RSS

Category Archives: Paul Jennings

163. බොරු නේද ඔය කියන්නේ?


Capture

ඕන්න මම පාරෙදි දකිනවා රෝසපාට බෝ එක ඇඳගත්ත බුවෙක්. හරියටම රෝසපාට තඩි සමනලයෙක් බෙල්ලේ වහලා වහලා වගේ. ඒක මම ජීවිතේට දැකලා තියෙන අජූවම බෝ එක. “මොනවද තමුසේ බලන්නේ?” පොර නැවතිලා මගෙන් අහනවා. පොරගේ මූඩ් එක එච්චර – එච්චර නෙවෙයි, කොහෙත්ම හොඳ නෑ.

“හෙහ් හෙහ්, ඔය බෝ එක දිහා.” මම කියනවා.”මාර කැතයි ඕක. කැතේ උපත. හරියට රෝසපාට වැම්පයර් එකෙක් වගේ.” ඒක කියලා මම හිනා වෙන්න ගන්නවා බඩ අල්ලගෙන.

මට කවුරුවත් කිව්වෙත් නෑනේ පොර තමයි අළුත් ඉස්කෝලේ ප්‍රින්සිපල් මිස්ට ස්පොජ් කියලා. විහිළුව තේරුම් නොගන්න ස්පොජ් මට දඬුවම් කරනවා. ජීවිතේ පට්ට අසාධාරණයි කියන්නේ ඒකයි. Read the rest of this entry »

 
 

ටැග: , ,

131. හොර ඇල්ලීම – Exposer

131. හොර ඇල්ලීම – Exposer

 

මේත් පෝල් ජෙනිංස්ගෙ කෙටි කතාවක්.

සරළ කතාවක් වගේ පෙනුනට එහෙමමත් නෑ.

 

෴හොර ඇල්ලීම – ExPoser෴

අපේ පන්තියෙ ඉන්නවා සල්ලිකාර, දල කාර කොල්ලෙකුයි, කෙල්ලෙකුයි. කෙල්ල සැන්ඩ්‍රා මොරිස්. කොල්ලා  බෙන් ෆොක්ස්.  දෙන්නම අලි  වංසෙන් තමයි ඉන්නෙ. දෙන්නම හිතා ඉන්නෙ අපි උන්ගෙ අත පල්ලෙං වැටිච්ච උං කියලා. උන් දෙන්න ඉස්කෝලෙ එන්නෙ නැව් වගෙ තඩි කාර් වල. ගෙවල් මාලිගාවල් වගේ.  දෙන්නම සද්දෙ වහගෙන, හරියට අපි නැති ගානට උන්ගෙ  ලෝක වල ඉන්නෙ. මම හිතන්නෙ ඕකුන් දෙන්නම මං වාගේ මැර වැඩ කරන  හිපා‍ටුවොත් එක්ක පැටලෙන්න අකමැතියි.



බෙන් ෆොක්ස් හැම තිස්සෙම දාං ඉන්නෙ අලුත්ම ෆැෂන් එකේ  අස්ප ගනං ජිම් ෂූස්. ඌ හිතන්නෙ උගෙ රන්වන් කොන්ඩෙයි, නිල් පාට ඇසුයි නිසා ඌ හෙන නළුවා කියලා. හිතේ ඇති!  මට නං ඕවගේ එවුන් ගැන පව් කියලා හිතෙන්නෙ, නලුවෝ වගේ ඉන්න කන කට්ටට.



සැන්ඩ්‍රා මොරිසුත් ඉතින් ඒ වගේම තමයි. ලෝක රූප සුන්දරී කියලා තමයි ඒකි හිතාගෙන ඉන්නේ. ඇත්තෙන්ම ඒකි ලස්සනයි තමයි. අවුල ඒකි තමන් ලස්සන බව දන්න එක. ඒකිටත් තියෙන්නේ නිල් පාට ඇස් එක්ක රන්වන් කොන්ඩේ.  හමත් නිකං සිල්ක් වගේ තමයි. ඇයි දන්නෑ දෙන දෙයියෝ උඩ පැන පැන තියෙන එකාටම හැම දේම ලබා දෙන්නෙ?



නොද්දකිං. පේන්නැද්ද මට වෙලා තියෙන සන්තෑසිය? මූණ පුරා කුරුළෑ. මම ඕකට නොකරපු වෙද කමක් නෑ. ගාපු නැති ක්‍රීම් එකක් නෑ. ඒත් කුරුළෑ මතුවෙලා, ලොකු වෙලා, පුපුරනවා, මට එපා වෙලා තියෙන්නෙ. මාර අසාධාරණයක් යකෝ මේක.



අද මට ලැබිලා තියෙනවා අසාධාරණේට විරුද්ධව සටන් කරලා,  බිම දාලා, සමානාත්මතාවය රජ කරවන්න අවස්ථාවක්. අද බො‍ෆින් උගේ අලුත්ම සොයා ගැනීම පන්තියට අරන් එනවා. ඒක තමයි බොරු අල්ලන යන්තරේ. Lie detector. සැන්ඩ්‍රා මොරිස් තමයි අපේ ඉලක්කය.  ඒකි කවදාවත් බොරු නොකියන බව හැම එකාම දන්න නිසා, අපේ උන් ඇහුවම, ඒකිත් අනේ කැමති වුනා. ඒකි නොදන්න රහස තමයි බො‍ෆිනුයි මායි ඒකිගේ රෙදි ගැලවෙන ප්‍රශ්ණ සෙට් එකක් අහන්න යන බව.



ඔය බො‍ෆින් ඉන්නවා නේද? පට්ට මීටරේ, ඈ. පට්ටම මීටරේ. ඌ ඔය වගේ එක එක ගැජමැටික්ස් හදනවා. පුදුමේ කියන්නේ, ඒ හැම එකක්ම වගේ වැඩත් කරනවා. ඌ අපේ ටීචර්ස්ලට වැඩිය මීටර්. හැම එකාම ඒකත් දන්නවා. ඕන් අද බුවා ගේන්නේ බුවාගේ අලුත්ම නිර්මාණය. බොරු අල්ලන යන්තරේ.



මූ වයර් දෙකක් සැන්ඩ්‍රාගේ අතට තියලා ටේප් දෙකක් ගහලා අලවනවා. “රිදෙන්නේ නෑ.” ඌ කියනවා. “හැබැයි මේක ආයෙ නෑ ඉතින් කිරි ගහට ඇන්න වගේ තමයි.”



බො‍ෆිනා ස්විච් එක දානවා. බොරු අල්ලන යන්තරේ හයි කරලා තියෙන මීටරේ කට්ට සිං ගාලා හරියටම මැද්දට ගිහින් නතර වෙනවා. ඔන්න මූ ට්‍රයල් එකක් කරන්න හදන්නේ.

DSCN2907compressed

“ඔයා කෙල්ලක්ද?”



සැන්ඩ්‍රා ඔලුව හොලවනවා.



“ඔව් හරි, නෑ හරි කියන්න ඕනෙ.”බො‍ෆින් කියනවා.



“ඔව්,” සැන්ඩ්‍රා කියනවා. මීටරේ කට්ට සිං ගාලා TRUTH (ඇත්ත) වලට යනවා. අඩේ මේක ඇත්තටම වැඩ කරනවා වගේ. බො‍ෆිනගේ කට කනේ.



“මේ පාර කියන්න බොරුවක්,” බො‍ෆින් සැන්ඩ්‍රට කියනවා. “ඔයා කෙල්ලක්ද?” මූ ආයෙම අහනවා.



සැන්ඩ්‍රා අර ඒකිගේ තියෙන,  මට දැක්කාම ඒකිව ගිලින්න හිතෙන, පට්ට ලස්සන හිනාව දාලා, “නෑ,” කියනවා. සමහරු හිකි හිකි ගානවා.  මොහොතකින් කට්ටියටම  “හෑක්!” කියවෙනවා. මීටරේ  කට්ට LIE (බොරු) වලට ගිහින්. මේක මාර භාණ්ඩයක්නෙ යකෝ! බො‍ෆිනා පොරක්!



“හරි,” බො‍ෆින් කියනවා. “ප්‍රශ්න හතයි උඹට අහන්න පුලුවන්, මචං. ප්‍රශ්ණ හතකට  පස්සෙ බැටරි බහිනවා.”



බො‍ෆින් යන්තරේ ලඟින් ඉඳගෙන ඩයල් එහෙට මෙහෙට කරකවනවා .



“මේක මාර චාන්ස් එකක්. දෙන්නං උඹලට!  සැන්ඩ්‍රා මොරිස්ගෙයි, බෙන් ෆොක්ස්ගෙයි ප්‍රසිද්ධියෙ රෙදි ගලවන්නයි යන්නේ මං.  උඹලට වහ කාල කැලේ රිංගන්න වෙන්නේ, හිටපියව්.”



මම පළවෙනි ප්‍රශ්ණය අහනවා.



“ඔයා කවදා හරි බෙන් ෆොක්ස්ව කිස් කරලා තියෙනවද?”



සැන්ඩ්‍රාගේ මූණ රතු වෙනවා. බෙන් ෆොක්ස්ගෙ මූණත් රතුවෙනවා.





මේ පාර නියම තැනට මම ඇණේ ගැහුවේ. මුන් දෙන්නගේ  මොකක් හරි සීන් එකක් තියෙන බව මට ඉව වැටිලා තිබ්බේ කාලෙක ඉඳන්. අද ගලවන්නම් ඔය බොරු වෙස් මූණු!



“නෑ,” සැන්ඩ්‍රා කියනවා. හැමෝම බෙල්ලවල් දික් කරලා බලනවා යන්තරේ මීටරේ දිහා. කට්ට තියෙන්නේ TRUTH වල.



මම බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි මේක. තව ප්‍රශ්න හයයි තියෙන්නෙ. එහෙම ලේසියෙන් ගැලවිලා යන්න දෙන්න බෑ. හිටපල්ලකො.

“ඔයා කවදාවත් එයාගේ අතින් අල්ලලා තියෙනවද?”



“නෑ.



ක‍ටුව TRUTH වල. දැන් මට හෙන අප්සෙට් මේ වැඩේට. මම මේ මොනවද කරන්නේ? ඇයි මම මෙහෙම කරන්නේ?



මම ට්‍රැක් එක වෙනස් කරනවා.



“ඔයා කාට හරි ආදරය කරනවද?”



සැන්ඩ්‍රා රතු වේගන එන්නෙ බෙල්ලේ ඉඳන් උඩට. මම කුරිරු සතුටක් විඳිනවා. ෆොක්ස්ගෙ මූණ හරියට බීට් රූට් ගෙඩියක පාට.



“ඔව්,” සැන්ඩ්‍රා කියද්දි ක‍ටුව TRUTH වල.



අනිත් උන්ගේ වදේට මම මේ වැඩේ බාර ගත්ත එක ගැන, මට දැන් දැනෙන්නෙ පසු තැවිල්ලක්. සැන්ඩ්‍රාටයි බෙන්ටයි තව දුරටත් වද දෙන්න මට හිතුනේ නෑ එක පාරටම. මම කෙලින්ම නම නාහ ඉන්න තීරණය කලා. ඔව් සැන්ඩ්‍රා, මම ඔයාට  ඒ චාන්ස් එක දෙන්නම්.



“එයා දැන් මේ කාමරේ ඉන්නවද?” මම අහනවා.



සැන්ඩ්‍රා බෙන් ෆොක්ස් දිහා බලනවා. “ඔව්.”

කට්ට TRUTH පෙන්නගෙන ඉන්නවා.



“එයාගේ ඇස් නිල් පාටද?”



“නෑ.”



හෑ!



“එහෙනම් දුඹුරු පාටද?”



“නෑ.”



මට ඊ ලඟට අහන දේ හිතාගන්න බෑ. මගේ ඇස් කාමරේ සිසාරා දුවනවා, හැම එකාගෙම ඇස් ලඟ නතර වෙමින්. කරමින්. බෙන් ෆොක්ස්ගෙ ඇස් නිල් පාටනේ. මට පට්ට ෂුවර් එකක් තිබ්බෙ සැන්ඩ්‍රාගේ ලව බෙන් කියලා.



“උඹේ මේ හුචක්කුව වැඩ කරන්නේ  නෑ, බං,” මම කියන්නෙ බො‍ෆින්ට. “මේ කාමරේ ඇස් වල පාට නිල් හරි දුඹුරු හරි නොවෙන එකෙක්වත් මට නම් පේන්නේ නෑ.”



“අපිට නම් පේනවා,” බො‍ෆින් කියද්දි අනිත් උන් ඔක්කොගෙම ඇස් යොමුවෙලා තියෙන්නෙ මගේ දිහාට.



ඔන්න දැන් මගේ මූණ රතු වේගන එන හැටි මට දැනෙනවා.  පොළොව හාරගෙන යන්න හිතිලා තියෙද්දිත්,  මම අන්තිම ප්‍රශ්ණෙ අහනවා.



“ඌ මහ ගොං, මෝල්, මැට්ටෙක්ද?”



සැන්ඩ්‍රා මේ ප්‍රශ්ණෙන් අපහසුතාවයට පත් වෙනවා. “ඔව්.” ඇය කියන්නෙ ඉතාම පහත් කෙඳිරිලි හඬකින්. “එයාගෙ ඇස් කොළ පාටයි.”

නිමි.

Paul Jennings – Uncovered -Ex-poser.

Simulblogged at මගේ ඩෙනිම for Blogger Lovers.

පසු වදන

ඊයෙ නිවාඩු දවසේ, සතියටම රෙදි මදින ගමන්, මම හෙඩ් ෆෝන් එක කනේ ගහගෙන ලැපියෙන් බලපු BULLETPROOF කියන මූවී එකේ Adam Sandler මෙහෙම කිව්වා මං අහගෙන. World is not black or white as you think. There is a large area of grey, where most people live. (ලෝකෙ උඹ හිතනවා වගේ කලු සුදු එකක් නෙවෙයි බං. ඒකෙ අලුපාටත් තියෙනවා. හුඟක් මිනිස්සු ඉන්නෙ අන්න ඒ ප්‍රදේශයේ) ඇඩම් කිව්වේ මීට සමාන එකක්. මට මතක තියෙන හැටියට මම දැන් ලිව්වේ. ඒක සබ්ටයිටල් තියෙන මූවී එකක් නෙවෙයි. නමුත් අදහස ඒකයි. මෙන්න මේ නිසාමයි අපි හුඟක් වෙලාවට වැරදි පූර්ව නිගමන වලට එළඹෙන්නේ.

මම මේක මුලින් ලිව්වේ කතාවේ පෙර වදන හැටියට. මාතලන් සහ දේශකයා දෙන්නම කිව්වා මේක කතාවෙ මුලට වඩා  අගට තිබ්බා නම් හොඳයි කියලා. ඒක නිසා පෙර වදන පසු වදනක් කලා ඔන්න.

 

ටැග: , ,

129. ඈක්කා!!!!!!! A Mouthful!

129. ඈක්කා!!!!!!! A Mouthful!


මෙවර ඔබ රස විඳින්න යන්නේ පෝල් ජෙනිංස් ලියපු කතාවක්. ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් වගේම ඔහුත් ඕස්ට්‍රේලියානු ලේඛකයෙක්. ඇත්තෙන්ම උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයකු වූ ඔහු, වයස අවුරුදු හයේදි,  බ්‍රිතාන්‍යයේ ඉඳලා පවුල පිටින් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වෙද්දි, ඔවුන්ට  ගමන් වියදම ගියේ පවුම් දහයයි. ඉතිරිය ඕස්ට්‍රේලියානු රජය දැරුවා.


පෝල් ජෙනිංස් මගේ ප්‍රියතම ලේඛකයෙක්. නැවතත් මම මේ උත්සාහ කරන්නේ, මම රසවිඳි දෙයක් මා ලඟම රඳවා නොගෙන, ඔබත් සමඟ බෙදා ගන්නයි. මෙවර මේ කතාව කියවෙන්නේ නව යොවුන් දැරියකගේ ඇසින්. ප්‍රථම වරට.

ඔව් ප්‍රථම වරට. මම හිතන්නේ පෝල් ජෙනිංස්ටත් මටත් දෙන්නටම අලුත් දෘෂ්ඨි කෝණයක් මේක. මම භාෂාව නැවතත් පොඩ්ඩක් වෙනස් කලා දැරියකට ගැලපෙන්න. ඇන්ඩිගේ භාෂාව මේකට හරි යන එකක් නෑනේ නේද?


එහෙනම් මෙන්න කතාව.


සමහර දරුවෝ කරන වැඩ වලින්, දෙමව්පියන් අපහසුතාවයට පත් වෙන එක අලුත් දෙයක් නෙවෙයිනේ.නමුත් දෙමව්පියෝ කරන සමහර වැඩ වලින්, දරුවන් අපහසුතාවයට පත්වෙන වෙලාවලුත් තියෙන බව ඔයාලා දන්නවද?


හොඳම උදාහරණේ අපේ තාත්තා. ‍රැයක් ගත කරන්න මගේ යාලුවෙක් අපේ ගෙදර ආවොතින්, තාත්තා මොකක් හරි ඇස් රතුවෙන විහිළුවක් කරනවාමයි. ඔන්න මාව වරදවා වටහා ගන්න එපා. අපේ තාත්තා නියම තාත්තෙක්. මම එයාට පණ ඇරලා ආදරෙත් එක්ක. ප්‍රශ්ණේ, එයා තාමත් එයාගේ තියෙන කොලු ගති අතෑරලා, වැඩිහිටියෙක් වගේ හැසිරෙන්න ඉගෙන ගත්තේ නැති එකයි.


එයා පුදුම ආසයි කවටකම් කරන්න.


මේ වැඩේ මුලින්ම පටන් ගන්නේ, ඇනා ‍රැයක් ගත කරන්න අපේ ගෙදර ආ දවසේ. ඉස්සෙල්ලම තාත්තා මටත් හොරෙන් මගේ කාමරේට වැදිලා, අපේ පූසි ඩූනාව, අර මගේ යාලුවෝ ආවාම නිදාගන්න තියෙන වැඩිපුර ඇඳේ නිදි කරවනවා. ඩූනාත් එපා කියයි! එයා මාර ආසයි ඇඳන් වල නිදියන්න. කොයි පූසාද අකමැති, නේද?


ඊට පස්සෙ, එයා අර මැජික් සාප්පුවෙන් ගත්ත පොඩී පාර්සලයක් අරිනවා.


හිතන්න පුලුවන්ද ඒකෙ මොකක්ද තියෙන්නේ කියලා? ඔයාලා විස්වාස කරන එකකුත් නෑ අනේ. ඒකෙ තියෙන්නෙ දුඹුරු පාට බළල් බෙට්ටක්. ඒ කියන්නේ රබර් වගේ ප්ලාස්ටික් ජාතියකින් හදපු, ඇත්ත එකක් වගේම පේන, දැනෙන සෙල්ලම් බළල් බෙට්ටක්. එයා මේක ඇනාගේ කොට්ටේ උඩින් තියලා, පොරෝනයෙන් වහනවා. ඊට පස්සෙ, එයා හොරා වගේ, ඇඟිලි තුඩුවලින්ම කාමරෙන් පිට වෙලා යනවා දොරත් වහගෙන.


මේ කිසි දෙයක් නොදන්න මම, ඇනාත් එක්ක රෑ වෙනකල් වීඩියෝ බල බල ඉන්නවා. ඇනා සෞඛ්‍ය ගැන හරීයට වදවෙන කෙල්ලක්. ඒකා විශබීජ වලට පරාණ බයයි. ඇනා අර ටොයිලට් සීට් එකටත් කඩදාසි එලලා වාඩිවෙන ජාතියෙ බඩ්ඩක්. හැබැයි මාර පිරිසිදුයි. ඒ ගැන නම් කියලා වැඩක් නෑ.


ඔන්න ඇනාත් එයාගේ බාබි ඩෝල් පිජාමා එකත් ඇඳගෙන, නිදා ගන්නයි ලෑස්තිය. ඇඳට නගින්න කලින්, ඇඳේ පොරෝනය පහලට ඇදපු ගමන්, එයා දකින්නේ කොට්ටේ උඩ තියෙන බළල් බෙට්ට!


“ඊයා! …ඊයා!!… ඈක්කා!…” ඇනා මර හඬ දෙනවා. “බලන්නකෝ… චික්!… ජරාව!! මේ බලන්නකෝ පූසි මගේ කොට්ටෙට කරලා තියෙන දේ!”


ඔන්න එතකොටම, තාත්තා කඩාගෙන, බිඳගෙන කාමරේට දුවගෙන එනවා.


“මොකද, මොකද දරුවනේ කෑ ගහන්නේ?” එයා අහන්නේ අමුතු හිනාවකුත් හංගාගෙන. “මොකක්ද ප්‍රශ්ණේ?”


“අර බලන්නකෝ,” මූණ ඇද කරගෙන ඉන්න ඇනා කොට්ටේ පෙන්නලා කියන්නෙ, බියපත් ඇස් රවුම් කරගෙන.


තාත්තා ගිහින් බළල් බෙට්ටට ලං වෙලා හොඳින් බලනවා.


“අයියෝ, මේ වගේ සුළු දේවල් ඔච්චර ගනන් ගන්න එපා. නැට්ට පිටිං අලි මැරෙන එකේ, මේක මොකක්ද?” කියන තාත්තා බළල් බෙට්ට අතට අරගෙන කෙලින්ම දාගන්නවා කටට. ඊට පස්සේ හිනා වෙනවා.
“මාර රහයි, ඈ!” එයා කියන්නේ දත් අතරින්.


“ඈයියා! ඈක්කා!!!!” වහලේ උළු උඩ යන්න බෙරිහන් දෙන ඇනා, කෙලින්ම දුවන්නෙ ජනේලෙ ලඟට. පව්! ඒකා ජනේලෙන් එලියට ඔලුව දාලා, අපි වීඩියෝ බලද්දි කාපු බීපු පොටේටෝ චිප්ස්, සෝස්, ඩයට් කෝලා ඔක්කොම වමනේ දානවා. ඊට පස්සෙ, ආපහු හැරිලා, තාත්තා දිහා බලන බැල්ම විස්තර කරන්න, මම දන්න භාෂාවේ වචන මදි.


ඇනාට වමනේ ගිය එකට නම් තාත්තත් පොඩ්ඩක් සැලෙනවා.


“අයියෝ ගණං ගන්න එපා ඇනා,” කියන තාත්තා, ප්ලාස්ටික් බළල් බෙට්ට කටෙන් එලියට ගන්නවා. “මේක ඇත්ත එකක් නෙවෙයි. ප්ලාස්ටික් එකක්.” කියන තාත්තා හයියෙන් හිනා වෙලා යන්න යනවා. ඇනාත් යන්නම යනවා ඒ එක්කම. ඒකා එවෙලෙම තීරණය කරනවා ගෙදර ගිහින් නිදාගන්න. ඒකට වරදක් කියන්න බෑ අප්පා.


ඇනා යනකල් ඉඳලා මම තාත්තට කෑ ගහනවා.


“ඔයා හරි නරකයි, තාත්තා. මම ආයෙ නම් ඔයා එක්ක කතා කරන්නේ නෑ. හරිම පල් වැඩක් කලේ, ඔයා!”


“හයියෝ, වැඩක් නෑනේ ඔයාලගෙන්,” එයා කියනවා. “මම විහිලුවක්නේ කලේ.”


ඔන්න ඔය විදියයි.


කවුරු හරි යාලුවෙක් වරෙං ‍රැයක් ඉන්න! ඕන්න තාත්තා පිස්සුවක් කෙලිනවා. එක්කෝ ඩස්ට් බින් එකේ තිබිලා මිනිස් අතක් හම්බවෙනවා. එක්කෝ බීම කෑන් එකක් අරින කොට ඒක පුපුරනවා. නැතිනම් කෑමට ගම්මිරිස් වැඩියි. තවත් වෙලාවකට පොරවන්න ගියාම පොරෝනය කොටයි. එක්කෝ තාත්තාගේ කටෙන් ඩ්‍රැක්‍යුලාගේ වගේ ලේ කාන්දු වෙනවා.


මගේ සමහර යාලුවොන්ටත් මේක මාර ජොලි. එයාලා කියනවා, ‘අනේ අපිට නෑනේ ඕවගේ ජොලි තාත්තෙක්!’ කියලා.


නමුත්, මම කැමතිම නෑ මේ වැඩේට. මට ඕනෙ සාමාන්‍ය තාත්තෙක්.


එයා බියැන්කාව විහිලුවකට ගත්තා.

ආයේ යැස්මින්.

ආයේ න්ගා.

ආයේ කාර්ලා


මේ එක්කෙනෙක්වත් ඇනා වගේ ගෙදර ගියේ නම් නෑ. නමුත් හැම පාරම මගේ මූණ නම් රතු වුනා.


මම අද මාර අප්සෙට් එකේ ඉන්නේ.


අද සින්තියා එනවා රෑ නවතින්න. එයා අපේ ස්කූල් කැප්ටන්. ඒකා ලස්සන කෙල්ල. අනික හෙන ස්මාට්. එයාගේ යාලුවෙක් වෙන්න හැමෝම පොර කනවා. අද එයා ‍රැයක් ගත කරන්න අපේ ගෙදර එනවා.


“අනේ තාත්තේ,” මම කියනවා. “ඔන්න අද නම් මොකූත් ඕන්නැති විහිළු කරන්නෙ නෑ හොඳද? සින්තියා ඔය අනිත් අය වගේ බොළඳ කෙල්ලක් නෙවෙයි. එයාගේ තාත්තා කවදාවත් ඔයා වගේ විහිළුකරන එක්කෙනෙක් නොවෙයි. ඒ හන්දා ඔයා කරන විහිලු එයා වරදවා තේරුම් ගනීවි.”


“හරි හරී, ඇති බර බරේ” තාත්තා කියනවා.


සින්තියා එනවා. නමුත් අපි වීඩියෝ බලනවා වෙනුවට, ඉංග්‍රීසි ගෙදර වැඩ කරනවා පණ දාගෙන. ඊ ලඟට සඳුදා කතික තර‍ඟෙට තියෙන කතා පුහුණු වෙනවා. ඊ ලඟට අපේ පාසැල් නාට්‍යයේ අපිට තියෙන දෙබස් පාඩම් කර ගන්නවා. මේ ඔක්කොමත් කරලා අපි එලියට ගිහින්, නෙට්බෝලේ ගෝල් එකට දාන්න පුහුණු වෙනවා, සින්තියා නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව හන්දා. ඔය අල්ල පනල්ලේ, මම වරින් වර කාමරේට ඇවිත් බලනවා තාත්තා මොකුත් ඇටවුමක් හෙම කරලද කියලා. පරෙස්සම් වෙන එක කොයිකටත් හොඳයිනේ.


අපි කෑම කාල පිඟනුත් සෝදනවා, මොකද සින්තියා ඒකට ස්වේච්ඡාවෙන්ම – ඔව් ස්වේච්ඡාවෙන්ම තමයි – ඉදිරිපත් වෙච්ච නිසා.


ඔන්න අන්තිමේදි නිදාගන්න වෙලාවත්
එනවා. සින්තියා නාන කාමරේට ගිහින් නයිටිය දා ගෙන නිදන කාමරේට එනවා.


“පූසී මගේ ඇඳේ,” එයා කියනවා. “ඒකෙ ගානක් නෑ. මම කොහොමත් පූසන්ට ආදරෙයි.”


සින්තියා පොරෝනය පාතට අදිනවා ඇඳට නගින්න.


ඉන් පස්සෙ බෙරිහන් දෙනවා.


“ඈක්!! බළල් කක්කා! මගේ කොට්ටේ උඩ ජරා බළල් කක්කා,” සින්තියා මර හඬ දෙනවා පළාතම දෙවනත් වෙන්න.


ඔන්න, තාත්තා කාමරේට කඩා වදිනවා, එයාගේ අර කට කොණකින් මතුවෙන මෝඩ හිනාවත් දාගෙන. එයා වීරයා වගේ ගිහින් බලනව කොට්ටේ උඩ තියෙන දුඹුරු පාට බළල් බෙට්ට දිහා.


“අයියෝ, මේ වගේ සුළු දේකට ඔය හැටි අප්සෙට් වෙන්න එපා,” කියන එයා, බළල් බෙට්ට අරන් කටේ ඔබා ගන්නවා.


නමුත් මේ පාර එයා හිනාවෙන්නේ නෑ, වෙන පාරවල් වල වගේ. එයාගේ මූණ එහෙමම ගල් වෙනවා.


“තාත්තා, මේකද හෙව්වේ?”


මගේ අතේ තියෙන, තාත්තා කලින් ඇවිත් කොට්ටේ උඩ තියපු ප්ලාස්ටික් බළල් බෙට්ට තාත්තා දිහාට පාමින්, මම අහනවා.


තාත්තා පූසි දිහා බලනවා.


ඊට පස්සේ පුදුම වේගෙකින් ජනේලෙ ලඟට පනින තාත්තා, ඔලුව එලියට දාලා වමනේ දානවා.


සින්තියයි මායි බිම පෙරළි පෙරළි හිනා වෙනවා.


ඇයි අපිටත් බැරිද විහිළුවක් කරන්න ඉඳහිට?

throwup
Simulblogged @ මගේ ඩෙනිම for Blogspot Lovers


Paul Jennings – Uncovered – A Mouthful

 

ටැග: ,