RSS

80. බාලගිරි බැංකුවේ ATM බහිරවයෝ සමග “හැංගියාං අරූ එනවෝ!!!” (2 වන කොටස)

20 අගෝ.
80. බාලගිරි බැංකුවේ ATM බහිරවයෝ සමග “හැංගියාං අරූ එනවෝ!!!” (2 වන කොටස)

කියෙව්වෙ නැතිනම් මේ ලිපියෙ පළවෙනි කොටස මෙන්න මාවම කන ATM සමග හැංගියං අරූ එනවෝ !!!

අගෝස්තු පලවෙනිදා අපි දෙන්නා නිවස අසලම ඇති බැංකුවේ ATM යන්ත්‍රයට ගියේ අපි දෙදෙනාගෙම ඩෙබිට් කාඩ් පත් අරගෙන. වෙලාව හවස 5.45ට ආසන්නයි. මුලින්ම මගෙ කාඩ් පත පාචිච්චි කරලා ගත්තා ඒ මාසයට අදාල, බැංකුවට අයත් නොවන ATM යන්ත්‍රයකින් ගත හැකි උපරිම මුදල. මේ මුදල ගෙවල් කුලිය, විදුලි, ජල, මළාපවාහන ගාස්තු ආදී සියලු බිල් ගෙවීම සඳහායි.

ඉන් පසුව දීපා ඇගේ කාඩ් පත පාවිච්චි කරමින් උපරිම මුදල ගන්න අංක එබුවා. යන්ත්‍රය “Please wait while your transaction is being processed” නිවේදනය තිරය මත දිස් වුනා. ටිකකින් ස්වයංක්‍රීයව මුදල් ගණින හඬ පවා ඇසුනා. මෙන්න එකවරම “Your transaction was suspended due to ATM error”කියලා තිරය මත වැ‍ටුනා. කරුණාවන්ත යන්ත්‍ර රාජයා තව මුකුත් කෙරෙන්න ඕනෙද ඇහුවා. ඇය ඔව් කියලා තව පාරක් උත්සාහ කලා. මෙන්න එනවා නිවේදනයක්, ඇය මාසයට නියමිත උපරිම මුදල දැනටමත් ලබාගෙන තියෙනවයි කියලා. අපට හීන් දාඩිය දැම්මා. ගෙවල් කුලී, බිල් ගෙව්වම මාසෙ ජීවත් වෙන්නෙ කොහොමද?

කාඩ් එකත් අරන් ගියා ගෙදර. පරිඝනකයෙන් බැලුවා ගිණුම් ශේෂය අන්තරජාලෙ ඔස්සෙ. කෙලලා තියෙන්නෙ තාප්පෙටම! ගාන අඩුවෙලා. 2008දි ලංකාවෙදි වෙච්ච සිද්ධිය මතක් වුනා. ඒ මදිවට බැංකුව වහලා. ආයි අරින්නෙ දවස් දෙකකින්. දෙන්නම ආයෙම බැංකුව පැත්තට ගියා. මගදි හමුවුන කෙනෙක් කිව්වා, “ගියාට වැඩක් නෑ ඒ ATM එකේ සල්ලි ඉවරයි” කියලා. ඔන්න එතකොට මට තේරුනා ATM error එක මොකක්ද කියලා.

බැංකුව වහලා උනත් හොඳ වෙලාවට බැංකුවෙ මිදුලෙ හිටියා කීප දෙනෙක්. යන්ත්‍රයට සල්ලි දාන්න ලෑස්ති වෙලා. මම කිව්වා වෙච්ච දේ.

“බය වෙන්න එපා අපි මේකෙ ශේෂය (Physical Balance) බලනකොට ඉතුරු තිබ්බොත් ඔයාට සල්ලි ගන්න පුලුවන්” යන්ත්‍රය භාර නිළධාරියා කිව්වා.

ඉතින් අපි ගෙදර ආවා, හැබැයි, විස්තර ඔක්කොම දැනුම් දීලා.

ඉතින් මොකේදැයි දන් වළඳන්නේ. මේ සල්ලි වලින් තමයි අපි මාසේ ජීවත් වෙන්නෙ, අන්තර්ජාලෙ රීලෝඩ් කරන්නෙ, කොටින්ම කන්නෙ. ගෙවල් අයිතිකාරයා සුපුරුදු විදියටම මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්කෙක්. අපි බඩගින්නෙ මළත් ගෙවල් කුලිය සහ බිල් ටික ගෙවන්න වෙනවා. මෙහෙ ඉන්න කොයි ගෙවල් අයිතිකාරයත් වගෙ එහෙම තමයි.

දවස් දෙකකට පස්සෙ බැංකුවට යන්න කලින් මම online detailed bank statement එකක් බාගත කරලා මුද්‍රණය කරගත්තා.

ගිහින් පටන්ගත්තා මෙහෙයුම. ATM යන්ත්‍රය භාර නිළධාරියා කිව්වා ගණුදෙණු ඉවරවෙලා යන්ත්‍රයෙ Physical Balance එක බලනකල් ඉවසන්න කියලා. එදා රෑ දොළහ වෙනකල බලන් හිටියත් වැඩේ හරි ගියේනෑ. මේ අයගෙ කාර්‍යක්ෂමතාවයත් එක්ක බලනකොට අපේ අය හොඳයි කියලා හිතෙනවා.. හැම තිස්සෙම අනිකාට ඇඟිල්ල දික් කරන එක තමයි කරන්නෙ. දවස් දෙකකට පස්සෙ කියාපි Physical Balance අහවල් එක බලලත් වෙනසක් අහුවුනේ නෑ කියලා. . ඊට පස්සෙ ඉන්නලු ATM journal එක බලනකල්. ඒකටත් දවස් දෙකක් විතර රස්තියාදු වුනා. අන්තිමට ලැබුන උත්තරේ ඒකෙත් වෙනසක් නැති බවයි.

ඊට පස්සෙ මම බැංකුවට ගිහින් තර්ක කරලා පෙන්නලා දුන්නා. එක්කො ගිණුම අයත් බැංකුව, නැතිනම් ATM යන්ත්‍රය අයත් බැංකුවෙන් දෙකින් එකකින් අපට මුදල් ලැබිය යුතු බව. ගිණුමෙන් මුදල් අඩු වෙලා කියලා කියනවා නම් ඒ කියන්නෙ මුදල් තියෙන්නෙ ඔබේ බැංකුවෙ.

මුලින්ම මේ අය යෝජනා කරපු විදියට කාඩ් මධ්‍යස්ථානයටත් මම එතකොට කතා කරලා තිබ්බෙ. එක ලලනාවක් රොබෝටික් කටහඬින් මට ස්ථිරවම කියා සිටියා එය ඔවුන්ගෙ වරදක් නොවන බවත් කාඩ් පත ඔවුන්ගෙ එකෙක් නොවන නිසා කල හැකි කිසිම දෙයක් නැති බවත්.

මේ Maestro ඩෙබිට් කාඩ් පත ඇත්තටම අයිති ඉන්දියානු බැංකුවකට. ඒ කියන්නෙ (SBI – State Bank of India). අපි ඉන්න දූපතේ තියෙන්නෙ දේශීය බැංකුවෙ ATM යන්ත්‍රයක්. කාඩ් පත නිකුත් කලේ මේ රටේම අගනුවර තියෙන විදේශ බැංකු ශාඛාවෙන් උනත් එය විදේශීය කාඩ් පතක්. එක මුදල් ලබාගැනීමකට ගාස්තුව විතරක් ලංකා රුපියල් පන්සීයකට ආසන්නයි. මතක තියාගන්න අපි ලාංකිකයො මේ දූපත් සමූහාණ්ඩුව ගැන මිත්‍යා මත හුඟාක් දරාගෙන ඉන්න බව. භුමියේ එකතුව කුඩා වුනත් විශාල ප්‍රදේශයක විසිරී ඇති මේ රටේ අගනුවරට යාමට අප ඉන්නා දූපතේ සිට විනාඩි 55ක ගුවන් ගමනක් හෝ පැය 13ක මුහුදු ගමනක් වැය වෙනවා.

