RSS

79. මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ!!! (1)

17 අගෝ.
79. මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ!!! (1)

ඒ දෙදාස් අට වසරයි. එදා අප උදෙන්ම මහනුවර බලා යාම පිටත් වීමට සිතා සිටියත් හිතූ තරම් උදෙන් පිටත් වන්නට නොහැකි වූයේ කලින් දවසේ මහා වර්ෂාවේ මඩ නාගෙන ගෙදර පැමිණි වාහනය සෝදාගන්නට හිතුවාට වඩා තරමක් වෙලා ගතවූ නිසයි. කෙසේ හෝ නුවර පාරට වැටීමට ගම්පහට හෝ නිට්ටඹුවට නොගොස් මුලින්ම බියගම වෙලඳ කලාපය පැත්තට ගියේ එහි තිබූ ATM යන්ත්‍ර පෙලින් එකකින් අවුලක් නැතිවම මුදල් ගතහැකියයි මා විශ්වාස කල නිසයි.

එක එක බැංකුවලට අයත් එක එක වර්ග වල ATM යන්ත්‍ර එක එක පිස්සු කෙලින බවත්, ඇතැම් විට දශක කීපයක් පරණ, අකුරු මැකීගිය, දර්ශන තිරය අවර්ණ වූ, Nixdorf වර්ගයේ යල් පිණූ යන්ත්‍ර, අලුත්ම ATM යන්ත්‍රයකට වඩා user friendly ස්වභාවයෙක් ඉහල බවත් මම අත් දැකීමෙන්ම දැන සිටියා.

වාහනය ATM යන්ත්‍රය අසල පාරේ නතර කල මම, යන්ත්‍රය තිබූ කුටියට ඇතුල්වී කාඩ් පත රිංගවා, තරු හතරේ රහස්‍ය අංකය 😀 ඇතුලු කර, මට මතක විදියට රුපියල් 15000ක් ඉල්ලා සිටියා. සුපුරුදු පරිදි මගේ ඉල්ලීම ඉ‍ටු කරනවාද නැද්ද යන්න අවලෝකනය කර ගැනීමට මඳ වෙලාවක් ගතකල ආඩම්බරකාර එහෙත් සුකොමළ යන්ත්‍රය, සුපුරුදු දෙදරීම්, කෙඳිරීම්, ගෙරවීම් යනාදියෙන් අනතුරුව කාඩ් පත එලියට දමා මට කණගා‍ටුව ප්‍රකාශ කරහිටියා.

යන්ත්‍රයත් සමග උරණ නොවූ මම නැවත වතාවක් උත්සාහ කලා. එවර මා කෙරෙහි අනුකම්පා කල යන්ත්‍රය රුපියල් පහලොස්දාහක් නිකුත් කර, රිසිට් පතක්ද, හොඳින් කාරා ‘තූහ්ක්’ හඬින් එලියට දැම්මා. මුදල් සාක්කුවේ දමාගෙන, කාඩ් පතද අතට ගත් මා නිකමට රිසිට් පත් කියවමින් කුටියෙන් එලියට ආවා. එකවරම ගල් ගැසී නතර වූ මා නැවත යන්ත්‍රයට කාඩ් පත ඇතුල් කර සංක්ෂිප්ත ගිණුම් විස්තරයක් මුද්‍රණය කරගත්තා. කොරලා තියෙන්නෙ වැඩේ! මගේ ගිණුමෙන් මා ගත්තාට වඩා දෙගුණයක් මුදල් අඩු වී තිබුනා.

එදා නිවාඩු දවසක්. කලබල නොවූ මම ආරක්ෂිත කැමරාවක් වේ නම් නොවරදින ලෙස කැමරාවේ සටහන් වීමටත්, අවධානය දිනා ගැනීමටත් රිසිට් පත උස්සා වටයක් කැරකුනා.ඉන් පසු කුටිය පසුපසට ගොස් එහි සිටි ආරක්ෂක නිලධාරියාට කතා කලා.

“අද බැංකුව වහලනෙ සර්.”

“ආ ඒකට කමක් නෑ, ඔයාගෙ ලොග් පොතක් තියෙනවද? හරි කොතන හරි ලියාගන්න මේ විස්තර. මේක කස්ටමර් කම්ප්ලේන්ට් එකක්. ATM එකෙන් සල්ලි ආවෙ නෑ. මෙන්න වෙලාව මෙන්න රිසීට් එකේ ට්‍රෑන්සැක්ෂන් නම්බර් එක. ලියන්න පොතේ. මට කියන්න ඔයාගෙ නම. “

ආරක්ෂක නිළධාරියා ගෙ නමත් ලියාගෙන, ඔහුට ස්තුති කරපු මම ආපහු වාහනයයට නැගලා නුවර ගියා.

නුවර දීපාගේ සොහොයුරියගේ නිවසේ ගතකල දින කිහිපයක කාලය තුලත් මේ ප්‍රශ්ණය හිතට වද දුන්නා. ධනපතියන් නොවූ අපට රුපියල් පහලොස්දාහක් අමතක කර දමා සිටිය හැකි ගනනක් නොවෙයි.

දින කිහිපයකින් ආපසු පැමිණි මම කෙලින්ම ගියේ ATM යන්ත්‍රය අයත් බියගම බැංකුවටයි. ඇත්තෙන්ම මගේ ගිණුම තිබ්බේ කොළඹ බැංකුවකයි.

දීර්ඝ විස්තරයක් කෙටියෙන් කිව්වොත් බැංකුවෙදි මගේ “කට” මහෝපකාරී වුනා. ඊට අමතරව අර රිසිට් පත, අර ආරක්ෂක නිලධාරියාගේ සාක්ෂිය, සහ ලොග් පොතේ කල පැමිණිල්ල. සමග බැංකුවේ වැඩකල මගේ යෙහෙලියකගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම සහ උනන්දුව, සහ මා ලියූ ලිපියක් යන සියල්ලම එක්ව දින කිහිපයකින් වැඩේ නිමාවක් දැක්කෙ අර අතුරුදනහ් වූ මුදල මගේ ගිණුමට නැවත බැර කිරීමෙන්.

දැන් බැංකුවල වැඩකරන රාජ්, සුදීක වගෙ මිත්‍රයො කියාවි මේ වගේ අවස්ථාවක් ගතයුතු නිවැරදි ක්‍රියාමාර්ගය. සමහර විට මම කල හැම දේම අනවශය වෙන්න පුලුවන්. නමුත් එදා මම ඒ ගැන දැනගෙන හිටියෙත් නෑ.

ඒ වගෙම…

මේ ගණුදෙනුව නිමා කිරීමට බැංකුව ක්‍රියාකල ඇල් මැරුණු ආකාරය නම් මගේ කෝපයට හේතුවූ බව මට තාම මතකයි. ඒ වගේම මම රිසිට් පත පරීක්ෂා නොකර, මේ ගැන නොදැන හෝ දැන ගෙනත් බැංකුවට වැඩේ භාරදී, කිසිවක් නොකර හිටියා නම් මේ මුදල බැංකුව විසින්ම යම් දිනෙක ආපහු ගිණුමට බැරකරයිදා කියන කාරණය නම් සැකසහිත බව මට නැවත වතාවක් ඔප්පු වුනා මේ සති දෙකකට කලින්, ලංකාවෙන් පිටත මේ අපි වැඩ කරන දූපත් සමූහාණ්ඩුවේ.

ඒ ගැන මී ලඟ ලිපියෙන් කතා කරන්නම්. එතෙක්…

ATM භාවිතයේදී මට හිතෙන දේ කීපයක් මෙන්න. මේ කොහෙන්වත් උපුටාගත් දේවල් නෙවෙයි, මගේම සොයා ගැනීම් වලින් කිහිපයක්.

මේ වගෙ අකර තැබ්බයක් වුනොත් අර මම ක්‍රියාකරපු විදිය නැවත කියවා බලන්න, නැවත ප්‍රචාරයක් අවශය නෑනෙ.

ATM යන්ත්‍රය අසල සැකකටයුතු පුද්ගලයො සිටී නම් සැලකිලිමත් වීම සහ මුදල් ‍රැගෙන යනවිට ඔවුන් ආසන්නයෙන් ගමන් කිරීම එච්චර හිතකර නෑ.

ATM යන්ත්‍රයට යෑමට පෙර රුපියල් සීයේ කොල දෙක තුනක් සූදානම් කරගෙන තියාගැනීම හොඳ අදහසක්. අවශ්‍ය මුදල අරගෙන හෙමීහිට කලිසමේ ඉස්සරහ සාක්කුවට දමාගෙන අර රුපියල් දෙතුන්සීය අතට අරගෙන ගනිමින් දොරෙන් එලියට ඒම ඔබට හොරුන්ගේ අණුකම්පාවද, අවඥාවද දිනාගත හැකි හොඳ ක්‍රමයක්.

ඔබ ආවෙ රෝද හතරෙ වාහනයකින් තනියෙම නම්, ATM යන්ත්‍රයට යාමට පෙර සියලු දොරවල් අගුල් දමා ඇතිදැයි බලන්න. ආපසු පැමිනි විටත් නිකමට වාහනයෙ පසුපස අසුන් දෙසත් බලන්න. ඇතුලුවූ වහාම දොර අගුල් දමාගන්න. හැකි ඉක්මනින් ගෙදර හෝ කාර්‍යාලයට යන්න.

මතු සම්බන්ධයි>>>>>>

 

ටැග: , , , , , ,

115 responses to “79. මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ!!! (1)

  1. Senna

    අගෝස්තු 17, 2012 at 1:22 පෙ.ව.

    හොඳ උපදෙස් ටිකක් ඩූඩ්.. දැන් දැන් ලංකාවෙ හොරකම් වැඩි වේගන එන්නෙ.. ආශ්චර්යයේ ආනුභාවයද මංදා ? අමාරුවෙන් හම්බ කරන සල්ලි පරිස්සම් කරගන්න උත්සුක වෙන එක ඇත්තටම හොඳයි.. මොකද ඒවා නැති වුනාම හිතට හරිම අමාරුයි…

    මට මතක විදිහටනම් මට නම තාම ඔය වගේ ATM අකරතැබ්බකට මුහුණ පාන්න වෙලා නෑ.. ඒත් එහෙම වෙයි කියන ෆෝබියා එක මට තියනවා…

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 12:40 ප.ව.

