RSS

Tag Archives: Andy Griffiths

159. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

159. කුණු! -දෙවන කොටස/ Trash! Part 2

අපි ගිය පාර නතර කලේ මෙතන…

මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.

අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්.

ඊට පස්සේ…

පඩි පෙල දිගේ පහලට  එක පිම්මේ පනින මම කුස්සියේ දොර දිහාට දුවනවා නෙවෙයි විදිනවා.

කුණු බක්කිය ඩැහැ ගත්තාමයි මට තේරෙන්නේ ඒකේ බර. යකෝ රාත්තල් දාහක් විතර බරයිනේ මේක! හොඳ  වෙලාවට මේක රෝද තියෙන ජාතියෙ එකක්.

කුණු බක්කිය පස්සට ඇල කරගෙන පාරට දුවන මම දකින්නේ කුණු ලොරිය අපේ පාරේ කෙළවරේ තියෙන පල්ලමේ වංගුවෙන් හැරිලා නොපෙනී යන හිත් කම්පා කරවන දර්ශනය.

ආආහ්හ්හ්හ්හ්!
තාත්තා මාව මරයි!
අම්මා මාව මරයි!
(ඒ දෙන්නා ඊට කලින් මහාමාරියෙන් මලේ නැතිනම් ඒ.)

DSC_1861මේ කුණුබක්කිය කොහොම හරි ලොරියට පටවන්න වෙනවා.
මේකට තියෙන්නේ එකම එක ක්‍රමයයි.
කුණු ලොරිය එච්චර ඈතක වෙන්න බෑ . මොකද ඕක හැම තැනම නවත්ත නවත්ත යන්නේ.  මටත් අවශ්‍ය වෙලාවට වේගෙන් දුවන්න පුලුවන්.

මම කුණු බක්කිය තල්ලු කරගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා.
එහෙම කිව්වට ඇත්තෙන්ම කුණු බක්කිය මාවත් ඇදගෙන පල්ලමේ පහලට ඉගිලෙනවා. ගඳ නැත්නම් පට්ටම රයිඩ් එක ඒකත්. ඇත්තමයි.  පල්ලම ඉවර වෙලා තැනිතලා හරියට ආවාම මට ආපහු තල්ලු කරන්න පටං ගන්න වෙනවා. මම වමට හැරිලා ඊලඟ කන්ද නගින්න පටන් ගන්නවා.

අම්මෝ මේක කරන්න බැරියෝ!
මේක පණ යන වැඩක්.
මාර බරක්නේ යකෝ.

කන්දේ මාර බෑවුමක්නේ තියෙන්නේ.
එතකොටම මට මතක් වෙනවා මීයන්ව.

මම මතක්වෙනවා, මට කුණු බක්කිය පාරෙන් තියන්න අමතක වෙච්ච නිසා එකා පිට එකා වැටිලා වේදනා විඳ විඳ මැරෙන ප්‍රදේශයේ ජනතාව. තමන්ට මුහුණ දෙන්න වෙන  විපත ගැන හාංකවිසියක් නොදැන, මට මේ කුණු බක්කියක් එලියෙන් තියනවා වගේ සුළු, නොවැදගත්  කරන්න අමතක වෙච්ච නිසා, තමන්ට ජීවිතය අහිමි වෙන්න යන බව හාංකවිසියක් නොදැන, නිදි දෙව් දුව තුරුලේ තවම නිදන අහිංසක කිරි දරුවන්ව.

ප්‍රදේශවාසීන්ගේ ඉරණම රඳා පවතින්නේ තනිකරම මගේ අතේ. මට මොන ජාතියෙන් හරි වේගය පවත්වාගන්න වෙනවා.

මම ඉස්සරහට නැවිලා මගේ ඇ‍ඟේ තියෙන මුළු වෙර යොදලා කුණු බක්කිය කන්ද උඩහට තල්ලු කරනවා.  මම කොයි තරම් ඉස්සරහට නැවෙනවද කිව්වොත්, ඒ හා සමාන කෝණයකින් පස්සට ඇලවෙන කුණුබක්කියේ පියන ඉබේම ඇරිලා, ‘පටෝරියං’ ගාලා මගේ ඔලුවට පාරක් වදිනවා කං දෙකෙන් දුම් විසි වෙන්න. වෙන ඕනැම සාමාන්‍ය පුද්ගලයෙකුට සිහි නැති වෙන්න ප්‍රමාණවත් ඒ පාරටවත් මම නෙවෙයි සැලෙන්නේ.  මට තියෙන්නේ බොහොම හයිය ඔලු ගෙඩියක්. මම  පියන ආපහු  වහලා දාලා පටන් ගන්නවා ආපහු කන්ද උඩට තල්ලුව. ඔය ප්‍රතිගාමී බලවේග වලට  මාව නවත්තන්න බෑ.

කුණු ලොරියේ සද්දේ දැන් ලඟ ලඟම ඇහෙනවා.
ඒ කියන්නේ තව ටිකයි.  මම කන්දේ මුදුන පහු කරපු ගමන් යාර සීයක් විතර ඉස්සරහින් නවත්තලා තියෙන කුණු ලොරියේ සුන්දර, අයස්කාන්ත, මනස්කාන්ත දසුන මට පේනවා.

“හෝව් හෝව්! ඔහොම ඉන්ඩෝ!” මම කෑ ගහනවා. “ඔහොම ඉන්ඩෝ! ඔයාලට මේක අමතක වෙලා!”

කුණු ලොරියට සමාන්තරව දුවමින් ඉන්න ලුමිනස් කහ ජැකට්  ඇඳගත්ත බුවාලා දෙන්නා පාරේ අන්තිම කුණු බක්කි දෙකත් උස්සල ලොරිය පිටි පස්සේ තට්‍ටුව උඩින් තියනවා.  තට්‍ටුව ඉස්සිලා, ඇලවෙලා කුණු බක්කිවල තියෙන කුණු, ලොරිය මුදුනේ බලියාගෙන ඉන්න කට ඇතුලට හැලෙනවා

මම කුණු බක්කියත් එක්ක පල්ලමේ පහලට ඉගිලෙනවා.

බුවාලා දෙන්නා හිස් කුණු බක්කි ආපහු තුබුණ තැන්වල  තියලා ලොරිය පිටිපස්සේ එල්ලෙනවා ඊ ලඟ පාරට යන්න.

“පොඩ්ඩක් හෝව්, පොඩ්ඩක් හෝව්! මම බෙරිහන්දෙනවා. “ඔහොම ඉන්ඩෝ!”

පිටි පස්ස බලන එක බුවෙක් මාව දැකලා ඩ්‍රයිවර්ට කියනවා නවතින්න.

ලොරිය නවතිනවා.

මම හති හලමින් ලොරියට ලං වෙනවා.

“අම්මට හුඩු යකෝ මේ සුපර් මෑන් නේද කුණු බක්කියකුත් තල්ලු කරගෙන එන්නේ!” එක බුවෙක් කියනවා.

“ඔයාලට මේක අමතක වුනා.” මම හති හලමින් කියනවා. “…එහා පාරෙදි.”

“අමතක වුනා? ඒක වෙන්න බෑ. අපි ඒ පාරට එනකොට ඕක පාර අයිනේ  තිබුනයි කියලා ෂුවර්ද?”

“ඔව් ඔව්,” මේත් වංකත්වය හොඳම ප්‍රතිපත්තිය බවට පත්වෙන තවත් අවස්ථාවක්. මේ බොරුවෙන් ජීවිතම කීයක් නම් ‍රැකෙනවද?

බුවා අනිකා දිහා බලනවා.

“මේක උඹට අමතක වුනාද, මචං?”

“පිස්සුද මචං? ඕක පාරේ තිබ්බේ නෑ.”

“සොරි සුපර්මෑන්,” බුවා මට කියනවා. “ඕක පාර අයිනේ තියලා තිබුනා නම් අපි ඕක නොගෙන ඉන්නේ නෑ.”

“ඔයා කියන්නේ මම බොරු කියනවා කියලද?” මට කෑ ගැස්සෙනවා.

“මම එහෙම මොකුත් කියනවා නෙවෙයි, යාලුවා,” පොර ඒ ගමන  දෙන්නෙ නීතියෙන්. “මම කියන්නේ අපිට ඕක පටවන්න බෑ කියලයි.  ගේ ලඟ එලියේ පාරේ තියලා නැති කුණු බක්කියක් පටවන්න අපිට අවසර නෑ.  කවුද දන්නේ ඔයා ඔයා නීති විරෝධීව, අනුන්ගේ ප්‍රදේශයක් කුණු දාන්න උත්සාහ කරන පිටස්තරයෙක්ද කියලා.”

“මම එහෙම කරනවා නෙවෙයි,” මට ඇඬෙන්න ලඟයි (ඇස් දෙකටම). “මම මොකටද එහෙම කරන්නේ?”

“සමහර පොරවල්  කරන වැඩ ඇහුවොත් බල්ලෝ බත් කන්නේ නෑ බොසා, මාර ගේම් දෙන්න ට්‍රයි කරන්නේ,” කියන මිනිහා ලොරියේ බඳට අතින් දෙපාරක් ගහලා කෑ ගහනවා,”හරේ මැක්, අපි යං.”

ලොරිය පිටත් වෙනවා. බුවා පැනලා පිටිපස්සේ එල්ලෙනවා. ලොරිය ඊ ලඟ පාරට හැරෙන වංගුවෙන් අතුරුදහන් වෙන හැටි මම බලා ඉන්නේ පුදුම අසරණ කමකින්.

නමුත් එහෙම ලේසියෙන් සටන අතාරිනවද මම?

මම දන්නවා එහා පාරට ෂෝට් කට් එකක්.  මට කරන්න තියෙන්නේ ලොරිය එන්න කලින් කුණු බක්කිය නියම තැන ගානට තියලා, හැංගිලා බලා ඉන්න එක විතරයි.  අරුන් දෙන්න සීන් එක නොදන්න නිසා ඕක ගානට පටවගනී.

මම කන්ද පහලට ටික දුරක් දුවලා, දකුණට තියෙන ප‍ටු පාරෙන් හැරෙනවා.  මම හැකි වෙර යොදලා කුණු බක්කිය තල්ලු කරගෙන එහා පාරෙන් මතුවෙනවා.

මේ පාරට හැරෙන කුණු ලොරියේ නිවෙන පත්තු වෙන කහ එළිය මෙතනට මට යන්තමට පෙනුනත්, බුවාලාට මාව පේන්න තරම් දුර වැඩියි තාම.

එළ.

මම කුණු බක්කිය පාර හරහා තල්ලු කරගෙන ගිහින් එහා පේව්මන්ට් එකට නග්ගනවා. කරුමෙට ඒකේ එක රෝදයක්  කාණුවට ගිහින් කුණු බක්කිය ඇල වෙනවා. සමබරතාවය මාව අතෑරලා වෙනතක් බලද්දි මම ඇදගෙන වැටෙනවා පෙරේතයා පොළොවේ ගැහුවා වගේ. තනියම නෙවෙයි පියන ඇරුණු කුණුබක්කියෙන් එලියට පනින කුණු වරුසාවක් එක්ක.

මට ඇස් අදහගන්න බෑ.

කුණු බක්කියෙන් බාගෙකට වැඩිය පාරේ හැලිලා.  අම්මයි තාත්තයි තවත් කබඩ් එකක් අස් කරලා වගේ.  මට පේන්න බෑ එයාලගේ ඔය වැඩේ නම්. එයාලා හොඳ බඩුත් විසි කරලා.  එයින් සමහර දේවල් මගේ.  මගේ වෝටර් වින්ග්ස්. මම ගිණිකූරු වලින් හදපු ගෙයක්.  මගේ ඉලෙක්ට්‍රික් රේසිං කාර් සෙට් එක!  හරි හරි ඒකේ කන්ට්‍රෝලර්ස් නැති වෙලා තමයි. ට්‍රැක් එකේ කෑලි අඩුයි තමයි.  කාර් වල එක රෝදයක්වත් නෑ තමයි. ඒ එකක්වත් මෙච්චර හොඳ රේසිං කාර් සෙට් එකක් කුණු ගොඩට දාන්න තරම් සාධාරණ හේතු නෙවෙයි. එයාලට වටින්නේ නෑ මේක මටත් හොරෙන් විසි කරන්න. පට්ට අසාධාරණයි!

බලන්න ඕනේ තව මොනවද මගේ බඩු මේකට දාල තියෙන කියලා.  මම කුණු බක්කිය කෙලින් කරලා ඇතුලට එබිලා බලනවා.

මේ මොන අපරාදයක්ද!

අම්මා මේ ලෝකෙ මට අයිති වටිනාම වස්තුවත් විසි කරලා.  මම නාන කොට තනියට හිටපු මගේ සුවච, කීකරු රබර් තාරා පැටියා විසි කලේ මොන හිතකින්ද මෙයාලා?  උගේ කහ පාට හොට කුණු අස්සෙන් එලියට මතුවෙලා.

