RSS

35. මෙන්න මෙතනිං කපපං මචං

30 නොවැ.

මේ කාලෙ අපි හිටියෙ බලංගොඩ වැලිහරනාව පාරෙ කුලී ගෙදරක. මේක ක‍තෝලිකයෝ වාසය කරපු ප්‍රදේශයක්. නිවාඩු වෙලාවට අහල පහල හිටිය නෙවිල්, ටෙනිසන්, කුමාරසිංහ වගෙ යාලුවොත් එක්ක සෙල්ලම් කරන එක තමයි මට තිබ්බ ලොකුම රාජකාරිය. දවසක් කුමාරසිංහලගෙ ගේ පිටිපස්සෙ ඉඳගෙන අපි හතර දෙනා සෙල්ලම. කුමාරසිංහලත් අපි වගේම බස්නාහිර පළාතෙන් ගිහින් කුලී ගේක හිටපු කට්ටියක්. ටෙනිසන්ලා, නෙවිල්ලා ගමේම කොල්ලො.

ටෙනිසා ඇහුවා ,”උඹලා දන්නවද පොල්පිති ගොන්නු හදන්න?” කියලා.
අපි කිව්ව දන්නෙ නෑ කියලා.

“එහෙනං පිහියක් අරං වරෙං මචං.” ටෙනිසා කුමාරයට කිව්වා. කුමාරයා උගේ මනෝමය කාර් එකේම බෲම් කියාගෙන ගිහින් ආපහු ඇවිත් හෑන්ඩ් බ්‍රේක් එකත් ඇදලා පාක් කලා කාරෙක. කුමාරයා ගෙනත් තිබ්බෙ හොඳට බර තියන කුස්සි පිහියක්.
ඔන්න ටෙනිසන් ඉස්සෙල්ලම ගොනා පොල්පිත්තෙන් හැදුවා තමන්ටම. මූ සෑහෙන ලොකු ගොනෙක්.
කුමාරයට ඕනෙ වුනේ ඊට වැඩිය පොඩි එකෙක්.

“පෙන්නපං උඹට ඕනෙ සයිස් එක.” ටෙනිසා පිහිය අමෝරාගෙන කිව්වා.

කුමාරයා ඇඟිල්ල පොල් පිත්ත උඩ එක තැනෙකින් තියලා.

“මෙතනිං කපපං මචං.” කිව්වා.
ටෙනිසා ඩකාස් ගාලා කෙ‍ටුවා හරියටම කියපු තැනට. අප්සෙට් එක කුමාරයට ඇඟිල්ල ගන්න බැරිවෙච්ච එකයි. කුමාරයගෙ ඇඟිල්ල දෙකට කපාගෙන ගිය මහ පිහිය ඩකස් ගාලා පොල්පිත්තෙ හිරවුනා.

කුමාරයගෙ ල‍තෝනියට කුමාරසිංහ ආන්ටි දුවගෙන ආවා. ඇඟිල්ලෙන් ලේ විදිනවා.

ඇඟිලි පුරුක් දෙකක් හමෙන් එල්ලිලා තියෙනවා. මට මතක විදියට ආන්ටිට එතනම සිහිය නැතිවුනා. ටෙනිසා යකෙක් දැකලා වගෙ ගල් වෙලා. මට හැම දෙයක්ම හීනයක් වාගෙ.

එතකොටම කොහෙද ගිහින් ඉඳලා අපේ තාත්තා ආවා එයාගෙ තඩි මෝට බයික් එකෙන්. දැන් මිනිස්සු පිරිලා. හැමෝම කෑ ගහනවා. කවුදෝ රෙදි පටියක් බැඳලා අයිස් තිබ්බා. අපි තාත්තා බයික් එකේම ගිහින් කුමාරගෙ තාත්තයි කාර් එකකුයි අරන් ආවා. පහල ගෙදර මිස්ට අන්දරාජු (මම හිතන්නෙ හරිනම අන්ද්‍රාදි වෙන්නැති), මිස්ට බෙන්ජමින් හෙම වට වෙලා හරියට උදවු කලා.

