RSS

Category Archives: මට හමුවූ අමුතුම චරිත

182.ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි


vwbsaපොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි. Read the rest of this entry »

 

ටැග:

169. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – තුන්වන (අවසාන)කොටස.


Promised Land: The Capital, Western Province, Parallel Universe.

පොරොන්දු දේශය, අගනුවර, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.

ගොරවමින් කන්ද අදින බර වාහන පෙලින් බේරී පාර මැද සුදු ඉරට සමාන්තරව මෝටර් සයිකලය පදවන මම කන්දේ පහලට වේගයෙන් ධාවනය වන විරුද්ධ පැත්තේ තීරුවේ වාහන වැලේ හිදසක් තුලින් දකුණට හරවා පදික වේදිකාවටම නග්ගා වාහනය නතර කරනවා.

මේ කතාවෙ අගක් මුල නොතේරෙනවා නම් මෙන්න මුල් කොටස් දෙක.
166. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – පළමු කොටස
167. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – දෙවන කොටස

යකඩ ග්‍රිල් ගේට්‍ටුව තුලින් බලන ගේට්‍ටු මුරකරු මා දිහා බලන්නේ සැකමුසු බැල්මක්.

“මට ප්‍රින්සිපල්ගෙ ඔෆීස් එකට යන්න ඕනේ. මට මාරුවීමක් ලැබිලා තියෙන්නේ.” Read the rest of this entry »

 

ටැග: , ,

161. කළකිරීම


OLYMPUS DIGITAL CAMERA

උපේක්ෂා ලියලා තිබුණ මිතුරු තොමෝ කතාව කියෙව්වාම මට හිතුනා කාලෙක ඉඳ ලියන්න හිතාගෙන හිටපු නමුත් මේ දවස් වල ගහලා තියෙන කම්මැලි කම නිසාම ඔහේ නිකම්ම තියෙන බ්ලොග් ක‍ටුවේ මළකඩ කැඩෙන්නත් එක්කම මේක  කියලම දානවා කියලා. Read the rest of this entry »

 

ටැග: , , , , , ,

109. බාස් කතා. මේසන් බාස්.

109. බාස් කතා. මේසන් බාස්.

නිවාඩු කාලේ බාස් කතා -1 ට මෙතනින් ගියෑකි.

නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා, ‘ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ?’ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි, ‘අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං,’ කියලා.

ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.

අපේ ගෙදර සමහර බාස් වැඩ කරලා තියෙන්නෙ දීපයි මායි අපේම අත් වලින්. බාත් රූම් එකේ තාවකාලික වොෂ් බේසින් එකකුයි, ටොයිලට් එකකුයි හයි කලේ බදාම අනලා කොන්ක්‍රීට් දාලා අපි දෙන්නමයි. ඉස්සර කොන්ක්‍රීට් අනලා අමාරුවට දෙන්නම පැනඩෝල් දෙකක් බීලා තමයි නිදාගන්නෙ. අපි දෙන්නා බාස් වැඩ කලා කිව්වාම දැන් හිතන්න එපා ඒවා බාල ක්වොලිටියෙ වැඩ කියලා. අර මම කවදත් කියනවා වගේ අපි බාස්ලට වැඩිය හොඳට ඒ වගේ වැඩ කරලා තියෙනවා. හේතුව ඒවා අපේම බඩු නිසා, අර පරෙස්සමෙන්, උපරිම ප්‍රමිතියෙන්, හැකි ඉහලම අයුරින් කරන නිසායි. වංචා නොකරන නිසායි.

ඉතින් අර වොෂ් බෙසින් එකයි, ටොයිලට් එකයි (සිංහලෙන් කොමෝඩ් එකයි) කොන්ක්‍රීට් බිමට හයි කරලා තිබ්බේ මම කොළඹ ගල්වලට ගිහින් අරන් ඇවිත් තිබ්බ මල නොබැ‍ඳෙන වානේ ඇණ මුරිච්චි භාවිතා කරලා. ඒක දැක්කාම කිසි කෙනෙක් හිතුවෙ නෑ මේක අපි වගෙ ආධුනික DIY ජෝඩුවකගෙ වැඩක් කියලා.

ඕන්න මේ පාර බාස්ලා සෙට් එකක් හොයාගෙන, (ඇත්තම කිව්වොත් සෙට් දෙකක්) වැඩේ කරගෙන යනවා. හැබැයි ඇහැ ගහගෙන නොහිටියොත් බඩුම තමයි. ඔන්න අර අපි දෙන්නා හයි කරලා තිබ්බ උපාංග ගලවන එක තමයි ඉස්සෙල්ලම කලේ. වොෂ් බේසින් එක හයි කරලා තිබ්බෙ පෙඩස්ටල් එකක් උඩ. ඔන්න බේසම නම් ගැලෙව්වා මම දාලා තිබ්බ ඇණ ගලවලා, ෆ්ලෙක්සිබල් හෝස් එක බිත්තියෙන් ගලවලා. එතකොටම මට යන්න වුනා විනාඩියකට හෝ දෙකකට එලියට අර අනිත් සෙට් එක කරන්න ගිය මක බාස් වැඩක් නවත්තන්න. ආපහු එනකොට පෙඩස්ටල් එක නෑ.

“අහ්, ගැලෙව්වද බාස් උන්නැහෙ පෙඩස්ටල් එක මෙච්චර ඉක්මනට?”

“ඔව් මහත්තයා, අන්න අර කාමරෙන් ගිහින් තිබ්බා, බේසමට එහා පැත්තෙ.”

වැඩේ කරලා තියෙන හැටි මම දැක්කෙ, විනාඩි කීපයකට පස්සෙ බුවාලා තේ බොන්න ගියාමයි.

DSCN9454

මේ කරලා තියෙන්නෙ ලෙසටම!

අර මම දාපු මල නොබැ‍ඳෙන වානේ බෝල්ට් දෙක, එක්කො දැකලා නෑ, නැතිනම් ඒක කරකවන්න රෙන්ච් එකක් හොයාගන්න කම්මැලි කමට පෙඩස්ටල් එක පොලොවෙන් උදුරලා අරගෙන. අඩියෙ කෑලි දෙකක් කැඩිලා ගිහින්. ආයෙ ඉතින් ඒකෙන් වැඩක් නෑ. ඇත්තෙන්ම ඒ සෙට් එකෙන්ම වැඩක් නෑ. මම බාත් රූම් එකට දුවලා බැලුවා. යකෝ මේ තියෙන්නෙ අර ඇණ දෙක තවම කොන්ක්‍රීට් එකට හයිවෙලා පෙඩස්ටල් එකේ මුලත් එක්ක.

පස්සෙ මම බුවාලාගෙන් ඇහුවා. කොහොමද බාස් උන්නැහෙ අරක කැඩුවෙ? දැක්කෙ නැද්ද ඇණ දෙක?”

“ආහ් ඒක කැඩුනනෙ ගලවන්න ගිහින්. මහත්තයලා එකට සිමෙන්ති දාලනෙ මුලට.”

සභ්‍යත්වයේ නාමයෙන් මට හිතුන, කටට ආපු, නමුත් නොකියපු දේ මෙතන සඳහන් නොකර ඉන්න තීරණය කලා, මම.

