RSS

Tag Archives: නිවාඩු කාලේ

155. බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා.


DSCN5961

මේ චාරිකාවේ මුල කොටස් මග හැරුනා නම් මෙන්න පාර.:

107. බදුලු කෝච්චිය. 1 වන කොටස

108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

109. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.

Read the rest of this entry »

 

ටැග: , , , , ,

154. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.


11.06 AM _12182013_ NikonCoolpixL22

එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන කොළඹ බලා යන උඩරට මැණිකේත්, බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී…

ඔන්න ඉතින් අපි පේරාදෙණියෙන් පිටත් වුනා මතකනේ? අමතක නම් මෙන්න පළවෙනි සහ දෙවෙනි කොටස්.

 

107. බදුලු කෝච්චිය. 1 වන කොටස

108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

Read the rest of this entry »

 

ටැග: , , , , ,

153. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

153. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

ගම්පහ සිට මහනුවර දක්වා දුම්රිය මග.
පෙ.ව. 7.02: පොඩිමැණිකේගේ යන මග. ගම්මාන හරහා……

 

පෙ.ව.7.27:  පොල්ගහවෙල නැවතී…(මහේෂ් කියන විදියට මේ මීරිගමලු. හරි එහෙනම් “මීරිගම නැවතී.”)

Read the rest of this entry »

 

ටැග: , , , , ,

152. බදුලු කෝච්චිය. 1 වන කොටස

152. බදුලු කෝච්චිය. 1 වන කොටස

වුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා, පෙරුම් පුරලා, ඒත් නිවාඩුවේ අන්තිම මොහොතේ පුරුදු විදියට කල් දදා හිටපු වැඩක් යන්තම් කලා ඔන්න ගිය නිවාඩුවෙදි. රේල් ගේට්‍ටු ගාවා වාහනේ නවත්තගෙන බලා ඉන්න ගානේ, තාර පාරට සමාන්තර රේල් පාරක කෝච්චියක් දුවන ගානේ උත්සන්න වෙවී තිබුණු ආසාවක් මේක. දැන් අපි බදුලු ගියේ එහෙදි කරන්න තිබිච්ච මහලොකු වැඩකට නෙවෙයි, මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, උඹලා ඇස් ලොකු කරල කට ඇරගෙන බලා ඉන්නේ  ඇයි, හරියට  මුන්ට නම්  පිස්සු කියලා වගේ? ඇයි උඹලා කවදාවත් කොහේවත් ගිහින් නැද්ද ගමනාන්තයට වඩා ගමන රසවිඳින්න?

ඔය ගමන ගියේම, අර වානේ රෝද වානේ පීලි වල දුවන කොට ඇහෙන “ටක ටකස්, ඩග ඩගස්” සද්දේ අහන්න. අර කෝච්චිය පහු  කරගෙන යන භූ විෂමතාව අනුව වෙනස් වෙන කෝච්චි එන්ජිමේ  ඝෝෂාව අහන්න.  කෝච්චිය බිම්ගෙයක් තුලින් දුවද්දී දැනෙන ඩීසල් දුම්  සුවඳ (හෙහ් හෙහ් සුවඳ, ඈ?) වගේම බිම් ගේ පහුවෙනකල් ලොකු පොඩි ගෑණු පිරිමි බේදයක් ඇතුව ජනේලයෙන් ඔලුව එලියට දාලා  නරි වගේ  හූ කියන්න. ඇත්තෙන්ම පොඩ්ඩක්වත් ලැජ්ජා හිතෙන්නි නෑනේ ඒ වැඩේට!  ගැඹුරු පාතාල උඩින් හදපු සුද්දන්ගේ කාලේ  පරණ රේල් පාලම් උඩින් යනකොට,  දැනෙන නිකං හරියට අහසේ පියාඹනවා වගේ රෝලර් කෝස්ටර් හැඟීම විඳින්න.  අර පොඩි කාලේ සිංහල පොත් වල විස්තර කරපු වලාසේලයෙන් සැරසුනු නිල් කඳු පන්ති. (නිල්? මටනම් කොළමයි පේන්නේ) පයිනස් වනාන්තර සහ ගලා එන සීතල මිහිදුම් වලා.  කොළ පැහැති තේවතු, එළවලු පාත්ති, කඩා හැලෙන දිය ඇලි, නිරතුරුව  වෙනස්වෙන මනස්කාන්ත භූමි දර්ශන. කඳුකරය පිස එන සීත නැවුම් වාතය අත්දකින්න විඳගන්න… Read the rest of this entry »

 

ටැග: , , , , , , , ,

148. ඇන්ටික්මේනියාව – Antiquemania


 

රතගාය අපි කාටත් අඩු වැඩි වශයෙන් තියෙන දෙයක් වුනාට, මගේ හොඳම යාලුවා මහින්දටයට තියෙන රතගාය වෙනම ප්‍රබේදයක්. අර සිරාට වගේ මේකට තියෙන්නේ සාමාන්‍ය රතගායට අමතරව, ඇන්ටික් රතගායක්.  මහින්දයා පරණ වාහන ලඩියක් ගේන්න යනවානම් නිවාඩුවට ගිහින් හිටියොත් මාවත් ඇදගෙනමයි යන්නේ. 

  

දැන් මේ පේන්න තියෙන මන්ත්‍රී මොඩල් ජීප් එකත්, ඒ විදියටම, එක නිවාඩු කාලෙක මාත් එක්ක ගිහින්, කෑගල්ල පැත්තෙන් අරන් ආපු එකක්. 

මහින්දයා ගිහින් කර ගහන වාහන ලඩි මට නම්  දැක්කාමත් බය හිතෙනවා, මේක අරන් කොහොම ගොඩ එන්නද කියලා. නමුත් පාවිච්චියට අලුත් වාහන තියෙන බුවාට ඒක විනෝදංශයක් විතරක් නිසා, ඒවට සෑහෙන ගානක් ගෙවලා ඇදගෙන ඇවිත් මාස ගනං, අවුරුදු ගනං හදලා කොහොම හරි ගොඩ දාගන්නවත් එක්ක. මේ තියෙන්නේ එහෙම එකක්.

 


මේක මුලදි තිබ්බ හැටි දැක්කනම්!

 


මේ නිවාඩු කාලේ මම මහින්දයත් එක්ක පරණ අමෙරිකන්/කැනේඩියන් ක්ලැසික් එකක් වන Pontiac Lorentian කාරෙකක් බලන්න ගියා. මේ වාහනේ අයිති අපේ ගමට නුදුරින් පිහිටි පළාතක අවුරුදු ගානක් තිස්සේ ජීවත් වෙන ක්ලවුස් කියන ඕස්ට්‍රියානු ජාතිකයෙකුට. මේ ඕස්ට්‍රියානුවා මුණගැහිලා ටිකක් ආශ්‍රය කරනකොට මට මතක්වුනේ රොබර්ට් නොක්ස්ව. මේ බුවාත් චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ ලංකාවට ඇවිත් මෙහෙන්ම කසාදෙකුත් බැඳලා, දරුවො දෙන්නෙකුත් හදාගෙන, කැලෑවක් වගේ පැත්තක, පයින් යන්නත් අමාරු කන්දක් උඩ ගෙයක් හදාගෙන ජීවත් වෙන්නේ.


“ඔයා ඇරෙන්න මම දන්න අනිත් ඕස්ට්‍රියන් කාරයා ෂ්වාර්ට්සෙනගර් තමයි.” මම කිව්වා.

“හාහ්, හාහ්, හාහ්! ෂ්වාර්ට්සෙනගර්!” ක්ලවුස් හිනාවුනා.

“ෂ්වාර්ට්සෙනගර් කියන්නේ ඕස්ට්‍රියාවේ නිතර අහන්න ලැබෙන නමක්ද?”

“නෑහ්! හපෝයි නෑ. ඒක ඕස්ට්‍රියාවෙත් වැඩිය අහන්න තියෙන එකක් නෙවෙයි.”

 


මේ අතරේම මහින්දයත් ක්ලවුස්  එක්ක ආපහු මිළ ගැන, වාහනේ අඩුපාඩු ගැනත් කතාව යනවා. වටේටම තියෙන්නේ උස කඳු මුදුන්. බලකො‍ටුවක් වගේ පේන ගේ හදලා තියෙන කන්දෙ උඩහා පේන්නේ අන්නාසි යායක්.

“ඒක නෙවෙයි ක්ලවුස් , අර අන්නාසි වගාවත් ඔයාගෙද?”

“හනේ නෑ. වගා කරනවා නම් නියම රටක් මේක. ඔයාට කියන්න හෙන්රි, මම මොකක් හරි පළතුරක් කාලා ඇටේ විසිකරනවානේ වත්තට. මෙන්න පස්සේ බැලුවම ඒක නිකම්ම පැළවෙලා. මේ වතුර දාලා පෝර දාලා නෙවෙයි. නිකම්ම. “

“ඔයා කියන්න හදන්නේ ලංකාවෙ පස ඒ තරම් සාරවත් කියන එකනේ.”

“ඔව්. මේ හැම තැනම වගා කරන්න පුළුවන් වුනත් එහෙම කරන්නේ නෑ. මිනිස්සුන්ට එහෙම ඕනේ කමක් නෑ.  පාලුවට අතෑරලා දාපු ඉඩම් ඕනෙ තරම්. “

“හෙහෙ හෙහ්. නමුත් ඊශ්‍රායලය වගේ රටවල මිනිස්සු කාන්තාරෙත් වගා කරන්න හදනවා වතුර ගෙනියලා, නේද?”

“හරියට හරි. අන්න ඒකයි මම කියන්නේ…”


මම කියන්න යන්නේ ඕස්ට්‍රියානුවා කියාපු විදියට හැම තැනම වගා කරන්න පුලුවන් කියන එක වත් එහෙම කල යුතුයි කියන එකවත් නෙවෙයි. බුවා අපේ රට ගැන දරණ ආකල්පය ගැන කියන්නයි. අපි කොහොමත් ආසයිනේ අනිත් අය අපි ගැන හිතන හැටි දැනගන්න.

පොන්ටියැක් එකට අමතරව ක්ලවුස්  ගාවා ඒවගේ ඇන්ටික් වාහන තව කීපයක්ම තිබුනා. Triumph මෝටර්සයිකල් දෙකක්. තව මේක…

 


හුලං මදි නිසා ක්ලවුස්  මුලින්ම රෝද හතරටම හුලං ගැහුවා. ඊට පස්සේ අඩ කොට තිය තියා මේක ගරාජ් එකෙන් එලියට ගන්නත් මාර කට්ටක් කෑවේ මොකද මේකේ බ්‍රේක් නැතුවා මදිවට   එතන පොළොවේ පිහිටීමයි, හරවන්න ඉඩකඩ මදිකමයි නිසා.

 

 

 

මේ කාර් එක ගත්තා වගේ නෙවෙයි අර කැඩිච්ච ගල් මතුවෙච්ච මහා පල්ලං වංගු තියෙන පාර දිගේ මේ බ්‍රේක් කඳුලක් නැති වාහනේ ඇදගෙන එන එක. අනික මේකේ පොඩි බරකුත් නෙවෙයිනේ තියෙන්නේ. මේක කැනඩාවේ හදපු අමෙරිකානු කාර් එකක්.  දැවැන්ත එන්ජිම ගැලපෙන්නේ අදට නෙවෙයි, අර පෙට්‍රල් ගැලුම රුපියල් 4.50 ට තිබිච්ච කාලෙටයි. ඉතිං පාලිත මල්ලියි, අර මම කලිනුත් කියලා තියෙන අපේ මෙකැනික් සුගතුයි මුලින්ම යට රිංගලා ටෝ බාර් එක හයි කලා.