      අමාරුවෙන් හම්බකරගන්න එක ලේසියෙන්ම මංකොල්ල කාගන්න හොරුයි තව හුඟක් කශ්ටියයි බලා ඉන්නවා Senna. එහෙම ෆෝබියා එකක් තිබ්බට කමක් නෑ. නමුත් අපේ සෙන්නාට මෙවන් අත්දැකීමක් නොලැබේවායි කියා පතනවා.

       
  2. අටම්පහුර

    අගෝස්තු 17, 2012 at 1:22 පෙ.ව.

    ආ ඒවාගේ වේලාවට කලබල නොවී කල්පනාවෙන් වැඩ කරනවා නේද.වටිනවා ඇ
    මම අද පළවෙනියා වෙලාද

     
  3. අටම්පහුර

    අගෝස්තු 17, 2012 at 1:26 පෙ.ව.

    කොහෙන්ද යකෝ මේ සෙන්නෙක් පැන්නේ.

     
  4. hiruni

    අගෝස්තු 17, 2012 at 1:48 පෙ.ව.

    හරිම වැදගත් ලිපියක්…වැදගත් පනිවිඩයක්….ඔය සිද්දිය මටත් හොදට මතකයි…. මෙහෙ [ වසිලිස්සිගෙ රටේ] නම් ATM machine ගොඩක් කුටියක් ඇතුලෙ නෙමයි තියෙන්නෙ පාරට ඇරිලා…ඉතින් පිටිපස්සෙ ඉන්න කෙනා අවදානයෙන් හිටියොත්, ගත්ත ගාන වගේම රහස් අන්කයත් දැන ගන්න අමාරු නෑ [ දන්න වැඩ ඔක්කොම දාලා ඇගෙන් කවර් කර ගත්තොත් නම් ප්‍රශ්නයක් නෑ, මම වගේ හිහ් හිහ් හිහ්] 😀

     
    • Hareendra Perera

      අගෝස්තු 17, 2012 at 8:09 පෙ.ව.

      මම දැකලා තියෙනවා.. ගොඩක් අයගේ රහස් අංකය තරු(*) හතරක්..

       
      • henryblogwalker the Dude

        අගෝස්තු 17, 2012 at 12:46 ප.ව.

        ස්ස්ස්ස්ස්ස්. ඒයි හරියා. කෑ ගහන්න එපා බං. මගෙ රහස් අංකයත් තරු හතර. අර පෝස්ට් එකෙත් මම කියලා තියෙන්නෙ. 😀

         
        • Hareendra Perera

          අගෝස්තු 17, 2012 at 5:31 ප.ව.

          අපොයි එහෙමද? සොරි සොරි.. අවුලක් නෑ කාටවත් පේන එකක් නෑ.. මට කමෙන්ට් එක හිමීට ඩිලීට් කරන්නම්… ශේප් ශෙප්..

          ප.ලි. කෝ මේ වර්ඩ්ප්‍රෙස්වල කමෙන්ට් එකක්වත් ඩිලීට් කරන්න බෑ මොකක්ද අප්පා?

           
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 12:45 ප.ව.

      ඔව් එදා ඔයත් හිටියෙ වෑන් එකේ. ඒක නෙවෙයි මම ඔයා එවපු වසිලිස්සා ATM එකක් මේකෙ ෆෝටෝ එකට දැම්මෙ. අවසර ඉල්ලුවෙ නෑ ඉතින්. ජාලෙන් උස්සනවට වඩා හොඳයිනෙ.

       
  5. Beetle

    අගෝස්තු 17, 2012 at 2:07 පෙ.ව.

    මේක මම පළවෙනි වතාවට මේ කෙනෙක්ට කියන්නේ… මට වගේම තවත් අයටත් වෙනවද බලන්න… මානසික අවුලක් විය හැකියි… සල්ලි ගන්න ATM කුටියකට ඇතුල් උනාම මට චූ බර හැදෙනවා… 😀 …

    එලිමහන් ඒවායින්… Drive Through ඒවායින් සල්ලි ගද්දී එහෙම වෙන්නේ නෑ…

     
    • marayagehorawa

      අගෝස්තු 17, 2012 at 7:20 පෙ.ව.

      එහෙම තමා බීටලේ අහු වෙන හැම මුල්ලෙම පම්ප් එක දාන්න පුරුදු උනාම වෙන්නේ… ටිකක් හැදෙන්න බලහං..

       
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 8:00 පෙ.ව.

      මට බීටලේ ඔය ප්‍රසිද්ධ වැසිකිලි වල තියෙන යුරීනල්ස් වලදි ලඟ දෙකේ කවුරුහරි ඉන්න කොට වැඩේ පටන් ගන්න බෑනෙ බං කොච්චර බර තිබ්බත්. 😀

       
      • කම්මල

        අගෝස්තු 17, 2012 at 11:40 පෙ.ව.

        ඩුඩ් අය්ය, මමනම් ඇස් දෙක පියාගන්නවා එතකොට පාරක් අයිනේ උනත් ඕක විලිලජ්ජාවක් නැතුව කොරන්න පුළුවන්.

         
        • henryblogwalker the Dude

          අගෝස්තු 17, 2012 at 12:49 ප.ව.

          පාර අයිනෙ නම් මූණ වැහෙන්න කැප් එකක් දාගත්තම හරි බං කම්මල. අපිව ඔය හරියෙන් අඳුනන්න පුලුවං උන් නෑනෙ. අනික කවුරුවත් මූන නෝට් කරන්නෙත් නෑ බං ඔය වෙලාවට.

           
  6. praveena

    අගෝස්තු 17, 2012 at 4:23 පෙ.ව.

    ඔහොම වැඩක් උනා අපට නුවර ගිය වෙලාවක. හරියට කරදර වෙලා පස්සේ ඒ අඩු උනු සල්ලි අපේ ඔස්ට්‍රේලියානු ගිනුමට වැටෙන් බව තමයි කීවේ. ඇයි එහෙම වෙන්නේ කියලා අහන්ට ඕනි රාජ් සහ සුධීරගෙන්.

    හිරුනි කීවා වගේ මෙහෙත් ඔය ඇතුලට ගිහින් දොර වහගන්න ඒවා නැති හන්දා ඔය කියනා විදියට පරිස්සම් වෙන්ට බෑ.:-)

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 7:59 පෙ.ව.

      ප්‍රවීනා, ඔය එකම රටේ එකම බැංකුවට අයත් ATM රාජයෙක් කරපු හරිය. ඕක හරිම සරලයි. මට ඊ ගාවට වෙච්ච අකරතැබ්බෙ ගැන තමයි මම ලියන්න හිටියෙ. නමුත් දිග වැඩි වුන නිසා ඒක මතුසම්බන්ධ කලා.

       
  7. Weni

    අගෝස්තු 17, 2012 at 6:57 පෙ.ව.

    වටින උපදෙස් ටිකක් ..අපිට නම් අමුතුවෙන් රු සීයේ ඒවා ගැන ගැන එන්න ඕනි නෑ..ගන්නෙ ම පොඩි ගනන් තමා..

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 1:03 ප.ව.

      උඹ ඒක නම් කාට ගැහුවද කියලා හිතාගන්න ටිකක් වෙලා ගියා බං වෙනී. මේකනෙ බං වැඩේ. මෙහෙ ATM එකකින් කරන ඕනෙම withdrawal එකකට (ඒ බැංකුවට අයත් නොවන කාඩ් පතකින්නම් ගෙඩි රුපියල් හාරසිය ගානක් යනවා චාජ් එක විතරක්.

      ලංකාවෙදි වුනත් ඔය අවදානමයි වියදමයි රස්තියාදුවයි අඩු නිසා තමයි ඔය එක පාරම ඇදලා අරින්නෙ.

       
  8. marayagehorawa

    අගෝස්තු 17, 2012 at 7:24 පෙ.ව.

    මට සූටි ප්‍රශ්නයක් තියෙනවා හෙන්රි අයියා… දැන් ඔයා මෙතන කියලා තියෙන්නේ රෝද හතරේ වාහන ගැන විතරයිනේ… එහෙම නෙවෙයි පොඩ්ඩක් අපි වගේ රෝද දෙකේ අය ගැනත් හිතලා උපදෙස් ටිකක් දෙන්ටකෝ.. දැන් අපිත් අපේ රතයේ පිටිපස්සේ සීට් එක දිහා එහෙම බලන්න ඕනිද..? ඈ…

    (හොඳ ලිපියක්.. ඒ වගේම තව අපේ උන්දලා කරන ලොකු වැරැද්දක් තමා රිසිට් එක ප්‍රින්ට් වෙන්න ඇරලා ඒක නොගෙන කලබලේට යන එක.. එක්කෝ රිසිට් එකක් ඕනද කියලා ඇහුවම ඒක එපා කියලා තෝරන්න ඕන.. නැත්තං මතක ඇතිව ඒක අරං යන්න ඕන..ඒටීඑම් එකක් ඇතුලට හවස් වෙනකොට ගියාම කොල කෑලි හතර අතේ… කවුරු හරි රිසිට් එක අමතක කරලා ගියාම ඊ ළගට ඇතුලට යන කෙනාට කිසි අවුලක් නැතිව එළියට ගිය එකාගේ වත්කම් ගැන යම් කිසි අවබෝධයක් ගතෑකි… අර උඹ කිව්ව සීයේ කොල දෙක තුන වන වන කියාට හරි යන්නේ නැහැ..)

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 7:44 පෙ.ව.

      මාරෙ මල්ලි උඹ ආරක්ෂක නිළධාරියනෙ. ඇත්තෙන්ම මමත් රෝද දෙකේ වාහනේට තමයි වඩා ප්‍රිය කරන්නෙ. එකක්, ඒක නැවැත්වීමේ පහසුකම් වැඩියි. නමුත් උඹත් ආරක්ෂක නිළධාරියෙක් හැටියට මේකත් දන්නවා ඇති. හෙල්මට් වයිසර් දාගෙන කුටියට ඇතුල් වෙන්න එපා කියලා උපදෙසක් තියෙනවා නේද, ආරක්ෂක කැමරාවලට වැඩේ පහසු වෙන්න.