ඒ එක සිද්ධියක්.

බාස් උන්නැහෙලා පාවිච්චි කලේ එලියෙ තිබ්බ, මම වාහනේ හෝදන්නයි ගස් වලට වතුර දාන්නයි හෝස් එකක් හයි කරලා තිබ්බ වතුර කරාමෙ. ඒකෙ අග මම හයි කරලා තිබ්බා අර වතුර පාර සීරුමාරු කරන්න පුලුවන් නොසල් එකක්. බාස් තුමාලා මුලින්ම කැඩුවෙ ඕක. මමත් හිටියා නොකර සද්ද. හවස බුවාලා ගෙදර ගියාම මම දැක්කා ටැප් එකත් කඩලා බව. ඒ කියෙන්නෙ අර ගාඩන් ටැප් කියන වර්ගයෙ අර හෝස් එකක් ගහන්න හදලා තියෙන කෑල්ල.

පහුවදා උදේ බුවාලා ආවාමවත් මම මොකුත් නොකියා ඉන්න තීරනය කලා.

ටිකකින් අත් උදව් දෙන බුවා මට කියනවා,

“සෑර්, අතෙන්ට ටැප් එකක් දාන්න වෙයි!”

“හුහ්, මට කියනවද කොහොමද ඔය ටැප් එක කැඩුවෙ කියලා.”

“ආහ්, ඒක බාස් උන්නැහේට පෑගුනානෙ, ඊයෙ නානකොට”

“මොනවා මනුස්සයො? ටැප් එක පෑගුනා?”

මටත් හිතුනෙ නෑ ටැප් එකක් දාන්න. මම ඔහෙ නිකං හිටියා.
බුවාට මුලින් හෝස් එක ගහලා වතුර ගන්න තිබිච්ච චාන්ස් එක නැති නිසා වතුර බාල්දි උස්සගෙන යනවා මම දැක්කා.

ඒ තවත් කතාවක්.

ඒ කතා දෙකම එකම වර්ගයෙනෙ, නැද්ද? “බාස් උන්නැහෙලා ඔහොම තමයි. ඒගොල්ලන්ට ගානක් නෑ ඔය වගෙ දේවල්!” ඔන්න ඔහොමනෙ අපි ඒවා සධාරණීකරණය කරන්නෙ. එහෙනම් මේන්න අහගන්න.

බාස් බුවා වැඩට එන්නෙ පල්සාර් එකක. බුවා බයික් එක නවත්තන්නෙ පාර මැද්දෙ හන්දා මම කිව්ව ඒක පඩිපෙල ලඟට දාන්න කියලා, පාර අවහිර වෙන නිසා.

දවසක් ගඩොල් ට්‍රක් එකක් ඇවිත් ගඩොල් බාන්න පඩි පෙල ලඟට රිවර්ස් කරනවා වැස්සෙම. ටිකකින් ඔන්න දොර ඇරලා ගඩොල් බානවා.

ඔන්න මේ අස්සෙ මට ට්‍රැක් පනින්න වෙනවා. අපේ ගේ හදන්න මුලින්ම අපි ගෙනාපු ගඩොල් තොගේ බාගෙට හදපු ගේ ඉස්සරහ ගොඩ ගහලා තියෙනකොට, අසල්වැසියෝ ගඩොල් පන්සීය, දාහ වගෙ ඉල්ලාගෙන ගියා එක එක හදිස්සි වලට. “අයියේ, අක්කේ, අනේ බං අර බාස්ලා ගඩොල් නැතුව වැඩේ නවත්තන්න හදන්නෙ, මට ගඩොල් පන්සීයක් දෙනවද, මගෙ ගඩොල් ලෝඩ් එක ගෙනාපු ගමන් ආපහු දෙන්නම්.” ඉතින් ඔය විදියට මගෙ ගඩොල් දෙදාස් ගානක් නොඑන ගමන් ගියා. මම ආපහු ඉල්ලන්න ගියේවත්, එතුමලා ඒවා ආපහු ගෙනත් දෙන්න හැදුවේවත් නැතිබව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

ඔන්න මේ වෙලාවෙ ඕනෙ වුනේ ගඩොල් 500ක් වගෙ සුළු ගනනක් විතරයි. ඉතින් අර කට්ටිය මාව හොයාගෙන් ඇවිත් අර ගඩොල් ආපහු දෙන්න අහන්න ඇති නේද? හෙහ් හෙහ්. මම අහන්න ගියේ නෑ. මම හාඩ්වෙයාර් එකෙන් අන්තිමට ගඩොල් ගත්තෙ. මොකද බලපු එක පෝරණුවකවත් ගඩොල් නෑ.

ඔන්න ඔය ගඩොල් ටික තමයි අර ට්‍රක් එකේ ආවේ.

ඕන්න බාස් දුවගෙන ආවා, ඇස් ලොකු කරන්.

“වැදුනද, වැදුනද?”

“මොනවද බාස් උන්නැහෙ?”

“මගෙ බයික් එකේ වැදුනද ට්‍රක් එක රිවර්ස් කරද්ද?”

“පිස්සු කතාකරනවද බාස් උන්නැහෙ? ට්‍රක් එක තියෙන්නෙ මෙතන. ඔයාගෙ බයික් එක තියෙන්නෙ අතනනෙ. අපි එච්චර පස්සට ගත්තෙ නෑ. මෙතනන ගඩොල් බාන්නෙ.”

“ඇත්තද? මම හිතුවේ වැදුනා තමයි කියලා.”

පේනවා නේද වෙනස?

ඒ කියන්නෙ බාස් උන්නැහෙලත් අපේ බඩු ගැන වගේ නෙවෙයි, තමන්ගෙ බඩු ගැන හරිම ප්‍රවේසම්, නැද්ද?

මෙන්න මම ආසම කතාව.

මීට දවසකට පස්සෙ, මම ගෙනාව යකඩ පලංචි දෙකක්, යාලුවෙක්ගෙන්. බාස් උන්නැහේලා පලංචි එකහමාරක් විතරක් පාවිච්චි කරන නිසා එක කකුලක් ඔහේ පැත්තක දාලා තිබ්බා. මම ඒක බාස් උන්නැහෙ කෙනෙකුට කිව්වා මේක උඩට දාන්න කියලා. එහෙම කියලා මමයි පුතයි පඩිපෙල දිගේ උඩට ගියා. අර බයික් එක අයිති බුවාගෙ හොඳම යාලුවෙක් වන මේ බුවා, පලංචි කකුල උස්සලා ගත්තා. අරන් රවුමක් කැරකුනා. පලංචි කකුලක් දඩාං ගාලා මොකකද වදින සද්දයක් ඇහුනත් මම ගනං ගත්තෙ නෑ.

පස්සෙ බැලින්නම් අර පොර පලංචිය වද්දලා යාලුවගෙ පල්සාර් එකේ. වයිසර් එක පුපුරලා. පෙට්‍රල් ටැංකිය එබිලා. දැන් හෙන අර්බුදයක්. ඇත්තෙන්ම ඔය පලංචිය හප්පපු බුවා හරිම අප්‍රවේසම්. ටිකකින් පොර දුවගෙන ආවා මා ලඟට.

DSC_0304“සෑර්, මාර අප්සැට් එකනෙ. අරක හදාගන්නෙ කොහොමද? මේ ලඟ තැනක් නැද්ද”

“පෙට්‍රල් ලීක් වෙනවද?

“නෑ, ඒ වුනාට අරයාට හෙන අප්සෙට්.”

මම අත්දැකීමෙන්ම දැනගත්තා මේ එන්නෙ මගේ දත ගලවන්න බව.

“මම දන්න එවුන් මෙහෙ නෑ කවුරුවත්. හිටියත් මේ වෙලාවට වහලා.”

පල්සාර් එක අයිති බුවාත් හරියට, හත්තිලව්වට ගහපු කලාබරේ වගේ මූණ හදාගෙන මා දිහා බලනවා, අරූට ගොරවනවා, ටැංකිය අතගානවා.”

“තමන් ආදරේ කරන වාහනයකට මොනවා හරි වුනාම මාර අප්සෙට් නේද?”

“ඔව් මහත්තයා.”

ඇස් යුගල් කීපයක බලාපොරොත්තුවේ එළි දැල්වුනා.

“මේ බලන්න, මම පෙන්නුවා වෑන් බොඩියෙ තියෙන පලුදු. මේක නුවර පාරෙදි එකෙක් ට්‍රැ‍ෆික් එක මැද්දෙදි කෙලලා ඇරලා. පේනවා නේද?
එතකොට මේක, මේ එක පොරක් මගෙ පාර හරහා කම්බි කණු හිටෝලා මම ඒවා අස්සෙන් රිංගන්න ගිහින්… “

අර බලාපොරොත්තුවේ එළි නිවිලා ගියා.

මට මේ ලැයිස්තුවට එකතු කරන්න තවත් එකක් පලංචිය බයික් එකේ ඇන්න බුවාම හදලා ගිහින් තියෙන බව මම දැනගත්තෙ අපි කට්ටිය රෑ යාලුවෙකුගෙ ගෙදරයන්න හදනකොට. මේකා වීල්බැරෝ එක බිත්තියට හේත්තුකරලා ගිහින් මම වාහනේ හරවාගන්න රිවර්ස් කරන බිත්ති මුල්ලෙම.

ඔබ බ්ලොගර් මිතුරෙකු නම් මගේ ඩෙනිමේ පළවූ මුල් ලිපියට මෙතනින්.

 

ටැග: , , , ,

108. බාස් කතා / ගරාජ් බාස්.

108. බාස් කතා / ගරාජ් බාස්.

කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.

ඒත් මුලින්ම ‘ගරාජ් බාස්’.

ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ ‘පවර් ස්ටියරින් ‍රැක්’ එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක. මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, ‘ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,’ කියලා හිතාගෙන.

“මේකට මහත්තයෝ ‍රැක් එක දාන්න වෙනවා,” කිව්වාම මම ගල් වුනා.

හරි, ඉතින් ‍සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.

ඔය වගෙ ගැජට් එකක් දැම්මාම අනිවා වාහනේක අලයින්මන්ට් ආපහු තියන්න ඕනෙ. අලයින්මන්ට් කියන්නෙ ඉස්සරහ රෝද දෙක තියෙන්න ඕනෙ කෝණ කීපයක්. මේවා කැස්ටර්, කෑම්බර්, ටෝ ඉන් කියලා තුන් ආකාරයි. ඕක වැරදුනාම ටයර් වල පැත්තක් අධික වේගයෙන් ගෙවී යාම, වේගයෙන් ධාවනය කිරීමේදී පාලනය අපහසු වීම, වගෙ විවිධ රෝගාබාධ හැදෙනවා.

අර ගැජට් එක හයි කරලා ඉවරවෙනකොට රෑ වේගන ආපු නිසා මම ටිකක් අප්සෙට් ගහලා හිටියෙ, අලයින්මන්ට් තියන වර්ක්ෂොප් එක වැහැව්වොත් කියලා, මොකද පහුවදා ගල් පාන්දර දඹුල්ලට යන්න යෙදිලා තිබ්බ නිසා අලයින්මන්ට් තියන්න බැරිවේවි කියලා. එතකොටම අර මගෙ බාස් උන්නැහෙ බුවා කිව්වා, ‘අන්න අහවල් සුලුනගරෙ තියෙනවා අලුත් තැනක්, ගිහින් බලන්නකො නියමෙට කරනවලු’, කියලා.

මාත් අර මම වෙනදට යන තැන බලා වේගයෙන් ගමන් කරද්දි, අර කියපු සුලු නගරෙ පහුවෙනකොට වෙලාව හයත් පහුවෙලා තිබ්බ නිසාත්, අර කිව්ව අලුත් තැන තවමත් ඇරලා තිබ්බ එතැනට ගියා කොහොමද කියලා බලන්නත් එක්ක.

වාහනේ වලට දාලා, කම්පියුටරේට සම්බන්ධ කලා. නමුත් කම්පියුටරේ වැඩ සටහන තෝරන්නෙ අලයින්මන්ට් තියන බුවා නෙවෙයි, සමහර විට හතර, නැතිනම් පහ වසරෙ ඉගෙනගන්න බුවාගෙ පුත්තරයා. අනික මේකෙ අලයින්මන්ට් තියන්න මේ බුවා වැඩි දෙයක් කලෙත් නෑ, ‘කැස්ටර් කැම්බර් නම් හරි, තියන්න ඕනෙ නෑ,’ කියලා පොර කිව්වා. කොහොම හරි බුවා අලයින්මන්ට් තියන ගමන්ම ටයර් කඩේට දුවනවා, ටයර් එකක් විකුණන්න හරි, ගණං කියන්න හරි. ඊට පස්සෙ ආපහු දුවගෙන ඇවිත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙම දුවනවා පැච් එකක් දානවා. ඔන්න ඔය විදියට බුවා අලයින්මන්ට් තියලා රුපියල් අටසිය පනහක ගාස්තුවක් අය කරලා, මාස කීපයක වගකීමකුත් එක්ක මට සහතිකේකුත් නිකුත් කලත්, මට මේ අලයින්මන්ට් තිබිල්ල නම් ඇල්ලුවෙම නෑ.

මට පුදුම හිතුනෙ මේ බුවාට ස්ටියරිං වීල් එක ගලවාගන්න බැරි වෙච්ච එකයි. (අලයින්මන්ට් තිබ්බාම ස්ටියරිං වීල් එක කෙලින් තියෙන්න ගලවලා ආපහු හයි කරනවා නියම අතට.)

මේ බුවා නට් එක ගලවලා ස්ටියරිං වීල් එකට දෝයි දෝයි ගාලා ගහලා ගහලා, පස්සෙ එතනට ආපු යාලුවෙකුටත් කියලා, ඒ බුවත් තවත් ටිකක් පතබෑවත් ස්ටියරිං එක ගැලවුනේ නෑ. පස්සෙ මේකා කිව්වනෙ, ‘අනේ ආපහු ගරාජ් එකට ගිහින් මේක ගලවා ගන්න,’ කියලා.