ඊට පස්සේ පොන්ටියැක් එක එල්ලාගත්ත ජීප් එක, ෆෝර්වීල් ඩ්‍රයිව් එකේ, ලෝ ගියර් එකකට දාගෙන තමයි පල්ලම බැහැගත්තේ.

මේ ගණුදෙනුව සෙට් කලේ අංකල් කියන බ්‍රෝකර්.  ලස්සනම වැඩේ අපි ආපහු අර අබලන් පාරේ අර මහා පල්ලමේ බ්‍රේක් නැති පොන්ටියැක් එක ජීප් එකෙන් ඇදගෙන එනකොට අංකල් වාහන දෙකෙන් එකකටවත් නගින්නේ නැතුව පයින්ම ගාටනවා වාහන දෙකටම පිටිපස්සෙන්.

 

“අංකල් පයින් කොටන්නේ මොකෝ? නගින්නකෝ මේකට.”


“අනේ එපා සෑර්. පයින් ගමන ඇඟට ගුණයි කියනවනේ.”


“හෙන්රි අයියේ ඔය යකා පයින් එන්නේ, පොරම බ්‍රෝකර් වැඩේ කරපු වාහනේ පොරටම ෂුවර් නැති හන්දා නගින්න බයේ” කියපු පාලිත මල්ලි කොක් හඬ දීලා හිනාවුනා.


අපි පාර දිගේ වාහනේ ඇදගෙන යනකොට තේ කඩයක් ලඟ හිටි කොලු කුරුට්ටෝ වගයක් “මෙන්න අර ලංකාවටම තුනක් තියෙන එකෙන් එකක් ගෙනියනවෝ” කියලා කෑ ගැහුවා.


ඊට පස්සෙ දවසක මම සුගත්ගේ ගරාජ් එක ලඟ ට ගියාම පොන්ටියැක් එකට මොකද කියලා බලන්න අමතක කලේ නෑ. අපි බලමු ඊ ලඟට එනකොට මේක හදාලා, ටිංකර් කරලා, පේන්ට් කරලා, මනමාලිවගේ අන්දලා තියෙයිද කියලා අපිටත් ටිකක් කරකවලා බලන්න.


ඉතිං උඹලා අහනවා මොනවද බං උඹට නිවාඩු කාලේ ඔය හැටි තියෙන වැඩ කියලා.

Simulblogged in මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , ,

147. රෑ මැදියම ජල මෙහෙයුම: නිවාඩු කාලේ කතා.


උදේ පටන් අරන්, එක සීරුවට, ගොඩබිමින් මුහුදෙන් සහ අහසෙන්, ගුවන් තො‍ටුපලවල්, තො‍ටුපොලවල් හරහා කෙරුන ගම රට බලා එන ගමන අවසානයේ අපි තුන්දෙනාගෙම හොඳ පණ ගිහින් හිටියේ. බලාපොරොත්තු පොදි බැඳගෙන අවුරුද්දකට සැරයක් ගෙදර එන ගමනේ ආතල් එක කඩන්නම හැමදාම සෙට් වෙන, නැතිනම් කරන  ටිකටිං ප්‍රශ්ණ, බුකිං ප්‍රශ්ණ වලට මුහුණ දීලා ගෙදර ඇවිත් ඇඳට වැටෙන්නේ කොයිවෙලේද කියලා අපි බලාගෙන හිටියේ. ක‍ටුනායක ඉඳලා ගෙදර එන ගමනුත් ලීටර් පහේ වතුර බෝතලයක්  ගන්න මට මග දිගට කීප වතාවක්ම ගුවන් තො‍ටුපොළ ටැක්සි සේවයෙන් කුළියට ගත්ත වෑන් එකෙන් බහින්න සිද්ද වුනා. දවාලකට නම් සුළු දෙයක් වුනත් මහ රෑ හන්දා ඒකත් පුදුම දුශ්කර ක්‍රියාවක්. අන්තිමේදි ගෙදරට පය ගහනොකොට මැදියම් රෑත් පහුවෙලා. ටැක්සිය පිටත් වෙලා ගියාට පස්සෙ අපි තුන්දෙනා බෑග් ගොන්න  සාලෙට ඇදගෙන ගිහින් දැම්මා.

ලයිට් නම් වැඩ. ඒත් ටැප්වල වතුර නෑ. මේක අසාමාන්‍ය දෙයක් නෙවෙයි අවුරුද්දකට පස්සේ ගෙදර එනකොට. මට කරන්න තියෙන්නේ  වහලේ උඩ  තියෙන ටැංකියේ ඉතිරිවෙලා තියෙන වතුර ටිකම පාවිච්චි කරලා වතුර ලයින් එක පුරවන එක. මම ඒ වැඩේටම විශේෂයෙන් වෙනම වෑල්ව් එකක් හෙම දාපු ප්‍රයිමිං පොයින්ට් එකක් හදලාත් තියෙන්නේ. ඒකත් හරි නොගියොත් ඉතින් ලිඳට ගිහින් වතුර බෝතලයක් අරන් ඇවිත් පුරවන එකයි තියෙන්නේ. හැබැයි සමහර අවුරුදුවල ඔය මොකුත්ම නැතුව නිකම්ම මෝටරේ ගහපු ගමන් බඩු වැඩ.

වල් වැවිලා, කොළ පිරිලා තිබුණු මිඳුල  හරහා යන්න අපි ටෝච් එක පාවිච්චි කලේ වැඩි ආරක්ෂාවට. බිරිඳ ගේ ඇතුලේ මකුළු දැල් , දූවිල්ල එක්ක සටන් කරද්දි, පුතයි මමයි වතුර ගන්න මෙහෙයුමක යෙදුනා එලියේ.

උඩ ටැංකියෙ වතුරෙන් සක්ෂන් ලයින් එක පුරවන එක හරි නොගියේ උඩ ටැංකිය හිස්  නිසයි.  මම ලිඳට ගිහින් මෙගා කෝක් බෝතලේකට වතුර ගෙනත් ලයින් එකට වක් කලා. නමුත් වෙනදා වගේ ලයින් එක කටට පිරිලා උතුරලා ගියේ නෑ. වතුර ගුරු ගුරු හඬක් නගමින් අතුරුදහන් වුනා,ලීටර් පහේ වතුර බෝතල් පහ හයක්ම වක් කරලත් ප්‍රතිඵලය එකම හන්දා ඊ ලඟට අපි කලේ අර දැවැන්ත ප්ලාස්ටික් ෂීට්රොක් බාල්දියකට වතුර අරන් එන එක. පුතයි මායි දෙන්නම දෙපැත්තෙන් උස්සගෙන ආවත්, මේ ෂීට්රොක් බාල්දියෙන් වතුර අදින එක නම් ඉල කැඩෙන වැඩක් වුනා. කොයි ක්‍රමයෙන් හෝ වතුර ලබාගන්න ඕනේ හන්දා අපි දෙන්නා එක්ක , උදේ ඉඳන් ඇඳගෙන හිටපු සපත්තු ඇතුලට වතුර පිරිලා චිරි චිරි ගාද්දිත්, කලිසම් කකුල් තෙමිලා ඇඟටම ඇලෙද්දිත් එක සීරුවට වතුර ඇද්දා.

මුලු බාල්දියෙම වතුර දැම්මත් සිද්ද වුනේ පයිප් ලයින් එක ගුඩු ගුඩු ගාලා වතුර බීපු එක විතරයි. කොයිකටත් කියලා අපි වරින් වර වතුර මෝටරෙත් ගහලා බැලුවේ මොන ප්‍රාතිහාර්යයකින් හරි වතුර ඇදිලා ඇවිත් උඩ ටැංකියට වතුර පිරෙන සුන්දර සංගීතය දැන් අහන්න පුලුවන්වෙයි කියන බලාපොරොත්තුවෙන්. කොහෙද! වතුර මෝටරෙන් එන්නේ වියළි හඬක්. අලි මදිවට හරක් කියලා මෝටරෙත් පිච්චෙයි කියලා බයට අපි මෝටරේ ඕෆ්  කරලා දැම්මා.

“මොකද කියන්නේ පුතේ, අපි තව එක වතුර බාල්දියක් ගෙනත් දාලා බලමුද?” මට වගේම මහන්සියේ තරමට ප්‍රතිඵලයක් නැති මේ වැඩේ එපා වෙලා හිටපු පුත්තරයගෙන මම ඇහුවා.

“දැන් කොහොම හරි වතුර ගන්න ඕනැනේ. වෙන මොනවා කරන්නද ගේමු,”  කොල්ලා කිව්වා.

හිත හදාගෙන ආයෙම ලිඳට ගිහින් තව වතුර එකක් ගෙනාවේ ඇ‍ඟේ හයියට වඩා හිතේ හයියට.  ඇත්තෙන්ම එකක් නෙවෙයි, ඊට පස්සෙත් වතුර බාල්දි ගණනාවක්ම අපි දෙන්න ලි‍ඳෙන් අරගෙන ආවත් වතුර පයිප්පේ පිරුණේ නෑ.  සමහරවිට ෆුට් වෑල්ව් එක සවුත්තු වෙලා වතුර ඔක්කොම ළිඳට යනවා ඇති ආපහු, මම හිතුවා. අන්තිමේදි අපි දෙන්නා තවත් ෂීට්රොක් බාල්දියකට වතුර එකක් අරන් ඇවිත් බාත් රූම් එක ඇතුලේ තිබ්බේ ටොයිලට් එකවත් ෆ්ලෂ් කරගන්න වතුර නැති නිසා.

මට ඔන්න එතකොටම මතක් වුනා, කාලෙකට ඉස්සර මේ වගේ වෙලාවට වතුර පුරවන්න තවත් ප්‍රයිමිං පොයින්ට් එකක් මම ගෙදරට එන පාරේ පැත්තක ලිඳත් ගෙදරත් අතර හදලා තිබුනා නේද කියලා.  ඒ කාලේ ගෙදරට වැලි, ගල් ගෙනාපු ට්‍රැක්ටර්, ට්‍රක් වලට යටවෙලා ඕක තැලිලා ලීක් වෙන්න ගත්ත හන්දා මම ඒක කොන්ක්‍රීට් එකක් යට වලලලා පස් වලටම යට කලා නේන්නම්. සමහර විට ඒක ආයෙම ලීක් වෙනවා ඇති. ගරාජ් ලයිට් එකට අමතරව පුතා අල්ලන් හිටපු ටෝච් එකේ එළියෙන් උදලු, ක‍ටු, මිටි අරගෙන මම ආයෙම රෑම බිම හාරන්න පටන් ගත්තා.  වැරදි තැන් ගණනාවක්ම හෑරුවට පස්සේ අන්තිමේදි පයිප්පේ හම්බවුනා. ඒ දිගේ හාරගෙන ගිහින් අන්තිමේදි අර කොන්ක්‍රීට් තට්‍ටුවත් හොයාගන්න පුලුවන් වුනා පාන්දර ජාමෙදි. මිටි වලින් ගහලා කොන්ක්‍රීට් එකත් කඩලා බැලුවට පස්සේ එතන ලීක් එකක් නැති බව හොයාගන්න පුලුවන් වුනා.

වතුර ගන්න රෑ තිස්සේ කරපු අරගලයෙන් පරාජය වෙච්ච අපි, පාන්දර පහට,  පාං කියාගන්න පණ නැතිව, අර මඩ ගෑවුණු තෙත ඇඳුම් ඇඳගෙනම ඇඳට වැටිලා හරියටම පැයක් නිදාගත්තා.  ඊට කලින් අර මගදි ගත්තු ලීටර් පහේ වතුර බෝතලෙන් ටිකක් රත් කරලා තේ එකක් බොන්න පුලුවන්ද කියලා බලනකොට ගෑස් සිලින්ඩරෙත් හිස්.

මේ වතුර ප්‍රශ්ණෙ හිතට වද දෙන නිසාම මම හරියටම හයට නිකම්ම ඇහැරුණා. ආයෙම වතුර බාල්දියක් ගෙනත් පුරවලා බැලුවත් ප්‍රතිඵලය පෙර සේම නිසා මම ඊ ලඟට කලේ ඒ වෙනකොට ඇහැරලා හිටපු අසල්වැසියෝ කීප දෙනෙක්ගෙන් ගාඩ්න් හෝස් දෙකක් ඉල්ලාගන්න එක. ඒ දෙක අපේ හෝස් එකට සම්බන්ද කරලා ඉස්සරහ ගෙදර එලියේ පයිප්පෙකින් වතුර අරන් වතුර පුරවන වැඩේ කරන්න මම හිතුවා. ඒ එක්කම අල්ලපු වත්තේ හාඩ්වෙයා එකෙන් ගෑස් සිලින්ඩරේකුත් අරන් යන්තම් උණු උණු තේ කෝප්පයක්
බොන්නත් පුලුවන් වුනා.

මේ අතරේ ඉස්සරහ ගෙදර කුලියට ඉන්න පොර මාව දැකලා කිව්ව කතාව හරි වැදගත්.

“අයියේ, මම නම් හිතන්නේ ඔය පයිප්ලයින් එක් මැදින් ඩැමේජ් වෙලා ඇති  කියලාමයි.”

“පිස්සුද මල්ලි. ඒක නම් කීයටවත් වෙන්න විදියක් නෑ.  ඒක පොළොව යටින් අරන් තියෙන ලයින් එකනේ. අනිත් එක මම රෑ ඒක හාරලත් බැලුවා. මේක ෆුට් වෑල්ව් කේස් එකක්. ඒක ෂුවර්,”

පොර තවත් මොනවා හරි කියන්න කට ඇරලා ආයෙම වහගත්තබව මම හොඳටම දැක්කා.  පොර රෑ තිස්සේ අපි කරපු යුද්දේ අහගෙන නොහිටියා වෙන්න බෑ.

මම දිග පයිප්පයක් අරගෙන ලිඳේ වතුරට යට වෙලා තිබ්බ ෆුට් වෑල්ව් එකට තට්‍ටු කලා. ඊට පස්සේ  එකට අමුණපු ගාඩ්න් හෝස් එක පාවිච්චි කරලා පයිප් ලයින් එක පුරවන්න තව පාරක් උත්සාහ කලා. ප්‍රතිඵලය නම් පෙර සේමයි. වතුර දානවා විතරයි අතුරුදහන් වෙනවා. මම ලිඳට නැවිලා පයිප්පෙට ඇනගෙන ඇනගෙන ගියේ එතකොටවත් ෆුට් වෑල්ව් එකේ හිරවෙලා තියෙන බෝලේ පාත්වෙයි කියලා හිතාගෙන. ආයෙම වතුර පිරෙව්වත් කිසි වැඩක් වුනේ නෑ.

ඊ ලඟට මම ලෑස්ති වුනේ ලිඳ ඉහලා ෆුට් වෑල්ව් එක චෙක් කරලා අප්සෙට් නම් අලුතින් එකක් දාන්නයි.  මගේ එක අසල්වැසියෙක් ඔය වතුරේ ගිල්වන වතුර පොම්ප කුලියට දෙනවා. මම ගිහින් බලනකොට දොරේ OPEN කියලා ගහලා තිබුනත් අයිතිකාරයා තවම බුදුන් වඳිනවා වීදුරු දොරෙන් පෙණුනා. ඒ වැඩේට වෙලාව දීලා තව ටිකකින් එනවා කියලා හිතපු මම ආපහු ගෙදර ගියා.

ගිහින් නිකම් ඉන්න එකේ තවත් ටිකක් ෆුට් වෑල්ව් එකට තට්‍ටු කරලා, ආයෙම වතුර පුරවලා, මල පැනලා  වතුර ලයින් එක වලලලා තියෙන ගෙදරට යන පාරදිගේ ඇවිදගෙන යද්දි මම දැක්කේ පාරේ තියෙන දිය කඩිත්තක්.  කලින් දවසේ වැහැලා පාරේ තැනින් තැන් පොඩි පොඩි දිය කඩිති තිබුනත් මේකේ යම් වෙනසක් මම දැක්කා.  ඒ කියන්නේ මේක හෙමීහිට ප්‍රමාණයෙන් විශාල වෙනවා කියලා මට හිතුනා. මම එතනම ඇණ තියාගෙන දිය කඩිත්තේ දාරය දිහා ඇහිපිය නොහෙලා බලා හිටියා. හෙනම ගහපිය! මේක පැතිරෙනවා නේන්නම්. මට දැනුනේ පුදුමාකාර සන්තෝසයක්. මට දැන් අඩුගානේ ලිඳ ඉහින්න වෙන්නේ නෑ.

මේ මම ඊයේ රෑ හාරලා බලලා ආපහු වහපු තැනට අඩි කීපයක් මෙහාට වෙන්න තියෙන තැනක්.  ආවුද ගත්ත මම ආයෙම පොළොව හාරන්න ගත්තේ බොහොම සීරුවෙන්. මම හාරපු වල හාරන පමාවෙන්ම මඩ වතුරෙන් පිරුනා.  අර අපි පයිප් ලයින් එකට පුරවන වතුර! ඊ ලඟට මම දැක්ක දෙයින් මගේ හුස්ම හිරවුනා වගේ දැනුනා. යකෝ පයිප් ලයින් එකේ අඩියක් විතර කෑල්ලක් නෑ. පයිප්පෙට වතුර පිරෙන්නේ නැති එක අහන්නත් දෙයක්ද. මම ඊ ලඟට දැක්ක දෙයින් මට කලන්තේ වගේ හැදුනා. යකෝ කැඩිච්ච පයිප්පේ ලිඳේ ඉඳන් එන කෑල්ලට කවුද එන්ඩ් කැප් එකකුත් ගහලා. මට ඇතිවුන හැඟීම මම කියන්න යන්නේ නැත්තේ, ඒවා විස්තර කරන්න තරම් භාෂා දැනුමක් මට නැති නිසයි.

ඔන්න දැන් අපිට වැඩේ මීටර් වේගන වේගන ආවා. අසල්වැසියෝ ගස් කීපයක් කපලා. සමහර ගස් කොටන් මගේ පාරට වැටිලා. සමහරවිට වැටිණු කොටේක කපපු අත්තක උල පොළොව පසාකරගෙන ගිහින් මගේ පයිප්ලයින් එකට වැඩේ කරලා. ඇයි යකෝ මුන් එකෙක්වත් මට මේක දැනුම් දුන්නේ නැත්තේ අපි මේ රෑ එලිවෙනකල් කොඳු කඩාගෙන මැරෙනකල් වතුර අදිනකල්?  ඇත්තෙන්ම අල්ලපුගෙදර පොර කතන්දරේ දන්න නිසයි අරෙහෙම කියවුනේ. නමුත් මේ කක්කා බාල්දියට අතදාන්න පොර අකමැති නිසයි පොර එහෙමම මාරු වුනේ.  හරි, අත්වැ‍රැද්දක් වෙලා කැඩුවා නම් හදලා තියාපල්ලකො අපි එන්න කලින්.

මම ඊ ලඟට කලේ දුකට සැපට කවදත් පිහිට වෙන මචං කාරයා චූන්ජියාව හොයං ගිය එකයි.  මම යනකොට නයිට් ඩියුටියක් ඇදපු පොර ගෙදර ඇවිත් ගොරෝ ගොරෝ නිදි.  පොරට කාලෙකින් මස්සිනා දැකපු සන්තෝසේ වැඩි වෙලා තිබ්බේ නැත්තේ මම කතාව කිව්වාම.

“හප්පට සිරි යකෝ!” පොර ඔලුවේ අත ගහගත්තා. “අරගොල්ලො ගස් වගයක් කැපුවා තමයි.  අත්තක් වැටිලා උඹේ පයිප්පේ දෙකට කැඩුනා තමයි. ඇත්තෙන්ම අත්තක් කපපු උලක් පොළොව හාරගෙන ගියා. එහෙම වුනාම මට කතා කලාම මම තමයි ගිහින් එන්ඩ් කැප් එක ගහලා ආවේ. ඕක මමවත් හදලා දාන්න තමයි හිටියේ. මටත් අමතක වුනානේ බං.”

චූන්ජියා නිදිමත පැත්තකට දාලා මට උදව් කරන්න ආවා සුපුරුදු විදියට.  පස්සේ දෙන්න එක්ක පයිප්පේ සුද්ද කරලා, පිහදාලා,  අඩියක විතර පයිප්ප කෑල්ලක් පීවීසී ගම් වලින් ජොයින්ට් දෙකක් ගහලා අලවලා යන්තම් වැඩේ ගොඩදාගත්තා.

ඊට පස්සේ පුරවපු වතුර වහාම උඩටම මතුවෙලා උතුරලා යන දාර්ශණය අපි බලා හිටියේ ආසාවෙන්. ඉන් පස්සේ වතුර මෝටරේ ගැහුවාම අර කලින් ඇහුණු වියලි සද්දේ, බරදාලා අදින සද්දෙකට මාරුවෙලා, වහලේ උඩ ටැංකියට වතුර වැක්කෙරන සුමිහිරි සංගීතමය හඬ අපි අහං හිටියේ පුදුම ආසාවකින්.

ඒත් මදිවෙලා මම ගිහින් කුස්සියේ ටැප් එක ඇරලා සින්ක් එකට වතුර වැක්කෙරන සුමිහිරි හඬින් වැයුන  “ඔබ සැම ඔබේම නිවසට සාදරයෙන් පිළිගනිමි” ගීතයටත් සවන්දුන්නා.

පසු වදන:

දැන් ඉතින් වතුරත් තියෙන නිසා මම වඩා නිරවුල් මනසකින් වටපිට බලනවා.  අපි නැතුවත් අපේ කුණුගොඩ නම් කුණු වලින් පිරිලා. ටොයිලට් පිට් එකේ කොන්ක්‍රීට් එක උඩ පොලිසැක් එකකට හොඳින් අසුරලා ගෙනත් තිබ්බ වීදුරු ක‍ටු ලෝඩ් එකක්.  කුණුගොඩේ අර පරණ තාලේ අඩි හතරේ ටියුබ් ලයිට් එකක් දෙකට කැඩිලා. අපේ ගෙදර මේ ජාතියේ ඒවා ඇත්තෙත් නෑ. අපේ ගෙදර ජනෙල් වීදුරු නොවන බිඳිච්ච ජනෙල් වීදුරු. අපේ ගෙදර නැති ජාතියේ බිඳිච්ච වතුර බොන වීදුරු, අපි පාවිච්චි නොකරන ජාතියේ විලවුන් බෝතල්. පඩි පෙල ලඟ පොල් අතු කන්දක්. වැඩේ කියන්නේ අපිට පොල් ගස් ඇත්තෙත් නැතිවීමයි. මේ අර කපපු ගහක පොල් අතු. එක අතකට ඒක හොඳා කෙලින්ම ගිය පාරවගේ ගස් කොට ගෙනත් ගොඩ ගහන්නේ නැතුව. ඒවා අයිති කාරයන්ගේ වතුවලටම රිටර්න් කරන්න මාර කට්ටක් කෑවනේ ගිය පාර.