මේ අතරම මෙවැනි සිද්ධි වලට මූණ පාපු අනිත් අයත් මට ඒ අයගෙ අත්දැකීම් විස්තර කරලා තිබ්බෙ. සමහරු වැඩේ අතෑරලා දාලා. සමහරුන්ට මුදල් ලැබෙන්න මාස ගණනාවක් ගිහින්.

දැන් මේ දේශීය බැංකු නිළධාරීන් වැඩේ අමතක කරලා දාන්නයි ලෑස්තිය.

මම කිව්වා physical balance එක වෙනසක් පෙන්නන්නෙ නෑයි කියන්නෙ බැංකුවෙ ගණනය කිරීම් වැරදියි කියන එකයි. ජර්නල් එකත් වැරදි නම් කොහෙ හරි ලොකු වැ‍රැද්දක් වෙලා තියෙනවා. කියන්නෙ කවුරු හරි රාජකාරිය පැහැර හැරලා. එහෙන් සල්ලි අඩු වෙලා නම් මෙහෙන් අතිරික්තයක් පෙන්නන්නෙ නැත්නම් හොයන්න කොහෙද වැ‍රැද්ද කියලා. මේක මට අමතක කරලා දාන්න පුලුවන් ගානක් නෙවෙයි.. කරුණා කරලා චෙක් කරලා බලන්න මම මේ කියන transaction number එකට තියෙන error message එක මොකක්ද කියලා. ඕක හොයන්න ඔච්චර අමාරුද? දිනෙයි වෙලාවයි ගණුදෙනු අංකයයි මම දෙනවා නම් ඇයි ඕක හොයන්න බැරි. එච්චර දෙයක් කරන්න බැරි පරිඝනකයක් මොකටද තියාගෙන ඉන්නෙ?

පිළිතුර දියාරු හිනාවක්.

“මේ අහන්න යාලු. දැන් මම කියන්නෙ බොරුවක්ද කියලා ඔයාට දැනගන්න පුලුවන් වෙන්නෙ (authenticity of my claim) ඔය error message එකෙන්. ඒක රෙකෝඩ් වෙන්නෙ නැත්ද?”

“වෙනවා”

“ඒක මට බලන්න පුලුවන්ද?”

මම ‘ඔව්’ කියන උත්තරේ බලාපොරොත්තුව නෙවයි ඇහුවෙ. උත්තරේ බෑ තමයි.

“හරි ඒක ඔයාට බලන්න පුලුවන්ද”

“ඔව්”

“එහෙනම් බලන්න. මෙන්න වෙලාව. මෙන්න දිනය. මෙන්න ගණුදෙනු අංකය. මෙන්න ඕනෙ නම් ඊට කලින් ගණුදෙනුවෙ අංකයත්.”

“අපි බලන්නම්. දැන්නම් අපි කාර්‍යබහුලයි”

“එහෙනම්. බලපු ගමන් මට කෝල් එකක් දෙනවද”

” මම පුද්ගලිකව පොරොන්දු වෙනවා එහෙම කරන්න”

“මේක abort වෙච්ච transaction එකක්නෙ. මේක auto reverse වෙන්න දවස් කීයක් යනවද?

“අපේ බැංකුවෙ කාඩ් එකක් නම් පැය 24යි.”

“වෙන බැංකුවක කාඩ් එකක් නම්?”

“ඒක හරියට කියන්න බෑ.”

“කවද හරි එහෙම වෙනවද මම මොකුත් නොකර හිටියොත්?”

පිළිතුර දියාරු හිනාවක්.

මේ අයගෙ පොරොන්දු ගැන බලාපොරොත්තු තබා හිඳීම මම අතහැරලා අවුරුදු ගානක් වෙනවා. ඉතින් මම රෑ දොලහ වෙනකල්ම වරින් වර කතා කරලා බැලුවත් උත්තරය එකමයි. පහුවදාට අලුතෙන්ම මේ දෙබසම පුනරුච්චාරණය කරන්න වුනා දවස් කීපයක්, හරියට මැරිලා ඉපදිච්ච උන්ට වගෙ. මම අලුතෙන් පාවිච්චි කල දෙබස් කණ්ඩ නම්.

“ඔයාට මේ වගෙ දෙයක් උනොත් කොහොමද දැනෙන්නෙ?”

“ඔයාට ගෙදර කන්නවත් සල්ලි නැතුව ගියොත් ඔයා කොහොමද ප්‍රතික්‍රියා දක්වෙන්න.”

“කරුණාකරලා අමතක කරන්න මම පාරිභෝගිකයෙක් ඔයා නිළධාරියෙක් කියලා. මොහොතකට හිතන්න මේ මනුස්සයෙක් තව මනුස්සයෙකුට කරන උදව්වක් කියලා”

“මම මෙතන දවසෙම ඉඳගෙන උපවාසයක් කරන්නද මගෙ සල්ලි ලැබෙනකල්?” (මේක අහන්නෙ හිනාවකුත් එක්ක)

ඔන්න හත්වෙනි දවස වෙනකොට ඒ කියන්නෙ අගෝස්තු හත්වෙනිදා යාන්තම් error message එකක් තියෙන බව බැංකුව පිළිගත්තා. ඊට පස්සෙ මට දුන්න transaction dispute form එකක්. ඒ එක්කම මගෙ පැමිණිලි ලිපියෙ පිටපතයි, මගෙ විස්තරාත්මක ගිණුම් විස්තරයක පිටපතකුයි එක්කම මම තරමක් දැඩි හඬකින් ඉල්ලා සිටිය error message එකේ පිටපතකුයි අර කාඩ් මධ්‍යස්ථානයට යැව්වා. ඒ වෙනකොට දවස් හතක් අපි පටි තද කරගෙන ඉඳලා.

මේ වෙනකොට දීපා ගිණුම අයිති SBI බැංකුවේ කළමනාකරුට කතා කරලා තිබ්බෙ. ඔහු කිව්වෙ මේ බැංකුවෙන් ක්‍රියාත්මක වෙලා මුදල් ආපසු එවනකල් ඔවුන්ට කිසිවක් කල නොහැකි බවයි. මෙය කවදා නිමාවක් දකීද කියන එකත් කිව නොහැකි බවයි.

මේ කාලය ඇතුලත මම කරපු දේවල් තමයි, නිතර බැංකුවට ගොස් වාත කිරීම. ඒක කොච්චර සාර්ථකද කිව්වොත් ඔවුන් මම එන විට හැංගෙන්න පවා පෙළැඹුනා.
අනික ඊ මේල් නැවත නැවතත් යවමින් වාත කිරීම. ඔවුන් දුරකථනය අතට ගත්ත ගමන් කියන්නෙ ඔව් අපි ඊ මේල් එක දැක්කා කියලා.

ඒ වගේම අවශ්‍ය වෙයි කියලා හිතන හැම ලියකියවිල්ලක්ම හැම ඊ මේලයක් සමගම අමුණා යැවීම. එවිට ඔවුන්ට කියන්න බෑ මට අහවල් දේ නැති නිසා මේ දේ නොකල බව.

ඊයෙ (මම මේ බ්ලොග් ලිපිය ලිව්වෙ අගෝස්තු 16 වෙනිදා) වෙනකොට මේ වැඩේ වෙලා දවස් 15ක්. ඊයෙ රෑ මම ආයෙම ඊ මේල් යැව්වා දිගට හරහට, මම අලුතෙන් ඇතුල් කරපු කෑල්ල මේ , “අපි මුදල් නැතුව මෙහෙ පුදුමාකාර අපහසුතාවයකට පත්වෙලා ඉඳැද්දි ඔබලා මේ මවුස් බොත්තමක් ක්ලික් කරලා විසඳන්න පුලුවන් දේ නොකරන්නෙ මොන අවාසනාවකටද කියලා මට තේරෙන්නෙ නෑ” කියලා.

