RSS

164. BMW එකෙන් සහ නයිටි කෑල්ලෙන් හෙලිවන අපේම හෙලුව

19 ජූලි

මම ලියන්න හිතාගෙන සිටි පොස්ට් දෙකක් බාගෙට ලියා වේලෙමින් තිබේ. එකක් හොන්ඩා XL125R ඩර්ට් බයික් එකක් ගැනය. එය ඇනහිට ඇත්තේ පාර්ලිමේන්තුව විසිරුවා හැර රට ඡන්දයකට සූදානම් පවතින නිසා යයි කිව්වොත් මා පිස්සෙකුට ගනං ගන්නා බව දනිමි. නමුත් කරන්නට දෙයක් නැත. සත්‍යය සමහරවිට විශ්වාස කරන්නට බැරි තරම් අමුතුය.
අනික එලොවටත් නැති මෙලොවටත් නැති මගේ ප්‍රථම ප්‍රේමයක් ගැනය. මේ පෝස්ට් එක නම් ලිවීම අන්තිම දුශ්කර වැඩක් වී ඇත්තේ මාතෘකාවෙන්ම කියවෙන ආකාරයට එලොවටත් නැති මෙලොවටත් නැති ප්‍රථම ප්‍රේමයක් විස්තර කිරීමට අවශ්‍ය මගේ වාග්මාලාවේ දුප්පත් කම නිසාය.

ඒ දෙකම මඳකට අත්හි‍ටුවා දමා මේ කොහෙවත් යන අලුත්ම පෝස්ට් එකක් ලිවීමට සිත්වූයේ ගොසිප් මාධ්‍ය සහ මුහුණුපොතේ නැගලා යන මේ BMW එකක් පැදවූවායැයි කියන “ගොන් කෑල්ලක්” නිසාය.

මම සාමාන්‍යයෙන් මධ්‍යස්තව සිතීමට උත්සාහ දරන්නෙක්මි. මේ සිද්ධිය ගැනත් වෙනසක් නැත. නමුත් බොහෝවිට අදහස් ප්‍රකාශයෙන් වැලකී සිටින්නේ අදහස් නැතිකම නිසා නොව අනවශ්‍ය ලේබලයක් ගසා ගෙන එක ගොඩකට බලහත්කාරයෙන් තල්ලු කරනු ලැබ, සිරගතවීමකට අකමැති නිසාය.

මුහුණු පොතේ නඩු කාරයන් සහ නීතිඥයන් වැහි වැහැලාය. ඒ අපේ හැටිය. අපේ හෙමින් වැඩ නැත. රිය අනතුරක් සිදු වුවහොත් කැති, පොලු, අලවංගු ගෙන පාරේදීම කුණුහරපයෙන් නඩුව විභාග කර, වැරදි කාරයාට හොඳටම නෙලා වාහනයත් ගිණිබත් කර, ක්ෂනිකවම යුක්තිය පසිඳුවන ජාතියකි අපේ ජාතිය. ඊයේ නැරඹූ චිත්‍රපටයේ තේමා පාඨය මගේ සිතට නැගෙන්නේ නිතැතිනි. One man’s terrorist is another man’s patriot. ත්‍රස්තවාදියා හා දේශප්‍රේමියා. ඔය දෙක මාරු වීමට මහ වෙලාවක් යන්නේ නැත. සමාජයේම පැතිකඩක් හා උප සංස්කෘතියක් වන මූණු පොතේ කියා වෙනසක් නැත.

මුහුණු පොත, කුහකයන්ගෙන් පිරුණු කුහක කමේ ‍තෝතැන්නක් නොවේදැයි මට සිතෙන්නේ පෞද්ගලිකව හඳුනන ඇතැමුන්ගේ status update සහ share කරනා post දු‍ටු විටය. දෙමව්පියන් ගෙදරින් පන්නා දැමූ උන් මව් පිය අගය ගැන අනුන්ට බණ කියන පෝස්ට් බෙදාගන්නා විට, ගෙදර බැළලීට ලැබුණු බළල් පැටවුන් දියේ ගිල්ලා මරා දැමූ උන් විදි බල්ලන්ට නිවාස හොයා දීමට දරන වෙහෙස දකින විට, කට ගොන්නක් බීගෙන ගෙදර පැමිණි බිරිඳට තඩි බා දරුවන් බියගන්නන උන් පවුලේ සමඟිය සහ ආදරය ගැන උඩපැන like කරන විට, පොර ටෝක්ද අමුනා share කරන විට මට හිනහ යන්නේ පශ්චාත් භාගයෙනි.