දවසකට හෝ දෙකකට පස්සෙ කුමාර ගෙදර ආවෙ ඇඟිල්ලෙන් පුරුක් දෙකක් නැතිව. කුමාරසිංහ ආන්ටි ටෙනිසන්ලත් එක්ක කාලයක් යනකල් කතාකලේ නැ. ඉස්කෝලෙ කොල්ලො කුමාරයට “ඇඟිලි කොටා” කියලා නමකුත් දැම්මා. මම මේක ගෙදර ඇවිත් අම්මලට කිව්වාම, අම්ම,

“ඔයා හෙම කුමාරට ඇඟිලි කොටා කියලා තිබ්බොත් කට තලනවා” කියලා පූර්ව අනතුරු හැඟවීමක් කලා.

මේ සිද්ධියෙන් අවුරුදු දෙකකට විතර පස්සෙ අපි බලංගොඩ අතහැරලා බස්නාහිර පළාතට ආපහු ආවට පස්සෙ මම කුමාරසිංහව දැක්කෙ නෑ මේ අද වෙනකල්. අතේ ඇඟිලි පුරුක් දෙකක් අඩු කුමාරසිංහ ඔබේ නෑදෑයෙක් හෝ යාලුවෙක් නම් එහෙම නැත්නම් ඔබ කුමාරසිංහ නම් කරුණාකර මට ඊයක් එවන්න නැතිනම් මෙහි කොමෙන්ට් එකක් දාන්න.

 

ටැග: , ,

21 responses to “35. මෙන්න මෙතනිං කපපං මචං

  1. Weni

    නොවැම්බර් 30, 2011 at 7:34 පෙ.ව.

    හෆොයි වෙච්ච නස්පැත්තියක තරම..! ඉන්න හෙන්රි අද ඉඳන්ම මමත් පාරෙ තොටේ යනකොට කවුරු හරි ගෑනු මනුස්සයෙක් හරි, පිරිමියෙක් හරි ඇඟිලි පුරුක් දෙකක් නැතුව ඉන්නවා දැක්කොත් ඊ මේල් එක ඉල්ලගෙන හෙන්රිට දෙන්නම් !

     
  2. වෙද ගෙදර මහ වෙදනා

    නොවැම්බර් 30, 2011 at 8:57 පෙ.ව.

    අපෝ හරිම නස්පැත්තියක්නෙ. කොහොමත් ඔවැනි වැඩ වෙනවා. ඒවා හිතල කරන දේ නෙමෙයි. මොනවා කරන්නද. සුන්දර මතයන් අතර මෙහෙම දේවලුත් තියනවා.

     
  3. පූසා

    නොවැම්බර් 30, 2011 at 9:39 පෙ.ව.

    අම්මෝ! 😮

     
  4. Observer

    නොවැම්බර් 30, 2011 at 1:39 ප.ව.

    ඇඟිල්ලක් වැඩිපුර තියෙන එකෙක් නං අඳුනනව

     
  5. Nisupa

    නොවැම්බර් 30, 2011 at 4:25 ප.ව.

    අම්මෝ…..අර ටෙනිසාට මොනවා හිතෙන්න ඇද්ද???
    දැන් කාලෙ නම් බද්ද කරගන්න තිබුනා.මොනවා කරන්නද???

     
  6. නරකයා

    නොවැම්බර් 30, 2011 at 5:43 ප.ව.

    අපේ අයියත් ඇගිල්ල කපා ගත්තා එයාම… දැන් පුරුක් තුනෙන් දෙකයි තියෙන්නෙ…

     
  7. නවම්

    නොවැම්බර් 30, 2011 at 6:02 ප.ව.

    හප්පෝ.. ඕක මහා භයානක අත්දැකීමක්. මයෙ ඇස් දෙක ඉස්සරහ ඉස්කෝලෙ කොල්ලෙක්ගෙ දබර ඇඟිල්ල දොරකට අහුවෙලා චප්ප වෙලා ගියා. ඌට ඒ ඇඟිල්ලෙන් ඉතිරු උනේ පුරුක් දෙකයි

     
  8. Kasun Chanaka

    නොවැම්බර් 30, 2011 at 6:12 ප.ව.