මේ දවස් පහලව ජීවත් වුනේ පොඩි එකාගෙ පොකට් මනි වලින්.
අද හවස මම බ්ලොග් කියවන ගමන් අන්තර්ජාලයෙන් ඊ බැංකු ගිණුමට ගිහින් බැලුවා.

මෙන්න මුං මේක ආපහු දාලා! යේ…..!!!!!!!!!!!!!!!

ඒ සතුට කොතරම් අමාරුවෙන් උපයාගත්ත සතුටක්ද කියන එක කියන්න වචන නාස්තිකරන්න ඕනෙ නෑනෙ!

කොයි රටේ හිටියත් අපි යුතුකම් දන්න ශ්‍රී ලාංකිකයොනෙ. ඉතින් මම අර අපේ ගේ ගාව බැංකුවෙ මේ වැඩේට මම ගිහින් වාත කල නිලධාරියට කතා කලා දුරකථනෙන්. මේකා පටස් ගාලා කට් කලා. ඕක වුනා දෙපාරක්. ඊටපස්සෙ අර ATM යන්ත්‍රය භාර නිලධාරියට කතා කලා. මිනිහා ඇයි කියලා ඇහුවම මම කිව්වා අර වැඩේ හරි ඔයාටත් ස්තුතියි, ඔයාගෙ යාලුවටත් කියන්න මම ස්තුතියි කිව්වයි කියලා. කියන්න මම කතා කලේ ස්තුතියි කියන්නෙයි කියලා. එයා කට් කලානෙ මම කතා කලාම.” මම මෙහෙම කිව්වම මිනිහට බකස් ගාලා හිනා ගියා.

ලස්සනම වැඩේ, මම පස්සෙ දවසක ATM එක පැත්තෙ ඉඳලා පයින් එනවා. බැංකුවෙ මම වාත කරපු පොරක් ඉස්සරහ පාරෙන් බයික් එකේ ආවා. පොරටයි මටයි අතරෙ තිබ්බා හතර මං හන්දියක්, මම බුවාට ඈතදිම අත වැනුවා පෞද්ගලිකව ස්තුති කරන්න. මේකා මාව දැක්ක ගමන් ටක් ගාලා බයික් එක හරවන්න හැදුවෙ හන්දියෙන් වමට, මාව මග අරින්න. එතකොට හන්දිය පහුවෙමින් තිබ්බෙ. ඒ මදිවට වැහැලා පාරෙත් වතුර. බයික් එකේ පස්ස රෝදෙ ලිස්සලා ගිහින් ඉස්සර වුනා. පෙර වාසනාවකට පොර යන්තම් වතුර වලේ කකුල තියලා අණ්ඩක් කඩා නොගෙන බේරුනෙ.

මම ලඟට ගියාම පොර කියනවා. “මාව ලිස්සුවනෙ මේ වතුරට. ෂික් මේ පාරවල් නම්…”

මම අතට අත දීලා කිව්වා. මම මේ ස්තුති කරන්නයි හැදුවෙ කියලා. පොර ඇත්තෙන්ම දන්නවා ඒ වෙනකොට මගෙ වැඩේ හරි ගිය බව. අරක අර සිංහලෙන් reflex action කියන අහවල් එකක්.

මේ සම්බන්ධව විශේෂඥ උපදෙස් සඳහා මගේ සොයුරු බ්ලොග් රචක සුදීකගෙ “ඇවිද්ද පය” බ්ලොග් අඩවියේ පළවූ විශේෂ ලිපිය ATM යන්ත්‍රය සමග ගණුදෙනු කිරීමේදී මෙතනින්.

 

ටැග: , , , , , ,

93 responses to “80. බාලගිරි බැංකුවේ ATM බහිරවයෝ සමග “හැංගියාං අරූ එනවෝ!!!” (2 වන කොටස)

  1. Hasitha

    අගෝස්තු 20, 2012 at 12:20 පෙ.ව.

    කියන්නට දෙයක් නැත. සුද්දොත් අණ්ඩපාලයෝ බව පේනේ 🙂

     
  2. Senna

    අගෝස්තු 20, 2012 at 12:33 පෙ.ව.

    මේක කියෙව්වට පස්සෙ මට ආයෙත් බැංකු පොත අරන් ගිහින්, මුද්දර උඩ අත්සන් කරලා සල්ලි ගන්න එක හොඳයි කියලා හිතුනා..

    ඩූඩ්ගෙ නොපසුබස්නා උත්සහයට ප්‍රණාමය..!

    ඔය බැංකු වල ඉන්නෙ ඔය රටේ උන්මද ? විදේශිකයොද ?

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 8:10 පෙ.ව.

      මම මාවම හඳුනා ගන්නෙ GO GETTER කෙනෙක් හැටියටයි. මොකක් හරි කරගන්න නම් මෙහෙයුමක් දියත් කරන්න ඉගන ගත්තෙ පොඩි කාලෙමයි. මේ බැංකුවෙ ඉන්නෙ ස්වදේශිකයො සෙන්නා.

       
  3. hiruni

    අගෝස්තු 20, 2012 at 12:33 පෙ.ව.

    මට නම් කියන්න බැරි තරම් සතු‍ටුයි!!!! ඇත්තටම ආයතනවල වැඩ කරන මිනිස්සුන්ට අනිත් කෙනාගෙ දුක තේරෙන්නෙ නැත්තෙ ඇයි කියලා…මට නම් හිනා වෙලා පන ගියා අර නිලදාරියා වැටෙන්න ගිය හැටි අහලා 😀

     
  4. DDT

    අගෝස්තු 20, 2012 at 12:36 පෙ.ව.

    මටත් වෙලාවකට හිතිල තියෙනව බැංකුවකට බෝම්බයක් ගහන්න. සමහර උන් හරියට වැඩ කරන්නෙ මේ අපි එයාලගෙ සල්ලි ගැන කතා කරනව වගේ. අපි දුක් මහන්සියෙන් හම්බකරපුව බව ඒ මිනිස්සුන්ට අමතකයි. අනෙක අපි තියෙන තුට්ටු දෙක ගෙදර තියාගන්නෙ නැතුව උන්ගෙ උලව් බැංකුවෙ දාන නිසා තමයි එයාලත් ජොබක් කරන් පඩියකුත් ගන්නෙ කියල එවුන්දලට මතක නෑ. සුහදශීලී පාරිභෝගික සේවයක් නැති මොනම හරි ආයතනයකට ගියාම මාසයක් කාපුව පිච්චෙනව ඇතිවෙන ආවේගෙට. ඒ අතින්නම් හෙන්රි අයියලගෙ බැංකු ඔෆිසර්ලයි අපේ පොලිසියෙ කෂ්ටියගෙයි වැඩි වෙනසක් නෑ වගේ.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 8:12 පෙ.ව.

      හලේ, DDTයො, මේ බැංකුවෙ විතරක් නෙවෙයි අනිත් තැන්වල උනුත් ඔහොමම තමයි. සහතික ඇත්ත. මරාගෙන මැරෙන්න හිතෙනවා තමයි. අර අපි උන්ගෙ සල්ලි ඉල්ලනවා වගෙ හැසිරෙන එකනම් හරිම කණගා‍ටුදායකයි. දැන් මේ වෙච්ච සිද්ධියට කිසි කෙනෙක් කණගා‍ටුව ප්‍රකාශ කලේ නෑනෙ වෙච්ච අපහසුතාවයට. හරි නම් මට වන්දියක් ගෙවන්න ඕනෙ බැංකුවෙන්.

       
    • රූ

      අගෝස්තු 20, 2012 at 10:06 පෙ.ව.

      සෙන්නගෙ කතාව නම් සහතික ඇත්ත..
      ඒත් ඔය ගැන කතා කරලා පැහැදිලි කරන්න ගිහාම බලන්නෝනැ ගෑස්..!!