ඇම්නීසියාවෙන් පෙලෙන උන්ගේ දේශපාලුවන්ට කඩේ යෑමේ පෝස්ට් දකින විට මට සිතෙන්නේ අපේ උන්ට සති දෙකකට වඩා මෙලෝ දෙයක් මතක් නැති බව අර කවුදෝ කී කතාව කොතරම් සැබෑවක්ද කියාය.

ඔය කොයි දේශපාලුවා ගැනත්, ත්‍රස්තවාදය ගැනත්, නීතිය ගැනත්, පෞද්ගලික විශ්ව විද්‍යාල ගැනත්, අමෙරිකානු විරෝධය ගැනත්, දෑවෑද්ද ගැනත්, ඉස්ලාම්කරණය ගැනත්, හලාල් ප්‍රශ්ණ ගැනත් ආදී එකී නොකී ඒ ඒ කාලයට හිට් වන සමාජ දේශපාලන ප්‍රශ්ණ ගැන මටත් කීමට දේ ඇතත්, නිහඬව සිටින්නේ තම මතයට විරුද්ධ වන්නන් නොඉවසන, එසේ කරන උන්ව බිම දමා, පාගා, සපත්තු අඩියෙන් චප්ප කර, බිම උලා, නැත්තටම නැති කිරීමට ඩේටා ගැන නොසිතන උන් නිසාමය. දේශපාලයන ගැන කතාකර මියගිය අම්මාට, ප්‍රශ්ණයට කිසි සේත් අදාල නොවන බිරිඳට, සොහොයුරියට හෝ දියණියට පට්ට කුණුහරපයෙන් බණිනු අසා සිටීමට නොපැකිලෙන්නන් නිසාමය.

නව පරපුරේ යයි සිතිය හැකි උගත් බුද්ධිමත් සහ තරුණ කැල දරණ යල්පිනූ, නූගත්, අමන අදහස් ගැන මම කම්පා වී නිහඬ වූයේ වරක් දෙවරක් නොවේ.

ඔය කියන වීඩියෝව මේ කියවන හැමදෙනාම දැක ඇතැයි සිතන නිසා මෙහි ඇලවීම මෝඩ කමකි. ඒ නැතත් අනුන්ගේ වීඩියෝ මගේ මෙන් අලවා ගැනීමට මට අයිතියක්ද නැත.

මේ වීඩියෝව නැරඹූ මට සිතුනේ මේ කාන්තාව කතා කරන ආකාරය සැර පරුෂ වැඩි බවත්, වාග් මාලාව ඉතාම ක‍ටුක බවත්ය. මෙවැනි ගැ‍ටුම් කැමරාවට හසු නොවී අනන්තවත් සිදුවන්නට ඇත.

ඉන්පසු මුහුණු පොතේ සහ ගොසිප් මාධ්‍ය වලට තලු මරමින්, වමාරා කන්නට තරම් රසවත් සිද්ධියක් සේ නැගලා යෑමකට ලක් වූ මෙම ප්‍රවෘතියේ අතුරු ඵල ලෙස අර කාන්තාවගේ සිද්දිය යට කර මතුවූයේ අපේ උන්ගේ බාල බොලඳ කම් සහ නිරුවතය.

මේ සිද්ධිය රස විඳින උන් මතු කල මේ අදහස් ගැන මට ඇතුවූයේ විමතියකි.

කාන්තාව BMW එකක පැමිණීම:

මෙය බොහෝදෙනෙකුට දිරවාගත් නොහැකි වූයේ පන්ති වෛරය නිසාය. මෙහිදී ආකල්ප කිහිපයක් දැකිය හැක. BMW වල යන උන් මනා කල්කිරියාවෙන් යුක්ත උන් විය යුතුය. BMW යනු අසාධාරණයෙන් හම්බකර, අනුන්ට හයිකාරකම් පෙන්වන, හිස උදුම්මවාගත්, මනුස්සකම් නොදන්නා උන්ගේ පෙලැන්තියට අයත් වාහනයකි. ලද හැම අවස්ථාවේදීම උන්ට පාඩමක් ඉගැන්වීමට ලැබෙන ස්වර්ණමය අවස්ථාවන් මග නොහැරිය යුතු අතර අර පාරේදී වාහන ගිණිතියා අප විසින් පියවන්නේ අර මේ කියනා පන්ති පරතරයයි.

කාන්තාව ඇඳ සිටින්නේ නයිටියකි:

පජාමා ඇඳගෙන තමන්ගේ වාහනය පැදවීම වරදක් දැයි යන ප්‍රශ්ණය මොහොතකට අමතක කරමු. මේ නයිටි කතාව ෂෙයා කරන වුන් වෙනදාට ෂෙයා කරන, වර්ණනා කරන ලස්සන කෙල්ලන් හැඳ සිටින ඇඳුම් දෙස බැලූවිට කුහකත්වයේ ලොකූ කතාවක් එහි අන්තර්ගත බව පෙනේ. මුස්ලිම් ගැහැණුන්ගේ බුර්කාවට ඔරවන වුන්, කැමති ඇඳුමක් ඇඳීමට උන්ට ඇති මානුෂික අයිතිය ගැන වද වන උන්, මෙහිදී හැසිරෙන ආකාරය ජුගුප්සාජනකය. අප කොයිදේත් ගන්නේ වැරදියට බව මෙහිදී හොඳින් පැහැදිළිවේ. නිදහස් සමාජ වල ජීවත් වන්නන්ට නාන්නට නාන ඇඳුමත්, සාදයට, පල්ලියට, රාජකාරියට, සම්මුඛ පරීක්ෂනයට, ක්‍රීඩා කිරීමට, නිදහසේ ඉඳීමට, ඊට ගැලපෙන ඇඳුමත් ඇඳීමේ පුරුද්දක් ඇත. මුස්ලිම් කාන්තාවන් බුර්කාව ඇඳගෙන වතුරට බැස පිහිණීම දු‍ටු නිදහස් සමාජයකින් ආ එකෙක් වරක් මගෙන් ඇසුවේ “Did they accidentally fall into water? (අර මනුස්සයා වතුරට වැ‍ටුනද)” කියාය. අපි ඉන්නේ ඔය දෙකටම අතර දෝලනය වෙමිනි. නෑමට ගැලපෙන්නේ නාන ඇඳුමක් වුවත් ගනකම ටීෂර්ට් දිග කලිසම් ඇඳගෙන ඇළදොල වල නෑමට අපේ ගැහැණුන්ට සිදුවී ඇත්තේ ඇයි දැයි නිකම් සිතා බලන්න. අර කාන්තාවගේ ඇඳුම ගැන ප්‍රකාශ නිකුත් කිරීම කොතරම් කුහකද?

උරහිස වටා හීනි පටි දෙකකින් රඳවා ඇත්තේ නයිටි පමණක් නොවන බව අන්තර්ජාලයේ මඳක් සැරි සැරීමෙන් දැනගත හැක. තම ගැහැණුන් ගෝනි බිල්ලන්සේ වසාගෙන යන මුස්ලිම් පිරිමින්ට ගරහන අපත් අපේ ගැහැණුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේත් එයම නොවේද?

ඇය වේසියකි, ගොන් කෑල්ලකි. BMW ගොන් කෑල්ලකි: මේ තීරණවලට එළඹී ඇත්තේ වෛද්‍ය පරීක්ෂනයකින් හෝ ඇගේ ජීවන රටාව පෞද්ගලික රහස් පරීක්ෂක ඒජන්සියක් ලවා විශ්ලේෂණය කර නොවේ. මේ සිද්ධිය සමාජගත් නොවූවානම් ඇය වේසියක් හෝ ගොන් කෑල්ලක් වන්නේ නැත. මේ අධම ප්‍රකාශයට මූල බීජය, ඇගේ ඇඳුම අර නයිටියක් මෙන් අපේ සුචරිතවාදීන්ට පෙනෙන පටි ගවුමක් වීම සහ මෝටර් රථය අපි හුඟ දෙනෙකුට කිසිදා ලඟාවිය නොහැකි ඉලක්කයකැයි අපම තීරණය කර ඇති සහ අතහැරදමා ඇති BMW රථයක් වීමය.
bmw_PNG1706

