RSS

161. කළකිරීම

26 Oct

OLYMPUS DIGITAL CAMERA

උපේක්ෂා ලියලා තිබුණ මිතුරු තොමෝ කතාව කියෙව්වාම මට හිතුනා කාලෙක ඉඳ ලියන්න හිතාගෙන හිටපු නමුත් මේ දවස් වල ගහලා තියෙන කම්මැලි කම නිසාම ඔහේ නිකම්ම තියෙන බ්ලොග් ක‍ටුවේ මළකඩ කැඩෙන්නත් එක්කම මේක  කියලම දානවා කියලා.

මම හිතන්නේ මට එතකොට අවුරුදු දොළහක් නැත්නම් පහළොවක් ඇති. බණ්ඩාරෙ වැඩ කලේ අපේ ගේ ලඟ හන්දියේ තිබුණු කඩේක.  ඇත්තෙන්ම ඒක නියම නමද අනවර්ථ නමක්ද කියන්න මම දන්නේ නෑ.  (අදාල පුද්ගලයාට අපහසුවක් නොවෙන්නෙ මම ඒ අනවර්ථ නම වෙනුවට ඒකට සමාන අනවර්ථ නමක් මෙතනදි යොදලා තියෙන්නේ.)

හරි, ආපහු කතාවට ආවොත්, මේ කියන කාලේ වයස අවුරුදු විසි ගානක් ඇති කියලා හිතන්න පුලුවන් බණ්ඩාරේ මගේ  යාලුවෙක් නෙවෙයි. අසල් වැසියෙකුත් නෙවෙයි.  ගේ ලඟ කඩේක වැඩ කරපු, කඩේට ගියාම විතරක් මුණ ගැහෙන පුද්ගලයෙක්.

හවස පහට විතර එක පාරටම ඇහුණු කෑගැහිල්ල නිසා මමත් ගෙදරින් එළියට පැන්නා. කෑ ගහගෙන දුවගෙන ආපු අසල් වැසියෝ රංචුවක් අපේ වත්ත උඩිනුත් දුවලා, ගේ පිරිපස්සේ දොළ පාරෙනුත් එහාට පැනලා ගේ පිටිපස්සේ තියෙන බෑවුම් සහිත රබර් වත්තට පැන්නේ හරියට ගරිල්ලා හමුදාවක් වගේ.

“මොකද වෙලා තියෙන්නේ?”

“මම ඇහුවේ දොළෙන් එහා පැත්තේ කණ්ඩිය නගින්න දඟලමින් හිටි බණ්ඩාරෙගෙන්.

“දඬු ලේනෙක් පොඩි මහත්තයෝ.”


“ඉතින් මොකටද ඌව?”


බණ්ඩාරේ මා දිහා බැලුවේ විමතියෙන්

“හදන්න පුලුවන්නේ මහත්තයෝ කූඩුවක දාලා.”

මේ මොන මෝඩයෙක්ද කියනවා වගේ හැඟීමක් බණ්ඩාරෙගේ  ස්වරයේ ගැබ් වෙලා තිබුණා.


දඬු ලේනෙක් අල්ලා ගන්න ගමක්ම දුවගෙන එන්නේ ඇයි කියන එක මට ඒ වෙලාවෙත් ගැටළුවක් වුනත්, සමහර විට පරෙවියෙක් අල්ලාගන්න, පාරේ යන වාහන, කම්බිවැටවල්, වීදුරු ක‍ටු, මිනී කන බල්ලො ගැන කිසිම තැකීමක් නොකර උඩ බලාගෙන දුවන මිනිස්සු මතක් වෙලා නිහඬ වුනා.

දඬුලේනා පිටිපස්ස වත්තේ දිරාගිය රබර් ගහට නැගපු බව කිව්වේ ඉස්සෙල්ලම දොළ පාර තරණය කරලා කණ්ඩිය බඩගාගත්ත කොලුවෙක්.

අන්තිමේදි ගහට නගින්න ඉදිරිපත් වුනේ බණ්ඩාරේ.  ඇඳගෙන හිටපු සරමෙන්ම පිට පොට ගසාගත්ත බණ්ඩාරේ, වැල් වලින් වැහිලා තිබ්බ දිරපු රබර් ගහ දිගේ බඩ ගාන්න ගත්තේ වඳුරෙක් වගේ. බණ්ඩාරේ ගහේ මැදක් විතර නගිද්දි, ලඟ එන අනතුර ඉව වැ‍ටුන නිසාදෝ ගහෙන් පැනපු දඬු ලේනා, ආයෙම දුවන්න ගත්තා. දඬුලේන් මෙහෙයුමට ආ සියලුම දෙනා ආයෙම කෑ කෝ ගහගෙන දඬුලේනා පස්සේ දුවන්න ගත්තේ ගහේ හිටි බණ්ඩාරෙව අමතක  කරමින්.