       
  5. ක්සැන්ඩර් | Xander

    අගෝස්තු 20, 2012 at 12:38 පෙ.ව.

    ඔන්න බැංකු…

     
  6. ranwala

    අගෝස්තු 20, 2012 at 12:56 පෙ.ව.

    ඔය රටේ බැංකු සේවකයෝ ස්වදෙශිකයෝද නැත්නම් ඉන්දියානුවෝද?ඉන්දියානුවෝ නම් ස්වභාවික සිද්දියක්! අර බැංකුවේ උන්ට ඉතින් ඔයාගේ ගිණුම තියෙන්නේ ඒ බැංකුවේ නොවන නිසා ඔයා බැංකුවේ කස්ටමර් කෙනෙක් නෙමෙයි! මේවා ඉතින් පාරිභෝගික සත්කාරයේ දුර්වලතා තමයි.වෙන බැංකුවක ගිණුමක් නිසා අදාල කාඩ් සමාගම සමග ගිණුම් තුලනයට යම් කාලයක් යනව තමයි.හැබැයි දියුණු බැංකු ක්‍රමයකදී ඔයාගේ පැමිණිල්ල හඳුනාගෙන නියමිත කාලයක් තුල ඔයාට සැහීමකට පත් විය හැකි උත්තරයක් ලබා දෙනව.මොකද ඔයාගේ පැමිණිල්ල ඒක විසඳිය යුතු මට්ටමේදී විසඳන්නේ නැතිව ඉහලට රපෝර්තු උනොත් ඒක අදාල නිලදාරීන්ගේ රැකියාවට බලපාන නිසා.කෙන්දරකාරයෝ බැංකු වල තීරණ ගන්න ලංකාවේ සමහර බැංකු වල වගේ ඔහෙදිත් කස්ටමර් නොදකින් වෙන්න ඇති !

     
  7. ඩිලාන්

    අගෝස්තු 20, 2012 at 1:08 පෙ.ව.

    මම කොහොමත් කාඩ් පාවිච්චි කරන්න බයයි.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 8:26 පෙ.ව.

      බය වෙන්න එපා ඩිලාන් හැමදාම මෙහෙම වෙන්නෙ නෑ. නමුත් හිතන්න ඔයා යාපනේ ගිහින් එනවා කියලා. මහ රෑ දොලහට, එකට මග තියෙන බැංකුවකින් සල්ලි ගන්න යන එක නම් ටිකක් අවදානම් වැඩක්. මොකද මේවගෙ දෙයක් වුනොත් ආපහු යාපනේ යන්න වෙයිද දන්නෙ නෑනෙ. නමුත් හරියට වැඩේ කෙරෙනවානම් ඕක එහෙම නොකර කොළඹින් කරගන්නත් පුලුවන් වෙන්න ඕනෙ.
      අර කලින් පෝස්ට් එකෙයි, සුදීකගෙ පෝස්ට් එකෙයි දෙකේම කමෙන්ට් වලත් හරිම වැදගත් උපදෙස් තිබ්බා.

       
  8. Miyuru

    අගෝස්තු 20, 2012 at 6:46 පෙ.ව.

    හයියෝ…. හිනා උනා ඇති වෙන්න අර බැංකු නිලධාරින්ගෙ කල්කිරියාවට….
    බැලින්නම් ලංකාවෙ බැංකු හොඳයි වගේනෙ…. 😀

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 8:28 පෙ.ව.

      දැන් හිනාවුනාට මියුරු මේ පහුගිය සති දෙක ගත කලේ පුදුම පීඩනයකින්. නින්ද යන්නෙත් නැති තරම්. ඔයාගෙ බ්ලොග් එක සෑහෙන උදව් වුනා අපිට හිත සැහැල්ලු කරගන්න. 😀

       
      • Miyuru

        අගෝස්තු 20, 2012 at 9:59 පෙ.ව.

        ආයෙ අහන්න දෙයක් නෑ මාසයක් කන්න තිබ්බ සල්ලි ටික ආ ගිය අතක් නැති උනාම….
        මගේ බ්ලොග් එකෙන් ඒ වගේවත් සේවයක් කාට හරි වෙනවා නම් ලොකු දෙයක්…. හරිම සතුටුයි… 😀

         
  9. emailkavikaari

    අගෝස්තු 20, 2012 at 7:10 පෙ.ව.

    ඩුඩ් ගියපාර ලිපියෙන් පාඩමක් ඉගෙනගෙන තියනවා ගනං හිලව් හරියටම කීයද කියලා නොලියන්න. 15 000ක් අරගන්ට ගිහිං අහගත්ත දේවල් නිසා. හෙ හෙ.

    මහන්සිවී උපයාගත් මුදල නැවත උපයා ගැනීම ගැන හද පිරි සතුට.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 8:58 පෙ.ව.

      ම්ම්ම්.. මේ ගනං හිලව් නොකිව්වෙ කවිකාරි එක හේතුවක් ඒක කෙනෙක් විශ්වාස නොකරන්න පුලුවන් මෙච්චර වියදමක් යනවද ඔහෙ ඉන්න කියලා. ඒක සර්පයෙක් වගෙ පේන්නත් පුලුවන්. දැන් ඒ ප්‍රශ්නෙ නෑනෙ.
      ස්තුතියි කවිකාරි.

       
  10. සිරා

    අගෝස්තු 20, 2012 at 7:24 පෙ.ව.

    ඔයාගෙ අප්‍ර‍තිහත ධෛර්යය ගැන නම් මට ආඩම්බරයි… මට ඔහොම සිදුවීමක් වුනා නම් ඒක ගැටුමකින් කෙළවර වෙන්නත් තිබුනා… මොකද මගේ ඉවසීම සීමාසහිතයි… ඔය කියන දූපත් රාජ්‍ය මොකක්ද අයියා…

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 9:00 පෙ.ව.

      සිරා, අග ඉඳලා මුලට උත්තර දෙන්නම්කො. දූපත් රාජ්‍යය නම් මාල දිවයිනයි.
      මගෙත් ඒ හැටි ඉවසීමක් නෑ. නමුත් සමහර වෙලාවට මගෙ ඉවසීම ගැන මටම පුදුමයි. මගෙ ඉවසීම ගැන හොඳම උදාහරනය මේ ලඟදි මම ලියන්නගෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් විදියට දැම්මා. මේ විදියට:

      DudeAugust 18, 2012 8:01 AM

      මගෙ කමෙන්ට් එක වැඩියෙන්ම ගැලපෙන්නෙ මෙතනට කියල හිතුනා. මේක පාපෝච්චාරනයක්ද කියලත් හිතෙනවා.
      මායි මගෙ මචං කාරයයි ගනිමුකො. අවුරුදු 10-12 දි පවා මගෙ මචං කාරයා හරිම නිවිච්ච පොර. වලි බේරනවා. ඉවසනවා.
      ඒකට මම ඒකෙ අනිත් පැත්ත.

      ටීනේජ් කාලෙදිත් මචං කාරයා අරවගෙ. හරිම නිවිච්ච, කල්පනාකාරී බුද්ධිමත් පොර . මම මෙහෙම කලොත් මොනවගෙ ප්‍රතිඵලයක් ඇතිවෙයිද කියලා හිතනවා.

      මම කුලු හරකා වගෙ. වලි හොයාගෙන යනවා. අනුන්ගෙ ඒවටත් ගිහින් හොම්බ දානවා. පාරෙ යනකොට සෙට් එකක් පාරෙ කොනේ ඉන්නවා වගෙ දැක්කොත් දැන්නම් පොඩ්ඩක් මගෑරලානෙ යන්නෙ. ඒ දවස් වල එතනින්මයි යන්නෙ, යන ගමනුත් අරුන් දිහා රවාගෙන යන්නෙ. එතකොට බොහෝවිට අරුන් අහනවා,
      ” මොනාද ඩෝ බලන්නෙ?”
      “උඹේ ලස්සන බැලුවෙ, ඇයි මොකෝ?”
      ඔන්න ඔය වගෙ ගොං හරකා මම.

