RSS

Category Archives: යාලු මාලුවන්ගෙ කතා

170.දෙන්නම අධ්‍යක්ෂලා.


229316_4720390497690_1939673819_n

මේසෙ උඩ තිබුන පුංචි කාඩ්බෝඩ් පැකට් එක දිහා මම බැලුවේ කුතුහලයෙන් ඇස් පුංචි කරලා. මේ මොකක්ද යකෝ මේ? ඒක අතට ගත්ත මම ලේබලය කියෙව්වා. Engine Oil Temperature Guage. සීල් එකත් කඩලා. පෙට්ටිය ඇරපු මම ඇතුලෙ තිබුන භාණ්ඩය එලියට ගත්තා. අලුත්ම අලුත්. මේක කොහෙන්ද මේසේ උඩට ආවේ? මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් මේ පෙට්ටිය ඇතුලෙ තියෙන්න ඕනෙ කලුතෙල් ගෑවුන වාහනෙන් ගලවපු පරණ කෑල්ල. එහෙමනම් ඒක මේසෙ උඩ තියෙන්නේ මොකද?

Read the rest of this entry »

 

148. ඇන්ටික්මේනියාව – Antiquemania


 

රතගාය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක් වුනාට, මගේ හොඳම යාලුවා මහින්දටයට තියෙන රතගාය වෙනම ප්‍රබේදයක්. අර සිරාට වගේ මේකට තියෙන්නේ සාමාන්‍ය රතගායට අමතරව, ඇන්ටික් රතගායක්.  මහින්දයා පරණ වාහන ලඩියක් ගේන්න යනවානම් නිවාඩුවට ගිහින් හිටියොත් මාවත් ඇදගෙනමයි යන්නේ. 

  

දැන් මේ පේන්න තියෙන මන්ත්‍රී මොඩල් ජීප් එකත්, ඒ විදියටම, එක නිවාඩු කාලෙක මාත් එක්ක ගිහින්, කෑගල්ල පැත්තෙන් අරන් ආපු එකක්. 

මහින්දයා ගිහින් කර ගහන වාහන ලඩි මට නම්  දැක්කාමත් බය හිතෙනවා, මේක අරන් කොහොම ගොඩ එන්නද කියලා. නමුත් පාවිච්චියට අලුත් වාහන තියෙන බුවාට ඒක විනෝදංශයක් විතරක් නිසා, ඒවට සෑහෙන ගානක් ගෙවලා ඇදගෙන ඇවිත් මාස ගනං, අවුරුදු ගනං හදලා කොහොම හරි ගොඩ දාගන්නවත් එක්ක. මේ තියෙන්නේ එහෙම එකක්.

 


මේක මුලදි තිබ්බ හැටි දැක්කනම්!

 


මේ නිවාඩු කාලේ මම මහින්දයත් එක්ක පරණ අමෙරිකන්/කැනේඩියන් ක්ලැසික් එකක් වන Pontiac Lorentian කාරෙකක් බලන්න ගියා. මේ වාහනේ අයිති අපේ ගමට නුදුරින් පිහිටි පළාතක අවුරුදු ගානක් තිස්සේ ජීවත් වෙන ක්ලවුස් කියන ඕස්ට්‍රියානු ජාතිකයෙකුට. මේ ඕස්ට්‍රියානුවා මුණගැහිලා ටිකක් ආශ්‍රය කරනකොට මට මතක්වුනේ රොබර්ට් නොක්ස්ව. මේ බුවාත් චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ලංකාවට ඇවිත් මෙහෙන්ම කසාදෙකුත් බැඳලා, දරුවො දෙන්නෙකුත් හදාගෙන, කැලෑවක් වගේ පැත්තක, පයින් යන්නත් අමාරු කන්දක් උඩ ගෙයක් හදාගෙන ජීවත් වෙන්නේ.


“ඔයා ඇරෙන්න මම දන්න අනිත් ඕස්ට්‍රියන් කාරයා ෂ්වාර්ට්සෙනගර් තමයි.” මම කිව්වා.

“හාහ්, හාහ්, හාහ්! ෂ්වාර්ට්සෙනගර්!” ක්ලවුස් හිනාවුනා.

“ෂ්වාර්ට්සෙනගර් කියන්නේ ඕස්ට්‍රියාවේ නිතර අහන්න ලැබෙන නමක්ද?”

“නෑහ්! හපෝයි නෑ. ඒක ඕස්ට්‍රියාවෙත් වැඩිය අහන්න තියෙන එකක් නෙවෙයි.”

 


මේ අතරේම මහින්දයත් ක්ලවුස්  එක්ක ආපහු මිළ ගැන, වාහනේ අඩුපාඩු ගැනත් කතාව යනවා. වටේටම තියෙන්නේ උස කඳු මුදුන්. බලකො‍ටුවක් වගේ පේන ගේ හදලා තියෙන කන්දෙ උඩහා පේන්නේ අන්නාසි යායක්.

“ඒක නෙවෙයි ක්ලවුස් , අර අන්නාසි වගාවත් ඔයාගෙද?”

“හනේ නෑ. වගා කරනවා නම් නියම රටක් මේක. ඔයාට කියන්න හෙන්රි, මම මොකක් හරි පළතුරක් කාලා ඇටේ විසිකරනවානේ වත්තට. මෙන්න පස්සේ බැලුවම ඒක නිකම්ම පැළවෙලා. මේ වතුර දාලා පෝර දාලා නෙවෙයි. නිකම්ම. “

“ඔයා කියන්න හදන්නේ ලංකාවෙ පස ඒ තරම් සාරවත් කියන එකනේ.”

“ඔව්. මේ හැම තැනම වගා කරන්න පුළුවන් වුනත් එහෙම කරන්නේ නෑ. මිනිස්සුන්ට එහෙම ඕනේ කමක් නෑ.  පාලුවට අතෑරලා දාපු ඉඩම් ඕනෙ තරම්. “

“හෙහෙ හෙහ්. නමුත් ඊශ්‍රායලය වගේ රටවල මිනිස්සු කාන්තාරෙත් වගා කරන්න හදනවා වතුර ගෙනියලා, නේද?”

“හරියට හරි. අන්න ඒකයි මම කියන්නේ…”


මම කියන්න යන්නේ ඕස්ට්‍රියානුවා කියාපු විදියට හැම තැනම වගා කරන්න පුලුවන් කියන එක වත් එහෙම කල යුතුයි කියන එකවත් නෙවෙයි. බුවා අපේ රට ගැන දරණ ආකල්පය ගැන කියන්නයි. අපි කොහොමත් ආසයිනේ අනිත් අය අපි ගැන හිතන හැටි දැනගන්න.

පොන්ටියැක් එකට අමතරව ක්ලවුස්  ගාවා ඒවගේ ඇන්ටික් වාහන තව කීපයක්ම තිබුනා. Triumph මෝටර්සයිකල් දෙකක්. තව මේක…

 


හුලං මදි නිසා ක්ලවුස්  මුලින්ම රෝද හතරටම හුලං ගැහුවා. ඊට පස්සේ අඩ කොට තිය තියා මේක ගරාජ් එකෙන් එලියට ගන්නත් මාර කට්ටක් කෑවේ මොකද මේකේ බ්‍රේක් නැතුවා මදිවට   එතන පොළොවේ පිහිටීමයි, හරවන්න ඉඩකඩ මදිකමයි නිසා.

 

 

 

මේ කාර් එක ගත්තා වගේ නෙවෙයි අර කැඩිච්ච ගල් මතුවෙච්ච මහා පල්ලං වංගු තියෙන පාර දිගේ මේ බ්‍රේක් කඳුලක් නැති වාහනේ ඇදගෙන එන එක. අනික මේකේ පොඩි බරකුත් නෙවෙයිනේ තියෙන්නේ. මේක කැනඩාවේ හදපු අමෙරිකානු කාර් එකක්.  දැවැන්ත එන්ජිම ගැලපෙන්නේ අදට නෙවෙයි, අර පෙට්‍රල් ගැලුම රුපියල් 4.50 ට තිබිච්ච කාලෙටයි. ඉතිං පාලිත මල්ලියි, අර මම කලිනුත් කියලා තියෙන අපේ මෙකැනික් සුගතුයි මුලින්ම යට රිංගලා ටෝ බාර් එක හයි කලා.

ඊට පස්සේ පොන්ටියැක් එක එල්ලාගත්ත ජීප් එක, ෆෝර්වීල් ඩ්‍රයිව් එකේ, ලෝ ගියර් එකකට දාගෙන තමයි පල්ලම බැහැගත්තේ.

