RSS

Tag Archives: පැඩිඩිලියන්ලා

78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ

78. පැඩිඩිලියන් 5 – කණ්ඩාලෙ

ගෙදරින් එලියට බහින කොටම හූනෙක් “චුක් චුක්” ගෑවොත් නම් ඒක බාදාවක් කියනවනෙ. එතකොට අල්ල කසන්නෙ සල්ලි හම්බවෙනලු. තව,… කපුටෙක් ගේ ලඟටම ඇවිත් “ක්‍රාව් ක්‍රාව්” ගාල කෑගැහුවොත් නෑදෑයො එනවලු. නමුත් දන්නවද බල්ලා පස්ස පැත්තෙන් යන්නෙ ඇයි කියලා?

මම නම් හිතා හිටියෙ, බල්ලා ‘අර වැඩේ’ ඉවර කරලා, පස්ස පැත්ත පිහදාගන්න ටොයිලට් පේපර් එකක් වෙනුවට තණබිම පාවිච්චි කරනවා කියලයි. ඇත්තෙන්ම මම හිතන් හිටියෙමෙහෙමයි දවසක් කණ්ඩාලෙ, “අද අපේ ගෙදර කවුරු හරි එනවා… අපේ බල්ලා පු*න් ගියා!” කියලා මහ හඬින් තාලයට ඇදලා පැදලා ගායනා කරන කල්.

මම නම් ඒ තියරිය ඇහුවාමයි. මේකා මේක ගායනා කලෙත් අර පැඩිඩිලියන්ලාටම ආවේනික, කැටයම් සහිත භාෂා විලාශයෙන්, කටින් වෙට්‍ටු හෙම දාලා.

කණ්ඩාලෙ පැඩිඩිලියන් ගෙදර හිටපු, ශරීරයෙන් කුඩා, හුරුබුහුටි, වයසට වඩා පැහුණු , කටකාර කොලු පැටියෙක්. උමේෂ්ගෙ අක්කෙක්ගෙ පුතා. මම ඒ දවස්වල දැක්කට පස්සෙ දැක්කෙම නෑ. දැන් බ්ලොග් එකක් හෙම ලියනවද දන්නෙත් නෑ.

දවසක් සුරේෂුයි මායි ඇවිදින්න යනකොට කණ්ඩාලෙත් පස්සෙන් වැටිලා ආවා. සෑහෙන දුරක් ඇවිදගෙන ගිය අපි අඹතැන්නෙ කඩේකට ගොඩවුනා, තේ එකක් බොන්න.  කඩේ මේසෙ උඩ තිබ්බා අති දැවැන්ත ගෙඩි තියෙන ආනමාලු ඇවරියක්, සාමාන්‍ය ආනමාලුවලට වඩා දෙගුණයක් විතර විශාල. සුරේෂුයි මායි ගෙඩි දෙකක් කඩාගත්තා. කණ්ඩාලෙත් අපිව අනුගමනය කරමින් ගෙඩියක් කඩාඅගත්තා. ඇත්තෙනම කොල්ලට වැඩිය පොඩ්ඩයි කෙසෙල් ගෙඩිය පොඩි. නමුත් කණ්ඩාලෙත් සීඝ්‍රයෙන් වැඩේ දීගෙන, දීගෙන යනවා.

සුරේෂයයි මායි මූණෙන් මූණ බලාගෙන, කණ්ඩාලෙයා මේ කෙසෙල් ගෙඩිය සම්පූර්ණයෙන් බස්සයිද, නැද්ද, කියන එක ගැන සැක පහල කරනවා.

“ඈ බං සුරේෂ්, මූ මේක කයිද ගත්තට?”

“ඒක තමයි හෙන්රි අයිය මාත් කල්පනා කලේ.”

“මූත් අරින්නෙ නෑ වාගෙ ගේම. බලාපංකො දැන්!”

“මේකා මේක කාලා, රෑට බත් නොකෑවොත්, අපි දෙන්නට පෝරියල් එක ගෙදරින් අද!”

“අඩේ, බලපං මූ වැඩකාරයා! අර බාගයක්ම බැස්සුවා කොහොම හරි! අනේ දෙයියංගෙ පිහිටයි උඹට කණ්ඩාලෙ!!”

ඔය විදියට, ටිකකින් මේකා කෙසෙල් ගෙඩියම බස්සලා, ලෙල්ල තිබ්බා මේසෙ උඩින්.
ඊට පස්සෙ ගුඩුස් එකකුත් යැවුනා හයියෙන්ම.

“ඒයි කණ්ඩාලෙ ගෙදර ගිහින් මමීට කියන්නෙ හෙම නෑ කෙසෙල් ගෙඩි කාපු කතාවක් හරිද?”, සුරේෂ් අනතුරු හැ‍ඟෙව්වා.

“බොරු කියන එක හරි නෑනේ,” කණ්ඩාලෙ කිව්වා, “පොඩි මාම කියන්න ‘ඔන්න ඔය චූට්ටං කෙසෙල් ගෙඩියක්ද කොහෙද නම් කණ්ඩාලෙයා කෑවා‘ කියලා.”

 

ටැග: , , , , ,

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

“අඩේ හෙන්රි උඹ කිව්ව බං සින්දු ටිකක් එදා රෑ…, අපේ ඉල නෑ හිනාවෙලා.” මාත් එක්ක, අම්පාරෙ නගරෙට මහියංගන පදියතලාව මාර්ගය සම්බන්ධ වෙන තැන, බාගෙට හිඳුනු ජලාශය ගාවා තිබ්බ දිග බංකුවක් උඩ වාඩිවෙලා හිටපු උමේෂ් කිව්වා.

“මොන සින්දුද? මම කියන්නෙ මේ … කාගෙ සින්දුද?” දුම්වැටියක් උරමින් කකුල් දෙකම බංකුව උඩට අරං පහසු ඉරියව්වකින් හිටපු මම ඇහුවා.

“ජෝතිපාලගෙ සින්දුලු බං.”

“අනේ පලයං. මම ජෝතිපාලගෙ සින්දු එකක්වත් හරියට දන්නෙ නෑ.”

“හහ්, ඒ වුනාට බං ජෝතිපාලගෙ සින්දු කියන්නෙයි කිව්වාම තමයි උඹ පටං ගත්තෙ .උඹ කියනවා, කියනවා, නොන් ස්ටොප්”

“ඇත්තටම  මට මතක නෑ බං.”

“උඹව නවත්තන්නම බෑ. අනිත් එක ඒ සින්දු මොන බාසාවද කියලා කියන්නත් බෑ. උඹ කියාගෙන, කියාගෙන යනවා. හරිම අමාරුවෙන් අන්තිමට නවත්තා ගත්තෙ උඹට වැඳලා වගේ”

අර නංගිලාගෙ ජීවිත වලින් ඉවතට ඇවිදගෙන ගිය මම නුහුරු නුපුරුදු අම්පාරෙ ගතකල පළමු අවුරුද්ද අත්දැකීම් බහුල එකක්. මම දැනටමත් පළකරලා තියෙන ඒවායින් සමහරක් මෙන්න.

පැඩිඩිලියන්ලා

පිංසිබොල්ගෙ ගොං කේස් එක.

“ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

“මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

දළ පූට්‍ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල.

කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල

ගම්පහ වගේ ජනාකීර්ණ දිස්ත්‍රික්කයක පදිංචිව සිට කොළඹ සුලෝහිත පාසලකට ගිය මටත්, මහනුවරින් ගිය උමේෂ්ටත්, අම්පාර නගරය ජනශූන්‍ය නගරයක් වගෙ පෙනීම අරුමයක් නෙවෙයි. පේරාදෙණියෙ තිබ්බ පූර්ව සේවා පුහුණුවෙදි මුණ ගැසුනු අපි දෙන්නා, නාඳුනන නගරයක, යාබද පාසැල් වලට පත්වීම අපිදෙන්නගෙම සැනසීමට හේතුවුනා. හැම හවස් යාමෙකම එකතුවෙන අපි නගරයේ පාරක් පාරක් ගානෙ ඇවිදිමින් කල නගර ගවේශනය පාරවල් ඉවර වීම නිසා ඉක්මනින්ම නිමා වුනා. හවසට කරන්නෙ මොනවද, යන්නෙ කොහෙද කියන එක ප්‍රශ්නයක් වුනා.

