RSS

Tag Archives: වෘතීය සංවර්ධනයට බ්ලොග්වෝකර්ගෙන්

107. අහසයි, පොළවයි.

107. අහසයි, පොළවයි.

මම ව්‍යාපාරිකයෙක් නොවෙයි. මම වෛද්‍යවරයෙකුත් නෙවෙයි. ඒ වුනත් සාමාන්‍ය පුරවැසියෙක් හැටියට ඔය කොයි කාගෙත් වෘතීය සංවර්ධනයට යොදාගන්න හැකි අදහස් මා ලඟ තියෙනවා. මම ඔය කාණ්ඩ දෙක පමණක් පහසුවට සඳහන් කලත් පරාසය ඔයිට වැඩියි.

මේ උදාහරණයක්.

මේ ව්‍යාපාරිකයො දෙන්නා රටවල් දෙකකින්. ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ඔවුන් තමන්ගෙ රටේ ව්‍යාපාරික ප්‍රජාව නියෝජනය කරන බවක් හෙම.

සරසවි ටෙක්ස්ටයිල්ස් ගැන මගෙ මුල්ම මතකය රෝහල ඉදිරිපිට තිබුන පැරණි අබලන් ගොඩනැගිල්ලෙ, කුඩා කඩ කාමරයක පවත්වාගෙන ගිය, තවත් පොඩි ව්‍යාපාරයක් හැටියට විතරයි. නමටම ගැලපෙන්න මුලින්ම ප්‍රධාන වශයෙන් කෙරුනෙ රෙදි වෙලඳාම වුනත්, පසුව අනිකුත් අංශ වලටත් පුලුල් වුනා.

DSCN0731

සාප්පුව අයිතිකරුට මම දන්න දා ඉඳන්ම කතාකලේ ධනපාල අයියා කියලා. ධනපාල අයියගෙ සාප්පුවට පාරිභෝගිකයො ආකර්ෂණය වෙන්න හේතු කීපයක්ම තිබුනත්, මම හිතන විදියට මේවයි ප්‍රභලම ඒව.

ධනපල අයියා, තරාතිරම නොබලා සාප්පුවට එන කාටත් ‘මහත්තයා’, ‘නෝනා මහත්තයා’ වගේ ‘නම්බුකාර වචනවලින්’ ඇමතුවා විතරක් නෙවෙයි, තමන්ගෙ සේවකයිනුත් එහෙම කරනවද කියලා සෙවිල්ලෙන් හිටියා.

ඒ වගෙම කිසිම පාරිභෝගිකයෙක්ට තමන්ව නොසලකා හරින බවක් දැනෙන්න ඉඩ තිබ්බෙ නෑ. මේකෙන් අදහස් වෙන්නෙ නෑ, අර අද සමහර සාප්පුවල වගේ සේවකයන්ට පාරිභෝගිකයා පස්සෙන්ම ලුහු බඳිමින් මහාම හිරිහැරයක් වෙන්න පුරුදු කරලා තිබුනය කියලා

ඒ වගෙම හැම භාණ්ඩෙකටම මොනයම් හෝ වට්ටමක් ලැබෙන බව පාරිභෝගිකයට වැටහෙන්න ඇරලා තිබුනා. හැම විටම භාණ්ඩෙ සඳහන් කල මිලට වඩා කීයක් හෝ අඩුවෙන් තමයි අය කලේ.

ඒ ඔක්කෝටම වඩා, සරසවියෙ (මිනිස්සු සරසවි ටෙක්ස්ටයිල්ස් හැඳින්නුවෙ එහෙමයි) තිබුනා පොළී රහිත පහසු ගෙවීමේ ක්‍රමයක්. එදා ඉඳන්ම. ධනපාල අයියා මේක පටන් ගත්තෙ, අද ඔය මෙගා සාප්පු වල ඔය ක්‍රමය පටන් ගන්න හුඟ කාලෙකට කලින්.

නමුත්, මම ධනපාල අයියගෙ සරසවියෙ යාව ජීව පාරිභෝගිකයෙක් වුනේ ඔය එක හේතුවක් හන්දාවත් නෙවෙයි. අද එයාටවත් මතක ඇති කියලා මම නොහිතන ‘සුලු’ හේතුවක් නිසයි.

වරක් මම ඔතනින් ගත්තා වෝටර් හීටර් එකක්. (ගිල්ලුම් ජල තාපකයක් කිව්වාම සැර වැඩියි කියලා හිතුනා.) මම මේක ගන්නකොටම ධනපාල අයියා කිව්වා මේකට වගකීමේ සහතිකයක් නම් නැති බව. නමුත් මගෙ ආර්ථික මට්ටමට ඔරොත්තු දෙනවා වගේ පෙනුනේ ඒක විතරක් හන්දා මම හීටරය මිලදී ගත්තා අර සුපුරුදු වට්ටමත් එක්කම.