      පස්සෙ පවුල්කාරයො උනාම. මචං කාරයා එදා වගේමයි. කලින් තිබ්බ නිවිච්ච ගති වලට අමතරව පංසලුත් යනවා.
      මම ඉස්සරට වැඩිය හොඳයි. වලි හොයාගෙන යන එක සම්පූර්ණයෙන් නැවැත්තුවා.ඇඟට ආවොත් විතරක් අරින්නෙ නෑ.

      මුහුකුරා ගිය වැඩිහිටියෙක් වුනා කියමුකො. මචං කාරයා ජීවිතයම වැයකරලා තියෙන්නෙ අනුන් වෙනුවෙන්. අන්තිම ධාර්මික සත්පුරුශයා. මටත් බණ දහම් ගැන කියන්න ට්‍රයි කරනවා.

      මම තැන්පත්වෙන්න උත්සාහ කරනවා. සෑහෙන දුරට හරි. මෙහෙ උගන්නලා දැන් කුණුහරපයක් කිව්වත් ඉස්සරවගෙ ප්‍රතික්‍රියා දක්වන්නෙ නෑ. අනිත් උනුත් කියනවා මම හරි කූල් ගයි කියලා. මමත් සමහර වෙලාවට අනිත් උන්ට ඉවසීම ගැන දේශනා පවත්තන්නත් යනවා අමතක වෙලා. නමුත් හිටපු ගමන් නොහිතපු වෙලාවට අර නිදා කොටියා ඇහැරෙනවා. හොඳම දේ මේ ලඟදි සුපර් මාකට් එකකදි කැෂියර් කෙල්ල මට උත්තර දීපු රූඩ් විදියට මම මුදල් නෝට්‍ටු දෙකෙන් දමා ගැහුවා කවුන්ටර් එක දිහාට. මගෙ පුතා ඇහුව පසෙ ගෙදර එන ගමන් ” ඇයි තාත්තෙ ඔයාට ඒකට ඔච්චර කේන්ති ගියේ කියලා.” මට ඇත්තෙන්ම ලැජ්ජත් හිතුනා බං.
      henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

       
      • සිරා

        අගෝස්තු 20, 2012 at 4:02 ප.ව.

        ඕනෑවට වඩා ඉවසීමත් දුර්වල කමක් කියලයි මට හිතෙන්නෙ… එහෙම උනොත් හැමෝම අපිට ඇ_ලා යන්න තමයි බලන්නෙ….

         
  11. මිස්ටර් හයිඩ්

    අගෝස්තු 20, 2012 at 7:40 පෙ.ව.

    බයත් හිතෙනව මේව අහනකොට. පිරටක ඉන්න කෙනෙකුට වෙලාව ගියත් TT එකක් කර ගන්න එක ඇගට ගුනයි වගේ

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 9:09 පෙ.ව.

      මිස්ට හයිඩ් බයවෙන්න එපා. මේවා හැමදාම වෙන්නෙ නෑ. නමුත් වුන වෙලාවට සොරි තමයි ඒත් ෆෝබියා එකක් ඇති කරගන්න නම් අවශ්‍ය නෑ.

       
  12. vpokura

    අගෝස්තු 20, 2012 at 7:47 පෙ.ව.

    ඔය වගේ එවුන් එක්ක ගනුදෙනුකරන්නෙ කොහොමද කියල හිතාගන්න බැහැ.ලංකාවෙ හොඳයි වගේ..,අපොය් ඒත් ඔහොම තමා..!

     
  13. සෑම්

    අගෝස්තු 20, 2012 at 8:55 පෙ.ව.

    බැංකුව පැත්තෙන් සාධාරනයි මොකද උබ බලු බෙටි පාගගෙන ඕව අස්සෙ රිංගනවනේ.. !

     
  14. හංසකිංකිණි

    අගෝස්තු 20, 2012 at 9:13 පෙ.ව.

    මදැයි ඔයින් ගියා අයියෙ!!!

     
  15. විමුක්ති

    අගෝස්තු 20, 2012 at 9:14 පෙ.ව.

    අරගලයට ජයවේවා..ඕක මොකද්ද අයියා,ගියපාර ලංකාවට ගියවෙලේ මගෙ NRFC එකෙන් සල්ලි ගන්න ගිහින්, කොළඹින් ෆැක්ස් එකක් එන්න ඕනෙ,පොඩ්ඩක් ඉන්න කියල පැය එකහමාරක් රස්තියාදු කලා.හතර පාරක් කියල බැරිම තැන මැනේජර්ට කිව්ව මම පයින් ගිහිං ෆැක්ස් එක අරං එන්නම්,ඔයා කෝල් කරලා කියන්න කියල.ඊට පස්සෙයි වැඩේ ගොඩදාගත්තේ.පහුවදාම හෙඩ් ඔෆිස් ගිහිං මහා පාන්ටැඹේ එකවුන්ට් එක ක්ලෝස් කලා.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 2:52 ප.ව.

      විමුක්ති, මේ හුඟක් ආයතනවල ප්‍රතිපත්තිය “උඹලා නැතුවට අපිට තව ඕනෙ තරම කස්ටමර්ස්ලා ඉන්නවා. කැමති නැත්නම් පලයල්ලා යන්න” කියන එකනෙ. ඇත්තෙන්ම නොකියා කියන්න ඕකනෙ. පුදුම අවාසනාවක් ඒක.

       
  16. ටික්කා

    අගෝස්තු 20, 2012 at 9:21 පෙ.ව.

    මටත් බන් ඔහොමම වෑඩක් උන..මෙහේ ලොකු බෑOකුවක..පවුම් 20 චෙක් එකක් දාල සති දෙකක් බෑලුව බඩු නෑ..ඉහල ඉදල පහලටම වාතේ උනා.. ඒත් නෑ.. හෑමදාම ගිය..එක දවසක් බෑOකුවෙ මහ එකා පොර ටොඉක් එකක් ඩුන්න..මමත් අත ඈරියෙ නෑ..මෙන්න එවෙලෙම සල්ලි ඩුන්න මුදලින්..ගෙදර එවිත් ඔන්ල් ලයින් බෑලුවහම චෙක් එකත් මාරු වෙලා..කොහොමඩ ටික්කගෑ මොලේ…

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 2:53 ප.ව.

      ස්තුතියි ටික්කා කමෙන්ට් එකට. ටිකක් කූරුගාලා හැඳිගාලා බැලුවෙ නැත්නම් වැඩේ එතනමයි. මම හවුසිං ලෝන් එකක් ගත්ත කාලෙත් ඔහොම වැඩක් වුනා. පස්සෙ ලියන්නම්කො.

       
  17. Praසන්ன

    අගෝස්තු 20, 2012 at 9:24 පෙ.ව.

    අම්මෝ මේ ATM කියන්නෙ හරි භයානක දෙයක්නෙ බලාගෙන යනකොට.

    පරක්කු වෙලා හරි සල්ල ලැබුණ එක ලොකු දෙයක්.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 2:54 ප.ව.

      ඇත්තටම මට කියන්න ඕනෙ වුනේ ප්‍රසන්න මේ දවස් කීපයකට ඉස්සෙල්ලා අපි ලබපු අත්දැකීම ගැනයි. එහෙම නැතුව උඹලව ATM භීතිකාවක් දෙන්න නෙවෙයි.

       
  18. avatar

    අගෝස්තු 20, 2012 at 9:25 පෙ.ව.

    ati ara buwata tuwala wenne nathuwa beruna.

     
  19. රාජ්

    අගෝස්තු 20, 2012 at 9:32 පෙ.ව.

    කරපු වැඩේ නං නියමයි. ලංකාවෙ තත්වය හොඳයි වගේ. මාත් ඒටීඑම් පෝස්ටුවක් දැම්ම.

     
  20. සුදීක

    අගෝස්තු 20, 2012 at 9:35 පෙ.ව.