මම ඔලුව උස්සලා බලනවා.

කුණු ලොරිය පාරේ බාගයක් දුර විතර ඇවිත්.   තාරා පැටියව බේරගෙන ලොරිය එන්න කලින් පැන ගන්න වෙලාව තියෙනවා.

“බය නොවී හිටපං. මම උඹව බේරාගන්නවා.”

මම කුණු බක්කියට එබෙනවා. නමුත් තාරාව ඉන්නේ අඩියේ. මගේ අත දිග මදි. මම තවත් එබෙනවා. ඔහ් ඕහ්හ්හ්. ඒත් දිග මදි. තව ටිකා..යි…

මම කුණු බක්කිය ඇතුලට ඔලුව යටට හිටින්න ඇදගෙන වැටෙද්දි, ඔලුව ගිහින් ඇනෙන්නේ, චොර වෙච්ච, ගඳ, මොකක්දෝ ජරාවක් උඩට. ඒකේ රසත් එච්චර හොඳ නැති බව මට මොහොතකින් වැටහෙනවා.

ඒ ඔක්කොමත් හරි.  මට හෙලවෙන්නවත් බෑ.
මට නැගිටින්න බෑ.
ඇයි ඔලුවෙන් හිටගෙන නේ ඉන්නේ.
ලොරියේ සද්දේ ලඟ ලඟම ඇහෙනවා.

මම කකුල් වනලා, දඟලලා, පයින් ගහලා හදන්නේ කුණු බක්කිය පෙරලාගන්න, එතකොට මට එලියට බඩගාගන්න පුලුවන් වෙයි  කියලා හිතලා.

ඒත් කොච්චර දැඟලුවත්, පයින් ගැහුවත් නෙවෙයි වැඩක් වෙන්නේ. වෙච්ච එකම වැඩේ කුණු බක්කියේ පියන වැහිච්ච එක විතරයි.

දැන් මම හිර ගතවෙලා.

මම මේක ඇතුලේ හිර වෙලා ඉන්න බව කවුරුත් දන්නේත් නෑ.

කුණු ලොරිය කුණු බක්කිය ලඟටම ඇවිත් නතර වෙලා ඉන්න බව සද්දෙන් කියන්න පුලුවන්. කුණු බක්කිය පේව්මන්ට් එකෙන් බිමට තල්ලු වෙලා පාරට බැහැපු බව මට තේරෙන්නේ ඒක ‘ඩොහ්ක්’ ගාලා බිම වැදුනු කම්පනයෙන්.  මම හිතන්නේ මේක උස්සලා අර ලොරිය පිටිපස්සේ තට්‍ටුව උඩ තිබ්බද කොහෙද. ඔව්, ඔව්. ඔන්න මාව ගුවන් ගත වෙනවා.  හරියටම ලිෆ්ට් එකක යනවා වගේ. නමුත් ගඳේ වෙනස තියෙනවා.

මම කොච්චර හයියෙන් බෙරිහන් දුන්නත් වැඩක් වෙන්නේ නෑ.  ලොරියේ සද්දේ නිසා මගේ හඬ යටපත් වෙනවා.
මම තාරා පැටියා අල්ලා ගන්නවා.  එතකොටම කුණු බක්කිය ඇලවෙලා උඩ යට මාරු වෙනවා. අපි දෙන්නත් කුණු එක්කම ලොරිය බලියාගෙන ඉන්න කට ඇතුලට වැටෙනවා.

කුණුගඳ!

ඈක්!!

ඇහ්ක්-ඇහ්ක්-ඕහ්ක්හ්

අම්මෝ!!!

මට වෙලා තියෙන පජාතම, ගඳම, කුණුම, චාටර්ම, සීන් එක මේ.

මාව කුණුත් එක්ක හොඳට මිශ්‍ර වෙමින් ඇනෙන්න ගන්නවා යාන්ත්‍රිකව.  මම කෑ ගහන්න කට ඇරියත් පාවිච්චි කරපු ටිෂූ ගුලියක් කටට ගිහින් සද්දේ ‘බහ්’ ගාලා වැහෙනවා.  තව තව අලුතෙන් කුණු බක්කි මගේ ඇඟ උඩට වැටෙමින් මිශ්‍ර වෙමින් රවුමට ඇනෙද්දි, මට හැම දෙයක්ම බොඳ වෙලා පේන්න ගන්නවා.  පුස් කාපු එළවළු, කුණු මාලු,  පාචිච්චි කරපු ඩයපර්ස්!   විශ්වාස කරන්න බැරි තරම් විකල්ප. එක පාරටම මගේ මූණට මූණ දාලා ඉන්නේ මැරිච්ච පූසෙක්. හැබැයි මොහතකින් ඌ අතුරුදහන් වෙනවා – යාන්ත්‍රිකව මිශ්‍ර වීම නොනවත්වාම සිදු වෙනවා.  හොඳ හුස්මක් අරන් කුණු ගොඩ මුදුනට බඩ ගාගන්න හැකි වෙච්ච හැම වතාවෙම නැවුම් කුණු බක්කියකින් හැලෙනකුණු ලෝඩ් එකකට යටවෙන මම ආපහු යට ගිලිලා මිශ්‍ර වෙන්න ගන්නවා.

මේකෙන් එලියට පැන ගන්න ඕනේ.

මට ප්‍රදේශවාසී මහ ජනතාව බේරාගන්න හැකි වුනාට ඒ කාටත් හොරෙන් මට බඩු බනිස් වෙන්නයි යන්නේ!

මට මහාමාරිය හැදෙයි.

මට දැනටමත් මහාමාරිය හැදීගෙන එනවා වගේ දැනෙන්න අරන්.

තාත්තා හරි.

“අපිට විහිළුවේ තරම බලාගත්තෑකි කට්ටියටම මීයෝ නලියන කුණු ගොඩේ  එරි ඇවිදින්න වෙලා…”
දණක් කුණු වල එරිලා ඉන්න එක විහිළුවක් නෙවෙන එකේ ඔලුවටත් උඩින් යන්න කුණුවල ගිලිලා ඉන්න එක හිතාගනිල්ලකෝ.  දැන් මට තේරෙනවා තාත්තේ . නමුත් තාත්තට ඒක කියන්න මම ජීවත් නොවෙන එකයි දුක.

මොකද තව දුරටත් සටන් කරන්න මගේ ඇ‍ඟේ ශක්තියක් ඉතුරුවෙලා නෑ.

මම මැරෙන්න යන්නේ කුණු වල ගිලිලා. කොහෙත්ම නම්බුකාර මරණයක් නම් නෙවෙයි.

මම මගේ තාරා පැටියා පපුවට තුරුළු කරගෙන ඇස් වහගෙන මරණය පිළිගන්න ලෑස්ති වෙනවා.

මොකක්දෝ වෙනසක් දැනෙනවා.

ලෝකෙම නැවතිලා වගේ.

හැමදේම නිහඬයි.

ඒ කියන්නේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම නැති කරගන්න ඕනේ නෑ.

මම ඉහලින් පේන එළිය දිහාට කුණුගොඩ හාරාගෙන යනවා.

මම පුස් පාන් ගොඩක්, හිස් බලු කෑම ටින් රංචුවක්, බලල් බෙටි තලියක් අතරින් ඔලුව එලියට දාලා කුණු ගොඩෙන් මතුවෙනවා.

දැන් මට කුණු, කුණු ගඳ ගානක් නැතුව යන ගානට ඇවිල්ලා. මට පේනවා අහස.

මම තාරා පැටියව ඔලුවට උඩින් උස්සනවා.

“අපිට පණ බේරගෙන මෙතනින් පැනලා යන්න පුලුවන් වෙයිද බලමු,” මම කියනවා.

තාරා පැටියා සතුටින් පීප්-පීප් ගානවා.

මම පණුවෙක් වගේ රිංගගෙන කුණුගොඩ හාරාගෙන  උඩට මතුවෙලා කුණු ගොඩ මුදුනේ ඉඳගන්නවා. ඉන් පස්සේ ඇස් වැහිලා තියෙන සෙවල ජරාව අතින් සූරලා  වටපිට බලනවා.

අපි යන්නේ ප්‍රධාන පාරක් දිගේ.  මට පේන විදීයට දැන් කට කපලා එකක් කුණු පැටවිලා තියෙන නිසා  මේක මේ කුණු හලන්න අර කුණු දාලා ගොඩ කරන වගුරු බිමේ තියෙන ලෑන්ඩ් ‍ෆිල් යනවා.  ඊට කලින් මේකෙන් පැනගන්න ඕනේ.  මගේ ජීවිතේ ඉතිරි කොටස ලෑන්ඩ් ‍ෆිල් එකක කොටසක් හැටියට ගෙවන්න මට ආසාවක් නෑ.

ලොරිය හතරමං හන්දියක රතු එළියට  නවත්තනවා.

මෙන්න මේකෙන් පැනගන්න අවස්තාව.

මම ලොරියේ පිටිපස්සෙන් බිමට බැහැලා අර කුණු බක්කි තියන තට්‍ටුව උඩ හිටගන්නවා.  කොළ එලිය වැටිලා ලොරිය පිටත් වෙනකොටම මම පනිනවා. දුවන ලොරියෙන් පනින මම, කකුල් පැටලිලා වැටිලා, කරණමක් ගහලා නතරවෙන්නේ කාණුවේ.

ඌයි!

ඒක නම් රිදුනා.  ඒත් ඒක කුණු ලොරියක් ඇතුලේ කැලැත්තෙමින් ඉන්නවට වඩා දාහෙන් සම්පතයි.

“ඔයාට මේ මොකද වුනේ?” ලස්සන කට හඬක් අහනවා.
දිව්‍යාංගනාවකගේ කට හඬක්.

ඒ කියන්නේ මම මැරිලා.

ඒ කියන්නේ මට කොහොම හරි අන්තිමේදි මහාමාරිය හැදිලා දිවියලෝකේ ගියා.

ඒත්…ඒත් මේ කටහඬේ මොකක්දෝ අහලා පුරුදු ගතියක් තියෙනවනේ.

මම ඇස් ඇරලා බලනවා.

ලීසා!

ලීසා මැක්නී කාණුවේ ලැගගෙන ඉන්න මා දිහා එබීගෙන බලා ඉන්නවා.

“ඇන්ඩී?”

“ලීසා? ඔයා මැරුණේ කවද්ද?”

“මැරුණේ?” ලීසා පුදුමෙන් අහනවා. “ඔයා මොනවද මේ කියන්නේ? අපි දෙන්න මුණ ගැහෙන්න කතා කරගත්තා නේද මෙතනදි?”

මම කාණු ගැට්ටේ ඉඳගන්නවා.
වටපිට බලනවා.

මේ දිවියලෝකේ නෙවෙයි.
මේ අපාය.

මම ඉන්නේ පාක් එක ඉස්සරහ.
හරියටම මම ලීසාව මුණ ගැහෙන්න පොරොන්දු වුන තැන.
මම හරි වෙලාවට හරි තැනට ඇවිත්. නමුත් අනිත් හැම දේම වැරදිලා. ආයේ හදන්න බැරි විදියටම වැරදිලා.

එයා හිටගෙන  ඉන්නවා පිවිතුරු, නැවුම්, කුමාරිකාවක් වගේ එයාගේ සිනිඳු ලස්සන හිසකෙස් උදේ නැවුම් හිරු එලියෙන් බබලමින්. මම ඉන්නවා මගේ පජාමාස් ඇඳගෙන , කුණු වලින් නාලා, මැස්සෝ පිරිවරාගෙන, රබර් තාරා පැටියා පපුවට තුරුල් කරගෙන, කාණු ගැට්ටේ ඉඳගෙන.

පට්ටම රොමෑන්ටික් සීන් එක.

“ඔයා සීරියස් කියලා මොහොතකට හරි විශ්වාස කරපු හිතපු මමයි මෝඩි,” නහය අතින් වහගෙන අඩි කීපයක් පස්සට ගන්න ගමන් ලීසා කියනවා.”අනේ මම අහුවුනානේ ඔයාගේ තවත් මෝඩ විහිළුවකට ඔයාගේ හැටි දැන දැනත්.”

“නෑ නෑ ලීසා. මම විහිළුවක් කලා නෙවෙයි.” මම නැගිටලා එයා දිහාට අඩියක් තියන ගමන් කියනවා.  මගේ උරහිසේ ‍රැඳිලා තිබුන පණුවෝ නලියන සෙවල මස් කුට්ටියක් ලිස්සලා ගිහින් ලීසාගේ පාමුල වැටෙනවා. එයා අතින් කට වහගෙන පස්සට පනිනවා.

