RSS

Search results for ‘දැන් ලඟයිද තාත්තෙ?’

85. Part Two: “දැන් ලඟයිද තාත්තෙ?”

85. Part Two: “දැන් ලඟයිද තාත්තෙ?”

මට ඈතින් ඇහෙනවා එන්ජිමක ගුමු ගුමු හඬක්.

මම මොකක් ගැනද මේ කතා කරන්නෙ කියලා නොතේරෙනවා නම්, මෙතන කොටලා, “දැන් ලඟද තාත්තෙ?” පළවෙනි කොටස කියවලාම එමුකො.

ආහා!!! මම බලනවා මගෙ අත් ඔරලෝසුව දිහා. ඒ ගොල්ලනට එහෙනම්, විනාඩි පහලොවක්ම ගියා පරාජය බාර අරන්, ආපහු මාව ගන්න එන්න, ආ?

මේකෙන් මට ඉගෙන ගන්න තියෙනවා හොඳ පාඩමක්!

නමුත් දැන් දැන්, ඒ එන්ජිමේ ගුමු ගුමුව, මම බලාපොරොත්තු වුන හඬට වඩා වෙනස්. ටිකක් ගැඹුරු , උගුරෙන් එන හඬක්!
තාත්තගෙ කාරෙකේ හඬ නෙවෙයි!

බයිකර් මෑන්!!!

මම උඩ පැන, පැන අත වනනවා.
බුවාත් මාව දැක්ක ගමන්, මට අත වනාගෙන ඇවිත්, මා ගාවා නවත්තනවා.
ලඟට, මේ  බුවාගෙ තියෙන්නෙ, අර ඈතින් දැක්කටත් වඩා පිස්සු, විකාර පෙනුමක්.
අර රතු ‍රැවුලෙ ඇලිලා,  පැටලිලා, පිරිලා ඉන්නවා කෘමීන් රංචුවක්!
සමහරුන්ට තවම පණ තියෙනවා!

“ඉතිං?,” බුවා කියනවා. “මේ මගෙ පුංචි යාලුවනෙ! මොකෝ කරන්නෙ තනියෙම මෙතන?”

“අම්මයි, තාත්තයි දැම්මනෙ මාව කාරෙකෙන් එලියට, පයින් එන්න කියලා.”

“හ්ම්හ්… ඒකත් එහෙමද? ඔයා බයික්ස් වලට ආසද?”

“මොනවද මේ කතා!”

“නගින්ඩ.” බුවා කියනවා. “මොකක්ද ඔයාගෙ නම?”

“ඇන්ඩි. ඔයාගෙ නම මොකක්ද?”

“මැක්ස්. සන්තෝසයි අඳුනාගන්න ලැබුනට!”

බුවා මටත් දෙනවා හෙල්මට් එකක්.

“ආ, මේක දා ගන්ඩ.”

ඒකත්, එයා දාං ඉන්න එක වගේමයි.

“එහෙනං අල්ලගන්ඩ,” මැක්ස් කියනවා.

“මොකක්ද අල්ල ගන්නෙ?” මම බෙරිහන් දෙනවා, නමුත් හාර්ලි ඩේවිඩ්සන් මෝටර් සයිකල් එන්ජිමේ ගෝරනාඩුව නිසා බුවාට ඒක ඇහෙන්නෙ නෑ.

මැක්ස් කරකවනවා ඇක්සලරේටරේ.
මගෙ ආමාශය බිමට පාත් වෙනවා වගෙ දැනෙනවා, බයික් එක අදින ඇදිල්ලට.
මම, මැක්ස්ගෙ ඉන වටේ අත දාලා,  පුලුවන් හයියෙන් අල්ලා ගන්නවා.
හුලඟ හෝ ගානවා. මගෙ මුලු ඇඟම ‘ඩ්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්’ ගාලා දෙදරනවා. මම සීතලෙන් ගැහෙන්න ගන්නවා. ෂික්, ජර්කින් එකක් වත් තිබ්බ නම්!

මට ඈත පේනවා අපේ කාරෙක.

“අන්න එයාලා!” මම මැක්ස්ගෙ කණට කෑ ගහනවා.

මැක්ස් ආයෙම කරකවනවා ඇක්සලරේටරේ, කෙලවරටම.  අර මම නූඩ්ල්ස් ‍රැලක් කටින් උරලා ගන්නවා වගේමයි,  යෝද  හාලි ඩේවිඩ්සන් බයික් එක තාර පාර  ගිලගන්නෙ!

අපි කාරෙකට ලංවෙනකොට, මම මැක්ස්ට කියනවා හෝන් එක ගහන්න කියලා. මැක්ස් හෝන් එක දිගටම ගහනවා. මම අත වනනවා. නමුත් කාරෙක නැවතීම කෙසේ වෙතත්, වේගය වැඩි කරනවා. සමහරවිට තාත්තා හිතනවා ඇති. මැක්ස් මොකක් හරි කොක්කක් ඇද ගන්න එනවා කියලා. සමහරවිට හෙල්මට් එක නිසා, මාවත් අඳුනාගත්තෙ නැතුව ඇති.

“මෑක්ස්!” මම කෑ ගහනවා. “අපි යං ලඟට. මං හිතන්නෙ එයාලා මාව ඇඳින්නෙ නෑ.”

මැක්ස් බයික් එක කාරෙකත් එක්ක කරට කර පදිනවා.
මම අත වනනවා.
තාත්තා නහයට කෙලින් ඉස්සරහා බලාගෙන යනවා.

“තාත්තේ,!” මම යටි ගිරියෙන් කෑ ගහනවා. “නවත්තන්ඩෝ!”

ම්හ්ම්, වැඩක් නෑ.
මම අත් දෙකම වනනවා. තාත්තා, ඇස් කොනින් එක පාරක් අපි දිහා බැලුවත්, අඳුනාගත්ත බවක් පේන්න නෑ. එයා කොන්ද කුදු කරගෙන, පාගනවා ලෑල්ලටම.

“පට්ට පට පට! යකෝ මම දන්නෙ නෑනේ අපේ වන්ඩියෙත් මෙහෙම ඇරලා යන්න පුලුවන් කියලා. අඩේ, තාත්තා මෙහෙම එලවනවා නම් හැමදාම, මට අරවගෙ පට්ට කම්මැලි හිතෙන එකකුත් නෑ! හික් හික්!”

මැක්ස් නෙවෙයි සැලෙන්නෙ. මැක්ස් හදනවා කාරෙකට ඉස්සර කරන්න. මෙන්න අපේ තාත්තා – ඔව් ඔව්,  මේ අපේ තාත්තා – අර ඇක්ෂන් මූවීස් වල වගෙ, කාරෙක ඇඟට කපලා, මැක්ස්ව බ්ලොක් කරනවා! කූ………………..ල් නේ!!!! මට මාර ආතල්!

මැක්සුත් වැඩ දන්න නිසා බේරෙනවා. මැක්ස් පොඩ්ඩක් පහු බැහැලා, බයික් එක, කනට වැලි යන්න නවලා, ගන්නවා කාරෙකේ අනිත් පැත්තෙන්, තාත්තා  කලින් හිටපු ලේන් එකට .
දැන් ඔන්න අපි ආයෙ කරට කර, හැබැයි දැන් අපි වැරදි ලේන් එකේ.
මැක්ස් ඔලුව පොඩ්ඩක් හරවලා කෑගහනවා, එන්ජින් සද්දෙට උඩින්.

“එයාලා නවත්තන්නෙ නෑ. ඔයාට පනින්ඩ වෙනවා කාරෙකට.”

මැක්ස් විහිලු කරනවද?

එක්කො එහෙමයි, නැත්නම් බුවාගෙ පිස්සු මීටරේ රතු කට්ට පැනලාද?

“මට බෑ!” මම කෑ ගහනවා.”මම ඔයත් එක්ක ඉන්නවා.”

“හිට ගන්ඩ.” මැක්ස් කියනවා. “මම බයික් එක පුලූවන් තරම් කාරෙකට කිට්‍ටු කරන්නම්”

මම මැක්ස්ගෙ උරහිසේ එල්ලිලා, සීට් එක උඩට කකුල් අරන්, දණ ගහගන්නවා. මගෙ කකුල් දෙක දැනටමත් වෙව්ලන්න අරගෙන!