Image from http://pngimg.com/download/1706

ඇය ඇන්ටි කෙනෙකි: මේ නම් පාකිස්තානය, ඉන්දියාව, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාවේ රටවල් තුන හතරක දැකිය හැකි එක්තරා මානසිකත්වයකි. ආගන්තුකයන්ට ඇන්ටි හෝ අංකල් කීම ඔවුන්ට ගෞරවයක් සේ කරන්නක් නොවේ. ඔවුන් අපගේ කල්ලියෙන් පි‍ටුදැකීමට හෝ ඔවුන් සිටිය යුතු යයි අප සිතන නිසි ස්ථානයේ තැබීමට යොදන මානසික උපක්‍රමයකි. මේ අදහස සැබෑ බව. මේ සිද්ධියෙන්ම සනාථ වේ. (ඇන්ටි අංකල් ආසියනු මානසිකත්වය ගැන අපි වෙන ලිපියකින් කතා කරමු)

මේ අදහස් වලට එකඟ වෙමි:

අර පොලිස් නිලධරියාගේ හැසිරීම ප්‍රසංසනීයය. ඇත්තෙන්ම ඔහුගේ හැසිරීම මා ඉහලින් අගයමි. ඔහු කිසි විටෙක කාන්තාවගේ ඇඟට අත තබනවා හෝ පරුෂ ලෙස කතා කරනවා හෝ අර අප බලාපොරොත්තුවන ලංකාවේ ‘පොලිස් කාරයෙකු’ සේ හැසිරෙනවා මම නොදු‍ටුවෙමි. ඔහු මහත්මයෙකු සේ හැසිරුනි.

කාන්තාව කතාකල ආකාරය හා හැසුරුණු ආකාරය අනුමත කල නොහැක. මේ ගැන මට විවාදයක් නොමැත. ඇත්ත වශයෙන්ම කතා කල යුතුව තිබුනේ මෙතනට කිසිසේත්ම අදාල නොවන BMW රථය ගැන හෝ නයිටියක් ගැන නොව, මේ ගැනය.

සත්‍යයක් ඇතත් මෙතනදී සඳහන් කිරීම අනවශ්‍යයයි මා සිතන පගා මරුවන් වන දේශපාලනඥයන්, හොරුන් තක්කඩින් ආරක්ෂා කරන තුට්‍ටු දෙකේපොලිස් කාරයන් ගැන කල ප්‍රකාශයෙන්, මාත් ඇතුලුව බොහෝ දෙනෙකු කරන, ටික දෙනෙකු කරන වරදට සංහතියටම ලේබල් ඇලවීම මනාව සිදුවේ. මෙයත් BMW රථය ගැන හෝ නයිටිය සේම කිසිසේත් මෙතනට අදාල නොවේ.
පහත පලවන්නේ කිසිවෙකු නොදු‍ටු හෝ නොදැක්කා සේ සිටීමට ‍තෝරාගත් කරුණුය.

ඔබ මේ වීඩියෝව සැලකිල්ලෙන් නැලඹුවා නම් කාන්තාව පොලිස් නිලධාරියාගේ හෙල්මටය පැහැරගෙන ඉවතට ගිය පසු පොලිස් මහත්මයාගේ සගයා වන අනිත් ‘පොලිස් කාරයා’ ඇයට පයින් ගසා හෙල්මටය ලබා ගන්නා ලෙස පොලිස් මහත්මයාට තදින් කියන ආකාරය ඔබට නෑසුනා විය නොහැක. පොලිස් මහත්මයා අමාරුවෙන් ‍රැස්කල කිරි කලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ගොම බිඳුවක් එක්වීම කිසිවෙකු දු‍ටුවේ නැත්තේ ඇයි?

කාන්තාව ස්ථානයෙන් ඉවතට රිය පදවාගෙන යාමේදී වෙනත් වාහනයක හෝ දේපලක හෝ පුද්ගලයෙකුගේ නොගැටී වාහනය පසු පසට ගැනීමට වෙහෙස ගනිද්දී ඇයට තවත් අමාරුවේ දැමීමට හෝ පළි ගැනීමට පොලිස් යතුරු පැදිය තිබුණු ස්ථානයේම රඳවාගෙන එහි ගැටීමට ඉඩදී “ඕකිට හොඳ පාඩමක් ඉගැන්වීමට” තිබූ අවස්තාව අතහැරි පොලිස් නිලධාරියා යතුරු පැදිය ඉවතට ගෙන ඇයට ඉඩ සැලසූ මහත්මා ක්‍රියාව කිසිවෙකු දු‍ටුවාද?