“එන්නෙපා මා ලඟට,” එයා කෑ ගහනවා. “ඔයා, ඔයා ලඟ … ගඳේ බෑ!”

මම තව අඩියක් ඉස්සරහට තියනවා එයාට ලං වෙන්න. මගේ ඇඳුම් වලයි කොණ්ඩෙයි ‍රැඳිලා තිබුන බළල් බෙටි, සිගරට් කොට, බිත්තර ක‍ටු වැස්සක් වගේ බිම හැලෙන්න ගන්නවා.

එයා ආපහු හැරිලා දුවන්න ගන්නවා.

මම නැවතිලා ගල් ගැහිලා  බලං ඉන්නවා, මං පණට වැඩිය ආදරය කරන කෙල්ල, මාව අතෑරලා අප්පිරියාවෙන් ඈතට ඈතට දුවගෙන යන හැටි .

මගේ ජීවිතේ  අමතක නොවන, සුන්දරම උදෑසන වෙන්න තිබුණ එක, නරකම මූසලම, මුස්පේන්තුම උදෑසන බවට පත් වෙච්ච හැටි! ෂික්!

මට කාලම එන්න බැරි,  එයා ආයේ කවදාවත් මාව කිස් කරන්න හිතන එකක් නෑ.  කණ්නාඩිය ඉස්සරහා ප්‍රැක්ටිස් කරපුවා ඔක්කොම වතුරේ.

නමුත් අඩුම ගානේ, මම මොන කට්ටක් කාලා හරි, කුණු වැඩේ ගොඩ දා ගත්තා. තවත් වතාවක් ප්‍රදේශවාසීන් මහාමාරියෙන් බේරාගත්තා.

මම ජීවිත නම් කීයක් බේරාගත්තාද කියලා කාට කියන්න පුලුවන්ද?
රබර් තාරා පැටියගේ ජීවිතේ සඳහන් නොකලත්, මම කියන්නේ.

බලාපොරොත්තු නැතිම කරගන්න හොඳ නෑ.

මම ගෙදර යනවා. ගිහින් මේ මල ඉලව් නූල කපලා දාලා හොඳට නාගන්නවා ඔව් හොඳ…ට. හුඟාක් වෙලා ෂවර් එක යට ඉන්නවා.  අවශ්‍ය වුනොත් අර එයා ෆ්‍රෙෂ්නර් එකෙන් තව ටිකකුත් ගහ ගන්නවා – ඒක සෑහෙන පවර්ෆුල් ඈ.  ඊට පස්සේ ඉස්කෝලෙට ගිහින් එයාට කරුණු පැහැදිළි කරනවා. එයා එතකොට තේරුම් ගනීවි.

ඔව් මට මැවිලා පේනවා.

මම දීපු ගේම ගැන ඇහුවම එයා තේරුම් ගනීවි මම මොනතරම් වැඩ්ඩෙක්ද කියලා.  ඊට පස්සෙ මා ලඟ ගඳයි කිව්ව එකට එයා සමාව ඉල්ලයි.  බැගෑපත්ව සමාව ඉල්ලයි.  මම එයාට සමාව දෙනවා. දීලා කිස් එකකුත් දෙනවා.
හොඳ වෙලාවට මම කණ්නාඩියෙන් බලාගෙන ප්‍රැක්ටිස් කලේ, ඈ.

 

 

 

 

 


20140725_114115

නිමි.
◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ගේ Just Wacky කෙටි කතා සංග්‍රහයේ  පළවූ Trash කෙටිකතාවේ පරිවර්තනයකි.

SImulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

ටැග: , ,

158. කුණු!!! පළමු කොටස / Trash!!! Part 1

158. කුණු!!! පළමු කොටස / Trash!!! Part 1

ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්.

අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් ‍‍රැයක්.

අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ  එක නිසා නෙවෙයි.

අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night!

මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම?

අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හැමෝගෙම නිරෝගීබව ගෙඩි පිටින්ම ‍රැඳිලා තියෙන්නේ මට අඟහරුවාදා රෑට අපේ කුණු බක්කිය පාර අයිනෙන් තියන්න මතක් වෙනවද නැද්ද කියන කාරණාව මතයි.

ඒක වෙන්නෙ මෙහෙමයි.

මට මොන කරුමෙට හරි, වැරදිලාවත්, අඟහරුවාදා රෑට කුණු බක්කිය පාර අයිනෙන් තියන්න අමතක වුනොත්, බදාදා උදේට එන කුණු ලොරියට ඒක පටව ගන්න බැරුව යනවා.

කුණු ලොරියට ඒක  පටව ගන්න බැරුව ගියොත්, කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව යනවා.

කුණු පිරිච්ච කුණු බක්කියට තවත් කුණු දාන්න බැරුව ගියොත්, කුණු උතුරලා ගිහින් බිමටත් හැලෙන්න ගන්නවා.

කුණු  බිමට හැලෙන්න ගත්තාම, මීයෝ එන්න ගන්නවා.

මීයෝ එන්න ගන්නවා කියන්නේ, අහල පහල හැමෝටම මීයන්ගෙන් බෝවෙන මහාමාරිය වගේ භයානක  වසංගත රෝග බෝවෙලා, එකා පිට එකා වැටිලා මැරිලා යනවා.

ඒ ඔක්කොමත් හරි. කාලා එන්න බැරි වැඩේ ඕකේ වැ‍රැද්ද මට පැටවෙන එක.

අන්න ඒකයි ‘කුණු රාත්‍රිය’ සතියේ අනික් හැම රාත්‍රියකටම වඩා වැදගත් වෙන්නේ. Read the rest of this entry »

 

ටැග: , ,

141.පච්චේ – BORN TO DIE – Part 2


DSCN3507_2_2

“නියම අදහස!”

(මේ නියම අදහස මොකක්ද කියලා හිතාගන්න බැරි අය කරුණාකරලා ගිහිල්ලා පළවෙනි කොටස කියවලා එන්න මෙතනින්.)

“හරි, මම ගිහින් එකක් හදාගෙන එන්නං විනාඩියෙං.” ලික් කියනවා.

“මහ්ම්, මෙතනට ගේන්නෙපා,” මම කියනවා. “අවුලක් නැතිනම් ගෙට ගිහිල්ලම බොමු. අද මාර රස්නයක් තියෙන්නේ එළියේ.”

දෙන්නම මූණට මූණ බලාගන්නවා.

“හයියෝ කිසි ප්‍රශ්ණයක් නෑ ඇන්ඩි,” ලික් කැමැත්ත දෙනවා.” යං, යං ගෙට.”

අපි ගල් අතුරපු පාර දිගේ, ගේ දිහාට ඇවිදගෙන යනවා. මටම පුදුමයි මම පෙන්වන සංසුන්බාවය ගැන. මම මොනතරම් ‘කූල්’ පිටද මේක ගන්නේ කියන එක මටත් අදහාගන්න බෑ.

සාලෙට ඇතුල් වුන ගමන්ම, මම කෙලින්ම ගිහින්, තියෙන සැපම පු‍ටුවට පතිතවෙලා, කකුල් දෙක ගන්නවා ස්ටූල් එක උඩට . ස්ටූල් එක උඩ තියෙන සඟරා ගොන්න මම පයින් ඇනලා බිමට දානවා.

“හරි, උඹ මිල්ක්ෂේක් එක හදාගෙන එනකල් මම මෙතන ඉන්නවා.”

“එළ එළ, බොසා. කිසි අවුලක් නෑ,” කියන ලික් කුස්සියට යනවා.

රිමෝට් එක අතට අරන් ටීවී එක දාන මම සද්දේ උපරිමේට වැඩි කරනවා.

“මේ ඇන්ඩි, මචං,”දොරෙන් ඔලුව දාන ලික් බෙරිහන්දෙනවා.

“මොකද?”

“මචං, ඕක පොඩ්ඩක් අඩු කරන්න බැරිද?”

“බෑ. මම කැමති මේ ගානට.”

ටීවී රිමෝට් එක මගෙන් උදුරගෙන, ඒක මගේ උගුර දිගේ බස්සනවද, නැද්ද, කියලා හිත හදාගන්න බැරිව ලික් බලා ඉන්නවා.

“ඇයි, මොකෝ උඹට අවුල්ද?”

“න්…නෑහ්. කිසි අවුලක් නෑ. උඹනේ අපේ ගෙදරට අමුත්තා. මොන ෆ්ලේවර් එකෙන්ද උඹේ මිල්ක් ෂේක් එක ඕනේ?”

“වෙන මොනවද බං? චොකලට් තමයි.”

“හරි මචං. පට් ගාලා ගේනවා,” කියන ලික් කුස්සියට අතුරුදහන් වෙනවා.

මම රිමෝට් එකේ බොත්තම් ඔබාගෙන ඔබාගෙන යනවා. චැනල් 2 වල පෙන්නන්නේ Playschool. අද කට්ටිය කුකබුරාලට ඇඳලා සින්දුවක් කියනවා.

Kookaburra sits on the old gum tree
Merry merry king of the bush is, he

අද රජා මම වෙච්චි කොට, කුකබුරාට කොහොම හිතෙනවා ඇද්ද කියලා හිතා ගන්න මට අමාරු නෑ. ලික්, ලීච් බාන මගේ යටත් වැසියෝ. මම කියන ඕනෙම දේකට මුං අද කැමති වෙන්න ඕනේ. මම තව ටිකක් වෙලා Playschool බලා ඉඳලා ටීවී එක නිවලා දානවා..

“ඒයි, මොකෝ බං මෙච්චර වෙලා කරන්නේ?” මම කෑ ගහනවා.

“බඩු හරි මචං. මේ ගේනවා.” ලීච් කෑ ගහනවා කුස්සියේ ඉඳං.

මට ඇහෙනවා බ්ලෙන්ඩර් එකේ සද්දේ. ඒ සද්දෙට මගේ කටට කෙළ උනනවා. ස්ටීව් ලික්ගේ මිල්ක්ෂේක් එකට ගහන්න නම් ආයේ…

බ්ලෙන්ඩරේ හඬ නවතිනවා.

“මට ඔය බ්ලෙන්ඩර් එකේම හෙම අරං එන්නෙපා. හොඳට හෝදපු වීදුරුවකට දාගෙන වරෙල්ලා ස්ට්‍රෝ එකකුත් දාලා මතක ඇතුව.”

“හරි හරි බොස්.”

මිල්ක් ෂේක් එක බන්දේසියක තියාගත්ත ලීච් පෙර‍ටු කරගෙන ලික් සාලෙට ඇතුල්වෙනවා. ලීච් බන්දේසිය ස්ටූල් එක උඩ තියනවා.

දික් අතට දාර වැ‍ටුන, අර පරණ තාලේ වීදුරුවකට දාපු මිල්ක් ෂේක් එකට, අර ඕනේ අතකට නවන්න පුලුවන් බටේකුත් දාලා. චොක්ලට් අයිස්ක්‍රීම් ලොකු හැන්දක්ම මිල්ක්ෂේක් එක මුදුනේ පාවෙනවා.

ලික් ට්‍රේ එකෙන් වීදුරුව අරං මගේ අතට දෙනවා. ඊට පස්සේ දෙන්නම මගේ පු‍ටුව දෙපැත්තෙන් දණ ගහගෙන මා දිහා ඇසිපිය නොහෙලා බලා ඉන්නවා.

“ඉතිං පොඩ්ඩක් අයිං වෙනවද මට මේක බොන්න?”

“හරි හරි,” කිව්වට දෙන්නා එහෙමමයි.

“එහෙනම් මොනවද උඹලා බලං ඉන්නේ.”

“අපි බලා ඉන්නේ බොසා ඕක බොන හැටි,” ලික් කියනවා.

“අපි බලා ඉන්නේ බොසා ඕක ‘රස විඳින’ හැටි,” ලීච් කියනවා.

ලීච් ‘රස විඳින’ කියන කෑල්ල කිව්ව විදිය, ස්වරය මට එච්චර ඇල්ලුවේ නෑ.

මම පච්චේ හොඳට පේන විදියට මගේ අත ඉස්සරහට දික් කරන්නේ, කවුද මෙතන බොස් කියන එක මෙතන කොයි කාට හරි මොහොතකටවත් අමතක වෙලා නම්, මතක් වෙන්න. පණිවුඩය හරියට ලැබුනද කියලා සැක හැර ගන්න මම පළමුව උන් දෙන්න දිහාත්, දෙවනුව මගේ පච්චය දිහාත් බලලා, ආපහු උන් දෙන්නා දිහා බලනවා.

නමුත් මුන් දෙන්නා බක බක ගාලා හිනාවෙන්න ගන්නවා දකින මගේ ඇඟ හිරි වැටීගෙන යනවා.

“මටත් කියාපල්ලා බලන්න මොකක්ද විහිලුව කියලා,” මම කියනවා.

“අපි කියමුද එහෙනම්?” ලික් අහනවා.

“කියමු,” ලීච් කියනවා. “මම හිතන්නේ අපි ඒක කියන්නම ඕනේ. නැත්නම් පව්!”

ලීච් කමිස අත උඩට අදිනවා…

ලික් කමිස අත උඩට අදිනවා…

උන් දෙන්නගේම අත්වල, හරියටම මගේ පච්චේ තියෙන තැනම වගේ තියෙනවා කොළ පාට ඇස් එක්ක රතු දිග උඩු ‍රැවුලක් තියෙන හිස් කබලෙ පච්චේ, BORN TO DIE රිබන් බැනර් එකට උඩින් දිළිසි දිළිසි!

මම උන් දිහා බලනවා.

උන් මා දිහා බලනවා.

කාමරය නිහඬයි, අල්පෙනෙත්තක් බිම වැ‍ටුනත් ඇහෙන ගානට.

“හරි. තවත් බල බල ඉන්නෙ නැතුව බොන්ට සෑර්! තිබහත් ඇතිනේ. අපිට පරක්කුත් වෙනවා.” ඒ ලික්.

“ම්ම්ම්, මෙහෙමයි ලික්, එහෙම නම් බොහොම ස්තුතියි මිල්ක්ෂේක් එකටයි, ම්ම්ම්…, මට කරපු ආගන්තුක සත්කාර වලටයි. මට ඇත්තටම ඒ හැටි තිබහක් නෑ. මං ගියා නම් හොඳයි.” කියන මම නැගිටින්න පු‍ටුවේ ඉස්සරහට නැඹුරු වුනත් ලික් මාව ආපහු පු‍ටුවටම තල්ලු කරනවා.

“අනේ බං එහෙම හරි නෑනේ, අපි මෙච්චරත් මහන්සි වෙලා. ඔය කිව්වට උඹට මේ මිල්ක්ෂේක් එක බීලා යන්න බැරි තරම් හදිස්සියක් තියෙන්න බෑ. අපරාදෙනෙ මචං.”

“මේ අහපල්ලකො දෙන්නම. මට ඇත්තටම යන්න ඕනේ. මට පරක්කු වෙනවා මචංලා.”

“හුම් ඇත්තට?” ලික් කියනවා. “බීපං ඕක.”

අනිත් දඬුවම් එක්ක බැලුවාම මිල්ක්ෂේක් එකක් බොන එක මොන දඬුවමක්ද? මම වීදුරුව කටට ලං කරනවා. තොල් වල බීම ගෑවෙනකොටම ලීච් කට හඬ අවදි කරනවා.

“හැබැයි පොඩීඊඊඊඊඊ දෙයක් නම් කියන්න තියෙනවා. බොසා අපිට සමාවෙන්ටෝනැ. ගේ හරියේ තිබ්බේ නෑ ඕකට දාන්න චොක්ලට් සිරප් ඇබින්දක් හොයා ගන්න.”

හදිසියෙම මගේ මුළු ඇඟම දාඩියෙන් තෙත් වෙනවා මට දැනෙනවා.

“ඒකෙ අවුලක් නෑ.” මම කියන්නේ සංසුන්බව පිටතට පෙන්නන්න හැම උත්සාහයක්ම දරමින්. “මොනවද ඒ වෙනුවට දැම්මේ, ඉතින්?”

“හංගොල්ලො.” ලීච් කියනවා. “හා, දැං බීපිය ඕක!”

නිමි.

ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් ලියූ “Just Joking” කෙටි කතා සංග්‍රහයේ පළවූ Born to Die කෙටි කතාවේ සිංහල අනුවාදයයි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger lovers

 
ප්‍රතිචාර 10

Posted by මත සැප්තැම්බර් 1, 2013 in Andy Griffiths, ජොලි කතා, පරිවර්තන

 

ටැග: , ,

140. පච්චේ – BORN TO DIE – 1

140. පච්චේ – BORN TO DIE – 1

මෙදා පොටේ දුන්න බැටේ, ඈ. ඔන්න ඉඳලා ඉඳලා අන්තිමේදි වැඩේ ගොඩදාගත්තයි කියහංකෝ. මම මේක කරගන්න කාලයක් තිස්සේ පෙරුම් පුරලා, පුරලා, කල් දාලා, දාලා, අන්තිමේදි අද උදේ වැඩේ කලා

ඕං දැන් මටත් පච්චයක් තියෙනවා.

ඒකෙ තියෙන්නේ හිස් කබලක්. ඒකට ඉහලින් ගානට රවුමට කැරකිලා ගිය රාජාලි ත‍ටු දෙකක්. හිස් කබලේ ඇස් කුහරවල පතුලේ කොළපාට භයංකාර ඇස්ගෙඩි දෙකක්. දෙපැත්තෙන් උඩට නැවිලා රාජාලි ත‍ටු දිහාට යන හීනි රතු උඩු ‍රැවුලක්. හිස් කබලේ යට BORN TO DIE කියලා කියලා ලියපු පොඩී රිබන් එකක් වගේ බැනර් එකක්.

borntodie

මේකට මහ ගානක් ගියෙත් නෑ. වෙනදට ඩොලර් දෙකයි සත අනූපහට දෙන පච්චේ, අද TARGET එකේ සේල් දාලා තිබ්බ සත අනූ නමයකට.හොඳම දේ තමයි, මේක ගහගන්න ගිහින් චූට්ටක්වත් රිදුන්නැති එක.

ඔන්න ඉස්සෙල්ලම, අර උඩින් අලෝලා තියෙන ඉටි කොලේ ගලෝලා දාලා, ඇලෙන පැත්ත හමට තියලා තද කරනවා. ඊට පස්සේ, තෙත ස්පොන්ජ් එකකින් පච්චේ පොඟවලා, තප්පර තිහක් ඉඳලා, චිරිස් ගාලා කොලේ ඇදලා ගලවලා දානවා.

හරි හරි ඉතිං, මේක ඇත්ත පච්චයක් නෙවෙයි තමා. නමුත් මේකේ වෙනස හොයන්න බැරි තරම් තාත්විකයි. පුදුම වැඩේ කියන්නේ, මේක ගැහුවට පස්සේ මට මාර වෙනසක් දැනෙන එක. මට දැනෙනවා මම වෙනදට වඩා විශාලයි වගේ, ශක්තිමත් වගේ, නිර්භීතයි වගේ. කොටින්ම වෙනදට නැති පොරත්වයක් දැනෙනවා. මට මේ වගේ සිරාම සිරා පච්චයක් තියෙන බව දකින කිසිම එකෙක්, අදින් පස්සේ නම් මගේ ඇහැට වැලි ගහලා, මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් උස්සන්න හීනෙකින්වත් හිතන එකක් නෑ. හරි හරී. මට මේ මොහොතේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැති බව ඇත්ත. නමුත් අදින් පස්සේ තත්වේ වෙනස්වෙයි. මට ෂුවර්, මේ පච්චේ දැක්ක ගමන්, ඉස්කෝලේ කෙල්ලෝ එකා පිට එකා වැටිලා මගේ පස්සෙන් එන්න ගනී කියලා, කෙල්ලො විතරක් නෙවෙයි, ටීචර්ස්ලා පවා…

පැකට් එකේ ගහලා තියෙන්නේ මේක දවස් ගානක් පවතිනවා කියලයි. ඒ කියන්නේ කල්පාන්තරයක්! ඒකෙම තියෙනවා පවුලේ අයව, යාලුවන්ව විශ්මයට පත් කරන්න පුලුවන් කියලා. නමුත් මගේ අදහස පවුලේ අයවවත්, යාලුවන්වවත් විශ්මයට පත් කරන්න නෙවෙයි. මගේ සතුරන්ව විශ්මයට පත් කරන්නයි. ඒ කියන්නේ ස්ටීව් ලික් සහ රොබට් ලීච් බාන තමයි.

ස්ටීව් ලික් ඉන්නේ කන්ද පාමුල. පොර මට වඩා අවුරුදු කීපයක් වැඩිමල් වුනත් ඌයි මායි කාලයක් එකට වල බැස්සා, ඔය සති අන්තවල. පස්සේ තමයි පොරට ඔය රොබට් ලීච් සෙට් වුනේ.

කන්දේ එහා පැත්තේ ඉන්න රොබට් ලීච්, කම්බි වලින් හදපු කපු‍ටු කූඩුවක් වගේ කොණ්ඩයක් තියෙන පොරක්. පොරගේ මූණ හරියට මීයෙකුගේ වගේ. හීනි උල් නහය. එලියට නෙරපු දුඹුරු පාට ඇස්. බුවාට ‍ෆිෆ්ටීන් ස්පීඩ් රේසිං බයික් එකක් තියෙන හන්දයි, සිගරට් බොන හන්දයි, බුවා හෙන පොරක් කියලා ඇඳලා ඉන්නේ. බුවාට මාව දිරවන්නේ නෑ. දිරවන්නේ නෑ නෙවෙයි, මාව පේන්න බෑ, ඇලර්ජික්! මම දන්නේ නෑ ඇයි කියලා. මම උපන්න වැ‍රැද්දට වෙන්නැති.

මෑතකදි ඉඳන් මුන් දෙන්නා කන්ද පාමුල ලික්ගේ ගේ ගාවා ඉඳන් බලං ඉන්නවා මං එනකල්. මුං දෙන්න මට යන්න දෙන්නෙම නෑ පාස්වර්ඩ් එක කියනකල්. අදයි කියලා වෙනසක් නෑ, මම වංගුවෙන් ඒ පාරට හැරෙනකොටම මට පේනවා මුං දෙන්නා බලං ඉන්න හැටි මං එනකල්. ලීච් පේව්මන්ට් එකේ මැද බිම ඉඳගෙන කට උල් කරගෙන සිගරට් දුම් වළලු යවනවා එකක් පිටිපස්සේ එකක්. ලික්, කහපාට ප්ලාස්ටික් බාල්දියක් අතේ තියාගෙන ලියුම් පෙට්ටියට හේත්තු වෙලා ඉන්නවා. මම පාරේ එහා පැත්තට මාරු වුනත් ඕකුන් ටක් ගාලා ඒ පැත්තට ඇවිත් මාව අල්ලාගන්න බව මම දන්නවා. මම හදන්නේ මුංව ගණං නොගෙන, නොදැක්ක පාට් එකෙන් යන්න.

“හප්පට සිරි බොල,” ලීච් කියනවා. “මේ අපේ පරණ බොක්ක ඇන්ඩියා නේද?”

ලික් හිකි හිකි ගානවා.

“මට මෙතනින් යන්න ඉඩ දෙනවද පොඩ්ඩක්?” කියන මම, ලීච්ව මග ඇරලා වටෙන් යන්න හදනකොටම ලීච්ගේ අත විදුලි වේගයෙන් දික්වෙලා මගේ වළලුකරින් අල්ලා ගන්නවා.

“මොකෝ මේ හදිස්සිය?” ඒ ලීච්. “අනේ කරුණාකරලා කියාපං.”

“අනේ කරුණාකරලා,” මම කියන්නේ කෙලින්ම ඉස්සරහ බලාගෙන.

‘අනේ, අනේ මට අනුකම්පාකරලා කියාපං.”

‘අනේ, අනේ මට අනුකම්පාකරලා.”

‘අනේ, අනේ සර් මට අනුකම්පාකරලා කියාපං.”

මේ කතාව තව සෑහෙන්න ඇදි ඇදි යන එකක් බව මම අත්දැකීමෙන් දන්නවා. නමුත් අද මං ‍රැග් වෙන්න ඕනේ නෑ මෙච්චර සිරා පච්චෙකුත් තියාගෙන. මම ගානක් නැතුව කූල් පිට ජර්සියේ අත උඩට රෝල් කරනවා. ඔය තියෙන්නේ පච්චේ දිළිසි දිළිසි! හිස්කබලේ ඇස් වලින් ගිණි පිටවෙනවා වගේ පේනවා.

“හරි හරි, අනං මනං ඕනේ නෑ. අයිං වෙයල්ලා මට යන්න මෙතනිං. නැතිනං…”

ලීච් හිනාවෙනවා.

“ඇයි, නැතිනං මොකෝ?”

හෝ ගාලා කෝච්චියක් වගේ දුම් වළලු යවන පොර මගේ පච්චේ දකින්නේ නෑ. නමුත් මට පේනවා ලික් එක දැකපු බව, මොකද බුවා දැනටමත් අඩි දෙකක් පස්සට අරං!

“ඒයි, ලීච්, ඔය ඇති.”

ලීච් හිනාව නවත්තනවා.

“ඈ?”

ලික්, ලීච් ලඟට ගිහින් කණට කොඳුරනවා.

ලීච් දඩි බිඩි ගාලා පේව්මන්ට් එකෙන් නැගිටිනවා. විශ්මයෙන් රවුම් වෙච්ච උගේ ඇස් රැඳිලා තියෙන්නේ මගේ පච්චේ. ලීච් අඩි කීපයක් පස්සට යනවා.

“දැංවත් මට ගියෑකිද?”

“ඔ…ඔ…ඔව්වොව්. අපි මේ පොඩි අ.. විහිළුවක් කලේ. මේ…මේ නිකං ජොලියට.”

“ජොලියට? උඹලා ජොලිය කියන්නේ මේ වගේ පජාත වැඩ වලටද?”

ලීචුයි ලිකුයි දෙන්නම හරියට බය වෙච්ච හා පැටව් දෙන්නෙක් වගේ ගල් ගැහිල බලා ඉන්නවා. මුං දෙන්නා ඇත්තටම බය වෙලා තියෙන්නේ මගේ පච්චෙටද නැතිනම් පච්චේ නිසා මගේ හැසිරීමේ ඇතිවෙලා තියෙන වෙනස් කමටද කියන එක මට හරියටම කියන්න අමාරුයි. මට කොහොම වුනත් කමක් නෑ. මම මැණික් ක‍ටුව නව නවා අතේ මස් පිඬු පුම්බන්න උත්සාහ කරනවා. නමුත් ඒක මම හිතන තරම් ලේසි නෑ. මොකද පිම්බෙන්න දෙයක් නැති නිසා. නමුත් හිස්කබලට පණ ඇවිත් වගේ සතුටින් නලියන්න පටං අරන්. හරි නම් මම බය වෙලා ඉන්න ඕනෙ මේ මොහොතේ, මට දැනෙන්නෙ අමුතුම සැහැල්ලු, නිශ්චල ගතියක්. හරියට මට ඕනෙම දෙයක් කරන්න බලයක් ලැබිලා වගේ. ඔව්. මට ඕනෙ නම් පුලුවන් මම මෙච්චර කල් කාපු චාටරේට හරියන්න මුන්ට අමතක නොවෙන පාඩමක් උගන්නන්නත්!

ලික්ගේ අතේ තවමත් කහපාට බාල්දිය.

“මොනවද ඔය බාල්දියේ?” මම අහන්නේ පොර වගේ.

“හ…හංගොල්ලෝ.” ලික් කියන්නේ පහත් හඬින්.

“මොනවටද?” මම අහන්නේ උත්තරේ නොදැන නෙවෙයි. මුං අර නට්සි වදකාගාරවල වගේ හංගොල්ලො මරන්න අලුත්ම, ජරාම ක්‍රම අත්හදා බලලා අමුතුම කික් එකක් ලබනවා කියලා මම දන්නවා.

“ම්ම්ම්…අපේ තාත්තා තමයි කිව්වේ මුංව එකතු කරන්න කියලා එයාගේ රෝස පාත්තිය විනාශ කරන නිසා.”

“අනේ මේ, මට ඔය බබා පාට් නොදා ඕකුන්ට යන්න දීපං.”

ලික් ලීච් දිහා බලනවා. ලීච් ඔලුව වනලා හා කියනවා. ලික් බාල්දිය අනිත් පැත්ත හරවනවා. අලු පාට, පුශ්ඨිමත් හංගොල්ලො විස්සක් විතර බඩවැටියට හැලෙනවා. එක ගුලියට හිටපු උං අමාරුවෙන් එකිනෙකාගෙන් වෙන් වෙලා යන්න දඟලනවා දකින මම ඔලුව දෙපැත්තට වනන්නේ අප්‍රසාදයෙන්.

“උඹලට කොහොමද මම දන්නේ නෑ. මට නම් මේ වැඩේ අල්ලන්නේ නෑ.”

දෙන්නම සද්ද නෑ.

“මට අල්ලන්නේම නැති අනිත් වැඩේ තමයි, උඹලා හැමදාම මං එනකල් මග ‍රැකගෙන ඉඳලා මාව අල්ලගෙන ගොං ආතල් ගන්න එක. ඒ වැඩේ වහාම නවත්තපල්ලා, මාව මාරයෙක් කර නොගෙන.”

“සොරි මචං,” ලික් කියනවා. “ඕවා ඔක්කොම හරියන්නත් එක්ක යං අපේ ගෙදරට ගොඩ වෙලා මිල්ක් ෂේක් එකක් බොන්න.”

හරි නම් මම කලයුත්තේ දැන් මෙතනින් පිටත් වෙලා කන්ද නැගගෙන ගෙදර යන එක වුනත්, මට මේ අලුතින් ලැබිච්ච බලය පාවිච්චි කරලා ගන්න මේ ආතල් අතහැරලා යන්න ලෝබ හිතෙනවා. ලික් මාත් එක්ක වලබහින කාලේ ඌ හදලා දීපු සීතල මිල්ක් ෂේක්වල රස මට දැනෙනවා වගේ. අපරාදේ කියන්න බෑ ඌට ඒක නම් නියමෙට පිහිටලා තියෙනවා. පුරවපු මෝල්ට් තේ හැඳි දෙකයි, බිත්තර, අයිස්ක්‍රීම්, තව චොකලට් සිරප් බෝතල් බාගයක් විතර…

ඊලඟට මොකද වෙන්නේ? දින කීපයක් ඉවසපල්ලා ඈ. පේනවනේ පච්චේ?

banner 2

Simulblogged @ මගේ ඩෙනිම for Blogger lovers

 
ප්‍රතිචාර 3

Posted by මත අගෝස්තු 24, 2013 in Andy Griffiths, පරිවර්තන

 

ටැග: , ,

133. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.

133. බෝම්බයද? ඔබද? BEAT THE BOMB! අවසන් කොටස.

ඩැනී හිනාව නතර කරලා මා දිහා ඔරවාගෙන බලා ඉන්නේ මට පිස්සුද කියලා වෙන්න ඕනෙ.

(මේ කතාවේ අගක් මුල තේරෙන්නේ නැතිනම්, මෙතනින් යන්න මුල් කොටසට.)

“මොකක්? ඩැනී අහනවා.

මම අතින් කියනවා ඩැනීට කට වහගන්න කියලා.

“ස්තුතියි මාර්වි,” මම කියනවා. මේ තෑගි මුදල ඔබ අතට පත් කරන්නේ කොහොමද කියන එක, අපි ඉදිරි දින කීපය ඇතුලත ඔබ අපට ලබා දීපු ලිපිනයට දැනුම් දෙනවා.

“ක්‍රිස්,” මාර්වි කියනවා. “ඔයා අද මගේ මමීගෙයි, මගෙයි සිත් මේ තරම් සතු‍ටු කලාට ඔයාට කොහොම ස්තුති කරන්නද මන්දා.”

“සුළු දෙයක් මාර්වි,” කියන මම රිසීවරය තියනවා.

“උඹට පිස්සුද බං? ඩැනී කෑගහනවා. “උඹට මඤ්ඤංද?”

“මාර්වින්ගේ තාත්තා නෑ.”

“ඉතිං?”

“ඉතිං උන්ට ඇත්තෙන්ම සල්ලි ඕනෙ.”

“ඉතිං උඹ ගොනා වගේ පොරොන්දු වුනා ඩොලර් පන්සීයක් උන්ට දෙන්න?”

මම ඔලුව වනලා අනුමත කරනවා.

“අම්මා ගහයි කී බෝඩ් එකෙන්,” කියන ඩැනී ඔලුව දෙපැත්තට වනන්නේ කට ඇද කරගෙන. “යකෝ, උඹත් කරන්නේ මහ…”

“මාර්වියගේ අම්මා අඬනවා ඩැනී. මාර්වින් කියනවා ඒ දෙන්නා පුදුම සටනක්ලු දෙන්නෙ ජීවිතේ ගැට ගහ ගන්න. ඉතිං මම කොහොමද බං කටක් ඇරලා කියන්නේ, අපි විහිලුවක් කලේ , ඕවා ගනං ගන්න එපා කියලා? මට බෑ බං ඩැනී එහෙම කරන්න.”

“ඉතිං හරකෝ උඹ හදන්නේ කරපු පොඩි විහිලුව පොඩ්ඩක් ගැස්සිලා ගිහිල්ලා චාටර් වෙලා, උඹට දුක හිතුන නිසා, ඒ මිනිස්සුන්ට ඩොලර් පන්සීයක් යවන්නද?”

“මේක පොඩි විහිළුවක් නෙවෙයි මචං. මේක අපි ඉල්ලගෙන කාපු, මහා පරිමානේ, මෙගා චාටර් එකක්.”

“මම කියන්නද වැඩක් ඕකට?”

“කියපං බලන්න.”

“අපි මොකුත් නොකර, සද්ද නොකර ඉම්මු, එතකොට ඕකට නිදහසට කරුණු කියන්න ඕනෙත් නෑ. අපියි ගින්න දුන්නෙ කියලා මාට්‍ටු වෙන්නේත් නෑ.”

“හරි, උන් රේඩියෝ ස්ටේෂන් එකට කතා කරල ඇහුවොත්?”

“අවුලක් නෑනේ බං. උන් මේ ගැන මෙලෝ දෙයක් දන්නෙත් නෑනේ. මාර්වියට තේරෙයි කවුරු හරි ඌට අණ්ඩරයක් දීපු බව.”

“ඒ වුනාට ඒක මහ පජාත වැඩක් බං. නිකං හිතපං ඌට මොනවා හිතෙයිද කියලා. ඒක නිකං මේ තමන් ලණුවක් ගිල්ලා කියලා දැනගත්තට වඩා අප්සෙට් වැඩක්නේ බං. අනික ඒ මිනිස්සු විඳලා තියෙන කරදර මදිවට! අපිට මේ සල්ලි යවන්න වෙනවා.”

“උඹ කොහොමද මේ සල්ලි හොයන්නේ කියලා මට කියහං බලන්න. බැංකුවක් බිඳලා?”

“නෑ. අපි කාර් හෝදමු. ලෝන් වල තණකොළ කපමු. අපේ දෙන්නගෙම පොකට් මනි දාමු, ඊට පස්සෙ ඒ සල්ලි වැඩිම පොළියක් දෙන බැංකුවක දාමු. එතකොට ඔය ගාන හොයන එක අපිට මහා ගේමක් වෙන එකක් නෑ.”

“අපිට?” ඩැනී අහනවා.

“ඇයි මොකද?”

“උඹනේ කෝල් එක දුන්නේ.”

“උඹ ඒකට සප් එක දුන්නේ නැද්ද?”

“උඹේනේ ඔය ගොං අයිඩියා එක.”

“උඹට තිබුනනේ මාව නවත්තන්න.”

ඩැනියා උගේම ඔලුවට අත්දෙකෙන්ම චටාස් පටාස් ගාලා පාරවල් කීපයක් ගහගෙන අත් දෙකෙන්ම ඔලුවබදා ගන්නවා.

“උඹ කියන්නේ ඇන්ඩි, අපිට කාර් කීයක් හෝදන්න වෙයි කියලද ඔය ගාන හොයන්න?”

DSC_0133upload

මම ඒකට උත්තරයක් දෙන්න කලින් ෆෝන් එක වදිනවා මහා හඬින්. අපි දෙන්නම තිගැස්සෙනවා.

“හෙලෝ.”

“මට ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ට කතා කරන්න පුලුවන්ද?”

“කතා කරනවා.”

“හෙලෝ ඇන්ඩි, මම ක්‍රිස් රොබින්ස් BBB FM එකෙන්.”

මගේ බඩ එක පාරටම හිරි වැටිලා යනවා වගේ මට දැනෙනවා. වැඩේ ගස් වගේ. මේකා කොහොමද දැනගත්තේ මම ඒකා වගේ පෙනී ඉඳලා වංචාවක් කලා කියලා? මාර්වින් ආපහු කෝල් එකක් අරන් චෙක් කරන්න ඇති මේක ඇත්තක්ද බොරුවක්ද කියලා. බොරුවක් බව දැනගත්ත ගමන් මාව සැක කරන්න ඇති.

“කවුද බං ඒ ගමන ඔය?” ඩැනී අහන්නේ මගෙන්. මම රිසීවරය අතින් වහගන්නවා.

“ක්‍රිස් රොබින්ස් බං. බුවා සීන් එක දැනගෙන වගේ. දැන් මං මොකක්ද කියන්නේ?”

“කතා කරපං. පොරට ඒක ඔප්පු කරන්න බෑනේ.”

“ඇන්ඩි, ” ක්‍රිස් අහනවා. “ඔයා අහගෙනද ඉන්නේ?”

“ඔව් ඔව්. මේ අහගෙන ඉන්නේ.”

“මම හිතුවා සද්දයක් නැති වෙනකොට ඩිස්කනෙක්ට් වුනාවත්ද කියලා.”

“නෑ. මට මේ පුදුම හිතුනා, ඒකයි. ඉතින් ක්‍රිස් මගෙන් මොනවද කෙරෙන්න ඕනේ?”

“ම්ම්ම්… මම මේ දැන් කුසපත් ඇදලා ඔයාගේ නම ‍තෝරාගත්තා ‘බෝම්බයයි-ඔබයි’ ක්‍රීඩා කරන්න. නමුත් ඔයා අකමැතිනම්…”

“පිස්සු කතා කරනවද ක්‍රිස්?” මට කෑ ගැස්සෙනවා. “මම අකමැති වෙන්නෙ මොකෝ? “

මේක නම් හීනයක් වගේ. මෙහෙම දෙයක් වෙන්න පුලුවන් සම්භාවිතාවය කීයද? මිලියනයකට එකක්? හපොයි වෙන්න බෑ. සමහරවිට ට්‍රිලියනයකට එකක් වගේ…

“හොඳයි ඇන්ඩි, එහෙනම් සූදානමින් ඉන්න. අපි තව මොහොතකින් ඔයාගේ කටහඬ ගුවනට මුසු කරනවා. ඊට කලින් අපේ අනුග්‍රාහක භවතුන්ගේ ප්‍රචාරක දැන්වීම් කීපයකුත්, ඉන් පස්සේ අපේ BBB FM තේමා වාදනයත් ඔයාට ඇහේවි. තේමා වාදනයට පස්සේ අපි තරඟය පටන් ගන්නවා… ම්ම්ම්… ඒක නෙවෙයි ඇන්ඩි තව පොඩි දෙයක් තියෙනවා.”

“ඕව්?”

“ඔයාගේ රේඩියෝ එක ඕෆ් කරන්න. මොකද අපි තප්පර 10ක ප්‍රමාදයක් ඇතිව විකාශනය කරගෙන යන නිසා රේඩියෝ එකදාලා තිබ්බොත් ඒක තරමක් පැටලිලි සහගත වෙන්න පුලුවන්.”

“හරි.”

ටෙලිෆෝන් රිසීවරය තුලින් මට ඇහෙන ‘චීපීස් – කාපට් පිරිසිදු කිරීමේ අග තැන්පත් විශේෂඥයෝ’ දැන්වීමේ, පුදුමාකාර සමීප බවක්, හුරුපුරුදු බවක් මට දැනෙන්නේ. මේ මොහොතේ ඩැනියා මා ලඟම හිටියේ නැති නම්, මම අනිවා සැක කරන්නේ ඌ මාව අන්දන්න හදනවා කියලා.

ඔන්න සුපර් මාකට් දැන්වීමට පස්සේ BBB FM තේමා වාදනය. වල්ගාතරු, සමග උල්කාපාත නැවතත්…”BBB FM, Taking you back to the sixties and seventies.. ටැං ටිං ‍ටුං ටිංගලිං ලිං”

ක්‍රිස් රොබින්ස්ගේ හඬ.

“සුභ සන්ධ්‍යාවක්. මේ ඔබේ ප්‍රියතම චැනලය BBB FM. මම ක්‍රිස් රොබින්ස්. මේ පැයේ, ‘බෝම්බයද- ඔබද’ තරඟ කිරීමට දුරකථනය ඔස්සේ අප සමඟ එකතු වෙලා ඉන්නවා, ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් . ඉතින් කොහොමද ඇන්ඩි?”

“හොඳින් ඉන්නවා.”

“අහන්නත් සතු‍ටුයි, අද හවස මොනවත් විශේෂ දෙයක් කලාද ඇන්ඩි?”

කොහොමද මම මේ යකාට කිව්වොත්, අද හවස මම බුවා වගේ රඟපාලා ෆෝන් එකෙන් එකෙකුට බෝම්බයද ඔබද ලණුවක් ගිල්ලවලයි මේ ඉන්නේ කියලා. පට්ට අයිඩියා එක, නමුත් මට මේ සල්ලි ඕනෙ කරනවා මේ මොහොතේ.

“එහෙමට දෙයක් කලේ නෑ.”

“නියමයි, නියමයි! ලෑස්තිද බෝම්බයයි-ඔබයි ක්‍රීඩා කරන්න?”

“මම ලෑස්තියි.”

“හොඳයි එහෙනම් – ඇන්ඩි දන්නවනේ තරඟයේ නීති රීති, නේද?”

“ඔව් මම දන්නවා,”

මම එහෙම කිව්වත් ක්‍රිස් නීති රීති නැවත මතක් කරනවා.

“හොඳයි එහෙනම් මෙන්න අපි ටයිමරය ඔන් කරනවා.”

ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් විස්සයි,” අභ්‍යාවකාශයෙන් එන හඬ කියනවා.

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

මට හිතෙනවා විස්සෙන් සෑහීමකට පත්වෙලා ටයිමරේ නවත්තන්න කියන්න. මේ බෝම්බ විශ්වාස කරන්න බෑ. සමහර වෙලාවට ‍ෆියුස් එක හරිම කොටයි. ඩෝං ගාලා පුපුරනවා.

“ඩොලර් විසි පහයි.”

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් එකසිය හතලිස් අටයි.”

දැන් නම් මට මේක නවත්තන්නම ඕනෙ. නමුත් කට ඇරියට වචන පිටවෙන්නේ නෑ. මාව ගල් ගැහිලා. අනේ මට තව…

“ඩොලර් දෙසිය අනූවයි”

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් හාරසිය හැට හයයි.”

දැන් නම් ‘ටික්-ටික්’ සද්දේ මගේ කන් බිහිරි කරවන තරම් . දැන් කොයි වෙලාවේ හරි බෝම්බේ පුපුරනවා. මගේ කෑලි කාමරේ පුරාම විසිරිලා යාවි. ඒත් මම ගොලුවෙලා.

“ඩොලර් පන්සිය දෙකයි.”

මට තවත් ඉන්න බෑ.

“නවත්තන්ඩෝ.” මම කෑගහන්නේ යටි ගිරියෙන්.

“ඇන්ඩි?”

“ඔව්?”

“ඔයා දන්නවද ඔයා දැන් කරපු දේ?”

“ඔව්,” මම කියන්නේ හීනෙන් වගේ.

“ඇන්ඩි ඔයා ඩොලර් පන්සිය දෙකක් දිනුවා. මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ඒ ගැන?”

මම ආයෙම ගොලු වෙලා.

ඩැනියා උඩ පනිනවා.

“කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

“කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

“කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

“කීයක්ද (ඩැනියා ගුවනේ) මචං (ඩැනියා බිම)?

“ඩොලර් පන්සිය දෙකයි.” මම කියනවා.

ඩැනියා හූ කියමින් උඩ පනිනවා.

“දාපං පහාක්! දාපං පහාක්” ඩැනියගෙයි මගේයි අත්ලවල්, අපේ හිස් වලට උඩ අවකාසෙදි ‘චටාස්’ හඬින් එකට ගැටෙනවා.

“ඒක නෙවෙයි ඇන්ඩි,” ක්‍රිස් කියනවා. “ඔයා මොනවද කරන්න යන්නේ මේ මුදලින්?”

එවරස්ට් කන්ද තරම් උස මාර්ස් චොක්ලට් බාර් කන්දක් මගේ ඇස් ඉදිරිපිට මැවිලා, ටිකකින් මතුවෙන දැවැන්ද සීඩී කුලුනකටත්, පපුවට දෝයි දෝයි ගාලා වදින සබ් වූෆර් එකක් තියෙන, කං අඩි පැලෙන චැනල් 5.1 සරවුන්ඩ් සවුන්ඩ් සිස්ටම් එකක හඬ සමගත් මුසු වෙනවා. ඩිහ්හ්-ඩිග්ග්, ඩිහ්හ්-ඩිග්ග්, ට්ෂ්-ට්ෂ්, ඩිහ්හ්-ඩිග්ග්, ඩිහ්හ්…ඒ දර්ශනය මැකී ගිහින් මතුවෙන්නේ ඇස් නිලංකාර කරමින් දැල්වෙන, නිවෙන, පාට පාට එලි, මල් වෙඩි සමග, ආර්කේඩ් එකේ ගත කරන සති අන්තයක්.

ඒත් ඒ එක්කම මට මතක් වෙනවා…

මාර්වින්වයි අම්මවයි.

“මට ඒක හරියට කියන්න බෑ, ක්‍රිස්,” මම කියනවා. “සමහරවිට මම ඒක මගේ යාලුවෙකුට දෙන්නත් ඉඩ තියෙනවා.”

ඩැනී ඇහිබැම උඩ දානවා.

“ඒක ඔයාගේ කැමැත්තක් ඇන්ඩි.” ක්‍රිස් කියනවා. “එහෙනම් අපේ උණුසුම් සුභ පැතුම්! අපිට ඔයා ගැන තව විස්තර ටිකක් අවශ්‍ය කරන නිසා තව පොඩ්ඩක් වෙලා අපිත් එක්ක රැඳිලා ඉන්න. එතෙක් ඔබේ රසාස්වාදයට සඳහාම අපි ඔබට ගීතයක් ඉදිරිපත් කරනවා. ඇන්ඩි, ටොම් ජෝන්ස්ට කැමතිද?

මට ටොම් ජෝන්ස් පේන්න බෑ. නමුත් ඩොලර් පන්සිය දෙකකට මම ඕනෙ දෙයක් කියන්න ලෑස්තියි අද.

“ටොම් ජෝන්ස්ට කැමතිද? කැමතිද නෙවෙයි මම පට්ට ලයික්! ටොම් ජෝන්ස් මගේ ෆේවරිට්”

“ඇත්තට? එහෙනම් මේ ඔබ වෙනුවෙන්මයි. ටොම් ජෝන්ස්, ඒ උපන් ගමේ නිල් තණ යාය ගැන ගයන්නට,” ක්‍රිස්ගෙ වචන ඇහෙන්නේදැනටම පටන් ගත්ත ටොම් ජෝන්ස්ගේ Green Green Grass of Home ගීතයේ ආරම්භයට උඩින්.

“මේ ඇන්ඩි ග්‍රි‍ෆිත්ස්ෆ්ගේ වගේම, ඔබේත්, ඔබේ මිතුරන්ගේත් සිහින සැබෑ කරන, BBB FM!

The old home town looks the same (උණුසුම් සුභ පැතුම්, ඇන්ඩි!”)

as I step down from the train,“(ස්තුතියි, ක්‍රිස්.”)

and there to meet me is my Mama and Papa.

Down the road I look and there runs Mary

Hair of gold and lips like cherries.

It’s good to touch the green, green grass of home.

Yes, they’ll all come to meet me, arms reaching, smiling sweetly.

It’s good to touch the green, green grass of home.

The old house is still standing

tho’ the paint is cracked and dry,

and there’s that old oak tree I used to play on.

Down the lane I walk with my sweet Mary,

Hair of gold and lips like cherries.

It’s good to touch the green, green grass of home.

Yes, they’ll all come to meet me,

arms reaching, smiling sweetly.

It’s good to touch the green, green grass of home…

Then I awake and look around me

At four gray walls that surround me

And I realize – yes – that I was only dreaming.

For there’s a guard and there’s a sad old padre

Arm in arm we’ll walk at daybreak.

Again I’ll touch the green, green grass of home.

Yes, they’ll all come to see me in the shade of that old oak tree

As they’ll lay me neath the green, greeeen gra…ss o…..f ho…me.

මට කැරකිල්ල වගේ. මම මේ ලෝකෙ ඉන්න ලොකුම වාසනාවන්තයද, නැතිනම් ලොකුම අවාසනාවන්තයද කියලා මම කල්පනා කරනවා.

හරි මම ටොම් ජෝන්ස්ට කැමතියි කියලා, ගල්-පැලෙන-පට්ට-පල්-බේගලයක් අතාරින්න වෙච්ච එකත් කමක් නෑ කියාපංකො. මේ මගේ නමින් ටොම් ජෝන්ස්ගේ සින්දුවක් දාපු එක නම් අන්තිම ශෝචනීයයි! මම කොහොමද හෙට ඉඳන් අනිත් උන්ට මූණ පෙන්නන්නෙ? ඇඬෙනවා තනි ඇහැට!

“උඹ ඒ සල්ලි මට දෙන්නද යන්නේ, මචං?” ඩැනී අහන්නේ කට කනේ තියාගෙන. උගේ කෙල කාපට් එකට බේරෙන්නෙ ඔන්න මෙන්න!

“පිස්සුද උඹට,” මම කියනවා. “කවුද එහෙම කතාවක් කිව්වේ?”

“ඇයි දැන් උඹනේ කිව්වේ, උඹ ඒ සල්ලි යාලුවෙකුට දෙන්න යනවා කියලා.”

“ඔව්, ඒ වුනාට ඒ උඹට නෙවෙයි.”

“එහෙනම් කාටද?”

“මාර්වින්ට.”

ඩැනියගේ කට ඇරිලා නිකට බිම ඇතිල්ලෙන්නම.

“අනේ ප්..පලයං බොරු නොකියා.”

“බොරු නෙවෙයි මචං. ඇත්ත.”

“ඒ ඔක්කොම සල්ලි?”

“නෑ. ඔක්කොම නෙවෙයි. අපි මාර්වින්ගේ ණය ගෙව්වට පස්සෙ, ඩොලර් දෙකක් ඉතුරු වෙනවා. උඹ කැමති නම් මම උඹට ඒකෙන් හරියටම බාගයක් දෙන්නම්.”

“තැංක් යූ මචං.” ඩැනියා කියන්නේ බිම බලාගෙන. “උඹ නම් නියම බොක්කක්.”

“අයියෝ, ඕවා නම් මොනවද මචං?. ඔහොමත් නැතිනම් මොනවටද අපේ යාලුකං?

නිමි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ, Just Joking කෙටි කතා එකතුවේ පළවූ BEAT THE BOMB කතාවේ සිංහලානුවාදයි.

 

ටැග: , ,

132.බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

132.බෝම්බයද? ඔබද? BEAT THE BOMB!

ඩැනියි මායි අද උදේ ඉඳන්, මහන්සි නොබලා, පුදුමාකාර කැපවීමකින් මේ සෙට් වෙන්නේ, ඉතිහාසයේ පජාතම විහිළුව කරන්නයි. ඇත්තෙන්ම මේ අදහස මට පහල කර දීමේ සම්පූර්ණ ගෞරවය හිමිවෙන්න ඕනෙ, අම්මට.

අම්මගේ වැඩේ රේඩියෝ එක අහන එක. කුස්සියේ තියෙන මේ රේඩියෝ එක හැම තිස්සෙම වැඩ. අම්මා මොකක් හරි කැත නැතුව අහගෙන ඉන්න පුලුවන් චැනල් එකක් අහනවනම් කමක් නෑ කියාපංකෝ. අම්මා අහන්නෙම අර ගෝල්ඩන් ඕල්ඩීස් , තව විදියකට කියනවානම් පැරණි රසාංග යන BBB FM චුරු චුරුව . B කියන්නේ බෝරිං මිසක් වෙන මොකක්ද? අනික මේ දුක් අඳෝනාවල්! . ඒවා කොච්චර කොච්චර අහං ඉන්න කම්මැලි ඇඬියාවල්ද කිව්වොත්, එයාලා මේ එක එක තරඟ තියලා, මිනිස්සුන්ට අල්ලස් දෙනවා ඒවා අහං ඉන්නවට.

මේ දවස්වල තියෙන ඔය වගේ තර‍ඟෙකට කියන්නේ ‘බෝම්බයද, ඔබද’ (Beat the Bomb!) කියලා. හැම පැයකට සැරයක් එයාලා ‍තෝරාගන්න අසන්නෙකුට කතා කරනවා ෆෝන් එකෙන්. ඒ එක්කම බෝම්බේ ටයිමර්එක ‘ටික්-ටික්’ ගාන්න පටන් ගන්නවා. වරින් වර, තප්පර කීපයකට සැරයක්. අර ටයිමර් එකේ ‘ටික්-ටික්’ හඬට උඩින් ඇහෙන කට හඬක් බලා ඉන්දැද්දි වැඩි වෙන මුදල් ප්‍රමාණයක් කියනවා.

“ටික් ටික් ටික්… ඩොලර් සීයයි, ටික් ටික් ටික් ටික්…ඩොලර් එකසිය පනස් පහයි…ටික් ටික් ටික් ටික්…ඩොලර් දෙසිය තුනයි…ටික් ටික්…” ඔන්න ඔය වගේ.

තරඟකාරයට තියෙන්නෙ බෝම්බෙ පුපුරන්න කලින් “නවත්තන්න” කියලා DJට කියන්න. එහෙම කියන්න කලින් බෝම්බේ පිපුරුනොත් මොකුත්ම නෑ. නමුත් ඊට කලින් ‘නවත්තන්න’ කිව්වොත් අර අන්තිමට කියපු ගාන දිනනවා.

බෝම්බේ තප්පර කීපයකින් පුපුරන්නත් පුලුවන්, විනාඩි බාගෙකින් පුපුරන්නත් පුලුවන්.

මේකෙන් බලන්නේ ටයිමර් එක වැඩි වෙලාවක් දුවන්න අරින්න තරම් ගටක් තියෙනවද කියන එකයි.හැබැයි මම නම් කවදාවත් කවුරුවත් ඩොලර් දෙතුන් සීයකට වඩා දිනනවා දැකලම නෑ. නමුත් ඒ ගාන වුනත් කොච්චර CD තොගයක්ද,කොච්චර චොක්ලට් තොගයක්ද! ආකේඩ් එකෙන් වීඩියෝ ගේමස් කීයක් ගන්න පුලුවන්ද!

තර‍ඟෙට සහභාගි වෙන්න නම් කරන්න තියෙන්නේ තමන්ගේ නමයි ටෙලිෆෝන් නොම්මරෙයි එක්ක BBB FM එකට ලියුමක් යවන එකයි. එයාලා ඒ ලියුම් කුසපත් ඇදලා තරඟකාරයෝ ‍තෝරනවා.

මමත් ලියුම් 15ක් විතර යවලා තියෙනවා. ඒ කියන්නේ මම දිනන්න තියෙන චාන්ස් එක 15 ගුණයකින් වැඩි කරගෙන තියෙන්නේ. වෙන කාටවත් ඔය මොළේ තිබ්බා කියලා මම හිතන්නේ නෑ.

දැන් ඔය කොයි මොහොතේ හරි කුසපත් ඇදිලා මාව තේරෙනකල් බකං නිලාගෙන ඉන්නේ නැතිව, ඩැනියි මායි පට්ට ආතල් එකක් ගන්නයි යන්නේ. අපි ඔය ස්ටේෂන් එකේ තේමා වාදනයයි, දැන්වීම් දෙක තුනකුයි, සින්දු දෙක තුනකුයි රෙකෝඩ් කරගත්තා. ට්‍රයි කරලා බැලුවාම මට ඔය ඩීජේගේ කට හඬත් සෑහෙන දුරට ගන්න පුලුවන්. අපි හදන්නේ අපේ පන්තියේ ඉන්න මාර්වින් බොන්වික්ට ෆෝන් කරලා ඒකා ‘බෝම්බයද, ඔබද’ තරඟයට තේරුනා කියලා අන්දන්න.

ඇයි අපි මේකට වෙන කවුරුවත් නැතුව මාර්වින්වම ‍තෝරාගත්තේ කියලා සරළව කිව්වොත්, ඌ තමයි අපේ බයිට් එක. පොර ෆුල්ම සිරා. ලණු කන්න දෙයියා. ඇත්තෙන්ම අපි ලණුව මුට කවන්න මහන්සි වෙන්න ඕනෙ නෑ. ඌම ඇවිත්ඉල්ලගෙන කනවා.

අපිත් ඉතින් මූව බයිට් කරන එකේ සීමාවක් නෑ.

අර KFC එකේ දෙන්නේ සේවාව අගයන්න කමෙන්ට් ෆෝම් එකක්. ඩැනියයි මායි ඔය ෆෝම් එක අරන් ලියනවා මෙහෙම කමෙන්ට්.

“KFC එකේ සර්විස් එක නම් අන්තිමයි, ගන්නම දෙයක් නෑ. මට කන්න ඕනෙ වුනේ වැව් මාලු. කැෂියර් කාරයා දුන්නේම නෑනේ වැව් මාලු. එයා කියනවනේ මෙහෙ ඇති වැව් මාලුවෙක් නෑ ඕයි, අපි චිකන් තමයි දෙන්නේ කෑවත් නැතත් කියලා. මට හෙන මල.

මීට

මාර්වින් බොන්වික්.

ප. ලි: ඇත්තටම දන්නේ නැති හන්දයි අහන්නේ KFC කියන අකුරු තුනේ තේරුම මොකක්දැ, ඈ?”

මෙහෙම ලියලා අපි ඒකෙ තියෙන සම්පූර්ණ නම, ලිපිනය, දුරකථන අංකය කියන හිස්තැන් ඔක්කොම මාර්වින්ගේ විස්තර වලින් පුරවනවා. අනේ අපිට අහන්න විදියක් නෑනේ ඒ කමෙන්ට් ගැන සාකච්චා කරන්න KFC බුවාලා මාර්වින්ටෆෝන් කලාම ඇතිවෙන දෙබස.

“හරි මචං, එහෙනං පට්ටාං ගම්මු,” ඩැනී කියනවා. වෙලාව 4.10යි.

“ඕකේ,” මම රිසීවරය උස්සලා අංක ඔබනවා.

ඩැනී බක බක ගාලා හිනාවෙනවා.

“ඒයි, කට වහගෙන හිටහංකෝ, බං, වැඩේ අල කරන්නේ නැතුව.” මම ඌට තරව‍ටු කරනවා.

ෆෝන් එක වදිනවා ඇහෙනවා.

“හෙලෝ?”

ගැහැණු කටහඬක්. මර්වින්ගේ අම්මා වෙන්න ඕනෙ.

“හෙලෝ! මම ක්‍රිස් රොබින්ස් කතා කරන්නේ BBB FM එකෙන්, ” මම කියන්නේ මගේ හොඳම FM DJ කටහඬින් . “මට පුලුවන්ද මාර්වින් බොන්වික් එක්ක පොඩ්ඩක් කතා කරන්න?”

“ඕ, පුලුවන්. කරුණාකරලා ඉන්න විනාඩියක්. මා…ර්වී…න්! කෝල් එකා…ක්! එයා විනාඩියෙන් ඒවි.මා…ර්වී…න්!”

“අනිවා, මාර්වින් කාරයා හෝම්වර්ක් කරනවා ඇති මේ වෙලාවෙත්.” මම රිසීවරය අතින් වහගෙන ඩැනීට කියනවා. ඔන්න මාවින් අන්තිමේදි ඇවිත් ෆෝන් එක ගන්නවා.

“හෙලෝ?”

“මාර්වින් බොන්වික්?”

“ඕ…ව්?

“මම ක්‍රිස් රොබින්ස්, BBB FM එකෙන්. ඉතින් කොහොමද මාර්වින් ජීවිතේ?”

“හොඳයි. වරදක් නෑ… නම මොකක්ද කිව්වේ?”

“ක්‍රිස් රොබින්ස්. ඔයාගේ නම කුසපත් ඇදීමෙන් තේරිලා තියෙනවා, මේ පැයේදි ‘බෝම්බයද, ඔබද’ ක්‍රීඩා කරන්න?”

“බොබ්..බෝම්බ.. මොකක්?”

“බෝම්බයද, ඔබද.”

“ඒ මොකක්ද ඒ?”

“ඒ BBB FM එක හැම පැයකටම වරක්, අපේ අසන්නන් වෙනුවෙන් තියන තරඟයක්. ඔයා අහලා ඇති. ඔයා ඒකට අයදුම් කරපු ලියුම මේ දැන් මගේ අතේ තියෙනවා, ඔයාගේ නමත් එක්ක.”

“මට මතක නෑ මම එහෙම ලිවුමක් එව්ව බවක් නම්.”

“එහෙනම් එකත් එකටම, ඔයාගේ හොඳම යාලුවෙක් ඔයා වෙනුවෙන් අපිට අයදුම් පතක් එවන්න ඇති. ඒකෙ ප්‍රශ්ණයක් නෑ? මාර්වින් කැමතිද BBB FM සමග වාසනාව උරගා බලන්න?”

“ඔව් කැමතියි.” මාර්වින් කියනවා.

“හොඳයි මාර්වින්, එහෙනම් සූදානමින් ඉන්න. අපි තව මොහොතකින් ඔයාගේ කටහඬ ගුවනට මුසු කරනවා. ඊට කලින් අපේ අනුග්‍රාහක භවතුන්ගේ ප්‍රචාරක දැන්වීම් කීපයකුත්, ඉන් පස්සේ අපේ BBB FM තේමා වාදනයත් ඔයාට ඇහේවි. තේමා වාදනයට පස්සේ අපි තරඟය පටන් ගන්නවා… ම්ම්ම්… ඒක නෙවෙයි මාර්වින්, තව පොඩි දෙයක් තියෙනවා.”

“ඕ…ව්?”

“ඔයාගේ රේඩියෝ එක ඕෆ් කරන්න. මොකද අපි තප්පර 10ක ප්‍රමාදයක් ඇතිව විකාශනය කරගෙන යන නිසා රේඩියෝ එකදාලා තිබ්බොත් ඒක තරමක් පැටලිලි සහගත වෙන්න පුලුවන්.”

“හරි.”

මම ඩැනීට අතින් කියනවා ටේප් රෙකෝඩරයේ PLAY බොත්තම ඔබන්න. ඩැනී බොත්තම ඔබලා ස්පීකරය ටෙලිෆෝන් රිසීවරය ආසන්නයට ගේනවා. මුලින්ම ‘චීපීස් – කාපට් පිරිසිදු කිරීමේ අග තැන්පත් විශේෂඥයෝ’ දැන්වීම.

“මම හිතන්නේ මචෝ පොර ලණුව ගිල්ලා,” මම ඩැනීගේ කනට කොඳුරනවා.

කාපට් දැන්වීමට පස්සේ, සුපර් මාකට් දැන්වීමක්. ඊ ලඟට BBB FM තේමා වාදනය.

අන්න ඒකෙ නම් නියම අභ්‍යාවකාශ ගතියක් තියෙන්නේ. හරියට වල්ගා තරුයි, උල්කාපාතයි කණ ලඟින් යනවා වගේ. “BBB FM, Taking you back to the sixties and seventies.. ටැං ටිං ‍ටුං ටිංගලිං ලිං” මේ මුලු චැනල් එකේම මට නම් අහගෙන ඉන්න පුලුවන් එකකට තියෙන්නේ ඔච්චරයි.

“සුභ සන්ධ්‍යාවක්,” මම පටන් ගන්නවා. මේ ඔබේ ප්‍රියතම චැනලය BBB FM. මම ක්‍රිස් රොබින්ස්. මේ පැයේ, ‘බෝම්බයද, ඔබද’ තරඟ කිරීමට දුරකථනය ඔස්සේ අප සමඟ එකතු වෙලා ඉන්නවා මාර්වින් බොන්වික්. ඉතින් කොහොමද

මාර්වී?”

“වරදක් නෑ.”

“බොහොම හොඳයි! මොනවද අද හවස කරන්න හිතාගෙන ඉන්නේ මාර්වි?”

“එහෙමට විශේෂ දෙයක් නෑ.”

“නියමයි! ලෑස්තිද බෝම්බයද ඔබද ක්‍රීඩා කරන්න?”

“ඔව්.”

“හොඳයි, ඔයා දන්නවනේ තරඟයේ නීති රීති, නේද මාර්වි?”

“නෑ,” මාර්වින් කියනවා.

නෙද්දකිං මැට්ටා!

“ඔන්න අපි මුලින්ම බෝම්බයේ ටයිමරය ඔන් කරනවා. එවෙලෙ ඉඳන් ඔයාට දිනන්න පුලුවන් මුදල් ප්‍රමාණය ඉහල යනවා. සල්ලි ඇති කියලා ඔයාට හිතෙන ඕනෙ වෙලාවක ඔයාට පුලුවන් ‘නවත්වන්න’ කියලා අපට කියන්න. එතකොට ඔයා, අපි අන්තිමට සඳහන් කරපු මුදල දිනනවා. නමුත් ඔයා බෝම්බය පුපුරනකල්ම ටයිමරයට දුවන්න ඉඩ දුන්නොත්, ඔයා පරාදයි. කිසිම දෙයක් ලැබෙන්නේ නෑ.”

“හරි, ප්‍රශ්නයක් නෑ.”

“හොඳයි එහෙනම් මෙන්න අපි ටයිමරය ඔන් කරනවා.”

ඩැනී ටේප් රෙකෝඩරයේ PLAY බොත්තම ඔබනවා.

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

ඩැනී කාඩ්බෝඩ් බටයක් අරගෙන ඒකෙ එක කොණකට කට තියලා අනිත් කොණ ටෙලිෆෝන් රිසීවරේට තියලා “ඩොලර් සීයයි.” කියනවා. බටේ දිගේ එන ඩැනීගේ කටහඬ දෝංකාරෙත් එක්ක ඇහෙන්නේ අභ්‍යවකාශයේ ඉඳලා කතා කරනවා වගේ. අපේ විහිළුවල තියෙන ගතිය ඕකයි. අපි මේ පොඩි දේවල් ගැන පවා හිතනවා.

මාර්වින් සද්ද නැතිව ඉන්නවා.

ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් එකසිය හැට තුනයි,” ඩැනී කියනවා. මූත් මාර ආතල් එකක් ගන්න බව පේනවා ඒක කියලා.

ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් තුන්සිය පහළොවයි”

ටික් ටික්…ටික් ටික්…

ටෙලිෆෝනය නිහඬයි.

එක්කෝ මාර්වින්ට මාර ගටක් තියෙන්නේ, නැතිනම් මූ මාර කුණු ලෝබයෙක්!

මේ වෙනකොට හුඟාක් තරඟ කාරයෝ “නවත්තන්න” කියන වචනේ කියලා.

“ඩොලර් තුන්සිය අසූ තුනයි.”

ඩැනී මා දිහා බලනවා. මම උරහිස් හකුලනවා.

“ඩොලර් හාරසිය හතලිස් හතරයි.” ඩැනී කියනවා.

ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…ටික් ටික්…

“ඩොලර් පන්සීයයි.”

“නවත්තන්න.” මාර්වින් කියනවා.

මම ටේප් එක නවත්වන්න ඩැනීට සංඥා කරනවා.

“මාර්වින්?”

“ඔව්?”

“ඔයා දන්නවද ඔයා දැන් කරපු දේ?”

“ඇයි මම මොකුත්වැ‍රැද්දක් කලාද?”

“හඃ හඃ! වැ‍රැද්දක්? මාර්වින් ඔයා ඩොලර් පන්සීයක් දිනුවා. මොකක්ද ඔයාට කියන්න තියෙන්නේ ඒ ගැන?”

“ෂාහ්! නියමයිනේ! මාරයිනේ! මට මේක අදහගන්නත් බෑ. මමීඊඊඊඊඊඊඊ… මම ඩොලර් පන්සීයක් දිනුවා.”

මාර්වින්ගේ අම්මා සතුටින් කෑ ගහන හඬ මට පසුබිමින් ඇහෙනවා. කොච්චර සද්දෙද කිව්වොත් මම රිසීවරේ කනෙන් පොඩ්ඩක් ඈත් කරලා අල්ලාගන්නවා.

ඒ කෑ ගැහිල්ල ඩැනියාටත් ඇහිලා, ඌ බිම පෙරලි පෙරලි හිනා වෙනවා.

“ඒක නෙවෙයි මාර්වි,” මම කියනවා. “ඔයා මොනවද කරන්න යන්නේ මේ මුදලින්?”

“මම දන්නේ නෑ,”මාර්වින්ගේ කට හඬ සතුටින් පිරිලා.”මම දන්නේ නෑ. මම කවදාවත් මේ වගේ තෑග්ගක් දිනලා නෑ.”

“එහෙනම් අපේ උණුසුම් සුභ පැතුම් මාර්වින්. අපිට ඔයා ගැන තව විස්තර ටිකක් අවශ්‍ය කරන නිසා තව පොඩ්ඩක් වෙලා අපිත් එක්ක ‍රැඳිලා ඉන්න. එතෙක් ඔබේ රසාස්වාදයට සඳහාම අපි ඔබට ගීතයක් ඉදිරිපත් කරනවා. මෙන්න එල්ටන් ජෝන්, ක්‍රොකඩයිල් රොක් සමඟ. මේ මාර්වින් බොන්වික් වගේම, ඔබේත් සිහින සැබෑ කරන, BBB FM උණුසුම් සුභ පැතුම්, මාර්වින්!”

“බොහෝම, බොහෝම ස්තුතියි යාළු!”

ඩැනී එල්ටන් ජෝන්ගේ ක්‍රොකඩයිල් රොක් ගීතය වාදනය කරනවා

I remember when rock was young
Me and Suzie had so much fun
holding hands and skimming stones
Had an old gold Chevy and a place of my own
But the biggest kick I ever got…

…when Suzie wore her dresses tight
and the Crocodile Rocking was out of sight
na-na-na-na-na-na na-na-na-na-na na-na-na-na-na

එල්ටන් ජෝන්ගේ කඬ ක්‍රමයෙන් අඩුවෙලා නැතිව යනවා.

andyanddannyමම එතකොටම, “හියැක් හික් හූ…මෝඩයෝ, උඹ අහුවුනා නේද ලෙසටම? අපි උඹට ලණුවක් දුන්නේ මැට්ටෝ,” කියලා කියන්න කට අරිනකොටම මට ඇහෙනවා අමුතු හඬක් ටෙලිෆෝන් රිසීවරය හරහා. හරියට කවුරු හරි ඉකි ගගහ අඬනවා වගේ. මට ඒ එක්කම ඇහෙනවා මාර්වින්ගේ කට හඬ.

“අඬන්න එපා මමී. අඬන්න එපා. ඇයි මමී සතු‍ටු වෙන්න ඕනෙ වෙලාවේ අඬන්නේ?”

“මට හරිම සතු‍ටුයි, මාර්වින්,” අම්මා කියනවා ඇහෙනවා.

එහෙනම් එයා අඬන්නේ?

ඩැනියා දිව විකාගෙන බිම පෙරළෙමින් හිනාවෙනවා. මට බයයි මූට හිනාවෙලාම මොනවා හරි වෙයි කියලා.

“ෂ්ෂ්ෂ්ෂ්… කට වහගෙන ඉඳිංකෝ, පොඩ්ඩක්?”

“ඇයි, මොකෝ බං?”ඩැනියා හිනා අතරින් අහනවා.

“දන්නේ නෑ. පොඩ්ඩක් හිටිංකෝ මචං සද්දේ වහගෙන.”

ඩැනී මූණ ඇද කර ගන්නවා.

“මාර්වින්, ඔයා අහගෙනද ඉන්නේ?” මම රිසීවරයට කියනවා.

“ඔව් ඔව්, මමී පොඩ්ඩක් මේ අප්සෙට් වුනා ඒකයි?”

“ඔව් ඔව්, මට තේරුණා. ඩොලර් පන්සීයක් කියන්නේ සෑහෙන මුදලක්නේ.”

“ඔව්,” මාර්වින් කියනවා. “විශේෂයෙන්ම අපි වගේ අයට. ඇත්තෙන්ම ඩැඩී නැතිවුනාට පස්සෙ අපි පුදුම සටනක් ගෙනියන්නේ ජීවත් වෙන්න. මමී පණ යනකල් වැඩ කරලයි යන්තම් වේල පිරිමහගන්නෙත්. මේ සල්ලි ඇත්තෙන්ම අපිට ලොකුම, ලොකු දෙයක්. ඔයා ඇත්තටම දන්නේ නෑ ක්‍රිස්, අපිට ඒක කොයි තරම් ප්‍රයෝජනවත්ද කියලා, මේ වෙලාවේ.”

මාර්වින් කතාකරන වචනයක් පාසා මගේ හුලං බහිනවා වගේ මට තේරෙනවා. අපි කරපු කුජීත විහිළුව ගැන මට ඉවසන්න බැරි ලැජ්ජාවක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒත් මම කොහොමද දන්නේ මාර්වින්ගේ තාත්තා නැතිවෙලා බව? ඒකා අපිට එහෙම කතාවක් කියලා නෑනේ. හරි, ඉතින් එහෙම කියන්නත් අපි ඌත් එක්ක ලඟින් ආශ්‍රය කරලා තියෙන එකක්යැ, හැකි හැම තිස්සෙම ඌව බයිට් එකට ගන්නවා ඇර? නමුත් මට පිටින්වත් ආරංචි වුනේ නැති හැටි!

“ඔ…ඔ…ඔව්. අහ්…ම්ම්ම්.. ඔව්. ඔබට උදව්වක් කරන්න හැකිවීම ගැන අප්‍රමාණව සතු‍ටුයි අපටත්. දැන් අපිට කියන ඔබේ නිවැරදි ලිපිනය මාර්වින්.”

වෙන මොනවද මම කියන්නේ? වෙන මොනවද මම මේකට එකතු කරන්නේ? මුලදි හිතා හිටිය “හියැක් හික් හූ…මෝඩයෝ, උඹ අහුවුනා නේද ලෙසටම? අපි උඹට ලණුවක් දුන්නේ මැට්ටෝ,” කියන කෑල්ලෙ මීට විනාඩි කීපයකට කලින් තිබ්බ ආතල් එක දැන් කොහෙ ගියාද නෑ.

ඇන්ඩියි ඩැනියි මේකෙන් ගැලවෙන්නෙ කොහොමද? මී ලඟ කොටසින් බලා පොරොත්තු වන්න.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

ඕස්ට්‍රේලියානු ලේඛක Andy Griffiths ලියූ, Just Joking කෙටි කතා එකතුවේ පළවූ BEAT THE BOMB කතාවේ සිංහලානුවාදයි.

 

ටැග: , ,