RSS

Category Archives: Dude’s Originals

175.අපේ ඉංගිරීසි සෑර්.


baker

මම ගිය පාර ලියපු තක්කාලි කතාව‘අපේ රූ’ කරලා තිබුණු කමෙන්ට් එක මේ ලිපිය සිංහලෙන් පළ කරන්න හේතු කාරක වුනා කිව්වොත් නිවැරදියි. රූ මෙහෙම කියලා තිබුනා…

රූ….March 23, 2016 at 6:54 AM
මහවැලි කලාපයේ වැඩ කරද්දි ලැබුනු තෑග්ග නිසා ඩූඩ් තවමත් දුක්විදින බව දකිනකොට දුකයි.ඒ දූවිල්ල එසේ මෙසේ දූවිල්ලක් නෙවි කියලා මමත් අත්දැකලා තියනවා..
කොහෙම වුනත් ඒ කාලේ ළමයි ගැනත් මොනවා හරි ලියන්න පුළුවන් නම් වටිනවා ඩූඩ්…සමහර වෙලාවට කොච්චර දක්ෂ වුනත් අවස්ථාව නොලැබීමේ අවාසනාව නිසා අසරණ වුනු ළමයි ගැන..
ඩූඩ් මොකද කියන්නේ..
Read the rest of this entry »

 

161. කළකිරීම


OLYMPUS DIGITAL CAMERA

උපේක්ෂා ලියලා තිබුණ මිතුරු තොමෝ කතාව කියෙව්වාම මට හිතුනා කාලෙක ඉඳ ලියන්න හිතාගෙන හිටපු නමුත් මේ දවස් වල ගහලා තියෙන කම්මැලි කම නිසාම ඔහේ නිකම්ම තියෙන බ්ලොග් ක‍ටුවේ මළකඩ කැඩෙන්නත් එක්කම මේක  කියලම දානවා කියලා. Read the rest of this entry »

 

ටැග: , , , , , ,

157.අවංකපාකිං සහ වංකපාකිං පැරලල්පාකිං / Parallel Parking of Honest & Dishonest Parking./ With special Deනයිed Version and normal full cream version)


20131223_170356(1)

නයි ඉවත් කරන ලද විශේෂ මිශ්‍රණය (Deනයිed Version for නයි allergies)20131221_130729

කුරහංපිටියේ කඩමණ්ඩිය හරියේ ගුරුපාර පළල් කරලා. දෙපැත්තේ අගල් කපලා පොල්කොට  ඒ දඬු දාලා, ඒ උඩින් පස් දාලා – එක වැඩයි. පුරස්නෙකට තියෙන්නේ ඒත් කරත්තයක් ගාල් කරන්ට තැනක් නැති එක තමයි. දෙපැත්තම කඩවල් අයිතිකාරයෝ අයිති කරාගෙන. එහෙම නැතිනම් දැනටමත් කරත්තයක් ගාල් කරලා. මට යන්ට  ඕනේ කුරහංපිටියේ පිස්සු පීතර අප්පුගේ කඩේට. එතනින් මම වතාවක් කිඹුලා වෙල් උදළු තලයක් එක්කම ගජ මිත්තරයෙකුත් හොයා ගත්තා. අපි ගියේ අන්න ඒ මිත්තරය මුලිච්චි වෙන්ට, පොඩි වැඩකට.

අපි මේ රවුම ගහලා එන තුන් වෙනි වතාව. බරබාගේ රිංගවන්ට කිසිම ඉඩක් නෑ. පිස්සු පීතර අප්පුගේ කඩේට ටිකක් මෙහායින් තියෙනවා මාලුකූරි කියලා බෝඩ් ලෑල්ලක් ගහපු කඩයක්.  අන්න එතන තියෙනවා යාන්තම් බරබාගේ රිංගවන්ට තැනක්. මම පිටිපස්ස බලලා ගොනාගේ කිරිපල්ලට පයිං ඇනලා, ‍තෝං ලණුව දකුණට ඇදලා,  කෙලින්ම ගියා එතනට. ගිහින් කරත්තේ කිසිම කොටසක් අරියාදුවට වගේ පාරට නොතියෙන්ට ගාල් කලා විතරයි, ඔන්න කූරි කඩේ ඉඳලා ආවා මුර උන්නැහේ කෙනෙක්. කලුයි, තරමක් පුරවදාලා. හැබැයි සිරියාවන්ත හිනාවක් තියෙනවා කියලා මට හිතුනා.

“උඹැහේ බෑරක්ද යන්නේ? කූරි ගන්ට ආවද??”

“අනේ නෑ උන්නැහෙ. මොන කූරිද. මට යන්ට ඕනෙ අන්ට අර පිස්සු පීතර අප්පුගේ කඩේට. එතන ඉඩ නෑ. ඒකයි මෙතන දැකලා මෙතනට රිංගුවේ.”

උන්නැහෙ හිනාවක් එක්කම මා දිහා බලා ඉන්නවා. ඒක සමච්චල් හිනාවක්ද කියලා මට හිතාගන්ට බෑ.

“හරි මං යන්නම්. මම තුන් පාරක් මෙතනින් ගියා ගාල් කරන්ට කරන්ට තැනක් හම්බු වෙනකල්.”

“උන්නැහේ, යන්ට එපා ඔහොමම තියන්ට බරබාගේ. ඔය ගොනත් ලෙහෙලා මෙතන දිගේලි කරන්ට, ඔය පිදුරු මිටියත් දාලා. මම කැමති උන්නැහේගේ අවංක කමට. මෙතනට ලොකු ලොකු බර බාග, තිරික්කල්, බක්කි කරත්ත ඔලිං එන හාමුලා, තව ලමාතැනීලා කටේ දිවේ නොගෑවී දෙසා බාන මුසාවාද ඇහුවනම්…හහ්. ‘මම මේ කඩේට තමයි ආවේ. අර එහා පැත්තේ අගෝරිසාගේ කඩෙං බුලත් විටක් ඇන්න එඤ්ඤං සුරුස් ගාලා,’  වගේ නා නාප්‍රකාර බේගල් ඇද බාන්නේ. මගේ නෑ කිසිම අනුකම්පාවක් උන්දලට. මුන්නැහේ විතරයි අවංකවම, බොක්කෙන්ම ඇත්ත කිව්වේ. මම අන්න ඒ අවංක බාවයට සලකනවා. මුන්නැහේ බරබාගේ  ඔහොමම තියලා ගිහින් එන්ට. කිසි පුරස්නයක් නෑ.”

එදා ඉඳලා එතනින් කරත්තේ දක්කං යන ගානේ මම බලනවා මුර උන්නැහේ පේන්ට ඉන්නවද කියලා. උන්නැහේගේ නමත් කරෝලිස්. හුඟක් දවස් වලට කරෝලිස් ගිණිකසයා වගේ වැඩ. මාව දකින්නේ නෑ. මම හිනාවෙලා කෙවිට උස්සලා ‘ආයිබෝං අප්පුහාමි,’ කියාගෙන ගියාම උන්නැහෙත් ආයිබෝං කිව්වත්, මම කවුද කින්ද-මන්ද කියලා මතක නැතුව ඇති, අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් නිසා.


මේ පහුගිය අවුරුද්දේ  ඔන්න මට යන්ට ඕනේ වුනා කො‍ටුදෙණියේ කීප තැනකට පොඩි වැඩ වගේකට. අපි වෙනදට අර ගිණිගහන අවුවේ, මඩ වලවල් මදිවට කරත්ත රෝද පට්ටම් වලටම කාණු හෑරිච්ච කරත්ත ගාලේ, කරත්තේ ගාල්  කරලා, සතා ලෙහෙලා, අර ගිණිගහන අවුවේ, කණුවක දිගේලි කරලා, පිදුරු මිටියකුත්දීලා, ගාලෙං එලියට  එන්නත් අච්චර දුර ගිණි අවුවේ පයින් ඇවිත්, ඒ මේ අත ඇවිදිද්දි දකිනවා මේ ගුරු පාරවල් අයිනෙම, කෝං ගස්, බුරුත ගස්, හල් ගස්, මිල්ලගස් යට හීල් හෙවනේ ගාල් කරන්න තැං එමට තියෙනවා. එදා එහෙම තැනක් හොයාගෙනම ගියා මායියයි  මායි. 


මම බෙර විකුණන කඩේ අයිනේ හරස් පාරේ ගහක් යට කරත්තේ ගාල් කරලා, එතකල් වම් හක්කේ තිබිච්ච බුලත් හපේ දකුණු පැත්තට මාරු කරන කොටම, ඔන්න සුම්බරයක් හෙම ඔලුවේ බැඳගෙන මුරේ ඉන්නවා ඔරෝගෙන .

“මෙතන අඬබෙර, දවුල් බෙර, යක් බෙර, තම්මැට්ටං හදවගන්ට එන  අයගේ කරත්තවලට විතරයි.”

හෑ. සීවරං දෙයියන්ට ඔප්පුවෙච්චාවයි මේ අවනඩුව! පාරත් අඬබෙර කාරයෝ අල්ලගෙන!

“උඹැහේ බෑරක්ද??”

මම හැකිතාක් දුරට බේගල් කීමෙන් වලකිනවා. ඒකට හේතුව එක බොරුවක් රකින් තව බොරු දාහක් කියන්න වෙන එකයි, කිව්ව බොරුව කල්පාන්තරයක් මතක තියාගෙන ඉඳීමේ අපහසුවයි ගැන අත්දැකීමෙන්ම දන්න නිසයි. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ මේ කපේට. ඒ නිසා මම ඒ පුරස්නෙට උත්තර දුන්නේ නෑ. මම උන්නැහෙගෙන් ඇහුවා වෙන පුරස්නයක්.

“කොතනින්ද ඇතුලට යන්නේ? මෙතනින් ගියෑකිද?”

ඇත්තටම ඒ  ඉඳිකඩුල්ලනං නිකං කම්මලකට  යන එකක් වගේයි පෙණුනේ අඬබෙර විකුණන තැනකට වඩා. මම එතනින් ඇතුලට යන්න වගේ ලෑස්තියෙන් ඇහුවේ.

මුරේගේ මූණත්තහඩුව බලා ඉන්දැද්දි වෙනස් වුනා.

“මුන්නැහේට මොනවද කරගන්ට ඕනෙ?”

දැන් එතන ඉඳිකඩුල්ල ගාවා බුලත්විටක් ඒද, ඒද හිටි මුර ගැටයත් ඇඟිල්ලෙ ගෑවිච්ච හුණු ඇබින්ද කඩුල්ලේ උලලා මගේ දිහා බැලුවා.

“මගේ බෙරේ ගෙනාවොත් අලුතෙන් හමක් දාගන්ට පුලුවන්ද අහන්ට ඕනේ” මම තරමක් වැරෙන් කිව්වා.

ඔය බෙරේට හමක් දාගන්ට ඕනේ කතාව ඇත්ත. හැබැයි බෙරේ හම ගලවලා පොඩි කොලුවා කැටපෝලෙකට අරං දැං අවුරුදු  බර ගානක් වෙනවා. ඒ කලෙත්, මී නාම්බෙක් වරපොටත් කාලා, හමෙනුත් කෑල්ලක් කාලා තිබුන නිසා, කොල්ලට ඒක ගලවගන්ට කියපු නිසා.

“ආ උන්නැහේ, කරත්තේ  ඔහොම දාලා ඔහොම පල්ලෙහාට ගිහිං දකුණු අත පැත්තට හැරිලා ඉස්සරහට ගිහිං කෝං ගහ ගාවම තියෙන කඩුල්ලෙං පැනලා ඇතුලට යන්ටකෝ. එතන වම් පැත්තේ බිම ඉඳගෙන ඉන්න රතු හීන්දෑරි ගොබිලට කියන්ට.

මමත් ඒ විදියටම ගිහින්, එතන හිටපු රතු හීන්දෑරි ගොබිලගෙන් ඇහුවා, මගේ මීයෝ කාපු බෙර හමයි, වර පොටවල් ටිකයි ආපහු දාගන්ට ඇහැකිද කියලා බෙරේ ගෙනාවොත්.

“මොකද්දෑ බෙරේ? ගැට බෙරයක්ද?”

මම ඒ පුරස්නවලට උත්තර බැන්දාම, උන් තැනින් නැගිටලා එතන අඩුක් කරලා තිබ්බ හම් ටිකයි වරපොටවල් ටිකයි අතගාලා බලපු ගොබිලා කියනවා.

“මේකට මරඳගහදෙණියටම යන්ට යන්න වෙනවා. “

“හැබෑට? අර මුර උන්නැහේ කීවේ මට මෙතනට එන්ට කියලනේ.”

“උන්නැහෙල දන්න බිබික්කම! ඔය මේ ඊයේ පෙරේදා මේකට පයගහපු උන්නේ.”

ඒ  මේ ඊයේ පෙරේදා මේකට පයගහපු  මුර උන්නැහෙලා මෙලෝ බිබික්කමක් නොදන්න  එක ගැන මගේ හඳුන්පොත කීං ගාන බව මම රතු හීන්දෑරි ගොබිලට පෙන්නුවේ නෑ.

ඊට පස්සෙ, එතනින් කැපිලා අහක යන හංකෑලි වගේකුයි, වරපොටවල් අහුලගත්ත මම,  එලියට ගිහින් අනිත් වැඩ කටයුතු ඔක්කොමත්  කරගෙන, එන ගමන් අර මුර උන්නැහේටත් කැපිලා අහක යන හංකෑල්ලක් අතේ තියාගෙනම ‘ගොහිං එඤ්ඤං අප්පුහාමි’ කියලා කරත්තෙට නැග්ගේ ඕං.

ඇත්තටම මම මුසාවාදයක් “කිව්වෙත්” නෑ. ඒත් අර කුරහංපිටියේ කරෝලිස් උන්නැහේ මේක දැනගන්නවට නම් මගේ එච්චර මනාපයක් නෑ.

 

***********************************************

සාමාන්‍ය මිශ්‍රණය Full Cream Version

DSC_1243
කොල්ලුපිටියේ ගාලු පාර පළල් කරලා. දෙපැත්තේ පේව්මන්ට් හදලා පාට ටයිල් දාලා එක වැඩයි. අවුලකට තියෙන්නේ වාහනයක් පාක් කරන්න තැනක් නැති එක තමයි. අර ටයිල් උඩින් දාලා පාක් කරන්න ඉඩ දෙන තැන් හැමතැනම අයිතිකාරයෝ ඉන්නවා. එහෙම නැතිනම් දැනටම ත් කවුරුහරි අල්ලගෙන. මට යන්න ඕනේ කොල්ලුපිටියේ PC Partner එකට. එතනින් මම වතාවක් hp ලැප්ටොප් එකක් වගේම හොඳ යාලුවෙකුත් ගත්තා. අපි ගියේ අන්න ඒ යාලුවව හම්බවෙන්න පොඩි වැඩකට.

අපි මේ රවුම ගහලා එන තුන් වෙනි වතාව. වාහනේ රිංගවන්න කිසිම ඉඩක් නෑ. PC Partnerට ටිකක් මෙහායින් තියෙනවා TNT කියලා  ගහපු තැඹිලි පාට- දුඹුරු පාට බිල්ඩිං එකක්. ඩයිනමයිට් වගේ තමයි. අන්න මේ වතාවේ එතන තියෙනවා යාන්තම් වෑන් එක රිංගවගන්න තැනක්. මම පිටිපස්ස බලලා සිග්නල් දාලා බෲස් ගාලා දැම්මා එතනට. ගිහින් වාහනේ කිසිම කොටසක් තහනම් කලාපයට ඉහලින් දික් නොවෙන්න පාක් කලා විතරයි, ඔන්න TNT එකේ ඉඳලා ආවා සිකියුරුටි බුවෙක්. කලුයි, තරමක් මහත පැත්තට බරයි. හැබැයි ප්‍රසන්න හිනාවක් තියෙනවා කියලා මට හිතුනා.

“සර්, කොහාට යන්නද? TNT එකටදද?”

“අනේ නෑ. මම ඔය කොම්පැණියෙ මොනවද කෙරෙන්නෙ කියලවත් දන්නේ නෑ. මට යන්න ඕනෙ අන්න අර PCPartner එකට. එතන ඉඩ නෑ. ඒකයි මෙතන දැකලා මෙතනට රිංගුවේ.”

පොර හිනාවක් එක්කම මා දිහා බලා ඉන්නවා. ඒක සමච්චල් හිනාවක්ද කියලා මට හිතාගන්න බෑ.

“හරි මං යන්නම්. මම තුන් පාරක් මෙතනින් ගියා පාක් කරන්න තැනක් එනකල්.”

“සර්, යන්න එපා ඔහොම තියන්න වාහනේ. මම කැමති සර්ගේ අවංක කමට. මෙතනට ලොකු වාහන වලින් එන මහත්තුරු, තව හෙන හයිෆයි නෝනලා කටේ දිවේ නොගෑවී කෙලින බොරු ඇහුවනම්…හහ්. මම එහා පැත්තට ගිහින් එනවා. කොම්පැණියට තමයි ආවේ වගේ නා නාප්‍රකාර කෙබර ඇද බාන්නේ. මගේ නෑ කිසිම අනුකම්පාවක් එයාලට. සර් විතරයි දෙපාරක් නොහිතා අවංකවම, බොක්කෙන්ම ඇත්ත කිව්වේ. මම අන්න ඒ අවංක බාවයට සලකනවා. සර් ඔහොම වාහනේ තියලා ගිහින් එන්න. කිසි අවුලක් නෑ.”

එදා ඉඳලා එතනින් යන ගානේ මම බලනවා  පොර ඉන්නවද කියලා. පොරගේ නමත් කරූ. හුඟක් දවස් වලට පොර හෙන බිසි. මාව දකින්නේ නෑ. මම හිනාවෙලා අතවනාගෙන ගියාම පොරත් අත වැනුවත් මම කවුද කියලා මතක නැතුව ඇති අවුරුදු කීපයකට කලින් වෙච්ච සිද්ධියක් නිසා.

මේ පහුගිය අවුරුද්දේ  ඔන්න මට යන්න ඕනේ වුනා කො‍ටුවේ කීප තැනකට පොඩි වැඩ වගේකට. අපි වෙනදට, අර ගිණිගහන අවුවේ, අලි වලලන වලවල් මදිවට, ට්‍රෑම්කාර් පීලිවලින් පවා පිරිච්ච, කො‍ටුවේ කාර් පාක් එකේ වාහනේ නතර කරලා, ඒකෙන් එලියට එන්නත් අච්චර දුර ගිණි අවුවේ පයින් ඇවිත්, ඒ මේ අත ඇවිදිද්දි දකිනවා, මේ පාරවල් අයිනේ වාහන පාලිකාවෝ වාහන බලාගන්න හොඳ හෙවන තැන් තියෙනවා. එදා එහෙම තැනක් හොයාගෙන ගියා අපි දෙන්නා.

මම ටෙලිකොම් එක අයිනේ හරස් පාරේ ගහක් යට වෑන් එක නවත්තලා එළියට බහිනකොටම ඔන්න සික්‍යුරිටි බුවා ඉන්නවා ඔරෝගෙන.

“මෙතන ටෙලිකොම් එකට එන වාහන වලට විතරයි.”

හෑ. පාරත් ටෙලිකොම් එකෙන් අල්ලගෙන.

“කොහේටද යන්නේ?” (මේකා නම් කරූගේ අහලකින්වත් තියන්න බෑ.)

මම  හැකිතාක් දුරට බොරු කීමෙන් වලකිනවා. ඒකට හේතුව එක බොරුවක් රකින්න තව බොරු දාහක් කියන්න වෙන එකයි, කිව්ව බොරුව සදහටම මතක තියාගෙන ඉඳීමේ අපහසුවයි ගැන අත්දැකීමෙන්ම දන්න නිසයි. ඔය බොරු කියන උන්ට අමතක වුනාට බොරුව අහගෙන හිටපු උනට ලේසියකට ඒ බොරුව අමතක වෙන්නේ නෑ අවුරුදු ගානකට. ඒ නිසා මම ඒ ප්‍රශ්ණෙට උත්තර දුන්නේ නෑ. මම ඒ වෙනුවට බුවාගෙන් ඇහුවා වෙන ප්‍රශ්ණයක්.

“කොතනින්ද ඇතුලට යන්නේ? මෙතනින් ගියෑකිද?”

ඇත්තටම ඒ ගේට්‍ටුව නම් නිකම් වෙයා හවුස් එකකට යන එකක් වගේයි පෙණුනේ ටෙලිකොම් වුනාට. මම එතනින් ඇතුලට යන්න වගේ ලෑස්තියෙන් ඇහුවේ.

පොරගේ මූඩ් එක බලා ඉන්දැද්දි වෙනස් වුනා.

“සර්ට මොනවද කරගන්න ඕනෙ?”

දැන් එතන ගේට්‍ටුව ගාවා මුරකුටියේ ඉඳගෙන ෆයිල් එකක මොනවද ලිය ලියා ඉන්න පොරත් මගේ දිහා බැලුවා.

“මගේ ෆෝන් එක ඩිස්කනෙක්ට් කරලා. මට අන්න එක ගැන කතාකරන්න ඕනේ.” මම තරමක් තියුණු හඬකින් කිව්වා.

ඔය කතාව ඇත්ත. හැබැයි එහෙම කරලා දැන් අවුරුදු බර ගානක් වෙනවා. ඒ කලෙත් මම ඉල්ලීමක් කරපු නිසා.

“ආ සර්, වාහනේ ඔහොම දාලා, ඔහොම දිගටම ඇවිදගෙන ගිහින්, දකුණට හැරිලා  අරලිය ගහ ගාවින් තියෙන දොරෙන් ඇතුලට යන්න. එතන වම් පැත්තේ ඩෙස්ක් එකේ ඉන්න මහත්තයට කියන්න”

මමත් ඒ විදියටම ගිහින් එතන හිටපු ප්‍රසන්න මූණක් තියෙන බුවාගෙන් ඇහුවා මගේ විසන්ධි කරලා තියෙන ෆෝන් එක ආපහු ගන්න මොකද කරන්න ඕනේ කියලා.

“මොකක්ද නොම්මරේ?”

ඔන්න මම නොම්මරේ දුන්නා වෙඩි වාගේ.

“මේකට සර්ට මරදානට යන්න වෙනවා.,” ප්‍රසන්න මූණ කොම්පියුටරේ චෙක් කරලා බලලා කිව්වා.

“ඇත්තට? අර සිකියුරිටි එකෙන් කිව්වේ මට මෙතනට එන්න කියලනේ.”

“ඒ ගොල්ල දන්නේ නැතුවයි එහෙම කියන්නේ. එයාලා අලුත් අය.”

ඒ  අලුත් අය දන්නේ නැතිමට  එහෙම කිව්ව එක ගැන මට සතු‍ටු බව මම ප්‍රසන්න මූණට පෙන්නුවේ නෑ.

ඊට පස්සෙ එතනින් ෆෝම් වගයකුයි ලීෆ්ලට් ටිකකුයි අරගෙන එලියට ගිහින් අපිට කො‍ටුවෙන්  කරගන්න තිබිච්ච අනිත් වැඩ ටිකත් කරගෙන එන ගමන් අර සික්‍යුරිටි බුවාටත් ටෙලිකොම් ෆෝර්ම් එකක්ම උස්සලා ටටා කියලා වෑන් එකට නැග්ගේ ඕං.

ඇත්තටම මම බොරුවක් “කිව්වෙත්” නෑ. ඒත්  අර කොල්ලුපිටියේ කරූ මේක දැනගන්නවට නම් මගේ එච්චර මනාපෙකුත් නෑ.

මේ කතාවෙම තව වර්ෂන් එකක් තියෙනවා. ඒ තමයි ඉංග්‍රීසි වර්ෂන් එක. මෙන්න තැන. Parallel Parking of Honest and Dishonest Parking @ HeyDude.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , , ,

156. බදුලු කෝච්චිය. අවසන් කොටස – බදුල්ල දක්වා.


CAUTION: THE MEMORIES ARE IN THE MAKING…

0000DSCN5969
අමතක නොවන සුන්දර දුම්රිය චාරිකාවක අවසන් කොටස.

මුල් කොටස් මග හැරුනා නම් මෙන්න පාර.

107. බදුලු කෝච්චිය. 1 වන කොටස
108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.
109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.
110. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා.

0001DSCN5854අවසානයේදි අපි Great Western පසුකර ඉදිරියට ඇදෙනවා…

0002DSCN5832Great Western හා රදැල්ල අතර යම් තැනක…

0003DSCN5831Great Western සිට බදුල්ල දක්වා යද්දී හමුවෙන දුම්රිය ස්ථාන නම්:
Great Western, රදැල්ල. නානු ඔය, පැරකුම්පුර, අඹේවෙල, පට්ටිපොල, ඔහිය,
ඉදල්ගස් හින්න,  හපුතලේ, දියතලාව, බණ්ඩාරවෙල, කිණිගම, හීල් ඔය, ඇල්ල,
දෙමෝදර, උඩුවර, හාලි ඇල සහ බදුල්ලයි.

0004DSCN5830
*****
0005DSCN5828පුවරුවෙන් කියැවෙන්නේ අපි රදැල්ලට ලඟාවුන බවයි.

0006DSCN5825දුම්රිය ම‍ඟේ මුර දේවතාවෝ. 
The force behind. The rail road crew.

0007DSCN5822
*****
0008DSCN5820

ගම්බද දුම්රිය ස්ථානයකට හොඳම උදාහරණයක් වන මුහුදු මට්ටමේ සිට මීටර
1573.31 ඉහලින් පිහිටි රදැල්ල අර ලැයිස්තුවේ අටවෙනි තැන හිමිකර ගන්නවා.
දැන් අප කොළඹ සිට කිමී 202ක් මග ගෙවා තියෙනවා.
රදැල්ල කිව්වාම මට නම් නීතැතින්ම මතක් වෙන්නේ ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරය. 
රදැල්ලෙන් මෙගාහර්ට්ස්…

0009DSCN5814
*****
0010DSCN5813
*****
0011DSCN5806මේ දුම්රිය මං ජාලයේ තවත් වැදගත් නැවතුමක් වන නානුඔයට ලඟා වෙමින්…

0012DSCN5791
නානු ඔය දුම්රිය අංගනය. නොස්ටැල්ජියාව පිටාර ගලමින්…
අපි පොඩි කාලේ තාත්තා රට පුරා මාරුවීම් ලබද්දි,ගෙදර බඩු මුට්‍ටු පටවගෙන ගියේ මේ
වගේ බඩු පෙට්ටි වල.වැඩි ආරක්ෂාවට තාත්තා වෙනම ඉබ්බෙකුත් පෙට්ටියට දානවා.
මම මේ කතාවක් කිව්වා මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ.

0013DSCN5790හොඳට පදම්වුනු සම්ප්‍රදායික කෝච්චි පෙට්ටියක්…

0014DSCN5782එන්ජින් හරවන්න පාවිච්චි කල මේ  turntable අද කෞතුක භාණ්ඩයක් විතරද මන්දා…

0015DSCN5780මෙතනත් තියෙනවනේ අර දෙබිඩි සිග්නල් කණුව. 
එතකොට අර  Great Western කණුවේ විශේෂත්වය මොකක්ද?

0016DSCN5779
නානුඔය පසු කරමින්.  කොළඹින් කිමී 207.05ක දුරින්ද,
මුහුදු මට්ටමේ සිට මීටර් 1613.10ක් උසින්ද පිහිටි නානුඔය
ලංකාවේ හයවැනි උසම දුම්රිය ස්ථානයයි.

0017DSCN5762

දේශපාලන නිරවද්‍යතාවය (Political correctness) කෙසේ වෙතත්
මට නම් මේක කතන්දර පොතක පින්තූරයක් වගේමයි.

0018DSCN5760
*****
0019DSCN5752
*****
0020DSCN5753
*****
0021DSCN5748
කඳු විනිවිද යන බිම්ගෙවල් තරම්ම, කඳු යාකරන මෙවැනි යකඩ පාලම් ගණනාවක්ම
මේ මාර්ගයේ දකින්න පුලුවන්.

0022DSCN5747
*****
0023DSCN5740
*****
0024DSCN5737
**********
0025DSCN5736
*****
0026DSCN5216
*****
0027DSCN5218Edinburgh Estate.

0028DSCN5241
අඹේවෙලට ලඟාවෙමින්…
පුංචි නවසීලන්තය නම අනවර්ථනාමයෙන් හැඳින්වෙන අඹේවෙල කිරිපට්ටි පාලනයට ප්‍රසිද්ධයි.
මෙහි නවසීලන්ත ගොවිපල සහ අඹේවෙල ගොවිපල යන සත්ව ගොවිපොලවල් දෙකක් පිහිටා තියෙනවා.
ඒ වගේම ලංකාවේ එකම කිරිපිටි කම්හලත් තියෙන්නේ අඹේවෙල.

0029DSCN5256අඹේවෙල මිහිදුම් සලු අතරින් ඉදිරියට ඇදෙන පොඩි මැණිකේ…

0030DSCN5732ලංකාවේ දෙවැනි උසම දුම්රියපොළ. අඹේවෙල. 
මුහුදු මට්ටමේ සිට උස මීටර 1827.77. කොළඹ සිට දුර කිමී 221.45යි

0031DSCN5718

නුවර එළිය දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ ඉහලින්ම පිහිටි දුම්රිය ස්ථානයයි.
(ඉස්සර අපෙන් අහන සාමාන්‍ය දැනුම ප්‍රශ්ණයක් මේ.)
මුහුදු මට්ටමේ සිට උස මීටර් 1891.56යි. 

කොළඹ සිට දුර කිමී 222.92යි.

 

0032DSCN5299පට්ටිපොල අවට බලන්න තැන් ගණනාවක් ඇති බවයි දැනගන්න ලැබුනේ. තව දවසක බලමු.

0033DSCN5710පට්ටිපොල සහ ඔහිය අතරමඟ…

0034DSCN5709
*****
0035DSCN5711The highest it gets!
මේ ශ්‍රී ලංකා දුම්රිය මං ජාලයේ මුදුන් මල්කඩ.
ඔහිය සහ පට්ටිපොල අතර සි‍ටුවා ඇති මෙම පුවරුවේ සඳහන් වෙන්නේ
මෙතැන දුම්රිය ම‍ඟේ ඉහලම ස්ථානය බවයි. The Summit Level.
එනම් මුහුදු මට්ටමේ සිට උස මීටර 1898.1යි කොළඹින් කිලෝමීටර් 224.027යි.

මේ මම හුඟක් ආඩම්බර වෙන ඡායාරූපයක්.

0037DSCN5697හෝර්ටන් ජාතික වනෝද්‍යානයට ඇතුල්වෙන මේ ස්ථානය පිහිටා තියෙන්නේ ඔහිය දුම්රිය පොල අද්දරමයි.
මේත් බැලිය යුතුම ස්ථානයක්.

0039DSCN5695
මුහුදු මට්ටමේ සිට මීටර් 1791.77ක් ඉහලින් පිහිටි ඔහිය දුම්රියපොලට
ලංකාවේ උසින්ම පිහිටි දුම්රිය ස්ථාන ලැයිස්තුවේ තුන්වෙනි තැන හිමියි.
කොලඹ සිට කිමී 231.63

0042DSCN5696පරිවර්තනය දුශ්කරයි. අමුවෙන්ම විඳින්න.
Travel young. Arrive late. Wise-ass remark of henryblogwalker. 😀

0043DSCN5682ඔහිය පසුකරමින්…

0044DSCN5676කිලෝමීටර් 9 ක පමණ පරතරයකින් පිහිටි ඔහිය සහ ඉදල්ගස්හින්න දුම්රිය පොළවල් දෙක අතර
බිම්ගෙවල් 13ක් ඇති බව දැනගන්නට ලැබුණා.
මේ දුම්රිය ස්ථාන දෙකක් අතර පිහිටි වැඩිම බිම්ගෙවල් සංඛ්‍යාවලු.

0045DSCN5660
*****
046DSCN5643
*****
0047DSCN5632
*****
0048DSCN5627
*****
0049DSCN5617
ඉදල්ගස්හින්න දුම්රිය නැවතුම්පොළ.
කොළඹින් කිමී 240ක දුරකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 1665.85ක් ඉහලින් පිහිටි ඉදල්ගස් හින්න නැවතුම
පිහිටා ඇති උසින් පස්වැනි තැනට පත් වෙනවා.
(මට නම් ඉදල්ගස් හින්න කිව්වාම මතක් වෙන්නේ අපි 2000දි හිටාචි කෝච්චියේ ආපු ගමනෙදි දීපාගේ ස්ටාෆ් එකේ මිතුරියකගේ නොබොන
සැමියෙක් බීලා ඉදල්ගස්හින්නේ කණුවකට නැගලා වැටිලා, මූණකට සමතලා කරගත්ත සිද්ධිය.)

0050DSCN5606
*****
0051DSCN5603
*****
0052DSCN5596haputaleකොළඹට රේල්පාරෙන් දුර කිලෝමීටර් 248ක් වුනත් මහපාරේ ගියොත් කිලෝ මීටර් 189ක් පමණක් බවයි
අර කොළපාට බෝඩ් එකේ සඳහන් වෙන්නේ. මේ අර දැක්කාම බඩදනවා කියන, තණ්ඩලේ දෙන්නා දෙපොලේ දක්කපු,
පහුතලේ කන්ද නේද?

0053DSCN5352වාහනවල බෆර් ගැන කතාකරන අයටයි මේ පාඩම.
මේ තියෙන්නේ බෆර් එකක්. බෆර් තියෙන්නේ කෝච්චි වල.
වාහනවල තියෙන්නේ බම්පර්. බෆර් නෙවෙයි. ඩූඩ්ගෙන් නොමිලේ ඉංග්‍රීසි.
ආයෙම කාර් එකේ බෆර් එක ගැන කතා කරලා මට අහුවෙන්නෙපා උඹලා.

Steel to cushion steel. The train buffers. And cars have bumpers.

0054DSCN5354මම මේ පින්තූරේ නම් කලේ 
පරම්පරා පරතරය The generation gap කියලා.

0055DSCN5357කොළඹින් කිමී 246ක දුරින් හා මුහුදු මට්ටමේ සිට මීටර 1479.57ක උසින් පිහිටි හපුතලේ දුම්රිය ස්ථානය
පිහිටි උස අනුව හත්වැනි ස්ථානය ලබයි.

0056DSCN5592
*****

0057DSCN5563Memories in the making…සිහිවටන බිහිවෙමින්…
0058DSCN5555
*****
0059DSCN5361diyatalawaසිසිල් කාලගුණය සහ හමුදා කඳවුරු නිසා ප්‍රසිද්ධියට පත් දියතලාව.

0060DSCN5369bandarawelaජීවත් වීමට උචිත සිසිල් සුවදායී පරිසරයක් ඇතැයි බොහෝදෙනා විශ්වාසකරන බණ්ඩාරවෙල සංචාරක පාරාදීසයකි.

0061DSCN5374bandarawela
*****
0062DSCN5551
*****
0063DSCN5547bandarawela
*****
0064DSCN5540කිණිගම. නියම ගම්බද දුම්රිය ස්ථානයක්.  

0065DSCN5538හීල් ඔයත් එහෙමයි.

0066DSCN5536
*****
0067DSCN5528ellaඇල්ල.

 
0068DSCN5527
*****
0069DSCN5493මුලු කෝච්චියම අපේ වගේ වෙච්ච වෙලාවලුත් තිබ්බා.

0070DSCN5319දුම්රිය මඟ ඉදිකරපු ඉංජිනේරුවන්ට කන්ද විදින එක ඇරෙන්න වෙන විකල්පයක් තිබුනයි කියලා
හිතන්න අමාරුයි මෙතනදි නම්. අනික මේවා අර TBM යොදාගෙන විදපුවා නෙවෙයිනේ.
තනිකර මිනිස් ශ්‍රමය.

0071DSCN5382සුප්‍රසිද්ධ දෙමෝදර ආරුක්කු පාලම.

0073DSCN5383
*****
0074DSCN5394දෙමෝදර ශ්‍රී ලංකා දුම්රිය වංශකතාවේ විතරක් නෙවෙයි, ලෝක දුම්රිය වංශ කතාවෙත් වැදගත්ම දුම්රිය පොලක්. ඒකට හේතුව දුම්රිය මග මත ඉදිකරපු එකම දුම්රිය නැවතුම්පල දෙමෝදර වීමයි. තව පැහැදිළි කලොත් දෙමෝදරදි රේල්පාර පාරාවලයක් Spiral වගේ  සම්පූර්ණ වටයක් කරකැවිලා ආපහු තමන් පහුකරපු තැනකට යටින් ගමන් කිරීමයි. මෙතනට කියන්නේ Demodara Spiral Loop කියලා. මේ විශේෂ ස්ථානයේ කන්ද මත දෙමෝදර දුම්රිය ස්ථානය පිහිටනවා. ඊට යටින් බිම්ගෙය තුලින් වරක් දුම්රිය ස්ථානය පසුකල දුම්රිය නැවතත් ගමන් කරනවා. ඇත්තෙන්ම බලන්න ආසා දර්ශණයක්.

0075DSCN5398
මේ තියෙන්නේ රවුම ගහලා නැවත එන දුම්රිය මඳ වේලාවකට පෙර තමන් පහුකල දුම්රිය ස්ථානය පිහිටි කන්ද හරහා විද ඇති දුම්රිය උමගය වෙත ගමන්කරන අන්දමයි. උනන්දුවෙන් බැලුවොත් මේ දුම්රියෙන්ම බැසගත් මගීන් කන්ද උඩ දුම්රියපල අද්දර සිටගෙන තමාපැමිණි දුම්රිය තමන්ට යටින් ගමන් කරනවා බලා ඉන්න හැටි පෙනේවි.

0076DSCN5487ගමනාන්තයට පෙර අන්තිම නැවතුම. හාලි ඇල.

0077DSCN5416
*****
0078DSCN5465 බදුල්ල. ගමනක අවසානය. උඩරට මාර්ගයේ අවසන් දුම්රිය ස්ථානය.
End of the line.

0080DSCN5446ගමන මෙතනින් අවසන් වුනත් හෙට උදේම ආපහු යන ගමන ගැන හිතලා හිත හදාගන්න පුලුවන්.

0081DSCN5463

ඉතින් පහුවදා උදේ අටහමාරට තියෙන ඊලඟ දුම්රියෙන් ආපහු එන තෙක් රෑ ගතකරන්න අපි නවාතැන්පොලක් හොයාගත්ත හැටිත් රසවත් කතාවක්. අර මුලින්ම කිව්වා වගේ අපි බදුල්ලට ගියේ නිකං ආසාවට වගේම නවාතැන් කලින් හොයලා තියලා එන්නත් අපි කිසිම උනන්දුවක් ගත්තේ නෑ. ඒකත් මේ ඇඩ්වෙන්චර් එකේම කොටසක්නේ.
දුම්රිය පොලෙන් එලියට ආ අපි ටැක්සියක් හොයාගන්න වටපිට බලනකොටයි මේ සාරබුලත්විට වෙළෙන්දා මට කිට්‍ටු කලේ.
“සර් කමුද සාර බුලත් විටක්?”
“එපා. බොහොම ස්තුතියි. මම විට කන්නේ නෑ.”
“එහෙනම් සර් ගෙස්ට් හවුස් එකක් හෙම හොයනවා නම් කියන්න. තියෙනවා හොඳ තැනක්.”
“අන්න හරි. අන්න එහෙම එන්න. කොහෙද තැන, කොහොම තැනක්ද කියන්න බලන්න.”
“නොම්බර එකේ ගෙස්ට් හවුස් එකක් සර්.”
“මෙහෙමයි. අපිට ඕනේ ඔක්කොටම වඩා ආරක්ෂාව තියෙන තියෙන තැනක්.” මම මගේ කොන්දේසි මාලාව ඉදිරිපත් කලා. ” ඊ ලඟට මේ ස්ටේෂන් එකට ලඟ, ඒ වගේම පිරිසිදු, ඒ වගේම සාධාරණ මිළකට තියෙන එකක්. අපි ඉන්නේ එක ‍රැයයි.”
“ඒවා ඔක්කොම හරි සර්. සර් කැමතිනම්, එන්න යන්න ගිහින් බලන්න. කැමතිනම් විතරක් නවතින්න.  ටැක්සි ඕනෙත් නෑ සර් අන්න අර පේන දුර. පයින් යතෑකි.”
අපි සාරබුලත් විට විට වෙළෙන්දා ඉස්සර කරගෙන පිටත් වුනා පයින්ම.  
“සර් කැමතිනම් ෂෝට් කට් එකෙක් ගියෑකි. නැතිනම් පාර දිගෙත් ගියෑකි.” 
ආරක්ෂිත පියවරක් හැටියට මම මෙහෙම අමුත්තෝ එක්ක කෙටි පාරවල් වල යන්නේ නෑ. 
“අපි මහ පාර දිගේම යමු එතකොට පාර මතක තියාගන්න ලේසියි.” 

යන ගමන් මම මිනිහත් එක්ක නොයෙකුත් දේ ගැන කතා කලා. ඇත්තෙන්ම දුම්රිය පොළ පාරෙම විනාඩි පහක විතර දුරක් එතනට තිබුනේ.  ඇත්තෙන්ම මිනිහා  ගෙස්ට් හවුස් මැනේජර්ට අපි වගේ කස්ටමර්ලා අල්ලලා දීලා අමතර ගානක් හොයාගන්න අහිංසක,  හොඳ මිනිහෙක්.

ඇත්තෙන්ම තැනත් නරක නෑ. මැනේජර් සල්ලි ඉස්සර කලේම නෑ, 

“ඉස්සෙල්ලා සර් තැන බලලා හොඳද කියන්නකෝ. සල්ලි මොනවා කරගන්න බැරිද?” 

මම ඒ ප්‍රතිපත්තියට කැමති වුනා.

තැන පිරිසිදුයි. ඒ වගේම ආරක්ෂාවත් කියන්න තරම් නරකක් නෑ. අපි වැඩිපුර ගානක් ගෙවලා නාන්න උණු වතුර තියෙන කාමරයක් ‍තෝරා ගත්තා. ඇත්තෙන්ම ගානත් සාධාරණයි. විශේෂයෙන්ම මීට සතියකට විතර පස්සෙ අපි යාපනේ ගෙස්ට් හවුස් එකකට ගෙවපු ගානත් එක්ක බැලුවාම මේක පුදුම සාධාරණයි.

අපි කැමරා දුරකථන සහ මුදල් පසුම්බිය පමණක් සාක්කුවල ඔබාගෙන රාත්‍රී නගර සංචාරය කලා. ඔහේ ඉබාගාතේ ඇවිද මහන්සි වූ පසු, හොඳ වගේ පෙනුනු ආපන ශාලාවකින් takeaway කෑම පාර්සල් තුනක් මිළට ගෙන ආපහු කාමරයට ඇවිත් කෑවා. කෑමත් රසට තිබුනා.

දුම්රිය භෝජනාගාර රථයේ ප්‍රශ්ණය නිසා එන ගමනේදී වින්ද දුශ්කරතාවය මතක් තිබූ බැවින් පහුවදා උදේම ඒ ඒ ආපන ශාලාවේම බේකරියට ගිය මම මාලුපාන්, කිඹුල් බනිස් සහ තව කෑම ගොන්නක් මිළදීගත්තා.

නමුත් ආපසු එන ගමනේදී කතා බහ කර මා හා මිත්‍රත්වයක් ගොඩ නගාගත් ඔය ඉහල පින්තූරයේ ඉන්නා ගාඩ් වරයා නිසා අපේ කෑම ප්‍රශ්ණය විසඳුනා. අපි බදුල්ලට එද්දී බඩගින්නේ  සිටි කතාව ඇසූ ඔහු, අප කැමතිනම් ඉදිරි දුම්රියපළකදී ඔහුට කෑම පාර්සලය ලබාදෙන තැනින්ම අපටත් කෑම ඇණවුම් කර දිය හැකි බව පැවසුවා.  කිව්වා වගේම දුරකථන ඇමතුමක් දී අමතර කෑම පාර්සල් තුනක් අපටත් මිළදී ගත් නිසාම උණු උණුවේ රස කෑම වේලක් කන්නට අපට හැකි වුනා. අපේ මාලුපාන් වලින් කොටසක් අපිට යන ගමනේදි වුනාක් මෙන්ම බඩගින්නේ සිටීමට සිදුවූ පවුලකට දුන්නා.

ඇත්තෙන්ම මේ සුන්දර ගමනේදී මෙවැනි සුන්දර මිනිසුන් කීපදෙනෙක්ම අපිට මුණ ගැසුනා. මේ ගමන මෙතරම් රසවත් වීමට භූමි දර්ශණයට අමතරව මෙවන්  සිදුවීමුත් බලපාන්න ඇති.

0082DSCN5476කාලසටහනේ විදියටම හරියටම වෙලාවට 
බදුල්ලෙන් කොළඹ බලා පිටත් වුනා.

0083DSCN5466

 

ඉතින් නැවතත්, එපා නොවන ඒ මඟ ඔස්සේම තවත් මනස්කාන්ත දර්ශන නරඹමින් අපි ආපසු එන්න පිටත්වුනා.

 ඉතින් 
ගමන මිස ගමනාන්තය කිසිසේත්ම වැදගත් නොවූ තවත් ගමනක්  
එසේ නිමා වුනා

මෙතෙක් දුර අප සමඟ ගමන්කල ඔබට ස්තුතියි.
**************


පසු වදන: මේ අලුත්ම දුම්රිය වලත් තවම පාවිච්චි වෙන විසි එක්වන සියවසට වඩා දහ අටවන සියවසට ගැලපෙන දුම්රිය මඟට වැසිකිලි අපද්‍රව්‍ය නිදහස් කරන ක්‍රමය නම් වහාම ක්‍රියාත්මක වෙන පරිදි වෙනස් කල යුතුයි. ඇත්තෙන්ම මේ සෞඛ්‍යයට සහ පරිසරයට හානිකර, අප්‍රසන්න, යල්පැනගිය ක්‍රමය වෙනුවට වෙන විකල්පයක් යෙදීමට දුම්රිය බලධාරීන් නොසිතන්නේ ඇයි?

ඒ වගේම දුම්රිය මැදිරිත් upholstery cleaner, glass cleaner වැනි දේ යොදා නිතිපතා පිරිසිදුකර තැබීමත් ඔය හැටිම දුෂ්කර දෙයක්ද? විශේෂයෙන්ම දර්ශනීය මාර්ගයක් වන උඩරට මාර්ගයේ විසිතුරු නැරඹීමට, දූවිලි වැකුණු දුම්රිය කවුලු බාදාවක් වියයුතුද?

අපි සාමාන්‍යයෙන් ජාතියක් හැටියට මෙවන් සුළු දේවල් කෙරෙහි නම් එතරම් අවධානයක් යොමු නොකරන බවට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා කවුලුත් ශාක්ෂි දරනවා.


 

ටැග: , , , , , , ,

151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

151. ෂිට් හැපන්ස්! SHIT HAPPENS! E01හි මාරක ගමන-2 වන කොටස

බ පසුගිය කොටස E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!  කියෙව්වේ නැති නම් කරුණාකර මෙතනින් යන්න.

මා වෙතට දිව එන අධිවේගී මාර්ගයේ ලුමිනස් රේඛා රෑ පුරා මට සිහිනෙනුත් පෙනුනා. කෙසේ හෝ උදෑසනම අවදිවී මම මුලින්ම කලේ චූන්ජිට දුරකථන ඇමතුමක් දීමයි.

“චූන්ජි, උඹේ වෑන් එකේ බැටරිය දීපංකෝ මට පැය කීපෙකට,”

“ඇවිත් ගලවගෙන පලයං, මචං.”

“අනේ මචං හොඳ එකා වගේ උඹ ගලවලා ගෙනත් දීපංකෝ.”

චූන්ජියා බැටරිය ගෙනැවිත් දෙන තෙක් මම මෝටර් විදුලි කාර්මික ශිල්පී ලක්ෂ්මන් අමතා වෙලාවක් වෙන් කර ගත්තා පැයකින් මුණගැසීමට.

මම මගේ බැටරිය ගලවා,  වාහනයේ ඇතුලෙන්ම තබා, චූන්ජියා ගෙනා බැටරිය සවි කර යතුර කරකවා බැලුවා. එන්ජිම ක්ෂණිකව පණ ගැන්වුනා.  අර මර්ෆිගෙ නීතියට අනුව (Murphy’s Law) ඒ ගමන රතු එළිය දිගටම දැල්වීමක් නෑ.. සියල්ල සාමාන්‍යයි. බාස් ඉදිරිපිටදී හුඟක් වෙලාවට ලෙඩ අතුරුදහන් වෙන එක වාහනවලට පමණක් නෙවෙයි, හුඟක් බඩු වලට පොදු දෙයක්.  ඇයි අපටත් වෛද්‍යවරයා මුණ ගැසුනු විට කැක්කුම්, වේදනා නැතුව යනවනේ!

ලක්ෂ්මන් වැඩ කලේ වෙනම ගරාජ් එකක නෙවෙයි, තමන්ගේම ගෙදර ඉඳන්. මම ලක්ෂ්මන්ගේ ගේට්‍ටුවෙන් ඇතුල්වන විටම ලක්ෂ්මන් මෝටර් සයිකලය එලියට දාන්න බලාගෙන ඉන්නවා.

“හෙන්රි අයියේ, මට පැය කාලක් දෙන්ඩ පොඩි එකාව පන්තියට දාලා එන්න. ඔයා ඔහොමම ඉන්ඩකෝ.”

ලක්ෂ්මන් ආපසු පැමිණෙන තෙක්,  මම ලක්ෂ්මන්ගෙ බිරිඳගේ මල් පඳුරු අතරේ සවිකර තිබූ අලංකාර සිමෙන්ති බංකුවේ හිඳගෙන, පාවහන් ගලවා, තවමත් පින්නෙන් වැසුණු උඳුපියලිය තණපලසේ  දෙපා ඔබාගෙන කල්පනා ලෝකේ කිමිදුනා.

ගෙදරක ඇතිකරන සුරතල් සතෙක් එක්ක, විශේෂයෙන්ම බල්ලක් වගේ සතෙක් එක්ක හාම්පුතා ඇති කරගන්න බැඳීම වගේම බැඳීමක් අජීවී වස්තුවක් වන වාහනයක් එක්කත් ඇති වෙන බව වාහන පාවිච්චි කරන අය දන්නවා ඇති. මේක මහ විකාර අදහසක් වගේ පෙනුනත්, ඒක ඇත්තක්.


අලුත් එකක් නොවුනත්, ලංකාවේ හතර දිග්බාගෙම අපිත් එක්ක කරක් ගසා ඇති මේ වාහනයට මේ තාක් ඇතිවූ ආපදාවන් සියල්ලටම වගේ හේතු වුනේ මිනිස් දෝෂයක්, නැතිනම් human error.

යාල ගිහින් අර අනතුර සිද්ද වුනේ නිසියාකාර නඩත්තු නොකල සපත්තු පාලමක දුර්වල කොන්ක්‍රීට් තට්‍ටුවක්, වාහනය ඒ මතින් ගමන් කරද්දී, කඩා වැටීමෙන්. නමුත් ඒ අනතුරට පසුවත් මේ වාහනය අපි ‍රැගෙන ගෙදරටම ලඟාවුනා.

තව දවසක්, අලුතෙන්ම සවිකල KYB ෂොකැබ්සෝබර් හතරෙන් එකක්,  නුවර යන අතර මග නිට්ටඹුව කිට්‍ටුවදී ගැලවුනේ, බාස්ගේ ගෝලයාට ඉදිරිපස දකුණු ෂොකැබ්සෝබරයේ පහල නට් එක තද කරන්න අමතක වූ නිසායි.  මේ අතපසුවීමෙන්, ඇක්සලයේ වැදුණු ෂොකැබ්සෝබරයේ හයිඩ්‍රොලික් දියරය අඩංගු සිලින්ඩරාකාර කොටස තරමක් තැලී ගොස් තිබුනා.

තවත් දිනක, වාහනය ධාවනය කරද්දි  හරියටම නුවර පාරට මීටර් සීයකට පමණ කලින් බැලුම්මහර හන්දියේදී ප්‍රොපෙලර් ෂාෆ්ට් එක ඩිෆරන්ෂලයට සවිවෙන තැනින් ගැලවී ගියේ  අර ගෝලයාටම ප්‍රොපෙලර් ෂාෆ්ට් එක, ඩිෆරන්ෂල් එකට සවිවෙන ඇණ ටික තද කරන්න  අමතක වෙලා තිබුන නිසා. කලින් ෂොකැබ්සෝබරයේ සිද්ධියට වඩා බරපතල එකක් වූ මේ සිද්ධිය නිසා ඩිෆරෙන්ෂලයෙන් හම් එකක් එන්න ගත්තා. මේ නිසා, මට ජපන් රීකන්ඩිෂන් වාහන කොටස් වෙළඳ සැලකින් සම්පූර්ණ පසුපස ඇක්සල එකලසක්ම මිළදීගන්න සිද්ධ වුනා.

තවත් වරක් රේඩියේටර් සිසිලකාරක දියරය සම්පූර්ණයෙන්ම  ඉවත් කර, අලුතින්ම පුරවා ගෙදර ගෙනත් නැවතූ වාහනයෙන්, පසුදා උදෑසන බලන විට කොළ පැහැති  සිසිලකාරකය බිම පුරා ගලාගොස් තිබුණේ සේවාමධ්‍යස්ථානයේ ගෝලයා රේඩියේටරයේ අඩියේ ඇති ඩ්‍රේන් ප්ලග් එක හරියට තද නොකර තිබූ බැවින්.

මම ඔවැනි අමිහිරි අත්දැකීම්වලින් ඉගෙන ගත්ත පාඩම නම්, බාස්ලා බුරුල් කරන නට්, බෝල්ට් නැවත තද කරනවාදැයි අපම විමසිල්ලෙන් සිටිය යුතු බවයි.

බාස්ලා පමණක් නොවේ, ඉන්ධන පිරවුම්හල්වල ඇතැම් පොම්ප ක්‍රියාකරවන්නෝද මීට දෙවෙනි නෑ..  මේ නිවාඩු කාලෙදිම, අප නිවස කිට්‍ටුව ඉන්ධන පිරවුම්  හලකින් ටැංකිය පිරෙන්නට ඩීසල් පුරවාගෙන මහනුවර බලා ගියේ මංගල උත්සවයකට සහභාගී වෙන්නයි. උත්සව ශාලාව ඇත්තේ කොහේදැයි විමසීමට මම වෑන් රිය පේරාදෙණියේ නැවතූ විටයි මා දු‍ටුවේ ඩීසල් මූඩිය හරියට තද නොකර, පියන වසා තිබූ නිසා ගම්පහ සිට නුවරටම ඩීසල් හැලෙමින් පැමිණ ඇති බව. එදායින් පසුව, ඇතැම් පොම්ප ක්‍රියාකරවන්නෝ  මගේ මේ ක්‍රියාවට පොඩ්ඩක් අමනාප වෙන බව මම දැක්කත්, ඩීසල් පුරවා පියන වැසීමට පෙර, මූඩිය තද කර ඇද්දැයි මමම පරීක්ෂා කර බලනවා.

මේ තමන්ම බුරුල් කරපු ඇණ මුරිච්චි ආපහු තිබුණු විදියට තද කරන්න අමතක වෙන එක බාස්ලගේ ජානවලම තියෙන විකෘතියක්ද කියලත් මට හිතෙනවා

ඔය කියපු හැම දේටම හේතුවෙලා තිබ්බේ අර මම කිව්ව මිනිස් දෝෂයක් (human error).

ඒ හැර වරක් මී දෝෂයක් rodent error නිසාත් එක් සිද්ධියක් වුනා. 😀

එක දවසක් මීයෙක් ඉන්ධන පොම්පයට යන විදුලි වයරය කා තිබුණ නිසා  එන්ජිම ස්ටාට් වුනේ නෑ. ඒ බව නොදැන මම ඩීසල් ‍ෆිල්ටරයත් මාරු කර බැලුවා.  ඩීසල් ‍ෆිල්ටරය මාරු කිරීමට මම මුලු ‍ෆිල්ටර් එකලසම එන්ජිමෙන් ගලවාගෙන සේවා මධ්‍යස්ථානයට අරන් ගියා. ඔවුන් ‍ෆිල්ටරය ගලවා බලා ‍ෆිල්ටරය හිරවී ඇති බව කිව්වා. ඇත්තෙන්ම ඒ ‍ෆිල්ටරයේ ජීවිත කාලයෙන්  කාලක්වත් ගෙවා නොතිබුනත් මම අලුත් ‍ෆිල්ටරයක් සවිකරගෙන ගෙදර ආවා. නමුත් වරද තිබුනේ මීයා කා දැමූ වයරයේ නිසා එන්ජිම ස්ටාට් වුනේ නෑ. පසුව මගේ කාර්මිකයා පැමිණ පරීක්ෂා කර බලා මීයා කෑ වයරය සොයාගත්තා. වයරය එක ඇමුණූ වහාම එන්ජිම පණගැන්වුනා.

පසුව සේවාස්ථානයේ හිමිකරු මට ඇඟලුම් වෙලඳ සැලකදී හමුවුනා.

“ඔයා අර ‍ෆිල්ටර් එක හිරවෙලා කියලා අලුතෙන් දාන්න කිව්වට, ඒකෙන් එන්ජිම ස්ටාට් වුනේ නෑ. ඉන්ජෙක්ටර් පම්ප් එකට යන වයර් එක මීයෙක් කාලා තිබ්බා,” මම කිව්වා.

“ඇත්තද? හැබැයි මහත්තයෝ ‍ෆිල්ටරෙත් හොඳ නෑ. ඒකෙත් බලපෑමක් තියෙන්න ඇති.”

“වෙන්න ඇති. ඌමද දන්නේ නෑනෙ ‍ෆිල්ටරෙත් කෑවේ.”

මගේ සිතුවිළි වැලට භාදා කරමින් ලක්ෂ්මන් ගේට්‍ටු පලු දෙක අතරින් මෝටර් සයිකලය පදවාගෙන වත්තට ඇතුල් වුනා. නිරුවත් දෙපාවලින් තණපළසේ සුවය විඳිමින් සිටි මම වහා නැගීසිට වාහනයට ලංවුනා.

මම ලංෂ්මන්ට රෝග ලක්ෂණ විස්තර කලා. “පොඩ්ඩක් එලවලා  බලමු,” කී ලක්ෂ්මන් රියැදුරු අසුනට නැග්ගා. එන්ජිම පණගැන්වුනු වහාම රතු බල්බය නිවීගියා. මර්ෆි හරියටම හරි!

කඳු පල්ලම් සහිත ප‍ටු පාරේ වෑන් රිය ධාවනය වුනා. පෙරදා මෙන් නොව, මගේ සිතට ඇනසුමක් ගෙන දෙමින්.  රතු බල්බය දැල්වෙන්න ගත්තා. යටි තොල හපාගත් ලක්ෂ්මන්,

“අයියේ අපිට ඕල්ටනේටර් එක ගලවන්න වෙනවා.” යි කිව්වා.

ආපසු හරවාගෙන පැමිණි ලක්ෂ්මන් ගේ මිදුලේ වාහනය නතර කලා.

එන්ජිමෙන් ඕල්ටනේටරය ගැලවීමට මේ මාදිලිවල රියැදුරු අසුන පවා ගලවා අයින් කරන්න වෙනවා.

“දැන් ඕල්ටනේටර් එක ගිහින් නම් මොකද වෙන්නේ?”

“අපි බලමු අයියේ. වයින්ඩිං එකක් ගිහින්ද , සර්විස් කරලා ගොඩ දාගන්න පුලුවන්ද කියලා.”

එන්ජිමෙන් ඕල්ටනේටරය ගලවමින් සිටි ලක්ෂ්මන් එකවරම කියූ දෙයින් මම විමතියට පත්වුනා. මම ලක්ෂ්මන්ව අගය කරන ප්‍රධාන හේතුවක් මේකයි

“අයියේ. මාර වැඩේනේ.  මේ ඕල්ටනේටරේ ඇණ දෙකක් බුරුල්නේ.”

“මොනවා බං? ඒ කොහොමද?”

ඒක නේන්නං. පොඩ්ඩක් ඉන්නකෝ.

ලක්ෂ්මන් හැම බාස් කෙනෙක් නොකරන වැඩක් කලා. ඒ කියන්නේ සෑහෙන ගානක් උපයාගන්න තිබුණු අවස්ථාව අත්හරිමින් ලක්ෂ්මන් මෙහෙම කිව්වා,

“පොඩ්ඩක් ඉන්නකෝ අයියේ. අපි ඕල්ටනේටරේ ගලවන්නේ නැතිව, මේ ඇණ දෙක තද කරලා බලමු.”

ලක්ෂ්මන් ඇණ දෙක තද කලා.  යතුර කරකවා එන්ජිම පණ ගැන්නුවා. රතු එලිය නිවී ගියා.

ඉන් පසුව අපි පැයක් පමණ ධාවනයේ යෙදී බැලුවත් රතු එලිය මතු වුනේ නෑ. ලයිට්, හෝන්, වයිපර් සියල්ල නිසි ලෙස ක්‍රියාත්මක වුනා. ලක්ෂ්මන් නිකරුනේ ඕල්ටනේටරය ගලවා බොරුවක් කර මගෙන් ගානක් අයකර ගැනීමේ අවස්ථාව මග හැරගෙන තිබුනා.

අප ඉන්පසුව බැස තිබූ මගේම බැටරිය සම්බන්ධ කර වාහනය පල්ලමට දමා පණ ගැන්වීමට උත්සාහ කලා. ලක්ෂ්මන් රියැදුරු අසුනේ සිටිද්දී මම තනිවම ගේට්‍ටුව අසල පල්ලම දෙසට වාහනය තල්ලු කලා.  මෙන්න මේ මොහොතේ දුරකථනය නාද වුනා. වෙනියා!

“හිටපං මචං මම මේ ඉලෙක්ට්‍රීෂන් ගාවා ඉන්නේ. මේ වෑන් එක තල්ලු කරන ගමන්.”

මම දුරකථනය සාක්කුවේ ඔබාගෙන වාහනය තල්ලු කලා. පල්ලමේදී වාහනය පණ ගැන්වූ නිසා දුවගොස් වාහනයට නැගගත් මම වෙනියාට වාහනයේ තත්වය ගැන, මම ඒ වනවිට වෙමින් තිබූ දේ කෙටියෙන් පැහැදිළි කලා.

වාහනය දුවද්දී රතු එලිය දිගටම නිවී පැවතුනේ මගේ සිත අමානන්දනයට පත් කරමින්.  සියල්ල යහපත්ව නිම වෙමින් තිබුනා.  ලක්ෂ්මන්ගේ මුදල ගෙවා, ඔහුට ස්තුති කර ආපසු එන ගමන්, මම බැටරිය ආරෝපණය වෙනතෙක්ම අරමුණක් නොමැතිව ධාවනය කලා.  පල්ලම් කිහිපයක නවතා එන්ජිම නැවත පණ ගැන්වෙනවාදැයි පරීක්ෂා කර බැලීමෙන් අනතුරුව, චූන්ජියාගේ බැටරියත් ආපහු දීගෙනම  මම ගෙදර ගියා.

නමුත් ඕල්ටනේටරයේ බුරුල් වූ ඇණ දෙක මගේ සිතට වද දෙන ප්‍රශ්ණයක් වුනා. බුරුල් වූ ඇණ දෙකක්ද, නැතිනම් සුපුරුදු ලෙස තද කිරීමට අමතක වූ ඇණ දෙකක්ද?

අමතර කොටස් සඳහා සාම්පල් ලබා ගැනීමට, ගලවා ඉවත් කරන සමහර කොටසුත්, අලුත් ඒවායේ දවටනත් දමා තිබෙන පෙට්ටියට එබී බැලූ මට පිළිතුර දැකගන්නට ලැබුනා. උඩින්ම තිබුනේ මිට්සුබොෂි සහ බැන්ඩෝ  වර්ගවල ෆෑන්, පවර් ස්ටියරිං සහ AC බෙල්ට් තුනක්.   මේ බෙල්ට් තුන අලුතින් දැම්මේ පසුගිය දෙසැම්බරයේදී.. ඕල්ටනේටරය බුරුල් කරන්න ඇත්තේ එදා. ඊට පස්සෙත් අපි සෑහෙන ගමන් ගියා. ඒ වගේම මේ ගමන යන්න පෙරත් අපි නුවර ගියා. කොළඹ දිනපතා වගේ ගියා. නමුත් රෝගය උත්සන්න වුනේ දැනුයි.

එහෙනම් මේ සිද්ධියත් කාර්මිකයාගේ නොසැලකිල්ල නිසා සිදුවූවක්. තව විදියකට කිව්වොත් මිනිස් දෝෂයක්. Human Error!

පසු වදන


ඇයි මේ වගේ අවදානමක් ගත්තේ කියන එක හුඟ දෙනෙක් අහලා තිබුනා.

අපේ ජීවිතයෙන් වැඩි හරිය අපි කරන්නේ ලොකු, කුඩා අවදානම් ගැනීම තමයි.  දිනපතාම පාරේ දකුණු පැත්තේ අධිවේගයෙන් ධාවනය කරන බස් රියැදුරෝ, මෝටර් සයිකල් පදවන්නෝ මොන තරම් අනවශ්‍ය අවදානමක් ගන්නවද? ඇත්තෙන්ම ඔය බස් එකක ගමන් කරන අපි ගන්නේ අවදානමක්.

අපිත් වැඩිපුර ගමන් යන්නේ මහ රෑ. වාහන අඩු නිසා පහසුවක් තිබුනත්, නින්ද යාමේ අවදානම නෑ කියන්න බෑ.  මමත් මහ රෑ රිය පදවද්දී නිදිමත සමඟ සටන් කරනවා. වතාවක් දෙකක් නින්ද ගිහිනුත් තියෙනවා.

මම අවදියෙන් ගියත්, ඉදිරියට එන වාහනයේ රියැදුරාට නින්ද ගිහින් වෙන්න පුලුවන්. එහෙම නින්ද ගිහින් මගේ මුහුණට ආ රියැදුරන් මම මගේ නලාව නාද කර ඇහැරවා තියෙන්නේ එක් වතාවක් නෙවෙයි. ඇත්තෙන්ම රාත්‍රී ගුවන් ගමනක යෙදෙන මඟියෙක් ගන්නේ අවදාමක්. හුඟක් ගුවන් කියමුවෝ ප්‍රමාණවත් නින්දක් නොලබන බව ප්‍රසිද්ධ කාරණාවක්.


බද්දේගම අපි නොදන්න පළාතක්.  මළ ගෙදරක් වෙලා තියෙද්දි රෑ මැදියම විදුලි කාර්මිකයෙක් හොයන්න ඇල්කෙමියට කියන්න මට හිතුනේ නෑ. අනික එහෙම කෙනෙක් හොයාගත්තත් බාස්ලගේ හැටි අපිට කියන්න බෑ. හැම එකාම ඔය ලක්ෂ්මන්ගේ ජාතියේ නෙවෙයි. මේක ආදායම් මාර්ගයක් කරගෙන ඕල්ටනේටරේ විනාස කරන්නත් ඉඩ තිබුනා වෙනත් කෙනෙකුට. අනික ප්‍රශ්ණේ කොතනින් කෙළවර වෙයිද කියලා කියන්න බෑ.  නමුත් දමිත් ගුණවර්ධන සොයුරා එදා රෑ මළ ගෙදර ඇවිත් හිටියානම් කතාව මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුනා.

අනික ප්‍රශ්ණේ මේකයි කියලා මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ. පරීක්ෂා නොකර කියන්නත් බෑ. ඇත්තෙන්ම මම හිතුවේ මේක රෙක්ටිෆයර් එකේ ප්‍රශ්ණයක් කියලා.  අනික වෑන් එකක ඕල්ටනේටරය තියෙන තැන අනුව, කාර් එකක වගේ ලේසියෙන් ලඟාවෙලා බලන්නත් අමාරුයි. ඒ හැරත්, ඕල්ටනේටරයේ ඇණ බුරුල් වී තිබීම සාමාන්‍යයෙන් වෙන දෙයක් නොවන නිසා එහෙම කරන්න අවශ්‍යතාවයකුත් නෑ.

අනික වාහනේ ගිය අනිත් උන්ට දොස් කියන්න බෑ, මොකද මම මේ ගැන උන්ව දැනුවත් කරලා බය කලේ නැති නිසා.  මම සාමාන්‍යයෙන් මගේ ප්‍රශ්න අනිත් අයත් එක්ක බෙදාගන්නවා අඩුයි. තනියෙම නිහඬව ප්‍රශ්ණ විසඳාගැනීම මගේ එක ලක්ෂණයක්. මහ රෑ වාහනේක නින්ද යන එක සාමාන්‍ය දෙයක්.  ඒකේ වරදක් මම දකින්නේ නෑ. මේ වෙලාව මැදියම් රෑ. මට නම් දවල්ටත් හොඳටම නින්ද යන්නේ අනුන් පදවන වාහනවල.

මේ ඔක්කොටම වඩා අධිවේගී මාර්ගයේ ලයිට් නැති බව මම දැනගත්තේ ඒකේ ඇවිල්ලමයි. ඇත්තෙන්ම ගමන යනකොට වාහනේ ලයිට් තිබුන නිසා පාරේ ලයිට් නැති බව දැනුනේවත් නෑ.

අවසාන වශයෙන් පරමාදර්ශී චරිතයක් නොව, සාමාන්‍ය පුද්ගලයෙක් වන මගේ මේ කතාව හපන්කමක්, මෝඩකමක් හෝ පුරසාරමක් යන කැමති ප්‍රවර්ගයකට දාගන්න ඔබට නිදහස තියෙනවා. මට නම් මේ හුදෙක් තවත් අමතක නොවන අත්දැකීමක් එය සිදුවූ ආකාරයටම අකුරු කිරීමට කල දුබල උත්සාහයක් පමණයි. මෙවන් අවස්ථාවක් යෙදුනොත් මා කල දෙය කරන්න කියන එක නොවෙයි මෙයින් ගත යුත්තේ. වාහනයක මෙවන් රෝග ලක්ෂණ පහල වුවහොත්, එන්ජිමේ කොතනද පරීක්ෂා යුත්තේ කියන එකයි. මෙවැනි බ්ලොග් ලිපියක් මටත් ඉතාම ප්‍රයෝජනවත් වෙන්න තිබුනා එදා රාත්‍රියේ.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers. 

 Originally published @ HeyDude in English Language.

 

ටැග: , , , , ,

150. E01හි මාරක ගමන. Nightmare on E01-the Southern Expressway!

150. E01හි මාරක ගමන.  Nightmare on E01-the Southern Expressway!

ඇලුමිනියම් ගරාජ් දොරෙන් පරාවර්තනය වන  කහ පැහැති දුබල කණමැදිරි එලි යුගල දෙස මම බලාගෙන උන්නේ  විශ්මයෙන්. වහාම දොර ඇරගෙන එළියට බැසගත් මම වාහනය ඉදිරියට ගිහින්  බැලුවේ පළවෙනි වතාවට. මේක නම් අදහන්න බැරි දෙයක්.  හෙඩ් ලයිට් දෙක කළාමැදිරි දෙන්නෙක්ගේ එලිය වගේ තමයි!  එවිටම ගරාජයේ එලියේ විදුලි බුබුල දැල්වුනා. ආපහු ගිහින් රියැදුරු අසුනේ ඉඳගත් මම ගරාජ් දොර ලැසි ඉහලට එතෙන තෙක්  ඉවසීමෙන් බලා හිටියා.  ගරාජය තුලට වෑන් රථය පැදවූ මා යතුර කරකවා එන්ජිම නවත්වන්නට පෙර හොඳින් හිතා බැලුවා.

 

 “ඔන්න එහෙනම් එන්ජින් එක නවත්තනවා.” මම හඬ නගා නිවේදනය කලා.

 

“ඔව්, දෙයියනේ කියලා අපිව ගෙදෙට්ට ගෙනාවනේ පරිස්සමෙන්,” කී දීපා සැනසුම් සුසුමක් හෙලුවා.

“අද නම් මාරකයක් පැන්නා,” මට කියවුනේ ඉබේටම.

 

අපි තුන් දෙනා ඇල්කෙමියාගේ මවගේ අවමඟුලට යන්න අපි හිතාගෙන හිටියේ උදේම. නමුත් වෙනීත් අපි එක්ක යන්න කැමති වුනාම ඒ සැලසුම වෙනස් වුනා. අවුරුද්දේ අන්තිම නිසා නිවාඩු අවසන් කරගෙන සිටි වෙනීට වැඩ ඇරිලා එන්න ලැබෙන්නෙ රෑ බෝ වුනාම. ඒ අතරේ වෙනී විසින්ම බ්ලොග් ලියන රණාත්, ඕනයා සහ පවුලත් ගමනට එක් කරගැනීමට සැලසුම් සකස් කර තිබ්බ නිසා හංවැල්ල, පහත්ගම හරහා හයිලෙවල් පාර දිගේ කොට්ටාවට යාමට අදහස් කරගෙන සිටි මාර්ග සැලැස්මත් වෙනස් කරන්න සිද්ද වුනා.

 

මුලින්ම ඕනයා  සහ  පවුල පටවා ගැනීමට කඩුවෙල හරහා මුල්ලේරියාව පැත්තට ගිය අපි ඉන් පසුව පැළවත්ත හරහා ගමන් කර හයිලෙවල් පාරට ඇතුල් වීමට පෙරම වැස්ස පටන් අරන් තිබුනා. වෙනීත්, රණාට කොට්ටාවෙන් වෑන් එකට නැග්ගේ මහා වැස්සේ.

 

කොට්ටාවෙන් E01 දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුමේ ටෝල් බූත් එකට වාර්තාකරන විට වෙලාව හවස 7.49 යි. ඇද හැලෙන මහ වර්ෂාව නිසාත්, රාත්‍රිය නිසාත්, වාහනයේ අමුත්තන් සිටි නිසා වූ අමතර වගකීම නිසාත් මා රියැ පැදවූවේ වේග සීමාවට අඩුවෙන්. වැස්සත්, රාත්‍රියත්, වේගවත් රියධාවනයත් නරක සංයෝගයක්. ඒ වගේම අපි කෙතරම් ප්‍රවේශම් වුනත් අනිත් රියැදුරන්ගේ නොසැලකිලිමත් භාවය ගැන කලහැකි දෙයක් නැති තරම්.

  ?????????? 

 දීපාත් මමත් ඉදිරියේත්, පුතා සහ අනිකුත් අය වාහනයේ පසුපසත් අසුන් ගෙන සිටියා. මාර්ගයට සම්පූර්ණ අවධානය යොමාගෙන හිටි මම පසුපසින් නොනවත්වා ඇසුන ,  උස් හඬින් කෙරුණු උසුළු විසුළුවලට අවධානය යොමු කලේ අතරින් පතර. මුළු ගමනේම සියළුම විහිළු තහළුවල ගොදුර නොහොත් බයිට් එක වුනේ අසරණ වෙනියා බව මට පුතාත් පසුව කීවා.

 

අප කුරුඳුගහහැතැප්ම පිටවුමෙන් අධිවේගී මාර්ගයෙන් පිටවනවිට කි. මී. 67.6 පසු කිරීමට හරියටම විනාඩි පනස් හතක් ගතවී තිබුනා.

 

ඇල්කෙමියාගේ බ්ලොග් අඩවියෙන් බලාගෙන කඩිමුඩියේම කොල කෑල්ලක ලියාගත්  ඇල්කෙමියාගේ ගෙදරට යන මාර්ග විස්තරය රියැදුරු අසුන අසල කොන්සෝලයේ රඳවා තිබුනත්, වෙනියාත් එම අඩවියෙන්ම බලාගෙන A4 කොලයක සටහන් කරගෙන සිටි විස්තරයට එය සැසඳුන නිසා අපි ඒ කෙරෙහිත්, වෙනියාගේ දුරකථනයේ තිබූ SatNav වැඩසටහනත් පමණක් පාවිච්චි කලා.

E01 මාර්ගයෙන් පිටවූ වහාම, වමට තිබූ විශාල මාර්ගය නිවැරදි එක වුවත්, එහි විශාලත්වය නිසා එය නැවත අධිවේගී මාර්ගයටම යන පිවිසුමක් විය හැකියයි වරදවා තේරුම් ගත් අපි, මුල්ම වරද කරගෙන තිබුනා. කෙසේ හෝ නොනවත්වා වෙනියාටත් navigation වැඩ සටහනටත්,  පසුව  වෙනියාගේ A4 Navigation නමින්  Facebook හරහා චණ්ඩ මාරුතයක් සේ හමා ගිය වැඩසටහනටත් කෙරුනු විහිළු-තහලු, අපහාස මැද්දෙන් අපි විකල්ප මාවතක් ඔස්සේ ගමනාන්තය කරා ලඟාවෙමින් තිබුනා.

 

මුත්‍රාශ හිස් කරගෙන යාමට සුදුසු තැනක් සොයමින් සිටි අපට පසු කරමින් අඳුරු රබර් වත්ත කෙම් බිමක් වුනා. මාර්ගය අයිනේ පේලියට සිටගෙන කාර්යය නිමාකල අප ආපසු වාහනයට නැඟුනා.

 

එන්ජිම පණගැන්වීමට යතුර කරකැව්වත්, ස්ටාටර් මෝටරය කෙඳිරිළි හඬක් නගමින් නිහඬවුනේ මා පුදුමයට පත් කරමින්. අලුත්ම එකක්වූ මේ බැටරිය, අධිවේගී මාර්ගයේ කල ධාවනය නිසා හොඳින්ම ආරෝපණය වී තිබිය යුතුයි.  මේ වාහනය කිසිම දිනෙක, (මීයෙක් ඩීසල් පොම්පයට යන වයරය කා දමා තිබූ දිනයේ ඇර) එන්ජිම පණ නොගැන්වී සිටීමේ රෝගයයට ගොදුරු වී නැහැ.  මම හෙඩ් ලයිට් දල්වා බැලුවා. දුබල ආලෝකයක් නිකුත් කල ඒවා සැනෙකින් අඳුරු වී ගියා.

 

වාහනය තල්ලු කර පණගන්වා ගැනීම සභා සම්මත වීමත් සමගම, පිරිමි වාහනයෙන් බැස තල්ලු කරන්න පටන් ගත්තා. නමුත් එයත් හිතූ තරම් පහසු නොවුනේ තල්ලු කිරීමට සිදුව තිබුනේ මඳ බෑවුමක ඉහලට නිසයි. ඒ වගේම පාර පෙනෙන්නට තිබුණෙත් තරු එලිය පමණයි. දෙවන හෝ තුන්වන උත්සාහයේදී අවශ්‍ය වේගය ලැබූ එන්ජිම පණ ගැන්වුනා. වහාම වාහනයට නැග ගත් අප ගමන පිටත් වුනා. මා සන්ත්‍රාසයට පත් කරමින් වාහනය ධාවනය කරද්දීත් සාමාන්‍යයෙන් එන්ජිම පණගැන්වුනු වහාම නිවී යායුතු රතු බැටරි ලාංඡනය දැල්වී තිබුනා. ඒ කියන්නේ බැටරිය ආරෝපණය වෙන්නේ නෑ.

 

“මේ වාහනය මාස දහයහමාරක් නිකම්ම තිබිලත්, බැටරිය හයි කරලා යතුර කරකවපු ගමන්ම ස්ටාට් වෙන වාහනේ, මේක වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි.” මම කිව්වේ හිතේ අමාරුවෙන්.

 

ඇත්තෙන්ම ටික වෙලාවකින් ඩෑෂ්බෝඩ් චාජිං ලෑම්ප් එක නිවී ගියත් ය වරින් වර ධාවනය කරද්දී දැල්වෙන බව දු‍ටු මගේ හිත තවත් බර වුනා. එක්වතාවක් පාර නැවත වැරදී එක් අයෙක් පාර අසාගෙන ඒමට ගිය අතරේ මම එන්ජිම නැවැත්වුනේ පුරුද්දට. අධික බෑවුමක නවතා තිබූ වාහනය,  එවර මට පණගන්වන්නට සිදුවුනේ පසුපසට නිදහසේ යන්නට ඉඩහැර  රිවර්ස් ගියරය යෙදීමෙන්. මේ නම්, අඳුරු ‍රැයක,  නොදන්නා පාරක,  රිය පිරෙන්නට මඟීන් පටවාගෙන ඇති විටෙක, අධික බෑවුමක කිසිසේත් නොකලයුතු දෙයක් වුවත් මට වෙනත් විකල්පයක් තිබුනේ නෑ.

 

මළ ගෙදරට ලඟාවුන පසු තල්ලු කරන්නට ඉඩකඩ ඇති තැනක වාහනය නැවැත්වූ මම, අනික් අය වාහනයෙන් බහින අතරේ, බැටරි කවරය ඇ,ර පසුපස සබ්වූෆරයට බැටරියෙන් දී තිබූ සම්බන්ධය විසන්ධි කලේ, බැටරියට ඇති බර අඩු කරන්නට හිතාගෙන.

 

මුල් වතාවට ඇල් මුණ ගැසී කතාබහ කලත්, කට්ටියම වටවී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියත් මගේ හිතේ  තිබුනේ වාහනයේ රෝගය ගැනයි. දවල් කාලයකදී නම් එතරම්ම ගැටළුවක් නොවුනත් මේ වාහනයෙන් එකක් පිරිස පටවාගෙන ආපසු කිලෝමීටර් සියයක්ට වැඩිය මහ ‍රැයක වැස්සේ  බැටරිය බසිමින් පවතින වාහනයක් ධාවනය කරන අවදානම මගේ හිත බර කලා. අනිත් වුන් කියන දේට මම නිසි පිළිතුරු දුන්නත්, මම අහන් හිටියේ ඇත්තෙන්ම බාගෙට.

 

“අපි මොකද කරන්නේ දැන්?”

 

“මාත් මේ කල්පනා කරන්නේ  ඒකම තමයි.අපි එක්ස්ප්‍රස්වේ එකේ යන එක අවදානම්. මොකද මගදි නවත්තන්න බෑ. අනික නැවැත්තුවත්  වැස්සෙ කළුවරේ අනිත් ඩ්‍රයිවර්ස්ලට අපිව නොපෙනෙන්නෙ ඉඩ තියෙනවා හැපෙනකල්ම. හැසඩ් ලයිට්, සිග්නල් මොකුත් නෑ බැටරිය චාජ් නොවෙන කේස් එක නිසා”

 

“ඔයා හොඳ දෙයක් කරන්න.”

 

“ඒ එක්කම, ගාලු පාරේ ගියොත් සෑහෙන වෙලාවක් යනවා ගෙදර යන්න. අනික මේ කට්ටිය ගෙනිහින් දාන්න තවත් ඈත යන්න වෙනවා. වෙලාව ගතවෙන්න වෙන්න, වැඩේ තවත් උග්‍ර වෙනවා.”

 

“ඒකට මොකද කරන්නේ?”

 

“කරන්න ඕනේ හරිම දේ නම් එලිවෙනකල් ඉඳලා උදේම යන එක. නමුත් ඒක අපිට කරන්න බැරි වෙනීට වැඩට යන්න තියෙන නිසා. අනික අර ඕනයගේ පොඩි එකී. ඒ වැඩේ කරන්න බෑ. හරි නෑනේ.”

 

“ඉතින්?”

 

“ඉතින් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ ප්ලෑන් බී තමයි.  කරන්න ඕනේ නම් හැකි ඉක්මනින් ගෙදරට යන එක. ඒ කියන්නේ මොකුත් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්තනා කරලා එක්ස්ප්‍රස්වේ එකේ යන එක. එක පොයින්ට් එකක් එනවා ලයිට් නැතුවම යන්න පුලුවන්. ඒ නිසා හොඳම ඔප්ෂන් එක ඕක තමයි.  මොකද ගතවෙන කාලය අඩු නිසා.”

 

“රිස්ක් එක අඩු දෙයක් කරන්න.”

 

රෑ කෑමත් කාලා, ඇල්කෙමියාගේ ගහෙන් ඒප්‍රිකොට් ගෙඩිත් කඩාගෙන අපි එළියට බැස්සා. මම හිතුවා වගේම බින්දුවටම බැස තිබූ බැටරියේ ස්ටාර්ටර් මෝටරය කරකවන්නට ජවයක් ඉතිරිවී තිබුණේ නෑ. තල්ලුකර එන්ජිම පණගන්වාගෙන, කට්ටිය පටවාගත් වහාම අපි පිටත් වුනා, මෙවර නියමිත මාර්ගයේ. 

 

අධිවේගී මාර්ගයේම ආපසු යාමට හිත හදාගෙන සිටි නිසා මම කුරුඳුගහහැතැප්ම පිවිසුම දෙසට රිය ධාවනය කලා. නමුත් මම ගත් තීරණය හරිදැයි සිතේ දෙගිඩියාවක් මතුකරමින් මෙවර බැටරිය බහින බව හඟවන රතු එළිය දිගටම දැල්වී තිබුනා.

 

කුරුඳුගහහැතැප්ම පිවිසුමෙන් ටිකට් පත ලබාගන්නා විට වේලාව හරියටම රාත්‍රී 12.07යි. ‘මේකෙ නම් ලයිට් නැතුව හරි  යන්න පුලුවන්,’ විදුලි පහන් එලියෙන් ඒකාලෝක වූ අධිවේගී මාර්ගය දැක මම මටම කියාගත්තා . නමුත් ඒ සතුට තිබුනේ විනාඩි කීපයයි. අධිවේගී මාර්ගය ආලෝකවත් කර තියෙන්නේ පිවිසුම්, පිටවීම්, සේවා ප්‍රදේශ සහ පාලම් උඩ විතරක් බව තේරුම් ගන්න මට ගියේ ටික වෙලාවයි. 

 20140314012107

දැන් මොකද කරන්නේ. හරියටම එකපාරටම බිම්ගේකට ඇතුල් වුනා වගේ  හැමදේම කලුවර වෙනවත් එක්කම මම ඇක්සලරේටරයෙක් කකුල ගත්තෙ නිකම්ම.

 

ටිකකින් ඇස් අඳුරට හුරුවෙද්දී අපේ දියාරු, කණාමැදිරි එළිය ද්විත්වමාර්ගය බෙදන යකඩ වැටේත්, මංතීරු දෙක බෙදන කඩ ඉරෙත්, පාරේ සීමාව පෙන්නන ෆොග්ලයින් නම් රේඛාවේත් ලුමිනස් තීන්ත වලින් ඉතාම දුර්වලව පරාවර්තනය වෙන හැටි දැක ගන්න හැකිවුනා. අනිත් හැම දෙයක්ම ඝනඳුරේ ගිලී තිබුනා.

 

පාර මැද්දේ අලියෙක් හිටියත් හැපෙනකල් නොපෙනෙන බව අපි දෙන්නම දැනගත්තා. ඒ වගේම අපි වගේම ලයිට් නැති කවුරුහරි පාර මැද්දේ නැවතිලා හිටියොත්, නැතිනම් හෙමින් ගමක් කරමින් හිටියොත් හැපෙනකල්ම නොපෙනෙන බවත් සිහිවෙද්දි මගේ ඇඟ හිටිවැටිලා ගියා. 

 

මට කල හැකි එකම දෙය වුනේ, වාහනය මලානිකව යන්තමින් පෙනෙන ලුමිනස් “ෆොග්ලයින්” රේඛාවත්, ද්විත්ව මාර්ගය දෙකට බෙදන යකඩ වැටේ ලුමිනස් පරාවර්තක පෙලත් අතරින් රඳවාගෙන ධාවනය කිරීම පමණයි. ඇත්තෙන්ම එක මහා මාර්ගයක මෝටර් රථයක් ධාවනය කරනවාට වඩා, අහසේ පියාසර කිරීමක් ලෙසයි දැනුනේ. හරියටම කිව්වොත්, ඉතා අයහපත් කාළගුණ තත්වයක් යටතේ, කැලෑබද පෙදෙසක කුඩා ගුවන්තො‍ටුපොලක නිසිලෙස ආලෝකමත් නොකල  ධාවන තීරුවක්  එල්ලකරගෙන ගුවන්යානයක් ගොඩබෑමට තැත් කරන්නාක් වැනි අත්දැකීමක්.

 

අනතුර අවබෝධකරගත්ත දීපා ආසන පටිය ගලවා වීදුරුවට මුහුණ ඔබාගෙන යාන්තමින් පෙනෙන සුදු ඉරි දෙක අතරේ වාහනය රඳවාගන්න උදව් කලා.

 

“පොඩ්ඩක් වමට වැඩි වගේ. වැට පැත්තට වැඩි නැද්ද?”

 

අතරින් පතර අලුත් වන වර්ෂාව වින්ඩ්ස්ක්‍රීනය මත ඇදහැලෙද්දී වයිපරය ක්‍රියාත්මක කලත් එකම එක වතාවක් වීදුරුව හරහා අමාරුවෙන් ඇදීගිහින් නතර වුනා. වීදුරුව පැහැදිලි වූඋ වහාම මම වයිපර් ස්විචය ක්‍රියා විරහිත කලේ ලයිට් එලියත්, ඒ සමගම ඝනදුර අතරින් මග පෙන්වූ ලුමිනස් පරාවර්තනයත් නැත්තටම නැතිව යනබව දු‍ටු විටයි.  බොහෝ විට මම වයිපර වරක් ක්‍රියා කිරීමේදී වේගය තවත් අඩු කිරීමට වග බලාගත්තා.

 

සාමාන්‍යයෙන් එන්ජිම වේගයෙන් දුවද්දී දුර්වල බැටරියක වුවත් එළිය මඳක් වැඩිවියයුතු වුවත් දැන් සිදුවෙන්නේ එහි අනිත් පැත්ත බව  මට වැටහුනා. ඉදිරියෙන්  වැටේ අනිත් පැත්තෙන් පැමිණින වාහනවල එළිය නිසා යන්තමින් පෙනෙන ලුමිනස් ඉරි අතර ධාවනය කිරීමට හුරුවී සිටි ඇස් වල පෙනීමට භාදා වුනා. උදව්වකට වඩා භාදාවක් වූ, ඉඳහිට අප පි‍ටුපසින් පැමිණ අප පසුකර දිවයන වාහන පසුපස එම වේගයෙන් හඹා යාමට ඇතිවූ පෙළඹවීම මම අමාරුවෙන් යටපත් කරගත්තේ එහි භයානක කම නිසා.

 

පාලමක් මතදී, පිවිසුම් සහ සේවා ප්‍රදේශවල  ඒකාලෝකවී තිබුණු මාර්ග කොටස්වලට ලඟාවෙද්දී වේගය වැඩි කිරීමටත්, අවසන් පහන් කණු කීපයට පෙර වේගය අඩු කිරීමට මම මඳ වෙලාවකින් හුරුවුනා. නැතිනම් එක්වරම අඳුරු ප්‍රදේශයට ඇස හුරුවන්නට යන කාලය තුලදී වාහනය වැටේ හැපීමට  පුළුවන්. 

 

හෙඩ්ලයිට් , ටේල් ලයිට්, බ්‍රේක් ලයිට්, වයිපර් , සිග්නල් නැතිව  අධිවේගී මාර්ගයක වැස්සේ, රාත්‍රියේ යන මේ ගමන කෙතරම් මාරාන්තිකද යන බව පසුපස සිටි මඟීන්ට අවබෝධයක් තිබුණු බවක් පෙනෙන්නට තිබුනේ නෑ.  ඕනයාත් පවුලත් පසුපසම ආසනවල හොඳටම නිදාගෙන සිටි අතර, වෙනියාත් අපේ පුතාත් ස්මාට්ෆෝන් සසඳමින් ලොකු කතාවක යෙදී සිටියා. අඩ නින්දේ සිටි රනා ඉඳ හිට ස්මාට්ෆෝන් කතාවට සහභාගී වෙනවා ඇහුණා. දීපා ඉදිරියට එබී වාහනය සුදු ඉරි දෙක අතර රඳවාගෙන ධාවනය කෙරෙනවාදැයි බලමින් විටින් විට මට අනතුරු හඟවමින් ගියා. මම උකුසු ඇස් දල්වාගෙන යන්තමින් අඳුර අතරින් පෙනෙන ලුමිනස් රේඛා අතර රිය ධාවනය කිරීමේ අරගලයේ යෙදුනා

 20140314012416

පසුවෙන හැම කිලෝමීටරයක්ම වෙන වෙනම ලැබූ සුවිශේෂී  ජයග්‍රහණයක් ලෙස මට දැණුනා. තව කිලෝමීටර් පනහයි…    තිහයි…    විස්සයි…

 

අන්තිමේදී කොට්ටාව ට තව කිලෝමීටර් එකක් බව දකිද්දී  මට දැණුනේ දිණුම් කණුව පසුකරන්න යන ඔලිම්පික් ධාවකයෙකුට දැනෙන සතුටට වඩා වැඩි සතුටක්.  කොට්ටාවේදී ටිකට්පත දී රුපියල් තුන්සීය ගෙවද්දී මේ කිලෝමීටර් 67.6 පසුකිරීමට පැයකුත් විනාඩි 13 ගතවී ඇතිබව ටිකට් පතෙන් මා දු‍ටුවා. අනතුරක් නොවී ඒකෙන් එලියට ආපු එක ඇති නේ දීපා කිව්වා. වෙලාව පාන්දර 01.20 නිසාදෝ එහි සිටි කිසිවෙක් කණාමැදිරි ලයිට් එළියගැන කිසිවක් කීවේ නෑ.

 

කෙසේ හෝ, බියකරු සිහිනයේ නරකම කොටස අප පසුකොට අවසන් කර තිබුනා.

 

දැක් කලයුතු හොඳම දේ කෙටිම මාර්ගයවන හයිලෙවල් පාරේ දකුණට හරවා හංවැල්ල පැත්තට ධාවනය කර ගෙදර යාම වුනත්, මේ කට්ටිය මගින් බස්සා ත්‍රීවීල් වල යන්නට කියන්න හිතහදාගන්න බැරිවුන නිසා මම නැවතත්  කොළඹ පැත්තට හැරෙව්වා.

 

මුලින්ම බැස ගියේ වෙනී.

 

උඹලෑ පාරේ ලයිට් තියෙනවද ඕනේ? මම ඇහුවා. ඔව් ඔව් ඕනයා කිව්වා. ඕනයාගේ ගෙදරට හැරෙන පාර පෙන්නන්න ඕනයා මොහොතක් පමාවූ නිසා හන්දිය පසු වුනා. ආපසු හැරවීමට හෝ පසුපසට ධාවනය කිරීමටනොහැකිවුනේ ඒ මොහොතේ පාරේ ගමන් කරමින් සිටි පොලිස් නිළධාරීන් දෙදෙනා නිසා. ඔවුන් ලයිට් ගැන විමසුවොත්, ඒ වගේම සිග්නල් පාවිච්ච්චි නොකලේ මන්දැයි ප්‍රශ්ණ කලහොත්, දීමට පිළිතුරක් නැති නිසා, මම ඉදිරියටම ධාවනය කර ඕනයාම පෙන්නූ වෙනත් මාර්ගයකින් හැරුනා. පසුව ඕනයා සමගම රණාත් වාහනෙන් බැස්සා.  දැන් වාහනයේ එන්ජිම මොනම හේතුවකටවත් නතරවෙන්න නොදී ගෙදරටම යන්න වෙනවා. ඇයි තල්ලු කරන්නත් කෙනෙක් නෑනේ.

 

හරි. ඒ වගකීම ඉවරනේ දැන් අපි දෙයියනේ කියලා ගෙදරට යාගන්න බලමු.

 

අඳුරු තැන්වල ඉතා සෙමින් ධාවනය කරමින් අපි කඩුවෙල හරහා ගෙදරට ලඟා වුනා. ඒ වනවිට වැස්ස නැවතී තිබීමත් ලොකු පහසුවක් වුනා. පොලිසිය ඉදිරිපිටත් කිසිව්ක් නොහිටි බව දු‍ටු මට අවසන් කඩුල්ලත් පැන්න බව දැනුනා.

 

වාහනය පාරෙන් ගෙදරට හරවනකොටම මට මතක් වුනේ පාරේ වාහන නතර කරන අසල්වැසියෝ.

 

“අදනම් මුන් පාරේ පාක් කරලා තිබ්බොත් හැපෙනකල් පේන්නේ නෑ” මම කිව්වා.

 

හොඳ වෙලාවට පාර නිදහස්ව තිබුනා.

 

වාහනයේ එන්ජිම නවතා පු‍ටුවක් මතට ඇද වැ‍ටුණු මම පුදුමාකාර සැහැල්ලුවක් අත් වින්දා.

 

“කෝ දීපා මුන් එකෙක්වත් නිකමටවත් කතාකරලා ඇහුවේවත් නෑනේ උඹලා කරදරයක් නැතුව ගෙදර ගියාද කියලා.”

 

“ඇත්තෙන්ම ඒ කාටවත් මේ  වැඩේ බරපතලකම තේරුනේ නෑ මම හිතන්නේ. ඇත්තෙන්ම මාරාන්තික ගමනක්නේ ආවේ.”

 

“ඔව්, මම ඒකට ප්‍රොපගැන්ඩා එකක් දුන්නෙත් නැත්තේ උන් කළබල කරන්නේ මොකටද කියලා.”

 

 

මතු සම්බන්ධයි.

 

මීලඟ කොටසින්: මෙහෙම වුනේ ඇයි?

 Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers. 

 Originally published @ HeyDude in English Language.

 

ටැග: , , , , ,

147. රෑ මැදියම ජල මෙහෙයුම: නිවාඩු කාලේ කතා.


උදේ පටන් අරන්, එක සීරුවට, ගොඩබිමින් මුහුදෙන් සහ අහසෙන්, ගුවන් තො‍ටුපලවල්, තො‍ටුපොලවල් හරහා කෙරුන ගම රට බලා එන ගමන අවසානයේ අපි තුන්දෙනාගෙම හොඳ පණ ගිහින් හිටියේ. බලාපොරොත්තු පොදි බැඳගෙන අවුරුද්දකට සැරයක් ගෙදර එන ගමනේ ආතල් එක කඩන්නම හැමදාම සෙට් වෙන, නැතිනම් කරන  ටිකටිං ප්‍රශ්ණ, බුකිං ප්‍රශ්ණ වලට මුහුණ දීලා ගෙදර ඇවිත් ඇඳට වැටෙන්නේ කොයිවෙලේද කියලා අපි බලාගෙන හිටියේ. ක‍ටුනායක ඉඳලා ගෙදර එන ගමනුත් ලීටර් පහේ වතුර බෝතලයක්  ගන්න මට මග දිගට කීප වතාවක්ම ගුවන් තො‍ටුපොළ ටැක්සි සේවයෙන් කුළියට ගත්ත වෑන් එකෙන් බහින්න සිද්ද වුනා. දවාලකට නම් සුළු දෙයක් වුනත් මහ රෑ හන්දා ඒකත් පුදුම දුශ්කර ක්‍රියාවක්. අන්තිමේදි ගෙදරට පය ගහනොකොට මැදියම් රෑත් පහුවෙලා. ටැක්සිය පිටත් වෙලා ගියාට පස්සෙ අපි තුන්දෙනා බෑග් ගොන්න  සාලෙට ඇදගෙන ගිහින් දැම්මා.

ලයිට් නම් වැඩ. ඒත් ටැප්වල වතුර නෑ. මේක අසාමාන්‍ය දෙයක් නෙවෙයි අවුරුද්දකට පස්සේ ගෙදර එනකොට. මට කරන්න තියෙන්නේ  වහලේ උඩ  තියෙන ටැංකියේ ඉතිරිවෙලා තියෙන වතුර ටිකම පාවිච්චි කරලා වතුර ලයින් එක පුරවන එක. මම ඒ වැඩේටම විශේෂයෙන් වෙනම වෑල්ව් එකක් හෙම දාපු ප්‍රයිමිං පොයින්ට් එකක් හදලාත් තියෙන්නේ. ඒකත් හරි නොගියොත් ඉතින් ලිඳට ගිහින් වතුර බෝතලයක් අරන් ඇවිත් පුරවන එකයි තියෙන්නේ. හැබැයි සමහර අවුරුදුවල ඔය මොකුත්ම නැතුව නිකම්ම මෝටරේ ගහපු ගමන් බඩු වැඩ.

වල් වැවිලා, කොළ පිරිලා තිබුණු මිඳුල  හරහා යන්න අපි ටෝච් එක පාවිච්චි කලේ වැඩි ආරක්ෂාවට. බිරිඳ ගේ ඇතුලේ මකුළු දැල් , දූවිල්ල එක්ක සටන් කරද්දි, පුතයි මමයි වතුර ගන්න මෙහෙයුමක යෙදුනා එලියේ.

උඩ ටැංකියෙ වතුරෙන් සක්ෂන් ලයින් එක පුරවන එක හරි නොගියේ උඩ ටැංකිය හිස්  නිසයි.  මම ලිඳට ගිහින් මෙගා කෝක් බෝතලේකට වතුර ගෙනත් ලයින් එකට වක් කලා. නමුත් වෙනදා වගේ ලයින් එක කටට පිරිලා උතුරලා ගියේ නෑ. වතුර ගුරු ගුරු හඬක් නගමින් අතුරුදහන් වුනා,ලීටර් පහේ වතුර බෝතල් පහ හයක්ම වක් කරලත් ප්‍රතිඵලය එකම හන්දා ඊ ලඟට අපි කලේ අර දැවැන්ත ප්ලාස්ටික් ෂීට්රොක් බාල්දියකට වතුර අරන් එන එක. පුතයි මායි දෙන්නම දෙපැත්තෙන් උස්සගෙන ආවත්, මේ ෂීට්රොක් බාල්දියෙන් වතුර අදින එක නම් ඉල කැඩෙන වැඩක් වුනා. කොයි ක්‍රමයෙන් හෝ වතුර ලබාගන්න ඕනේ හන්දා අපි දෙන්නා එක්ක , උදේ ඉඳන් ඇඳගෙන හිටපු සපත්තු ඇතුලට වතුර පිරිලා චිරි චිරි ගාද්දිත්, කලිසම් කකුල් තෙමිලා ඇඟටම ඇලෙද්දිත් එක සීරුවට වතුර ඇද්දා.

මුලු බාල්දියෙම වතුර දැම්මත් සිද්ද වුනේ පයිප් ලයින් එක ගුඩු ගුඩු ගාලා වතුර බීපු එක විතරයි. කොයිකටත් කියලා අපි වරින් වර වතුර මෝටරෙත් ගහලා බැලුවේ මොන ප්‍රාතිහාර්යයකින් හරි වතුර ඇදිලා ඇවිත් උඩ ටැංකියට වතුර පිරෙන සුන්දර සංගීතය දැන් අහන්න පුලුවන්වෙයි කියන බලාපොරොත්තුවෙන්. කොහෙද! වතුර මෝටරෙන් එන්නේ වියළි හඬක්. අලි මදිවට හරක් කියලා මෝටරෙත් පිච්චෙයි කියලා බයට අපි මෝටරේ ඕෆ්  කරලා දැම්මා.

“මොකද කියන්නේ පුතේ, අපි තව එක වතුර බාල්දියක් ගෙනත් දාලා බලමුද?” මට වගේම මහන්සියේ තරමට ප්‍රතිඵලයක් නැති මේ වැඩේ එපා වෙලා හිටපු පුත්තරයගෙන මම ඇහුවා.

“දැන් කොහොම හරි වතුර ගන්න ඕනැනේ. වෙන මොනවා කරන්නද ගේමු,”  කොල්ලා කිව්වා.

හිත හදාගෙන ආයෙම ලිඳට ගිහින් තව වතුර එකක් ගෙනාවේ ඇ‍ඟේ හයියට වඩා හිතේ හයියට.  ඇත්තෙන්ම එකක් නෙවෙයි, ඊට පස්සෙත් වතුර බාල්දි ගණනාවක්ම අපි දෙන්න ලි‍ඳෙන් අරගෙන ආවත් වතුර පයිප්පේ පිරුණේ නෑ.  සමහරවිට ෆුට් වෑල්ව් එක සවුත්තු වෙලා වතුර ඔක්කොම ළිඳට යනවා ඇති ආපහු, මම හිතුවා. අන්තිමේදි අපි දෙන්නා තවත් ෂීට්රොක් බාල්දියකට වතුර එකක් අරන් ඇවිත් බාත් රූම් එක ඇතුලේ තිබ්බේ ටොයිලට් එකවත් ෆ්ලෂ් කරගන්න වතුර නැති නිසා.

මට ඔන්න එතකොටම මතක් වුනා, කාලෙකට ඉස්සර මේ වගේ වෙලාවට වතුර පුරවන්න තවත් ප්‍රයිමිං පොයින්ට් එකක් මම ගෙදරට එන පාරේ පැත්තක ලිඳත් ගෙදරත් අතර හදලා තිබුනා නේද කියලා.  ඒ කාලේ ගෙදරට වැලි, ගල් ගෙනාපු ට්‍රැක්ටර්, ට්‍රක් වලට යටවෙලා ඕක තැලිලා ලීක් වෙන්න ගත්ත හන්දා මම ඒක කොන්ක්‍රීට් එකක් යට වලලලා පස් වලටම යට කලා නේන්නම්. සමහර විට ඒක ආයෙම ලීක් වෙනවා ඇති. ගරාජ් ලයිට් එකට අමතරව පුතා අල්ලන් හිටපු ටෝච් එකේ එළියෙන් උදලු, ක‍ටු, මිටි අරගෙන මම ආයෙම රෑම බිම හාරන්න පටන් ගත්තා.  වැරදි තැන් ගණනාවක්ම හෑරුවට පස්සේ අන්තිමේදි පයිප්පේ හම්බවුනා. ඒ දිගේ හාරගෙන ගිහින් අන්තිමේදි අර කොන්ක්‍රීට් තට්‍ටුවත් හොයාගන්න පුලුවන් වුනා පාන්දර ජාමෙදි. මිටි වලින් ගහලා කොන්ක්‍රීට් එකත් කඩලා බැලුවට පස්සේ එතන ලීක් එකක් නැති බව හොයාගන්න පුලුවන් වුනා.

වතුර ගන්න රෑ තිස්සේ කරපු අරගලයෙන් පරාජය වෙච්ච අපි, පාන්දර පහට,  පාං කියාගන්න පණ නැතිව, අර මඩ ගෑවුණු තෙත ඇඳුම් ඇඳගෙනම ඇඳට වැටිලා හරියටම පැයක් නිදාගත්තා.  ඊට කලින් අර මගදි ගත්තු ලීටර් පහේ වතුර බෝතලෙන් ටිකක් රත් කරලා තේ එකක් බොන්න පුලුවන්ද කියලා බලනකොට ගෑස් සිලින්ඩරෙත් හිස්.

මේ වතුර ප්‍රශ්ණෙ හිතට වද දෙන නිසාම මම හරියටම හයට නිකම්ම ඇහැරුණා. ආයෙම වතුර බාල්දියක් ගෙනත් පුරවලා බැලුවත් ප්‍රතිඵලය පෙර සේම නිසා මම ඊ ලඟට කලේ ඒ වෙනකොට ඇහැරලා හිටපු අසල්වැසියෝ කීප දෙනෙක්ගෙන් ගාඩ්න් හෝස් දෙකක් ඉල්ලාගන්න එක. ඒ දෙක අපේ හෝස් එකට සම්බන්ද කරලා ඉස්සරහ ගෙදර එලියේ පයිප්පෙකින් වතුර අරන් වතුර පුරවන වැඩේ කරන්න මම හිතුවා. ඒ එක්කම අල්ලපු වත්තේ හාඩ්වෙයා එකෙන් ගෑස් සිලින්ඩරේකුත් අරන් යන්තම් උණු උණු තේ කෝප්පයක්
බොන්නත් පුලුවන් වුනා.

මේ අතරේ ඉස්සරහ ගෙදර කුලියට ඉන්න පොර මාව දැකලා කිව්ව කතාව හරි වැදගත්.

“අයියේ, මම නම් හිතන්නේ ඔය පයිප්ලයින් එක් මැදින් ඩැමේජ් වෙලා ඇති  කියලාමයි.”

“පිස්සුද මල්ලි. ඒක නම් කීයටවත් වෙන්න විදියක් නෑ.  ඒක පොළොව යටින් අරන් තියෙන ලයින් එකනේ. අනිත් එක මම රෑ ඒක හාරලත් බැලුවා. මේක ෆුට් වෑල්ව් කේස් එකක්. ඒක ෂුවර්,”

පොර තවත් මොනවා හරි කියන්න කට ඇරලා ආයෙම වහගත්තබව මම හොඳටම දැක්කා.  පොර රෑ තිස්සේ අපි කරපු යුද්දේ අහගෙන නොහිටියා වෙන්න බෑ.

මම දිග පයිප්පයක් අරගෙන ලිඳේ වතුරට යට වෙලා තිබ්බ ෆුට් වෑල්ව් එකට තට්‍ටු කලා. ඊට පස්සේ  එකට අමුණපු ගාඩ්න් හෝස් එක පාවිච්චි කරලා පයිප් ලයින් එක පුරවන්න තව පාරක් උත්සාහ කලා. ප්‍රතිඵලය නම් පෙර සේමයි. වතුර දානවා විතරයි අතුරුදහන් වෙනවා. මම ලිඳට නැවිලා පයිප්පෙට ඇනගෙන ඇනගෙන ගියේ එතකොටවත් ෆුට් වෑල්ව් එකේ හිරවෙලා තියෙන බෝලේ පාත්වෙයි කියලා හිතාගෙන. ආයෙම වතුර පිරෙව්වත් කිසි වැඩක් වුනේ නෑ.

ඊ ලඟට මම ලෑස්ති වුනේ ලිඳ ඉහලා ෆුට් වෑල්ව් එක චෙක් කරලා අප්සෙට් නම් අලුතින් එකක් දාන්නයි.  මගේ එක අසල්වැසියෙක් ඔය වතුරේ ගිල්වන වතුර පොම්ප කුලියට දෙනවා. මම ගිහින් බලනකොට දොරේ OPEN කියලා ගහලා තිබුනත් අයිතිකාරයා තවම බුදුන් වඳිනවා වීදුරු දොරෙන් පෙණුනා. ඒ වැඩේට වෙලාව දීලා තව ටිකකින් එනවා කියලා හිතපු මම ආපහු ගෙදර ගියා.

ගිහින් නිකම් ඉන්න එකේ තවත් ටිකක් ෆුට් වෑල්ව් එකට තට්‍ටු කරලා, ආයෙම වතුර පුරවලා, මල පැනලා  වතුර ලයින් එක වලලලා තියෙන ගෙදරට යන පාරදිගේ ඇවිදගෙන යද්දි මම දැක්කේ පාරේ තියෙන දිය කඩිත්තක්.  කලින් දවසේ වැහැලා පාරේ තැනින් තැන් පොඩි පොඩි දිය කඩිති තිබුනත් මේකේ යම් වෙනසක් මම දැක්කා.  ඒ කියන්නේ මේක හෙමීහිට ප්‍රමාණයෙන් විශාල වෙනවා කියලා මට හිතුනා. මම එතනම ඇණ තියාගෙන දිය කඩිත්තේ දාරය දිහා ඇහිපිය නොහෙලා බලා හිටියා. හෙනම ගහපිය! මේක පැතිරෙනවා නේන්නම්. මට දැනුනේ පුදුමාකාර සන්තෝසයක්. මට දැන් අඩුගානේ ලිඳ ඉහින්න වෙන්නේ නෑ.

මේ මම ඊයේ රෑ හාරලා බලලා ආපහු වහපු තැනට අඩි කීපයක් මෙහාට වෙන්න තියෙන තැනක්.  ආවුද ගත්ත මම ආයෙම පොළොව හාරන්න ගත්තේ බොහොම සීරුවෙන්. මම හාරපු වල හාරන පමාවෙන්ම මඩ වතුරෙන් පිරුනා.  අර අපි පයිප් ලයින් එකට පුරවන වතුර! ඊ ලඟට මම දැක්ක දෙයින් මගේ හුස්ම හිරවුනා වගේ දැනුනා. යකෝ පයිප් ලයින් එකේ අඩියක් විතර කෑල්ලක් නෑ. පයිප්පෙට වතුර පිරෙන්නේ නැති එක අහන්නත් දෙයක්ද. මම ඊ ලඟට දැක්ක දෙයින් මට කලන්තේ වගේ හැදුනා. යකෝ කැඩිච්ච පයිප්පේ ලිඳේ ඉඳන් එන කෑල්ලට කවුද එන්ඩ් කැප් එකකුත් ගහලා. මට ඇතිවුන හැඟීම මම කියන්න යන්නේ නැත්තේ, ඒවා විස්තර කරන්න තරම් භාෂා දැනුමක් මට නැති නිසයි.

ඔන්න දැන් අපිට වැඩේ මීටර් වේගන වේගන ආවා. අසල්වැසියෝ ගස් කීපයක් කපලා. සමහර ගස් කොටන් මගේ පාරට වැටිලා. සමහරවිට වැටිණු කොටේක කපපු අත්තක උල පොළොව පසාකරගෙන ගිහින් මගේ පයිප්ලයින් එකට වැඩේ කරලා. ඇයි යකෝ මුන් එකෙක්වත් මට මේක දැනුම් දුන්නේ නැත්තේ අපි මේ රෑ එලිවෙනකල් කොඳු කඩාගෙන මැරෙනකල් වතුර අදිනකල්?  ඇත්තෙන්ම අල්ලපුගෙදර පොර කතන්දරේ දන්න නිසයි අරෙහෙම කියවුනේ. නමුත් මේ කක්කා බාල්දියට අතදාන්න පොර අකමැති නිසයි පොර එහෙමම මාරු වුනේ.  හරි, අත්වැ‍රැද්දක් වෙලා කැඩුවා නම් හදලා තියාපල්ලකො අපි එන්න කලින්.

මම ඊ ලඟට කලේ දුකට සැපට කවදත් පිහිට වෙන මචං කාරයා චූන්ජියාව හොයං ගිය එකයි.  මම යනකොට නයිට් ඩියුටියක් ඇදපු පොර ගෙදර ඇවිත් ගොරෝ ගොරෝ නිදි.  පොරට කාලෙකින් මස්සිනා දැකපු සන්තෝසේ වැඩි වෙලා තිබ්බේ නැත්තේ මම කතාව කිව්වාම.

“හප්පට සිරි යකෝ!” පොර ඔලුවේ අත ගහගත්තා. “අරගොල්ලො ගස් වගයක් කැපුවා තමයි.  අත්තක් වැටිලා උඹේ පයිප්පේ දෙකට කැඩුනා තමයි. ඇත්තෙන්ම අත්තක් කපපු උලක් පොළොව හාරගෙන ගියා. එහෙම වුනාම මට කතා කලාම මම තමයි ගිහින් එන්ඩ් කැප් එක ගහලා ආවේ. ඕක මමවත් හදලා දාන්න තමයි හිටියේ. මටත් අමතක වුනානේ බං.”

චූන්ජියා නිදිමත පැත්තකට දාලා මට උදව් කරන්න ආවා සුපුරුදු විදියට.  පස්සේ දෙන්න එක්ක පයිප්පේ සුද්ද කරලා, පිහදාලා,  අඩියක විතර පයිප්ප කෑල්ලක් පීවීසී ගම් වලින් ජොයින්ට් දෙකක් ගහලා අලවලා යන්තම් වැඩේ ගොඩදාගත්තා.

ඊට පස්සේ පුරවපු වතුර වහාම උඩටම මතුවෙලා උතුරලා යන දාර්ශණය අපි බලා හිටියේ ආසාවෙන්. ඉන් පස්සේ වතුර මෝටරේ ගැහුවාම අර කලින් ඇහුණු වියලි සද්දේ, බරදාලා අදින සද්දෙකට මාරුවෙලා, වහලේ උඩ ටැංකියට වතුර වැක්කෙරන සුමිහිරි සංගීතමය හඬ අපි අහං හිටියේ පුදුම ආසාවකින්.

ඒත් මදිවෙලා මම ගිහින් කුස්සියේ ටැප් එක ඇරලා සින්ක් එකට වතුර වැක්කෙරන සුමිහිරි හඬින් වැයුන  “ඔබ සැම ඔබේම නිවසට සාදරයෙන් පිළිගනිමි” ගීතයටත් සවන්දුන්නා.

පසු වදන:

දැන් ඉතින් වතුරත් තියෙන නිසා මම වඩා නිරවුල් මනසකින් වටපිට බලනවා.  අපි නැතුවත් අපේ කුණුගොඩ නම් කුණු වලින් පිරිලා. ටොයිලට් පිට් එකේ කොන්ක්‍රීට් එක උඩ පොලිසැක් එකකට හොඳින් අසුරලා ගෙනත් තිබ්බ වීදුරු ක‍ටු ලෝඩ් එකක්.  කුණුගොඩේ අර පරණ තාලේ අඩි හතරේ ටියුබ් ලයිට් එකක් දෙකට කැඩිලා. අපේ ගෙදර මේ ජාතියේ ඒවා ඇත්තෙත් නෑ. අපේ ගෙදර ජනෙල් වීදුරු නොවන බිඳිච්ච ජනෙල් වීදුරු. අපේ ගෙදර නැති ජාතියේ බිඳිච්ච වතුර බොන වීදුරු, අපි පාවිච්චි නොකරන ජාතියේ විලවුන් බෝතල්. පඩි පෙල ලඟ පොල් අතු කන්දක්. වැඩේ කියන්නේ අපිට පොල් ගස් ඇත්තෙත් නැතිවීමයි. මේ අර කපපු ගහක පොල් අතු. එක අතකට ඒක හොඳා කෙලින්ම ගිය පාරවගේ ගස් කොට ගෙනත් ගොඩ ගහන්නේ නැතුව. ඒවා අයිති කාරයන්ගේ වතුවලටම රිටර්න් කරන්න මාර කට්ටක් කෑවනේ ගිය පාර.

\
Originally published @ HeyDude in English Language.
Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.
 

ටැග: , , , , ,