    මම මේ කතාව නැවතත් කියනවා. ඔබගේ ඔනෑම ප්‍රශ්නයකදී ඔබ කථා කල යුත්තේ ඔබගේ ගිණුම පවතින සහ ඔබගේ කාඩ් පත අයිත කාඩ් මධ්‍යස්ථානයට. හරිනම් ගනුදෙනුකරු හරි හෝ වැරදි පළමු පියවර වෙන්න ඕනේ ඔහුගේ ගිණුම් බැර කිරීම. ඉන් පස්සේ තමයි පරීක්ෂණ පවත්වන්න ඕනෑ.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 24, 2012 at 7:11 ප.ව.

      නමුත් මෙතනදි නම් මම ඔය ඩොකියුමන්ට් භාර දුන්නෙ මෙහෙ ATM එක අයිති දේශීය බැංකුවට, දේශීය බැංකුවෙ කාඩ් සෙන්ටර් එකට. කොහොමහරි වැඩේ ගොඩ! 🙂

       
  21. Maathalan

    අගෝස්තු 20, 2012 at 9:38 පෙ.ව.

    එහෙත් එහෙමද මෙහෙත් එහෙමයි…
    පිස්සුනේ කෙලින්නේ හෙන්-රි.. ඔයා මොනවටද ලින්ක් දාලා තියෙන්නේ.. හැමෝටම කියන්න මෙන්න මේ ලින්ක් එක බලන්න කියලා..
    http://maathalan.blogspot.com/2011/06/atm-atm-machine.html

     
  22. හිරු

    අගෝස්තු 20, 2012 at 9:56 පෙ.ව.

    මන්ද මට නං එහෙමට කරදර වෙලා නෑ…. ඒත් මං බැංකු වලට ගිහිල්ලා නම් නෑ එක පාරකට දෙපාරකට වැඩිය… කොට්ටාවෙ සෙලාන් බෑන්ක් එකේ ATM එකේ මගේ කාඩ් එක හිර වෙච්ච වෙලාවේ මං සික්කට කියලා ගියාම, ඊළඟ දවසේ උදේම කොල් කරලා බොහොම කරුණාවෙන් කතා කරලා කණගාටුව ප්‍රකාශ කරලා, කාඩ් එකේ අත්සන් කරන්න කියලා අවවාදයකුත් දීලා මට කාඩ් එක රිටර්න් කළා… සල්ලි ඉවර වෙලා තිබුණ නිසාලු කාඩ් එක හිර උනේ….

     
  23. පිණිබිඳු

    අගෝස්තු 20, 2012 at 10:41 පෙ.ව.

    ඔයාගෙ අප්‍රතිහත ධෛර්යයට නම් ප්‍රසංශා කල යුතුමයි ඩූඩ්.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 2:58 ප.ව.

      ස්තුතියි පිණිබිඳු. අප්‍රතිහත ධෛර්‍යයෙන් තමයි මේ වෙන තෙක් හුඟක් වැඩ කරගෙන තියෙන්නෙ. වැඩේ කියන්නෙ මගෙ ජීවිතේ හුඟක් දේවල් ලබා ගන්න වුනේ සටනක් දීලා. මේ අනිත් අයට නිකම්ම ලැබෙන දේ පවා.

       
  24. Raj

    අගෝස්තු 20, 2012 at 11:43 පෙ.ව.

    ඔක ජාත්‍යන්තර බැංකු අතර ගනුදෙනුවක් නිසා වෙන්ඩ ඔන ඔච්චර් ඇදුනේ නමුත් දෙශිය බැංකු අතර වෙච්චි දෙයක් නම් ඔච්චර කරදර වෙන්ඩ සිද්ද වෙන එකක් නෑ. මොනාඋනත් නිලධාරින් මත කාලය තීරණය වෙනව තමයි. අර ජර්නල් එකේ වෙච්ච සිද්දිය හොඳටම සටහන් වෙනවනේ ඔන ගොනෙකුට එක තෙරෙන්ඩ ඔන

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 3:01 ප.ව.

      අන්න ඇත්ත රාජ්. නිළධාරීන් මත තමයි ගතවන කාලය රඳා පවතින්නෙ. අඩුම ගානෙ, පරක්කු වෙලා හරි මට මගෙ සල්ලි ආපහු ලැබෙන බවට සහතිකයක් දෙන්න කාටවත් බැරි වුනේ ඇයි කියන එකයි මෙතන තියෙන ලොකුම ප්‍රශ්ණෙ.

       
  25. අංජන

    අගෝස්තු 20, 2012 at 11:51 පෙ.ව.

    මේ විස්තර දැම්මට ස්තූතී මිත්‍රයා, මෙහෙම දේවල් වෙන්න පුලුවන් කියල මට නිකමටවත් හිතිල නෑ.
    මොකද මෙහෙ නම් ඔහොම දෙයක් උනොත්, තුන්වෙනි ලෝක යුද්දෙ කලත් සල්ලි නම් ආයෙ හම්බ වෙන්නෙ නෑ. ඒක නිසා මම අද හිත ගත්ත කොච්චර ලේසි උනත් මෙහෙදි නම් අයෙ ATM වලින් සල්ලි ගන්නෙ නෑ කියල.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 3:02 ප.ව.

      අංජන, අනේ මං කලින් කිව්වා වගෙ ATM භීතිකාවක් හදා ගන්න එපා. ATM හරිම ප්‍රයෝජනවත්. මේ වගෙ අවස්ථාවක ක්‍රියා කරන්න ඕනෙ කොහොමද කියන එකත්, මේ වගෙ දේ බලාපොරොත්තු වෙන්න කියන එකත් විතරයි මට කියන්න ඕනෙ උනේ

       
  26. Buwa

    අගෝස්තු 20, 2012 at 1:47 ප.ව.

    ලංකාවෙත් ජනප්‍රිය බැංකුවක ඩෙබිට් කාඩ් එකකින් ගෙවීම් කරත්දි දෙපාරක් සල්ලි කැපීම් වුනා (ඔය වැඩේ දෙතුන් පාරකුත් වුනා ) , ඒ වුනත් අදාල බැංකුවේ කාර්ය මණ්ඩලය නම් සුහද ශිලිව වැඩේ කරල දෙන පැත්තටයි කථා කලේ

     
  27. raigamahandiya

    අගෝස්තු 20, 2012 at 2:33 ප.ව.

    හෙන්රි, අපත් බනිනවා ඕස්ට්‍රේලියාවේ බැංකු වලට අපව සුරාගෙන කනවා කියලා. මේ ලඟදි මා, අපේ බැංකුවේදී, මගේ බිරිඳට කරපු පොඩි හිරිහැරයක් ගැන ලියුවා. දවස් දෙකකින් මට එතනින් උත්තර ආව පමණක් නොවේ, ඒ උත්තර ආපු දවසෙම බැංකුවේ මැනේජර්ද පෞද්ගලිකවම මට කතා කළා. බලනකොට මුන් සුරන් කෑවත් නරකම නැහැ. ඔබට වෙලා තියන දේ හැටියට මගේ පැමිණිල්ල කල යුතු එකකුත් නොවේ වගේ!

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 20, 2012 at 3:11 ප.ව.

      බැංකුවලින් අපිව සූරා කන එකේ නම් නිමක් නෑ රයිගම් හන්දිය. හිතන්නකො එක බැංකුවකින් අනිත් බැංකුවකට මුදල් යවනකොට බැංකු දෙකෙන්ම ගාන කපා ගන්නකොට තියෙන සනීපෙ. අනික හිතලා බලන්න විත්ඩ්‍රෝවල් එකකට ඩෝර් පහක් අයකිරීම. බැලන්ස් එක බැලීමටත් ඩොලර් දෙකක්ද කොහෙද අය කිරීම කොයි තරම් සාධාරනද කියලා.
      අඩුම ගානෙ ඔසියන්ගෙ අර කණගා‍ටුව ප්‍රකාශ කරන්න තරම් නිහතමානී වීමේ ගතිය හරි තියෙනවා නේ?

