RSS

Category Archives: වාහන කතා

182.ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි


vwbsaපොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි. Read the rest of this entry »

 

ටැග:

181. ට්‍රෑන්ස්ෆෝර්මර්ස් / Transformerers In Real Life / Citroën 2CV


Photomontagemotoav

Mad Max

හොලිවුඩ් සිනමාවට ලැබුන ඕස්ට්‍රේලියානු දායාදය වන මෙල් ගිබ්සන් ප්‍රධාන චරිතය රඟපෑ Mad Max නම් ඕස්ට්‍රේලියානු චිත්‍රපටය ඔබ බලලා තියෙනවද? විශේෂයෙන්ම Mad Max 2? එතකොට, අසූව දශකයෙ විතර පෙන්නපු ලෝක ප්‍රකට අමෙරිකානු ටෙලි කතා මාලාවක් වන MacGyver බලලා තියෙනවද? මැක්ගයිවර් කියන වචනය අදත් ව්‍යවහාර වෙන්නේ.

MacGyver ඉතාම සීමිත සම්පත් යොදාගෙන, තමන්ට අවශ්‍ය නිර්මාණය ඕනෑම තත්වයක් යටතේ කරන්න හැකි උපාය ශීලී, තීක්ෂණ බුද්ධියක් ඇති, නිර්මාණශීලී, බහුකාර්ය පුද්ගලයෙක් ගැන විස්තර කරන්නයි. මම මේ ඔබට කියන්න යන කතාව ඇහුව ගමන්ම මගෙ හිතට ආවේ මෑඩ් මැක්ස් සහ මැක්ගයිවර් සුසංයෝගය.


1993 වසරේ මේ සිද්දිය වෙද්දී හතලිස් තුන් හැවිරිදිව සිටි ප්‍රංශ ජාතික විදුලි කාර්මිකයෙකු වූ Emile Leray (එමිල් ලරේ) ගැන මේ කතාව කියවද්දි මට මුලින්ම මේ කතාව විශ්වාස කරන්න අමාරු වුනා. මොකද, ඕනෙ තරම් අමූලික බොරු ප්‍රවෘත්ති අන්තර්ජාලයෙ වගේම, මුද්‍රිත මාධ්‍යයෙත් කියවන්න දකින්න හැකි නිසා.

Road map

එමිල් අප්‍රිකානු මහාද්වීපයට පෙම්බැඳි ප්‍රංශ ජාතිකයෙක්. 1993 වසරෙදි, එමිල් ඊසාන දිග අප්‍රිකාවේ මොරොක්කෝවේ Tan Tan නගරයෙන් පිටත්වී, මොරොක්කෝ සහරා කතර හරහා Zagora නගරය බලා ඔහුගේ Citroën 2CV වර්ගයේ මෝටර් රථයෙන් තනිවම ගමන් කරද්දි අනතුරකට ලක්වෙනවා.

සාමාන්‍ය පුද්ගලයෙක් නම් අන්ත අසරණවෙන මේ මොහොතේ, පරාජය බාර ගෙන පසුබසින්න සූදානම් වෙන්නේ එමිල් නොවෙයි. දින දහයකට සෑහෙන කෑම බීමත්, මෙවැනි අනතුරුදායක ගමනකට අත්‍යාවශ්‍ය වන ආවුද පෙට්ටියට සහ අමතර රෝදවලට අමතරව, ඔහු ඇණ, මුරිච්චි, යකඩ කපන කියතක් වැනි මූලික ආවුද කීපයක් Citroën රියේ දමාගෙන යි ගියේ.

800px-Citroen_2CV_-_Flickr_-_mick_-_Lumix

මුල්ම පසු බෑම ඇතිවෙන්නෙ එමිල් Tan Tan පසු කර තරමක් දුර ගමන් කරද්දි ඒ දිනවල මොරෝක්කෝව සහ බටහිර සහරාව අතර පැවති ගැ‍ටුමේ ප්‍රතිඵලයක් ලෙස Tilemsem ප්‍රදේශයට ඔබ්බෙන් ඇතිවූ අලුත් තත්වයක් නිසා ඔහුව නවතා ආපසු යවන හමුදා මුරපොලේදියි. එහිදී තරමක උණුසුම් කතාබහක් ඇතිවෙන්නේ, ආපසු හැරී යාමට ලැබෙන අණට අමතරව, එමිල්ට මුරපොලේ සිට තවත් නාඳුනන මගියකුද ‍රැගෙන යන යන ලෙස භටයන් බලපෑම් කිරීම නිසයි. සැබවින්ම ආපසු TanTan වෙත යාමේ අදහසක් එමිල්ට තිබුනේ නෑ. අමතර මගියකු ‍රැගෙන ගියහොත්, තමාගේ රක්ෂණ ගිවිසුමේ කොන්දේසියක් උල්ලංඝණය වන බව කියන එමිල් ඒ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කරනවා. අප්‍රිකානු රටවල, මෙවැනි හදිසි අවස්ථාවක මගියෙකු රියේ නංවාගෙන යාමට කෙරෙන ඉල්ලීමක් ප්‍රතික්ෂේප කිරීම නොකල යුතු දෙයක් හැටියට සැලකෙන බව එමිල් හොඳින් දැනසිටියත්, තමා එවැනි සිරිතක් පිළිබඳ අවබෝධයක් නොමැති ‘විදේශික සංචාරකයකු’ බව ඔහු ඔවුනට දැනෙන්නට ඉඩ හරිනවා. මෙයින් සෙබලු තවත් උරණ වෙනවා. මිලිටරි බලයට අමතරව, සිවිල් බලතලද සතු ‘gendarmarie’ යනුවෙන් ප්‍රංශ බසින් හැඳින්වෙන මේ අවි දරන සෙබලුන් සමග තර්ක කිරීම භයානක බව තේරුම් ගත් එමිල්, ආපසු හැරී කිලෝ මීටර් කිහිපයක් ගමන් කර, මුරපොල මග හැර තමාගේ මුල් ගමනාන්තය යාම පිනිස සහරාව මැදින් වැ‍ටුනු වෙනත් අතුරු පාරකට හැරෙනවා.

Photomontagecarte

“4X4 ධාවනය නොමැති වුනත් , මේ ප්‍රදේශයේ ඉතාම සුලභ Citroën 2CV මාදිලියේ මෝටර් රථය මා ‍තෝරාගත්තේ එහි ඇති ඔරොත්තු දීමේ ගුණය නිසාමයි. 2CV රථය අප්‍රිකාවේ අනවර්ත නාම ගනනාවක් භාවිතා වෙනවා. යකඩ ඔ‍ටුවා (Steel Camel) ඉන් එකක්. එසේ කියන්නෙ ඕනෑම තැනක ගමන් කිරීමට ඊට හැකි ඔරොත්තු දීමේ හැකියාව නිසයි. නමුත් මේ යකඩ ඔ‍ටුවන් ඉතාම මෘදුව හසුරුවන්න ඕනෙ. එතකොටයි ඔවුන්ගෙනුත් ඒවගෙම විශ්වාසනීය සේවයක් ලැබෙන්නෙ. නමුත් එදා මට බැරි වුනෙත් ඒක. මුර පොලේදි ඇතිවුන ආවේගයත් නිසාමදෝ මම ඉතාම රළු ලෙස තමයි රිය පැදවුනේ,” එමිල් පසුව කියනවා.

සහරා කතර හරහා දිවෙන වල ගොඩැලි ගහන අති දුෂ්කර ම‍ඟේදී මඳකට පාලනයෙන් තොරව යන රිය විශාල ගල් ගෙඩියක වැදී නතර වෙනවා. වහා වාහනයෙන් එලියට බැස සිදුවූ හානිය පරීක්ෂා කරන එමිල් දකින්නේ මේ අනතුරින් රියේ අවලම්බන (suspension) පද්ධතියේ swing arm එකකුත් රෝද ඇක්සලයකුත් යලි ධාවනය කල නොහැකි ආකාරයට හානි වී ඇති බවයි.

එමිල් තමා අතරමං වී ඇත්තේ, කිට්‍ටුම මිනිස් වාසයෙන් අවම වශයෙන්, කිලෝමීටර් 32 ක් පමණ ඈතින් බව අනුමාන කරනවා.

එමිල් පසුව Sunday Times පුවත්පතට කල ප්‍රකාශ කලේ, “මම මින් පෙර අප්‍රිකානු මහාද්වීපයේ දහ වතාවකට වැඩිය රවුම් ගසා පළපුරුද්දක් තිබුන නිසා ප්‍රදේශය හොඳින් දැන සිටියා. ඒ නිසාම මට ඒ හැටි චකිතයක් දැනුනේ නෑ,” යනුවෙනුයි.

‘ඉතින් අවශ්‍ය තරම් කෑම සහ ජලය තිබුනනම් පයින් ඇවිදගෙන යන්න තිබුනනෙ.’ මේ මගෙ හිතට නැගුන පළවෙනි ප්‍රශ්ණෙ.මේ ප්‍රශ්ණෙම තවත් කිහිප දෙනෙකුට ඇතිවෙලා තිබුන බව මම මේ ගැන අන්තර්ජාලයේ සොයා බලද්දී දු‍ටුවා.

“ඒක පයින් යන්න දුර වැඩියි.” ඒ එමිල් මුල් ලිපියෙම කවුරුත් ඒ ගැන ප්‍රශ්ණ කරන්නත් කලින් කියපු දේ. සමහර විට ශුෂ්ක කාන්තාරයක, වතුර සහ කෑමත් ‍රැගෙන සුදුසු ඇඳුම් සහ පාවහන් නොමැතිව තරණය කිරීම බොහෝ විටගෙදර සුවපහසුවට ඉඳගෙන ලැප්ටොප් තිරයකින් මෙය කියවන අපි සිතින් මවාගන්නා චිත්‍රයට වඩා වෙනස් දෙයක් වෙන්න පුලුවන්.

තමාට ඉතිරි වී ඇති සීමිත විකල්ප කිරා මැන බැලූ එමිල් ‍තෝරා ගන්නා විසඳුම කාන්තාරෙ පයින් තරණය කිරීමටත් වඩා පිස්සු අදහසක් හැටියටයි බැලූ බැල්මට පේන්නෙ. වහිනකොට, ගොරවනකොට ගොඩබිම යන වාහන වයිපර් දාගෙන හෙමින් ගියාට, ජෙට් ගුවන් යානා වලාකුලට උඩින් පියාඹනවා වගේ, විවිධ පුද්ගලයෝ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නෙ විවිධ ආකාරයට. හැම විටම වෙනස් ආකාරයට සිතන එමිල් අනතුරට පත්වූ Citroën 2CV රථයේ කොටස් යොදාගෙන කාන්තාරෙන් එලියට පදවාගෙන හැකි මෝටර් සයිකලයක් නිර්මාණය කර ගැනීමට අදහස් කරනවා. ඒ එක්කම ඔහු තමාට මුහුණ දීමට සිදුවන තාක්ෂණික අභියෝග වැල මනසින් පෙලගස්වා විසඳුම් සොයා බලනවා.

සාමාන්‍ය තත්වයක් යටතේ නම් මේ විශ්වකර්ම ක්‍රියාව කිරීමට තාක්ෂණික ඥානය, හැකියාව සියළු පෑස්සුම්- කැපුම් උපකරණ වලින් සමන්විත අංග සම්පූර්ණ වාහන අලුත් වැඩියා කිරීමේ වැඩපලකුත්, තවත් කිහිප දෙනෙකුගෙ ශ්‍රමයත් අවශ්‍ය කලත්, එමිල් මේ ගිණිගෙන දැවෙන සුප්‍රසිද්ධ සහරා කතර මැද, තනිවම මේ කාර්යයට අත ගහනවා. ඔහුගේ චිත්ත ධෛර්යය, නොපසුබට උත්සාහය සහ ආත්ම විශ්වාසය ඉතාම පුදුම සහගතයි.

“මම කෙලින්ම දිවි ‍රැකගෙන ගැලවී යාමේ මෙහෙයුමට සැරසුනා. (I entered the survival mode). කෑම සහ වතුර හැකි උපරිම කාලයකට සෑහෙන සේ පාවිච්චිය වහාම අවම කරගත්තා.” එමිල් පසුව කිව්වා.

පසුදා උදෑසනම ඔහු Citroën 2CV මෝටර් රියේ බොඩිය චැසියෙන් වෙනම ගලවා ගෙන කාන්තාර සැඩ හිරු ‍රැසින් හා වැලි කුණා‍ටුවලින් බේරී සිටීමට ආවරණයක් සේ මෙන්ම, ඇට මිදුලු ගල් වන ක‍ටුක ශීත කාන්තාර රාත්‍රියට ආවරණය වී නිදා ගැනීමට කූඩාරමක් හැටියටත් යොදා ගන්නවා. මේ රථයට එහි විසුළු පෙනුම නිසාම දී තිබුනු තවත් අනවර්ථ නාමයක් නම් ‘රෝද සවිකල කුඩය’ (Umbrella on wheels) යන්නයි.

නවීන මෝටර් රථවලනම් මේ ආකාරයට ලොරියක, බස් රියක හෝ වෑන් රියක මෙන් වෙන් කල හැකි චැසියක් සහ බොඩියක් එන්නේ නෑ. ඒවා එකිනෙකට ඒකාබද්ධ කර (unity construction) එන්නේ. නමුත් Volkswagen Beetle (VW) සහ තවත් එවැනි මාදිලි කීපයක පමණක්, ඒ ආකාරයට චැසියෙන් වෙන් කල හැකි බොඩියක් එනවා. එමිල්ගේ Citroën 2CV රථයක් එවැනි එකක්.

මේ ගැන මමත් මුලින්ම සැක කලත් මෙය කල හැකි බව පෙන්වන “Mythbusters 10 – Comment transformer une Citroën 2CV en moto” නම් YouTube වීඩියෝවක් මම නැරඹුවා . ඔවුන් පෙන්වාදුන් ආකාරයට Citroën 2CV රථයේ බොඩිය බෝල්ට් ඇණ කිහිපයකින් පමණයි චැසියට සවි වී තියෙන්නේ. නමුත් වරදවා වටහා ගන්න එපා, ඒ ඉතාම ශක්තිමත් ආකාරයට. මේ රියේ දොරවල් බොනට්‍ටුව සහ බොඩිය ඉතාම පහසුවෙන් ගලවා ඉවත් කල හැකි බව ඒ වීඩියෝව සාක්ෂි සපයනවා.

දෙවෙනි ලෝක යුද්ධයට පෙර සැලසුම් කර, නට්සීන්ට හසු නොවන සේ යුද සමයේදී සඟවා තැබූ Citroën 2CV ව්‍යාපෘතිය, ප්‍රංශයේ TPV යන කාණ්ඩයට අයත් රථයක්. කවුරුත් SUV – Sports Utility Vehicle යන වාහන කාණ්ඩය නම් අද හඳුනනවා. TPV යනුවෙන කෙටිකර ඇත්තේ ප්‍රංශ බසින් Toute Petite Voiture – ඉංග්‍රීසි බසින් Very Small Car හෝ අද හැඳින්වෙන ආකාරයට very compact car / (economy car) යන්නයි.