      ඒවගෙම, ATM එකෙන් ගත්තෙ ලොකු ගානක් නම් (මල්ලියෙ රුපියල් දාහට දෙදාහටත් මිනී මරන වෙලාවල් තියනවා) බයික් එකේ ආපහු යනකොට ට්‍රැ‍ෆික් එකේ ඉඳගෙන ඉන්න කාලය භයානක වෙන්න පුලුවන්. කාට හරි පුලුවන් ලඟම තියෙන ත්‍රී වීලර් එකේ පිටිපස්සෙන් බැහැලා, ‘හලෝ මචං’ කියලා බයික් එකේ පස්ස සීට් එකට නැගලා පිහිය පිටට තියන්න. බයික් එක පදින එකා ඉතාම අසරණ අනාරක්ෂිත ඉරියව්වක ඉන්න බව අමතක කරන්නත් එපා. දෙන්නෙක් හිටියොත් ඕක කරන්න බෑ.

      අර අන්තිම කාරණාව හරියට හරි මාරයා. සමහරු රිසිට් එක ඉල්ලලා ඒක බලන්නෙත් නැතුවම එතන තියෙන කුණු කූඩෙට දාලා එනවා, සමහරු රිසීට් එක කටේම ඉතුරු කරලා එනවා හොරාට ලේසි වෙන්න.

      ඒ වගෙම ආරක්ෂක නිලධාරියෙක් හැටියට මට කියාපං මල්ලී, මම අර ආරක්ෂක නිලධාරියව සාක්කියක් හැටියට යොදා ගන්න ක්‍රියාකරපු ආකාරය හොඳයි නේද කියලා

       
    • emailkavikaari

      අගෝස්තු 17, 2012 at 9:14 පෙ.ව.

      මටත් ඔය දෙයම උනා නාවල NSB එකේදි. මට ඉල්ලුම් කරපු 2000 වෙනුවට ආවෙ රිසිට් පතක් පමණයි. ඒකත් මට මුදල් දුන් බව කියවෙන එකක්. නමුත් සල්ලි ලැබුනෙ නැහැ.

      මම පසුදා පටන් ගත්ත සටන ඉවර උනේ මාසෙකට විතර පස්සෙ.ඒක මගෙ ගිනුමක් නොවෙයි. ඇදුරුගෙ පුංචි අම්මගෙ ගිනුමක්. එයාට අල්සයිමර් නිසා මට භාරකර තියෙන්නෙ ගනු දෙනු. කතන්දරේ ඉවර උනේ වෙනත් බැංකුවකට ඇගෙ මුලු මුදල තැන්පත් කිරීමෙන් පස්සෙ.

      අනුංගෙ මුදලක් නිසා මේ සිද්දියෙදි මට තිබුනෙ පුදුම ආත්තියක්. මොනවා හරි වෙලා සල්ලි ලැබුනෙ නැතිනං කට්ටිය හිතයි මම මාටිය ගැහුවා කියලා. මුලු පෙලපතකට වග උත්තර බඳින්ට වෙයි.මට.

      මං ගැන අද තියෙන විස්වාසය ගරුත්වය එක දිනකින් ගොඩ නැගුනු එකක් නොවෙයි. මට කොහෙන් වත් අරන් ඒ මුදල පියවන්ටත් බැහැ හැම තැනම ගිනුම් ලියලා වැඩ කරන කෙනෙක් නිසා.

      මට මේ දවස් වල තව අලුත් ලෙඩක් වැටිලා තියෙනවා බර ගානක. ඔන්ලයින් වැඩක් කරන්න ගිහිං. කෙනෙකුට උදව්වක් කරන්න ගිහිං වෙච්ච එකක්. ලියනවද නොලියනවද කියල හිතහිතා ඉන්නෙ

       
  9. Hareendra Perera

    අගෝස්තු 17, 2012 at 8:18 පෙ.ව.

    හොරු මෙහෙම කිව්වොත් ‘රුපියල් දෙසීය තුන්සීය පෙන්නලා අපිව රවට්ටන්නෙ කොහෙද මල්ලී, අපිත් ඩූඩ්ගෙ බ්ලොග් එක කියවනවා හරිද? නිකන් පානිය නොදා සල්ලි ටික ගන්ඩ’

    මොකෝ කරන්නෙ?

    ATM කතාවක් කියන්නද? එක මිනිහෙක් කැඩිච්ච ATM එකක් වෙන්දේසියකදී සල්ලි වලට අරන්.. මූ කරලා තියෙන්නේ මොකක්ද දන්නවද නගරෙ තැනක ATM එක තියලා. මූ කම්පියුටර් ඉන්ජෙක්. අර මිනිස්සුගෙ කාඩ් එකේ විස්තරයි ඇතුලු කරන රහස් අංකෙයි ATM සේව් වෙන විදිහට හදලා. ඊටපස්සෙ ඔහොම මිනිස්සු දාස් ගානකගෙ ගිණුම් විස්තර ළඟ තියාගෙන ඉඳලා හිමීට එක එක ගිණුමට ගේම දීලා.

    මූ මොළේ ඇති හොරෙක්. එක ගිණුමකින් එකපාර ඉස්සුවොත්නෙ මාට්ටු. මූ කරලා තියෙන්නෙ අහුනොවෙන පොඩි ගණන් ඉස්සපු එක. මිනිස්සුන්ට ඉතින් ගානක් නෑ.

    මේක අහුවෙලා තියෙන්නෙ කොහොමද දන්නවාද? මූ මුගෙ බඩු තියලා තියෙන්නෙ කුලියට දෙන ඉස්ටෝරුවක. මූට කොච්චර සල්ලි තිබුනත් ස්ටෝරුවෙ කුලිය ගෙවන්න ගණන් අරන නෑ. ඒක නිසා ස්ටෝරුව අයිති කම්පැනිය මුගෙ බඩු එළියට දානවා. ඔය බඩු අතර තිබ්බ කැඩිච්ච ATM එකක් ගැන සැක හිතිලා එලවනකොට තමයි මිනිහාව අහුවෙන්නේ.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 1:18 ප.ව.

      වහාම මේ බ්ලොග් එකේ එල්ලන්න ඕනෙ බැනර් එකක් “හොරුන්ට කියවීම තහනම් කියලා”
      ස්තුතියි හරී මතක් කලාට. 😀

      අරක නම් මාර කතාව. පරණ ATM එකක් වෙන්දේසි දැමීමෙන් මොකක්ද දන්නෑ බලාපොරොත්තු වෙන්නෙ නේ? :O

      හරී බලලා තියෙනවද කලු අමෙරිකානු (මලා, ඇෆ්‍රිකන් අමෙරිකන්) මූවී එකක් The Barber Shop කියලා. අන්න ඒකෙත් බුවාලා දෙන්නෙක් ATM එකක් හොරකම් කරලා ගෙදර ගේනවා. කොච්චර ට්‍රයි කලත් ගේම දෙන්න බෑ… හිනා කාල මැරෙනවා උන් කරන වැඩ වලට. බාගෙනම බලන්නකො. හැබැයි මටමතක නෑ 1ද 2 ද කියලා.

       
  10. Gold fish

    අගෝස්තු 17, 2012 at 8:31 පෙ.ව.

    මේ උපදෙස් නම් ගොඩක් වැදගත් වෙනවා….

     
  11. මිස්ටර් හයිඩ්

    අගෝස්තු 17, 2012 at 8:36 පෙ.ව.

    මටත් ඔය වගේම වැඩක් වුනා ATM කාඩ් එකක් ගත්ත දවස් වලම .පුරුදු වෙන්නත් එක්කම රු 2000 ගන්න බැලුවා.සල්ලි ආවේ නෑ රිසිට් එකක් ආවෙත් නෑ. පස්සේ බලනකොට රුපියල් දෙදාහක් අඩු වෙලා

     
    • DDT

      අගෝස්තු 17, 2012 at 11:44 පෙ.ව.

      ඔන්න බලපං මචං උඹට ට්‍රේන් කරන්න ඒ මිනිස්සු අයකරල තියෙන්නෙ චූටි රු. 2000 ක්. උඹ ඉතිං ආයෙ ඒකට අඬන්න ඕනි නෑ. සමහර තැන්වල කෝස් ෆීස් එක ඔයිට වැඩියි.

       
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 1:19 ප.ව.

      මිස්ට හයිඩ්, ඉතින් ඒක ගැන මොකුත් කලේ නැත්ද? පැමිණිලි කලා නම් ගන්න පුලුවන්. මම අහන්නෙ. එහෙම නොකලානම් මොකද වෙන්නෙ?

       
      • Reader

        අගෝස්තු 28, 2012 at 6:50 ප.ව.

        ATM යන්ත්‍රයේ මුදල් ශේෂය බැංකුව විසින් සිය ගිණුම් ශේෂයන් සමග තුලණය කරනවා. මුදල් නිකුත් නොවී ඔබගේ ගිණුමේ ශේෂය අඩුවු විට යන්ත්‍රයේ මුදල් අතිරික්තයක් ඇතිවෙනවා. බැංකුව ඊට හේතුවුනු ගනුදෙනුව හදුනාගෙන අදාල මුදල ගිණුමට බැර කරනවා. ඊට ගතවන කාලය පුද්ගල කාර්යක්ෂමතාවය මත තීරනය වෙන කාරනයක් 🙂

         
  12. iamdeejay

    අගෝස්තු 17, 2012 at 9:03 පෙ.ව.

    අනේ ඔව්, මෙ කෘතිම මොලය මෙ වගේ අප්සෙට් එකක් කරපුවම කස්ටම කෙනෙක්ට, ඊට වඩා පිස්සු වද ගොඩක් දෙනවානේ ස්වභාවික මොල අර කෘතිම මොලේ වරදෙන් නැතිවු මුදල ආපසු ලබා ගැනිමට.

    එපාම වෙන්නෙ, විදින්න වෙන කායික හා මානසික වධ, ඒ කියන්නේ වෙන්න තියෙන රස්තියාදුව, පුරවන්න තියෙන ෆෝම් හා සිහි කැදවිමට කරන්න ඕන දුරකථන ඇමතුම්.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 1:31 ප.ව.

      ඒක නම් කියලා වැඩක් නෑ ඩීජේ. අපි මොනතරම් මානසික වදයක් වින්දදමේ දෙවෙනි සිද්ධියට. වැඩේ කියන්නෙ මුන්ට නෑනෙ Plan B කියලා එකක් වත් විය හැකි අකරතැබ්බ ගැන ඉවක් වත්, අතීත අත්දැකීම්වලින් පාඩම් ඉගෙනගැනීමක්වත්.

       
  13. sanjeew

    අගෝස්තු 17, 2012 at 9:17 පෙ.ව.

    මටත් මේ වගේ වැඩක් උනා ගිය මාසෙ, ගැහුව ගානෙන් බාගයයි ආවෙ. සල්ලි කොල නැවිල ආවෙ, නිවාඩු දවසක් නිසා බැංකුව වහල, මමනම් සිකියුරිටි එකට කිව්වෙ නැහැ, පස්සෙ බැංකුවට කිව්ව ලියුමකිනුත් දුන්න, සල්ලි ආපහු වැටෙන්න මාසයක් ගියා , රජයේ බැංකුවක්

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 1:32 ප.ව.

      එහෙමත් වෙන්න පුලුවන් කියලා ඕං දැනුයි දන්නෙ. ඒක නම් මෂීන් එක ලෝඩ් කරන කොට වෙච්ච වැ‍රැද්දක් වෙන්න ඕනෙ. වැදගත්ම දේ වරදක් වුනා කියලා බැංකුව පිළිගත්ත එකයි.

       
  14. හංසකිංකිණි

    අගෝස්තු 17, 2012 at 9:22 පෙ.ව.

    මේක මං වෙනි අයියගෙ පෝස්ට් එකකටත් ලිව්ව.. ඒ ටි එම්වලින් මුදල් ගනුදෙනු කරන අපි අතින් ඕනෑම වෙලාවක අත් වැරදීමකින් හෝ හදිසිය නිසා වෙන් හෝ සිද්ධ වෙන්ඩ පුලුවන් දෙයක් කියල හිතුණ නිසා ආයෙමත් ලියනව..

    දවසක් මං කොමර්ෂල් බැංකුවෙ බම්බලපිටියෙ ටෙලර් එකෙන් සල්ලි ගන්ඩ ගියා… කළබලෙන් කාඩ් එක දාන්ඩ යද්දි මෙන්න ගිණුම් ශේෂයක් පෙන්නනව තිරයෙ…
    මට එක පාරටම හිතාගන්ඩ බැරි වුණා….!!
    හැබැයි ටක් ගාල මතක් වුණා… එහෙම එන්ඩ නං කාඩ් එකක් ඇතුලෙ තියෙන්ඩ ඕනෙ නේද කියල.. මම ඉක්මනට කාඩ් එක එලියට අරන් ආරක්ෂක නිලධාරියට කතා කරල වැඩේ ගැන කිව්ව.. වෙලාවට ඔහු දැක්ක කාඩ් එකේ අයිතිකාරිය ඈත තිබුනු කාරයකට නගිනව… දුවගෙන ගිහින් මම ඈට කාඩ් එක දිගු කළාම ඈ මවිතයට පත් වුනා!!!
    ඈට කතා කරගන්ඩ වචන නැති වුණා!!!
    මොකක් හරි කලබලේකින් සල්ලි ගන්ඩ ආව ඇය ටෙලර් එකේ කටෙන් ආව සල්ලි ටික අරන් දිව්ව මිසක් කාඩ් එකක් එබුව කියල ඈට ඒ මොහොතට අමතක වුණා…
    ඕක අපිට වුණත් වෙන්ඩ පුලුවන් දෙයක්නෙ… ඕං හොරකං කරන එවුන්ට නං දෙන දෙයියො හොම්බට ඇන ඇන දෙන වෙලාව..
    කටිටිය කලබලෙං සල්ලි ගත්ත වගේ නෙවෙයි.. තමං යමක් ඇතුළට දාලයි ඒ සල්ලි ගත්තෙ කියන එක අමතක කරල දුවන්ඩ නං එපා!

    උපදෙස ඉවරයි

    හෙන්රි අයියෙ බලපං දැං ඉතිං මං ඒ ටීඑම් එකකිං සල්ලි අරගෙනත් ඉවරයි…
    උඹ මේ ඒ ටී එම් මැෂිම සල්ලි වමාරපු හැටි ගැන ලියල තියෙන එව්ව මට මැවිල පේන්ඩ ගත්තාම සල්ලි ගන්ඩ නෙවෙයි මට වෙන්නෙ… එතන දෙකට නැවි නැවි හිනා වෙන්ඩ…

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 1:34 ප.ව.

      වෙනියාගෙපෝස්ට් එකට ලිව්වත් ජනුවා, මේක මෙතනටත් 100% ක්ම අදාලයි. නොහිතන අවස්තාවක බලාපොරොත්තු නොවූ අවංකකමක් දැක්කාමත් මිනිස්සු කම්පනයට පත් වෙනවා.

      අර කතාව නම් එල. අපි සල්ලි ගන්නෙ කාඩ් එක ඇතුලට දාලා කියන එක අමතක කරන්න හොඳ නෑ තමයි. ඒ වගේම සල්ලිත් වහාම ගන්න එක තමයි හොඳ. අනික කාඩ් එක සල්ලි වලටත් වඩා වැදගත් කියන එකත් අමතක කරන්න හොඳ නෑ.

      මං ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් වේගන එනවවත්ද මන්ද උඹට එහෙම හිතෙන්නෙ. හැබැයි බං ඔය ATM නම් ස්ත්‍රී ලිංග තමයි. unpredictableනෙ. 😀

       
      • හංසකිංකිණි

        අගෝස්තු 17, 2012 at 1:56 ප.ව.

        හි හි… මට හිනාව නවත්තගන්ඩ බෑ!!! උඹ ශ්‍රේෂ්ඨ ලේඛකයෙක් වෙන්ඩ එනව කියන කෑල්ලට නෙවෙයි… ඒ ටී එම් ස්ත්‍රී ලිංගයි කිව්ව එකට… දැං ඉතිං මට ඒකත් මතක් වෙයි!!!

         
  15. සුදීක

    අගෝස්තු 17, 2012 at 10:13 පෙ.ව.

    @සියලුම දෙනා,

    හෙන්රි මේක ලියල තියෙන්නේ ගනුදෙනුකරුවකුගේ පැත්තෙන්, ඒ වගේම මෙතන අදහස් දාපු බොහෝ අය ගැටළු වගේම අදහසුත් ඉදිරිපත් කරලා තියෙනවා මේ බොහෝ ඒවාට පිලතුරු සපයන්න තියෙන නිසා මම පොස්ට් එකක් දාන්නම්. තව දෙයක් කියන්න තියෙනවා මේකට පිළිතුරු සපයන්න හොඳම කෙනා මම කියල හිතෙන්නේ මම එක් එක් තැන් වල වඩා කරපු අනුපිලිවෙල ඉතා හොඳට මේකට ගැලපෙන නිසා. මම මහජන බැංකුවේ පරිඝනක අංශයේ වැඩ කරනවා කියල සමහරු දන්නවත් ඇති. මම මුලින්ම වැඩ කලේ පරිගණක ගත කල ගිණුම් පිලුබඳ ගැටළු විසඳන අංශයක(Banking Application), ඊට පස්සේ ඒ.ටී.එම්. පද්දති සංවර්ධන හා ගැටළු විසඳන අංශයේ (ATM Development & Central Switch- එතැනදී මේ ගැන ගොඩක් ඉගෙන ගත්ත) දැන් වැඩ කරන්නේ හැර/බැර කාඩ් සම්බන්ධ අංශයක(Credit Card Centre). එතකොට මට මේ හැම තැනින්ම ආව අත්දැකීම් එක් කරලා පොස්ට් එකක් දාන්නම් තාක්ෂණික පැත්තෙන්.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 12:10 ප.ව.

      අන්න මම හොය හොය හිටපු එක්කෙනෙක්. සුදීක. අන්න හරි බ්ලොග් පෝස්ට් එකක් ලියන එක නියම අදහස. ඒත් පෝඩ්ඩක් ඉවසගන ඉන්නවද මම මේකෙ දෙවෙනි කොටස දානකල්. දවස් දෙකක් දෙනවද? එතකොට තවත් පරිපූර්ණ බ්ලොග් පෝස්ට් එකක් ලියන්න පූලුවන් සුදීකට. මොකද ඒ කේස් එක විසඳුනේ ඊයෙ. ඒකත් එක්ක බැලුවම මේක සුලු දෙයක්.

       
      • තිස්ස දොඩන්ගොඩ

        අගෝස්තු 17, 2012 at 12:23 ප.ව.

        ඔන්න වැදගත් බ්ලොග් ලියවිල්ලක්
        අනේ සුදීක ලොකු පිනක් සරල බසින් ඔව්ව අපේ මිනිස්සුන්ට කියල දෙනවනම්
        ඇත්තටම බැංකු වල ආරක්ෂක අංශවල අයට ඔය දේවල් වූණහම මෙහෙම ක්‍රියාකරන්න කියල උපදෙස් දීල නැද්ද? මට තියෙන ප්‍රස්නේ ඒකයි
        ATM එකක් වුණහම මිනිස්සු රෑ එකට දෙකටත් සල්ලි ගන්නව

        මම සල්ලි ගන්න වෙලාවට මෙහෙම දෙයක් කරනව පුරුද්දක් හැටියට – ගන්න කලිනුයි ගත්තට පස්සෙයි රිසිට් දෙකක් ගන්නව – මගේ ගිණුම් තෑබීමේ වැඩවලටත් ඒක පහසුවක්

         
        • henryblogwalker the Dude

          අගෝස්තු 17, 2012 at 1:41 ප.ව.

          අන්න තිස්ස හොඳ උපදෙසක්. පෙර හා පසු රිසිට් දෙකක් ගැනීම. 🙂

          අර උඹ කියලා තියෙන කතාවට අමතරව මේ වගේ දෙයක් වුනාම බැංකුවෙ නැත්ද ක්‍රමවේදයක් අර අපහසුවට පත් වෙච්ච පාරිභෝගියට අඩුම ගානෙ කනගා‍ටුව ප්‍රකාශ කරන්නවත්? වන්දියක් ගෙවීම පැත්තක තියමු. ඕක පුදුමාකාර මානසික පීඩාවක් බං. 😮

          මොකද කියන්නෙ යමුද ලිප්ටන් එක පැත්තෙ? 😀

           
        • හංසකිංකිණි

          අගෝස්තු 17, 2012 at 2:11 ප.ව.

          ආ තිසා අය්යෙ… නියමෙට තියෙයි…. බැංකුවල ඒ ටීඑම් එකෙන් සල්ලි ගන්න වාරයක් පාසා සේවා ගාස්තුවක් අයවෙනව නෙ.. සමහර බැංකුවල අර රිසිට්වලටත් සල්ලි ගන්නව…(හැබැයි එක අතකට මං නං කැමතියි.. එතකොට අර එතන කියෙන ඩස්ට් බින් එක වටේ තියෙන රිසිට්වලිං බායගක් හරි අඩු වෙයි නෙ. හැබැයි ඉතිං ඊ මේල් එකක්වත් ප්‍රින්ට් නොකර ක්ලෝස් කරන්ඩ බැරි මිනිස්සුන්ට ඕක තේරෙයිද මන්ද) එතකොට ඔයා ඔය කරන විදියට කළොත් එහෙම සෑහෙන ගානක් ඒකට යනව….
          හැබැයි ඒක එපා නං එපා කියල කියන්ඩ පුලුවන්… ඒ වුණාට දවසක් මට ඒ ටි එම් මැෂිමක් බලෙංම තුක් කියල රිසිට් එක කෙල ගැහුව මං ඉල්ලන්නෙත් නැතුවම

           
  16. රාජ්

    අගෝස්තු 17, 2012 at 10:18 පෙ.ව.

    බැංකු කියන්නෙ දාන්න පුළුවන් ගන්න ලේසිනැති තැනක්නේ බං. දන්නවනේ බැංකුවෙ ලෝගෝ එකට ඇම්ඩ බලුපූට්ටුව ඇන්ද කතාව. 🙂

     
  17. නිසුපා

    අගෝස්තු 17, 2012 at 11:00 පෙ.ව.

    අපෝ ඔය ඒ ටී එම් නම්.මට නම් ඔහොම කර දර වෙලා නෑ.ඒත් අපේ තාත්තට වුනා.ඔය වගේම පැමිනිලි කලාම වෙලාවට එදා ගනුදෙනු පියවනකොට සල්ලි ඉතුරුයි කියලා තේරිලා.වැඩි කරදරයක් නැතුව ඉවර වුනා.

     
  18. emailkavikaari

    අගෝස්තු 17, 2012 at 11:12 පෙ.ව.

    FINANCIAL OMBUDSMAN, SRI LANKA

    With the concurrence of the Central Bank and as part of the Financial Sector Reforms, a voluntary scheme entitled “Financial Ombudsman, Sri Lanka” has been established by the Banking Industry, the Registered Finance Companies, the Primary Dealers and Leasing Companies that are supervised by the Central Bank. The scheme will be co-ordinated by a company incorporated by the above mentioned financial institutions called The Financial Ombudsman Sri Lanka (Guarantee) Ltd.

    The objective of the Ombudsman Scheme is the satisfactory settlement and resolution of complaints/disputes by customers of banks and other financial institutions covered by the scheme.

    The Financial Ombudsman appointed under the scheme is Dr. R B Ranaraja.

    THE OFFICE OF THE FINANCIAL OMBUDSMAN SRI LANKA

    The Financial Ombudsman Sri Lanka (Guarantee) Ltd
    Financial Ombudsman’s Office
    143A,
    Vajira Road
    Colombo 05

    Direct line
    General Line/Fax
    Website
    E-mail : (94-11) 2595625
    : (94-11) 2595624
    : http://www.financialombudsman.lk
    : fosril@sltnet.lk
    http://www.financialombudsman.lk/faq.php

    සියලුම බැංකු වලි මෙතැනට ගෙනියත හැක. මටත් ලඟදිම යන්ට වේදැයි සැකයක් ඇත

     
  19. ක්සැන්ඩර් | Xander

    අගෝස්තු 17, 2012 at 11:56 පෙ.ව.

    මමනම් දන්නා විදියට මේ වගේ වෙනවා ඒටීඑම් එක එක්ක ප්‍රධාන සර්වර සම්බන්ධ කරගන්න බැරි වුනාම හරි යන්ත්‍රයේ මුදල් හිරවීමක් වුනාම හරි.. ඒ කොහොම වුනත් සාමාන්‍යයෙන් දින දෙකක් (පැය 48 )තුල මේ වගේ ගනුදෙනු වල මුදල් ස්වයංක්‍රීයව ඒ ගිණුම් වලට ඇතැම් බැංකු හරහා බැර වෙනවා. ඒත් එහෙම උනේ නැතිනම් අදාළ බැංකු ශාඛාවට ගිහින් හරි ගිණුම පවත්වාගෙන යන බැංකු ශාඛාවට ගිහින් හරි ගිණුමෙන් ලැබුණු රිසිට්පත පෙන්වා (රිසිට්පතක් ලැබුනොත්) හරි ඉන්පසුව ලද රිසිට්පත පෙන්වා හරි මේ ගැන කරුණු කියන්න පුළුවන්.

    බැංකුව සතුව ඒටීඑම් යන්ත්‍රයේ ගනුදෙනු සටහන් ලොග් එකක් වෙනම තිබෙන නිසා එහිදී මේ ගනුදෙනුව ගැන විස්තර ඔවුන්ට බලාගන්න පුළුවන්.

    ඒත් මට උන වැඩක් දන්නවද? මම එක්තරා බැංකුවක වැඩ කරන අවදියේ ඒටීඑම් භාරව කටයුතු කළා. ඒ අපේ බැංකුවේ ඒටීඑම් ආරම්භ කල කාලය. කාඩ් සැකසීම දත්ත ඇතුලත් කිරීම ඇතුළු සියලු වැඩ සමගින් ජාල පරිපාලන වැඩත් මගේ අතින් සිදුවුනා. එතැනදී අපේ බැංකුව වෙනුවෙන් ඒටීඑම් ටෙස්ට් කරන්නත් මට සිදුවුනා. මම දිවයිනේ විවිධ ප්‍රදේශ වල මගේ බැංකු සගයන් යවා කාඩ්පත් වලින් ගනුදෙනු සිදු කරමින් ඒවා අදාළ යන්ත්‍ර වල සිට ප්‍රධාන කාර්යාලයේ පරීක්ෂණ ගිණුම් හරහා පරික්ෂා කළා. ඒ අතරේ මම දවසක් අනුරාධපුරයේ ඇවිදින්න ගියා. එදා මම නිකමට අනුරාධපුරයේ අපේ බැංකු ජාලයේම වෙනත් බැංකුවක ඒටීඑම් යන්ත්‍රයක් හරහා ගනුදෙනුවක් කළා.

    හරි නේ.. කාඩ් එක මැෂින් එක ගිල්ලා. මගේ පින් එක මටම වැරදිලා.

    ඉතිං මේ ගනුදෙනුව රෑ 9.00 පමණ සිදු කල නිසාත් පසුදින උදේම මට නැවත කොළඹ බලා යාමට අවැසි නිසාත් මම එතනින් ගියා. ඒ සිකුරාදා දවසක්. එදා කොළඹ ඉඳන් මම ගෙදර ඇවිත් ආපහු සඳුදා තමයි කොළඹ ගියේ. සිකුරාදා කාර්යබහුල හින්දා මට අර අදාළ බැංකුවේ ශාඛාවකට යන්න බැරි වුනා. ඒත් සඳුදා මම මගේ යාලුවෙක් එක්ක කොල්ලුපිටියේ අදාළ බැංකු ශාඛාවට ගියා. ගිහින් මට වෙච්ච සිද්ධිය කිව්වාම එතන හිටිය නිලධාරිනිය ඒ අයගේ සිස්ටම් එක චෙක් කරලා කිව්වා කාඩ් එක තියනවා කියලා, ඒත් ඈ කිව්ව දෙයින් මාව පුදුම වුනා.

    මොකක්ද දන්නවද ඇය කිව්වේ?? සර් සර්ගේ ABC කාඩ් එක අනුරාධපුරේ තියනවා කියලා ක්න්ෆ්ර්ම් කළා කියලා. ඒ කියන්නේ මගේ ඒ බැංකුවේ (මම වැඩ කරන බැංකුවේ නෙවෙයි කාඩ්පත හිරවුණු බැංකුවේ) ඒටීඑම් එක අනුරාධපුර ශාඛාවේ තියනවා කියලා. මම එවෙලේම මගේ පර්ස් එකෙන් ඒ කියන කාඩ් එක අරගෙන ඇගේ මේසේ උඩ තියලා ඇහුවා මේ එතකොට මොකක්ද කියලා… ඇයත් අන්දුන් කුන්දුන් වුනා මේ සිද්ධියෙන්. ඈ එකවරටම දුරකථනය වෙත ගොස් පැවසුවේ මේ මගේ ඉස්සරහ කස්ටමර් ඉන්නවා. ඔය කාඩ් එකත් තියනවා, මේ දැන් මගේ අතේ කාඩ් එක තියෙන්නේ කියලා. එතකොට අනුරාධපුරින් කියනවා අපේ ලඟත් ඔය කාඩ් එක තියනවා කියලා..

    පස්සේ බලද්දී කට්ටිය කාඩ් මාරු කරගෙන. නමුත් මේක සැලකිය යුතු සිද්ධියක්. ඒ මොකද කියනවානම් කිසිම විටක එකම නම්බර් එකකින් කාඩ් දෙකක් ඉශු වෙන්නේ නැති නිසා. ඒ නිසා මම ඒ ගැන ඔවුන්ට කිව්වා මම කවුදැයි හඳුන්වා දෙමින් පැමිණිල්ලක් විදියට.

     
    • Raj

      අගෝස්තු 17, 2012 at 12:04 ප.ව.

      අන්න හරි සර්වර් වල පොඩි ප්‍රෂ්ණයක් නිසා ටෙලර් යන්ත්‍රයේ මතකයේ ප්‍රෂ්ණයක් ඇතු උනහම ඔහොම වෙන්ඩ පුලුවන් ” ඩබල් ඩෙබිට් වෙන එක”

       
      • ක්සැන්ඩර් | Xander

        අගෝස්තු 17, 2012 at 4:56 ප.ව.

        ඇයි ඒටීඑම් එකේ කනෙක්ෂන් අවුල් වුනාම හරි සර්වර් එකේ කෙනෙක්ෂන් අවුල් වෙලා ටයිම් අවුට් එකට කලින් මැසේජ් එක ආවේ නැතුවාම හරි? ඒ වෙද්දීත් වෙන්න ඕනේ ටික වෙලා.

         
        • henryblogwalker the Dude

          අගෝස්තු 17, 2012 at 6:27 ප.ව.

          ඕකනෙ කියන්නෙ. වැඩන්ටත් ඔහොම වුනාම අපි වගේ උන් ගැන කවර කතාද? හුඟාක් වෙලාවට ක්සැන්ඩර් පාරිභෝගික අපට තද වෙන්නෙ මේ වරද නිවැරදි කරන්න අදාල නිළධාරීන් ක්‍රියාකරන නිද්‍රාශීලී ස්වරූපයටයි.

           
          • ක්සැන්ඩර් | Xander

            අගෝස්තු 17, 2012 at 8:07 ප.ව.

            බැංකුවේ හිටිය නිලධාරියෙක් විදියට මම කියන්නම්.. එහෙම වෙන්නේ අපිට තියන රෙගුලාසි නිසා. මොකද බැංකුවක සල්ලි සතේටම ගණන් හදනවා වගේම ඔය වගේ දෙයක් වුනොත් අදාළ ශාඛාවේ ඒටීඑම් භාර නිලධාරියාගෙන් විමසලා, ලෙජර් සහ බින් සටහන් ගෙන්වාගෙන ඒවා සංසන්දනය කරලා තමයි ගනුදෙනුකරු ට සේවය සලසන්නේ. අන්න එතනයි ප්‍රමාදය.

             
  20. Raj

    අගෝස්තු 17, 2012 at 11:59 පෙ.ව.

    මුලින්ම පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්ඩ ඔබ ක්‍රියාත්මක වූ ආකාරය හරියට හරි. ඇත්තටම විද්‍යුත් ටෙලර් යන්ත්‍ර ක්‍රියාත්මක වෙන්නේ පරිගණක තාක්ෂණයෙන් නෙව. සතියේ වැඩකරන දවස් වලදි ගාඛා ජාලය සමග තිබෙන සම්බඳයට වඩා සති අන්තයේ හෝ නිවාඩු දිනවලදි ටෙලර් යන්ත්‍ර සහ ශාඛා ජාලය අතර පවතින සම්බන්දය තරමක් වෙනස් ආරක්ෂක හෙතුන් මත කෙලින්ම තාක්ෂණික තොරතුරු කියන්න බැහැ ඒ වගේම කිවයුතුයි ශාඛා ජාලයේ පවතින සමහර තත්වයන් මතත් සතියේ දවසක මෙවන් තත්වයක් උදාවිය හැකියි. ඔය කෙසේ වෙතත් ටෙලර් යන්ත්‍රයෙන් සිදුකෙරෙන මුදල් ගනු දෙනු වෙනම ලෙජර් රොලක ස්ව‍යන්ක්‍රීයව සටහන් වෙනව.
    ඔබ ටෙලර් යන්ත්‍රයකින් මුදල් ගැනිමෙදි ක්‍රියාත්මක විය යුතු ආකාර කිහිපයක් තියෙනව

    කාඩ් පත හරි පැත්තට යන්ත්‍රයට ඇතුලත් කල යුතුයි
    ඔබගේ රහස් අංකය වැරදුන හොත් තෙවරක් පමනක් උත්සහකරන්න. තුන්පාරකට වඩා උත්සහ කලහොත් කාඩ් පත යන්ත්‍රය තමන් සතුකරගන්නා බැවිනි
    මුදල් ගැනිමෙන් පසු ලැබෙන රිසිට්පත විමසිල්ලෙන් කියවන්න
    මුදල් ගැනිමෙදි එක්වරක් ඒය මග හැරුනොත් ගිනුම් විස්තරය ඇතුලත් රිසිට් පතක් ටෙල යන්ත්‍රය මගින් ලබාගෙන බලන්න
    යන්ත්‍රය මගින් මුදල් ලබාදෙන අවස්තාවෙදි හැකි ඉක්මනින් මුදල් ඉවතට ගන්න
    කාඩ්පත යන්තයෙන් ඉවතට එන අවස්ථාවෙදි හැකි ඉක්මනින් කාඩ් පත ඉවතට ගන්න
    ඔබගේ කාඩ් පත හෝ මුදල් නැවත යන්ත්‍රය ඇතුලට ගිය හොත් හැකි ඉක්මනින් ශඛා කලමණාකරු හමුවන්න
    දෙවරක් හෝ කිපවරක් වැරදිමකින් මුදල් ඩෙබිට් වී ඇත්නම් ශඛා කලමණාකරු හමුවිමෙදි ඔබේ රිසිට් පත ඉදිරිපත් කරන්න
    ටෙලර් යන්ත්‍රයෙන් මුදල් කටයුතු සිදුකිරිමෙදි ඔබ අවිනිශ්චිත තත්වයකට මුහුන පැවොත් ඔබගේ පාස් පොත ශාඛාවෙන් අප්ඩෙට් කර බලන්න
    හැකි හැම විටකදිම ගැටළුවක් ඇත්නම් ශඛා කලමණාකරු හමුවන්න

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 6:49 ප.ව.

      Raj මේ බලා හිටියෙ එනකල්. මෙතනත් තියෙනවා අති වැදගත් උපදෙස් ගොන්නක්. ප්‍රශ්ණෙ රාජ් අපි මුලින්ම ATM කාඩ් එකක් ගන්නකොට ලැබෙන උපදෙස් පත්‍රිකාවේ ඔය වගෙ සමහරක් ආරක්ෂිත උපදෙස් සඳහන් වුනත් ඒක හරි දැනුවත් වීමක් නෙවෙයි. ඕවා යන්ත්‍ර අසල, ඒ වගෙම විත්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වලින් නිතර ප්‍රචාරය කරනවා නම් සෑහෙන ප්‍රයෝජනයක් වේවි.

      අන්තිම දේ නම් අපිට ඔය වගෙ කෙලි වෙන්නෙ ශාඛා කළමනාකරු නිදාගෙන ඉන්න වෙලාවටයි.

       
    • චමිත්

      අගෝස්තු 28, 2012 at 12:47 පෙ.ව.

      kad eke pathak thiyanawada danna mama eka hema pathatama wage danawa aulak wenne ne ne

       
      • henryblogwalker the Dude

        අගෝස්තු 28, 2012 at 7:52 පෙ.ව.

        කාඩ් එකේ එක පැත්තයි නේන්නම් දාන්න පුලුවන් චමිත්. ඒක සමහර විට යන්ත්‍රයේ කාඩ් ස්ලොට් එක අසල පෙන්නලා තියෙනවා, නැතිනම් ඩිස්ප්ලේ එකේ ස්ක්‍රීන් සේවර් එක වගෙ එකේ පෙන්නනවා. ඒත් අමතක වෙනවා නම් කාඩ් එකේ මාකර් එකකින් ඊතලයක් වත් අඳින්නකො.

         
  21. මී පැටියා

    අගෝස්තු 17, 2012 at 12:02 ප.ව.

    හොඳ උපදෙස් ටිකක් තමා දීල තියෙන්නෙ.

    තව කාරනාවක් තියෙනවා කියන්න. ATM machines තියෙන්නේ කෙනෙක්ට හදිස්සියකට පෝලිම් වල ඉන්නේ නැතුව සල්ලි ගන්න. සමහරු ඉන්නවා (බහුතරයක් කෙල්ලො ) තුන් හතර දෙනා එක පාර ඇතුලට ගිහින් පැය ගානකට එන්නෙ නෑ. එලියේ පෝලිමේ දිග වැඩි වෙනවා එන්න එන්න. එලියෙ ඉන්න එකා ගැන ඇබිත්තක්වත් හිතන්නේ නෑ..

     
    • Raj

      අගෝස්තු 17, 2012 at 12:09 ප.ව.

      ඔය ටෙලර් යන්ත්‍ර ඇතුලේ සමහරක් රතිකෙලියෙත් යෙදිලා තියෙන වස්ථා තියෙනව ඉතින් ඔක ඇතුලට යනකොට විමසිලිමත් වෙලා යනවනන් තමා හොඳ

       
  22. Weniwel

    අගෝස්තු 17, 2012 at 12:46 ප.ව.

    ලිපිය සහ මේ වෙනතෙක් පල වූ කමෙන්ට් සියල්ලම නෑහ කියවීමෙන් පසු..
    මේ ලිපිය සෑහෙන්ඩ වැදගත්.. ජොබ් එක නැති වෙච්ච කාලෙක ATM මැශින් එකක් ළඟ ඉඳලා කීයක් හරි හොයා ගන්න සැලසුම් කරන්න ඕනි කොහොමද සහ ඒක අහු නොවෙන්න කරන්නෙ කොහොමද ..රුපියල් සීයෙ කොල වන වනා එන එකාගෙ අනිත් සාක්කුවෙ තියෙන 5000 කොල ටික ගැන දැන ගත්ත එක.. බයික් එකක ඇවිත් සල්ලි ගන්න එකෙක්ගෙන් ගන්නෙ කොහොමද .. අෆ්ෆා මේක දැනුම් සාගරයක්නෙ.. බොහෝම ස්තූතියි හෙන්රි.. තව තව කමෙන්ට් එයි මීට වඩා පොරෝජන් තියෙන.. බලමු සුදීකගෙ පෝස්ට් එකත්..රාජ් ගෙ කමෙන්ට් එක නම් මදි වගෙයි.. තව විස්තර ඕනි.. 😀

     
  23. පරිකල්පන

    අගෝස්තු 17, 2012 at 12:53 ප.ව.

    මට හිතෙන විදිහට ATM කාඩ් වලින් සල්ලි ගන්න යනකොට කෙනෙක් ගොඩක්ම අන්තරායකර තැනකට පත් වෙන්නෙ තමන් ගත්ත පළවෙනි කාඩ් එකෙන් ඉස්ඉස්සෙල්ලම සල්ලි ගන්න යන වෙලාවෙ. සල්ලි ගන්න ක්‍රමේ ගැන මුකුත්ම නොදන්න නිසා ගොඩ දෙනෙක් කරන්නෙ ඒ වෙලාවට ලඟ ඉන්න කාගෙන් කාඩ් එක ක්‍රියා කරවන හැටි අහන එක. වැඩි සැලකිල්ලක් නැතුව පින් අංකෙ පවා කියන අය මං දැකල තියෙනව.

    තව දෙයක්… හදිසියෙවත් කවුරු හරි තර්ජ‍නය කරල තමන්ගෙ ATM කාඩ් එකෙන් සල්ලි අරන් දෙන්න කිව්වොත් පින් අංකෙ ආපස්සට ගහල සල්ලි ගන්න කියල තියෙනව. ඒ කතාව ඇත්තද?

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 6:54 ප.ව.

      පරිකල්පන, අන්න මේ පෝස්ට් එකට එක් කල යුතු වැදගත්ම කතාවක්. මමත් දැකලා තියෙනව පෝලිමේඊ ගාවට ඉන්න කෙනාගෙන් උදව් ගන්නවා පින් එකත් කියලා.
      අන්න ඒකට උත්තරේ මාත් දැන ගන්න ආසයි. පින් එක රිවර්ස් එකට ගැහුවම වැඩේ ගොඩද? මම ඕක ඊ මේල් එකක දැක්කා.

       
  24. DDT

    අගෝස්තු 17, 2012 at 12:56 ප.ව.

    මට නම් ප්‍රශ්න නැත. මම ඉතිං හදිස්සියක් නැති මනුස්සය නෙව.

     
  25. පිණිබිඳු

    අගෝස්තු 17, 2012 at 1:06 ප.ව.

    පෝස්ට් එකෙනුයි කමෙන්ට් වලිනුයි සෑහෙන කරුණු ඉගෙන ගත්තා. ATM වලින් සල්ලි ගනිද්දි ඔය අහේතුක බියවල් මටත් තියෙනවා. ඇයි සමහර දවස් වලට හොඳටම කටපාඩක් රහස් අංකය ATM මැෂින් එක ඉස්සරහට ගියාම අමතක වෙනවා. පණයනකල් මතක් කරල මතක් කරල යන්තම් සල්ලි ගන්න වෙන්නෙ.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 17, 2012 at 6:59 ප.ව.

      පිණිබිඳු, ඔබ තනි නැත. මාත් එයින් එක්කෙනෙක්මි. මගෙ ඔය ගැනත් පෝස්ට් එකක් තියෙනවා My Ram and Cashe
      කියලා. ඒක සිංහලෙනුත් ලඟදිම දානවා.

      ඒ වුනාට අමතක නම් දෙපරක් ට්‍රයි කරලා වෙන මෂීන් එකකට යන්න. කාඩ් එක ගිලී.

       
  26. අනූ

    අගෝස්තු 17, 2012 at 2:11 ප.ව.

    හොඳ උපදෙස් ටිකක් අයියා…ඒත් ඉතින් කාඩ් නැති එක තමා ප්‍රශ්නේ… පස්සේ ප්‍රයෝජනවත් වේවි…

     
  27. සුදීක

    අගෝස්තු 17, 2012 at 3:03 ප.ව.

    ඔන්න මම දන්නා ටික ලිව්වා. කියවල බලල ප්‍රශ්ණ තියෙනවනම් අහන්න

    http://awidda-paya.blogspot.com/2012/08/atm.html

     
  28. රාමා

    අගෝස්තු 17, 2012 at 5:26 ප.ව.

    මටත් ඔය දේම වෙලා තියෙනවා. සල්ලි ගත්ත බැංකුවෙන් ඇහැව්වම ලිඛිත ඉල්ලීමක් කරන්න කිව්වා. එහෙම කලාම අවුලක් නැතිව ට්‍රාන්සැක්ෂන් ඒක රිවර්ස් කලා.

    හැබැයි මගේ බැංකුවේම දවසක් සල්ලි ඉරිලා එලියට ඇවිත්, කවුන්ටරයෙන් ඉල්ලුවහම ගනු දෙනු වෙලාව ඉවරයි කියල මුකුත් කරන්න බහ කිව්වේ මැනේජර්.. ගනුදෙනු කරුවෙක් වෙනුවෙන් ඒ වගේ වෙලාවට මුකුත් කරන්න බැරිද කියන එක නම් මට ප්‍රශ්නයක්. සමහර විට රෙගුලාසි වලින් පිට වැඩ කරන්න බැරිව වෙන්න ඇති.

     
  29. henryblogwalker the Dude

    අගෝස්තු 17, 2012 at 7:02 ප.ව.

    සහතික ඇත්ත රාමා. පාරිභෝගික සේවාවල් ඔයිට වඩා හුඟාක් නම්‍යශීලී වෙන්න ඕනෙ කියලා තමයි මාත් විශ්වාස කරන්නෙ.

     
  30. තොටියා

    අගෝස්තු 17, 2012 at 7:39 ප.ව.

    ඉතාම වටිනා උපදෙස් ටිකක්.. අර සල්ලි ගත්තාට පස්සේ බැලන්ස් එක චෙක් කරන එකත්, රු සීයෙ කොළ කීපයක් අරන් යන එකත් වහාම ක්‍රියාත්මක වන පරිදි කරන්නට හිතා ගත්තා… ATM මැෂින් බුල කෙලින්න ගත්තාම මටත් මළම පනිනවා…

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 19, 2012 at 11:32 ප.ව.

      තොටියා, කොයි යන්තරෙත් බුල කෙලින්න ගන්නෙ මේ අපි ගියාමනෙ! 😦
      දැන් නම් අලුත් තැනට පුරුදු වෙලා ඇති නේ?

       
      • තොටියා

        අගෝස්තු 20, 2012 at 2:35 ප.ව.

        කොච්චර පුරුදු වෙලාද කිව්වොත් පරණ තැනට වඩා මේක හොඳද කියලත් වෙලාවක හිතෙනවා…ලොල්ස් 😉

         
  31. Di

    අගෝස්තු 17, 2012 at 8:28 ප.ව.

    දැන් ATM වල tracking device හයි කරල කාඩ් එකේ තියන track data copy කරන කන්ඩායම් ඉන්නව. ඒක නිසා පොඩ්ඩක් හදිස්සි නොවී කාඩ් එක ATM එකට දාන්න ඉස්සෙල්ල ඒකෙ අසාමාන්‍ය පෙනුමක් තියනවද කියල ටිකක් විමසිල්ලෙන් බලන්න. විශේෂයෙන්ම කාඩ් එක ඇතුලු කරන තැන ගම් වගේ ගෑවිල තියනවනම් ඒ ATM එකට කාඩ් එක දාන්න එපා. PIN එක ඇතුලු කරනකොට එක අතකින් keypad එක වහගෙන ඇතුලු කරන්න. මොකද track data copy කරන අය අනිවාර්‍යයෙන්ම PIN එකත් බලාගන්න ඕන නිසා. මේවට හයි කරන camera කඩල ඇටයක් විතර පොඩි නිසා සැලකිල්ලෙන් බැලුවෙ නැත්නම් හොයාගන්න බැහැ.
    මේ ලගදි වැල්ලවත්තෙ xxxxxx බැංකුවෙ ATM එකක tracking device හයි කරල data අරගෙන white plastic හදල ලොකු මුදලක් ඇදල තිබුන. ඒ කට්ටියන BOC ATM වලත් මේකම කරල ඇද්ද ගාන තාමත් හරියටම හොයාගන්න BOC එකට බැරි වෙලා තියනව.
    track data තියනවනම් PIN එකත් තියනවනම් white plastic හදල සල්ලි ගන්න එක ඒගොල්ලන්ට සුලු දෙයක්. white plastic බඩු ගන්න පාවිච්චි කරන්නෙ නැත්තෙ එතකොට shop වලදි අහුවෙන නිසා. ඒකයි ATM වල විතරක් use කරන්නෙ. හැබැයි අපි PIN එක ඇතුලු කරනකොට පරිස්සම් උනොත් (එක අතකින් keypad එක වහගෙන) මේක වලක්වගන්න පුලුවන්.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 19, 2012 at 11:33 ප.ව.

      Di, අන්න තවත් වැදගත් දෙයක්! මටත් මතකයි පහුගිය කාලෙ සංවිධානාත්මකව ඔය වැඩේ කලා. පරීක්ෂාකාරී වුනාට පාඩුවක් වෙන්නෙ නෑ.

       
  32. Sumith Niriella

    අගෝස්තු 17, 2012 at 8:36 ප.ව.

    බොහෝ දෙනෙකුට වැදගත්වෙන වටිනා පෝස්ට් එකක්……. 🙂

    මැෂින් එකනම් යූසර් ෆ්‍රෙන්ඩ්ලි තමා නැත්නම් හොදින් කාරලා “තුහ්” ගාලා කාඩ්එක එළියට දාන්නෙ නෑනෙ….. 😉

     
  33. මඩිස්සලේ නිශාන්

    අගෝස්තු 17, 2012 at 8:50 ප.ව.

    මටත් දවසක් ඔය වගේ වැඩක් වුනා සම්පත් බැංකුවෙන්.කාඩ් එක දාලා ඕන කරන ගාන ගැහුවම රිසිට් එක විතරක් ආවා සල්ලි නැහැ.දෙවෙනි පාරත් ආයේ ට්‍රයි කරා රිසිට් එක ආවා සල්ලි නැහැ.මේක අම්මගේ ගිණුම මගේ එකක් නම් එච්චරම අවුලකුත් නැහැ මම දෙවෙනි රිසිට් එක බලද්දී අර ගණන් දෙකම අඩු වෙලා.මට හීං දාඩිය දැම්මා මම ගිහින් බැංකුවේ නිලධාරිනියකට කිව්වා.අන්තිමේ පින් නම්බර්ස් අරවා මේවා ඔක්කොම ගහලා බලලා කිව්වා මැෂින් එක ට්‍රැක් වෙලා බය වෙන්න එපා සල්ලි කීයක්වත් විත්ඩ්රෝ වෙලා නැහැ කියලා.

     
  34. සෑම්

    අගෝස්තු 17, 2012 at 10:39 ප.ව.

    //ඔබ ආවෙ රෝද හතරෙ වාහනයකින් තනියෙම නම්, ATM යන්ත්‍රයට යාමට පෙර සියලු දොරවල් අගුල් දමා ඇතිදැයි බලන්න. ආපසු පැමිනි විටත් නිකමට වාහනයෙ පසුපස අසුන් දෙසත් බලන්න. ඇතුලුවූ වහාම දොර අගුල් දමාගන්න. හැකි ඉක්මනින් ගෙදර හෝ කාර්‍යාලයට යන්න.//

    හරියටම දින දෙකකට කලින්, මම කිරිබත්ගොඩ ATM එකට ගියා සල්ලි ගන්න. වාහනේ ලොක් නොකර. පේන දුරින් තියල. සල්ලි ගත්ත හැටියේ එලියට පැන්නා වාහනේ ලොක් නැති නිසා. කාඩ් එක එලියට ඇවිත් මට ගන්න අමතක වුනා. දොර ඇරන් එලියට ඇවිත් කාඩ් එක මතක් වෙලා අත දැම්මා කාඩ් එක ගන්න, අත ලංවෙද්දිම ඇතුලට ගියා බං.. 😦

    එතැන සික්කාට කියලා, පහුවෙනිදා උදේම ගියා කාඩ් එක ගන්න.

    උබ පරක්කුයි බං, කලින් කිව්ව නම් මේව වෙන්නෙ නැහැ.

     
  35. AKM

    අගෝස්තු 17, 2012 at 11:34 ප.ව.

    මගේ අයියටත් ළඟඳී නොසැලකිල්ල නිසා ලොකු පාඩුවක් උනා. එයා පඩි දාලද කියලා චෙක් කරලා කාඩ් එක දාල ඇවිත්. පස්සෙන් ආපු එකා පඩියත් අරගෙන එතෙන්දීම ගණන් කරලත් ගිහින් තියෙන්නේ.

     
  36. JP

    අගෝස්තු 18, 2012 at 5:55 පෙ.ව.

    එක කාලයක් ලංකාවේ හැම ATM ගනුදෙනුවකටම රුපියල් 2ක් අය කලා මුද්දර ගාස්තු හැටියට . නුගේගොඩ බැංකු ශාඛාවක් ළඟ හිටිය එතනට එන වයසක මිනිස්සුන්ට ATM එකෙන් සල්ලි ගන්න උදව් කරලා , බැංකුවට ගෙවන්න ” මුද්දර ගාස්තු ” එකතු කර ගත්ත “කරුණාවන්ත ” තරුණ මහතෙක් .

     
  37. Gaminie Vijith

    අගෝස්තු 18, 2012 at 7:25 පෙ.ව.

    එල පෝස්ට් එක මචං … ATM ගැන නොදන්න දේ ගොඩක් දැන ගත්තා..!

     
  38. රූ

    අගෝස්තු 18, 2012 at 10:42 පෙ.ව.

    සම්පත් බැංකුවෙදි නම් මේ වගේ දෙයක් වුනාම කාර්යක්ෂමව වැඩ කරනවා කියලා දන්නෙ අත්දැකීමෙන්…
    අර ප්‍රසිද්ධ කතාවක් තියනවා නේද ගෑනු කෙනෙක් ATM එකෙන් සල්ලි ගන්න Steps සහ පිරිමි කෙනෙක් සල්ලි ගන්න steps ගැන..
    http://scootdawg.proboards.com/index.cgi?board=humor&action=display&thread=52536

     
  39. Kandyan

    අගෝස්තු 18, 2012 at 2:14 ප.ව.

    ඔන්න දැන් ‘DRIVE THROUGH ATM’ දාන්න යනවා… මෙන්න මෙහෙමලු සල්ලි ගන්න විධිය…

    MALE PROCEDURE:

    1. Drive up to the cash machine.
    2. Put down your car window.
    3. Insert card into machine and enter PIN.
    4. Enter amount of cash required and withdraw.
    5. Retrieve card, cash and receipt.
    6. Put window up.
    7. Drive off.

    FEMALE PROCEDURE:

    1. Drive up to cash machine.
    2. Reverse and back up the required amount to align car window with the machine.
    3. Set parking brake, put the window down.
    4. Find handbag, remove all contents on to passenger seat to locate card.
    5. Tell person on cell phone you will call them back and hang up.
    6. Attempt to insert card into machine.
    7. Open car door to allow easier access to machine due to its excessive distance from the car.
    8. Insert card.
    9. Re-insert card the right way.
    10. Dig through handbag to find diary with your PIN written on the inside back page.
    11. Enter PIN.
    12. Press cancel and re-enter correct PIN.
    13. Enter amount of cash required.
    14. Check makeup in rear view mirror.
    15. Retrieve cash and receipt.
    16. Empty handbag again to locate wallet and place cash inside.
    17. Write debit amount in check register and place receipt in back of checkbook.
    18. Re-check makeup.
    19. Drive forward 2 feet.
    20. Reverse back to cash machine.
    21. Retrieve card.
    22. Re-empty hand bag, locate card holder, and place card into the slot provided!
    23. Give dirty look to irate male driver waiting behind you.
    24. Restart stalled engine and pull off.
    25. Redial person on cell phone.
    26. Drive for 2 to 3 miles.
    27. Release Parking Brake.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 19, 2012 at 11:43 ප.ව.

      රූ, මේකෙ ඉතා අගය කලයුතු දේ ගැහැණු කෙනෙක්ම මේ ලින්ක් එක දාපු එකයි. අන්න නියම sense of humor ඇති කෙල්ලො!
      ඔය කැන්ඩියන් ගිහින් තියෙන්නෙ.

       
  40. දුකා

    අගෝස්තු 18, 2012 at 6:45 ප.ව.

    නියම ලිපියක් ඩූඩ් . . . මේ වගේ දෙයක් සිදු උනොත් උඹ කලා වගේ දේවල් කරන්න ඕන කියලා මම නිකමට වත් හිතලා තිබුනේ නෑ . . හරිම ප්‍රයෝජනවත් . . . . ගොඩක් ස්තූතියි මචෝ . . ..

     
  41. ළහිරු හිමේෂ්

    අගෝස්තු 19, 2012 at 9:28 ප.ව.

    හික්. අර කිව්ව අන්තිම උපදේශය නම් පිලිපදින්න දෙයක් ඇත්තෙම නැහැ. කොහොමත් ගන්නේ රුපියල් 100 – 200 යේ කොලනේ අපි. මෙහේ රුපියල් 5යිද කොහෙද කැපෙන්නේ මට මතක විදියට.

     
  42. Miyuru

    අගෝස්තු 20, 2012 at 6:35 පෙ.ව.

    අර මැෂින් එක සල්ලියි රිසිට් එකයි දෙන විදිය කියවනකොට නම් හිනාවෙලා පණ ගියා…. 😀
    හරිම වැදගත් ලිපියක් කාටත්…. මට මෙහේදිත් මැෂින් එකේ කටේ තිබුණු කාඩ් දකින්න ලැබිලා තියෙනවා…. ඒ වෙනකොට ගිලල තියෙන්න නැතිව ඇති….

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 22, 2012 at 10:22 පෙ.ව.

      මියුරුගෙ කතා කියෙව්වාමත් අපි කිති කවා නොගෙන අවංකවම හිනා වෙනවා.
      අර ස්ලොට් එකේ කාඩ් එක තියෙන්නෙ සමහර වෙලාවට ගිලින්න අමතක වෙලා වෙන්නැති නේ?
      නැත්නම් බඩගිනි නැත්ද දන්නෙ නෑනෙ.:D

       
  43. සිරා

    අගෝස්තු 20, 2012 at 7:15 පෙ.ව.

    හෙන්රි අයියගෙ උපදෙස් ටික ගොඩාක් වටිනවා… රහස් අංකය මතකෙන් වැරදි විදියට තුන් වරක්ම ගහලා කාඩ් එක යන්ත්‍ර‍ය ඇතුලට ගිය සිද්ධියක් මිස මට නම් වෙනත් අකරතැබ්බයක් වෙලා නෑ… ඒ මම රාජ්‍ය බැංකුවක් එක්ක ගණුදෙනු නොකරන නිසාද මන්දා… තාත්තා එක්ක සල්ලි ගන්න එයා ගණුදෙනු කරන රාජ්‍ය බැංකුවට ගියාම ඒකෙ මැෂින් හැමදාම කැඩිලා… දුකේ බෑ අප්පා…

     
  44. henryblogwalker the Dude

    අගෝස්තු 22, 2012 at 10:24 පෙ.ව.

    සිරා වාසනාවන්තයා. මෙහෙමයි, ඕවා හැමදාම වෙන්නෙ නෑ. අර ගුවන් අන්තුරු වගෙ. කලාතුරකින් වෙන්නෙ. වුනහම විශාල ප්‍රසිද්ධියක් ලැබෙනවා, නමුත් ගුවන් ගමන් තමයි ආරක්ෂිතම ප්‍රවාහන මාධ්‍යය, අනිත් මාධ්‍යවල අනතුරුවලට සාපේක්ෂව. ATM ගණුදෙනුත් එහෙමයි!

     
  45. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 2:53 ප.ව.

    මට ඔහොම දෙයක් ඩුබායි ගුවන් තොටේදී වෙලා සල්ලි ගන්න මාස ගණනක් ගියා.

     
  46. sanjaya සිතුවිලි

    සැප්තැම්බර් 1, 2012 at 2:28 පෙ.ව.

    මටනම් සල්ලි ගන්න ගිහින් කාඩ් එක අමතක වෙලා ගිහිල්ලා තියෙනවා කීප විටක් … වෙන නම් කරදරයක් වෙලා නැහැ…

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න