අර කාන්තාව මවකි. අර දරුවාත් ‍රැගෙන වේසාකමේ ගියාවිය නොහැක. ‍රැකියාවත්, දිවා සු‍රැකුම් මධ්‍යස්ථානත්, දරුවනුත් සමඟ ඔය ආකාරයට අපිත් කාපු කට්ට මා නම් කෙසේ අමතක කරන්නද!

ඇය පටිගවුමක් නො ඇඳ රෙද්දයි හැට්ටයි හෝ ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ජාතිය ඇඳුම යයි සැලකිය හැකි අර දිග සායත් බ්ලවුසයත් හැඳගෙන , BMW රථයක නොගොස් මරුටියක හෝ ත්‍රිරෝද රථයක ගියානම් මේ කාන්තාවම පොලීසියත් සමග මේ කට ගැසූ ආකාරයටම මුහුණු පොතේ හා ගොසිප් මාධ්‍ය වල විහාර මහා දේවියක් වීමට ඉඩ තිබුනි.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

ටැග: , , ,

14 responses to “164. BMW එකෙන් සහ නයිටි කෑල්ලෙන් හෙලිවන අපේම හෙලුව

  1. ගිනි කුරුල්ලා

    ජූලි 19, 2015 at 11:06 පෙ.ව.

    නියමයි.!!! සම්පුර්ණයෙන්ම එකඟයි .. (Y)

     
  2. නුවර කුමාරි

    ජූලි 19, 2015 at 11:22 පෙ.ව.

    හත්වලාමේ… මේ කවුද? මොනවද කරන්නේ??

    නියමයි ඩුඩ් , මම 200% එකඟයි. කෙලින්ම මෙහෙම කිව්ව එක නම් නියමයි. මේ වගේ වෙනත් දේවල් ගැනත් ලියනවා නම් වටිනවා. මොකද යමක් විවේචනය කරනවා කියන එක සංයමයකින් කරන්න හැමෝටම බැහැ. ගොඩක් අය ‘පොරවල්’ වන්නේ විවේචන වලදී තමන්ගේ කුණුහරප වල දිග පළල අනික් අයට තේරෙන එක ගැන මාරම කික් එකකින්.

    ප.ලි. අර සමහර දේවල් නොලියවෙන හේතුව පාර්ලිමේන්තුව විසිරුවපු එක කියන හේතුව මට නම් පිළිගන්න පුළුවන්. මටත් ඔය ලෙඩේ නේ තියෙන්නේ! කාටවත් කියන්නෙපා හරිද?

     
    • henryblogwalker

      ජූලි 19, 2015 at 1:24 ප.ව.

      ස්තුතියි නුවර කුමාරි. මොකද මේ බ්ලොගර් නැතුව වර්ඩ්ප්‍රෙස් පැත්තේ ඇවිත් කියලා මම බැලුවේ.

      පාර්ලිමේන්තුව විසුරුවා හැරි වෙලාවෙ සමහර පෝස්ට් දැම්මාම තුන් හිතක වත් නැති බාල ලේබල් ඇලවෙන බව දැක්ක එකම කෙනා මම නෙවෙයි එහෙනම්.

       
  3. Ajith Dharma

    ජූලි 21, 2015 at 3:38 පෙ.ව.

    හැමෝම මෙතන අමතක කරපු දෙයක් තියෙනව. ළමයට කිරි දිදී වහනය එලවන මහා රැජින වුනත් නවත්වලා දඩ ගහන්න ඕනේ. BMW නෙමේ මොකක් drive කලත්. මටත් තියෙනවා අවුරුදු 10 විතර පරණ BMW කට්ටක්. හැබැයි අනිත් කාර් වලට වඩා ඉක්මනට පිකප් කරනවා. නමුත් මම කවදාව බෙල්ට් එක නොදැ යනවද? මම දැක්ක ලංකාවේ දොස්තරලා , නීතිඥ යෝ , ඉංජිනේරුවෝ මෙකි නොකී වුන් ළමයි ඔඩොක්කුවේ , බෙල්ට් නැතිව , ළමයට කර්ෆෙකේ වෑන් එකේ උඩ පනින්නයි drive කරනවා. ඒගොල්ලන්ට කවුද ඔය අවසරේ දුන්නේ ? අල්ලලා ඔක්කොටම දඩ ගහන්නයි තියෙන්නේ.
    http://nelumyaya.com/?p=3717

     
    • henryblogwalker

      ජූලි 21, 2015 at 5:25 ප.ව.

      ස්තුතියි අජිත්. මමත් ඔන්න නෙලුම් යාය එල්ලුවා මගේ බ්ලොග් රෝලේ.

      කාන්තාව නීතිය කඩ කලාට දඩකොලයක් දුන්න එකේ කිසි වරදක් දකින්නේ නෑ මම. මෙතන තියෙන ප්‍රශ්ණෙ කාන්තාව විවේචනය කරන්න යොදාගත්ත බාල ක්‍රම වේදය. ඒක අර කෙනෙක් කරපු වරදකට අම්මා බැණුං අහනවා වගේ. ඒ කියන්නේ කියන්න ඕනේ දේ පැත්තක තියෙද්දි, කාරෙකයි ඇඳුමයි වගේ කිසිම අදාලත්වයක් ඇති පරණ කෝන්තර පිරිමහින එකයි

       
  4. Ajith Dharma

    ජූලි 21, 2015 at 8:11 ප.ව.

    ඒක හරි. ඒ අදහසට් මම එකඟයි. මචන් මගේ බ්ලොගය තමා මේක.
    http://kolambagamaya.blogspot.co.uk/
    නෙලුම් යාය කියන්නේ හැම බ්ලොගකම එකතුවක්.

     
  5. ලොකු පුතා

    ජූලි 22, 2015 at 12:14 ප.ව.

    මේ වීඩියෝව දුටු පසු මටද එකවර පෙනුනේ ඇයගේ භාෂාවේ සහ ක්‍රියාවේ තිබු කර්කශ සහ නොගැළපෙන භාවයයි.
    ඇයද වාරියපොළ කත මෙන් ක්‍රියාවට ලක් වන්නාගෙන් ඇතිවන අවම විරෝධය හමුවේ තමන් විසින් තමන්වම උත්පේරණය කර ගැනීම හරහා මෙම තත්ත්වයට ඇද වැටුන බව මගේ අදහසයි.

    ///ඔබ මේ වීඩියෝව සැලකිල්ලෙන් නැලඹුවා නම් කාන්තාව පොලිස් නිලධාරියාගේ හෙල්මටය පැහැරගෙන ඉවතට ගිය පසු පොලිස් මහත්මයාගේ සගයා වන අනිත් ‘පොලිස් කාරයා’ ඇයට පයින් ගසා හෙල්මටය ලබා ගන්නා ලෙස පොලිස් මහත්මයාට තදින් කියන ආකාරය ඔබට නෑසුනා විය නොහැක.///

    ඩුඩ්ඩො ඔන්න ඔන්න උඹත් නගුට පාගගෙන. ඒ රාළහාමි කියන්නේ කාර් එකට පයින් පාරක් ගහල හරි හෙල්මට් එක අරගෙන එන්න කියල. ඒක දෙපාරක් කියනවා.
    ඒ වෙලාවේ වටපිටාවේ හිටපු මිනිස්සු සම්ච්චලේට හිනා වෙද්දී ඒ වගේ වචනයක් හරහා හෝ තමන්ගේ මෙව්වා එක රැකගන්න ඔහු උත්සාහ කලා කියලයි මම හිතන්නේ.
    එහෙම හරි කිව්වේ නැත්නම් ඉදිරි දවසක පොලිසියට පාරක බැහැල යන්න බැරි වෙන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වෙන එක ඒ මනුස්සයාගේ ඔළුවට ආව වෙන්නත් පුළුවන්.
    හරි හෝ වැරදි වේවා පොලිසියට යම් අධිකාරි බලයක් මිනිස්සු ඉදිරියේ පෙන්නන්න වෙනවා. එහෙම නැත්නම් ඔවුන්ට රැකියාව කරන්න බැරි වේවි.

    මේ සිද්ධිය ගැන බැලුවම, ඇය මාස දෙකහමාරේ දරුවාට කිරි දෙමින් රිය පැදවූ බවක්ද, මෙම සිද්ධිය වනවිට ඇයගේ සැමියා සහ දරු දෙදෙනාද වාහනයේ සිටි බවක්ද කියවෙනවා.
    වාහනයක් පදවන ගමන් නොවෙයි වාඩි වී හෝ හිටගෙන හෝ මාස දෙකහමාරක දරුවෙක් තනි අතකින් වඩාගෙන කිරි දීම පහසු දෙයක් නොවන බවයි මගේ අදහස.

    කෙසේ නමුත් ඇය පොලිසිය සමග ගැටෙන විටදී ඇයගේ සැමියා මෙම සිද්ධියට මැදිහත් නොවී සිටි බවක්ද කියවෙනවා. ඔහු පසුව කියා ඇත්තේ ඇය අධික ලෙස කේන්ති යන තැනැත්තියක් බවත් යම් මානසික රෝගයකින් පෙළෙන බවත්(ඇයව බේරා ගැනීමට එසේ කීවා විය හැක) නමුත් ඉන් සිදු වුයේ එවැන්නෙකුට වාහනය පැදවීමට ඉඩ දීම සම්බන්ධව අධිකරණය මගින් ඔහු වරද කරුවකු කොට ඇප මත නිදහස් කිරීමයි.
    ඇය මානසික රෝගයකින් පෙළුනත් නොපෙළුනත් අධි මානයක් හෝ අධික මුග්ධ බවක් ඇති කතක් කියා මට සිතෙනවා. වාහනය පැදවීම සැමියාට භාර දී දරුවන් දෙදෙනා සමග අවශ්‍ය පරිදි ගමන යාමට ඇයට තිබු බාධාව කුමක්ද. ඇය පොලිසිය සමග ගැටෙද්දී සැමියා ඒ අසළටවත් නොඑන්නට හේතුව ඇයගේ ක්‍රියාකළාපය ඔහුද අනුමත නොකරන නිසා විය නොහැකිද.

    ඇයගේ මාන්නය හෝ මුග්ධ බව නිසා මාස දෙකහමාරේ දරුවා අද වන විටද මව් උණුසුම සහ කිරි නොමැතිව ලත වෙනවා ඇති. ඇයට ජුලි 28 වෙනිදා හෝ ඇප ලැබේවායයි දරුවා වෙනුවෙන් පතමි.
    (දරුවා ගැන සිතා ඇයව රක්ෂිත බන්ධනාගාර ගත නොකර සිටීමට ගරු අධිකරණයට හැකි වුවා නම් වඩා යහපත් බව මගේ පෞද්ගලික අදහසයි.)

     
    • henryblogwalker

      ජූලි 22, 2015 at 12:35 ප.ව.

      ඔව් ලොකු පුතා. වීඩියෝවේ පයින් ගහන කතාව මට හරියට පැහැදිලිව ඇහිලා නෑ. ඒ ගැන මම සමාව අයදිනවා.

      මම නැවතත් කියන්නේ මට කියන්න ඕනෙ කාන්තාව නිවැරදි බව නෙවෙයි. පොලිසිය දඩ ගහපු එක වැරදි බව නෙවෙයි.

      මගේ එකම තර්කය විවේචනය කරන ග්‍රාම්‍ය ක්‍රමවේදය ගැනයි. පහර දෙන්න යොදාගෙන තියෙන මොට ආයුධ ගැනයි. ඒ ආයුධ තේරීමෙන් හෙලිවන අපේම හෙලුව ගැනයි.

       
  6. කුරුටු ගෑ ගී පවුර

    අගෝස්තු 17, 2015 at 3:46 ප.ව.

    බ්ලොය නම් නියමයි………. සින්ඩිගත කර ගත්තා… අහිතක් නෑනේ………….

    http://kurutugegeepawra1.blogspot.com/

     
    • කුරුටු ගෑ ගී පවුර

      අගෝස්තු 17, 2015 at 3:48 ප.ව.

      දැන් සින්ඩිගත කරන්න දෙයක් නැහැ…. බැලින්නම් ගොඩක් කාලෙකට කලියෙං සින්ඩිගත කරලා තිබිලා තියෙන්නේ

       
    • henryblogwalker

      අගෝස්තු 17, 2015 at 11:20 ප.ව.

      කිසිම අහිතක් නෑ කුරුටූස්. බොහොම ස්තුතියි කියලා විතරයි කියන්න තියෙන්නේ. 😀

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න