දඬුලේනා ගැන එච්චර ආසාවක් නොතිබුන මම තවමත් හිටියේ අපේ වත්තේ. “මුන්ට පිස්සු”යි මටම කියාගත් මමත් ගේ දිහාට යන්න ආපහු හැරෙන කොටම මට ඇහුනේ – ඇත්තෙන්ම ඇහුනට වඩා දැණුනේ – දඬුලේන් දඩයක්කාරයින්ගේ කෑ කෝ ගැහිල්ලට යටින්, බර යමක් බිම පතිත වෙන හඬ.

ආපහු දොළ අයිනට දුවගෙන ගිය මට බණ්ඩාරෙ ගහේ නැති බව පෙනුනා.  “ඒ යකා ගහෙන් බැහැලා දුවන්න ඇති” යයි සිතූ මම ආපහු හැරුනත් ඒ එක්කම යම් කිසි දෙයක් වැරදී ඇති බව මට හිතුනට වඩා දැණුනා කිව්වොත් නිවැරදියි. ආපහු වතාවක් උඩහ වත්ත දිහා බැලූ මම, බණ්ඩාර නැගපු ගහ මුල සරුවට වැඩී තිබුණු පඳුරු ගාල ගැහෙන බව දැක්කා.

දෙවරක් නොසිතා ඇළට උඩින් පැන, කණ්ඩියේ සරුවට වැවී තිබූ බෝඹු ගස් වල එල්ලී උඩ වත්තට ගත් මම, අඩියට දෙකට පඳුරු ගාලට ලඟා වුනා.  ගහේ එහා පැත්තේ පඳුරු ගාල අස්සේ ලේ ගලමින් වැටී සිටි බණ්ඩාරේ, මරු විකල්ලෙන් ගැහෙමින් හිටියේ මීමැස්මොර රෝගියෙක් වගේ. මුළු පඳුරු ගාලම සර-සර ගාමින් ඒ එක්කම ගැහුණා. ගහෙන් ගැලවී ආ දිරාගිය අත්තක් බණ්ඩාරේ අසලම වැටී තිබුණා.

“බණ්ඩාරේ, බණ්ඩාරේ”

මම බණ්ඩාරේව හොලවමින් කතා කලත් බණ්ඩාරේ හිටියේ සිහි සුන්ව.

බණ්ඩාරෙගෙ ජීවිතේ මුළුමනින්ම රඳා පවතින්නේ මගේ අතේ බව මට මොහොතකින් වැටහු

තවත් මොහොතක් පමා නොවුන මම යටි ගිරියෙන් කෑ ගසමින් ඒ වන විට බොහෝ දුර දුවගොස් තිබුණු දඬුලේන් දඩයම් කණ්ඩායම කැ‍ඳෙව්වේ ඔවුන් පසු පස දුවමින්. මගේ කෑ ගැහිල්ලට මුලින්ම දඩයම මගහැරීම නිසා මුහුණු පුළු‍ටු කරගෙන පැමිණි සමහරු, පණ අදින බණ්ඩාරේ ගැන ඇසූ වහාම ඔහු වෙත දුව ගියා.

මොහොතකින් බණ්ඩාරෙව ඔසවාගෙන පාරට දුව ගිය පිරිස වාහනයකින් බණ්ඩාරෙව රෝහල වෙත ගෙන ගියා.

තව විනාඩි කීපයක් පමා වූවා නම් බණ්ඩාරෙගේ ජීවිතය බේරාගත නොහැකි බව වෛද්‍යවරු පවසා තිබුනා.

බණ්ඩාරෙගෙගේ ජීවිතය බේරා දීම ගැන අහල පහල කීප දෙනෙකුත්, ඒ වගේම බණ්ඩාරෙගේ පවුලේ අයත්, ඒ සියල්ලටම වඩා සති කීපයකින් ආපසු කඩේ වැඩට පැමිණි බණ්ඩාරත් මට ප්‍රසංසා කලා. කෙනෙකුගේ ජීවිතය බේරා දීමෙන් ලැබෙන ආත්ම තෘප්තිය මම සතුටින් භුක්ති වින්දා. ඉන් පසු බණ්ඩාරේ දකින හැම විටකදීම මේ මනුස්සයා අද ජීවත් වෙන්නේ මම නිසා නේද යන සිතුවිල්ල නිසා මම යටි සිතින් ආඩම්බර වුනා.

ඉන් පසු කඩේට ගිය හැම විටම “පොඩි මහත්තයට මොනවද ඕනේ?” යයි අසමින් මගේ අවශ්‍යතාවයට මුල් තැන දෙන්නත් බණ්ඩාරෙ කටයුතු කලා.

කාලය ගෙවිලා ගියා. කඩේ අයිතිය අතින් අතට ගියා. බණ්ඩාරෙත් යන්න ගියා.