පස්සෙ ගරාජ් එකට ගියාම බුවා අර පැය කීපයකට කලින් මට නිර්දේශ කරපු අලයින්මන්ට් බාස්ගෙ මව්ගුන වයලා එක පාරින්ම (වන් ෂොට්) වීල් එක ගැලෙව්වා.

පහුවදා ගල්පාන්දර දඹුල්ලට ගිහින් ගෙදර ආවා පට්ට පාන්දර.

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

දවස් කීපයකට පස්සෙ මම අර මගෙ සුපුරුදු අලයින්මන්ට් තියන බුවා හම්බවෙලා කතාව කියලා දැම්මා අලයින්මන්ට් චෙක් කරන්න වලට. පොර වලට බැහැලා දිග ලීවරයක් අරගෙන එහෙට මෙහෙට ඇනලා පෙන්නුවා මට.

අයියෙ ලෝවර් සස්පෙන්ෂන් ආම් බුෂ් එක ගිහින්. මේ!
ආයෙම ඇන්න ලීවරෙන්.

අයියෙ, ටයි බාර් බුෂ් ගිහින්, මේ!

“එතකොට මල්ලි ඒවා ගහන්නෙ නැතුව අලයින්මන්ට් තියන්න බෑ නේද?”

“බෑ අයියෙ, ගිහින් මේ බුෂ් ටික ගහගෙනම එන්නකො.

මාත් ඉතින් ගිහින් බුෂ් ගහගෙන පහුවදා ආවා.

DSC_0199

පොර රුපියල් හත්සිය පනහකට එළකිරි වගෙ අලයින්මන්ට් තිබ්බා. ඇත්තටම මේ බුවා නියම ප්‍රොෆෙෂනල් වැඩ්ඩෙක්. පාවිච්චි කලෙත් ඉතාලියේ නිශ්පාදිත අලුත්ම පරිගණක පද්ධතියක් සහ වැඩ සටහනක්.

පළවෙනි ප්‍රශ්ණය: මේකට ඔය කිට්‍ටුවම තියෙන පවර් ස්ටියරිං ‍රැක් එක දාන්න යට රිංගපු වෙලේ බාස් උන්නැහේ ඔය බුෂ් ටික නොදැක්කෙ ඇයි?

දෙවෙනි ප්‍රශ්ණය: ඇත්තෙන්ම ගලවලා බැලුවාම ගන්නම දෙයක් නැති, මේ බුෂ් ටික දාන්නෙ නැතිව අලයින්මන්ට් තියන්න බැරිනම් අර යක්සයා අලයින්මන්ට් තියලා මට මාස මාස කීයකද වගකීමකුත් එක්ක සහතිකයක් නිකුත් කලේ කොහොමද?

ප ලි: මේ පින්තූරවල තියෙන්නෙ අර ප්‍රොෆෙෂනල් අලයින්මන්ට් බුවාගෙ වර්ක්ෂොප් එක.

ප. ප. ලි.
මේ ලිපිය මුල් වරට පල වුනාම ඇනෝ හිතවතෙක් අහලා තිබුනා එයා බෑග් තියෙන ස්ටියරිං වීල් ගලවන්නෙ කොහොමද මේ වෙලාවට කියලා. ඒ ප්‍රශ්ණයත්, ඒකට මම දීපු පිළිතුරත් මෙතන දාන්නෙ ඒකත් වැදගත් ප්‍රශ්ණයක් නිසා.

  1. Henry
    I can’t understand one thing.As far as I know no need to remove the steering wheel to centre it.Think about a new car with an Air bag.It is a somewhat hard to remove the wheel as first you have to isolate air bag and then after reinstalled it to the safety computer.Can’t do all these without a scanner or proper analyser.

    ReplyDelete

  2. Hi Anonymous. Thanks for the comment. It is like this. The alignment program, at one point displays the on screen message “Now straighten the steering wheel” or something similar to that. The alignment dudes ignore this. When I asked the more experienced dude why won’t he follow that, he said the older vehicles have too much play in the steering system that it won’t really do the trick. And that really would work with the latest vehicles with airbags,” he added.
    I think in the vehicles like that simply straightening the steering wheel would do the trick.

    මෙම ලිපිය මුල් වරට මගේ ඩෙනිමේ පළවූවකි.

 

ටැග: , , , , ,

107. අහසයි, පොළවයි.

107. අහසයි, පොළවයි.

මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා. මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

සරසවි ටෙක්ස්ටයිල්ස් ගැන මගෙ මුල්ම මතකය රෝහල ඉදිරිපිට තිබුන පැරණි අබලන් ගොඩනැගිල්ලෙ, කුඩා කඩ කාමරයක පවත්වාගෙන ගිය, තවත් පොඩි ව්‍යාපාරයක් හැටියට විතරයි. නමටම ගැලපෙන්න මුලින්ම ප්‍රධාන වශයෙන් කෙරුනෙ රෙදි වෙලඳාම වුනත්, පසුව අනිකුත් අංශ වලටත් පුලුල් වුනා.

DSCN0731

සාප්පුව අයිතිකරුට මම දන්න දා ඉඳන්ම කතාකලේ ධනපාල අයියා කියලා. ධනපාල අයියගෙ සාප්පුවට පාරිභෝගිකයො ආකර්ෂණය වෙන්න හේතු කීපයක්ම තිබුනත්, මම හිතන විදියට මේවයි ප්‍රභලම ඒව.

ධනපල අයියා, තරාතිරම නොබලා සාප්පුවට එන කාටත් ‘මහත්තයා’, ‘නෝනා මහත්තයා’ වගේ ‘නම්බුකාර වචනවලින්’ ඇමතුවා විතරක් නෙවෙයි, තමන්ගෙ සේවකයිනුත් එහෙම කරනවද කියලා සෙවිල්ලෙන් හිටියා.

ඒ වගෙම කිසිම පාරිභෝගිකයෙක්ට තමන්ව නොසලකා හරින බවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ, අර අද සමහර සාප්පුවල වගේ සේවකයන්ට පාරිභෝගිකයා පස්සෙන්ම ලුහු බඳිමින් මහාම හිරිහැරයක් වෙන්න පුරුදු කරලා තිබුනය කියලා

ඒ වගෙම හැම භාණ්ඩෙකටම මොනයම් හෝ වට්ටමක් ලැබෙන බව පාරිභෝගිකයට වැටහෙන්න ඇරලා තිබුනා. හැම විටම භාණ්ඩෙ සඳහන් කල මිලට වඩා කීයක් හෝ අඩුවෙන් තමයි අය කලේ.

ඒ ඔක්කෝටම වඩා, සරසවියෙ (මිනිස්සු සරසවි ටෙක්ස්ටයිල්ස් හැඳින්නුවෙ එහෙමයි) තිබුනා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්. එදා ඉඳන්ම. ධනපාල අයියා මේක පටන් ගත්තෙ, අද ඔය මෙගා සාප්පු වල ඔය ක්‍රමය පටන් ගන්න හුඟ කාලෙකට කලින්.

නමුත්, මම ධනපාල අයියගෙ සරසවියෙ යාව ජීව පාරිභෝගිකයෙක් වුනේ ඔය එක හේතුවක් හන්දාවත් නෙවෙයි. අද එයාටවත් මතක ඇති කියලා මම නොහිතන ‘සුලු’ හේතුවක් නිසයි.

වරක් මම ඔතනින් ගත්තා වෝටර් හීටර් එකක්. (ගිල්ලුම් ජල තාපකයක් කිව්වාම සැර වැඩියි කියලා හිතුනා.) මම මේක ගන්නකොටම ධනපාල අයියා කිව්වා මේකට වගකීමේ සහතිකයක් නම් නැති බව. නමුත් මගෙ ආර්ථික මට්ටමට ඔරොත්තු දෙනවා වගේ පෙනුනේ ඒක විතරක් හන්දා මම හීටරය මිලදී ගත්තා අර සුපුරුදු වට්ටමත් එක්කම.

මම බොහොම සතුටින් හීටරය ගෙදර ගෙනාවත් ඒ සතුට ‍රැඳුනේ එක දවසක් පමණයි. හීටරය පහුවදාම ක්‍රියා විරහිත වුනා. වගකීමක් නැති කතාව මතක් වුනා වුනත්, මම කොයිකටත් කියලා ගිහින් ධනපාල අයියට සිද්ධිය කිව්වා. යටිතොල හපමින් මඳක් කල්පනා කල ධනපාල අයියා මෙහෙම කිව්වා.

“මහත්තයට කිව්වා වගේම ඕකට වොරන්ටියක් නම් නෑ. ඒ වුනත් මේක මහත්තයට ලොකු පාඩුවක් නේ? අපි මෙහෙම කරමු. අපි පාඩුව සීයට පනහ – පනහ බෙදාගම්මු .”

ලාච්චුව ඇරපු ධනපාල අයියා හරියටම හීටරයේ වටිනාකමින් සීයට පනහක් මට ආපසු ගෙව්වා. මගෙ ආර්ථිකේ හැටියට ඒකත් මට ලොකු සහනයක් වුනා ඒ වෙලාවෙ.

ධනපාල අයියගෙ මේ ‘ක්‍රියාවෙ’ ප්‍රතිඵලය වුනේ, මම ඔහුගෙ යාවජීව පාරිභෝගිකයෙක් වීමයි. ධනපාල අයියා එදා මට ගෙවපු ‘සුලු මුදල’ ඇත්තෙන්ම මාව ඔහුගෙ ව්‍යාපාරයට පෙරලා ආකර්ෂනය කරගන්න කෙරුනු ආයෝජනයක් වුනා. ඔහුගෙ ඒ යහපත් ආකල්පය නිසා සරසවිය ගැන මගෙ හිතේ පෙරලා ඇතිවුනේ යහපත් ආකල්පයක්. ඒ වගේම ඔහු මා කෙරේ තැබූ විශ්වාසයත් පෙරලා ඔහු කෙරේ තබන්න මම පසුබට වෙන්නෙ නැති බව ඔහු දැන ඉන්න ඇති. මෙතන ඇත්තෙන්ම තියෙන්නෙ මුදල පිළිබඳ කතාවක් නෙවෙයි. .. මේක දක්ෂ ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරික ඥානය භාවිතා කරපු තවත් එක අවස්ථාවක් විතරයි.

අද සරසවිය, පිහිටලා තියෙන්නෙ නගර මධ්‍යයේ, මම හිතන විදියට ඔහුටම අයත් තට්‍ටු කීපයකින් යුත් විශාල ගොඩනැගිල්ලක.

ඔහුට ඒ හැම දෙයක්ම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මට මේ පහුගිය නිවාඩුවෙත් ඔහු මුණ ගැහුනා. ඔහුගෙ මා නොදකින පැති ඇති. සමහරුන්ට ඔහු ගැන වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. නමුත්, මේ මා ඔහුව දකින විදිය. ධනපාල අයියට මගේ සුභ පැතුම්!

මේ වගෙ සුලු සිද්ධියක් අල්ලාගෙන, මම කෙන්ද කන්ද කරගෙන දඟලන්නෙ ඇයි කියලා දැන් ඔබ කල්පනා කරනවා නම්, මම ඊ ලඟට කියන්න යන සිද්ධිය කියවලා බලලම ඉන්න.

හැම බඩුවක්ම අසාධාරණ ගනන් වලට මිල නියමවුනු මේ විදෙස් රටේ, අපි බඩු ගන්න පුරුදු වෙලා හිටපු එක්තරා සාප්පුවක් තිබුනා. එළවලු කිලෝවක් සාමාන්‍යයෙන් ලංකාවෙ මිල වගේ පස් හය ගුණයක් වෙන එක මෙහෙ සාමාන්‍ය දෙයක්. මේ සාප්පුවෙ නිත්‍ය පාරිභෝගිකයෝ වෙලා හිටි අපි, ඔවුන්ට ඉතා හොඳ ආදායම් මාර්ගයක් වෙලයි තිබුනෙ. අපි, පලතුරු, එළවලු, කුලුබඩු, සහ අනිකුත් සියලුම සිල්ලර බඩු මේ සාප්පුවන් මිලට ගත් නිසා අපෙන් ශ්‍රී ලංකාවෙ මුදලින් රුපියල් 30,000 – 40,000ත් අතර මුදලක් මසකට මේ සාප්පුවට ලැබුනා.

එදත්, අපි සාප්පුවෙ බඩු ‍තෝරමින් සිටින විට එවකට අට හැවිරිදි වියේ පසුවූ අපේ චූටි පුතා සුපුරුදු ලෙස රාක්ක වල ඇති සෙල්ලම් බඩු පරීක්ෂා කරමින් අනිත් පැත්තේ සිටියා.

D

ටිකකින් සාප්පු හිමියා අපි දෙසට වේගයෙන් ඇවිද ගෙන ආවේ චූටි පුතාව උරහිසින් අල්ලාගෙන හරියට අපරාධකාරයෙක් වගේ.

“මෙයා මේ ටෝර්ච් එක වට්ටලා කැඩුවා,” ඔහු බයිසිකලයකට සවිකල හැකි කුඩා විදුලි පන්දමක් පෙන්වමින් කිව්වා. කිව්වත් වගේම ඒකෙ වීදුරුව ගැලවිලා ඇවිත් තිබුනා. අපේ චූටි පුතා අපි දෙස බලාගන හිටියෙ බියපත් වෙලා.

කිසි කෙනෙක් මගෙ දරුවෙකුට මේ අයුරින් සලකනවා ඉවසාගෙන සිටීමේ හැකියාවක් කවදටත් නොතිබුන මට මාරාවේෂ වුනා.

“ඔක්කොටම ඉස්සෙල්ලා අතාරිනවා ළමයව. අල්ලන්නෙ හෙම නෑ එයාව.” මම තදින් කිව්වා.

ඔහු වහාම චූටි පුතාගෙ කමිසය අතහැරියා.

“කීයද ඔය ටෝච් එක”

ඔහු ගාන කිව්වා. ඒක ආසන්න වශයෙන් රුපියල් හතලිස් පහක් ඇති.

මම පසුම්බිය ඇදලා ඒ මුදල ගැලපෙන නෝට්‍ටුවක් අරන් මිනිහට දුන්නා.

“මෙන්න තමුසෙගෙ සල්ලි. ඕක බින්දට මගෙ ලමයට අත තිබ්බ එක වැරදියි. ඕක මට කිව්වා නම් ඉවරයිනෙ. අනික ඒක වුනේ වැරදීමකින්. කිසි කෙනෙක් අපේ දරුවෙකුගෙ ඇඟට අත තියන්න ඕනෙ නෑ.”

“ඔ…ඔව්. ඒ වුනාට… එයා ඒක කැඩුවනෙ.”

“හරි, ඒකෙ අලාබෙ තමයි දැන් මම ගෙව්වෙ. දැන් ඔය ටෝච් එකත් මෙහාට දෙනවා.”

ඉන් පසු, අපි ‍තෝරාගෙන තිබූ හැමදේම ඒ ඒ තැන්වලම අතහැර අපි සාප්පුවෙන් ආවා.

“ඇයි? අද මේ එළවලු ගන්නෙ නැද්ද?” අයිතිකරු විමතියෙන් ඇසුවා.

“නෑ. අදහස වෙනස් කලා. අපි යනවා.”

ගෙදර යන ගමන්, මට මේ වගෙ තකතීරු වැඩක් හීනෙකින්වත් කරාවි කියලා මම නොහිතන ධනපාල අයියාව මතක් වුනා.

ඒ සිද්ධියෙන් පස්සෙ අපි ඒ සාප්පුව පලාතේ ගියේ නෑ. තනිකරම වර්ජනය කලා.

රුපියල් හතලිස් පහකට මේ අමනයා නැතිකර ගත්ත නිධානය අපි නිකමට ගනං හදලා බැලුවොත්… ගාණ හදාගන්න පහසුවට අපි මාසෙක ආදායම 35,000 හැටියට ගනන් අරගෙන ඒක අපි ඉන්න මාස 10.5න් වැඩි කරලා අවුරුදු 7නුත් වැඩි කලාම, මට උත්තරය රු.2,572,500.00 ක් ආවා. මේ මුදලේ බාල්දුවීම, ජීවන වියදම වැඩිවීම හෙම නොසලකා.

පාරිභෝගිකයෙකුගෙ දරුවෙකුට නරක විදියට සලකලා හිත රිදවීමට ගෙවන්න සිදුවුන, තවමත් ගෙවන ඒ වන්දියත් නරක නෑ නේද?

ඔහුට ඒ දඬුවම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මෙම ලිපිය මුල් වරට Two Businessmen And What They Deserve” යන මාතෘකාවෙන් HeyDude බ්ලොග් අඩවියේ, ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

බ්ලොගර් හිතවතුන්ගේ පහසුව සඳහා මේ ලිපිය මගේ ඩෙනිමේද පළකර ඇත.

 

ටැග: , ,

99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

99. හෙට දීගෙක යන නුඹ මට specifications දීලා…

අද භාරත් ගෙදර ගියා.

ආයෙ අපි කිසිදා මුන ගැහෙන එකක් නෑ බොහෝවිට, මූණු පොතෙන් හෝ ඊයකින් හැර.

ඇත්තෙන්ම කඩවසම් පෙනුමක් තියෙන, අඩි හයයි අඟලක් විතර උස, ඉන්දියාවෙ නව දිල්ලියෙන් ආපු  භාරත්, අපේ පාසැලේ පරිඝනක විද්‍යා ගුරුවරයා.  පරිඝනක තාක්ෂනය පාසැලේ වැඩ වලට උපරිමයෙන් යොදා ගන්නා මේ රටේ, පාසැල් වල වාර විභාගවල ලකුණු සටහන්, එතකොට ප්‍රගති වාර්තා සම්පූර්ණයෙන්ම පරිඝනක ගත කරලා තියෙන නිසා, ඉගැන්වීමට අමතරව, භාරත්ට නිතරම ඔය  Excel  worksheet වලින් ඒවා නිර්මාණය කරලා පවත්වාගෙන යාමේ වගකීමත් පැවරිලා තිබුනා.

කැමති වුනත් නැති වුනත්, අනිත් ඉන්දියානුවන්ට ඉංග්‍රීසියෙන් කතා කරන්න භාරත්ට සිදධ වුනේ, මෙතන බහුතරය වන කේරල වැසියන් හින්දි විරෝධී වීමත් ඒවාගේම හින්දි දැන නොසිටීමත්, භාරත් මලයාලම් නොදැනීමත්  යන සරල හේතුව නිසායි.

ගුරු විවේකාගාරයේදී, දීපාටත්, මටත් මුහුණ ලා ඉදිරියෙන් වාඩිවීමට පුරුදු වී සිටි භාරත්, ටික දවසකින් එතැන අතහැර දමා මගේ අසලට සංක්‍රමණය වුනේ, ඇතැම් කේරලයින් සමග ඇතිවූ සුලු සුලු ගැ‍ටුම් මත බව මම දැන හිටියා. මුලින්ම, බුවා මා ලඟට පැමිනීම ගැන මම එතරම් සතුටකින් නොහිටියේ, මේ ඉන්දියානුවන්ගේ සහජ ලක්ෂණයක් වූ අනිකාගේ පෞද්ගලිකත්වය තුට්‍ටුවකට නොසැලකීමේ ගතියට දීපාත් මමත්  අසාත්මිකතාවයක් දැක්වූ නිසයි.

උදාහරණයක් විදියට, දීපා පරිඝනකයේ Yahoo Mail පි‍ටුව ඇරගෙන, අපේ කෙල්ල එවූ ලිපියක් කියනවිට හෝ ඇයට  පිළිතුරක් ලියනවිට, අසල සිටින ඉන්දියානුවන් එක වරම, “දීපා මෑම්, ‘අම්මා’ කියන්නෙ මදර් කියන එකද සිංහලෙන්?” වැනි ප්‍රශ්නයක් ඇසූ විටයි ඇය දැනගන්නෙ, මෙපමණ වෙලා මොවුන් ලඟම ඉඳගෙන අර ලිපිය කියවමින් ඉඳ ඇති බවට.

“මේ යක්කු අනුන්ගෙ ලියුම් හොරෙන් කියවනවා  මදිවට අමාරු වචනවල තේරුමත් අහනවනෙ යකෝ!” මගෙ කටින් නිතර කියවිච්ච වචන පේලියක්.

මම ඉන්දියානුවන් ආශ්‍රය කිරීමට පෙර Height of Rudeness ලැයිස්තුවේ ඉහලින්ම තිබුනේ,  උදේ පාන්දරම කෙනෙක්ගෙ ගෙදරට ඇතුල්වෙන පඩිය මත මළපහ කර, දොරට තට්‍ටුවක් දමා නිවැසියන් අවදි කරවා, පස්ස සෝදා ගැනීමට වතුර ඉල්ලීමයි. දැන් නම් මට ඒ ගැන එච්චරම විශ්වාසයක් නැති වේගනයි එන්නෙ. අද උදේට කෑවෙ මොනවද යයි ඔවුන් අපෙන් අසන්නෙ හරිම අහිංසක විදියට. ලංකාවේ ඒ ප්‍රශ්ණය ආචාරශීලී නොවන ප්‍රශ්නයක් බව මා කියූ විට ඔවුන් පුදුම වුනා.

