෙකට ගිය ගමන් මුණ ගැහෙන්නෙ යක්කු. මල් නෙවෙයි. මල් අඳුනාගන්න කල් යනවා. අන්තිමට මල් හඳුනා ගන්නකොට, අමාරුවෙන් මල් වෙන් කරගෙන ලං වෙන කොට, ඒ මල් දාලා, බඩු මුට්‍ටු පොදි බැඳගෙන අලුත් යක්කු ඉන්න අලුත් පළාතක, අලුත් ඉස්කෝලෙකට යන්න වෙනවා. ඉතින් හැමදාම ‘මරුවා සමග වාසේ’ තමයි.

මම මේ ස්ථාන මාරු වලින් මේසා පීඩා විඳින බව මගේ දෙමව්පියෝ දන්නෙත් නෑ. ගුරුවරු දන්නෙත් නෑ. ගුරුවරු ඇත්තටම නොදන්නවද කියන එකනම් මට අදත් සැක සහිතයි. ඇත්තෙන්ම ඉස්කෝලවල ගුරුවරු මීට වැඩිය කල්පනාවෙන් ඉන්න ඕනෙ අලුතෙන් ඉස්කෝලෙට එන ළමයින්ට ලැබෙන  සැලකිල්ල මොනවාගෙද කියලා.

කොහොම හරි අලුත් ඉස්කෝලෙදි තනිවම – සමහර විට මුළු පන්තියක් එක්ක – සටන් කරන්න වෙනවා. මම සාමාන්‍යයෙන් දෙයක් වේගයෙන් ඉගෙන ගන්නවා. ඒ වගෙම වරක් උගත් පාඩම මතක තියාගන්නවා.මේක ලාංකිකයන්ට ආගන්තුක ලක්ෂණයක් කියලනෙ කියන්නෙ. ඉතින් තැලෙන යකඩෙ වගෙ මමත් පන්නරය ලැබුවා වයසට කලින්. මොකද මට තිබ්බෙ පැවැත්ම සඳහාවූ අරගලයක්.

මම මේ අත්දැකීම දෙපාරක් විතර ලබන විට සොයාගත්තා මගේම ක්‍රමයක්. ඕක මම සොයාගත්තෙ ජෝජ් බුෂ්ට කලින්. ‘Fighting Terror With Terror’. බලංගොඩ කොන්වන්ට් එකේ ඉඳලා බුද්ධ ජයන්ති විද්‍යාලයට ගියාම මට සෑහෙන්න bully වෙන්න සිද්ධ වුනා. ඒ පාර නම් මම තනියෙම නොවුනත්, මට තියෙන්නෙ ‘ගුටි කන මූණක්’ හන්දද කොහෙද මම නිතර ගුටි කෑවා.

පස්සෙ මම දැන ගත්තා අපේ කුලී ගේ ගාවා ගෙදරක හිටපු අයියා කෙනෙක් බොක්සිං  ක්‍රීඩා කරන බව. මම ඒ අයියාගෙන් බොක්සිං තරමක් දුරට ඉගෙන ගත්තා. ඊට පස්සෙ සටන් චිත්‍රපටි වල දකින අනෙකුත් උපක්‍රමත් එකතු කරලා මමම හදා ගත්තා මටම ආවේනික  සටන් ශෛලියක් (combat style). මේකට street fighting කිව්වත් වරදක් නෑ. මේ ඉගෙනගත්ත දේවල් කෙසෙල් ගස් වලට හාල් ගෝනිවලට යොදලා ප්‍රගුණ කලා.

මේ සියලු දෙයින්ම  ඉතාම වැදගත් හැරවුම් ලක්ශය වුනේ ස්වින්ග් (swing) කියන කවුරුත් දන්න පොල් අඩියත්,  අර මිටියකින් ගහනවා වගෙ(hammer blow) එල්ල කරන ගෑණු පොල් අඩියත් වෙනුවට කෙලින් සරළ රේඛාවක් ඔස්සේ එල්ල කරන  ආරක්ෂාකාරී මුශ්ඨි ප්‍රහාරය (punches and jabs) ආදේශ කිරීම. (punch instead of swing).



ඒක වුනේ මෙහෙමයි. ඔය ඉස්කෝලවල  කොල්ලො ගහගන්නකොට මිට මොළවපු අත කවාකාරව පද්දලා ගහන පොල් අඩියම තමයි වැඩියෙම පාවිච්චි කලේ. හරියට  කම්මුල් පාරක් වගෙ පැත්තකින් මේක එන්නෙ.මම බොහෝ විට සටන් බලා ඉඳලා සෑහෙන දේවල් ඉගෙන ගත්තා. විශේෂයෙන්ම එකිනෙකාගෙ දුර්වලකම්.

ඔය ස්වින්ග් කියන පොල් අඩියෙ තියෙන ලොකුම දුර්වලකම තමයි, ඕක ලේසියෙන් බ්ලොක් කරන්න, මග හරින්න (dodge) පුලුවන් (පුහුණු වුනොත්). අනික තමයි ඔය පහර එල්ල කරන අතරේ පහර දෙන එකාගෙ පපුව, බඩ ආරක්ෂාවක් නැතිව නිරාවරණය වෙලා තියෙන්නෙ. කොටින්ම මේ බුලියලා තමන්ගෙ ආරක්ෂාව ගැන හිතුවෙ නෑ. ඒක අවශ්‍ය වුනෙත් නෑ.

ඇත්තෙනම ආරක්ෂාව අවශ්‍ය වුනේ මට. මොකක්ද කලින් කිව්වා වගේමට තිබ්බෙ පැවැත්ම සඳහා කරපු අරගලයක්. බුලියන්ට එහෙම දෙයක් නෑ. තමන්ට ඇති තැන රැකගන්න විතරයි උන්ට තිබ්බෙ. ඒකට මහා කැපවීමක් අවශ්‍ය නොවුනෙ අනිත් ළමයි උන් එක්ක පැටලෙන්න නොගිහින් පුලුවන් තරම් මග ඇරලා හිටපු නිසයි.

ඊලඟට වේගය හා කඩිසර බව. මෙයින් පොල් අඩිය මග ඇරීමටත් අවහිර කිරීමටත් උපකාරී වෙනවා. එතකොට දෙපා මත සමබරව සිටීම. (footwork) මේක මට ප්‍රගුණ කරන්න උදව් වුනේ බුලියොමයි නොදැනුවත්වම. මම හිටගෙන ඉන්න වෙලාවටත් මුන් පිටිපස්සෙන් ඉඳගෙන දනහිසෙ පිටිපස්සට පයින් ගහනවා. එතකොට දනහිස නැවිලා ඇදගෙන වැටෙනවා. ඔය නිසාම මම නිතරම  හිටියෙ සමබරව හිටගෙන. මුන් පුදුම වුනා මම නොවැටී ඉන්නකොට.

ඊලඟ දේ තමයි සටනක් වේගයෙන් විශාල කම්පනයක් ඇතිකරමින් අවසන් කිරීම (dramatic bloody finale). අනිත් වුන් කම්මුලට බඩට ගහද්දි මම ‍තෝරාගත්තෙ නහය කට වගෙ ලෙහෙසියෙන් තුවාල වෙලා ලේ ගලන ඉලක්ක. ලේ ගලන කටකින් පුදුම කම්පනයක් ඇතිකරන්න පුලුවන් ගුටිකාපු එකාගෙ වගේ නරඹන්නන් තුලත්.

මෙතනදි තමයි අර මුලින් කියපු බය සූත්‍රය ක්‍රියාත්මක වෙන්නෙ. අහලා තියෙනවද බය සූත්‍රය? නෑ නෑ රතන සූත්‍රය නෙවෙයි. බය සූත්‍රය. ඒක මෙහෙමයි. පන්තියේ චන්ඩියෙක් ඉන්නවා. චන්ඩියාට පහලින් චන්ඩි අංක 2, 3 ආදී වශයෙන් පිළිවෙලට ඉන්නවා. හරියට ප්‍රාන්ත රාජ්‍යයක තනතුරු වාගෙ. අනිත් පන්ති වලත් එහෙමයි. ඔය විදියට මුලු ඉස්කෝලෙම බය කරගෙන ඉන්න චන්ඩියෙකුත් ඉන්නවා. ඌටත් දෙවෙනියො  තුන්වෙනියො ඉන්නවා. හරියටම ෆෙඩරල් මහ ආණ්ඩුව වගෙ. දැන් මුළු ඉස්කෝලෙම අනියමින් පාලනය වෙන්නෙ කවුරු කාට බයද කියන එක අනුවයි.


“ඒයි උඹ මූට බයද? උඹ අරූට බයද?” වගෙ ප්‍රශ්ණ සුලභයි.