මේ ගණුදෙනුව සෙට් කලේ අංකල් කියන බ්‍රෝකර්.  ලස්සනම වැඩේ අපි ආපහු අර අබලන් පාරේ අර මහා පල්ලමේ බ්‍රේක් නැති පොන්ටියැක් එක ජීප් එකෙන් ඇදගෙන එනකොට අංකල් වාහන දෙකෙන් එකකටවත් නගින්නේ නැතුව පයින්ම ගාටනවා වාහන දෙකටම පිටිපස්සෙන්.

 

“අංකල් පයින් කොටන්නේ මොකෝ? නගින්නකෝ මේකට.”


“අනේ එපා සෑර්. පයින් ගමන ඇඟට ගුණයි කියනවනේ.”


“හෙන්රි අයියේ ඔය යකා පයින් එන්නේ, පොරම බ්‍රෝකර් වැඩේ කරපු වාහනේ පොරටම ෂුවර් නැති හන්දා නගින්න බයේ” කියපු පාලිත මල්ලි කොක් හඬ දීලා හිනාවුනා.


අපි පාර දිගේ වාහනේ ඇදගෙන යනකොට තේ කඩයක් ලඟ හිටි කොලු කුරුට්ටෝ වගයක් “මෙන්න අර ලංකාවටම තුනක් තියෙන එකෙන් එකක් ගෙනියනවෝ” කියලා කෑ ගැහුවා.


ඊට පස්සෙ දවසක මම සුගත්ගේ ගරාජ් එක ලඟ ට ගියාම පොන්ටියැක් එකට මොකද කියලා බලන්න අමතක කලේ නෑ. අපි බලමු ඊ ලඟට එනකොට මේක හදාලා, ටිංකර් කරලා, පේන්ට් කරලා, මනමාලිවගේ අන්දලා තියෙයිද කියලා අපිටත් ටිකක් කරකවලා බලන්න.


ඉතිං උඹලා අහනවා මොනවද බං උඹට නිවාඩු කාලේ ඔය හැටි තියෙන වැඩ කියලා.

Simulblogged in මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , ,

106. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට තබා මලෙන් ලියමි.

106. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට  තබා මලෙන් ලියමි.

ඔබ සමහරෙකුගේ යෝජනා සලකා බලා මෙම ලිපිය ඉවත් කරන ලදි.

එහෙත්…

මෙම ලිපිය ලිවීමේදී සිද්ධිය මිස අනන්‍යතාවය හෙලි වෙන අයුරුන් කටයුතු නොකලෙමි.
අනික, මේ සිද්ධියේදී මතුකලේ, පෙමින් වෙලී සිටියදී නිරතුරුව අනෙකා ගැන තොරතුරු සොයාබලන පෙම්වතුන්, පසු කලකදී සම්පූර්ණ වටයක් ආපසු හැරී එකිනෙකා නොසලකා හරින කාලකන්නි ක්‍රමය ගැනයි.

මෙය මොවුන් දෙදෙනාට පමනක් පොදුවූ දෙයක් නොව සමාජයේ සුලභව දැකිය හැකි දෙයක් නිසා යම් අයෙකුගේ ඇස් ඇරවීම පිණිස මෙම ලිපිය ඉවහල් වේ යයි උදක් සිතුවෙමි.

P.S.:
මම යටින්ම දාපු කමෙන්‍ටුවත් මෙතනට ගැලපේවි කියලා හිතෙනවා.

ඔන්න අයින් කලා.

මේ මටත් මගේ වැඩක් බලාගෙන, මගේ දේ හරි නිසා අනිත් උන්ට ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියාගෙන ඉන්න බැරි කමට ලියවෙච්ච ලිපියක්.

කාගෙවත් පෞද්ගලික ප්‍රශ්ණ පැත්තකින් තිබ්බොත්, එදා අතින් අල්ලාගෙන ආරක්ෂා කරපු පෙම්වතිය, අද කෑවද, බිව්වද, ගෙදර ගියාද, නැතිනම් කොහෙවත් මරලා දාලාද, කියලා හොයන්න වත් උවමනාවක් නැතිවීම ගැන ඇතිවෙච්ච කලකිරීමක් විතරයි මෙතන නිමිති කරගත්තෙ.

ඒ වගෙම යම් විදිය‌කට අර අන්තිමට කිව්වා වගෙ සමූහ දූෂනයකට ලක්වෙලා මරලා දාලා තියෙන ගෑනියෙක්ව දැක්කාම හනේ හපොයි කියනවට වඩා එවැනි දෙයක් වලක්වාගන්න පොඩි හරි දෙයක් මට හැකි හැටියට කරන්න මට හිතුනා.

ඉඳගෙන සාකච්ඡා කරන්න අනිත් උන් ගත්ත උත්සාහ අසාර්ථක වෙච්ච බව මම මේ ලිපියෙම සඳහන් කරලා තිබුනා.

‘ලු’ ප්‍රත්‍යයෙන් යොදන්න වෙන පසුබිම් කරුණු මම ලියුවේ නැහැ.

මේ සම්බන්ධයෙන් ‘මල පැනීම’ ගැනවත්, බ්ලොග් පෝස්ට් එකක් ලිවීම ගැනවත් මම පසු තැවිලි වෙන්නෙ නැත්තෙ, තවමත් අනිකා ගැන පොඩ්ඩක් හෝ සංවේදී වීමේ ගතිය බින්දුවක් හෝ මා තුල ඉතිරිවී ඇති නිසා වෙන්න ඇති කියලා හීනියට ආඩම්බර වෙන නිසයි.

පෙම්බස් දොඩන සිප වැලඳ ගන්න පෙම්වතුන් යුවලක් දැක්කාම සමහරුන්ට ආසාත්මික ගතියක් දැනුනත්, මට නම් ඇති වෙන්නෙ සතුටක්. ඒත් අද අත්වැල් අල්ලාගෙන, යන එන පෙම්වතුන්ගෙන් වැඩි හරිය හෙට මේ වගෙ වේවි කියලා හිතෙන කොට ඇතිවෙන්නෙ දුකක්.
ඩූඩ් කියන එකා ඒ ටික විතරක් කිව්වා කියලා මතක් තිබුනොත් ඇති.

 

ටැග: , , , , ,

104. යුරේකා!!!!!

104. යුරේකා!!!!!

ජනවාරි පළමුවෙනිදා පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා.

අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි, කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා.DSCN2178

නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ යන්න තීරණය කලා එක දවසේ රෝඩ් ට්‍රිප් එකක්.

අපි බෙලිහුල් ඔයෙන් ආපහු හැරුනේ දවසෙන් ආපහු එන්න ඕනෙ නිසයි

DSCN2733 DSCN2245මුලින්ම කියවලා ඉන්නකො මම දෙදාස් එකොලහේ නොවැම්බර් මාසෙ,  ලියපු, “මෙන්න මෙතනිං කපපං මචං’ කියන මේ ලිපිය.

මුල් ලිපිය කියවන්න කැමති නම් මෙතන කොටන්න.

මට ඒ මුල් ලිපියට වෙනස්කම් කීපයක් කරන්න වුනා මීට දවස් කීපයකට කලින් සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා. මේ තියෙන්නෙ ඒ සංශෝධිත ලිපිය.

‘මෙන්න මෙතනිං කපපං මචං!’

මේ කාලෙ අපි හිටියෙ බලංගොඩ වැලිහරනාව පාරෙ කුලී ගෙදරක. මේක ක‍තෝලිකයෝ වාසය කරපු ප්‍රදේශයක්. නිවාඩු වෙලාවට අහල පහල හිටිය නෙවිල්, ටෙනිසන්, රිචර්ඩ්, ජනක වගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි මට තිබ්බ ලොකුම රාජකාරිය.

දවසක් ජනකලගෙ ගේ පිටිපස්සෙ ඉඳගෙන අපි සෙල්ලම. ජනකලත් අපි වගේම බස්නාහිර පළාතෙන් ගිහින් කුලී ගේක හිටපු කට්ටියක්. ටෙනිසන්ලා, නෙවිල්ලා, රිචර්ඩ්ලා ගමේම කොල්ලො.

රිචර්ඩ් ඇහුවා, “උඹලා දන්නවද මචං පොල්පිති ගොන්නු හදන්න?” කියලා.

අපි කිව්ව දන්නෙ නෑ කියලා.

“එහෙනං පිහියක් අරං වරෙං, මචං,” රිචා ජනකට කිව්වා. ජනකයා උගේ මනෝමය කාර් එකේම ‘බෲම්’ කියාගෙන ගිහින්, ආපහු ඇවිත් හෑන්ඩ් බ්‍රේක් එකත් ඇදලා, පාක් කලා කාරෙක. ජනකයා ගෙනත් තිබ්බෙ හොඳට බර තියන කුස්සි පිහියක්.

