RSS

Category Archives: Andy Griffiths

173.මඩ-3 (අවසාන කොටස)


අපි ප‍ටුමගේ ඉඳං පාරෙ එහා පැත්තේ ගොඩනැගිලි අධ්‍යයනය කරනවා.

අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැති හැටි!

තාත්තයි මායි මෙතන හිටගෙන මොකද කරන්නේ කියලා නොදන්න අයට මෙන්න
පළවෙනි කොටස
දෙවෙනි කොටස.

මම ඇත්තටම හිතුවේ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න හැකි වෙයි කියලයි. අපි මෙච්චර කට්ටක් කාගෙන මෙතනටම ඇවිත් වැඩේ අතෑරලා දාන්න වෙන්නද මේ යන්නේ? Read the rest of this entry »

 

172.මඩ-2


20160208_215027

Christopher Atkins from Blue Lagoon

“ඩාං”

(“ඩාං” ගාන සද්දෙ  මොකක්ද කියලා හරියටම දැනගන්න කියවන්න මඩ පළමුවෙනි කොටස.)

“තාත්තේ” මම තාත්තගේ උරහිසට අතක් තියලා කතා කරනවා.

“මොකද?” තාත්තා කෙඳිරි ගානවා.

“තාත්තේ, ඔයාගෙ ඔලුවට ඔහොම කරන එක හොඳ මදි නේද?” Read the rest of this entry »

 

171.මඩ


20151218_123558

මම උපන් ඇඳුමෙන්.

මාව කට කට ගාලා වෙව්ලනවා.

ඒ ගමන්ම මම පිටිපස්සෙ දොරට පුලුවන් තරම් හයියෙන් තඩිබාන ගමන්.

“තාත්තේ, තාත්තේ, මේ දොර අරින්ඩෝ!”

මම දොරේ අණ්ඩ අල්ලලා හැකි වෙර දාලා පහලට කරකවලා තල්ලු කරන්න හදනවා. නමුත් වැඩක් නෑ.

මට එලියට එන්න කලින් දොරේ ඩෙඩ් බෝල්ට් එක ඉබේ ලොක් නොවෙන්න දාන්න තියෙන පෙත්ත උඩට දාන්න අමතක වුනා මම හිතන්නේ. දැන් මොකද කරන්නේ. ගෙට ඇතුල් වෙන්න වෙන ක්‍රමයක් නෑ. හැම ජනේලෙකටම ග්‍රිල් හයි කරලා.  ඉස්සරහ දොරට, මීටත් වඩා ෆුල්ම සිරා, මේ සම්මජ්ජාතියෙදි මෙලෝ යකෙකුට එලියෙන් අරින්න බැරි  ජාතියේ ඩෙඩ් බෝල්ට් එකක් හයි කරලා තියෙන්නේ. Read the rest of this entry »

 

159. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

159. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

අපි ගිය පාර නතර කලේ මෙතන…

මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.

අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.

ඊට පස්සේ…

පඩි පෙල දිගේ පහලට  එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.

කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ රාත්තල් දාහක් විතර බරයිනේ මේක! හොඳ  වෙලාවට මේක රෝද තියෙන ජාතියෙ එකක්.

කුණු බක්කිය පස්සට ඇල කරගෙන පාරට දුවන මම දකින්නේ කුණු ලොරිය අපේ පාරේ කෙළවරේ තියෙන පල්ලමේ වංගුවෙන් හැරිලා නොපෙනී යන හිත් කම්පා කරවන දර්ශනය.

ආආහ්හ්හ්හ්හ්!
තාත්තා මාව මරයි!
අම්මා මාව මරයි!
(ඒ දෙන්නා ඊට කලින් මහාමාරියෙන් මලේ නැතිනම් ඒ.)

DSC_1861මේ කුණුබක්කිය කොහොම හරි ලොරියට පටවන්න වෙනවා.
මේකට තියෙන්නේ එකම එක ක්‍රමයයි.
කුණු ලොරිය එච්චර ඈතක වෙන්න බෑ . මොකද ඕක හැම තැනම නවත්ත නවත්ත යන්නේ.  මටත් අවශ්‍ය වෙලාවට වේගෙන් දුවන්න පුලුවන්.

මම කුණු බක්කිය තල්ලු කරගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා.
එහෙම කිව්වට ඇත්තෙන්ම කුණු බක්කිය මාවත් ඇදගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා. ගඳ නැත්නම් පට්ටම රයිඩ් එක ඒකත්. ඇත්තමයි.  පල්ලම ඉවර වෙලා තැනිතලා හරියට ආවාම මට ආපහු තල්ලු කරන්න පටං ගන්න වෙනවා. මම වමට හැරිලා ඊලඟ කන්ද නගින්න පටන් ගන්නවා.

අම්මෝ මේක කරන්න බැරියෝ!
මේක පණ යන වැඩක්.
මාර බරක්නේ යකෝ.

කන්දේ මාර බෑවුමක්නේ තියෙන්නේ.
එතකොටම මට මතක් වෙනවා මීයන්ව.

මම මතක්වෙනවා, මට කුණු බක්කිය පාරෙන් තියන්න අමතක වෙච්ච නිසා එකා පිට එකා වැටිලා වේදනා විඳ විඳ මැරෙන ප්‍රදේශයේ ජනතාව. තමන්ට මුහුණ දෙන්න වෙන  විපත ගැන හාංකවිසියක් නොදැන, මට මේ කුණු බක්කියක් එලියෙන් තියනවා වගේ සුළු, නොවැදගත්  කරන්න අමතක වෙච්ච නිසා, තමන්ට ජීවිතය අහිමි වෙන්න යන බව හාංකවිසියක් නොදැන, නිදි දෙව් දුව තුරුලේ තවම නිදන අහිංසක කිරි දරුවන්ව.

ප්‍රදේශවාසීන්ගේ ඉරණම රඳා පවතින්නේ තනිකරම මගේ අතේ. මට මොන ජාතියෙන් හරි වේගය පවත්වාගන්න වෙනවා.

මම ඉස්සරහට නැවිලා මගේ ඇ‍ඟේ තියෙන මුළු වෙර යොදලා කුණු බක්කිය කන්ද උඩහට තල්ලු කරනවා.  මම කොයි තරම් ඉස්සරහට නැවෙනවද කිව්වොත්, ඒ හා සමාන කෝණයකින් පස්සට ඇලවෙන කුණුබක්කියේ පියන ඉබේම ඇරිලා, ‘පටෝරියං’ ගාලා මගේ ඔලුවට පාරක් වදිනවා කං දෙකෙන් දුම් විසි වෙන්න. වෙන ඕනැම සාමාන්‍ය පුද්ගලයෙකුට සිහි නැති වෙන්න ප්‍රමාණවත් ඒ පාරටවත් මම නෙවෙයි සැලෙන්නේ.  මට තියෙන්නේ බොහොම හයිය ඔලු ගෙඩියක්. මම  පියන ආපහු  වහලා දාලා පටන් ගන්නවා ආපහු කන්ද උඩට තල්ලුව. ඔය ප්‍රතිගාමී බලවේග වලට  මාව නවත්තන්න බෑ.

කුණු ලොරියේ සද්දේ දැන් ලඟ ලඟම ඇහෙනවා.
ඒ කියන්නේ තව ටිකයි.  මම කන්දේ මුදුන පහු කරපු ගමන් යාර සීයක් විතර ඉස්සරහින් නවත්තලා තියෙන කුණු ලොරියේ සුන්දර, අයස්කාන්ත, මනස්කාන්ත දසුන මට පේනවා.

“හෝව් හෝව්! ඔහොම ඉන්ඩෝ!” මම කෑ ගහනවා. “ඔහොම ඉන්ඩෝ! ඔයාලට මේක අමතක වෙලා!”

කුණු ලොරියට සමාන්තරව දුවමින් ඉන්න ලුමිනස් කහ ජැකට්  ඇඳගත්ත බුවාලා දෙන්නා පාරේ අන්තිම කුණු බක්කි දෙකත් උස්සල ලොරිය පිටි පස්සේ තට්‍ටුව උඩින් තියනවා.  තට්‍ටුව ඉස්සිලා, ඇලවෙලා කුණු බක්කිවල තියෙන කුණු, ලොරිය මුදුනේ බලියාගෙන ඉන්න කට ඇතුලට හැලෙනවා

මම කුණු බක්කියත් එක්ක පල්ලමේ පහලට ඉගිලෙනවා.

බුවාලා දෙන්නා හිස් කුණු බක්කි ආපහු තුබුණ තැන්වල  තියලා ලොරිය පිටිපස්සේ එල්ලෙනවා ඊ ලඟ පාරට යන්න.

“පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්! මම බෙරිහන්දෙනවා. “ඔහොම ඉන්ඩෝ!”

පිටි පස්ස බලන එක බුවෙක් මාව දැකලා ඩ්‍රයිවර්ට කියනවා නවතින්න.

ලොරිය නවතිනවා.

මම හති හලමින් ලොරියට ලං වෙනවා.

“අම්මට හුඩු යකෝ මේ සුපර් මෑන් නේද කුණු බක්කියකුත් තල්ලු කරගෙන එන්නේ!” එක බුවෙක් කියනවා.

“ඔයාලට මේක අමතක වුනා.” මම හති හලමින් කියනවා. “…එහා පාරෙදි.”

“අමතක වුනා? ඒක වෙන්න බෑ. අපි ඒ පාරට එනකොට ඕක පාර අයිනේ  තිබුනයි කියලා ෂුවර්ද?”

“ඔව් ඔව්,” මේත් වංකත්වය හොඳම ප්‍රතිපත්තිය බවට පත්වෙන තවත් අවස්ථාවක්. මේ බොරුවෙන් ජීවිතම කීයක් නම් ‍රැකෙනවද?

බුවා අනිකා දිහා බලනවා.

“මේක උඹට අමතක වුනාද, මචං?”

“පිස්සුද මචං? ඕක පාරේ තිබ්බේ නෑ.”

“සොරි සුපර්මෑන්,” බුවා මට කියනවා. “ඕක පාර අයිනේ තියලා තිබුනා නම් අපි ඕක නොගෙන ඉන්නේ නෑ.”

“ඔයා කියන්නේ මම බොරු කියනවා කියලද?” මට කෑ ගැස්සෙනවා.

“මම එහෙම මොකුත් කියනවා නෙවෙයි, යාලුවා,” පොර ඒ ගමන  දෙන්නෙ නීතියෙන්. “මම කියන්නේ අපිට ඕක පටවන්න බෑ කියලයි.  ගේ ලඟ එලියේ පාරේ තියලා නැති කුණු බක්කියක් පටවන්න අපිට අවසර නෑ.  කවුද දන්නේ ඔයා ඔයා නීති විරෝධීව, අනුන්ගේ ප්‍රදේශයක් කුණු දාන්න උත්සාහ කරන පිටස්තරයෙක්ද කියලා.”

“මම එහෙම කරනවා නෙවෙයි,” මට ඇඬෙන්න ලඟයි (ඇස් දෙකටම). “මම මොකටද එහෙම කරන්නේ?”

“සමහර පොරවල්  කරන වැඩ ඇහුවොත් බල්ලෝ බත් කන්නේ නෑ බොසා, මාර ගේම් දෙන්න ට්‍රයි කරන්නේ,” කියන මිනිහා ලොරියේ බඳට අතින් දෙපාරක් ගහලා කෑ ගහනවා,”හරේ මැක්, අපි යං.”

ලොරිය පිටත් වෙනවා. බුවා පැනලා පිටිපස්සේ එල්ලෙනවා. ලොරිය ඊ ලඟ පාරට හැරෙන වංගුවෙන් අතුරුදහන් වෙන හැටි මම බලා ඉන්නේ පුදුම අසරණ කමකින්.

නමුත් එහෙම ලේසියෙන් සටන අතාරිනවද මම?

මම දන්නවා එහා පාරට ෂෝට් කට් එකක්.  මට කරන්න තියෙන්නේ ලොරිය එන්න කලින් කුණු බක්කිය නියම තැන ගානට තියලා, හැංගිලා බලා ඉන්න එක විතරයි.  අරුන් දෙන්න සීන් එක නොදන්න නිසා ඕක ගානට පටවගනී.

මම කන්ද පහලට ටික දුරක් දුවලා, දකුණට තියෙන ප‍ටු පාරෙන් හැරෙනවා.  මම හැකි වෙර යොදලා කුණු බක්කිය තල්ලු කරගෙන එහා පාරෙන් මතුවෙනවා.

මේ පාරට හැරෙන කුණු ලොරියේ නිවෙන පත්තු වෙන කහ එළිය මෙතනට මට යන්තමට පෙනුනත්, බුවාලාට මාව පේන්න තරම් දුර වැඩියි තාම.

එළ.

මම කුණු බක්කිය පාර හරහා තල්ලු කරගෙන ගිහින් එහා පේව්මන්ට් එකට නග්ගනවා. කරුමෙට ඒකේ එක රෝදයක්  කාණුවට ගිහින් කුණු බක්කිය ඇල වෙනවා. සමබරතාවය මාව අතෑරලා වෙනතක් බලද්දි මම ඇදගෙන වැටෙනවා පෙරේතයා පොළොවේ ගැහුවා වගේ. තනියම නෙවෙයි පියන ඇරුණු කුණුබක්කියෙන් එලියට පනින කුණු වරුසාවක් එක්ක.

මට ඇස් අදහගන්න බෑ.

කුණු බක්කියෙන් බාගෙකට වැඩිය පාරේ හැලිලා.  අම්මයි තාත්තයි තවත් කබඩ් එකක් අස් කරලා වගේ.  මට පේන්න බෑ එයාලගේ ඔය වැඩේ නම්. එයාලා හොඳ බඩුත් විසි කරලා.  එයින් සමහර දේවල් මගේ.  මගේ වෝටර් වින්ග්ස්. මම ගිණිකූරු වලින් හදපු ගෙයක්.  මගේ ඉලෙක්ට්‍රික් රේසිං කාර් සෙට් එක!  හරි හරි ඒකේ කන්ට්‍රෝලර්ස් නැති වෙලා තමයි. ට්‍රැක් එකේ කෑලි අඩුයි තමයි.  කාර් වල එක රෝදයක්වත් නෑ තමයි. ඒ එකක්වත් මෙච්චර හොඳ රේසිං කාර් සෙට් එකක් කුණු ගොඩට දාන්න තරම් සාධාරණ හේතු නෙවෙයි. එයාලට වටින්නේ නෑ මේක මටත් හොරෙන් විසි කරන්න. පට්ට අසාධාරණයි!

බලන්න ඕනේ තව මොනවද මගේ බඩු මේකට දාල තියෙන කියලා.  මම කුණු බක්කිය කෙලින් කරලා ඇතුලට එබිලා බලනවා.

මේ මොන අපරාදයක්ද!

අම්මා මේ ලෝකෙ මට අයිති වටිනාම වස්තුවත් විසි කරලා.  මම නාන කොට තනියට හිටපු මගේ සුවච, කීකරු රබර් තාරා පැටියා විසි කලේ මොන හිතකින්ද මෙයාලා?  උගේ කහ පාට හොට කුණු අස්සෙන් එලියට මතුවෙලා.

මම ඔලුව උස්සලා බලනවා.

කුණු ලොරිය පාරේ බාගයක් දුර විතර ඇවිත්.   තාරා පැටියව බේරගෙන ලොරිය එන්න කලින් පැන ගන්න වෙලාව තියෙනවා.

“බය නොවී හිටපං. මම උඹව බේරාගන්නවා.”

මම කුණු බක්කියට එබෙනවා. නමුත් තාරාව ඉන්නේ අඩියේ. මගේ අත දිග මදි. මම තවත් එබෙනවා. ඔහ් ඕහ්හ්හ්. ඒත් දිග මදි. තව ටිකා..යි…

මම කුණු බක්කිය ඇතුලට ඔලුව යටට හිටින්න ඇදගෙන වැටෙද්දි, ඔලුව ගිහින් ඇනෙන්නේ, චොර වෙච්ච, ගඳ, මොකක්දෝ ජරාවක් උඩට. ඒකේ රසත් එච්චර හොඳ නැති බව මට මොහොතකින් වැටහෙනවා.

ඒ ඔක්කොමත් හරි.  මට හෙලවෙන්නවත් බෑ.
මට නැගිටින්න බෑ.
ඇයි ඔලුවෙන් හිටගෙන නේ ඉන්නේ.
ලොරියේ සද්දේ ලඟ ලඟම ඇහෙනවා.

මම කකුල් වනලා, දඟලලා, පයින් ගහලා හදන්නේ කුණු බක්කිය පෙරලාගන්න, එතකොට මට එලියට බඩගාගන්න පුලුවන් වෙයි  කියලා හිතලා.

ඒත් කොච්චර දැඟලුවත්, පයින් ගැහුවත් නෙවෙයි වැඩක් වෙන්නේ. වෙච්ච එකම වැඩේ කුණු බක්කියේ පියන වැහිච්ච එක විතරයි.

දැන් මම හිර ගතවෙලා.

මම මේක ඇතුලේ හිර වෙලා ඉන්න බව කවුරුත් දන්නේත් නෑ.

කුණු ලොරිය කුණු බක්කිය ලඟටම ඇවිත් නතර වෙලා ඉන්න බව සද්දෙන් කියන්න පුලුවන්. කුණු බක්කිය පේව්මන්ට් එකෙන් බිමට තල්ලු වෙලා පාරට බැහැපු බව මට තේරෙන්නේ ඒක ‘ඩොහ්ක්’ ගාලා බිම වැදුනු කම්පනයෙන්.  මම හිතන්නේ මේක උස්සලා අර ලොරිය පිටිපස්සේ තට්‍ටුව උඩ තිබ්බද කොහෙද. ඔව්, ඔව්. ඔන්න මාව ගුවන් ගත වෙනවා.  හරියටම ලිෆ්ට් එකක යනවා වගේ. නමුත් ගඳේ වෙනස තියෙනවා.

මම කොච්චර හයියෙන් බෙරිහන් දුන්නත් වැඩක් වෙන්නේ නෑ.  ලොරියේ සද්දේ නිසා මගේ හඬ යටපත් වෙනවා.
මම තාරා පැටියා අල්ලා ගන්නවා.  එතකොටම කුණු බක්කිය ඇලවෙලා උඩ යට මාරු වෙනවා. අපි දෙන්නත් කුණු එක්කම ලොරිය බලියාගෙන ඉන්න කට ඇතුලට වැටෙනවා.

කුණුගඳ!

ඈක්!!

ඇහ්ක්-ඇහ්ක්-ඕහ්ක්හ්

අම්මෝ!!!

මට වෙලා තියෙන පජාතම, ගඳම, කුණුම, චාටර්ම, සීන් එක මේ.

මාව කුණුත් එක්ක හොඳට මිශ්‍ර වෙමින් ඇනෙන්න ගන්නවා යාන්ත්‍රිකව.  මම කෑ ගහන්න කට ඇරියත් පාවිච්චි කරපු ටිෂූ ගුලියක් කටට ගිහින් සද්දේ ‘බහ්’ ගාලා වැහෙනවා.  තව තව අලුතෙන් කුණු බක්කි මගේ ඇඟ උඩට වැටෙමින් මිශ්‍ර වෙමින් රවුමට ඇනෙද්දි, මට හැම දෙයක්ම බොඳ වෙලා පේන්න ගන්නවා.  පුස් කාපු එළවළු, කුණු මාලු,  පාචිච්චි කරපු ඩයපර්ස්!   විශ්වාස කරන්න බැරි තරම් විකල්ප. එක පාරටම මගේ මූණට මූණ දාලා ඉන්නේ මැරිච්ච පූසෙක්. හැබැයි මොහතකින් ඌ අතුරුදහන් වෙනවා – යාන්ත්‍රිකව මිශ්‍ර වීම නොනවත්වාම සිදු වෙනවා.  හොඳ හුස්මක් අරන් කුණු ගොඩ මුදුනට බඩ ගාගන්න හැකි වෙච්ච හැම වතාවෙම නැවුම් කුණු බක්කියකින් හැලෙනකුණු ලෝඩ් එකකට යටවෙන මම ආපහු යට ගිලිලා මිශ්‍ර වෙන්න ගන්නවා.

මේකෙන් එලියට පැන ගන්න ඕනේ.

මට ප්‍රදේශවාසී මහ ජනතාව බේරාගන්න හැකි වුනාට ඒ කාටත් හොරෙන් මට බඩු බනිස් වෙන්නයි යන්නේ!

මට මහාමාරිය හැදෙයි.

මට දැනටමත් මහාමාරිය හැදීගෙන එනවා වගේ දැනෙන්න අරන්.

තාත්තා හරි.

“අපිට විහිළුවේ තරම බලාගත්තෑකි කට්ටියටම මීයෝ නලියන කුණු ගොඩේ  එරි ඇවිදින්න වෙලා…”
දණක් කුණු වල එරිලා ඉන්න එක විහිළුවක් නෙවෙන එකේ ඔලුවටත් උඩින් යන්න කුණුවල ගිලිලා ඉන්න එක හිතාගනිල්ලකෝ.  දැන් මට තේරෙනවා තාත්තේ . නමුත් තාත්තට ඒක කියන්න මම ජීවත් නොවෙන එකයි දුක.

මොකද තව දුරටත් සටන් කරන්න මගේ ඇ‍ඟේ ශක්තියක් ඉතුරුවෙලා නෑ.

මම මැරෙන්න යන්නේ කුණු වල ගිලිලා. කොහෙත්ම නම්බුකාර මරණයක් නම් නෙවෙයි.

මම මගේ තාරා පැටියා පපුවට තුරුළු කරගෙන ඇස් වහගෙන මරණය පිළිගන්න ලෑස්ති වෙනවා.

මොකක්දෝ වෙනසක් දැනෙනවා.

ලෝකෙම නැවතිලා වගේ.

හැමදේම නිහඬයි.

ඒ කියන්නේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕනේ නෑ.

මම ඉහලින් පේන එළිය දිහාට කුණුගොඩ හාරාගෙන යනවා.

මම පුස් පාන් ගොඩක්, හිස් බලු කෑම ටින් රංචුවක්, බලල් බෙටි තලියක් අතරින් ඔලුව එලියට දාලා කුණු ගොඩෙන් මතුවෙනවා.

දැන් මට කුණු, කුණු ගඳ ගානක් නැතුව යන ගානට ඇවිල්ලා. මට පේනවා අහස.

මම තාරා පැටියව ඔලුවට උඩින් උස්සනවා.

“අපිට පණ බේරගෙන මෙතනින් පැනලා යන්න පුලුවන් වෙයිද බලමු,” මම කියනවා.

තාරා පැටියා සතුටින් පීප්-පීප් ගානවා.

මම පණුවෙක් වගේ රිංගගෙන කුණුගොඩ හාරාගෙන  උඩට මතුවෙලා කුණු ගොඩ මුදුනේ ඉඳගන්නවා. ඉන් පස්සේ ඇස් වැහිලා තියෙන සෙවල ජරාව අතින් සූරලා  වටපිට බලනවා.

අපි යන්නේ ප්‍රධාන පාරක් දිගේ.  මට පේන විදීයට දැන් කට කපලා එකක් කුණු පැටවිලා තියෙන නිසා  මේක මේ කුණු හලන්න අර කුණු දාලා ගොඩ කරන වගුරු බිමේ තියෙන ලෑන්ඩ් ‍ෆිල් යනවා.  ඊට කලින් මේකෙන් පැනගන්න ඕනේ.  මගේ ජීවිතේ ඉතිරි කොටස ලෑන්ඩ් ‍ෆිල් එකක කොටසක් හැටියට ගෙවන්න මට ආසාවක් නෑ.

ලොරිය හතරමං හන්දියක රතු එළියට  නවත්තනවා.

මෙන්න මේකෙන් පැනගන්න අවස්තාව.

මම ලොරියේ පිටිපස්සෙන් බිමට බැහැලා අර කුණු බක්කි තියන තට්‍ටුව උඩ හිටගන්නවා.  කොළ එලිය වැටිලා ලොරිය පිටත් වෙනකොටම මම පනිනවා. දුවන ලොරියෙන් පනින මම, කකුල් පැටලිලා වැටිලා, කරණමක් ගහලා නතරවෙන්නේ කාණුවේ.

ඌයි!

ඒක නම් රිදුනා.  ඒත් ඒක කුණු ලොරියක් ඇතුලේ කැලැත්තෙමින් ඉන්නවට වඩා දාහෙන් සම්පතයි.

“ඔයාට මේ මොකද වුනේ?” ලස්සන කට හඬක් අහනවා.
දිව්‍යාංගනාවකගේ කට හඬක්.

ඒ කියන්නේ මම මැරිලා.

ඒ කියන්නේ මට කොහොම හරි අන්තිමේදි මහාමාරිය හැදිලා දිවියලෝකේ ගියා.

ඒත්…ඒත් මේ කටහඬේ මොකක්දෝ අහලා පුරුදු ගතියක් තියෙනවනේ.

මම ඇස් ඇරලා බලනවා.

ලීසා!

ලීසා මැක්නී කාණුවේ ලැගගෙන ඉන්න මා දිහා එබීගෙන බලා ඉන්නවා.

“ඇන්ඩී?”

“ලීසා? ඔයා මැරුණේ කවද්ද?”

“මැරුණේ?” ලීසා පුදුමෙන් අහනවා. “ඔයා මොනවද මේ කියන්නේ? අපි දෙන්න මුණ ගැහෙන්න කතා කරගත්තා නේද මෙතනදි?”

මම කාණු ගැට්ටේ ඉඳගන්නවා.
වටපිට බලනවා.

මේ දිවියලෝකේ නෙවෙයි.
මේ අපාය.

මම ඉන්නේ පාක් එක ඉස්සරහ.
හරියටම මම ලීසාව මුණ ගැහෙන්න පොරොන්දු වුන තැන.
මම හරි වෙලාවට හරි තැනට ඇවිත්. නමුත් අනිත් හැම දේම වැරදිලා. ආයේ හදන්න බැරි විදියටම වැරදිලා.

එයා හිටගෙන  ඉන්නවා පිවිතුරු, නැවුම්, කුමාරිකාවක් වගේ එයාගේ සිනිඳු ලස්සන හිසකෙස් උදේ නැවුම් හිරු එලියෙන් බබලමින්. මම ඉන්නවා මගේ පජාමාස් ඇඳගෙන , කුණු වලින් නාලා, මැස්සෝ පිරිවරාගෙන, රබර් තාරා පැටියා පපුවට තුරුල් කරගෙන, කාණු ගැට්ටේ ඉඳගෙන.

පට්ටම රොමෑන්ටික් සීන් එක.

“ඔයා සීරියස් කියලා මොහොතකට හරි විශ්වාස කරපු හිතපු මමයි මෝඩි,” නහය අතින් වහගෙන අඩි කීපයක් පස්සට ගන්න ගමන් ලීසා කියනවා.”අනේ මම අහුවුනානේ ඔයාගේ තවත් මෝඩ විහිළුවකට ඔයාගේ හැටි දැන දැනත්.”

“නෑ නෑ ලීසා. මම විහිළුවක් කලා නෙවෙයි.” මම නැගිටලා එයා දිහාට අඩියක් තියන ගමන් කියනවා.  මගේ උරහිසේ ‍රැඳිලා තිබුන පණුවෝ නලියන සෙවල මස් කුට්ටියක් ලිස්සලා ගිහින් ලීසාගේ පාමුල වැටෙනවා. එයා අතින් කට වහගෙන පස්සට පනිනවා.

“එන්නෙපා මා ලඟට,” එයා කෑ ගහනවා. “ඔයා, ඔයා ලඟ … ගඳේ බෑ!”

මම තව අඩියක් ඉස්සරහට තියනවා එයාට ලං වෙන්න. මගේ ඇඳුම් වලයි කොණ්ඩෙයි ‍රැඳිලා තිබුන බළල් බෙටි, සිගරට් කොට, බිත්තර ක‍ටු වැස්සක් වගේ බිම හැලෙන්න ගන්නවා.

එයා ආපහු හැරිලා දුවන්න ගන්නවා.

මම නැවතිලා ගල් ගැහිලා  බලං ඉන්නවා, මං පණට වැඩිය ආදරය කරන කෙල්ල, මාව අතෑරලා අප්පිරියාවෙන් ඈතට ඈතට දුවගෙන යන හැටි .

මගේ ජීවිතේ  අමතක නොවන, සුන්දරම උදෑසන වෙන්න තිබුණ එක, නරකම මූසලම, මුස්පේන්තුම උදෑසන බවට පත් වෙච්ච හැටි! ෂික්!

මට කාලම එන්න බැරි,  එයා ආයේ කවදාවත් මාව කිස් කරන්න හිතන එකක් නෑ.  කණ්නාඩිය ඉස්සරහා ප්‍රැක්ටිස් කරපුවා ඔක්කොම වතුරේ.

නමුත් අඩුම ගානේ, මම මොන කට්ටක් කාලා හරි, කුණු වැඩේ ගොඩ දා ගත්තා. තවත් වතාවක් ප්‍රදේශවාසීන් මහාමාරියෙන් බේරාගත්තා.

මම ජීවිත නම් කීයක් බේරාගත්තාද කියලා කාට කියන්න පුලුවන්ද?
රබර් තාරා පැටියගේ ජීවිතේ සඳහන් නොකලත්, මම කියන්නේ.

බලාපොරොත්තු නැතිම කරගන්න හොඳ නෑ.

මම ගෙදර යනවා. ගිහින් මේ මල ඉලව් නූල කපලා දාලා හොඳට නාගන්නවා ඔව් හොඳ…ට. හුඟාක් වෙලා ෂවර් එක යට ඉන්නවා.  අවශ්‍ය වුනොත් අර එයා ෆ්‍රෙෂ්නර් එකෙන් තව ටිකකුත් ගහ ගන්නවා – ඒක සෑහෙන පවර්ෆුල් ඈ.  ඊට පස්සේ ඉස්කෝලෙට ගිහින් එයාට කරුණු පැහැදිළි කරනවා. එයා එතකොට තේරුම් ගනීවි.

ඔව් මට මැවිලා පේනවා.

මම දීපු ගේම ගැන ඇහුවම එයා තේරුම් ගනීවි මම මොනතරම් වැඩ්ඩෙක්ද කියලා.  ඊට පස්සෙ මා ලඟ ගඳයි කිව්ව එකට එයා සමාව ඉල්ලයි.  බැගෑපත්ව සමාව ඉල්ලයි.  මම එයාට සමාව දෙනවා. දීලා කිස් එකකුත් දෙනවා.
හොඳ වෙලාවට මම කණ්නාඩියෙන් බලාගෙන ප්‍රැක්ටිස් කලේ, ඈ.

 

 

 

 

 


20140725_114115

නිමි.
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ගේ Just Wacky කෙටි කතා සංග්‍රහයේ  පළවූ Trash කෙටිකතාවේ පරිවර්තනයකි.

SImulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

ටැග: , ,

158. කුණු!!! පළමු කොටස / Trash!!! Part 1

158. කුණු!!! පළමු කොටස / Trash!!! Part 1

ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්.

අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් ‍‍රැයක්.

අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ  එක නිසා නෙවෙයි.

අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night!

මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම?

අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම ‍රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි.

ඒක වෙන්නෙ මෙහෙමයි.

මට මොන කරුමෙට හරි, වැරදිලාවත්, අඟහරුවාදා රෑට කුණු බක්කිය පාර අයිනෙන් තියන්න අමතක වුනොත්, බදාදා උදේට එන කුණු ලොරියට ඒක පටව ගන්න බැරුව යනවා.

කුණු ලොරියට ඒක  පටව ගන්න බැරුව ගියොත්, කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව යනවා.

කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව ගියොත්, කුණු උතුරලා ගිහින් බිමටත් හැලෙන්න ගන්නවා.

කුණු  බිමට හැලෙන්න ගත්තාම, මීයෝ එන්න ගන්නවා.

මීයෝ එන්න ගන්නවා කියන්නේ, අහල පහල හැමෝටම මීයන්ගෙන් බෝවෙන මහාමාරිය වගේ භයානක  වසංගත රෝග බෝවෙලා, එකා පිට එකා වැටිලා මැරිලා යනවා.

ඒ ඔක්කොමත් හරි. කාලා එන්න බැරි වැඩේ ඕකේ වැ‍රැද්ද මට පැටවෙන එක.

අන්න ඒකයි ‘කුණු රාත්‍රිය’ සතියේ අනික් හැම රාත්‍රියකටම වඩා වැදගත් වෙන්නේ. Read the rest of this entry »

 

ටැග: , ,

145. පොරොන්දුව Licked!

145. පොරොන්දුව Licked!


මේ ඔබ මේ බ්ලොග් අඩවියෙන් කියවන තුන්වෙනි පෝල් ජෙනිංස් කතාව.


මතක ඇති ඔබට


හොර ඇල්ලීම Exposer


එතකොට…


ඈක්කා!!!!!!! A Mouthful!


ඒ එක්කම, ඔබ ‘ඈක්කා!!!!!!!’ කතාව කියවලා අප්පිරියා හිතුන කෙනෙක් නම්, කරුණාකරලා, මේ කතාව කියවන එක මෙතනින්ම නවත්තන්න. ඒක මතක නැතිනම්, ගිහින් කියවලාම එන්න. ඒ කොහොම වෙතත් ඔබ මේ කතාව කෑම කන ගමන් කියවීම නම් මම අනුමත කරන්නෙම නැති බව කියන්නම ඕනෙ.


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

cartoon 001_2
පොරොන්දුව – Licked!


හෙට ඩැඩීගේ කේන්තිය ටිකාක් නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ. එයා මුලින්ම හිනාවෙයි. ඊට පස්සෙ අඬයි. ඊට පස්සෙ මගේ බෙල්ලත් මිරිකයි. ඒත් කමක් නෑ. එයා මේ විඳින විඳවිල්ලෙන් එයාව මුදවන්නම ඕනෙ.


මම ඩැඩීට ආදරෙයි.


ඩැඩී මාත් එක්ක මාලු බාන්න යන්න එනවා. සමහර සීතල දවස්වල
රෑට ගිණි මැළේ ඉස්සරහ ඉඳගෙන අපි දෙන්නා ආම් රෙස්ලිං කරනවා. එයා (ඔය කොයි තාත්තත් කරන) ප්‍රවෘත්ති බැලිල්ලත් අල්ලලා දාලා, මාත් එක්ක ස්ක්‍රැබ්ල් ගහන්නත් එනවා. මට එක එක විදියේ ළණු දෙනවා. එයාගේ මම දකින හොඳම ලක්ෂණය තමයි හැම විටම දෙන පොරොන්දු රකිනවා.


නමුත් ඩැඩීගේ හදන්න බැරි වැරදි දෙකක් තියෙනවා.


එකක් මැස්සො සම්බන්ධව.


එයාට මැස්සො පේන්න බෑ. කාමරේ මැස්සෙක් හිටියොත් ඩැඩීට ඌව ඉවරයක් කරලා දානකල් ඉන්න බෑ. එයා ඒකට ඔය මෝර්ටීන් ස්ප්‍රේ වගේ දේවල් පාවිච්චි කරන්නෙත් නෑ අර කෙහෙල්මල් ඕසෝන් ස්ථරය හන්දා. ඒ හන්ද එයා මැස්සො පස්සෙ පන්නනවා අර මැස්සො අල්ලන ෆ්ලයි ස්වොටර් එක අරගෙන. එයා ගේ පුරාම දුවනවා ඕක වන වන පිස්සු හැදිලා වගේ. මැස්සාව තලලා චප්පම කරලම තමයි එයා පස්ස බලන්නෙ. සමහර වෙලාවට ෆ්ලයි ස්වොටර් එකේ ඇලිච්ච මැස්සො තවම නලියනවා..


ඩැඩීට මාරම එල්ලයක් තියෙන්නේ. එයාගේ ඉලක්කේ වරදින්නේ කලාතුරකින්. ඩැඩීගේ පරණ ෆ්ලයි ස්වොටර් එක ගන්නම දෙයක් නැතුව ගියාම මම එයාගේ උපන් දිනේට අලුත්ම කහපාට නියම භාණ්ඩයක් අරන් දුන්නා. හැබැයි ඒක වැඩි කාලයක් කහපාටට තිබුනේ නෑ. වැඩි දවසක් යන්න කලින් ඒකත් මැසි අතුණු බහන් වලින් වැහිලා ගියා.


චප්ප කරපු මැස්සෙක්ගේ ඇතුලේ මොන තරම් පාට වර්ග තියෙනවද කියලා විශ්වාස කරන්නත් අමාරුයි. වැඩියෙම තියෙන්නේ කලු දුඹුරු තමයි, ඒවා මත රතු විසිරිලා තියෙනවා අතරින් පතර නිල් පැල්ලම් එක්ක. උන්ගේ ත‍ටු එලියට අල්ලලා බැලුවාම දියමන්ති වගේ දිළිසෙනවා. නමුත් ඔය පිහා‍ටු හැලෙනවා උගෙ අතුණු බහන් වලින්
හරියට ස්වොටර් එකට ඇලවිලා තිබුනේ නැතිනම්.


මැස්සෝ පස්සේ පන්නන එක ඩැඩීගේ පළවෙනි වැ‍රැද්ද.


දෙවෙනි එක තමයි කෑම මේසේ සිරිත්-විරිත්, ඒ කියන්නේ ටේබල් මැනර්ස්. එයාට පුදුම පිස්සුවක් තියෙන්නේ සිරිත්-විරිත් ගැන – විශේෂයෙන්ම කෑම මේසේ සිරිත්-විරිත් ගැන.


අනික එයාට ප්‍රශ්ණෙ තියෙන්නෙම මගේ සිරිත්-විරිත් එක්ක.


“ඇන්ඩෲ,” එයා කියනවා.


“මේසේ උඩ වැලමිටි තියාගන්න එපා.”


“කටේ කෑම පුරවාගෙන කතා කරන්න එපා.”


“ඇඟිලි ලෙවකන්න එපා.”


“කෝපි එකේ කුකීස් ඔබලා කන්න එපා.”


හැම කෑම වේලක්ම ඔන්න ඔයාකාරයි.


එයාට තියෙන්නේ මැසි පිස්සුවෙත් හොඳ එකයි, මැනර්ස් පිස්සුවෙත් හොඳ එකයි.


හොඳයි, කතාවට ආපහු ආවොත්. ඔන්න දවසක් ඩැඩී අර්තාපල් සුද්ද කරනවා රෑ කෑමට. මම මේසේ යට ඉඳගෙන මීට සතියකට විතර කලින් මේසේ යටට රෝල් වෙලා ගිය සත පනහක් හොයනවා. මමී, ඩැඩීත් එක්ක කතා කර කර ගෝවා ගෙඩියක් හීනියට කපනවා. ඒ දෙන්නා දන්නේ නෑ මම මේසේ යට ඉන්න බව. ඩැඩීගේ ලොක්කා මිස්ටර් ස්පින්ක්ස් රෑ කෑමට එන නිසා මේක වැදගත් කෑම වේලක්. ඕවගේ කවුරු හරි කෑමට එනවානම් සිරිත් විරිත් ගැන තොර ‍තෝංචියක් නැතුව දේසනා කරන එක ඩැඩීගේ පුරුද්දක්.


“අනේ මේ ඔයා ඔය කෑම වෙලාවට ඇන්ඩෲගේ වැරදි හොයන එක නවත්තන්නකෝ අප්පා,”මමී කියනවා.


“කවුද වැරදි හොයන්නේ?”


“කවුද තමයි,” මමී කියනවා.”ඔයා කොච්චරවත් අරක කරන්න එපා, මේක කරන්න එපා කියනකොට කොල්ලට හීනමානයක් ඇතිවෙනවනේ.”


හීනමානයක් ගැන මම අහලා නෑ. ඒක ඔය කුරුලෑ, අලුහම් වගේ බයානක දෙයක් කියලා මම හිතා ගන්නවා.


“ඔන්න අද නම් කෑම වේල ඉවරවෙනකල්ම ඇන්ඩෘට මොකූත්ම කියන්නෙපා හරිද?”


“එහෙම කොහොමද?,” ඩැඩී විරුද්ධ වෙනවා.


“උත්සාහ කරලා බලන්න,” මමී කියනවා. “මට පොරොන්දු වෙන්න අද කොල්ලත් එක්ක කේන්ති අරගෙන කෑගහන්නේ නෑය කියලා.”


ඩැඩී මමී දිහා ගොඩාක් වෙලා බලාගෙන ඉන්නවා.


“හරි,” ඩැඩී කියනවා. “එහෙනම් ඔන්න ඔට්‍ටුයි. මම එයාගේ මැනර්ස් ගැන කිසි දෙයක් කියන්නේ නෑ. හැබැයි ඔයා කියන්නෙත් නෑ. මට හොඳ නැති දේ ඔයාට හොඳ වෙන්න බෑනේ.”


“එහෙනම් ඔන්න ඔට්‍ටුයි. ඈ,” දෙන්නා අතට අත දීලා එකිනෙකාට පොරොන්දු වෙනවා.


සත පනහ හොයා ගන්න මම, ඇඟිලි තුඩුවලින් ඇවිදගෙන කුස්සියෙන් පිටවෙනවා..


රෑ කෑමට ඉස්සෙල්ලා සත පනහ වියදම් කරන්න මම ටවුම පැත්තට යනවා.


ඩැඩී පොරොන්දු වෙලා තියෙන්නේ මට කෑ ගහන්නේ නෑ කියලා. මේ වගේ අවස්තාවක් ආයේ එන්නේ නෑ. ඩැඩීගේ ඔට්‍ටුව බිඳින්න මම මොනවද කරන්නේ?


ඒක එච්චර අමාරු වෙන එකක් නෑ. සුප් එක ‘සොරෝස්’ ගාලා සද්දෙට බොන්න ඕනේ. ඒක එයාට පේන්න බැරි වැඩක්. එතකොට පොරොන්දුව අමතක වෙලා එයා මට බනින්න පටන් ගනී. සමහර විට කෑ ගහයි. මට හොඳටම විශ්වාසයි එයාට මට කෑගහන්නේ නැතුව කෑම වේලක්ම පහුවෙනකල් ඉන්න බෑ කියලා.


“මාර ආතල් එකක් ගන්න පුලුවන් වැඩක් වෙන්න යන්නේ.” මම මටම කියාගන්නවා.


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙


එදා රෑ මමී කෑම මේසෙට අලුත් රෙද්දකුත් දානවා. ගෙදර තියෙන හොඳම හැඳි ගෑරුප්පු සෙට් එක මේසෙන් තියනවා. මට වෙනදට අල්ලන්නවත් නොදෙන සෙට් එකේ පිඟනුත් එක්ක. අත්පිස්නාවල් තියන්නේ අර වළලු ඇතුලට දාලා. මේ හැම දෙයින්ම කියවෙන්නේ මේක ඉතාම වැදගත් කෑම වේලක් බවට බවයි. අපි සාමාන්‍යයෙන් රෙදි අත්පිස්නාවල් පාවිච්චි කරන්නේ නෑ.


මිස්ට ස්පින්ක්ස් එන්නෙත් ඉස්තරම්ම ඇඳුම් කට්ටලයක් ඇඳගෙන, රත්තරන් රාමුවක් තියෙන කණ්නාඩි කුට්ටමක් දාගෙන. කෝච්චරවත් ‍රැවුමක් මූණේ තියෙනවා. මිනිහා ළමයින්ට වැඩිය කැමති නැතුව ඇති කියලා මට හිතෙනවා. ඔය ළමයින්ට අකමැති වැඩිහිටියෝ කවුද කියලා කියන්න පුලුවන් දැක්කම. එයාලා හිනාවෙන්නේ කටින් විතරයි, ඇස් වලින් නෙවෙයි.


කොහොමින් කොහොමින් හරි අපි හැමෝම කෑමට ඉඳගන්නවා. මම මගේ රහස් ආයුධය මේසේ යට හංගනවා. මට හොඳටම විශ්වාසයි ඒක පාවිච්චි නොකරත් මට ඩැඩීව පරද්දන්න පුලුවන් කියලා. නමුත් හැම දෙයක්ම අසාර්ථක වුනොත් ගන්න ඒක සූදානමින් තියෙනවා.


පළමු වටය සුප් සහ පාන්. මම මහ හඬින් ‘සුරුස් – සුරුස්’ හඬ නගමින් සුප් එක බොනවා. කිසි කෙනෙක් කිසි දෙයක් කියන්නේ නෑ. මම ‘සුරුස්’ සද්දේ දිගත් හඬත් වැඩි කරනවා. දැන් හරියට අර බාත් ටබ් එකේ ප්ලග් එක ගැලෙව්වාම එන සද්දේ වගේ ඇහෙන්නේ. ඩැඩී උගුර පාදනවා, නමුත් මොකුත් කියන්නේ නෑ.


මේ වැඩේ අසාර්ථක නිසා මම වෙනත් උපක්‍රමයක් හොයා ගන්නවා. මම සුප් එකේ පාන් කෑල්ලක් පොඟවනවා. ඉන් පස්සේ උඩ බලාගෙන කට ඇරගෙන පෙඟුනු පාන් කෑල්ල උඩ ඉඳන් කටට අතාරිනවා. පාන් කෑල්ල කටට වැටෙන කොට හව් ගාලා හපන්නේ කෑලි ටිකක් එලියට ඉහිරෙන විදියට.


මම ඊලඟ පාර ඊටත් වඩා ලොකු පාන් කෑල්ලක් සුප් එකේ පොඟවනවා. මේ පාර පාන් කෑල්ල කටෙන් අහකට වැටෙන්නේ. ටිකක් මගේ ඇහැටත් යනවා. කවුරුවත් කිසි දෙයක් කියන්නේ නෑ. ඩැඩී මා දිහා බලනවා. මමීත් මා දිහා බලනවා. මිස්ටර් ස්පින්ක්ස් මා දිහා නොබලා ඉන්න උත්සාහ කරනවා. එයාලා කතා කරන්නේ ඩැඩීට ලැබෙන්න ඉඩ තියෙන උසස්වීමක් ගැනයි. මගේ කෑම දැකලා අප්පිරියාවක් ඇති නොවෙච්ච බව හඟවන්න හැම උත්සාහයක්ම එයාලා ගන්නවා.


ඊ ලඟ වටය කුකුල් මස්, මේ පාර නම් ඩැඩීගේ සීමාව පනින බව මම දන්නවා. එයා මොනවා හරි කියාවි. එයාට පේන්න බෑ මම ක‍ටු සූප්පු කරන එක. “ආ, ඔන්න මට කුකුලගේ කක්කා පැත්තම හම්බ වුනා,” මම මහා හයියෙන් කියනවා. ඩැඩී ඔරවලා බැලුවත් මොකුත් කියන්නේ නෑ.


මම ඇඟිලි වලින් ඔබමින් කටට කුකුල් මස් පුරවනවා. රෝස්ට් කරපු අර්තාපල් ගෙඩියක් අරන් දෙකට කඩන මම ඇඟිල්ල ඔබලා මාගරීන් තලියක් අරන් අර්තාපල් පලු උඩට හලනවා. මාගරීන් දියවෙලා හැම තැනම ගලනවා.


මම කවදාවත් දැකලා නෑ කිසි කෙනෙක් ඩැඩී මා දිහා බලන තරම් කේන්තියෙන් මා දිහා බලනවා. ඩැඩී රවනවා, ඔරවනවා, උගුර පාදනවා. නමුත් පරදින්නේ නෑ. මාරම චරිතයක් ඩැඩී! මම මොනවා කලත් ඩැඩී පොරොන්දුව කඩන්නේ නැති විදියයි.


මම කුකුල් ක‍ටුවක් අරන් ටකාස් ගාලා දෙකට කඩලා ඇට මිදුළු උරනවා. ක‍ටුව ඇහැට තියලා බැලුවාම මැද හිස් නිසා එහා පැත්ත පේනවා. මම තවත් සද්දෙට අනිත් කටුත් උරලා ඇට මිදුළු ගිලිනවා. ඩැඩීගේ මූණ රතුම රතුයි. නහයෙත් පුංචි නහර මතුවෙලා පේනවා. නමුත් ඩැඩී පරදින්නේ නෑ.


අන්තිම වටය බේක් කරපු ඇපල් සහ කස්ටර්ඩ්. මේ වටේදි නම් කොහොම හරි ඩැඩීව බිම දාන්න වෙනවා. දැන් මිස්ට ස්පින්ක්ස් තාත්තගේ උසස්වීම ගැන කතා කිරිල්ල නවත්තලා, දැන් කියවන්නේ විනය ගැන. සීමාවල් පැනවීමක් ගැන. ප්‍රමිතීන් පවත්වගෙන යාමක් ගැන. ඔන්න ඔය වගේ දේවල්. මම උරලා මැද සිදුර පාදාගත්ත කුකුල් ක‍ටුවක් ස්ට්‍රෝ එකක් හැටියට පාවිච්චි කරලා කස්ටර්ඩ් එක කුකුල් ක‍ටුව හරහා උරලා බොනවා.


ඩැඩී උගුර පාදනවා. මූන බීට් රූට් අලයක් වගේ රතුයි. “ඇන්ඩෲ,” ඩැඩී කියනවා.


“ඇයි ඩැඩී,?” මම කටේ කස්ටර්ඩ් පුරවාගෙන අහනවා.


“මොකුත් නෑ,” ඩැඩී මුමුණනවා.


ඩැඩී නම් මාරයි. මෙච්චර පීඩනයක් යටතෙත් පුපුර හැලෙන්නේ නැතුව ඉවසගෙන ඉන්න! තව එක දෙයක් ඉතුරු වෙලා තියෙන්නේ. මම මේසේ යටට අත දාලා මගේ රහස් ආයුධය – අන්තිම තුරුම්පුව – එලියට ගන්නවා.


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙


මම කහ පාට ෆ්ලයි ස්වොටර් එක මේසේ උඩින් තියනවා මගේ පිහිය ලඟින්ම. සුදු පාට මේස රෙද්ද උඩ කැපිලා පේන ෆ්ලයි ස්වොටරය දිහා හැමෝම ඇස් ලොකු කරගෙන බලනවා ඉවරයක් නැතුව. නමුත් කිසි කෙනෙක් මොනවත් කියන්නේ නෑ.


මම ෆ්ලයි ස්වොටර් එක අතට අරගෙන අයිස් ක්‍රීම් කෝන් එකක් වගේ ලෙවකන්න ගන්නවා. ෆ්ලයි ස්වොටර් එකේ දුඹුරු පාටට ඇලවිලා තියෙන මැසි තලි ගැලවිලා දිවට ආ ගමන් මම ගිලලා දානවා. කර කර ගාලා හැපෙන වියළි කලු කෑලි ඊ ලඟට.


මිස්ට ස්පින්ක්ස් නැගිටලා කුස්සියට දුවනවා.


ඕර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ක්, ඕර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ක් !


ඊ ලඟ ඇහෙන්නේ එයා කුස්සියේ සින්ක් එකට වමනේ දාන හඬ.


ඩැඩී නැගිටිනවා. එයාගේ ඉවසීමේ සීමාව පැනලා.


“ආආආආආආආආආආආආර්ග්හ්ක්!”
ඩැඩී කෑගහනවා.


ඩැඩී මා දිහාට පනින්නේ මාව අල්ලා ගන්න කොටියෙක් වගේ අත් දෙක දික් කරගෙන.


විදුලි වේගෙන් පු‍ටුව පස්සට ඇදලා නැගිටින මම පැනලා දුවනවා පණ බේරාගන්න. මම කෙලින්ම නතර වෙන්නේ මගේ කාමරේ. මම කාමරේ දොර දඩාස් ගාලා වහලා අගුල දානවා. ඩැඩී කෑ ගහනවා, දොරට පයින් ගහනවා. මම සද්ද නැතුව ඉන්නවා.


හෙට එයාගේ කේන්තිය ටිකාක් නිවුනාම මම ඇත්තම කියන්නයි ඉන්නේ.


මම එයාට කියනවා මම ඊයේ ටවුමට හිහින් සත පනහකට අලුත් ෆ්ලයි ස්වොටර් එකක් ගත්ත බව. මම එයාට කියනවා මම ඒකේ මුද්දරප්පලම් කෑලි චොකලට් හේසල් නට් පේස්ට් එක්ක අනලා අතුල්ලලා තිබ්බ බව.


මම කියන්න හදන්නේ මම ඇත්තෙන්ම මැරිච්ච මැස්සෝ කීයටවත් කන්නේ නැති බව…මේ නොවැලැක්විය හැකි කරුණකට ඇර.

 

Picture of fly swatter from peacefulwife.com

Picture of fly swatter from peacefulwife.com

 


◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙


මට හිතුනා මේකට තව කෑල්ලක් එකතු කරන්න.


මිස්ටර් ස්පින්ක්ස් ගෙදර ගියාම එයාගේ බිරිඳ ජේන් අහනවා මෙහෙම.


ජේන් ස්පින්ක්ස්: ඩෙවිඩ්. මොකද අනේ ඔය ඔයාගේ හැටි? මොකද වුනේ?


ඩේවිඩ් ස්පින්ක්ස්:……………………………………………..


මිස්ටර් ස්පින්ක්ස් මොනවා කියන්න ඇද්ද? 😀


Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , ,

141.පච්චේ – BORN TO DIE – Part 2


DSCN3507_2_2

“නියම අදහස!”

(මේ නියම අදහස මොකක්ද කියලා හිතාගන්න බැරි අය කරුණාකරලා ගිහිල්ලා පළවෙනි කොටස කියවලා එන්න මෙතනින්.)

“හරි, මම ගිහින් එකක් හදාගෙන එන්නං විනාඩියෙං.” ලික් කියනවා.

“මහ්ම්, මෙතනට ගේන්නෙපා,” මම කියනවා. “අවුලක් නැතිනම් ගෙට ගිහිල්ලම බොමු. අද මාර රස්නයක් තියෙන්නේ එළියේ.”

දෙන්නම මූණට මූණ බලාගන්නවා.

“හයියෝ කිසි ප්‍රශ්ණයක් නෑ ඇන්ඩි,” ලික් කැමැත්ත දෙනවා.” යං, යං ගෙට.”

අපි ගල් අතුරපු පාර දිගේ, ගේ දිහාට ඇවිදගෙන යනවා. මටම පුදුමයි මම පෙන්වන සංසුන්බාවය ගැන. මම මොනතරම් ‘කූල්’ පිටද මේක ගන්නේ කියන එක මටත් අදහාගන්න බෑ.

සාලෙට ඇතුල් වුන ගමන්ම, මම කෙලින්ම ගිහින්, තියෙන සැපම පු‍ටුවට පතිතවෙලා, කකුල් දෙක ගන්නවා ස්ටූල් එක උඩට . ස්ටූල් එක උඩ තියෙන සඟරා ගොන්න මම පයින් ඇනලා බිමට දානවා.

“හරි, උඹ මිල්ක්ෂේක් එක හදාගෙන එනකල් මම මෙතන ඉන්නවා.”

“එළ එළ, බොසා. කිසි අවුලක් නෑ,” කියන ලික් කුස්සියට යනවා.

රිමෝට් එක අතට අරන් ටීවී එක දාන මම සද්දේ උපරිමේට වැඩි කරනවා.

“මේ ඇන්ඩි, මචං,”දොරෙන් ඔලුව දාන ලික් බෙරිහන්දෙනවා.

“මොකද?”

“මචං, ඕක පොඩ්ඩක් අඩු කරන්න බැරිද?”

“බෑ. මම කැමති මේ ගානට.”

ටීවී රිමෝට් එක මගෙන් උදුරගෙන, ඒක මගේ උගුර දිගේ බස්සනවද, නැද්ද, කියලා හිත හදාගන්න බැරිව ලික් බලා ඉන්නවා.

“ඇයි, මොකෝ උඹට අවුල්ද?”

“න්…නෑහ්. කිසි අවුලක් නෑ. උඹනේ අපේ ගෙදරට අමුත්තා. මොන ෆ්ලේවර් එකෙන්ද උඹේ මිල්ක් ෂේක් එක ඕනේ?”

“වෙන මොනවද බං? චොකලට් තමයි.”

“හරි මචං. පට් ගාලා ගේනවා,” කියන ලික් කුස්සියට අතුරුදහන් වෙනවා.

මම රිමෝට් එකේ බොත්තම් ඔබාගෙන ඔබාගෙන යනවා. චැනල් 2 වල පෙන්නන්නේ Playschool. අද කට්ටිය කුකබුරාලට ඇඳලා සින්දුවක් කියනවා.

Kookaburra sits on the old gum tree
Merry merry king of the bush is, he

අද රජා මම වෙච්චි කොට, කුකබුරාට කොහොම හිතෙනවා ඇද්ද කියලා හිතා ගන්න මට අමාරු නෑ. ලික්, ලීච් බාන මගේ යටත් වැසියෝ. මම කියන ඕනෙම දේකට මුං අද කැමති වෙන්න ඕනේ. මම තව ටිකක් වෙලා Playschool බලා ඉඳලා ටීවී එක නිවලා දානවා..

“ඒයි, මොකෝ බං මෙච්චර වෙලා කරන්නේ?” මම කෑ ගහනවා.

“බඩු හරි මචං. මේ ගේනවා.” ලීච් කෑ ගහනවා කුස්සියේ ඉඳං.

මට ඇහෙනවා බ්ලෙන්ඩර් එකේ සද්දේ. ඒ සද්දෙට මගේ කටට කෙළ උනනවා. ස්ටීව් ලික්ගේ මිල්ක්ෂේක් එකට ගහන්න නම් ආයේ…

බ්ලෙන්ඩරේ හඬ නවතිනවා.

“මට ඔය බ්ලෙන්ඩර් එකේම හෙම අරං එන්නෙපා. හොඳට හෝදපු වීදුරුවකට දාගෙන වරෙල්ලා ස්ට්‍රෝ එකකුත් දාලා මතක ඇතුව.”

“හරි හරි බොස්.”

මිල්ක් ෂේක් එක බන්දේසියක තියාගත්ත ලීච් පෙර‍ටු කරගෙන ලික් සාලෙට ඇතුල්වෙනවා. ලීච් බන්දේසිය ස්ටූල් එක උඩ තියනවා.

දික් අතට දාර වැ‍ටුන, අර පරණ තාලේ වීදුරුවකට දාපු මිල්ක් ෂේක් එකට, අර ඕනේ අතකට නවන්න පුලුවන් බටේකුත් දාලා. චොක්ලට් අයිස්ක්‍රීම් ලොකු හැන්දක්ම මිල්ක්ෂේක් එක මුදුනේ පාවෙනවා.

ලික් ට්‍රේ එකෙන් වීදුරුව අරං මගේ අතට දෙනවා. ඊට පස්සේ දෙන්නම මගේ පු‍ටුව දෙපැත්තෙන් දණ ගහගෙන මා දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා.

“ඉතිං පොඩ්ඩක් අයිං වෙනවද මට මේක බොන්න?”

“හරි හරි,” කිව්වට දෙන්නා එහෙමමයි.

“එහෙනම් මොනවද උඹලා බලං ඉන්නේ.”

“අපි බලා ඉන්නේ බොසා ඕක බොන හැටි,” ලික් කියනවා.

“අපි බලා ඉන්නේ බොසා ඕක ‘රස විඳින’ හැටි,” ලීච් කියනවා.

ලීච් ‘රස විඳින’ කියන කෑල්ල කිව්ව විදිය, ස්වරය මට එච්චර ඇල්ලුවේ නෑ.

මම පච්චේ හොඳට පේන විදියට මගේ අත ඉස්සරහට දික් කරන්නේ, කවුද මෙතන බොස් කියන එක මෙතන කොයි කාට හරි මොහොතකටවත් අමතක වෙලා නම්, මතක් වෙන්න. පණිවුඩය හරියට ලැබුනද කියලා සැක හැර ගන්න මම පළමුව උන් දෙන්න දිහාත්, දෙවනුව මගේ පච්චය දිහාත් බලලා, ආපහු උන් දෙන්නා දිහා බලනවා.

නමුත් මුන් දෙන්නා බක බක ගාලා හිනාවෙන්න ගන්නවා දකින මගේ ඇඟ හිරි වැටීගෙන යනවා.

“මටත් කියාපල්ලා බලන්න මොකක්ද විහිලුව කියලා,” මම කියනවා.

“අපි කියමුද එහෙනම්?” ලික් අහනවා.

“කියමු,” ලීච් කියනවා. “මම හිතන්නේ අපි ඒක කියන්නම ඕනේ. නැත්නම් පව්!”

ලීච් කමිස අත උඩට අදිනවා…

ලික් කමිස අත උඩට අදිනවා…

උන් දෙන්නගේම අත්වල, හරියටම මගේ පච්චේ තියෙන තැනම වගේ තියෙනවා කොළ පාට ඇස් එක්ක රතු දිග උඩු ‍රැවුලක් තියෙන හිස් කබලෙ පච්චේ, BORN TO DIE රිබන් බැනර් එකට උඩින් දිළිසි දිළිසි!

මම උන් දිහා බලනවා.

උන් මා දිහා බලනවා.

කාමරය නිහඬයි, අල්පෙනෙත්තක් බිම වැ‍ටුනත් ඇහෙන ගානට.

“හරි. තවත් බල බල ඉන්නෙ නැතුව බොන්ට සෑර්! තිබහත් ඇතිනේ. අපිට පරක්කුත් වෙනවා.” ඒ ලික්.

“ම්ම්ම්, මෙහෙමයි ලික්, එහෙම නම් බොහොම ස්තුතියි මිල්ක්ෂේක් එකටයි, ම්ම්ම්…, මට කරපු ආගන්තුක සත්කාර වලටයි. මට ඇත්තටම ඒ හැටි තිබහක් නෑ. මං ගියා නම් හොඳයි.” කියන මම නැගිටින්න පු‍ටුවේ ඉස්සරහට නැඹුරු වුනත් ලික් මාව ආපහු පු‍ටුවටම තල්ලු කරනවා.

“අනේ බං එහෙම හරි නෑනේ, අපි මෙච්චරත් මහන්සි වෙලා. ඔය කිව්වට උඹට මේ මිල්ක්ෂේක් එක බීලා යන්න බැරි තරම් හදිස්සියක් තියෙන්න බෑ. අපරාදෙනෙ මචං.”

“මේ අහපල්ලකො දෙන්නම. මට ඇත්තටම යන්න ඕනේ. මට පරක්කු වෙනවා මචංලා.”

“හුම් ඇත්තට?” ලික් කියනවා. “බීපං ඕක.”

අනිත් දඬුවම් එක්ක බැලුවාම මිල්ක්ෂේක් එකක් බොන එක මොන දඬුවමක්ද? මම වීදුරුව කටට ලං කරනවා. තොල් වල බීම ගෑවෙනකොටම ලීච් කට හඬ අවදි කරනවා.

“හැබැයි පොඩීඊඊඊඊඊ දෙයක් නම් කියන්න තියෙනවා. බොසා අපිට සමාවෙන්ටෝනැ. ගේ හරියේ තිබ්බේ නෑ ඕකට දාන්න චොක්ලට් සිරප් ඇබින්දක් හොයා ගන්න.”

හදිසියෙම මගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙනවා මට දැනෙනවා.

“ඒකෙ අවුලක් නෑ.” මම කියන්නේ සංසුන්බව පිටතට පෙන්නන්න හැම උත්සාහයක්ම දරමින්. “මොනවද ඒ වෙනුවට දැම්මේ, ඉතින්?”

“හංගොල්ලො.” ලීච් කියනවා. “හා, දැං බීපිය ඕක!”

නිමි.

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියූ “Just Joking” කෙටි කතා සංග්‍රහයේ පළවූ Born to Die කෙටි කතාවේ සිංහල අනුවාදයයි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger lovers

 
ප්‍රතිචාර 10

Posted by මත සැප්තැම්බර් 1, 2013 in Andy Griffiths, ජොලි කතා, පරිවර්තන

 

ටැග: , ,