තවම වාහන දෙක අතරෙ ලොකු පරතරයක් තියෙනවා.

“දුර වැඩි……යි!” මම කෑ ගහනවා.

මැක්ස්, බයික් එක පුලුවන් තරම් කාරෙකට ලං කරනවා.
කාරෙකේ වහලෙට අඩි කීපයයි දැන් දුර තියෙන්නෙ.
මගෙ බඩ ඇතුලෙ, දිය සුළියක්  කැකෑරෙනවා වගෙ තේරෙනවා. මට නිකං ඔක්කාරෙට වගෙ එනවා.

අනේ මේක කරන්න බෑ අප්පා!

මට තාම මැරෙන්න තරම්  වයසකුත් නෑ!!

මං තාම පොඩි එකා!!!

මම, මැක්ස්ගෙ කණට ලංවෙනවා.

“මට බෑ මැක්ස් මේක කරන්න.”

“බෑ කියලා බෑ,” මැක්ස් මට ගොරවනවා.

“ඇයි මට ඔයත් එක්ක ඉන්න බැරි?” මම අහනවා.”මම ඔයාගෙ ගෝලයා වෙන්නං.”

මැක්ස්ට හිනා. හැක් හැක් හැක්!!!

“මහ පාරෙ ජීවිතේ ඔයා වගෙ එල කොල්ලෙකුට හරියන එකක් නෙවෙයි. ඔයා ආපහු යන්ඩ. ඉස්කෝලෙ හිහින් එග්සෑම් ගොඩ දාගන්ඩ.”

“මම එල කොල්ලෙක් නෙවෙයි,” මම කියනවා. “මම හෙනම ඇණයක්.”

ඒකට මැක්ස්ට හොඳටම හිනා. ඒ හිනාවට, මට බයත් හිතෙනවා. අර හයිනාවෙක් වගෙ, හූ කියලා මැක්ස් හිනාවෙන්නෙ.

“හ්ම්… පනින්ඩ,” මැක්ස් කියනවා.

මැක්ස්ගෙ ඇස් වලට පිස්සු පෙනුමක් ඇවිත් ඒ ගමන. මේ යකා එක්ක ඉන්න එකත් එච්චර හොඳ අදහසක් නෙවෙයි වගෙ.
මම හිටගන්නවා සීට් එක උඩ. මේක නම් මහ මොලේ කොලොප්පං වෙන වැඩක්!

මම ගැඹුරු හුස්මක් ගන්නවා. ඇස් වහගන්නවා. අත් මිට මොලවා ගන්නවා.
මේ වගෙ වෙලාවක අත් මිට මොලවා ගන්න එකේ ඇති වැඩේ මට හිතාගන්න බැරිවුනත්, මට හිතෙනවා  එහෙම කරන එක හොඳයි කියලා.

ඉතින්, ආයුබෝවන් කුරිරු, දුෂ්ට ලෝකය.

මම ගුවන් ගත වෙලා ඇදිලා යනවා පැත්තකට හුලං කපාගෙන.

දඩාං!

මම කාරෙකේ වහලෙ උඩ! මම වැඩේ කලා, කොහොම හරි!

තාත්තා වෙට්‍ටු දාන්න ගන්නවා, වමට, දකුණට, පාර පුරාම! එයා හදන්නෙ මාව වහලෙන් බිමට දාන්න.
තාත්තට  මොන විදියෙන් හරි පෙන්නල දෙන්න වෙනවා, මේ මමයි වහලෙට පැන්නෙ කියලා.

මම  අත මිට මොලවලා, වහලෙට තඩි බානවා. තාත්තගෙ වෙට්‍ටු දැමිල්ල දරුණු වෙනවා.

මට අදහසක් පහල වෙනවා.

මම පුලුවන් තරම් ඉස්සරහට බඩ ගානවා ඇඟිලි  පුලුවන් තරම් විහිදලා කාරෙකේ වහලෙ බදාගෙන.
පොඩ්ඩ වැරදුනොත් සොරිම තමයි.
අනේ තාත්තට දකින්න සැලැස්සුවොත් මේ මම කියලා, එයා නවත්තයි කාරෙක.
මම වින්ඩ්ස්ක්‍රීන් එක දිගේ ඔලුව පහලට රූට්ටනවා.
මට පේනව අම්මයි තාත්තයි බය වෙනවා මාව දැකලා.
ඒ දෙන්නගෙ ඇස්  රවුම් වෙනවා.
කටවල් ඇරෙනවා.

එක පාරටම මම ඉගිල්ලිලා යනවා ඉස්සරහට.

තාත්තා එක පාරට බ්‍රේක් ගහලා,

මාව කැරකිලා, උඩුබැලි අතට හැරිලා, කාරෙකේ බොනට් එක උඩ. මම රේඩියෝ ඇන්ටෙනාවෙ එල්ලිලා නිසා, යන්තම් තාර පාරට නොවැටි බේරෙනවා.

කාරෙක නවතිනවා.
මම බොනට් එක උඩ වැතිරිලා,  නිල්වන් අහස දිහා බලං ඉන්නවා, හති දමමින්.

ඇති යාන්තම් අතක් පයක් නොකැඩි බේරුනා!

තාත්තයි අම්මයි එලියට පනිනවා.
මම හෙල්මට් එක ගලවනවා.

“මේකාට මොනව කරොත් හිත් වදීද!” තාත්තා කෑ ගහනවා. “මොනවද මිනිහෝ කරන්න හදන්නෙ? මැරෙන්ඩද ඕනෙ?”

ඕං තවත් මෝඩ ප්‍රශ්න.

“නෑ,” මම කියනවා. “මම ආපහු කාරෙකට නගින්නයි හැදුවෙ. ඔයාලා මාව කාරෙකෙන් එලියට දැම්මනෙ. ඇයි මතක නෑ?”

“ඔව්,” තාත්තා කියනවා. “තමුසෙට පාඩමක් උගන්නන්න.”

“මොන ජාතියෙ පාඩමක්ද ඒ?”මම අහනවා. “මාව අර කාන්තාරෙ මැද්දෙ දාලා ඇවිල්ල, වතුරත් නැතුව, සිතියමක්වත් නැතුව, සන්ස්ක්‍රීනුත් නැතුව?”

“අපි  ආපහු එන්න තමයි හැදුවෙ,” තාත්තා කියනවා අම්මගෙ මූණ  දිහාත් හොරෙන් බලන ගමන්. අම්මගෙ කම්මුල් ලැජ්ජාවෙන් රතු වෙනවා.

“කවද්ද?” මම අහනවා. “ආපහු ගෙදර යන ගමන්?”

තාත්තට අර ගලේ කක්කා දාපු ඤාව්වාට වෙච්ච වැඩේ තමයි වෙලා තියෙන්නෙ.

අපි ආපහු  හරෝගෙන එන්න හදනකොටම තමයි, අර බයිකර් අපි පස්සෙ පන්නන්න ගත්තෙ. මම හැදුවෙ,  ඒ යකාව පුලූවන් තරම්, ඔයාගෙන් ඈතට යවා ගන්න. ඔය සමහර බයිකර්ස්ල කිසිම අණක් ගුණක් නැති තිරිසන්නු!

මම නගිනවා කාරෙකට.

“තාත්තෙ බයිලා කිව්ව ඇති,” මම කියනව. “ඔයා මගෙ කරදරෙන් බේරෙන්න, මාව අතරමං කලා. වැඩේ ගැස්සුනා. දැන්වත් ඉතිං, යං.”

“පුතේ, අපි ආපහු එන්නයි හැදුවෙ,” තාත්තා කියනවා. “දෙයියම්පල්ලා, මාව විස්වාස කරන්න.”

තාත්තා එන්ජිම ස්ටාට් කරනවා. එයාගෙ මූණ හත්තිලව්වට ගහපු කලාබරේ වගේ. හොඳ වැඩේ, මම නං කියන්නෙ!

තාත්තා කාරෙක ආපහු පාරට දානවා.

එලියෙන් ඇහුන එංජිමක ගෙරවුම හඬක් නිසා මම වීදුරුවෙන්  පිටත බලනවා.  මැක්ස්! ඔන්න අපිත් එක්කම පෙලට යනවා. මම වීදුරුව පාත් කරලා, හෙල්මට් එක විසිකරනවා මැක්ස්ට.  මැක්ස් තනි අතින් හෙල්මට් එක ‍රැකගන්නවා. ඊට පස්සෙ මට ලොකු හිනාවක් දාන මැක්ස්, රොකට් එකක් වගෙ ඉගිලිලා යනවා ඈතට.

මම ආපහු සීට් එකට පිට දීලා, සුසුමක් හෙලනවා.

පිස්සු උනත්, මැක්ස් නම් මැක්සාම බුවෙක් තමයි. කූල් ඩූඩ්!

ආපහු වීදුරුව උස්සනකොටයි, මම මැස්සව දකින්නෙ!

ඌ මේ පාර වහල ඉන්නෙ තාත්තගෙ ඔලුවෙ.
“මේ ඔක්කොම වුනේ උඹ නිසා,” මම මැස්සට කියන්නෙ පහත් හඬින්. “මාව අතරමං වුනා. තව පොඩ්ඩෙන් මගෙ නිවාඩු කාලෙත්  ඉවරයි. තව පොඩ්ඩෙං මං මැරෙනවා, ස්ටන්ට් කරන්න ගිහින්. මේ ඔක්කොම උඹ නිසා. දැන් ලෑස්ති වෙයං වන්දි ගෙවන්න.”

මම සීට් එකේ  ඉස්සරහට වෙන්න ඉඳගෙන, තාත්තට ලංවෙනවා. අත්දෙක තාත්තගෙ ඔලුවට උඩින් විහිදුවලා අල්ලාගෙන, මැස්සට ගහන්න ලෑස්ති වෙනවා.

අන්තිම මොහොතෙ, මැස්සා පනිනවා .

මගෙ අවධානය මොහොතකට බිඳිල, එල්ලය වරදිනවා. මගෙ අත්දෙකම චටාස් ගාලා, තාත්තගෙ කන් දෙක මත පතිත වෙනවා, කන් දෙකෙන් දුම් දාන්න.

හපෝයි.

තාත්තගෙ ඇඟිලි පුරුක් සුදුපාට වෙනවා පේනවා.

“අනේ තාත්තෙ. සොරි තාත්තෙ  –  ඒක නම් වැරදීමක් වුනේ. ඇත්තමයි තාත්තෙ, මම ඇත්තටම හැදුවෙ…”

තාත්තා මාව නවත්තනවා.
“කමක් නෑ ඇන්ඩි,  ඔයා නිදහසට කරුණු කියන්න ඕනෙ නෑ පුතා.”

“හෑ?”

“අපි හැමෝම අතින් වැරදි වෙනවා.”

ආහ් හා. දැන්නෙ තේරුනේ. ඒ කියන්නෙ මම මොනවා කලත්, අම්මයි තාත්තයි ආයෙම මාව කාරෙකෙන් එලියට දාන්නෙ නෑ කියන එකයි. එයාලා එයාලගෙ තියෙන ලොකුම තුරුම්පුව ගහලා තියෙන්නෙ, නමුත්, වෙලාවට, ඒක පත්තු  වුනේ නෑ. ඒකෙන් වුනේ, දෙන්නටම ඇඩ්‍රස් නැතුව යන එකයි. ආහ් හා. ට්‍රල ලල ලා..

මම  බොහොම සැහැල්ලුවට සීට් එකේ වැටිලා ඉඳගෙන ඇස් පියා ගන්නවා.
මට දැන් ඕනෙ දෙයක් කලෑකි. මට ඕනෙම දෙයක්. නරකම නෑ නේද වැඩේ.

නමුත් මට එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.

“තාත්තේ?”

“හ්ම්ම්ම්?”

“දැන් ලඟයිද?”

_________________________________________________________________________________________

නිමි.

Andy Griffiths – Just Annoying – ARE WE THERE YET?

 

ටැග: ,