මම බොහොම සතුටින් හීටරය ගෙදර ගෙනාවත් ඒ සතුට ‍රැඳුනේ එක දවසක් පමණයි. හීටරය පහුවදාම ක්‍රියා විරහිත වුනා. වගකීමක් නැති කතාව මතක් වුනා වුනත්, මම කොයිකටත් කියලා ගිහින් ධනපාල අයියට සිද්ධිය කිව්වා. යටිතොල හපමින් මඳක් කල්පනා කල ධනපාල අයියා මෙහෙම කිව්වා.

“මහත්තයට කිව්වා වගේම ඕකට වොරන්ටියක් නම් නෑ. ඒ වුනත් මේක මහත්තයට ලොකු පාඩුවක් නේ? අපි මෙහෙම කරමු. අපි පාඩුව සීයට පනහ – පනහ බෙදාගම්මු .”

ලාච්චුව ඇරපු ධනපාල අයියා හරියටම හීටරයේ වටිනාකමින් සීයට පනහක් මට ආපසු ගෙව්වා. මගෙ ආර්ථිකේ හැටියට ඒකත් මට ලොකු සහනයක් වුනා ඒ වෙලාවෙ.

ධනපාල අයියගෙ මේ ‘ක්‍රියාවෙ’ ප්‍රතිඵලය වුනේ, මම ඔහුගෙ යාවජීව පාරිභෝගිකයෙක් වීමයි. ධනපාල අයියා එදා මට ගෙවපු ‘සුලු මුදල’ ඇත්තෙන්ම මාව ඔහුගෙ ව්‍යාපාරයට පෙරලා ආකර්ෂනය කරගන්න කෙරුනු ආයෝජනයක් වුනා. ඔහුගෙ ඒ යහපත් ආකල්පය නිසා සරසවිය ගැන මගෙ හිතේ පෙරලා ඇතිවුනේ යහපත් ආකල්පයක්. ඒ වගේම ඔහු මා කෙරේ තැබූ විශ්වාසයත් පෙරලා ඔහු කෙරේ තබන්න මම පසුබට වෙන්නෙ නැති බව ඔහු දැන ඉන්න ඇති. මෙතන ඇත්තෙන්ම තියෙන්නෙ මුදල පිළිබඳ කතාවක් නෙවෙයි. .. මේක දක්ෂ ව්‍යාපාරිකයෙක් තම ව්‍යාපාරික ඥානය භාවිතා කරපු තවත් එක අවස්ථාවක් විතරයි.

අද සරසවිය, පිහිටලා තියෙන්නෙ නගර මධ්‍යයේ, මම හිතන විදියට ඔහුටම අයත් තට්‍ටු කීපයකින් යුත් විශාල ගොඩනැගිල්ලක.

ඔහුට ඒ හැම දෙයක්ම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මට මේ පහුගිය නිවාඩුවෙත් ඔහු මුණ ගැහුනා. ඔහුගෙ මා නොදකින පැති ඇති. සමහරුන්ට ඔහු ගැන වෙනස් අදහස් තියෙන්නත් පුලුවන්. නමුත්, මේ මා ඔහුව දකින විදිය. ධනපාල අයියට මගේ සුභ පැතුම්!

මේ වගෙ සුලු සිද්ධියක් අල්ලාගෙන, මම කෙන්ද කන්ද කරගෙන දඟලන්නෙ ඇයි කියලා දැන් ඔබ කල්පනා කරනවා නම්, මම ඊ ලඟට කියන්න යන සිද්ධිය කියවලා බලලම ඉන්න.

හැම බඩුවක්ම අසාධාරණ ගනන් වලට මිල නියමවුනු මේ විදෙස් රටේ, අපි බඩු ගන්න පුරුදු වෙලා හිටපු එක්තරා සාප්පුවක් තිබුනා. එළවලු කිලෝවක් සාමාන්‍යයෙන් ලංකාවෙ මිල වගේ පස් හය ගුණයක් වෙන එක මෙහෙ සාමාන්‍ය දෙයක්. මේ සාප්පුවෙ නිත්‍ය පාරිභෝගිකයෝ වෙලා හිටි අපි, ඔවුන්ට ඉතා හොඳ ආදායම් මාර්ගයක් වෙලයි තිබුනෙ. අපි, පලතුරු, එළවලු, කුලුබඩු, සහ අනිකුත් සියලුම සිල්ලර බඩු මේ සාප්පුවන් මිලට ගත් නිසා අපෙන් ශ්‍රී ලංකාවෙ මුදලින් රුපියල් 30,000 – 40,000ත් අතර මුදලක් මසකට මේ සාප්පුවට ලැබුනා.

එදත්, අපි සාප්පුවෙ බඩු ‍තෝරමින් සිටින විට එවකට අට හැවිරිදි වියේ පසුවූ අපේ චූටි පුතා සුපුරුදු ලෙස රාක්ක වල ඇති සෙල්ලම් බඩු පරීක්ෂා කරමින් අනිත් පැත්තේ සිටියා.

D

ටිකකින් සාප්පු හිමියා අපි දෙසට වේගයෙන් ඇවිද ගෙන ආවේ චූටි පුතාව උරහිසින් අල්ලාගෙන හරියට අපරාධකාරයෙක් වගේ.

“මෙයා මේ ටෝර්ච් එක වට්ටලා කැඩුවා,” ඔහු බයිසිකලයකට සවිකල හැකි කුඩා විදුලි පන්දමක් පෙන්වමින් කිව්වා. කිව්වත් වගේම ඒකෙ වීදුරුව ගැලවිලා ඇවිත් තිබුනා. අපේ චූටි පුතා අපි දෙස බලාගන හිටියෙ බියපත් වෙලා.

කිසි කෙනෙක් මගෙ දරුවෙකුට මේ අයුරින් සලකනවා ඉවසාගෙන සිටීමේ හැකියාවක් කවදටත් නොතිබුන මට මාරාවේෂ වුනා.

“ඔක්කොටම ඉස්සෙල්ලා අතාරිනවා ළමයව. අල්ලන්නෙ හෙම නෑ එයාව.” මම තදින් කිව්වා.

ඔහු වහාම චූටි පුතාගෙ කමිසය අතහැරියා.

“කීයද ඔය ටෝච් එක”

ඔහු ගාන කිව්වා. ඒක ආසන්න වශයෙන් රුපියල් හතලිස් පහක් ඇති.

මම පසුම්බිය ඇදලා ඒ මුදල ගැලපෙන නෝට්‍ටුවක් අරන් මිනිහට දුන්නා.

“මෙන්න තමුසෙගෙ සල්ලි. ඕක බින්දට මගෙ ලමයට අත තිබ්බ එක වැරදියි. ඕක මට කිව්වා නම් ඉවරයිනෙ. අනික ඒක වුනේ වැරදීමකින්. කිසි කෙනෙක් අපේ දරුවෙකුගෙ ඇඟට අත තියන්න ඕනෙ නෑ.”

“ඔ…ඔව්. ඒ වුනාට… එයා ඒක කැඩුවනෙ.”

“හරි, ඒකෙ අලාබෙ තමයි දැන් මම ගෙව්වෙ. දැන් ඔය ටෝච් එකත් මෙහාට දෙනවා.”

ඉන් පසු, අපි ‍තෝරාගෙන තිබූ හැමදේම ඒ ඒ තැන්වලම අතහැර අපි සාප්පුවෙන් ආවා.

“ඇයි? අද මේ එළවලු ගන්නෙ නැද්ද?” අයිතිකරු විමතියෙන් ඇසුවා.

“නෑ. අදහස වෙනස් කලා. අපි යනවා.”

ගෙදර යන ගමන්, මට මේ වගෙ තකතීරු වැඩක් හීනෙකින්වත් කරාවි කියලා මම නොහිතන ධනපාල අයියාව මතක් වුනා.

ඒ සිද්ධියෙන් පස්සෙ අපි ඒ සාප්පුව පලාතේ ගියේ නෑ. තනිකරම වර්ජනය කලා.

රුපියල් හතලිස් පහකට මේ අමනයා නැතිකර ගත්ත නිධානය අපි නිකමට ගනං හදලා බැලුවොත්… ගාණ හදාගන්න පහසුවට අපි මාසෙක ආදායම 35,000 හැටියට ගනන් අරගෙන ඒක අපි ඉන්න මාස 10.5න් වැඩි කරලා අවුරුදු 7නුත් වැඩි කලාම, මට උත්තරය රු.2,572,500.00 ක් ආවා. මේ මුදලේ බාල්දුවීම, ජීවන වියදම වැඩිවීම හෙම නොසලකා.

පාරිභෝගිකයෙකුගෙ දරුවෙකුට නරක විදියට සලකලා හිත රිදවීමට ගෙවන්න සිදුවුන, තවමත් ගෙවන ඒ වන්දියත් නරක නෑ නේද?

ඔහුට ඒ දඬුවම ලැබෙන්න වටිනවා, මම නම් කියන්නෙ.

මෙම ලිපිය මුල් වරට Two Businessmen And What They Deserve” යන මාතෘකාවෙන් HeyDude බ්ලොග් අඩවියේ, ඉංග්‍රීසි භාෂාවෙන් පලවිය.

බ්ලොගර් හිතවතුන්ගේ පහසුව සඳහා මේ ලිපිය මගේ ඩෙනිමේද පළකර ඇත.

 

ටැග: , ,