RSS

160. මාරක අවිය / Lamb to the Slaughter

27 අගෝ.

මේ කතාවේ අන්තර්ගතය අනුව, කවුරුත් ආදරය කරන බව පෙනෙන ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් පරිවර්තනය කරන්න මම යොදාගන්න සැහැල්ලු, උද්‍යෝගිමත්, නූතන භාෂාව යොදාගන්න බෑ. කොහොම හරි මේ කතාව මට අමතක කරන්න බැරි වර්ගයේ කතාවක්. මම ලැබූ රසය ඔබ සමග බෙදාගන්නයි මේ උත්සාහය. නමුත් මේ කතාව ඔබ කලින් කියවලා තියෙනවානම් කරන්න දෙයක් නෑ.

මීට කලින් මම මේ හා සමාන බස් වහරකින් පරිවර්තනය කල කතා කීපයක් මේ.

ක්ලීන් ස්වීප් ඉග්නේෂස්

රියට අත ඇල්ලූ මගියා.

◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙ ◙

මාරක අවිය / Lamb to the Slaughter

ජනෙල් තිර රෙදි වසා, මේස විදුලි පහන් දෙකක්ද දල්වා තිබුනු නිසාදෝ කාමරයේ පැවතියේ උණුසුමකි. ඇය හිඳ උන් අසුනට පසු පසින් වූ කැබිනට්‍ටුව මත වීදුරු දෙකක් සහ මත්පැන් බෝතල කිහිපයක් විය. මේරි මැලනි පෙරමග බලමින් සිටියේ ඇගේ පෙම්බර සැමියා ‍රැකියාව නිමවා නිවසට පැමිණෙන තෙක්ය.

ඈ වරින්වර ඔරලෝසුව දෙස නෙත් හෙලුවේ නොඉවසිල්ල නිසා නොවේ. හුදෙක් පසුවන හැම මිනිත්තුවම ඔහු ගෙදර පැමිණෙන මොහොතට ලං වන බව සිතා සතු‍ටු වීමටය. ඇය මැහුමට හිස නැඹුරු කරගත්තේ සිතාගත් නොහැකි සැහැල්ලු සාමකාමී බවකිනි. සය මසක් සපිරි ඇගේ දරුගැබ නිසාමදෝ මෑතකදී පටන් ඇගේ පෙනුම වඩා තැන්පත් විය. ඇගේ මුව සහ දෑස් වඩාත් පිරිපුන්ව පෙණුනි.

බිත්ති ඔරලෝසුව පහේ කණිසමට මිනිත්තු දහයක් බව දක්වද්දී ඇය සවන් දොර විවෘත කලාය. බලාපොරොත්තු වූ පරිද්දෙන්ම මිනිත්තු කිහිපයකට පසු මෝටර් රථයේ ටයර මිදුලේ බොරලු මතින් ගමන්කරන චර-චර හඬද, රිය දොරක් වැසන හඬද, කවුලුව පසුකර යන පියවර හඬද, ඉනික්බිතිව යතුරක් දොරගුල තුල කරකැවෙන හඬද ඈ අසා සිටියාය. හුනස්නෙන් නැඟී සිටි ඈ, ඔහුව සිපාචාර කර පිළිගැනීමට පෙරමඟට ගියාය.

“හෙලෝ ඩාලිං,” ඈ ඔහු පිළිගනිමින් කීවාය.

“හෙලෝ,” ඔහු පිළිවදන් දුන්නේය.

ඔහු ඉවත් කල කබාය ඈ කබා රඳවනයේ එල්ලුවාය. ඉන් පසුව ඔහුට සැර වැඩියෙනුත්, තමාට සැර අඩුවෙනුත් මත්පැන් බඳුන් දෙකක් මිශ්‍ර කල ඈ, මැහුමත් සමග තම අසුනේ හිඳ ගත්තාය. උස මත්පැන් වීදුරුව අතින් ගෙන අසල වූ අනිත් පු‍ටුවේ අසුන් ගත් ඔහු වීදුරුව රවුමට කරකවද්දී, එහි වූ අයිස් කැට වීදුරුවේ ගැටෙමින් සංගීත ස්වරයක් නිපදවීය.