අපි දෙන්නා උමේෂ්ගෙ ඉස්කෝලෙ ගුරු නිවාසයෙ හවසට, හවසට සෙට් වෙන්න ගත්තෙ ඔය තත්වය යටතේ. උමේෂ්ගෙ විදුහල්පති සුපිරිපාල, නමේ හැටියටම විනෝදකාමී සුපිරි බුවෙක්. තව ඩයස්, නාරද වගෙ තව ඩයල් කීපයකුත් සමහර දිනවල අපිත් එක්ක අනුමත වෙන්න සැදී පැහැදී හිටියා. මුලදී කාන්සියට පටන් ගත්ත මේ වැඩේ තරමක් කල් යද්දී සීමාව පන්නන බවත් මට නොහිතුනාම නොවෙයි.

“මේ විදියට යද්දී අපි බේබද්දො වෙලා නතර වෙයිද දන්නෑ බං.” මම දවසක් උමේෂ්ට කිව්වා.

“ඒක තමයි බං මාත් කල්පනා කලේ.” උමේෂ් කිව්වම මගෙ හිතටත් තරමක චකිතයක් දැනුනා.

ඒ වගේම තමංගෙ බීමේ හැකියාව ගැන කයිය ගහන අනිත් උන්ට වඩා ඇල්කොහොල් වලට ඔරොත්තු දීමේ ගතියක් මගේ ඇ‍ඟේ ඇති බව කලකට ඉහතදීම තේරුම් අරන් හිටි මට, උමේෂ්ගෙ උත්තරෙන් දැනුනෙ අස්වැසිල්ලක් නෙවෙයි.

එදා අපි සෙට් උනේ “කටට බ්‍රේක් නැති” වි.ප. සුපිරිපාලතුමාගෙ උපන්දින සාදයටයි. විශාල ඇලුමිනියම් භාජනයකින් කට කපලා එකක් නූඩ්ල්ස්, පරිවාරක දීසි සමග, අපි වෙනුවෙන්ම සැදී පැහැදී හිටියා. ගල්, පොල්, බියර්, කෝක්, සෝඩා, බයිට්, සාලේ කෑල්ලෙ අපි එනකල් ආයාචනාත්මක දෑසින්, ‘අනේ මගෙන් වැඩ ගනිව්, ගනිව්, හඬ, හඬා,’ බලා හිටියා.

“එහෙනම් දෙකක් ඇනගෙන ඉමු නේ?”, ඩයසා තොල් පොටවල් දිවෙන් පොඟවමින් කිව්වා.

“චියර්ස්!!” බීම පිරවූ වීදුරු එකට ගටා සුපිරිපාල ලොක්කාට සව්දිය පුරලා කවුරුත් වැඩ ඇල්ලුවා. බීමත් සමග ඇදිලා එන රසකතා, මඩ කතා, හපංකම්, මෝඩකම්, පුරසාරම් හැන්දෑව වර්ණවත් කලා. බොනකොට, කලින් බීලා කරපු කෙලි ගැන කතා අනිවාර්යයිනෙ. මුලදිම සුපුරුදු විදියට ‘සංගීතයා’ නොහොත් ‘චූනා’ නොහොත් නාරදයව බයිට් එකට ගත්තත්, මුං කවුරුත් “අද අපි හෙන්රියාව වට්ටමු” කියන තේමාව යටතේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් දියත් කරලා තිබ්බ් බව මම දැනගත්තෙ සති ගානකට පස්සෙ.

බිව්වම නටන එක අනිවාර්ය අංගයක්නෙ. ඉතින් අපි කවුරුත් වීදුරු එහෙමම තියලා නටලා එනවා. වීදුරුව තනිකරන්න එපා කියලා අර බ්ලොග් සහෘදයෙක් ලියලා තිබ්බෙ ඔන්න ඕකයි. බීමට මුසුකරන්න මම පාවිච්චි කලේ Coca Cola වීම කුමන්ත්‍රණයට තවත් පහසු වුනා. මම නටලා එන සෑම විටකම, අඩක් හිස් කර තබා ගිය  සෑම බීම වීදුරුවකටම මුන් බියර් වත් කර ස්පයික් කර ඇල්කොහොල් සාන්ද්‍රනය ඉහල නංවා තිබූ බව මට තේරුනේ නෑ. ඒ වගෙම මා ලඟ තිබූ අඩක් හිස් කල Coca Cola බෝතලයත් බියර් වලින්ම නැවත පුරවා තිබූ බවත් මට තේරුනේ නෑ.

“යකෝ අද වදිනවානෙ අම්බානක. මේ බඩු හොඳයි වගෙ” මම තවත් වීදුරුවක් පුරවාගන්න ගමන් කිව්වා.

“ඕව කවලං නොකරපු හොඳ බඩු බං. නුවර කාගිල්ස් එකෙන් ගෙනාපුව. මම උඹලට බාල බඩු දෙනවද?” මස් කුට්ටියක් ‍තෝරමින් සිටි සුපිරිපාලතුමා කිව්වා.

“ඒක තමයි බොසා මේ නස්පුක් වෙන්න වදින්නෙ.” කියූ මම දැනටමත් අකීකරු දෑතින්, අසීරුවෙන් දුම් වැටියක් දල්වන්න උත්සාහ කලා.

“මටත් තේරුනා ඒක. මේ බාර් කාරයො කවලං කරනවානෙ බං කෂියා දාලා” කියපු උමේෂයා, අනිවා ඇහැක් ගහන්න ඇති අනිත් උන්ට මෙහෙම කියලා. මම නම් දැක්කෙ නෑ.

“ඒයි හෙන්රි කියාපං බං සින්දුවක්.”

“මොන ෂින්දුවක්ද?”

“උඹ දන්න එකක්”

“දැං ගායනා කරන්න නං බෑ බොෂ්, ඕන්නං ෂිංදුවක් කියන්නං ඈ…”

“නෝ වොරීස්. කියාපං.”

“මං කියන්නං ‘ඇබා’ගෙ ‘නෝවිං මී නෝවිං යූ’? නැත්නං…, ‘තැංක්යූ ෆෝද ම්යූෂික්’? නැත්නං…, ‘බොනී එම්’ගෙ ‘මදලෂ් චයිල්ඩ්’? ‘මයිකල් ජැක්ෂන්’ගෙ ‘බිලී ජීන්’? ‘බීජීෂ්’ලගෙ…?

“අඩෝ හෙන්රියො, අපි ඉංග්‍රීසි සින්දු දන්නෙ නෑ බං. සිංහල එකක් කියාපිය.” ඒ නාරද, පෙරදිග සංගීතයේ මුර දේවතාවා!”

“නාරද @#$, ෂංගීතය කියන්නෙ විෂ්ව බාෂාවක් @#$!”

එතකොටම බර්ත්ඩේ බෝයි මැද්දට පැන්නා.

“හෙන්රි, උඹ කියාපං ජෝතිපාලගෙ එකක්.”

“යකෝ ෂර්, මං දන්නෑනෙ බං ජෝතිපාලගෙ ෂිංදු…මං ඔන්නං ක්ලැරන්ෂ්ගෙ එකක් කියලා දාන්නං… දිල්හානී දුවනී” මං කිව්ව.

“අඩෝ, ඒක කියන්නෙ ක්ලැරන්ස්ද බං?” ඩයසා හිනාවෙලා ඇහුවා.