ඔන්න රිචා ඉස්සෙල්ලම ගොනා පොල්පිත්තෙන් හැදුවා තමන්ටම.

මූ සෑහෙන ලොකු ගොනෙක්!

ජනකයට ඕනෙ වුනේ ඊට වැඩිය පොඩි එකෙක්.

“පෙන්නපං උඹට ඕනෙ සයිස් එක.” රිචා පිහිය අමෝරාගෙන කිව්වා.

ජනකයා ඇඟිල්ල පොල් පිත්ත උඩ එක තැනෙකින් තියලා,

“මෙතනිං කපපං මචං.” කිව්වා.

රිචා ‘ඩකාස්’ ගාලා කෙ‍ටුවා හරියටම කියපු තැනට. අප්සෙට් එක, ජනකයට ඇඟිල්ල ගන්න බැරිවෙච්ච එකයි. ජනකයගෙ ඇඟිල්ල දෙකට කපාගෙන ගිය මහ පිහිය, ඩකස් ගාලා පොල්පිත්තෙ හිරවුනා.

ජනකයගෙ ල‍තෝනියට ජනකගෙ අම්මා, කුමාරසිංහ ආන්ටි දුවගෙන ආවා. ඇඟිල්ලෙන් ලේ විදිනවා!

ඇඟිලි පුරුක් දෙකක් හමෙන් එල්ලිලා තියෙනවා! මට මතක විදියට ආන්ටිට එතනම සිහිය නැතිවුනා. රිචා යකෙක් දැකලා වගෙ ගල් වෙලා. මට හැම දෙයක්ම හීනයක් වාගෙ.

එතකොටම කොහෙද ගිහින් ඉඳලා අපේ තාත්තා ආවා එයාගෙ තඩි මෝට බයික් එකෙන්. දැන් මිනිස්සු පිරිලා. හැමෝම කෑ ගහනවා. කවුදෝ රෙදි පටියක් බැඳලා අයිස් තිබ්බා. අපේ තාත්තා බයික් එකේම ගිහින් ජනකගෙ තාත්තයි, කාර් එකකුයි අරන් ආවා. පහල ගෙදර මිස්ට අන්දරාජු (මම හිතන්නෙ හරි නම අන්ද්‍රාදි වෙන්නැති), මිස්ට බෙන්ජමින් හෙම වට වෙලා හරියට උදවු කලා.

දවසකට හෝ දෙකකට පස්සෙ ජනක ගෙදර ආවෙ ඇඟිල්ලෙන් පුරුක් දෙකක් නැතිව. කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ. ඉස්කෝලෙ කොල්ලො ජනකයට “ඇඟිලි කොටා” කියලා නමකුත් දැම්මා. මම මේක ගෙදර ඇවිත් අම්මලට කිව්වාම, අම්ම,

“ඔයා හෙම ජනකට ඇඟිලි කොටා කියලා තිබ්බොත් කට තලනවා,” කියලා පූර්ව අනතුරු හැඟවීමක් කලා.

මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ අපි බලංගොඩ අතහැරලා බස්නාහිර පළාතට ආපහු ආවට පස්සෙ මම ජනකව දැක්කෙ නෑ මේ අද වෙනකල්. අතේ ඇඟිලි පුරුක් දෙකක් අඩු ජනක ඔබේ නෑදෑයෙක් හෝ යාලුවෙක් නම් එහෙම නැත්නම් ඔබ ජනක නම් කරුණාකර මට ඊයක් එවන්න. නැතිනම් මෙහි කොමෙන්ට් එකක් දාන්න.

ඉතින් ඔන්න ඔහොමයි වුනේ. ඒ හරියටම අවුරුද්දයි මාසෙකට කලින් ලියැවුනු ලිපියක්.

මට තියෙනවනෙ අතීතය හොයාගෙනෙ යාමේ පුරුද්දක්. ඉතින් හරියටම 2012හේ දෙසැම්බර් තිස්වෙනිදා, අර රෝඩ් ට්‍රිප් එක ගියාම, මම අපේ පුතාට මම මුලින්ම ගිය ඉස්කෝල කීපයක් පෙන්නුවා. මම පොඩිකාලෙ කොන්වන්ට් එකකට ගියා කිව්වාම කොල්ලාට අදහාගන්න බැරිව ගියා. මේ තියෙන්නෙ, ඒ කොන්වන්ට් එක අද.

DSCN2472ටික වේලාවකින් මම වැලිහරනාව පාරට හරවලා පැරණි මතක මාවත දිගේ රිය පැදෙව්වා. අපි හිටපු ගේ වෙනුවට එතන වෙනත් ගෙයක්. නමුත් නවීකරණය වූ හා නොවූ ගෙවල් මග දෙපසම තිබුනා. (මේ මම අතීත මතක හොයාගෙන මෙතනටම ගිය තුන්වෙනි වතාවයි. අනිත් දෙපාරම කලබලෙන් ගියේ.)

ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ප‍ටු පාරේ අපහසුවෙන් රිය නැවතූ මම, මුලින්ම මිස්ට අන්ද්‍රාදි ගැන හොයලා බැලුවා. ඒ මිනිස්සු, මම මුලින් හිතපු විදියට, මා දිහා සැකෙන් බැලුවේ නෑ. අර ඇඟිල්ල කැපුනු සිද්දිය ගැන කිව්වාම ලැබුනේ ඉහල ප්‍රතිචාරයක්. හැමෝටම ඒ සිද්දිය මතකයි.

කොහොමත් මේ ප්‍රදේශයේ බහුතරයක් වන, බලංගොඩ ක‍තෝලිකයෝ ගැන කිවයුතුම දෙයක් නම්, අපි හිටපු කාලේ, පොසොන් තොරණ ගහන්න මූලිකත්වය අරන් වැඩ කලේ, බෞද්ධයන්ටත් වඩා ක‍තෝලිකයෝ. වෙන මොකුත් කියන්න අවශ්‍ය නෑනෙ.

අන්ද්‍රාදි ගෙදරින් ලැබුන තොරතුර අනුව ඉස්සරහා කඩේ අයිති රිචර්ඩ්ට. මම මුල් ලිපියේ, ඇඟිල්ලට කෙ‍ටුවේ ටෙනිසන් කියලා ලියලා තිබුනේ මතකයේ තිබුන අඩුවක් නිසා. මම අන්ද්‍රාදි ගෙදරට ගිහින් මේ ගැන අහනවා බලා හිටියේ, කඩේ වැඩ කරමින් හිටිය රිචර්ඩ්ගෙ බිරිඳ. මම කඩේට ගිහින් මේ ගැන කියනකොටත් ඇයට කතාව ඇහිලා තිබුනේ. මුව පුරා සිනහවෙමින් මා පිළිගත් ඇය, රිචර්ඩ් මේ මොහොතේ ‍රැකියාවට ගොස් ඇති බව කිව්වා. එතනම හිටිය පැට්‍රීෂියා “ඇයි මාව මතක නැද්ද?” යයි මගෙන් ඇසුවා.

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්...

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්…

ජනක දැන් ඉන්නෙ නුවර බවත් ඔහු තවමත් ඉඳහිට මේ පැත්තෙ එන බවත් දැන ගත්තා. රිචර්ඩ්ගෙ දුරකතන අංකය ලබාගත් මම, පස්සෙ ඔහුට කතා කලාම, ඔහු මා වගේම සතු‍ටු වුන බව මට කට හඬින්ම තේරුනා. තව දිනකින් ආපසු යාමට තිබෙන නිසා දැක ගන්න අවස්තාවක් නොලැබුනත්, ලබන නිවාඩුවේ අනිවාර්‍ය අංගයක් වන්නේ රිචර්ඩ්ව මුණගැහීම බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇයි ජනක!

කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.

කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.

තවත් කිවයුතු දෙයක්නම් මම මුල් ලිපියෙ සඳහන් කරපු මේ වාක්‍යය:
“කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ.”
මම කුමාරසිංහලා ගැන ඇහුවාම රිචර්ඩ්ගෙ ප්‍රිය බිරිඳ ඒ ගැන කිව්වෙ මෙහෙමයි.

“ඒ අංකලුයි ආන්ටියි දෙන්නම නැතිවුනා. නමුත් හරිම හොඳ මිනිස්සු. අච්චර දෙයක් වෙලාත් රිචර්ඩ්ලා එක්ක තරහ වුනේ නෑනෙ.”

අන්න මිනිස්සු!

“කෝ අර මෙතන තිබ්බ ටැප් එක?”

“අඩේ මේ රිචාලගේ ලයිට් මීටරේ නම් එදා තිබ්බ එකමද කොහෙද”

වගේ උදාන වාක්‍ය කිය කිය මම එහෙ මෙහෙ ඇවිදිනවා බලා සිටි දීපා, ඇත්තටම හෙන්රි මෙහෙ ඉන්නකොට ඔයාට කොච්චර විතර වයසද? කියලා ඇහුවා. “අවුරුදු නවයට අඩුයි,” කියලා මම කිව්වාම, “ඔයාට පුදුම මතකයක්නෙ තියෙන්නෙ! කියලා ඈ සුපුරුදු ලෙස, පුදුම වුනා.

ප ලි:

එදා රෑ කෑම කෑවේ ඒ කේ එම්ගේ අඩවිය ලියන අකමාගෙ ගෙදරින්. අකමා අකමැති වෙයිද දන්නෙ නැති නිසා මෙයිට වඩා විස්තර ලියන්නෙ නෑ. නමුත් ඒ ආගන්තුක සත්කාරය නම් හරිම ඉහලයි.

ඒ විතරක්ද!

මේ නිවාඩුව ආමාශය හා සම්බන්ධ එකක්. ඒ ගැන මම ඊ ලඟ පෝස්ට් එකෙන් කියන්නම්.

2013, ඔබ සැමට පැතුම් ඉ‍ටුවන,
වාසනාවන්ත වසරක් වේවා!

 

ටැග: , , , , ,

78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ

78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ

ගෙදරින් එලියට බහින කොටම හූනෙක් “චුක් චුක්” ගෑවොත් නම් ඒක බාදාවක් කියනවනෙ. එතකොට අල්ල කසන්නෙ සල්ලි හම්බවෙනලු. තව,… කපුටෙක් ගේ ලඟටම ඇවිත් “ක්‍රාව් ක්‍රාව්” ගාල කෑගැහුවොත් නෑදෑයො එනවලු. නමුත් දන්නවද බල්ලා පස්ස පැත්තෙන් යන්නෙ ඇයි කියලා?

මම නම් හිතා හිටියෙ, බල්ලා ‘අර වැඩේ’ ඉවර කරලා, පස්ස පැත්ත පිහදාගන්න ටොයිලට් පේපර් එකක් වෙනුවට තණබිම පාවිච්චි කරනවා කියලයි. ඇත්තෙන්ම මම හිතන් හිටියෙමෙහෙමයි දවසක් කණ්ඩාලෙ, “අද අපේ ගෙදර කවුරු හරි එනවා… අපේ බල්ලා පු*න් ගියා!” කියලා මහ හඬින් තාලයට ඇදලා පැදලා ගායනා කරන කල්.

මම නම් ඒ තියරිය ඇහුවාමයි. මේකා මේක ගායනා කලෙත් අර පැඩිඩිලියන්ලාටම ආවේනික, කැටයම් සහිත භාෂා විලාශයෙන්, කටින් වෙට්‍ටු හෙම දාලා.

කණ්ඩාලෙ පැඩිඩිලියන් ගෙදර හිටපු, ශරීරයෙන් කුඩා, හුරුබුහුටි, වයසට වඩා පැහුණු , කටකාර කොලු පැටියෙක්. උමේෂ්ගෙ අක්කෙක්ගෙ පුතා. මම ඒ දවස්වල දැක්කට පස්සෙ දැක්කෙම නෑ. දැන් බ්ලොග් එකක් හෙම ලියනවද දන්නෙත් නෑ.

දවසක් සුරේෂුයි මායි ඇවිදින්න යනකොට කණ්ඩාලෙත් පස්සෙන් වැටිලා ආවා. සෑහෙන දුරක් ඇවිදගෙන ගිය අපි අඹතැන්නෙ කඩේකට ගොඩවුනා, තේ එකක් බොන්න.  කඩේ මේසෙ උඩ තිබ්බා අති දැවැන්ත ගෙඩි තියෙන ආනමාලු ඇවරියක්, සාමාන්‍ය ආනමාලුවලට වඩා දෙගුණයක් විතර විශාල. සුරේෂුයි මායි ගෙඩි දෙකක් කඩාගත්තා. කණ්ඩාලෙත් අපිව අනුගමනය කරමින් ගෙඩියක් කඩාඅගත්තා. ඇත්තෙනම කොල්ලට වැඩිය පොඩ්ඩයි කෙසෙල් ගෙඩිය පොඩි. නමුත් කණ්ඩාලෙත් සීඝ්‍රයෙන් වැඩේ දීගෙන, දීගෙන යනවා.

සුරේෂයයි මායි මූණෙන් මූණ බලාගෙන, කණ්ඩාලෙයා මේ කෙසෙල් ගෙඩිය සම්පූර්ණයෙන් බස්සයිද, නැද්ද, කියන එක ගැන සැක පහල කරනවා.

“ඈ බං සුරේෂ්, මූ මේක කයිද ගත්තට?”

“ඒක තමයි හෙන්රි අයිය මාත් කල්පනා කලේ.”

“මූත් අරින්නෙ නෑ වාගෙ ගේම. බලාපංකො දැන්!”

“මේකා මේක කාලා, රෑට බත් නොකෑවොත්, අපි දෙන්නට පෝරියල් එක ගෙදරින් අද!”

“අඩේ, බලපං මූ වැඩකාරයා! අර බාගයක්ම බැස්සුවා කොහොම හරි! අනේ දෙයියංගෙ පිහිටයි උඹට කණ්ඩාලෙ!!”

ඔය විදියට, ටිකකින් මේකා කෙසෙල් ගෙඩියම බස්සලා, ලෙල්ල තිබ්බා මේසෙ උඩින්.
ඊට පස්සෙ ගුඩුස් එකකුත් යැවුනා හයියෙන්ම.

“ඒයි කණ්ඩාලෙ ගෙදර ගිහින් මමීට කියන්නෙ හෙම නෑ කෙසෙල් ගෙඩි කාපු කතාවක් හරිද?”, සුරේෂ් අනතුරු හැ‍ඟෙව්වා.

“බොරු කියන එක හරි නෑනේ,” කණ්ඩාලෙ කිව්වා, “පොඩි මාම කියන්න ‘ඔන්න ඔය චූට්ටං කෙසෙල් ගෙඩියක්ද කොහෙද නම් කණ්ඩාලෙයා කෑවා‘ කියලා.”

 

ටැග: , , , , ,

77. මැක් ලොජික්

77. මැක් ලොජික්

මැක්කා අපේ බැචා පේරාදෙණිය ටීචර්ස් කොලේජ් එකේ. බැචා කිව්වට ඌ හිටියෙ අපිත් එක්ක එකම බැච් එකේ විතරක්  නෙවෙයි, එකම ගෲප් එකේ, එකම ක්ලාස් එකේ, එකම හොස්ටල් එකේ. මූ පොකු‍ටු කොන්ඩයක් තියෙන, කන්නාඩි දාන ගීක් ටයිප් කොට ජීවිතේ. මේකාගෙ ඇත්ත නම මොක වුනත් මේකාට ඉස්සෙල්ලම වැටිච්ච නම ‘මැක්බෙත්’. ඒකට හේතුව මේකට තිබ්බ අසාමාන්‍ය English Literature උණ කිව්වොත් වැරදි නෑ.

මුලින්ම මූ මේ නම ගැන මාර ආඩම්බරෙන් හිටියෙ.  ඒ ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ, මොකද “විලියොං හෙල්ල හොලවන්නා” මේකාගෙ වීරයෙක්. ඉතින් මේක කියලාවත් දාගන්න බැරි නමක්නෙ.

නම දාපු උන්ට (ඒ කියන්නෙ අපිට) තේරුනා වැඩේ අප්සෙට් කියලා. ටික කාලෙකින්ම ‘බෙත්’ හැලිලා නිකම්ම නිකං ‘මැක්’ විතරක් ඉතුරු වුනා. මූ මේකට එච්චරම සතු‍ටු වුනේ නැතත්  ඔරුවෙ පෙරලිච්ච පැත්ත හොඳයි කියන න්‍යායට අනුව අලුත් නමට අනුගත වුනා. මොකද ‘මැක්’ කියන්නෙත් තඩි අමෙරිකන් සුපර්ට්‍රක් එකක්නෙ කියලා. වැඩි දවසක් ඒ සතුට තිබ්බෙ නෑ. තඩි අමෙරිකන් ‘මැක්’ සුපර් ට්‍රක් එකට ඈඳුනා ට්‍රේලර් එකක් ‘කා’ කියලා.  එතකොට නිකම්ම ‘මැක්කා’. ඒකට නම් මූ කැමති උනේම නැති නිසා ඒ නම් රෙජිස්ටර් වුනා.

