RSS

166. මෙතෙක් කතාව සහ අද එතැන් සිට

02 Sep

දශක කීපයකට පෙර දෙසැම්බර් මාසයේ එක්තරා ගිණි මද්දහනක:

මම ගේට්‍ටුවෙන් ඇතුල්වෙනකොට නිශ්ශංකයා සුදු කිට ගහලා සාලෙ ඉන්නවා මට පේනවා.

“යමං යමං,” මම ඌව කුලප්පු කරනවා.

විභාගෙ තියෙන්නේ හවස් වරුවෙ නිසා නිශ්ශංක කලින් කියලා තිබුනා මට උන්ගෙ ගෙදරට එන්න කියලා දෙන්නම එකට යන්න.

“ඔහොම හිටිං. හඩ්ඩෝ වගේ යන්නැතුව පොඩ්ඩක් සුවඳ ගගහ යං නේද බං? අද බස් එකේ විභාගෙට යන බඩු කෑලි හෙම ඉන්න පුලුවං. උන්ගෙ කරුමෙට හරි එකක් වැ‍ටුනොත් හෙම එපා කියන්ඩද,” කියන නිශ්ශංකයා මාත් ඇදගෙන නිදන කාමරේකට ඇතුල් වෙනවා.

“අද අම්මලා ගෙදර නෑ,” ඌ කියනවා.

දැවැන්ත කන්නාඩි මේසේ උඩ සලෝන් එකක්, නැතිනම් සුවඳ විළවුන් සාප්පුවක් වගේ. නැති දෙයක් නෑ. Pour Hommeද, Pour Femmeද කියලා බලන්න වෙලාවක් නෑ. නමුත් ඒවායින් සීයට අනූවක්ම කාන්තාවන්ට හදපු ඒවා (Pour Femme) බව තව බොහෝම ටික වේලාවකින් මට තේරෙනවා. දෙන්නම අතට අහුවෙන අහුවෙන විළවුන් බෝතල්වලින් ඉහගෙන ඉහගෙන යනවා. කොහොමටත් ජාති විස්සක් විතර කලවං වුනාම නිකං කල්පනාව එහෙමෙහෙ වෙන තරම් සුවඳක් එනවා. බඩු ෂුවර්ම වෙන්න මාපට ඇඟිල්ලෙන් කලිසමේ ඉණ එලියට පළල් කරන මම අන්තිම ස්ප්‍රේ කෑන් එකෙන් බර්ස්ට් එකක් ඇතුලට විදිනවා.

“හෙහ් හෙහ් තව ගහ ගනිං. තව ගහ ගනිං මෙහෙම චාන්ස් හැමදාම හම්බවෙන්නේ නෑ,” කියන නිශ්ශංකයා උගෙ කමිසේ ඇතුලට බර්ස්ට් දෙකක් විදගන්නවා..

දෙන්න එක්ක පාරට යනවා. ගිණි මද්දහන නිසාද කොහෙද පාර පාලුයි. ලංගම බස් එකේ සද්දෙ මුලින් ඇහෙනවා. අපි බස් නැවතුම දිහාට දුවන්න පටං ගන්නවා. වංගුවෙන් මතුවෙන බස් එක අපිට කලින් නැවතුමට ඇවිත් ගමන පටං ගන්නවා. අපි අත පය වනලා මරුමුස් ලංගම රියැදුරාගෙ ගල් හිත ලාවට උණු කරගන්න සමත් වෙනවා. පොර නවත්තන්නේ නැතුව වේගය අඩු කරනවා. අපි ෆුට්බෝඩ් එකේ එල්ලෙනවා.

ෆුට්බෝඩ් එකෙන් උඩට මතුවෙනකොටම අපිට පේනවා, මුලින්ම ළඟම ඉඳගෙන ඉන්න කට්ටියගේ ඔලුගෙඩිත්, ඉන් පස්සෙ හරියට මුහුදු රළක් ගහනවා වගේ ඊට ඉස්සරහින් ඉඳගෙන ඉන්න කට්ටියගෙ ඔලුගෙඩිත් අංශක එකසිය අසූවට අපි දිහාට හැරෙනවා. ඩ්‍රයිවරයත් ඔලුව පාත් කරලා ඇස් රවුම් කරලා කණ්නාඩියෙන් බලලා මොකක්දෝ මුමුණනවා පේනවා. විමලයයි මායි ආපහු පහත පඩියට බහින්නේ කතාවෙලා නෙවෙයි.

“අපි සෙන්ට් ගහ ගත්තා වැඩියි @#$*!”

“මුං අපි දිහා බලන්නේ හරියට වේසා බඩු දෙකක් නැග්ගා වගේ බස් එකට.”

“මොකෝ බං කරන්නේ. මාර නෝන්ඩිය යකෝ.”

“අපිත් වඳුරෝ දෙන්න වගේ අරවා නෑවනෙ බං ඉවක් බවක් නැතුව. ෂික්!”

“බහිමුද ඊ ලඟ හෝල්ට් එකෙන්?”

“බැහැලා මොකද යකෝ කරන්නේ? ඊ ලඟ බස් එකට නැග්ගත් ඔය සින්දුවමනේ. ඔය පස්සේම සීට් එකේ කවුරුවත් නෑ.”

අපි එක පිම්මට පිටිපස්සෙ සීට් එකට පනිනවා.

හුඟක් මිනිස්සු නහයට ලේන්සු තියලා තදකරගන්නවා.

නිදං හිටපු මිනිස්සුත් කඳුළු ගෑස් වැදිලා වගේ ඇහැරෙනවා.

ටිකකින් තව තව මිනිස්සු බස් එකට නගිනවා. මීට ටික වෙලාවකට කලින්, අපි දෙන්නම දාලා දවල්ට කන්ඩ ගිහින් හිටපු ඉස්තානෝචිත ප්‍රඥාව බඩ අත ගගා ආපහු එනවා. අලුතෙන් නගින මිනිස්සු ඇස් ලොකු කරලා නහය අකුලාගෙන මූලාශ්‍රය හොයනකොට අපිත් ඇස් ලොකු කරගෙන වටපිට බලලා ඒ මිනිස්සුන්ව මුලා කරනවා.

“මොකද්ද බං ඒ ගඳ? පට්ට වේස මඩුවක ගඳක්නෙ එන්නේ.” මම කියන්නේ හරියට වේස මඩුවකට නිතර යන එන පුරුදුකාරයෙක් වගේ.

“කවුරු හරි උරුලෑවෙක් සෙන්ට් නාගෙන බස් එකට නැගලා වගේ.” නිශ්ශංකයා ඊ ලඟ හෝල්ට් එකේදි කියනවා.

ටිකකින් ප්‍රශ්ණය තත්වය තරමක් යහපත් අතට හැරෙනවා. කලින් දුවන බස් එකේ ඉස්සරහටත් ගමන් කරපු සුවඳ දැන් අපිට දැනෙන්නේ බස් එක හෝල්ට් වල නැවැත්තුවාම විතරයි.

ටිකකින් අලුතින්ම නගින මිනිස්සුන්ට හැර අනිත් මිනිස්සුන්ටත් අපිටත් සුවඳ ගානක් නැතුව යනවා. ඒ කියන්නේ සුවඳට අනුවර්තනය වෙනවා. ඒ එක්කම, බස් එකේ මුලින්ම හිටපු මිනිස්සු හුඟ දෙනෙක් බැහැලත් ගිහින්.

අපේ ඇස් වලට නුහුරු ස්කූල් යුනිෆෝම් එකක් ඇඳගත්ත ලස්සන කෙල්ලෙක් බස් එකට නගින්නේ එතකොට. කෙල්ල බස් එකට ගොඩ වෙනකොටම ඩ්‍රයිවර් නහරයා බස් එක අද්දවනවා.

“අරූට තියෙන අමාරුවක් බලපංකෝ. තව පොඩ්ඩෙන් මේ නංගි වැටෙනවනෙ,” මම ලකුණු රස්කිරීම ආරම්භ කරන්නේ මොහොතක්වත් අපතේ නොයවා.

“ඒක තමයි. අපේ ඇඟට එහෙම වැ‍ටුනා නං!”

“හෙහ් හෙහ්, වැටිලා ඔඩොක්කුව උඩ ඉන්දවුනානං හෙම මොන දෙයියන්ට කියන්නද!”

“අරූගෙ නහරයක් වැඩියි කොහොමත්.”

මුලදි අපිව ගනං නොගන්නා බව පෙන්නපු කෙල්ලගෙ අයෝමය අයි ඩෝන්ට් කෙයා ආවරණය මේ කතා අහන කොට පොඩ්ඩක් විතර එහෙ මෙහෙ වෙනවා. ඒකි නහය ටිකක් අකුලගෙන වගේ බස් එකේ දකුණු පැත්තේ පස්සම සීට් එකට ඉස්සරහ සීට් එකේ ඉඳගන්නවා. අපි දෙන්නත් ඇඹලයෝ වගේ අන්තිම සීට් එකේ එහා පැත්තට මාරු වෙනවා. අපි කෙල්ලගෙ බෙදලා තියෙන කොණ්ඩ කරල් දෙක මැද්දෙන් පේන බෙල්ලෙ පි‍ටුපස්සෙ රන්වන් ත්‍රිකෝණයට නොයෙකුත් කතන්දර කියනවා. කෙල්ල ටිකින් ටික අපි ගැන උනන්දුවක් දක්වන්න පටං ගන්න බව කම්මුලේ උත්තල හැඩය වෙනස් වීමෙන් කියන්න පුලුවන්. ඒ එක්කම. අපිත් සෙන්ට් නාගෙන බස් එකට නැගපු උරුලෑවාට ගහන මඩ පාරවල් වලට කෙල්ල ලේන්සුව විකාගෙන හිනාවෙනවා.

නිශ්ශංකයයි මායි යන්නේ අග නගරේ වැදගත් යයි සම්මත ලේ පාට ඉස්කෝලෙකට. අගනගරේ ඉස්කෝල ඕනෙම එකක කෙල්ලන්ගෙ ඉස්කෝලවල නිල ඇඳුම් කටපාඩමෙන් වමාරන්න හැකියාවක් තියෙන අපිටවත් මේ නිල ඇඳුම අඳුනන්න බෑ.

මේ සයිමොංගෙ පොල්මෝලවත්, දෙලොවක් අතරවත්, බූතයා එන පිත්තල පහනවත්, නෙවෙයි.

ඒක දැනගන්න ගත්ත සියළු උත්සාහ අසාර්ථක වෙන්නේ මේ කෙල්ල හිනා මූණක් දාගෙන ඇහැ කොණින් බැලුවට, එක වචනයක්වත් කතා නොකරන නිසා.

“අනේ බලහං බං, මෙච්චර අගේට සියලු අංගෝපාංගයන් තියෙන ගෑණු ළමයෙක් ගොළුවෙලා ඉපදෙන එක මොන කරුමයක්ද නේද ඈ?”

“අම්මටයි තාත්තටයි කොච්චර හිතට අමාරු ඇද්ද?”

“ලේ නෑ විවාහයක්ද දන්නේ නෑ නේ?”

“ඉපදුණු ගමංම ඇඬුවෙ නැතුවාම කොච්චර කළබල වෙන්න ඇද්ද, ඈ!”

“අනිත් එක අර කවියෙ විදියට ඔක්කොම ගැජට් බැජට් පිහිටලා තියෙද්දි!! නෑ මං කියන්නෙ මේ ඉපදෙනකොට පිහිටලා තිබ්බ ඒවා.”

“මොන කවියද උඹ කියන්නේ?” නිශ්ශංකයා අහනවා.

“අර කවිය බං. අර රියසකයුරු තිසර තන කියන එක?”

“මොකක්?”

“උඹත් ඉස්කෝලෙ ගියාට නමට විතරනේ. රියසකයුරු කියන්නේ යකෝ කරත්ත රෝදවගේ. තිසර තන කියන්නේ උඹ හිතන එක තමයි.”

“හෑ? කවුද යකෝ කිව්වේ කරත්ත රෝද වගේ දෙකක් පපුව මැද්දෙ පිහිටලා තියෙනකොට ලස්සනයි කියලා? ඌට නං මොලේ කචල් වෙන්න ඕනෙ.”

“ඔව් බං, උඹ හිතලා බලහං, ඔය සාහිත්‍ය කාරයෝ කියන විදියට, නාදලු දෙකක් වගේ තොල් තියෙන, කිතුල් මලක් වගේ කොණ්ඩයක් තියෙන ගර්ල් කෙනෙක් හැන්දෑවෙ පාරෙදි හෙම දැක්කොත් නූල් බඳින්න වෙනවනේ.”

“දැන් මේ ඉස්සරහ සීට් එකේ ඉන්න නංගි වගේ නං ඕං කමක් නෑ.”

අපේ සාහිත්‍ය විචාරයට කෙල්ලට හොඳට අල්ලලා ගිය බව ඒකිගෙ කම්මුලේ හැඩෙනුයි, හිනාවට ගැහෙන හැටියෙනුයි කියන්න පුලුවං. ඔව් ඒක ලංගම බස් එකේ දෙදරීමට අමතරව.

බස් එක අග නගරෙට ඇතුල් වෙලා දැන් ටික වෙලාවක්. අපිට ඉස්සරහ හතරමං හන්දියෙන් බැහැලා බස් එකක් ගන්න පුලුවන් වුනත්, අපි දෙන්න කතාවෙනවා කෙලින්ම බලකො‍ටුවෙන්ම බැහැලා ඉඳගෙන යන්න. සීසන් තියෙනවනේ. ඔන්න හන්දිය පහුවෙච්ච ගමන් කෙල්ල නැගිටිනවා.

අපි දෙන්නගෙ කටවල් ඇරෙන්නේ එකට.

මෙතන තියෙන්නේ, යක්පුරේ උං කියලා අපි හිතං ඉන්න එවුන් යන ඉස්කෝලයක්. ඔව්. ඩප්පි, කිණිසි, පිස්තෝල, ගංජා වලට රජදහනක් වෙච්ච පරිසරයක තියෙන, ‘යක් ඉස්කෝලයක්’ යයි සම්මත ඉස්කෝලයක්.

කෙල්ල ෆුට්බෝඩ් එකේ කණුව අල්ලගෙන හිටගෙන, මෙච්චර වෙලා නොමිලේ නොනවතින වින්දනයක් සපයපු කොල්ලො දෙන්න දිහා මුල් වතාවට කෙලින් බලනවා. යකෝ ඇත්තටම සුරංගනාවියක් තමයි. ඒත් මේ යක්පුරේ? ලස්සන හිනාවකින් අපිට සංග්‍රහ කරන කෙල්ල ලතාවකට බස් එකෙන් බහිනවා.

අපි දෙන්නගෙ කටවල් තාම ඇරිලා.

“ඒකි උඹ දිහා බැලුවේ.”

නෑ, නෑ, ඒකි උඹ එක්ක හිනාවුනේ.”

“උඹම තියාගනිං. මට ඕනෙ නෑ ඩප්පි පාරක් කාල මැරෙන්න.”

“මටත් ඕනෙ නෑ දැලි පිහියකින් පුක කපාගෙන විඳවන්න.”

“අපරාදෙ නේ බං ඒ වගේ කෙල්ලක් මේ වගේ තැනක!”

“මාර බේරිල්ලක් යකෝ අපි බේරුනේ.”

කතාව ඉවර නෑ. පටං ගත්තා විතරයි. ඒ වගේම, අපොස සාපෙ කරන කොල්ලෝ දෙන්නෙක්ගෙ පොලිටිකල් කරෙක්ට්නස් එක ගැන වදවෙන්න කලින්, අනිත් කොටස් කීපය කියවලා ඉන්න කියලා මම ඉල්ලනවා.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 
ප්‍රතිචාර 10

Posted by මත සැප්තැම්බර් 2, 2015 in මතක මාවත දිගේ, Down the memory lane

 

ටැග:

10 responses to “166. මෙතෙක් කතාව සහ අද එතැන් සිට

  1. කුරුටු ගෑ ගී පවුර

    සැප්තැම්බර් 3, 2015 at 11:27 පෙ.ව.

    ලියැවිල්ල නියමයි අෑ……….. සුපර්…

     
  2. ලොකු පුතා

    සැප්තැම්බර් 5, 2015 at 1:18 ප.ව.

    දැන් දවස් ගානක් තිස්සේ මේක කියවන්න ඕපන් කරගෙන හිටියට කියවන්න බැරි උනා…
    හොඳට ලියල තියෙනවා, අත්දැකීමක්ද හිතළුවක්ද මචං…

     
  3. chathuralakshithaabeysinghe

    සැප්තැම්බර් 11, 2015 at 12:37 ප.ව.

    ඔය යක් ඉස්කෝලෙ සුයන්නෙන් පටන්අරං සමයක් වර්ධනය කරන එකද?

     
    • henryblogwalker

      සැප්තැම්බර් 11, 2015 at 1:08 ප.ව.

      නෑ Chathura මේ සමාන්තර විශ්වයේ ඉස්කෝලයක්. ඒත් ඔය ඉස්කෝලෙ නෙවෙයි. මම නම කියන්න කැමතිනෑ සමහරුන්ගෙ පාඋද්ගලිකත්වයට හානි වෙන නිසා.

       
  4. Ajith Dharma

    සැප්තැම්බර් 26, 2015 at 4:12 පෙ.ව.

    ලස්සන් කතාවක් වගේ.

     
  5. sirikolonnawa43

    ඔක්තෝබර් 20, 2015 at 2:12 ප.ව.

    අපුරු කියවිල්ලක්…එක දිගට කියවිය හැකියි…තව ලියපන් පුතා….නමත් අපුරුයි…blog warker ..මම දන්නා කෙනෙක් ඉන්නවා ..jonny warker ..කියා…මගේ යාළුවොත් එය බලන්න සති අන්තවල එනවා…..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: