RSS

36. හේයි ජූඩ්

08 දෙසැ.

දෙමව්පියො වගේම හුඟක් ගුරුවරුත් තමන් උගන්නපු ළමයි සමාජයේ උසස් තැන් වලට පත් වෙනවට ආසයි. නමුත් හැම තිස්සෙම ඒක එහෙම වෙන්නෙ නැහැනෙ. විශේෂයෙන්ම මම කොළඹදි වැඩ කරපු කොට අදින ඉස්කෝලෙ. ඒකට ඉස්කෝලෙ පිහිටපු පරිසරයත් බලපානවා මම හිතන්න. හැමෝම නැතිවුනත් ඒකට ආපු සමහර ළමයි, අපි කුඩු කාරයො, බෝම්බ කාරයො, පාතාලයො කියලා හඳුන්වන සමාජ ස්ථරයෙ ජීවත් වුනු වතු වලින් ආපු ළමයි. මුළදිම මේ ඉස්කෝලෙ ගැන මගෙ තිබ්බ හැඟීම කෙසේ වෙතත්, අවුරුදු දහයක් මේකෙ උගන්නන කොට මම සහ මගෙ ආකල්පත් සෑහෙන්න වෙනස් වුනා. මේ ළමයිනුත් මාත් අතර ඇති වුනු බැඳීම, බොහෝ විට කොළඹ උසස් යයි සම්මත ඉස්කෝලවල වැඩ කරපු මගෙම සගයොයි ඒ අයගෙ ගෝලයොයි අතර ඇතිවෙච්ච බැඳීමට වඩා හුඟක් සමීපයි, අව්‍යාජයි.

මේ ළමයින්ගෙන් සමහරු පේව්මන්ට් එකේ රෙදි විකිණුවා. සමහරු මැනිං මාකට් එකේ එළවලු විකිණුවා. මම එක කාලයක් මේන් ස්ට්‍රීට් එකේ පයින් යන්නෙ නෑ. මොකද මගෙ ගෝලයෙක් ඉන්න නිසා රෙදි වෙළඳාම් කරකර. වැරදිලාවත් මම ගියොත් මේකා මාව දැක්ක ගමන් අතින් අල්ලා ගන්නවා. ඊට පස්සෙ රෙදි ගොඩ ළඟ ඉන්න තව වෙළෙන්දෙකුට බලා ගන්න භාර දීලා, මාවත් ඇදගෙන යනවා ලඟම තියෙන කූල් ස්පොට් එකට. ඊට පස්සෙ නොයෙකුත් කෑම ජාති ඕඩර් කරලා මට කන්න පෙ‍රැත්ත කරනවා. නොකෑවොත් තරහා වෙනවා. හැබැයි එයා කන්නෙ නෑ. ඒ මොකද සෑහෙන බිලක් එන නිසා. ඉතින් මම පුදුම අපහසුතාවයකට මුහුණ දෙනවා. ඔන්න ඒ ළමයා ගුරු ගෞරවය පෙන්නන හැටි.

මම ඉස්කෝලෙට ගියේ කිලෝමීටර් තිහක් විතර දුර ඉඳලා. මගෙ එක ගෝලයෙක් හිටියා ජූඩ් කියලා. ජූඩ් හිටියෙත් ඔය පාරෙමයි නමුත් කොළඹට කිලෝමීටර් 15. විතර දුරකින්. ජූඩ් වැඩකලේ මැනිං මාකට් එකේ. ජූඩ් පාන්දරම බස් එකේ කොළඹ ගිහින් අන්තිම බස් එකේ තමයි ගෙදර යන්නෙ. දවසක් උදේ නවයට විතර මම කොළඹ යන්න බස් එකකට නැග්ගා අපේ ගේ ගාවින්. සීට් එකකුත් තිබ්බ නිසා ඉඳත් ගත්තා. මට ඇහුනා පිටිපස්සෙ සීට් එකේ හිටපු කවුරු හරි “ගුඩ් මෝනිං, සර් ” කියලා කියනවා.

මම ඔලුව හරවලා බැලුවම මෙන්න ඉන්නවා ජූඩ්!

“ගුඩ් මෝනිං. ජූඩ් කොහේද මේ ගියේ?” මම ඇහුවා..

“ඒක දිග කතාවක් සර්.” ජූඩ් කිව්වා.

“මේ බස් එක කොට කොට කොළඹට යන්න පැයක් හමාරක් ගත වෙනවනෙ. ඉතිං කියන්න බලන්න ජූඩ්.”

“සර් විශ්වාස කරයිද දන්නෙ නෑ.”

“ආඩම්බර නැතුව කියපං, මිනිහෝ.”

ඔන්න ජූඩ්ගෙ කතාව.

“මම සර් ඊයෙ රෑ ලාස්ට් බස් එකට නැග්ගා පිටකො‍ටුවෙන්. වෙනදට ෆුට්බෝඩ් එකේ එල්ලිල යන්න වුනාට ඊයෙ ඉඩ තිබ්බා. ඉතිං මාත් සීට් එකක් අල්ලාග්න පොඩි නින්දක් ගැහුවා. ඇයි සර් මම උදේ පාන්දරනෙ එන්නෙත්.”

“ඉතිං ඉතිං?”

“ඉතිං සර් ඇහැරෙන කොට බස් එක පූගොඩ. කොන්දා තමයි කතා කලෙත්”

“මටත් ඔය වැඩේ වෙලා තියෙනවා ජූඩ්.”

“මං කවදාවත් පූගොඩට ගිහිල්ලත් නැ සර්. ඉතිං ඇරලා තිබ්බ නයිට් කඩේකින් කාලා, සිගරට් දෙක තුනකුත් අරගෙන, එකක් පත්තු කරගෙන ගියා බස් ස්ටෑන්ඩ් එකට, උදේ හතරයි කාල අල්ලන්න. හිටගෙන පොඩ්ඩ පොඩ්ඩ නිදත් ගත්තා.”

“මාර වැඩනෙ ජූඩ්ටත් වෙන්නෙ. ඉතිං ඊට පස්සෙ.”

“ඉතිං හතරයි කාලෙ නැගලා ටිකට් එකකුත් අරගෙන ටික දුරක් යනකොට ආයෙත් නින්ද ගියානෙ. ඇහැරිලා බලනකොට පිටකො‍ටුවෙ.”

” ඉතින් ජූඩ්ට වැඩට යන්න තිබ්බනෙ.”

“අද ඉරිදනෙ සර්.”

“ඉතිං ආයෙම නැග්ගා පූගොඩ බස් එකකට. නැගලා කොන්දටත් කිව්වා අහවල් තැන මං බහිනවා. ඒ වගේම කාපු කට්ට හන්දා ආයෙ නම් නිදාගන්නෙ නෑයි කියලා උන්නෙ. සර් විශ්වාස කරන්න මේ යන්තම් පොඩක් ඇහැ පියවුනා විතරයි. ඇහැ ඇරලා බලනකොට ආයෙම පූගොඩ. කොන්දටත් අමතක වෙලා. ‘අනේ, සොරි මල්ලි’ කිව්වා.”
මම මේ පාර නම් හිනාව නවත්තා ගත්තෙ අමාරුවෙන්.

“ජූඩ් උඹටම වෙන දේවල් බං මේ.”

“ඊට පස්සෙ සර් මේ බස් එකේ නැගලා ගෙදර යන ගමන්. මට වැරදිලාවත් ආයෙ නින්ද ගියොත් සර් පොඩ්ඩක් කතාකරන්න ඈ.”

මේ කතාව අහලා මාත් හිනාවෙලා ආයෙත් ඉස්සර බලාගෙන යනවා. බස් එක ජූඩ්ලගෙ හෝල්ට් එක ලඟට එනකොට මම නිකං හැරිලා බැලුවා. අනේ මූ හොඳටම නිදි ආයෙත්.

“ඒයි ජූඩ් නැගිටපං නැගිටපං” කියලා මම කිව්වම මූ ගැස්සිලා ඇහැරිලා දඩි බිඩි ගාල නැගිටලා,
“හරි, තැන්ක් යූ සර්” කියලා බස් එකෙන් බැස්සා.

මේ කතාවෙ හාස්‍ය රසය වගේම මගෙ සමහර ගෝලයන්ගෙ ජීවිත ඔහොමයි. උදේ පාන්දරම බස් එකේ ඇවිත් අන්තිම බස් එකේ ගෙදර යන ජූඩ්ලා, සතියෙ අග වෙනකොට නිදි එකවුන්ට් එකට සෑහෙන ණයයි. ඉතිං නින්ද යන එක අහන්නත් දෙයක්ද?

 

ටැග: ,

20 responses to “36. හේයි ජූඩ්

  1. Weni

    දෙසැම්බර් 8, 2011 at 7:22 පෙ.ව.

    හොඳ වෙලාවට ගුරුවරයෙක් බස් එකේ හිටියෙ නැත්නම් ඔය ලූප් එක තව දවස් 2-3ක්ම යනවා… හාස්‍ය රසය නිසා එක පාරටම හිනා ගියත් යටි පෙල කතාව නම් ඇඬෙනවා..ජීවිතේ ඔහොම තමයි..

     
  2. විසිතුරු | visituru

    දෙසැම්බර් 8, 2011 at 8:15 පෙ.ව.

    ජූඩ්ට සර් හම්බුවුණ එක හොඳයි.

    ප/ලි – මට නම් කොච්චර තදින් නින්ද ගියත් බහින්න ඕනා තැනට හෝල්ට් එකක් තියෙද්දි ඇහැරෙනවා…..

     
  3. ගෝල්ඩ් fish

    දෙසැම්බර් 8, 2011 at 9:09 පෙ.ව.

    වෙලාවට හෙන්රි සර්ටම ජූඩ්ව හම්බුනේ. සර් දන්නේ නැති වුනාට ඔය වගේ ගෝලයින්ගෙන් උදවු අරගෙන ජීවත් වෙන සර්ලත් ඉන්නවා…..

     
  4. වෙද ගෙදර මහ වෙදනා

    දෙසැම්බර් 8, 2011 at 9:10 පෙ.ව.

    පුදුම හිත හොඳ මිනිස්සු ඉන්නවා ඔය නරක කියලා හංවඩු ගහපු සමාජයේ. අදටත් මට සලකන එක මනුස්සයෙක් ඉන්නවා. එයා මගේ මුල් කාලීන ලෙඩෙක්. කොහොම හරි ටිකක් අමාරු අසනීපයක් මගෙන් සනීප වුනා. හැබැයි මේ මම වෘත්තියට ආපුම දවස් මම දන්න දෙයක් නැහැ. Any Damn Thing (ADT) හරියට වැඩ කලා. මේ මනුස්සයා අදටත් මට පුදුම ලෙන්ගතුයි.

     
    • henryblogwalker

      දෙසැම්බර් 8, 2011 at 9:35 පෙ.ව.

      @Weni: ඔන්න මම අන්තිමේදි ලැප්ටොප් එක හදා ගත්තා. ඔවු වෙනී, ඔය වගේ ගෝලයො මට හුඟාක් ඉන්නවා. මම ඇත්තටම ආඩම්බරයි ඒ වගෙ බොක්ක හොඳ ගෝලයො සෙට් එකක් ඉන්න එක ගැන.

      @විසිතුරු: මමත් බස් එකේ නිදා ගන්න රුසියෙක්. හැබැයි මට නම් බහින තැන පහුවෙලා තියෙනව කීප වතාවක්.

      @ගෝල්ඩ් fish : නැතුව නැතුව. මමත් ඒක දන්නවා මාළු.

      @වෙද ගෙදර මහ වෙදනා: ඒ මිනිස්සු හරි සරලයි වෙද මහත්තයා. බොරු ආටෝප නෑ. වචන දෙකක් නෑ.

       
  5. පූසා

    දෙසැම්බර් 8, 2011 at 9:33 පෙ.ව.

    හෙහෙහ් හෙන්රි අයියා නොහිටින්න මිනිහා තාම බස් එකේ 😀

     
  6. uwiniran

    දෙසැම්බර් 8, 2011 at 11:00 පෙ.ව.

    මගේ යාලුවෙක්ටත් ඔය වගේ උනා, ඌ කොල්ලුපිටියෙන් නැගල ගාල්ලෙදි ඇහැරිලා තියෙන්නෙ, ආයිත් ගාල්ලෙන් නැගල, කොටුවට එනකන් නිඳ ගිහින්. හරිනම් මූ බහින්න ඕනෙ අඟුලානෙන්. පිස්සු හැදෙනවා,
    කාර්ය බහුල උනහම නින්දට සලකන්නෙ නැති උනහම,
    නින්ද අපිට සලකන්නෙ ඔහොම තමයි

     
  7. Observer

    දෙසැම්බර් 8, 2011 at 1:58 ප.ව.

    මට ඔය වැඩේ වෙලා තියෙනවා කීප වතාවක්, හේතුව මහන්සිය නම් නෙමේ. කියන්න ඕනෙ නැහැනෙ හේතුව.

     
  8. ඉඳුනිල්

    දෙසැම්බර් 8, 2011 at 6:44 ප.ව.

    හිකිස්‌, මටත් ඔය වැඩේ වෙලා තියෙනවා, ජූඩ්ට තරම්ම අවුලක් වුනේ නැහැ. නිදි මරල කොළඹින් බස් එකේ නිදා ගත්ත මට ඇහැරිලා තියෙන්නේ රත්නපුරේ බස් නැවතුමේදී කොන්දා ඇහැරෙව්වම.

     
  9. නරකයා

    දෙසැම්බර් 8, 2011 at 11:06 ප.ව.

    මටනං ඒ කතාව ටිකක් වැදුනා….

     
  10. මකුළු පැංචි

    දෙසැම්බර් 9, 2011 at 1:34 පෙ.ව.

    අනේ පව්……. :((((

     
  11. abeetha

    දෙසැම්බර් 9, 2011 at 8:26 පෙ.ව.

    මමත් ඔය කියන විදිහේ මිනිස්සු ගොඩාක් ආශ්‍රය කරනවා.. ඒ මිනිස්සුත් එක්ක හොඳට හිටියොත් හදවත උනත් ගලවලා දෙන සයිස්… වැරදිලාවත් උන්ව රවට්ටනවා කියලා හිතුනොත් ආයෙ බඩුම තමයි…

    පුරුද්දක් විදිහට මෙහෙම වෙන එකෙක් හිටියා අපේ ඉස්කෝලේ.. ඌ කවදාවත් ගෙදර ලඟ හෝල්ට් එකෙන් බැහැලා නෑ… අවාසනාවට උගේ බස් එකේ කොන්දාටත් හැමදාම මූව මතක් එන්නේ ගේ පහු කරලා හෝල්ට් දෙකක් විතර ගියාම… ඌ නම් කියන්නේ අශෝක ලේලන්ඩ් බස් එකක යකඩ පොල්ලක් අල්ලගත්තත් ඌට නින්ද යනවා කියලා….

     
  12. ලොකු පුතා

    දෙසැම්බර් 9, 2011 at 2:07 ප.ව.

    වෙලාවට බස එකට සර් නැග්ගේ, නැත්නම් අර මනුස්සයා ඔය විදිහට කී වතාවක් මේ ගමන යාවිද දන්නේ නැහැනේ
    දවසේ මෙහෙයෙන් මහන්සි වෙලා ඉන්න මේ වගේ මිනිස්සුන්ට ඔහොම නින්ද යන එක අහන්න දෙයක් නැහැ

    මමත් සමාජයේ වැදගත් කියල ලේබල් ගහගෙන ඉන්න එව්වන්ට වැඩිය මේ වගේ පොලවේ පයගහල ජීවත්වෙන මිනිස්සු එක්ක ආශ්‍රය කරන්න කැමතියි.
    වැදගත් කියන ලේබලේ ගහන් ඉන්න උන් ගාව තියෙන්නේ බොරු සෝබනේ විතරයි

    මටත් ලේලන්ඩ් හරි ටාටා හරි බස් එකකට නැගල වාඩිඋනොත් බඩුම තමයි, ඇඳට වඩා ෂුවර් එකට හොඳ නින්දක් දාන්න ඇහැකි. හැබැයි අර විසිතුරුට වගේම බහින්න හෝල්ට් එකක් තියෙද්දී ඇහැරෙනවා :))

     
  13. ඕනයා (දුලිප් සිකුරාජපති)

    දෙසැම්බර් 9, 2011 at 8:28 ප.ව.

    මගෙ මිත්‍රයෙක් දවල් එකට විතර ජා ඇලිං බස් එකකට නැගල තොට ලඟට එන්න . . මිනිහ තොට ලඟින් බහිද්දි වෙලාව රෑ 10.30යි

    ප.ලි.
    මගෙ ඉස්කෝලෙ පොඩි එවුං මට කියන්නෙ බස් එකේ බුදියෙන අයිය කියල . . . ඔන්න මගෙ නින්දෙ තරම . . .

     
  14. Kasun Chanaka

    දෙසැම්බර් 9, 2011 at 8:54 ප.ව.

    ජීවිතේ ගැට ගහගන්න මහා සටනක් කරන ඒ වගේ සමහර මිනිස්සු දිහා අපි බලන විදිය කොයිතරම් වැරදිද? ඒක කොච්චර කිව්වත් වෙනස් කරන්නත් අමාරුයි නේද? මේ කතා කරන අපි වුනත් ගොඩක් වෙලාවට එහෙමනේ.

     
  15. Gaminie

    දෙසැම්බර් 10, 2011 at 12:21 ප.ව.

    මම දවසක් ඉස්කෝලෙ යනකාලෙ කොලඹ ඉඳලා දොම්පෙට එන්න සල්ලි මදිවෙලා කඳුබොඩට ටිකට් අරගෙන මගදි බොරුවට නිදා ගත්තා. කොන්දා කඳුබොඩදි ඇහැරවලා ‘බහින්න මල්ලි’ කිව්වා. මොනවා කරන්නද මචං කඳුබොඩින් බැහැල දොම්පෙට පයින් ආවා.

     
  16. henryblogwalker

    දෙසැම්බර් 11, 2011 at 10:12 ප.ව.

    @පූස්: හලෝ පූස්.

    @uwiniran: නින්ද මටත් සලකන්නෙ ඔහොම තමයි.

    @ඔබා අයියා: නිවලා බීපු ඇල්වතුර වල රඟ සොබා.

    @ඉඳුනිල්: ඔය තියෙන්නෙ. ඔය තියෙන්නෙ සාක්කි.

    @නරකයා: එහෙනම් උඹ ඔය කියන තරම් නරකයෙක් වෙන්න බෑ.

    @මකුළු පැංචි: මම නොහිටිය දවස් වල මකුළු පැංචි ප්‍රොෆයි ෆෝටෝ එකත් වෙනස් කරලා නේද?

    @අභීත: මටත් බස් එකකට නැගලා අයිනෙ සීට් එකක් අල්ල ගත්තොත් නිදි පෙති ගැහුවා වගෙ තමයි

    @ලොකු පුතා: ලොකු පුතා එක්ක මම එකඟයි. මගෙත් ඔලුව වීදුරුවෙ වැදිලම පදම් වෙලා තියෙන්නෙ.

    @ඕනයා:උඹේ දැන් උනත් තියෙන්නෙ මේ දැන් නින්දෙන් නැගිටපු එකෙක්ගෙ ඩයල් එකක් තමයි.

    @කසුන්: සර්ටි‍ෆිකේට් ඇත්ත.

    @ගාමිණි: ROFL බිපෙහි බිපෙහි.

     
  17. නවම්

    දෙසැම්බර් 12, 2011 at 2:15 ප.ව.

    හුරා.. ඇති යාන්තං තාප්ප ගානෙ රස්තියාදු වෙලා අර “නවම්” ට කියල ලැප් එක හදාගෙන තියෙන්නෙ…

    දෙයියන්ගෙ පිහිටෙන් කොච්චර නින්ද ගියත් බහින තැන කිට්‍ටුවෙද්දි මට නම් ගානට ඇහැරෙනව.

     
  18. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 8:11 පෙ.ව.

    දැන් ගුරු වෘත්තියෙන් සමු අරන්ද ඉන්නේ ???

     
  19. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 11:59 පෙ.ව.

    මමත් ඔහොම ගිහින් තියෙනවා හැබැයි ඒ නින්ද ගිහින් නෙවෙයි..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න