    අප්පොච්චියේ ඇඟ හිරි වැටිලා ගියා ඒක කියවලා. හැබැයි දැන් නම් ඔහොම වුනාම බද්ධ කරන්න පුළුවන් නේද.

     
  9. hiruni

    නොවැම්බර් 30, 2011 at 9:55 ප.ව.

    අපොයි!….කියවනකොටත් හිරිගඩු පිපෙනව. මම එහෙමනම් මුලින්ම ටෙනිසන්ට ගහනව…. පස්සෙ ඇගිලි කොටා කියන කට්ටියට ගහනව….පව් ඒ ලමයා…

     
  10. පිණිබිඳු

    දෙසැම්බර් 1, 2011 at 12:23 ප.ව.

    අම්මෝ කියවද්දත් ඇඟ හිරි වැටෙනවා. ඇඟිල්ල කැපුනට ඒක බද්ධ කරන්න පුලුවන් නේද. අදමයි මේ පැත්තෙ ආවෙ. මරු බ්ලොග් එකක් මට මිස් වෙලා තිබිල මෙච්චර කාලයක්.

     
  11. ඹාලු ෆිට් එක

    දෙසැම්බර් 1, 2011 at 5:09 ප.ව.

    මේ බිලොගේට ගොඩවැදෙන පළවෙනි වතාව..
    ඔබට හිතෙන හැටි නම් අගෙයි..
    මාර භයානක කතාවක් තත
    මේ මම උපතෙ ඉදංම ඇගිල්ලක් නැති කෙනෙක් නම් දන්නවා..
    පාර තොටේදි ඔහොම කවුරුහර් දැක්කොත් බලන්නං..
    ජය..

     
  12. ඕනයා (Dulip Sikurajapathy)

    දෙසැම්බර් 2, 2011 at 6:32 ප.ව.

    ඇඟිලි කැපුන එක නං වෙනමම කතාවක් කියමුකො . . . කැතම සීන් එක තමා ඌට ඒකට කාඩ් එකකුත් ගහපු එක . .

    මගෙ මලය වතාවක් බ්ලෙන්ඩරේ වැඩකරද්දි තල දෙක ඇල්ලුවා . . .

     
  13. ගෝල්ඩ් fish

    දෙසැම්බර් 2, 2011 at 7:45 ප.ව.

    වෙලාවට එක ඈඟිල්ලක් තිබ්බේ… අතම තිබ්බනම් එහෙම බඩු බනිස්නේ…

     
  14. ලොකු පුතා

    දෙසැම්බර් 2, 2011 at 8:09 ප.ව.

    ඔය නම් පට බැඳිල්ලනම් මහ පල් වැඩක්
    පොඩි කාලේ විතරක් නෙමේ සමහරු ලොකු උනාමත් මේ වගේ මජරි වැඩ කරනවා

     
  15. ඉඳුනිල්

    දෙසැම්බර් 4, 2011 at 11:33 පෙ.ව.

    හෙන්රිගේත් නම් ගම්, ෆෝන් නොම්මර , ඔය කුමාරසිංහගේ තව දන්නා විස්තර ටිකක් දෙන්න. මම හොයලා බලන්නම් අල්ලගන්න. ඉදිරි සති දෙක තුනේ මම බලන්ගොඩ පැත්තේ යැවෙනවා. විස්තර කියලා මට මේල් එකක් දාන්න.

     
  16. අවංක පැට්ටා

    දෙසැම්බර් 5, 2011 at 4:51 ප.ව.

    දවසක් මම ගමේ ගියපු වෙලාවක ගොඅයම් කපල පාගන ඇග්‍රො මැක් මැෂිමට මගෙ යාලුවෙක් ගෙ අත අහු උනා.. මැෂිම ඕෆ්ෆ් කරල අත ගද්දි අත තිබ්බෙ නිකං සරුංගල් රැලි වගේ… අත වැලමිටට පල්ලෙන් කැපුවා.

     
  17. uwiniran

    දෙසැම්බර් 6, 2011 at 9:01 පෙ.ව.

    හත් ඉලව්වෙ…. හෙන්‍රියෝ.. මම තමයි කුමාරසිංහ……
    ( පිස්සුද බං)

     
  18. henryblogwalker

    දෙසැම්බර් 8, 2011 at 10:02 පෙ.ව.