මෙයත් ජර්මනියේ Volkswagen මෙන්ම පොදු ජනතාව වෙනුවෙන්ම නිමැවූ වාහනයක්. ඇතැම් විට VW ටත් වඩා දුර වඩා දුර ගිය සංකල්පයක්. ඉදිරි රෝද වලින් පැදවෙන, ඉදිරිපස සවිකල එන්ජිම සහිතව නිමැවූ මේ රිය ඉලක්ක කලේ සාමාන්‍ය ගොවි ජනතාවටයි. එය ඉතාම සැහැල්ලුව මෙන්ම, අඩුම පිරිවැයකින් නිශ්පාදනය වුනේ අඩුම මිලකට විකිණිය හැකි ආකාරටයි. මුලින්ම, පෙට්‍රල් ලීටරයකින් වැඩිම දුරක් ගමක් කල හැකි, සුලඟින් සිසිල්වන 375CC-9HP සිලින්ඩර දෙකේ. තිරස් එන්ජිමක් සහිතව නිපැයූ මෙම රිය, පසුව ක්‍රමයෙන් 600CC 29HP එන්ජින් දක්වා ධාරිතාවය වැඩි කරනවා.

පොලොවේ සිට වැඩි පරතරයක් සහ මෘදු අවලම්බන පද්ධතියක් සහිතව නිමැයූ මෙම වාහනයට, ගොවි පොලවල රළු බිමේ, කිලෝ පනහක පමණ ගොවි නිශ්පාදන පටවාගෙන පැකිමී 48 ක උපරිම වේගයකින් පහසුවෙන් යා හැකි වුනා. බිත්තර පටවාගෙන ඒවා නොබි‍ඳෙන සේ පෙරලූ පසක් සහිත ගොවි බිමක් හරහා යාමට හැකි ආකාරයටයි මෘදු අවලම්බන පද්ධතිය සැලසුම් කර තිබුනේ. මේ වාහනේ ත්වරනය (acceleration) පිළිබඳව නම් පුරසාරම් දොඩන්න තරම් ආටෝප වාර්තා නැති වුනත්, ( 2CV අයිතිකරුවන්ම විහිළුවට කියන කතාවක් තමයි මේක පැයට හැතැප්ම 0 ඉඳං 60 යන්න දවසක් වගේ ගන්නව කියන එක. 😀 / “from 0–60 in one day”.) මේ පැරණි වාහනයට තිබුනේ සමකාලීන වාහන වලට වඩා ඉදිරියෙන් තිබූ, රියේ පෙනුමට නොගැලපෙන විශ්මිත තාක්ෂණයක්.

මුල්ම වාහනයේ ඇතුලත ඉඩකඩ ගැන කතා කලොත් උස රියැදුරෙකු හිස්වැස්මක් පැලඳ වාහනය පදවන්නේ නම් බෙල්ල නොනවා රිය පැදවීමට කැන්වස් වහලය විවෘත කිරීමට සිදුවුනා.

දැන් නැවතත් සහරාව මැද අතරමංවී සිටින එමිල් වෙත ආවොත්, මෝටර් සයිකලයක් සාදා ගැනීමට නම්, බොඩිය ගලවා දමා වෙන් කරගන්නා Citroën 2CV චැසිය කපා කොට කර ගෙන එයට ඇක්සල් සහ රෝද දෙකක් සවිකර ගත යුතු වෙනවා. ඒ එක්කම එන්ජිම සහ ගියර් පෙට්ටිය එහි මැද කොටසට ඇමිණිය යුතු වෙනවා. එමිල් යකඩ කපන කියතෙන් චැසියේ කොටස් කපා දමා කපා කොට කිරීමට පටන් ගන්නවා.

මුලින් කීවාක් මෙන් කාන්තාරයක අතරමං වී සිටිනා අයෙකුට විදුලි විදුම් උපකරණ, වෙල්ඩිං ලාම්පු, වැනි දේ නොමැතිව මූලික ආවුද කිහිපයකින් මෝටර් සයිකලයක් නිර්මාණය කිරීම නම් ප්‍රාතිහාර්යයක්. එමිල් ලෝහ කොටස් සම්බන්ධ කරන්නේ ඇණ මුරිච්චි වලින්. ඔහු ඇණ රිංගවීමට හැකි තාක් දුරට චැසියේ විද තිබූ තිබුණු සිදුරු භාවිතා කලත් සැමවිටම එසේ කල නොහැකිව සිදුරු විදගැනීමට සිදු වෙනවා. එවිට ඔහු ගනකම් තහඩු කොටස් අංශක අනූවකින් නැවීමෙන් ලෝහය දුර්වල කොට යකඩ කපන කියතෙන් හා රවුම් පීරෙන් පීරිගා ගනකම අඩු කරගෙන ඉන්පසු පොංචියෙන් හා මිටිය ආධාරයෙන් සිදුරු සාදාගෙන තහඩුව ආපසු දිගහරිනවා.

 

Photomontage2b

Photo Daniel Denis –  2CV Magazine

 

එන්ජිමත් රෝදත් එක කෙලින් සවිකර ගැනීම සඳහා රෝද හතරම මුලුමනින් ඉවත්කර රෝද දෙකක් චැසියේ ඇතුල් පැත්තෙන් නුහුරට සවිකර ගැනීමට සිදුවෙනවා.3
එන්ජිමෙන් ලැබෙන බලය අවර කඳේ ඇති කරකැවෙන ලෝහමය බ්‍රේක් ඩ්‍රම් කොටස හරහා කෙලින්ම රෝදය මත ක්‍රියා කරන නිසා සරළම භෞතික විද්‍යා නියමයන්ට අනුව රථය ඉදිරියට ධාවනය කල හැක්කේ රිවර්ස් ගියරයේ පමණයි. ගියර් පෙට්ටිය ගලවා මෙය වෙනස් කිරීමට හැකි වුවත්, වැලි සහිත සහරාවේ එවැනි දෙයකට අතගැසීම අනවශ්‍ය කරදර ‍රැසකට අත්වැනීමක් බව වටහා ගන්නා ඔහු, එය එලෙසම තියෙන්නට හරිනවා.

Inboard brakes

ඔබ මෝටර් රථ තාක්ෂනය ගැන උනන්දු නම්, පමණක් මේ මේ සටහන ඔබටයි. ඉදිරිපස එන්ජිම (front mounted engine) සහ ඉදිරි රෝද එලවුම (front wheel drive) සහිත රියේ ඉදිරිපස තිබුනේ inboard brakes. නැතිනම් රෝදයට සවි නොකර චැසියට සවිකල තිරිංග. ඩිෆරන්ෂලයට යාබදවම තිබුනු බ්‍රේක් ඩ්‍රම් වල සිට රෝදයට බලය සැපයුනේ ඩ්‍රයිව් ෂාෆ්ට් එකක් හරහා. තවත් පැහැදිළි කරහොත් ඩිෆරෙන්ෂලයත් රෝදයත් අතරමගයි තිරිංග තිබුනේ. අපි දන්න වාහනවල වගේ රෝදෙ නෙවෙයි.

එන්ජිමේ සම්පූර්ණ බලයම ඩිෆරෙන්ෂලය හරහා වම් පස ඇක්සලයට ලබා ගැනීම සඳහා එමිල් දකුණු පස ඇක්සලය නොකැරකෙන සේ සිරකරනවා.

Photomontage2cPhoto Daniel Denis – 2CV Magazine

මෝටර් සයිකල් අසුන සාදාගන්නේ වාහනයේ පසුපස බම්පරය කපා එයට ඩෑෂ්බෝඩ් එකෙන් ගලවාගත් අපොල්ස්ට්‍රි කොටස ඔතා එය තැඹිලි පැහැ ඇලෙන ටේප් යොදා අලවා ගැනීමෙන්.

හැන්ඩලය නිමවන්නේ රථයේ ජැක් ලීවරයෙන්. මෙයට ක්ලච් ලීවරයත් වාහනය පනගැන්වෙන ස්විචයත් සවි කරනවා. මේ 2CV විශ්මිත රථයේ බහුකාර්ය නිමැවුම ගැන කදිම අදහසක් මේ ජැක් ලීවරයෙන්ම ලබාගත හැකියි. මේ ජැක් ලීවරයෙන්ම එහි නියමිත රාජකාරියට (jack lever) අමතරව, එන්ජිම ඉදිරිපසින් ඇති සිදුරින් ඇතුල්කොට බැටරිය බැස ඇති විටක එන්ජිම පණ ගැන්වීමටත් (crank handle), රෝද ගැලවීමටත් (wheel brace) හැකියි.

Photomontage2dPhoto Daniel Denis – 2CV Magazine

මෝටර් රියේ අංක තහඩුව ගලවා මෝටර් සයිකලයට සවිකර ගන්නේ නීතිමය අවශය අරමුණකින් වුනත්, එයින් අරමුණ ඉ‍ටු නොවුන බව එමිල් පසුව වටහා ගන්නවා.

මෝටර් සයිකලයේ බර නිසාම පෙට්‍රල් කටේ සිට ටැංකියට දිවෙන බටය කපා පැති ආධාරකයක් (side stand) සාදා ගැනීමට සිදුවෙනවා

අත් කොට කමිසයක් ඇඳ සිටි ඔහු සැඩ හිරු ‍රැසින් බේරීමට මේස් කුට්ටමේ අඩිය කපා දමා අත්වලට ඇඳ ගන්නවා.

Photmontagesoupe

සහරාවේ ගිණියමට වේලී කරකුට්ටම් වූ පාන් ගෙඩි අඬුවෙන් කඩාගෙන වතුර දමා කාන්තාර සුප් එකක් සාදාගත්ත දවස් තියෙනවා

මේ දැවැන්ත සාර්ථකව නිම කරගැනීමටහැකි වේදෝයි යන අවිනිශ්චිතතාව එමිල්ට වද නොදෙනවා නොවේ. කොයි මොහොතේ හෝ යමක් වැරදී ගොස් සියළු උත්සාහයන් අසාර්ථකවී, වැඩපිළිවෙල අතහැර දැමීමට සිදුවිය හැකි බව ඔහු නිතර මෙනෙහි කරනවා.

Photomontagemotocp

අවසානයේ සියලු බාධා ජයගෙන, ඔහු සිහිනය සැබෑ කරගන්නවා. මෙය ඉතාමත්ම කාලය සහ ශ්‍රමය වැය වෙන ක්‍රියාවක් නිසාම, දින කිහිපයක් තුල නිම කර ගත හැකි වේයයි එමිල් මුලින් සිතූ මේ කාර්යය සඳහා ගතවන කාලය දින දොළහක්. ඉතිරි වී තිබූ වතුර ප්‍රමාණය ලීටර බාගයයි.

අවසාන දිනය ඔහු ගත කරන්නේ වාහනය පැද පරීක්ෂා කර බැලීමටත්, කඳවුරු බැඳතිබූ ස්ථානය පිරිසිදු කිරීමටත්ය.

Photmontagesite

ඔහු තමා සතුව තිබූ කුඩා කැමරාවේ ෂටරයට දිග නූලක් සම්බන්ධ කර වරින් වර තමාගේ ඡායාරූප ගැනීමටද අමතක කරන්නේ නෑ.

ඔහු තොං එකක් ඇඳගෙන ඉන්නෙ ඇයි කියා නම් මම දන්නේ නෑ. 😀

පාවිච්චි නොකල සියලු උපකරණ සහ වාහන කොටස් මෝටර් රියෙන් ගැලවූ බොඩිය තුල තැන්පත් කරන එමිල්, පසුදා සවස් වරුවේ තමා නිම කරන ලද Desert Camel යන අනවර්තනාමය යෙදූ Citroën 2CV මෝටර් රථ/ සයිකලයේ නැගී මිනිස් වාසයක් සොයා ගමන් අරඹනවා.

ඔහු එන්ජිමත්, ඉන්ධන ටැංකියත්, බැටරියත් සියල්ලන්ටම ඉඩ සලසා, තට්‍ටුවේ ඉතිරිකරගෙන තිබූ බඩු පටවාගෙන යාහැකි කොටසේ ඉතිරිව තිබූ කෑම ස්වල්පය, වතුර ලීටර් බාගය, නිදිබෑගය, ආවුද පෙට්ටිය, සිතියම්, මාලිමාව, කුඩා රබර් මෙට්ටයක් හා තුවායක් එකට සම්බන්ධකර සාදාගෙන තිබූ කූඩාරම යන සියල්ලම පටවාගන්නවා.

article-2168061-13E6FD3B000005DC-911_634x418

මෝටර් රථයේ පසු පස බම්පරය කොට කර සාදාගත් ආසනයෙන් නිතර බිමට ඇද වැටෙමින් කල ගමන සුව පහසු එකක් නොවේ.

Road mapSource: Google Maps

මම ගූග්ල් මැප්ස් වලින් ලබාගත් චන්ද්‍රිකා සිතියමට අනුව Tan Tan සිට ගමනාන්තය වූ Zagora වලට ඇතිදුර කිලෝමීටර් 674යි. Google Navigation ගණනය කිරීමට අනුව මෝටර් රථයකින් පැය 8 වි 37කින් තරණය කල හැකි දුරක්. එනම් පැයට කිලෝමීටර අසූවක පමණ වේගයකින් එක දිගටම ගමන් කලහොත් තමයි ඒ. නමුත් මේ කාන්තාරයක් හරහා වැටී ඇති රළු මගක් වගේම, මේ 1993 වසර බවත් අප අමතක කරන්න හොඳ නෑ.

Citroën 2CV රථ වල වේගය ගැන මම කලින් සඳහන් කලානේ. එමිල් පැදවූවේ වඩා අලුත් මාදිලියක් නිසා එහි වේගය ගැන මට අවබෝධයක් නැතිවුනත්, එය කිසිසේත්ම මෙවැනි මගක පැකිමී 80ක් නම් විය නොහැකියි. ඒ හැරත්, එමිල්ට දැන් මේ මුලු දුරම තරණය කිරීමට නොතිබුනත්, මම කලින් සඳහන් කරපු ආකාරයටම එමිල්ගෙ මෝටර් සයිකලයේ නිර්මාණයට අනුව ඉදිරියට ධාවනය කල හැකි වූයේ පැකිමී 20ක උපරිම වේගයෙන් රිවර්ස් ගියරයේ පමණයි. ඔහු වාහනයේ සුළු සුළු අලුත් වැඩියාවන්ට සහ වැඩි දියුණු කිරීම් සඳහා කිහිප වතාවක් නතර වෙනවා. රෑ බෝවූ පසු ඔහු මාර්ගය පසෙක රිය නවතා නින්දට වැටෙනවා.

ගමන් විඩාවෙන් සහ දින දොළහක දුෂ්කර ක්‍රියාවෙන් හෙම්බත්වී සිටින එමිල්ට, තමන් අසල නතරකල 4X4 මුර සංචාරක රථයේ හඬ හෝ ඉන් බැස ආ සෙබලුන් තිදෙනාගේ අඩි ශබ්දය හෝ ඇසෙන්නේ නෑ. ඔහුව සොලවා අවදිකරන එක් භටයෙක් තමන්ට Tilemsem වලදී මුණ ගැසුණු හිස උදුම්මවාගත් “සංචාරක සුද්දා” හඳුනා ගන්නවා.

සෙබලුන් ආපසු හැරී යාමට කල පැහැදිළි නියෝගයද නොතකා, තමන් මුරපොලේ සිට පටවා එවීමට තැත්කල මගියාද ‍රැගෙන යාමට ප්‍රතික්ෂේප කල, ‘හිස් උදුම්මාගත් පර සුද්දා’ තමන් ‍රැවටීමට ආපසු යන බව පෙන්නා, හොර පාරකින් නැවත තහනම් අඩවියට ඇතුල්වී ඇති බව දු‍ටු භටයා කුපිත වෙනවා.