දැන් අපි හිතමු මම මේ පන්තියෙ දෙවෙනි චන්ඩියාට මම අල්ලගෙන ගැහුවා කියලා අම්බානක.  එතකොට මට තව දුරටත් තුන්වෙනියා හෝ ඊට  පහලින් ඉන්න  එවුන් එක්ක සටන් කරන්න අවශ්‍ය නෑ තව දුරටත්, මොකද බය සූත්‍රයට අනුව උං සටනකින් තොරවම  මට බය වෙනවා, මම උන්  බයේ හිටපු එකාට ගහපු නිසා. නමුත් ඒ බය සූත්‍රයටම අනුව මම තවම පළවෙනියට බයයි සටනකින් ඌව පරාජය කරනකල්.  මම ඔය තත්වය  කල්තියා අඳුරාගෙන තිබ්බේ.  මුලදි මම නිකං ශ්‍රමය වැය කලා අනවශ්‍ය නොවැදගත් සටන් වලට.

ඉස්කෝලෙන් ඉස්කෝලෙට සටන් සංස්කෘතියත් වෙනස්. සමහර ඉස්කෝලවල කට්ටියම එකතු වෙලා එකෙකුට ගහන්නෙ නෑ. එකා පස්සෙ එකා  මිසක.  වැටිලා ඉන්න එකාට ගහන්නෙ නෑ නැගිටලා එනකල්. නමුත් සමහර ඉස්කෝලවල මුළු පන්තියක්ම එකතුවෙලා එකෙකුට ගහන වෙලාවල් තියෙනවා. වැටිලා ඉන්න එකාට  වටවෙලා පයින් ගහන තිරිසන්නුත් ඉන්නවා.

මම අවාසනාවකට වගේ ඊ ලඟට ගිහින් වැ‍ටුනෙ එහෙම තැනකට. මුන්ට මාව කොහොමත් දිරෙව්වෙ නෑ කාරණා කිහිපයකට. එකක් ඉංග්‍රීසි ප්‍රශ්ණෙ.  ඒ කියන්නෙ මට ඉංග්‍රීසි බැරිවීම නෙවෙයි, ඉංග්‍රීසි පුලුවන් වීම, අනික උදේට තාත්තා මාවයි නංගිවයි මෝටර් බයික් එකෙන් ගෙනත් ගේට්‍ටුව ලඟ  බැස්සීම වගෙ හේතු ගොඩක් තිබ්බා.

මුලදි මග ඇරලා හිටියත්, මුන් මාව ටොයිලට් එක ලඟදී අල්ලා ගන්නවා. දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙන ඉන්දැද්දී, එහෙම නැත්නම් එකෙක්  පිටිපස්සෙන් ඇවිත් හෙඩ්ලොක් එකක් දාගෙන ඉන්දැද්දී අනිත් උන් පෝලිමෙ ඇවිත් බඩට අනිනවා, කම්මුල් පාරවල් දෙනවා. කොරිඩෝවලදි ඇ‍ඟේ හැප්පෙනවා. නැතිනම් තව එකෙක්ව තල්ලු කරනවා ඇ‍ඟේ හැප්පෙන්න. ඊට පස්සෙ “මොකෝ ඩෝ ඇ‍ඟේ හැප්පෙන්නෙ? උඹ චන්ඩියෙක්ද?” කියලාදෙක තුනක් අනිනවා.

එතකොට පන්තියෙදි කඩදාසි ගුලි, චෝක් කෑලි ප්‍රහාරත්, පන්තියෙන් පිටදි වතුර බෑග් වලින් නෑවීමත්, පිටේ බෝඩ් එල්ලීමත් වගෙ තාඩන පීඩන  වලට නිතර භාජනය වෙනවා. මේ විදියට ටික දවසකින් මට ඉගෙන ගන්න ලැබුනා මුන්ගෙ පලවෙනියයි, දෙවෙනියයි කවුද කියන එක.

දවසක් මුන් මාව අල්ලගෙන අතපය හිරි  ඇරගන්න හදනකොටම මම කිව්වා,

“උඹලා මහා පීචං වැඩ කරන්නෙ. උඹලා මහ බයගුල්ලො” කියලා.

කට්ටිය කොච්චර පුදුම උනාද කියනවා නම් උන් මාව අත හැරියා.

පස්සෙ මම කිව්වා, “උඹලා නියම චන්ඩි නම් එකා එකා වරෙල්ලා. එකෙකුට වදිනකොට අනිකා අත දාන්න බෑ. චැලේන්ජ් කරල ගහගම්මුද?”

කට්ටියට මේ ‘චැලේන්ජ් කරල ගහගැනීම‘ අලුත් සංකල්පයක් උනත් කවුරුත් මේකට කැමති වුනා. වැඩියෙන්ම අර ‘අංක එකේ‘ චන්ඩියාට මේකට බැහැයි කියන්න බැරි වුනා, මොකද මම චැලේන්ජ් කලේ ඌටත් එක්ක නිසා.

ඊට පස්සෙ අපි දිනයක් යොදාගෙන උදේ පාන්දරක සෙට් උනා. මම හිතපු විදියට මුලින්ම ආවේ  අංක එකේ චන්ඩියා වන කෑඳැත්තා  නෙවෙයි.  ඩෙපියුටි නොහොත් දෙවෙනියා වන මොරයා. කෑඳැත්තා සැහැල්ලු වේගවත් පොරක්. මොරයා තරමක් හැඩි දැඩි, ඇහැ ලඟ පිලිස්සුම් තුවාල කැලලක්  තියෙන එකෙක්.

හැබැයි මුංගෙ කෙරුවාව හුඟක් වෙලාවට කටින් තමයි. හැමෝම මුංගෙ කටවල් වලටයි බය. ඔය පෙකිං ඕඩර් එකේ යට ඉන්න කට්ටිය මුන්ට බයේ ඉන්නෙ මුං එක්ක   ගහගෙනම නෙවෙයි, අර බය සූත්‍රයට අනුව.

සටනින් මොරයාට අයිති වුනු පරාජය මොරයාව විතරක් නෙවෙයි කවුරුත් සසල කලා. හුලං ගැහීම සාර්ථක ක්‍රමයක් බව නැවත වතාවක් වචනයෙන් පමනක් නොව, ක්‍රියාවෙන්ම සනාථ වුනා.

“ටිලිං… ටිලිං… ටිලිං…”

විවේක කාලයේ ආරම්භය සටහන් කරන සීනු නාදය මගේ සිතුවිලි දැහැන බිඳ දමා මා වර්තමානයේ රළු පොලොව මතට වැරෙන් පතිත කලා.

ඉන්ටවල් එකේදි දෙවෙනි වටය පටන් ගත්තා. මම නැවතත් නීති රීති කිව්වට පස්සෙ සටන ආරම්භ කලා. මේ පාර අධික ප්‍රේක්ශකයන් සංඛ්‍යාවක් හිටියා ‘අලුතෙන් ආපු එකා හුළං ගහනවා‘ බලන්න. මේකෙන් මට වඩා නොසන්සුන්තාවයෙන් හිටියෙ කෑඳැත්තා. මුගේ අර කලින් තිබ්බ චන්ඩි පාට්  මුකුත් තිබ්බේ නෑ. ඌට ‍රැකගන්න දැයක් තිබ්බත්, මට නැතිවෙන්න දෙයක් තිබ්බෙ නෑ, දිනාගන්න දෙයක් මිසක.
කෑඳැත්තාට තිබ්බ මොරයාට හෝ වෙන කිසි කෙනෙකුට නොතිබූ වේගයක්. මූ මීටර් සීය සූරයා.  උගෙ ප්‍රියතම ෂොට් එක, ඇත්තෙන්ම කිව්වොත්,  කම්මුල් පාරක්.

සටන පටන් ගත්ත ගමන්ම මූ එල්ල කරපු කම්මුල් පාරවල් දෙකක් මට චට චට ගාලා වැදුනා. ඒවා වේගවත්, ඒ වගෙම සැහැල්ලුයි. ඒ වගෙම වේදනාකාරීයි. එතකොටම  මම දවස් ගනනාවක්  බලා සිටි මගෙ අවස්ථාව උදා වුනා. මුල්ම පහර එල්ල කලේ කෑඳැත්තගෙ කටට. ලේ ගැලුවෙ තොල් පැලිලද, දත් බුරුල් වෙලාද කියන්න හරියට අමාරුයි. කොහොම හරි මුල්ම පහරින් කෑඳැත්තගෙ ලේ හෙලවුනා. මේ පහර ඌ කොහොමත්ම බලාපොරොත්තු වෙන්න නැති නිසාදෝ මූ ගිහින් දඩාස් ගාලා බිත්තියෙ ඇනුනා.

කෑඳැත්තා සැහැල්ලු නිසාමදෝ වේගෙන් නැගිටලා ආපහු ආවා. මූ ඉස්සරහට පැනලා පොල් අඩියක් එල්ල කලත් මම පාත් වුනේ නෑ. වමතින් අවහිර කලා විතරයි. මගෙ දනහිස් පාර මුගේ පරම්පරා කුට්ටමට එල්ල වුනාම මූ මෙල්ල වුනා. ස්වයංක්‍රීයවම ඉස්සරහට නැඹුරුවුනු කෑඳැත්තගෙ බඩටයි පපුවටයි එකවර එල්ල කරපු ද්විත්ව පහරවලින් එකකින් සටන නිමා වුනා.

කෑඳැත්තා දෑතින්ම ශරීරයේ තැන් දෙකක්  මිරිකා අල්ලාගෙන බිමට පාත් වුනා, වේදනාවෙන් ඇඹරෙමින්. කෙටි හුස්ම ගත්තෙ උගුරෙන් හඬක්  නගමින්. මේකා හදිස්සියෙ මැරුනොත් මොකද කරන්නෙ යන බියකරු සිතුවිල්ල හදිසියෙම මට වද දෙන්න ගත්තා. අනිත් උන් මූව ඇදගෙන යන්න ගියා. මගේ සිතට පුදුමාකාර සැහැල්ලුවක් ගෙනදෙමින් සීනු නාදයත් සමගම කෑඳැත්තා අමාරුවෙන් වුනත් තනියෙම ඇවිදාගෙන පන්තියට ගියා.

නිල වශයෙන් චන්ඩියා මම වුනත් මම ඔ‍ටුන්න භාර ගන්න ගියේ නෑ. ඒ ඉස්කෝලෙ ඉන්නතාක් කල් කිසිම කෙනෙක් මට අභියෝග කලෙත් නෑ.

කෑඳැත්තා ඉඳලා ඉඳලා කෙහෙල් ගහට කෙටූ බව වෙන පන්ති වල උන් කතාවෙන බව මට දැනගන්න ලැබුනා. කෑඳැත්තයි මායි ආයෙ කවදාවත් එකිනෙකාට කතාකරෙත් නෑ. මේ සටනට පස්සෙ මම ඒ ඉස්කෝලෙන් වෙන ඉස්කෝලෙකට ගියා. නමුත් දශක කීපයකට කලින් වෙච්ච මේ සටනෙ  බලපෑම කොච්චරද කිව්වොත් දැනුත් කෑඳැත්තා මගෙ මූන බලන්නෙ නෑ. ඉතාම කලාතුරකින් හමුවුනත්, හරියට අඳුනගන්න බැරි වුන බවයි  පෙන්නන්නෙ.

මොරයා නම් මම ඉඳහිට දකිනවා. ඌත් මුලදි මුලදි මාව මග ඇරියා. රස්සාවට කොම්පැණියක වාහනයක් එලවන නිසාදෝ  ඒකා දැන් මට කතා කරන්නෙ ‘මහත්තයා’ කියලා. මම නං ඌට මචං කියලා කතා කරනවා.

පසු වදන:

මේ කතාවෙන් ගන්න ආදර්ශයක් තියෙනවද කියන එක මට කියන්න අමාරුයි. මොකද සැබෑ ජීවිතයේ සිදුවෙන්න ඇතැම් සිදුවීම ආදර්ශමත් සිදුවීම් නොවන නිසා. නමුත් ඔබේ දරුවා ගැන කල්පනාවෙන් ඉන්න. සමේ ලප කැලැල්, හැසිරීමේ වෙනස්කම්, නොසලකා හරින්න එපා.

මීට කලකට පස්සෙ මගේ දියණිය මේ ආකාරයටම බුලී වෙන බව මට කිව්වෙ ඇය ගිය කොළඹ පෞද්ගලික බාලිකා පාසැලේ වෙනත් සිසුවියන්. මගේ කෙල්ල පන්තියෙ අනිත් ළමයිනට වඩා වයසින් අවුරුදු දෙකක් විතර බාල, ශරීරයෙන් කුඩා හුරුබුහුටි දැරියක්. අහලා බැලුවම කතාව ඇත්ත. ඇයට අල්ලාගෙන පහර දෙන්නෙ වෙනත් පන්තියක ඉන්න විශාල බුලිච්චියො.

මුලින්ම මම නියමිත ප්‍රමිතියට අනුව පන්ති භාර ගුරුතුමියට, අංශ භාර ගුරුතුමියට, ඒ වගෙම විදුහල්පතිතුමියට පිළිවෙලින් කිහිප වතාවක් පැමිණිළි කලත්, හිතූ ආකාරයටම කිසිම ප්‍රතිඵලයක් නොලැබුන නිසා මම මගේ පරණ ‘Blogwalker Method of Fighting Terror With Terror’ ක්‍රමයට අකමැත්තෙන් වුනත්  ආපහු ගියා.  මුලින්ම, මම කෙල්ලට මූලික taekwondo punches and kicks පුහුණු කලා. කෙල්ල මගේ බඩට පහර දෙමින් ශාස්ත්‍රය ප්‍රගුණ කලා සති කිහිපයකින්. මම ඇයට කියලා තිබ්බෙ මම කියන තෙක් බුලියන්ට පහර දෙන්න එපා කියලා. මුලදි මගේ උදරයට  ලපටියට වැදුනු සිඟිති අත් හා පා  පහරවල්  ක්‍රමයෙන්  එල්ලයට එල්ලවන වේදනාත්මක පහරවල් බවට පත්වුනා.   දීපා මේ දිහා බලා හිටියෙ තරමක චකිතයෙන් බව මම දැනගෙන හිටියා.

මම එදත් ඇයව එක්ක එන්න සුපුරුදු විදියට පාසැලට ගියා. එදා ගෙදර යන්න පෙර මම  විදුහල්පතිනිය මුණ ගැසීමට අවශ්‍ය බව මට කිව්වෙ කෙල්ලමයි. මම දොරෙන් ඇතුල්වෙනවාත් එක්කම මග බලා හිටි විදුහල්පතිණිය, “බලන්න මිස්ට බ්ලොග්වෝකර් දුව කරලා තියෙන හපන්කම. මෙයා අර ලමයි වගේකට අතින් පයිනුත් ගහලා අන්තිමට හෙල්මට් එකෙනුත් ගහල කියලා අද කම්ප්ලේන්ට් එකක් ආවනේ. අපි එයාට අවවාද කලා. මිස්ට බ්ලොග්වෝකරුත් පොඩ්ඩක් කියන්නකො”.

බලමුකො නීතිය වහාම ක්‍රියාත්මක වෙලා තියෙන අපූරුව! පස්සෙ දෙන්න එක්ක බයික් එකේ එනගමන්, කෙල්ල පෙට්‍රල් ටැංකිය උඩ ඉඳගෙන මට කතාවෙ සාරංශය කිව්වා. පස්සෙ දීපාවත් එයාගෙ ඉස්කෝලෙ ගාවින් නග්ගාගෙන කතාව විස්තර ඇතුව නැවත අහගත්තා.  මම කිව්වා ආත්මාරක්ෂාවට විතරක්  ඉගෙනගත්ත දේ පාවිච්චි කරන්න කියලා. මම දැනුවත්ව ඊට පස්සෙ බුලිච්චියො කෙල්ලට කරදර කරලා තිබ්බෙ නෑ.

මේ සිද්ධියත් ආදර්ශමත් නොවෙන්න පුලුවන්. මේ ක්‍රමය මම කාටවත් රෙකමෙන්ඩ්  කරන්නෙත් නෑ. ඔය සිද්ධියෙ ඇත්ත ඇති සැටියෙන්ම කියලා තියෙන්නෙ. මම කරපු දේ තාත්තා කෙනෙකුට නොගැලපෙන්න පුලුවන්. එතකොට අධ්‍යාපන ළමා මනෝවිද්‍යාව හදාරපු ගුරුවරයෙකුට  කරන්න තරම් නොවෙන්න පුලුවන්. නමුත් මම ඒ දේ නොකලා නම් මගේ කෙල්ල  දිගින් දිගටම බුලි වෙලා, ඉස්කෝලෙත් එපා වෙලා, පෞරුශ වර්ධනයත් අඩාල වෙලා, මහා විනාශයක් වෙන්න තිබ්බා. ඒ මොකවත් වුනේ නෑ. මේ ගැන මගෙ කෙල්ල දාන කමෙන්ට් එක බලමු.

 

ටැග: , , , , , , , ,