මේ නම් ඇයට දිනයේ වඩාත්ම ප්‍රියකල කාලය විය. පලමු මධු බඳුන හිස් කරන තෙක් ඔහු වැඩි කතා බහක් නොකරන බව අත්දැකීමෙන් දන්නා ඇය එතෙක් ඉවසීමෙන් සිටියේ පාලු නිවසේ හුදෙකලාව ගතකල පැය ගණනාවකට පසු හිමිවන ඔහුගේ ඇසුර රස විඳිමිනි. ඔහුගෙන් වහනය වූ උණුසුම ඇය ප්‍රිය කලාය. ඈ ඔහුගේ මුවේ හැඩයට ඉතා ප්‍රිය කලාය. සාමාන්‍යයෙන් ඔහු වෙහෙස බව කියමින් මැසිවිලි නොනැගීම ගැන ඈ ඊටත් වඩා ප්‍රිය කලාය.

“මහන්සිද ඩාලිං?”

“ඔව්,” සුසුමක් හෙලූ ඔහු කීය. “මට පණ යන්න අමාරුයි.”

ඔහු ඉන්පසු කලේ ඇයට නුහුරු දෙයකි. එතෙක්, අඩක්ම ඉතිරිවී තුබූ මධු බඳුන මුවට ඇල කල ඔහු, එක උගුරට බීම සියල්ල හිස් කලේ ඇය විමතියට පත් කරමිනි. ඉන් පසු අසුනෙන් නැඟිට නැවත බඳුන පුරවා ගැනීම පිණිස කැබිනට්‍ටුව දෙසට සෙමින් පියමැන්නේය.

“ඉන්න මම අරන් දෙන්නම්!”යයි හඬ ගෑ ඇය අසුනෙන් වහා නැගී සිටියාය.

“ඔහොම ඉඳගන්න,” ඔහු කීය.

ඔහු ආපසු පැමිණි විට, ඔහුගේ අලුත් මත්පැන් වඩිය ඉතා සැරට පිළියෙල කර ඇති බව ඇය දු‍ටුවාය. ඔහු එය සෙමෙන් තොල ගානු ඇය බලා සිටියාය.

“ඔච්චර කාලයක් පොලිසියේ වැඩ කරලත්, ඔයාට තවත් පාරවල් දිගේ ඇවිදින්න වෙලා තියෙන එක නම් පුදුම අසාධාරණයක්,” ඇය කීවාය.

ඔහු නිහඬව සිටියේය.

“ඩාලිං, අපි කතා කරගෙන හිටි විදියට රෑ කෑමට එලියට යන්න ඔයාට මහන්සි නම්, මම කන්න මොනවාහරි හදන්නම්. ‍ෆ්‍රීzසර් එකේ ඕනෙ තරම් දේවල් තියෙනවා හදන්න.”

ඇගේ දෑස් පිළිතුරක් අපේක්ෂාවෙන් ඔහු වෙත යොමු වී තිබිණ.

සිනහවක්, හිස් සැලීමක් හෝ මොනයම් හෝ ප්‍රතිචාරක්…?

නමුත් එවැන්නක් නොවීය.

“හරි, මම ගිහින් පානුයි චීසුයි ටිකක් හදන් එන්නම්.” ඈ අවසානයේදී කීවාය.

“මට ඕනේ නෑ.” ඔහු කීය.

ඇය අපහසුවෙන් අසුනේ ඒ මේ අත ඇඹරුනාය. “ඒ වුනාට ඔයා මොනවා හරි කන්නෙපායැ. මම ටක් ගාලා මොනවා හරි හදන්නම්. මම කැමතියිනේ ඔයාට කන්න හදලා දෙන්න. අපි බැටලු මස් කමු. ඒත් එපා නම් ඔයා කැමති ඕනේ දෙයක් කියන්න. ‍ෆ්‍රීzසර් එකේ ඕනේ ජාතියක් තියෙනවා.”

“අල්ලලා දාන්න කෑම,” ඔහු කීය.

“ඒ වුනාට ඩාලිං. ඔයා මොනවා හරි කන්න ඕනැනේ. ඉන්න මම කොහොමත් මොනව හරි හදනවා. ඊට පස්සේ ඔයාට කැමති දෙයක් කරන්න පුලුවන්නේ.”

අසුනෙන් නැගී සිටි ඈ, සිය මැහුම මේසය මතවූ විදුලි ලාම්පුව අසලින් තැබුවාය.

“ඔහොම වාඩි වෙන්න. විනාඩියකට ඔහොම වාඩිවෙන්න,”යි ඔහු පැවසූවිට ඇය තැති ගත්තාය.

“කියන එක අහලා ඔහොම වාඩිවෙන්න පොඩ්ඩක්.”

ඇය සෙමින් පු‍ටුව මතට පහත් වූවේ තැතිගත් විසල් දෑස් ඔහුගේ මුව දෙසින්මොහොතකට හෝ ඉවතට නොගෙනය. දෙවන මධු බඳුනත් හමාර කර තිබූ ඔහු හිස් වීදුරුව තුලට දෙනෙත් යොමාගෙන මඳ වේලාවක් සිටියේය.

“මේක අහගන්න. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.”

“මොකක්ද ඩාලිං? ඇයි මොකුත් කරදරයක්ද?”

හිස් බිමට නැඹුරු කරගත් ඔහු සෙල් රුවක් මෙන් නිසල විය.

“මම කියන්න යන දේ ඔයාට ලොකූ කම්පනයක් වෙන්න පුලුවන්,” ඔහු කතාව ඇරඹීය. ” මේක ඔයාට කියනවද නැද්ද කියලා මම හුඟක් හිතුවා. පස්සේ මම තීරණය කලා, දැම්මම මේක බේරුමක් කරගන්න එක තමයි හොඳම දේ කියලා.”

මෙසේ ඇරඹුණු ඒ බියකරු ආරංචිය කියා දැමීමට ඔහු වැඩි වේලාවක් ගත නොකලේය. වැඩිම වුනොත් මිනිත්තු තුනක් හෝ හතරක් යන්නට ඇත. ඈ ඒ මුළු කාලය තුලම විශ්මයෙන් ගල් ගැසී බියපත් දෙනෙතින් ඔහු දෙස බලා සිටියාය.

“ඔන්න ඕකයි තත්වය” කතාව අවසානයේදී ඔහු කීය. “මම දන්නවා මේක ඔයාට මේවගේ නරක ආරංචියක් කියන්න සුදුසු වෙලාවක් නොවන බව. නමුත් වෙන විකල්පයක් නෑ මේකට. මම ඔයාට සල්ලි දෙන්නම්. ඒ වගේම ඔයාට අනාථ වෙන්න දෙන්නෙත් නෑ. නමුත් මේක ලොකු ප්‍රශ්ණයක්, අවුලක් වෙනකල් දික් ගස්සා ගන්න මම කැමති නෑ. මොකද ඒක මගේ රස්සාවටත් එච්චර හොඳ නෑ.”

ඇගේ පළමු සිතුවිල්ල වූයේ මේ සියල්ල විශ්වාස නොකර සිටියොත් සෑම දෙයක්ම යථා තත්වයට පත්වනු ඇති බවයි. මේ සියල්ල සිතලුවක් පමණයක් බව සිතා සිත හදා ගැනීමට ඈ වෑයම් කලාය. ඔහු පැවසූ කිසිවක් තමාට නෑසුනු බව හඟවා නිහඬව සිටියොත් මේ බියකරු සිහිනයෙන් කොයි මොහොතක හෝ අවදිවනු ඇතැයි ඈ විශ්වාස කලාය.

“මම කන්න මොනවා හරි හදන්නම්,” කෙඳිරූ ඇය අසුනෙන් නැගී සිට මුළුතැන්ගෙය දෙසට ඇවිදගෙන යද්දී, දෙපා බිම ගැටෙන බව ඇයට නොදැනිනි. හාත්පස පැතිරී ඇති මද අඳුර හැර වෙන කිසිවක් ඈයට නොපෙනුනි. ඈ හැම දෙයක්ම කලේ යාන්ත්‍රිකවය. පියගැටපෙල බැස මුළුතැන්ගෙට පිවිසි ඇය ‍අධි ශීතකරණය හැර අතට හසුවූ පළමු දෙය ඔසවා ඉවතට ගත්තාය. එය කඩදාසියකින් ඔතා ඇති බව එදෙස විමසිල්ලෙන් බැලූ ඇය දු‍ටුවාය. කඩදාසිය ඉවත් කල ඈ එය අධි ශීතකරණය වී ගල් ගැසී තිබූ බැටළු ගාතයක් බව දු‍ටුවාය.

හරි. රෑට බැටළු මස්. බැටළු ගාතයේ සිහින් පැත්ත දෑතින්ම අල්ලාගත් ඈ පියගැටපෙල නැග විසිත්ත කාමරයට ඇතුල් වූවාය. ඔහු ඇයට පි‍ටුපා ජනේලයෙන් අසල සිටගෙන පිටත බලාගෙන කල්පනාවේ නිමග්නව සිටිනු දු‍ටු මේරි මොහොතක් නතර වූවාය.

“මං ඔයාට කිව්වනේ.” ඔහු කීවේ ජනේලයෙන් ඉවත බලාගත් වනමය. “මට රෑ කෑම හදන්න එපා. මම තව ටිකකින් එලියට යනවා.”