තමන් අනතුරකට මුහුණ පෑ බවත්, මෝටර් රථයේ කොටස් වලින් මේ මෝටර් සයිකලයක් සේ පෙනෙන මර උගුල සාදාගත් බවත් පිළිගැනීමට සෙබලුන් මැලි වෙනවා. මේ අමුතුම වාහනය ගැන ඇතිවූ ස්වභාවික කුතුහලය නිසාමදෝ, සෙබලුන්ට හානි වූ මෝටර් රථයේ ඉතිරි කොටස් දැක ගැනීමට අවශ්‍ය වෙනවා.

එමිල්ව 4X4 මුර සංචාරක රථයට නංවා ගන්නා සෙබලු, එමිල්ගේ මෝටර් සයිකලයේ මුරට එක සෙබලකු රඳවා, අනතුර සිදුවූ ස්ථානය වෙත යාමට පිටත් වෙනවා. පැයක් තිස්සේ සෙවුවත්, රාත්‍රියේදී එම ස්ථානය සොයා ගැනීමට ඔවුන් අසමත් වෙනවා.

ආපසු පැමිණෙන පිරිස එමිල්ට උදේ වන තෙක් මෝටර් සයිකලය අසලම නිදා ගැනීමට අවසර දෙනවා. මීටර සියයක් පමණ ඔබ්බෙන් නතර කර තිබූ 4X4 මුර සංචාරක රථයේ සිටිනා සෙබලුන් ඔහු දෙස ඇස ගසාගෙන සිටිනවා.

පසුදා වාහනය සොයා දෙවන වරටත් කරන මෙහෙයුමේදී Citroën 2CV රියේ කොටස් එමිල් හැර ගිය ආකාරයටම සොයා ගැනීමට හැකි වීම නිසා සෙබලුන් බොහෝ සතුටට පත් වන බව පැහැදිළිවම පේනවා. මේ සඳහා සෙබලුන් මේ හැටි උනන්දු වීමට හේතුව, එක් සෙබලකුගේ සොහොයුරෙකුට නොමිලේ 2CV අමතර කොටස් ලබා දීමට බව එමිල්ට පසුව දැන ගැනීමට ලැබෙනවා.

උදෑසන නැවතත් මෝටර් සයිකලයට නැගී මුර සංචාරක රථයට ඉදිරියෙන් Tan Tan බලා පිටත් වන ලෙස එමිල්ට අණ ලැබෙනවා. සෙමින් පසු පසින් ගමන් කල මුර සංචාරක රියට ටික වේලාවකින් එමිල් නොපෙනී යන නිසා ඔවුන් රේඩියෝ පණිවිඩයක් මගින් වෙනත් මුරසංචාරක රියක් අමතා අමුතුම සුකුරුත්තම් වාහනයේ නැගී එන සංචාරකයාව භාරගන්නා ලෙස පවසනවා

1993, අප්‍රේල් හයවන දින Tan Tan වලට ලඟාවන එමිල් එහිදී, කවදත් පොදු ජනතාවගේ හිත සුව පිණිස නොවන තුන්වන ලෝකයේ නිලධාරීවාදයෙන් බැට කනවා.

Photomontagephotgend

එමිල් විසින් පදවාගෙන ආ මේ අරුම පුදුම වාහනයේ අංක තහඩුව, චැසි හා එන්ජින් අංක, වාහනයේ ලියාපදිංචි කිරීමේ ලිපි ලේඛණයේ සඳහන් විස්තර හා නොගැලපෙන නිසා නීති විරෝධී වාහනයක් රටට ආනනයනය කිරීමේ චෝදනාව යටතේ වාහනය අත් අඩංගුවට ගැනෙනවා. එමෙන්ම වාහනය මහමග පැදවීමට ඉඩ දිය නොහැකි භයානක එකක් වීම නිසා එමිලුත් චෝදනාවට ලක්වෙනවා.

සෙබලුන්ගේ නිළ වාර්තාව සලකා බැලූ ආණ්ඩුකාරවරයා විසින්, නීති විරෝධී රථයක් ආනයනය කිරීම සම්බන්ධයෙන් වැඩි දුර කටයුතු රේගුවට භාරදෙනවා.

මුලින්ම හුදෙක් රාජකාරිමය ස්වභාවයේ ආකෘති පත් කීපයක් පිරවීමට ඇති බව පමණක් පැවසූ රේගු නිලධාරීන්ගේ වචනය විශ්වාස කරගෙන සිටි එමිල්ට , පසුදා උදෑසන නීතිවිරෝධී රථයක් රට තුලට ‍රැගෙන ඒම සම්බන්ධයෙන් රේගුව විසින් චෝදනා කර රඳවාගෙන ඇති රථය නිදහස් කිරීමට නම් ඩිරාම් 4500ක දඩ මුදලක් පනවනවා.

එමිල් ඒ විශාල දඩ මුදලින් වික්ෂිප්ත වුවත්, මේ දඩ මුදල අනිවාර්යයෙන් ගෙවියයුතු බව රේගුව පවසනවා
දඩ මුදල ගෙවූ පසුත්, වාහනය නිදහස් කලද, එම ‘මාර්ගයේ ධාවනය කිරීමට ආරක්ෂිත නොවන භයානක වාහනය’ පැදවීමේ තහනම ඉවත් නොවෙන නිසා එමිල් ප්‍රවාහන අර්බුදයකට මුහුණ පානවා.

pv

පසුදා රටින් පිටවීමේ ආකෘති පත්‍ර පිරවීමෙන් පසු එමිල්ට ප්‍රංශය බලා ආපසු යාමට අවසර ලැබෙනවා. මේ අපූරු මෝටර් සයිකලය ගෙනයාම සඳහා ආපසු මෙහි ඒමට අදහස් කරන එමිල්, එය ප්‍රවේශමෙන් තබා යා හැකි තැනක් සම්බන්ධයෙන් ගැටළුවකට අර්බුදයකට මුහුණ පානවා. රජයට අයත් වාහන ‍රැඳවුම්පොලේම (impound) එය තියෙන්නට හැරියොත් ඒ සඳහා අති විශාල ගාස්තුවක් ගෙවීමට සිදුවන බවත්, කොටස් අතුරුදහන් වීමේ අවදානම ඇති බවත් එමිල්ට වැටහෙනවා.

මෙහිදී සගයින්ට වඩා සංවේදී බවක් පෙන්වූ එක් රේගු නිළධාරියෙක් එමිල් නැවත් මොරොක්කෝවට පැමිණෙන තෙක් මෝටර් සයිකලය තබා ගැනීමට එකඟ වෙනවා.

මසකට පසුව අලුත් 2CV රියකින්ම ප්‍රංශයේ Rennes සිට Tan Tan දක්වා කිමී 3500 ක දුරක් පැමිණෙන එමිල් මෝටර් සයිකලය කොටස් තුනකට ගලවා පටවා ගෙන යනවා.

මේ වික්‍රමය ගැන වැඩි 1990 දශකයේදී ප්‍රංශ රූපවාහිනියේ ප්‍රචාරය වූ කෙටි සඳහනක් හැර වැඩි ප්‍රසිද්ධියක් නොලැබෙන්නේ එමිල් ඒ ගැන ප්‍රසිද්ධ කිරීමට එතරම් උනන්දු නොවීම නිසා විය හැකියි. නමුත් මෑතකදී මෝටර් රථ වෙබ් අඩවියක මේ ගැන පළවූ පසු මෙය අන්තර්ජාලයේ පැතිර ගියේ වේගයෙන්.

එමිල් ඉන් පසුවත්, නැවත නැවතත් අප්‍රිකාවේ සංචාරය කරනවා.

article-2168061-13E6FE45000005DC-438_634x417

දැනට හැටහය හැවිරිදි වියේ පසුවන එමිල් ප්‍රංශයේ ජීවත් වෙනවා. මැක්ගයිවර්, හා මෑඩ් මැක්ස්ට අමතරව ඇතැමෙකු විසින් ඔහුව Tony Stark විසින් නිරූපිත ඉංජිනේරුමය කුසලතාවයකින් හෙබි Iron Man සිනමා චරිතයටත් සමාන කරනු ලබනවා.

Man builds working motorcycle out of car parts after getting stranded in the desert in Morocco, North Africa - 18 Jun 2012

ප්‍රංශ බසින් පලවන Chameaudacier බ්ලොග් අඩවියේ Moto නමින් පළවුනු මේ කතාව ප්‍රංශ භාෂාවෙන් කැඩුනු ඉංග්‍රීසියට පරිවර්තනය කරගන්න උදව් කලේ Google Translator. පින්තූර වල තිබුන ප්‍රංශ Google Goggles Android App වලින් කැඩුනු ඉංග්‍රීසියට පරිවර්තනය කරගත්තා. ඉන් පසු ඉතා වෙහෙස වී සිංහලට පරිවර්තනය කරගත්තා.

මේ, කවදත් survival වර්ගයේ කතාවලට, විශේෂයෙන්ම කාන්තාර සම්බන්ධ එවන් කතා වලට ප්‍රිය කරන මම, මෑතකදී කියවූ රසවත්ම විස්තරයක් ඔබ හා බෙදා ගැනීමට ගත් උත්සාහයකි.

මේ නිසාම මම සැබෑ ජීවිතයේදී දැක නැති, Tin Tin කතාවල් වලින් පමණක් දැන සිටි Citroën 2CV රිය ගැනත් විශ්මිත කරුණු ‍රැසක් විකිපීඩියාවෙන් ඉගෙනගත් බව කියන්නෙ ආඩම්බරයෙන්.

Thanks due to:

http://chameaudacier.free.fr/moto9.html

http://www.dailymail.co.uk/news/article-2168061/French-electrician-stranded-Moroccan-desert-rebuilt-wrecked-car-motorbike-drove-civilisation.html

Google Translator

Google Goggles Android App

Wikipedia

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , ,

170.දෙන්නම අධ්‍යක්ෂලා.


229316_4720390497690_1939673819_n

මේසෙ උඩ තිබුන පුංචි කාඩ්බෝඩ් පැකට් එක දිහා මම බැලුවේ කුතුහලයෙන් ඇස් පුංචි කරලා. මේ මොකක්ද යකෝ මේ? ඒක අතට ගත්ත මම ලේබලය කියෙව්වා. Engine Oil Temperature Guage. සීල් එකත් කඩලා. පෙට්ටිය ඇරපු මම ඇතුලෙ තිබුන භාණ්ඩය එලියට ගත්තා. අලුත්ම අලුත්. මේක කොහෙන්ද මේසේ උඩට ආවේ? මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් මේ පෙට්ටිය ඇතුලෙ තියෙන්න ඕනෙ කලුතෙල් ගෑවුන වාහනෙන් ගලවපු පරණ කෑල්ල. එහෙමනම් ඒක මේසෙ උඩ තියෙන්නේ මොකද?

Read the rest of this entry »

 

157.අවංකපාකිං සහ වංකපාකිං පැරලල්පාකිං / Parallel Parking of Honest & Dishonest Parking./ With special Deනයිed Version and normal full cream version)


20131223_170356(1)

නයි ඉවත් කරන ලද විශේෂ මිශ්‍රණය (Deනයිed Version for නයි allergies)20131221_130729

කුරහංපිටියේ කඩමණ්ඩිය හරියේ ගුරුපාර පළල් කරලා. දෙපැත්තේ අගල් කපලා පොල්කොට  ඒ දඬු දාලා, ඒ උඩින් පස් දාලා – එක වැඩයි. පුරස්නෙකට තියෙන්නේ ඒත් කරත්තයක් ගාල් කරන්ට තැනක් නැති එක තමයි. දෙපැත්තම කඩවල් අයිතිකාරයෝ අයිති කරාගෙන. එහෙම නැතිනම් දැනටමත් කරත්තයක් ගාල් කරලා. මට යන්ට  ඕනේ කුරහංපිටියේ පිස්සු පීතර අප්පුගේ කඩේට. එතනින් මම වතාවක් කිඹුලා වෙල් උදළු තලයක් එක්කම ගජ මිත්තරයෙකුත් හොයා ගත්තා. අපි ගියේ අන්න ඒ මිත්තරය මුලිච්චි වෙන්ට, පොඩි වැඩකට.

අපි මේ රවුම ගහලා එන තුන් වෙනි වතාව. බරබාගේ රිංගවන්ට කිසිම ඉඩක් නෑ. පිස්සු පීතර අප්පුගේ කඩේට ටිකක් මෙහායින් තියෙනවා මාලුකූරි කියලා බෝඩ් ලෑල්ලක් ගහපු කඩයක්.  අන්න එතන තියෙනවා යාන්තම් බරබාගේ රිංගවන්ට තැනක්. මම පිටිපස්ස බලලා ගොනාගේ කිරිපල්ලට පයිං ඇනලා, ‍තෝං ලණුව දකුණට ඇදලා,  කෙලින්ම ගියා එතනට. ගිහින් කරත්තේ කිසිම කොටසක් අරියාදුවට වගේ පාරට නොතියෙන්ට ගාල් කලා විතරයි, ඔන්න කූරි කඩේ ඉඳලා ආවා මුර උන්නැහේ කෙනෙක්. කලුයි, තරමක් පුරවදාලා. හැබැයි සිරියාවන්ත හිනාවක් තියෙනවා කියලා මට හිතුනා.

“උඹැහේ බෑරක්ද යන්නේ? කූරි ගන්ට ආවද??”

“අනේ නෑ උන්නැහෙ. මොන කූරිද. මට යන්ට ඕනෙ අන්ට අර පිස්සු පීතර අප්පුගේ කඩේට. එතන ඉඩ නෑ. ඒකයි මෙතන දැකලා මෙතනට රිංගුවේ.”

උන්නැහෙ හිනාවක් එක්කම මා දිහා බලා ඉන්නවා. ඒක සමච්චල් හිනාවක්ද කියලා මට හිතාගන්ට බෑ.

“හරි මං යන්නම්. මම තුන් පාරක් මෙතනින් ගියා ගාල් කරන්ට කරන්ට තැනක් හම්බු වෙනකල්.”

“උන්නැහේ, යන්ට එපා ඔහොමම තියන්ට බරබාගේ. ඔය ගොනත් ලෙහෙලා මෙතන දිගේලි කරන්ට, ඔය පිදුරු මිටියත් දාලා. මම කැමති උන්නැහේගේ අවංක කමට. මෙතනට ලොකු ලොකු බර බාග, තිරික්කල්, බක්කි කරත්ත ඔලිං එන හාමුලා, තව ලමාතැනීලා කටේ දිවේ නොගෑවී දෙසා බාන මුසාවාද ඇහුවනම්…හහ්. ‘මම මේ කඩේට තමයි ආවේ. අර එහා පැත්තේ අගෝරිසාගේ කඩෙං බුලත් විටක් ඇන්න එඤ්ඤං සුරුස් ගාලා,’  වගේ නා නාප්‍රකාර බේගල් ඇද බාන්නේ. මගේ නෑ කිසිම අනුකම්පාවක් උන්දලට. මුන්නැහේ විතරයි අවංකවම, බොක්කෙන්ම ඇත්ත කිව්වේ. මම අන්න ඒ අවංක බාවයට සලකනවා. මුන්නැහේ බරබාගේ  ඔහොමම තියලා ගිහින් එන්ට. කිසි පුරස්නයක් නෑ.”

එදා ඉඳලා එතනින් කරත්තේ දක්කං යන ගානේ මම බලනවා මුර උන්නැහේ පේන්ට ඉන්නවද කියලා. උන්නැහේගේ නමත් කරෝලිස්. හුඟක් දවස් වලට කරෝලිස් ගිණිකසයා වගේ වැඩ. මාව දකින්නේ නෑ. මම හිනාවෙලා කෙවිට උස්සලා ‘ආයිබෝං අප්පුහාමි,’ කියාගෙන ගියාම උන්නැහෙත් ආයිබෝං කිව්වත්, මම කවුද කින්ද-මන්ද කියලා මතක නැතුව ඇති, අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් නිසා.


මේ පහුගිය අවුරුද්දේ  ඔන්න මට යන්ට ඕනේ වුනා කො‍ටුදෙණියේ කීප තැනකට පොඩි වැඩ වගේකට. අපි වෙනදට අර ගිණිගහන අවුවේ, මඩ වලවල් මදිවට කරත්ත රෝද පට්ටම් වලටම කාණු හෑරිච්ච කරත්ත ගාලේ, කරත්තේ ගාල්  කරලා, සතා ලෙහෙලා, අර ගිණිගහන අවුවේ, කණුවක දිගේලි කරලා, පිදුරු මිටියකුත්දීලා, ගාලෙං එලියට  එන්නත් අච්චර දුර ගිණි අවුවේ පයින් ඇවිත්, ඒ මේ අත ඇවිදිද්දි දකිනවා මේ ගුරු පාරවල් අයිනෙම, කෝං ගස්, බුරුත ගස්, හල් ගස්, මිල්ලගස් යට හීල් හෙවනේ ගාල් කරන්න තැං එමට තියෙනවා. එදා එහෙම තැනක් හොයාගෙනම ගියා මායියයි  මායි. 


මම බෙර විකුණන කඩේ අයිනේ හරස් පාරේ ගහක් යට කරත්තේ ගාල් කරලා, එතකල් වම් හක්කේ තිබිච්ච බුලත් හපේ දකුණු පැත්තට මාරු කරන කොටම, ඔන්න සුම්බරයක් හෙම ඔලුවේ බැඳගෙන මුරේ ඉන්නවා ඔරෝගෙන .

“මෙතන අඬබෙර, දවුල් බෙර, යක් බෙර, තම්මැට්ටං හදවගන්ට එන  අයගේ කරත්තවලට විතරයි.”

හෑ. සීවරං දෙයියන්ට ඔප්පුවෙච්චාවයි මේ අවනඩුව! පාරත් අඬබෙර කාරයෝ අල්ලගෙන!

“උඹැහේ බෑරක්ද??”

මම හැකිතාක් දුරට බේගල් කීමෙන් වලකිනවා. ඒකට හේතුව එක බොරුවක් රකින් තව බොරු දාහක් කියන්න වෙන එකයි, කිව්ව බොරුව කල්පාන්තරයක් මතක තියාගෙන ඉඳීමේ අපහසුවයි ගැන අත්දැකීමෙන්ම දන්න නිසයි. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ මේ කපේට. ඒ නිසා මම ඒ පුරස්නෙට උත්තර දුන්නේ නෑ. මම උන්නැහෙගෙන් ඇහුවා වෙන පුරස්නයක්.

“කොතනින්ද ඇතුලට යන්නේ? මෙතනින් ගියෑකිද?”

ඇත්තටම ඒ  ඉඳිකඩුල්ලනං නිකං කම්මලකට  යන එකක් වගේයි පෙණුනේ අඬබෙර විකුණන තැනකට වඩා. මම එතනින් ඇතුලට යන්න වගේ ලෑස්තියෙන් ඇහුවේ.

මුරේගේ මූණත්තහඩුව බලා ඉන්දැද්දි වෙනස් වුනා.

“මුන්නැහේට මොනවද කරගන්ට ඕනෙ?”

දැන් එතන ඉඳිකඩුල්ල ගාවා බුලත්විටක් ඒද, ඒද හිටි මුර ගැටයත් ඇඟිල්ලෙ ගෑවිච්ච හුණු ඇබින්ද කඩුල්ලේ උලලා මගේ දිහා බැලුවා.

“මගේ බෙරේ ගෙනාවොත් අලුතෙන් හමක් දාගන්ට පුලුවන්ද අහන්ට ඕනේ” මම තරමක් වැරෙන් කිව්වා.

ඔය බෙරේට හමක් දාගන්ට ඕනේ කතාව ඇත්ත. හැබැයි බෙරේ හම ගලවලා පොඩි කොලුවා කැටපෝලෙකට අරං දැං අවුරුදු  බර ගානක් වෙනවා. ඒ කලෙත්, මී නාම්බෙක් වරපොටත් කාලා, හමෙනුත් කෑල්ලක් කාලා තිබුන නිසා, කොල්ලට ඒක ගලවගන්ට කියපු නිසා.

“ආ උන්නැහේ, කරත්තේ  ඔහොම දාලා ඔහොම පල්ලෙහාට ගිහිං දකුණු අත පැත්තට හැරිලා ඉස්සරහට ගිහිං කෝං ගහ ගාවම තියෙන කඩුල්ලෙං පැනලා ඇතුලට යන්ටකෝ. එතන වම් පැත්තේ බිම ඉඳගෙන ඉන්න රතු හීන්දෑරි ගොබිලට කියන්ට.

මමත් ඒ විදියටම ගිහින්, එතන හිටපු රතු හීන්දෑරි ගොබිලගෙන් ඇහුවා, මගේ මීයෝ කාපු බෙර හමයි, වර පොටවල් ටිකයි ආපහු දාගන්ට ඇහැකිද කියලා බෙරේ ගෙනාවොත්.

“මොකද්දෑ බෙරේ? ගැට බෙරයක්ද?”

මම ඒ පුරස්නවලට උත්තර බැන්දාම, උන් තැනින් නැගිටලා එතන අඩුක් කරලා තිබ්බ හම් ටිකයි වරපොටවල් ටිකයි අතගාලා බලපු ගොබිලා කියනවා.

“මේකට මරඳගහදෙණියටම යන්ට යන්න වෙනවා. “

“හැබෑට? අර මුර උන්නැහේ කීවේ මට මෙතනට එන්ට කියලනේ.”

“උන්නැහෙල දන්න බිබික්කම! ඔය මේ ඊයේ පෙරේදා මේකට පයගහපු උන්නේ.”

ඒ  මේ ඊයේ පෙරේදා මේකට පයගහපු  මුර උන්නැහෙලා මෙලෝ බිබික්කමක් නොදන්න  එක ගැන මගේ හඳුන්පොත කීං ගාන බව මම රතු හීන්දෑරි ගොබිලට පෙන්නුවේ නෑ.

ඊට පස්සෙ, එතනින් කැපිලා අහක යන හංකෑලි වගේකුයි, වරපොටවල් අහුලගත්ත මම,  එලියට ගිහින් අනිත් වැඩ කටයුතු ඔක්කොමත්  කරගෙන, එන ගමන් අර මුර උන්නැහේටත් කැපිලා අහක යන හංකෑල්ලක් අතේ තියාගෙනම ‘ගොහිං එඤ්ඤං අප්පුහාමි’ කියලා කරත්තෙට නැග්ගේ ඕං.

ඇත්තටම මම මුසාවාදයක් “කිව්වෙත්” නෑ. ඒත් අර කුරහංපිටියේ කරෝලිස් උන්නැහේ මේක දැනගන්නවට නම් මගේ එච්චර මනාපයක් නෑ.

 

***********************************************

සාමාන්‍ය මිශ්‍රණය Full Cream Version

DSC_1243
කොල්ලුපිටියේ ගාලු පාර පළල් කරලා. දෙපැත්තේ පේව්මන්ට් හදලා පාට ටයිල් දාලා එක වැඩයි. අවුලකට තියෙන්නේ වාහනයක් පාක් කරන්න තැනක් නැති එක තමයි. අර ටයිල් උඩින් දාලා පාක් කරන්න ඉඩ දෙන තැන් හැමතැනම අයිතිකාරයෝ ඉන්නවා. එහෙම නැතිනම් දැනටම ත් කවුරුහරි අල්ලගෙන. මට යන්න ඕනේ කොල්ලුපිටියේ PC Partner එකට. එතනින් මම වතාවක් hp ලැප්ටොප් එකක් වගේම හොඳ යාලුවෙකුත් ගත්තා. අපි ගියේ අන්න ඒ යාලුවව හම්බවෙන්න පොඩි වැඩකට.

අපි මේ රවුම ගහලා එන තුන් වෙනි වතාව. වාහනේ රිංගවන්න කිසිම ඉඩක් නෑ. PC Partnerට ටිකක් මෙහායින් තියෙනවා TNT කියලා  ගහපු තැඹිලි පාට- දුඹුරු පාට බිල්ඩිං එකක්. ඩයිනමයිට් වගේ තමයි. අන්න මේ වතාවේ එතන තියෙනවා යාන්තම් වෑන් එක රිංගවගන්න තැනක්. මම පිටිපස්ස බලලා සිග්නල් දාලා බෲස් ගාලා දැම්මා එතනට. ගිහින් වාහනේ කිසිම කොටසක් තහනම් කලාපයට ඉහලින් දික් නොවෙන්න පාක් කලා විතරයි, ඔන්න TNT එකේ ඉඳලා ආවා සිකියුරුටි බුවෙක්. කලුයි, තරමක් මහත පැත්තට බරයි. හැබැයි ප්‍රසන්න හිනාවක් තියෙනවා කියලා මට හිතුනා.

“සර්, කොහාට යන්නද? TNT එකටදද?”

“අනේ නෑ. මම ඔය කොම්පැණියෙ මොනවද කෙරෙන්නෙ කියලවත් දන්නේ නෑ. මට යන්න ඕනෙ අන්න අර PCPartner එකට. එතන ඉඩ නෑ. ඒකයි මෙතන දැකලා මෙතනට රිංගුවේ.”

පොර හිනාවක් එක්කම මා දිහා බලා ඉන්නවා. ඒක සමච්චල් හිනාවක්ද කියලා මට හිතාගන්න බෑ.

“හරි මං යන්නම්. මම තුන් පාරක් මෙතනින් ගියා පාක් කරන්න තැනක් එනකල්.”

“සර්, යන්න එපා ඔහොම තියන්න වාහනේ. මම කැමති සර්ගේ අවංක කමට. මෙතනට ලොකු වාහන වලින් එන මහත්තුරු, තව හෙන හයිෆයි නෝනලා කටේ දිවේ නොගෑවී කෙලින බොරු ඇහුවනම්…හහ්. මම එහා පැත්තට ගිහින් එනවා. කොම්පැණියට තමයි ආවේ වගේ නා නාප්‍රකාර කෙබර ඇද බාන්නේ. මගේ නෑ කිසිම අනුකම්පාවක් එයාලට. සර් විතරයි දෙපාරක් නොහිතා අවංකවම, බොක්කෙන්ම ඇත්ත කිව්වේ. මම අන්න ඒ අවංක බාවයට සලකනවා. සර් ඔහොම වාහනේ තියලා ගිහින් එන්න. කිසි අවුලක් නෑ.”

එදා ඉඳලා එතනින් යන ගානේ මම බලනවා  පොර ඉන්නවද කියලා. පොරගේ නමත් කරූ. හුඟක් දවස් වලට පොර හෙන බිසි. මාව දකින්නේ නෑ. මම හිනාවෙලා අතවනාගෙන ගියාම පොරත් අත වැනුවත් මම කවුද කියලා මතක නැතුව ඇති අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් නිසා.

මේ පහුගිය අවුරුද්දේ  ඔන්න මට යන්න ඕනේ වුනා කො‍ටුවේ කීප තැනකට පොඩි වැඩ වගේකට. අපි වෙනදට, අර ගිණිගහන අවුවේ, අලි වලලන වලවල් මදිවට, ට්‍රෑම්කාර් පීලිවලින් පවා පිරිච්ච, කො‍ටුවේ කාර් පාක් එකේ වාහනේ නතර කරලා, ඒකෙන් එලියට එන්නත් අච්චර දුර ගිණි අවුවේ පයින් ඇවිත්, ඒ මේ අත ඇවිදිද්දි දකිනවා, මේ පාරවල් අයිනේ වාහන පාලිකාවෝ වාහන බලාගන්න හොඳ හෙවන තැන් තියෙනවා. එදා එහෙම තැනක් හොයාගෙන ගියා අපි දෙන්නා.

මම ටෙලිකොම් එක අයිනේ හරස් පාරේ ගහක් යට වෑන් එක නවත්තලා එළියට බහිනකොටම ඔන්න සික්‍යුරිටි බුවා ඉන්නවා ඔරෝගෙන.

“මෙතන ටෙලිකොම් එකට එන වාහන වලට විතරයි.”

හෑ. පාරත් ටෙලිකොම් එකෙන් අල්ලගෙන.

“කොහේටද යන්නේ?” (මේකා නම් කරූගේ අහලකින්වත් තියන්න බෑ.)

මම  හැකිතාක් දුරට බොරු කීමෙන් වලකිනවා. ඒකට හේතුව එක බොරුවක් රකින්න තව බොරු දාහක් කියන්න වෙන එකයි, කිව්ව බොරුව සදහටම මතක තියාගෙන ඉඳීමේ අපහසුවයි ගැන අත්දැකීමෙන්ම දන්න නිසයි. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ අවුරුදු ගානකට. ඒ නිසා මම ඒ ප්‍රශ්ණෙට උත්තර දුන්නේ නෑ. මම ඒ වෙනුවට බුවාගෙන් ඇහුවා වෙන ප්‍රශ්ණයක්.

“කොතනින්ද ඇතුලට යන්නේ? මෙතනින් ගියෑකිද?”

ඇත්තටම ඒ ගේට්‍ටුව නම් නිකම් වෙයා හවුස් එකකට යන එකක් වගේයි පෙණුනේ ටෙලිකොම් වුනාට. මම එතනින් ඇතුලට යන්න වගේ ලෑස්තියෙන් ඇහුවේ.

පොරගේ මූඩ් එක බලා ඉන්දැද්දි වෙනස් වුනා.

“සර්ට මොනවද කරගන්න ඕනෙ?”

දැන් එතන ගේට්‍ටුව ගාවා මුරකුටියේ ඉඳගෙන ෆයිල් එකක මොනවද ලිය ලියා ඉන්න පොරත් මගේ දිහා බැලුවා.

“මගේ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා. මට අන්න එක ගැන කතාකරන්න ඕනේ.” මම තරමක් තියුණු හඬකින් කිව්වා.

ඔය කතාව ඇත්ත. හැබැයි එහෙම කරලා දැන් අවුරුදු බර ගානක් වෙනවා. ඒ කලෙත් මම ඉල්ලීමක් කරපු නිසා.

“ආ සර්, වාහනේ ඔහොම දාලා, ඔහොම දිගටම ඇවිදගෙන ගිහින්, දකුණට හැරිලා  අරලිය ගහ ගාවින් තියෙන දොරෙන් ඇතුලට යන්න. එතන වම් පැත්තේ ඩෙස්ක් එකේ ඉන්න මහත්තයට කියන්න”

මමත් ඒ විදියටම ගිහින් එතන හිටපු ප්‍රසන්න මූණක් තියෙන බුවාගෙන් ඇහුවා මගේ විසන්ධි කරලා තියෙන ෆෝන් එක ආපහු ගන්න මොකද කරන්න ඕනේ කියලා.

“මොකක්ද නොම්මරේ?”

ඔන්න මම නොම්මරේ දුන්නා වෙඩි වාගේ.

“මේකට සර්ට මරදානට යන්න වෙනවා.,” ප්‍රසන්න මූණ කොම්පියුටරේ චෙක් කරලා බලලා කිව්වා.

“ඇත්තට? අර සිකියුරිටි එකෙන් කිව්වේ මට මෙතනට එන්න කියලනේ.”

“ඒ ගොල්ල දන්නේ නැතුවයි එහෙම කියන්නේ. එයාලා අලුත් අය.”

ඒ  අලුත් අය දන්නේ නැතිමට  එහෙම කිව්ව එක ගැන මට සතු‍ටු බව මම ප්‍රසන්න මූණට පෙන්නුවේ නෑ.

ඊට පස්සෙ එතනින් ෆෝම් වගයකුයි ලීෆ්ලට් ටිකකුයි අරගෙන එලියට ගිහින් අපිට කො‍ටුවෙන්  කරගන්න තිබිච්ච අනිත් වැඩ ටිකත් කරගෙන එන ගමන් අර සික්‍යුරිටි බුවාටත් ටෙලිකොම් ෆෝර්ම් එකක්ම උස්සලා ටටා කියලා වෑන් එකට නැග්ගේ ඕං.

ඇත්තටම මම බොරුවක් “කිව්වෙත්” නෑ. ඒත්  අර කොල්ලුපිටියේ කරූ මේක දැනගන්නවට නම් මගේ එච්චර මනාපෙකුත් නෑ.

මේ කතාවෙම තව වර්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි වර්ෂන් එක. මෙන්න තැන. Parallel Parking of Honest and Dishonest Parking @ HeyDude.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , , ,

151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

බ පසුගිය කොටස E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!  කියෙව්වේ නැති නම් කරුණාකර මෙතනින් යන්න.

මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි.

“චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,”

“ඇවිත් ගලවගෙන පලයං, මචං.”

“අනේ මචං හොඳ එකා වගේ උඹ ගලවලා ගෙනත් දීපංකෝ.”

චූන්ජියා බැටරිය ගෙනැවිත් දෙන තෙක් මම මෝටර් විදුලි කාර්මික ශිල්පී ලක්ෂ්මන් අමතා වෙලාවක් වෙන් කර ගත්තා පැයකින් මුණගැසීමට.

මම මගේ බැටරිය ගලවා,  වාහනයේ ඇතුලෙන්ම තබා, චූන්ජියා ගෙනා බැටරිය සවි කර යතුර කරකවා බැලුවා. එන්ජිම ක්ෂණිකව පණ ගැන්වුනා.  අර මර්ෆිගෙ නීතියට අනුව (Murphy’s Law) ඒ ගමන රතු එළිය දිගටම දැල්වීමක් නෑ.. සියල්ල සාමාන්‍යයි. බාස් ඉදිරිපිටදී හුඟක් වෙලාවට ලෙඩ අතුරුදහන් වෙන එක වාහනවලට පමණක් නෙවෙයි, හුඟක් බඩු වලට පොදු දෙයක්.  ඇයි අපටත් වෛද්‍යවරයා මුණ ගැසුනු විට කැක්කුම්, වේදනා නැතුව යනවනේ!

ලක්ෂ්මන් වැඩ කලේ වෙනම ගරාජ් එකක නෙවෙයි, තමන්ගේම ගෙදර ඉඳන්. මම ලක්ෂ්මන්ගේ ගේට්‍ටුවෙන් ඇතුල්වන විටම ලක්ෂ්මන් මෝටර් සයිකලය එලියට දාන්න බලාගෙන ඉන්නවා.

“හෙන්රි අයියේ, මට පැය කාලක් දෙන්ඩ පොඩි එකාව පන්තියට දාලා එන්න. ඔයා ඔහොමම ඉන්ඩකෝ.”

ලක්ෂ්මන් ආපසු පැමිණෙන තෙක්,  මම ලක්ෂ්මන්ගෙ බිරිඳගේ මල් පඳුරු අතරේ සවිකර තිබූ අලංකාර සිමෙන්ති බංකුවේ හිඳගෙන, පාවහන් ගලවා, තවමත් පින්නෙන් වැසුණු උඳුපියලිය තණපලසේ  දෙපා ඔබාගෙන කල්පනා ලෝකේ කිමිදුනා.

ගෙදරක ඇතිකරන සුරතල් සතෙක් එක්ක, විශේෂයෙන්ම බල්ලක් වගේ සතෙක් එක්ක හාම්පුතා ඇති කරගන්න බැඳීම වගේම බැඳීමක් අජීවී වස්තුවක් වන වාහනයක් එක්කත් ඇති වෙන බව වාහන පාවිච්චි කරන අය දන්නවා ඇති. මේක මහ විකාර අදහසක් වගේ පෙනුනත්, ඒක ඇත්තක්.


අලුත් එකක් නොවුනත්, ලංකාවේ හතර දිග්බාගෙම අපිත් එක්ක කරක් ගසා ඇති මේ වාහනයට මේ තාක් ඇතිවූ ආපදාවන් සියල්ලටම වගේ හේතු වුනේ මිනිස් දෝෂයක්, නැතිනම් human error.

යාල ගිහින් අර අනතුර සිද්ද වුනේ නිසියාකාර නඩත්තු නොකල සපත්තු පාලමක දුර්වල කොන්ක්‍රීට් තට්‍ටුවක්, වාහනය ඒ මතින් ගමන් කරද්දී, කඩා වැටීමෙන්. නමුත් ඒ අනතුරට පසුවත් මේ වාහනය අපි ‍රැගෙන ගෙදරටම ලඟාවුනා.

තව දවසක්, අලුතෙන්ම සවිකල KYB ෂොකැබ්සෝබර් හතරෙන් එකක්,  නුවර යන අතර මග නිට්ටඹුව කිට්‍ටුවදී ගැලවුනේ, බාස්ගේ ගෝලයාට ඉදිරිපස දකුණු ෂොකැබ්සෝබරයේ පහල නට් එක තද කරන්න අමතක වූ නිසායි.  මේ අතපසුවීමෙන්, ඇක්සලයේ වැදුණු ෂොකැබ්සෝබරයේ හයිඩ්‍රොලික් දියරය අඩංගු සිලින්ඩරාකාර කොටස තරමක් තැලී ගොස් තිබුනා.

තවත් දිනක, වාහනය ධාවනය කරද්දි  හරියටම නුවර පාරට මීටර් සීයකට පමණ කලින් බැලුම්මහර හන්දියේදී ප්‍රොපෙලර් ෂාෆ්ට් එක ඩිෆරන්ෂලයට සවිවෙන තැනින් ගැලවී ගියේ  අර ගෝලයාටම ප්‍රොපෙලර් ෂාෆ්ට් එක, ඩිෆරන්ෂල් එකට සවිවෙන ඇණ ටික තද කරන්න  අමතක වෙලා තිබුන නිසා. කලින් ෂොකැබ්සෝබරයේ සිද්ධියට වඩා බරපතල එකක් වූ මේ සිද්ධිය නිසා ඩිෆරෙන්ෂලයෙන් හම් එකක් එන්න ගත්තා. මේ නිසා, මට ජපන් රීකන්ඩිෂන් වාහන කොටස් වෙළඳ සැලකින් සම්පූර්ණ පසුපස ඇක්සල එකලසක්ම මිළදීගන්න සිද්ධ වුනා.

තවත් වරක් රේඩියේටර් සිසිලකාරක දියරය සම්පූර්ණයෙන්ම  ඉවත් කර, අලුතින්ම පුරවා ගෙදර ගෙනත් නැවතූ වාහනයෙන්, පසුදා උදෑසන බලන විට කොළ පැහැති  සිසිලකාරකය බිම පුරා ගලාගොස් තිබුණේ සේවාමධ්‍යස්ථානයේ ගෝලයා රේඩියේටරයේ අඩියේ ඇති ඩ්‍රේන් ප්ලග් එක හරියට තද නොකර තිබූ බැවින්.

මම ඔවැනි අමිහිරි අත්දැකීම්වලින් ඉගෙන ගත්ත පාඩම නම්, බාස්ලා බුරුල් කරන නට්, බෝල්ට් නැවත තද කරනවාදැයි අපම විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

බාස්ලා පමණක් නොවේ, ඉන්ධන පිරවුම්හල්වල ඇතැම් පොම්ප ක්‍රියාකරවන්නෝද මීට දෙවෙනි නෑ..  මේ නිවාඩු කාලෙදිම, අප නිවස කිට්‍ටුව ඉන්ධන පිරවුම්  හලකින් ටැංකිය පිරෙන්නට ඩීසල් පුරවාගෙන මහනුවර බලා ගියේ මංගල උත්සවයකට සහභාගී වෙන්නයි. උත්සව ශාලාව ඇත්තේ කොහේදැයි විමසීමට මම වෑන් රිය පේරාදෙණියේ නැවතූ විටයි මා දු‍ටුවේ ඩීසල් මූඩිය හරියට තද නොකර, පියන වසා තිබූ නිසා ගම්පහ සිට නුවරටම ඩීසල් හැලෙමින් පැමිණ ඇති බව. එදායින් පසුව, ඇතැම් පොම්ප ක්‍රියාකරවන්නෝ  මගේ මේ ක්‍රියාවට පොඩ්ඩක් අමනාප වෙන බව මම දැක්කත්, ඩීසල් පුරවා පියන වැසීමට පෙර, මූඩිය තද කර ඇද්දැයි මමම පරීක්ෂා කර බලනවා.

මේ තමන්ම බුරුල් කරපු ඇණ මුරිච්චි ආපහු තිබුණු විදියට තද කරන්න අමතක වෙන එක බාස්ලගේ ජානවලම තියෙන විකෘතියක්ද කියලත් මට හිතෙනවා

ඔය කියපු හැම දේටම හේතුවෙලා තිබ්බේ අර මම කිව්ව මිනිස් දෝෂයක් (human error).

ඒ හැර වරක් මී දෝෂයක් rodent error නිසාත් එක් සිද්ධියක් වුනා. 😀

එක දවසක් මීයෙක් ඉන්ධන පොම්පයට යන විදුලි වයරය කා තිබුණ නිසා  එන්ජිම ස්ටාට් වුනේ නෑ. ඒ බව නොදැන මම ඩීසල් ‍ෆිල්ටරයත් මාරු කර බැලුවා.  ඩීසල් ‍ෆිල්ටරය මාරු කිරීමට මම මුලු ‍ෆිල්ටර් එකලසම එන්ජිමෙන් ගලවාගෙන සේවා මධ්‍යස්ථානයට අරන් ගියා. ඔවුන් ‍ෆිල්ටරය ගලවා බලා ‍ෆිල්ටරය හිරවී ඇති බව කිව්වා. ඇත්තෙන්ම ඒ ‍ෆිල්ටරයේ ජීවිත කාලයෙන්  කාලක්වත් ගෙවා නොතිබුනත් මම අලුත් ‍ෆිල්ටරයක් සවිකරගෙන ගෙදර ආවා. නමුත් වරද තිබුනේ මීයා කා දැමූ වයරයේ නිසා එන්ජිම ස්ටාට් වුනේ නෑ. පසුව මගේ කාර්මිකයා පැමිණ පරීක්ෂා කර බලා මීයා කෑ වයරය සොයාගත්තා. වයරය එක ඇමුණූ වහාම එන්ජිම පණගැන්වුනා.

පසුව සේවාස්ථානයේ හිමිකරු මට ඇඟලුම් වෙලඳ සැලකදී හමුවුනා.

“ඔයා අර ‍ෆිල්ටර් එක හිරවෙලා කියලා අලුතෙන් දාන්න කිව්වට, ඒකෙන් එන්ජිම ස්ටාට් වුනේ නෑ. ඉන්ජෙක්ටර් පම්ප් එකට යන වයර් එක මීයෙක් කාලා තිබ්බා,” මම කිව්වා.

“ඇත්තද? හැබැයි මහත්තයෝ ‍ෆිල්ටරෙත් හොඳ නෑ. ඒකෙත් බලපෑමක් තියෙන්න ඇති.”

“වෙන්න ඇති. ඌමද දන්නේ නෑනෙ ‍ෆිල්ටරෙත් කෑවේ.”

මගේ සිතුවිළි වැලට භාදා කරමින් ලක්ෂ්මන් ගේට්‍ටු පලු දෙක අතරින් මෝටර් සයිකලය පදවාගෙන වත්තට ඇතුල් වුනා. නිරුවත් දෙපාවලින් තණපළසේ සුවය විඳිමින් සිටි මම වහා නැගීසිට වාහනයට ලංවුනා.

මම ලංෂ්මන්ට රෝග ලක්ෂණ විස්තර කලා. “පොඩ්ඩක් එලවලා  බලමු,” කී ලක්ෂ්මන් රියැදුරු අසුනට නැග්ගා. එන්ජිම පණගැන්වුනු වහාම රතු බල්බය නිවීගියා. මර්ෆි හරියටම හරි!

කඳු පල්ලම් සහිත ප‍ටු පාරේ වෑන් රිය ධාවනය වුනා. පෙරදා මෙන් නොව, මගේ සිතට ඇනසුමක් ගෙන දෙමින්.  රතු බල්බය දැල්වෙන්න ගත්තා. යටි තොල හපාගත් ලක්ෂ්මන්,

“අයියේ අපිට ඕල්ටනේටර් එක ගලවන්න වෙනවා.” යි කිව්වා.

ආපසු හරවාගෙන පැමිණි ලක්ෂ්මන් ගේ මිදුලේ වාහනය නතර කලා.

එන්ජිමෙන් ඕල්ටනේටරය ගැලවීමට මේ මාදිලිවල රියැදුරු අසුන පවා ගලවා අයින් කරන්න වෙනවා.

“දැන් ඕල්ටනේටර් එක ගිහින් නම් මොකද වෙන්නේ?”

“අපි බලමු අයියේ. වයින්ඩිං එකක් ගිහින්ද , සර්විස් කරලා ගොඩ දාගන්න පුලුවන්ද කියලා.”

එන්ජිමෙන් ඕල්ටනේටරය ගලවමින් සිටි ලක්ෂ්මන් එකවරම කියූ දෙයින් මම විමතියට පත්වුනා. මම ලක්ෂ්මන්ව අගය කරන ප්‍රධාන හේතුවක් මේකයි

“අයියේ. මාර වැඩේනේ.  මේ ඕල්ටනේටරේ ඇණ දෙකක් බුරුල්නේ.”

“මොනවා බං? ඒ කොහොමද?”

ඒක නේන්නං. පොඩ්ඩක් ඉන්නකෝ.

ලක්ෂ්මන් හැම බාස් කෙනෙක් නොකරන වැඩක් කලා. ඒ කියන්නේ සෑහෙන ගානක් උපයාගන්න තිබුණු අවස්ථාව අත්හරිමින් ලක්ෂ්මන් මෙහෙම කිව්වා,

“පොඩ්ඩක් ඉන්නකෝ අයියේ. අපි ඕල්ටනේටරේ ගලවන්නේ නැතිව, මේ ඇණ දෙක තද කරලා බලමු.”

ලක්ෂ්මන් ඇණ දෙක තද කලා.  යතුර කරකවා එන්ජිම පණ ගැන්නුවා. රතු එලිය නිවී ගියා.

ඉන් පසුව අපි පැයක් පමණ ධාවනයේ යෙදී බැලුවත් රතු එලිය මතු වුනේ නෑ. ලයිට්, හෝන්, වයිපර් සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වුනා. ලක්ෂ්මන් නිකරුනේ ඕල්ටනේටරය ගලවා බොරුවක් කර මගෙන් ගානක් අයකර ගැනීමේ අවස්ථාව මග හැරගෙන තිබුනා.

අප ඉන්පසුව බැස තිබූ මගේම බැටරිය සම්බන්ධ කර වාහනය පල්ලමට දමා පණ ගැන්වීමට උත්සාහ කලා. ලක්ෂ්මන් රියැදුරු අසුනේ සිටිද්දී මම තනිවම ගේට්‍ටුව අසල පල්ලම දෙසට වාහනය තල්ලු කලා.  මෙන්න මේ මොහොතේ දුරකථනය නාද වුනා. වෙනියා!

“හිටපං මචං මම මේ ඉලෙක්ට්‍රීෂන් ගාවා ඉන්නේ. මේ වෑන් එක තල්ලු කරන ගමන්.”

මම දුරකථනය සාක්කුවේ ඔබාගෙන වාහනය තල්ලු කලා. පල්ලමේදී වාහනය පණ ගැන්වූ නිසා දුවගොස් වාහනයට නැගගත් මම වෙනියාට වාහනයේ තත්වය ගැන, මම ඒ වනවිට වෙමින් තිබූ දේ කෙටියෙන් පැහැදිළි කලා.

වාහනය දුවද්දී රතු එලිය දිගටම නිවී පැවතුනේ මගේ සිත අමානන්දනයට පත් කරමින්.  සියල්ල යහපත්ව නිම වෙමින් තිබුනා.  ලක්ෂ්මන්ගේ මුදල ගෙවා, ඔහුට ස්තුති කර ආපසු එන ගමන්, මම බැටරිය ආරෝපණය වෙනතෙක්ම අරමුණක් නොමැතිව ධාවනය කලා.  පල්ලම් කිහිපයක නවතා එන්ජිම නැවත පණ ගැන්වෙනවාදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව, චූන්ජියාගේ බැටරියත් ආපහු දීගෙනම  මම ගෙදර ගියා.

නමුත් ඕල්ටනේටරයේ බුරුල් වූ ඇණ දෙක මගේ සිතට වද දෙන ප්‍රශ්ණයක් වුනා. බුරුල් වූ ඇණ දෙකක්ද, නැතිනම් සුපුරුදු ලෙස තද කිරීමට අමතක වූ ඇණ දෙකක්ද?

අමතර කොටස් සඳහා සාම්පල් ලබා ගැනීමට, ගලවා ඉවත් කරන සමහර කොටසුත්, අලුත් ඒවායේ දවටනත් දමා තිබෙන පෙට්ටියට එබී බැලූ මට පිළිතුර දැකගන්නට ලැබුනා. උඩින්ම තිබුනේ මිට්සුබොෂි සහ බැන්ඩෝ  වර්ගවල ෆෑන්, පවර් ස්ටියරිං සහ AC බෙල්ට් තුනක්.   මේ බෙල්ට් තුන අලුතින් දැම්මේ පසුගිය දෙසැම්බරයේදී.. ඕල්ටනේටරය බුරුල් කරන්න ඇත්තේ එදා. ඊට පස්සෙත් අපි සෑහෙන ගමන් ගියා. ඒ වගේම මේ ගමන යන්න පෙරත් අපි නුවර ගියා. කොළඹ දිනපතා වගේ ගියා. නමුත් රෝගය උත්සන්න වුනේ දැනුයි.

එහෙනම් මේ සිද්ධියත් කාර්මිකයාගේ නොසැලකිල්ල නිසා සිදුවූවක්. තව විදියකට කිව්වොත් මිනිස් දෝෂයක්. Human Error!

පසු වදන


ඇයි මේ වගේ අවදානමක් ගත්තේ කියන එක හුඟ දෙනෙක් අහලා තිබුනා.

අපේ ජීවිතයෙන් වැඩි හරිය අපි කරන්නේ ලොකු, කුඩා අවදානම් ගැනීම තමයි.  දිනපතාම පාරේ දකුණු පැත්තේ අධිවේගයෙන් ධාවනය කරන බස් රියැදුරෝ, මෝටර් සයිකල් පදවන්නෝ මොන තරම් අනවශ්‍ය අවදානමක් ගන්නවද? ඇත්තෙන්ම ඔය බස් එකක ගමන් කරන අපි ගන්නේ අවදානමක්.

අපිත් වැඩිපුර ගමන් යන්නේ මහ රෑ. වාහන අඩු නිසා පහසුවක් තිබුනත්, නින්ද යාමේ අවදානම නෑ කියන්න බෑ.  මමත් මහ රෑ රිය පදවද්දී නිදිමත සමඟ සටන් කරනවා. වතාවක් දෙකක් නින්ද ගිහිනුත් තියෙනවා.

මම අවදියෙන් ගියත්, ඉදිරියට එන වාහනයේ රියැදුරාට නින්ද ගිහින් වෙන්න පුලුවන්. එහෙම නින්ද ගිහින් මගේ මුහුණට ආ රියැදුරන් මම මගේ නලාව නාද කර ඇහැරවා තියෙන්නේ එක් වතාවක් නෙවෙයි. ඇත්තෙන්ම රාත්‍රී ගුවන් ගමනක යෙදෙන මඟියෙක් ගන්නේ අවදාමක්. හුඟක් ගුවන් කියමුවෝ ප්‍රමාණවත් නින්දක් නොලබන බව ප්‍රසිද්ධ කාරණාවක්.


බද්දේගම අපි නොදන්න පළාතක්.  මළ ගෙදරක් වෙලා තියෙද්දි රෑ මැදියම විදුලි කාර්මිකයෙක් හොයන්න ඇල්කෙමියට කියන්න මට හිතුනේ නෑ. අනික එහෙම කෙනෙක් හොයාගත්තත් බාස්ලගේ හැටි අපිට කියන්න බෑ. හැම එකාම ඔය ලක්ෂ්මන්ගේ ජාතියේ නෙවෙයි. මේක ආදායම් මාර්ගයක් කරගෙන ඕල්ටනේටරේ විනාස කරන්නත් ඉඩ තිබුනා වෙනත් කෙනෙකුට. අනික ප්‍රශ්ණේ කොතනින් කෙළවර වෙයිද කියලා කියන්න බෑ.  නමුත් දමිත් ගුණවර්ධන සොයුරා එදා රෑ මළ ගෙදර ඇවිත් හිටියානම් කතාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා.

අනික ප්‍රශ්ණේ මේකයි කියලා මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. පරීක්ෂා නොකර කියන්නත් බෑ. ඇත්තෙන්ම මම හිතුවේ මේක රෙක්ටිෆයර් එකේ ප්‍රශ්ණයක් කියලා.  අනික වෑන් එකක ඕල්ටනේටරය තියෙන තැන අනුව, කාර් එකක වගේ ලේසියෙන් ලඟාවෙලා බලන්නත් අමාරුයි. ඒ හැරත්, ඕල්ටනේටරයේ ඇණ බුරුල් වී තිබීම සාමාන්‍යයෙන් වෙන දෙයක් නොවන නිසා එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නෑ.

අනික වාහනේ ගිය අනිත් උන්ට දොස් කියන්න බෑ, මොකද මම මේ ගැන උන්ව දැනුවත් කරලා බය කලේ නැති නිසා.  මම සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න අනිත් අයත් එක්ක බෙදාගන්නවා අඩුයි. තනියෙම නිහඬව ප්‍රශ්ණ විසඳාගැනීම මගේ එක ලක්ෂණයක්. මහ රෑ වාහනේක නින්ද යන එක සාමාන්‍ය දෙයක්.  ඒකේ වරදක් මම දකින්නේ නෑ. මේ වෙලාව මැදියම් රෑ. මට නම් දවල්ටත් හොඳටම නින්ද යන්නේ අනුන් පදවන වාහනවල.

මේ ඔක්කොටම වඩා අධිවේගී මාර්ගයේ ලයිට් නැති බව මම දැනගත්තේ ඒකේ ඇවිල්ලමයි. ඇත්තෙන්ම ගමන යනකොට වාහනේ ලයිට් තිබුන නිසා පාරේ ලයිට් නැති බව දැනුනේවත් නෑ.

අවසාන වශයෙන් පරමාදර්ශී චරිතයක් නොව, සාමාන්‍ය පුද්ගලයෙක් වන මගේ මේ කතාව හපන්කමක්, මෝඩකමක් හෝ පුරසාරමක් යන කැමති ප්‍රවර්ගයකට දාගන්න ඔබට නිදහස තියෙනවා. මට නම් මේ හුදෙක් තවත් අමතක නොවන අත්දැකීමක් එය සිදුවූ ආකාරයටම අකුරු කිරීමට කල දුබල උත්සාහයක් පමණයි. මෙවන් අවස්ථාවක් යෙදුනොත් මා කල දෙය කරන්න කියන එක නොවෙයි මෙයින් ගත යුත්තේ. වාහනයක මෙවන් රෝග ලක්ෂණ පහල වුවහොත්, එන්ජිමේ කොතනද පරීක්ෂා යුත්තේ කියන එකයි. මෙවැනි බ්ලොග් ලිපියක් මටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන්න තිබුනා එදා රාත්‍රියේ.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers. 

 Originally published @ HeyDude in English Language.

 

ටැග: , , , , ,

150. E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!

150. E01හි මාරක ගමන.  Nightmare on E01-the Southern Expressway!

ඇලුමිනියම් ගරාජ් දොරෙන් පරාවර්තනය වන  කහ පැහැති දුබල කණමැදිරි එලි යුගල දෙස මම බලාගෙන උන්නේ  විශ්මයෙන්. වහාම දොර ඇරගෙන එළියට බැසගත් මම වාහනය ඉදිරියට ගිහින්  බැලුවේ පළවෙනි වතාවට. මේක නම් අදහන්න බැරි දෙයක්.  හෙඩ් ලයිට් දෙක කළාමැදිරි දෙන්නෙක්ගේ එලිය වගේ තමයි!  එවිටම ගරාජයේ එලියේ විදුලි බුබුල දැල්වුනා. ආපහු ගිහින් රියැදුරු අසුනේ ඉඳගත් මම ගරාජ් දොර ලැසි ඉහලට එතෙන තෙක්  ඉවසීමෙන් බලා හිටියා.  ගරාජය තුලට වෑන් රථය පැදවූ මා යතුර කරකවා එන්ජිම නවත්වන්නට පෙර හොඳින් හිතා බැලුවා.

 

 “ඔන්න එහෙනම් එන්ජින් එක නවත්තනවා.” මම හඬ නගා නිවේදනය කලා.

 

“ඔව්, දෙයියනේ කියලා අපිව ගෙදෙට්ට ගෙනාවනේ පරිස්සමෙන්,” කී දීපා සැනසුම් සුසුමක් හෙලුවා.

“අද නම් මාරකයක් පැන්නා,” මට කියවුනේ ඉබේටම.

 

අපි තුන් දෙනා ඇල්කෙමියාගේ මවගේ අවමඟුලට යන්න අපි හිතාගෙන හිටියේ උදේම. නමුත් වෙනීත් අපි එක්ක යන්න කැමති වුනාම ඒ සැලසුම වෙනස් වුනා. අවුරුද්දේ අන්තිම නිසා නිවාඩු අවසන් කරගෙන සිටි වෙනීට වැඩ ඇරිලා එන්න ලැබෙන්නෙ රෑ බෝ වුනාම. ඒ අතරේ වෙනී විසින්ම බ්ලොග් ලියන රණාත්, ඕනයා සහ පවුලත් ගමනට එක් කරගැනීමට සැලසුම් සකස් කර තිබ්බ නිසා හංවැල්ල, පහත්ගම හරහා හයිලෙවල් පාර දිගේ කොට්ටාවට යාමට අදහස් කරගෙන සිටි මාර්ග සැලැස්මත් වෙනස් කරන්න සිද්ද වුනා.

 

මුලින්ම ඕනයා  සහ  පවුල පටවා ගැනීමට කඩුවෙල හරහා මුල්ලේරියාව පැත්තට ගිය අපි ඉන් පසුව පැළවත්ත හරහා ගමන් කර හයිලෙවල් පාරට ඇතුල් වීමට පෙරම වැස්ස පටන් අරන් තිබුනා. වෙනීත්, රණාට කොට්ටාවෙන් වෑන් එකට නැග්ගේ මහා වැස්සේ.

 

කොට්ටාවෙන් E01 දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේ ටෝල් බූත් එකට වාර්තාකරන විට වෙලාව හවස 7.49 යි. ඇද හැලෙන මහ වර්ෂාව නිසාත්, රාත්‍රිය නිසාත්, වාහනයේ අමුත්තන් සිටි නිසා වූ අමතර වගකීම නිසාත් මා රියැ පැදවූවේ වේග සීමාවට අඩුවෙන්. වැස්සත්, රාත්‍රියත්, වේගවත් රියධාවනයත් නරක සංයෝගයක්. ඒ වගේම අපි කෙතරම් ප්‍රවේශම් වුනත් අනිත් රියැදුරන්ගේ නොසැලකිලිමත් භාවය ගැන කලහැකි දෙයක් නැති තරම්.

  ?????????? 

 දීපාත් මමත් ඉදිරියේත්, පුතා සහ අනිකුත් අය වාහනයේ පසුපසත් අසුන් ගෙන සිටියා. මාර්ගයට සම්පූර්ණ අවධානය යොමාගෙන හිටි මම පසුපසින් නොනවත්වා ඇසුන ,  උස් හඬින් කෙරුණු උසුළු විසුළුවලට අවධානය යොමු කලේ අතරින් පතර. මුළු ගමනේම සියළුම විහිළු තහළුවල ගොදුර නොහොත් බයිට් එක වුනේ අසරණ වෙනියා බව මට පුතාත් පසුව කීවා.

 

අප කුරුඳුගහහැතැප්ම පිටවුමෙන් අධිවේගී මාර්ගයෙන් පිටවනවිට කි. මී. 67.6 පසු කිරීමට හරියටම විනාඩි පනස් හතක් ගතවී තිබුනා.

 

ඇල්කෙමියාගේ බ්ලොග් අඩවියෙන් බලාගෙන කඩිමුඩියේම කොල කෑල්ලක ලියාගත්  ඇල්කෙමියාගේ ගෙදරට යන මාර්ග විස්තරය රියැදුරු අසුන අසල කොන්සෝලයේ රඳවා තිබුනත්, වෙනියාත් එම අඩවියෙන්ම බලාගෙන A4 කොලයක සටහන් කරගෙන සිටි විස්තරයට එය සැසඳුන නිසා අපි ඒ කෙරෙහිත්, වෙනියාගේ දුරකථනයේ තිබූ SatNav වැඩසටහනත් පමණක් පාවිච්චි කලා.

E01 මාර්ගයෙන් පිටවූ වහාම, වමට තිබූ විශාල මාර්ගය නිවැරදි එක වුවත්, එහි විශාලත්වය නිසා එය නැවත අධිවේගී මාර්ගයටම යන පිවිසුමක් විය හැකියයි වරදවා තේරුම් ගත් අපි, මුල්ම වරද කරගෙන තිබුනා. කෙසේ හෝ නොනවත්වා වෙනියාටත් navigation වැඩ සටහනටත්,  පසුව  වෙනියාගේ A4 Navigation නමින්  Facebook හරහා චණ්ඩ මාරුතයක් සේ හමා ගිය වැඩසටහනටත් කෙරුනු විහිළු-තහලු, අපහාස මැද්දෙන් අපි විකල්ප මාවතක් ඔස්සේ ගමනාන්තය කරා ලඟාවෙමින් තිබුනා.

 

මුත්‍රාශ හිස් කරගෙන යාමට සුදුසු තැනක් සොයමින් සිටි අපට පසු කරමින් අඳුරු රබර් වත්ත කෙම් බිමක් වුනා. මාර්ගය අයිනේ පේලියට සිටගෙන කාර්යය නිමාකල අප ආපසු වාහනයට නැඟුනා.

 

එන්ජිම පණගැන්වීමට යතුර කරකැව්වත්, ස්ටාටර් මෝටරය කෙඳිරිළි හඬක් නගමින් නිහඬවුනේ මා පුදුමයට පත් කරමින්. අලුත්ම එකක්වූ මේ බැටරිය, අධිවේගී මාර්ගයේ කල ධාවනය නිසා හොඳින්ම ආරෝපණය වී තිබිය යුතුයි.  මේ වාහනය කිසිම දිනෙක, (මීයෙක් ඩීසල් පොම්පයට යන වයරය කා දමා තිබූ දිනයේ ඇර) එන්ජිම පණ නොගැන්වී සිටීමේ රෝගයයට ගොදුරු වී නැහැ.  මම හෙඩ් ලයිට් දල්වා බැලුවා. දුබල ආලෝකයක් නිකුත් කල ඒවා සැනෙකින් අඳුරු වී ගියා.

 

වාහනය තල්ලු කර පණගන්වා ගැනීම සභා සම්මත වීමත් සමගම, පිරිමි වාහනයෙන් බැස තල්ලු කරන්න පටන් ගත්තා. නමුත් එයත් හිතූ තරම් පහසු නොවුනේ තල්ලු කිරීමට සිදුව තිබුනේ මඳ බෑවුමක ඉහලට නිසයි. ඒ වගේම පාර පෙනෙන්නට තිබුණෙත් තරු එලිය පමණයි. දෙවන හෝ තුන්වන උත්සාහයේදී අවශ්‍ය වේගය ලැබූ එන්ජිම පණ ගැන්වුනා. වහාම වාහනයට නැග ගත් අප ගමන පිටත් වුනා. මා සන්ත්‍රාසයට පත් කරමින් වාහනය ධාවනය කරද්දීත් සාමාන්‍යයෙන් එන්ජිම පණගැන්වුනු වහාම නිවී යායුතු රතු බැටරි ලාංඡනය දැල්වී තිබුනා. ඒ කියන්නේ බැටරිය ආරෝපණය වෙන්නේ නෑ.

 

“මේ වාහනය මාස දහයහමාරක් නිකම්ම තිබිලත්, බැටරිය හයි කරලා යතුර කරකවපු ගමන්ම ස්ටාට් වෙන වාහනේ, මේක වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි.” මම කිව්වේ හිතේ අමාරුවෙන්.

 

ඇත්තෙන්ම ටික වෙලාවකින් ඩෑෂ්බෝඩ් චාජිං ලෑම්ප් එක නිවී ගියත් ය වරින් වර ධාවනය කරද්දී දැල්වෙන බව දු‍ටු මගේ හිත තවත් බර වුනා. එක්වතාවක් පාර නැවත වැරදී එක් අයෙක් පාර අසාගෙන ඒමට ගිය අතරේ මම එන්ජිම නැවැත්වුනේ පුරුද්දට. අධික බෑවුමක නවතා තිබූ වාහනය,  එවර මට පණගන්වන්නට සිදුවුනේ පසුපසට නිදහසේ යන්නට ඉඩහැර  රිවර්ස් ගියරය යෙදීමෙන්. මේ නම්, අඳුරු ‍රැයක,  නොදන්නා පාරක,  රිය පිරෙන්නට මඟීන් පටවාගෙන ඇති විටෙක, අධික බෑවුමක කිසිසේත් නොකලයුතු දෙයක් වුවත් මට වෙනත් විකල්පයක් තිබුනේ නෑ.

 

මළ ගෙදරට ලඟාවුන පසු තල්ලු කරන්නට ඉඩකඩ ඇති තැනක වාහනය නැවැත්වූ මම, අනික් අය වාහනයෙන් බහින අතරේ, බැටරි කවරය ඇ,ර පසුපස සබ්වූෆරයට බැටරියෙන් දී තිබූ සම්බන්ධය විසන්ධි කලේ, බැටරියට ඇති බර අඩු කරන්නට හිතාගෙන.

 

මුල් වතාවට ඇල් මුණ ගැසී කතාබහ කලත්, කට්ටියම වටවී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියත් මගේ හිතේ  තිබුනේ වාහනයේ රෝගය ගැනයි. දවල් කාලයකදී නම් එතරම්ම ගැටළුවක් නොවුනත් මේ වාහනයෙන් එකක් පිරිස පටවාගෙන ආපසු කිලෝමීටර් සියයක්ට වැඩිය මහ ‍රැයක වැස්සේ  බැටරිය බසිමින් පවතින වාහනයක් ධාවනය කරන අවදානම මගේ හිත බර කලා. අනිත් වුන් කියන දේට මම නිසි පිළිතුරු දුන්නත්, මම අහන් හිටියේ ඇත්තෙන්ම බාගෙට.

 

“අපි මොකද කරන්නේ දැන්?”

 

“මාත් මේ කල්පනා කරන්නේ  ඒකම තමයි.අපි එක්ස්ප්‍රස්වේ එකේ යන එක අවදානම්. මොකද මගදි නවත්තන්න බෑ. අනික නැවැත්තුවත්  වැස්සෙ කළුවරේ අනිත් ඩ්‍රයිවර්ස්ලට අපිව නොපෙනෙන්නෙ ඉඩ තියෙනවා හැපෙනකල්ම. හැසඩ් ලයිට්, සිග්නල් මොකුත් නෑ බැටරිය චාජ් නොවෙන කේස් එක නිසා”

 

“ඔයා හොඳ දෙයක් කරන්න.”

 

“ඒ එක්කම, ගාලු පාරේ ගියොත් සෑහෙන වෙලාවක් යනවා ගෙදර යන්න. අනික මේ කට්ටිය ගෙනිහින් දාන්න තවත් ඈත යන්න වෙනවා. වෙලාව ගතවෙන්න වෙන්න, වැඩේ තවත් උග්‍ර වෙනවා.”

 

“ඒකට මොකද කරන්නේ?”

 

“කරන්න ඕනේ හරිම දේ නම් එලිවෙනකල් ඉඳලා උදේම යන එක. නමුත් ඒක අපිට කරන්න බැරි වෙනීට වැඩට යන්න තියෙන නිසා. අනික අර ඕනයගේ පොඩි එකී. ඒ වැඩේ කරන්න බෑ. හරි නෑනේ.”

 

“ඉතින්?”

 

“ඉතින් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ප්ලෑන් බී තමයි.  කරන්න ඕනේ නම් හැකි ඉක්මනින් ගෙදරට යන එක. ඒ කියන්නේ මොකුත් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරලා එක්ස්ප්‍රස්වේ එකේ යන එක. එක පොයින්ට් එකක් එනවා ලයිට් නැතුවම යන්න පුලුවන්. ඒ නිසා හොඳම ඔප්ෂන් එක ඕක තමයි.  මොකද ගතවෙන කාලය අඩු නිසා.”

 

“රිස්ක් එක අඩු දෙයක් කරන්න.”

 

රෑ කෑමත් කාලා, ඇල්කෙමියාගේ ගහෙන් ඒප්‍රිකොට් ගෙඩිත් කඩාගෙන අපි එළියට බැස්සා. මම හිතුවා වගේම බින්දුවටම බැස තිබූ බැටරියේ ස්ටාර්ටර් මෝටරය කරකවන්නට ජවයක් ඉතිරිවී තිබුණේ නෑ. තල්ලුකර එන්ජිම පණගන්වාගෙන, කට්ටිය පටවාගත් වහාම අපි පිටත් වුනා, මෙවර නියමිත මාර්ගයේ. 

 

අධිවේගී මාර්ගයේම ආපසු යාමට හිත හදාගෙන සිටි නිසා මම කුරුඳුගහහැතැප්ම පිවිසුම දෙසට රිය ධාවනය කලා. නමුත් මම ගත් තීරණය හරිදැයි සිතේ දෙගිඩියාවක් මතුකරමින් මෙවර බැටරිය බහින බව හඟවන රතු එළිය දිගටම දැල්වී තිබුනා.

 

කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් ටිකට් පත ලබාගන්නා විට වේලාව හරියටම රාත්‍රී 12.07යි. ‘මේකෙ නම් ලයිට් නැතුව හරි  යන්න පුලුවන්,’ විදුලි පහන් එලියෙන් ඒකාලෝක වූ අධිවේගී මාර්ගය දැක මම මටම කියාගත්තා . නමුත් ඒ සතුට තිබුනේ විනාඩි කීපයයි. අධිවේගී මාර්ගය ආලෝකවත් කර තියෙන්නේ පිවිසුම්, පිටවීම්, සේවා ප්‍රදේශ සහ පාලම් උඩ විතරක් බව තේරුම් ගන්න මට ගියේ ටික වෙලාවයි. 

 20140314012107

දැන් මොකද කරන්නේ. හරියටම එකපාරටම බිම්ගේකට ඇතුල් වුනා වගේ  හැමදේම කලුවර වෙනවත් එක්කම මම ඇක්සලරේටරයෙක් කකුල ගත්තෙ නිකම්ම.

 

ටිකකින් ඇස් අඳුරට හුරුවෙද්දී අපේ දියාරු, කණාමැදිරි එළිය ද්විත්වමාර්ගය බෙදන යකඩ වැටේත්, මංතීරු දෙක බෙදන කඩ ඉරෙත්, පාරේ සීමාව පෙන්නන ෆොග්ලයින් නම් රේඛාවේත් ලුමිනස් තීන්ත වලින් ඉතාම දුර්වලව පරාවර්තනය වෙන හැටි දැක ගන්න හැකිවුනා. අනිත් හැම දෙයක්ම ඝනඳුරේ ගිලී තිබුනා.

 

පාර මැද්දේ අලියෙක් හිටියත් හැපෙනකල් නොපෙනෙන බව අපි දෙන්නම දැනගත්තා. ඒ වගේම අපි වගේම ලයිට් නැති කවුරුහරි පාර මැද්දේ නැවතිලා හිටියොත්, නැතිනම් හෙමින් ගමක් කරමින් හිටියොත් හැපෙනකල්ම නොපෙනෙන බවත් සිහිවෙද්දි මගේ ඇඟ හිටිවැටිලා ගියා. 

 

මට කල හැකි එකම දෙය වුනේ, වාහනය මලානිකව යන්තමින් පෙනෙන ලුමිනස් “ෆොග්ලයින්” රේඛාවත්, ද්විත්ව මාර්ගය දෙකට බෙදන යකඩ වැටේ ලුමිනස් පරාවර්තක පෙලත් අතරින් රඳවාගෙන ධාවනය කිරීම පමණයි. ඇත්තෙන්ම එක මහා මාර්ගයක මෝටර් රථයක් ධාවනය කරනවාට වඩා, අහසේ පියාසර කිරීමක් ලෙසයි දැනුනේ. හරියටම කිව්වොත්, ඉතා අයහපත් කාළගුණ තත්වයක් යටතේ, කැලෑබද පෙදෙසක කුඩා ගුවන්තො‍ටුපොලක නිසිලෙස ආලෝකමත් නොකල  ධාවන තීරුවක්  එල්ලකරගෙන ගුවන්යානයක් ගොඩබෑමට තැත් කරන්නාක් වැනි අත්දැකීමක්.

 

අනතුර අවබෝධකරගත්ත දීපා ආසන පටිය ගලවා වීදුරුවට මුහුණ ඔබාගෙන යාන්තමින් පෙනෙන සුදු ඉරි දෙක අතරේ වාහනය රඳවාගන්න උදව් කලා.

 

“පොඩ්ඩක් වමට වැඩි වගේ. වැට පැත්තට වැඩි නැද්ද?”

 

අතරින් පතර අලුත් වන වර්ෂාව වින්ඩ්ස්ක්‍රීනය මත ඇදහැලෙද්දී වයිපරය ක්‍රියාත්මක කලත් එකම එක වතාවක් වීදුරුව හරහා අමාරුවෙන් ඇදීගිහින් නතර වුනා. වීදුරුව පැහැදිලි වූඋ වහාම මම වයිපර් ස්විචය ක්‍රියා විරහිත කලේ ලයිට් එලියත්, ඒ සමගම ඝනදුර අතරින් මග පෙන්වූ ලුමිනස් පරාවර්තනයත් නැත්තටම නැතිව යනබව දු‍ටු විටයි.  බොහෝ විට මම වයිපර වරක් ක්‍රියා කිරීමේදී වේගය තවත් අඩු කිරීමට වග බලාගත්තා.

 

සාමාන්‍යයෙන් එන්ජිම වේගයෙන් දුවද්දී දුර්වල බැටරියක වුවත් එළිය මඳක් වැඩිවියයුතු වුවත් දැන් සිදුවෙන්නේ එහි අනිත් පැත්ත බව  මට වැටහුනා. ඉදිරියෙන්  වැටේ අනිත් පැත්තෙන් පැමිණින වාහනවල එළිය නිසා යන්තමින් පෙනෙන ලුමිනස් ඉරි අතර ධාවනය කිරීමට හුරුවී සිටි ඇස් වල පෙනීමට භාදා වුනා. උදව්වකට වඩා භාදාවක් වූ, ඉඳහිට අප පි‍ටුපසින් පැමිණ අප පසුකර දිවයන වාහන පසුපස එම වේගයෙන් හඹා යාමට ඇතිවූ පෙළඹවීම මම අමාරුවෙන් යටපත් කරගත්තේ එහි භයානක කම නිසා.

 

පාලමක් මතදී, පිවිසුම් සහ සේවා ප්‍රදේශවල  ඒකාලෝකවී තිබුණු මාර්ග කොටස්වලට ලඟාවෙද්දී වේගය වැඩි කිරීමටත්, අවසන් පහන් කණු කීපයට පෙර වේගය අඩු කිරීමට මම මඳ වෙලාවකින් හුරුවුනා. නැතිනම් එක්වරම අඳුරු ප්‍රදේශයට ඇස හුරුවන්නට යන කාලය තුලදී වාහනය වැටේ හැපීමට  පුළුවන්. 

 

හෙඩ්ලයිට් , ටේල් ලයිට්, බ්‍රේක් ලයිට්, වයිපර් , සිග්නල් නැතිව  අධිවේගී මාර්ගයක වැස්සේ, රාත්‍රියේ යන මේ ගමන කෙතරම් මාරාන්තිකද යන බව පසුපස සිටි මඟීන්ට අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට තිබුනේ නෑ.  ඕනයාත් පවුලත් පසුපසම ආසනවල හොඳටම නිදාගෙන සිටි අතර, වෙනියාත් අපේ පුතාත් ස්මාට්ෆෝන් සසඳමින් ලොකු කතාවක යෙදී සිටියා. අඩ නින්දේ සිටි රනා ඉඳ හිට ස්මාට්ෆෝන් කතාවට සහභාගී වෙනවා ඇහුණා. දීපා ඉදිරියට එබී වාහනය සුදු ඉරි දෙක අතර රඳවාගෙන ධාවනය කෙරෙනවාදැයි බලමින් විටින් විට මට අනතුරු හඟවමින් ගියා. මම උකුසු ඇස් දල්වාගෙන යන්තමින් අඳුර අතරින් පෙනෙන ලුමිනස් රේඛා අතර රිය ධාවනය කිරීමේ අරගලයේ යෙදුනා

 20140314012416

පසුවෙන හැම කිලෝමීටරයක්ම වෙන වෙනම ලැබූ සුවිශේෂී  ජයග්‍රහණයක් ලෙස මට දැණුනා. තව කිලෝමීටර් පනහයි…    තිහයි…    විස්සයි…

 

අන්තිමේදී කොට්ටාව ට තව කිලෝමීටර් එකක් බව දකිද්දී  මට දැණුනේ දිණුම් කණුව පසුකරන්න යන ඔලිම්පික් ධාවකයෙකුට දැනෙන සතුටට වඩා වැඩි සතුටක්.  කොට්ටාවේදී ටිකට්පත දී රුපියල් තුන්සීය ගෙවද්දී මේ කිලෝමීටර් 67.6 පසුකිරීමට පැයකුත් විනාඩි 13 ගතවී ඇතිබව ටිකට් පතෙන් මා දු‍ටුවා. අනතුරක් නොවී ඒකෙන් එලියට ආපු එක ඇති නේ දීපා කිව්වා. වෙලාව පාන්දර 01.20 නිසාදෝ එහි සිටි කිසිවෙක් කණාමැදිරි ලයිට් එළියගැන කිසිවක් කීවේ නෑ.

 

කෙසේ හෝ, බියකරු සිහිනයේ නරකම කොටස අප පසුකොට අවසන් කර තිබුනා.

 

දැක් කලයුතු හොඳම දේ කෙටිම මාර්ගයවන හයිලෙවල් පාරේ දකුණට හරවා හංවැල්ල පැත්තට ධාවනය කර ගෙදර යාම වුනත්, මේ කට්ටිය මගින් බස්සා ත්‍රීවීල් වල යන්නට කියන්න හිතහදාගන්න බැරිවුන නිසා මම නැවතත්  කොළඹ පැත්තට හැරෙව්වා.

 

මුලින්ම බැස ගියේ වෙනී.

 

උඹලෑ පාරේ ලයිට් තියෙනවද ඕනේ? මම ඇහුවා. ඔව් ඔව් ඕනයා කිව්වා. ඕනයාගේ ගෙදරට හැරෙන පාර පෙන්නන්න ඕනයා මොහොතක් පමාවූ නිසා හන්දිය පසු වුනා. ආපසු හැරවීමට හෝ පසුපසට ධාවනය කිරීමටනොහැකිවුනේ ඒ මොහොතේ පාරේ ගමන් කරමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා නිසා. ඔවුන් ලයිට් ගැන විමසුවොත්, ඒ වගේම සිග්නල් පාවිච්ච්චි නොකලේ මන්දැයි ප්‍රශ්ණ කලහොත්, දීමට පිළිතුරක් නැති නිසා, මම ඉදිරියටම ධාවනය කර ඕනයාම පෙන්නූ වෙනත් මාර්ගයකින් හැරුනා. පසුව ඕනයා සමගම රණාත් වාහනෙන් බැස්සා.  දැන් වාහනයේ එන්ජිම මොනම හේතුවකටවත් නතරවෙන්න නොදී ගෙදරටම යන්න වෙනවා. ඇයි තල්ලු කරන්නත් කෙනෙක් නෑනේ.

 

හරි. ඒ වගකීම ඉවරනේ දැන් අපි දෙයියනේ කියලා ගෙදරට යාගන්න බලමු.

 

අඳුරු තැන්වල ඉතා සෙමින් ධාවනය කරමින් අපි කඩුවෙල හරහා ගෙදරට ලඟා වුනා. ඒ වනවිට වැස්ස නැවතී තිබීමත් ලොකු පහසුවක් වුනා. පොලිසිය ඉදිරිපිටත් කිසිව්ක් නොහිටි බව දු‍ටු මට අවසන් කඩුල්ලත් පැන්න බව දැනුනා.

 

වාහනය පාරෙන් ගෙදරට හරවනකොටම මට මතක් වුනේ පාරේ වාහන නතර කරන අසල්වැසියෝ.

 

“අදනම් මුන් පාරේ පාක් කරලා තිබ්බොත් හැපෙනකල් පේන්නේ නෑ” මම කිව්වා.

 

හොඳ වෙලාවට පාර නිදහස්ව තිබුනා.

 

වාහනයේ එන්ජිම නවතා පු‍ටුවක් මතට ඇද වැ‍ටුණු මම පුදුමාකාර සැහැල්ලුවක් අත් වින්දා.

 

“කෝ දීපා මුන් එකෙක්වත් නිකමටවත් කතාකරලා ඇහුවේවත් නෑනේ උඹලා කරදරයක් නැතුව ගෙදර ගියාද කියලා.”

 

“ඇත්තෙන්ම ඒ කාටවත් මේ  වැඩේ බරපතලකම තේරුනේ නෑ මම හිතන්නේ. ඇත්තෙන්ම මාරාන්තික ගමනක්නේ ආවේ.”

 

“ඔව්, මම ඒකට ප්‍රොපගැන්ඩා එකක් දුන්නෙත් නැත්තේ උන් කළබල කරන්නේ මොකටද කියලා.”

 

 

මතු සම්බන්ධයි.

 

මීලඟ කොටසින්: මෙහෙම වුනේ ඇයි?

 Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers. 

 Originally published @ HeyDude in English Language.

 

ටැග: , , , , ,

148. ඇන්ටික්මේනියාව – Antiquemania


 

රතගාය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක් වුනාට, මගේ හොඳම යාලුවා මහින්දටයට තියෙන රතගාය වෙනම ප්‍රබේදයක්. අර සිරාට වගේ මේකට තියෙන්නේ සාමාන්‍ය රතගායට අමතරව, ඇන්ටික් රතගායක්.  මහින්දයා පරණ වාහන ලඩියක් ගේන්න යනවානම් නිවාඩුවට ගිහින් හිටියොත් මාවත් ඇදගෙනමයි යන්නේ. 

  

දැන් මේ පේන්න තියෙන මන්ත්‍රී මොඩල් ජීප් එකත්, ඒ විදියටම, එක නිවාඩු කාලෙක මාත් එක්ක ගිහින්, කෑගල්ල පැත්තෙන් අරන් ආපු එකක්. 

මහින්දයා ගිහින් කර ගහන වාහන ලඩි මට නම්  දැක්කාමත් බය හිතෙනවා, මේක අරන් කොහොම ගොඩ එන්නද කියලා. නමුත් පාවිච්චියට අලුත් වාහන තියෙන බුවාට ඒක විනෝදංශයක් විතරක් නිසා, ඒවට සෑහෙන ගානක් ගෙවලා ඇදගෙන ඇවිත් මාස ගනං, අවුරුදු ගනං හදලා කොහොම හරි ගොඩ දාගන්නවත් එක්ක. මේ තියෙන්නේ එහෙම එකක්.

 


මේක මුලදි තිබ්බ හැටි දැක්කනම්!

 


මේ නිවාඩු කාලේ මම මහින්දයත් එක්ක පරණ අමෙරිකන්/කැනේඩියන් ක්ලැසික් එකක් වන Pontiac Lorentian කාරෙකක් බලන්න ගියා. මේ වාහනේ අයිති අපේ ගමට නුදුරින් පිහිටි පළාතක අවුරුදු ගානක් තිස්සේ ජීවත් වෙන ක්ලවුස් කියන ඕස්ට්‍රියානු ජාතිකයෙකුට. මේ ඕස්ට්‍රියානුවා මුණගැහිලා ටිකක් ආශ්‍රය කරනකොට මට මතක්වුනේ රොබර්ට් නොක්ස්ව. මේ බුවාත් චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ලංකාවට ඇවිත් මෙහෙන්ම කසාදෙකුත් බැඳලා, දරුවො දෙන්නෙකුත් හදාගෙන, කැලෑවක් වගේ පැත්තක, පයින් යන්නත් අමාරු කන්දක් උඩ ගෙයක් හදාගෙන ජීවත් වෙන්නේ.


“ඔයා ඇරෙන්න මම දන්න අනිත් ඕස්ට්‍රියන් කාරයා ෂ්වාර්ට්සෙනගර් තමයි.” මම කිව්වා.

“හාහ්, හාහ්, හාහ්! ෂ්වාර්ට්සෙනගර්!” ක්ලවුස් හිනාවුනා.

“ෂ්වාර්ට්සෙනගර් කියන්නේ ඕස්ට්‍රියාවේ නිතර අහන්න ලැබෙන නමක්ද?”

“නෑහ්! හපෝයි නෑ. ඒක ඕස්ට්‍රියාවෙත් වැඩිය අහන්න තියෙන එකක් නෙවෙයි.”

 


මේ අතරේම මහින්දයත් ක්ලවුස්  එක්ක ආපහු මිළ ගැන, වාහනේ අඩුපාඩු ගැනත් කතාව යනවා. වටේටම තියෙන්නේ උස කඳු මුදුන්. බලකො‍ටුවක් වගේ පේන ගේ හදලා තියෙන කන්දෙ උඩහා පේන්නේ අන්නාසි යායක්.

“ඒක නෙවෙයි ක්ලවුස් , අර අන්නාසි වගාවත් ඔයාගෙද?”

“හනේ නෑ. වගා කරනවා නම් නියම රටක් මේක. ඔයාට කියන්න හෙන්රි, මම මොකක් හරි පළතුරක් කාලා ඇටේ විසිකරනවානේ වත්තට. මෙන්න පස්සේ බැලුවම ඒක නිකම්ම පැළවෙලා. මේ වතුර දාලා පෝර දාලා නෙවෙයි. නිකම්ම. “

“ඔයා කියන්න හදන්නේ ලංකාවෙ පස ඒ තරම් සාරවත් කියන එකනේ.”

“ඔව්. මේ හැම තැනම වගා කරන්න පුළුවන් වුනත් එහෙම කරන්නේ නෑ. මිනිස්සුන්ට එහෙම ඕනේ කමක් නෑ.  පාලුවට අතෑරලා දාපු ඉඩම් ඕනෙ තරම්. “

“හෙහෙ හෙහ්. නමුත් ඊශ්‍රායලය වගේ රටවල මිනිස්සු කාන්තාරෙත් වගා කරන්න හදනවා වතුර ගෙනියලා, නේද?”

“හරියට හරි. අන්න ඒකයි මම කියන්නේ…”


මම කියන්න යන්නේ ඕස්ට්‍රියානුවා කියාපු විදියට හැම තැනම වගා කරන්න පුලුවන් කියන එක වත් එහෙම කල යුතුයි කියන එකවත් නෙවෙයි. බුවා අපේ රට ගැන දරණ ආකල්පය ගැන කියන්නයි. අපි කොහොමත් ආසයිනේ අනිත් අය අපි ගැන හිතන හැටි දැනගන්න.

පොන්ටියැක් එකට අමතරව ක්ලවුස්  ගාවා ඒවගේ ඇන්ටික් වාහන තව කීපයක්ම තිබුනා. Triumph මෝටර්සයිකල් දෙකක්. තව මේක…

 


හුලං මදි නිසා ක්ලවුස්  මුලින්ම රෝද හතරටම හුලං ගැහුවා. ඊට පස්සේ අඩ කොට තිය තියා මේක ගරාජ් එකෙන් එලියට ගන්නත් මාර කට්ටක් කෑවේ මොකද මේකේ බ්‍රේක් නැතුවා මදිවට   එතන පොළොවේ පිහිටීමයි, හරවන්න ඉඩකඩ මදිකමයි නිසා.

 

 

 

මේ කාර් එක ගත්තා වගේ නෙවෙයි අර කැඩිච්ච ගල් මතුවෙච්ච මහා පල්ලං වංගු තියෙන පාර දිගේ මේ බ්‍රේක් කඳුලක් නැති වාහනේ ඇදගෙන එන එක. අනික මේකේ පොඩි බරකුත් නෙවෙයිනේ තියෙන්නේ. මේක කැනඩාවේ හදපු අමෙරිකානු කාර් එකක්.  දැවැන්ත එන්ජිම ගැලපෙන්නේ අදට නෙවෙයි, අර පෙට්‍රල් ගැලුම රුපියල් 4.50 ට තිබිච්ච කාලෙටයි. ඉතිං පාලිත මල්ලියි, අර මම කලිනුත් කියලා තියෙන අපේ මෙකැනික් සුගතුයි මුලින්ම යට රිංගලා ටෝ බාර් එක හයි කලා.

ඊට පස්සේ පොන්ටියැක් එක එල්ලාගත්ත ජීප් එක, ෆෝර්වීල් ඩ්‍රයිව් එකේ, ලෝ ගියර් එකකට දාගෙන තමයි පල්ලම බැහැගත්තේ.

මේ ගණුදෙනුව සෙට් කලේ අංකල් කියන බ්‍රෝකර්.  ලස්සනම වැඩේ අපි ආපහු අර අබලන් පාරේ අර මහා පල්ලමේ බ්‍රේක් නැති පොන්ටියැක් එක ජීප් එකෙන් ඇදගෙන එනකොට අංකල් වාහන දෙකෙන් එකකටවත් නගින්නේ නැතුව පයින්ම ගාටනවා වාහන දෙකටම පිටිපස්සෙන්.

 

“අංකල් පයින් කොටන්නේ මොකෝ? නගින්නකෝ මේකට.”


“අනේ එපා සෑර්. පයින් ගමන ඇඟට ගුණයි කියනවනේ.”


“හෙන්රි අයියේ ඔය යකා පයින් එන්නේ, පොරම බ්‍රෝකර් වැඩේ කරපු වාහනේ පොරටම ෂුවර් නැති හන්දා නගින්න බයේ” කියපු පාලිත මල්ලි කොක් හඬ දීලා හිනාවුනා.


අපි පාර දිගේ වාහනේ ඇදගෙන යනකොට තේ කඩයක් ලඟ හිටි කොලු කුරුට්ටෝ වගයක් “මෙන්න අර ලංකාවටම තුනක් තියෙන එකෙන් එකක් ගෙනියනවෝ” කියලා කෑ ගැහුවා.


ඊට පස්සෙ දවසක මම සුගත්ගේ ගරාජ් එක ලඟ ට ගියාම පොන්ටියැක් එකට මොකද කියලා බලන්න අමතක කලේ නෑ. අපි බලමු ඊ ලඟට එනකොට මේක හදාලා, ටිංකර් කරලා, පේන්ට් කරලා, මනමාලිවගේ අන්දලා තියෙයිද කියලා අපිටත් ටිකක් කරකවලා බලන්න.


ඉතිං උඹලා අහනවා මොනවද බං උඹට නිවාඩු කාලේ ඔය හැටි තියෙන වැඩ කියලා.

Simulblogged in මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , ,