RSS

Category Archives: Good housekeeping tips

107. අහසයි, පොළවයි.

107. අහසයි, පොළවයි.

මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා. මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

සරසවි ටෙක්ස්ටයිල්ස් ගැන මගෙ මුල්ම මතකය රෝහල ඉදිරිපිට තිබුන පැරණි අබලන් ගොඩනැගිල්ලෙ, කුඩා කඩ කාමරයක පවත්වාගෙන ගිය, තවත් පොඩි ව්‍යාපාරයක් හැටියට විතරයි. නමටම ගැලපෙන්න මුලින්ම ප්‍රධාන වශයෙන් කෙරුනෙ රෙදි වෙලඳාම වුනත්, පසුව අනිකුත් අංශ වලටත් පුලුල් වුනා.

DSCN0731

සාප්පුව අයිතිකරුට මම දන්න දා ඉඳන්ම කතාකලේ ධනපාල අයියා කියලා. ධනපාල අයියගෙ සාප්පුවට පාරිභෝගිකයො ආකර්ෂණය වෙන්න හේතු කීපයක්ම තිබුනත්, මම හිතන විදියට මේවයි ප්‍රභලම ඒව.

ධනපල අයියා, තරාතිරම නොබලා සාප්පුවට එන කාටත් ‘මහත්තයා’, ‘නෝනා මහත්තයා’ වගේ ‘නම්බුකාර වචනවලින්’ ඇමතුවා විතරක් නෙවෙයි, තමන්ගෙ සේවකයිනුත් එහෙම කරනවද කියලා සෙවිල්ලෙන් හිටියා.

ඒ වගෙම කිසිම පාරිභෝගිකයෙක්ට තමන්ව නොසලකා හරින බවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ, අර අද සමහර සාප්පුවල වගේ සේවකයන්ට පාරිභෝගිකයා පස්සෙන්ම ලුහු බඳිමින් මහාම හිරිහැරයක් වෙන්න පුරුදු කරලා තිබුනය කියලා

ඒ වගෙම හැම භාණ්ඩෙකටම මොනයම් හෝ වට්ටමක් ලැබෙන බව පාරිභෝගිකයට වැටහෙන්න ඇරලා තිබුනා. හැම විටම භාණ්ඩෙ සඳහන් කල මිලට වඩා කීයක් හෝ අඩුවෙන් තමයි අය කලේ.

ඒ ඔක්කෝටම වඩා, සරසවියෙ (මිනිස්සු සරසවි ටෙක්ස්ටයිල්ස් හැඳින්නුවෙ එහෙමයි) තිබුනා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්. එදා ඉඳන්ම. ධනපාල අයියා මේක පටන් ගත්තෙ, අද ඔය මෙගා සාප්පු වල ඔය ක්‍රමය පටන් ගන්න හුඟ කාලෙකට කලින්.

නමුත්, මම ධනපාල අයියගෙ සරසවියෙ යාව ජීව පාරිභෝගිකයෙක් වුනේ ඔය එක හේතුවක් හන්දාවත් නෙවෙයි. අද එයාටවත් මතක ඇති කියලා මම නොහිතන ‘සුලු’ හේතුවක් නිසයි.

වරක් මම ඔතනින් ගත්තා වෝටර් හීටර් එකක්. (ගිල්ලුම් ජල තාපකයක් කිව්වාම සැර වැඩියි කියලා හිතුනා.) මම මේක ගන්නකොටම ධනපාල අයියා කිව්වා මේකට වගකීමේ සහතිකයක් නම් නැති බව. නමුත් මගෙ ආර්ථික මට්ටමට ඔරොත්තු දෙනවා වගේ පෙනුනේ ඒක විතරක් හන්දා මම හීටරය මිලදී ගත්තා අර සුපුරුදු වට්ටමත් එක්කම.

මම බොහොම සතුටින් හීටරය ගෙදර ගෙනාවත් ඒ සතුට ‍රැඳුනේ එක දවසක් පමණයි. හීටරය පහුවදාම ක්‍රියා විරහිත වුනා. වගකීමක් නැති කතාව මතක් වුනා වුනත්, මම කොයිකටත් කියලා ගිහින් ධනපාල අයියට සිද්ධිය කිව්වා. යටිතොල හපමින් මඳක් කල්පනා කල ධනපාල අයියා මෙහෙම කිව්වා.

“මහත්තයට කිව්වා වගේම ඕකට වොරන්ටියක් නම් නෑ. ඒ වුනත් මේක මහත්තයට ලොකු පාඩුවක් නේ? අපි මෙහෙම කරමු. අපි පාඩුව සීයට පනහ – පනහ බෙදාගම්මු .”

ලාච්චුව ඇරපු ධනපාල අයියා හරියටම හීටරයේ වටිනාකමින් සීයට පනහක් මට ආපසු ගෙව්වා. මගෙ ආර්ථිකේ හැටියට ඒකත් මට ලොකු සහනයක් වුනා ඒ වෙලාවෙ.

ධනපාල අයියගෙ මේ ‘ක්‍රියාවෙ’ ප්‍රතිඵලය වුනේ, මම ඔහුගෙ යාවජීව පාරිභෝගිකයෙක් වීමයි. ධනපාල අයියා එදා මට ගෙවපු ‘සුලු මුදල’ ඇත්තෙන්ම මාව ඔහුගෙ ව්‍යාපාරයට පෙරලා ආකර්ෂනය කරගන්න කෙරුනු ආයෝජනයක් වුනා. ඔහුගෙ ඒ යහපත් ආකල්පය නිසා සරසවිය ගැන මගෙ හිතේ පෙරලා ඇතිවුනේ යහපත් ආකල්පයක්. ඒ වගේම ඔහු මා කෙරේ තැබූ විශ්වාසයත් පෙරලා ඔහු කෙරේ තබන්න මම පසුබට වෙන්නෙ නැති බව ඔහු දැන ඉන්න ඇති. මෙතන ඇත්තෙන්ම තියෙන්නෙ මුදල පිළිබඳ කතාවක් නෙවෙයි. .. මේක දක්ෂ ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරික ඥානය භාවිතා කරපු තවත් එක අවස්ථාවක් විතරයි.

අද සරසවිය, පිහිටලා තියෙන්නෙ නගර මධ්‍යයේ, මම හිතන විදියට ඔහුටම අයත් තට්‍ටු කීපයකින් යුත් විශාල ගොඩනැගිල්ලක.

ඔහුට ඒ හැම දෙයක්ම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මට මේ පහුගිය නිවාඩුවෙත් ඔහු මුණ ගැහුනා. ඔහුගෙ මා නොදකින පැති ඇති. සමහරුන්ට ඔහු ගැන වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. නමුත්, මේ මා ඔහුව දකින විදිය. ධනපාල අයියට මගේ සුභ පැතුම්!

මේ වගෙ සුලු සිද්ධියක් අල්ලාගෙන, මම කෙන්ද කන්ද කරගෙන දඟලන්නෙ ඇයි කියලා දැන් ඔබ කල්පනා කරනවා නම්, මම ඊ ලඟට කියන්න යන සිද්ධිය කියවලා බලලම ඉන්න.

හැම බඩුවක්ම අසාධාරණ ගනන් වලට මිල නියමවුනු මේ විදෙස් රටේ, අපි බඩු ගන්න පුරුදු වෙලා හිටපු එක්තරා සාප්පුවක් තිබුනා. එළවලු කිලෝවක් සාමාන්‍යයෙන් ලංකාවෙ මිල වගේ පස් හය ගුණයක් වෙන එක මෙහෙ සාමාන්‍ය දෙයක්. මේ සාප්පුවෙ නිත්‍ය පාරිභෝගිකයෝ වෙලා හිටි අපි, ඔවුන්ට ඉතා හොඳ ආදායම් මාර්ගයක් වෙලයි තිබුනෙ. අපි, පලතුරු, එළවලු, කුලුබඩු, සහ අනිකුත් සියලුම සිල්ලර බඩු මේ සාප්පුවන් මිලට ගත් නිසා අපෙන් ශ්‍රී ලංකාවෙ මුදලින් රුපියල් 30,000 – 40,000ත් අතර මුදලක් මසකට මේ සාප්පුවට ලැබුනා.

එදත්, අපි සාප්පුවෙ බඩු ‍තෝරමින් සිටින විට එවකට අට හැවිරිදි වියේ පසුවූ අපේ චූටි පුතා සුපුරුදු ලෙස රාක්ක වල ඇති සෙල්ලම් බඩු පරීක්ෂා කරමින් අනිත් පැත්තේ සිටියා.

D

ටිකකින් සාප්පු හිමියා අපි දෙසට වේගයෙන් ඇවිද ගෙන ආවේ චූටි පුතාව උරහිසින් අල්ලාගෙන හරියට අපරාධකාරයෙක් වගේ.

“මෙයා මේ ටෝර්ච් එක වට්ටලා කැඩුවා,” ඔහු බයිසිකලයකට සවිකල හැකි කුඩා විදුලි පන්දමක් පෙන්වමින් කිව්වා. කිව්වත් වගේම ඒකෙ වීදුරුව ගැලවිලා ඇවිත් තිබුනා. අපේ චූටි පුතා අපි දෙස බලාගන හිටියෙ බියපත් වෙලා.

කිසි කෙනෙක් මගෙ දරුවෙකුට මේ අයුරින් සලකනවා ඉවසාගෙන සිටීමේ හැකියාවක් කවදටත් නොතිබුන මට මාරාවේෂ වුනා.

“ඔක්කොටම ඉස්සෙල්ලා අතාරිනවා ළමයව. අල්ලන්නෙ හෙම නෑ එයාව.” මම තදින් කිව්වා.

ඔහු වහාම චූටි පුතාගෙ කමිසය අතහැරියා.

“කීයද ඔය ටෝච් එක”

ඔහු ගාන කිව්වා. ඒක ආසන්න වශයෙන් රුපියල් හතලිස් පහක් ඇති.

මම පසුම්බිය ඇදලා ඒ මුදල ගැලපෙන නෝට්‍ටුවක් අරන් මිනිහට දුන්නා.

“මෙන්න තමුසෙගෙ සල්ලි. ඕක බින්දට මගෙ ලමයට අත තිබ්බ එක වැරදියි. ඕක මට කිව්වා නම් ඉවරයිනෙ. අනික ඒක වුනේ වැරදීමකින්. කිසි කෙනෙක් අපේ දරුවෙකුගෙ ඇඟට අත තියන්න ඕනෙ නෑ.”

“ඔ…ඔව්. ඒ වුනාට… එයා ඒක කැඩුවනෙ.”

“හරි, ඒකෙ අලාබෙ තමයි දැන් මම ගෙව්වෙ. දැන් ඔය ටෝච් එකත් මෙහාට දෙනවා.”

ඉන් පසු, අපි ‍තෝරාගෙන තිබූ හැමදේම ඒ ඒ තැන්වලම අතහැර අපි සාප්පුවෙන් ආවා.

“ඇයි? අද මේ එළවලු ගන්නෙ නැද්ද?” අයිතිකරු විමතියෙන් ඇසුවා.

“නෑ. අදහස වෙනස් කලා. අපි යනවා.”

ගෙදර යන ගමන්, මට මේ වගෙ තකතීරු වැඩක් හීනෙකින්වත් කරාවි කියලා මම නොහිතන ධනපාල අයියාව මතක් වුනා.

ඒ සිද්ධියෙන් පස්සෙ අපි ඒ සාප්පුව පලාතේ ගියේ නෑ. තනිකරම වර්ජනය කලා.

රුපියල් හතලිස් පහකට මේ අමනයා නැතිකර ගත්ත නිධානය අපි නිකමට ගනං හදලා බැලුවොත්… ගාණ හදාගන්න පහසුවට අපි මාසෙක ආදායම 35,000 හැටියට ගනන් අරගෙන ඒක අපි ඉන්න මාස 10.5න් වැඩි කරලා අවුරුදු 7නුත් වැඩි කලාම, මට උත්තරය රු.2,572,500.00 ක් ආවා. මේ මුදලේ බාල්දුවීම, ජීවන වියදම වැඩිවීම හෙම නොසලකා.

පාරිභෝගිකයෙකුගෙ දරුවෙකුට නරක විදියට සලකලා හිත රිදවීමට ගෙවන්න සිදුවුන, තවමත් ගෙවන ඒ වන්දියත් නරක නෑ නේද?

ඔහුට ඒ දඬුවම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මෙම ලිපිය මුල් වරට Two Businessmen And What They Deserve” යන මාතෘකාවෙන් HeyDude බ්ලොග් අඩවියේ, ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

බ්ලොගර් හිතවතුන්ගේ පහසුව සඳහා මේ ලිපිය මගේ ඩෙනිමේද පළකර ඇත.

 

ටැග: , ,

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

95. අලි මංකඩක අතරමංව! / Yala Adventure.

සපත්තු පාලම මැදදි මම සුක්කානම වමට කැපුවෙ, පාලම මැද්දෙ කොන්ක්‍රීට් එක පාත් වෙලා වතුර පිරිලා තිබ්බ නිසා වම් පැත්තට බරව යන්න . එක පාරටම මහා හඬක් නඟමින් වෑන් එක වමට ඇල වුනා . වෑන් එක ඇතුලෙ ඉන්න සමහරු කෑගැහුවා යටි ගිරියෙන්. මම දොර ඇරගෙන බහින කොටම මට තේරුනා, මම ඉන්න පැත්ත අනිත් පැත්තට වඩා සෑහෙන්න උස බව. ඉස්සරහ දකුණු පස රෝදෙත් අසාමාන්‍ය විදියට පිටතට නෙරලා තිබ්බ බව මම දැක්කා.

මම වාහනේ ඉස්සරහින් ගිහින් බැලුවා වෙලා තියෙන හානිය. බම්පර් එකේ වම් පැත්ත කොන්ක්‍රීට් එකට හේත්තු වෙලා. වම් පැත්තෙ ඉස්සරහා රෝද කොන්ක්‍රීට් එකෙන් කුට්ටියක් කඩාගෙන පහලට වැටිලා. ලෝවර් සස්පෙන්ෂන් ආර්ම් එක උඩ තමයි වාහනේ සමබරව තියෙන්නෙ. කඩාගෙන වැටෙනකොට අර මම ඉස්සරහට දාලා තිබුන, අමාරුවෙන් ලබා ගත්ත අලුත් බ්‍රිජ්ස්ටන් ටයර් එක පුපුරලා. ටයර් එකේ හැදිලා තියෙන හිල ඇතුලට මගෙ අත රිංගවන්න පුලුවන්. ටයර් එක පුපුරන සද්දෙයි, කොන්ක්‍රීට් එක කඩාගෙන ගිහින් වෑන් එකේ සස්පෙන්ෂන් ආර්ම් එක කොන්ක්‍රීට් එකේ වදින සද්දෙයි එකතුවෙලා තමයි, අර බෝම්බයක් ගහනවා වගේ සද්දෙ ඇවිත් තියෙන්නෙ.

වාහනේ ගානට කොන්ක්‍රීට් එකේ හිරවෙලා. ඊ ලඟට දැක්ක දෙයින් මගෙ කටේ කෙළ හිඳුනා. මම හිටගෙන හිටියෙ දුම් දාන අලි බෙට්ටක් උඩ. අපි මේ හිරවෙලා ඉන්නෙ යාල කැලේ අලි පාර හරහා යන අලි මංකඩක මැද්දෙ. මේ වන අලි සහ වල් අලි පාර පනින වෙලාව.

තව දුරටත් කියවන්න >>>

 
 

ටැග: , , , , , , , , ,

81. චික් මැග්නට් ඩූඩ් / henryblogwalker the chick magnet dude!!

81. චික් මැග්නට් ඩූඩ් / henryblogwalker the chick magnet dude!!

“අම්මේ! කෝ මගේ මේස්?”

“ඔයා දැක්කද කාර් එකේ යතුර?”

“අම්මේ! කෝ මගෙ යුනිෆෝම් එක?”

“කොහෙද අනේ මේ වාහනේ ඩොක්‍යුමන්ට්ස්?”

“දෙයියනේ අදත් පරක්කුනෙ!”

“මගෙ එක මේස් එකයි තියෙන්නෙ!!”

සුපුරුදු දෙබස් ඛණ්ඩ.

අද කතාකරන්න යන්නෙ කාන්තාවො මට ආකර්ෂනය වන, එයාලගෙ ස්වාමි පුරුෂයො මාව එයාලගෙ හිට් ලිස්ට් එකට දාන මාතෘකාවක්. හෙහ් හෙහ්!

henryblogwalker the CHICK MAGNET Dude!!!

මම ගෙදර තියෙන විදුලි වැඩ, ජලනල වැඩ, ගෘහ අලංකරනය, විදුලි උපකරන අලුත්වැඩියාව, වඩු වැඩ, මේසන් වැඩ, උද්‍යාන අලංකරණයට අමතරව වාහන වල සුලු සුලු අලුත්වැඩියාවලුත් කරනවා දකින කාන්තාවො, දුම්මල වරම අතට ගත්තා වගෙ තමන්ගෙ පෙම්වතාට, සැමියාට දොස් කියන්න පටන් ගන්න එක මම ඉස්සර ඉඳන්ම අත්දැකපු දෙයක්. “ඒකට මේං..!” කියලා සැමියා හෝ පෙම්වතා ලඟ ඉන්නවා නම් පාරක් ගහන කාන්තාවො එයාලා ලඟ නැත්නම් “ඕං එකට අපේ ….” කියලා කියන්නෙ කට ඇද කරලා.

“අඩෝ හෙන්රියෝ, ‍තෝ කරන වැඩ වලින් අපිට ඉන්නත් නෑ බං කනක් ඇහිලා.!” කියන චෝදනාව මට එල්ල වෙන්නෙ ගෑණු මාව දැකලා නිබ්බුත පද කියන්න පටන් ගත්තම. ඇවිලෙන ගින්නට පිදුරු දානවා වගේ දීපත්, “එතකොට අර කබඩ් එක හැදුවෙත් එයා අනේ!” නැතිනම්, “එයා තමයි එයාගෙයි, යාලුවන්ගෙයි, ලමයින්ගෙයි හැමෝගෙම කොන්ඩෙ කපන්නෙත්!”  කිව්වාම ඇත්තෙන්ම මටත් දුකයි අරුන් ගැන. 😦

“ඒකට අපේ එක්කෙනා. නිවාඩුවක් අහුවුනොත් එක්කො යාලුවොත් එක්ක බෝතලේකට සෙට් වෙනවා. නැත්නම් සෙටියෙ ලැගගෙන ටීවී බලනවා. නැතිනම් මොනිටරේට මූණ ඔබාගත්ත ගමන් මයි!”  වගෙ කතාවකින් අර කාන්තාවො මගෙ පුරුෂ භාවයට සංසන්දනාත්මකව හානි වෙන්න පුලුවන් කතාවක් කිව්වොත්, “ඉතින් හෙන්රිත් ඔය ඔක්කොමත් කරලා තමයි අනේ මේ වැඩත් කරන්නෙ. රෙදි හෝදන, අයන් කරන නවන වැඩ ඔක්කොම කරන්නෙත් එයා!” කිව්වම අර පුරුෂයන්ට එඩ්‍රස් නැතුව යනවා මම බලා ඉන්නෙ අවංකවම බුර බුරා නැගෙන ශෝකයෙන්. “හම් යං යං පරක්කු වුනා හොඳටම” කියලා අර අසරණ බුවාලා ගෙදර දුවන්න හදන්නෙ ඇයි කියන එක කියන්න ඕනෙ නෑනෙ. ඇත්තටම මචංලා මම උඹලව හිතලා අමාරුවෙ දාන්න හැදුවා නෙවෙයි!

හ්ම්හ්. පැන්නනෙ පීල්ල!

අපේ තාත්තා කරපු සමහර දේවල්වල වටිනා කමක් මගෙ ඒ දවස්වල දැනුනෙ නෑ. ඇයි තාත්තට මෙච්චර ලේසියෙන් අලුත් කුඩයක් ගන්න පුලුවන් කම තියෙද්දි අර කැඩිච්ච කුඩේ අලුත්වැඩියා කරන්න හදන්නෙ කියන එක මට නිතර හිතුන දෙයක්. නමුත් ඒකෙන් තාත්තා කොච්චර ආශ්වාදයක් ලබන්න ඇතිද කියලා තේරෙන්න මට කාලයක් ගියා. ඇත්තෙන්ම, මම ඒ දිහා බැලුවෙ තරමක අවඥාවෙන් කියලත් මට පසුතැවිල්ලක් ඉතිරිවෙලා තියෙනවා. අර දියරහ ප‍තෝලයි, සෙවල බණ්ඩක්කායි අච්චර ලාබෙට කඩේ  තියෙද්දි තාත්තා  ගෙවත්තෙ වවන්න  කරපු උත්සාහයවත්, ඒ  පළදාව ආදරෙන් ‍රැකබලා ගත්ත එකවත්, කෑම කනකොට ‘මේ අපේ වත්තෙන්ම කඩපුවා’ කියලා ලස්සන හිනාවක් එක්ක කියනකොට ඒ ගැන කිසිම දිරිගැන්වීමක් හෝ අගය කිරීමක් නොකර, හිතෙන්, “බොරු වැඩ” කියලා හිතපු එකටවත් සමාව ගන්න දැන් පරක්කුවැඩියි.

අද සෙවල බණ්ඩක්කයි, දියරහ ප‍තෝලයි, තිත්ත කරවිලයි මගෙ ප්‍රියතම කෑම.

හොඳයි ආපහු නියම මාතෘකාවට යමුකො.

ඕන්න ගිය මාසෙ මම දැක්කා කඩයකින් වීසි කරලා දාපු පෙට්ටියක මෙන්න මේවගෙ කාඩ්බෝඩ් කෑලි වගයක්. ඉතින් ඊට පස්සෙ…

ඕං ඔහොමයි වුනේ.

මේ  ව්‍යාපෘතියට කලින් මේ යට ඇඳුම් ලාච්චුව කොහොමද තිබ්බෙ කියන එක පෙන්නන්න මට මේ ඔක්කොම අයින් කරලා ඇදලා දැම්මොත් මටම ආපහු අස් කරන්න වෙන නිසාත් , ඒ වෙනුවට අපේ පුත්‍ර රත්නය පාවිච්චි කරන මෙවැනිම ලාච්චුවක ඡායාරූපයක් පළකිරීමට කොලුවා තරයේ විරුදධ වූ නිසාත්, එම දර්ශනය හිතේ මවාගන්න ලෙස රසික ඔබෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

 

ටැග: , , , , , ,