       
  28. තොටියා

    අගෝස්තු 20, 2012 at 2:33 ප.ව.

    මාර ගේමක්නෙ දීල තියෙන්නේ. කොහොමෙන් කොහොමෙන් මොන කට්ට කාල හරි හරි සල්ලි ටික ලබාගන්න පුළුවන් වෙච්චි එක නම් ලොකු දෙයක්… අපි මහන්සියෙන් උපයපු සල්ලිවල වටිනකම තියෙන්නේ අපටනේ

     
  29. henryblogwalker the Dude

    අගෝස්තු 20, 2012 at 3:04 ප.ව.

    නැතුව, තොටියා. මේ සල්ලි නිකං පහල වෙලා නෙවෙයිනෙ. කට්ට කාලා හොයාගත්තුවා.

     
  30. Kandyan

    අගෝස්තු 20, 2012 at 3:25 ප.ව.

    බැංකුව බුලක් ගැහුවානම් පුළුවන් තරම් බැංකුවට වාතයක් වෙන්න ඕන..නැත්නම් කිසිම වැඩක් කරගන්න බෑ (බැංකුවක වැඩ කරපු හින්දයි කියන්නේ :-).

     
  31. මඩිස්සලේ නිශාන්

    අගෝස්තු 20, 2012 at 3:26 ප.ව.

    ලොකු කට්ටක් කාලා තියෙනවා කියලා පේනවා.
    ඒ අතින් බලද්දී ලංකාවේ තත්වය හොඳයිනේ කියලත් හිතෙනවා.
    ඇත්තටම හෙන්රි සර් මොන රටේද ඉන්නේ?

     
  32. nirosha

    අගෝස්තු 20, 2012 at 4:41 ප.ව.

    magen dawasak mehe com bank eke wadak kara ganna giyama banking assistant maru salli illuwa,hariyata pvt bus kondek wage.mata uwamana une 122343.00 ka bilak gewanna.me yaka magen ru 3 k illanawa,nathnam ru 10 ye ithuru ganna bari wey kiyala mata saddekuth danawa.athe maru na kiwama ehenam ithin karanna deyak na kiyanawa.mata ewele apu kenthiya wadi kamata tikak saddeta ahuwa meka bank ekakda nathnam pvt bus ekakda,bank eketh maru salli nathnam koheda thiyenne kiyala.eka ahunu anith counter eke man tak gala awith wade karala deela sorry kiwa.
    mama e gamanma mage account eka thiyena branch ekata gihin bohoma iwaseemen kiwwa me danmama mage acnt eka cancel karala mage salli denna kiyala.eke manager harima kapatiya,wade wechcha bank ekata katha karala e yakata banala dan hari madam ,mata meka head ofce ekata inform karanna ada dawasa denna..heta udema mama call ekak dennam kiwa.
    ane ithin pahuwenida ude e yaka call karanakota mage kenthiya niwila.miniha athdakeemen dannawalu e wage prashnayak awama ekama wisanduma kalaya kiyala.anith onima bank ekakadith e ha samana prashna athi wenna ida thiyena bawa danna nisa thamath mage account eka com ma thamai..ayyo samawenna meka harima diga comment ekak wela

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 21, 2012 at 9:24 පෙ.ව.

      ඇත්තට මොකටද ඔහොම බැංකු සේවකයො? තමන්ගෙ කට නිසා ආයතනයෙ පාරිභෝගිකයනුත් නැති කරගන්නවා. අර මැනේජර් කපටියි නෙවෙයි නිරෝෂා. දක්ෂයි. බලන්න ඒ වගෙ අය නිසා තමයි බැංකුව නොවැටි තියෙන්නෙ.

       
  33. සාබිත්

    අගෝස්තු 20, 2012 at 4:55 ප.ව.

    මගේ බැචියෙක්ට මේ කරදරේම වෙලා දුක් විඳිනවා සති ගානක්..ගෙදරින් මාස් පතා ගානක් දානවා.ඕකෙන් තමයි බෝඩිං ගාස්තු අරවා මේවා ඔක්කොම ගෙවලා කාලා බ්ලා ඉන්නේ! රු.20 000ක් ලංකාවේ සල්ලිවලින්..සති 3ක් වෙනවා..තාම නෝ නිවුස්!

     
  34. Kenji @ Japan

    අගෝස්තු 20, 2012 at 5:00 ප.ව.

    කොහොමත් හෙන්රි;බැංකු උඩින් පෙන්නන්නේ පාරිභෝගිකයාට හිතවත්,සමීප බව නමුත් කට්ට කන පාරිභෝගිකයාට තමයි තේරෙන්නේ ඇත්ත තත්වය.ජපානයේ නම් නාබර අක්ක කෙනෙක් හරි ලපටි නංගි කෙනකු හරි ඉන්නවා නොදන්නා අයට උදව්වට.ගිය මාසේ මැලේසියාවට ගිය වෙලාවේ ඔබ කියන විදියටම මගෙත් නිදාගෙන හිටපු කොටිය අවදි උනා [කාලෙකට පස්සේ] මම අයදුම් කල මුදල මට දෙන්න බැහැ මම ගෙවන්න යන ආයතනයට ඒ අය චෙක්පතක් නිකුත් කරන්නම් කියල,නමුත් මට ඒ වෙලේ උවමනා උනේ මුදල් නිසා.බැංකුව හැසුරුනේ ඒ අයගෙන් මම නයට ගන්න ඇවිල්ල වගේ.කතා කරන්නනම් බැංකු කතා ගොඩක් තියෙනවා.නමුත් හෙන්රි; බ්ලොග් ලියන බැංකුවල වැඩවාසය කරන අපේ සහෝදරයෝ/සහෝදරියෝ අපව දැනුවත් කරන්නේ නැහැනේ.

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 21, 2012 at 9:27 පෙ.ව.

      අපි ඒ අයගෙන් ණයට ගන්න ගියා වගෙ හැසිරෙන එක නම් මමත් අත් විඳල තියෙනවා. ඒ වගෙම මේ Customer Care කියන සංකල්පය නමට විතරක් සීමාවෙච්ච එකක් කියලත් හරිම කනගා‍ටුවෙන් කියන්න ඕනෙ. ඇයි අර පාරිභෝගික සේවාවට කතා කරාම අර අංකය ඔබන්න, මේ අංකය ඔබන්න කියලා අන්තිමට නටපු නැ‍ටුමකුත් නෑ,..
      ම්ම්ම්… අපේ බැංකු සහෝදරයෝ මේ සම්බන්ධව නියම උපදෙස් ටිකක් දීලා කමෙන්ට් දාලා තියෙනවා, පෝස්ට් එකකුත් දාලා තියෙනවා. බලන්න කලින්පෝස්ට් එකේ කමෙන්ට් Kenji!

       
  35. රාමා

    අගෝස්තු 20, 2012 at 7:56 ප.ව.

    කලින් ලිපියේදී කියපු ආකාරයටම ඔය දේම මට වුනු වෙලාවේ (හැබැයි දේශීය බැංකු 2 ක් අතර) ඉක්මනින් ගැටළුව විසඳලා දුන්නා.
    ——————————————————————-
    තව වතාවක් යන්ත්‍රයේ දෝෂයක් නිසා වෙනත් බැංකුවක යන්ත්‍රයක කාඩ් එක හිර වෙලා ගන්න ඇතුලට ගියාම කාඩ් එක අරන් දුන්නා. හැබැයි මෙහෙම කිව්වා..

    “සාමාන්‍යයෙන් වෙන බැංකු වල කාඩ් හිර වුනාම අපි ඒවා නිකුත් කරපු බැංකුවට යවනවා මිසක් කස්ටමර්ට දෙන්නේ නැහැ. ඒත් අද අපේ ATM එකේ ප්‍රශ්නයක් තියෙන නිසා ඔයාට මේක දෙන්නේ…”

    මගේ කාඩ් එක හම්බ වුනා. මුණට ස්තුති කරල ආවේ හිතට ආපු දේ නොකිය..

    “ඇයි ඕයි මැෂින් එකේ අවුලක් නම් ඒක වහල තියන්නේ නැත්තේ..”

    —————————————————————-

    කාලෙකට කලින් ආසාවට වගේ පටන් ගත්ත ජංගම ගිණුමක් තියෙනව මට. ඕකෙන් ඉතින් ඉඳ හිට චෙක ලියවෙනවා. ක්‍රෙඩිට් කාඩ් එකට ගෙවන්න වතාවක් මම උපදෙස් වලට 100% ක් අනුකුලව ඉතාම නිවැරදිව චෙක් එකක් දුන්න බැංකුවට. එතන හිටියේ අළුත් කොල්ලෙක් . මෑන් පරණ එකෙක්ගෙන් ඇහැව්වා චෙක් එකේ ගෙවීම ඇතුල් කරන ආකාරය. පරණ බුවා අහක බලාගෙනම කියා දුන්නා. රිසිට් එකකුත් අරන් මම එන්න ආවා. චෙක් ඒක නිකුත් කරල තියෙන්නෙත් ඒ බැංකුවේ, ඉතින් එවෙලේම සම්පුර්ණ කරන්න පුළුවන් ගනුදෙනුවක්. දවස් තුනක් ගියා, මම කාඩ් එකෙන් ඔන්ලයින් ගෙවීමක් කරන්න බැලුවා. හරියන්නෙම නැහැ. කාඩ් සෙන්ටර් එකට කතා කරල අහල බලන කොට මගේ අන්තිම ගෙවීම කාඩ් සෙන්ටර් පැත්තෙවත් ඇවිත් නැහැ. ගියා බැංකුවට, උන් කියනවා ඒ ගනුදෙනුවේ කිසිම අවුලක් නැහැලු. උනුත් කාඩ් සෙන්ටර් එකේ එවුනුත් තවත් දවස් දෙකක් තිස්සේ බෝල පාස් කර ගත්තත් අවුල විසඳුනේම නැහැ.

    බැරිම තැන ඒ බැංකුවේ වෙනත් ශාඛාවක වැඩ කරන මිතුරෙක් ලවා මම බැංකුවේ සිස්ටම් එක බැලෙව්වම දැන ගත්තේ මගේ කාඩ් එකට නෙවෙයි බැංකුවේ මොකක්දෝ අභ්‍යන්තර ගිණුමකට සල්ලි ගිහින් තිබුනේ. මම මේක ගිහින් කිව්වම කට්ටියට උත්තර නැහැ.ඉක්මනට විසඳලා දෙන්නම් කියල කිව්වත් දෙපැත්තෙන් තවත් බෝලෙ පාස් කර ගත්ත විතරමයි.

    ඊළඟට මගේ අර මිතුරා කාඩ් සෙන්ටර් එකේ ප්‍රධානියාගේ දුරකථන අංක මට ලබා දුන්නා. අනේ ඒක කෝල් එකයි දුන්නේ, ඒ පින්වන්තයා විනාඩි පහෙන් වැඩේ කරල දුන්න.

    ඉතින් මම තේරුම් ගත්තේ අර පහල ඉන්න අය, තමන්ට ගැටළු සහගත අවස්ථාවක් ආවහම දන්නා කෙනෙක්ගෙන් අහගන්නවත් කැමති නැහැ කියන ඒක..

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 21, 2012 at 9:28 පෙ.ව.

      පොඩ්ඩක් හිතනවා නම්ප්‍රශ්ණ හුඟාක් විස‍ඳෙනවා තමයි. යන්ත්‍රයේ අවුලක් නම් ඇයි ඒක වහලා තියන්නෙ නැත්තෙ? ඕක වෙච්ච පලවෙනි වතාව ඕක නෙවෙයි.

      ඔව් ඒ වගෙම හුඟක් ප්‍රශ්ණ ලොක්කටම කෙලින්ම කතා කලාම විසඳා ගන්න පුලුවන්.

       
  36. මී පැටියා

    අගෝස්තු 21, 2012 at 9:23 පෙ.ව.

    මොන රටේද මචං උඹ ඉන්නෙ? මෝල්ඩිව්ස් ද?

     
  37. iamdeejay

    අගෝස්තු 21, 2012 at 9:48 පෙ.ව.

    ඩුඩ්,

    ඔයා ගේ නොපසුබට උත්සාහය නිසාම අපිට එක මෙ විදිහට ජය ගන්න පුළුවන් වුනේ. මෙ තරම් කෙටි කාලයකින් මෙ ප්‍රශ්නය විසද ගත්තා කිවම මෙවැනි සිද්ධින් වලට මුහුණ දුන් අනික් අයට පුදුම හිතේවි. මොකද සමහර අයට මාස ගනනාවක් බලා ගෙන ඉන්න වුනා කිව්වනේ ඒ නැතිවුන සල්ලි නැවත ලැබෙන්න.

     
  38. සිතුවිලි සිතූ

    අගෝස්තු 21, 2012 at 10:53 පෙ.ව.

    ඔබේ නොපසුබට උත්සාහය නිසා සල්ලි ආපහු ලබා ග්න්න පුළුවන් උනා නේද? ඒකට නම් ගොඩක් සතුටුයි. ලංකාවෙ නම් රාජ්‍ය බැංකු වගේම අනිත් රාජ්‍ය ආයතන ගැනත් කියලා වැඩක් නෑ. විශේෂයෙන්ම තැපල් සේවය.

     
  39. henryblogwalker the Dude

    අගෝස්තු 21, 2012 at 11:34 පෙ.ව.

    ස්තුතියි සිතූ. ඔයා වගෙ අනිත් මිනිස්සු ගැන හිතන අය ඔය ආයතනවලත් වැඩ කලා නම් මේ ප්‍රශ්ණ මෙච්චර දුරදිග යන්නෙ නෑ.

     
  40. Weniwel

    අගෝස්තු 21, 2012 at 3:57 ප.ව.

    ලිපිය කියෙව්වට කමෙන්ට් කියවන්න තරම් තාම ඉස්පාසුවක් නෑ..මාත් මේ එහෙට මෙහෙට දුවන ගමන්.. අපෙන් සල්ලි අරන් අපිටම ගහනවා බැංකු නම්…ඒක ලංකාවෙත් එකයි..පිට රටත් එකයි..

     
  41. JP

    අගෝස්තු 21, 2012 at 7:48 ප.ව.

    බැංකුවක වැඩ කරන නිසා කියන්නේ …..බැංකුවටත් වරදිනවා …එකෙත් හැටි, බොහෝ බැංකු තම තැන්පත් කරුවන්ට මෙසේ සලකන මුත් තම ණය කරුවන්ට ඉතා හොදින් සලකති ..

     
  42. ළිහිණි

    අගෝස්තු 22, 2012 at 8:27 ප.ව.

    අයියේ ෆලෝව ලින්ක් එකක් දාන්නකෝ. ප්ලීස්

     
    • henryblogwalker the Dude

      අගෝස්තු 22, 2012 at 8:34 ප.ව.

      ළිහිණි, ස්තුතියි. නමුත් follow බටන් එකක් තියෙනවනෙ මේ දකුණු පැත්තෙ යට කෙළවරේ! හොඳට බලන්න. ඒක පි‍ටුව ස්ක්‍රෝල් කරද්දිත් එක තැනම තියෙනවා මම හිතන්නෙ.

       
  43. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 2:57 ප.ව.

    මේ බැංකු හෙන්රිට එලව එලවා ගහනවා වගේ..

     
  44. henryblogwalker the Dude

    අගෝස්තු 24, 2012 at 7:08 ප.ව.

    මම ගිය ආත්මෙ බැංකුවකින් ණයක් අරන් මග ඇරියද දන්නෙ නෑනෙ සරත්! 😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න