භාරත්ගෙ එක්තරා නිලනොවන රාජකාරියක් වුනේ, පාසලේ වයි ෆයි සබඳතාවය ගුරු මණ්ඩලයේ පෞද්ගලික ලැප්ටොප් පරිඝනක වලට ලබාදීමට මුරපද සහ වෙනත් සැකසුම් කරදීමයි. මේ නිසා  ලැප්ටොප් උස්සාගත් ගුරුවර, ගුරුවරියෝ භාරත් අසල නිතරම ගැවසුනා.

මට කීමට  අමතක වූ දෙයක්නම්  මෙහි හැම ගුරුවරයෙකුටම වාගේ ලැප්ටොප් පරිඝනක ඇති අතර මේ පාසැලේ හැම පන්ති කාමරයකම ඒවා සම්බන්ධ කිරීමට විශාල LCD තිරයක්ද සුදු ලෑල්ලට ඉහලින් බිත්තියේ සවිකර ඇති අතර ගුරුකාමරයේ සියලුමමේස වලට විදුලි පේනු සවිකර වයි ෆයි සබඳතාවයක්ද ලබා දී ඇති බවයි. (ඔව්, යූ බටය අවහිර කරලා තමයි තියෙන්නෙ. රතු?? මගුලක් කතා කරනවා!)

ඔන්න එදත් ලැප්ටොප් එකේ ඇති යම් කිසි අවුලක් ගැන කතා කරගන්න එක් දේශීය ගුරුවරියක් භාරත් ලඟින් වාඩි වුනා.

මම මේ කතාවලට කොහෙත්ම කන් නොදුන්නත්, එදා සමහර ප්‍රශ්ණ මා එල්ල කරගෙන ඇසූ නිසා මට කරමින් සිටි වැඩය අතරතුරදීත් මේ කතාවට එක් කනක් යොමු කරගෙන ඉන්න සිද්ද වුනා.

අර ගුරුවරිය අලුත් ලැප්ටොප් එකක් මිලදී ගන්න භාරත්ගෙන් උපදෙස් පතනවා.

“ඕක eBay එකෙන් කරගන්න පුලුවන්නෙ, මෑම්” භාරත් කිව්වා.

(ඉන්දියානුවන්ගෙ තියෙන තව ලක්ෂනයක් තමයි ඕනෑම කෙනෙකුට ‘සර්’ හෝ ‘මෑම්’ කියා ඇමතීම. මේ වචනෙ කිසිම ගෞරවයක් අදහස් නොවන,  හුදෙක් ආමන්ත්‍රණ පදයක්  පමනක් බව මම හිතන්නෙ ඔවුන් මෙය  කොල්ලටයි, බල්ලටයි හැමෝටම ආමන්ත්‍රණය කිරීම සඳහා යොදා ගැනීම නිසයි.)

ආපහු කතාවට.

“මම කල්පනා කලේ මාලෙන් ගන්න. ඒක ලේසියි,” ගුරුවරිය කිව්වා.

මම නම් මෙහෙන් බඩු ගන්න අකමැති මෙහෙන් ගන්න හුඟක් බඩුවල වගකීමේ ප්‍රතිපත්තිය ගැන මගේ ඇති අප්‍රසාදය නිසයි.

“අයියෝ මෙහෙන් ගන්න එපා අප්පා වොරන්ටි නෑනේ, නේද හෙන්රි සර්,” හරියටම භාරත්ට මගෙ සිතුවිලි දනුන නිසාදෝ මගෙන් ඇහුවා.

“ඒකනම් ඇත්ත.” මම සම්මාදම් වුනා.

“මේකෙත් අප්සෙට් එකක් ගියේ නෑනෙ,”. ඇය තමා අත වූ ලැපිය පෙන්වමින් කිව්වා. “මොකුත් අප්සෙට් එකක් වෙන එකක් නෑ. මම මාලෙන්ම ගන්නවා ඒක ලේසියි.”

“හා හා එහෙම කියන්න එපා මෑම්. ඕනෙම බඩුවක් ගන්නකොට බලන්න වොරන්ටිය තියෙයිද කියලා. අඩුම ගානෙ අවුරුද්දක්වත්. මම නම් එහෙමයි.”

“මොනවද හොඳ බ්‍රෑන්ඩ්?”

“hp හොඳයි, නේද හෙන්රි සර්. ඔය මේකත් hp එකක්නෙ,” භාරත් මගෙ පරිඝනකය පෙන්නමින් කිව්වා. “තව Compaq, Dell, Sony මේ, මගෙ එකත් SONY VAIOනෙ. මේකත් හොඳයි.”

“Acer  වරදක් නෑනෙ. මේ මේකත් Acerනෙ,” ගුරුවරිය ඇයගෙ පරිඝනකය පෙන්නමින් කිව්වා.

“ම්ම්ම්… වරදක්ම නෑ.  ඔව් ඔය බ්‍රෑන්ඩ් එකේ ගානත් අඩුයි අනික්වට වඩා.” බුවා එකඟවුනා.

“හාඩ් ඩිස්ක් ඩ්‍රයිව් එක අඩුම ගානෙ 500GB වත් වෙන එකක් ගන්න.  ඔය ටෙරාබයිට් ගනන් ඒවත් තියෙන්නෙ දැන්. රෑම් එක 4GB වත් වුනොත් 64 බිට් කම්පැටිබල්. “

“වෙන?”

“ගන්නවත් වෙලා Core i7 processor එකකටම යන්න මොකද මාස හයෙන් යල් පනින තාක්ෂනයක්නෙ මේක.”

“එච්චරයිද?”

“බලන්න genuine Windows දෙනවද කියලා. මෙතන ස්ටිකර් එකක් තියෙන්නෙ ඕනෙ මේවගෙ” බුවා ලැප්ටොප් එක උස්සලා යට පැත්ත පෙන්නලා කිව්වා.

“හ්ම්ම්… හ්ම්ම්… හ්ම්ම්…” ගුරුවරියත් ස්ටිකර් එක අතගාලත් බැලුවා.

“තව බලන්න බැටරි ලයිෆ් කොහොමද කියලා. අනික බර. සැහැල්ලු එකක් ගන්න.”

ඔය වගෙ බුවා දිග විස්තරයක් කලා. මම කණ ආපහු අරන් සම්පූර්ණයෙන්ම වගේ මගෙ වැඩේට යොමු කල නිසා එතනින් එහාට මට ඇහුනෙ අතරින් පතර .

…NVIDIA or  AMD graphic card…blah blah blah…
…USB 3 ports… blah blah blah…
…HDMI…  blah blah blah…
…multi card reader blah blah blah…

ටිකකින් විවේක කාලය පටන් ගත් නිසා අපි ගුරු කාමරයත්, සුපවයිසර් කාමරයත් අතර තිබූ පැන්ට්‍රියට ගියා තේ බොන්න. මම විදුලි කේතලයට වතුර පුරවා විදුලි පේනුවට සම්බන්ධ කලා. අපේ කෑම පෙට්ටියත් බෑග් එකෙන් ගෙනැවිත් කෑම මේසය මත තැබූ මම කෝපි වලට සීනිත්, ක්ෂණික කෝපිත් මගේ ලොකරයෙන් අරන් ආවා. එතකොටම පන්තියක සිට ආ දීපා, කෝප්ප දෙකක් සෝදා කෝපි හදන්නට ලක ලැහැස්ති වුනා. ඉන් පස්සෙ කෑම මේසෙ කොනක ඉඳගත් අපි දෙන්නා එදා ගෙනැවිත් තිබූ සැන්විච් ටෝස්ට් වලට දෂ්ඨ කරන්න පටන් ගත්තා.

භාරතුත් තමාගෙ කෑමත් අරන් ලෑස්ති වුනා මේසෙ අනිත් පැත්තෙ ඉඳගෙන.

“මම දෙසැම්බර් බඳින්න ඉන්නෙ මෑම්.”

“හයියෝ ඌත් ඉවරයි. මොනවා හරි වෙන්න තියෙනවනම් වලක්වන්න බෑ,”මම කිව්වා.

භාරත් ඇස්දෙක පුංචි කරන් බෙල්ල ඇල කරන් මං දිහා ටික වෙලා බලා ඉන්නකොට දීපා කිව්වා,

“ෂා නියමයිනෙ භාරත්. මේ හෙන්රි විහිලුවට කියන්නෙ. ගනං ගන්න එපා.”

ඔන්න පොර හිනාවෙන්න ගත්තා. ඔය ඉන්දියානුවන්ගෙ (අපිට මුන ගැහෙන) sense of humor අහවල් එක නම් ඔය ජාතියෙම තමයි. මම විහිලු කරන්නෙම නැතිතරම්.

ඔන්න දීපා දැන් විස්තර අහනවා. ඉන්දියාවට ආවේනික ක්‍රමයට අනුව මේක ප්‍රේම විවාහයක් නෙවෙයිලු. යෝජනාවක්ලු.

“ලංකාවෙ එහෙම නෙවෙයිද?” භාරත්ට දැනගන්න ඕනෙ වුනා.

“අපෝ නෑ. ප්‍රේම විවාහ තමයි වැඩිම. උදාහරණයක් විදියට භාරත්, මමයි දීපායි ලව් කරලා බැන්දෙ. මගෙ සහෝදරයා, එතකොට සහෝදරී, ලව් කරලා බැන්දෙ. එතකොට දීපගෙ සහෝදර සහෝදරයො ඔක්කොම ලව් කරලා බැන්දෙ. එතකොට දීපගෙ අම්මයි, තාත්තයි ලව් කරලා බැන්දෙ. මගෙ අම්මයි, තාත්තයි ලව් කරලා බැන්දෙ.” (මේක සහතික ඇත්ත.)

භාරත්ගෙ ඇස් දෙක හීනි වෙලා, පස්සෙ ටොනික් පියනක  ප්‍රමාණයට ලොකු වෙලා,  තව ටිකකින් යෝගට් පියනක ප්‍රමානයත් ඉක්මවලා, පීරිසියක ප්‍රමාණයට එනකොට, මම නැවැත්තුවා. කට ඇරිලා එල්ලෙනවා.

“මාත් හරි කැමතියි ඒ ක්‍රමේට. නමුත් ඉන්දියාවෙ ඔක්කොම වගෙ තියෙන්නෙ arranged marriages තමයි.”

“දැන් දෙසැම්බර් වල ගිහින් බඳින්න භාරත්ට කෙල්ලක් ඉන්නවද?”

“නෑ සර්, මම අම්මලට බාර දීලා ආවේ හොයලා තියන්න කියලා.”

“මොනවා? ඒ කියන්නෙ මේ දෙසැම්බර් ගියාම, අම්මලා හොයලා තියන, තමන් ජීවිතේට දැකලා නැති ගෑණියෙක්ව බැඳ ගන්නවා!!!”

“ඔව් සර්,” මේකා හිනාවෙලා කිව්වා.

“ඉතින් මනුස්සයො අම්මලා හොයලා තිබ්බට… මේ.. මේ..මේ..තමන්ට ගැලපෙනවද කියලා  කොහොමද දන්නෙ?”

“අම්මලා ඒවා හොයලා බලනවා.”

“යකෝ ඉතින් අම්මලා හොයලා බැලුවට, මේ ගෑණියෙක් නේද ගන්නෙ? බැරි වෙලාවත් යකෙක් හෙම වුනොත්?”

භාරත් හොඳටම හිනාවුනා.

“එහෙම වෙන්නෙ නෑ.”

“හරි දැන් උදේ ලැප්ටොප් එකක් ගන්නකොට  බලන්න ඕනෙ ස්පෙක්ස් හෙන තොගයක් කිව්වනෙ අර අහවලීට.   500GB හාඩ් ඩිස්ක්ද්, 4GB රෑම්ද, අරකද, මේකද. දැන් මේ ගෑණි ගන්න කොට මොනවද බලන්න ඕනෙ ස්පෙක්ස්?  එහෙම මොකුත් තියෙනවද, අඩුම ගානෙ?” මම ඇහුවෙ ඉවසන්නම බැරුව.

“ඔව් සර්.” ඔන්න මේකාගෙ මූණට බැරෑරුම් පෙනුමක් ආවා.

“ඩිග්‍රී එකක් තියෙන්න ඕනෙ. අඩුම ගානෙ ෆස්ට් ඩිග්‍රී එකක් වත්.”

“ඒ කියන්නෙ රස්සාවක් කරන්න ඕනෙ කියන එකනෙ?” දීපා ඇහුවා.

“නෑ මෑම්. මම රස්සාවක් නොකරන කෙනෙක් හොයන්නයි අම්මලට කිව්වෙ.”

“ඉතින් ඩිග්‍රියක් හොයන්නෙ? මේ ගෙදර ඉන්න?”

“ඒ වුනාට ඩිග්‍රී එකක් තියෙන්න ඕනෙ. මගේ අම්මලාත් එහෙම  බලාපොරොත්තු වෙනවා”

“@#$%$#” කියලා මම හිතුවට කටින් පිටවුනේ මෙච්චරයි…

“වෙන?”

“උස අඩි පහයි හයට වැඩි වෙන්න ඕනෙ.”

“ඒකත්  හරිනෙ. වෙන?”

“එච්චරයි සර්.”

“@#$%$#” මේ පාර නම්, මට තව පොඩ්ඩෙන් කියවෙනවා.

යකෝ ලැප්ටොප් එකක් ගන්න අච්චර දේවල් බලන එකා, ගෑණියෙකුගෙන් බලාපොරොත්තු වෙන්නෙ ඩිග්‍රියයි, උසයි විතරද????”

භාරත් හිනාවුනා. ඇත්තටම මූට තියෙන්නෙ ලස්සන හිනාවක්.

මා ඉන්දියානුවෙකුව නොයිපදීම ගැන මම ස්තුතිවන්ත වුනේ කීවෙනි වතාවටද කියලා මට මතක නෑ. සමහරවිට විසි පන්දාස් වතාවට?

හැම දෙයක්ම යහපත් අයුරින් සිදුවේවා උඹට.

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන කොටන්න

 

ටැග: , , , , ,