    @Weni: ඔන්න මම ආවා. ස්තුතියි වෙනී. මුකුත් නෑ FBI එකට දුන්න වගේ.

    @වෙද ගෙදර මහ වෙදනා: ඔව්. මුලදි සුන්දර හෝ අසුන්දර අත්දැකීම පස්සෙ කතා කරන්න හොඳ අත්දැකීමක් වෙනවා.

    @පූසා. පූස් මොකට බය වෙනවද? පණ නවයක් තියෙන එකා.

    @ඔබා අයියා: ජයියා හරි ඕනයා හරි වෙන්න ඇති. අර පෙන්සිල් කටර් කතාවෙ සම්බන්දයක් තියෙනවද?

    @Nisupa: හායි නිසූපා. වෙල්කම් වේවා. ඇඟිල්ල බද්ධ කරන්නත් ඒක අරගෙන යන්න ඕනෙ ක්‍රම වේදයක් තියෙනවා නේද? හැබැයි මේක නම් හොඳට කරන්න තිබ්බා.

    @නරකයා: ඒකට නරකයාගෙ සම්බන්දයක් නෑ නේද?

    @නවම්: මගෙත් ඇඟිලි අහු වලා තියෙනවා වාහන දොරවල් වලට. නමුත් ඒවයෙ ඉඩ පොඩ්ඩක් තියෙනවා. දොරකට අහුවුනොත් නම් සොරිම තමයි.

    @ කසුන් චානක: ඔවු දැන් නම් පුලුවන්. නමුත් කාගෙත් සහයෝගය තියෙන්න ඕනෙ. ඒවගෙම නීට් කට් එකක් වෙන්නත් ඕනෙ මම හිතන්නෙ.

    @ හිරුණි: අම්මෝ හිරුණි හරි දරුණුයිනෙ තාමත්. මට මතකයි හිරුණිත් බුලියො වගේකට හෙල්මට් එකෙන් ගහලා තිබ්බා.

    @පිණි බිඳු: වෙල්කම් වේවා. ආයෙම එන්න. ස්තුතියි කියමනට.

    @ මාළු ‍ෆිට් එක: සාදරයෙන් පිළිගන්නවා. මාළු ‍ෆිට් එක!! මරු නමක්නෙ.

    @ඕනයා. ඔව්. ඒක නම් ඇත්ත තමයි. ළමයි මල් වගෙයි කිව්වට සමහරු යක්කු. මලයගෙ ඇඟිලි වලට මොකද වුනේ?

    @ගෝල්ඩ් fish: හායි මාලූ.

    @ කසුන්: ඇයි කසුන් ඔය වැලමිටෙන් බෙල් එක ගහන්නෙ.

    @ලොකු පුතා: මටත් නම් තිබිලා තියෙනවා බර ගානක්. හැබැයි උඹලට නම් කියන්නෙ නෑ.

    @ඉඳුනිල්: ස්තුතියි ඉඳුනිල්. කුමාරසිංහලා බලන්ගොඩට ආගන්තුකයෝ. නමුත් ටෙනිසන් නම් තාම ඇති වැලිහරනාව පාරෙ. මම මේල් එකෙක් දාන්නම් හැකි වුන ගමන්. මේ දවස් වල මම සයිබර් අනාතයෙක්.

    @අවංක පැට්ටා. අම්මෝ එක නම් …කියලා වැඩක් නෑ.

    @uwiniran: ඇත්තටම මට කුමාරසිංහගෙ මුල නම මතක නෑ. uwiniran වෙන්නත් පුලුවන්. (පිස්සුද බං)

     
  19. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 8:12 පෙ.ව.

    ඇඟිල්ල කැපුණු කතාව කියවපු ගමන් මගේ ඇඟත් හිරි වැටුණා වගේ වුනා

     
  20. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 11:51 පෙ.ව.

    පුදුමයි ඇඟිලි පුරුක් බද්ධ නොකළ එක කපිල වෙන් වෙච්ච ඇතුත් එහෙම කරනකොට..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න