මැක්කා දකුණෙ පොරක්. අපේ බැච් එකේ හිටිය වැඩි දෙනා දකුණෙ උන් තමයි බස්නාහිරයො වන අපි කීප දෙනෙත්, තව උතුරෙන්, උතුරු මැදින්, නැගෙනහිරින් සහ කන්ද උඩරටින් ආපු සෙට් එකත්  ඇරෙන්න.

දවසක් අපි දවල්ට කාලා පොඩි නින්දක් ගහන වෙලාවෙ මට ඇහෙනවා මැක්කා කාටදෝ වාත කරනවා.

“ඒයි මචං නැගිටපංකො. ඒයි සරා නගිටපංකො බං.” කියලා

“මොකද යකෝ, පලයංකො මට ටිකක් නිදාගන්න දීලා.” සරා නිදිමතේම කියනවා ඇහුනා.

“ඒයි මචං නැගිටපංකො. ඒයි මට නුවර යන්න ඕනෙ බං. බ්‍රිටිෂ් කවුන්සිල් එකට.”

“මොන මගුලක්ද බං. මෙන්න මෙහෙට වෙලා ටිකක් නිදාගනිං බං. බ්‍රි-ටි-ෂ් කවුන්සිල්.”

“ඒයි වරෙංකො මාත් එක්ක යන්න. මට අර පොත් ටික රිටර්න් කරන්න් ඕනෙ බං.”

“ඉතිං මම මොකටද බං උඹ පලයංකො.”

“අනේ එහෙම කියන්න එපා බං. ඒයි නැගිටපං බං.”

මැක්කගෙ එක ලක්ෂනයක් තමයි ඌට මොනවා හරි ඕනෙ උනොත් ඒක ලැබෙන කල්ම කෙඳිරිගාලා, නහයෙන් අඬලා, වාත කරන එක. සරාටත් තේරෙන්න ඇති මුගෙන් ගැලවුමක් නැති බව.

“මැක්කො, උඹ පලයංකො බං පව් නොදී.  අනික මම මේ හෙන කෝඩෙ ගහලා ඉන්නෙ.”

“සල්ලි ප්‍රශ්ණයක් නෑ. කවුද මෙතන සල්ලි ගැන කිව්වෙ?  මමයි බස් එකට ටිකට් ගන්නෙ. මමයි ප්ලේන්ටී අරන් දෙන්නෙ. බොට ඕනෙනං සිගරට් එකකුත් අරං දෙන්නංකො. බොට තියෙන්නෙ එන්න විතරයි. මට කම්මැලියි  බං තනියෙං යන්න. දෙන්න එක්ක කයියක් ගහ ගහ යමං බං. අනේ වරෙං බං.”

“අපොයි ‍තෝ නං මලම වාතයක්, මලම ඇනයක්, හා හා නවත්තගං තොගෙ ඇඬියාව. හැබැයි ‍තෝ  තමයි සියලු වියදං දරන්නෙ. ඔන්න මතක තියාගනිං.”

මම හිතන්නෙ මැක්කට කට කන් දෙකේ ගෑවෙන්න ඇති.  මේ ටික කිව්ව සද්දෙන් මට එහෙම හිතුනෙ. ඒ එක්කම ඇඳ කිරිස් කිරිස් ගෑවෙ සරා අන්තිමේදි නැගිට්ට නිසා වෙන්න ඕනෙ.

“හරි හරී. නෝ ප්‍රොබ්! I pick up the tab! නැගිටපංකො අන්න එහෙම. අන්න එහෙමනෙ බං ඉන්න ඕනෙ!”

පස්සෙ මට නින්ද යාගෙන එනකොට මුන් දෙන්න යනවා යාන්තමට ඇහුනා.

නැප් එකෙන් පස්සෙ අපි නැගිටලා, ප්ලේන්ටී බිබී,  දුමකුත් දාගෙන, වල් පල් දොඩව දොඩවා, එකිනෙකාට මඩ ගගහා, ආතල් එකේ ඉන්න කොටයි මුන් දෙන්නා ආපහු ආවේ.

“හාපෝ සරතො මූ මාර විදියට වාත කලානේ උඹව ඇදගෙන යන්න.  මට මූට දෙකක් නෙලන්න හිතිලා තිබ්බෙ නැගිටලා.” මම කිව්වා.

“අඩෝ මාත් ‍තෝත් එක්ක මල ඔරොප්පුවෙ හිටියෙ. කතාකලේ නැත්තෙ ‍තෝ මගෙ ඇ‍ඟේ එල්ලෙයි කියලා බයේ,” තව එකෙක් ආශිර්වාද කලා.

මැක්කා හික් හික් ගෑවා විතරයි. ඌ අතේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් ගත්ත බර පොත් වගේකුයි, තව බෑග් වගේකුයි තිබ්බා. සරා අතෙත් පොඩි බෑග් එකක් තිබ්බා.

ටිකකින් මැක්කා කන්නාඩි කුට්ටම අතට අරන් පොලිෂ් කරන ගමන් කියනවා.

“ඒයි සරත්, බස් එකට රුපියල් **.**යි. තේ වලට රුපියල් **.**යි. උඹේ සිගරට් දෙකට රුපියල් **.**යි. මම සිගරට් බොන්නෙත් නෑ, නමුත් මමත් එයින් බාගෙකට කන්ට්‍රිබියුට් කරන්නම්කො. එතකොට එකතුව රුපියල් ***.**යි. උඹ මට ඒකෙන්  50% දෙන්න ඕනෙ.”

“මොකක්?” සරතට කෑ ගැස්සුනා. මට ප්ලේන්ටී උගුර හිරවුනා. සමහරුන්ට සිගරට් දුම හිරවෙලා කැස්ස හැදුනා.

“උඹ මට  වියදමෙන් බාගයක් දීපං. ‍ෆිෆ්ටි ‍ෆිෆ්ටි” කියපු මැක්කා කන්නාඩි කුට්ටම ඉහලට අල්ලලා පරීක්ෂා කරලා බලලා ලෙන්ස් දෙකටම කටින් පිඹලා ආයිම පොලිෂ් කරන්න ගත්තා.

“ඈ බොල @#$, ‍තෝ නේද අර නිදාගෙන හිටපු මාව ඇහැරවාගෙන ඇදගෙන ගියේ? ‍තෝ කිව්වා නේද ‍තෝ තමයි වියදම් කරන්නෙ කියලා? ‍තෝ… තොගෙ…” සරතා බෆර් වෙන්න පටං අරං.

මේක අහං හිටපු මටත් කට පියාගෙන ඉන්න බැරිවුනා.

“අඩෝ මැක්කෝ, උඹ ඌට වාත කරලා, වැඳලා, ඌව ඇදගෙන යනවා මාත් අහගෙන හිටියේ. මොනාද ඩෝ දැන් මේ කියන්නෙ?”

ඔන්න අනිත් උනුත් දෙන්න ගත්තා මල්ටි බැරල් වලින්.

“උඹ ඌට ටිකට් ගන්නවය, තේ අරන් දෙනවය කියලා කිව්ව මාත් අහගෙන, දෙපිට කාට්‍ටුවා.”

“දිව දෙකේ එකා, දෙපත් නයා….”

“හෝව් හෝව් හෝව්. මේ අහපල්ලා,” කියපු මැක්කා කන්නාඩි කුට්ටම දාගත්තා.

ඊට පස්සෙ බෙල්ල නවලා, කන්නඩි කුට්ටමේ රාමුවට උඩින් අපි දිහා බලලා, ඌ මෙහෙම කියනවා සරාට.


“මේ අහපං. මම එහෙම කිව්වා තමයි. ඒ ඉස්සෙල්ලා. එතකොට උඹ ආවෙ  තනිකර මගෙ ඕනෙ කමට තමයි.  නමුත්…” මූ  කේස් එකක් ගොඩ දාගත්ත ෂර්ලොක් හෝම්ස්  වගෙ ඔලුව වන වන, ඇඟිල්ලකුත් උරුක් කරගෙන, ජයග්‍රාහී හිනාවකුත් එක්ක, අපි හැමෝම දිහා බැලුවා.  “නමුත් උඹත් පේව්මන්ට් එකෙන් මේස් දෙකක් ගත්තා නේද?  උඹ නෑ කියනවද?”

“ඔව් ගත්තා තමයි, ඉතිං?”

“හෙක් හෙක්! “මගෙ උවමනාවට” ගිය ඒ ගමනෙන් බොටත් වැඩක් උනා නේද?  හරිනං උඹ මට වියදමෙන් බාගයක් දෙන්න ඕනෙ.”

මේකට සුදුසු උත්තරයක් හිතාගන්න අපිට තප්පර තිහකට වඩා ගියා.

මාතර වැලිගම පැත්තෙ ඉන්න මැක්කගෙ අම්මා කල්පනා කරන්න ඇති කවුද අප්පා මාව මෙච්චර මතක් කරන්නෙ මෙච්චරටම කිඹුහුං යන්න කියලා.

HeyDude බ්ලොග් අඩවියේ පලවූ ‘McKaa – A DUDE OF A KIND’ ලිපියේ අනුවාදයයි.

 

ටැග: , , , , , , , ,

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

“අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක් එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.

“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.

“ජෝතිපාලගෙ සින්දුලු බං.”

“අනේ පලයං. මම ජෝතිපාලගෙ සින්දු එකක්වත් හරියට දන්නෙ නෑ.”

“හහ්, ඒ වුනාට බං ජෝතිපාලගෙ සින්දු කියන්නෙයි කිව්වාම තමයි උඹ පටං ගත්තෙ .උඹ කියනවා, කියනවා, නොන් ස්ටොප්”

“ඇත්තටම  මට මතක නෑ බං.”

“උඹව නවත්තන්නම බෑ. අනිත් එක ඒ සින්දු මොන බාසාවද කියලා කියන්නත් බෑ. උඹ කියාගෙන, කියාගෙන යනවා. හරිම අමාරුවෙන් අන්තිමට නවත්තා ගත්තෙ උඹට වැඳලා වගේ”

අර නංගිලාගෙ ජීවිත වලින් ඉවතට ඇවිදගෙන ගිය මම නුහුරු නුපුරුදු අම්පාරෙ ගතකල පළමු අවුරුද්ද අත්දැකීම් බහුල එකක්. මම දැනටමත් පළකරලා තියෙන ඒවායින් සමහරක් මෙන්න.

පැඩිඩිලියන්ලා

පිංසිබොල්ගෙ ගොං කේස් එක.

“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

“මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.

කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල

ගම්පහ වගේ ජනාකීර්ණ දිස්ත්‍රික්කයක පදිංචිව සිට කොළඹ සුලෝහිත පාසලකට ගිය මටත්, මහනුවරින් ගිය උමේෂ්ටත්, අම්පාර නගරය ජනශූන්‍ය නගරයක් වගෙ පෙනීම අරුමයක් නෙවෙයි. පේරාදෙණියෙ තිබ්බ පූර්ව සේවා පුහුණුවෙදි මුණ ගැසුනු අපි දෙන්නා, නාඳුනන නගරයක, යාබද පාසැල් වලට පත්වීම අපිදෙන්නගෙම සැනසීමට හේතුවුනා. හැම හවස් යාමෙකම එකතුවෙන අපි නගරයේ පාරක් පාරක් ගානෙ ඇවිදිමින් කල නගර ගවේශනය පාරවල් ඉවර වීම නිසා ඉක්මනින්ම නිමා වුනා. හවසට කරන්නෙ මොනවද, යන්නෙ කොහෙද කියන එක ප්‍රශ්නයක් වුනා.

අපි දෙන්නා උමේෂ්ගෙ ඉස්කෝලෙ ගුරු නිවාසයෙ හවසට, හවසට සෙට් වෙන්න ගත්තෙ ඔය තත්වය යටතේ. උමේෂ්ගෙ විදුහල්පති සුපිරිපාල, නමේ හැටියටම විනෝදකාමී සුපිරි බුවෙක්. තව ඩයස්, නාරද වගෙ තව ඩයල් කීපයකුත් සමහර දිනවල අපිත් එක්ක අනුමත වෙන්න සැදී පැහැදී හිටියා. මුලදී කාන්සියට පටන් ගත්ත මේ වැඩේ තරමක් කල් යද්දී සීමාව පන්නන බවත් මට නොහිතුනාම නොවෙයි.

“මේ විදියට යද්දී අපි බේබද්දො වෙලා නතර වෙයිද දන්නෑ බං.” මම දවසක් උමේෂ්ට කිව්වා.

“ඒක තමයි බං මාත් කල්පනා කලේ.” උමේෂ් කිව්වම මගෙ හිතටත් තරමක චකිතයක් දැනුනා.

ඒ වගේම තමංගෙ බීමේ හැකියාව ගැන කයිය ගහන අනිත් උන්ට වඩා ඇල්කොහොල් වලට ඔරොත්තු දීමේ ගතියක් මගේ ඇ‍ඟේ ඇති බව කලකට ඉහතදීම තේරුම් අරන් හිටි මට, උමේෂ්ගෙ උත්තරෙන් දැනුනෙ අස්වැසිල්ලක් නෙවෙයි.

එදා අපි සෙට් උනේ “කටට බ්‍රේක් නැති” වි.ප. සුපිරිපාලතුමාගෙ උපන්දින සාදයටයි. විශාල ඇලුමිනියම් භාජනයකින් කට කපලා එකක් නූඩ්ල්ස්, පරිවාරක දීසි සමග, අපි වෙනුවෙන්ම සැදී පැහැදී හිටියා. ගල්, පොල්, බියර්, කෝක්, සෝඩා, බයිට්, සාලේ කෑල්ලෙ අපි එනකල් ආයාචනාත්මක දෑසින්, ‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා.

“එහෙනම් දෙකක් ඇනගෙන ඉමු නේ?”, ඩයසා තොල් පොටවල් දිවෙන් පොඟවමින් කිව්වා.

“චියර්ස්!!” බීම පිරවූ වීදුරු එකට ගටා සුපිරිපාල ලොක්කාට සව්දිය පුරලා කවුරුත් වැඩ ඇල්ලුවා. බීමත් සමග ඇදිලා එන රසකතා, මඩ කතා, හපංකම්, මෝඩකම්, පුරසාරම් හැන්දෑව වර්ණවත් කලා. බොනකොට, කලින් බීලා කරපු කෙලි ගැන කතා අනිවාර්යයිනෙ. මුලදිම සුපුරුදු විදියට ‘සංගීතයා’ නොහොත් ‘චූනා’ නොහොත් නාරදයව බයිට් එකට ගත්තත්, මුං කවුරුත් “අද අපි හෙන්රියාව වට්ටමු” කියන තේමාව යටතේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කරලා තිබ්බ් බව මම දැනගත්තෙ සති ගානකට පස්සෙ.

බිව්වම නටන එක අනිවාර්ය අංගයක්නෙ. ඉතින් අපි කවුරුත් වීදුරු එහෙමම තියලා නටලා එනවා. වීදුරුව තනිකරන්න එපා කියලා අර බ්ලොග් සහෘදයෙක් ලියලා තිබ්බෙ ඔන්න ඕකයි. බීමට මුසුකරන්න මම පාවිච්චි කලේ Coca Cola වීම කුමන්ත්‍රණයට තවත් පහසු වුනා. මම නටලා එන සෑම විටකම, අඩක් හිස් කර තබා ගිය  සෑම බීම වීදුරුවකටම මුන් බියර් වත් කර ස්පයික් කර ඇල්කොහොල් සාන්ද්‍රනය ඉහල නංවා තිබූ බව මට තේරුනේ නෑ. ඒ වගෙම මා ලඟ තිබූ අඩක් හිස් කල Coca Cola බෝතලයත් බියර් වලින්ම නැවත පුරවා තිබූ බවත් මට තේරුනේ නෑ.

“යකෝ අද වදිනවානෙ අම්බානක. මේ බඩු හොඳයි වගෙ” මම තවත් වීදුරුවක් පුරවාගන්න ගමන් කිව්වා.

“ඕව කවලං නොකරපු හොඳ බඩු බං. නුවර කාගිල්ස් එකෙන් ගෙනාපුව. මම උඹලට බාල බඩු දෙනවද?” මස් කුට්ටියක් ‍තෝරමින් සිටි සුපිරිපාලතුමා කිව්වා.

“ඒක තමයි බොසා මේ නස්පුක් වෙන්න වදින්නෙ.” කියූ මම දැනටමත් අකීකරු දෑතින්, අසීරුවෙන් දුම් වැටියක් දල්වන්න උත්සාහ කලා.

“මටත් තේරුනා ඒක. මේ බාර් කාරයො කවලං කරනවානෙ බං කෂියා දාලා” කියපු උමේෂයා, අනිවා ඇහැක් ගහන්න ඇති අනිත් උන්ට මෙහෙම කියලා. මම නම් දැක්කෙ නෑ.

“ඒයි හෙන්රි කියාපං බං සින්දුවක්.”

“මොන ෂින්දුවක්ද?”

“උඹ දන්න එකක්”

“දැං ගායනා කරන්න නං බෑ බොෂ්, ඕන්නං ෂිංදුවක් කියන්නං ඈ…”

“නෝ වොරීස්. කියාපං.”

“මං කියන්නං ‘ඇබා’ගෙ ‘නෝවිං මී නෝවිං යූ’? නැත්නං…, ‘තැංක්යූ ෆෝද ම්යූෂික්’? නැත්නං…, ‘බොනී එම්’ගෙ ‘මදලෂ් චයිල්ඩ්’? ‘මයිකල් ජැක්ෂන්’ගෙ ‘බිලී ජීන්’? ‘බීජීෂ්’ලගෙ…?

“අඩෝ හෙන්රියො, අපි ඉංග්‍රීසි සින්දු දන්නෙ නෑ බං. සිංහල එකක් කියාපිය.” ඒ නාරද, පෙරදිග සංගීතයේ මුර දේවතාවා!”

“නාරද @#$, ෂංගීතය කියන්නෙ විෂ්ව බාෂාවක් @#$!”

එතකොටම බර්ත්ඩේ බෝයි මැද්දට පැන්නා.

“හෙන්රි, උඹ කියාපං ජෝතිපාලගෙ එකක්.”

“යකෝ ෂර්, මං දන්නෑනෙ බං ජෝතිපාලගෙ ෂිංදු…මං ඔන්නං ක්ලැරන්ෂ්ගෙ එකක් කියලා දාන්නං… දිල්හානී දුවනී” මං කිව්ව.

“අඩෝ, ඒක කියන්නෙ ක්ලැරන්ස්ද බං?” ඩයසා හිනාවෙලා ඇහුවා.

“මේ ඩයසො, උඹ දෙන්නැතුව හිටපං.”

“මේ හෙන්රියෝ. උඹ කියාපං ජෝතිපාලගෙ එකක්. අද මගෙ බර්ත්ඩේ එකනෙ.”

“අම්මට හුඩු!  ෂර්ගෙ බර්ත්ඩේ එක???? යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

හිනා හඬින් ගුරුනිවාසෙ වහලෙ උලු උඩයන්න ඇති.

“උඹට වැඩිද මන්දා.”උමේෂ් කිව්වා.” මේ අපි ඒ ගැන මොනවහරි කරන ගමං තමයි මේ.”

“නයි කයිද රෝෂ් පාං!! අඩේ එහෙනං ෂිංදුවක් කියන්නම එපෑ.” ජෝතිපාලගෙ මෝරා ෂිංදුව කියමු. (මට ඒකත් මතක් වුනේ ඒ සම්බන්ධ ජෝක් එක නිසා). නාරදයා උඹ ඔෂ්තාද්නෙ. උඹ ගානට අල්ලලා දියං මුල, හරිද?… මං දෙන්නං ඇට්ටි හැලෙන්ඩ…”

ඔන්න ඔහොමලු බටහිර සංගීත ලෝලයෙකු වුන බ්ලොග්වෝකර්, නොදන්න ජෝතිපාලගෙ සින්දු, නොනවතින රිද්මයෙන් කියන්න ගත්තෙ.

පස්සෙ නූඩ්ල්ස් කන්න ඉඳගෙන ඉන්නවා මතකයි.

වරින් වර අනිත් උන් “ඒයි කාපං බං තව” කියනවත් මතකයි යන්තමට…

හීනයක් වාගෙ….

දැඩි ඔක්කාර ගතියකින් මම හදිසියෙ අවදි වුනා. හාත්පස අඳුර. සුපුරුදු විදියට ඇ‍ඳෙන් බහින්න කකුල් පද්දලා ඇලයට හැරනකොටම, කවුදෝ ඒ හදිසියේ පාර හරහා ඉදිකර තිබූ බිත්තියක් වැනි බාධකයක නහය වැදීමෙන් තරු මල් යායක් විසිර ගියා. තරු එලිය නිවී වේදනාව මදක් අඩුවූ විට, අනිත් ඇඳේ පැත්තෙන්, ප්‍රවේශම් කාරීව බිමට බැස්සත්, පා බිම ගැටෙන විටම පෘථිවිය පැත්තකට ඇලවීම නිසා නොවැටී බේරුනේ ඇඳ විට්ටම අල්ලාගෙනයි. කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා

මං මේ කොහෙද ඉන්නෙ?

බාධක කීපයක ගැටෙමින් බිත්තිය අල්ලාගෙන අඳුරේම ඉදිරියට යද්දී හොඳ වෙලාවට විදුලි ස්විචයක් අත ගැ‍ටුනා. ආයාසයෙන් ස්විචය පහතට එබූ විට දැල්වුනු විදුලි බල්බය මගේ ඇස් මඳකට නිලංකාර කලා.

ටොයිලට් එක කොහෙද ඇත්තෙ?

ආලෝකයට දෑස හුරුවූ පසු, හාත් පසු බැලූ විට, මේ ඉන්නේ වෙනදාට නිදන කාමරයේ නොවන බවත්, මේ සුපිරිපාල තුමාගේ පාසැලේ, පාවිච්චි නොකරන ගුරු නිවාසයක් බවත්, ක්‍රමයෙන් වැටහුනා. එහි සිටියේ මා පමනක් බවත්, තව මොහොතකින් තව දුරටත් අවබෝධ වුනා. අධික මුත්‍රා බරකුත්, ඒ එක්කම පිපාසයකුත්, ඒ සියල්ල යටපත් කරමින් වමනය දැමීමේ ඉතා දැඩි අවශ්‍යතාවයකුත් දැනුනා.

කෝ මේ ටොයිලට් එක?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට ආමාශය ක්‍රියාත්මක වුනා.

ඕවෑහ්හ්!……….ඕවෑහ්හ්!……… ප්තුහ්ක්!! හඬ නගමින් ආමාශයේ අන්තර්ගතය නිදහස් වුනේ කාමරයේ මැද.
පුපුරු ගහන හිසරදයත්, නැවත නැවත වමනය දැමීමත් නිසා දුර්වල වූ මම ඇඳේ අයිනක ඉඳගෙන අලාබය තක්සේරු කලා. කාමරයේ තත්වය ශෝචනීයයි. නූඩ්ල්ස් නම් බීලා කන්න හොඳ කෑමක් නෙවෙයි. වැරදි පාරෙන් පිටවූ නූඩ්ල්ස් ප්‍රිය උපදවන දර්ශනයක් නෙවෙයි. නෑ, ඒ ලේ වමනේ ගිහින් නෙවෙයි. ඒ සෝස්…කෙචප්! ෆූෆ් ! ඒ දර්ශනය නැවතත් ආමාශය කලඹන්න වුනා.

උඩින් උඩින් පැනලා කාමරෙන් පිට වෙලා වැසිකිලිය හොයාගත් මම තිබූ බරෙනුත් නිදහස් වෙලා ආපහු කාමරයට ආවේ වතුර බාල්දියකුත් කොස්සකුත් අරගෙන. මුං දැක්කොත් හෙම කබ්බා දාලා තියෙනවා හෙන නෝන්ඩිය! වදී කාඩ් එකක් ආයේ ජීවිතේට වලංගු වෙන්න!

කොච්චර අමාරුවෙන් හිටියත් වතුර බාල්දි පහලොවකට විතර පස්සෙ මුලු කාමරයෙම බිම සෝදා, මගේ රෑ කෑම වේල ඉදිරි දොරෙන් පිටතටත්, එතනින් ගේ වටා ඇති සිමෙන්ති කානුවටත්, කානුවෙන් ඉවතටත් සෝදා හරින්න හැකි වුනා. ඉන් පසුව සාක්කුව අතගා තැලී චප්ප වී ගිය සිග‍රැට්‍ටුවකුත් සොයාගත් මම එය දල්වාගෙන ඉදිරියට සැලසුම් කලා.

දැනටමත් වටින් ගොඩින් එලිය වැටීගෙන එමිනුයි තිබ්බේ. තවත් මඳ වෙලාවක් ‍රැඳී සිටි මම ගුරු නිවාසයේ දොර වසා දමා එලියට බැස්සේ මගේ පාසැල වෙත යන්නයි.

නගර මධ්‍යයේ උදේම විවෘත කර තිබූ ආපනශාලාවක් දු‍ටුවිට මගේ පිපාසයත් බඩගින්නත් දෙගුන තෙගුන වුනා. උණු උණුවේ බෑ ආප්ප දෙකකුත්, ආනමාලු කෙසෙල් ගෙඩියකුත්, දුම් දමන කලු කෝපි කෝප්පයකුත් බී, දුම් වැටියක්ද දල්වාගත් විට මෙතෙක් නොදැනුනු ප්‍රබෝධයක් ගතට දැනුනා.

මා මගේ පාසලේ ගුරු නිවාසය වෙත ලඟාවෙනවිට මගේ චමරි සගයන් වූ කලුතොටයාත්, විමලයාත් අවදි වෙලයි හිටියෙ..

“ආ මේ ඇවිත් ඉන්නෙ අකීකරු පුත්‍රයා!”

“හැබෑට… කොහෙද යකෝ රෑ තිස්සෙ යන්නෙ?”

මට වඩා අවුරුදු කීපයක් වැඩිමහල් නිසා මට බාල සොහොයුරෙකුට මෙන් සැලකූ විමලයාටත්, කලුවාටත් සුදුසු උත්තර දුන් මා, සීතල දිය නා, පාසැල් යාමට සූදානම් වුනා.

මේ පාසැලේ ගුරු විවේකාගාර දෙකක් තිබ්බා. ඇතුල්වෙන ගේට්‍ටුව අසලම ගොඩනැගිල්ලේ තිබූ නියම ගුරු විවේකාගාරයට අමතරව, පාසැලේ මැද හරියට වන්නට වූ කුඩා විදයාගාරයේ ඇතුල්වන තැනම කබඩ් වලින් වෙනකල අනියම් ගුරුවිවේකාගාරයක් තිබ්බා. මා මේ දෙතැනේම කල් ගත කලත් වඩා ප්‍රිය කලේ වයසක ගුරුතුමියන් නිතර ගැවසුනු නිල ගුරු විවේකාගාරයට වඩා සමවයසේ සගයන් සිටි දෙවන ස්ථානයටයි. විශේෂයෙන්ම එකල මා පිළිබඳ සිතක් ඇතිකරගෙන සිටි රුවැත්තිය සමග හිඳගෙන, උකුසු ඇස්වලින් ගැලවී’ වල්පල් දෙඩීමටත්, කවට කම් කිරීමටත් ඔහේ දොඩමලු වීමටත් මෙය කදිම ‍තෝතැන්නක් වුනා.

හොඳ වෙලාවට එදා උදෙන්ම එහි සිටියේ මා පමණයි. දිය නෑමෙන් මදක් යටපත් වී තිබූ හිසරදයත්, ඔක්කාර ගතියත්, දැඩිවන හිරු රශ්මියත් සමගම මතුවී ආවා. ආමාශය නැවත විරෝධතා ව්‍යාපාරයක් අරඹලා. හදිසියේම කටට දැනුනු තිත්ත රසත්, උදේ ආහාරයේ සුවඳත්, ලඟ ලඟම එලැඹෙන හදිසි අවස්ථාව ගැන පූර්ව දැනුම්දීමක් වුනා.

විදුලි සැරයක් වැදුනාක් මෙන් වහා හුනස්නෙන් නැගී සිටි මා දොරෙන් එලියට දිවැවුනා.

වැරදි තීරණයක්!

මුලු පාසැලක හරි මැද වමනෙ දාන්නේ කෙසේද? ඒ පොඩ්ඩටත් ලඟම පන්තියේ කොලු කෙල්ලන් මා දෙස විමතියෙන් බලනු දු‍ටු මා වහා පසුබැස්සා. ඒ වනවිටත් ආප්ප, ආනමාලු, හා කෝපි වලින් සමන්විත උදේ ආහාරය ගලනාලය දිගේ ඉහලට වේගයෙන් සම්ප්‍රේශනය වෙද්දී මා විද්‍යාගාරය තුලට දිවගියා. කාමරයේ කොනක වූ සින්ක් එක මා දු‍ටුවේ එවිටයි. උඩු අතට ගමන් කරමින් තිබූ අහාර වේලේ වේගයට වඩා වැඩි වේගයෙන් මා සින්ක් එක වෙත ලඟාවුනා. ඒ සමගම පාතරසය උගුර පසුකලා.

“ඔවෑ ආඅර්ර්හ්ක්” එල්ලය හරි ගියා. මඳ සතුටක් හිතට දැනුනත් ඒ සැනෙකින් සතුට අතුරුදහන් වුනා. කබ්බා බිඳක්වත් සින්ක් එකෙන් පිටට නොවැ‍ටුනත් සින්ක් එක තුල මා දු‍ටුවේ මා බලාපොරොත්තු නොවූ, රසායනික අවියකින් පහර කෑ මහ නගරයක සංකීර්ණ හැඩයක්. හේතුව පරීක්ෂණ නල හතලිස් අටක රාක්කයක් සින්ක් එක තුල තිබීමයි!  සියලුම පරීක්ෂන නල තුලත් මතුපිටත් ආප්ප, ආනමාලු, කෝපි හා ආමාශයික යුෂ මිශ්‍රණය!

අසල කබඩ් දොරේ අලවා තිබූ විද්‍යාගාර කාලසටහනට මගෙ ඇහැ ගියේ ඉබේටම. තව විනාඩි දහයකින් නවයේ පන්තියක් එනවා විද්‍යාගාරයට. ඒ දු‍ටු ගමන් නැවතත් වමනය ගියා.

දැන් මොකද කරන්නේ? මේ ටෙස්ට් ටියුබ් මගුල නොතිබුනා නම් ටැප් එක ඇරලා සින්ක් එක හෝදලාදාලා ෂේප් වෙන්න තිබ්බා. ම්ම්ම්… වතුර තියෙනවද ටැප් එකේ? මම ගැහෙන හදවතින් කරාමය ඇර බැලුවා.

දෙයියනේ! වතුර තියෙනවා!

මම වැඩ පටන් ගත්තා. දෙවෙනි වතාවටත් සාක්ෂි අතුරුදහන් කිරීමට. මුලින්ම පරීක්ෂන නල රාක්කය සෝදා ගොඩින් තිබ්බා වතුර අවමයෙන් පාවිච්චි කරලා, මොකද සින්ක් එක අවහිර වී වතුර බැස යාමේ අවදානමක් තිබූ නිසා. ඉන් පසූ පරීක්ෂණ නල එකින් එක, ඇතුලත්, පිටත් සේදුවා, ඉතාම සීරුවෙන්, නමුත් උපරිම වේගයෙන් හා කාර්යක්ෂමතාවයෙන්. සේදූ නල රාක්කයේ තැන්පත් කලා. සීනුව නාද වුනේ තව නල දෙකක් සෝදන්න තියෙද්දී. ලමයි පන්තියෙන් එලියට ඇවිත් පෝලිම් ගැහිලා විද්‍යාගාරයට එකකොට මම අන්තිම නල දෙකත් සෝදලා සින්ක් එකත් සෝදලා වතුර බස්සලත් ඉවරයි. හොඳ වෙලාවට මේ සින්ක් වල අඩියෙ තියෙන කට ලොකුයි. දැල වගෙ කෑල්ල ඔන්නම් අතට ගන්නත් පුලුවන්.

ළමයි විද්‍යාගාරයට ඇතුල්වෙනකොට මම වැනි වැනී ගිහින් අපේ කොටසෙ ඉඳගෙන පත්තරේ සිරස්තල කියවනවා කවදාවත් නැති උනන්දුවකින්. හොඳ වෙලාවට මට ඊලඟ පීරියඩ් එකත් ඕෆ්. ලඟම තියෙන කඩේට ගිය මම තැඹිලි ගෙඩියක් බිව්වම ආමාශය පොඩ්ඩක් සන්සුන් වුනා. ආපහු ඇවිත් අතන ඉඳගත්තාම අර හිත හොරාගත් රුවැත්තියත් ඇවිත් හිටියා. මම වෙනදාවගෙ ඈ ලඟින් ඉඳ නොගෙන අනිත් පැත්තෙ වාඩිවුනේ මගෙ ලඟ තිබ්බ සුගන්ධය ගැන වැඩි විශ්වාසයක් නොතිබුන නිසා.

ටිකකින් කබඩ් පේලිය අතරින් මතුවුනු විද්‍යාව උගන්නන ගුරුතුමී මගෙ මූණ දිහා ප්‍රශ්ණාර්ථ ලකුණක් එක්ක ටිකක් වෙලා බලා ඉඳලා ආපහු ගියා. මම “ඇයි අක්කා?” කියලා අහන්න ගියේ නෑ.

පස්සෙ මම ගනං හදලා බැලුවා. තප්පර හයසීයකින් පරීක්ෂන නල හතලිස් අටක්. එකකට තප්පර දොළහයි ගානක්. නමුත් රාක්කයයි සින්ක් එකයිත් සෝදන්න ගිය කාලයත් අඩු කලාම නරකම නෑ

ඊට පස්සෙ මම බිව්වත් අරවගෙ සිහිය නැතිවෙන්න බීලා නෑ කවදාවත්. දැන්නම් ඉඳහිට බිව්වත් බොන්නෙ ඔය බියර්, වයින් වගෙ අහිංසක බීම විතරයි. ඔන්න කෂ්ටිය ලකුණු කරගනිල්ලා ඈ!

 

ටැග: , , , , , , ,