\
Originally published @ HeyDude in English Language.
Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.
 

ටැග: , , , , ,

143. Panic Attack! සිංහලෙන්.

143. Panic Attack! සිංහලෙන්.

PANIC ATTACK!

Capture
2013 අගෝස්තු 30: පැය2200


EY0279 (සංඥා නාමETD279) ගුවන් යානය ෆ්ලයිට් රේඩාර් තිරයෙන් අතුරුදහන් වී ඇත. මෙම Airbus A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියට අඩි 2000ක නැග්මකින් ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු. යානය අඩි 40000ට ලඟා වූ පසු, අන්තර්ජාල සම්බන්ධය විසන්ධි කර, රාත්‍රී ආහාරය ගැනීමට ගියේ, කිලෝමීටර් 3025ක් දුරින් පිහිටි අබුඩාබි ගුවන් තො‍ටුපළ දක්වා වූ පියසැරියට පැය හතරකුත් විනාඩි පහළොවක් ගතවන නිසාය.ETD279අප මේ දිනවල කරන අයුරින්, ‘Burn Notice’ ක්‍රියාදාම කථා මාලාවේ තවත් කොටසක් නරඹමින් රාත්‍රී ආහාරය ගත් අප, ඒ නිමවා ගුවන් යානයේ ගමන නැරඹීමට පරිගණකය වෙත නැවත පැමිණියෙමු. නින්දෙන් අවදිකරවාගත් පරිගණකයට අන්තර්ජාලය නැවත සම්බන්ධ කර පි‍ටුව යාවත් කාල කලෙමි.


පුදුමයකි! ගුවන් යානය අගිය අතක් නැත!


අනතුරුව මා http://www.flightradar24.com වෙබ් අඩවියේ සෙවුම් තීරුවට ETD279 ඇතුලත් කර Enter යතුර එබුවද ප්‍රතිඵලය පෙර සේම විය. ඉන් පසු මා කලේ, මාලේ සිට අබුඩාබි දක්වා ගුවන් මාර්ගය විශාලනය කොට (zoom in) එම ම‍ඟෙහි වූ යන එන සියළුම යානා එකින් එක පරීක්ෂා කිරීමයි. එවිටද ප්‍රතිඵලය පෙර සේම විය. මේ රාත්‍රියේ, මේ මොහොතේ ගුවන් ගතවී තිබූ අට දහස් ගණනක් වූ ගුවන් යානා ප්‍රමාණය නිසාම, මම ඊ ලඟ පියවර ලෙස සෙවුම් පෙරණය යොදාගෙන Etihad යානා පමණක් දර්ශණය වන ආකාරයට තිරය සකසා, එක් එක් ගුවන් යානය නැවතත් පරීක්ෂා කලෙමි.


ගුවන් යානය අතුරුදහන් වී ඇත.


කලබළ වූ බවක් ඉරියව් වලින් නොපෙන්වීමට මා සියලු ප්‍රයත්නයන් යෙදුවද, පවුලේ අනිත් සාමාජිකයන් දෙදෙනා නොඉවසිලිමත් වී ඇති බව මට අවබෝධවෙමින් පැවතුනි. Etihad ගුවන් සේවා අඩවියට ගිය මා ගුවන් යානය සෙවීමට උත්සාහ කලෙමි.


මෙම ගුවන් යානයේ යාවත් කාල කිරීම් නොමැත.


ඉන්පසු මා ගූගල් ආධාරයෙන් flightradar24.com ට සමාන වෙනත් සජීව ගුවන් ගමන් රේඩාර් වැඩසටහන් සොයා ඒවායින් පරීක්ෂා කර බැලුවද, මීට පැය එකහමාරකට පෙර අපගේ දියණිය ‍රැගෙන ගුවන් ගතවූ EY0279 යානයේ සළකුණක් හෝ සොයාගත නොහැකි විය..


සජීවී ප්‍රවෘත්ති චැනලයක Breaking News නැරඹීමට උපන් හදිසි ආශාව මා යටපත් කරගත්තේ බිරිඳත්, පුතාත් කලබළ විය හැකි නිසාය. වරක් ඉශාර ගුණවර්ධන මග පෙන්වූ, ගුවන් අනතුරු ගැන වහාම දැනගත හැකි වෙබ් අඩවියද මම බලෙන්ම අමතක කර දැමීමට උත්සාහ කලෙමි.


නිවසේ සියළු දෙනාම තම තමාගේ හැඟීම් යටපත් කරගෙන සිටින සෙයක් පෙනුනි. මේ ආකාරයේ ලයිව් ෆ්ලයිට් රේඩාර් වැඩ සටහන් වල ඇති විශ්වාසනීය භාවය ගැන සැක පළකල අප, නින්දට යාමට සූදානම් වීමු.


ඇඳේ ඒ අතටත් මේ අතටත් පෙරළෙමින් කල් ගත කල මා අසලකට වත් නිදි දෙව් දුව නොපැමිණියාය. මෙම ගුවන් ම‍ඟේ වැඩිම කොටස වැටී ඇත්තේ මුහුද මතිනි. ඒ මදිවාට, මේ රාත්‍රී ගුවන් ගමනකි. මා මෙසේ සුව පහසුව ඇඳක වැතිර සිටියදී, මගේ දියණිය මේ මොහොතේද අප ගැන සිතමින්, ඝණ අඳුරේ, කුණා‍ටු මුහුදක, රළ හා පොර බදමින්, ගුවන් යානයේ සුන් බුන් අතර පිහිණමින් නොගිලී සිටීමට සටන් කරමින් සිටින්නේ දැයි දන්නේ දෙවියන් පමණි. ඒ ඇයි දිවි ‍රැකගෙන සිටියොත්ය. මිනී කන මෝරු! ඇය අවට මුහුදේ පාවෙන වහා ගිණිගන්නා සුළු ජෙට් ඉන්ධන ටොන් ගණනක්!


ජීවිතාරක්ෂක කබා ඇඳ ගැනීමටවත් ඔවුන්ට කල් තියෙන්නට ඇත්ද? නැතිනම් මෙය ඒ තරම් ක්ෂණිකව සිදුවුනා වත්ද? ගුවන් අනතුරුවලින් සැලකියයුතු ප්‍රමාණයකට හේතු වන්නේ අයහපත් කාළගුණයයි. අනික, මිනිස් අතපසු වීම්. මා නරඹා ඇති Air Crash Investigations වැඩ සටහන් වල සියලුම කොටස් මාගේ ඇස් ඉදිරිපිට නැවතත් දර්ශනය වන්නට විය. වරක් එක් ගුවන් යානයක් බිම වැදී අණතුරට පත්වූයේ නඩත්තු කටයුතු වලදී ඇල්ටිටියුඩ් සෙන්සරය මත ඇලවූ මාස්කිං ටේප් කැබැල්ලක් ඉවත් කිරීමට අමතක වීම නිසාය. තවත් වරෙක, නියමුවා ලීටර් සහ ගැලුම් පටලවා ගැනීම නිසා ගුවනේදී ඉන්ධන අවසන් වූ යානයක් අනතුරට ලක්විය. නියමාකාරයෙන් නොවැසුනු දොරවල්, නැවත අලුත්වැඩියා කල පැරණි අමතර කොටස්, ලෝහවල සියුම් ඉරි තැලීම්, සිරවී අක්‍රීය වුනු යානාවේ පාලක මතුපිටවල්, වායු සමීකරණ කුටීරවල ඇතිවූ හදිසි ගිණි ජාලාවල්! දෙවියනි… වැරදී යා හැකි දේ කොපමණ නම් ඇත්ද!!


ඇය පිටත් වී යාමට මඳකට කලින්, ඇයගේ ගුවන් ගමන් බලපත්‍රයේ අන්තිම පි‍ටුවේ ඇතුල් පැත්තේ, ‘මරණය හෝ හදිසි අනතුරක් සිදුවුවහොත් දැනුම් දෙන්න’ යන කොටස මගේ අත් අකුරෙන් මගේ විස්තර පිරවීමට හිත දුන්නේදෛවයේ සරදමක් නිසාද?


මගේම දියණිය දිවි ‍රැක ගැනීමට සටන් කරද්දී ගෙදරට වී සුරක්ෂිතව, සුව පහසුව නිදා ගැනීමට උත්සාහ දැරීමද බලවත් වරද කාරී හැඟීමක් මතුල ඇති කලේය.


නැති නම්, යම් දෝශයක් සොයා ගත් නිසා. ඔවුන් ආපසු හරවාගෙන පැමිණ මාලේ හදිසි ගොඩ බැසීමක්වත් කලාද?


මේ සියල්ලේම ආරම්භය වූයේ ඇය ගිම්හාන නිවාඩුවට රුසියාවේ සිට මාල දිවයින කරා පැමිණීමත් සමඟය.


2013 ජූලි 05, සිකුරාදා: පැය1450:


මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලේ පැමිණීමේ පර්යන්තයේ LCD තිරයන් දෙස මා නෙත් යොමාගෙන සිටියෙමි. ඇය ‍රැගත් අබුඩාබි සිට පැමිණෙන Etihad ගුවන් සේවයට අයත් EY278 යානය ගොඩබැසීමට නියමිතව ඇත්තේ පැය 1455ටය. ඒ සඳහා තව ඇත්තේ විනාඩි පහක කාලයකි. අහස කලු වලාවන්ගෙන් බරව පැවති අතර කාළගුණය ඉතා අයහපත් විය. එක් වරම ධාරානිපාත වර්ශාවක් ඇද හැලුනි.


LCD තිරයේ වේලාව 1455 ලෙස සටහන්විය. ගුවන් යානය ප්‍රමාදය. මම නොඉවසිලිමත් වීමි.


නිකරුනේ කලබලවීම මගේ සහජ දුබලතාවයකි.

??????????


මට ඉමහත් සහනයක් ගෙන දෙමින් 1459ට ගුවන් යානය ගොඩ බෑ බව (LANDED) තිරයේ සටහන් විය.


රේගු කටයුතු සඳහා සෑහෙන වේලාවක් ගත කල ඇය අවසානයේදී ස්වංක්‍රීය දොර තුලින් ගමන් මලු ට්‍රොලියක්ද සමඟ මතුවූවාය.


මොස්කව් සිට අබුඩාබි දක්වා පියාසර කර තිබූ ඇය, අබුඩාබි සිට මෙහි පැමිණීමට පෙර එම ගුවන් තො‍ටුපළේ පැය ගණනාවක් ගතකර තිබුණි.


අප ට්‍රොලියත් තල්ලු කරගෙන ගුවන් තො‍ටුපළෙන් පිටතට ගමන් කරමින් සිටියදී හදිසියේ ලැබුණු SMS පණිවිඩය කියවීමට ඇය මඳකට නතර වූවාය. එය ඇගේ මිතුරන්ගෙනි. “We saw you landing.” පණිවිඩයෙන් කියැවිනි. ඇගේ මිතුරන් ෆ්ලයිට් රේඩාර් ආධාරයෙන් ඇයගේ යානය ගොඩ බසිනු නරඹා තිබුනි.


ඉන් දින කිහිපයකට පසු ඇයත් සමඟ අප සේවය කරන දූපතට පැමිණියේ පැය 13ක මුහුදු ගමණකින් අනතුරුවය.


නිවාඩුවේ ගතවූයේ සිතාගත් නොහැකි වේගයෙනි.


දින සති අප අතැඟිලි තුලින් රිංගා ගියේ සියළුම යහපත්දේද අවසන් වේ යන කියමන සැබෑ කරවමිනි. අවසනදී ඇය ආපසු යා යුතු දිනයද ලංවිය.


2013 අගෝස්තු 30:


ඇගේ ආපසු ගමන සඳහා මෙවර ආසන්න දූපතක පිහිටි අභ්‍යන්තර ගුවන් තො‍ටුපළට ඇය හැරලීම සඳනා අප අධිවේගී බෝට්‍ටුවක් කුළියට ගතිමු. එවිට ඇයට පැය දහතුනක මුහුදු ගමන වෙනුවට පැයක කාලයකින් මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපළට ලඟාවිය හැකිය. අභ්‍යන්තර ගුවන් සේවාවක් මගින් ක්‍රියාත්මක වන මෙම de Havilland Dash 8 වර්ගයේ කුඩා මගී යානාව නිල් අහසේ නොපෙනී යන තෙක් බලා සිටි අප තිදෙනා ආපසු බෝට්‍ටුව වෙත පැමිණියේ බරවූ හදවත් වලිනි.


රළු මුහුද කලඹාගෙන රල මතින් පනිමින් ගමන් කල අධිවේගී බෝට්‍ටුව අපගේ දූපතට ලඟාවීමෙන් අනතුරුව, කුළී රියකින් නිවහන බලා යද්දී, දුරකථනයෙන් කතාකල දියණිය ඇය මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ලඟා වූ බව කීවාය. නිවී සැනසිල්ලේ, අබුඩාබි බලා යන යානයට යා හැකි ලෙසත්, අන්තිම මොහොතේ අභ්‍යන්තර ගුවන් ගමන් ප්‍රමාද වීමෙන් හෝ අවලංගු කිරීමෙන් ඇතිවිය හැකි ගැටළු මඟ හැරීම පිණිසත්, ඇය අවශ්‍ය වේලාවට වඩා පැය කිහිපයක් කලින් එහි ලඟාවීමට කැමති වූවාය.


රාත්‍රියේ ගමන් කරන EY 0279 දරණ යානයෙන් අබුඩාබි බලා ගමන් කරන ඇය, අබුඩාබි සිට මොස්කව් ‘දොමොදෙදෝවෝ’ ගුවන් තො‍ටුපළ කරා ගමන් කරන EY0069 යානය පැමිණෙන තෙක් පැය ගණනාවක් එම ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටීමට නියමිතව තිබුණි.


මෙම එයාබස් A320 යානය පැය 2025ට මාලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපලෙන් ගුවන් ගත වී විනාඩියටඅඩි 2000ක නැග්මකින් ඉහල නගිනු ලැප්ටොප් පරිගණක තිරයේ ෆ්ලයිට් රේඩාර් වෙබ් අඩවියෙන් අප බලා සිටියෙමු.


අතුරුදහන් වී ඇත්තේ මාලේ සිට අබුඩාබි දක්වා ගමන් කල මෙම ගුවන් යානයෛ මෙම ගුවන් යානයයි.


2013 අගෝස්තු 30: හිමිදිරි උදෑසන:


නින්දත් නොනින්දත් අතර පාවෙමින් සිටි මා හදිසියේම පාන්දර හතරට අවදිවී ඉද්ද ගැසුවාක්මෙන් ඇඳේ ඉඳගතිමි. වහාම ඇඳ අද්දර මිටි ස්ටූලය මතවූ ලැප්ටොප් පරිගණකය පණගැන්වූ මා සියල්ලටම පෙර Yahoo Mail විවෘත කලෙමි. ඊට කලින් මතුවූ යාහූ මෙසෙන්ජර් දැනුම් දීමෙන් කියැවුනේ නව ලිපියක් ලැබී ඇති වගයි. ලිපිය තිරයේ මතුවන තෙක් නොඉවසිල්ලකින් පසු වූ මම “අනේ ඒ මේල් එක එයාගෙන් වෙයං!” යි මැතුරුවෙමි.


ඔව්. ඒ ලිපිය ඇයගෙනි.


“Arrived safely in Abu Dhabi:


(අබුඩාබි වලට නිරුපද්‍රිතව ලඟා වුනා.)


got the food coupon too. got a sheet too.now found a nice place to stay.took everything from the flight. didn’t leave anything behind angels. going to set many alarms don’t worry. i will send a message when i go to Moscow. dont worry ok. will send another mail if net works before i go. gave rice in the flight. ate and very full now. brought the biscuits and things in the bag.


dont worry and jump up. im fine ok


මට දැනුන සහනය කොතරම්ද යත් මම ප්‍රීතියෙන් උඩ පැන්නෙමි. වහාම බිරිඳවත් පුතාවත් නින්දෙන් අවදි කල මා සුභාරංචිය ඔවුන්ට පැවසුවෙමි. ඇත්තෙන්ම නිදා සිටින කෙනෙකු අවදි කර යහපත් ආරංචියක් පවසන්නට හැකි වීම ඉතාම සුන්දර අත්දැකීමකි. රාත්‍රියේ (හෝ උදෑසන) ඉතිරිය අප සිතේ සැනසුමෙන්, ප්‍රීතියෙන් ඉපිළෙමින් නිදා ගතිමු.


2013 අගෝස්තු 30: පැය0700:


උදෑසන, ඇය මොස්කව් ගුවන් යානය පැමිණෙන තෙක් අබුඩාබි ගුවන් තො‍ටුපළේ ‍රැඳී සිටිනා අතරතුර මම නැවතත් ෆ්ලයිට් රේඩාර් වැඩසටහන වඩා හොඳින් ගවේශනය කලෙමි. පෙරදා රාත්‍රියේ මා නොදු‍ටුවත්, ගුවන් ගතවී ඇති යානා ලැයිස්තුව කියවද්දී ඒවායින් සැලකියයුතු ප්‍රමාණයක් ඉදිරියෙන් missing (අතුරුදහන් වී ඇත) යනුවෙන් සඳහන් වී ඇති බව දක්නට ලැබිණි. මෙම වැඩ සටහනේ ගුවන් යානාවක් ඉදිරියෙන් missing යනුවෙන් සඳහන් වීම කලබල නොවිය යුතු සාමාන්‍ය දෙයකි


පැය 0845ට, ඈ පැය පහකුත් විනාඩි 25ක් ගතවන, කිලෝමීටර් 3707 ක දුරකින් පිහිටි මොස්කව් දක්වා ගමනාරම්භ කලාය. තිරය විශාලනය කල අප (zoom in)ඇය ‍රැගත් යානය ධාවන පථ අංක2121න් ගුවනට නැගෙනු බලා සිටියෙමු. යානය රේඩාර් තිරයෙන් අතුරුදහන් වූවද පෙර මෙන් බියවිය යුතු නැති බව අවබෝධ කරගත් අප, යානය සාමාන්‍ය පියාසර උසට නැග පොළොවට සමාන්තරව ගමන් අරඹන තෙක් බලා සිට, එදිනෙදා සාමාන්‍ය වැඩ පළවල නිරත වූයෙමු. .

Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-30-20-3 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-30-20-3 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-37-30-10 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 10-48-58-19 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 12-09-02-22 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 15-10-06-24 Flightradar24-com-Live-flight-tracker- 2013-08-31 15-20-58-32


පැය 1400ට අප නැවතත් EY0069 යානයේ ගමන් මග පරීක්ෂා කල විට එය මොස්කව්හි දොමොදෙදෝවෝ ගුවන් තො‍ටුපළ වෙත ළඟාවෙමින් පැවතුනි.ධාවන පථය මතට යානය පතිතවූ යානය වේගය අඩු කරත්ම මගේ දුරකථනයට ලැබුනු SMS පණිවිඩයකි.


“Angels, landed in Moscow just now. Still in the aircraft. Taking all the hand luggage. Don’t worry.”


We stopped worrying.


The eagle has landed.


වරක් මගේ පුතාගේ ෆේස්බුක් පි‍ටුවේ වූ මේ සටහන මගේ සිතට නැගුනේ නිරායාසයෙනි.

sinhala


PS: This is not a story about aviation, but parenting.


ප ලි: බැලූ බැල්මට මේ ගුවන් ගමන් ගැන කතාවක් සේ පෙනුනද, මේ සැබැවින්ම දෙමාපිය සෙනෙහස පිළිබඳව වූ කතාවකි.


Originally published @ HeyDude in English Language.


Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , , , , , , ,

109. බාස් කතා. මේසන් බාස්.

109. බාස් කතා. මේසන් බාස්.

නිවාඩු කාලේ බාස් කතා -1 ට මෙතනින් ගියෑකි.

නවම් ගොයියයි, පන්සල් හන්දියයි අපේ ගෙදර ආපු දවසක ඇහුවා, ‘ඈ බං අයියෙ, අර කෑලි බෑලි හයි නොකර බිත්තියට හේත්තු කරලා තියෙන්නෙ මොකෝ?’ කියලා. මම කිව්වාම ඕකට 2006 ඉඳන් බාස් කෙනෙක් අල්ලගෙන කරන්න වෙලාවක් හම්බවුනේ නෑ කියලා, දෙන්නම කියපු දෙයක් තමයි, ‘අනේ බං , මේ පාර වත් ගෙදර ආවාම ඔක්කොම පැත්තක තියලා බාස් කෙනෙක් අල්ලගෙන ඔය ටික හයි කරාපං,’ කියලා.

ඕන්න මේ පාර වැඩේ දෙන්නම හිතාගෙන තමයි ආවේ.

අපේ ගෙදර සමහර බාස් වැඩ කරලා තියෙන්නෙ දීපයි මායි අපේම අත් වලින්. බාත් රූම් එකේ තාවකාලික වොෂ් බේසින් එකකුයි, ටොයිලට් එකකුයි හයි කලේ බදාම අනලා කොන්ක්‍රීට් දාලා අපි දෙන්නමයි. ඉස්සර කොන්ක්‍රීට් අනලා අමාරුවට දෙන්නම පැනඩෝල් දෙකක් බීලා තමයි නිදාගන්නෙ. අපි දෙන්නා බාස් වැඩ කලා කිව්වාම දැන් හිතන්න එපා ඒවා බාල ක්වොලිටියෙ වැඩ කියලා. අර මම කවදත් කියනවා වගේ අපි බාස්ලට වැඩිය හොඳට ඒ වගේ වැඩ කරලා තියෙනවා. හේතුව ඒවා අපේම බඩු නිසා, අර පරෙස්සමෙන්, උපරිම ප්‍රමිතියෙන්, හැකි ඉහලම අයුරින් කරන නිසායි. වංචා නොකරන නිසායි.

ඉතින් අර වොෂ් බෙසින් එකයි, ටොයිලට් එකයි (සිංහලෙන් කොමෝඩ් එකයි) කොන්ක්‍රීට් බිමට හයි කරලා තිබ්බේ මම කොළඹ ගල්වලට ගිහින් අරන් ඇවිත් තිබ්බ මල නොබැ‍ඳෙන වානේ ඇණ මුරිච්චි භාවිතා කරලා. ඒක දැක්කාම කිසි කෙනෙක් හිතුවෙ නෑ මේක අපි වගෙ ආධුනික DIY ජෝඩුවකගෙ වැඩක් කියලා.

ඕන්න මේ පාර බාස්ලා සෙට් එකක් හොයාගෙන, (ඇත්තම කිව්වොත් සෙට් දෙකක්) වැඩේ කරගෙන යනවා. හැබැයි ඇහැ ගහගෙන නොහිටියොත් බඩුම තමයි. ඔන්න අර අපි දෙන්නා හයි කරලා තිබ්බ උපාංග ගලවන එක තමයි ඉස්සෙල්ලම කලේ. වොෂ් බේසින් එක හයි කරලා තිබ්බෙ පෙඩස්ටල් එකක් උඩ. ඔන්න බේසම නම් ගැලෙව්වා මම දාලා තිබ්බ ඇණ ගලවලා, ෆ්ලෙක්සිබල් හෝස් එක බිත්තියෙන් ගලවලා. එතකොටම මට යන්න වුනා විනාඩියකට හෝ දෙකකට එලියට අර අනිත් සෙට් එක කරන්න ගිය මක බාස් වැඩක් නවත්තන්න. ආපහු එනකොට පෙඩස්ටල් එක නෑ.

“අහ්, ගැලෙව්වද බාස් උන්නැහෙ පෙඩස්ටල් එක මෙච්චර ඉක්මනට?”

“ඔව් මහත්තයා, අන්න අර කාමරෙන් ගිහින් තිබ්බා, බේසමට එහා පැත්තෙ.”

වැඩේ කරලා තියෙන හැටි මම දැක්කෙ, විනාඩි කීපයකට පස්සෙ බුවාලා තේ බොන්න ගියාමයි.

DSCN9454

මේ කරලා තියෙන්නෙ ලෙසටම!

අර මම දාපු මල නොබැ‍ඳෙන වානේ බෝල්ට් දෙක, එක්කො දැකලා නෑ, නැතිනම් ඒක කරකවන්න රෙන්ච් එකක් හොයාගන්න කම්මැලි කමට පෙඩස්ටල් එක පොලොවෙන් උදුරලා අරගෙන. අඩියෙ කෑලි දෙකක් කැඩිලා ගිහින්. ආයෙ ඉතින් ඒකෙන් වැඩක් නෑ. ඇත්තෙන්ම ඒ සෙට් එකෙන්ම වැඩක් නෑ. මම බාත් රූම් එකට දුවලා බැලුවා. යකෝ මේ තියෙන්නෙ අර ඇණ දෙක තවම කොන්ක්‍රීට් එකට හයිවෙලා පෙඩස්ටල් එකේ මුලත් එක්ක.

පස්සෙ මම බුවාලාගෙන් ඇහුවා. කොහොමද බාස් උන්නැහෙ අරක කැඩුවෙ? දැක්කෙ නැද්ද ඇණ දෙක?”

“ආහ් ඒක කැඩුනනෙ ගලවන්න ගිහින්. මහත්තයලා එකට සිමෙන්ති දාලනෙ මුලට.”

සභ්‍යත්වයේ නාමයෙන් මට හිතුන, කටට ආපු, නමුත් නොකියපු දේ මෙතන සඳහන් නොකර ඉන්න තීරණය කලා, මම.

ඒ එක සිද්ධියක්.

බාස් උන්නැහෙලා පාවිච්චි කලේ එලියෙ තිබ්බ, මම වාහනේ හෝදන්නයි ගස් වලට වතුර දාන්නයි හෝස් එකක් හයි කරලා තිබ්බ වතුර කරාමෙ. ඒකෙ අග මම හයි කරලා තිබ්බා අර වතුර පාර සීරුමාරු කරන්න පුලුවන් නොසල් එකක්. බාස් තුමාලා මුලින්ම කැඩුවෙ ඕක. මමත් හිටියා නොකර සද්ද. හවස බුවාලා ගෙදර ගියාම මම දැක්කා ටැප් එකත් කඩලා බව. ඒ කියෙන්නෙ අර ගාඩන් ටැප් කියන වර්ගයෙ අර හෝස් එකක් ගහන්න හදලා තියෙන කෑල්ල.

පහුවදා උදේ බුවාලා ආවාමවත් මම මොකුත් නොකියා ඉන්න තීරනය කලා.

ටිකකින් අත් උදව් දෙන බුවා මට කියනවා,

“සෑර්, අතෙන්ට ටැප් එකක් දාන්න වෙයි!”

“හුහ්, මට කියනවද කොහොමද ඔය ටැප් එක කැඩුවෙ කියලා.”

“ආහ්, ඒක බාස් උන්නැහේට පෑගුනානෙ, ඊයෙ නානකොට”

“මොනවා මනුස්සයො? ටැප් එක පෑගුනා?”

මටත් හිතුනෙ නෑ ටැප් එකක් දාන්න. මම ඔහෙ නිකං හිටියා.
බුවාට මුලින් හෝස් එක ගහලා වතුර ගන්න තිබිච්ච චාන්ස් එක නැති නිසා වතුර බාල්දි උස්සගෙන යනවා මම දැක්කා.

ඒ තවත් කතාවක්.

ඒ කතා දෙකම එකම වර්ගයෙනෙ, නැද්ද? “බාස් උන්නැහෙලා ඔහොම තමයි. ඒගොල්ලන්ට ගානක් නෑ ඔය වගෙ දේවල්!” ඔන්න ඔහොමනෙ අපි ඒවා සධාරණීකරණය කරන්නෙ. එහෙනම් මේන්න අහගන්න.

බාස් බුවා වැඩට එන්නෙ පල්සාර් එකක. බුවා බයික් එක නවත්තන්නෙ පාර මැද්දෙ හන්දා මම කිව්ව ඒක පඩිපෙල ලඟට දාන්න කියලා, පාර අවහිර වෙන නිසා.

දවසක් ගඩොල් ට්‍රක් එකක් ඇවිත් ගඩොල් බාන්න පඩි පෙල ලඟට රිවර්ස් කරනවා වැස්සෙම. ටිකකින් ඔන්න දොර ඇරලා ගඩොල් බානවා.

ඔන්න මේ අස්සෙ මට ට්‍රැක් පනින්න වෙනවා. අපේ ගේ හදන්න මුලින්ම අපි ගෙනාපු ගඩොල් තොගේ බාගෙට හදපු ගේ ඉස්සරහ ගොඩ ගහලා තියෙනකොට, අසල්වැසියෝ ගඩොල් පන්සීය, දාහ වගෙ ඉල්ලාගෙන ගියා එක එක හදිස්සි වලට. “අයියේ, අක්කේ, අනේ බං අර බාස්ලා ගඩොල් නැතුව වැඩේ නවත්තන්න හදන්නෙ, මට ගඩොල් පන්සීයක් දෙනවද, මගෙ ගඩොල් ලෝඩ් එක ගෙනාපු ගමන් ආපහු දෙන්නම්.” ඉතින් ඔය විදියට මගෙ ගඩොල් දෙදාස් ගානක් නොඑන ගමන් ගියා. මම ආපහු ඉල්ලන්න ගියේවත්, එතුමලා ඒවා ආපහු ගෙනත් දෙන්න හැදුවේවත් නැතිබව ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ.

ඔන්න මේ වෙලාවෙ ඕනෙ වුනේ ගඩොල් 500ක් වගෙ සුළු ගනනක් විතරයි. ඉතින් අර කට්ටිය මාව හොයාගෙන් ඇවිත් අර ගඩොල් ආපහු දෙන්න අහන්න ඇති නේද? හෙහ් හෙහ්. මම අහන්න ගියේ නෑ. මම හාඩ්වෙයාර් එකෙන් අන්තිමට ගඩොල් ගත්තෙ. මොකද බලපු එක පෝරණුවකවත් ගඩොල් නෑ.

ඔන්න ඔය ගඩොල් ටික තමයි අර ට්‍රක් එකේ ආවේ.

ඕන්න බාස් දුවගෙන ආවා, ඇස් ලොකු කරන්.

“වැදුනද, වැදුනද?”

“මොනවද බාස් උන්නැහෙ?”

“මගෙ බයික් එකේ වැදුනද ට්‍රක් එක රිවර්ස් කරද්ද?”

“පිස්සු කතාකරනවද බාස් උන්නැහෙ? ට්‍රක් එක තියෙන්නෙ මෙතන. ඔයාගෙ බයික් එක තියෙන්නෙ අතනනෙ. අපි එච්චර පස්සට ගත්තෙ නෑ. මෙතනන ගඩොල් බාන්නෙ.”

“ඇත්තද? මම හිතුවේ වැදුනා තමයි කියලා.”

පේනවා නේද වෙනස?

ඒ කියන්නෙ බාස් උන්නැහෙලත් අපේ බඩු ගැන වගේ නෙවෙයි, තමන්ගෙ බඩු ගැන හරිම ප්‍රවේසම්, නැද්ද?

මෙන්න මම ආසම කතාව.

මීට දවසකට පස්සෙ, මම ගෙනාව යකඩ පලංචි දෙකක්, යාලුවෙක්ගෙන්. බාස් උන්නැහේලා පලංචි එකහමාරක් විතරක් පාවිච්චි කරන නිසා එක කකුලක් ඔහේ පැත්තක දාලා තිබ්බා. මම ඒක බාස් උන්නැහෙ කෙනෙකුට කිව්වා මේක උඩට දාන්න කියලා. එහෙම කියලා මමයි පුතයි පඩිපෙල දිගේ උඩට ගියා. අර බයික් එක අයිති බුවාගෙ හොඳම යාලුවෙක් වන මේ බුවා, පලංචි කකුල උස්සලා ගත්තා. අරන් රවුමක් කැරකුනා. පලංචි කකුලක් දඩාං ගාලා මොකකද වදින සද්දයක් ඇහුනත් මම ගනං ගත්තෙ නෑ.

පස්සෙ බැලින්නම් අර පොර පලංචිය වද්දලා යාලුවගෙ පල්සාර් එකේ. වයිසර් එක පුපුරලා. පෙට්‍රල් ටැංකිය එබිලා. දැන් හෙන අර්බුදයක්. ඇත්තෙන්ම ඔය පලංචිය හප්පපු බුවා හරිම අප්‍රවේසම්. ටිකකින් පොර දුවගෙන ආවා මා ලඟට.

DSC_0304“සෑර්, මාර අප්සැට් එකනෙ. අරක හදාගන්නෙ කොහොමද? මේ ලඟ තැනක් නැද්ද”

“පෙට්‍රල් ලීක් වෙනවද?

“නෑ, ඒ වුනාට අරයාට හෙන අප්සෙට්.”

මම අත්දැකීමෙන්ම දැනගත්තා මේ එන්නෙ මගේ දත ගලවන්න බව.

“මම දන්න එවුන් මෙහෙ නෑ කවුරුවත්. හිටියත් මේ වෙලාවට වහලා.”

පල්සාර් එක අයිති බුවාත් හරියට, හත්තිලව්වට ගහපු කලාබරේ වගේ මූණ හදාගෙන මා දිහා බලනවා, අරූට ගොරවනවා, ටැංකිය අතගානවා.”

“තමන් ආදරේ කරන වාහනයකට මොනවා හරි වුනාම මාර අප්සෙට් නේද?”

“ඔව් මහත්තයා.”

ඇස් යුගල් කීපයක බලාපොරොත්තුවේ එළි දැල්වුනා.

“මේ බලන්න, මම පෙන්නුවා වෑන් බොඩියෙ තියෙන පලුදු. මේක නුවර පාරෙදි එකෙක් ට්‍රැ‍ෆික් එක මැද්දෙදි කෙලලා ඇරලා. පේනවා නේද?
එතකොට මේක, මේ එක පොරක් මගෙ පාර හරහා කම්බි කණු හිටෝලා මම ඒවා අස්සෙන් රිංගන්න ගිහින්… “

අර බලාපොරොත්තුවේ එළි නිවිලා ගියා.

මට මේ ලැයිස්තුවට එකතු කරන්න තවත් එකක් පලංචිය බයික් එකේ ඇන්න බුවාම හදලා ගිහින් තියෙන බව මම දැනගත්තෙ අපි කට්ටිය රෑ යාලුවෙකුගෙ ගෙදරයන්න හදනකොට. මේකා වීල්බැරෝ එක බිත්තියට හේත්තුකරලා ගිහින් මම වාහනේ හරවාගන්න රිවර්ස් කරන බිත්ති මුල්ලෙම.

ඔබ බ්ලොගර් මිතුරෙකු නම් මගේ ඩෙනිමේ පළවූ මුල් ලිපියට මෙතනින්.

 

ටැග: , , , ,

108. බාස් කතා / ගරාජ් බාස්.

108. බාස් කතා / ගරාජ් බාස්.

කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.

ඒත් මුලින්ම ‘ගරාජ් බාස්’.

ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ ‘පවර් ස්ටියරින් ‍රැක්’ එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක. මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, ‘ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,’ කියලා හිතාගෙන.

“මේකට මහත්තයෝ ‍රැක් එක දාන්න වෙනවා,” කිව්වාම මම ගල් වුනා.

හරි, ඉතින් ‍සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.

ඔය වගෙ ගැජට් එකක් දැම්මාම අනිවා වාහනේක අලයින්මන්ට් ආපහු තියන්න ඕනෙ. අලයින්මන්ට් කියන්නෙ ඉස්සරහ රෝද දෙක තියෙන්න ඕනෙ කෝණ කීපයක්. මේවා කැස්ටර්, කෑම්බර්, ටෝ ඉන් කියලා තුන් ආකාරයි. ඕක වැරදුනාම ටයර් වල පැත්තක් අධික වේගයෙන් ගෙවී යාම, වේගයෙන් ධාවනය කිරීමේදී පාලනය අපහසු වීම, වගෙ විවිධ රෝගාබාධ හැදෙනවා.

අර ගැජට් එක හයි කරලා ඉවරවෙනකොට රෑ වේගන ආපු නිසා මම ටිකක් අප්සෙට් ගහලා හිටියෙ, අලයින්මන්ට් තියන වර්ක්ෂොප් එක වැහැව්වොත් කියලා, මොකද පහුවදා ගල් පාන්දර දඹුල්ලට යන්න යෙදිලා තිබ්බ නිසා අලයින්මන්ට් තියන්න බැරිවේවි කියලා. එතකොටම අර මගෙ බාස් උන්නැහෙ බුවා කිව්වා, ‘අන්න අහවල් සුලුනගරෙ තියෙනවා අලුත් තැනක්, ගිහින් බලන්නකො නියමෙට කරනවලු’, කියලා.

මාත් අර මම වෙනදට යන තැන බලා වේගයෙන් ගමන් කරද්දි, අර කියපු සුලු නගරෙ පහුවෙනකොට වෙලාව හයත් පහුවෙලා තිබ්බ නිසාත්, අර කිව්ව අලුත් තැන තවමත් ඇරලා තිබ්බ එතැනට ගියා කොහොමද කියලා බලන්නත් එක්ක.

වාහනේ වලට දාලා, කම්පියුටරේට සම්බන්ධ කලා. නමුත් කම්පියුටරේ වැඩ සටහන තෝරන්නෙ අලයින්මන්ට් තියන බුවා නෙවෙයි, සමහර විට හතර, නැතිනම් පහ වසරෙ ඉගෙනගන්න බුවාගෙ පුත්තරයා. අනික මේකෙ අලයින්මන්ට් තියන්න මේ බුවා වැඩි දෙයක් කලෙත් නෑ, ‘කැස්ටර් කැම්බර් නම් හරි, තියන්න ඕනෙ නෑ,’ කියලා පොර කිව්වා. කොහොම හරි බුවා අලයින්මන්ට් තියන ගමන්ම ටයර් කඩේට දුවනවා, ටයර් එකක් විකුණන්න හරි, ගණං කියන්න හරි. ඊට පස්සෙ ආපහු දුවගෙන ඇවිත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙම දුවනවා පැච් එකක් දානවා. ඔන්න ඔය විදියට බුවා අලයින්මන්ට් තියලා රුපියල් අටසිය පනහක ගාස්තුවක් අය කරලා, මාස කීපයක වගකීමකුත් එක්ක මට සහතිකේකුත් නිකුත් කලත්, මට මේ අලයින්මන්ට් තිබිල්ල නම් ඇල්ලුවෙම නෑ.

මට පුදුම හිතුනෙ මේ බුවාට ස්ටියරිං වීල් එක ගලවාගන්න බැරි වෙච්ච එකයි. (අලයින්මන්ට් තිබ්බාම ස්ටියරිං වීල් එක කෙලින් තියෙන්න ගලවලා ආපහු හයි කරනවා නියම අතට.)

මේ බුවා නට් එක ගලවලා ස්ටියරිං වීල් එකට දෝයි දෝයි ගාලා ගහලා ගහලා, පස්සෙ එතනට ආපු යාලුවෙකුටත් කියලා, ඒ බුවත් තවත් ටිකක් පතබෑවත් ස්ටියරිං එක ගැලවුනේ නෑ. පස්සෙ මේකා කිව්වනෙ, ‘අනේ ආපහු ගරාජ් එකට ගිහින් මේක ගලවා ගන්න,’ කියලා.

පස්සෙ ගරාජ් එකට ගියාම බුවා අර පැය කීපයකට කලින් මට නිර්දේශ කරපු අලයින්මන්ට් බාස්ගෙ මව්ගුන වයලා එක පාරින්ම (වන් ෂොට්) වීල් එක ගැලෙව්වා.

පහුවදා ගල්පාන්දර දඹුල්ලට ගිහින් ගෙදර ආවා පට්ට පාන්දර.

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

දවස් කීපයකට පස්සෙ මම අර මගෙ සුපුරුදු අලයින්මන්ට් තියන බුවා හම්බවෙලා කතාව කියලා දැම්මා අලයින්මන්ට් චෙක් කරන්න වලට. පොර වලට බැහැලා දිග ලීවරයක් අරගෙන එහෙට මෙහෙට ඇනලා පෙන්නුවා මට.

අයියෙ ලෝවර් සස්පෙන්ෂන් ආම් බුෂ් එක ගිහින්. මේ!
ආයෙම ඇන්න ලීවරෙන්.

අයියෙ, ටයි බාර් බුෂ් ගිහින්, මේ!

“එතකොට මල්ලි ඒවා ගහන්නෙ නැතුව අලයින්මන්ට් තියන්න බෑ නේද?”

“බෑ අයියෙ, ගිහින් මේ බුෂ් ටික ගහගෙනම එන්නකො.

මාත් ඉතින් ගිහින් බුෂ් ගහගෙන පහුවදා ආවා.

DSC_0199

පොර රුපියල් හත්සිය පනහකට එළකිරි වගෙ අලයින්මන්ට් තිබ්බා. ඇත්තටම මේ බුවා නියම ප්‍රොෆෙෂනල් වැඩ්ඩෙක්. පාවිච්චි කලෙත් ඉතාලියේ නිශ්පාදිත අලුත්ම පරිගණක පද්ධතියක් සහ වැඩ සටහනක්.

පළවෙනි ප්‍රශ්ණය: මේකට ඔය කිට්‍ටුවම තියෙන පවර් ස්ටියරිං ‍රැක් එක දාන්න යට රිංගපු වෙලේ බාස් උන්නැහේ ඔය බුෂ් ටික නොදැක්කෙ ඇයි?

දෙවෙනි ප්‍රශ්ණය: ඇත්තෙන්ම ගලවලා බැලුවාම ගන්නම දෙයක් නැති, මේ බුෂ් ටික දාන්නෙ නැතිව අලයින්මන්ට් තියන්න බැරිනම් අර යක්සයා අලයින්මන්ට් තියලා මට මාස මාස කීයකද වගකීමකුත් එක්ක සහතිකයක් නිකුත් කලේ කොහොමද?

ප ලි: මේ පින්තූරවල තියෙන්නෙ අර ප්‍රොෆෙෂනල් අලයින්මන්ට් බුවාගෙ වර්ක්ෂොප් එක.

ප. ප. ලි.
මේ ලිපිය මුල් වරට පල වුනාම ඇනෝ හිතවතෙක් අහලා තිබුනා එයා බෑග් තියෙන ස්ටියරිං වීල් ගලවන්නෙ කොහොමද මේ වෙලාවට කියලා. ඒ ප්‍රශ්ණයත්, ඒකට මම දීපු පිළිතුරත් මෙතන දාන්නෙ ඒකත් වැදගත් ප්‍රශ්ණයක් නිසා.

  1. Henry
    I can’t understand one thing.As far as I know no need to remove the steering wheel to centre it.Think about a new car with an Air bag.It is a somewhat hard to remove the wheel as first you have to isolate air bag and then after reinstalled it to the safety computer.Can’t do all these without a scanner or proper analyser.

    ReplyDelete

  2. Hi Anonymous. Thanks for the comment. It is like this. The alignment program, at one point displays the on screen message “Now straighten the steering wheel” or something similar to that. The alignment dudes ignore this. When I asked the more experienced dude why won’t he follow that, he said the older vehicles have too much play in the steering system that it won’t really do the trick. And that really would work with the latest vehicles with airbags,” he added.
    I think in the vehicles like that simply straightening the steering wheel would do the trick.

    මෙම ලිපිය මුල් වරට මගේ ඩෙනිමේ පළවූවකි.

 

ටැග: , , , , ,

104. යුරේකා!!!!!

104. යුරේකා!!!!!

ජනවාරි පළමුවෙනිදා පාන්දර දෙකකුත් ගානකට අපි ආපහු ආවා.

අපිට කලින් ගෙදර ගිය ඉන්දියානුවො අපිට දවස් පහකට පස්සෙ ආපහු එද්දි, කප්පාදුවට ලක්වෙච්ච අපේ නිවාඩුව හමාරවෙලා ආපහු එන්න සිද්ද වුනා.DSCN2178

නිවාඩු කාලේ බාස්ලත් එක්කම ගතකරපු නිසා ඇවිදින්න ලැබුනේ අඩුවෙන්. කොහොමත් අපි ගමන් යන්නෙ ක්ෂණිකව ගන්න තීරණ මත නිසාත්, පළවෙනිදා හැන්දෑවෙ ආපහු යන්න තියෙන නිසාත් පහුගිය දෙසැම්බර් තිස්වෙනිදා අපි A4 මාර්ගය දිගේ ඔහේ යන්න තීරණය කලා එක දවසේ රෝඩ් ට්‍රිප් එකක්.

අපි බෙලිහුල් ඔයෙන් ආපහු හැරුනේ දවසෙන් ආපහු එන්න ඕනෙ නිසයි

DSCN2733 DSCN2245මුලින්ම කියවලා ඉන්නකො මම දෙදාස් එකොලහේ නොවැම්බර් මාසෙ,  ලියපු, “මෙන්න මෙතනිං කපපං මචං’ කියන මේ ලිපිය.

මුල් ලිපිය කියවන්න කැමති නම් මෙතන කොටන්න.

මට ඒ මුල් ලිපියට වෙනස්කම් කීපයක් කරන්න වුනා මීට දවස් කීපයකට කලින් සිදුවෙච්ච යම් සිදුවීමක් නිසා. මේ තියෙන්නෙ ඒ සංශෝධිත ලිපිය.

‘මෙන්න මෙතනිං කපපං මචං!’

මේ කාලෙ අපි හිටියෙ බලංගොඩ වැලිහරනාව පාරෙ කුලී ගෙදරක. මේක ක‍තෝලිකයෝ වාසය කරපු ප්‍රදේශයක්. නිවාඩු වෙලාවට අහල පහල හිටිය නෙවිල්, ටෙනිසන්, රිචර්ඩ්, ජනක වගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි මට තිබ්බ ලොකුම රාජකාරිය.

දවසක් ජනකලගෙ ගේ පිටිපස්සෙ ඉඳගෙන අපි සෙල්ලම. ජනකලත් අපි වගේම බස්නාහිර පළාතෙන් ගිහින් කුලී ගේක හිටපු කට්ටියක්. ටෙනිසන්ලා, නෙවිල්ලා, රිචර්ඩ්ලා ගමේම කොල්ලො.

රිචර්ඩ් ඇහුවා, “උඹලා දන්නවද මචං පොල්පිති ගොන්නු හදන්න?” කියලා.

අපි කිව්ව දන්නෙ නෑ කියලා.

“එහෙනං පිහියක් අරං වරෙං, මචං,” රිචා ජනකට කිව්වා. ජනකයා උගේ මනෝමය කාර් එකේම ‘බෲම්’ කියාගෙන ගිහින්, ආපහු ඇවිත් හෑන්ඩ් බ්‍රේක් එකත් ඇදලා, පාක් කලා කාරෙක. ජනකයා ගෙනත් තිබ්බෙ හොඳට බර තියන කුස්සි පිහියක්.

ඔන්න රිචා ඉස්සෙල්ලම ගොනා පොල්පිත්තෙන් හැදුවා තමන්ටම.

මූ සෑහෙන ලොකු ගොනෙක්!

ජනකයට ඕනෙ වුනේ ඊට වැඩිය පොඩි එකෙක්.

“පෙන්නපං උඹට ඕනෙ සයිස් එක.” රිචා පිහිය අමෝරාගෙන කිව්වා.

ජනකයා ඇඟිල්ල පොල් පිත්ත උඩ එක තැනෙකින් තියලා,

“මෙතනිං කපපං මචං.” කිව්වා.

රිචා ‘ඩකාස්’ ගාලා කෙ‍ටුවා හරියටම කියපු තැනට. අප්සෙට් එක, ජනකයට ඇඟිල්ල ගන්න බැරිවෙච්ච එකයි. ජනකයගෙ ඇඟිල්ල දෙකට කපාගෙන ගිය මහ පිහිය, ඩකස් ගාලා පොල්පිත්තෙ හිරවුනා.

ජනකයගෙ ල‍තෝනියට ජනකගෙ අම්මා, කුමාරසිංහ ආන්ටි දුවගෙන ආවා. ඇඟිල්ලෙන් ලේ විදිනවා!

ඇඟිලි පුරුක් දෙකක් හමෙන් එල්ලිලා තියෙනවා! මට මතක විදියට ආන්ටිට එතනම සිහිය නැතිවුනා. රිචා යකෙක් දැකලා වගෙ ගල් වෙලා. මට හැම දෙයක්ම හීනයක් වාගෙ.

එතකොටම කොහෙද ගිහින් ඉඳලා අපේ තාත්තා ආවා එයාගෙ තඩි මෝට බයික් එකෙන්. දැන් මිනිස්සු පිරිලා. හැමෝම කෑ ගහනවා. කවුදෝ රෙදි පටියක් බැඳලා අයිස් තිබ්බා. අපේ තාත්තා බයික් එකේම ගිහින් ජනකගෙ තාත්තයි, කාර් එකකුයි අරන් ආවා. පහල ගෙදර මිස්ට අන්දරාජු (මම හිතන්නෙ හරි නම අන්ද්‍රාදි වෙන්නැති), මිස්ට බෙන්ජමින් හෙම වට වෙලා හරියට උදවු කලා.

දවසකට හෝ දෙකකට පස්සෙ ජනක ගෙදර ආවෙ ඇඟිල්ලෙන් පුරුක් දෙකක් නැතිව. කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ. ඉස්කෝලෙ කොල්ලො ජනකයට “ඇඟිලි කොටා” කියලා නමකුත් දැම්මා. මම මේක ගෙදර ඇවිත් අම්මලට කිව්වාම, අම්ම,

“ඔයා හෙම ජනකට ඇඟිලි කොටා කියලා තිබ්බොත් කට තලනවා,” කියලා පූර්ව අනතුරු හැඟවීමක් කලා.

මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ අපි බලංගොඩ අතහැරලා බස්නාහිර පළාතට ආපහු ආවට පස්සෙ මම ජනකව දැක්කෙ නෑ මේ අද වෙනකල්. අතේ ඇඟිලි පුරුක් දෙකක් අඩු ජනක ඔබේ නෑදෑයෙක් හෝ යාලුවෙක් නම් එහෙම නැත්නම් ඔබ ජනක නම් කරුණාකර මට ඊයක් එවන්න. නැතිනම් මෙහි කොමෙන්ට් එකක් දාන්න.

ඉතින් ඔන්න ඔහොමයි වුනේ. ඒ හරියටම අවුරුද්දයි මාසෙකට කලින් ලියැවුනු ලිපියක්.

මට තියෙනවනෙ අතීතය හොයාගෙනෙ යාමේ පුරුද්දක්. ඉතින් හරියටම 2012හේ දෙසැම්බර් තිස්වෙනිදා, අර රෝඩ් ට්‍රිප් එක ගියාම, මම අපේ පුතාට මම මුලින්ම ගිය ඉස්කෝල කීපයක් පෙන්නුවා. මම පොඩිකාලෙ කොන්වන්ට් එකකට ගියා කිව්වාම කොල්ලාට අදහාගන්න බැරිව ගියා. මේ තියෙන්නෙ, ඒ කොන්වන්ට් එක අද.

DSCN2472ටික වේලාවකින් මම වැලිහරනාව පාරට හරවලා පැරණි මතක මාවත දිගේ රිය පැදෙව්වා. අපි හිටපු ගේ වෙනුවට එතන වෙනත් ගෙයක්. නමුත් නවීකරණය වූ හා නොවූ ගෙවල් මග දෙපසම තිබුනා. (මේ මම අතීත මතක හොයාගෙන මෙතනටම ගිය තුන්වෙනි වතාවයි. අනිත් දෙපාරම කලබලෙන් ගියේ.)

ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ඔය උස තාප්පේ තියෙන්නෙ ජනකලා හිටපු ගේ වටේටයි.

ප‍ටු පාරේ අපහසුවෙන් රිය නැවතූ මම, මුලින්ම මිස්ට අන්ද්‍රාදි ගැන හොයලා බැලුවා. ඒ මිනිස්සු, මම මුලින් හිතපු විදියට, මා දිහා සැකෙන් බැලුවේ නෑ. අර ඇඟිල්ල කැපුනු සිද්දිය ගැන කිව්වාම ලැබුනේ ඉහල ප්‍රතිචාරයක්. හැමෝටම ඒ සිද්දිය මතකයි.

කොහොමත් මේ ප්‍රදේශයේ බහුතරයක් වන, බලංගොඩ ක‍තෝලිකයෝ ගැන කිවයුතුම දෙයක් නම්, අපි හිටපු කාලේ, පොසොන් තොරණ ගහන්න මූලිකත්වය අරන් වැඩ කලේ, බෞද්ධයන්ටත් වඩා ක‍තෝලිකයෝ. වෙන මොකුත් කියන්න අවශ්‍ය නෑනෙ.

අන්ද්‍රාදි ගෙදරින් ලැබුන තොරතුර අනුව ඉස්සරහා කඩේ අයිති රිචර්ඩ්ට. මම මුල් ලිපියේ, ඇඟිල්ලට කෙ‍ටුවේ ටෙනිසන් කියලා ලියලා තිබුනේ මතකයේ තිබුන අඩුවක් නිසා. මම අන්ද්‍රාදි ගෙදරට ගිහින් මේ ගැන අහනවා බලා හිටියේ, කඩේ වැඩ කරමින් හිටිය රිචර්ඩ්ගෙ බිරිඳ. මම කඩේට ගිහින් මේ ගැන කියනකොටත් ඇයට කතාව ඇහිලා තිබුනේ. මුව පුරා සිනහවෙමින් මා පිළිගත් ඇය, රිචර්ඩ් මේ මොහොතේ ‍රැකියාවට ගොස් ඇති බව කිව්වා. එතනම හිටිය පැට්‍රීෂියා “ඇයි මාව මතක නැද්ද?” යයි මගෙන් ඇසුවා.

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්...

රිචර්ඩ්ලගෙ කඩේ. මම තොරතුරු විමසමින්…

ජනක දැන් ඉන්නෙ නුවර බවත් ඔහු තවමත් ඉඳහිට මේ පැත්තෙ එන බවත් දැන ගත්තා. රිචර්ඩ්ගෙ දුරකතන අංකය ලබාගත් මම, පස්සෙ ඔහුට කතා කලාම, ඔහු මා වගේම සතු‍ටු වුන බව මට කට හඬින්ම තේරුනා. තව දිනකින් ආපසු යාමට තිබෙන නිසා දැක ගන්න අවස්තාවක් නොලැබුනත්, ලබන නිවාඩුවේ අනිවාර්‍ය අංගයක් වන්නේ රිචර්ඩ්ව මුණගැහීම බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇයි ජනක!

කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.

කඩේ ඉස්සරහ හිටගෙන ඉන්නෙ පැට්‍රීෂියා. කවුන්ටරයේ ඉන්නෙ රිචර්ඩ්ගෙ බිරිඳ.

තවත් කිවයුතු දෙයක්නම් මම මුල් ලිපියෙ සඳහන් කරපු මේ වාක්‍යය:
“කුමාරසිංහ ආන්ටි රිචර්ඩ්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නෑ.”
මම කුමාරසිංහලා ගැන ඇහුවාම රිචර්ඩ්ගෙ ප්‍රිය බිරිඳ ඒ ගැන කිව්වෙ මෙහෙමයි.

“ඒ අංකලුයි ආන්ටියි දෙන්නම නැතිවුනා. නමුත් හරිම හොඳ මිනිස්සු. අච්චර දෙයක් වෙලාත් රිචර්ඩ්ලා එක්ක තරහ වුනේ නෑනෙ.”

අන්න මිනිස්සු!

“කෝ අර මෙතන තිබ්බ ටැප් එක?”

“අඩේ මේ රිචාලගේ ලයිට් මීටරේ නම් එදා තිබ්බ එකමද කොහෙද”

වගේ උදාන වාක්‍ය කිය කිය මම එහෙ මෙහෙ ඇවිදිනවා බලා සිටි දීපා, ඇත්තටම හෙන්රි මෙහෙ ඉන්නකොට ඔයාට කොච්චර විතර වයසද? කියලා ඇහුවා. “අවුරුදු නවයට අඩුයි,” කියලා මම කිව්වාම, “ඔයාට පුදුම මතකයක්නෙ තියෙන්නෙ! කියලා ඈ සුපුරුදු ලෙස, පුදුම වුනා.

ප ලි:

එදා රෑ කෑම කෑවේ ඒ කේ එම්ගේ අඩවිය ලියන අකමාගෙ ගෙදරින්. අකමා අකමැති වෙයිද දන්නෙ නැති නිසා මෙයිට වඩා විස්තර ලියන්නෙ නෑ. නමුත් ඒ ආගන්තුක සත්කාරය නම් හරිම ඉහලයි.

ඒ විතරක්ද!

මේ නිවාඩුව ආමාශය හා සම්බන්ධ එකක්. ඒ ගැන මම ඊ ලඟ පෝස්ට් එකෙන් කියන්නම්.

2013, ඔබ සැමට පැතුම් ඉ‍ටුවන,
වාසනාවන්ත වසරක් වේවා!

 

ටැග: , , , , ,