“මේ ඩයසො, උඹ දෙන්නැතුව හිටපං.”

“මේ හෙන්රියෝ. උඹ කියාපං ජෝතිපාලගෙ එකක්. අද මගෙ බර්ත්ඩේ එකනෙ.”

“අම්මට හුඩු!  ෂර්ගෙ බර්ත්ඩේ එක???? යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

හිනා හඬින් ගුරුනිවාසෙ වහලෙ උලු උඩයන්න ඇති.

“උඹට වැඩිද මන්දා.”උමේෂ් කිව්වා.” මේ අපි ඒ ගැන මොනවහරි කරන ගමං තමයි මේ.”

“නයි කයිද රෝෂ් පාං!! අඩේ එහෙනං ෂිංදුවක් කියන්නම එපෑ.” ජෝතිපාලගෙ මෝරා ෂිංදුව කියමු. (මට ඒකත් මතක් වුනේ ඒ සම්බන්ධ ජෝක් එක නිසා). නාරදයා උඹ ඔෂ්තාද්නෙ. උඹ ගානට අල්ලලා දියං මුල, හරිද?… මං දෙන්නං ඇට්ටි හැලෙන්ඩ…”

ඔන්න ඔහොමලු බටහිර සංගීත ලෝලයෙකු වුන බ්ලොග්වෝකර්, නොදන්න ජෝතිපාලගෙ සින්දු, නොනවතින රිද්මයෙන් කියන්න ගත්තෙ.

පස්සෙ නූඩ්ල්ස් කන්න ඉඳගෙන ඉන්නවා මතකයි.

වරින් වර අනිත් උන් “ඒයි කාපං බං තව” කියනවත් මතකයි යන්තමට…

හීනයක් වාගෙ….

දැඩි ඔක්කාර ගතියකින් මම හදිසියෙ අවදි වුනා. හාත්පස අඳුර. සුපුරුදු විදියට ඇ‍ඳෙන් බහින්න කකුල් පද්දලා ඇලයට හැරනකොටම, කවුදෝ ඒ හදිසියේ පාර හරහා ඉදිකර තිබූ බිත්තියක් වැනි බාධකයක නහය වැදීමෙන් තරු මල් යායක් විසිර ගියා. තරු එලිය නිවී වේදනාව මදක් අඩුවූ විට, අනිත් ඇඳේ පැත්තෙන්, ප්‍රවේශම් කාරීව බිමට බැස්සත්, පා බිම ගැටෙන විටම පෘථිවිය පැත්තකට ඇලවීම නිසා නොවැටී බේරුනේ ඇඳ විට්ටම අල්ලාගෙනයි. කොහොමත් මේ මගුල අංශක විසිතුනහමාරක් ඇලයිනේ. බීලා ඉන්නකොට ඒක හොඳට තේරෙනවා

මං මේ කොහෙද ඉන්නෙ?

බාධක කීපයක ගැටෙමින් බිත්තිය අල්ලාගෙන අඳුරේම ඉදිරියට යද්දී හොඳ වෙලාවට විදුලි ස්විචයක් අත ගැ‍ටුනා. ආයාසයෙන් ස්විචය පහතට එබූ විට දැල්වුනු විදුලි බල්බය මගේ ඇස් මඳකට නිලංකාර කලා.

ටොයිලට් එක කොහෙද ඇත්තෙ?

ආලෝකයට දෑස හුරුවූ පසු, හාත් පසු බැලූ විට, මේ ඉන්නේ වෙනදාට නිදන කාමරයේ නොවන බවත්, මේ සුපිරිපාල තුමාගේ පාසැලේ, පාවිච්චි නොකරන ගුරු නිවාසයක් බවත්, ක්‍රමයෙන් වැටහුනා. එහි සිටියේ මා පමනක් බවත්, තව මොහොතකින් තව දුරටත් අවබෝධ වුනා. අධික මුත්‍රා බරකුත්, ඒ එක්කම පිපාසයකුත්, ඒ සියල්ල යටපත් කරමින් වමනය දැමීමේ ඉතා දැඩි අවශ්‍යතාවයකුත් දැනුනා.

කෝ මේ ටොයිලට් එක?

ඒ ප්‍රශ්නයට පිළිතුරක් වෙනුවට ආමාශය ක්‍රියාත්මක වුනා.

ඕවෑහ්හ්!……….ඕවෑහ්හ්!……… ප්තුහ්ක්!! හඬ නගමින් ආමාශයේ අන්තර්ගතය නිදහස් වුනේ කාමරයේ මැද.
පුපුරු ගහන හිසරදයත්, නැවත නැවත වමනය දැමීමත් නිසා දුර්වල වූ මම ඇඳේ අයිනක ඉඳගෙන අලාබය තක්සේරු කලා. කාමරයේ තත්වය ශෝචනීයයි. නූඩ්ල්ස් නම් බීලා කන්න හොඳ කෑමක් නෙවෙයි. වැරදි පාරෙන් පිටවූ නූඩ්ල්ස් ප්‍රිය උපදවන දර්ශනයක් නෙවෙයි. නෑ, ඒ ලේ වමනේ ගිහින් නෙවෙයි. ඒ සෝස්…කෙචප්! ෆූෆ් ! ඒ දර්ශනය නැවතත් ආමාශය කලඹන්න වුනා.

උඩින් උඩින් පැනලා කාමරෙන් පිට වෙලා වැසිකිලිය හොයාගත් මම තිබූ බරෙනුත් නිදහස් වෙලා ආපහු කාමරයට ආවේ වතුර බාල්දියකුත් කොස්සකුත් අරගෙන. මුං දැක්කොත් හෙම කබ්බා දාලා තියෙනවා හෙන නෝන්ඩිය! වදී කාඩ් එකක් ආයේ ජීවිතේට වලංගු වෙන්න!

කොච්චර අමාරුවෙන් හිටියත් වතුර බාල්දි පහලොවකට විතර පස්සෙ මුලු කාමරයෙම බිම සෝදා, මගේ රෑ කෑම වේල ඉදිරි දොරෙන් පිටතටත්, එතනින් ගේ වටා ඇති සිමෙන්ති කානුවටත්, කානුවෙන් ඉවතටත් සෝදා හරින්න හැකි වුනා. ඉන් පසුව සාක්කුව අතගා තැලී චප්ප වී ගිය සිග‍රැට්‍ටුවකුත් සොයාගත් මම එය දල්වාගෙන ඉදිරියට සැලසුම් කලා.

දැනටමත් වටින් ගොඩින් එලිය වැටීගෙන එමිනුයි තිබ්බේ. තවත් මඳ වෙලාවක් ‍රැඳී සිටි මම ගුරු නිවාසයේ දොර වසා දමා එලියට බැස්සේ මගේ පාසැල වෙත යන්නයි.

නගර මධ්‍යයේ උදේම විවෘත කර තිබූ ආපනශාලාවක් දු‍ටුවිට මගේ පිපාසයත් බඩගින්නත් දෙගුන තෙගුන වුනා. උණු උණුවේ බෑ ආප්ප දෙකකුත්, ආනමාලු කෙසෙල් ගෙඩියකුත්, දුම් දමන කලු කෝපි කෝප්පයකුත් බී, දුම් වැටියක්ද දල්වාගත් විට මෙතෙක් නොදැනුනු ප්‍රබෝධයක් ගතට දැනුනා.

මා මගේ පාසලේ ගුරු නිවාසය වෙත ලඟාවෙනවිට මගේ චමරි සගයන් වූ කලුතොටයාත්, විමලයාත් අවදි වෙලයි හිටියෙ..

“ආ මේ ඇවිත් ඉන්නෙ අකීකරු පුත්‍රයා!”

“හැබෑට… කොහෙද යකෝ රෑ තිස්සෙ යන්නෙ?”

මට වඩා අවුරුදු කීපයක් වැඩිමහල් නිසා මට බාල සොහොයුරෙකුට මෙන් සැලකූ විමලයාටත්, කලුවාටත් සුදුසු උත්තර දුන් මා, සීතල දිය නා, පාසැල් යාමට සූදානම් වුනා.

මේ පාසැලේ ගුරු විවේකාගාර දෙකක් තිබ්බා. ඇතුල්වෙන ගේට්‍ටුව අසලම ගොඩනැගිල්ලේ තිබූ නියම ගුරු විවේකාගාරයට අමතරව, පාසැලේ මැද හරියට වන්නට වූ කුඩා විදයාගාරයේ ඇතුල්වන තැනම කබඩ් වලින් වෙනකල අනියම් ගුරුවිවේකාගාරයක් තිබ්බා. මා මේ දෙතැනේම කල් ගත කලත් වඩා ප්‍රිය කලේ වයසක ගුරුතුමියන් නිතර ගැවසුනු නිල ගුරු විවේකාගාරයට වඩා සමවයසේ සගයන් සිටි දෙවන ස්ථානයටයි. විශේෂයෙන්ම එකල මා පිළිබඳ සිතක් ඇතිකරගෙන සිටි රුවැත්තිය සමග හිඳගෙන, උකුසු ඇස්වලින් ගැලවී’ වල්පල් දෙඩීමටත්, කවට කම් කිරීමටත් ඔහේ දොඩමලු වීමටත් මෙය කදිම ‍තෝතැන්නක් වුනා.

හොඳ වෙලාවට එදා උදෙන්ම එහි සිටියේ මා පමණයි. දිය නෑමෙන් මදක් යටපත් වී තිබූ හිසරදයත්, ඔක්කාර ගතියත්, දැඩිවන හිරු රශ්මියත් සමගම මතුවී ආවා. ආමාශය නැවත විරෝධතා ව්‍යාපාරයක් අරඹලා. හදිසියේම කටට දැනුනු තිත්ත රසත්, උදේ ආහාරයේ සුවඳත්, ලඟ ලඟම එලැඹෙන හදිසි අවස්ථාව ගැන පූර්ව දැනුම්දීමක් වුනා.

විදුලි සැරයක් වැදුනාක් මෙන් වහා හුනස්නෙන් නැගී සිටි මා දොරෙන් එලියට දිවැවුනා.

වැරදි තීරණයක්!

මුලු පාසැලක හරි මැද වමනෙ දාන්නේ කෙසේද? ඒ පොඩ්ඩටත් ලඟම පන්තියේ කොලු කෙල්ලන් මා දෙස විමතියෙන් බලනු දු‍ටු මා වහා පසුබැස්සා. ඒ වනවිටත් ආප්ප, ආනමාලු, හා කෝපි වලින් සමන්විත උදේ ආහාරය ගලනාලය දිගේ ඉහලට වේගයෙන් සම්ප්‍රේශනය වෙද්දී මා විද්‍යාගාරය තුලට දිවගියා. කාමරයේ කොනක වූ සින්ක් එක මා දු‍ටුවේ එවිටයි. උඩු අතට ගමන් කරමින් තිබූ අහාර වේලේ වේගයට වඩා වැඩි වේගයෙන් මා සින්ක් එක වෙත ලඟාවුනා. ඒ සමගම පාතරසය උගුර පසුකලා.

“ඔවෑ ආඅර්ර්හ්ක්” එල්ලය හරි ගියා. මඳ සතුටක් හිතට දැනුනත් ඒ සැනෙකින් සතුට අතුරුදහන් වුනා. කබ්බා බිඳක්වත් සින්ක් එකෙන් පිටට නොවැ‍ටුනත් සින්ක් එක තුල මා දු‍ටුවේ මා බලාපොරොත්තු නොවූ, රසායනික අවියකින් පහර කෑ මහ නගරයක සංකීර්ණ හැඩයක්. හේතුව පරීක්ෂණ නල හතලිස් අටක රාක්කයක් සින්ක් එක තුල තිබීමයි!  සියලුම පරීක්ෂන නල තුලත් මතුපිටත් ආප්ප, ආනමාලු, කෝපි හා ආමාශයික යුෂ මිශ්‍රණය!

අසල කබඩ් දොරේ අලවා තිබූ විද්‍යාගාර කාලසටහනට මගෙ ඇහැ ගියේ ඉබේටම. තව විනාඩි දහයකින් නවයේ පන්තියක් එනවා විද්‍යාගාරයට. ඒ දු‍ටු ගමන් නැවතත් වමනය ගියා.

දැන් මොකද කරන්නේ? මේ ටෙස්ට් ටියුබ් මගුල නොතිබුනා නම් ටැප් එක ඇරලා සින්ක් එක හෝදලාදාලා ෂේප් වෙන්න තිබ්බා. ම්ම්ම්… වතුර තියෙනවද ටැප් එකේ? මම ගැහෙන හදවතින් කරාමය ඇර බැලුවා.

දෙයියනේ! වතුර තියෙනවා!

මම වැඩ පටන් ගත්තා. දෙවෙනි වතාවටත් සාක්ෂි අතුරුදහන් කිරීමට. මුලින්ම පරීක්ෂන නල රාක්කය සෝදා ගොඩින් තිබ්බා වතුර අවමයෙන් පාවිච්චි කරලා, මොකද සින්ක් එක අවහිර වී වතුර බැස යාමේ අවදානමක් තිබූ නිසා. ඉන් පසූ පරීක්ෂණ නල එකින් එක, ඇතුලත්, පිටත් සේදුවා, ඉතාම සීරුවෙන්, නමුත් උපරිම වේගයෙන් හා කාර්යක්ෂමතාවයෙන්. සේදූ නල රාක්කයේ තැන්පත් කලා. සීනුව නාද වුනේ තව නල දෙකක් සෝදන්න තියෙද්දී. ලමයි පන්තියෙන් එලියට ඇවිත් පෝලිම් ගැහිලා විද්‍යාගාරයට එකකොට මම අන්තිම නල දෙකත් සෝදලා සින්ක් එකත් සෝදලා වතුර බස්සලත් ඉවරයි. හොඳ වෙලාවට මේ සින්ක් වල අඩියෙ තියෙන කට ලොකුයි. දැල වගෙ කෑල්ල ඔන්නම් අතට ගන්නත් පුලුවන්.

ළමයි විද්‍යාගාරයට ඇතුල්වෙනකොට මම වැනි වැනී ගිහින් අපේ කොටසෙ ඉඳගෙන පත්තරේ සිරස්තල කියවනවා කවදාවත් නැති උනන්දුවකින්. හොඳ වෙලාවට මට ඊලඟ පීරියඩ් එකත් ඕෆ්. ලඟම තියෙන කඩේට ගිය මම තැඹිලි ගෙඩියක් බිව්වම ආමාශය පොඩ්ඩක් සන්සුන් වුනා. ආපහු ඇවිත් අතන ඉඳගත්තාම අර හිත හොරාගත් රුවැත්තියත් ඇවිත් හිටියා. මම වෙනදාවගෙ ඈ ලඟින් ඉඳ නොගෙන අනිත් පැත්තෙ වාඩිවුනේ මගෙ ලඟ තිබ්බ සුගන්ධය ගැන වැඩි විශ්වාසයක් නොතිබුන නිසා.

ටිකකින් කබඩ් පේලිය අතරින් මතුවුනු විද්‍යාව උගන්නන ගුරුතුමී මගෙ මූණ දිහා ප්‍රශ්ණාර්ථ ලකුණක් එක්ක ටිකක් වෙලා බලා ඉඳලා ආපහු ගියා. මම “ඇයි අක්කා?” කියලා අහන්න ගියේ නෑ.

පස්සෙ මම ගනං හදලා බැලුවා. තප්පර හයසීයකින් පරීක්ෂන නල හතලිස් අටක්. එකකට තප්පර දොළහයි ගානක්. නමුත් රාක්කයයි සින්ක් එකයිත් සෝදන්න ගිය කාලයත් අඩු කලාම නරකම නෑ

ඊට පස්සෙ මම බිව්වත් අරවගෙ සිහිය නැතිවෙන්න බීලා නෑ කවදාවත්. දැන්නම් ඉඳහිට බිව්වත් බොන්නෙ ඔය බියර්, වයින් වගෙ අහිංසක බීම විතරයි. ඔන්න කෂ්ටිය ලකුණු කරගනිල්ලා ඈ!

 

ටැග: , , , , , , ,

34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

අම්පාරේ ඉස්කෝලෙක වැඩ කරපු විදුහල්පති සුපිරිපාලතුමා සුපිරිම ඩයල් එකක් තමයි. මම හිතන්නෙ, ගම නම් මොර‍ටුව හරි පානදුරේ හරි. සුපිරිපාලතුමා මගෙ ප්‍රින්සිපල් නොවුනට, මට නිතර මුණ ගැහෙනෙවා, මොකද, මම උමේෂ් මුණ ගැහෙන්න නිතර ඒ ඉස්කෝලෙට යන නිසා .

උඹ, බං, දියං, පලයං කියලා තමයි සුපිරිපාලතුමා සාමාන්‍යයෙන් කතා කරන්නෙ. හැබැයි ආදරේට. ඇත්තටම ඒ මිනිස්සුන්ගෙ බොක්ක හොඳයි. දෙපිටකාට්‍ටු වැඩ නෑ. බෙලි කැපිලි නෑ. හිතන්නෙත් සම්ප්‍රදායික ක්‍රමයට නෙවෙයි. හැබැයි කටට බ්‍රේක් නෑ. නිසි තැනට අදාල උත්තර කොහෙන් කටට එනවද කියලා දෙයියෝ තමයි දන්නෙ. ඒ උත්තරෙත් ඇද බාන්නෙ කිසි කලබලයකින් තොරව, ඇඟට පතට නොදැනි, කූල් පිට. ප්‍රතිඵලයත් හරියට මල්ටි බැරල් එකෙන් ගැහුවා වාගෙ. හැබැයි පොර හිනාවෙන්නෙ නෑ. අහගෙන ඉන්න උනුයි බඩවල් අල්ලගෙන හක්ක පනින්න හිනාවෙන්නෙ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ සුපිරිපාල තුමා ජෝකර් කෙනෙක් කියලා. පොරට මාර පෞරුෂයක් තිබ්බා.

දවසක් කට්ටිය වටවෙලා ඩ්‍රින්ක් එකක් දානවා. ඒ කාලෙ මතට තිතක් තිබ්බෙත් නෑනෙ. ඔන්න කට්ටිය දැන් කියෝනවා. අද බයිට් එක චූනා නොහොත් සංගීතය උගන්වන නාරද.

“ඒයි නාරද,” ඒ සුපිරිපාලතුමා බයිට් කෑල්ලක් කටට දාගන්න ගමන්. “මම කීප දවසක් බලාන හිටියෙ. මොනාද බං උඹ අර ළමයින්ට උගන්නන සංගීතෙ කියලා?”

“ඇයි සර්? මොකද?” නාරදයත් ඇහුවා ඇස් ලොකු කරගෙන.

“නෑ බං උඹ උගන්නනෙ බෝල මියුසිකුයි, පෙට්ටි මියුසිකුයිනෙ.”

දැන් අපි කාටත් කුතුහලේ මොකක්ද මේ අලුත් genre දෙක කියල දැන ගන්න.

“මෙන්න මෙහෙමයි මූ උගන්නන්නෙ.
ස……(අත්ලවල් සමාන්තරව පහලට ගෙන එමින්)
රී…(අත්ලවල් සමාන්තරව පැත්තට ගෙනයමින්)
උඹ පෙට්ටියක්නෙ බං පෙන්නන්නෙ.
දැන් අනිත් උන් හිනාවෙනවා. නාරදයා එච්චර කැමති වුනේ නෑ මේකට.

“හරි, ඒ පෙට්ටි මියුසික්නෙ. බෝල මියුසික් මොනවද? මම නිවීයන ගින්නට පිදුරු ටිකක් දැම්මා.

“මෙන්න මූ දවසක් සින්දුවක් උගන්නනවා ගෑනු ලමයි කට්ටියකට, අත් දෙකෙන් මෙන්න මෙහෙම පපුව ඉස්සරහා බෝල දෙකක් කරකවකව.”

“මොකක්ද මචං මේ බොසා කියන සීන් එක?” එතකොට උමේෂයා ඇහුවා

“යකෝ මං ඉගැන්නුවෙ ‘ඕලු නෙලාලා’ සින්දුව. එහෙම නැතුව ඕලු පෙන්නන්නෙ කොහොමද?” නාරදයා දැං ගොරවන්නෙ අපිට.

දැං කංටියම බක බක ගාල හිනාවෙනවා. නාරදයට මල.

“යකෝ, සින්දුවෙ තියෙන්නෙ ඕලු මල් විතරක්යැ බං. ඕලු නෙලාලා, මාල ගොතාලා තවත් මොනවද කරනවා නේද? උඹ මුලු සින්දුවෙම කලේ බෝල කරකවපු එකනෙ.”

නාරදයගෙ මූණ රතුවෙනව දැක්ක මම මාතෘකාව වෙනස් කලා.

සුපිරිපාලතුමා හැමෝවම බයිට් කරන නිසා, මම බුවාව බයිට් කරන්න හිතාගෙන මෙහෙම ඇහුවා. (මගෙත් කට එච්චර හොඳ නෑයි කියලයි අනිත් උන් නම් කියන්නෙ.)

“මොකක්ද සර් මේ වැඩේ තේරුම?”

“මොන වැඩේද බං?” සුපිරිපාල තුමා සීරුවෙන් තව ෂොට් එකක් වීදුරුවට වක්කරන ගමන් පිළිතුරු දුන්නා.

“සර් බැඳපු මිනිහෙක් නේද?” මං ඇහුවා. දැං ඔන්න හැමෝගෙම ගොසිප් ඇන්ටෙනා මේ පැත්තට හැරුනා.

“ඔව්. ඉතිං උඹට මොකද තියෙන අමාරුව?”, කියපු සුසිරිපාලතුමා ගිණිවතුර ෂොට් එකක් උගුරෙන් පහලට ඇරියා. ඊට පස්සෙ මූන ඇඹුල් කරලා, කඩදාසි නැප්කින් එකකින් කට පිහදාගෙන, අර ලා කොල පාටට හුරු අලුපාට ඇස් වලින්, මගෙ මූණ දිහා බලං ඉන්නවා.

“ඉතිං මොකක්ද සර් ඔය වැඩේ තේරුම? සර් මෙහෙ. වයිෆ් අරෙහෙ පානදුරේ. කසාද බැන්දට වැඩක් තියෙනවයැ?”

“මූ කියන කතාව ඇත්ත.” සුපිරිපාලතුමා දිග සුසුමක් හැරලා නැප්කින් එක ගුලි කරලා පිඟානට අතෑරියා.

ඊට පස්සෙ වටේටම ඉඳගෙන ඉන්න අපි කට්ටියම ආවරණය වෙන විදියට වටේටම ගෙන ගිය ඇස් අන්තිමේදි මා ගාව නතර වුනා.

මගෙ ඇස්දෙක දිහා එක එල්ලෙ බලාගෙන පාපෝච්චාරණයක් කරන විදියට ඉතාම දුක්මුසු හඬකින් මෙහෙම කිව්වා.

“මං පොඩි කාලෙ බං හරියට බලු පූට්‍ටුවලට ගල් ගහලා තියෙනවා. ඒවා තමයි දැං මට ඔය හම්බ වෙන්නෙ.”

ඇත්තටම, මට හිනා ගිය පාරට මගෙ ඩ්‍රින්ක් එක නහයෙන් එලියට ආවා. සුපිරිපාලතුමා ගානක් නැතුව උඩ බලාගෙන තව බැදපු මස් කෑල්ලක් කටට දමාගෙන හපන්න ගත්තා.

DSCN3290_2_2

තවත් දවසක සුපිරිපාලතුමයි, උමේෂුයි, මමයි ගියා යාලුවො වගයක් බලන්න චමරියකට. අම්පාරෙ චමරි වැහි වැහැලා. ඕන් කට්ටිය එකතු වෙලා වැල ‍ෆිල්ම් එකක් බලන්න. ඕවා ගේන්නත් ඒ දවස් වල එක පොරක් සල්ලි එකතුකරගෙන යනවලු කල්මුණේට.

කොහොම හරි බලන කොට, එතන ඉන්නවා නගරෙම ඉන්න වැදගත්, පරිපාලන, ව්‍යාපාරික, එකී නොකී සියලුම අංශ නියෝජනය වන සාමාජිකයෝ.

‍ෆිල්ම් එක විතරක් නෙවෙයි, බෝතල්-කීතල්ද, අරකද-මේකද හැම එකම. අපිව දැක්ක ගමන් ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන එක මුදලාලි කෙනෙක් කියනවා,

“යකෝ මේ අපේ විදුහල්පති තුමානෙ. ඉතිං බලන්නකො අපිත් අපේ ළමයි යවනවනෙ ඔය ඉස්කෝලෙට.”

පොර ඒක විහිළුවට කිව්ව වුනත්, මටත් ඒක තදින්ම වැදුනා. මොකද අනිත් කෂ්ටියත් ඒකට පොඩි සපෝට් එකක් වගෙ දුන්නා. අපේ ගෞරවය එහෙම්පිටින්ම ‍රැඳිලා තිබ්බෙ අපේ ශ්‍රේෂ්ඨ, ජ්‍යේෂ්ඨ, විදුහල්පති තුමාගෙ බ්‍රේක් නැති කටේ.

“මේ මුදලාලි මහත්තයො,”සුපිරිපාලතුමා කියනවා. “මං මේ කට්ටියටමයි කියන්නෙ.”

දැන් කට්ටියම ඔලු හරවලා අපි දිහාට.

“මේ විදුහල්පතිවරු කියන්නෙත් අමුතු ජාතියක් නෙවෙයි. විදුහල්පතිවරුත් තමුසෙලා වගේම රෑට @#$%!”

කට්ටියම හොල්මං. කට උත්තර නෑ. අනාගෙන ගහන්න උරුක් කරපු මඩ ගුලි එහෙමම බිමට වැ‍ටුනා. මඩ ව්‍යාපෘතිය පටංගත්ත තැනම අවසන්. කට්ටියම හිනාවෙවී ආපහු තම තමන්ගෙ කතාවල් පටන් ගත්තා. අපිත් ෂොට් දෙකතුනක් දාගෙන වැලෙත් බලල අපේ චමරිවලට ගියා.

 

ටැග: , ,

6.පැඩිඩිලියන් 4 – හෙයා ජෙල්

6.පැඩිඩිලියන් 4 – හෙයා ජෙල්

මේකත් උමේෂ් මට කියපු කතාවක්.

මං පොඩි කාලෙ මචං බාත් රූම් එකට ගියාම අක්කලගෙ බියුටි කල්චර් බඩු තියෙනව දකිනවා. එක එක ටියුබ් බෝතල් වගෙ නා නා ප්‍රකාර දේවල්.  මාත් හොරෙං ඕව ගාලා අත් හදා බැලීම් කරනව.

දවසක් තියෙනව ලේබල් එකේ ලස්සන කොන්ඩයක් තියෙන මරු බෝතලයක්. අමාරුවෙන් HAIR කියන එක කියවා ගත්ත. නාල හෙම ඉවර වෙලා කොන්ඩෙ පිහදාල චූට්ටක් අල්ලට හලාගෙන කොන්ඩෙ ගාල බැලුවා. අවුලක් නෑ. මරු සුවඳත්. පීරල බැලුව. කොන්ඩෙත් හොඳට කොන්ට්‍රෝල්. මම හොය හොය හිටිය බඩුවක්නෙ.

එදා ඉඳලා මම හැමදාම උදේට ඉස්කෝලෙ යන්නෙ මේකෙනුත් සාත්තුවක් කරගෙන තමයි.

වැඩේ නියමෙට ගියා දවසක් ක්‍රිකට් බෝලයක් වැදිල ඔලුව පැලෙනකල්. සෞඛ්‍යදාන පොරවල් මාව උස්සගෙන ගියා first aid room එකට. ගිහිං වතුර බේසමකට උඩින් මගෙ ඔලුව අල්ලගෙන හෝදන්න ගත්තා මොකද තුවාලෙන් ලේ ගලන නිසා.

යකෝ හෝදන්න හෝදන්න පෙණ දානවා. පෙණ දාන්න දාන්න මුං හෝදනවා. බැරිම තැන එක අයියා කෙනෙක් ඇහුවා, “මොනවද මල්ලි ඔලුවෙ ගෑවේ? ෂැම්පුද?” කියලා. මගෙ ටිකිරි මොල ගෙඩියට තේරුනා දැන් කියන දේ අනුව මගෙ අනාගතය තීරණය වෙන බව. ඉතිං ප්‍රශ්නය නොතේරුන බවත්, මගේ තුවාලය හිතනවට වඩා අමාරු බවත් පේන්න ටිකක් කෙඳිරි ගාලා ප්‍රශ්නය මග ඇරියා.

ගෙදර ආ ගමන්ම කෙලින්ම බාත් රූම් එකට ගිහින් ලේබලේ බැලුව. ෂැම්පු නේන්නං!! කවුද බං දන්නෙ!

පසු වදන:

“මේක කවුරුවත් දන්නෙ නෑ. උඹ කාටවත් කියන්න එපා.”

“චික් බං මං එහෙම වැඩ කරනවද?”

 

ටැග: , , , ,

5.පැඩිඩිලියන් 3 – සීමාව ලකුණු කිරීම

5.පැඩිඩිලියන් 3 – සීමාව ලකුණු කිරීම

උමේෂ්ගෙ ඩැඩී ටිකක් එක විදියක චරිතයක් කියලයි මට හිතෙන්නෙ. එයා වැඩිය ගෙදර ඇත්තෙත් නෑ. සති අන්තයෙ විතරයි ගෙදර එන්නෙ මොකද එයා ඈත පලාතක උසාවියක වැඩ කරපු නීතිඥයෙක් නිසා. හිටියත් කා එක්කවත් වැඩි කතාවක් නෑ. මම මග ඇරලමයි හිටියෙ. මට හිතුනෙ ඇත්තටම මම එහෙ ඉන්නවට එයා කැමති නැතුව ඇති කියලයි. ඒ මට ඒ දවස්වල හිතුන හැටි.

මම දවසක් සුරේශ්ගෙන් ඇහුව “මොකද බං උඹලගෙ ඩැඩී මාත් එක්ක ඔරොප්පුද?” කියල. “අනේ නෑ බං. ඒ එයාගෙ හැටි. උඹ අප්සෙට් වෙන්න එපා. සමහර වෙලාවට මමීගෙන් අහනවලු උඹ ගැන – අර ලමයා කාලද ඉන්නෙ කියලත්” සුරේශ් කිව්ව.

නීතිඥයෙක් හන්දද කොහෙද ගෙදර කෑම මේසෙත් එයා ඉන්නකොට උසාවියක් වගෙ තමයි. නිශ්ශබ්දයි. වචන පාවිච්චිය පරෙස්සමෙන් – අවශ්‍යම දේකට පමණයි. උමේෂ් කෑම මේසෙදි ඩැඩීට කතා කරනව මං අහල තියෙනව “Yes sir!”, “No sir!” කියල.උසාවියක වගෙ.

ඒ වගේමයි මෑන් හරිම unpredictable. හිටපු ගමං මහ හයියෙන් ඕනැ කෙනෙකුට ඕනැ තැනකදි බනින්න පුලුවං. කොකු කිං.

“අනේ බං මම ඩැඩිත් එක්ක ගමං යන්න කැමතිම නෑ. මොකද හෙන කොක්කනෙ. මමී මාව බලහත්කාරෙන් යවන නිසයි යන්නෙ. ඒ මදිවට අර බෑග් එක – බෑග් එකක් කිව්වට අර නයි මල්ල ඕකත් මං උස්සං යන්න එපැයි බං. ඔන්න අහපංකො දවසක් වෙච්ච වැඩක්… හොදි ඕනැ නෑ!”

“ඔන්න දවසක් ඩැඩී මාව ඇදගෙන ගියා එයා වැඩකරන දිහාට. මාත් ඉතිං ගියා. ආපහු එන්න දෙන්න එක්ක ආවා බස් හෝල්ට් එකට පහුවදා කුකුලා අතින් අරගෙන.ඉස්සෙලම මට දුන්නා එයාගෙ අර නයි මල්ල. මට හරි ලැජ්ජයි ඕක උස්සගෙන යන්න. ඒත්  ඉතිං කරන්න දෙයක් නැහැනෙ.

දැන් දෙන්න එක්ක ඉන්නව බස් හෝල්ට් එකේ හිටගෙන. ඔන්න ඉතිං දැන් තව කට්ටිය එකතුවෙනව. මම හෙමිහිට තිබ්බ බෑග් එක බිමිං.   මෙන්න යකෝ  දැං ඉස්කෝලෙ යන කෙල්ලො ගැන්සියකුත් ආවා. ආපු වෙලේ ඉඳල කිචි බිචිය. මාත් දැං සැහෙන උනන්දුවෙං ඉන්නෙ ඒ පැත්තට ඇහැ දීගෙන. ඇත්තටම එකක් හරියාගෙන වගෙ තමයි ආවෙ.

කරුමෙට කකුල් අටයි කියනවනෙ බං. ඔන්න එතකොටම පාත් වුනා කොහෙද දඩාවතේ යන නා‍ටු බල්ලෙක්. මූ ආවා. ඉව කරා ඉස්සෙල්ලම බස් හෝල්ට් එකේ කනුව. ඉස්සුව කකුල. ඇරිය ටැප් එක.

බස් එකක් නැතුව වේලි වේලි හිටපු උං ඕක දැකල මදහස පෑව. කෙල්ලො හිකි හිකි ගෑවා.

මට විතරක් හිනා ගියෙ නෑ. මොකද මට තියෙනව අර සිංහලෙන් sixth sense කියන එක. මොකක හරි විනාසයක් අත ලඟ එන කොට මගෙ මුලු ඇ‍ඟේම රෝම කූප වලට දැනෙනව. තොල කට වේලිලා හීං දාඩියක්. දානව. කන් වලට ඇහෙන්න ගන්නව හර්දය වස්තුව ගැහෙන හඬ. මේ වෙලාවෙත් ඔය ඔක්කොම පිලිවෙලින් වුනා.

මේ පර බල්ල බස් හෝල්ට් එකේ උගෙ ටෙරිටරිය මාක් කරල හැරුන යන්න. එතකොටම මූ දැක්ක බිම තියෙන නයි මල්ල. ආව ලඟට. ඉව කරා හොඳට.  මම ගල් ගැහිල ඉන්නව මොකද බෑග් එක මගෙ කියල ක්ලේම් කරන්න දැන් කොහොමත් බෑනේ.

ඉතුරු ටික උනේ ස්ලෝ මෝශන්. බල්ල ඉස්සුව කකුල. ඇරිය ටැප් එක. මට කලන්තෙ වගෙ දැනුනා. කෙල්ලො හිකි හිකි ගෑවා. කවුද පොරක් “චැහ් කාගෙද දන්නෙ නෑ බෑග් එක” කියනව  ඇහුනා.

මෙච්චර වෙලා පත්තරේ කියව කියව හිටපු ඩැඩීට ඔය කෑල්ල ඇහෙන්න ඇති. ඩැඩී පත්තරේ මෑත් කරල කන්නාඩියට උඩින් ඔරවලා බැලුවා. මම අසරණව බලා හිටියා. ඩැඩීගෙ ඇස් ලොකු වුනා. කට ඇද වුනා. දත් මිටි කාලා මං දිහා බලල “යකෝ පොට්ට වෙලාද? බල්ල හුජ්ජ කරනකං  බලං හිටියෙ බෑග් එකට?” කියල ගිගුරුවා.

කාඩ් කුඩේ කුඩු. පටි හතම රෝල්. කෙල්ලො අත් වලින් කටවල් වහගන්නව මට ඇස්කොනින් පේනව. මොනව කරන්නද? මම බෑග් එක වඩා ගත්ත. කෙල්ලන්ගෙ කටවල් වලිං හිකිස් ගාල හිනා පනිනව මට ඇහුනා. කෙල්ලො දැන් බක බක ගාල හිනාවෙන්නෙ.

ඔන්න එතකොටම බස් එක ආවා. කට්ටියම දිව්ව බස් එකට. ඒත් ඩැඩීටයි මටයි කලිං තිබ්බ හදිස්සිය නෑ වාගෙ. “හ්ම්හ්, හදිස්සිකාරයො ගියදෙං.” කියලා ඩැඩී කිව්වෙ ඇත්තටම මං ගැන අනුකම්පාවෙන් කියල මට තේරුනා.”

මට හිතෙන හැටියට මේ කොල්ලෙකුගෙ අසරණකම උපරිමයටම පිළිබිඹු වෙන කතා පිංචක්… මොකද හිතන්නෙ?

 

ටැග: , , ,

4.පැඩිඩිලියන් 2 – වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර


මතක ඇතිනෙ පැඩිඩිලියන් අංක එක? මේ ඒ සීරීස් එකේම තව කතාවක්.

සුරේෂ් තමයි උමේෂ්ගෙ මල්ලි. මම මාස කීපයක් ඒ ගෙදර බෝඩ් වෙල හිටියනෙ. බෝඩ් වෙලා හිටිය කිව්වොත් ඇත්තටම ඒක පැඩිඩිලියන් පවුලට කරන අපහාසයක්. ඒ මොකද මම හිටපු මුලු කාලෙටම, බෝඩින්ං ගාස්තු කියලා සත පහක් වත් අයකලේ නැති නිසා.

යකෝ, උඹ මේ බ්ලොග් එකක් අටවගෙන කරන්නෙ, ඒ මිනිස්සුන්ට මඩ ගහන එක නේද කියල කෂ්ටියට දැන් හිතෙන්න පුලුවන්. නමුත් මගෙ චේතනාව පවිත්‍රයි. මේ කරන්නෙ ඇත්තටම උපහාරයක් කියලයි මට හිතෙන්නෙ. තව තව උපහාර, තව තව ඉස්සරහට. ඔහොම යංකෝ.

පැන්නනෙ පීලි. මේ පවුලෙ උන් ඔක්කොම මට ඒ දවස්වල මගේම පවුලෙ උන් වගේ තමයි. තමන්ගෙම දරුවෙකුට වගේ තමයි මමීත් මට සැලකුවෙ ඇත්තටම.

ඉතිං, මේ නොමිලේ වාසය කිරීම හිතට වද දෙන නිසා. මම දවසක් ලොකු එළවලු මල්ලක් අරං ගෙදර ආවා. ගෙට ගොඩ වෙනකොටම ඕක දැකපු සුරේශයා උගෙ අර කැත හිනාව දාලා “කොහෙද බං උඹ මේ යන්නෙ අතිං කටිං එල්ලගෙන?” කියල ඇහුව.

මමත්, “මේක ගිහිං ඇතුලෙං තියපංකො හොඳ එකා වගේ” කියලා කිව්ව ගොනා වගේ.

“ඒයි! උඹ මේ මෙහෙටද ඕක ගෙනාවෙ?” කියපූ මූ බෙරිහන් දෙන්න ගත්තෙ නැත්ද,

“මමී, මමී, මෙහෙ එන්න. මේං මූ නැදෑ ගම් ඇවිල්ල.”කියල.

කට්ටියම දුවගෙන ඇවිත් මාව වටකරගෙන, කිච කරා මාව නැතිවෙන්නම.

ඊට පස්සෙ මං ගෙනාපු එළවලුවක් උයන ගානෙ මාව මඩවනවා.

“අද උයල තියෙන්නෙ පරිප්පුයි, හෙන්රියගෙ/අරූගෙ/උඹේ (සුදුසු වචනය යොදා) බෝංචියි, පපඩනුයි…” යනාදී වසයෙන්.

කොහොම හරි කතාව ඉවරවෙන්නෙ මමී මන් දිහා හිනාවක් එක්ක බලං ඉඳල ” You are a wonderful…” කියනකොටම මම පැනල, ” idiot ” කියල සම්පූර්ණ කරනව මමී ඊට වැඩිය හොඳ වචනයක් දාන කලිං..

ඒ එළවලු ටික ඉවරවෙච්ච දවස මට පුදුමාකාර අස්වැසිල්ලක් සහනයක් ලැබිච්ච දවසක් කියලයි මට හිතෙන්නෙ. පස්සෙ මම හොස්ටල් එකට යන කල්ම, ඒ වගෙ ගොං වැඩක් කලේ නෑ.

ඉතුරු කතා පස්සෙ අහමුකො.

 

ටැග: , , , , , ,

3. පැඩිඩිලියන්ලා

3. පැඩිඩිලියන්ලා

අපි අධිරාජ්‍යවාදීන්ගෙන් නොයෙකුත් දේවල් අරන් තියනවනෙ. කමිස, සපත්තු, එතකොට සිල්වා, පෙරේරා වගෙ දේවල් සිංහල නොවන බව නොදන්න කට්ටියත් අප අතර ඉන්නවා. ඒත් අහල තියෙනවද පැඩිඩිලියන්ල ගැන?

මට හිටියනෙ සෙට් එකක්ම පැඩිඩිලියන්ලා. සෙට් එක කියන්නෙ පවුලක්ම. උමේෂ් පැඩිඩිලියන් මට හම්බ උනෙ පේරාදෙනියෙ අපේ පූර්ව සේවා පුහුණුවෙදි, (සිංහලෙන් නම් Pre-service Training) මූ තරමක හැන්ඩියා – ටිකක් මඩුගල්ල වගෙ.

අම්මෝ එහෙම කාලයක්… වැඩි විස්තර කියන්නම්කො පස්සෙ බ්ලොග් වල.

ප්‍රී සර්විස් එකෙන් පස්සෙ උමේෂුයි මායි දෙන්නම දාපි අනිවාර්ය දුෂ්කර සේවයට අම්පාරට. හොඳ වෙලාවට අපි දෙන්නම වැ‍ටුනෙ නගරයෙම තියන ලඟ ලඟ ඉස්කෝල දෙකකට. සාමාන්‍යයෙන් දුෂ්කර සේවයට යන හැමෝම වගෙ දුෂ්කර සේවය දකින්නෙ පන පිටින් අපායකට යෑමක් වගෙනෙ. ගිය දා ඉඳල බලන්නෙ ආපහු මාරුවක් හදාගෙන එන්නයි. අපිත් ඉතිං එහෙමම තමා. හැබැයි  කාලයක් ගියාම ජීවිතේ දිහා ආපහු හැරිල බලනකොට දැන් ඒ පලාත් ගැන තියෙන්නෙ ඇත්තටම  nostalgia  එකක්. (ඒකෙ ඉංග්‍රීසි වචනෙ නම් දන්නෙ නැ පු‍තෝ. ඔරොප්පු අවසර! )

මේ පැඩිඩිලියන් සෙට් එකේ තියෙන කැපී පෙනෙන අංගය තමයි කට. ‘කට නැත්නම් යකෝ මෙලහට බල්ලොත් ඇදගෙන ගිහිල්ලා අපිව’ කියල තමයි  ස්වයං අර්ථකතනය කට ගැන. අනික රස හෝ නීරස ඕනැම කතන්දරයක් ලුණු ඇඹුල් දාලා, ඇදල පැදල, කටෙන් වෙට්‍ටු දාලා, තමයි කියන්නෙ ව්‍යක්ත සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන්.

අම්පාරට අපි යන්නෙ නුවර පාරෙ – වංගු 18, මහියංගනය, පදියතලාව හරහා. ඕකෙ යන්නෙත් අර එල්ෆ් රූට් වෑන්, හයි ඒස්, වගෙ බට්ටො. ඒ දවස් වල දන්නවනෙ මග දිගට චෙක් පොයින්ට්. දවසක් පදියතලවෙ හරි මහඔය හරි කට්ටිය බස්සල චෙක් කරනවලු. දන්නවා ඇතිනෙ ක්‍රමය? මුලින්ම වාහනේ නවත්තල කට්ටිය බහිනව. “හා අයිඩෙන්ටිටි කාඩ්, බෑග් අරන් පෝලිමේ එන්න!” කියල අණ ලැබෙනව. වාහනේ චෙක් පොයින්ට් එක පහු කරල ගිහින් නවත්තගෙනෙ බලා ඉන්නව. චෙක් කරල  ඉවර අය එක එක්කෙනා ගිහින් වාහනේට නගිනවා.

එදා උමේෂය තියාගෙන ප්‍රශ්න කරනවලු. බස් එකේ ඉන්න උන් බලා ඉඳල ඉඳල මල  පැනලලු. ඒත් මූ නෑලු. අන්තිමට සැහෙන වෙලාවක පස්සෙ මූව එවල. මූ මූන රතු කරගෙන ඇවිත් බස් එකට නැග්ගම මිනිස්සු පටන්ගත්තලු මුගෙන් මුල ඉඳල ප්‍රශ්ණ කරන්න.

“මොකද මහත්තයො මෙච්චර වෙලා?”

“ආ.. ඒ මගෙ නම ටිකක් හොල්මන්නෙ. අරගොල්ලාන්ට පොඩ්ඩක් සැකයි”

“ඇයි මහත්තය සිංහල නෙවේද? ” මිනිස්සු ඇහුවලු ටිකක් සැකෙන්.

“සිංහල තමයි ඕයි” දැන් මුගෙත් රතු කට්ට පැනගෙන එන්නෙ.

“හැබෑටම මොකකද මහත්තයගෙ නම?” පොරක් දැන් සාම ටෝක්.

“උමේශ් පැඩිඩිලියන්”

කට්ටියම හොල්මන්ලු දැන්.

“පැඩි.. මොකක්?”

“පැඩිඩිලියන්”

“ඒ මොන නමක්ද මහත්තයො?”

“මේකනෙ, අපේ මී මුත්තා ඉස්පාඤ්ඤ කාරයෙක්නෙ.” මූ කියපි.

“මොන මගුලක්ද මහත්තයො. මනුස්සයෙකුට කියවගන්න පුලුවන් නමක් දාගන්නවකො නිකන් මේ මිනිස්සු රස්තියාදු නොකර!!

මූ පස්සෙ අපිට කතාව කියනකොට පොර හොඳටම කූල් වෙලා හිටියෙ.

 

ඉතුරු කතා පස්සෙ අහමුකො.

 

ටැග: , , ,