ඔහු පසුපසින් ලඟාවූ මේරි මැලනි කිසිදු පැකිලීමකින් තොරව අධිශීතකරනය වී යකඩයක් මෙන් දැඩි වී තිබූ විශාල බැටළු ගාතය දෝත බදා හිස වට කරකවා හැකි වෙර යොදා ඔහුගේ හිස පි‍ටුපසට මරු පහරක් එල්ලකලාය.

පියවරක් පසු පසට ගත් ඈ, ඔහු කපාහෙළූ ගසක් සේ බිම ඇද වැටෙන තෙක් බලා සිටියත් පුදුමයකට මෙන් බුමුතුරුණ මතට ඇද වැටීමට පෙර අවම වශයෙන් තප්පර හතරක් හෝ හෝ පහක් හුන් ඉරියව්වෙන්ම නොවැටී සිටගෙන සිටියේය.

ඔහුගේ සිරුර බිම ඇද වැටීමෙන් සහ ඒ සමගම අසල වූ කුඩා ටීපෝව පෙරලීමෙන් ඇතිවූ දැඩි කම්පනය ඇගේ ගතට සීතලක්ද සිතට විමතියක්ද ඈතිකරමින් ඇය පියවි සිහියට ගෙන ඒමට සමත් විය. තවමත් බැටලු ගාතය කිටි කිටියේ මිරිකාගෙන අල්ලා සිටි ඈ සිරුර දෙස මඳ වේලාවක් බලා සිටියාය.

“හරි” ඈ තමාටම කියාගත්තාය.”මම එයාව මැරුවා”

එක්වරම, අනපේක්ෂිත අයුරින්, ඇගේ මනස ඉතා නිරවුල් වී වේගයෙන් ක්‍රියා කිරීමට පටන් ගත්තේය. රහස් පරීක්ෂකයෙකුගේ බිරිඳක් හැටියට, තමා කල අපරාධයට ලැබිය හැකි දඬුවම කුමක්දැයි ඇය දැන සිටියාය. නමුත් ඇය ඉන් නොසැලුනාය. ඇත්තෙන්ම ඇයට දැනුනේ සහනයකි.

ඒ සමගම ඇයට නූපන් දරුවා සිහිවිය. නූපන් දරුවකු කුස දරාගෙන සිටින මිනීමරුවකුට දෙන දඬුවම කුමක්ද? දරුවා සහ මව දෙදෙනාටම මරණ දණ්ඩනය දෙනවාද? නැතිනම් දරුවා ලැබෙන තෙක් ඔවුන් කල් දෙනවාද? මේරි මැලනි එයට පිළිතුර නොදැන සිටි අතර, අවදානමක් ගැනීමට පසුබට වූවාය.

මස් ගාතය ‍රැගෙන මුළුතැන්ගෙයට ගිය ඇය එය බඳුනක තබා, විදුලි උඳුන ක්‍රියාත්මක කර එතුලට දමා උඳුන් දොර වැසුවාය. අනතුරුව දෑත් සෝදාගත් ඈ උඩුමහලට දිවගොස් කැඩපත ඉදිරියේ වාඩිවී මුහුණ හැඩ ගැන්වීමට පටන් ගත්තාය.

ඇය කැඩපතට සිනා සී බැලුවත්. ඇගේ සිනහව දියාරු එකක් විය. ඇය නැවත උත්සාහ කලාය. “හලෝ සෑම්,” ඈ වඩා ප්‍රබෝධමත් අයුරින් හඬනඟා කීවද කටහඬද ඇසුනේ අමුතුවටය. “මට අර්තාපල් ටිකක් ගන්න ඕනේ, සෑම්. තව බෝංචි ඇට ටින් එකක් ඕනේ.” හා, ඒ ගමන කලින්ට වඩා හොඳයි. සිනහවද, කටහඬද පෙරට වඩා සාර්ථකය. ඇය තව කිහිප වතාවක් කැඩපත ඉදිරිපිට පුහුණුවීමෙන් පසු පියගැටපෙල පෙල දිගේ පහලට දිව ගියාය. කබාය ඇඟලා ගත් ඈ, පි‍ටුපස දොරෙන් පිටවී ගෙවත්ත හරහා වීදියට පිවිසුනාය.

තවමත් සවස හයට නොමැති වුවත් නිවෙස අසල වෙළඳසැලේ විදුලිපහන් දල්වා තිබුනි. “හෙලෝ සෑම්.” ඇය ප්‍රබෝධමත් හඬකින් සිනහමුසුව, කඩ හිමියා ඇමතුවාය.

“සුභ සැන්දෑවක් මිසිස් මැලනි. ඉතින් කොහොමද?”

“මට අර්තාපල් ටිකක් ගන්න ඕනේ, සෑම්. තව බෝංචි ඇට ටින් එකක් ඕනේ. පැට්‍රික්ට මහන්සිලු කෑමට එලියට යන්න. අපි සාමාන්‍යයෙන් අඟහරුවාදට කෑමට එලියට යන නිසා, අද ගෙදර උයන්න මොකුත් එළවලුවක් ගේ හරියෙ නෑ.”

“එහෙනම් මස් මොකවත් ඕනෙද, මිසිස් මැලනි?” සෑම් විමසීය.

“එපා, සෑම්. මස් තියෙනවා ගෙදර. ෂෝක් බැටළු ගාතයක්ම තියෙනවා ‍ෆ්‍රීzසර් එකේ.”

“මේ අර්තාපල් හොඳයිද මිසිස් මැලනි?”

“ආ, ඔව්. ඒවා හොඳයි. රාත්තල් දෙකක් දෙන්නකෝ.”

“තව මොකුත් ඕනෙද?” හිස හරවා ඈ දෙස බැලූ වෙළඳසැල් හිමියා ඇසීය. “එතකොට අතුරුපසට? අතුරුපසට මොනවද එයාට දෙන්නේ? ෂෝක් කේක් කෑල්ලක් දුන්නොත් මොකද? මිස්ට මැලනි කේක් වලට කැමතියි නේ?”

“අන්න ෂෝක්” ඈ කීවාය. “එයා හරි ආසයි කේක් වලට.”

අවශ්‍ය කළමනා සියල්ල මිලට ගත් ඈ මුදල් ගෙවා වෙළඳසැල් හිමියාට ඇයගේ උණුසුම්ම සිනහවකින් සංග්‍රහ කලාය. “බොහොම ස්තුතියි සෑම්. සුභ රාත්‍රියක්.”

‘ඔන්න දැන් මම ගෙදර යනවා. මම කෑම ටික හදලා දෙනකල් පැට්‍රික් බලාගෙන ඉන්නේ බඩගින්නේ,’ නිවස දෙසට වේගයෙන් ගමන් කරන ගමන් ඈ තමාටම මුමුණාගත්තාය. ‘කෑම රසට හදන්න ඕනේ පැට්‍රික් මහන්සි වෙලා බඩගින්නේ ඉන්න නිසා. දැන් මම ගෙදර ගියාම මොනවත් අසාමාන්‍ය දෙයක්, නැතිනම් බියකරු දෙයක් දැක්කොත් ඒකට කම්පනයෙන් ශෝකයෙන් ප්‍රතිචාර දක්වන්න ඕනේ. ඇත්තෙන්ම එහෙම අසාමාන්‍ය දෙයක් නැතිනම් බියකරු දෙයක් සිදුවෙලා තියෙනවටම නෙවෙයි. මම මේ තවත් අඟහරුවාදා සැන්දෑවක බඩගිනිකාර සැමියට කෑම පිළියෙල කරලා දෙන්න එළවළු ටිකක් අරන් ගෙදර යන ගමන්.’

‘අන්න එහෙමයි කෙරෙන්න ඕනේ,’ ඈ තමාටම කියාගත්තාය. ‘හැමදෙයක්ම සාමාන්‍ය විදියට. ස්වභාවික විදියට. ආයේ අමුතුවෙන් රඟපෑමක් කරන්න අවශ්‍ය වෙන්නේ නැති විදියට.’

ඇය පි‍ටුපස දොර හැර ගෙට ඇතුලුවන විට සිටියේ ගීයක් මුමුණමිනි.

“පැට්‍රී…ක්!” ඈ හඬ ගෑවාය.. “කොහොමද ඩාලිං?”

බඩු මලු මේසය මත තැබූ ඈ විසිත්ත කාමරයට ගියාය. බිම වැටී සිටි ඔහු දු‍ටු ඈ සැබවින්ම කම්පනයට පත් වූවාය. ඔහු වෙනුවෙන් ඈ තුල වූ ආදරය දෙගොඩ තලා ගියේය. වහා ඔහු වෙතට දිව ගිය ඈ ඔහු අසලින් දණ ගසාගෙන මහ හඬින් හඬා වැ‍ටුනාය. එය දුශ්කර දෙයක් නොවූ අතර අමුතු රඟපෑමක් අවශ්‍ය නොවීය.

මඳ වේලාවකට පසු නැගී සිටි ඇය දුරකථනය වෙත ගියාය. පොලිස් ස්ථානයේ අංකය ඈ මතකයෙන් දැන සිටියාය. අනෙත් කෙළවරින් පොලිස් නිළධාරියෙකු පිළිතුරු දුන් විට ඈ හඬා වැ‍ටුනාය.

“ඉක්මනින් එන්න. අනේ ඉක්මනින් එන්න. මගේ පැට්‍රික් මැරිලා.”

“කවුද ඔය කතා කරන්නේ?”

“මිසිස් මැලනි. මිසිස් පැට්‍රික් මැලනි.”

“මොනවා? ඔයා කියන්නේ මේ අපේ පැට්‍රික් මැරුණා කියලද?”

“අනේ, මට පේන්නේ ඒ වගේ,” ඈ නැවතත් හැඬුම අලුත් කලාය. “එයා සාලේ වැටිලා ඉන්නවා. මම හිතන්නේ එයා මැරිලා කියලා.”

“ඉන්න මිසිස් මැලනි. අපි මේ දැන් එනවා.”

මෝටර් රථය පැමිණීමට වැඩි වේලාවක් ගත නොවීය. ඈ විවෘත කල දොරින් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු ගෙතුලට පැමිණියහ.

ඈ ඔවුන් දෙදෙනාම හොඳින් දැන සිටියාය. ඇත්තෙන්ම ඈ පොලිස් ස්ථානයේ සේවය කල සෑම දෙනාම පාහේ දැන සිටියාය. ජැක් නූනන්ගේ දෑත් අතරට මැදිවූ ඈ හඬා වැ‍ටුනාය. ඔහු ඇයව ඉතා මෘදු ලෙස වත්තම් කරගෙන ගොස් පු‍ටුවක් වාඩි කරවූවේය.

“එයා මැරිලද?” ඈ ඉකිබිඳුම් අතරින් ඇසුවාය.

“ඔව්. මොකද වුනේ?”

මඳ වේලාවකින්, ඈ වෙළඳසැලට ගොස් ආපසු පැමිණි විට ඔහු බිම වැටී සිටි අයුරු විස්තර කලාය. ඇය හඬමින් කතාව කියන අතරතුර, මළ සිරුරේ හිස පසුපස වියළි ලේ ඇතිබව සොයාගත් නූනන් වහා දුරකථනය වෙත ගමන් කලේය.

මඳ වේලාවකින් වෛද්‍ය වරයෙක්, රහස් පරීක්ෂකවරු දෙදෙනෙක්, පොලිස් ඡායාරූප ශිල්පියෙක්, ඇඟිලි සලකුණු ලබා ගැනීමට අයෙක් යනාදී වශයෙන් තවත් නිළධාරීන් ගණනාවක් නිවසට ලඟාවූහ. රහස් පරීක්ෂක වරු ඇගෙන් දිගින් දිගටම, නමුත් ඉතා කාරුණිකව, ප්‍රශ්ණ කලහ.

මස් ගාතය උදුන තුලට දැමූ ආකාරය විස්තර කරමින් සිටි ඈ එක්වරම. “ඒක තවම අවන් එකේ,”යි කීවාය. ඉන් පසු ඇය එළවළු ගෙන ඒමට වෙළඳසැලට ගොස් ආපසු පැමිණෙන විට ඔහු බිම වැටී සිටි අයුරු ඇය නැවත විස්තර කලාය.

රහස් පරීක්ෂකවරු දෙදෙන ඇයට විශේෂ කරුණාවක් දැක්වූහ. ඔවුහු නිවස පරීක්ෂා කර බැලූහ. ජැක් නූනන් විශේෂ මෘදු කට හඬකින් ඇය අමතමින් ඇගේ සැමියා හිස පසු පසට වැදුනු දරුණු පහරකින් මරණයට පත්වී ඇති බවත්, දැන් ඔවුන් මරණය සිදුකල අවිය සොයමින් සිටින බවත් පැවසුවේය. සමහර විට මිනීමරුවා එය රැගෙන ගියා වියහැක. එසේ නැතිනම් සමහරවිට ඔහු එය විසි කර දැමුවා හෝ සැඟවූවා විය හැක.

“අර කතාවක් තියෙනවනේ,” ජැක් කීය. “ආයුදේ හොයා ගත්තොත් මිනීමරුවා හොයා ගත්තා වගේ තමයි.”

පරීක්ෂාව දිගටම කෙරීගෙන ගියේය. ක්‍රමයෙන් රෑ බෝවී වේලාව රාත්‍රී නවයට ආසන්න විය. කාමර පරීක්ෂා කර සිටි නිළධාරීන් වෙහෙසට පත්වී ඇති බව පෙණුනි.

“ජැක්,” ඇය කීවාය. “මොනවා හරි බොමුද? දැන් හොඳටම මහන්සි ඇතිනේ.”

“ම්ම්ම්ම්,” ජැක් අදි මදි කලේය. “පොලිස් නීති වලට අනුව නම් ඒක වැරදි වැඩක්. නමුත් ඔයා අපේ යාලුවෙක් නිසා…”

මත් පැන් බඳුන් අතින් ගත් නිළධාරීන් සිට ගෙනම සිටියහ. ඔවුහු ශෝකභරිතව සිටි ඈ කෙරෙහි කෙසේ පැවතිය යුතුදැයි සිතාගත් නොහැකි නිසාදෝ අපහසුවෙන් සිටි බව පෙණුනි. ඇගේ දුක තුනී කිරීමට විවිධ දේ කීමට ඔවුහු උත්සාහ කලහ. මේ අතර, අරමුණකින් තොරව මුලුතැන්ගෙය දෙසට පියමන් කල ජැක් නූනන්, ඉක්මන් ගමනින් ආපසු පැමිණියේය.

“මිසිස් මැලනි. ඔයා දන්නවද අවන් එක තවම ප්ලග් කරපු ගමන් කියලා. ඔයා දාපු මස් තවම ඒක ඇතුලේ.”

“අනේ, ඔව් නේන්නම්. මම ගිහින් ඒක ඕෆ් කරලා එන්නම්.”

ඈ ආපසු පැමිණියේ කඳුළු පිරි දෑසිනි. “ඔයාලා මට උදව්වක් කරන්න. දැන් මෙතන ‍රැස් වෙලා, එයාගේ මිනීමරුවා හොයන්න මහන්සි වෙන ඔයාල ඔක්කොම පැට්‍රික්ගේ යාලුවෝ. දැන් කෑම වෙලාවත් පහුවෙලා හුඟක් වෙලා නිසා, ඔයාලා ඔක්කොම බඩගින්නෙනෙ ඉන්නේ. පැට්‍රික් හිටියානම්, මම ඔයාලට බඩගින්නේ යන්න දුන්නාට මට කොහෙත්ම සමාවක් දෙන එකක් නෑ. ඇයි කට්ටියම එකතුවෙලා අර යස අගේට රෝස්ට් වෙලා තියෙන බැටළු මස් එක කන්නේ නැත්තේ?”

“පිස්සුද? ඕනේ නෑ” නූනන් වහා කීය.

“අනේ එහෙම කියන්නෙපා,” ඈ පෙ‍රැත්ත කලාය. “ඇත්තෙන්ම මට නම් කෑමක් කටට ගන්න පිරියක් නෑ. නමුත් ඔයාලා ඒ කෑම ටික කන එක මට කරන උදව්වක්. ඊට පස්සේ ආයේ වැඩ කරන්න පුලුවන්නේ.”

මදක් පසු බෑ කුසගින්නෙන් පෙළෙමින් සිටි පිරිස අවසානයේදී මුළුතැන්ගේ වෙත ගොස් බැටළු මස් බෙදා ගත්හ. හුන් තැනම නොසෙල්වී වාඩිවී හුන් මේරි, විවෘත දොර තුලින් ඇසෙන සංවාදයට සවන් යොමාගෙන සිටියාය.

කෑම වලින් පුරවාගෙන සිටි කටවල් වලින් එකිනෙකා හා කලකතා බහ තරමක් නොපැහැදිලි විය.

” තව කන්න, චාලී”

“එපා, මට ඇති. මම හිතන්නේ අපි ඕක ඉවර කරන එක හරි නෑ.”

“එයා කිව්වේ අපිට මේක ඉවර කරන්නෙයි කියලා.”

“ඩොක්ට කියන විදියට, මිනීමරුවා පැට්‍රික්ගේ ඔලුවට හෙන තඩි පොල්ලකින් දීලා ඇදලා තියෙන්නේ . ඔලුකට්ට කෑලි කෑලි වෙලාලු”

“ඒ නිසාමයි ආයුදේ හොයා ගන්න ලේසි වෙන්න ඕනේ.”

“මං කියන්නෙත් ඒකමයි.”

“මිනීමරුවට ඔච්චර ලොකු ආයුධයක් වන වන පාරේ යන්න බෑ.”

“මම නම් හිතන්නෙම ඕක මේ ගෙයි කොහේ හරි තියෙන්න ඕනේ.”

“ඇත්තෙන්ම අපේ නහය යටමයි ඕක ඇත්තෙ. මොකද කියන්නේ ජැක්?”

යාබද කාමරයේ සිටි මේරි මැලනි සිනහව පාලනය කරගත්තේ ඉතා අපහසුවෙනි.

නිමි.

Roald Dahl විසින් රචිත Lamb to the Slaughter කෙටි කතාවේ සිංහල අනුවාදයකි

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 
ප්‍රතිචාර 10

Posted by මත අගෝස්තු 27, 2014 in පරිවර්තන, Roald Dahl

 

ටැග: ,

10 responses to “160. මාරක අවිය / Lamb to the Slaughter

  1. ක්සැන්ඩර්

    අගෝස්තු 27, 2014 at 2:20 ප.ව.

    මේක මම දෙපාරක් කියෙව්වා ආයේ ආයෙම.. හරියට ක්ලීන් ස්වීප් ඉග්නේෂස් වගේ කතාවක් මේක.. අපුරුයි ඩුඩ්..

     
  2. hiruni

    අගෝස්තු 27, 2014 at 5:01 ප.ව.

    හරිම ලස්සනයි ඩුඩ්! 😀 දැන් ඉතින් ආයුදේ කෑවට පස්සෙ කොහොමද මිනීමරුව හොයන්නෙ? හහ් හහ් හහ් 😀

    හරිම ලස්සනට එක හුස්මට කියවන් යන්න පුලුවන් වෙන විදිහට ලියල තියෙනව! 😀

     
  3. wicharaka විචාරක

    අගෝස්තු 27, 2014 at 10:12 ප.ව.

    බොහොම ලස්සන කතාවක්. හැබැයි පුතෝ ගෑණු මෙව්වා අත්හදා බලන්න ගියොත් පිරිමි ගොඩකට ‘අබ සරණයි’ 😀

    මේ හා සමාන කෙටිකතාවක් තියනවා (රුසියන්ද නැත්නම් සමර්සෙට් මෝම් වගේ කෙනෙකුගේද? නැත්නම් ඕ හෙන්රි?) මිනිහෙක් තව මිනිහෙකුව මරලා ගෙදර ලෑලි පොළොවේ ලැල්ලක් ගලවලා වලලනවා. පොලීසියෙන් ආවම ඔහු පොලීසියත් එක්ක කමින් බොමින් හිටියත් හිතේ චකිතය ඉහල යනවා. අන්තිමට ඔහු වාඩිවී හිටිය පුටුව පොළොවේ ගහලා කියනවා ඔව් යකෝ මම ඌව මරුවා. ගලවපියව් මේ ලෑල්ල මෙන්න මෙතන ඌ ඉන්නවා කියලා.

     
    • henryblogwalker

      අගෝස්තු 30, 2014 at 9:45 පෙ.ව.

      පිරිමි හුඟකට චරිත සහතිකේකුත් දීලා තියෙන්නේ විචාරක.

      ඔය කතාව ගැන තව තොරතුරු තිබුණා විචාරක මගේ ඩෙනිමේ දාපු කමෙන්ට් එක යට.

       
  4. raigam

    සැප්තැම්බර් 8, 2014 at 7:26 පෙ.ව.

    මෙය මචං මා කියවා තියන කෙටි කතාවක්. උඹ අසන්නන්ගේ ඉල්ලීම් සලකා බලනවද? රෝල් ඩාල්ගේ කෙටි කතාවලින් තව එකක්. නම එවන්නම්, ඉල්ලීම් සලකා බලනවා නම්. 🙂

     
  5. Red Riding Hood

    සැප්තැම්බර් 15, 2014 at 12:27 පෙ.ව.

    නියමයි.. මන් මේ කතාවම චන්දන මෙන්ඩිස් මහතා පරිවර්තනය කරපු පොතක කියවලා තියෙනවා.. මේ කතාවට මාර ආසයි..

     
  6. ලොකු පුතා

    සැප්තැම්බර් 21, 2014 at 9:54 පෙ.ව.

    මගේ ගාවත් රෝල් ඩාල්ගේ කතා වල පරිවර්ථන ඔක්කොම වගේ තියෙනවා,
    මේ කතාවත් ඇතුලත්ව
    මේක වටින්නේ අයියේ උඹ විසින්ම පරිවර්ථන කාර්යය කරපු නිසා
    එළ….

     
  7. Buddhika Anuradha

    ඔක්තෝබර් 18, 2014 at 1:01 පෙ.ව.

    ප්‍රිය ඇඩ්මින් වෙත,

    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/

    මිට හිතාදර
    ඇඩ්මින් – විකසිත සින්ඩිය. (info@vweb.lk)

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න