දශක කීපෙකට පස්සේ මට බණ්ඩාරෙ හමුවුනේ අහම්බෙන්.
පරණ පුරුද්දටම මට මතක් වුනේ අර සිද්දිය. ආ ගිය තොරතුරු කතා කිරීමෙන් පසුව වෙන්වී දෙපැත්තට යාමට පෙර මේ ප්‍රශ්ණය මම ඇහුවේ නිකමට.

“බණ්ඩාරෙට මතකද අර දඬුලේනගේ සිද්ධිය?”

“මොන දඬු ලේනද?”

බණ්ඩාරේ ඇහුවේ නලල ‍රැළි කරමින්.

“ඇයි බණ්ඩාර අර ඔයා දඬුලේනා අල්ලන්න ගහට නැග්ගාම, ඔයා දිරපු අත්තක් කඩාගෙන ගහෙන් ඇදගෙන වැටිලා සිහි නැතුව ගියා…?

“මට හෝදිසියක් නෑනේ මහත්තයෝ.”

“ඇයි මනුස්සයෝ එතකොට මමනේ ඒක දැකලා කෑ ගහලා කට්ටිය ගෙන්න ගත්තේ.”

“හම්ම්, හම්ම්… එහෙම මොකක්දෝ එකක් වුනා වගේ මට යන්තම් මතකයි.”

“හරි හරි, මම යනවා බණ්ඩාරේ. පරක්කු වුනා.” කී මම බණ්ඩාරෙගෙන් සමුගත්තා.

තමන් අනුන්ට කල උදව්වක් සිතේ තියාගෙන සිටීමත්, ඇඟිල්ලෙන් ඇන ඇන ඒ බව මතක් කිරීම කැත වැඩක් වෙන්න පුලුවන්.

නමුත් මට දැනුනේ කියාගන්න  බැරි හිස් බවක්. කළ කිරීමක්.

සමහරවිට මම වැරදි ඇති.

ප.ලි: හරි හරි බං. පින්තූරේ ඉන්න එකා දඬුලේනෙක් නෙවෙයි තමයි. මම අනුන්ගේ ෆොටෝස් දාන්න කැමති නෑ.  මම දඬුලේනෙක්ගේ ෆෝටෝ එකක් අරගෙනත් නෑ. ඉතින් මේ තියෙන එක තමයි දැම්මේ.කොහොමද පරචිත්ත විචාරන ඥානය.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

ටැග: , , , , , ,

3 responses to “161. කළකිරීම

  1. සිඳු

    ඔක්තෝබර් 26, 2014 at 5:59 ප.ව.

    ගහෙන් වැ‍ටුන වෙලාවෙ ඔලුව වැදිලා අමතක වෙලා යන්න ඇති ඒ කොටස. ඕවට හිත නරක් කරගන්න හොඳ නෑ. උපේක්ෂටත් ඒ ටිකම මම ඊයෙ කියන්න හිතල ඒක අති සංවේදී සිදු වීමක් නිසා මොකුත් නොකිය හිටිය.
    අපි අපේ අතින් කෙරෙන්න ඕන දේවල් කරන එක මිසක්, කිසි කෙනෙක්ගෙන් දශමයක දෙයක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ. මේ ලෝකෙ යන විදියට, එහෙම බලාපොරොත්තු වුනොත් නිකම් අපේ හිත් රිදෙනව

     
  2. ලොකු පුතා

    ඔක්තෝබර් 27, 2014 at 1:16 ප.ව.

    උඹ ඇඟිල්ලෙන් ඇණ ඇණ මතක් කළා කිව්වට ඒ වගේ දෙයක් අහන එකේ වරදක් මම දකින්නේ නැහැ
    මොකද උඹට බණ්ඩාර ගැන තියෙන විශේෂම මතකය ඒක.
    එහෙම නැත්නම් උඹ උගෙන් “බණ්ඩාර ඒ දවස්වල මාර බඩු කිරිල්ලක් නේද කිරුවේ” කියල අහන්නද

    මතකයේ පරණ දේවල් රැඳිලා තියෙන එක අපි උඹලගේ වැරද්දක්ද කියල හිතෙනවා බං මේ වගේ සීන් උනාම.
    සමහර වෙලාවට පරණ දේවල් මතක් කරන්න ගියාම “මතක නැති වර්ගයේ උන් එක්ක මළ පනිනවත් එක්ක.

     
  3. Hiruni

    ඔක්තෝබර් 27, 2014 at 4:49 ප.ව.

    This is a great post!!!!!! (Y) You saved his life dude!!!!! Maybe so many other things happened to him after that that this incident wasn’t so significant!😀 Or else he must be a gold fish!😀😀😀 But what is important is you know what you did and that is a great deed!😀 Maybe after that he also remembered!😀😀😀😀😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: